ඩල් හා නිගීන් ජලාශ සහ ඒ අවට ජීවත්වන්නවුන්ගේ ජීවිත

~ සකී ආරියවංශ, නව දිල්ලිය

2020 වසරේදී මා විසින් ගන්නා ලද මේ චායාරූප පෙළ පදනම් කරගෙන මා උත්සාහ කරන්නේ, ඉන්දියාවේ කාශ්මීරයේ ඩල් සහ නිගීන් වැව් ආශ්‍රිත ප්‍රදේශයේ යම් දර්ශන සහ ඒ අවට ජීවත්වනවුන්ගේ ජීවිතවලින් බිඳක් පිළබඳ යම් අදහසක් ඉදිරිපත් කිරීමටය. ඒ මූලික වශයෙන් මා දුටු දේ සහ ප්‍රදේශවාසීන් සමග කළ කතාබහ තුළින් මගේ මතකයේ රැඳී ඇති දේ මත පදනම් වෙමින්ය. දැනට දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ මා නිරන්තරවම වසරකට කිහිප වතාවක් කාශ්මීරයට යාම පුරුද්දක් ලෙස කරමි. එනිසා කාශ්මීර බස කතාකිරීමේ හැකියාව මට තිබෙනවා මෙන්ම, සමීප නෑදෑයින් මෙන් ඇසුරු කරන මිතුරුමිතුරියන් ගණනාවක් බොහෝ කාලයක් මුළුලේ ඇසුරු කිරීමේ වාසනාවද මට හිමිව තිබේ. මේ නිසා මා කාශ්මීරයට යන සැම විටම එහි ජීවත්වන්නවුන් මෙන්ම එම භුමි ප්‍රදේශය ද දකින්නේ සමාන්‍යයෙන් විදේශ සචාරකයෙකු දකින විලසින් හෝ ඉන්දියාවේ අන් ප්‍රදේශකයක සිට එහි යන අයෙකු දකින විලසින් හෝ නොවේ. මා සිතන්නේ, මා කාශ්මීරය දකින්නේ එහි දිවි ගෙවන ස්වදේශිකයින් දකින ආකාරය සහ ප්‍රදේශය සමග දීර්ඝ ඇසුරක් ඇති පිටස්තරයෙකු එය දකින ආකාරය අතර විලසකින් බවයි. එනිසාම, මා මෙහි ඇතුළත් කර ඇති ඇතැම් චායාරුප සාමාන්‍යයෙන් සංචාරකයින් ගන්නා චායරූපවලට වඩා බෙහෙවින් වෙනස් විය හැක. එමෙන්ම, අන් චායාරූප සංචාරක චායාරූපවලට වඩාත් සමාන විය හැක. මේ සියල්ලම ගෙන ඇත්තේ ශ්‍රී නගර් නගරය ආසන්නයේ පිහිටා ඇති ඩල් සහ නිගීන් ජලාශ  සහ ඒ ආශ්‍රිත අන් ප්‍රදේශවල ජීවත්වන්නවුන්ගේ ජීවිතවලින් යම් නිමේශයක් මෙන්ම ඒ ප්‍රදේශවල සාමාන්‍යය ස්වභාවධර්මය හා භුමිදර්ශන දක්වන රූපමය සටහන් ලෙසිනි. සැබැවින්ම, ඩල් සහ නිගීන් යනු එකම විශාල ජලාශයක අන්ත දෙකකි. නමුත් ඒ දෙක ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ මේ නම් දෙකෙනි.

1. නිගීන් පාලම

නිගීන් පාලම:  පළමු චායාරූපයෙන් දැක්වෙන්නේ නිගීන් වැව හරහා ඉදිකර ඇති පැරණි නිගීන් පාලමයි. එහි සිට බලාසිටින්නේ හැට හැවිරිදි යූසුෆ් ලෝනි ය. ඔහු දශක තුනකට ආසන්න කාලයක් ෂිකාරා ඔරු පදින්නෙක් ලෙස ජිවත් විය. ෂිකාරා ඔරු නිගීන් සහ ඩල් ජලාශයේ නවතා ඇති ‘නිවාස බෝට්ටු’ (house boats) අතර ධාවනය වන කුඩා ඔරු විශේෂයකි. නිගීන් ජලාශය ඔහුව මැනවින් දැන සිටියා සේම, ඔහුත්  ජලාශය ඔහුගේ අත්ලෙහි රේඛා ලෙස බෙහෙවින් සමීපව දැන සිටියේය. නමුත්, ඔහු තව දුරටත් ෂිකාරා ඔරු පදින්නේ නැත. එසේ වුවද, ජලාශයේ ඔබ මොබ යන ෂිකාරා ඔරු දෙස බලා නොසිටින්නට ඔහුට හැකියාවක් නැත.  එවන් ඔරුවක් කලකට ඉහත ඔහුගේ  නිවස මෙන්ම ‘සහකාරිය’ ද  විය. තම පුතු කාශ්මීරයේ කැරලිකරුවන් හා රාජ්‍ය හමුදා අතර ඇතිවී තිබෙන ගැටුමෙන් මියගිය පසු,  යූසුෆ් නිරතුරුවම පාලම වෙත පැමිණෙන අතර, නිමක් නැති පැය ගණනක් එහි ගතකරමින් වැවේ සරනා නව බෝට්ටුකරුවන් දෙස බලා සිනාසෙමින් යම් ආකාරයේ සාමයක්  සොයා ගනී.

2. පාවෙන වෙළඳපොල

පාවෙන වෙළඳපොල: ඩල් ජලාශය මධ්‍යයේ ඇති පාවෙන වෙළඳපොල මුළු අසල්වැසි ප්‍රදේශයම තමන් වෙත ආකර්ෂණය කරගැනීමට සමත් වේ. දෙවන චායාරූපයෙන් දැක්වෙන්නේ එයයි. එය ගණුදෙනු සඳහා විවරවන්නේ උදෑසන 6.00 ටය.  එය ගැනුම්කරුවන්, විකුණුම්කරුවන්, නරඹන්නන්, ඡායාරූප ශිල්පීන් සහ අන් බොහෝ දෙනා එක්කරන තැනකි. මෙය පාවෙන තේ කඩ, කුංකුම අලෙවිකරුවන්, මිටියාවතේ වවන එළවළු සහ මල් සඳහා වෙළෙඳ අවකාශයක් වනවා මෙන්ම ඊටම ආවේනික වර්ණවත් බවක් හා සුවදක් ද වැවට එක් කරයි.

3. මල් මාමා

මල් මාමා: තෙවන චායාරුවෙන් දැක්වෙන්නේ වසර 52ක් වූ නිසාර් බක්ටූ ය. ඔහුගේ ෂිකාරාව මා සිටි  දෙසට පැදගෙනවිත්  මගෙන් ඇසුවේ, ‘‘මැඩම් මල් මිලදී ගන්නවාද? මේවා ඔයාගේ  සිනහව තරම්ම සතුටින් පිපිලා තියෙන කාශ්මීර මල්!’’ කියාය. මම ඒවායේ මෘදු පෙති මගේ ඇඟිලිවලින් අතගා පැඅසුවේ මට මල් අවශ්‍ය නැති බවයි. එවිට ඔහු මගෙන් ඇසුවේ, “මැඩම් ඔයා ‘කාශ්මීර කි ඛාලි’ (කාශ්මීරයේ කුසුම)  චිත්‍රපටය බලලා තියෙනවාද?” කියලා. “එකේ හිටියේ ෂර්මිලා තාගෝර් සහ ෂම්මි කපූර්! ඒකේ තිබුනේ මගේ පියාගේ ෂිකාරාව. එයා තමයි, මුල්ම මල් මාමා!”

4. මිටියාවතේ මල්

මිටියාවතේ මල්: මල්වල වර්ණ කෙතරම් හොඳින් මුසු වී ඇත් ද යත් එය ‘පෂ්මිනා’ රෙදි කඩක ඇති මෝස්තර මට මතක් කර දෙයි. එය දැකීම නිසා යමෙකුට මල් බඳුනක්වත්, මේසයක්වත්,  අමුත්තන්වත් නැති  නිවසකට  මල් මිලදී ගන්න දිරිගන්වන බවයි මට නම් හිතෙන්නේ. මේ මල්වලින් ඩල් ජලාශය  අවට ඇතිකරන ධනාත්මක බව ඇත්තෙන්ම විස්මයට කරුණකි. සිව්වන චායාරුවේ ඇති රූප රාමුවෙන් මා උත්සාහ ගෙන ඇත්තේ මේ චිත්තවේගීය මතකයට යම් දෘශ්‍යමය හඬක් ලබා දීමටයි.

5. ෂිකාරාවක් සමඟ අවුරුදු 40 ක්

ෂිකාරාවක් සමඟ අවුරුදු 40 ක්: පස්වන  චායාරුව එක් යුවලකගේ ජීවිත කතාවට මුල්පුරන්නට අවස්ථාව ලබා දෙයි.  ආමීනා සහ මුෂ්තාක් විවාහ වී වසර 20 කට වැඩි කාලයක් ගත වී ඇතත්, තමන්ගේ ෂිකාරාව ඩල් ජලාශය වෙත ගෙන යාමට තවමත් හේතුවක් ඔවුන්ට ඉතිරිව තිබේ. ඒ, ඔවුන් කුඩා  දරුවන්ව සිටියදී ඉරිදා දිනවල, හස්රත්බල් දර්ගා දේවස්ථානය පසුකර ගිය පරිද්දෙන්ම යන්න නැවතත් අවස්තාව ලැබෙන නිසාය.  එසේ නම්, වෙනස් වී ඇත්තේ කුමක්ද? පැහැදිලිවම, ඔවුන් අතර ඇති ආදරය නම් වෙනස් වී නැත.

6. ඉස්තෝප්පු සහ ජනේල

ඉස්තෝප්පු සහ ජනේල: ඔහුගේ මුතුන් මිත්තන්ට බොහෝ කලකට පෙර අයත්ව තිබූ ‘නිවාස බෝට්ටුවේ’ වර්තමාන අයිතිකරුවා ෆෙරෝස්ය. එය ශීත ඍතුවේ මෙන්ම උණුසුම් ග්‍රීෂ්ම ඍතුවේ ද නිගීන් ජලාශයේ ජලකඳ මත ශක්තිමත්ව නැගී සිටියි. නිගීන් ජලාශයේ ජල දහරාව හරහා ඉස්ලාම  නිමාස් යාඥාවේ  සුමදුර හඬ ඈත සිට එහි ඉස්තෝප්පුව සහ ජනේල ඔස්සේ පාවී එයි. ඒ, ඉවුර අසල ඇති පල්ලියේ සිටය.  ශීත ඍතුවේ දී ජනේල විවෘතව ඇත්තේ කලාතුරකිනි. එසේ විවර කරන්නේ නම්, ඒ  වැවේ ෂිකාරාවලින් ඔබමොබ යන අයට කතාකිරීමට හෝ  දර ලබා ගැනීමට හෝ වැව් ඉවුරේ සිටින්නවුන්ට පණිවිඩයක් යැවීමට හෝ පමණි. හයවන  චායාරුව මේ කතිකාවට මුලපුරන්නට අවකාශ සලසන බව මගේ විශ්වාසයයි.

7. මජීඩ්ගේ ෂිකාරාව

මජීඩ්ගේ ෂිකාරාව: හතලිස්පස් හැවරිදි මජීඩ් සිය දියණිය රුක්සානා නිගීන් ජලාශය හරහා උපකාරක පන්ති සඳහා රැගෙන යයි. ඇයගේ පංති අවසන් වන තෙක් ඔහු බලා සිටින අතරතුර, නිගීන් හි බෝට්ටු නිවාසවල නවාතැන් ගෙන සිටින සංචාරකයින්ට වැවේ ඔරු පදින්නට තම ෂිකාරාවේ සේවය  ලබා දෙයි. ඒ වැවට අරක්ගත් රාක්ෂයන් පිළබඳ කථා ඔවුන්ට කියන අතරය. ඔහු ශීත ඍතුවේදී නිගීන් ජලාශය මත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමාට ඇති ලෝල්කම මෙන්ම  ‘චෙලයිකලාන්’ කාලය තුළ මිදුනු ජළ කඳ කඩා දමමින් තම ෂිකාරාව පැදයාමට තමා තුළ ඇති අකමත්ත ගැන ද ඔවුන්ට කියයි. ‘චෙලයිකලාන්’  යනු සැම වසරකම දෙසැම්බර් සහ ජනවාරි අතර කාලය තුළ, දින 40 ක පමණ කාලයක් මුළුල්ලේ පවතින අතිශයින් සීතල කාලපරිච්ඡේදයකි. හත්වන  චායාරුවෙන් උත්සාහ ගන්නේ මේ කතාව කියන්නටය.

8. නිගීන් මගේ ජීවිතයයි!

නිගීන් මගේ ජීවිතයයි! මා  අබ්දුල්ගෙන් ඇහුවා, “ඔය කාෂ්ටක අව්වේ පැය ගණනක් තිස්සේ හිටගෙන මොනවද ඔයා කරන්නේ” කියලා. ඔහු සිනාසෙමින් පිළිතුරු දුන්නේ මෙහෙමයි: “මම ජලාශය පිරිසිදු කරනවා, දරුවා. බලන්න, ඒකට ගලාගෙන එන කුණු කන්දල් දිහා.  ඒ දහජරාව මගේ ආදරණීය නිගීන් ජලාශය විනාශකරන හැටි මට පැත්තකට වෙලා ඔහේ බලන් ඉන්න බෑ. නිගීන් කියන්නේ මගේ ජීවිතයයි, එය මිය ගියොත් අපි ඔක්කොම ඒ එක්කම මැරිලා යයි!” අටවන  චායාරුවෙන් දිගහැරෙන්නේ මේ කතාවේ එක කෙටි මොහොතක්ය. 

9. සංවාද

සංවාද: මට හතලිස්පස් හැවිරිදි තව්සිෆ් පරේ සහ හතලිස්හත් හැවිරිදි අෂ්ෆාක් ෂන්ග්ලූ මුණගැසුනේ තමන්ගේ එළවළු විකුණා නැවත ගෙදර යන ගමන්ය. මම ඔවුන්ගෙන් ඇහුවේ ප්‍රධාන නගරයට යන නිවැරදි මාර්ගය මට කියාදෙනවාද කියායි.  “ආ ඔව්, දිගටම යන්න” කියලා ඔවුන් මට කිව්වා.  ඉන් පසුව ඔවුන් ද මා පසුපසින් කතාකරමින් පැමිණි අතර, ඔවුන්ගේ කතා බහ සහ  ටවුසිෆ්ගේ පැමිණිලි මට මැනවින් ඇසුනි: “මේ අවුරුද්දේ හැම දෙයක්ම අනපේක්ෂිතයි. හිම ගැන ඔවුන් කියන සියල්ල වැරදියි. දැන් දෙසැම්බර්. මේ පාර හිම හුඟාක්  ප්‍රමාදයි! ඔවුන් කිව්වේ වැස්ස වහින්නේ නෑ කියලා. ඒත් ඊයේ රෑ හොදටම වැස්ස! මොකක්ද ලෝකයට මේ සිද්ද වෙන්නේ? අල්ලාහ් අපට අනුකම්පා කරත්වා!” අෂ්ෆාක් තවදුරටත් මෙහෙමත් පැවසුවා: “අපි කුඩා කාලේ වෙන්න තියෙන දේවල් නියමිත වෙලාවට සිද්දවුනා. දැන් එහෙම වෙන්නේ නෑ. ඒ ඔක්කොම දැන් දැන් විනාශ වෙලා.” ඒ සමගම ඔහු මට කෑගැහුවා: “ඔතැනින් වමට යන්න, දරුවා! වමට!” මේ මතකය චිත්‍රනය කිරීම අපහසු වුව ද, නමවන  චායාරුවෙන්  මගේ මතකයට ගෙනඑන්නේ මේ සංවාදයයි.

10. එළවළු කරත්තය

එළවළු කරත්තය: ගුලාම් මොහොමඩ් නබි කිසි විටෙකත් තම ගැනුම්කරුවන්ට කෑගසා කතා නොකරයි. මන්ද, ඔහු වෙලාවට වැඩ කරන බව සියලු අසල්වැසියන් හොඳින් දන්නා බැවිනි. මෙනිසා, සෑම දිනකම උදේ 8 ට ඔහු එනතුරු බලා සිටීම නිගීන් වාසින් අතර පුරුද්දක් ලෙස වසර ගණනාවක් මුළුල්ලේ පවතී. ඔහු නිගීන් සිට නැවුම් එළවළු රැගෙන යන්නේ ජලය මත නොව ගොඩබිම ජීවත් වන අය වෙතටය. දහවන  චායාරුව මුලපුරන්නේ  ගුලාම් මොහොමඩ් නබිගේ කතාව කියන්නටයි.

11. නිවාස බෝට්ටු

නිවාස බෝට්ටු: නිගීන් හි බෝට්ටු පෙලගැසී ඇති අතර, සමහර ඒවා අතහැර දමා ඇත. අනෙක් ඒවා තවමත් භාවිතයේ පවතී. අගනුවර වන ශ්‍රීනගර් වෙත පැමිණෙන දහස් සංඛ්‍යාත සංචාරකයින් සඳහා පාවෙන නිවාස ලෙස ඒවා භාවිතයට ගැනේ. නිවාස බෝට්ටු යනු ජලාශයේ පාරම්පරිකව ජීවත් වූ පවුල්වලට අයත්, තම මුතුන් මිත්තන්ගෙන් උරුම වූ දේපොළකි. වෝල්නට් ලීයෙන් හෝ මේපල් ලීවලින් සාදන ලද බෝට්ටු නඩත්තු කිරීමට හා සංරක්ෂණය කිරීමට සෑහෙන මුදලක් වැය වේ. සංකීර්ණ කැටයම් සහ අව්‍යාජ කාශ්මීර අභ්‍යන්තරික සැලසුම් නිසා එක් රාත්‍රියක් හෝ ගතකිරීම සඳහා  බෝට්ටුවක් තෝරා ගන්නා අයට අමතක නොවෙන නවාතැන් අත්දැකීමක් එමගින් ලබා දෙනු ඇත. එකොල්ස්වන  චායාරුව මේ කාශ්මීර සම්ප්‍රදායට යම් ඉඟියක් සපයයි.

12. නිගීන් සහ මගේ කහපාට ෂිකාරාව

නිගීන් සහ මගේ කහපාට ෂිකාරාව: මම උදේ වරුවේ බොහෝ අවස්ථාවල ෂිකාරා චාරිකාවක යෙදෙන අතර, සෑම දිනකම එකම වේලාවට, එකම මාර්ගයේ ගමන් කරන එකම පුද්ගලයින් මට හඳුනාගන්නට හැකියාව ලබුනි. තාරාවන්, දුඹුරු කොළ නැති ගස්, මලකඩ සහිත ටින් වැටවල් එක්ව ගොඩනගන දසුනේ එකම වර්ණවත් දෙය මගේ කහ ෂිකාරාව බව මට පෙනේ. සියලුම ෂිකාරා ඔරුකරුවන් මට “අස්සලාම් අලෙයිකුම්” යැයි පවසා, මාගේ සැපදුක විමසන්නට අමතක නොකරයි. ඔවුන්ගේ හදවතේ ඇති උණුසුම නිසා ශීත ඍතුවේ ඇති දැඩි සීතල සුළඟින් කෙනෙකුට බේරී සිටිය හැකියැයි මට සිතේ. දොළොස්වන  චායාරුව මගේ මතකයට ගෙනඑන්නේ කාශ්මීරයේ පුද්ගලයින් තුළ ඇති මේ උණුසුමයි.

Total
6
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ඉන්දීය ප්‍රසිද්ධ අවකාශීය චිත්‍ර සම්ප්‍රධායන්

සටහන හා ඡායාරූප: සසංක පෙරේරා – තත්කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ අවකාශය පුරා පැතිර ඇති නොයෙකුත් බිත්ති මත, බැලූ බැල්මට පැහැදිළි තේමාවකට හෝ තේමා කිහිපයකට හෝ සීමා නොවූ, අනේකවිධ පණිවිඩ ගෙනෙදෙන චිත්‍ර ඇඳීමේ ප්‍රවණතාවක් 2019 වසරේ නොවැම්බර් මාසයේ පමණ සිට පැතිර යමින් පවතී. ඒ පිළිබඳ පුලුල් කතාබහක් ද මූලික වශයෙන් අන්තර්ජාලය ඔස්සේ පැතිර යමින් පවතී. මීට යම් දේශපාලනික, පුද්ගලික හා ව්‍යාපාරමය සම්මාදම් වීමක්ද ඇති බව පෙනේ. එනමුත්, මේ පිළබඳ තවමත් ගැඹුරැ හා න්‍යායික වශයෙන් සූක්‍ෂම කියවීමක්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

රෙදි අපුල්ලන්නාගේ ජීවිතය: මුම්බායි මහා ලක්ෂ්මි දෝබි ඝාත්හී දෝබි ප්‍රජාව කැමරා කාචය තුලින්

සටහන හා ඡායාරූප: සකුණ එම්. ගමගේ පුද්ගලයෙකුගේ රැකියාව යන්න සම්ප්‍රදායික සමාජ ස්තරාණය සංවිධානය කිරීමේ මූලික පාදමයි.විශේෂයෙන් මෙය දකුණු ආසියාතිකරය වැනි අතිශය බහුවිධතාවකින් යුතු සමාජයක සුලබ ලකුණකි. දකුණු ආසියාවේ මෙය වඩාත් පැහැදිලිව පෙනෙනුයේ සහ සංස්ථාගත වී ඇත්තේ කුල ක්‍රමය මුල්බැස ගත් ස්ථානවලය. රෙදි සේදීමේ වෘත්තිය ලොව නන්දෙස මනුෂ්‍යමූලික අවශ්‍යතාවන්ට අනුබද්ධව ප්‍රචලිත වූවකි.මනුෂ්‍ය ශරීරය සේම අඳින පළදින වස්ත්‍ර සේදීම හා පවිත්‍රව තබාගැනීම මනුෂ්‍ය සනීපාරක්ෂාවේ අත්‍යාවශ්‍යතාවකි.සම්ප්‍රදායික ඉන්දියානු සමාජයේ ප්‍රධාන සමාජ ස්ථර, නැතහොත් වර්ණ හතරක් යටතේ ස්ථරගතකරණයට ලක්ව ඇත.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ටක්ට්සන්ග් ලකන්ග් තරණය

~ ඡායාරූප හා සටහන: සසංක පෙරේරා ටක්ට්සන්ග් ලකන්ග් (Taktsang Lhakhang) කඳු මුදුන පිහිටා ඇත්තේ භූතානයේ අගනගරය වන තිම්පූ හා එම රටේ ප්‍රධාන ගුවන් තොටුපොල පිහිටි පාරෝ යන නගර අතරය. ‘ව්‍යාග්‍රයාගේ කැදැල්ල’ (Tiger’s Nest) යන නමින් ද හැඳින්වෙන ඒ කඳු මුදුනේ භූතානයේ උත්තරීතරම බෞද්ධ විහාරස්ථානය පිහිටා තිබේ. ඒ, මුහුදු මට්ටමේ සිට මීටර් 900 ක් (අඩි 10, 000) ඉහලිනි. එහි ලගාවීම සදහා කිලෝ මීටර 10 ක පමණ දුරක් බෙහෙවින් දුශ්කර හා නැගීමට අසීරු කදු හා බෑවුම් සහිත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නිරෝධායන දිනපොතෙන් පිටුවක්: මුඛවාඩම් පැළඳි සමාජය වෙත ….

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය වසංගත ලෝකය මාස හයක් සටහන් කරන මොහොතක, මම ආයතනගත නිරෝධායනය නිමා කළෙමි. නව දිල්ලියේ විශ්විද්‍යාල නේවාසිකාගාරයේ ගතවූ මාස හයකට ආසන්න කාලයත්, දිල්ලියේ සිට කොළඹට පියාසර කිරීමත්, දින දහහතරක් ශ්‍රී ලංකා රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක ගෙවූ කාලයත් අසීරු සහ පීඩාකාරී වූ බව සඳහන් කරන්නෙමි. නමුත්, ඒ මාස හයක කාලය, පැහැදිලිවම ගෙවී යන ඉතිහාසයේ ගතිකත්වයන සමග මා ඍජුවම සම්බන්ධ වූ බව නැවත නැවතත් මට මතක්කර දුන් බව කිව යුතුය. ලෝකය වසංගතයෙන් වැසී…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කාටූන් දෙකක් පිළබඳ කෙටි සටහනක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ගැරී ලාසන්ගේ සුප‍්‍රසිද්ධ ‘Anthropologists! Anthropologists!’ යන පාඨය සහිත කාටූනය මා මුලින්ම දුටුවේ 1986දී පමණ මානව විද්‍යාව පිලිබඳ දර්ශන-සූරී උපාධි කටයුතු ආරම්භ කිරීමට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ගොස් සිටි සමයේදීය. ලාසන්ගේ එම කාටූනය පළවී තිබුනේ ඔහු සති පතා පුවත් පත් ගණනාවකට එකළ සම්පාදනය කළ ‘Far Side’ යන කාටූන් මාලාවේ කොටසක් වශයෙනි. මා මිත‍්‍ර ෆ්‍රෙඞ් ක‍්‍රිස්මන් ඊට අවරුදු දෙකකට පෙර පළවූ එම කාටූනය මා ඇතුළු තවත් කීප දෙනෙකුට පෙන්වා උත්සාහ කළේ මානව හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජනශූන්‍ය ගුවන් තොටක පැය කිහිපයක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය Centre for Asia Pacific Aviation සංවිධානයට අනුව, ඉන්දියාවේ ප්‍රධානතම හා විශාලතම ගුවන්තොටුපළ වන නව දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපොළ මූල්‍ය වර්ෂ 2017 හා 2018 යන කාලය ඇතුළතදී මිලියන 65.7 ක ගුවන් මගීන් සංඛ්‍යාවක් සඳහා සේවා පහසුකම් සපයන ලදී. ඒ සඳහා දිනකට ගුවන් ගමන් 1, 200 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා සේවා සැපයීම සිදු විය. මේ නිසා මෙම ගුවන් තොටුපොළ බෙහෙවින් කාර්ය බහුල හා කාර්යක්ෂම ගුවන් තොටුපළක්…
වැඩි විස්තර පරිශීලනයට