Skip links

පඨිත මතකය

Patna 2

වසර 8 ක පමණ නිහැඩියාවකින් පසුව පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා නැවත වරක් ආරම්භ කිරීමට යන අවස්ථාවේ එහි ඉතිහාසය හා මතවාදීමය ස්ථාවරය නැවත වරක් කෙටියෙන්  හෝ සන්ධර්භගත කිරීම සුදුසුය යන්න අපගේ විශ්වාසයයි. ඊට හේතුව ස්මෘතියේ කෙටිකාලීන බව අප මැනැවින් දන්නා නිසාය. 2003 වසරේදී, පඨිත ලිපි සංග්‍රහයේ පළමු වෙළුම ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ජාත්‍යන්තරව සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර තුළ සිදුව පැවති අතිශය පුළුල් දැනුම් නිෂ්පාදන ක්ෂේත්‍රවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබු ශාස්ත්‍රීය දරිද්‍රතාවට සුලූ වශයෙන් හෝ මැදිහත් වීමයි. පඨිත පළමු වෙළුමෙහි සඳහන් වන ආකාරයට මෙම තත්වයට බලපෑ කරුණු විශාල ගණනක් ඇත. “අස්ථාවර දේශපාලන තත්ත්වය, යූරෝ-ඇමරිකානු හා ඔස්ට්‍රලේශියා කලාප වෙත ශ්‍රී ලංකාවේ සිට සිදුවූ බුද්ධිගලනය, ඒ සමඟම ඇතිවූ සරසවි පද්ධතියේ පිරිහීම සහ ඊට සමගාමීව මතුවූ බුද්ධි විරෝධී ප්‍රවණතා මුල් බැස ගැනීමද මේ තත්ත්වය තීව්‍ර කිරීමට නිශේධක ආකාරයකින් බලපෑම්කර” තිබුනි (2003). එමෙන්ම, එහි ආරම්භක සංස්කාරක මණ්ඩලය විසින් තවදුරත් පෙන්වා දෙනු ලබන්නේ, සමස්තයක් ලෙස ගත්විට ශ්‍රී ලංකාව තුළ ශාස්ත්‍රීය ලෙස අධි තක්සේරුවට පත්වී තිබූ පඨිතයන්ගේ බුද්ධිමය දරිද්‍රතාව, ශාස්ත්‍රීය ව්‍යාකූලත්වය හා තත්කාලීන සමාජ න්‍යාය සමඟ ගනුදෙනු කිරීමට ඇති නොහැකියාව ප්‍රකට වූවත්, මෙම තත්ත්වය වඩාත් දරුණු ලෙස දක්නට ලැඛෙන්නේ සිංහල භාෂාවෙන් පළවූ ශාස්ත්‍රීය ලිපිවල වීම අවාසනාවට කරුණක් බවයි (2003). පඨිත ආරම්ක කිරීමට හේතු වූ අන් කරුණු අතරට පහත සඳහන් කරුණු ද ඇතුළත් වීය:

• ගෝලීයව ශ්‍රී ලංකාව පිළිබඳව හා කතිකාමය වශයෙන් වැදගත් වූ තේමා යටතේ ඉංග්‍රීසියෙන් පළවූ ලිපි සිංහල පරිවර්තන මගින් පාඨකයින් වෙත ගෙන ඒම.

• දෙමල බසින් රචිත මෑත කාලීන ශාස්ත්‍රීය ලිපි සිංහලෙන් ඉදිරිපත් කිරීම.

• සිංහල බසින් ගැඹුරු ශාස්ත්‍රීය රචනා සම්ප්‍රදායක් ගොඩනැගීම.

මෙම පළමු වෙළුමේ සංස්කාරකවරු ලෙස සසංක පෙරේරා, ප්‍රධාන සංස්කාරක (කොළඹ විශ්ව විද්‍යාලය) ආනන්ද තිස්ස කුමාර, භාෂා සංස්කාරක (කොළඹ විශ්වවිද්‍යාලය) ටී. සනාතනන් (යාපනය විශ්වවිද්‍යාලය)  රමණි ජයතිලක (කොළඹ විශ්වවිද්‍යාලය)¦ ඉන්දිකා බුලන්කුලම (නීතිය සහ සමාජ භාරය)  අශෝක ද සොයිසා (කැල‚ය විශ්වවිද්‍යාලය) යුවී තංගරාජා (නැගෙනහිර විශ්වවිද්‍යාලය) කුමුදු කුසුම් කුමාර (කොළඹ විශ්වවිද්‍යාලය)  නලින් ස්වාරිස් (ස්වාධීන ලේඛක) හා රංජිත් පෙරේරා  (සමාජ විද්‍යාඥයින්ගේ සංගමය) යන විද්වත්හු සම්බන්ධ වී සිටියහ. පඨිත හා සමගාමීව දමිළ බසින් ඇරඹුන පණුවල් ලිපි සංග්‍රහය වෙළුම් කිහිපයකින් ඔබ්බට ගෙන යාමට නොහැකි වීය. එනමුත් ඉංගීසි බසින් පඨිත හා පණුවල් මෙන්ම වාර්ෂිකව ප්‍රකාශයට පත්කළ South Asia Journal
for Culture
2012 දී කොළඔ සිට පළවීම නිමාවට පත් වුව ද 2015 සිට නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය හා සේජ් ප්‍රකාශන සමාගම හා එක්ව ද්විවාර්ෂික විමර්ශිත ලිපි සංග්‍රහයක් ලෙස  Society and Culture in South Asia යන නමින් දැනට නොකඩවා ප්‍රකාශයට පත්වේ. 

මේ බුද්ධිමය ප්‍රකාශන ත්‍රිත්වයම සැළසුම්කර ප්‍රකාශයට පත් කළේ සමාජ-සංස්කෘතික තීව්‍ර අධ්‍යයනය සඳහා වූ කොළඹ ආයතනය විසිනි. පඨිත දෙවෙනි වෙළුම 2004 වර්ෂයේ ප්‍රකාශයට පත් වන්නේ නාගරික අවකාශ ප්‍රධාන තේමාව කර ගෙනය.  පඨිත තෙවෙනි වෙළුම 2005 වසරේදී ප්‍රකාශයට පත්වන්නේ, යටත්විජිතවාදය සහ පශ්චාත් යටත් විජිත මතකය යන තේමාව පිළිබඳ විශේෂ වෙලූළුමක් වශයෙනි. මෙම තේමාවට හේතු වූයේ “2005 වසර දකුණු ආසියා කලාපයේ මෙන්ම සමස්තයක් වශයෙන් ලොව අන් ස්ථානවලද යුරෝපීය යටත්විජිතවාදයේ අති බිහිසුණු සහ දීර්ඝ කාලීන මැදිහත්වීම ඇරඹී වසර පන්සියයක් ගතවීම සළකුණු කරන නිසාය” (පඨිත 2005).  මෙම වෙළුමෙන් සලකා බැලු කරුණු අතර යටත්විජිත අනුභූතිය පිළිබඳ යුරෝපීය පරිකල්පන ව්‍යුහවිභාගනය හා ශ්‍රී ලංකාවේ යටත්විජිත ඉතිහාසය දෙස නැවත බැලීම යනාදී තේමා ඇතුළත් විය. මේ වෙළුමේ සිට ලිපි සංග්‍රහයට නව අංගයක් ලෙස එක් වූයේ පඨිත පාරිභාෂික ශබ්ද මාලාවය.  ඒ, ලිපි සංග්‍රහයේ පළවූ නිබන්ධවල අඩංගු සිංහල භාෂා සම්භාෂණයට ආගන්තුක හෝ නව චවන හා සංකල්ප එහි ඉංග්‍රීසි පද සමග ඉදිරිපත් කිරීම මගිනි. මේ වචන හා සංකල්පද ඇතුලත් වඩාත් පුළුල් වාග්මාලාවක් 2006 දී සසංක පෙරේරා හා හරීන්ද්‍ර දසනායකගේ සංස්කරණය යටතේ පඨිත ඉංග්‍රීසි  – සිංහල, සිංහල – ඉංග්‍රීසි  පාරිභාෂික පදමාලාව වශයෙන් ප්‍රකාශයට පත්වීය.

 

පඨිත සිව්වන වෙළුම (2006) ප්‍රධාන තේමා දෙකට ඛෙදෙන අතර ඒ, වාස්තුවිද්‍යාව, නිර්මිත අවකාශ හා සංස්කෘතියේ දේශපාලනය සහ  සංස්කෘතිය, නිර්ප්‍රභූත්වය සහ ජනශ්‍රැති අධ්‍යයන යන්නය. මෙම වෙළුම තුළ, සංස්කෘතියේ දේශපාලනය  පුළුල් ලෙස සාකච්ඡාවට ළක් වෙයි.  ඒ සාකච්ඡාවේ ප්‍රවේශය, “සංස්කෘතිය ඕනෑම ජාතික රාජ්‍ය සීමාවක් තුළ හෝ වෙනයම් ආකාරයේ සමාජ සැකැස්මක් තුළ පවතින අතිවිශාල ගතිකත්වයකින් සපිරි කතිකාමය අඩවියක් ලෙස හඳුනා ගතහොත්, එය අනේක මත ගැටුම් හා ප්‍රවර්ගීකරණවලට තුඩුදෙන අදහසක් හා ගතිකමය ක්‍රියාවලියක්”ය යන්නය (2006). මේ අදහස ඔස්සේ ඉදිරියට යන ලිපි පෙළ විවිධ අවකාශ තුළ පැනනගින දේශපාලන ගතික ඒ සන්දර්භයන්ගේ උත්පාදනය වන බලයේ ස්ථර තම අවධානයට හසුකර ගනියි. 

පඨිත හයවන වෙළුමේ (2008) ප්‍රදාන ප්‍රවේශය අනන්‍යතා ඉතිහාස පළිබඳ කතිකාව නියවීමට යොමු වී තිබුනි. මේ වෙළුමේ අඩංගු ලිපි එකතුව අනන්‍යතා දේශපාලනයේ අනේකවිද පැතිකඩ ගවේෂණය සඳහා යොමුවන අතර එය හුදු ජනවාර්ගික අනන්‍යතා සඳහා පමණක් සීමා වන්නේ නැත. ඉතිහාස රචනාකරණයේ දේශපාලනය සහ අනන්‍යතා දේශපාලනය ඒ තුළ ක්‍රියාත්මකවන ආකාරය ද මේ ලිපි තුළ සංවාදයට ළක්වෙයි. පඨිත හත්වෙනි වෙළුම 2009 වසරේ එළි දැක්වෙන අතර, මෙහි අඩංගු ලිපි පෙළ මූලික වශයෙන් සංස්කෘතික දේශපාලනය ගවේෂණයේ යෙදෙයි. 

පඨිත වෙලූම් මාලාවේ සංස්කාරක මණ්ඩලයට වරින්වර පුද්ගලයින් කිහිප දෙනෙකුම එක් වූ අතර තවත් අය ඉන් බැහැර වූහ. එසේ එක් වූවන් අතර පහත සඳහන් කණ්ඩායම ඇතුළත් වේ: ජගත් වීරසිංහ (කැලණිය විශ්වවිද්‍යාලය), හරීන්ද්‍ර දසනායක (ස්වාධීන පරිවර්තක), චන්ද්‍ර ලේකම්ආරච්චි (කොළඹ ආයතනය), ජගත් පතිරගේ (මාර්ග ආයතනය) හා සුදර්ශන් සෙනෙවිරත්න. දීර්ඝකාලීනව පඨිත පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂයෙන් චන්ද්‍ර ලේකම්ආරච්චි, ජගත් පතිරගේ හා හරීන්ද්‍ර දසනායකගේ දායකත්වය ඛෙහෙවින් වැදගත් විය. 

මෙතෙක් ප්‍රකාශයට පත්වී ඇති සියලු පඨිත වෙළුම් පී.ඩී.එෆ්. පිටපත් වශයෙන් මේ වෙබ් අඩවිය හරහා ලබා දීම සංස්කාරක මණ්ඩලයේ අපේක‍ෂාව වේ.

– අනුෂ්කා කහඳගමගේ (පඨිත 2020 සංස්කාරක මණ්ඩලය වෙනුවෙන්)

This website uses cookies to improve your web experience.