‘ඊනියා’ මහජනතාව සහ ‘ඊනියා’ ‘බුද්ධිමතුන්’

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය

අරගල ඔස්තාද්ලා විසින් මෙරට දැනට පවතින තත්ත්වය ඉතාම බැරෑරුම් ලෙස විග්‍රහ කරති. ඒ විග්‍රහ කිරීම් විවිධ මාන ඔස්සේ පැතිර යයි. අරගලය කළ යුත්තේ කෙසේ ද, අරගලය සිදුවන්නේ කුමක් නිසා ද සහ අරගලය කරන්නේ කවුද යන්න ගැන ඔවුහු විවිධ මාධ්‍ය ඔස්සේ තම විදග්ධ අදහස් සමාජගත කරමින් සිටිති.

පසුගිය දිනක, පඨිත වෙබ් අඩවියේ පළවූ ලිපියකට අනුව අරගල කරන ජනතාව ‘ඊනියා’ මහජනතාව, ‘ඊනියා ජහමනයා’ සහ ‘ඊනියා බහුජනයා’ ලෙස හඳුන්වා තිබුණි. ඒ ලිපියේ ප්‍රධාන තර්කයක් වූයේ, ‘පාලකයන් යනු ඊනියා මහජනතාවගේ ප්‍රතිබිම්බයයි’ සහ ඒ හේතුවෙන් මහජනයා ඉවත්කර වෙනත් මහජනතාවක් පත්කර ගත යුතු බවයි. පාලකයා යනු මහජනතාවගේ ප්‍රතිබිම්බයක් යන ප්‍රාථමික තර්කය සමඟ මම එකඟ වෙමි. නමුත් ‘ඊනියා’ මහජනතාව යනු කවුද? මේ ඊනියා මහජනතාව ආකස්මිකද? ඔවුන් අහසේ සිට ලංකාව නමැති භූමියට කවුරුන් විසින් හෝ පතිත කරනු ලැබුවාද? ඒ ‘ඊනියා මහජනතාවට’ එසේ කියන ‘බුද්ධිමත්’ ලේඛකයා ඒ ජනතාවට අයිති නොවන්නෙක්ද? එසේ නම්, ඒ කෙසේ ද?  

‘ජනතාව’ යනු සංකීර්ණ සංකල්පයකි. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ආගම්වාදී ජනතාවක් නිර්මාණය කරන ලද්දේ කෙසේ ද ඒ ලෙසම රාජපක්ෂලා විසින් ලංකාවේ ඔය කියන ආකාරයේ ‘ඊනියා’ ජනතාවක් නිර්මාණයකර ඇත. ඔවුන් පටු ආගම්වාදීන්, පටු ජාතිකවාදීන් ආදී ලෙස ද තවදුරත් වරනගිය හැක. එසේ ‘ඊනියා’ ජනතාවක් නිර්මාණය වන තුරු මේ බොහෝ ‘බුද්ධිමතුන්’ යයි කියා ගන්නා පිරිස් සහ ලංකාවේ නම් කල්ලි ලබ්ධික (cult intellectuals) බුද්ධිමතුන් සිටියේ කොහේදැයි මම නොදනිමි. ‘ඊනියා’ ජනතාවක් බිහි වූයේ නම්, එහි ප්‍රධාන වගකීමක් ඔය බුද්ධිමතුන් යැයි කියා ගන්නා හෝ තැන තැන කල්ලි සාදාගෙන තමුන්ට කියා අනුගාමිකයින් පිරිසක් බිහිකරගෙන සිටින පිරිස්වලට පැවරෙන්නේ නැද්ද? රාජපක්ෂලාට ජනප්‍රිය මතවාද  නිර්මාණය කිරීමට අවශ්‍ය ධනය, බලය සහ සමාජ ප්‍රාග්ධනය තිබෙන බව මම ප්‍රතික්ෂේප නොකරමි. නමුත් එම ‘ඊනියා’ යයි කියන ජනතාව නිර්මාණය කිරීමේ වරදින් අපි කිසිවෙකුට ගැළවිය හැකිද? අපි සියල්ලෝ ඒ ‘ඊනියා ජනතාවට’ අයිති නොවන්නේ ද?

අප බොහෝ දෙනා අපේක්ෂා කළ අරගලය අපේ දොරකඩටම දැන් පැමිණ ඇත. නමුත් මට හැඟී යන්නේ, මේ කියන වියතුන් හෝ උගතුන් හෝ කල්ලි බුද්ධිමතුන් අරගලයට බිය වී ඇති බවකි. ඒ බියක් ද  නැත්නම් නිසි ලෙස අරගල කිරීමට දන්නේ තමන් පමණක් බව සිතා සිටීමදැයි මම නොදනිමි. මේ විවේචන බොහෝමයකට හේතුව මෙම කල්ලි බුද්ධිමතුන්ට මෙන්ම දේශපාලන පක්ෂවලටත් අරගලයේ වාටියේ එල්ලී සිටීමට සිදුවීමයි. මෙම ‘බුද්ධිමතුන්’ගේ නායකත්වය අරගලය විසින් දොහොත් මුදුන් දී පිළිගෙන නොමැත. ඒ වෙනුවට අරගලය විසින් සියල්ලන්ගේ පාරිශුද්ධත්වය ප්‍රශ්න කරමින් සිටී.

මේ බොහෝ ‘බුද්ධිමතුන්’ සිතා සිටින්නේ ‘සිතන’ සහ ‘කරන’ මිනිසුන් අතර වෙනසක් ඇති බවයි. ඒ අනුව මෙම ‘බුද්ධිමතුන්’ සිතීමේ කාර්යය සිදුකළ යුතු අතර, අනෙක් පිරිස් එම සිතීම අනුගමනය කරමින් බිමේ පවතින වෙහෙසකර වැඩ කොටස සිදුකළ යුතුය. දැන් මේ කියන ‘සිතීමට’ හැකියාව ඇතැයි තමුන්ම කියා ගන්නා බුද්ධිමතුන් කියා සිටින්නේ, මෙම අරගලය ‘මධ්‍යම පන්තියේ’ ‘ඊනියා’ අරගලයක් බවයි. එසේ නම්, නැවතී සිතා බැලිය යුතු වන්නේ, ‘සිතීම’ සහ ‘ක්‍රියාව’ අතර මෙම වෙනස ඇති කරමින් ‘මධ්‍යම පන්තිය’ යයි ඔවුන් විසින් හඳුන්වන මෙම පන්තිය බිහි කිරීමට මෙම ‘බුද්ධිමතුන්’ කවර ආකාරයකින් හෝ සහාය දී නොමැති ද යන්නයි. එනම්, මෙම ‘බුද්ධිමතුන්’ මධ්‍යම පන්තිය නිර්මාණය වූ සමාජයේ ඉතාම සක්‍රීය කොටසක් නොවෙයි ද? ජනතාව ‘ඊනියා’ නම්, මෙම බුද්ධිමතුන් ඉන් අදහස් කරන්නේ ‘සබුද්ධික’ සහ ‘එසේ නොවන’ කොටස් අතර පරතරයක් තිබෙන බව නොවේද? එසේ නම් මේ ‘බුද්ධිමතුන්’ කරන්නෙත් අර කියන ‘මධ්‍යම පන්තිය’ විසින් සිදුකරන අරගලයට සමාන වෙනත්, තමුන්ගේම පෞද්ගලික දේපලක් වූ අර්බුධයක් ඉල්ලා සිටීම නොවේද? මෙතන ප්‍රශ්නය වී ඇත්තේ කල්ලි බුද්ධිමතුන්ට තම සුපුරුදු ‘මධ්‍යම පාන්තික බුද්ධිමත් භාවයෙන්’ අරගලයට සම්බන්ධ වීමට නොදීමේ පසුතැවීම නොවේද?

එමෙන්ම, ශාස්ත්‍රාලයීය  සහ අනෙකුත් බුද්ධිමතුන් විසින් එල්ල කරන තවත් චෝදනාවක් වන්නේ,  අරගලයේ ඇතැම් සටන් පාඨ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද සංවේදී නොවන මෙන්ම වර්ගවාදී ද වන බවයි. එනම් ‘ජනතාව’ දේශපාලනික වශයෙන් නිවැරදි නොවන ජනතාවක් බවයි. ඉතින් බුද්ධිමතුනි, ඔබලා බලාගෙන ඉන්නේ රාජපක්ෂලා පැමිණ දේශපාලනික වශයෙන් ‘නිවැරදි’ (politically correct) මෙතෙක් නිර්මාණය නොකළ ජනතාවක් මහා හදිසිස්යේ ඉදිරියේදී නිර්මාණය කරාවි යයි කියාද? ජනතාවට දේශපාලනික නිරවද්‍ය භාවය නැත්නම්, රාජපක්ෂලාට වඩා එයට වගකිව යුත්තේ ශාස්ත්‍රාලයීය ප්‍රජාව වන අපිය. රාජපක්ෂලා ජනතාවට කතා කරද්දී, ශාස්ත්‍රාලයීය සහ අධ්‍යයනික ප්‍රජාව කතා කරන්නේ කාටද? ශාස්ත්‍රාලයීය ප්‍රජාව කතා කරන්නේ ඔවුන්ගේ කණ්ඩායම් තුළ සිට ඔවුන්ටමය. වඩාත් නිවැරැදිව කිව්වොත්, රාජපක්ෂලා පොළවට කතා කරන විට  ශාස්ත්‍රාලයීය හා අධ්‍යයනික ප්‍රජාව කතා කරන්නේ අහසටය. තමුන් කියවා ඇති පොත් මොනවාද, ඒවා කොතරම් වටිනා පොත්ද, තමාට කෙතරම් උපාධි ප්‍රමාණයක් තිබෙනවා ද තමන් බටහිර දර්ශනය හා සමාජ න්‍යාය කෙතරම් මැනැවින් හදාරා තිබේ ද වැනි කරුණු කියමින් තමාගේ පණිවිඩය වඩාත් සංකීර්ණ කිරීමට මෙම ශාස්ත්‍රාලයීය, අධ්‍යයනික හා බුද්ධිමය  ප්‍රජාවන් සමත්ව ඇත. එයට හේතුව වී ඇත්තේ, මා ද ඇතුළු මෙම පුළුල් ප්‍රජාව පවතින ක්‍රමයේම නිර්මාණයක් වීමයි. එබැවින්, තම සමාජ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යමින් ‘සිතන’ සහ ‘කරන’ යන භේදය පවත්වාගෙන යාම තුළ පමණි අධ්‍යයනික හා ශාස්ත්‍රාලයීය ප්‍රජාවට පැවැත්මක් ඇත්තේ.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ, අරගලය ‘නිවැරැදි’ අයුරින් සිදු නොවන්නේ නම් සහ එය සිදුකරන ‘පන්තියේ’ වරදක් ඇත්නම්, ඒ කාරණා දෙකටම අපි සියලු දෙනා අඩු වැඩි වශයෙන් දායක වී ඇති බවයි. එබැවින් ජනතාවට ‘ඊනියා’ යයි අමතන්නට පෙර, ජනතාව ‘වැරදි’ සටන් පාඨ කියනවා යයි මොර දෙන්නට පෙර, තම වරප්‍රසාද තත්ත්ව තුළ ජනතාවගේ මතවාද වෙනස් කිරීමට ‘බුද්ධිමතුන්’ යයි කියාගන්නා තමුන් සිදුකර ඇති දායකත්වය ගැන නැවත සිතා බැලිය යුතුය. අපි සියලු දෙනාම සිදුකර ඇත්තේ, අපගේ වරප්‍රසාදිත තත්ත්ව පවත්වාගෙන යාම සහ අප භුක්තිවිඳින සුවපහසුව දිගින් දිගටම අත්විඳිම සඳහා අවශ්‍ය ධුරාවලි සහ ආර්ථික-දේශපාලන තත්ත්ව පවත්වාගෙන යාම පමණි.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මහජන නැගීසිටීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් වේද?

~ අරුණි සමරකෝන්, රුහුණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විධායක අවකාශය තුළට, මහජනයා දේශපාලන බලවේගයක් ලෙසින් ඍජුවම ප්‍රවේශ වීම සංකේතාත්මකව සනිටුහන් කරනු ලැබුවේ ජුලි 09 වැනි දින, ජනාධිපති  ලේකම් කාර්යාලය සහ කොටුව ජානාධිපති මන්දිරය මහජනයා විසින් අත්පත් කරගැනීමෙනි. මෙම මහජන නැගී සිටීම, දාමරික පාලනයක් (mobocracy)  හෝ ත්‍රස්තවාදී නැගීසිටීමක් ලෙස ශ්‍රී ලංකා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් නම් කිරීම සමාජ මාධ්‍යයෙහි දැක ගත හැකිවිය. මෙම ලිපිය ලිවීමේ මූලික අරමුණ නම්, 2022 ජුලි 09 වැනි දින සිදුවූ මහජන නැගී සිටීම යනු…
වැඩි විස්තර පරිශීලනයට