ගැටලුකාරී කාලයක නිර්මාණනීය රචනය: මොහමඩ් හනීෆ් සමග කතාබහක්

(මොහමඩ් හනීෆ් සමග සසංක පෙරේරා පැවැත්වූ මේ සම්මුඛ සාකච්චාව ප්‍රථමයෙන් පළවූයේ 2019 ජුලි මාසයේ ප්‍රකාශයට පත් වූ ‘Society and Culture in South Asia’ ලිපි සංග්‍රහයේ පස්වන වෙලුමේ දෙවන කාණ්ඩයේය)

සසංක පෙරේරා – ඔබගේ ප්‍රථම නවකතාව වූ ‘A Case of Exploding Mangoes’ කෘතිය ‘The New York Times’ පුවත්පත වෙනුවෙන් 2008 ජූනි 8 වනදා විමර්ශනය කල රොබට් මැක්ෆාලන් පවසා සිටියේ එය “එය ගුප්ත එමෙන්ම සදාකාලික වැදගත්කමක් ඇති ඉතිහාසමය නවකතාවක්” බවයි. පාකිස්නථානය සම්බන්ධයෙන් ඔය කියන සදාකාලීන බව නැත්නම් අකාලිකත්වය, පදනම් වෙලා තියෙන්නේ රටේ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන රහස්‍ය බව, කුමන්ත්‍රණකාරීත්වය හා ප්‍රචණ්ඩත්වය වැනි පාකිස්නථාන දේශපාලනයෙන් මතුකර ඇති ප්‍රවණතා කිසි විටෙකත් අවසන් කරන්න නොහැකිය කියන හැඟීම මතද? ඔබගේ පළමු කතාව වගේම දේශපාලනික හරයක් ඇති නවකතාවක් ඔබ අද දවසේ ලිව්වොත්, එහි පසුබිමේ ඇති සාමාන්‍ය තත්ත්වය එලෙසින්ම තියේවිද? නැත්නම්, ජෙනරාල් සියා උල් හක්ගේ පාකිස්ථානය මත පදනම වූ ‘A Case of Exploding Mangoes’ කෘතියෙන් අද දවසේ තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද?

මොහමඩ් හනීෆ් – ඇත්තටම, අකාලික නොවන්නේ මොකක්ද? අද වන විට ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් භාවිතයේ තියෙනවා. කෝටි ගණනක් ‘වට්ස්ඇප්’ කණ්ඩායම් අප අතර සිටිනවා. ඒත් තමන්ගේ නිවසින් හෝ තමන්ගේ ගමෙන් පිටතට කවදාවත් නොගිය ස්ත්‍රීන් තත්කාලීන වේලාවේම ලෝකයත් එක්ක තාක්ෂණය හරහා සම්බන්ධ වෙලත් ඉන්නවා. ඇත්තටම අද දවසේ ප්‍රසිද්ධ අවකාශයේ, කඩ සාප්පුවල, කාර්යාලවල, කර්මාන්තශාලාවල, බැංකුවල වාගේම අපේ විදේශ අමාත්‍යාංශයෙත්, පොලීසියෙත් ස්ත්‍රීන් විශාල සංඛ්‍යාවක් දැකගන්න පුලුවන්. ජෙනරාල් සියා උල් හක්ගේ කාලේ ඉඳන් අද වන විට වැඩියෙන්ම වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ තත්ත්වයයි. ඇත්තටම දැන් වෙලා තියෙන්නේ ජෙනරාල් සියාට තිබුන භයානකම හීනය යථාවක් බවට පත්වෙලා තියෙන එකයි. ජෙනරාල් සියාගෙන් පස්සේ රටේ අනාගතය පාලනය කරන්න සිවිල් වැසියන් උත්සාහයක් ගත්තා. ඒත් ඒ උත්සාහය අද යම් දුරකට ඇදවැටිලා තියෙනවා. දැන් යුද හමුදාව ඍජුවම බලයේ නොසිටියත්, ඔවුන්ට සීමා රහිත බලයක් තියෙන බව අපිට පැහැදිලිව පෙනෙනවා. ඔව් ඉතින්, අකාලික කියල කිව්වට, යම් යම් දේ නිරතුරුවම වෙනස් වෙනවා. කාලෙකට ඉහතදී වීදිවල අහුමුලුවල රහසින් කනට කොදුරපු කුමණ්ත්‍රණ පිළබඳ කටකතා දැන් සංසරණය වෙන්නේ ‘වට්ස් ඇප්’ කණ්ඩායම් හරහා.

සසංක පෙරේරා – ‘A Case of Exploding Mangoes’ කියවන විට මට දැනුනු හා අගය කල දෙයක් තමයි, එහි තිබුණු හාස්‍ය රසය. ඒ කියන්නෙ, හාස්‍යයත් මුසුකර ගනිමින්, රහස්‍ය බවින් පිරුණ දේශපාලනික කතිකාවක් ගොඩනගන්න ඔබට හැකිවෙලා තිබුන. නමුත් එසේ ගොඩනැගීමේදී ඔබ කතා වස්තුවවත් පුලුල් අඛ්‍යානයවත් අමතක කරලා තිබුනේ නැහැ. නමුත් මගේ හැඟීම නම්, දකුණු ආසියාවේ රචනාකරණයේ යෙදෙන බොහෝ දෙනා සහ චිත්‍රපටිකරණයේ යෙදෙන බොහෝ උදවිය හාස්‍යය හරිහැටි භාවිතා කරන්නේ කොහොමද කියලා දන්නේ නැති විත්තිය. ඔබ හිතනවද දකුණු ආසියාවේ ඉංග්‍රීසි භාෂාවෙන් නර්මාණනීය රචනයේ යෙදෙන විට හාස්‍යය නිසි ලෙසත්, ප්‍රවේශම්කාරී ලෙසත් භාවිත කරනවා කියලා? අනිත් අතට, අපේ කලාපයේ දේශපාලන ක්‍රියාකාරීන් නිර්මාණ සාහිත්‍යයෙන් මතුවෙන හාස්‍යය සමග ගනුදෙනු කරන්නේ කොහොමද? හාස්‍යය කියන්නේ සරල සටන් පාඨ නෙවෙයිනේ! බලවත් දේශපාලන නායකයින් ඉලක්ක කරගෙන හාස්‍යය භාවිතා කරන්න ඉස්සර, ලේකඛයින් පෞද්ගලික ආරක්ෂාව ගැන හිතා බලන්නේ නැද්ද?

මොහමඩ් හනීෆ් – පාර පනිද්දී වුනත් පෞද්ගලික ආරක්ෂාව ගැන අපිට හිතන්න වෙනවා. ඒ නිසා ඇත්තටම, ආරක්ෂාව ගැන කොහොමටත් මුලින්ම හිතන්න ඕනැ. මට නම් හිතෙන්නේ අපේ කලාපයේ ජීවත්වෙන උදවිය දෛනික ගැටලුවලට මුහුණ දෙන්න හාස්‍යය හොදින් පාවිච්චි කරනවා කියලා. මම මුලු දකුණු ආසියා කලාපයම නිසියාකාරව දැකල නැති නිසා, මම මේ කියන දේ සාමාන්‍යකරණයක් කියල මම දන්නවා. ඉතාමත් මෑතක් වන තුරුම දේශපාලන සම්භාශනයේදී හාස්‍යය භාවිතා කරන දියුණු සම්ප්‍රදායක් අපිට තිබුන. මුස්‌ලිම් ආගමික මුල්ලලා වගේම දෙවියන් විශ්වාෂ නොකරන වාමංශිකයොත් හාස්‍යය හොද අගේට යොදාගෙන තියෙනවා. නමුත් මෑත අතීතයේදී, අපේ රටවල අලුත් පන්නයේ ජනප්‍රියවාදී නායක පැලැන්තියක් බිහිවෙලා තියෙනවා. නරේන්ද්‍ර මෝදි සහ ඉම්රාන් ඛාන් මේකට උදාහරණ. මේහොල්ල එක්තරා විදියකින් විකට රූප වගේම දෛනික ජීවිතයේදී හැසිරෙන නිසා, මේ වගේ උදවිය ගැන විහිලු හදන එක ටිකක් අමාරුයි. ඒත් අපේ මිනිස්සු හාස්‍යය අමතක කරලා දාල නම් නැහැ. ඕනෑම දවසක පාකිස්ථානයේ ප්‍රවෘත්ති නාලිකාවක් දිහා බලන්න. වෘත්තීය හාස්‍යයවේදීන්ගෙන් ඒවා පිරිලා. ඇත්තටම ප්‍රසිද්ධ අවකාශවල දේශපාලන විහිලු ඉදිරිපත් කරන අයට දශක ගණනාවක් මුලුල්ලේ හරියට රස්සාවක් තිබ්බේ නැහැ. දැන් ඒ අය රුපවාහිනී නාලිකාවල ජනප්‍රියම කාලවේලාවලදී ඕන තරම් දැකගන්න පුලුවන්. ඒ අය අපේ දේශපාලන තත්ත්ව ගැන හොද හොද දේ අපිට කියල දෙනවා. මගේ නිගමනය නම්, මේ වගේ හාස්‍යයට අපේ සමාජවල යම් ඉල්ලීමක් සහ ඉවසීමක් තියෙන බවයි.

සසංක පෙරේරා – ඔබ හිතනවද දකුණු ආසියානු ලේඛකයින් තමන්ගේ රටවැසි කම නැතිනම්, යම්කිසි රටකට ඇති බැඳීම් නිසා තමන්ගේ නිර්මාණනීය ප්‍රවේශය සීමාවෙලා තියෙනවා කියලා? උදාහරණයක් වශයෙන් ඔබගේ රචනාකරණය පදනම් වෙලා තියෙන්නෙ පාකිස්ථානයේ සිද්ධ වෙච්ච නොයෙකුත් දේ මත. මෙය ‘A Case of Exploding Mangoes’ කෘතියේ ඉතාමත් ප් පැහැදිලියි. ඒත් ඔබගේ මෑතකාලීන නවකතාව වන ‘Red Birds’ හි ආඛ්‍යානය දිගහැරෙන ස්ථානය පැහැදිලි ලෙස සඳහන් කර නැහැ . එනමුත් කතාවෙන් පෙනෙන්නේ එය යුද්ධයෙන් විනාශවෙච්ච ඇෆ්ගනිස්තානය කියලයි. රොහින්ටන් මිස්ට්‍රි සාමාන්‍යයෙන් තමාගේ කතාවලට වස්තුව කරගන්නේ ඉන්දියාවයි. එයිනුත් බොහෝ විට වඩාත් සමීප අවධාරණයක් ලැබෙන්නේ පාර්සි ප්‍රජාව ටයි. ‘A Fine Balance’ සහ ‘Such a Long Journey’ යන නවකතා මීට උදාහරණ සපයනවා. ඒත් මිස්ට්‍රි ඉන්දියාව වගේම ඔහු මැනැවින් විස්තර කරන තම ජනවාර්ගික ප්‍රජාව හැර දාලා ගිහිල්ලා බොහෝ කල්. කාලිඩ් හොසෙයිනි ඔහුගේ ‘The Kite Runner’ නවකතාව ලියුවේ ඇෆ්ගනිස්තානය පදනම්කරගෙන. ඒ වන විට ඔහු ඇෆ්ගනිස්ථානයෙන් පිටමං වී තමයි හිටියෙ. මගේ ප්‍රශ්ණය තමයි, ඇයි මේ වගේ ලේඛක‍යින් තමන්ට හුරුපුරුදු තැන් අත්හැරලා ජාතික මායිම් අතික්‍රමණය කරලා වෙනත් තැන්වලට ගියත්, ඒ අලුත් තැන් ගැන එච්චර ලියන්නෙ නැත්තෙ කියලා. ඇත්තටම ඔබ ‘A Case of Exploding Mangoes කෘතියේ විස්තර කරන දේශපාලන හැලහැප්පීම් වගේම මේ අනෙක් රචකයින් විස්තර කරන දේශපාලන තත්ත්වයන් ශ්‍රී ලංකාව, මාලදිවයින්, නේපාලය වගේ රටවලත් මූලාශ්‍ර හැටියට දැකගන්නට පුලුවන්. මේකට හේතුව තමන් වඩාත් සමීපව දන්නා සමාජවල පර්යේෂණ කිරීම පහසු නිසාද? නැතිනම්, මීට හේතුව තමන් දන්නා තැන් පිළිබඳව ඇති නොස්ටැල්ජියාව ද? අපට සමස්ථ දකුණු ආසියානු සාහිත්‍යයකරණයක් ගැන හිතන්න බැරිද?

මොහමඩ් හනීෆ් – යම්කිසි ස්ථානයක් පිළිබඳව සමීපව දැනගැනීම, ඒ ස්ථානය පිළිබඳ මෙනෙහි කිරීම, නැත්නම් ඒ පිළිබඳව නොස්ටැල්ජියාවක් තිබීම ගැටලුවක් වෙන්නෙ කොහොමද? ඇත්තටම මම පුලුල්ව ඉංග්‍රීසියෙන් ලියවිච්ච දකුණු ආසියානු සාහිත්‍යය සම්පූර්ණයෙන්ම කියවලා නැහැ. ඒත් ඇත්තටම තමන්ගේ දේශය ගැන, තමන්ගේ ජන ප්‍රජාව පිළිබඳව, එහෙමත් නැත්නම් තමන් හොඳින් දන්නා දේ ගැන ලිවීම එච්චර නරක දෙයක් නම් නොවේ. යමෙක් තමන් උපන් රට හැර ගියාට පස්සේ ඒ රට ගැන ලිවීම ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද? ‘Goat Days’ කියල ඉන්දීය නව කතාවක් තියෙනවා. ඒක පදනම් වෙලා තියෙන්නෙ මැද පෙරදිග රටකට ගිය ඉන්දීය ශ්‍රමික‍යෙකුගේ ජීවිතය පදනම් කර කරගෙන. මේ අත්දැකීම් සමස්ථත දකුණු ආසියාවටම පොදු දෙයක්. කමිලා ශම්සිගේ අලුත් නවකතාව වන ‘Home Fire’ පදනම් වෙලා තියෙන්නෙ ලන්ඩනයේ. ඒ වගේම ෂෙහාන් කරුණාතිලකගේ ‘Chinaman’ නවකතාව පදනම් වෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාවේ වුනාට, එය ආසියාව පුරාවටම කියවන කතාවක්. ඇත්තටම ඒ කතාව ක්‍රිකට් ක්‍රීඩා කරන, නැත්නම් ක්‍රිකට් නරඹන සෑම තැනම කියවන කතාවක්. අපේ දේශ සීමා ප්‍රශ්න නිසා, මේ කලාපයේ ලියන කතා බොහෝදුරට මේ කලාපය තුළ එතරම් විසරණය වෙන්නේ නැහැ උදාහරණයකට මට සිංහල කෙටිකතා කියවන්න ඕනෑ නම්, මට ඒවායේ ඉංග්‍රීසි පරිවර්තන සොයාගන්න වෙනවා. ඒ වගේම, මම කොළඹට ගිහින් ජීවත්වෙන්න හුඟක් කැමතියි. එත් කොළඹ පාදක කරගෙන නවකතාවක් ලියන්න මට පුලුවන් වෙයි කියලා මම හිතන්නේනේ නැහැ. ඒත් සමාජ විද්‍යාඥයින් නම් මේ දේ නිරතුරුවම කරනවා.

සසංක පෙරේරා – අපි හැමෝම දන්නවා ලේඛකයින් කුමක් ලියනවද කියන එක ඒ උදවියට අයිති දෙයක් කියලා. ඒත් මේ කලාපයේ බොහෝ කතාවලට පදනම් වෙලා තියෙන්නේ ප්‍රචණ්ඩත්වය. නැත්නම්, ඒවායේ කේන්ද්‍රීය තේමාවක් වන්නේ විශේෂයෙන් දේශපාලනික ප්‍රචන්ඩත්වය. ඔබගේ ප්‍රතම නවකතාව පාකිස්නථානයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය මත පදනම් වනවා වගේම, මයිකල් ඔන්ඩච්චිගෙ ‘Anil’s Ghost’ නවකතාව ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වය මත පදනම් වීම මීට උදාහරණ. ඇත්තටම ප්‍රචණ්ඩත්වය, නැත්නම් දේශපාලන ප්‍රචණ්ඩත්වය අපි හැමෝගෙම සාමූහික ජීවිතවල අනිවාර්ය අංගයක්. ඒත්, මිනිස්සු ප්‍රචණ්ඩත්වය තුළම ආදරය කරනවා. ඔවුන් තුට්ටු දෙකේ ගැටුම් ඇති කරගන්නවා. අසාමාන්‍ය කාලවල බොහෝ දෙනා සාමාන්‍ය ජීවිත ගත කරනවා. සාපේක්ෂ වශයෙන් නොපෙනෙන මේ වගේ සාමාන්‍ය දේ ගැන ඇයි එච්චර කතා ලියවෙන්නෙ නැත්තෙ? ඒකට හේතුව, මේ වගේ දේවල තියෙන අතිශය සාමාන්‍ය බවද? ඒ නිසාම, මේවා නිර්මාණ කටයුතුවලට සහ සාහිත්‍යයට සුදුසු නැද්ද? එහෙමත් නැත්නම්, ප්‍රචණ්ඩත්වය මේ කතා වෙළඳාම් කිරීමට වඩා සුදුසු ද? එහෙමත් නැත්නම්, වෙනත් මොකක් හරි කාරණයක් තියෙනවා ද?

මොහමඩ් හනීෆ් – මම තාමත් වඩා හොඳින් විකුණන්න පුල්වන් මොන තේමාවද කියලා හොයමින් තමයි මේ ඉන්නේ. ඒක සොයාග ගත්තු ගමන් මම නම් කරන්නේ ඒ ගැනම අවධානය යොමු කරන එකයි. මම නම් ප්‍රචණ්ඩත්වයත් ඇතුලුව නොයෙක් දේ ගැන මගේ කතාවල ලියනවා. මේ කාලයේ ලියවෙන පොත්වල ප්‍රචණ්ඩත්වය තියෙනවා තමයි. හැබැයි වෙනත් දේවලුත් ඒවායේ තියෙනවා. ඒත් මේ පොත් විශ්ලේෂණය කරන උදවියට පෙනෙන්නේ ප්‍රචණ්ඩත්වය විතරයි. මේක සැබෑ ජීවිතයේදීත් සිද්ධ වෙනවා. ඕනෑම නගරයක කුඩා කටහඬවල් ගණනාවක් අපට ඇහෙනවා. කුරුල්ලෝ, ඝෝෂාකාරී ත්‍රීරෝද රථ රියදුරන්, පාර අයිනේ බෙර වයන්නන් ආදීන්ගේ හඬ මේ අතර තියෙනවා. ඒ වගේම, බෝම්බ පිපිරීමක් හෝ වෙඩි තැබීමක් සිදු වෙන්නත් පුලුවන්. ඒකෙන් වෙන්නේ අනිත් සියලුම හඬවල් යටපත් වෙන එකයි. ඒ වගේම නිර්මාණ සාහිත්‍ය කෘතියක ප්‍රචණ්ඩ සිද්ධියක් රචනා කළාම වෘත්තීය පාඨකයා කියනවා, “ඔන්න බලන්න මේ රචකයා ප්‍රචණ්ඩත්වය විකුණන්න හදනවා” කියලා. මම කියවලා තියෙන නවකතා අතළොස්සෙන් තාම සාමාන්‍ය දේ ලියවිලා නැති නවකතා මම නම් කියවලා නැහැ. ඒවායේ චරිත ආදරය කරනවා. තරහ වෙනවා. සහෝදර සහෝදරියන් වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. නැත්නම් දෛනික ජීවන අරගල කෙරීගෙන යනවා. මේ සියල්ලෙන් ම කෙරෙන්නේ අපගේ ජීවිත තේරුම් ගන්න උත්සාහ ගන්න එකයි. ඉතාමත් හොඳින් තමන්ගේ නවකතා වෙළඳාම් කරන්න පුලුවන් ලේඛකයාට වුණත් සෑම පිටුවකටම ප්‍රචණ්ඩත්වය විතරක් අමුණන්න බැහැ.

සසංක පෙරේරා – ඉන්දියාවේ දී වාගේම ශ්‍රී ලංකාවේදීත් මම සාමාන්‍ය කතාබහේ දී නොයෙක් වර අහල තියෙන කතාවක් තමයි නිර්මාණනීය රචනාකරනය පදනම් වෙලා තියෙන්නේ අත්දැකීම් මත බව. ඒ කියන්නේ ජීවන අත්දැකීම් නිර්මාණකරණයට පරිවර්තනය කිරීම. නොයෙකුත් පුද්ගලයින් ඔබ සමඟ කර ඇති සම්මුඛ සාකච්ඡා ගණනාවක් මම කියවලා තියෙනවා. ඒවායේ සාකච්ඡාකරුවන් නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක් තමයි පාකිස්නථාන ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු වශයෙනුත්, පසුව පුවත්පත් කලාවේදියෙකු වශයෙනුත් ඔබ ලද අත්දැකීම්, ඔබගේ නිර්මාණ සාහිත්‍යයට බලපෑම් කරලා තියෙනවාද කියන එක. ජීවන අත්දැකීම් සුලු කොට නොසැලකුවත්, නිර්මාණ කාර්යය කියන්නේ වඩාත් පැහැදිලිව චින්තනය හා අදහස් සංවිධානය කරගැනීම සහ පර්යේෂණ මත පදනම් වූ දෙයක් නෙවෙයි ද?

මොහමඩ් හනීෆ් – මම නම් හිතන්නේ සාහිත්‍යකරණය මතුවෙන්නේ කෙනෙකු කියවලා තියෙන සෑම කෘතියකින්ම සහ යමෙකු බලලා තියෙන සෑම චිත්‍රපටියකින් හා රූපවාහිනී වැඩසටහනකින්ම බව. මගේ අත්දැකීම් අනුව නම්, නිර්මාණකරණයේදී අත්දැකීම් එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඔව්, ඇත්තටම අපි යම් තැනකට ගිහිල්ලා තියෙනවා නම්, එහි කාලගුණය, එහි ස්වභාවය අපි හොඳින් දැනගන්නවා. ඒ නිසා, ලිවීමේදී ඒ දැනුමෙන් අපිට ප්‍රයෝජනයකුත් වෙනවා. ඒත් අදහස් ඇත්තටම ගලාගෙන එන්නෙ කොහේ හරි තැනකට වෙලා ඔහේ සිතීමෙන්. නැත්නම්, මනසට ඕන විදිහට ඉබාගාතේ යන්න ඉඩදීමෙන්. නින්දෙදි අපි දකින සිහින, ඇහැරුනාම මතක්කරගන්න අපි ගන්නා උත්සාහවලිනුත් අපිට අදහස් මතු වෙනවා. මම හිතන විදියට ලිවීමේ ක්‍රියාවලිය ඉතාමත් අලංකාරව විස්තර කරල තියෙන්නෙ හනීෆ් කුරේෂි විසින්. මේ සමස්ත ක්‍රියා ක්‍රියාවලියම ඔහු විස්තරකරන්නේ “සිහින දැකීම සහ සැලසුම් කිරීම” කියලා (Dreaming and Scheming).

සසංක පෙරේරා – ඔබ මැනවින් දන්නා පරිදි, සමස්ථ දකුණු ආසියා කලාපයම දේශපාලන අස්ථාවරත්වයෙන් පිරුණු තෝතැන්නක් බවට පත්වෙලා. බන්ගලිදේශයේ බ්ලොගෙ ක්‍රියාකාරීන්, ඔවුන්ගේ අදහස් නිසාම ඝාතනය කරලා තියෙනවා. ඉන්දියාවේ ලේඛකයන්ට තර්ජනය කරලත් තියෙනවා. ඒ වගේම සමහරුන් ඝාතනය කරලත් තියෙනවා. මලයාලි ලේඛක එස්. හරීශ් මේ විදිහට තර්ජනයට ලක්වූ කෙනෙක්. 2015 දී මහාචාර්ය එම්.කේ. කල්බුර්ගි ඝාතනයට ලක්වුනා. ඔබ හිතන විදියට දකුණු ආසියාව නිර්මාණනීය චින්තනයටත් රචනාකරණයටත් භයානක තැනක් බවට පත්වෙලා නැද්ද?

මොහමඩ් හනීෆ් – මේ කතාබහ ආරක්ෂාව කියන අදහසින් පටන් අරගෙන, අවදානම කියන අදහසින් අවසන්වීම අහම්බයෙන් සිද්ධ වුණා වෙන්න බැහැ. මාධ්‍යවේදීන්ට වැඩකරන්න භයානකම වූ රටවල ලැයිස්තුවේ ඉහළින්ම සැමවිටම තියෙන්නෙ පාකිස්නථානය. මම දන්නේ නැහැ ලේඛකයින් සම්බන්ධයෙනුත් ඒ වගේ ලැයිස්තුවක් තියෙනවද කියල. පාකිස්ථානයේ තමන්ගෙ සාමාන්‍ය රාජකාරිය කරන අතර මගේ මාධ්‍යවේදී මිතුරන් කීපදෙනෙක්ම වෙඩි වැදිලා මිය ගිහින් තියනවා. තවත් අය ඉතාමත් මූලික මට්ටමේ වාර්තාකරණයේ යෙදුණු පලියට රාජ්‍ය ද්‍රෝහී නඩුවලට ආණ්ඩුව විසින් පටලවලා තියෙනවා. දැන් බොහෝ දෙනාට තමන්ගෙ රක්ෂාවත් අහිමි වෙලා තියනවා. මේ වගේ යථාවක් යාන්තමින් හරි ඔවුන්ට සුගුන දෙයක් හැටියට දකින්න පුලුවන් වෙන්නෙ මේ තත්ත්වය මරණයට සමාන කිරීමෙන් පමණයි. මොකද කියනවානම්, මේ වගේ අය මුලු ජීවිතකාලයම කරලා තියෙන්නෙ මාධ්‍යවේදී රස්සාව පමණයි. නමුත්, නිර්මාණශීලී පුද්ගලයන්ට සහ හිතන්න පුලුවන් පුද්ගලයින්ට සම්පූර්ණයෙන්ම සුවදායක යුගයක් කවදාවත් තිබුනද කියලා මට හිතෙනවා. පාකිස්ථානය විසින් ලඟදී ලාහෝර් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ සදාත් හසන් මන්තෝ අනුස්මරණ සාහිත්‍ය උත්සවය තහනම් කළා. එත් මේ වෙන කොට මන්තෝ මියගිහින් වසර පනහකටත් වැඩි කාලයක් වෙනවා. පකිස්ථානය හා ඉන්දියාව දෙකඩ වී වැඩි කාලයක් යන්නට පෙර, කෝටි ගණනාවක ජනතාවක් කටුක තත්ත්ව යටතේ දෙපැත්තට සංක්‍රමණයේ නියැලී සිටින අවධියක පාකිස්ථාන රජය විසින් මන්තෝට විරුද්දව නඩු දැම්මේ උන්දැගෙ කතා අසභ්‍යයයි කියල. එත් අපිට දැන් පෙනෙන්නේ පාකිස්ථානය තාම හරියට ඉගෙනගෙන නැහැ මන්තෝත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කොහොමද කියලා.

Image: http://www.indichouse.com/south-asian-writer/mohammed-hanif

Total
13
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

Let there be an anthropology and sociology of South Asia to understand cultural politics of the region

(දකුණු ආසියාවේ සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ සිදු කරන ලද මේ සම්මුඛ සාකච්ඡාව මුල් වරට පළවුයේ 2018 ඔක්තෝබර් 18 වනදා බංගලිදේශයේ ඩඛා නුවර පළකරන ‘ඩේලි ස්ටාර්’ පුවත් පතේය. ආචාර්ය දේව් නාත් පාඨක් නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහාය මහාචර්යවරයෙකි. අසිෆ් බින් අලි එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ එම්.ඒ. උපාධිදාරියෙකු වන අතර, බංගලිදේශීය මාධ්‍යවේදියෙකුද වේ. මෙහි සිංහල පරිවර්තනය ඉදිරියේදී මේ අවකාශයේ පළකිරීමට නියමිතය) Asif Bin Ali: Do you think that there could…
වැඩි විස්තර පරිශීලනයට