Skip links

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

(මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය)

අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ සාහිත්‍යය හා මානවවංශ ලේඛනකරණය පිළිබඳව කලක් තිස්සේ මගේ සිතේ තිබූ ඇතැම් අදහස් ප්‍රති-සංවිධානය කර ගන්නට එමඟින් අවස්ථාවක් ලැබෙන නිසායි. අද දින සමාජගතවන කෘති කිහිපය ඇසුරින් පසුගිය සතියක පමණ කාලය තුළ මා වරින් වර පරිශීලනය කෙළේ වනස්පති හා කඩුල්ල යන තිර රචනා දෙකයි. එයින් ද මා වඩාත් අවධානයට ලක් කෙළේ කඩුල්ල තිර රචනයයි. එනමුත් මගේ බලාපොරොත්තුව මේ කෘතිවල අන්තර්ගතය සාරාංශ ගත කිරීම හෝ ඒ පිළිබඳ පුළුල් ගුණ දොස් කථනයක යෙදීම හෝ නොවේ. එය, එක් එක් පාඨකයාට තමන්ට ඇති කාලය අනුව තම තමන්ගේ දෘෂ්ටිකෝණ තුළින් බලා කළ හැකි දෙයක්ය. මගේ උනන්දුව වන්නේ, මේ කෘති පරීශීලනය කරන විට මගේ සිතට ඇතුළු වු ඉතිහාස රචනය හා ඓතිහාසික ප්‍රබන්ධකරණය වැනි කරුණු කිහිපයක දේශපාලනය පිළිබඳ යම් අදහස් සරලව ඔබ වෙත ඉදිරිපත් කිරීමයි.

ඉතිහාසය පිළිබඳව මා වැඩි අවධාරණයක් ලබා දෙන්නේ නම්, ඊට හේතුව අද දින සමාජ ගත කරන කෘති සියල්ලම සුපැහැදිලි ඓතිහාසික යුගවල සන්දර්භ ගත කර ඇති නිසා, ඒ සියල්ලම ඓතිහාසික ප්‍රබන්ධ ආඛ්‍යාන ලෙස සැලකීමට ඇති හැකියාවයි.

1990 වසරේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී නොබෙල් දේශනය පැවැත් වූ ඔක්ටාවියෝ පාස් ප්‍රකාශ කෙළේ “ඉතිහාසය තවමත් ජීවමානයි: එය අතීතයට වඩා වගතමානයට අයත් දෙයක්” යනුවෙන්ය. පාස් තම දේශනයෙන් මෙක්සිකෝවට විශේෂ අවධානය යොමු කරමින් පහත සදහන් අදහස් ද ප්‍රකාශ කළේය:

“ප්‍රාග් කොළොම්බියානු මෙක්සිකෝවේ දේවස්ථාන හා දෙවිවරු නෂ්ටාවශේෂ ගොන්නක් බවට පත්ව ඇත. එනමුත් එම ලෝකයට ජීවය සැපයූ ආත්මය අතුරුදහන්වී නොමැත. එය මිත්‍යාවේ, පුරාවෘත්තවල, සමාජ සහජීවන විධිවල හා ජනප්‍රිය කලාවන්ගේ හා චාරිත්‍ර වාරිත්‍ර ආදියේ අර්ථ-විවරණීය භාෂාවෙන් අප අමතයි.”

සැබවින්ම ජයරත්නගේ කඩුල්ල තිර රචනයේ එන ගිරිගෝරිස්, කංකානම්, මනුවෙල්, කුරුතේරිස් ආදී චරිත මෙන්ම වනස්පතිහි ආරොන්, කරොලිනා, මහ කට්ටඩි රාල, කලු කුමාරයා ඇතුලු චරිත ද අපව කැදවා ගෙන යන්නේ අප සමාජය හා සම්බන්ධ මෙකී ඓතිහාසික යටගියාව වෙත මෙන්ම මිථ්‍යාමතික යටගියාව ද වෙතයි. මෙහිදී අප මතක තබා ගත යුතු තවත් කරුණක් නම්, මානවයාගේ ලෝකය හා දේව යක්‍ෂාදීන්ගේ ලෝකය අපගේ සංස්කෘතික භාවිත හරහා සමීපව බැදී සිටින බවත් ඒ හා බැඳුනු අපගේ අනුභූති හුදු මායා යථාර්ථවාදය වැනි යුරෝකේන්ද්‍රීය සංකල්පයකට ග්‍රහනය කරගත නොහැකි බවත්ය. එනමුදු ඒ ගනුදෙනුව වනස්පති තිර රචනය තුළ නිරායාසයෙන් දිගහැරලීමට ජයරත්න සමත් වී සිටින බව පැහැදිලිය.

කෙසේ නමුත්, පසුගිය දින කිහිපය තුළ මට මුණගැසුණු කිහිපදෙනෙකු සමග වරින්වර පැවැත් වූ අවිධිමත් කථාබහ මගින් පැහැදිලි වූ කරුණක්වූ යේ ඉතිහාසය හා ඓතිහාසික ප්‍රබන්ධකරණය හෝ ඓතිහාසික නිර්මාණ සාහිත්‍ය අතර ඇති වෙනස ඒ බොහෝ දෙනා එතරම් වටහා ගෙන නොමැති බවයි. එනමුත් තිලක් ජයරත්නගේ කෘතිවලින් පෙන්වා දෙන්නේත් මා සිතන ආකාරයට, මෙතැන සිටින බොහෝ දෙනා වටහා ගෙන සිටිනුයේත්, ඉතිහාසය හා ඉතිහාස ප්‍රබන්ධකරණය යනු භූමිකා දෙකක් බවයි. එනමුත් මේ භූමිකා දෙක අතර අත්‍යන්ත සබඳතාවක් ඇති බව ද අමතක නොකළ යුතුය. ඇන්ඩෲ ග්‍රීලිට අනුව ඉතිහාසයේ කාර්යභාරය වන්නේ හැකි පමණ නිවැරදිව සිදුවීම් විස්තර කිරීමයි. එමෙන්ම, ඓතිහාසික නි‍ර්මාණ සාහිත්‍යයේ භූමිකාව වන්නේ කතාවක සිටින චරිතවල සංජානනය හා ක්‍රියාකාරකම් හරහා එවැනි සිද්ධි අතරට පාඨකයා කැදවාගෙන යාමයි. ඒ සිද්ධි අතර ඔහු හෝ ඇය සිටින බව පාඨකයාට දැන්වීමයි.

වෙනත් වචන වලින් පවසනවා නම්, රාජසිංහ රජතුමා සීතාවක සිට කොළඹ කොටුව දක්වා සන්නද්ධ හමුදා පෙරමුණු කර ගෙන පෘතුගීසීන් ආක්‍රමණය සඳහා ගමන් ගත් බව ඉතිහාසඥයෙකු පවසනු ඇත. නවකථාකරුවෙකු නම්, ඔහුගේ ඒ ගමන යාමට පෙර සීතාවක බැරුණ්ඩි කෝවිල වැද පුදා ගත්ආකාරයත්, ඇද සිටි ඇඳුම් පැළඳුම් වල ලාලිත්‍යයත්, සිවුරග සේනාවන්ගේ ආඪ්‍යත්වය මෙන්ම ආහාර අනුභව කළ ස්ථානය සේම ඔහුගේ සේනා සංවිධානය නිසා කොළඹ කොටුවේ බළල් මස් ගිනි ගණන් වුනු ආකාරයත් විස්තර කරමින්, අපව ඒ යුගයට හා මොහොතට කැඳවා ගෙන යන්නට උත්සාහ දරනු ඇත.

කෙසේ වුවත්, ඓතිහාසික නව කථාවක සාර්ථකත්වයට එය පදනම්ව පවතින ඓතිහාසික සන්ද‍ර්භයේ යම් වෙනස්කම් ඇති කිරීම අවශ්‍ය වේ. නමුත් එසේ කළ යුත්තේ, තිලක් ජයරත්න කඩුල්ල තිර රචනයේ මැනවින් ඉදිරිපත් කරන ආකාරයට, අදාළ ඓතිහාසික සන්දර්භයේ විශ්වසනීයත්වය ඛණ්ඩනය නොවන පරිදිය. මෙවන් පූර්ව-කොන්දේසි සපුරන්නේ නැති ප්‍රබන්ධ රචනාවක් සුපැහැදිලි ඓතිහාසික මොහොතක් තුළ ස්ථානගත කිරීම කළ නොහැකිය. එනමුත් යම් ඓතිහාසික සන්දර්භයක එවන් කෘතියක් ස්ථානගත කරන්නේ නම්, ප්‍රබන්ධ රචකයා තමන් මූලිකවම නව කතාකරුවෙකු හෝ තිර රචකයෙකු බව අමතක නොකළ යුතු අතර, ඉතිහාසඥයෙකුගෙන් අප සාම්ප්‍රදායිකව බලාපොරොත්තු වන පර්යේෂණ ශික්ෂණය ද විශද කළ යුතු බව මගේ විශ්වාසයයි. එසේ නොකරන්නේ නම්, අප ‘අබා’ වැනි කාල නිර්මිත මහා පරිමාණ ඓතිහාසික සිනමා කෘතියක් නිර්මාණය කිරීමට දරණ උත්සාහය ‘ඇබා’ වැනි කෘතියක් බිහිවීමෙන් නිමවීමට ඉඩ තිබේ. නැතිනම් ‘අබා ඇබා වීමට’ ඉඩ තිබේ. කෙසේ වුවද, ඓතිහාසික ප්‍රබන්ධ රචකයා ඉතිහාසය නැතිනම් අතීතය යන්න යොදා ගත යුත්තේ තම විෂය වස්තුවට පදනමක් සැපයීමට හා තම ප්‍රධාන ආඛ්‍යානයට පසුබිමක් සැපයීමටය. කඩුල්ල තිර රචනයේ ඓතිහාසික සන්දර්භගතකිරීම හා චරිත මෙහෙයවීම තුළ මේ ලක්ෂණ මැනවින් විද්‍යමාන වන බව මගේ විශ්වාසයයි.

පර්යේෂණ යන්න අවශ්‍ය වන්නේ අදාළ කාලය තුළ රචකයාට, ඔහුගේ චරිත මෙන්ම ඔහුගේ පාඨකයා ද නිමග්න කිරීම අත්‍යවශ්‍ය නිසාය. නොඑසේනම්, හුදු තත්කාලීන රචනයක් ලියා එහි ඇඳුම් පැළඳුම් වැනි සංස්කෘතික සුරුවම් පමණක් කාලීනව නිර්මාණය කිරීම දු‍ර්වල රචකයෙකුගේ භූමිකාව වේ. තිලක් ජයරත්නගේ කඩුල්ල තිර රචනය හරහා මා කැදවා ගෙන ගියේ මා යම් දුරකට දැන සිටි ලංකාවේ ධනවාදී ආර්ථික ව‍ර්ධනයේ සංදිස්ථානීය යුගයකයටය. මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය, කළියුගය හා යුගාන්තය මෙන්ම ගුණදාස අමරසේකරගේ ගමනක මුළ, ගමනක මැද හා වංකගිරියක ආදී නවකථාවලින් කියවෙන්නේ ද ධනවාදය මෙන්ම ශ්‍රී ලංකවේ පංති ක්‍රමයේ ව්‍යාප්තියයි. එසේ වුවත්, කඩුල්ල තිර රචනය කියවීමේදී මා දුටු ප්‍රධාන ලක්ෂණයක් නම්, එකී ඉතිහාසයේ අනිවාර්ය කොටසක් වන ආභ්‍යන්තරික ප්‍රචණ්ඩත්වය මතු කර ගැනීමටත්, එය ආඛ්‍යානයේ වැදගත් කොටසක් ලෙස පවත්වා ගෙන යාමටත්, එකී ගතිකත්ව චරිත තුළින් සන්නිවේදනය කිරීමටත් පෙරකී අන් කේන්ද්‍රීය ලේඛකයින් දෙදෙනාටත් වඩා ජයරත්න සමත්ව ඇති බවයි. එක් අතකින් එයට හේතුව ජයරත්නගේ පඨිතය රූපවාහිනිය සදහා සම්පාදනය කිරීම නිසා එය පෙරකී නවකථාවලට වඩා බෙහෙවින් වෙනස් ආඛ්‍යාන රාමුවක් තුළ රචනා කිරීම හේතුවෙන් විය හැකියි.

තිලක් ජයරත්නගේ කෘති පසුගිය දින කිහිපය තුළ කියවන අතරතුර දී මෙන්ම මීට පෙර නොයෙක් අවස්ථාවන්වලදී ද මගේ සිත තුළ නිරතුරුවම මතු වූ කරුණක් නම් ඉතිහාසය යන්න අද අප ආශ්‍රය කරන යථානුභූතවාදී ඉතිහාසකරණයේ නියෝජිතයින් පවසන තරම් වෘත්තීමය, සුපිරිසිදු, පරස්පර විරෝධතාවන්ගෙන් මිදුණු හා පරිකල්පනයෙන් වල්මත් නොවුණු හුදු සිද්ධි මාලාවක නිරවද්‍යය සටහනක් ලෙස සරලව සැලකිය හැකි ද යන්නය. අප එසේ සලකන්නේ නම්, මහා වංශය ඉතිහාසයක්ලෙ සට සැලකිය නොහැකිය. මක්නිසාද එතුළ සිද්ධි, විස්තර මෙන්ම අධි-තාත්වික සහ සුපිරිමය බලයක් සහිත විරුවන්ගේ වීර කථා ද දුටුගැමුණු රජතුමා මරණින් පසු සැනෙකින් දෙව් ලොව යෑම වැනි වෘත්තාන්ත ද එකට ගොනු කර තිබෙන නිසායි.

මේ පිළිබඳ පුලුල් සම්භාෂණයකට එළැඹීමට මෙය අවස්ථාව නොවුව ද මහා වංශය පරිකල්පනීය හා අර්ථවිවරණාත්මක අර්ථයකින් පාඨනය කරන්නේ නම්, එය වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් වනු ඇති බව මගේ විශ්වාසයයි. අනෙක් අතට, ඉතිහාසය යන්න අප කෙසේ නිගවචනය කළ ද එය හුදු සත්‍යයේ හා එනිසාම අහිංසකත්වයේ අඩවියක් ද නොවේ. අද දින අප සැම දන්නා ඉතා ජනප්‍රිය ඉතිහාස කතිතාවක් වන ‘මහා සිංහලේ වංශ කතාව’ වැනි රූපවාහිනී ටීකාවක් ගෙන බැලුව ද, එහිදී ඓතිහාසික සිද්ධි ආරම්භ වනුයේ කොහින්ද, මිථ්‍යා කතා අහවර වනුයේ කොතැනින්ද, පරිකල්පනය සීමා පවුරු බිද ගෙන දිවයන්නේ කොහි සිට ද යන කරුණු පැහැදිලිව විශද නොවේ. කෙසේ නමුත්, ආඛ්‍යානයක් වශයෙන් එය අප බොහෝදෙනා ජාත්‍යාලයෙන් මුසපත් කරමින් මහවැලි නදී තමෝ ශීත කඳුකරය් සිට ගලා බසින්නාක් මෙන් චාරුවෙන් ගලා බසී.

මෙනයින් බලන කල මෙවන් ඓතිහාසික සම්භාෂණයක් යම් සීමා තුළ සවිඥානිකවම ඉතිහාසය හා මිථ්‍යාවන් පරිකල්පනීයව එක්තැන් කරන වනස්පති වැනි නි‍ර්මාණ කෘතියකට සම වෙනු ඇතැයි යමෙකුට සිතිය හැක. සැබැවින්ම යථානුභූතවාදී ඉතිහාසයඥයාට සාක්ශාත් කර ගත නොහැකි වූ කරුණක් වනුයේ ඉතිහාසකරණ ක්‍රියාවලියට මිථ්‍යා කතාවන්ගේ ආලෝකය පරිකල්පනීයව හා අර්ථ විවරණීය ශික්ෂණයකින් යුක්තව ලබා ගැනීමයි. එනමුත් පශ්චාත් 1960 යුගයේ පමණ සිට අර්ථ විවරණාත්මක මානව විඩද්‍යාව මගින් සිදු කළ ප්‍රධාන භූමිකාවක් ලෙස මා දකින්නේ, ක්ලෝඞ් ලෙවි ස්ට්‍රවුස් වැන්නවුන් මිථ්‍යා අධ්‍යයනයට ලබා දී තිබූ අවකාශය වඩාත් විවර කිරීම සහ ඒ සඳහා යොදා ගත හැකි න්‍යායික ප්‍රවේශ වඩාත් සුක්ෂ්ම කිරීමය. මේ අර්ථයෙන් ගත් කළ, තිලක් ජයරත්නගේ වනස්පති තිර පිටපත ඉතිහාසඥයන් ගනුදෙනු කිරීමට මැලිවුණු හා ශ්‍රී ලාංකේය සමාජ මානව විද්‍යාඥයින්ගේ අර්ථ විවරනාත්මක සම්භාෂණයට කේන්ද්‍රීය ලෙස ග්‍රහනය කර ගැනීමට නොහැකි වූ මිථ්‍යා කතා හා විශ්වාස සහ යථාර්ථය හා අතීතය බද්ධ කිරීම මගින්, ඓතිහාසික ගැඹුරක් ඇති ප්‍රබන්ධ ආඛ්‍යානයක් ගොඩ නැගීම පිළිබඳ මනා නිදසුනක් සපයයි.

2005 වසරේදී ඈන් කර්ටොයිස් හා ජෝන් ඩොක‍ර් විසින් රචිත Is history Fiction (නැතිනම්, ඉතිහාසය ප්‍රබන්ධයක් ද) යන කෘතියෙන් ඉදිරිපත් වුණු ඇතැම් අදහස් මගේ මතකයට නැවතත් නැගුනේ මේ පිළිබඳව සිතමින් සිටින විටදීයි. කෘතියේ මාතෘකාවෙන් මතු කරන ප්‍රධාන පැනයට, එනම් ඉතිහාසය ප්‍රබන්ධයක් ද යන්නට මූලික වශයෙන් පිළිතුරු තුනක් ලැබෙන බව කර්ටොයිස් හා ඩොක‍ර්ස ඳහන් කරති: එනම්, තත්කාලීන යථාර්ථයන්ට අනුව ඉතිහාසය මුලුමනින්ම ප්‍රබන්ධයක්ය යන්න ඇතැම් ඝෝෂාකාරී පශ්චාත් නූතනවාදීන් පවසන බවත්, එය ප්‍රබන්ධයක් නොවන බව බොහෝ වෘත්තීය ඉතිහාසඥයන් පවසන බවත්, මේ අන්ත දෙක අතර අවකාශයක් තමන් නියෝජනය කරන බවත් කතුවරු පවසති. එනමුත් මෙහිදී ඉතිහාසකරණය සම්බන්ධයෙන් මෙන්ම, මා සිතන පරිදි ඓතිහාසික ප්‍රබන්ධකරණය සම්බන්ධයෙන් ද යම් දුරකට වැදගත් වන්නේ ඔවුන් ඉදිරිපත් කරන පහත සඳහන් අදහස් කිහිපයයි:

“ඓතිහාසික සත්‍යයක් සොයා යෑමේදී සිදුවන්නේ ඓතිහාසික භාවිතයේ අනිවාර්ය සීමා හා එහි සංස්කෘතික සාපේක්‍ෂතාව පිළිබඳව වඩාත් සව්ඥානික වීම විනා එය නිශේධනය කිරීම නොවේ. අපගේ තර්කය වන්නේ ඓතිහාසික රචනාකරණයේ අන්ත‍ර්ගත ප්‍රබන්ධනීය ලක්‍ෂණ ස්ව-සවිඥානිකව හඳුනාගැනීමෙන් සිදුවන්නේ සත්‍යය සොයා යන ගමන තීව්‍ර වනවා මිස එය දුරස්ථ වීමක් නොවන බවයි. ඉතිහාසඥයා අතීතය නියෝජනය කිරීම පිළිබඳ තමන්ගේ ක්‍රියාකාරී භූමිකාව සම්බන්ධව වඩාත්වි වෘත වීමත් සමග, සාධාරණ සැක සාංකා ද සහිතව තම පාඨකයන්ට එක් එක් ආකාරයේ ඉතිහාසයන් වෙත ළගාවීමට අවශ්‍ය අවකාශය සම්පාදනය කරයි.”

ඉතිහාසඥයාගේ භූමිකාව පිළිබඳ මෙකී පරමාදගශී ස්ථාවරය ඓතිහාසික ප්‍රබන්ධ රචකයාටද යම් සීමා තුළ අදාල බව මගේ විශ්වාසයයි. ඉතිහාසඥයෙකු හෝ ජනශ්‍රැතිවේදියෙකු හෝ නොවුව ද තිලක් ජයරත්න තම පඨිත තුළින් එකී පඨිතවල ආඛ්‍යාන ආකෘතිවලට සරිලන ලෙස මේ භූමිකා ජයගෙන ඇති බව මගේ හැඟීමයි. මගේ යෝජනාව ඔහු සත්‍යය ගවේෂණය කිරීමට උත්සාහ දැරූ බව නොවේ. මා සිතනාකරයට ඔහු ප්‍රබන්ධකරණයේ යෙදෙන විට අදාල කථා දිගහැරෙන පසුතලයේ ඓතිහාසික විශ්වසනීයත්වය කිසිවිටෙකත් ඛණ්ඩනය නොවේ. ඔහුගේ ප්‍රබන්ධකරණයට උදාහරණයක්ව ශයෙන් කඩුල්ල තිර රචනය ගෙන බැලුවහොත්, එහි ඓතිහාසික ගැඹුර හා විශ්වසනීයත්වය ඩොමිනික් ල පියර්ගේ හා ලැරී කොලින්ස්ගේ Freedom at Midnight හෝ යූස්ටේන් ගාඩ‍ර්ගේ Vita Brevis: A Letter from St. Augustine වැනි ලෝක පූශ්‍රීත නවකථාවල ඇති එම ගුණයම මගේ සිතට ගෙන එයි. එනමුත් නවකථා රචනයේ නොයෙදී ජයරත්න තිර රචනයේ යෙදීමට මීට බොහෝ කලකට පෙර ගත් දෛවෝපගත තීරණය මීට පරිබාහිර කරුණකි.

අනෙක් අතට, ඉතිහාසයේ සාහිත්‍යයමය ලක්‍ෂණ පිළිබඳව නිරතුරුවම අදහස් ඉදිරිපත් කර ඇති හේඩන් වයිට් පවසා ඇති අයුරු, ඉතිහාසයට සාහිත්‍යයෙන් කිසිවිටෙකත් මිදිය නොහැක. ඉතිහාසයට සාහිත්‍යයෙන් මිදිය නොහැකි වන්නේ, ඉතිහාසයට ඉතිහාසයෙන්ම මිදිය නොහැකි ආකාරයෙන්මය. එසේ වන්නේ, ඉතිහාසය එහි ගවේෂණවල හා පර්යේෂණවල ප්‍රතිඵල ආඛ්‍යාන වශයෙන් ඉදිරිපත් කරන නිසාත්, එසේ කිරීමේදී එයට අනිවා‍ර්යයෙන් සාහිත්‍යයේ ලොවට ඇතුළු වීමට හා ඒවායේ ආකෘති සමඟ ගනුදෙනු කිරීමට සිද්ධ වන නිසාත්ය. මෙනයින්ම බලන කල, ඓතිහාසික ප්‍රබන්ධයක් සේ සලකන පඨිතයක් හෝ එසේ නොසලකන පඨිතයක් හෝ ඉතිහාසයේ බැල්මෙන්මි දෙන්නේ නම්, ඒ මායාකාරී යථාර්ථයක් තුළ වල්මත්වී කාලාවකාශ සම්බන්ධතා වියැකී ගිය මොහොතක දී පමණි.

මගේ අදහස් ඉදිරිපත් කිරීම සමාර්ථයකට ගෙන ඒම සඳහා මගේ සිත තුළ කාලයක් තිස්සේ ළැගුම්ගෙන සිටි, එනමුත් සන්තෘප්තියට පත් නොවන මනස්ඝෘෂ්ටියක් සමග තිලක් ජයරත්නගේ ප්‍රබන්ධකරණය සම්මුඛ කිරීමට මා කැමතිය. මගේ මනස්ඝෘෂ්ටිය නම් උම්බගතෝ ඊකෝගේ Baudalino හෝ ගාබ්‍රියෙල් ගාසියා මාකේස්ගේ Love in a Time of Cholera වැනි සංකීර්ණ, දියුණු, පරිණත මහා ආඛ්‍යානමය නවකථාවක් සිංහලෙන් කියවීමට ඇති ආශාවයි. මා සිතන පරිදි සයිමන් නවගත්තේගමගේ සංසාර ආරණ්‍ය අසබඩ මේ තත්ත්වයට බෙහෙවින් සමීප වූ කෘතියක්. ජයරත්නගේ පඨිත තුළ මෙවන් කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය පූ‍ර්ව කොන්දේසි වන ඓතිහාසික සවිඥානකත්වය, පර්යේෂණ ශික්ෂණය, බස හැසිරවීමේ දියුණු හැකියාව ආදී කරුණු ගණනාවක් විද්‍යමාන වේ. එනමුත් ඔහුගේ පඨිත තිර රචනා වන නිසා, ඒ සඳහා තෝරාගෙන ඇති ආඛ්‍යාන ස්වරූපය කරණකොටගෙන වඩාත් පරිපූර්ණ කෘති ලෙස විකසිත වීම සඳහා වෙනත් විශේෂඥයෙකුගේ ඍජු මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. එනම්, කතුවරයාගේ පාලනයෙන් මිදුනු රූපවාහිනී හෝ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ගේ සහාය යි. මේ මොහොතේදී කතුවරයාට තම පඨිතය සම්බන්ධයෙන් පැවති පාලනය ගිලිහී යන අතර, නව ව්‍යාපෘතියක් ඇරඹේ. ජයරත්නගේ තිර රචනා හා ඒවා මත පදනම් වූ රූපවාහිනී කෘති පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට මගේ අදහසක් නොමැත. එනමුත් මෙය මා තුළ පවතින සංකාවක්. සුනිල් විජේසිරිවර්ධන සහෝදරයා රත්නවල්ලි තිර රචනය වෙනුවට, හැකියාව හා පූර්ව කොන්දේසි තිබියදීත් මා ඉහත සඳහන් කළ ආකාරයේ නව කථාවක් නොලීවේ මන්දැයි මා අනේක විට කල්පනා කළා. තිලක් ජයරත්න සහෝදරයා අප එතරම් දුර තවමත් තරණය කර නොමැති මේ මාර්ගයට නුදු‍රේ දී අවතීර්ණ වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.

Leave a comment

This website uses cookies to improve your web experience.