අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්

~ බූපති නලින් වික්‍රමගේ

අප්‍රේල් සිදුවීම් සිදුවෙමින් පවතී. නිසැකවම මෙය ලංකාවේ දේශපාලන සංධිස්ථානයකි. ඒ අර්ථ කීපයකිනි. ඉන් එකක් ඊනියා නිදහසින් පසු ලංකාවේ බිහිවූ ශක්තිමත්ම දේශපාලන දෘෂ්ටිවාදයක් සහිත රාජපක්ෂ බල-හවුල බරපතළම දේශපාලන අභියෝගයකට ලක් වූ අවස්ථාව වීමයි. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ව්‍යාපෘතියකට පරාජය කල නොහැකිව තිබූ රාජපක්ෂ දේශපාලනය තීරණාත්මක අභියෝගයකට ලක් වී ඇත. මෙය ඉබේ සිදු වූවක්ද? නැතහොත් ස්වයං මහජන? නැගිටීමක්ද? 

එසේම 2022 අප්‍රේල් වනවිට ලංකාව කෙදිනකවත් මුහුණ නොදුන් බරපතළ දේශපාලන – ආර්ථික අර්බුදයකට අභිමුඛ වී ඇත. එය අවම ලෙස හෝ ‘ කළමනාකරණය ‘ කිරීමට ද රාජපක්ෂ පවුල මූලික පොහොට්ටු පක්ෂ ආණ්ඩුවට නොහැකි වී ඇත. මේ නොහැකියාව අප වටහාගත යුත්තේ කෙසේද ? 

අප දේශපාලනයෙන් ප්‍රශ්න ඇසිය යුතුමය. එහෙත් ඒ ප්‍රශ්න, හුදු ප්‍රශ්න නොවී මූලධාර්මික ප්‍රශ්න විය යුතුය. මූලධාර්මික ප්‍රශ්න ඇසීමට මූලධාර්මික දේශපාලන ප්‍රශ්න මොනවාදැයි අවබෝධයක් තිබිය යුතුය. සියලු ප්‍රශ්න මූලධාර්මික ප්‍රශ්න නොවේ. නමුත් ප්‍රශ්න අසා එතැනින් නොනැවතිය යුතුය. මන්ද මූලධාර්මික ප්‍රශ්න සදහා සදානිමකල ඉක්මන් පිළිතුරු නොතිබිය හැක. මූලධාර්මික ප්‍රශ්න සදහා වෙහෙසකර උත්සාහයකින් පිළිතුරු සෙවිය යුතුය. වෙහෙසකර උත්සාහයකින් පිළිතුරු නිර්මාණය කළ යුතුය. දේශපාලනික ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නා ද වෙනස් විය යුතුය. ලංකාවේ අප්‍රේල් නැගිටීම් ‘දේශපාලන අරගලයක්’ බවට පත්කිරීමට සිදුකරන මැදිහත්වීමක ආරම්භය යනු මෙවන් ප්‍රශ්න අප අපගෙන්ම අසා ගැනීමයි. නැතිනම් ඉතා කෙටිකලකින් ආපසු හැරී බලන විට මිනිසුන් විශාල වශයෙන් පාරට පැමිණීම හෝ ගෝඨාභය ගෙදර යැවීම වුව ද හුදු උද්ඝෝෂණ රැල්ළක් ලෙස පමණක් ඉතිහාසගත විය හැක. එසේ නොවී උද්ඝෝෂණ ‘ දේශපාලන අරගලයක්’ බවට පරිවර්තනය කිරීම යනු කුමක්ද? System change යනු කුමක්ද? 

දේශපාලනය ඕපපාතිකද? එනම් ඉබේ සිදුවන දෙයක්ද? නැත්නම් ස්වයං සිද්ධිවාචිකද

ලංකාවේ නූතන දේශපාලන අරගල ඉතිහාසය සලකන විට නිසැකවම 2022 අප්‍රේල් නැගිටීම් යනු මංසන්ධියකි. මන්ද මෙතරම් ජනකායක් සෘජු දේශපාලන පක්ෂයක් හෝ මතයක් නියෝජනය නොකරමින් වීදි උද්ඝෝෂණයක් සදහා පාරට බැස්ස ප්‍රථම අවස්ථාව මෙයයි. පළමුවම මේ දක්වා එහි තීරණාත්මක සිදුවීම් පෙළගැස්ම සලකුණු කරගමු. 

* 2022 අප්‍රේල් 1 වෙනි සිකුරාදා රාත්‍රී මිරිහාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණය. 

* ඇදිරිනීතිය ද නොතකා අප්‍රේල් 3 ඉරිදා රටපුරා උද්ඝෝෂණ රැල්ළක් දියත් වීම. 
 
*  Gota Go Home ලෙස නම් වූ එම උද්ඝෝෂණ අඛණ්ඩව සතියක් මේ දක්වා සංවිධානය වීම.

* පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අවශ්‍ය බහුතරය පිළිබඳව අර්බුදයක් මතුවීම. 

* මෙහිදී ආණ්ඩුව මගින් ද මර්දිත ප්‍රහාර එල්ල කිරීම්,  අත්අඩංගුවට ගැනීම්, පොලීසිය හා හමුදාව අතර ආතතියක් ඇතිවීම්, දේශපාලඥයන්ගේ නිවෙස් වැටලීම් හා ප්‍රහාර එල්ල කිරීම් ආදිය මේ දක්වා කැපීපෙනෙන ලෙස සිදුවිය. 

අප්‍රේල් සිදුවීම් සදහා මේ වනවිට සතියක් ගෙවී හමාරය. මේ උද්ඝෝෂණ සදහා මෙතුවක් සහභාගි වූ සමාජ නියෝජන සංයුතිය කෙවැනිද? මෙහි ආරම්භක මූලිකත්වය ගත්තේ නාගරිම මධ්‍යම පංතියයි. අප්‍රේල් පළමුවෙනි සිකුරාදා ඇරඹි උද්ඝෝෂණයෙන් සතියක් ගෙවෙන විට දැන් මේ මහා උද්ඝෝෂණ සදහා විවිධ සමාජ ස්ථර එක් වී ඇත.

වට්ස්ඇප් කණ්ඩායම් හරහා අප්‍රේල් තුන්වැනිදා මහා විරෝධතා සදහා නිර්නාමික ආරාධනයක් ඉතා විධිමත්ව සංසරණය විය. ඒ පිටුපස දේශපාලනය හුරුපුරුදු ඉවක් ඇති බව නිරීක්ෂණය කල හැක. බොහෝවිට වට්ස්ඇප් හරහා ආරම්භ වූ මේ උද්ඝෝෂණ රැල්ළ අවසන් විය හැකි සරළ අවසානය වන්නේ මීලඟ අපේක්ෂකයාට පාර කැපීමකිනි. යහපාලන ආණ්ඩුව මෙන් තවත් ආණ්ඩුවක් බිහිකිරීමෙන් අප්‍රේල් නැගිටීම් කෙළවර වේද? එසේ නොවීමට නම් බැලූ බැල්මට මේ නායකත්වයක් නැති උද්ඝෝෂණ රැල්ළ සංවිධානය වියයුතු ආකාරය ගැන කිසිවෙකුට හො සංවිධිත විකල්ප අදහසක් ඇත්ද? ඇතත් දැන් එය ක්‍රියාවේ යෙදවීමට වීදිබට ඊනියා මහජනයා ඉඩදේද? මේ නිර්දේශපාලනික අධිපති දෘෂ්ටිවාදය කරපින්නාගත් උද්ඝෝෂණ වල දේශපාලන ඉලක්කය කුමක්ද? දැන් අප සටහනේ මුල මතක් කරගමු. දේශපාලනය ඕපපාතිකද? 

දේශපාලන විශ්ලේෂණයකදී අප නැවත නැවතත් මතක තබා ගත යුත්තේ සිදුවෙමින් පවතින්නක් සම්පූර්ණ විග්‍රහයකට ලක්කල නොහැකි අහඹු ගුණයයි. එනම් සරළව කියතොත්  මේ උද්ඝෝෂණ රැල්ළ හරහා ඕනෑම දෙයක් සිදුවිය හැක. මෙහිදී නැවතත් අප හමුවට මුල් මූලධාර්මික ප්‍රශ්නය අභිමුඛ වේ. දේශපාලනය යනු දේවල් ඉබේ වෙන්න දී බලා සිටීමද? නැත්නම් දැනුවත් මැදිහත්වීම්ද?


මෙවන් ජනනැගිටීමක ගණනය කිරීමට අසීරුම කරුණක් වන්නේ මේ අරගලයට දායක වන ජනයාගේ දේශපාලන විඤ්ඤාණයයි.එක් අතකින් චන්ද්‍රිකාට පසු ලංකාවේ ඉහළම දේශපාලන අභිලාෂයන් සමග පත් වූ ජනාධිපති ගෝඨාභයයි. අභිලාෂයන් ඉහළ නිසාමත් අර්බුදය ගැඹුරු නිසාමත් ප්‍රතිචාර ද අනපේක්ෂිත වී ඇත. නමුත් මේ ප්‍රතිචාරය කුමක්ද? ප්‍රතිචාර දක්වන්නෝ කව්ද? උදාහරණයකට මේ පාරට බැස්ස අය අතර රාජපක්ෂවාදයේ හිණිපෙත්ටම ගිය ජාතිවාදීන් ද ඇත. ඔවුන් තීරණාත්මක දේශපාලන පරිවර්තනයකට ලක් වී ඇත්ද? 

මීට පෙර වෘතීය සමිති හෝ ශිෂ්‍ය ව්‍යාපාරය වැනි දේශපාලන කණ්ඩායම් මහපාරේ අරගල කරද්දී ඒ අරගල නිසා ” ගෙදර යන්න පරක්කු වෙනව ” කියා නාහෙන් ඇඩූ නාගරික මධ්‍යම පංතිය ද මේ අප්‍රේල් නැගිටීමේ ගාමක බලවේගයකි. ඔවුන්ට දැන් කීයක් වියදම් කරලවත් ගන්න ගෑස් හෝ ඉන්ධන නැත. ඔවුන් කුමන සමාජ පංතියකට අයත් වුව ද විදුලි අර්බුදය නිසා කළුවරේ රස්නෙන් ඉන්නට සිදු වී ඇත. ඔවුන්ගේ ආදායම් මාර්ග බරපතළ ලෙස කප්පාදු වී ඇත. ඩොලර් අර්බුදය නිසා අන්තර්ජාලය වැනි නව මාධ්‍ය හරහා සිදුකල අනේකවිධ වෙළදාම් සම්පූර්ණයෙන්ම අඩපන වී ඇත. 2019 පාස්කු ප්‍රහාරය හා 2020 කොවිඩ් වසංගතය හරහා බිදවැටී තිබූ ආර්ථිකය දැන් කෙලවරකට පැමිණ ඇත. මෙය තවදුරටත් කිසිසේත්ම ඊනියා ‘සාමාන්‍ය තත්ත්වයක්’ නොවේ. එනිසාවෙන් මිනිසුන්ට ජාතිවාදී වන්නටවත් වෙලාවක් නැත. ” බඩ ගැන නෙවේ , රට ගැන හිතන්න” කියූ සිංහල – බෞද්ධ සටන්පාඨය හරහා භෞතීස්ම කල ගෝඨාභය ජනාධිපතිට දැන් ඔහුගේම රසිකයන් ” ගෝඨා ගෙදර යනු’ කියා ප්‍රසිද්ධියේ කියමින් සිටී. අධිපති දෘෂ්ටිවාදී සටන්පාඨ දැන් නැවත රටෙන් බඩට මාරු වී ඇත. රාජපක්ෂලා බුදුන්ගේ නෑයන් කිරීමට උත්සාහ කල ජැක්සන්ගේ පුත්‍රරත්ණයේ සිට දිලිත් ජයවීර වැනි රාජපක්ෂවාදී වසළ වෙළෙඳ තීරය දක්වා සටන්පාඨය කරට ගෙන ඇත. ට්වීටර් සිට ත්‍රීවිල් පාක් දක්වා ආණ්ඩු විරෝධය උග්‍ර වී ඇත. 

“You messed with the wrong class” (?)

නමුත් මේ කෂණික ආණ්ඩු විරෝධය අපට ‘දේශපාලන අරගලයක් ‘ ලෙස සැලකිය හැකිද? එසේත් නැත්නම් පද්ධති වෙනසක් සදහා වූ අරගලයක් ලෙස නිරීක්ෂණය කළ හැකිද? දැනට පෙනෙනා ලෙසට මොවුන්ගේ දේශපාලන ක්ෂිතිජය ‘රාජපක්ෂවාදයයි’. එනම් රාජපක්ෂ ගෙදර යැවීමට එහා ගිය ගැඹුරු දේශපාලන සටන් පාඨයක් උද්ඝෝෂණකරුවන් හෝ ඉතිරි දේශපාලන නායකත්වයන් මෙතෙක් මේ නැගිටීම් තුළදී ඉදිරිපත් කර නැත. රාජපක්ෂ දේශපාලනය පවුල්වාදයටම ඌණනය වීමෙන් ධනේශ්වර ජාතිකවාදී අර්ථයකින් හෝ ‘පාලකයෙක් ‘ වීමට ගෝඨාභය අසමත් විය. එනිසාවෙන්ම ලංකාවේ මාධ්‍ය ප්‍රාග්ධනය හිමි සමාජ පැළැන්තිය විසින් අප්‍රේල් නැගිටීම් බාධාවකින් තොරව පවුලකට එරෙහි සටනක් ලෙස වීදිගත කිරීමට සමත් වී ඇත. අපි දැන් සරළ ප්‍රශ්නයක් අහමු. අවම වශයෙන් විදුලිය හා ඉන්ධන ලබාදීමට කව්රුන් හෝ සමත් උනොත්, මේ වීදි උද්ඝෝෂණවලට මින් එහා ගිය අර්ථයක් තිබේද ? මිනිසුන් ඉන් පසුවත් පාරට බහීද? සරළ පරිභෝජනවාදයට එහා ගිය දේශපාලන අරුතක් මේ වීදි සටන්වලට ඇතිද? අවම වශයෙන් මේවාට අයෙක් නායකත්වයක් සපයන්නේ නම් ඔවුන්ට ද රාජපක්ෂවාදයට එහා ගිය දේශපාලන අභිලාෂයක් ඇතිද? එසේ තිබිය යුතු නම් ඒ අභිලාශයන් මොනවාද?


දැනට පෙනෙන්නට ඇත්තේ රාජපක්ෂ රෙජීමයේ පංති කළමනාකරණය අවුල් වූ බවකි. අප්‍රේල් නැගිටීම්වල සුප්‍රකට සටන්පාඨය සංශෝධනය කළයුතුව ඇත. ඒ “ඔබ සෙල්ලම් කලේ වැරදි පරම්පරාව එක්ක” නොව “ඔබ සෙල්ලම් කලේ වැරදි පංතිය එක්ක” ලෙසයි. ප්‍රථම වතාවට ලංකාවේ මධ්‍යම පංතිය උග්‍ර පරිභෝජන අර්බුදයකට ලක්වී ඇත. අවසනාවට ඒ අතේ මිටේ මුදල් නැතුවම නොව, මුදල් තිබුනත් පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ සැපයීමට පාලක පවුල අසමත් වීමෙනි. ඒ මධ්‍යම පංතිය දැන් සිය පංති ශක්‍යතාවය උපරිමයෙන් උරගා බලමින් සිටී. ඔවුන් ද සමාජ පාලක තීරයක් බව රාජපක්ෂලාට අමතක විය. සිදුවූ මූලික අර්බුදය එයයි. රාජපක්ෂ මතයට සහය දුන් ගොවියාට පොහොර නැති වනවිට රාජපක්ෂවාදී මධ්‍යම පංතිකයාට ද මෙවර පරිභෝජන අවකාශය අහිමි විය. සරළව කිව්වොත් බිස්නස් වලට කෙළවිය. 

දැන් අප කල්පනාවෙන් මේ සමස්ත උද්ඝෝෂණ රැල්ළ දේශපාලනිකව ස්ථානගත කිරීමට උත්සාහ කරමු. මෙහිදී නැවතත් මෙනෙහි කළයුතු යුතු මූලිකම කරුණක් වන්නේ මෙවන් බහුජන (?) නැගිටීමක ඇති අවිනිශ්චිත බවයි. එනම් මේ තත්ත්වය ගැන දේශපාලන කේන්දර කිසිවකුටත් ලිවිය නොහැක. කුමක් සිදුවේද යන්න කිසිවකුට නිශ්චිත නැත. ඉතිරි විග්‍රහයන් කළ හැක්කේ සිදුවීම් අවසන් වූ පසුවය. එනම් පසු-ආවර්තීයවය. නමුත් එතෙක් සිදුවීම් අතරවාරයේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය වටහා ගැනීමට හා කළයුත්තේ කුමක්ද?’ යන්න නීර්ණය කිරීමට මූලධර්ම මත පිහිටි දේශපාලන විශ්ලේෂණයක් අත්‍යවශ්‍යය. අපට අර්ථයට නැංවිය හැකි දේශපාලනිකය හා අර්ථයට නැංවිය නොහැකි දේශපාලන ක්‍රියා අතර වෙනස සලකුණු කරගත යුතුය. 

නමුත් අප විමසිය යුතු ප්‍රශ්නය වන්නේ ලංකාවේ දේශපාලන සිතියමේ හතරමායිම් යනු මේ මධ්‍යම පංතියද? පොහොර ප්‍රශ්නය නිසා නම් මෙතරම් පිබිදීමක් ඇති වේද? දේශීය සම්පත් විකිණීම නිසා නම් මෙවැනි නැගිටීමක් ඇති වේද? අධ්‍යාපනය විකිණීම නිසා මෙවන් වීදිසටන් සදහා ඊනියා මහජනයා පෙළ ගැසේද? සුබසාධන රාජ්‍ය  පහසුකම් කප්පාදුවකදී මෙවන් සටන් ඇවිළේද? දමිළ හෝ මුස්ලිම්වරුන්ට එරෙහි සිංහල ජාතිවාදයට එරෙහිව මෙවන් සහයෝගිතාවයක් ඇති වේද? ආගමික අන්තවාදයට එරෙහිව මෙවන් විරෝධතා ඇති වේද? වැටුප් අසමානතාවකට මෙවන් නැගිටීමක් ඇති වේද? කම්කරුවන්ගේ ජීවන තත්ත්ව ඉහළ නැංවීමට මෙසේ සති ගණන් අරගල සිදුවේද? ඇගලුම් සේවිකාවන්ගේ ජීවන තත්ත්ව ඉහළ නැංවීමට මෙවන් උද්ඝෝෂණ අඛණ්ඩව සංවිධානය වේවිද? අවශ්‍ය නම් මේ ලයිස්තුව තවත් දිගු කළ හැක. මතුකරනා ප්‍රශ්නය දැන් පැහැදිළි විය යුතුය. 

ඇත්තටම ලංකාවේ දිග්ගැසුනු දේශපාලන අර්බුදයක් වේද? වේ නම් ඒ හුදු ව්‍යවස්ථා අර්බුදයක්ද? ව්‍යවස්ථා සංශෝධනය මූලධාර්මික දේශපාලන සාධකයක්ද? ව්‍යවස්ථා වෙනසකින් පද්ධති වෙනසක් සිදුවේද? නැතිනම් ජවිපෙ සුප්‍රකට සටන්පාඨය වන ‘වංචා දූෂණ’ නැවතුනාම රට හරිමගට එනවද? ලංකාවේ දේශපාලන කෂිතිජය වංචාදූෂණද? නැතිනම් මිනිස්සුන්ගේ කම්ම්මැලි කමද? මිනිසුන් එකමුතු මදි කමද? එසේත් නැත්නම් විමල් – උදය දෙබෑයන්ගේ සාරාංශය මෙන් ප්‍රශ්නය බැසිල්ද? 

ඉහත සලකුණු කල ආකාරයේ ජනප්‍රිය, සරළමතික දේශපාලන සාරාංශ ඉදිරිපත් කරන්නන්ගේ මූලික තර්කයක් වන්නේ ‘මේ වෙලාවේ කළ යුත්තේ ඉස්සෙල්ලාම රාජපක්ෂලා ගෙදර ඇරීම’ බවයි. රාජපක්ෂලා ගෙදර ඇරිය පසු කරන්නේ මොකක්ද? මේ අසීරු ප්‍රශ්නයයි. පූජ්‍ය සෝභිත ප්‍රවර්ගයේ දේශපාලන යෝජනාවකින් යහපාලන සමයේ භාවිතයට ගෙන හාස්‍යජනක ප්‍රතිඵල ලබා අවසන්ය. එවන් කෙටි කාලීන පිළිතුරක් නැවතත් අභ්‍යාසගත කිරීමද උද්ඝෝෂණ වල අරමුණ? ලංකාවේ දේශපාලන අර්බුදය කෙටිකාලීනව විසදිය හැක්කක්ද? දිගුකාලීන විසදුම් මොනවාද? කට්ටිය හැසිරෙන්නේ දිගුකාලීන විසදුම් තිබෙනා අතරේ කෙටිකාලීන විසදුම් ක්‍රියාවේ යොදනා ලෙසකිනි. කිසිවෙකුත් සතුව දිගුකාලීන විසදුම් ඇත්ද? ඉතා පහසුවෙන් ජහමනයා අමතක කරන්නේ ඇත්තටම හැමදාමත් ලංකාවේ ක්‍රියාවේ යෙදෙව්වේ කෙටිකාලීන විසදුම් බවයි. අද අප ඉදිරියේ ඇති දුර්වල රට යනු පරම්පරා කීපයක කෙටිකාලීන විසදුම් වල ප්‍රතිඵලයකි. 

විසදුම් ඉදිරිපත් කිරීමට පෙර පවතින තත්ත්වය අප තේරුම් ගෙන නිවැරදිව සූත්‍රගත කර ඇත්තේද? එවන් සූත්‍රගත කිරීමක් කෙතරම් වෙහෙසකරද? ඒ වෙහෙසකර දේශපාලන හැදෑරීමට අවශ්‍ය කැපකිරීම් කිරීමට මිනිසුන්ගෙන් කොටසක් හෝ සූදානම්ද? නැත්නම් මෙතුවක් කලාක් මෙන් දැනටමත් ටිකිරි මොළේට පහළ වන අදහස් පරීක්ෂාවකින් තොරව ක්‍රියාවේ යොදවන්නේද? මෙතුවක් ලංකාවේ අත්හදා බැලූවේ ඒ ක්‍රමය නොවේද? ඊනියා නිදහසෙන් පසු පත්කල සියලු පාලකයන් යනු ‘එවෙළෙ හොඳම තේරීම්’ නොවේද? එම කෙටිමග තෝරාගත්තේ ලංකාවේ ඊනියා මහජන ඡන්දයෙන් නොවේද? මහජනතාවගේ දේශපාලන දැනුම දෙස බලන්න අවශ්‍ය අයෙක් වර්තමාන ලංකාව දෙස බලන්න !. මහජනතාව රට වෙනස් කරන්නේ ‘යැයි අප තවදුරටත් විශ්වාස කළ යුතුද? 

“Go home people”

දැන් අපි මූලික ගැටළුව වරනගමු. දේශපාලනය යනු වෘතීය භාවිතයකි. මෙහිදී වෘතීය යන්නෙන් අදහස් වන්නේ ‘රස්සාවක්’ නොව, විශේෂඥ භාවිතයකි. වාමාංශික දේශපාලනයේදී නම් ‘ක්‍රියාධරයා’ යනු එවන් විශේෂඥයෙකි. දේශපාලන විශේෂඥයකු වීමට මූලිකම සාධකයක් වන්නේ දේශපාලන චින්තනයේ අත්පත් කරගන්නා විශේෂඥභාවයයි. දේශපාලන ක්‍රියාව එන්නේ එම විශේෂඥ සිතුවිල්ලට පසුව විය යුතුය. 

නමුත් බොහෝදෙනා අප්‍රේල් නැගිටීම් ඇතුළුව බොහෝමයක් ලංකාවේ දේශපාලන සංසිද්ධි වටහාගන්නේ පරීක්ෂාවට ලක්නොකරන ලද අදහස් හරහාය. “දේශපාලන අදහස්” යනු විශේෂඥ භාවිතයකින් බිහිවන්නක් බව ඊනියා බහුජනයා කොහොමත් නොදනී. ලංකාවේ නම් දේශපාලඥයන් ද මේ බවක් නොදනී. ඒ බව ඔවුන්ගේ සරළමතික තර්ක හා භාවිතයන්ගෙන් කොතෙකුත් ඔප්පු වේ. මේ ලිපිපෙළ හරහා නැවත මූලධාර්මික දේශපාලන ප්‍රශ්න සදහා වටිනාකමක් අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන විචාරශීලීත්වය උදෙසා අවශ්‍ය දේශපාලන සාක්ෂරතාව නිර්මාණය කිරීමේ අරමුණිනි. එනිසා අප කොන්දේසි විරහිතව අප්‍රේල් නැගිටීම් ප්‍රශ්න කල යුතුය. මන්ද පාලකයන් යනු ඊනියා මහජනතාවගේ ප්‍රතිබිම්බයයි. උදාහරණයකට “පාර්ලිමෙර්න්තුවේ 225 ම ගෙදර යා යුතුයි” යන සටන් පාඨය ජනගත වූ පසුව ද තිබූ මැතිවරණය යනු ලංකාවේ වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් පෙන්නුම් කල මැතිවරණයකි. දැන් ඒ ඡන්දය ප්‍රකාශ කලේ 225 ම එපා කියූ ඊනියා මහජනයාම නොවේද? මේ කිසිවෙකුටත් තමන්ගේම සටන්පාඨ පවා බැරෑරුම් නැත. ඒ ඊනියා මහජනයාගේ භාවිතයයි ! එනිසා බර්ටෝල් බ්‍රෙෂ්‍ට් කිව්වාක් මෙන් අප කලයුත්තේ මේ පාලකයන් ඉවත් කර වෙනත් පාලකයන් පත්කර ගැනීම නොව, මේ මහජනතාව ඉවත් කර වෙනත් මහජනතාවක් පත්කර ගැනීමයි. වෙනස් කලයුත්තේ මහජනයාවයි. අරගල කල යුත්තේ මහජනයා සමගයි. විවේචනය කල යුත්තේ මහජනයාවයි. 


මේ අරාජික උද්ඝෝෂණ පිටුපස සැගවුනු ශක්තිය ලාංකීය මහජන පුද්ගලවාදයද ?

ගෝටා ගෝ ගමේ අරාජිකවාදය ගැන

‘දෘෂ්ටිවාදය’ යන දේශපාලන සංකල්පයෙන් මුල්කාලීනව අදහස් වූයේ ‘ මිනිසුන්ගේ අදහස් පද්ධති විධිමත්ව අධ්‍යායනය’ කිරීමයි. නමුත් කාල් මාක්ස්ගෙන් පසුව මේ යෙදුමේ අර්ථය මීට වඩා බෙහෙවින් වෙනස් මානයක් ගත්තේය. මිනිසුන් ‘ අදහස් ‘ වලට එළඹෙන්නේ පරීක්ෂාවට ලක්කරල නොවේ. පරීක්ෂාවට ලක්නොකර අප එළඹෙන අදහස් දෘෂ්ටිවාදී වේ. එක් එක් මනුස්සයාට දෘෂ්ටිවාද වෙන වෙනම නැත. දෘෂ්ටිවාද යනු ඓතිහාසික පරිනාමයක් සහිත , බොහෝවිට ඉතිහාසයක් සහිත සමාජ ප්‍රවර්ගයකි. ඊනියා සාමාන්‍ය මිනිසා “අදහස් වල ඉතිහාසය” ගැන උනන්දු නැත. මිනිසුන් බොහෝවිට හැසිරෙන්නේ සියලු අදහස් ඕපපාතිකව ජනනය වූ ලෙසිනි. දෘෂ්ටිවාදී විකාශනයන් හා නිශ්චිත දෘෂ්ටිවාදයකින් දැන් මේ මොහොතේ ඉෂ්ට කරන්නේ කුමන කාර්‍යභාරයක්ද යන්න විචාරයට ලක්කිරීම දේශපාලනයේ මූලික අධ්‍යාපනයකි. 


මේ පෙරවදන උදව් කරගනිමින් අපි බලමු 2022 අප්‍රේල් නැගිටීම් තුළ අධිපති බලයක් සහිත දෘෂ්ටිවාද ක්‍රියාත්මක වන්නේ කොහොමද  කියල. 

අප්‍රේල් නැගිටීම්වල ප්‍රධානතම දෘෂ්ටිවාදයක් වන්නේ මේ නැගිටීම්’ තනි නායකත්වයක් නැති, නිර්පාක්ෂික’ නැගිටීමක් බව. මේ අදහස සටන්පාඨයක් ලෙස රැගෙන එන්නන්ගේ ස්වරූප බහුගුණය. ලිබරල්, වාමාංශික, ජාතිකවාදී ආදී මේ නැගිටීම නියෝජනය කරනා විවිධ පාර්ශව පෙනීසිටිනා පොදු දෘෂ්ටිවාදය මේ ‘අරාජිකවාදයයි’. මෙය අරාජිකවාදයක් ලෙස හැදින්වූයේ ‘තනි නායකත්වයක් නොමැති’ බව සටන්පාඨයක් ලෙසම ‘ගෝටා ගෝ හෝම් ‘ උද්ඝෝෂණ තුළ වටිනාකමක් අත්පත්කරගෙන ඇති බැවිනි. අපි මෑතකාලීනව ලංකාවේ ජනප්‍රිය අධිපති දේශපාලනික දේශපාලනය තුළ මේ අදහස විකාශනය වූ ආකාරය පරීක්ෂා කරමු. 

2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රතිඵල කුතුහලය දනවන සුළුයි. ඒ වනවිට ලංකාවේ ඉතිරි වී තිබූ මහා, ප්‍රධාන පක්ෂ දෙකක සංකේතීය අවසානයක් (?) එමගින් සලකුණු විය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයයි. නමුත් ලංකාවේ පුද්ගලවාදයට අදාලව දෘෂ්ටිවාදී පදනම මීට කලකට පෙර සිටම සංකීර්ණ තත්ත්ව යටතේ ප්‍රතිව්‍යුහගත වෙමින් තිබිණ. අධිපති රාජපක්ෂවාදය 2015 දී පරාජය කිරීමට ඉදිරිපත්වීමට තනි පක්ෂයක් නොතිබුනු අතර යහපාලන කණ්ඩායම රැගෙන ආවේ ‘පොදු අපේක්ෂකයෙකි’. එහි යෝජනාව වූයේ සමාන දේශපාලන අභිලාෂ සහිත මිනිසුන් පිරිසක් එකතු වූ ‘පක්ෂයක්’ පිළිබඳව විශ්වාස කිරීම වෙනුවට ‘පුද්ගලයෙක් ‘ විශ්වාස කරනා බරපතළ දේශපාලන අභිලාෂ නොමැති, ඒ වෙනුවට ‘ රාජපක්ෂවාදයට එරෙහි බව’ මත පමණක් එක් වූ දුර්වල දේශපාලන ගොනුවකි. එවැනි පවුල් දේශපාලන විරෝධයකට තනි පක්ෂයක් අවශ්‍ය නොවීය. රාජපක්ෂලව 2015 ගෙදර යැව්ව ද දේශපාලනිකව යහපාලනය නැවතුන තැන කව්රුත් දනී. 

ඉන් අනතුරුව නැවත වටයකින් රාජපක්ෂවාදී දේශපාලන බලහවුල ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හරිමින් පොහොට්ටුව නමින් නව පක්ෂයක් (?) ඉදිරිපත් කරමිනි. එම පක්ෂයේ සංයුතිය සැලකුව ද විවිධ කුඩා පක්ෂ සමූහයක හා බැසිල් රාජපක්ෂ නම් දේශපාලන සංවිධායක වටා එක් වූ පිරිසකගෙන් සමන්විත වූවකි. ඊට දිග්ගැස්සුනු දේශපාලන අභිලාෂ නොවුනු අතර ඒ පක්ෂය තුළම වූ ‘ජාතිකවාදයට’ ඇති බලය බෙදාගැනීමට පවා ඔවුන් අතරම පොරයක් පෙනෙන්නට විය. රටජාතිය වෙනුවෙන් වැඩිපුර පෙනී සිටින්නේ බණ්ඩාරනායක උරුමය ඇති නිදහස් පක්ෂයද?  විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණද? ගෝටාභය රාජපක්ෂ  වෙනුවෙන්ම තැනුණු වියත් මගද? ගෙවිදු කුමාරතුංගගේ යුතුකම සංවිධානයද? වසන්ත බණ්ඩාරගේ ජාතික සංවිධාන එකමුතුවද? ඩෑන් ප්‍රියසාද්ලාගේ සිංහ ලේද? යන ගැටළුව හරහා බෙදිම් දිස්විය. ඒ අර්ථයෙන් රාජපක්ෂ පවුල නම් සාධකය ඉවත් වුවහොත් පොහොට්ටුව යනු කිසිසේත්ම ශක්තිමත් දේශපාලන පදනමක් සහිත පක්ෂයක් නොවීය. 

මේ පසුබිම අනුව බැලූවිට පොහොට්ටුව ‘ජාතිකවාදය’ ශක්තිමත් දෘෂ්ටිවාදයක් ලෙස භාවිත කල පක්ෂයක් ලෙස සැලකිය නොහැක. ඒ වෙනුවට එහි මූලික දෘෂ්ටිවාදය ලෙස ඉදිරිපත් කෙරුනේ ‘රාජපක්ෂවාදයයි’. කව්රුන් හෝ රාජපක්ෂවරයෙකුට ඇති පක්ෂපාතීත්වය එහි මූලික ගුණාංගයයි. ඒ අනුව පොහොට්ටුව යනු මහා පක්ෂයක් ඉවර කර බිහි වූ තවත් ශක්තිමත් පක්ෂයක් ලෙස සැලකීම ගැටළුකාරීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පොහොට්ටු කදවුරේ 2019 ජනාධිපති නාමයෝජනාව පවා විශාල අර්බුදයකට ලක් විය. ඒ අභ්‍යන්තර අර්බුදයත් නිසාම හා සමාජයේ වර්ධනය වී ඇති පක්ෂ සදහා වූ අපුල නිසාත් ගෝඨාභය රාජපක්ෂව ඉදිරිපත් වූයේ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස නොව ‘නිර්පාක්ෂික අපේක්ෂකයෙක්’ ලෙසිනි. 

‘අරාජිකවාදය’ – ජනාධිපතිවරණයේ සිට ගෝල්ෆේස් දක්වා ….. 

දැන් අයෙකුට ලංකාවේ මේ නව ‘නිර්පාක්ෂික දෘෂ්ටිවාදය’ මෑතකාලීන අධිපති දේශපාලන අදහසක් ලෙස විකාශනය වූ ආකාරය පැහැදිළි විය යුතුය. අවසන් ජනාධිපතිවරු දෙදෙනාගේම ප්‍රචාරක පාඨ වූයේ ‘පොදු අපේක්ෂක’ හා ‘නිර්පාක්ෂික අපේක්ෂක’ යන්නයි. තවදුරටත් මිනිසුන් සමූහයක් එකතු වූ සමූහයකගේ දේශපාලන අභිලාෂයන් වෙනුවට එක් පුද්ගල චරිතයක් මත විශ්වාස කිරීම දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙස කලඑළි බැස ඇත. ඒ දෘෂ්ටිවාදය විසින් දැන් දශකයකට ආසන්න කාලයක් ජනාධිපතිවරු දෙදෙනෙක් හරහා ලංකාවේ මිනිසුන්ගේ ජීවිත තීරණය වී ඇත. 

ඊනියා මහජනයා අතර ක්ෂුද්‍ර තලයේ සංවිධානය වන දෘෂ්ටිවාදය පුද්ගලවාදය වන විට උපරි ව්‍යුහය හෙවත් මහා තලයේ එය ප්‍රකාශමානවන ආකෘතිය වන්නේ අරාජිකවාදයයි. පුද්ගලවාදයේ දේශපාලන ප්‍රකාශනය අරාජිකවාදයයි. අරාජිකවාදය විසින් අපට ඉගිකරන දේශපාලන චිත්‍රය තරමක් සංකීර්ණ, ව්‍යාකූල එකකි. විශේෂයෙන් ගෝල්ෆේස් උද්ඝෝෂණ සංයුතිය තුළ මේ ගුණය විද්‍යමාන වෙන ආකාරය සංකීර්ණය. ඒ තුළ “නායකයන් නෑ” කිව්ව ද නායකයන් ඇත්තේම නැද්ද? ඉන්නව. කෙවැනි නායකයන්ද ඉන්නෙ? 


ලංකාවේ අප්‍රේල් නැගිටීම් ප්‍රංශ හෝ රුසියානු විප්ලවවලට සමාන කරන්න හදිසි වීම වෙනුවට අප මේ ජීවත්වන යුගයේ ‘මිනිස් සමූහ’ පිළිබඳව දෘෂ්ටිවාදය සංවිධානය වන මූලික ආකෘතිය කුමක්දැයි පරීක්ෂා කරමු. ගෝල්ෆේහි ගෝටා ගෝ ගම අවකාශය යනු එක අතකින් දත්ත ප්‍රාග්ධන හෝ මහා දත්ත යුගයේ අන්තර්ජාල තත්‍යසම අවකාශ භෞතික ලෙස හමුවීමකි. මුහුණු පොත වැනි තත්‍යසම අවකාශ වල සාමූහිකයන් යනු බුබුළු ආකෘතියකි. එක් බුබුළක සිටින්නන්ට ලෝකය යනු ඒ බුබුළයි. වාමාංශික බුබුළු , විකල්ප බුබුළු, ප්‍රජාතන්ත්‍රවාදී බුබුළු, බුද්ධිමය බුබුළු, යහපාලන බුබුළු ආදී බුබුළු දැන් බහුගුණ වී ඇත. ගෝටා ගෝ ගම තුළ මතුවන පශ්චාත් නූතන සංස්කෘතික නායකයන් යනු එවැන්නන්ය. උපුල්ශාන්ත සන්නස්ගල , මෝටිවේෂන් අප්පච්චී, රැට්ටා, මහකුඹලා අජිත් පෙරේරාගේ සිට පානදුරේ ලාල් වැනි තත්‍යසම චරිත හරහා ගෝටා ගෝ ගමට ආ පිරිස් ඒ බුබුළේ සිටී. ඔවුන් මේ නැගිටීමේ ප්‍රචාරක යන්ත්‍රයේ භූමිකාවක් දරයි. පෙරටුගාමී හෝ අන්තරේ හෝ විකල්ප වමේ බුබුළු වෙනම ද රසික ජයකොඩිගේ ෆෑන්ස්ලා වෙනම ද සුනිල් විජේසිරිවර්ධන ප්‍රවර්ගය වෙනම ද බේකරිය රාජාගේ පිරිස වෙනම ද ආදී බහුගුණ වූ විවිධ බුබුළු ශාරීරිකවම ගෝටා ගෝ ගමට පැමිණ ඇත්තේ අන්තර්ජාලයේ බුබුළු තර්කණය ගාලුමුවදොරට ශාරීරිකවම රැගෙන එමිනි. මේ සියල්ලෝ එකපොදියට ඉන්නා විට සමහරු ඊට ‘මහජනයා’ යයි කියයි. හැබෑය. ඒ මහජනයාය. මහජනයා යනු බිදුනු ප්‍රවර්ගයකි. නමුත් මහජනයා පෙනීසිටින්නේ සමස්තයක් ලෙසිනි. දේශපාලන උගුල ඇත්තේ එතැනය. පරීක්ෂාවට ලක්කිරීමට ඉතා අසීරු ප්‍රමුඛතම දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙස ‘මහජනයා’ නම් ප්‍රවර්ගයක් අපට එලෙස අභිමුඛ වෙයි. ඒ තුළ සාම්‍යයක් හෝ ඒ තුළ එකමුතුවක් හෝ ඔවුන් අතර සම්මුතියක් ඇතැයි පිළිගැනීමට බලකෙරෙමින් තිබේ. මේ සම්මුතිය කෙවැනිද? ගෝටා ගෙදර ගියවිට කිසිවෙකුට හෝ කණ්ඩායමකට දේශපාලන තීරණ ගැනීමට සිදුවේ. මහජනයා යළි ජේවීපීකාරයන්, යූඑන්පීකාරයන්, පෙරටුගාමීන්, ජාතිවාදීන්, ගේම්කාරයන් ලෙස වේශය මාරු වන්නේ එවිට. දේශපාලනය ආරම්භ වන්නේ එවිටය. 

මේ දක්වා මේ අය විකල්ප වේවා ප්‍රධාන ධාරාවේ වේවා, ඔවුන්ගේ ඉදිරිපත් වන පොදුකුණාකාරය අරාජිකවාදයයි. නායකයෙක් හෝ පක්ෂයක් හෝ වැඩපිළිවෙළක් නැති උද්ඝෝෂණ හරහා පද්ධති වෙනස් කල හැකි යයි ඔවුන් විශ්වාස කරති. එනිසා බොහෝදෙනා අප්‍රේල් නැගිටීම්වලින් බලාපොරොත්තු දල්වාගෙන සිටී. විකල්ප පිරිස් ද ජනප්‍රිය ප්‍රධාන ධාරාව ද ඇත්වැල් බැදගෙන ඇත. සුනිල් – නන්දා සිට ජාතිකවාදී ජයන්ත චන්ද්‍රසිරි දක්වා පරාසයක් සදහා ගාලුමුවදොර දොරටු විවෘත වී ඇත. මේ අය එක් වී කියන එක් සටන්පාඨයක් පැහැදිළිය. ඒ ගොඨාභය ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන්න කියායි. එය එසේ සිදුවේද නොවේද යන්න විවෘතය. එසේ සිදුවුවහොත් එය අවිවාදයෙන් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පැහැදිළි සංධිස්ථානයක් වනු ඇත. නමුත් ගැටළුව ඇත්තේ එතැන නොවේ. ගැටළුව වන්නේ මේ සමස්ත උද්ඝෝෂණ ප්‍රමුඛ අප්‍රේල් නැගිටීම අප දේශපාලනිකව ස්ථානගත කරන්නේ කෙසේද යන්නයි. යෝජනාවක් ලෙස එන්නේ ක්‍රියාදාමය තවමත් සිදුවෙමින් පවතින බැවින් ස්ථානගත කිරීමට හදිසි නොවනා ලෙසයි. හැබෑය, දේශපාලනයේදී ඒ අහඹු අවස්ථාවට ඇති වටිනාකම ඉහළය. නමුත් මතුකළ යුතු ගැටළුව වන්නේම ක්‍රියාදාමය යනුම ඕපපාතික ඉබේ සිදුවන්නට දී බලා සිටිය යුත්තක්ද යන්නයි. ඊටත් වඩා ගැඹුරු ප්‍රශ්නය වන්නේ ‘දේශපාලනය ඕපපාතිකද’? යන්නයි. දේශපාලනය තුළ ඕපපාතිකත්වයට ඇති වටිනාකම කුමක්ද යන්නයි. ක්‍රියාවලිය අතරේ විචාරයක් අවශ්‍ය වන්නේ නැගිටීම් වල දිශානතිය සලකුණු කර ගැනීමටය. බහුතරයක් දෙනා අප්‍රේල් නැගිටීම් සදහා ආවඩන මොහොතක එය විචාරයට ලක්කිරීමේ අසීරු කාර්‍ය පිළිබඳව අපගේ දේශපාලනික උනන්දුව තවදුරටත් පවත්වා ගමු. 

බුබුළු දේශපාලනයේ කෙළවර ? 

මුස්ලිම් සිංහල මිනිසුන් කෑම බෙදාගැනීම හෝ සිංහ කොඩි එසවීම හෝ නලානාද කිරීම හෝ ප්‍රභූවාහන වලට එරෙහිව ගොස් පාර සුද්ද කරගෙන යාම හෝ පොලිස් නිලධාරියෙකුගේ හැගීම්බර වීඩියෝ කතාවක් හෝ ගෝල්ෆේස් පිටියේ රෑට හොඳහැටි කුණුහරුප කීම හෝ ගෝටා ගෝ ගමේ කූඩාරමක නැවතීම හෝ ගෝටා ගෝ ගමේ භික්ෂුන් පිරිත් කීම හෝ පරණ රාජපක්ෂවාදීන් පෝළිමේ සමාව ගැනීම හෝ යනු පද්ධති වෙනසක්ද? ඔබ පද්ධතිය කියන්නේ කුමක්ද? ගෝටා ගිය පසු කරන්නේ කුමක්දැයි කාට හෝ විධිමත් යෝජනාවක් ඇත්ද? 

ගෝටා ගෝ ගම තුළ දැන් බොහෝ දේ ගොඩනැගෙමින් පවතිනා බවට ජනප්‍රිය ප්‍රචාරක රැල්ළක් බිහිවෙමින් පවතී. ඒ තුළ පුස්තකාල, ආහාරපාන දන්සැල්, කලා අවකාශ, සම්මන්ත්‍රණ, කූඩාරම් සිට කානිවල් තත්ත්ව දක්වා වර්ධනය වී ඇත. එසේම දෘෂ්ටිවාද ලෙස ‘ආදරය, අවිහිංසාව, ජාතික සමගිය, සදාචාරය, එකමුතුකම, මානවවාදය, නිදහස’ ආදී ජනප්‍රිය ප්‍රවණතා දෝරගලමින් ඇත. මේවා දෘෂ්ටිවාද ලෙස සලකුණු කරනු ලැබුවේ මේවාට පදනමක් හෝ ඉතිහාසයක් කිසිසේත්ම සලකුණු කල නොහැකි බැවිනි. ඒවා ඇතැම්විට තවත් දේශපාලන ප්‍රවාහයක් විසින් නිර්මාණය කල, සමපේක්ෂී ප්‍රචාරණ ව්‍යාපෘති ද විය හැක. 


ගාලුමුවදොර ජනප්‍රියවාදයට පිටුපසින් යම් හරයක් හෝ දිගුකාලීන දේශපාලන අරමුණු ක්‍රියාවේ යෙදවේද? ඒ සදහා මේ ජන නැගිටීම ඉවහල්වේද? දැනට අපට නිරීක්ෂණය වන්නේ දේශපාලන බහුත්වවාදයකි. නැතහොත් අච්චාරුවකි. ඒ අතරේ වම්මුන් මේ හරහාම විප්ලවයක් ගැන ද කතා කරයි. මේ වනතුරු එක් බුබුළකින් අනෙක් බුබුළට කිසිදු අභිමුඛ වීමක් නොවීමම අප තේරුම් ගත යුත්තේ කෙසේද ? ගෝටා ගෝ ගමේ ‘දේශපාලනය’ හැර ඉතුරු සියල්ල වෙමින් පවතින්නේද ? 

බිත්තර නොබිද ඔම්ලට් දැමීමේ දේශපාලනය 

අප්‍රේල් නැගිටීම් ගැන කතාබස්වලදී බොහෝදෙනා වටිනාකමක් දෙන අදහසක් වන්නේ ‘අප නොදැන සිදුවිය හැකි නොදන්නා සිදුවීම’ යි. “අපි නොහිතන දෙයක් වෙන්න පුලුවන්නෙ” නම් බලාපොරොත්තු සහගත එළඹුමයි. එහි හරය වන්නේ නොදන්නා අනෙකෙක් විසින් නොදන්නා දේශපාලනයක් සිදුකිරීමට ඇති ඉඩයි. මේ අහම්බයට ඇති ඉඩ දේශපාලනයේදී අප ස්ථානගත කල යුත්තේ කෙළෙසද? දේශපාලනය යනුම මැදිහත්වීමකි. දේශපාලනය නිශ්ක්‍රීය පැවැත්මක් නොව සක්‍රිය පැවැත්මකි. 

නමුත් ඓතිහාසිකව දේශපාලනය අපට උගන්වා ඇත්තේ මේ සක්‍රියත්වය යනු ‘සර්වබලධාරි’ පැවැත්මක් ද නොවනා බවයි. එය ඕනෑම දේශපාලන සංවිධානයවීමකට අදාල මගහැරිය නොහැකි අඩංගුවකි. ඉතා ශක්තිමත් ලෙස පෙනෙනා දේශපාලන අධිකාරියකට එරෙහිව වුව ද ‘සංවිධානය’ කිරීම නම් භාවිතයට දේශපාලනය තුළ බරපතළ වටිනාකමක් හිමිවන්නේ මෙනිසාවෙනි. එනම් දේශපාලනය යනු අහඹුබවට ඉඩදීම වෙනුවට අහම්බයට එරෙහිව කරනා සංවිධානාත්මක මැදිහත්වීමයි. 


‘ඔනෑම දෙයක් සිදුවිය හැකිය’ යන ප්‍රවාදය මූලධර්මයක් ලෙස පවත්වාගෙන දේශපාලනයේ නිරත විය නොහැක. දේශපාලනය යනු ‘දේශපාලන අභිලාෂ’ ඉලක්ක කරගත් ව්‍යාපෘතියකි. උදාහරණයකට අප්‍රේල් නැගිටීම්හි මූලික ඉලක්කය ලෙස දැනට සාරාංශ වන්නේ ‘රාජපක්ෂ රෙජීමය’ දේශපාලන භූමියෙන් පලවාහැරීමයි. මෙය ‘වියහැකි සිදුවීමක්’ ලෙස පරිකල්පනය නොකොට අයෙකුට පාරට බැසිය නොහැක. “රාජපක්ෂල ඉන්නත් පුලුවන්, යන්නත් පුලුවන්’ ලෙස සලකා ප්‍රති – රාජපක්ෂ දේශපාලනයක නිරත විය හැකිද? රාජපක්ෂල ගෙදර යැවීම වැනි සරළ සටන්පාඨයක් හෝ එවැනි ඕලාරික අහම්බකාරකයකින් චලනය කල නොහැක. රාජපක්ෂල ගෙදර යැවීම ‘විය නොහැක්කක්’ ලෙස මෙතුවක් පැවති තත්ත්වයට අවසානයක් සලකුණු කල හැක්කේ එය ‘විය හැක්කක්’ ලෙස සලකුණු කරනා දේශපාලන අධිෂ්ඨානයකින් පමණි. ලංකාවේ මෙතුවක් ‘සිදුවිය නොහැකි’ ලෙස තිබූ ජන නැගිටීමක් සිදුවූයේ ද ‘එය සිදුවිය හැක්කක්’ ලෙස ‘අනිවාර්යක් ‘ බවට පරිවර්තනය වීමෙනි. 

පශ්චාත් – රාජපක්ෂ දේශපාලනය යනු අහම්බයක්ද? 

අප අපේ දේශපාලන ක්ෂිතිජය ලෙස සැලකිය යුත්තේ රාජපක්ෂවාදයද? රාජපක්ෂල ගෙදර යැවීමද ? එසේ වුවහොත් එය නියත ලෙස ඉතිහාසය නැවත නැවතත් හාස්‍යජනක ලෙස ප්‍රතිනිර්මාණය වීමට පාර කැපීමකි. ඇත්තටම අහම්බයේ දේශපාලනය ප්‍රශ්න කල යුතු මංසන්ධිය අභිමුඛ වන්නේ මේ අදියරේදීය. රාජපක්ෂවාදයට පසු, ඉන් ඔබ්බෙහි වූ දේශපාලනය ‘අහම්බයට’ බාර නොදී සිතියම්ගත කරන්නේ කෙසේද? දේශපාලනය මැදිහත්වීමක් නම්, සැබෑ මැදිහත්වීම පවතින්නේ රාජපක්ෂවාදය නම් සාධකය දේශපාලන සිතියමෙන් ඉවත් වන මොහොතේ නොවේද? අසීරු දේශපාලනික ප්‍රශ්නය අභිමුඛ වන්නේ  එතැනදී නොවේද? ඒ පිළිබඳව දේශපාලන පරිකල්පනයක් අප්‍රේල් නැගිටිම් තුළ නිරීක්ෂණය කල හැකිද?

“මොක කරන්නත් රාජපක්ෂල ගෙදර යවල ඉන්න ඕනෙ” යන්න මේ වනවිට අධිපති දේශපාලන මතයක් බවට පත්වෙමින් පවතී. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ධනේශ්වර ලිබරල් හෝ වාමාංශික දේශපාලනයක නිරතවන ඕනෑම අයෙක් මීට එරෙහි වන්නේ නැත. දැන් ඉන්න රාජපක්ෂල යනු පෙර පැවති දේශපාලන ආධිපත්‍යය අහිමි, ආයතනික බලයක් පමණක් කෙසේ හෝ පවත්වාගැනීමට උත්සාහ කරනා පවුලකි. තවදුරටත් ‘රාජපක්ෂවාදය’ නම් දේශපාලන දෘෂ්ටිවාදයට සංගත පැවැත්මක් නැත. අප්‍රේල් නැගිටීම් මුල් දින කීපයකින් රාජපක්ෂවාදයේ දෘෂ්ටිවාදී පදනම් දෙදරා ගොස් ඇත. ඒ අර්ථයෙන් අප්‍රේල් නැගිටීම් යනු දේශපාලන සිදුවීමකි. එහිදී සංකීර්ණ භූ දේශපාලනික පරිනාමයක් මැද රටතුළ ද නැගිටීමක් සිදුවිය. අප්‍රේල් නැගිටීමේ දේශපාලන දෘෂ්ටිවාදී අභිලාෂ සංකීර්ණය. එනිසා අප්‍රේල් නැගිටීම් පිළිබඳව රොමැන්තික සුබවාදී අලංකාරික වලින් පමණක් කුල්මත්වීමට ඔබ්බෙහි වූ දේශපාලන විචාරයක් නිර්මාණය කිරීම මේ අසීරු විචාරාත්මක මැදිහත්වීමේ ඉලක්කයයි. 


ගෝල්ෆේස් උද්ඝෝෂණය සති දෙකක් ඉක්ම යද්දී ද දේශපාලනිකව ඕපපාතික මුහුණුවරක පවතී. අවම වශයෙන් ගෝඨාභය ජනාධිපතිවරයා හෝ රාජපක්ෂවාදීන් ගෙදර යැවීමට උද්ඝෝෂකයන්ගේ එකම දේශපාලන උපක්‍රමය වන කූඩාරම් ගසාගෙන ජනාධිපති ලේකම් කාර්‍යාලය අසළ උද්ඝෝෂණයක් කිරීමෙන් ඔබ්බට යන දේශපාලනික පියවර වෙත තවමත් ගොස් නැත. ඊට විකල්ප වූ රාජ්‍ය දේශපාලනික ආයතනික හෝ වෙනයම් සංවිධානාත්මක දේශපාලන උපක්‍රම මේ නැගිටීම් හරහා මෙතුවක් මතු වී නොමැත. තවමත් එය සටන්පාඨ මූලික දේශපාලනයකි. ඇතැම් පරිවාරයේ නගරවල තරමක කලබලකාරී ස්වරූපයක උද්ඝෝෂණ ද මතුවෙමින් පවතී. ඔවුන්ගෙන් ගෝල්ෆේස් ලිබරල් මධ්‍යම පංතික උද්ඝෝෂකයන් ඉල්ලන්නේ තවදුරටත් සාමකාමීව උද්ඝෝෂණ කරනා ලෙසයි. රඹුක්කනදී එක්සත් ජාතික පාක්ෂික තරුණයකු වූ චමින්ද ලක්ෂාන් ඝාතනය වෙද්දී ගෝල්ෆේස් භූමිය තවදුරටත් කලා උළෙලක් මෙන් වර්ධනය වේ. එය නාට්‍ය, ගීත, චිත්‍ර, රූකඩ, තොවිල්, ප්‍රසාංගික ඉදිරිපත්කිරීම් ආදිය හරහා නිර්දේශපාලනික අනන්‍යතා අර්බුද භූමියක් බවට තවතවත් පත්වෙමින් පවතී. ඇතැමුන් නැවත උසස් කලාව හා ජනප්‍රිය කලාව අතර වෙනස ද ගෝල්ෆේස් තුළ සොයමින් සිටී. තව ද ජනප්‍රිය සයිබර් අවකාශ තුළ විවිධ චරිත ඉස්මතුවීම් හා ඔවුනොවුන් අතර පුංචි පුංචි ප්‍රශ්න ද මතු වී ඇත. “අරගලය විය යුත්තේ කෙසේද”යන්නට බොහෝදෙනා සදාචාරාත්මක නිර්ණායක ඉදිරිපත්වෙමින් පවතී. පාර අවහිර නොකර, බීමත් නොවී, අවිහිංසාවාදීව, වෙළඳ අරමුණු නොමැතිව, මිලටරිය සමග මිත්‍රශීලීව ආදී මෙකී නොකී කොතෙකුත් සදාචාර උපදෙස් මගින් සමාජ මාධ්‍ය පිරීයමින් තිබේ. ඒ අර්ථයෙන් ගෝටා ගෝ ගම තුළ දේශපාලනික දේශපාලනය කල්දමා ඇත. තවමත් ගෝටාගම තුළ වාසය කරනා බුබුළු කණ්ඩායම් අතර ප්‍රතිවිරෝධතා හෝ රාජ්‍ය මර්දනය අභිමුඛ වී නොමැති නිසාවෙන් නිසංසලේ සටන්පාඨ කියමින් සතියෙන් සතිය ගෙවී යයි. 

දේශපාලනය අත්හිටුවීම හා ‘ගෝටා ගෝ ගම’

ජාතික ජනබලවේගය (ජවිපෙ), පෙරටුගාමී සමාජාවාදී පක්ෂය , 43 සේනාංකය ආදී විවිධ දේශපාලන පක්ෂ ගෝටා ගෝ ගමේ හොරගල් අහුලමින් සිටිනා අතර ඔවුනොවුන්ගේ සුපුරුදු දේශපාලන භාවිතය මේ තුළ අභ්‍යාස කිරීමට උත්සාහ කරමින් සිටී. ‘ලිබරල් පුද්ගලවාදී අරාජිකවාදය’ ගෝටා ගෝ ගම තුළ අධිපති දෘෂ්ටිවාදය නිසාවෙන් සෘජු දේශපාලන කණ්ඩායම්වලට මේ දක්වා බිත්තර නොබිද ඔම්ලට් දාන්නට සිදු වී ඇත. ඒ අර්ථයෙන් ගෝටා ගෝ ගම තුළ දේශපාලනික දේශපාලනය අත්හිටුවා ඇත. එය සංස්කෘතික දේශපාලන භූමියක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් ඇත. එවිට අයෙක් දේශපාලනික දේශපාලනය ඒ අවකාශය තුළ වරනැගීම යනුම සාමූහිකත්වය උල්ලංඝනයකි. මෝටිවේෂන් අප්පච්චී ගෝල්ෆේස් බිම දේශපාලනිකව ‘හයිජැක්’ නොකරන ලෙස ජවිපෙට උපදෙස් වීඩියෝ සපයන තත්ත්වයක් උදා වී ඇත. 

එසේම සෘජු දේශපාලන සංවිධාන ලෙස චම්පික රණවකගේ ගෝලයා ධනුෂ්ක රාමනායක ගෝටා ගෝ ගමේ ඇතැම් යටිතල පහසුකම් සැපයීමට ද සෙනග අඩුදාට වැඩේ දිගටම ඇදං යන්න සුපුරුදු අන්තරේ ද සිටී. මේ කිසිවක් පිළිබඳව සදාචාර විනිශ්චයන් වැදගත් නැත. අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ පශ්චාත් රාජපක්ෂ ගෝටා ගෝ ගම කියා සංගත යමක් පවතීද? පවතී නම් ඔවුන් කියනා පද්ධති වෙනස කුමක්ද? ඔවුන් කතා කරන්නේ එක් දේශපාලන ඉලක්කයක්ද? එසේ නම් ඔවුන් කියනා ඊනියා සාමූහිකත්වය කුමක්ද? ජයදේව උයන්ගොඩ කියනා ලෙස මහජනයා ‘පුරවැසියන්’ බවට පරිනාමය වීමේ සමාජවිද්‍යාත්මක සාක්ෂි මේ දක්වා තිබේද? අප්‍රේල් නැගිටීම් පිටුපස දේශපාලන හැගවුමක් වේ නම් ඒ කුමක්ද? ජාතික කොඩි, දේශාභිමානී ගීත ආදියේ සංකේත ලංකාවේ ඓතිහාසික ජාතිකවාදයෙන් මිදී ඇත්ද? ගෝටා ගෝ ගම මුස්ලිම් සිංහල සංහිදියාව ප්‍රචාරකවාදී ප්‍රසංගයකට වඩා යමක් ඉගි කරයිද? ලංකාවේ ඊනියා බහුජන විඤ්ඤාණයේ කිසියම් හෝ පරිවර්තනයක් සිදු වී ඇතිවාද? ඇත්නම් ඒ මොනවාද? සුබවාදී දේශපාලන අලංකාරික හරහා අප්‍රේල් නැගිටීම් උත්කර්ෂවත් කරනා උදවියගෙන් අප නැවත නැවත ඇසිය යුතු මූලික මූලධාර්මික ප්‍රශ්න මේවාය. 


දැනටමත් නිරූපිත ලංකාවේ විවිධ සංස්කෘති හා අදහස් නියෝජනය කරනා සාම්පල බුබුළු ගෝටා ගෝ ගම ලෙස ඉදි වී ඇත. ලංකාවේ දේශපාලන කතිකා සියල්ල වෙන් වෙන්ව ගෝල්ෆේස් බිමට පැමිණ වෙන්වෙන්ව සටන්පාඨ කියමින් සිටී. කිසිවෙකුටත් සෘජුව සිය දේශපාලන මතය ප්‍රචාරය කිරීමේ හැකියාවක් ද මේ තුළ තවමත් නැත. නිර්දේශපාලනික ලිබරල් අරාජිකවාදයට හිසනමා ආචාර කිරීමට සියල්ලන්ට සිදුව ඇත. තාමත් දේශපාලනය ලෙස එහි වරනැගිය හැක්කේ ‘රාජපක්ෂවාදයට ඇති විරෝධතා’ පමණි. ඔවුන් සියල්ලන්ගේම පොදු සතුරා ලෙස රාජපක්ෂවාදය නම් කොට ඇත. නමුත් රාජපක්ෂල පැන්නූ පසු සිදුවන්නේ කුමක්ද’ යන්න සිතීම සදාතනික අනාගතයක් දක්වා අප කල් දාන්නද? දේශපාලනය නොදන්නා අනෙකෙකුට බාර දී සමාජය අහඹු පරිවර්තනයකට ලක්වනතුරු අප බලා ඉන්නද? පශ්චාත් – රාජපක්ෂ දේශපාලන අවකාශයක් සදහා කිසිවෙකුත් ‘දේශපාලන ගෙදර වැඩ’ කර ඇත්ද? එසේ නොකර වෙන දේ බලං ඉදීම දේශපාලනය ලෙස බාරගත හැකිද? ඊලඟට රාජ්‍ය බලය ගන්නට ඉවකරමින් සිටිනා හයිනාවුන්ට හැර මේ උද්ඝෝෂණ හරහා දේශපාලන අභිලාෂ සාක්ෂාත් කරගත හැකි වෙනත් බැරෑරුම් විකල්ප පිරිසක් වේද? 

රාජපක්ෂවාදී දේශපාලන ක්ෂිතිජයෙන් ඔබ්බට ?

දේශපාලනය යනු ටක්කෙටම දැනගෙන කරනා මැදිහත්වීමක් වැනි පටු නිගමනයක් මේ විවේචන හරහා කිසිසේත්ම අදහස් නොවේ. දේශපාලනය යනුම ‘මැදිහත්වීමක්’ නම් මේ අප්‍රෙල් නැගිටීම්හි මැදිහත්වීම කුමක්දැයි අප අර්ථනංවාගත යුතුය. එක් අතකින් ඊනියා මහජනයා ඉදිරියේ සිටිනා ප්‍රභූ දේශපාලනයේ පාලකයන් අහම්බයට ඉඩ දෙන්නන් නොවේ. මෙවැනි උග්‍ර අර්බුද අවස්ථාවක පවා ඔවුන් සියලු උපක්‍රම උපරිමයෙන් භාවිතයට උත්සාහ කරමින් සිටී. ඒවා අවලාද හෝ මඩ ප්‍රචාරක ව්‍යාපෘති ලෙස ද බුද්ධි ව්‍යාපෘති ලෙස ද හිංසනීය මර්දනයන් ලෙස ද පාර්ලිමේන්තු පුටු මාරු සෙල්ලම් ලෙස පමණක් නොව මේ වන විට ව්‍යවස්ථා සංශෝධනයකට පවා යළි උත්සාහ කරමින් සිටී. ඊට සංකේතීයව දමිළ ප්‍රභූ දේශපාලනය පවා යොදාගනිමින් සිටී. එවන් සංවිධානාත්මක, කේන්ද්‍රීය බලදේශපාලනයකට ඓරෙහිව වුව ද මෙතරම් විසිරුණු හා උද්ඝෝෂණ මූලික දෙශපාලයකින් මුහුණ දිය හැකි දුර ඉතා සීමිත විය හැක. අවම වශයෙන් මේ හරහා රාජපක්ෂ පවුල දේශපාලනිකව පරාජය කල හැකි නම් එය ජයග්‍රහණයකි. නැවතත්, ඉන් ඔබ්බෙහි වූ අහඹු සිදුවීමකට ද ඇති ඉඩ මෙහිදී කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැත. නමුත් ගැටළුව වන්නේ කේන්දර බලන්නාක් මෙන් දේශපාලනය යනු එවන් නොදන්නා අනෙකෙකුගේ නොදන්නා සිදුවීමක් ඉලක්කය ලෙස පවත්වාගෙන දේශපාලනය අනෙකාට බාරදීමක් නොවීමයි. එසේම පශ්චාත් – රාජපක්ෂ දේශපාලනයකදී මේ බහුත්වවාදී ගොනුව එක්කොට තබා ගත හැකි දේශපාලන භාවිතයක් වේදැයි අප පරීක්ෂා කල යුතුවේ. පශ්චාත් රාජපක්ෂ යුගයක් පද්ධති වෙනසක් වන්නේ නම් එවැනි නිගමනයකට ආවේ කුමන නිරීක්ෂණ හරහාද කියා ද පැහැදිළි කරගත යුතුය. ඊනියා මහජනයා දේශපාලන පරිවර්තනයකට ලක් වී නම් පශ්චාත් රාජපක්ෂ යුගය පාර්ලිමේන්තු නියෝජිතවාදය අභිබවා ගිය නව දේශපාලන භාවිතයකට ඇතුළු වේද? එසේ වේ නම් ඒ කුමන ආකෘතියකින් විය හැකිද? ගෝල්ෆේස් බහුත්වවාදීන් එකිනෙකාට පොදුවේ අභිමුඛ වනවිට ඔවුන් දේශපාලනය කතා කරගන්නේ කුමන මූලධාර්ම මත සිටද? මේ නැවත නැවතත් අප අපෙන් අසාගතයුතු මූලධාර්මික දේශපාලන ප්‍රශ්නයි. 


නැවත තත්ත්වය සරළව සාරාංශ කරන්නේ නම්, අප්‍රේල් නැගිටීම්හි ප්‍රකාශිත ඉලක්කය වන රාජපක්ෂ ගෙදර යාම සිදුවුවහොත් ඉන්පසු ලංකාව යනු කුමක්දැයි දේශපාලන පරිකල්පනයක් හෝ දේශපාලන දිශානතිය කුමක්දැයි කිසිවෙකුට හෝ අදහසක් ඇත්ද? හුදු ආණ්ඩු මාරුවකට ඔබ්බෙහි වූ වියහැකියාවන් සදහා විකල්ප චිත්‍ර පවතින්නේද? එසේ නම් ඒ මොනවාද? අවම වශයෙන් එක් දේශපාලන සාධකයක හෝ පද්ධති වෙනසක් ලෙස සැලකීමට හැකි ඡායාමාත්‍ර ගුණයක් හෝ අප්‍රේල් නැගිටීම් තූළ තිබේද? තිබේ නම් ඒ කුමන ගුණයන්ද? 

අප්‍රේල් නැගිටීම් අයෙක් බැරෑරුම්ව සලකන්නේ නම් කලයුත්තේ විවිධ අලංකාරික හරහා දේශපාලන යුතෝපියාවක් මැවීමද? නැත්නම් රාජපක්ෂලා වැනි පාලකයන් වරින්වර පත්කල ඊනියා මහජන විඤාණය විවේචනයද? ලංකාවේ පාලකයන් හා ජනතාව ලෙස දෙකට බෙදනා දෘෂ්ටිවාදී වෙන්කිරීමම වෙනුවට පාලකයන් යනුම මහජනයා බව ඊනියා මහජනයාට කියාදිය යුතුය. මේ යුගයේ මහජනයා අපට උගන්වන්නේ නරුමවාදයයි. ඔවුන්ගේ ඉල්ලීම නැවතත් සිය සුවපහසු පරිභෝජනවාදී ජීවිතය නැවත ලබාදෙන ලෙසයි. ඔවුන් දැන් ‘නිදහස’ කියන්නේ පරිභෝජනවාදයේ නිදහසයි. ඔවුන් ‘අයිතිය’ කියන්නේ පරිභෝජනයට ඇති අයිතියයි. මහජනයා යනු දැනටමත් නොපවතින්නකි. මහජනයා යනු යළි නිර්මාණය කල යුතු දේශපාලන ප්‍රස්තුතයකි. ගෝටා ගෝ ගම උද්ඝෝෂණය ‘දේශපාලන අරගලයක්’ වීමට නම් ඊනියා ‘මහජනයා’ නම් දේශපාලන සංකල්පය කුඩා කුඩා ලිබරල් බුබුළු කූඩාරම් තුළින් එළියට ගත යුතුව ඇත.

(මේ රචනයේ රචකයා විසින් ඉදිරිපත් කර ඇති අදහස් පිළිබඳ ප්‍රති -අදහස් හෝ අර්ථකතන දැක්වීමට මේ අවකාශය විවර ව ඇත)

Total
22
Shares
Leave a Reply

Your email address will not be published.

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම: ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න

දීපක් නයියර් – ආර්ථිකවිද්‍යාව පිලිබඳ සේවාසම්මානිත මහාචාර්යජවහර්ලාල් විශ්වවිද්‍යාලය පරිවර්තනය:අනුෂ්කා කහඳගමගේදකුණු ආසියානු විශ්වවිද්‍යාලය (තත්කාලීනව විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන ප්‍රචණ්ඩත්වය, ඉන්දියාවේ ප්‍රභල දේශපාලනික වාදවිෂයක් බවට පත්ව තිබේ. මේ ප්‍රචණ්ඩත්වයේ එක් අරමුණක් වී ඇත්තේ එකී ආයතන තුළ සාම්ප්‍රදායිකව සිදු වූ විචාරශීලි කතිකාව හා දේශපාලනික විවේචනය පාලනය කිරීමය. එනමුත් මේ තත්වය සමස්ථ දකුණු ආසියාතික කළාපයටම පොදු තත්වයක් වන අතර, යම් මට්ටම්වලින් ඉන් බැහැර ප්‍රදේශවලද දැකගත හැක. දැනට ඉන්දියාවේ සරසවි තුළ සිදුවන ශිෂ්‍ය මර්දනය පෙන්වා දෙන මෙම…
වැඩි විස්තර පරිශීලනයට