කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

හැදින්වීම

මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්  පළමු රෝගියා වාර්තා වී, මේ වන විට  එය ලොව අන් බොහෝ රටවල් වෙත සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත (වර්ල්ඩෝමීටර් 2021). එමගින් සමස්ථ මනුෂ්‍ය සංහතියටම කරනු ලබන බලපෑම ගැන මෙහිදී සඳහන් කළ යුතු අලුත් දෙයක් නොවේ. බෝහෝ විට මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා, සෞඛ්‍ය අංශයට සීමා වන බවක් පෙනුන ද මෙම අවදානමට මුහුණදීම දේශපාලන, ආර්ථික, නීති, සමාජ යන අංශයන්ට එක් විටම බද්දවූවකි.  විශේෂයෙන් අන්තර්-ජාතික සංසරණයේ බිද වැටීම, ආර්ථික වර්ධනයේ පසුබෑම,  ආයෝජන ක්ෂේත්‍රෙ කඩා වැටීම, කාර්මික නිෂ්පාදනයේ මන්දගාමීත්වය, ස්ථිර හා තාවකාලික ලෙස රැකියා වියුක්තිය (විදේශ හා දේශීය), මූල්‍ය වෙළඳපොළ බිදවැටීම වැනි අර්බුදයන්ට සෑම රාජ්‍යයක්ම මුහුණ පාමින් සිටී (හොල්ස්ටෙන් 2020). මීට අමතරව, මෙම කාලය තුළ  ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වර්ධනය, මානසික සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීම ආදී විවිධ ගැටලුකාරී වතාවරණ සමාජය තුළ ඇතිවුණි. වර්තමානය වන විට, සෑම රාජ්‍යයක් විසින්ම මෙම තත්ත්වය මර්දනය කරගැනීමට උත්සාහ කරමින් සිටී. මේ නිසා දේශපාලන නායකත්වය හා ඔවුන්ගේ අධිකාරීත්වය ක්‍රියාත්මක වන ආකාරය මෙම පසුබිමේ දී ඉතා වැදගත් වේ.  විශේෂයෙන් කොරෝනා මර්දන කටයුතුවල ප්‍රතිපත්ති නිර්මාණය කිරීම ආණ්ඩුවේ සියලු ආයතනවලට ඇති මුඛ්‍ය වගකිමකි. මේ තත්ත්වය තුළ සෞඛය අංශය හා දේශපාලන නායකයින්  කොරෝනා මර්දනය කිරීමේ කාර්යයේදී යහපත් සම්බන්ධතාවක් හා අනෝන්‍ය අවබෝධයක් පවත්වා ගත යුතුවේ. එපමණක් නොව, ආණ්ඩුවේ ත්‍රිවිධ ආයතන වන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ඒවාට පැවරෙන ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් නිසි පරිදි ගැටුමක් ඇති නොවන ආකාරයෙන් පවත්වා ගැනීම ද වැදගත්වේ. මෙහිදී ව්‍යවස්ථාදායකය හා විධායකය ක්‍රියාත්මක විය යුත්තේ නීති සම්පාදනය කරන හා නීති ක්‍රියාත්මක කරන ආයතන වශයෙනි. අධිකරණය එම නීති  අර්ථනිරූපණය කිරීමටත් වගකීමෙන් බැදී සිටී. 

වසංගත තත්ත්වයකදී පාර්ලිමේන්තු කාර්යභාරයේ ඇති වැදගත්කම

අන්තර් පාර්ලිමේන්තු සංගමය සදහන් කරනුයේ කොරෝනා ව්‍යවසනය  වැළැක්වීම සදහාවූ ජාතික පරිශ්‍රමයට සහායවීම හා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන සෞඛ්‍ය පිළිවෙත්වලට අවශ්‍ය සම්පත් එක්කිරීම සඳහා ඉතා වැදගත් භූමිකාවක් පාර්ලිමේන්තුවට කළ හැකි බවයි (ඉන්ටර් පාලිමෙන්ටරි යුනියන් 2020).  එසේම, මෙම වසංගත තත්ත්වයෙන් ඒ ඒ රටවල්වල නිර්මාණය වූ ආර්ථික අර්බුදයන්ට මුහුණදීම හා පර්ලිමේන්තුව නියෝජනය කරන මහජනතාව‍ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට අවශ්‍ය  ව්‍යවස්ථාමය කටුයතු ඉටු කිරීම මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වේ.  පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු  සංගමය විසින්  පාර්ලිමේන්තු සඳහා ක්‍රියාත්මක කළ හැකි මේවලම් කට්ටලයක් (tool kit) ඉදිරිපත්කර ඇති අතර, එහි සඳහන් වන්නේ ආණ්ඩුව ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සුපරීක්ෂකාරීත්වයට ලක්කිරීම අවශ්‍යයන්ම  සිදුකල යුතු බැවින්, සමාජ දුරස්ථභාවය රැකගනිමින් පාර්ලිමේන්තු විසින් තම කාර්යභාරය ඉටු කළ යුතු බවයි (ටූල් කිට් ෆෝ කොමන්වෙල්ත් පාලිමන්ට්ස් 2020: 5).

පාර්ලිමේන්තුව සතු නීති සම්පාදන, නියෝජන, මුදල් පාලන හා සුපරීක්ෂාකාරී බලය යන සියලු කාර්යයන් නිසි ලෙස ක්‍රියාවට නැගීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් ඔස්සේ මෙම වසංගතත තත්ත්වයට  මුහුණ දිය හැකිය. පාර්ලිමේන්තුව ක්‍රියාකාරීව පවත්වා ගැනීමෙන් පාලන යාන්ත්‍රණය  ප්‍රජාතන්ත්‍රවාදී  මූලධර්මවලින් ගිලිහී නොයාමට අවස්ථාව සැළසේ. බලතල බෙදීමේ න්‍යායට අනුව  ප්‍රංශ දාර්ශනික චාර්ල්ස් මොන්ටෙස්ක්‍යු විසින් පෙන්වා දෙන ලෙස ව්‍යවස්ථදායකය හා විධායකය එක් පුද්ගලයෙක් හා ආයතනයක්  භුක්ති නොවිදිය යුතුය (රානි 2020: 786). බොහෝ රටවල මෙම ව්‍යවසනකාරී අවස්ථාවේදී  පාර්ලිමේන්තුවට රැස්වීමේ අවකාශය නොලැබුණහොත්, අවශ්‍ය තීන්දු හා තීරණ ගැනීම විධායකය තුළින් පමණක් සිදු කළ හැක. එසේ වුවහොත්, විධායකය සිය අභිමතය අනුව පමණක් කටයුතු කිරීමට යොමු විය හැක. විශේෂයෙන් මෙවැනි  ව්‍යවසනකාරී තත්ත්වයක් විධායකය විසින් හදිසි අවස්ථාවක් වශයෙන් ප්‍රකාශ කිරීම මගින්,  තම බලය ඒකරාශී කර ගැනීමට පුළුවන. තවත් අතකට, විධායකය විසින් වසංගතය මැඩ පැවැත්වීම උදෙසා අමාත්‍ය මණ්ඩලය හරහා ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට යාමෙන් ව්‍යවස්ථාදායකය මගහැර යාමට අවස්ථාවක් සැලසිය හැක. එබැවින් මේ පසුබිම තුළ එක් ආයතනයක් වඩාත් බලවත්වීම නිසා ව්‍යවස්ථාදායකය හා විධායකය අතර තිබිය යුතු බලයේ සංවරණය හා තුලනය (checks of balances) ගිලිහී යා හැක. එමගින් වගවීම, විනිවිදභාවය, සහභාගීත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග ක්‍රියාවට නැංවීමට අපහසුවේ.   විධායකය කෝවිඩ් මර්දන ක්‍රියාදාමය කොතරම් දුරට ඉටුකළ ද එම කාර්යභාරය සුපරීක්ෂා කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. එම සුපරීක්ෂකාරී බලය හිමි වන්නේ  මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට පමණි. මේ පසුබිම තුළ, පාර්ලිමේන්තුව රැස්වෙමින් මෙම කාර්යභාරයන් සිදු කිරීම ප්‍රයෝගිකව දුෂ්කර වූවත්, බෝහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පාර්ලිමේන්තුව රැස්කරමින් ව්‍යවස්ථාදායක කාර්යභාරය ඉටුකිරීමට පියවර ගෙන ඇත.

 මෙවැනි පසුබිමක් තුළ පාර්ලිමේන්තු කාර්යභාරය ඉටු කිරීම මගින් පහත අරමුණු සාක්ෂාත් කර ගත හැකිය:

  • පාර්ලිමේන්තුවේ සෑම මහජන නියෝජිතයෙකුටම  තමන්ගේ ප්‍රජාව  නියෝජනය කිරීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් හඩක් නැගීමට සමාන අවකාශ සැලසීම සහතික කිරීම.
  • දුරස්ථ ඡන්ද ක්‍රමය භාවිත කිරීම තුළින් සෑම මන්ත්‍රිවරයෙකුටම තීරණ නිර්මාණයට සහභාගි වීමේ හැකියාව බලාත්මක කිරීම.
  •  හුදු පාර්ලිමේන්තු කටයුතුවලට වඩා, ආණ්ඩුවේ සියලු කටයුතු සුපරීක්ෂා කිරීමට අවස්ථාව ලබා ගැනීම.
  • කාලීනව ව්‍යස්ථාදායක සහාය අඛණ්ඩව පවත්වා ගැනීම. නිදසුනක් ලෙස, ව්‍යස්ථාදායකයේ පර්යේෂණ අංශය විසින් නිවැරදි තොරතුරු නියෝජිතයින් අතර බෙදා හැරීමෙන් ගුණාත්මකව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කාර්යයන් සිදු කිරීම.

මැතිව් ෆිලින්ඩර් විසින් රචිත ‘Democracy and the Politics of Coronavirus: Trust, Blame and Understanding’  යන ලිපියේ  දක්වා ඇති පරිදි,  කොරෝනා වංසගත තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ  පුපරික්ෂාකාරි බලය ඉතාමත් විනිවිදභාවෙයන් යුතුව පවත්වා‍  ගෙන යා යුතුය. ඔහු පෙන්වා  දෙන  පරිදි,  ලෝක සෞඛ්‍ය  සංවිධානය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කළ පසු, බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පාර්ලිමේන්තු  විශේෂ කාරක සභා පිහිටුවා, රාජ්‍ය විනිවිද භාවය හා වගවීම ආරක්ෂා කරමින්, මෙම වසංගතයට අදාළව ප්‍රතිපත්ති හා තීරණ සම්පාදනය කරන ලදී (ෆ්ලින්ඩර්ස් 2020: 12-13). 

කොරෝනා වසංගතය පැතිරෙන කාලය තුළ පාර්ලිමේන්තු කාර්යභාරය ඉටුකිරීමට ඒ ඒ රටවල් විසින් ගනු ලැබූ ප්‍රයත්න

1918 මැයි සිට 1919 පෙබරවාරි කාලය තුල ව්‍යාප්ත වූ ස්පාඤ්ඥ උණ (Spanish Flu) මෙවැනිම දරණු වසංගත තත්ත්වයක් වූ අතර, බොහෝ රටවල ව්‍යවස්ථාදයකයන්ට රැස්වීමට හැකිවූයේ නැත. කෙසේ නමුත්, එදා මෙන් නොව  කොරෝනා වසංගතය පවතින වර්තමානය තාක්ෂණික මේවලම් සම්බන්ධයෙන් බෙහෙවින් නව්‍යකාරණය වී ඇතී කාලයකි.  මේ නිසා, වර්තමානය තුළ පාර්ලිමේන්තුව භෞතිකව පුරුදු පරිදි රැස් නොවුව ද අන්තාර්ජාල හා නව තාක්ෂණික මේවලම් භාවිත කරමින්, පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට අවකාශ සැලසී ඇත. බොහෝ රටවල පාර්ලිමේන්තු රැස්වූයේ තත්‍ය දෙමුහුන් පාර්ලිමේන්තුවක් (Virtual Hybrid Parliament) වශයෙනි.  එනම්, එක් පිරිසක් පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය පරිදි රැස්වෙමින්, අනෙක් මන්ත්‍රීවරුන් හා සේවක මණ්ඩලයේ කොටසක් තම නිවෙස්වල සිට අන්තර්ජාලගතව පාර්ලිමේන්තු කටයුතු සදහා සම්බන්ධ වීමක් සිදුවිය. කොරෝනා වංසංගතය හමුවේ බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රීමණ්ඩලයේ ගරු කථානායක ලින්ඩ්සේ හෝලි පවසා සිටියේ, අන්තර්ජාලගතව ඔවුන් තම පාර්ලිමේන්තු කාර්යභාරය ඉටුකරන බවයි (බීබීසී 2020).

අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් මෙවැනි පසුබිමක් තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන ආකාර කිහිපයක්  පහත සඳහන් පරිදි හදුනාගෙන ඇත: 

  1. පාර්ලිමේන්තුව අඛණ්ඩව හා භෞතිකව විවිධ සීමා යටතේ රැස්වීම: මෙමගින් පාර්ලිමේන්තු රැස්වීම් හා පාර්ලිමේන්තු කාරක සභා රැස්වන ප්‍රමාණය අඩු කිරීම, මහජන නියෝජිතයින් හා කාර්ය මණ්ඩලයෙන් කොටසක් පමණක් සහභාගීවීම අදහස් වේ. විශේෂයෙන් සමාජ දුරස්ථභාවය තබා ගත හැක විශාල ඉඩකඩ ඇති ස්ථානයක රැස්වීම කළ යුතුවේ.
  2. දුරස්ථව කටයුතු කිරීමේ ක්‍රම උපයෝගී කරගනිමින්, පාර්ලිමේන්තුව රැස්වී  මෙහිදී බොහෝ විට දුරස්ථව වැඩ කිරීමේ මෙවලම් (remote working tools) භාවිත කළ හැක. කෙසේ නමුත්, මෙම දුරස්ථව  වැඩකිරීම තුළින් ආරක්ෂාව සහ සත්‍ය බව සහතික කිරීම  සඳහා වන නෛතික පදනම ඇතුළු ගැටළු ගණනාවක් මතු කරයි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද දුරස්ථ මෙවලම් තුළින් සහභාගීවීම අපේක්ෂා කෙරේ.
  3. අනෙක් ක්‍රමය වන්නේ, පාර්ලිමේන්තුව රැස්නොවීමයි. එනම්, පාර්ලිමේන්තුව ‘විවේකයෙන්’ සිටීමයි. උදාහරණ වශයෙන් එක්සත් රාජධානිය වැනි ඇතැම් පාර්ලිමේන්තු හදිසි පියවර ගණනාවක් හරහා ඡන්දය දීමෙන් පසු  මෙම පියවර ගෙන තිබේ. නවසීලන්තය වැනි රටවල් තම ක්‍රියා පටිපාටීන්  වෙනස් කර,  පාර්ලිමේන්තුව සාමන්‍ය පරිදි රැස්නොවී,  විශේෂ කමිටුවක් ලෙස රැස් වී  ඇත (ඉන්ටර් පාලිමෙන්ටරි යුනියන් 2020).
  4. මෙම වසංගත තත්ත්වය හමුවේ ඇතැම් පාර්ලිමේන්තු දුරස්ථව කටයුතු කිරීම සදහා පාර්ලිමේන්තු නීති සහ ක්‍රියා පටිපාටි සංශෝධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කළහ. නිදසුනක් වශයෙන්,  සපාඥය සහ බ්‍රසීලය ඔවුන්ගේ  ක්‍රියා පටිපාටීන් අන්තර්ජාලගත (virtually) රැස්විය හැකි ආකාරයට සංශෝධනය කර ඇත.  එස්තෝනියාව, ඊශ්‍රායලය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් ද  අන්තර්ජාල ත්‍යාසන්න කමිටු (virtual committees) රැස්වීම්වලට ඉඩ දීම සඳහා සිය නීති ලිහිල් කරමින් සිටී. මේ අනුව පෙනීයන්නේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ගෙන් හා ස්ථායි නීති ලිහිල් කරමින් ඒවා මෙවැනි පසුබිමකට මුහුණ දීම සඳහා ප්‍රති-සකස් කිරීමෙන් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් ඉටුකිරීමට යම් උත්සාහයක් ගත හැකි බවයි.  තවද,  ඇතැම් පාර්ලිමේන්තු දුරස්ථව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගණපූරණ නීති රීති සං‍ශෝධන කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇත. එසේම, එම පාර්ලිමේන්තු විසින් එවැනි තත්ත්වයක් තුළ නීති රීති අර්ථ නිරූපණය වන්නේ කෙසේදැයි ද සොයා බැලීමක් සිදුකරයි. නිදසුනක් ලෙස, ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාව අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේදී පැමිණි (present)  මන්ත්‍රීන් ලෙස සඳහන් වන්නේ පුද්ගලයෙකු වශයෙන් පෙනී සිටීමයි (in person).  එබැවින් මෙවැනි තත්ත්වයකදී දුරස්ථ ක්‍රමවේද තුළින් ඡන්දය භාවිත කිරීමට නම්, ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුවේ.  ෆින්ලන්තය සහ නෝර්වේ යන රටවල ද මෙවැනි ව්‍යවස්ථාමය සංශෝධන කෙරෙහි අවධානය යොමු  වී තිබේ (ඉන්ටර් පාලිමෙන්ටරි යුනියන් 2020).

මේ අතර පාර්ලිමේන්තු කාර්ය-මණ්ඩල හා එම ආයතනයන්ට පැවැරෙන කාර්යයන්හි ද වෙනස්කම් සිදු කිරීම අවශ්‍යවේ. උදාහරණ වශයෙන්, පාර්ලිමේන්තු තුළ පවතින තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර මෙහෙයුම් පද්ධති නඩත්තු කිරීමට අමතරව, අතිරේක තාක්ෂණයන් භාවිත කිරීම වැනි නව කාර්යභාරයක් එක් වේ.

මෙම වසංගත තත්ත්වය තුළ පාර්ලිමේන්තු විසින් නව තාක්ෂණ ක්‍රමවේද කෙරෙහි අවධානය  යොමු කිරීම ද අත්‍යවශ්‍ය වේ.   නිදසුන් ලෙස, තත්‍යසම පෞද්ගලික ජාල (Virtual Private Networks – VPN) තුළට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සේවක මණ්ඩල සම්බන්ධ කර,  දුරස්ථ ක්‍රම වේදයකින් සම්බන්ධ වී, තම කාර්යභාරය ඉටු කළ හැක.  මයික්‍රොසොෆ්ට් ඔෆිස් 365 (Microsoft Office 365) වැනි ක්ලවුඩ් තාක්ෂණය මත පදනම් වූ ක්‍රමවේද මගින් (Cloud-based options) සාමූහික ලේඛනවලට ප්‍රවේශවීම හා කළමනාකරණය කිරීමේ හුවමාරු මාධ්‍යයක් ලෙස  විඩීයෝ සම්මන්ත්‍රණ පහසුකම් සැපයීමේ මෙවලමක් වශයෙන් ද භාවිත කළ හැක.  නිදසුන් ලෙස,  එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව, නෙදර්ලන්තයේ සෙනේට් සභාව මෙම මේවලම් භාවිත කිරීම තුළින් දුරස්ථව කටයුතු කිරීමට රුකුලක් වී ඇත.  මීට අමතරව, ගූග්ල් ක්ලවුඩ්/ජී-සූට්  (Google Cloud/G-Suite) හි අඩංගු මෙවලම් භූතානය වැනි රටවල්  විසින් භාවිත කරනු ලැබේ (ඉන්ටර් පාලිමෙන්ටරි යුනියන් 2020).

අන්තර්ජාලගත පාර්ලිමේන්තු රැස්වීම් හෝ සැසිවාර සඳහා ද විවිධ තාක්ෂණික මෙවලම් භාවිත කළ හැක. නිදසුන් ලෙස සූම්, මයික්‍රොරොසොෆ්ට් ටීම්ස්, සිස්කෝ වෙබ් මිටිංස්, සහ ගූගල් හැන්ග්අවුට් වැනි මාර්ගගත විඩීයෝ සම්මන්ත්‍රණ මේවලම් මේ සඳහා භාවිත කල හැකිය. මෙම මෙවලම් තුළින් එකම වේලාවකදී බොහෝ පිරිසක් සමග සම්බන්ධ විය හැක. නිදසුන් ලෙස, බ්‍රසීලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සූම් තාක්ෂණය  භාවිත කර, පන්සියයකට වැඩි සාමාජික පිරිසක් සිය කටයුතුවලට සම්බන්ධ කර ගන්නා ලදී.  මීට අමතරව, ජිට්සි නමැති මෙවලම මගින් ද කුඩා පිරිසක් අතර විඩියෝ සම්මන්ත්‍රණ පැවැත්විය හැක (ඉන්ටර් පාලිමෙන්ටරි යුනියන් 2020).  නමුත් පාර්ලිමේන්තු කටයුතු සඳහා මෙවැනි මෙවලම් භාවිත කිරීමේ දී ඒවායේ ආරක්ෂාව හා නෛතිකත්වය පිළිබඳ විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය.  මෙහිදී හුවමාරු කරගන්නා දත්ත, ලිපිලේඛණ ගබඩා වන ස්ථාන කෙරෙහි අවධානය යොමු කළ යුතුවේ.  මෙහිදී එම ලේඛන ආරක්ෂාකර ගත හැකි මෙවලම් සංවර්ධනය  කළ හැක. කෙසේ වෙතත්, මේවැනි හදිසි වසංගත තත්ත්වයකදී ක්ෂණයකින් මෙවලම් හා ක්‍රමවේද සකසා ගැනීම හා  ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අපහසුවේ.

ලෝකයේ විවිධ රටවල පාර්ලිමේන්තු මෙම කාල පරිච්ඡේදය තුළ පාර්ලිමේන්තු කාර්යභාරය ක්‍රියාවට නැංවීම සඳහා ගත් ක්‍රියාමාර්ග  කිහිපයක් පහත පරිදි වේ: 

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) භාවිත කිරීමේන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කාර්ය මණ්ඩල දුරස්ථව සේවය කිරීම: නිදසුනක් ලෙස, ඉක්වදෝරයේ ජාතික සභාව විසින්  විසින් තත්‍යසම සැසි (virtual sessions)  ක්‍රියාවට නැගීම සදහා රෙගුලාසි සම්මත කරගනු ලැබීය.  මීට අමතරව, විඩියෝ සම්මන්ත්‍රණ  මගින් පවත්වන කාරක සභා පාලනය කිරීමට නිලධාරීන් පුහුණු කරන ලදී. 
  • තත්‍ය සැසි පැවැත්වීමට හා ඉලෙක්ට්‍රොනික ඡන්ද පැවැත්වීම සදහා අවශ්‍ය  නව ව්‍යවස්ථා වගන්ති සම්මත කිරීම හා ස්ථාවර නියෝග සංශෝධනය කිරීම:  නිදසුන් ලෙස, ඉක්වදෝරය මෙවැනි ක්‍රියාමාර්ග ගෙන ඇත. මීට අමතරව, පැරගුවේ නියෝජිත මණ්ඩලය විසින් මන්ත්‍රීවරුන්ට තත්‍යසම සැසි පැවැත්වීමට අවකාශ සලසා දීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී.  බ්‍රසීලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ද දුරස්ථ ක්‍රමවේද තුළින් පාර්ලිමේන්තු කටයුතු කිරීම කෙරෙහි අවධානාය යොමු කර ඇත. මෙහිදී  දුරස්ථ ඡන්ද ක්‍රම භාවිත කොට ඇත.  මීට අමතරව, චිලී කොන්ග්‍රසය  විසින් පාර්ලිමේන්තුවේ  තත්‍යසම රැස්වීම් සඳහා විශේෂ විධිවිධාන යටතේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
  • එසේම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා දේශපාලන පක්ෂ නායකයින්ගේ එකඟතාව අනුව අවශ්‍ය ගණපූර්ණය යටතේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි  මහජන නියෝජිතයින් කිහිපදෙනෙකුට රැස්විය හැකිය:  නිදසුන් ලෙස, එක්සත් රාජධානිය, කැනඩාව වැනි රටවල හදිසි නීති රෙගුලාසි සම්මත කිරීමට අවශ්‍ය වූ විට මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබේ. 
  • අන්තර්ජාලගත කාරක සභා (Virtual Committees) රැස්වීම් කැඳවීම හා වීඩියෝ සම්මන්ත්‍රණ තුළින් සාක්ෂිකරුවන්ගේ චාචික ප්‍රකාශණ අන්තර්ජාලගතව ලබා ගැනීම කළ හැක. ඉක්වදෝරයේ ජාතික සභාව විසින් රෙගුලාසි සම්මත කරගෙන මෙවැනි අන්තර්ජාලගත රැස්වීම් පැවැත්වීමට, දුරස්ථ ඡන්ද පැවැත්වීමට හා එම රැස්වීම් සජීවීව විකාශණය කිරීමටත් පියවර ගැනුණි. චිලියේ සෙනේට් සභාව විසින් ද කාරක සභා සඳහා සාක්ෂිකරුවන් දුරකථන සම්මන්ත්‍රණ ක්‍රම ඔස්සේ සම්බන්ධ කර ගෙන ඇත.  ආර්ජෙන්ටිනාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සූම් තාක්ෂණය භාවිත කොට,  අවදානමට ලක්විය හැකි කණ්ඩායම් (vulnerable groups) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය කටයුතුවලට සම්බන්ධ වීමට අවකාශ සලසා ඇත (ඉන්ටර් පාලිමෙන්ටරි යුනියන් 2020) . 
  • සමාජ දුරස්ථභාවය පිලිපැදීම ක්‍රියාවට නඟමින් මහජන කටයුතු නොකඩවා පවත්වාගෙන යාම. ඒ අනුව පහත සඳහන් ක්‍රම ක්‍රියාවට නැංවිය හැක: 
  • විඩීයෝ සම්මන්ත්‍රණ තුළින් ඡන්ද කොට්ඨාශ සමඟ ඩිජිටල් ප්‍රශ්න හා පිළිතුරු වාර පැවැත්වීම.
    • වට්සැප් තාක්ෂණය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කාර්ය මණ්ඩල වෙත ප්‍රවේශවීමේ හැකියාව.
    • සමාජ මාධ්‍ය ජාල (ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර්) හා සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍ය (පුවත්පත් හා ප්‍රසිද්ධ අවකාශයේ මුදාහරින නිවේදන) නිරතුරුවම යාවත්කාලීන කිරීම.
    • නිල තොරතුරු මාර්ගගත තොරතුරු නිවේදන පත්‍රිකා (online info-bulletin)  ඔස්සේ ඡන්ද කොට්ඨාශ වැසියන් දැනුවත් කිරීම.
    • පුරවැසියන්ගේ සහභාගීත්වය සාක්ෂාත් කරගැනීමට හා තොරතුරු සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ නොයෙකුත් දෙපාර්තමේන්තු වෙත ප්‍රෙව්ශවන්නේ කෙසේදැයි පෙන්වාදෙන තොරතුරු යාවත්කාලීන කිරීම.
    • ගුවන්විදුලිය හා පාර්ලිමේන්තු රූපවාහිනී ජාලය සමගින් අන්තර්ජාලය ඔස්සේ පාර්ලිමේන්තු සැසි සජීවී විකාශණ ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීම.
    • අන්තර්ජාලගතව ප්‍රජා සංවිධාන සමග සම්බන්ධවීම. නිදසුන් ලෙස, කාන්තා සංවිධාන, සෞඛ්‍ය මධ්‍යස්ථන වැනි සංවිධාන සමග සම්බන්ධ වීම  (පෝටල් ඔෆ් පාලිමෙන්ටරි ඩිවෙලප්මන්ට් 2020).

අන්තර්ජාලගත පාර්ලිමේන්තු හා දුරස්ථ තාක්ෂණික මේවලම් භාවිතයෙන් පාර්ලිමෙන්තු කටයුතු පැවැත්වවීමේ දී මුහුණපාන අභියෝග

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තුවල වැඩකටයුතු පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනූකූලව සිදුවන බැවින්, මෙවැනි තත්ත්වයක් තුළ සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තු වැඩකටයුතු ඉටු කිරීම අපහසු වේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තුළ පාර්ලිමේන්තු කටයුතු සිදුකෙරෙන බැවින්, දුරස්ථව හා අන්තර්ජාලගතව ව්‍යවස්ථාදායක කටයුතු සිදු කිරීම  අභියෝග රැසක් ඉදිරිපත් කරයි. අනෙක් අතට, මෙම ව්‍යවස්ථාදායක කාර්යයන් මහජන නියෝජිතයින් හා කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගේ සහාභාගීත්වයෙන් සිදුවන ක්‍රියාවලියකි. යම් ව්‍යවස්ථාදායක තීරණයක් සියලුම දේශපාලන පක්ෂවල සාකච්ඡාවට බඳුන්වීමත්, ඒවාට ඡන්දය ප්‍රකාශ කිරීමත් අවශ්‍ය වේ. මේ නිසා,  සැනෙකින් පාර්ලිමේන්තු ක්‍රියාදාමය දුර්ස්ථ අන්තර්ජාලගත ක්‍රමයකට ගෙනයා නොහැකිය. ප්‍රධාන වශයෙන් මෙම අභියෝග කොටස් දෙකක් යටතේ හදුනාගත හැකිය. එනම්, 

  • නෛතික හා ක්‍රියාපටිපාටීමය ගැටලු
  • දුරස්ථව සේවය කිරීමේ දී මතුවන තාක්ෂණික ගැටලු

අන්තාර්ජාලගතව පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සාමාන්‍ය  පාර්ලිමේන්තු කාර්යයන් පවත්වාගෙන යාම තරම් පරිපූර්ණ ක්‍රමයක් නොවේ. මෙම වෛරසය ආශ්‍රිත වසංගතය බලාපොරොත්තු නොවූ පරිදි  ඇති  වූ තත්ත්වයක් බැවින්, පාර්ලිමේන්තු ක්‍රමය ක්ෂණිකව අන්තර්ජාලගත ක්‍රමයක් වෙත පරිවර්තනය කිරීම ගැටලු සහගත වේ. සාමන්‍යයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන්, ආණ්ඩු පක්ෂ හා විපක්ෂ කාර්යාලවල නිලධාරීන්, වෙනත් සැපයුම් සේවා ආයතනවල කාර්ය මණ්ඩල, මාධ්‍යවේදීන්,  ආරක්ෂක අංශ නිලධාරීන් ආදී විශාල පිරිසකගේ සහභාගීත්වය පාර්ලිමේන්තු  රැස්වීම්  සඳහා ලැ‍බේ.  එසේම, මේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සමග සෘජුවම බැ‍දේ. එබැවින්,  විශේෂයෙන් අන් ආයතනයන්ගේ වැඩකටයුතු මෙන් නොව,  පාර්ලිමේන්තු කටයුතු යනු නෛතික ක්‍රමවේද හා සම්ප්‍රදායන් ඔස්සේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවෙන සාමුහික ප්‍රයත්නයකි. මෙනිසා, මෙවැනි ක්‍රියාදාමයක් අන්තර්ජාල ඔස්සේ සිදු කිරීමේ දී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවිය හැක.

අනෙක් අතට, පාර්ලිමේන්තු කටයුතුවලට ප්‍රවේශවීමට සමාන ඉඩ ප්‍රස්ථා නොලැබීයාම ද මුහුණ පෑ හැකි ගැටලුවකි. රටේ සෑම ප්‍රදේශයක්ම  නියෝජනය කරන නියෝජිතයන්ට පාර්ලිමේන්තු කටයුතුවලට සමානව සම්බන්ධවීමට නොහැකිවීමේ හැකියාවක් පවතී. එයට හේතුව වන්නේ, රටේ විවිධ ප්‍රදේශවල අන්තර්ජාල ආවරණයන්හි පවතින ගැටලුදායක තත්ත්වයයි.  බොහෝ විට, ප්‍රධාන නගරවලින් ඔබ්බේ පිහිටි අන්තර්ජාල පහසුකම් නොමැති ග්‍රාම්‍ය ප්‍රදේශවල ජනයාට හා එවන් ප්‍රදේශවල සිටින නිලධාරීන්ට හෝ මන්ත්‍රීවරුන්ට මෙම කටයුතුවලට සම්බන්ධ වීමේ  දී දුෂ්කරතා ඇතිවිය හැක. 

තවද,  පාර්ලිමේන්තු  ක්‍රියාවලියේදී  ඡන්ද විමසීම් දුරස්ථව පැවැත්වීමේ දී මතුවන ගැටලු ද දැකගත හැක. විශේෂයෙන් මන්ත්‍රීවරුන් ඡන්දය නීත්‍යානුකූලව භාවිත කරන බවට සහතික කිරීමේදී ගැටලු පැන නගී.  බ්‍රසීලයේ මන්ත්‍රීවරුන්ට සිය  ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අභ්‍යන්තර අයැදුම්පතක් ලියාපදිංචි කර තිබිය යුතුය. එසේම,  සියලුම සාමාජිකයින්ට ඡන්දය දිය හැකි බව සහතික කිරීම ද ගැටලුවකි.  තවද,  වේගවත් අන්තර්ජාල පහසුකම් ඇතැම් විට නොමැති වීම පිළිබද ගැටලුව ද මතු වේ. එබැවින්, ඇතැම් මන්ත්‍රීවරුන් නියෝජනය කරන පළාත්වල  අන්තර්ජාල පහසුකම් මඳවීම මෙහිදී ප්‍රධාන ගැටළුවක් වියහැක.

ජාලගතව පාර්ලිමේන්තු කටයුතු පැවත්වීම කලින් හා සුක්ෂ්මව සැලසුම් නොකර, ක්ෂණිකව ඇතිවූ තත්ත්වයක් බැවින්, පාර්ලිමේන්තු නියෝජිතයින්ට හා නිලධාරීන්ට නිසි පෙර සුදානමක් නොමැතිව ක්ෂණයකින් ක්‍රියාත්මක කිරීම නිසා තාක්ෂණික ගැටලු ඇති විය හැක. එමෙන්ම, මහජන නියෝජිතයන්ගේ පරිඝණක සාක්ෂරතාවය ද සැලකිල්ලට ගැනීම වැදගත් වේ. පරිඝණක සාක්ෂරතාව අඩුවීම නිසා නිසි නියෝජනයක් නොවිය හැක.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ නම්‍යශීලීභාවය ද වැදගත් වන්නේ, විශේෂයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත විධිවිධාන නොවෙනස්ව පවත්වා ගත යුතු වුවත්, ‍වසංගත තත්ත්වය තුළ එම විධිවිධාන වෙනස්කිරීමට අවශ්‍ය වන බැවිනි. එවැනි තත්ත්වයකදී අදාළ ව්‍යවස්ථාව අනම්‍යශීලි ව්‍යවස්ථාවක් නම්, එහි විධිවිධාන ‍වෙනස් කිරීමට නොහැකි වේ.  විශේෂයෙන් පාර්ලිමේන්තු ගණපූරණය, පාර්ලිමෙන්තුවේ පනත් සම්මත කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්  වන විධිවිධාන ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදනය වී  ඇත්නම්, ‍මෙවැනි වසංගත තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගැනිමේදී එම විධිවිධාන වෙනස්කිරීමට හැකි නම්‍යශලීභාවය තිබිය යුතුය.

කෙසේ නමුත්, මෙවැනි වසංගත තත්ත්වයක් තුළ  පාර්ලිමේන්තුව  රැස්වීමේ වැදගත්ම කාරණය වන්නේ, සාමාන්‍ය පාර්ලිමේන්තු වැඩකටයුතුවලින් ඔබ්බට ගොස්,  මෙම  වසංගතයට සාර්ථකව මුහුණ දීමට  අවශ්‍ය පනත් හා රෙගුලාසි සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ඇති හැකියාවයි.  බොහෝ රටවල් පාර්ලිමේන්තුවට පැවරෙන ව්‍යවස්ථා සම්පදානය කිරීමේ බලතල භාවිත කරමින්කොරෝනා වසංගතය වෙනුවෙන්ම සුවිශේෂී නීති සම්පාදනය කර ගැනීම‍ට යොමුවී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් Coronavirus Preparedness and Response Supplemental Appropriations Act 2020; Families First Coronavirus Response Act; Coronavirus Aid, Relief  and Economic Security Act යනාදී සුවිශේසී පනත් මෙලෙසින් පනවන ලදී.  එලෙසින්ම, එක්සත් රාජධානිය විසින් Coronavirus Act 2020 හා Health Protection (Corona Virus ) Regulations 2020 යන පනත් ද   සිංගප්පූරුව විසින් COVID 19 (Temporary Measures) Act 2020 යන පනත ද  නවසීලන්තය විසින් COVID-19 Public Health Response Act 2020 යන පනත ද මේ කාලය තුලදී පවනවන ලදී.  එබැවින් ‍කොරෝනා වසංගතය පවතින කාලය තුළ පාර්ලිමේන්තු‍වට පැවැරී ඇති නීති සම්පාදනය, මුල්‍ය පාලනය හා විධායකය අතර සම්බන්ධතාවය පවත්වා ගනිමින් වසංගතය මැඩපැවැත්වීම හා ජනාතාවගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීම ආර්ථාන්විත වේ. 

තවද, කෝවිඩ් වසංගතය නිසා පාර්ලිමේන්තු කටයුතු නෛතිකව පවත්වා ගැනීම සම්බන්ධයෙන් වෙනස් ආකාරයෙන් සිතීමට අවස්ථාවක් උදාවීය.  විශේෂයෙන් හදිසි තත්ත්වයකදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වෙනස් කළ යුත්තේ කේසේද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ ඡන්ද වීමසීම සම්බන්ධයෙන් වන ප්‍රතිපාදන සංශෝධනය කළ හැකි ලෙස නම්‍යශීලී ක්‍රමවේදයන් අනුව සකස් කරගන්නේ කේසේද, නව තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදයක කටයුතු පවත්වා ගෙන යන්නේ කෙසේද යනාදිය මේ තත්ත්වය තුළදී විසදාගත යුතු වූ ප්‍රධාන ප්‍රශ්න විය.

BBC News, 2020. Coronavirus: Speaker outlines plans for ‘virtual’ Parliament. යොමුව:  https://www.bbc.com/news/uk-politics-52282817 අවසන් වරට පිවිසි දිනය 30 සැප්තැම්බර් 2020.

ආශ්‍රීත ග්‍රන්ථ

Holsten. H, 2020. The politics behind the COVID-19 responses:   How much are we willing to sacrifice to protect ourselves against COVID-19? How do we battle the virus while minimizing the consequences? යොමුව: https://partner.sciencenorway.no/covid19-crisis-epidemic/the-politics-behind-the-covid-19-responses/1662531 අවසන් වරට පිවිසි දිනය: 1 සැප්තැම්බර් 2020.

Flinders, M, 2020. Democracy and the Politics of Coronavirus: Trust, Blame and Understanding Parliamentary Affairs. යොමුව: https://watermark.silverchair.com/gsaa013.pdf?token=AQECAHi208BE49Ooan9kkhW_Ercy7Dm3ZL_9Cf.   අවසන් වරට පිවිසි දිනය: 31 අගෝස්තු 2020.  

Inter Parliamentary Union, 2020. Parliamentary working methods during the coronavirus pandemic. යොමුව: https://www.ipu.org/innovation-tracker/story/parliamentary-working-methods-during-coronavirus-pandemic. අවසන් වරට පිවිසි දිනය: 31 අගෝස්තු 2020.

Inter Parliamentary Union, 2020. How to run a parliament during a pandemic. යොමුව: https://www.ipu.org/news/news-in-brief/2020-04/how-run-parliament-during-pandemic-q-and. අවසන් වරට පිවිසි දිනය: 30 ඔක්තෝබර් 2020.  

Inter parliamentary Union, 2020. 100 days of teleworking during the covid -19 pandemic: The Ecuador National Assembly. යොමුව:  https://www.ipu.org/innovation-tracker/story/100-days-teleworking-during-covid-19-pandemic-ecuador-national-assembly. අවසන් වරට පිවිසි දිනය: 31 අගෝස්තු 2020.

Portal for Parliamentary Development, 2020. Covid-19 And Parliament’s Role During A Pandemic. යොමුව: https://www.agora-parl.org/sites/default/files/agora documents/COVID19_and_Role_of_Parliaments_ENG.pdf.  අවසන් වරට පිවිසි දිනය: 31 අගෝස්තු 2020.

Rani, Supriya, 2020. ‘Comparative Study of Separation of Power in India, U.K. And U.S.A.’ International Journal of Law Management & Humanities, Vol. 3 Issue 3.

The Commonwealth Parliamentary Association (CPA), 2020, Covid-19:  Delivering Parliamentary Democracy, Toolkit for Parliaments http://www.cpahq.org/cpahq/cpadocs/CPA%20toolkit%20Covid-19%20Coronavirus%20e-version.pdf, Accessed on July 2020.

Worldometers, 2021.   යොමුව: https://www.worldometers.info/coronavirus/country/sri-lanka/ අවසන් වරට පිවිසි දිනය: 31 ජනවාරි 2021.

(ජී. ආර් . අයේෂා ගොඩගම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනියක්ය. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළබඳ බී.ඒ. විශේෂ ගෞරව උපාධියක් ද  එම විෂයම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම්.ඒ. උපාධියක් ද ලබා සිටින්නීය. ඊට අමතරව ඇය ලංඩන් විශ්විද්‍යාලයෙන් ගෞරව නීති උපාධියක් ද නෝර්වේහි ඇජ්ඩර් විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන කළමනාකරණය පිළිබඳ එම්.එස්.සී උපාධියක් ද ලබා සිටින්නීය)

Total
13
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ බහුවිධ අර්බුද පිළිබඳ විශ්ලේෂණයක්, ඉදිරි දැක්මක් සහ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක්

කාටූනය: ගිහාන් ඩි චිකේරා, 2012 (Daily Mirror) ~ ජයදේව උයන්ගොඩ, සම්මානිත මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ සසංක පෙරේරා, මහාචාර්ය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නවදිල්ලිය ~ නවරත්න බණ්ඩාර, හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ මයිකල් ප්‍රනාන්දු, හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ රත්නසිරි අරංගල, ජ්‍යේෂ්ඨ මහාචාර්ය,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය~ මොහොමඞ් මහීස්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ විපුල කරුණාතිලක, සංවර්ධන ජනමාධ්‍යවේදී (මේ විශ්ලේශනය හා යෝජනාවලිය මුලින්ම සකසන ලද්දේ 2019 ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකයන්ගේ අවධානය සඳහාය. එය සියලුම දේශපාලන පක්ශ නියෝජනය කළ ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා ඔවුන්ගේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වසංගත කලමණාකරණය හා සන්නිවේදන මාධ්‍යයේ භූමිකාව

~ විරන්ජන හේරත්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය වසංගතයක් කලමණාකරණයේදී ජනමාධ්‍යයේ භූමිකාව තීරණාත්මකය. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, වසංගත කලමණාකරණයේදී සෞඛ්‍ය තොරතුරු  සංනිවේදනය සම්බන්ධයෙන්  ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ අවේක්ෂණය (surveillance) සහ මැදිහත්වීම් (intervention) කෙරෙහිය. අවේක්ෂණයට අදාලව පහත සදහන් කරුණු අවධාරණය කලයුතු වේ: 1) අවේක්ෂණයට අදාළ සියලු පාර්ශවකරැවන් වසංගතය පැහැදිලිව නිර්වචනය කර තිබේද? 2) රෝගී බව තහවුරු කරගැනීම සදහා නියමිත පරීක්ෂණාගාර මොනවාද? 3) තහවුරැ කරන ලද සිදුවීම්, මරණ හා ඒවා හදුනාගත්  ප්‍රදේශ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලජ්ජා-බය, සදාචාර පාලනය සහ ‘හතේ අපේ පොත’

කෞෂල්‍යා ආරියරත්න – පිවිසුම සමාජය තුළ කිසියම් සිවිල් බලයක් අත්පත් කොට ගෙන සිටින භික්ෂුවක් විසින් සිදු කරන ලද පුවත්පත් සාකච්ඡාවක් හේතුවෙන්, රජය විසින් සිසුන් අතට පත් නොකොට යළි කැඳවන ලද ‘හතේ අපේ පොත’ නම් වූ සිසු අතිරේක කියවීම් පොත ගැන මේ මොහොතේ රට පුරා කතිකාවක් ඇති වී තිබේ. මෙම කතිකාව සමාජගත වීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසා ය: 1) ඉන් පළමුවැන්න නම්, නීතියේ අසමත්භාවය ද, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ දෘෂ්ටිවාදයන් ද, ලජ්ජාව හා බිය යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත 12 වන වෙළුම (විශේෂ කලාපය – සැප්තැම්බර් 2020)

කෝවිඩ් 19 වසංගතය විසින් ලෝකය සහ මිනිස් ජීවිතය තුළ ඇති කරන පරිවර්තනයන් ගේ ස්වභාවය වටහා ගැනීමට කොපමණ කාලයක් ගත වනු ඇති ද යන්න තවමත් නිර්ණය කල නොහැකි ය. කෙසේ වුවත්, මෙය ඉතිහාසය තුල ඉතා දුර්ලභ වන, යුගයක ස්වරූපය වෙනස් කලහැකි ආකාරයේ ප්‍රභල විභවාත්මක සිදුවීමක් බව තේරුම් ගැනීම අසීරු නැත. එම නිසා, මේ මොහොතේ අප අත්විඳිමින් සිටින මේ දුලබ හා බෙහෙවින් ගැටලුකාරී අත්දැකීම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පර්යාවලෝක ඔස්සේ සිතියම්ගත කිරීමට උත්සාහ කිරීම අප විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ (11 වන වෙලුම 2020)

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා (11 වන වෙලුම 2020) දැන් නිකුත් වී තිබේ. එය කොළඹ ජාත්‍යන්තර‍ පොත් ප්‍රදර්ශනයේ විදර්ශන කුටියෙන් ලබා ගත හැක (බී ශාලාව, කුටි අංක 103). පිටු 360. ප්‍රදර්ශනයෙන් පසුව එය  විදර්ශන ප්‍රකාශකයන් වෙතින් ලබා ගත හැක. ‘පඨිත’ 2020 අන්තර්ගතය පහත සඳහන් පරිදි වේ: පර්යේශන රච​නා * කාජල් තැවරූ දෑසින් හෙළන බැලුම්: නිර්ප්‍රභූ දේශපාලනික ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘ජෝගි ’ නැටුම්– කෞෂල්‍යා ආරියරත්න. * “මානව ලිංගිකත්වයේ බහුරූපීතාව සහ සුළුතර ලිංගික ප්‍රජාව”: ශ්‍රී ලාංකේය සමාජය ඇසුරෙන් සමාජවිද්‍යාත්මක කියවීමක්–…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත’ 12 වන වෙලුමට ලිපි සම්පාදනය කිරීම සඳහා කෙරෙන ආරාධනයයි

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා ලිපි සංග්‍රහයේ 12 වන වෙලුමේ (අංක 1 හා 2, 2021/මුද්‍රිත සංස්කරණය) සම්පාදන කටයුතු දැන් ආරම්භ කර ඇති බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි.’ 12 වන වෙලුම (අංක 1, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 ජනවාරි 30 වනදාය. 12 වන වෙලුම (අංක 2, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් 30 වනදාය. මේ වෙලුම් සඳහා පහත දක්වා ඇති ආකාරයේ ලිපි පඨිත වෙත ලබාදිය හැක: පර්යේෂණ ලිපි ආශ්‍රිත ග්‍රන්ථාවලිය සහ පාදක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උත්තර්කාෂිහි ඉපිද ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මගෙහි දිවි නිමාකළ ඉන්දීය සාහිත්‍යධරයා

කපිල එම්. ගමගේ – 2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගීමාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්විය . එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර, එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත්, ඔවුන් පියා, දියණිය හා මුණුපුරා වූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනු ලැබීය. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණි. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද යන්න අද වෙනතුරුත් මාධ්‍ය විසින් සදහන් කර නැත. නමුත් මෙසේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නව කොරෝනා වෛරස් තත්ත්වයෙන් ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?

~ විජයානන්ද ජයවීර, හිටපු අධ්‍යක්ෂක, සන්නිවේදන ප්‍රවර්ධන අංශය, යුනෙස්කෝ සංවිධානය (ඡායාරූපය: ඉහත ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ, චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්ත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු, ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි. ඡායාරූපය ඒ.එෆ්.පී පුවත් සේවය වෙතිනි) නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා, ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන් නිකුත් වන බිඳිති සහ ඇතැම් විටෙක ප්‍රශ්වාසයෙන් නිකුත් වන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ගව මූත්‍රා පානය කිරීමෙන් කොල්කටා වැසියෙක් රෝගී වේ

(චායාරූප මූලාශ්‍රය: ස්ක්‍රෝල් වෙබ් අඩවිය, 2020 මාර්තු 18) කොල්කටා  පොලීසිය විසින් භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයෙකු වන, නාරායන් චැටර්ජි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමේ තරගයක් සංවිධානය කිරීම නිසාය.  2020 මාර්තු 18 වන බදාදා ‘ප්‍රෙස්  ඔෆ් ඉන්ඩියා’ (PTI) පුවත් සේවයට අනුව, ඔහු මෙය සංවිධානය කර ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමෙන්  කොරෝනා වයිරසයෙන් මහජනතාවට ආරක්ෂා වීමට හැකියාව ලැබේ යයි පවසමිනි. ඔහු උතුරු කොල්කටාවේ ජෝරසංකෝ ප්‍රදේශයේ භාරතීය  ජනතා පක්ෂයේ ක්‍රියාකාරියෙකු වන අතර, ගවයන් පිදීම සදහා වැඩ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මාලතී ද අල්විස් (1963-2021): ඇය යන්න ගියා මැකිලා…

~ ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය කුමාරි ජයවර්ධනගෙන් පසු ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත්, සම්ප්‍රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටීමත් පිළිබද ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ ස්ත්‍රිය ඇයයි. ඔව්, මම එසේ සිතන්නෙමි. ඇය මානව විද්‍යාඥවරියකි. ක්‍රියාකාරි ස්ත්‍රිවාදිනියකි. අනූවෙන් පසුව ‘එන්ජිඕ කරණයට’ ලක්වුණු මහජන අරගල දේශපාලනය පිළිබඳ ඇයගේ කියවීම් මා ගැවසෙන දේශපාලන අවකාශවලදී  මම නිරන්තරයෙන් සිහිපත් කර සිටිමි. එහිදී විශේෂයෙන්ම ස්ත්‍රී දේශපාලනයේ උපායමාර්ගයන් පිළබඳ සන්දර්භය තුළ ඇය විසින් ගොඩනැගූ එක් ප්‍රමුඛ අදහසක්…
වැඩි විස්තර පරිශීලනයට