ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00.

——————-

විමර්ශනය: සෝමසිරි ඒකනායක

ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න බැලූ බැල්මට පැහැදිලි කිරීම දුෂ්කරය.” මින් අදහස් කරන්නේ අන් කිසිවක් නොව, කවිය කියවන්නා හෝ විඳින්නාවිඳින්නාගේ කාර්‍යයක් බවයි. එනම්, යම් කාව්‍ය නිර්මාණයක් වින්දනය කිරීමේදී කවියා සකසා දෙන වැඩබිම තුළ ​ජීවත් වෙමින්, එහි ඇති අනේක වූ මංමාවත් දිගේ ඇවිද යෑම එය කියවන්නාගේ කාර්යයි. කවියා ගොඩනැගීමට උත්සාහ කරන ලෝකයේ කොටස් කරුවෙකු වීම එය කියවන්නාගේ වගකීමයි. ඇතැම් විට, පාඨකයා ළඟා වන්නේ කවියා අපේක්ෂා කරන ගමනාන්තයටම නොවිය හැකිය. කවියා අපේක්ෂා කරන ගමනාන්තයටම ළඟා විය යුත්තේ යැයි නියමයක්ද නැත. එය තීරණය වන්නේ පාඨකයා තමා සතු දැනුම, ඥානය හා අත්දැකීම් සමග කවිය නම් වූ වැඩබිම ගවේෂණය කරන්නේ කෙසේද යන්න මතය.

2010 වර්ෂයේ දී බිම්ගෙයට සඳ ඇවිත් කාව්‍ය කෘතිය එළි දක්වන නඳුන් යසිත දසනායක සිය පස්වන කාව්‍ය කෘතිය වන මගේ ආලයේ ග්‍රැමෆෝන් 2019 දී එළි දක්වන මොහොත වන විට, තමන්ටම අනන්‍ය වූ කවි මගක් ගොඩනගා ගන්නට සමත් වී ඇත. ඒ ඔස්සේ තමාගේ පාඨකයා හුදු කියවන්නෙකුගේ සීමාවෙන් ඔබ්බට රැගෙන යමින්, තමා සකසා ඇති වැඩබිම ගවේෂණය කරන්නැයි ඉල්ලා සිටින තත්ත්වයක් කවියා ගොඩනගා ඇත.

පෘෂ්ටීය වියමන පරයා අභ්‍යන්තර වියමන නැගී සිටීම

නඳුන් දසනායක​ගේ බොහෝ කවිවල පෘෂ්ටීය වියමන වසාගෙන අභ්‍යන්තර වියමන නැගී සිටිනු දැකිය හැකිය. කවියේ පෘෂ්ටීය වියමන තුළ පාඨකයාට හමු වන්නේ, කවියේ සරල අනුභූතියයි. එසේත් නොමැති නම්, කවිය ලිවීමට පාදක වුවා යයි සිතිය හැකි අත්දැකීමයි. එය දෛනික ජිවිතයේ දී අප අත්විඳින්නක් විය හැකිය. එසේත් නොමැති නම්, යම් අතීත මතකයක්, වේදනාවක්, සන්තෘෂ්ටියක් වැනි මනෝභාවයක් විය හැකිය. නමුත් කවියේ අභ්‍යන්තරයට ගමන් කරන විට, ඒ මතුපිට වියමන පාසරු කරමින් අප නොසිතූ අන් දෙයක් අප ඉදිරියේ පෙනී සිටී:

පන්ති කාමරයේ
උස් තැනක තබා ඇති
ලෝක ගෝලය පරණ
ආලෝකයේ පාඩමෙන්
ගෝලයේ එක් පැත්තකට
වැටී ඇත ඉර එළිය
හිල් වුණු වහල තහඩුවෙන් පැමිණ
ඒත් මේ ගෝලය
නොකැරකෙන හින්දා රවුමට
හැමදාම එකම පැත්තකටයි
වැටෙන්නේ ඉර එළිය
සංවර්ධනය

(‘ඉතින් අප කරකනවා මේ ලෝක ගෝලය ඇට්ලස්,’ පි. 22, 23)

හිල් වුණු වහලේ තහඩුවක සිදුරකින් පන්ති කාමරයට වැටෙන හිරු එළිය එහි තබා ඇති ලෝක ගෝලයේ එක් තැකට වැටෙයි. නමුත් ලෝක ගෝලය නොකැරකෙන බැවින් හැමදාම ඉර එළිය වැටෙන්නේ එක් තැනකට පමණි:

මෙහෙම කාලයක් තිබුණොත්
මේ ලෝක ගෝලය
ඉර එළිය නොවැටෙන පෙදෙස්
බඳීවි මකුළු දැල් දූවිලි

(‘ඉතින් අප කරකනවා මේ ලෝක ගෝලය ඇට්ලස්,’ පි. 22, 23)

කවියේ පෘෂ්ටීය වියමන සිදුරු කරමින් අභ්‍යන්තර වියමන නැගී සිටින්නට පටන් ගනියි. මේ කවියා කියන්නේ පන්ති කාමරයේ ඇති ලෝක ගෝලය ගැනද? කිසිසේත්ම නැත. පන්තියේ ඇති මේ නොකැරකෙන ලෝක ගෝලය පන්තියෙන් එළියට ගෙන ගොස් කරකවා එහි ඇති මකුළු දැල් කඩන්නට එන්නැයි ළමුන්ට අඬ ගසයි.

පෘෂ්ටීය වියමන තුළ පන්තියේ ඇති නොකැරකෙන ලෝක ගෝලය, අභ්‍යන්තර වියමනේ දී සංවර්ධනය ධ්‍රැවීකරණය වීමෙන් බෙදී ඇති, සංවර්ධනයේ ඉර එළිය නොවැටීමෙන් පීඩා විඳින ලෝකය වෙත පාඨකයා කැඳවයි:

එන්න ළමයිනේ
වටවෙන්න
ඉදල් කොසු
ඔළු
අරගෙන

(‘ඉතින් අප කරකනවා මේ ලෝක ගෝලය ඇට්ලස්,’ පි. 22, 23)

ලෝක ගෝලයේ බැඳී ඇති මකුළු දැල්, කළුපුස් කැඩීමට සහ මැකීමට කොසු ඉදල් ප්‍රමාණවත්ය. නමුත් ඌන සංවර්ධනයේ මකුළු දැල්, කළුපුස් කැඩීමට අව ශ්‍වන්නේ දැනුම, ඥානය, ක්‍රමවේද යනාදියයි. ලෝකය වෙනස්කිරීම කළ හැක්කේ ඔළුවලිනි.

‘දෙ-හසුන් ගෙනා එ-හසුන්’ නම් නිර්මාණයද එවැනිම මතුපිට වියමන පාසරු කරගෙන අභ්‍යන්තර  වියමන නැගී සිටින නිර්මාණයකි. කථකයා තුළ මූලික වශයෙන්ම යම් කිසි කාංසාසහගත සිතිවිල්ලක් ජනිත වන්නේ, පෙම් කරන කාලයේ දී තමාටත් පෙම්වතියටත් උදව් උපකාර කළ පෙම්වතියගේ යෙහෙළිය පිළිබඳ අතීත මතකයක් නිසාය. පෙම්වතියගේ ආදර හසුන් තමා වෙතට ගෙන ආවේ යෙහෙළිය විසිනි. එ හසුන් ඈ ඔහුට දුන්නේ පෙම්වත් වූ ළයකිනි. එ හසුන් එතරම්ම රසවත් වූයේ ඒවා ඇයගේ ළැමෙහි සඟවාගෙන ආ නිසා ද? නැත්නම් එ හසුන් පිරිනැමීමේ දී තමා පිළිබඳව ඇය තුළ වූ අප්‍රකාශිත ප්‍රේමයක් පිළිබඳ ඉව ඔහුට දැනීම නිසාද?

ඔබ මට ලියූ එ-හසුන්
ඔබේ මිතුරිය ගෙන ආවෙ මට
ඇගේ දෙ-හසුන් අතරමැද
සඟවාගෙනයි එදවස
දිගු කළේ ඈ එ-හසුන් මට
උණුසුම් ළයකිනි පෙමැති
එතරම් රසවත් වුණේ
ඒ නිසා දැයි එ-හසුන්

(‘දෙ-හසුන් ගෙනා එ-හසුන්,’ පි. 13)

කවියා ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නැත. ඒ ගවේශනය කිරීම කියවන්නියට භාර දී ඇති සැටියකි. පෘෂ්ටීය වියමන මතු කරන යෙහෙළිය නොදැකීමේ කාංසාව ඔහු වෙත කඩා වදින්නේ ඇයි?

ආයෙමත් එවනු හැකි නම්
එවන් හසුනක් ඈ අත
අපේ ආලය වෙතට
එමවන් කාලය වෙතට

(‘දෙ-හසුන් ගෙනා එ-හසුන්,’ පි. 13)

කූටුම්බ ජීවිතය තුළ උණුසුම් ප්‍රේමය තවදුරටත් රැඳී නැත. එය ඕලාරික බවින් පිරී ඇත. මෙහිදී කවිය ඉල්ලා සිටින්නේ ගවේෂණශීලී පාඨකයෙකි. කවියා විවිර කරන්නේ කවුළුවකි. ඒ ඔස්සේ දුර ගමන් යාම පාඨකයා සතු කාර්යයකි. මෙවැනි පෘෂ්ටීය වියමන විසින් අභ්‍යන්තර වියමන කියවන්නැයි පාඨකයාගෙන් ඉල්ලා සිටින කවි කිහිපයක්ම මෙම කෘතිය තුළ ඇතුළත්ව තිබීම කවිය තුළ කිඳී, එහි ජිවත් වෙමින් ඒ ඔස්සේ සිය වින්දන පරාසය පුළුල් කරගැනීමට සිතැති පාඨකයන්ගේ සංතෘප්තියට හේතු වනවා ඇත.

රූපක රචනයේ චමත්කාරය

සිය නිර්මාණ තුළ විවිධාකාර වූ රූපක චමත්කාරයක් මැවීමට මෙන්ම ඇතැම් කවි සමස්තාර්ථයෙන්ම රූපයක් බවට පත් කිරීමට උත්සාහකිරීම මෙම කෘතියෙහි ඇති මග හැර යා නොහැකි විශේෂත්වයකි. ඒ කෙරෙහි නඳුන් දසනායකගේ ප්‍රවේශය ඉතා නිර්මාණශීලී යැයි සිතේ.

එවැනි රුපක භාවිතයේ බුහුටි බව මෙන්ම තියුණු බව ද එක හැර විදහා පාන නිර්මාණයක් වන්නේ ‘දුන්නක කැටයම් – වළකන පලිහක්’ යන කවිය​යි:

අලංකාරිත දුන්න
කටුගෙදර එල්ලුව
ඉතිහාසෙ කොතන හරි
වැටුණු – මරු ඒ දුන්න

(‘දුන්නක කැටයම් – වළකන පලිහක්,’ පි. 20, 21)

‘කටුගෙදර එල්ලුව – ඉතිහාසෙ කොතන හරි’ යන වදන් ඛණ්ඩය ඇස ගැසෙන විටම පාඨකයා තමා තුළම යටි පෙළ නැවත කියවන්නියක් බවට පරිවර්තනය වීම වළකාලිය නොහැකිය. කවියා ප්‍රශ්න කරන්නේ, මල්කමින් කැටයම් කළ ඉතිහාසයේ සලකුණක් ලෙස ඒ දුන්න මෙහි එල්ලා ඇති බව කටුගෙදර යන වචනය මගින් සාධාරණය කරනු ලැබූව ද මෙහි එවැනි රුදුරු දුන්නක් එල්ලුවේ ඇයි ද යන්නයි. කවියාගේ ප්‍රශ්නය මෙයයි:

අනාගත ඇස් දෙකට
විදින්නද හීයක් ?

(‘දුන්නක කැටයම් – වළකන පලිහක්,’ පි. 20, 21)

එමෙන්ම, කවියා ඒ දුන්න දකින්නේ රයිෆලයක් ලෙසිනි:

එවන් කැටයම් කළත්
සියුම් මල් ලියකම්
පෙනෙයි මේ දුන්න මට
ලෙසින් රයිෆලයක්
යුද්ධයක අතරමැද
ඇද හීය දමා විද
ළය පැලූ අවියක්

(‘දුන්නක කැටයම් – වළකන පලිහක්,’ පි. 20, 21)

ඉතිහාසයේ දුන්නෙහි අමුණා විද මිනිස් සිත පෑරූ කොපමණ නම් හී ඇත්ද? විටෙක එය කුලගොත් පෙළපත් ලෙසින් පැමිණ මානව සමාජය දෙපළු කර ඇත. මානව සමාජය බෙදා වෙන් කර ඇත. එදා පමණක් නොව, අද ද ඒවා විවිධ වූ වේශයන්ගෙන් පැමිණ ඇත. විටෙක එය වෙළඳපොළ ආර්ථිකය හෝ ගෝලීයකරණය විය හැකිය. කවියා අවසානයට අසන්නේ ඉතිහාසය පුරා විද ඇති මේ හී වළකාලන පළිහක් නොතිබුණේ ද යන්නයි. මානව සමාජය දෙපළු කර හී විදින විට ඒවා වළකන්නට තරම් සමත් සවිමත් පළිහක් නොතිබුණේද යන්නයි. ඒ පළිහ කුමක් විය හැකිද? ඒ දියුණු සංස්කෘතියක් හෝ මිනිසා එකිනෙකාට ගරු කිරීමට පොලඹවාලන දියුණු චින්තන සම්ප්‍රදායක් විය නොහැකිද?

මෙම සංරචනය තුළ කවියා ගොඩනගන දුන්න, හී මෙන්ම පළිහ ද ඉතා ප්‍රබල රූපක ලෙස සමස්ත කවිය පුරාම නැගී සිටිනු පෙනේ. එලෙසින්ම, රූපක චමත්කාරයෙන් පිරිපුන් තවත් නිර්මාණයක් ලෙස ‘මගේ නිරායුධ ආලය’ නම් කවිය අමතක කළ නොහැකිය:

තුවක්කුව රැගෙන
ඔහු එයි රැයේ ගෙදරට
තබා එය මේසය මත
බීගෙන බීගෙන යයි
වතුර වීදුරුවක් පුරුදු ලෙස
………………………..
………………………..
ඉන්පසු ගණියි ඔහු
ඉතිරි පතුරොම් ගණන
උදේ වියදම් වුණේ කීයද
මොකටද?
ලියයි ආදායම් වියදම් ගිණුමක

(‘මගේ නිරායුධ ආලය,’ පි. 59)

මෙම සමස්ත කවිය පුරාම තුවක්කව සහ පතුරොම් නම් වූ රූපක පෙනී සිටින්නේ කුටුම්බ ජීවිතය තුළ ගැහැනිය පාගා දමා සිටින පුරුෂයාගේ දැඩි ආධිපත්‍යයයි. ඒ පුරුෂ ආධිපත්‍යය දෛනික ජීවිතය තුළ ස්ත්‍රියට තුවක්කුව මානන්නේ එක් ආකාරයකින් නොවේ. එය විවිධාකාරය. බොහෝ විට එය උණ්ඩයක් වී ළය පසාරු කරන්නේ ආර්ථික කාරණා මතය. නමුත් එවැනි කාරණා ද්විතීය කරමින් ඔහු සමස්ත විවාහයේ බන්ධනයටම වෙඩි තබයි:

ඉන්පසු ඇදඇද තුවක්කුව
ගනී ඉලක්කය
අපේ මඟුල් පින්තූරයට
දරුවන්ගේ පින්තූර දෙකට
ඇසට හසුවන හැමදේට
සහ මට

(‘මගේ නිරායුධ ආලය,’ පි. 59)

සිංහල කවිය තුළ පුරුෂාධිපත්‍යය හෝ කාන්තා පීඩනය කවියට, නවකතාවට, කෙටිකතාවට මෙන්ම සිනමාවටද නැගුණු වාර අනන්තය. එනයින් බලන කළ, මෙම ප්‍රස්තූතය අපූර්ව එකක් නොවේ. නමුත් ඒ අපූර්ව නොවන ප්‍රස්තුතයකදී නඳුන් දසනායකගේ මෙම කවිය නැගී සිටින්නේ මන්ද යන කාරණාව ඉතා වැදගත් යයි හැඟේ. ඒ අන් කිසිවක් නිසා නොව, ඔහු සමස්ත නිර්මාණයම එක් රූපයක් තුළ බුහුටි ලෙස සංරචනය කිරීම නිසාය. මෙවැනි රෑපක නිර්මාණයේ දී බොහෝ විට කවියා මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ, තමාට කීමට අවැසි දේ වෙනුවෙන් වඩා සාධාරණ හා උචිත රූපකයක් නිර්මාණය කිරීමය. එනම්, කවිය තුළ ඖචිත්‍ය නම් ගුණය රැක ගැනීමයි. මෙහෙදී නඳුන් දසනායක ඒ අභියෝගය සූක්ෂම ලෙස ජය ගන්නා බව පෙනේ. ‘මට දුන්න ඒ යතුර, යතුරු පැදියක් නතර වී තිබූ ඔබේ හිත ගැන’ වැනි නිමාණවලදී ද උචිත රූපක ගොඩ නැංවීමෙහි ලා නඳුන් දසනායක දක්වන සමත්කම වෙසෙසින් කැපි පෙනේ.

චිත්තරූපී භාෂාව

අනෙක් අතට කවියා සිය කවිය තුළ නිපදවන්නේ චිත්ත රූපී භාෂාවකි. කියවන්නිය තුළ චිත්ත රූප මවා එමගින් ඇය ආනන්දයට පත් කිරීමට ඔහු සමත්ය. ‘නෙස්කැෆේ පාට හැන්දෑ වරුව, මගේ රතු ඉරි හැන්දෑ කමිස’ වැනි යෙදුම් දෙස බලන්න. ඒවා පෙර අප දැක තිබූ, මවාගෙන තිබූ ඒවා නොවේ, ඒවා ඒ තරමටම නැවුම්ය. ඔහු පාඨකයාට සම්ප්‍රදානය කරන්නේ එවැනි නැවුම් බසකින් මැවූ කවියකි.

මානව සන්තානයේ සියුම් ප්‍රදේශ පිළිබඳ සූක්ෂම නිරීක්ෂණ සිය කවියට හසුකර ගැනීම අතින්ද නදුන් දසනායකගේ කවි වඩාත් ඉදිරිගාමී බවක් පෙන්වයි. එවැනි කවි තුළ දකින සුවිශේෂීතාව නම්, පුද්ගල අනුභූතීන් ඉන් ඔබ්බට රැගෙන යමින් වඩාත් පුළුල් තලයක ඒවා ස්ථානගත කිරීමයි. මේ එවන් නිදසුන් කිහිපයකි:

පිපිරුණු කණ්ඩිය මත තව ම ඇති
ඒ පුයර පැල්ලණාම සුවඳ පිරි
ඔබෙ කම්මුලක් වැදී එක දිනක්
කණ්ණාඩියක ගෑවුණු රසක්

(‘බිඳූණු කැඩපතක් ගැන නොබිඳූණු ඔබ වෙතට,’ පි. 24)

ඊම් පස්සෙ කිසිදාක නොසෙව්වෙමි බොත්තම
හැමදාම ගැසුවෙ මං ඇගේ හැට්ටා කටුව
මලකඩත් කකා එය සුදු ඇඳූම කහ කළත්
නොගලවන්නට සිතුණි ඇගේ ටයි පටි කටුව

(‘ස්නායුවක් වගේ අපේ හද බැඳ තබපු…,’ පි. 26)

ඒත් දැන් මට හැඟෙයි
කවුළුවක් තියෙයි මා තුළ ම
පත්තර පිටුවක් ඇතුළෙන්ම ඇරෙන
සමහර විට ඔයා නොම දන්න
කවුළුවකි එය අප හමුවන
ඔබ වැසූ කවුළුවටත් වඩා ලස්සන

(‘පත්තර පිටුවක කවුළුව,’ පි. 30)

මට දැනුණෙ ඉම් පස්සෙයි
ඔබ ඉඳගත්ත බව
මගේ හදවත් බයිසිකලයේ
මා ගාවින් සදහට

(‘බයිසිකලයක හැඬලයක – ගැසු මලක් එයි මතකෙට,’ පි. 34)

කවියේ ආඛ්‍යාන ස්වරූපය ද්විතියික කිරීම

මිනිස් සිතුවිලි සියුම්ව නිර්මාණය කර ඇති බොහෝ කවිවල දක්නට ලැබෙන ලක්ෂණයකි එම කවි යම් ආකාරයක ආඛ්‍යානමය ස්වරූපයක් ගැනීම. නමුත් වැදගත් වන්නේ, එම කවි තුළ ඇති ආඛ්‍යානමය ස්වරූපය නිශ්චිත අවස්ථාවකදී යොදා ගන්නා කෙටි වචන ඛණ්ඩයකින් හෝ දෙකකින් එහි තිබෙන සම්පූර්ණ ආඛ්‍යාන ස්වරෑපය ද්විතියික කොට, එහි ඇති කව්‍යමය බව නගා සිටුවීමයි. එය ඉතා සුවිශේෂි ලකෂණයකි.

සිනමාව, රූපය මුල් කොට ගන්නා සේම, නාට්‍යය, රංගනය මුල් කොට ගන්නා සේම, කවිය මුල් කොට ගන්නේ භාෂාවයි. භාෂා භාවිතයේ දී අප මුහුණ දෙන ප්‍රධානම අභියෝගයක් වන්නේ භාෂාව විසින්ම අටවන උගුලක හෝ බොරු වළක නොවැටී සිටීමයි. මෙය ඕනෑම කවියෙකු මුහුණ දෙන අභියෝගයකි. මෙම කෘතිය තූළ අන්තර්ගත කර ඇති ඇතැම් කවි නැවත සාවදානව ඒවායේ රසිකයෙකු වී කියවන්නේ නම්, එවැනි භාෂා උගුල්වලට තමාද හසු වී තිබේද යන්න හා හසු වී තිබේ නම්, ඒ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳ ස්වයං-අවබෝධයක් ලබා ගැනීමට අපටම පුඵවන. ‘ඉතින් අපි ඈත් වුණාට පස්සේ’, වැනි කවියක් නැවත කියවා බලන්නැයි නඳුන්ට දසනායකට යෝජනා කිරීමට මා කැමතිය.

ඉදින්, සමස්තයක් ලෙස බලන කළ නඳුන් දසනායක නිපදවන කවිය තමන්ට අනන්‍ය  වූ කවිමගක් වනවා මෙන්ම කාව්‍යමය ලක්ෂණ සුවිශේෂ හා නැවුම් ලෙස භාවිත කවියකි. ඔහු අපට කියවා රස විඳ පසෙකින් තබන කවියක් වෙනුවට, ඔහු නිපදවන භාෂාත්මක රූපක හා පොර බදා බදා වැඩ කිරීමට වැඩබිමක් තනා දී ඇත. ඒ නිසාම සමකාලීන සහෝදර කවියෙකුගේ කෘතියක් පිළිබඳව හිත තුළ නැගෙන ප්‍රහර්ශය විඳිමින්, එය සටහන් කරමින් ඔහුට සුබ පත්නට මා කැමතිය.

Total
10
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා නැරඹුවේ මීට හතළිස් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දී ය. මෑතක දී මෙම සිනමා පටය නැවත නරඹන්නට මට අවස්ථාව උදා වූයේ එහි සංරක්‍ෂණය කළ පිටපත (digitally restored copy) ශ්‍රී ලංකාවේ නැවත තිරගත කිරීමට සමගාමී ව එය අන්තර්ජාලය මගින් නරඹන්නන් සඳහා ද නිකුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________ හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.__________________________________________________________ ~ සසංක පෙරේරා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව. (මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය) ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය මේ වන විට චිත්‍රපටයක් වශයෙන් ද නිෂ්පාදනය වී තිබේ. ලේඛකයෙකු සහ නාට්‍යකරුවකු වශයෙන් මීට ඉහත දී ද ඇතුගල  සිය කුසලතා සහ දස්කම් දැක්‌වූවෙක් බව අප දන්නා කරුණකි.  මේ කතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසියම් විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක ක්‍රියාකාරකම් හා අත්දැකීම් ය. එහි ප්‍රධාන පාත්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36. ———– විමර්ශනය: නිලූක කදුරුගමුව කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාංශු: මනුෂ්‍යත්වය, ප්‍රචණ්ඩත්වයේ ආඛ්‍යාන සහ යුක්තියේ කතිකා

පාංශු, විසාකේශ චන්ද්‍රසේකරම්ගේ නිර්මාණයකි විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ දිරාගිය මහලු මවක්, පණ නැසූ නමුත් තවමත් පණ ගැහෙන තුවක්කුවක් තම දිය රෙද්දෙහි  රුවා, වැව් ජලය මත උඩු අතට පිහිනා යන්නීය. මේ අම්මා බබා නෝනාය. එකම රාමුවක් තුළ පරිකල්පනය කළ නොහැකි පුද්ගලයින් සහ වස්තූන් එකට මුණ ගැස්සවීම තුළ සිනමාකරුවා අපූරු සිතුවමක් ප්‍රේක්ෂක මනසේ සිතුවම් කරයි. මේ රූප රාමුව, අපේ කාලයේ අම්මාවරුන්ගේ අ​භියෝගවල  ගතිකත්වය ගැනය. තම අතුරුදහන් වූ පුත්‍රයාගේ හැඩරුවට සමාන පුද්ගලයෙක් රෝහලේ ඇතැයි යන පණිවිඩයට සංවේදී වන බබා…
වැඩි විස්තර පරිශීලනයට