Skip links

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36.

———–

විමර්ශනය: නිලූක කදුරුගමුව

කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ ගැන මගේ අදහසක් නුවූ හෙයිනි.

එහෙත්, ආචාර්ය උදන් ප්‍රනාන්දුගේ ‘නිරෝධිත කවි’ කියැවූ කල, කොවිඩ් වසංගතය වස්තු විෂයයමය වශයෙන් සාහිත්‍යයට දැවැන්ත බලපෑමක් කරන්නට යන බව මට පසක් විය. ශ්‍රී ලංකාවේද, ලෝකය පුරාද, කවියන් සහ සාහිත්‍යකරුවන් මේ වසංගතයෙන් දිගින් දිගටම අනුප්‍රාණය ලබනු ඇතැයි යන්න ඉතා පැහැදිලිය. ‘නිරෝධිත කවි’ යනු ඒසා අනුප්‍රාණය ලැබීමක, පොළොවෙන් දැන් මේ උඩට මතුව එන පළමුවැනි මොටෙයියාවන්ගෙන් එකකි.

එනමුදු, මේ කාරණයේදී උදන් ප්‍රනාන්දු විශේෂ කෙනෙක් වෙයි. ඒ මා දන්නා තරමින්, කොවිඩ් වසංගතය වස්තු විෂයය කරගනිමින් කවි පොතක් එළිදක්වන පළමු ලාංකික කවියා ඔහු වන බැවිනි. එය ඔහුගේද පළමු කවි පොත වන හෙයින් ‘නිරෝධිත කවි’ දෙආකාරයකින් විශේෂත්වයක් උසුලන්නේය.

සිය පොතේ ඇති කවි, උදන් ප්‍රනාන්දු විසින් හඳුන්වන්නේ ”කවි-වගේ දේවල්” යනුවෙනි. එහෙත්, මම නම් ඒවා කවි ලෙස දකිමි. ඊට හේතුව කවියක් කියැවීමෙන් ලබන වින්දනය මා ඒවා කියැවීමෙන් ලැබූ හෙයිනි. පාරසමුද්‍රීය ශ්‍රී ලාංකිකයන් පෙරළා මවුරට පැමිණි කල ලක්වන නිරෝධායන ක්‍රියාවලියෙහි අංග කවිවලට ගොනු කිරීමට ඔහු දරා ඇති ප්‍රයත්නය විශිෂ්ටය.

මීට පෙර, තීරු ලිපි ලියන්නට ඔහු භාවිත කළ ‘හයිබ්‍රිඩ්’ භාෂාව මේ කවි ලිවීමේදීත් ඉතා සාර්ථක ලෙස කවියට ගෙන එන්නට උදන් ප්‍රනාන්දු සමත් වී තිබේ. ඔහුගේම වචනවලින් කියන්නේ නම්, මෙය ‘ඉම්පෝට්’ කිරීමකි. මේ සිංහල, ඉංගිරිසි වචන හා සිංහල ඉංගිරිසිකරණය කරමින් තැනූ වචන භාවිත කරමින් ඔහු යොදාගන්නා අපූරු භාෂාවට මා දෙමුහුන් යැයි නොකියා හයිබ්‍රිඩ් යැයි කියන්නේ, ඒ බසින් මාද අනුප්‍රාණය ලබන හෙයිනි. කටවහරෙහි එන සිංහල, ඉංගිරිසි මුසු වදන් ඒ ආකාරයටම කවිවලට ගෙන ඒමෙන් ඔහු ඉතා කාව්‍යාත්මක, හිරවීමකින් තොර, අනායාසයෙන් ගලායන භාෂාවක් කවි ලියන්නට භාවිත කර ඇත. ඒ භාෂාව රසවත්ය, කියැවීමට රුචිය ඇති කරන්නේය. ඔහුගේ තීරු ලිපි රචනාවල ඇති නිසග හාස්‍යය සහ උපහාස රසය සිය කවිවලද නොනැසී පවත්වා ගන්නට උදන් ප්‍රනාන්දු සමත් වී තිබේ.

ඊළඟට, මහගම සේකරයන්ගේ ‘නොමියෙමි’ කියැවීමෙන් ඔහු ලැබූ ආභාසය දින දහහතරක් පුරා, දවසකට එකක් බැගින් ලියන ලද මේ කවිවල අපූරුවට සිත්තම් වී තිබේ. සේකරයන්ගේ ‘ප්‍රබුද්ධ’ හෝ ‘නොමියෙමි’ ආදී කාව්‍යවල අන්තර්ගතය හා මේ කවි පොතෙහි අඩංගු කවිවල අන්තර්ගතය අතර ඇති දාර්ශනික ගැඹුරෙහි තීව්‍රබවෙහි වෙනස්කම් තිබුණද, ‘නිරෝධිත කවි’වල ආකෘතිය හා රූපය ගත් කල, ඒවා සාකල්‍යයෙන්ම සමරූපී වන්නේ සේකරගේ නිර්මාණවලටය. කෙසේ වෙතත්, උදන් ප්‍රනාන්දුට සේකරට මෙන් දාර්ශනික ගැඹුරකින් යුත් කවි ලිවීමට නොහැකි බවක් මින් අදහස් නොකෙරේ.

සතතාභ්‍යාසයෙහි යෙදීමෙන්, ප්‍රනාන්දුට ද ඒ නිර්මාණවලට ළංවන හෝ ඒ හා සමවන නිර්මාණ බිහිකිරීමට හැකියාවක් ඇති බව මගේ විශ්වාසයයි. පොතෙහි අවසනට ඇති සේකරයන්ගේ ‘නොමියෙමි’ කාව්‍යයෙන් ගත් පැදිය ඉංගිරිසියට පරිවර්තනය කර ඇති විලාසයෙන්, කාව්‍ය පරිවර්තනයෙහිලා ඔහු සතු බුහුටිකමද ආචාර්ය උදන් ප්‍රනාන්දු අපට පෙන්වා දී ඇත.

නිරෝධිත කවි වෙත මෙතනින් පිවිසිය හැක.

Leave a comment

This website uses cookies to improve your web experience.