නිර්ලජ්ජිත බව!

~ සසංක පෙරේරා

ක්‍රි.පූ. 372 ත් ක්‍රි.පූ. 289 ත් අතර කාලයේ ජීවත් වූ චීන දාර්ශනිකයෙකු වන වන මෙං කේ (ඔහු මෙන්සියස් ලෙස ද හැඳින්වේ) මීට වසර බොහෝ ගණනාවකට පෙර ‘ලැජ්ජාව’ සහ ‘නිර්ලජ්ජිතභාවය’ පිළිබඳ  පැවසූ දේ මෑතක සිට නිතරම මගේ සිහියට නැගේ. ඔහුට අනුව, “මිනිසෙකු ලැජ්ජාවෙන් තොර නොවිය යුතුය. මක්නිසාද යත්, ලැජ්ජාවෙන් තොර වීම ඇත්තෙන්ම ලැජ්ජා සහගත” වීම නිසාය. යම් වැරැද්දක් කිරීම පිළිබඳ ලැජ්ජාවට පත්වීම අනිවාර්යයෙන්ම පුද්ගලයෙකුගේ චිත්තවේගීය හා සදාචාරාත්මක වර්ධනයට පදනම සපයනවා මෙන්ම, ඔහු හෝ ඇය ජීවත් වන සමාජයේ මූලික ආචාරධර්මීය අඩිතාලම ගොඩනැගීමේ කේන්ද්‍රීය පූර්ව කොන්දේසියක් ද වේ. මෙං කේගේ සිතුවිලි මගේ මතකයට නැඟුණේ සමකාලීන ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම කලක සිට සිදුවෙමින් පවතින අතිශයින් අවාසනාවන්ත දේ නිසායය. එනම්, ලැජ්ජාව පිළිබඳ සියලු සංස්කෘතික පිළිගැනීම් පූර්ණ වශයෙන් හා සිතාබලාම විනාශකරමින් තිබෙන බවක් පෙනේ. එය පුලුල් ලෙස ව්‍යාප්ත වී ඇති ආකාරය දෙස බැලීමේදී මේ සභ්‍යත්වමය විනාශය ජාතික අවශ්‍යතාවක් බවට පත්වී ඇති බවක් පෙන්නුම් කරයි. අවාසනාවකට, ඒ ස්වයං-විනාශය බොහෝ දුරට සාර්ථක වී ඇති බව ද පෙනේ. මෙම ලැජ්ජාව පිළබඳ හැඟීම විනාශකරලීම රටේ ප්‍රසිද්ධ අවකාශය තුළ නිරතුරවම රඟදැක්වෙන බහුවිධ දේශපාලන නාඩගම්වල වඩාත් පැහැදිලිය. මෙම නාඩගම්වල රඟනා තාරකා, සහායක චරිත, තිර රචකයින්, අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකයින් යනු දේශපාලනඥන්, රාජ්‍ය නිලධාරීන් සහ ශාස්ත්‍රඥයින් යනාදී සියලු දෙනාය.  උදාහරණ අතලොස්සක් දෙස පමණක් සැකැවින් බැලුවත් මේ තත්ත්වය පැහැදිලි වනු ඇත.   
ලංකාවේ වාමාන්ශික ව්‍යාපාරය නියෝජනය කරනවා යැයි කියන, පළපුරුදු දේශපාලනඥයෙකු වන  වාසුදේව නානායක්කාර 2021 මැයි මස අගදී ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකා ව්‍යසනයට ප‍්‍රතිචාර දක්වමින් පැවසූ දේ ඕනෑම සාධාරණ පුද්ගලයෙකුගේ මොලය තෝන්තු කරන බව පැහැදිලිය.  මෙම සිදුවීම ඉදිරි වසර ගණනාව තුළ රටේ ස්වාභාවික පරිසරයට අහිතකර ලෙස බලපාන බව ඔහු පිළිගත්ත ද ඒ සඳහා අදාළ නෞකාව අයත් සමාගමෙන් මෙරටට ඩොලර් දහස් ගණනක වන්දියක් ලැබෙනු ඇති බැව් පැවසීය. එනමුත් මේ සමස්ත ව්‍යසනය  හුදු වන්දියකින් අමතක කර දැමිය හැකි සරල සිදුවීමක් ද? සෑහෙන කාලයක සිට රසායනික ද්‍රව්‍ය කාන්දු වෙමින් පැවති සහ ලෝකයේ වෙනත් බොහෝ වරායවලට ඇතුළු වීම ප්‍රතික්ෂේප කරන ලද නැවකට අප රටේ වෙරළ තීරයට මෙතරම් සමීප වීමට හැකි වූයේ කෙසේද යන්න පිළබඳ කිසිදු සඳහනක් ඔහුගේ අදහස් දැක්වීමට ඇතුළත් නොවීය. තවද එම නැවට අපගේ වෙරල තීරයට සමීප වන්නට ඉඩ දුන්නේ, අවසනදී සිදු වූ ආකාරයේ ව්‍යසනයකට මුහුණ දීමට ලංකාවට දේශීය වශයෙන් හැකියාවක් නොතිබුණ තත්ත්වයක් තුළය. මේ පිළිබඳව ද සඳහනක් හෝ ඔහුගේ කතාවේ නොවීය.  එනමුත්, මේ අනාරක්ෂිත තත්ත්වය අපට ළඟාකර දුන්නේ මීට ඉතාමත් කෙටි කලකට පෙර ‘ජාතික ආරක්ෂාව’ තම දෛනික සටන්පාඨය බවට පත්කරගෙන නිරතුරුවම එය ජපකරමින් සිටින රජයක පාලන කාලය තුළය.  මේ ව්‍යසනය නිසා ඇතැම් විට රාජ්‍ය භාණ්ඩාගාරය වෙත පැමිණිය හැකි හෝ නොවිය හැකි ඩොලර් දහස් ගණනක් මගින් සෑම දෙයක්ම සමතයකට පත්වෙනු ඇතැයි මෙවන් නායකයින් සිතන බව පෙනේ. ඉතා පැහැදිලිවම, නානායක්කාරට ඔහුගේ ව්‍යවහාරික බුද්ධිය සහ ආචාර ධර්ම යන කාරණා දෙකත් සමගම,  ලැජ්ජාව දැනීමේ හැකියාව ද අහිමි වී ඇති බව පැහැදිලිය.

කාටූනය ද අයිලන්ඩ් පුවත්පතෙනි

එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ ‘මළවුන්ගෙන් නැගිටීමේ’ සිද්ධිය ද මේ හා සමානව නිර්ලජ්ජිත සිදුවීමකි.  එනම්, එම පක්ෂයේ දේශපාලන පණ්ඩිතයන් විසින් මාස ගණනාවක් මුළුල්ලේ පැවැත්වූ රහසිගත සාකච්චාවල අවසන් ප්‍රතිපලය නම්,  පක්ෂය දරුණු පරාජයකට ඇද දැමූ එහි අපකීර්තිමත් නායක රනිල් වික්‍රමසිංහ කූප්‍රකට ජාතික ලැයිස්තුව මගින් නැවතත් පාර්ලිමේන්තුවට යැවීමය. මෙය දේශපාලනිකව මළ මිනිසෙකු මළවුන්ගෙන් නැගිට්ටවීම හැර අන් කුමක්ද?  ඊටත් වඩා භයානක දෙය නම්, එවැනි වගකීමක් භාර ගැනීමේදී වික්‍රමසිංහ විසින් තමන්ගෙන් තම පක්ෂයට මෙන්ම ඔහුගේ දේශපාලනය හරහා රටට ද වී ඇති විනාශය පිළබඳ කිසිදු ලැජ්ජාවක් හෝ හෝ වරදකාරීත්වය පිළබඳ හැඟීමක් හෝ නොදැක්වීමය. සැබැවින්ම, වික්‍රමසිංහ හැර පාර්ලිමේන්තුව තුළ තම දේශපාලනය නියෝජනය කළ හැකි වෙනත් කිසිවෙකු පක්ෂයේ ඉතිරිව නැද්ද? කෙසේ වෙතත්, අප මැනවින් දන්නා පරිදි මේ වන විට, ‘ජාතික ලැයිස්තුව’ යන්න ලැජ්ජාවේ ලැයිස්තුවක් බවට පත්වී ඇත. එමඟින් මේ වන විට සිදුවන්නේ, සියලු පක්ෂවල සිටින කිසි විටෙකත් අවංක බව පිළිබඳ අබමල් රේණුවක් තරම් වත් සැලකිල්ලක් නොදක්වන දේශපාලන තක්කඩි පාර්ලිමේන්තුවට රිංගවීමය. ඒ ද වසර ගණනාවක් මුළුල්ලේ නොකඩවා අචාරධර්ම විරෝධී දේශපාලනයක නිරතව සිටීමෙන් අනතුරුවය.  ‘ජාතික ලැයිස්තුව’ ඔස්සේ සුදුස්සන් පාර්ලිමේන්තුවට පැමිණේනම්, ඒ කණ කැස්බෑවා විය සිදුරෙන් හිරු දකින්නා මෙන් විරල ලෙසිනි.

රටේ සමස්ත කෝවිඩ් 19  එන්නත්කරණ  වැඩසටහනම මේ වන විට නිර්ලජ්ජිතභාවය ප්‍රසිද්ධියේ රඟ දැක්වීම පිළිබඳ අගනා උදාහරණයක් බවට පත් වී ඇත. එය මුල සිටම බිඳවැටුනේ, රාජ්‍යය හා සම්බන්ධ නොයෙකුත් දේශපාලන හෙන්චයියන් විසින් විවෘතව ක්‍රියාත්මක කළ පටු අනුග්‍රාහකත්වය පිළිබඳ ගොරහැඩි දේශපාලනයේ ස්වභාවය නිසාය.  මැලේරියා-විරෝධී හා පෝලියෝ-විරෝධී ව්‍යාපාර සහ එවන් අන් ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධයෙන් කළ මැදිහත්වීම් ඔස්සේ ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ මහජන සෞඛ්‍යය පිළිබඳ මනා ලෙස උකහා ගත් දැනුම් පද්ධතියක් උරුම කරගෙන තිබුණි. තවද, දශක ගණනාවක් මැනැවින් පවත්වන ලද මැතිවරණවලින් ඉගෙන ගත් දැනුම ඔස්සේ ද සාධාරණ හා සමානාත්මතාවකින් යුත් එන්නත්කරණ වැඩසටහනක් ගොඩනැගීමට ලබාගත හැකි සියලුම පූර්ව කොන්දේසි හා දැනුම රටට තිබුණි.  එවන් දැනුම, විද්‍යාව සහ අත්දැකීම් මත පදනම් වූ එනත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සුදානම්ව තිබූ බව ද පැවසේ. එනමුත් ආරම්භයේ සිටම සිදුවූයේ, දේශපාලනඥයින් තම ප්‍රදේශවල වැඩසටහන් බලයෙන් පවරා ගනිමින්, තම පවුල්වල සාමාජිකයින්ට, අසල්වැසියන්ට සහ දේශපාලන ආධාරකරුවන්ට ප්‍රමුඛතාව දෙමින්, එන්නත්කරණ ව්‍යාපෘතිය විවිධ තැන්වල විවිධ ලෙසින් ක්‍රියාත්මක කිරීමය. ඇතැම් ස්ථානවල එක එන්නතක් සඳහා රුපියල් 5, 000.00 මුදලක් නීතිවිරෝධී ලෙස අයකළ බව වාර්ථා වූයේ, මහජන මුදලින් නොමිලේ ක්‍රියාත්මක විය යුතුව තිබූ මහජන සෞඛ්‍ය වැඩසටහනක් සම්බන්ධයෙන්ය. මේ වල්වැදුන ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ වඩාත්ම මෑත කාලීන හා කූප්‍රකට උදාහරණය වූයේ, රජයේ නිලධාරීන් අනුමත සැලැස්මකට අනුව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන විට මොරටුව නගරයේ නගරාධිපති ඒ මැදට කඩා පැන නිර්මාණය කරන ලද මහා ජංජාලයයි. ඔහුට අවශ්‍ය වූයේ, මේ වැඩසටහන තමන් විසින් සකසන ලද ‘ලැයිස්තුවට’ අනුව ක්‍රියාත්මක කිරීම ය. නැවතත්, කරලියට පැමිණ ඇත්තේ, සැම තැනම කරලියට එන දේශපාලකයාගේ ‘ලැයිස්තුව’යි.

මේ සියල්ල ඇස්පනා පිට මෙලෙසින් සිදුවන අතර, පරිසරය ආරක්ෂා කිරීමට උත්සාහ කරන රාජ්‍ය නිලධාරීන් සංවර්ධන විරෝධී නියෝජිතයන් ලෙස ඡන්දයෙන් පත් වූ ඊනියා ජනතා නියෝජිතයින් විසින් හංවඩු ගසා,  නිරන්තරයෙන් නින්දා කිරීම සමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ නිලධාරිනියට මෑත අතීතයේදී  ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ද අවහිර කරනු ලැබුවේ  හුදෙක් ඇයගේ රාජකාරිය කිරීමට උත්සාහ කිරීම නිසාය. “ඔක්සිජන් කන්නද ” යන අතිශයින් මෝඩ ප්‍රශ්නය ඇයගෙන් ඇසුවේ ද මෙහිදීය.  මේ සියල්ල අතරතුර, පරිසරය තුළ ලාබයේ නාමයෙන්  ගසාගත හැකි හෝ දූෂණය කළ හැකි ඕනෑම දෙයක් උදුරා ගන්නා තත්ත්වයට පත්ව ඇත. ඒ, වන විනාශයේ සිට නීති විරෝධී ලෙස වැලි ගොඩගැසීම දක්වා ඇති සියලුම කටයුතු සම්බන්ධයෙන්ය.  මෙවන් ක්‍රියාකාරකම් රට පුරා සිදුවෙන බව විශ්වාසදායක ලෙස වාර්තා වුවද, රජයේ ප්‍රධාන ප්‍රවේශය වී ඇත්තේ, මේ ගැටළු විසඳීමට වඩා මෙම කරුණු කෙරෙහි ජනතාව විසින් දක්වන ප්‍රසිද්ධ විරෝධය සහ අතෘප්තිය පාලනය කිරීමට උත්සාහ දැරීමය.

කෝවිඩ් වෛරසය දැන් රජය අභිබවා ගොස් ජනතාව නිරතුරුවම පෙලන භයානක  වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. මේ අතර, ඒ සියල්ල අමතක කරමින්දෝ   රජය විසින්ම මහජන අරමුදල්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අධික වියදමක් දරා නවීන සුඛෝපභෝගී වාහන සිය ගණනක් ඇණවුම් කර තිබේ. මේ ඇණවුම සඳහා අවශ්‍ය ලියවිලි සකස් කළේත්, නීති කෙටුම්පත් සකස් කළේත්, මුදල් සම්පාදනය කළේත්, රාජ්‍ය භාණ්ඩාගාරයට දරාගත නොහැකි බැවින් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මහජන පරිත්‍යාග ලබාගත් සහ සහ සාමාන්‍ය මිනිසුන් භාවිත කරන වාහන ද ඇතුළු බොහෝ භාණ්ඩ ආනයනය කිරීම සැලකිය යුතු ලෙස සීමා කර ඇති තත්ත්වයක් තුළය. එමෙන්ම මේ තීරණය ගත්තේ, සාමාන්‍ය ජනයා සාගින්නෙන් පෙළෙන, විරැකියාවෙන් පීඩා විඳින සහ ඔවුන්ගේ සාමුහික අනාගතය පිළිබඳ දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටි කාලයක් තුළය. මෙම තත්ත්ව යටතේ සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය කිරීම වැනි තීරණයක් ගත හැක්කේ ‘අසභ්‍ය’ යන වචනයෙන් පවා විස්තර කළ නොහැකි පිරිසකට පමණි. අපගේ මන්ත්‍රීවරුන් කෙතරම් නිර්ලජ්ජිත ද කියන්නේ නම්, මෙම තීරණය සාධාරණීකරණය කිරීම සඳහා අතිශයින් විකාර කාරණා ගණනාවක් මේ වන විට මාධ්‍යය ඔස්සේ  ඉදිරිපත් කර ඇත. පැහැදිලිවම, ලැජ්ජාව යන්න යමෙකුගේ සවිඥානකත්වයෙන් ඉවත්ව ගිය විට සිදු වන්නේ, මෙවැනි දේය. මේ අධි-පරිභෝජනවාදී සහ අසභ්‍ය ක්‍රියාවට එරෙහිව මතු වූ මහජන කෝපය හේතුවෙන් මේ වාහන උන්මාදය මොහොතකට කල් දමා තිබීම වෙනම කාරණයකි.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මෙරට දේශපාලන විපක්ෂය සිටින්නේ කොහිද? සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් ප්‍රධාන විපක්ෂය හුදෙක් රජයේ  ශාඛා කාර්යාලයක් බවට පත්ව ඇති බව පෙනේ. මේ ඊනියා විපක්ෂයේ  වර්තමාන භූමිකාව දෙස  බලන විට අපගේ සාමූහික අනාගතය ගැන වැඩි වැඩියෙන් බිය වීමට අප සියලුදෙනාටම තවත් ඉඩක් ලබා දෙයි. බුද්ධියෙන් මෙන්ම ලැජ්ජාව අතින්ද හීන මෙම ඔලමොට්ටල  කණ්ඩායම නුදුරු අනාගතයේ යම් දිනක ඊළඟ රජය පිහිටුවීමේ භූමිකාව භාරගත්තොත්, අපට කුමක් සිදුවේද? තමන්ගේ එකතැන පල්වෙන ඡන්දදායක පදනම මධ්‍යයේ වුව ද ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව ප්‍රධාන විපක්ෂයට වඩා වෙනස්ය. සැබැවින්ම, ඔවුන් පාර්ලිමේන්තුවේ දී කිවයුතු සැම නිවැරදි දෙයක් ම පවසන බවත්, දූෂණ කටයුතු පිළිබඳව හා බලය අයුතු ලෙස පරිහරණය කරන සැම විටම, ඒ  පිළිබඳ පාර්ලිමේන්තුව තුළම උද්ගෝෂණය කරන බවත් පැහැදිලිය. මේ සැම දෙයක්ම හොඳ විපක්ෂයක කාර්යභාරයෙන් කොටසකි. නමුත් කිසිවෙකු හෝ ඔවුන්ට සවන් දෙන බවක් නම් නොපෙනේ. ඔවුන්ගේ අතිශයින් සීමිත පරිකල්පනය නිසා පක්ෂ සාමාජිකයන් ඔවුන්ගේ කුඩා රතු තොප්පි හිස පැළඳ, සිය වෙහෙසකර විප්ලවවාදී සටන් පාඨ කියවමින් රට පුරා ඇවිදීමෙන් පැහැදිලවම සිදු වී ඇත්තේ, තම චන්ද ප්‍රතිශතය යම් සීමාවකට ඔබ්බෙන් ඉහළ නොයෑමේ පදනම ඔවුන් විසින්ම දැමීමය. ඒ  මන්ද? බොහෝ සමාන්‍ය ජනයා බිය වන්නේ, මේ ක්‍රියාකාරීන් වර්තමානයේ කෙතරම් අවංක ලෙස පෙනුන ද අනාගතයේදී ඔවුනට බලය ලබුනහොත්,  සාමූහික ප්‍රවාහන ක්‍රමයක් සඳහා තමන්ගේ  මෝටර් රථ බලයෙන් පවරාගෙන, තම දරුවන් පුද්ගලික වාහනවලින්  පාසැල්  යැවීම තහනම් කර,  තමන්ගේ  ශීතකරණය සහ මයික්‍රෝවේව් උදුන ද ජනසතු කරනු ඇතැයි සිතාය.  තත්කාලීන යුගයේ ප්‍රතිරූපය පිළිබඳ කාරණා බෙහෙවින් වැදගත් වන බව ඕනෑම කෙනෙක් දන්නා සාමාන්‍ය කරුණකි. මේ තත්ත්වය තුළ  පැරණි විප්ලවවාදී ප්‍රතිරූපයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. එනමුත්,  අනාගතයේ දී සාක්ශාත් කරගත යුතු බොහෝ දේ අදහස් හා ආකල්පවල රැඩිකල් විප්ලවයකින් තොරව ළඟා කරගත නොහැකි බව ද පැහැදිලිය. මේ සරල යථාව අපගේ සහෝදරවරුන්ගේ බුද්ධිමය හැකියා විනිවිද නොයෑම සැබැවින්ම ලැජ්ජාවට කරුණකි.

මේ සියල්ලම හුදෙක් අප රටේ පොදු ජීවිතයේ ලැජ්ජාවක් පිළිබඳ හැඟීමක් හෝ නොමැති වීම දක්වාලන උදාහරණ සියදහස් ගණනකින් අතලොස්සක් පමණි. අප සියලුදෙනාම පාහේ මැනවින් දන්නා පරිදි, මෙය සෑම තැනකම හා සෑම මට්ටමකම දිගින් දිගටම සිදුවෙමින් පවතී. සැබැවින්ම මෙහිදී සිදුවන්නේ කුමක්ද? මේ ආකාරයේ නිර්ලජ්ජිත හා දූෂිත ක්‍රියා අප බොහෝ කාලයක සිට අත්විඳිමින් සිටිය ද වර්තමාන රජය බලයට පත්වන තෙක් තත්ත්වය මෙතරම් ජරාජීර්ණ වී තිබුනේ නැත. මෙහිදී පැහැදිලිවම පෙනෙන කේන්ද්‍රීය කරුණ නම්, බලයට ප්‍රවේශය ඇත්තවුන්, ඔවුන් විවෘතව හා නිරතුරුවම නිරතව සිටින අශිෂ්ට හා පැහැදිලිවම වැරදි හෝ සදාචාර විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව අබමල් රේණුවක් තරමට වත්  මායිම් කරන්නේ නැති බවයි. මේ කුමක් නිසාද? මීට හේතුව, අප රටේ වෙන කවරදාකටත් වඩා, බලය සමග ප්‍රයෝජනවත් ලෙසින් සම්බන්ධ වී ඇති සියල්ලෝම නීති රීති සත පහකටවත් ගණන් නොගැනීමය. ඒවා අදාලවන්නේ එවන් සබදතා නොමැති සාමාන්‍ය ජනයාට හෝ අවංක නිලධාරීන්ට පමණි. මෙනිසා යුක්තිය සහ සාධාරණත්වය මෙන්ම නීතිගරුකව කටයුතු කිරීම යන කාරණා පිළිබඳ මහජන විශ්වාසය සැලකිය යුතු ලෙස ඛාදනය වී ඇත. පැහැදිලිවම, නීතිය අනුව සහ ආචාරධර්ම අනුව වැරදි දේවල නිරත වීමෙන් කිසිදු ප්‍රතිවිපාකයක් වරදකරුවන්ට අත්විඳින්නට සිදුවන්නේ නැත. මේ සමඟම, වරදේ නොබැඳීමට ලැජ්ජාව විසින් මෑතක් වන තුරුම ලබාදුන් වැදගත් සමාජ උපයෝගීතා පදනම තවදුරටත් අදාළ නොවේ.  සමස්තයක් ලෙස, ලැජ්ජාව පිළිබඳ හැඟීම පුද්ගලයින්ගේ සවිඥානයෙන් අතුරුදහන් වූ විට, ඔවුන්ට ඒ සමගම අහිමිවන තවත් සම්බන්ධිත ලක්ෂණ දෙකක් ඇති බව මට පෙනේ. එනම්, ඔවුන් තුළ එතෙක් තිබූ ව්‍යවවාරික බුද්ධිය  සහ ආචාරධර්ම පිළිබඳ අවබෝධය සහ ඒවා අගය කිරීම යන හැඟීම්ය.

මෙම සමස්ත කුහක හා චෞර ක්‍රියාවලිය තුළ, බලවතුන් පුරුද්දක් ලෙස නිරතුරුවම නිරතවන නිර්ලජ්ජිත නාට්‍යවල නිහඬ නරඹන්නන් පමණක් වනු ඇතැයි මහජනතාවගෙන් මේ නිර්ලජ්ජිතයින් අපේක්ෂා කරති. එනමුත් බොහෝ විට, අන්ධ විශ්වාසයකින් යුතුව මේ නාට්‍ය නිරතුරුවම බැලීමෙන් හා ඒවායේ මායම් තුළම ඇලී ගැලී ජීවත්වීමෙන් සහ ඒවා සාධාරනීකරණය කිරීමෙන් මහජනතාවගෙන් සැලකිය යුතු කොටසක් මේ වන විට මේ සමස්ත ගැටලුවේම කොටසක් බවට පත්ව සිටිති. මගේ සමීප ඥාතීන් සහ හිතමිතුරන් ද ඇතුළු බොහෝ සාමාන්‍ය ජනයා මේ නිර්ලජ්ජිත චෞර කණ්ඩායමේ යාවජීව වාචික අධාරකරුවන් බවට පත්ව ඇත්තේ මේ නිසාය. නමුත් මේ චෞරයින් නිරතවන අතිශය සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් නිදහසට ඉදිරිපත් කරණ, ඔලුව තෝන්තු කරන තරමේ ගජබින්න ඔවුන් බොහෝ දෙනා නිරතුරුවම කියා කියා ඇවිදින්නේ, අවසාන වශයෙන් කිසිදු මූල්‍යමය ප්‍රතිලාභයක් හෝ  නොලබමිනි. නමුත් ඔවුහු  දිගින් දිගටම මේ  බොරු පුනරුච්ඡාරණය කරති. මට පෙනෙන්නේ, මේ කටයුතු හා සම්බන්ධ යථාර්ථය පිළිගැනීම යනු දරාගත නොහැකි තරම් අතිවිශාල ශිශ්ටාචාරාමය බරක් හිසට ගැනීමක් ලෙසය . එනිසා ඔවුන් උත්සාහ ගන්නේ, අප සමාජය සදාකාලයට ගසාගෙන යන පොදු ලැජ්ජාවේ ගංවතුර කෙසේ හෝ අදෘශ්‍යමාන කිරීමට හා ඒ ලැජ්ජාසහගත දේ  පිළිබඳ ඇති සියලු කතාබහ යටපත් කිරීමට මාර්ගයක් සොයා ගැනීමය. එනම්, මේ කිසිවක් සැබැවින්ම සිදු නොවුන බවට මනෝමූලික බින්නයක් ගොතා, ඒ බින්නය තුළ  ජීවත්වීමය.

මීට කෙටි කලකට පෙර, අපේ රට ටම්ලර් සොමර්ස් විසින් Why Honor Matters (ගෞරවය වැදගත්වන්නේ අයි?) යන කෘතියෙන් විස්තර කළ ආකාරයේ ‘ගෞරව සංස්කෘතියක්’ (honor culture) ලෙස හැඳින්වීමට හැකියාව තිබුණි. එවන් සමාජ සිය  හෘද සාක්ෂිය පාවානොදී සිටීම සඳහා  ලැජ්ජාව වැදගත් මෙවලමක් සේ සැළකීය. විශේෂයෙන් සිංහල ජනප්‍රිය සංස්කෘතිය තුළ, එබඳු ‘ගෞරව සංස්කෘතියකට’ අපව පොළඹවා ගැනීමේදී, අපගේ සාමූහික හැඟීමේ කොටසක් වූ ලැජ්ජාව සහ බිය යන හැඟීම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. එනම්, ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්වේය යන බිය නිසා වැරදි දෙයක් කිරීමෙන් වැළකී සිටීමයි. සිංහලයන්ට ඒ සඳහා ජනප්‍රිය පාරිභාෂිත පද දෙකක් තිබුන ද  අප සමාජයේ අන් සියලු දෙනාම මෙම බෙහෙවින් වැදගත් සංවේදීතාව විසින් ජනිත කළ ආචාර ධර්ම සඳහා නිරතුරුවම දායක වූහ. නමුත් අද, සොමර්ස් සඳහන් කරන පරිදි, මෙම ලැජ්ජාව පිළිබඳ අදහස වෙනුවට, පවතින්නේ “නිර්ලජ්ජිතත්වයේ වසංගතයකි.” අප රටේ නායකයින්, එහි දේශපාලනය සහ තම නායකයින් විසින් සිදුකරන නූගත් සහ වැරදි ක්‍රියා සාධාරණීකරණය කිරීම සඳහා අසීමිත ලෙස නිදහසට කරුණු ඉදිරිපත් කරන ජනතාව ද එක්ව, අපගේ රට මෙම වසංගතය මැනවින් විස්තර කරන ගෝලීය  උදාහරණයක් බවට මේ වන විට පත් කර ඇත. ආචාරධර්මවලින් තොර මෙම නිර්ලජ්ජිත ලෝකයේ ස්වාමිවරුන් වීමට නම්, යමෙකු දැකීමට අකමැති දේ නොදැකීමේ කලාව මැනැවින් ප්‍රගුණ කළ යුතුය. මා සිතන පරිදි මේ තත්ත්වය අගනා ලෙස විස්තර කර ඇත්තේ, සල්මාන් රුෂ්ඩි සිය එන්චාන්ට්‍ර්රස් ඔෆ් වෙනිස් (Enchantress of Venice) යන නවකතාවේය. ඒ අලිසන්ද්‍රා   ෆියොරෙන්ටීනා විසින් ඔහුව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ගෙල වැළලාගෙන මිය ගිය මාකෝ වෙස්පුචි පිළිබඳ විස්තර කිරීමේදීය: “ඔහුගේ සිරුර බ්‍රිජ් ඔෆ් ග්‍රේසස් පාලමේ එල්ලී තිබුණ ආකාරය සැමටම පෙනුනි. එනමුත් අලිසන්ද්‍රා ෆියොරෙන්ටීනාට එය පෙනුනේ නැත …. මක්නිසාද යත්, අලිසන්ද්‍රා බොහෝ කලකට පෙර තමාට දැකීමට අවශ්‍ය දේ පමණක් දැකීමේ කලාව මැනැවින් ප්‍රගුණ කළ අතර, එය ලෝකයේ වින්දිතයෙකු නොවී, එහි පාලකයෙකු වීමට පෙරුම්පුරන සැවොම ලබාගත යුතු  අත්‍යවශ්‍ය නිපුණතාවක් වූ බැවිනි.” මට නම් පෙනෙන්නේ, අපගේ නායකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් මේ වන විට අතිදක්ෂ දේශීය අලිසන්ද්‍රා ෆියොරෙන්ටීනාවරුන් බවට පත්ව ඇති බවත්,  ඔවුන්ට අවශ්‍ය දේ පමණක් දැකීමට ඔවුන් සවිඥානිකවම තීරණය කර ඇති බවත්ය. නමුත් ඇත්ත වශයෙන්ම සමාජයේ සිදුවන්නේ කුමක්දැයි දැකීමට තරම් ශාපයට ලක්ව සිටින සහ හෘද සාක්ෂියෙන් නිරතුරුවම පීඩා වඳින හා ලැජ්ජාවට බියෙන් සිටින අප වැන්නවුන්ට මාකෝ වෙස්පුචිගේ අවාසනාවන්ත අවසානයට වඩා නොවෙනස් අවසානයක් වැලඳගැනීම හැර වෙනත් විකල්පයක් තිබේද යන්න සැක සහිතය .

(මේ ලිපියේ ඉංග්‍රීසි කෙටුම්පත මුලින්ම පළවූයේ 2021 ජූනි 16 වනදා ද අයිලන්ඩ් පුවත්පතේය. ඒ සඳහා චිත්‍රණය කළ කාටූනය ද සමගින් ඒ ලිපියේ සිංහල පරිවර්තනය මෙහි පළකිරීමට අවසර දීම සම්බන්ධයෙන් එම පුවත්පතේ සංස්කාරකවරයාට අපගේ ස්තූතිය හිමිවේ)

Total
9
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සරසවි තුළ සිදුවෙන සරසවි දඩය​ම

~ සසංක පෙරේරා,දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ද​මා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය උපාධිය අවසන් කිරීම සඳහා ඔහුට ලබාදී තිබුණු වසර අටක කාලය තුළ එය අවසන් නොකිරීම ය. කෙසේ නමුත්, එය අවසන් කර පසුගිය වසර හයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ සේවය ස්ථිර කර ඇති අතර, නොයෙකුත් උසස්වීම් සහ තානාන්තර ද ඔහු වෙත ලබා දී ඇත. මෙවන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘රත්තරන්’ හෙලේනා මාලදිවයිනට යැවීම සහ විදේශ සේවා විගඩම

~ සසංක පෙ​රේ​රා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාල​ය පාස​ල් යන සමයේ සිට මා රෝහණ බැද්දගේ පිළිබඳව දැන සිටියේ සිංහල ජනප්‍රිය සංගීතයට අතිශයින් සිත්ගන්නාසුළු, අතැමුන් ‘ග්‍රාමීය’ යැයි අරුත්ගැන්වූ, ගායනා හා සංගීත ආරක් එක්කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු ලෙසිනි. ‘මගේ රත්තරන් හෙලේනා’ යන ගීතය අදත්  මා හද රැඳී තිබෙන්නේ ඔහු ගැයූ වඩාත් රසවත් ගීතයක් ලෙසිනි. කෙසේ වුව ද, ඔහු ජනාධිපතිවරයා විසින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බැව් සන්නිවේදන මාධ්‍ය වාර්තාකරන විට මා පුදුමයට පත්වූයේ, තමන් ප්‍රගුණකර ඇති…
වැඩි විස්තර පරිශීලනයට