අතීතය පිලිබඳ දේශපාලනය

දේවසිරි, නිර්මාල් රංජිත්. ලංකාවේ ඉතිහාසය: දෘශ්ටිවාදී විචාරයක්. දෙහිවල: විදර්ශන. 2019. ISBN -978-624-5084-17-4, පිටු: 269. මිල රුපියල් 950.00 (ඝන කවරය සහිතව).

___________

විමර්ශනය: සමල් විමුක්ති හේමචන්ද්‍ර

ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව දෙස්විදෙස් ශාස්ත්‍රඥයන් විසින් 90 දශකයෙන් මෙපිටට ලියා ඇති ශාස්ත්‍රීය ලේඛන පිළිබඳව අපගේ අවධානය යොමු කිරීමේදී අපට මඟ නොහැර යා නොහැකි යථාර්තය වන්නේ ඉංග්‍රීසී භාෂාවෙන් ලියැවී ඇති ලේඛනවල ඇති සාපේක්‍ෂ ගුණාත්මකභාවය සහ සිංහල භාෂාවෙන් ඇති ලේඛනවල සාපේක්‍ෂ දරිද්‍රතාවයයි. විශේෂයෙන්ම අන්තර්ජාතික දැනුම් පද්ධතිය තුළ වර්ධනය වූ ව්‍යුහවාදය, පශ්චාත්ව්‍යුහවාදය, පශ්චාත්යටත්විජිතවාදය වැනි දාර්ශනික සම්ප්‍රදායන්ගේ සහ ඇනල්ස් සහ නිර්ප්‍රභූ වැනි ඉතිහාස ගුරුකුලවල ආභාෂය  ලැබ ලංකා ඉතිහාසය පිළිබඳව ලියන ලද ශාස්ත්‍රීය ලේඛන ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. කුමාරි ජයවර්ධනගේ සොක්කන් ලොක්කන් වීම, ලෙස්ලි ගුණවර්ධනගේ ඉතිහාසයේ අතීතය හෝ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය විසින් පළ කරන ලද ප්‍රවාද සඟරාවේ ඇතැම් ලිපි වැනි දුලබ අවස්ථා හැරුනු විට, සිංහල භාෂාවෙන් ලියැවී ඇති ඉතිහාස ලේඛන තවමත් ආභාෂය ලබනුයේ 18 සහ 19 සියවස්වල යුරෝපයේ  වර්ධනය වූ ලියෝපෝල්ඞ් වොන් රැන්කගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කරනු ලැබූ අදහස්වලටය. වෙනත් ලෙසකින් පවසනවා නම්, ලංකා ඉතිහාසය පිළිබඳ අධිපති සහ ජනප්‍රිය කතිකාව පදනම් වන්නේ, යල්පැන ගොස් ඇති බවට අන්තර්ජාතිකව පිළිගන්නා විද්‍යාත්මක ඉතිහාසකරණ ගුරුකුලයේ අදහස් මතය. මෙවැනි සංදර්භයක නිර්මාල් රංජිත් දේවසිරි විසින් රචිත ලංකාවේ ඉතිහාසය: දෘශ්ටිවාදී විචාරයක් නම් කෘතිය හරහා සිංහල පාඨකයාට ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් නව ප්‍රවේශයක් හදුන්වා දේ. එනම්, “සිදු වූ දේ ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීම” (ලොරෙන්ස් 2009: 394) යන රැන්කියානු ඉතිහාසකරණය වෙනුවට, දේවසිරි උත්සාහ කරනුයේ, එසේ ගොඩනංවා ඇති ජනප්‍රිය ඉතිහාසකරණයේ ඇති දෘශ්ටිවාදී අන්තර්ගතයන් පෙන්වාදීමය. වඩා සංයුක්තව කියන්නේ නම්, ජනවාර්ගික අර්බුදය හා සම්බන්ධ වර්තමාන අගතීන් කෙතරම් දුරට අපගේ අතීතය පරිකල්පනය කිරීමේදී බලපාන්නේද යන්න සොයාබැලීමය.

මෙම කෘතිය පරිච්ඡේද 8කින් (4 වන පරිච්ඡේදය කොටස් දෙකකින් යුක්තය) සමන්විත වන අතර, ඒවා දේවසිරි විසින් 90 දශකයේ සිට මෑතක් වන තුරු විවිධ අවස්ථාවන්හි ලියන ලද ලිපි හෝ කරන ලද සංවාද වේ. මෙම සියලුම පරිච්ඡේද ඉහත දැක්වූ පරිදි ජනප්‍රිය කතිකාවේ ඇති දෘශ්ටිවාදී අන්තර්ගතයන් විශ්ලේෂණය කිරීම සිදුකරයි. ජයදේව උයන්ගොඩ විසින් මෙම කෘතියට ඇතුල්වීම සදහා යටත්විජිත සංදර්භය තුළ සිදු වූ වෙනස්කම් පිළිබඳ පෙරවදනක් ලබාදී ඇත.  

පළවෙනි පරිච්ඡේදය මූලික වශයෙන් අවධාරණය කරනුයේ ලංකා ඉතිහාසය පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාව නම් රාජ්‍යය ගොඩනැංවීමේ ක්‍රියාවලියේ දෘශ්ටිවාදී මෙවලමක් ලෙස යොදා ගත් ආකාරයයි. මෙහිදි දේවසිරි එකිනෙකින් වෙන්ව පැවතිය යුතු ලංකා ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රීය කතිකාව සහ අනන්‍යතා කතිකාව එකිනෙක හා බද්ධව පවතින ආකාරය පෙන්වා දෙයි. ශාස්ත්‍රීය කතිකාව යනුවෙන් හැදින්වෙන්නේ නිශ්චිත න්‍යයාත්මක සහ ක්‍රමවේදීමය ප්‍රවේශයක් හෝ ප්‍රවේශ කිහිපයක් යොදාගනිමින් අතීතය ප්‍රතිනිර්මාණය කිරීම වන අතර, අනන්‍යතා කතිකාව යනුවෙන් මෙහි සදහන්වන්නේ යම්කිසි සාමුහික අනන්‍යතාවයක පැවැත්ම වෙනුවෙන් අතීතය සමග ගොඩනංවා ගන්නා ලද පරිකල්පිත සම්බන්ධතාවයයි. මෙහිදී ශාස්ත්‍රිය ප්‍රවේශයකින් ඉතිහාස  රචනයේ නියැලෙන්නන් සිය අගතීන්ගෙන් හැකිතාක් දුරස්ව සිය විමර්ශනයන් සිදු කිරීමට උත්සහ දරන අතර, අනන්‍යතා කතිකාව කරනුයේ සිය සාමුහික අනන්‍යතාවය ආරක්ෂා කරගත හැකි අයුරින් අතීතය ගොඩනැංවීමයි. නමුත් මෙම පරිච්ඡේදයෙදී දේවසිරි පෙන්වා දෙන්නේ මෙම කතිකාවන් දෙක එකිනෙකින් වෙන්ව පැවතිය යුතු වුවද වර්තමානයේදී ඉතිහාසය පිළිබඳ අනන්‍යතා කතිකාව විසින් ශාස්ත්‍රීය කතිකාව සිය ග්‍රහණයට ගෙන ඇති ආකාරයයි.    

දෙවන පරිච්ඡේදය සාකච්ඡා කරනුයේ කලින් සදහන් කල පශ්චාත්-යටත්විජිත රාජ්‍යය ගොඩනැංවීමේ ක්‍රියාවලියේදී ලංකා ඉතිහාසයේ ආරම්භක ලක්ෂ්‍යයන් ලෙස සලකන බුදුන් තෙවරක් ලංකාවට වැඩම කිරීම, විජයාගමනය, පණ්ඩුකාභය කතාව, මහින්දාගමනය සහ දුටුගැමුණු කතාව යන ආඛ්‍යාන ක්ලෝඩ් ලෙවී-ස්ට්‍රවුස් පවසන ආකාරයේ මිත්‍යා ප්‍රබන්ධ ගණයට අයත්වීම පිළිබඳවය. මෙහිදී දේවසිරි මිත්‍යා ප්‍රබන්ධ යනුවෙන් හදුන්වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ‘බොරු’ යන අර්ථයෙන් නොවේ. ලෙවී-ස්ට්‍රවුස් අනුව යමින්, ඔහු මිත්‍යා ප්‍රබන්ධ යනුවෙන් සලකනුයේ “කිසියම් ප්‍රජාවක් තම ප්‍රජාවේ ඒකමිතිය පවත්වාගෙන යෑම සඳහාත්, එම ප්‍රජාව පරිභෝජනය කරන, ද්‍රව්‍යමය වේවා සංකල්පීය වේවා, වස්තුවල තාර්කිකත්වය හා සුජාතභාවය එම ප්‍රජාව පොදුවේ පිළිගන්නා ආගමික හා සදාචාර මිනුම් දඬු මත සිට තහවුරු කරලීම සඳහාත්, ගොඩනංවා ගන්නා ලද ආඛ්‍යානය” (දේවසිරි 2019: 32). මේ අර්ථයෙන් ගත් කල, බොහෝ ඉතිහාසඥයන් විචාරශීලීත්වයකින් තොරව පුනරුච්ඡාරනය කරනා ඉහත සඳහන්කළ ආඛ්‍යාන අනුරාධපුර පාලන ප්‍රභූතන්ත්‍රය සුජාත කරලීම උදෙසා ගොඩනැගූ ආඛ්‍යාන බවට දේවසිරි තර්ක කරයි.

තුන්වන පරිච්ඡේදය අවධානය යොමු කරනුයේ 70 දශකයේ අගභාගයේ සිට ප්‍රචණ්ඩ ආකාරයෙන් ක්‍රියාත්මක වුනු ජනවාර්ගික ගැටුම ලංකා ඉතිහාස කතිකාවට බලපෑම් කල ආකාරයයි. මෙහිදී වෘත්තීයමය විශේෂඥභාවයකින් යුතුව ඉතිහාසය ලියන්නෙකු වෙනුවට සිංහල බෞද්ධ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටිනා ඉතිහාසඥයන් “සැබෑ ඉතිහාසඥයන්” ලෙස සිංහල ජාතිකත්ව කතිකාව තුළ නාමකරණය වන ආකාරයත්, ඒ වෙනුවෙන් ලියන ඉතිහාසය “සැබෑ ඉතිහාසය” වන ආකාරයත් මනාව පෙන්වයි. ඊනියා සැබෑ ඉතිහාසඥයා පිළිබද කාරණයේදී සිංහල වාර්ගික අභිලාෂ සංතෘප්ත කරන ආකාරයෙන් ඉතිහාසය නොලියූ කේ. එම් ද සිල්වා, එම වකවානුවේදී සැබෑ ඉතිහාසඥයෙකු ලෙස සිංහල ජාතිකත්ව කතිකාව විසින් නොසැලකූ අතර, ඔහු සිංහල වාර්ගික අභිලාෂවලට සමපාතව ලියා, 1987දී ජනවාර්ගික අධ්‍යයන සඳහා වූ අන්තර්ජාතික කේන්ද්‍රය විසින් පලකරන ලද Separatist ideology in Sri Lanka: A Historical Appraisal of the Claim for the “Traditional Homelands” of the Tamils of Sri Lanka නම් රචනයත් සමග වේගයෙන් සැබෑ ඉතිහාසඥවරයෙක් ලෙස සිංහල ජාතිකත්ව කතිකාවට ඇතුලත් කර ගන්නා ලදී. එසේම, 1983 ජූලි කෝලාහලවලින් පසුව සිදුවන සිංහල – දෙමළ අනන්‍යතා ප්‍රතිනිර්මාණය කරගැනීමේ ක්‍රියාවලිය හා සමගාමීව, අතීතය ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලීම වැදගත්ය. මෙහිදී දිවයිනේ මුල් පදිංචිකරුවන් පිළිබද ගැටලුවේදී දෙමළ කියාපෑම්වලට එදිරිව සිංහලයා යනු උතුරු ඉන්දියාවේ සිට පැමිණි ආර්ය වංශිකයෙක් යන අදහස ප්‍රවර්ධනය විය. එසේම, 1987දී සිදුවූ ඉන්දීය හමුදා-දේශපාලනමය මැදිහත්වීම හේතු කොට ගෙන, සිංහල ජාතික කතිකාව තුළ සිදුවූ ඉන්දීය විරෝධය හේතුවෙන් උතුරු ඉන්දීය ආර්ය වංශික අනන්‍යතාවය විවේචනය කිරීම සහ ඒ වෙනුවට ඊට පෙර ප්‍රතික්ෂේප කරන ලද හෙළ හවුල් සම්ප්‍රදාය අනුව යමින් රාවණ සහ යක්ෂ ගෝත්‍රය සිංහල ජාතිකත්ව කතිකාවට අන්තර්ග්‍රහණය කරගැනීම ද තෙවන පරිච්ඡේදයෙන් සාකච්ඡා වේ.

සිව්වන පරිච්ඡේදය කොටස් දෙකකින් සමන්විත වේ. පළමු කොටස ඉහත පරිච්ඡේදයේ සාකච්ඡා කල ආකාරයේ ‘සැබෑ ඉතිහාසයක්’ නියෝජනය කරන්නේය යනුවෙන් සිංහල බෞද්ධ කතිකාව තුළ වරනැගී ඇති අබා චිත්‍රපටිය පිළිබඳව සාකච්ඡා කෙරේ. එහිදී මූලික වශයෙන් අවධාරණය කරනුයේ, අතීතය පරිකල්පනය කිරීමේදී වර්තමානය කුමනාකාරයෙන් බලපෑම් කරන්නේද යන්නයි. අබා චිත්‍රපටිය මගින් කතා කරනුයේ පණ්ඩුකාභය නම් මිත්‍යා ප්‍රබන්ධයේ මුල් අවධිය වන අතර, නැටුම් හා ගැයුම් වැනි චිත්‍රපට ශානරීය ලක්ෂණ කතාවට ඇතුලත් කර තිබීම මෙන්ම මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයාගේ තිබෙන විවිධ අගතීන් චිත්‍රපටිය පුරා දකින්නට ලැබීම සාකච්ඡා කරයි. මෙම සාකච්ඡාව වැදගත්වන්නේ,  ශානරීය ලක්ෂණ සහ අධ්‍යක්ෂකවරයාගේ අගතීන් හරහා අතීතය පරිකල්පනය කිරීමට කුමනාකාරයෙන් බලපෑමක් එල්ලවන්නේද යන්න තේරුම් ගැනීමටය.  දෙවන කොටස මූලික වශයෙන් ලංකා ඉතිහාසය පිළිබඳ අධිපති කතිකාව නිර්මාණය වීම සඳහා සිංහල ජනවර්ගය තුළ පවතින මනෝබාවයන් පිළිබඳ සාකච්ඡා කරයි. මෙහිදී මූලික වශයෙන් වස්තු-විෂය බවට පත්වන්නේ සිංහල බෞද්ධ ප්‍රජාව පිටතින් එල්ලවෙන බලපෑම් නිසා විනාස වේ යන “පරිකල්පිත බිය” හේතුකොට ගෙන ඇති වන සුලුතර මානසිකත්වයයි.

දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයෙන් 16, 17 සහ 18 සියවස්වල බටහිර තෙත් කලාපයේ ගැමි ගොවි සමාජ සැකැස්ම පිළිබද විමර්ශනයක් පස්වන පරිච්ඡේදය තුළ අන්තර්ගතය. මෙහිදී සිංහල බෞද්ධ අධිපති කතිකාව තුල ගැමි ගොවි ජන ජීවිතය පිළිබඳ තීරණාත්මක කාර්යක් කලා යැයි උත්කර්ශයට නංවන ගම යන ඒකකය අතික්‍රමණය කරමින්, දේවසිරි තල 4ක් ඔස්සේ ගැමි ගොවි ජන ජීවිතය නිරාවරණය වන පුළුල් අවකාශයක් පිළිබඳ විස්තර කරයි. එමෙන්ම ඔහු අතිරික්ත උද්ධරණය උපරිම කරගැනීම උදෙසා ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගම (වී.ඕ.සී. සමාගම)  ගත් පියවර හේතු කොට ගෙන, ගැමි ගොවි සමාජයේ ඇතිවූ ව්‍යුහාත්මක වෙනස්කම් සාකච්ඡා කරයි.

හය වන පරිච්ඡේදය දෙමළ නිජභූමි සංකල්පය පිළිබඳව විමර්ශනයක නියැලේ. ලංකාවට සිංහල බෞද්ධ ජාතිකත්වයේ උරුමය කියා පෑම හා සමාන්තරව, දෙමළ ජාතිකත්වයද උරුමකම් කියා පෑම සිද්ධ වන අතර, මෙම මුල් උරුමයන් කියා පෑම සඳහා භාවිතා වන මිත්‍යා ප්‍රබන්ධවලට විශාල වටිනාකමක් ලැබේ.  මෙහිදී එක් ජනවර්ගයක් අනෙක් ජනවර්ගයේ මිත්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් විවේචනාත්මකව බැලීම නිරන්තරයෙන් සිදුවන දෙයකි. දේවසිරි මෙම ප්‍රවේශයෙන් බැහැරව, දෙමළ මිත්‍යා ප්‍රබන්ධ පිළිබඳව සාකච්ඡා කරන්නේ සිංහල මිත්‍යා ප්‍රබන්ධ සමඟ සමපාතවය. මෙහිදී ඔහු නිවැරදිව පෙන්වා දෙන්නේ, එක් ජාතිකත්වයක මිත්‍යා ප්‍රබන්ධයක් පමණක් ගෙන සාකච්ඡා කිරීම හරහා සිදුවන්නේ ඊට පසමිතුරු ජනවර්ගයේ මිත්‍යා ප්‍රබන්ධයන්ට සුජාතකරණයක් ලැබීම බවයි.

මුල් යටත්විජිත ලංකා ඉතිහාසය පිළිබඳ අධිපති කතිකාව වෙත හත්වන පරිච්ඡේදය අවධානය යොමු කරයි. මෙහිදී මූලිකව සාකච්ඡා කරනුයේ, අධිපති කතිකාව තුළ නිරන්තරව භාවිතා වෙන ‘අපිට එරෙහිව ඔවුන්’ නම් දෙබෙදුමයි. මෙහිදී ‘අපි’ යනුවෙන් හදුන්වන්නේ ස්වදේශිකයන් වන අතර, එමගින් එන වර්තමාන හැඟවුම වන්නේ සිංහල බෞද්ධ ප්‍රජාව යන්නය. ‘ඔවුන්’ යනු මෙහිදී බටහිර ආක්‍රමණිකයන්ය. මෙම අප සහ ඔවුන් යන සරල දෙබෙදුම ප්‍රශ්න කරන දේවසිරි පෙන්වා දෙන්නේ, මෙම යුගය ශ්‍රී ලංකාව නම් වර්තමාන ජාතික රාජ්‍යය හරහා තේරුම් කිරීම අසීරු බවයි. එනම්, නූතන ජාතික රාජ්‍ය ආකෘතිය අතික්‍රමණය කරමින් ඔහු පෙන්වා දෙන්නේ 16, 17 හා 18 සියවස්වලදී ලංකාවේ බටහිර වෙරල තීරය ආසන්න ප්‍රදේශවල ජීවත්වූ ජනතාව සහ දකුණු ඉන්දීය වෙරළබඩ ජනතාව අතර තිබූ සබදතාව ලංකාවේ බටහිර ප්‍රදේශවල ජනතාව සහ ලංකාවේ අභ්‍යන්තරයේ සිටි ජනතාව හා ගත්විට ආර්ථික, සමාජීය සහ සංස්කෘතික කාරණා අතින් වඩා සමීප සම්බන්ධතාවක් පෙන්නුම් කරන බවයි.

අටවන, එනම් අවසාන පරිච්ඡේදය ජනවාර්ගික ගැටුම හේතු කොට ගෙන බුද්ධාගමේ සිදු වූ ගුණාත්මක වෙනස් වීම් සහ බුදුන් වහන්සේ වදාළ ධර්මය වසර 2500ක කාලයක් අඛණ්ඩව පැවත ගෙන එනවාය යන අදහස කැටිකරගත්, ‘නිර්මල බුදුදහම’ නම් වර්තමාන කතිකාවේ පවතින ඛණ්ඩන සාකච්ඡා කෙරේ. එහිදී වර්තමාන බෞද්ධ ජීවීතයේ අවියෝජනීය අංග වන මහජන අවකාශය සහ රාජ්‍යතන්ත්‍රය පසුගිය කාලයේදී බෞද්ධකරණයවීම, බෞද්ධ නොවන කණ්ඩායම් කෙරෙහි වන ආක්‍රමණශීලී ප්‍රවේශය සහ සම්භාව්‍ය බෞද්ධ ඉගැන්වීම්වල එන අවිහිංසාවාදය වැනි උසස් ප්‍රතිමාන සිංහල බෞද්ධ ජනජීවිතයෙන් ඈත්වීම යන කාරණා ජනවාර්ගික යුද්ධය හේතු කොට ගෙන තීව්‍ර වීම සාකච්ඡා කෙරේ. එමෙන්ම, නිර්මල බුදුදහම ලෙස වර්තමානයේ ජනප්‍රිය ලෙස නාමකරණය කරන ලද බුද්ධාගමේ නිර්මලත්වය ඛණ්ඩනය වන ඓතිහාසික සංසිද්ධීන් සහ වර්ධනයන් ද සාකච්ඡා කෙරේ. එනම්, බුදුන් වදාළ ධර්මය සංගෘහිත කරන ලද පලවන ධර්ම සංගායනාව තුළ ධර්මය සංගෘහිත කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ ධර්මයේ නිර්ව්‍යාජත්වයට (authenticity) සිදු විය හැකි බලපෑම පිළිබදව හා පැරණි ලංකාවේ බුදු සසුන තුළ භික්ෂූන් ප්‍රභූ සංස්ථාවක් ලෙස ස්ථාපිතවීම යන කරුණු සාකච්ඡා කරයි.  
 
ඉහත දැක්වූ ආකාරයට, මෙම කෘතියේ සෑම පරිච්ඡේදයක්ම වෙන් වන්නේ ලංකා ඉතිහාසය පිළිබඳවූ අධිපති කතිකාවේ ඇති ප්‍රශ්නකාරී බව විශ්ලේෂණය කිරීමටය. මෙහිදී මෙම පරිච්ඡේද පුරාවටම ‘මිත්‍යා ප්‍රබන්ධ’ යන සංකල්පය කේන්ද්‍රීය ලෙස අපට විවිධ ආකාරයෙන් හමු වේ. ඉහතින් දක්වා ඇති පරිදි, මිත්‍යා ප්‍රබන්ධ යනු ඉතා සරල ලෙස කියන්නේ නම්, යම් ප්‍රජාවක් තම පැවැත්ම සුජාතකරණය කිරීම උදෙසා නිර්මාණය කරනා ආඛ්‍යානයන්ය. මෙහිදී ජනප්‍රිය ඉතිහාස කතිකාව මෙම මිත්‍යා ප්‍රබන්ධ ආඛ්‍යානයනවල අන්තර්ගතය (content) අතීතය තත්කාලීන සිංහල බෞද්ධ දෘශ්ටිවාදයට අනුකූල වන ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීමට යොදා ගැනේ. නමුත් එහීදී එම කතිකාව විසින් අමතක කරන දෙය වන්නේ, මෙම මිත්‍යා ප්‍රබන්ධයන්හි අන්තර්ගතය සකස් වන්නේ එහි ආකෘතියට (form) අනුරූපව බවයි. මෙහිදී දේවසිරි පෙන්වා දෙන්නේ, යමෙක් මෙම මිත්‍යා ප්‍රබන්ධවල අන්තර්ගතයේ යම් යම් කොටස්වල වාස්තවික සත්‍යයක් ඇතැයි යන්න ඔප්පු කලද, එමගින් මිත්‍යා ප්‍රබන්ධයට හානියක් සිදු වන්නේ නැති බවයි. උදාහරණයක් වශයෙන්, හයවන පරිච්ඡෙදයේ සාකච්ඡා කරන අන්දමට, මහින්දාගමනය යන්න සත්‍ය වශයෙන්ම සිදුවුවා යැයි යමෙක් පුරාවිද්‍යා සාක්ෂි මත පදනම්ව ඔප්පු කලද, එමගින් ක්‍රි.පූ 3 වන සියවසේදී ලංකාවට බුද්ධාගම හදුන්වාදීම යන සංසිද්ධිය පැහැදිලි කළ නොහැක. මක්නිසාද යත්, එම කාලයට අයත්වන පුරාවිද්‍යා සාක්ෂිවලට අනුව, ලංකාව පුරාම භික්ෂූන් විසිර සිටි බවත්, ඔවුන්ට එම ප්‍රදේශවල ජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබුනු බවත් පෙනෙන්නට තිබෙන අතර, එය මහින්දාගමනය නම් මිත්‍යා ප්‍රබන්ධය යෝජනා කරන ආකාරයේ සරල ලෙසකින් සිදු වූවා යැයි සිතීම තාර්කික නොවේ. නමුත් මෙම මිත්‍යා ප්‍රබන්ධයේ මූලික කෘත්‍යය (function) වන්නේ, ලංකාවට  බුද්ධාගම හදුන්වාදීම සහ ව්‍යාප්තවීම පෙන්වාදීමට නොව, අනුරාධපුර පාලක ප්‍රභූන් සහ භික්ෂු සංස්ථාව අතර පැවති සමීප සම්බන්ධතාව සුජාතකරණය කිරීමයි. මිත්‍යා ප්‍රබන්ධයක ආකෘතිය සහ කාර්යභාරය පිළිබඳ සමකාලීන උදාහරණයක් ලෙස සිව්වන පරිච්ඡේදයේ සාකච්ඡා කරන අබා චිත්‍රපටය ද මෙහිදී ඉතා වැදගත් වේ.

දේවසිරි මිත්‍යා ප්‍රබන්ධයන් පිළිබඳව කෘතිය පුරාවට කරන සාකච්ඡාව ජාතිකවාදී ඉතිහාසකරණයේ නියැලෙන්නන්ට තමන් අතීතය සම්බන්ධයෙන් කරමින් සිටින දෙය සම්බන්ධයෙන් ස්වයං-විචාරයකට ලක්වීමට අවශ්‍ය ඉඩ ලබා දේ. එනම්, මෙම කෘතිය පුරාවට ජාතිකවාදී ඉතිහාසය සම්බන්ධයෙන් මතු කරන ඉතා වැදගත්ම ප්‍රශ්නය වන්නේ, වර්තමානය අතීතය ප්‍රතිනිර්මාණය කරන ක්‍රියාවලියට මොනතරම් බලපෑමක් කරන්නේද යන්නයි. ඉතිහාසකරණය සම්බන්ධයෙන් අන්තර්ජාතිකව සිදුවී ඇති වර්ධනයන් පිළිබඳ දැනුවත් පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම මෙම කරුණ පිළිබඳව ඉතාම සවිඥානික වනු නොඅනුමානය. එනිසා, අතීතය මත වර්තමානය කරන බලපෑම සම්පූර්ණයෙන්ම අහෝසි කල නොහැකි බව ඔහු/ඇය නිසැකවම දන්නා නිසා, එම බලපෑම අවම කිරීමට අවශ්‍ය න්‍යායාත්මක සහ ක්‍රමවේදී දැනුම වැඩි දියුණු කරගැනීමේ නිරන්තර උත්සාහයක ඔවුන් යෙදෙනු ඇත. එසේත් නැතිනම්, ලූසියන් ෆේව්ර සදහන් කල ආකාරයට, ඉතිහාසඥයන්ට අදාල “සියලුම පාපයන්ගෙන් අග්‍රගණ්‍ය වූ පාපය” නැතිනම් “සමාව දිය නොහැකි පාපය” (රැන්සියේ 2015: 21) වන කාලවිරෝධය (anachronism) යන උභතෝකෝටිකයේ පැටලීම නොවැලැක්විය හැකි තත්වයකි. කාලවිරෝධය යනුවෙන් මෙහිදී හදුන්වන්නේ, යම් කාලයකට අයත් දෙයක් වෙනත් කාලයකට ඇතුලත් කිරීමයි. දේවසිරි මෙම කෘතිය පුරාවට පෙන්වා දෙන්නේ, ලංකාවේ ඉතිහාසකරණයේ නියැලෙන්නන්ගෙන් අතිමහත් බහුතරයක් කාලවිරෝධය නම් ‘පාපය’ සිදු කරන බවයි. එනම්, වර්තමානයේ තිබෙන අදහස්, සංකල්ප, මතවාද ඒ ආකාරයෙන්ම අතීතයට ආදේශ කිරීමයි. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, ආරම්භයෙදීම පෙන්වා දුන් පරිදි, ඉතිහාසය යන්න ශ්‍රී ලංකාව නම් ජාතික රාජ්‍යය ගොඩනැංවීමේ මෙවලමක් ලෙස භාවිත වන අතර, එහිදී අතීතය පරිකල්පනය කරන්නේ නූතන සංසිද්ධියක් වන ජාතික රාජ්‍යය නම් සංකල්පය තුල සිට බවයි. එනම්, ජාතික රාජ්‍යය නම් සංකල්පය නොතිබූ අතීත කාල අවකාශයක් ජාතික රාජ්‍යය සංකල්පය හරහා තේරුම් කරගැනීමට යාමේදී ඇතිවන අර්බුදයයි.  

මෙම කෘතියේ මාතෘකාව ලංකාවේ ඉතිහාසය: දෘශ්ටිවාදී විචාරයක් වූවත්, එහි පවතින ප්‍රධාන දුර්වලතාවක් වන්නේ, දේවසිරි දෘශ්ටිවාදය ලෙස තමන් අර්ථකතනය කරන්නේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි හැදින්වීමක් කෘතිය පුරාවට සිදු නොකිරීමයි. අවස්ථා කිහිපයකදී ඔහු දෘශ්ටිවාදය යනුවෙන් භාවිතා කරනුයේ ලුයී අල්තූසර්ගේ සංකල්පගත කිරීම බව සදහන් කලද එම සංකල්පයේ සංකීර්ණත්වය හේතු කොට ගෙන, ඒ පිළිබඳ කෙටි සටහනක් ඔහුගේ ප්‍රධාන හැදින්වීමේදී කර තිබුනේ නම්, පාඨකයාට මෙම කෘතියේ අන්තර්ගතය හා වඩාත් පහසූවෙන් අභිමුඛ වීමේ හැකියාවක් තිබුනි. මෙම කාරණය වැදගත් යැයි මා සලකන්නේ දර්ශනය, දාර්ශනික සංකල්ප හා සමාජ න්‍යාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රලයීය කතිකාවේ දැනට පවතින අතිවිශාල දරිද්‍රතාව සැලකිල්ලට ගෙනය.

ආරම්භයේදී සදහන් කල පරිදි, මෙම කෘතිය දේවසිරි 90 දශකයේ සිට මෑතක් වන තුරු විවිධ මාතෘකා අරභයා ලියන ලද ලේඛනයන්ගෙන් සහ කරන ලද සම්මුඛ සාකච්චාවලින් සමන්විත වන නිසා, ඇතැම් කරුණු සහ අදහස් නැවත නැවත ඉදිරිපත් වීම නොවැලැක්විය හැකි දෙයකි. නමුත් එමගින් කෘතියේ ගලා යෑමට කිසිදු බාධාවක් ඇති නොවන්නේ, එකම දේ නැවත ඉදිරිපත් වුවද එය සිදුවන්නේ විවිධ තේමාවන් ඔස්සේ වීම නිසාය. මෙමගින් සිදුවන ධනාත්මක දෙයක් වන්නේ, නව ප්‍රවේශයකින් ලියා ඇති ඉතිහාස විචාරයන් ග්‍රහණය කරගැනීමට සාම්ප්‍රදායික ඉතිහාසකරණයේ නිරතවන්නන්ට පහසු වීමයි.

අවසාන වශයෙන් කිවහැක්කේ, 19 ශතවර්ෂයේ යුරෝපය කේන්ද්‍රකර ගෙන වර්ධනය වූණු සහ වර්තමානයේදී යල්පැන ගියා සේ පොදුවේ පිළි ගන්නා විද්‍යාත්මක ඉතිහාසකරණ ගුරුකුලයේ අදහස්වල හිරවී සිටින ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ ජනප්‍රිය කතිකාවට මෙම කෘතිය මගින් මග හැර යා නොහැකි ආකාරයේ විවේචනයක් සිදු කරන බවයි. එනම්, ලංකා ඉතිහාසය ජාතික රාජ්‍යය නිර්මාණය කර ගැනීමේ ව්‍යාපෘතියේ කේන්ද්‍රීය සටන් භුමියක් වීම හේතු කොට ගෙන, ඇතැම් සිද්ධි විචාරයකින් තොරව එපරිද්දෙන්ම භාරගැනීමේ ප්‍රවණතාවයක් පවතින මොහොතක, දේවසිරි මෙම කෘතිය හරහා එම සිද්ධි නූතන අන්තර්ජාතික දැනුම් පද්ධතියේ වර්ධනය වී ඇති යම් යම් විචාරපූර්වක සංකල්ප ඔස්සේ දැඩි විවේචනයකට බදුන් කිරීමයි. එමගින් අතීතය පරිකල්පනය කිරීමේ පවත්නා බැරෑරුම් බව ලංකාවේ ඉතිහාසකරණ ක්‍රියාවලියේ නියැලෙන්නන්ට පෙන්වා දීම මෙම කෘතිය හරහා සිදු වේ. එබැවින්, සමාජීය විද්‍යාවන්ට අදාළව සිංහල භාෂාවෙන් ලියන ලද උසස් ශාස්ත්‍රීය ලේඛනයන්ගේ හිඟතාවයෙන් පීඩා විදින සිංහල පාඨකයාට මෙම කෘතිය නවමු අත්දැකීමක් වනු නොඅනුමානය.

ආශ්‍රිත පඨිත

Lorenz, Chris. 2009.‘Scientific Historiography.’ In, A Companion to the Philosophy of History and Historiography, edited by Aviezer Tucker, 393–403. West Sussex: Blackwell.

Rancière, Jacques. 2015. ’The Concept of Anachronism and the Historian’s Truth’ (English Translation). In, InPrint 3 (1): 21–52.

(චායාරූපය: සසංක පෙරේරා, 2018)

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ පෘතුගීසි යුගය පිලිබඳ කියවීමක්

(Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia. ((වි)සම්බන්ධිත අධිරාජ්‍යය: අධිරාජ්‍යවාදී පෘතුගාලය, ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකත්වය හා ආසියාවේ හැබ්ස්බර්ග් ආක්‍රමණයක නිර්මාණය). සොල්ටාන් බීඩර්මන්. ඔක්ස්ෆර්ඞ්: ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2018. පිටු: 255. ISBN: 9780198823391, doi: 10.1017/S002191181900233X (රෙදි කවරය සහිතව).  ___________ විමර්ශනය: නිරා වික්‍රමසිංහ, ලයිඩන් විශ්වවිද්‍යාලයපරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න (Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia කෘතිය මගින් සොල්ටාන් බීඩර්මන් ගවේෂණය කරන්නේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උඩරට රාජධානියේ සමාජ-සංස්කෘතික අතීතය පිළිබඳ කියවීමක්

Obeyesekere, Gananath. Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our Time (උඩරට රාජධානියේ අනේකවිද පැතිකඩ 1591-1765: අපගේ යුගය සඳහා ගතහැකි පාඩම්). කොළඹ: සේල් ෆිශ් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 195. ISBN 978-955-7743-060-6. මිල: ශ්‍රී ලාංකේය රුපියල් 1, 200.00 (මෘදු කවරය සහිතව). ~ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය ගනණාත් ඔබේසේකර විසින් මෑත කාලීනව ශ්‍රී ලංකාවේ පළකරන ලද කෘති දෙකෙන් නවතම කෘතිය වන්නේ Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තත්කාලින ශ්‍රී ලාංකේය කලා භාවිත ඔස්සේ ජෝර්ජ් කීට් කියවීම

Buddha to Krishna: Life and Times of George Keyt (බුදුන්ගේ සිට ක්‍රිශ්නා දෙවිදුන් කරා: ජෝර්ජ් කීට්ගේ ජීවිතය සහ යුගය). යශෝධරා දල්මියා. නව දිල්ලිය: රව්ට්ලෙජ්, 2017. පිටු: 216. ISBN 978-1-138-03814-1. මිල: ඉන්දියානු රුපියල් 795.00 (ඝන කවරය සහිතව). ___________ විමර්ශනය: අනෝලි පෙරේරා අතිශයන් වැදගත් 20 වන සියවසේ චිත්‍ර ශිල්පියෙකු වන ජෝරජ් කීට් පිලිබඳ යශෝධරා දල්මියාගේ කෘතිය ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් වන්නේ එවැනි පුළුල් බුද්ධිමය උත්සාහයක් ඔහු ජීවත් වූ ශ්‍රී ලංකාවේද බෙහෙවින් විරල බව සැලකිල්ලට ගත් විටය. මා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අනගාරික ධර්මපාල තුමා පිළිබඳ  පුලුල් කියවීමක් 

Rescued from the Nation: Anagarika Dharmapala and the Buddhist World (ජාතියෙන් ගලවා ගත් පසු:  අනගාරික ධර්මපාල සහ බෞද්ධ ලෝකය). ස්ටීවන් කෙම්පර්. චිකාගෝ: චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2015.  පිටු: 368. මිල; අමෙරිකානු ඩොලර් $69.95 (ඝන කවරය සහිතව). ISBN 9780226199078 ___________ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය  ශ්‍රී ලංකාවේ සිංහල හා බෞද්ධ පසුබිමක හැදී වැඩුන අයෙකුට අනගාරික ධර්මපාල තුමා ( 1864-1933) කිසිවිටෙකත් මගහැරිය හැකි චරිතයක් නොවේ.  අප සියලු දෙනාම දෛනික සමාජානුයෝජනය තුළින් මැනවින් ඉගෙනගෙන ඇති පරිදි, එතුමා ශ්‍රී…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල ගීතයේ හා කාව්‍යයේ දේශපාලනය

Modernizing Composition: Sinhala Song, Poetry, and Politics in Twentieth-Century Sri Lanka (ගීත නිර්මාණය නවීකරණය කිරීම: විසිවන සියවසේ ශ්‍රී ලංකාව තුළ සිංහල ගීතය, කාව්‍යය හා දේශපාලනය). ගැරට් ෆීල්ඩ්. ඕක්ලන්ඩ්: කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2017. පිටු: 213. ISBN: 9780520294714 (මෘදු කවරය සහිතව). ඇමරිකානු ඩොලර් $34.95. doi: 10.1525/luminous.27   විමර්ශනය: ප්‍රවීන් තිලකරත්න, ඉංග්‍රීසි අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය සිංහල ජනප්‍රිය ගීයේ රසිකයන්ට මෙන්ම එහි ඉතිහාසය, රසාස්වාදය හා විචාර කලාව හදාරන්නන්ට ගීයක පදවල ඇති වැදගත්කම මෙන්ම ගී පද හා කාව්‍යය අතර ඇති සමීප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිලිබඳ සංස්කෘතික වංශාවලියක්

The Politics and Poetics of Authenticity: A Cultural Genealogy of Sinhala Nationalism (නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිලිබඳ සංස්කෘතික වංශාවලියක්). හර්ෂන රඹුක්වැල්ල. යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් මුද්‍රණාලය, 2018. පිටු: 178. ISBN: 978-1-78735-128-8. මිල: පවුම් 35.00 (ඝන කවරය සහිතව); පවුම් 15.00 (මෘදු කවරය සහිතව). කෘතියේ පී.ඩී.එෆ් පිටපතක් මේ පිවිසුම ඔස්සේ නොමිලේ ලබාගත හැක. ___________ විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය ජාතිකත්වය, ජාතිකවාදය, සිංහල බෞද්ධ ජාතිකවාදය වැනි සංකල්ප ශ්‍රී ලාංකේය අධ්‍යයනික ප්‍රජාවට ආගන්තුක සංකල්ප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොන්ටෙන් මෙයසූ සිංහලෙන් කියවීමේ උත්සාහයක්

පරිමිතත්වයෙන් පසු: අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳ රචනයක්. කොන්ටෙන් මෙයසූ (Quentin Meillassoux විසින් රචිත After Finitude: An Essay on the Necessity of Contingency කෘතියේ සිංහල පරිවර්තනය. පරිවර්තක: වංගීස සුමනසේකර). කොළඹ: තීර්ථ ප්‍රකාශන, 2019. පිටු 360. මිල: රුපියල් 700.00. ISBN 978-955-4940-03-1. ———- විමර්ශනය: රංග මනුප්‍රිය දාර්ශනික කෘතියක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම බොහෝ විට පරිවර්තකයාට, ප්‍රබන්ධ රචනාවක් පරිවර්තනය කරන තරම් පහසු කටයුත්තක් නොවීමට ඇති ඉඩ වැඩිය. අනෙක් අතට, මෙරට දාර්ශනික සාහිත්‍ය පිළිබඳ සුවිශේෂී උනන්දුවක් දක්වන සීමිත පාඨක පිරිසක් හඳුනා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මානව විද්‍යා පෙළපොතක් පිළිබඳ පසුවදන​ක්

Ariyaratne, Ari. Key Concepts of Cultural Anthropology (සංස්කෘතික මානව විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප, ආරී ආරියරත්න). ඩබ්‍යුක්: කෙන්ඩල් හන්ට් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 405. ISBN 978-1-7924-0764-2. මිල: අමෙරිකානු ඩොලර් 120.00 (මුද්‍රිත පිටපත) රැ අමෙරිකානු ඩොලර් 80.00 (විද්‍යුත් පිටපත). ~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය මා මහාචාර්ය ආරී ආරියරත්නගේ Key Concepts of Cultural Anthropology යන මානව විද්‍යා පෙළපොත කියවූයේ එවන් කෘතියක් බොහෝ කලකින් කියවා නැති සංදර්භයක් තුළය. ශාස්ත්‍රීය හා ශාස්ත්‍රාලයීය කතිකා තුළ පෙළපොතක් විමර්ශනය කරන අවස්ථා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සහ උතුරුකරයේ ‘ගෙදර’ පිලිබඳ හැඟීම

In My Mother’s House: Civil War in Sri Lanka (මගේ මවගේ නිවසේ: ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය). ශාරිකා තිරාණගම. ෆිලඩෙල්ෆියාව: පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2011. පිටු 296. ISBN: 9780812222845. මිල: අමෙරිකානු ඩොලර් 29.95 (මෘදු කවරය සහිතව). විමර්ශනය: දියෝතිමා චත්තෝරාජ්, රුඅර් විශ්වවිද්‍යාලය, ජර්මනියපරිවර්තනය: හිරණ්‍යදා දේවසිරි ___________ උතුරේ ශ්‍රී ලාංකික දෙමළ සහ මුස්ලිම් ජනයා අතර ‘ගෙදර’ (home) යන්නට ලැබෙන ප්‍රතිවිරුද්ධ අර්ථ සමග මෙම කෘතිය සවිස්තරාත්මකව ගනුදෙනු කරයි. තිරාණගම මෙහිදී නිරූපණය කරන්නේ, යමෙකුගේ ගෙදර (ur,18 පිටුව) පිළිබඳව දැනගත හැකි දෑ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

18 වන සියවසේ ඕලන්​ද යටත්ත්විජිත ජීවිතය පිළිබඳ විචාර පූර්වක කියවීමක්

van der Velde, Paul (Transalted by Lisbeth Bennik. Life Under the Palms: The Sublime World of the Anti-colonialist Jacob Haafner (පෝල් වැන්ඩර් වෙල්ඩ් [පරිවර්තනය: ලිස්බෙත් බෙනික්], පොල් සෙවණේ ජීවිතය: යටත් විජිත විරෝධී ජාකොබ් හාෆ්නර් ගේ උත්කෘෂ්ට ලෝකය). සිංගප්පූරුව: සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 2020. පිටු 200. මිල: සිංගප්පූරු ඩොලර් 24.00. ISBN: 978-981-3250-82-6 විමර්ශනය: අනුශ්කා කහදගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය Life Under the Palms යන මෙම කෘතිය  ජාකොබ් හාෆ්නර් නම් ජර්මානු සම්භවයක් සහිත ඕලන්ද ජාතික සංචාරකයාගේ…
වැඩි විස්තර පරිශීලනයට