නව කොරෝනා වෛරස් තත්ත්වයෙන් ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?

~ විජයානන්ද ජයවීර, හිටපු අධ්‍යක්ෂක, සන්නිවේදන ප්‍රවර්ධන අංශය, යුනෙස්කෝ සංවිධානය

(ඡායාරූපය: ඉහත ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ, චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්ත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු, ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි. ඡායාරූපය ඒ.එෆ්.පී පුවත් සේවය වෙතිනි)

නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා, ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන් නිකුත් වන බිඳිති සහ ඇතැම් විටෙක ප්‍රශ්වාසයෙන් නිකුත් වන එයරොසොල් අංශු මගින් නව කොරෝනා වෛරසය තවත් මිනිසෙකුට පහසුවෙන් ම බෝවිය හැකිය. ඇතැම් පරීක්ෂණවලින් තහවුරු වී ඇති අන්දමට, නව කොරෝනා වෛරසය පැතිරීම වැඩි වශයෙන් සිදුවන්නේ කිසියම් පෘෂ්ඨයක තැවරුන වෛරසය සහිත බිඳිති තවත් කෙනෙක් විසින් ස්පර්ශ කරනු ලැබීමෙනි.

පරිපූර්ණ ජීවියෙකු වශයෙන් නො සැලකුණ ද අනෙකුත් ජීවීන් මෙන් වෛරසයක එකම අරමුණ ද තම පරපුර බෝ කිරීමයි. මූලික වෙනස ‍ වන්නේ, අන් ජීවීන්ට මෙන් තමාගේ ම ස්වාධීන වූ ජීවිතයක් වෛරසයකට නැති බැවින්, වෛරසවලට පැවැත්මක් ඇත්තේ, සජීවි වාහකයෙකුගේ ශෛල ආක්‍රමණය කිරීමෙන් පමණක් වීමයි. මෙනිසා වෛරස ප්‍රෝග්‍රෑම් වී ඇත්තේ ම තම පැවැත්ම පවත්වා ගැනීමට හැකි ධාරක වාහකයන් සොයා ගැනීමටයි. ඇඳිරි නීතිය අවසන් කිරීමෙන් පසු නව කොරෝනා වෛරසය අපට ආයුබෝවන් කියාවිද? නැවතත් බියකින් සැකයකින් තොරව පරණ පුරුදු ජීවිතයට අපට යා හැකි වේද වැනි ප්‍රශ්න සාකච්ඡාවට ලක් කිරීම මේ අවස්ථාවේ දී වැදගත් වන්නේ නව කොරෝනා ‍වෛරසයේ ස්වභාවය හා පැතිරීම මෙයට පෙර අප අත්දැක ඇති අන් වෛරසවලට වඩා වෙනස් වන නිසා පමණක් නොව, දැනටමත් අපේ සාමාන්‍ය ජීවිතය වියවුල් කර ඇති නව කොරෝනා වෛරසය ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවද එසේ නො කරනු ඇතැ’යි සිතීම මුලාවක් විය හැකි බැවිනි.

කෝවිඩ්-19 හැරෙන විට, කොරෝනා වර්ගයේ වෙනත් වෛරස නිසා වඩා මෑත දී ඇති වූ වසංගතකාරී රෝග අතර වඩාත් ප්‍රකට 2003-2004 දී ඇති වූ සාර්ස් (SARS) වසංගතය සහ 2012 දී ඇති වූ මර්ස් (MERS) වසංගතයයි. සාර්ස් රෝගය රටවල් 26ක මිනිසුන් 8000 කට වැළඳී ඉන් 800 දෙනෙකු මරු මුවට පත් වූ අතර, මර්ස් වසංගතය මැද පෙර දිගට පමණක් සීමා විය. එය වැළඳුණේ 688ක් වැනි සුලු පිරිසකට පමණක් වන අතර, ඉන් මරණයට පත් වුණේ 282 දෙදෙනෙක් පමණි. එහෙත් දැන් අප මුහුණ දෙන නව කොරෝනා වෛරසය ගත වූ මාස හතරක කාලයක් තුළ රටවල් 210 ක මිලියන 1.7 ක ජනගහණයකට කෝවිඩ්-19 රෝගය බෝ කොට, අද වෙන විට ඉන් 103,512 මරණයට පත්කර ඇත‍. මුලුමනින් ම අලුත් අත් දැකීමක් වූ මෙම නව කොරෝනා වෛරසයේ පැතිරීමේ වේගය, මින් පෙර හඳුනා ගෙන තිබූ කොරෝනා වෛරස වලට වඩා 10 ගුණයක් තරම් ප්‍රබල විය. ස්වස්ථතාව සහ නිවර්තන රෝග පිළිබඳ ලන්ඩන් ආයතනයේ අධ්‍යක්ෂ පීටර් පියොට් විස්තර කරන අන්දමට, වඩාත් අවධානයට ලක් විය යුතු කරුණ වන්නේ මෙම නව කොරෝනා වෛරසයේ වාහකයන් ලෙස කටයුතු කරමින් අප අතර ගැවසෙන මිනිසුන් අතරින් 80%කටම පාහේ කිසිම රෝග ලක්ෂණයක් නොමැති වීමට හෙවත් අලක්ෂණික (asymptomatic) වීමට ඉඩ තිබීමයි (නව කොරෝනා වෛරසය පිළිබඳ පීටර් පියොට් ගේ විශිෂ්ට විස්තරයේ සිංහල පරිවර්තනයක් http://www.thathu.xn--com-vblxc5c9e/ අඩවියේ කොටස් වශයෙන් පළව තිබේ).

මෙසේ නොදැනුවත්ව ම අප අතර ගැවසෙන වෛරස වාහකයන් නිසි ලෙස හඳුනා ගැනීමට අපහසු නිසා, ඉතා පහසුවෙන් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය පැතිර යා හැකිය. රෝග ලක්ෂණ පහළ විය හැකි වෛරස වාහකයෙකුගේ වුව ද රෝග ලක්ෂණ පහළ වීමට වෛරසය ශරීර ගත වී දින 5-6 සිට දින 14 ක කාලයක් දක්වා ගත විය හැකියැ’යි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. රෝග ලක්ෂණ පහළ වන තෙක් ගත වන මේ කාලය ප්‍රාග්-ලක්ෂණික (pre-symptomatic) කාලය යනුවෙන් හඳුන්වන අතර, එම කාලය තුළ නොදැනුවත්කම නිසා වාහකයා මහජනතාව සමග සමීප ව ගැවසීමෙන් වෛරසය පැතිරවිය හැකිය.

නව කොරෝනා වෛරසයේ මෙම පැතිරීම පාලනය කිරීම සඳහා ඇතැම් රටවල මෙන් ම ලංකාව ද ඇඳිරි නීතිය උපයෝගී කර ගෙන, අඩු වැඩි වශයෙන් රටේ විවිධ කලාප ලොක්ඩවුන් කිරීම කර ගෙන ගියේ ය. එහි මූලික අභිප්‍රාය වූයේ සමාජයේ සාමාජිකයන් අතර සමාජ දුරස්ථභාවයක් පවත්වා ගෙන ගොස්, එමගින් මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරීම හැකිතාක් දුරට වළක්වා ගැනීමයි. දැන් මෙය සෑහෙන දුරට ඉටු කර ඇති බවද මාසයක කාලයක් තුළ, එනම්, 2020 අප්‍රෙල් 19 වෙනදා වන තෙක් ඉවසා සිටිය හොත් වෛරසය තවදුරටත් පැතිර යාම වැළැක්විය හැකිවෙතැ’යි ඉඟි කරන ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනිය පසු ගිය දා පළ කළාය. එය එසේ නම්, 19 වැනිදා සිට හෝ ලොක්ඩවුන් අවසන් කරන දින සිට රට යළි ක්‍රියාත්මක කරවීමට යොදා ගන්නා උපාය මාර්ගික එළඹුම හෙවත් ඉකුත් වීමේ ක්‍රමෝපාය (Exit Strategy) ගැන මහජන අවබෝධය වඩවන සාකච්ඡාවක් වහාම ඇරඹිය යුතුය.

එවැනි ඉකුත්වීමේ ක්‍රමෝපාය පිළිබඳ කෙරෙන සාකච්ඡාවක දී තීරණාත්මක ව වැදගත් වන, එකිනෙකට වෙනස් උපකල්පන තුනක් පිළිබඳව බීබීසී විද්‍යා වාර්තාකරු වන ජේම්ස් ගැලගර් අපේ අවධානය යොමු කරයි. ඒ මෙසේයි:

  • වෛරසය බෝවීම මැඩ පවත්වන එන්නතක් සොයා ගැනීමට හැකි වීම;
  • අවම වශයෙන් ජනගහණයෙන් 60% කට ආසන්න ප්‍රමාණයකට වෛරසයට එරෙහිව සමූහ ප්‍රතිශක්තිය (Herd Immunity) ඇති කර ගැනීමට හැකිවීම;
  • නො එසේ නම්, අප රැකියා කටයුතු කරන ආකාරය, ගනුදෙනු කරන ආකාරය, ආයතන හා සමාජය තුළ ගැවසෙන ආකාරය සහ අපේ සමාජ චර්යාව මින් මතු ස්ථිර වශයෙන්ම වෙනස් කර ගැනීම.

එන්නතක් සොයා ගැනීම

මේ අතරින් පළමුවැන්න වන නව කොරෝනා වෛරසයේ බෝවීම මැඩ පැවැත්වීමට හැකි එන්නතක් සොයා ගැනීම වඩාත් සුදුසු ම ක්‍රමයයි. එමගින් අපට වැඩි අවුලක් නැතිව පරණ පුරුදු ජීවිතයට යළි යා හැකියැ’යි විශ්වාස කළ හැක. එවැනි එන්නතක් ගැන දැනටමත් රටවල් කිහිපයක ම පර්යේෂණ ඇරඹී ඇති නමුත්, උචිත අන්දමින් නියත එන්නතක් මහජනතාවට හඳුන්වා දීමට තවත් මාස 12 සිට 18 දක්වා කාලයක් ගත විය හැකි බවයි විශේෂඥ මතය. වෛරස මගින් පැතිරෙන බොහෝමයක් රෝග මර්දනය කිරීමට හැකි එන්නත් සොයා ගෙන ඇති නමුදු, වසර 40කට අධික කාලයක් තිස්සේ පර්යේෂණ කළත් එච්අයිවී (HIV) වෛරසය මර්දනය කර හැකි සාර්ථක එන්නතක් තවමත් සොයා ගැනීමට හැකි වී නැති බවද අප අමතක නොකළ යුතුය. එනමුත් එනිසා ම මෙම නව කොරෝනා වෛරසයට එන්නතක් සොයා ගැනීම උගහට වෙනු ඇතැ’යි දුර්මුඛ වීමට අවශ්‍ය නැත. වාසනාවකට, නව කොරෝනා වෛරසය මෙන් කැස්ස, කිවිසුම්, ප්‍රශ්වාස බිඳිතිවලින් නොව, එච්අයිවී (HIV) වෛරසය බෝවෙන්නේ ලිංගික ශ්‍රාව සහ රුධිරය මගින් නිසා, එන්නතක් නොමැතිව පුද්ගල ලිංගික චර්යා වෙනස් කිරීම වැනි පහසු ක්‍රම වලින් එච්අයිවී වෛරසය පැතිරීම පාලනය කර ගත හැකිය. ඒ එසේ වූවද, 2017 දී එච්අයිවී (HIV) වෛරසය නිසා ඒඩ්ස් රෝගය වැළදීමෙන් ලොව පුරා මනුෂ්‍යයන් 954,492 දෙනෙක් මරණයට පත් විය. කෙසේ වෙතත්, නව කොරෝනා වෛරසයට එන්නතක් සොයා ගන්නා තෙක් වෛරස පැතිරීම වළක්වන සමාජ දුරස්ථභාවය වැනි ආරක්ෂණ විධි ඇඳිරි නීතිය අවසන් වීම සමග අවසන් කර දැමිය හැකියැ’යි සිතීම නුවණට හුරු නැත.

සමූහ ප්‍රතිශක්තිය ඇති කර ගැනීම

දෙවැනි උපකල්පනය වන්නේ රටක ජනගහණයෙන් 60% කටවත් නව කොරෝනා වෛරසයට ඔරොත්තු දීමේ හැකියාව ඇති සමූහ ප්‍රතිශක්තිය ඇති කර ගැනීමයි. එක්කෝ මෙය වෛරසයට එරෙහි වන පෘථුල එන්නත් ව්‍යාපාරයකින් ඇති කර ගත යුතුය, නැතහොත් ජනගහණයෙන් වැඩි ප්‍රමාණයකට කොවිඩ්-19 රෝගය වැළඳීමට ඉඩ දීමෙන් ඇතිවන ප්‍රතිශක්තිය නිසා ඇතිවිය යුතුය. කොටින් ම, නව කොරෝනා වෛරසය මුලුමනින් ම අලුත් වෛරසයක් නිසා, එයට එරෙහිව ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් ගොඩ නගා ගැනීමට තවමත් මිනිසුන්ට හැකි වී නැති බැවින්, කෝවිඩ්-19 වසංගතයට ගොදුරුවන අයගෙන් අසාධ්‍ය නොවන අයට වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඇති කර ගැනීමට හැකිවෙතැ’යි මෙහි දී අදහස් කරයි.

කෝවිඩ්-19 නිශ්චිතව මරණයෙන් ම අවසන් වන රෝගයක් නොවේ. දැනට ඇති දත්ත වලට අනුව, ලොව පුරා කෝවිඩ්-19 රෝගීන් අතරින් මරණයට පත්ව ඇත්තේ 3.4% ක් පමණි. මෙය හැම වසරකම ඇතිවෙන සෘතු උණ රෝගයෙන් ලොව පුරා මිය යන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ වේ. එහෙත් ඒ ප්‍රතිශතය ඇතැම් අවදානම් කණ්ඩායම්, එනම් මහලු උදවිය, හෘද රෝග, දිය වැඩියාව, වකුගඩු රෝගය වැනි ප්‍රතිශක්තියට හානිකර රෝග ඇති උදවිය සම්බන්ධයෙන් 10%-15% දක්වා තරම් ඉහළ යා හැකිය. මේ අනුව, නිසි එන්නතක් බිහි වන තෙක් සමූහ ප්‍රතිශක්තිය ඇති කර ගැනීම සඳහා කොවිඩ්-19 පැතිර යාමට ඉඩ දීමට තීරණය කරන්නේ නම්, විශේෂයෙන් අවදානම් කණ්ඩායම්වලට අයත් විශාල ජීවිත සංඛ්‍යාවක් වන්දියක් වශයෙන් ගෙවීමට අපට සිදු විය හැකිය. අනෙක් අතට, සමූහ ප්‍රතිශක්තිය ඇති කර ගැනීමේ වැඩපිළිවෙළක දී ජනගහණයෙන් අති විශාල කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් අසාධ්‍ය තත්වයට පත් නොකර සුව කිරීමේ වගකීම කරට ගත හැකි තරම් ප්‍රමාණවත් රෝහල්, අයිසීයූ ඇඳන්, කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර හා නිපුණ කාර්ය මණ්ඩල සහිත විශාල සෞඛ්‍ය සේවයක් අපට අවශ්‍ය වේ.

තවමත් ලංකාවේ හඳුනාගෙන ඇතැ’යි සැලකෙන කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 200කට නො වැඩි නොවේ. එහෙත් බොහෝ විට මේ අය රෝග ලක්ෂණ පහළ වීම නිසා ම හඳුනාගත් අයයි. රෝග ලක්ෂණ පහළ නොවන නව කොරෝනා වාහකයන් හඳුනා ගැනීමට තරම් ප්‍රමාණවත් පරීක්ෂණ සංඛ්‍යාවක් අපේ පමණක් නොව, දකුණු ආසියාවේ අන් බොහෝ රටවල ද කෙරෙන්නේ නැත. ඒ නිසා දකුණු ආසියාතික රටවල කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව පිළිබඳ දර්ශකය ජනගහනයේ ප්‍රමාණයට සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී. එහෙත් මෙය හුදු මායාවක් විය හැකි නොවේයැ’යි සිත හදා ගැනීම එතරම් නුවණක්කාර ක්‍රියාවක් නොවිය හැක. සපයා ගත හැකි දත්ත වලට අනුව, දැනට නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇත්දැ’යි පරීක්ෂා කිරීමේ දී ලංකාවේ එම පරීක්ෂණයට භාජනය කෙරෙන්නේ ජනගහණයේ මිලියනයකින් 152 දෙනෙකු පමණි. ඉන්දියාව, නේපාලය , බංගලාදේශය වැනි දකුණු ආසියාතික රටවල එම ප්‍රමාණය අපටත් වඩා පහළ මට්ටමකින් පවතී. එහෙත් ලංකාවේ ජනගහණය මිලියනයකට 152කක් පරීක්ෂණයට යොමු කරන විට, සිංගප්පූරුව ජනගහණ මිලියනයකට 11,110ක් දෙනෙක් ද දකුණු කොරියාව මිලියනයකට 8,996 දෙනෙකු ද පරීක්ෂණයට ලක් කරයි. වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවක් කෙරෙන්නේ නෝර්වේ රටෙහි ය. එහි ජනගහණ මිලියනයකට 20,530ක් පරීක්ෂාවට ලක් කෙරේ. මේ අතර ඉන්දියාවේ සහ රුසියාවේ කෝවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට සෑම දින තුනකට ම වරක් දෙගුණ වෙමින් පවතින බව නිරීක්ෂණය කර ඇත. මේ නිසා ඉන්දියාව සිය දින 21 ලොක්ඩවුන් කාලය තවත් සති දෙකකින්, එනම් අප්‍රේල් මස අග දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. අඩු පරීක්ෂණ සංඛ්‍යාවක් කරන රටවල හඳුනා නොගත් රෝගීන් වැඩි සංඛ්‍යාවක් සිටීමට ඉඩ ඇති බැවින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරන්තර ඉල්ලීම වී ඇත්තේ එවැනි රටවල පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කරන ලෙසයි.

මේ සියලු තත්වයන් සැලකිල්ලට ගැනීමේ දී, නිසි ලෙස සංවිධානය කළ ඉකුත්වීමේ ක්‍රමෝපායකට (Exit Strategy) ජනතාව සූදානම් නො කොට, නව කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම සදහා දැනට පවත්වා ගෙන යන සම්බාධක ලිහිල් කිරීමට කටයුතු යෙදීම, පොදු යහපත සම්බන්ධයෙන් නුවණට හුරු කටයුත්තක් නොවේ. ඇතිවිය හැකි අවදානම නො තකා, ඇඳිරි නීතිය ඉවත් කළ වහාම පොදි ගැහෙන ජන කොටස් අප දැක ඇත්තෙමු.

ඉදිරි සමාජ චර්යාව වෙනස් කර ගැනීම

මේ නිසා සුදුසු එන්නතකින් වෛරසයේ පැතිරීම නිසැකව ම අවසන් කිරීමට හැකි වන තෙක්, අප රැකියා කටයුතු කරන ආකාරය, ගනුදෙනු කරන ආකාරය, ආයතන හා සමාජය තුළ ගැවසෙන ආකාරය සහ අපේ සමාජ චර්යාව වෙනස් කර ගැනීමට අපට සිදුවිය හැකිය. මේ සම්බන්‍ධයෙන් සලකා බැලිය හැකි අත්දැකීම් උපයෝගී කර ගැනීම පිණිස තදබල අන්දමේ ලොක්ඩවුන් ක්‍රම පවත්වා ගෙන ගොස් කෝවිඩ් -19 සාර්ථකව පාලනය කළ චීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල් යොදා ගත් ආරක්ෂාකාරී ඉකුත්වීමේ ක්‍රමෝපාය අධ්‍යනය කර බැලීම වටී.

එහි දී නව කොරෝනා වෛරසය තවදුරටත් පැතිරෙන්නේදැ’යි තහවුරු කර ගැනීම පිණිස ඕනෑම වර්ගයක උණ වැනි මූලික රෝග ලක්ෂණ ඇති අයද ඇතුළත් වන සේ, කොරෝනා වයිරස් පරීක්ෂණ සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කිරීම, අවදානම් කණ්ඩායම් ජන සමූහවලට නිරාවරණය වීම අවම කිරීමේ වැඩපිළිවෙළක් යෙදීම, මහපාරේ දී සහ ප්‍රසිද්ධ ස්ථානවල දී මුව වැසුම් භාවිතය, පාසල්, ටියුෂන් පංති, විශ්වවිද්‍යාල වැනි තැන් නැවත ආරම්භ කිරීමේ දී දුරස්ථ අධ්‍යාපනය ද ඇතුළුව ප්‍රවේසම්කාරී ප්‍රදේශවල සිට අනුක්‍රමයෙන් වැඩි වන ලෙස විවෘත කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම (චීනයේ හුබෙයි ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල තවමත් වසා දමා ඇති අතර, විවෘත කර ඇති පාසල්වල සිසු දරුවන් උණෙන් පෙළෙන්නේදැ’යි නිරන්තරයෙන් සොයා බැලෙයි), වැඩපොළවල සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම සඳහා විධිවිධාන යෙදීම, දිස්ත්‍රික්ක අතර සංචරණය සීමාකිරීම සඳහා ආයතන විමධ්‍යගත කිරීම, අගනුවර වැනි ජනාකීර්ණ ප්‍රදේශවල අවම සංචරණයක් පවත්වා ගැනීම, අවදානම් කණ්ඩායම් වෛරසයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා එවැනි සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට සැලැස්වීම, රටට ඇතුලුවීම සහ රටින් පිටවීම සම්බන්ධ ආරක්ෂිත විධිවිධාන යෙදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම පිණිස නගරසභා, ප්‍රාදේශීය සභා වැනි බිම් මට්ටමේ මහජන ආයතන සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වගකීම් විධිමත් කිරීම ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වේ.

උදාහරණයක් වශයෙන් ආයතනවල සහ වැඩපොළවල කටයුතු නැවත ආරම්භ කිරීමේ දී දෙමව්පියන් සමග ජීවත් නොවන, වයස 20-30 අතර වැඩි ප්‍රතිශක්තියක් ඇති සේවකයන් පමණක් යොදා ගැනීමෙන් කටයුතු ආරම්භ කළ හැකිය. මහා බ්‍රිතාන්‍යයේ දැනට පවත්වා ගෙන යන සීමිත ලොක්ඩවුන් වැඩපිළිවෙළ අවසන් කිරීම පිණිස එවැනි යෝජනාවක් සැලකිල්ලට ලක්ව තිබේ. වයස් කාණ්ඩවලට අතිරේකව භූගෝලීය වශයෙන් අඩු රෝගී අනුපාතයක් ඇති ප්‍රාදේශීය සභා කොට්ඨාසවල කටයුතු සමාජ දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීමට යටත්ව අනුක්‍රමයෙන් යථා තත්වයට පත් කළ හැකිය.

එවැනි වැඩ පිළිවෙළකට යාමේ දී රටේ ආර්ථිකයට සිදුවිය හැකි අසීරුකම් අවම කර ගැනීම, ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කිරීම, රැකියා නියුක්තිය සුරැකීම සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එහෙත්, ඒ සියල්ලට ම වඩා වැදගත් වන්නේ, කොවිඩ්-19 රට තුළ මහා වසංගතයක් බවට පත්වීම වැළැක්වීමයි. නව කොරෝනා වෛරසය සුදුසු එන්නතකින් තොරව, මේ මුල්වටයේදී ම අවසන් කළ හැකියැ’යි විශ්වාස නොකළ යුතුය. එනිසා සුදුසු එන්නතක් භාවිතා කරගත හැකි වන තෙක් මෙතෙක් පවත්වා ගෙන ගිය සනීපාරක්ෂක විධිවිධාන සහ සමාජ දුරස්ථභාවය නොකඩවා පවත්වා ගෙන යාමට මුල් තැන දිය යුතුය.

මෙහි දී වඩාත් ම වැදගත් වන්නේ සියලු ම ජන වර්ග ද ඇතුළත් ව, එවැනි ඉකුත්වීමේ ක්‍රමෝපායක් පිළිබඳව මහජන අවබෝධය සියයට සියයක් ම තහවුරු කළ හැකි සමාජ සංකථනයක් ඇති කර ගැනීමයි.

Total
5
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ බහුවිධ අර්බුද පිළිබඳ විශ්ලේෂණයක්, ඉදිරි දැක්මක් සහ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක්

කාටූනය: ගිහාන් ඩි චිකේරා, 2012 (Daily Mirror) ~ ජයදේව උයන්ගොඩ, සම්මානිත මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ සසංක පෙරේරා, මහාචාර්ය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නවදිල්ලිය ~ නවරත්න බණ්ඩාර, හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ මයිකල් ප්‍රනාන්දු, හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ රත්නසිරි අරංගල, ජ්‍යේෂ්ඨ මහාචාර්ය,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය~ මොහොමඞ් මහීස්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ විපුල කරුණාතිලක, සංවර්ධන ජනමාධ්‍යවේදී (මේ විශ්ලේශනය හා යෝජනාවලිය මුලින්ම සකසන ලද්දේ 2019 ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකයන්ගේ අවධානය සඳහාය. එය සියලුම දේශපාලන පක්ශ නියෝජනය කළ ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා ඔවුන්ගේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වසංගත කලමණාකරණය හා සන්නිවේදන මාධ්‍යයේ භූමිකාව

~ විරන්ජන හේරත්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය වසංගතයක් කලමණාකරණයේදී ජනමාධ්‍යයේ භූමිකාව තීරණාත්මකය. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, වසංගත කලමණාකරණයේදී සෞඛ්‍ය තොරතුරු  සංනිවේදනය සම්බන්ධයෙන්  ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ අවේක්ෂණය (surveillance) සහ මැදිහත්වීම් (intervention) කෙරෙහිය. අවේක්ෂණයට අදාලව පහත සදහන් කරුණු අවධාරණය කලයුතු වේ: 1) අවේක්ෂණයට අදාළ සියලු පාර්ශවකරැවන් වසංගතය පැහැදිලිව නිර්වචනය කර තිබේද? 2) රෝගී බව තහවුරු කරගැනීම සදහා නියමිත පරීක්ෂණාගාර මොනවාද? 3) තහවුරැ කරන ලද සිදුවීම්, මරණ හා ඒවා හදුනාගත්  ප්‍රදේශ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලජ්ජා-බය, සදාචාර පාලනය සහ ‘හතේ අපේ පොත’

කෞෂල්‍යා ආරියරත්න – පිවිසුම සමාජය තුළ කිසියම් සිවිල් බලයක් අත්පත් කොට ගෙන සිටින භික්ෂුවක් විසින් සිදු කරන ලද පුවත්පත් සාකච්ඡාවක් හේතුවෙන්, රජය විසින් සිසුන් අතට පත් නොකොට යළි කැඳවන ලද ‘හතේ අපේ පොත’ නම් වූ සිසු අතිරේක කියවීම් පොත ගැන මේ මොහොතේ රට පුරා කතිකාවක් ඇති වී තිබේ. මෙම කතිකාව සමාජගත වීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසා ය: 1) ඉන් පළමුවැන්න නම්, නීතියේ අසමත්භාවය ද, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ දෘෂ්ටිවාදයන් ද, ලජ්ජාව හා බිය යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත 12 වන වෙළුම (විශේෂ කලාපය – සැප්තැම්බර් 2020)

කෝවිඩ් 19 වසංගතය විසින් ලෝකය සහ මිනිස් ජීවිතය තුළ ඇති කරන පරිවර්තනයන් ගේ ස්වභාවය වටහා ගැනීමට කොපමණ කාලයක් ගත වනු ඇති ද යන්න තවමත් නිර්ණය කල නොහැකි ය. කෙසේ වුවත්, මෙය ඉතිහාසය තුල ඉතා දුර්ලභ වන, යුගයක ස්වරූපය වෙනස් කලහැකි ආකාරයේ ප්‍රභල විභවාත්මක සිදුවීමක් බව තේරුම් ගැනීම අසීරු නැත. එම නිසා, මේ මොහොතේ අප අත්විඳිමින් සිටින මේ දුලබ හා බෙහෙවින් ගැටලුකාරී අත්දැකීම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පර්යාවලෝක ඔස්සේ සිතියම්ගත කිරීමට උත්සාහ කිරීම අප විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ (11 වන වෙලුම 2020)

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා (11 වන වෙලුම 2020) දැන් නිකුත් වී තිබේ. එය කොළඹ ජාත්‍යන්තර‍ පොත් ප්‍රදර්ශනයේ විදර්ශන කුටියෙන් ලබා ගත හැක (බී ශාලාව, කුටි අංක 103). පිටු 360. ප්‍රදර්ශනයෙන් පසුව එය  විදර්ශන ප්‍රකාශකයන් වෙතින් ලබා ගත හැක. ‘පඨිත’ 2020 අන්තර්ගතය පහත සඳහන් පරිදි වේ: පර්යේශන රච​නා * කාජල් තැවරූ දෑසින් හෙළන බැලුම්: නිර්ප්‍රභූ දේශපාලනික ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘ජෝගි ’ නැටුම්– කෞෂල්‍යා ආරියරත්න. * “මානව ලිංගිකත්වයේ බහුරූපීතාව සහ සුළුතර ලිංගික ප්‍රජාව”: ශ්‍රී ලාංකේය සමාජය ඇසුරෙන් සමාජවිද්‍යාත්මක කියවීමක්–…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත’ 12 වන වෙලුමට ලිපි සම්පාදනය කිරීම සඳහා කෙරෙන ආරාධනයයි

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා ලිපි සංග්‍රහයේ 12 වන වෙලුමේ (අංක 1 හා 2, 2021/මුද්‍රිත සංස්කරණය) සම්පාදන කටයුතු දැන් ආරම්භ කර ඇති බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි.’ 12 වන වෙලුම (අංක 1, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 ජනවාරි 30 වනදාය. 12 වන වෙලුම (අංක 2, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් 30 වනදාය. මේ වෙලුම් සඳහා පහත දක්වා ඇති ආකාරයේ ලිපි පඨිත වෙත ලබාදිය හැක: පර්යේෂණ ලිපි ආශ්‍රිත ග්‍රන්ථාවලිය සහ පාදක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උත්තර්කාෂිහි ඉපිද ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මගෙහි දිවි නිමාකළ ඉන්දීය සාහිත්‍යධරයා

කපිල එම්. ගමගේ – 2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගීමාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්විය . එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර, එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත්, ඔවුන් පියා, දියණිය හා මුණුපුරා වූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනු ලැබීය. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණි. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද යන්න අද වෙනතුරුත් මාධ්‍ය විසින් සදහන් කර නැත. නමුත් මෙසේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්  පළමු රෝගියා වාර්තා වී, මේ වන විට  එය ලොව අන් බොහෝ රටවල් වෙත සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත (වර්ල්ඩෝමීටර් 2021). එමගින් සමස්ථ මනුෂ්‍ය සංහතියටම කරනු ලබන බලපෑම ගැන මෙහිදී සඳහන් කළ යුතු අලුත් දෙයක් නොවේ. බෝහෝ විට මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා, සෞඛ්‍ය අංශයට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ගව මූත්‍රා පානය කිරීමෙන් කොල්කටා වැසියෙක් රෝගී වේ

(චායාරූප මූලාශ්‍රය: ස්ක්‍රෝල් වෙබ් අඩවිය, 2020 මාර්තු 18) කොල්කටා  පොලීසිය විසින් භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයෙකු වන, නාරායන් චැටර්ජි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමේ තරගයක් සංවිධානය කිරීම නිසාය.  2020 මාර්තු 18 වන බදාදා ‘ප්‍රෙස්  ඔෆ් ඉන්ඩියා’ (PTI) පුවත් සේවයට අනුව, ඔහු මෙය සංවිධානය කර ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමෙන්  කොරෝනා වයිරසයෙන් මහජනතාවට ආරක්ෂා වීමට හැකියාව ලැබේ යයි පවසමිනි. ඔහු උතුරු කොල්කටාවේ ජෝරසංකෝ ප්‍රදේශයේ භාරතීය  ජනතා පක්ෂයේ ක්‍රියාකාරියෙකු වන අතර, ගවයන් පිදීම සදහා වැඩ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මාලතී ද අල්විස් (1963-2021): ඇය යන්න ගියා මැකිලා…

~ ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය කුමාරි ජයවර්ධනගෙන් පසු ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත්, සම්ප්‍රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටීමත් පිළිබද ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ ස්ත්‍රිය ඇයයි. ඔව්, මම එසේ සිතන්නෙමි. ඇය මානව විද්‍යාඥවරියකි. ක්‍රියාකාරි ස්ත්‍රිවාදිනියකි. අනූවෙන් පසුව ‘එන්ජිඕ කරණයට’ ලක්වුණු මහජන අරගල දේශපාලනය පිළිබඳ ඇයගේ කියවීම් මා ගැවසෙන දේශපාලන අවකාශවලදී  මම නිරන්තරයෙන් සිහිපත් කර සිටිමි. එහිදී විශේෂයෙන්ම ස්ත්‍රී දේශපාලනයේ උපායමාර්ගයන් පිළබඳ සන්දර්භය තුළ ඇය විසින් ගොඩනැගූ එක් ප්‍රමුඛ අදහසක්…
වැඩි විස්තර පරිශීලනයට