උද්ඝෝෂණ ස්ථානයේ දේශපාලනය

(චායාරූපය: OnLanka.com)

~ සසංක පෙරේරා
දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය

ශ්‍රී ලංකාවේ පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය 2020 පෙබරවාරි 5 වනදා වාර්තාකල අන්දමට ගාලු මුවදොර ජනාධිපති කාර්‍යාලයට බෙහෙවින් සමීපව පිහිටා තිබූ හිස් ඉඩමක් ‘උද්ඝෝෂණ ස්ථානයක්’ වශයෙන් නම් කර ඇත. මේ බව දැනුම් දෙන පුවරුවක් එම ස්ථානයේ සිංහලෙන්, දෙමලෙන් හා ඉංග්‍රීසියෙන් පිහිටුවා ඇත. දැනට පවතින කතිකාවෙන් පෙන්වා දෙන්නේ මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයක් මත ස්ථාපනය කරනු ලැබූ ස්ථානයක් බවයි. මේ වන විට මේ අවකාශය පිළිබඳව මූලික වශයෙන් කතිකා තුනක් ගොඩනැගී ඇති බව පෙනේ:

1) පළමුවැන්න නම්, මෙය ඉතාමත් ඥානවන්ත ක්‍රියාවක් බවයි. එනම්, දේශපාලන අරගලවලට යම් පැහැදිලි අරමුණක්, ශිෂ්ටත්වයක් සහ දිශානතියක් සැපයීම සඳහා ජනාධිපතිවරයා ගත් නිසි පියවරක් බවයි. මුලිකවශයෙන් උපයෝගීතාවාදී වූ මේ කතිකාවෙන් පවසන්නේ උද්ඝෝෂණ එක් අවකාශයකට සීමා කිරීමෙන් කොළඹ නගරයේ උද්ඝෝෂණ නිසා ඇති වන වාහන තද තදබදය සහ අනෙකුත් ගැටලු මෙයින් විසඳෙන බවයි.

2) දෙවන බලවත් කතිකාව නම්, මෙමගින් සිදු වන්නේ සියලු උද්ඝෝෂණ නගරයේ එක් ස්ථානයකට පමණක් සීමා කර, ඉන් පිටත සිදුවන සියලු උද්ඝෝෂණ නීති විරෝධී බවට පත් කරන බවත්, එමගින් උද්ඝෝෂණ යන ක්‍රියාවලිය මූලික වශයෙන් හීලෑ කරන ලද දේශපාලන කතිකාවක් බවට පත් කරන බවයි. එනම්, උද්ඝෝෂණ සහ අරගල පවතින රජයට වාසිදායක ආකාරයෙන් හැසිරවීමට සුදුසු අවකාශයක් බවට මේ උද්ඝෝෂණ ස්ථානය පත්වන බවයි.

3) තෙවන කතිකාව මූලිකව වශයෙන් හාස්‍ය කේන්ද්‍රකරගත් එකකි. මූලික වශයෙන් කාටුන් මගින් ක්‍රියාත්මක වන මේ කතිකාව පෙන්නුම් කරන්නේ මෙසේ ස්ථාපනය කර ඇති උද්ඝෝෂණ ස්ථානය දේශපාලන අරගල පාලනය කිරීමට යොදා ගන්නා ස්ථානයක් බවයි. මේ තර්කය ගොඩ නැගීමේදී ඉහත සඳහන් දෙවන කතිකාව මූලික වශයෙන් බුද්ධිමය හා මතවාදීමය වශයෙන් දායක වන බව පැහැදිලි වේ.

කෙසේ නමුත්, මෙසේ හදිසියේ බිහිවූ උද්ඝෝෂණ ස්ථානයේ දේශපාලනය සරලව තේරුම් ගත නොහැක. උදාහරණයක් වශයෙන්, එහි නෛතික පදනම දැනට පැහැදිලි නැත. ශ්‍රී ලංකාවේ දැනට පවතින නීති හා රෙගුලාසිවලට සාපේක්ෂව, මේ උද්ඝෝෂණ ස්ථානයෙන් සාක්ෂාත් කරදෙන්නේ ව්‍යවස්ථාව මගින් සියලුම රටවැසියන්ට ලබාදී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියද? එසේනම්, මේ ස්ථානය ව්‍යවස්ථාමය වශයෙන් ආරක්ෂිත ස්ථානයක් ද?

එමෙන්ම, මෙහි අනෙක් අන්තය වන්නේ මේ ස්ථානයෙන් පිටත සිදුකරන ප්‍රසිද්ධ අරගල, උද්ඝෝෂණ හා මහජන අවකාශයේ සිදු කරන අදහස් ප්‍රකාශ කිරීම් නීති විරෝධී වන්නේ ද යන කාරනය වේ. මේ කිසිදු කාරනයක් දැනට පැහැදිලි නැත. අපට පැහැදිලි වන්නේ, මේ අවකාශය බිහිව ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝගයක් යටතේ බවයි. මීට අමතරව පැහැදිලි වන තවත් කාරණයක් නම්, යම් කාලයක සිට ජනාධිපති කාර්යාංශය අබියස උද්ඝෝෂණ ගණනාවක් පැවති බවයි. එමෙන්ම, මේ උද්ඝෝෂණ මගින් වාහන තදබදයක් ජනාධිපති කාර්යාංශය අවට ප්‍රදේශයේ ඇති වුවද පොලිසිය යොදවා උද්ඝෝෂණකරුවන් පලවාහැරීමට ජනාධිපතිවරයා කැමති වී ඇති බවද නොපෙනේ.

කෙසේ වෙතත්, දැනට පවතින තොරතුරු වලට අනුව, නව උද්ඝෝෂණ ස්ථානයේ මුක්‍ය අදහස ඕනෑම උද්ඝෝෂණයක් යම් රටාවක් සහ පාලනයක් අනුව පවත්වා ගෙන යාම බව අපට අනුමාන කළ හැක. කාරණය මෙසේ නම්, මෙහි දී සිදුවී ඇත්තේ උද්ඝෝෂණ දේශපාලන ක්‍රියාවලියක් ලෙස තේරුම් ගැනීම නොවේ. ඒ වෙනුවට සිදුව ඇත්තේ, උද්ඝෝෂණ මහා මාර්ග තදබදය හා වාහන තදබදය වැනි නාගරික ගැටලු ඇතිකරලන කාරකයක් ලෙස පමනක් සලකා, ඊට අවකාශීය විසඳුමක් ලබාදීමයි. නමුත් අප දන්නා පරිදි, දේශපාලන උද්ඝෝෂණ මෙලෙස සරලව තේරුම් ගැනීම සාර්ථක ප්‍රවේශයක් නොවනවා මෙන්ම, එමගින් උද්ඝෝෂණයක ඇති අනේක සංකීර්ණතා නොපෙනී යෑමේ හැකියාවද පවතී. සැබැවින්ම, කුමන දේශපාලන පක්ෂයක් ක්‍රියාත්මක කළ ද, උද්ඝෝෂණයක් බොහෝවිට විට සාර්ථක වන්නේ එමඟින් යම් ආකාරයක භේදනයක් ඇතිවන්නේ නම්ය. උද්ඝෝෂණයක පණිවිඩය මහජනතාව වෙත සන්නිවේදනය වන්නේ බොහෝ විට මේ ආකාරයේ භේදනයක් තුළිනි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා උත්සාහ කර ඇත්තේ උද්ඝෝෂණ නගරයේ නොපෙනෙන අඩවියකට තල්ලුකර කර දමා, එය අපගේ සවිඥානයෙන් අතුගා දැමීම බවට අපට තර්ක කල නොහැක. එසේ කළ නොහැක්කේ නව උද්ඝෝෂණ ස්ථානය පිහිටුවා ඇත්තේ කොළඹ ඉතාමත් කේන්ද්‍රීය අවකාශයක හා ජනාධිපති කාර්යාංශය අභියසම නිසාය. එනම්, මේ ස්ථානගතකිරීම නිසාම එම අවකාශයට ඉතාමත් කේන්ද්‍රිය දේශපාලන වැදගත්කමක් ලැබෙන බව පැහැදිලිය.

අනෙක් අතට, පැහැදිලිව හඳුනාගත් උද්ඝෝෂණ අවකාශ නොයෙකුත් නගරවල පැවතීම සාමාන්‍ය කාරණයකි. ලන්ඩනයේ හයිඩ්පාක් කෝනර් හා නවදිල්ලියේ ජන්තර් මන්තර් මේ ගණයේ ලා ගත හැකි ප්‍රසිද්ධ උද්ඝෝෂණ අවකාශ වේ. එනමුත්, මේවා ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු හෝ ආණ්ඩුවක් ව්සින් හෝ නිවේදනයක් මගින් ස්ථාපනය කළ උද්ඝෝෂණය ස්ථාන නොවේ. ඒවා සාම්ප්‍රදායිකව දේශපාලනික ප්‍රවණතා, ක්‍රියාකාරකම් හා අරගල සමඟ වර්ධනය වූ අවකාශ වේ.

කොළඹ හයිඩ්පාක් පිටියද එන්ගලන්තයේ හයිඩ්පාක් කෝනර් අදහසේම ව්‍යාප්තියක් ලෙස තේරුම් ගත හැක. අප මැනවින් දන්නා පරිදි, බොහෝ කාලයක් මුළුල්ලේ හයිඩ්පාක් පිටිය ලංකාවේ නොයෙකුත් උද්ඝෝෂණ පටන් ගත් ස්ථානයක් විය. එමෙන්ම කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට සහ කොළඹ ලිප්ටන් වටරවුම යන ස්ථානද උද්ඝෝෂණ කේන්ද්‍රස්ථාන ලෙස අප ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හඳුනාගෙන සිටිමු. එනමුත් මේ කිසිවක් නෛතිකව ප්‍රකාශකල උද්ඝෝෂණ අවකාශ නොවේ. මේ සියල්ලම දේශපාලන ක්‍රියාකාරකම් හා භාවිතයන් මඟින් කාලයක් මුළුල්ලේ ගොඩනැඟුණු සම්ප්‍රදායන් ඔස්සේ පිළිගන්නට යෙදුණු උද්ඝෝෂණ අවකාශ වේ. කෙසේ වෙතත්, ලංකාවේ මෙන්ම ලොව අන් ස්ථානවල ද මෙසේ කාලයක් මුළුල්ලේ සාම්ප්‍රදායිකව ගොඩනැගුණු උද්ඝෝෂණ ස්ථාන සම්බන්ධයෙන් දේශපාලන එකඟතාවක් ද ඇත. නමුත් එකී එකඟතාව නෛතික එකඟතාවක් නොවේ . නෛතිකව මේ ස්ථාන වල පවත්වන උද්ඝෝෂණ සඳහා පොලිසියෙන් පූර්ව අවසර ලබාගත යුතුය යන විධිමත් විධානය පවතින්නේ මේ නිසාය. බොහෝ උද්ඝෝෂකයින් — ලංකාවේ මෙන්ම අන් ස්ථානවල ද — මෙකී විධිවිධාන ඇතැම් විට නොසලකා හැරීම උද්ඝෝෂණ ක්‍රියාවලියේම කොටසකි.

1990න් පසු ඇමරිකා එක්සත් ජනපදය ස්ථාපනය කළ නිදහස් භාෂණ කලාප (Free Speech Zones) අප තේරුම් ගත යුත්තේ ද ඉහත සඳහන් කළ ආකාරයෙන්මය. එනමුත් මෙම කලාප 1990 දශකයෙන් පසු එක් එක් නගර මගින් ඇමරිකාවේ ‍ව්‍යවස්ථාව මගින් එම රටේ ජනතාවට ලබාදී තිබූ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වඩාත් තහවුරු කිරීම සඳහා නෛතිකව ප්‍රකාශ කළ අවකාශවේ. එනම්, ඉහත සඳහන් කළ උදාහරණ මෙන් මේවා දීර්ඝ කාලයක් මුළුල්ලේ සාම්ප්‍රදායිකව බිහිවූ අවකාශ නොවේ. මේ අවකාශ First Amendment Zones, Free Speech Cages සහ Protest Zone යන පදවලින් ද හැඳින්වේ.

කෙසේ වෙතත්, විවේචකයින් විසින් පෙන්වා දී ඇත්තේ ඇමරිකානු නගරවල ස්ථාපනය කර ඇති මේ නිදහස් භාෂණ කලාපවල සැබෑ භූමිකාව බලධාරීන්ට අවශ්‍ය පරිදි දේශපාලන ක්‍රියාවලීන්, උද්ඝෝෂණ සහ අදහස් ප්‍රකාශ කිරීම නිල වශයෙන් පිළිගන්නා සාපේක්ෂ්ශ වශයෙන් අදෘශ්‍යමාන අවකාශ වලට යොමු කිරීම තුළින් ඒවා පාලනය කිරීම බවයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නියමයෙන් කොළඹ ස්ථාපනය කර ඇති උද්ඝෝෂණ අවකාශය අප තේරුම් ගත යුත්තේ සහ අර්ථවත් කරගත යුත්තේ ඉහත සඳහන් එවැනි අවකාශ පිළිබඳව ගෝලීයව පවතින සමස්ත කතිකාව තුළ සිටයි. ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම නිසා ම මේ අවකාශය ගැටලු සහගත සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ක්‍රියාවලියක් ලෙස සරලව සැලකීම ඥානවන්ත විශ්ලේෂණයකට පදනම සපයන්නේ නැත. අප පුළුල් කතිකාවක් මගින් මතු කළ යුත්තේ මේ අවකාශයේ දේශපාලනමය හා බුද්ධිමය පදනම කුමක් ද යන්නය. උදාහරණයක් වශයෙන් අපට මෙහිදී පහත සඳහන් ප්‍රශ්න කතිකාව සඳහා යොමු කළ හැක:

1) මේ උද්ඝෝෂණ අවකාශය ප්‍රකාශයට පත්කර ඇත්තේ කුමන නෛතික රාමුවක් ඔස්සේද? එතුල රටවැසියන්ට උද්ඝෝෂණය කළ හැක්කේ කුමන කරුණු සම්බන්ධයෙන්ද? ඒ තුළ උද්ඝෝෂණය කළ නො නොහැකි කරුණු තිබේද? මේ උද්ඝෝෂණ ස්ථානයට රැස් වෙන උද්ඝෝෂණකරුවන් සමග රජය ගනු ගනුදෙනු කරන්නේ කුමන යාන්ත්‍රණයක් ඔස්සේ ද?

2 ) මේ අවකාශය ස්ථාපනය කිරීමේ අදහස කොළඹ නගරය අලංකරණය කිරීමේ ව්‍යාපෘතිය හා සමඟම හුදෙක් උද්ඝෝෂණ ක්‍රියාවලිය ක්‍රමිකව පාලනය කිරීම සඳහා පමණක්ද? නොඑසේ නම්, මෙවැනි උද්ගෝෂණ අවකාශ කොළඹ නගරයේ අන් ස්ථානවල හා කොළඹින් පිටත නාගරික අවකාශවල යම් පැහැදිලි නෛතික රාමුවකට අනුකූලව පිහිටුවීමට රජය අදහස් කරයිද? එම ස්ථාන වල ක්‍රියාත්මක වන උද්ඝෝෂණකරුවන් සමඟ රජය ගනුදෙනු කරන්නේ කුමනාකාරයෙන්ද? ඒ සඳහා රජය මගින් ස්ථාපනය කර ඇත්තේ නැතහොත් ස්ථාපනය කරනු ලබන්නේ කුමනාකාරයේ යාන්ත්‍රණයක් ද?

3) මේ උද්ඝෝෂණ අවකාශය මින් පසු කොළඹ නගරයේ පවතින එකම නිල හා ආරක්ෂිත උද්ඝෝෂණ අවකාශය වන්නේද? ඉන් පිටත වෙනත් ස්ථානවල පවත්වන උද්ඝෝෂණ මින් පසු නීති විරෝධී වන්නේද? එම ස්ථාන මින් පසු අනාරක්ෂිත වන්නේ ද? එකී අවකාශවල පවත්වන උද්ඝෝෂණවලට රජය විසින් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය සහ එම ඉතිහාසයේ කේන්ද්‍රීයව සනිටුහන් වී ඇති දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ මතක සටහන් මගින් අපට කුමනාකාරයේ සැක සාංකා ඇති කළ ද, දැනට නිවේදනය කර ඇති උද්ඝෝෂණ ස්ථානය පිළිබඳ අපි කතිකා කළ යුත්තේ සැකය පමණක් පදනම් කරගෙන නොවේ. ඒ සඳහා ඉහත සඳහන් කළ ආකාරයේ කරුණු සම්බන්ධයෙන් රජය හා ජනාධිපතිවරයා ද සමග ප්‍රසිද්ධ කතිකාවක් ආරම්භ කිරීම අවශ්‍යවේ. එමගින් මේ උද්ඝෝෂණ ස්ථානයේ දේශපාලන හා නෛතික පදනම පැහැදිලි කරගැනීම අප සියළු දෙනාගේම අරමුණ විය යුතුය.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට