නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය

(මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී පවත්වන ලද ආරාධිත දේශනයෙහි ප්‍රකාශනයට සුදුසු සේ සංස්කරණය කරන ලද පිටපත ය).

අද මේ එළිදක්වපු සහෝදර පියාපත් කියන මේ පොත රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසු සිවියන් පිරිසක් යාපනය ප්‍රදේශයේ කරපු “ක්ෂේත්‍ර අධ්‍යනයක” ප්‍රතිඵලයක්. ඔවුන් එහේදී ලබපු අත්දැකීම් තමයි මේ ලිපිවල තියෙන්නේ. මේ අධ්‍යයනය කෙරිලා තියෙන්නේ 2019 අවුරුද්දේ අප්‍රේල් මාසේ. ඉතින් මම කැමතියි ඊට දශක හතරකටත් කලින් කෙනෙක් යාපනයට ගිය අවස්ථාවක් වෙත ඔබගේ අවධානය යොමු කරවමින් මේ කතාව ආරම්භ කරන්න. 

ඒ තමයි 1974 ඔක්තෝබර් හයවෙනිදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇය  විසින් ලබා දුන් මැතිවරණ පොරොන්දුවකට අනුව ඉදි වුනු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය මණ්ඩපය විවෘත කරන්න ගිය ගමන. මේ වීඩියෝ එක යූ ටියුබ් එකේ දැක්කට පස්සේ මම මේ ගැන විස්තර ටිකක් හොයල බැලුවා. මොකද මේක රජයේ ප්‍රවෘත්ති අංශයෙන් කරපු එකක් නිසා. යාපනය විශ්විද්‍යාලයේ වෙබ් සයිට් එකේ මේක ගැන විස්තරයක් තියෙනවා. ඒකෙත් තියෙන්නේ විශාල පිරිසක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී උනා කියලයි. ඒත් එක්කම මම වෙබ් සයිට් එකක දැක්කා මේ විවෘත කිරීමේ උත්සවය පැවතුනේ විරෝධතා මැද කියලා. බොහොම සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් කියලා. නමුත් ඒ ලිපිය පළවෙලා තියෙන්නේ 2019 දී. කොහොම උනත් දෙමළ සන්නද්ධ කණඩායම් විවෘත කිරීමේ උත්සවය සහ ඇය සහභාගිවන සියලු අවස්ථා වර්ජනය කරන ලෙස  මහජනයාට කැඳවුම් කළ බවත්, ඇගේ පැමිණීමට විරෝධය දක්වා කළු කොඩි ව්‍යාපාරයක් දියත් කළ බවත්, දෙමළ එක්සත් පෙරමුණේ සාමාජිකයන් (TUF) සහ පාර්ලිමේන්තු නියෝජිතයන් එය පිළිගෙන ඇය සහභාගී වූ සියලු උත්සව වර්ජනය කළ බවත් ටී. සභාරත්නම් සඳහන් කරනවා. ඔහු කියන්නේ දෙමළ ජනයාගේ තීරණ ගැනීමේ බලය සන්නද්ධ කණ්ඩායම් අතට මාරුවූයේ මේ ආකාරයට බවයි. එසේම එවකට දෙමළ නව කොටි (TNT) ලෙස සංවිධානය වී සිටි ප්‍රභාකරන්ගේ කණ්ඩායම යාපනය පොදු වෙළඳපොල, දුම්රිය ස්ථානය, කන්කසන්තුරේ පොලිස් ස්ථානය සහ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික වී. පොන්නම්බලම්ගේ (අගමැතිනියගේ පරිවර්තකයා ලෙස කටයුතු කරලා තියෙන්නේ වී. පොන්නම්බලම්) නිවස ඇතුළු තැන් කිහිපයක පිපිරවීම් කළ බව සහ බස් ගිනිතැබීම්, බස්වලට ගල් ගැසීම වැනි දේ සිදුකළ බවද ඔහු සඳහන් කරනවා. ඔහු පවසන්නේද   අගමැතිනියගේ යාපන සංචාරය අසාර්ථක වූ බවයි. යාපනයේ පැවැත්වුණු හතරවැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මන්ත්‍රණයට එල්ල කරපු පොලිස් ප්‍රහාරයකින් කිහිප දෙනෙක් මියගිහින් විශාල පිරිසක් තුවාල ලබන්නේ 1974 ජනවාරි නම වෙනිදා. ඒ කියන්නේ මේ ගමනට මාස නමයකට විතර කලින්. මේ සිදුවීමෙන් පස්සේ ප්‍රභාකරන් තමිල්නාඩුවේ ඉඳල නැවත යාපනයට ඇවිත් සංවිධාන කටයුතු අරඹන්නේ 1974 ජුලි මාසේ. මේ ගමනට මාස තුනකට කලින්. එතකොට එයා අවුරුදු දහනමයක, විස්සක කොලු ගැටයෙක්.  1974 කියන්නේ එතරම් දීර්ඝ ඉතිහාසයක් නෙමෙයි. මේ සිද්ධිය හැබැහින් දැකපු, සමහර විට මේකට සහභාගිවුණු අයගෙන් කොටසක් හරි තාමත් ජිවත් වෙලා ඉන්නවා ඇතිනේ. අල්ෆ්‍රෙඩ් දොරේඅප්පා දේශපාලන වශයෙන් සංවිධානය කරපු මිනිස්සු වෙන්න පුළුවන් මේ ඇවිල්ලා ඉන්නේ. මේ ඔක්කොම මැද්දේ මෙහෙම පිරිසක් මේකට සහභාගි වුනු බව තමයි පෙන්නේ.

බණ්ඩාරනායක මැතිනියගේ මේ යාපනේ ගමන සිදු වෙන්නේ 1974 ඔක්තෝම්බර් හයවෙනිදා, මේ ශිෂ්‍ය පිරිස යාපනේ යන්නේ 2019 අප්‍රේල් 05 වෙනිදා. මෙතැන අහම්බ ගැළපීමකුත් තියෙනවා. මේ ශිෂ්‍ය පිරිසේ “ක්ෂේත්‍ර අධ්‍යනයක” සිදුවන්නේ “ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය”, ඒ කියන්නේ ONUR එක, එක්ක ඒකාබද්ධ ව සංවිධානය කෙරෙන කටයුත්තක් විදියට. එවකට එහි සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ බණ්ඩාරනායක මැතිනියගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියයි. මේ ගමනේ දී මේ සිසුන්ට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියත් මුණගැහෙනවා.

මේ ගමන් දෙක අතර කාලය අවුරුදු හතලිස් හතරයි මාස හයක් විතර. බණ්ඩාරනායක මැතිනියගේ යාපනේ ගමන දවස වෙනකොට මගේ වයස අවුරුද්දයි මාස 08 යි දවස් 27යි. මේ ශිෂ්‍ය කණ්ඩායම යාපනේ යන දවස වෙන කොට මගේ වයස අවුරුදු 46 මාස 02 යි  දවස් 26 යි. මනුස්සයෙක්ගේ ඇවරේජ් ජිවිත කාලයෙන් බාගයකටත් වැඩි කාලයක්. මම මේ දෙක ම එකට ගන්නේ මේ අවුරුදු 46 කට වැඩි කාලය ඇතුළේ රටට මොකද වුනේ කියන එක වගේ ම මට මොකද උනේ කියන එකත් දෙකම එකට කතා කරන්නයි. වෙන විදියකට කිව්වොත් 2019 වෙනකොට මේ දැන් අපි ඉන්න යථාර්තය සකස් වුනේ කොහොමද කියන ප්‍රශ්නය වගේම, 1974 වෙනකොට අවුරුද්දකට වඩා පොඩ්ඩක් වැඩි පොඩි ළමයෙක් 2019 වෙනකොට මේ සියලු අත්දැකීම් අතරින් ඇවිත්, විවිධ දේශපාලන සංචලනවලට ලක්වෙලා අද වෙනකොට ඉන්නේ මොන වගේ තේරුම් ගැනීමක ද කියන ප්‍රශ්නයත් එකවර අහන්නයි.  

අපි ඉස්සෙල්ලම බලමු රටට මොකද වුනේ මේ අවුරුදු 46 කට වැඩි කාලය ඇතුළේ කියලා. ඇත්තටම මම මෙතැනදී හැම දෙයක් ම කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම කතා කරන දේවලින් හැම දෙයක්ම නියෝජනය වෙයි කියල මම විස්වාස කරනවා. විශේෂයෙන්ම මම මතුකරන්න හදන කාරණයට අදාළ ව ගත්තොත්. බණ්ඩාරනායක මැතිනියගේ යාපනය සංචාරයෙන් අවුරුද්දක් ගෙවෙන්නත් කලින් 1975 ජුලි 27 වෙනිදා අල්ෆ්‍රෙඩ් දොරේඅප්පා ඝාතනය කෙරෙනවා. එක සංදර්භයක විමුක්තිකාමීන් විදියටත් තවත් සංදර්භයක ත්‍රස්තවාදීන් විදියටත් අරුත් ගැන්වෙන LTTE සංවිධානය අනෙක් සන්නද්ධ ද්‍රවිඩ කණ්ඩායම් යටපත් කරගෙන ද්‍රවිඩ ජනයාගේ එකම විමුක්තිදායකයා විදියට තහවුරු වුනා. මම දැක්කා මේ පොතේ සටහන් අතරේ දෙමළ ශිෂ්‍යයෝ සහ ඔවුන්ගේ අම්මලා තාත්තලා පවා කියනවා කියල ප්‍රභාකරන් අපට වීරයෙක් කියල. හැබැයි මේ වීරාභිවාදනය යට තියෙන්නේ ප්‍රචණ්ඩ ඒක රේඛීය ඉතිහාසයක්. මේ කිසි කෙනෙක් උමා මහේෂ්වරන්, සභාරත්නම්, කුට්ටිමනී, සිවකුමාරන්, සත්‍යසීලන් වගේ අය ගැන දන්නේ නැතුව ඇති. එක්කෝ දන්නේ ඔවුන් ද්‍රෝහීන්, පාවාදෙන්නන් විදියට ආඛ්‍යානගත කරපු අධිපති ඉතිහාසය විතරක් වෙන්න ඇති. එහෙම බැලුවම දකුණේ වීරයෝ හැදෙන විදියයි උතුරේ වීරයෝ හැදෙන විදියයි අතර ලොකු වෙනසක් නැහැ.

1983 ජුලි 23 හමුදා සෙබළු 13 දෙනෙක් ඝාතනය, 24 වෙනිදා කොළඹ අගනගරයෙන් ආරම්භ වෙලා රට පුරා පැතිරුණු කළු ජූලිය කියල අපි හඳුන්වන ප්‍රචන්ඩ ක්‍රියා මාලාව, ඉන්දු-ලංකා ගිවිසුම යටතේ ඉන්දියන් සාම හමුදාව පැමිණීම, නොයෙක් සාකච්ඡා, සටන් විරාම මැද කෙරුණු යුද්ධය, ඒක අවසන් වුනේ මහා ජන ඝාතනයකින්. ඒ යුද්ධය උතුරට මහා විරුවන් ඉතිරි කළා. දකුණට රණවිරුවන් ඉතිරි කළා. අසූ අට අසූ නමය  කාලේදී ඝාතකයෝ, වධකයෝ, මිනීමරුවෝ වෙලා හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන්ම තමයි මේ රණවිරුවෝ විදියට දකුණේදී භෞතිස්ම උනේ.

මට මෙතන දී අවුරුදු කිහිපයකට කලින් අපි දැන් මේ වාඩිවෙලා ඉන්න ඔඩිටෝරියම් එකේ ම සිදුවුණු සිදුවීමක් මතක් වෙනවා. අපේ ශිෂ්‍යාවකගේ පොතක් දොරට වඩින උත්සවයක් තිබුනා. ඒකෙ නිවේදන කටයුතු කළේ ඔය පස්සේ කාලෙක මන්ත්‍රීවරයෙක් වුණු නිරෝෂන් ප්‍රේමරත්න මහත්මයා. එයා ඒ වෙනකොට මේ විශ්විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍යයෙක්. ඉතිං එයා උත්සවය පටන් ගන්න කලින් මෙහෙම නිවේදනයක් කළා. “සියලු ආකාරයේ ත්‍රස්තවාදී උවදුරුවලින් රට ආරක්ෂා කළ, අප වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ  අපේ ආදරණීය රණවිරුවන් ද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තම දිවි කුසුම මුදා හළ වෙනුර-ත්‍රීමා පරපුරේ සිසු විරුවන්ද සිහි කිරීම සඳහා නැගී සිට විනාඩියක  නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා” කියලා. මම නැගිටලා එලියට ගියා. ආචාර්යවරු ඇතුළු එතැන හිටපු හැමෝම නැගිටලා විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වල ඝාතනයට ලක්වුණු අයයි ඝාතනය කරපු අයයි දෙගොල්ල ම එක සැරේ සැමරුවා.මේ මොන විකාරයක් ද මේක කියල එදා මට හිතුණු දේ අනෙක් අයට හිතුනේ නැත්තේ ඇයි කියල මට අදටත් තේරුම් ගන්න බැහැ. මේක නරුමවාදයක් නෙමෙයිද? මේ තරම් අසංවේදී වෙන්න පුළුවන්ද අපිට? නිරෝෂන් ප්‍රේමරත්න මහත්තයට එහෙම  පුළුවන් වෙන්න පුළුවන්. එයාගේ දේශපාලන තෝරා ගැනීමෙන්ම ඒක පෙන්නුම් කරලා තියෙනවනේ. ඒත් එදා ඒ සභාවේ හිටපු ශිෂ්‍ය සංගමයේ සභාපති, ලේකම් ඇතුළු සියලු දෙනාමත් ඔහුගේ “විධානයට” අවනත වෙලා නැගිට්ටා. මම “විධානය” කියල කිව්වේ න්‍යායාත්මක අදහසකින්. ඒ කියන්නේ “භාෂණ-ක්‍රියා  න්‍යායට” අනුව. ස්පීච්-ඇක්ට් තියරි එකට අනුව. සරල ව කිව්වොත් මේකෙන් අදහස් කෙරෙන දේ තමයි අපි යමක් කියන කොට එය අහන කෙනාගේ ක්‍රියාවක් වෙත යොමුවෙනවා කියන එක. ඉල්ලීමක්, අනතුරු ඇඟවීමක්, ආරාධනයක්, අනාවැකි කීමක්, සමාව ඉල්ලීමක්, සහතික වීමක් වගේ. මේ හැම අවස්ථාවක ම අහන කෙනාට කරන්න දෙයක් තියෙනවා. ඇක්ට් එකකට යොමු වෙන්න වෙනවා. ඉතින් නිරෝෂන් කිව්වම මෙහෙම කරන්න කියල ඕඩියන්ස් එකේ ඉන්න අයට ඒ ඇක්ට් එක කරන්න වෙනවා.

මම මේ ළඟදී නිරීක්ෂණය කළ දෙයක් තමයි වර්තමාන හමුදාපතිතුමාමත් ආරක්ෂක අංශ ගැන සඳහන් කරන කොට කියන්නේ “රණවිරුවෝ” කියල. ඉතින් ඒක කොච්චර සාමාන්‍ය වචනයක් බවට පත්වෙලාද කියල අපිට හිතා ගන්න පුළුවන්. මේ ළඟදී මම හිටිය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලේක සහකාර කථිකාචාර්යවරු බඳවා ගැනීම සඳහා තිබුණු එක්තරා අධ්‍යයනාංශයකට. ඒකට ආපු එක අපේක්ෂිකාවකගේ උපාධි නිබන්ධය මම ඉල්ලගෙන බැලුවා. ඒකෙ  තිබුනේ “රණවිරුවන්ගේ” කියන වචනයෙන් පටන් අරගෙන “පිළිබඳ අධ්‍යයනයක්” කියන එකෙන් අවසන් වෙන මාතෘකාවක්. මම ඇයගෙන් ඇහුව රණවිරුවෝ කියන්නේ කවුද කියල. ඒ ළමය පුදුමෙන් වගේ මගේ මූණ දිහා බලන් හිටියා. හරියට “මේ මොන පිස්සෙක්ද මේ?” කියන්න වගේ. ඉතින් උපාධි නිබන්ධයක් ලියන්නේ ආචාර්යවරයෙකුගේ අධීක්ෂණය යටතෙනේ. ඉතින් අර ළමයාගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි නේ. අනික මේකේ තියෙන උත්ප්‍රාසය තමයි මේ අධ්‍යයනාංශයේ උගන්වන විෂය අවධාරණය කරන්නෙම ආත්මමූලිකත්වය බැහැර කරන්න කියල. ඒ කියන්නේ සබ්ජෙක්ටිව් වෙන්න එපා කියල. දැන් මගේ විෂයය ගත්තොත් ඒක සබ්ජෙක්ටිව් නේ කොහොමත්. නවකතාවක් ලියන්න සබ්ජෙක්ටිව් වෙන්න ම ඕනි වගේම තමයි ඒක විචාරය කරද්දීත් එහෙම නොවී බැහැ කියන එක. විචාරකයා මතුවෙන තරමට ම තමයි විචාරය වැදගත් වෙන්නේ. වැරදි වැටහීමක් ඇති වෙන එක වලක්වන්න මේකත් කියන්න ඕනි. මේ අපේක්ෂිකාව අපේ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් නෙමෙයි. අපිට වඩා රෑන්කින්වලින් උඩ ඉන්න විශ්වවිද්‍යාලයක උපාධිධාරිණියක්. මට කියන්න ඕනි උනේ පොඩි කාලයක් ඇතුළත “රණවිරුවා” කියන වචනය කොයි තරම් සාමාන්‍යකරණය වෙලාද කියන එක විතරයි. ඉතින් ඕකම අනික් පැත්තට දාගත්තම උතුරේ ප්‍රභාකරන් සහ LTTEය වීරත්වයට පත්වීම තේරුම් ගන්න ලේසියි.     

ඉතිං  අපි ආපහු  අපි කතා කරමින් හිටපු දේට ගියොත් දිග්ගැස්සුණු යුද්ධය විසින් උතුරේ මහා විරු ස්මාරක වෙනුවට දකුණේ හන්දි හන්දි ගානේ බස් හෝල්ට්, පාරවල් රණවිරුවන්ගේ නම්වලට වෙන් වුනා. දකුණේ දේශපාලනය ඇතුළේ උතුර කියන සාධකය අධිනිශ්චය වුනා. දේශප්‍රේමය ප්‍රතිඅර්ථ  ගැන්වුනා. උතුරේ දේශපාලනය තුළ  දකුණ කියන සාධකය අධිනිශ්චය වුනා. “දෙමළාගේ ප්‍රශ්නය” ප්‍රතිඅර්ථ ගැන්වුනා. මේ ඔක්කොම අතරේ බල හුවමාරුවේ අලුත් ව්‍යුහයක් උතුරෙත් දකුණෙත් ගොඩනැගුණා. 

ඊ ළඟට අපි ගත්තොත් රාජ්‍යය මේ කාලය තුළ උතුර සම්බන්ධයෙන් තුන් ආකාරයක ව්‍යපෘති ක්‍රියාත්මක කරලා තියෙනවා. එකක් තමයි යුධ ව්‍යාපෘතිය. හිටපු සියලුම ආණ්ඩු මේ ව්‍යාපෘතිය කළා. මම කියන්නේ යුද්ධය කරා කියන එක නෙමෙයි. යුද්ධ ව්‍යාපෘතිය කරා කියන එකයි. ඒක “අපි වෙනුවෙන් අපි” වගේ යුධ ප්‍රවර්ධන වැඩසටහන්, කරුණා අම්මාන් සංවිධානයෙන් වෙන් කිරීම වගේ උපක්‍රමික මෙහෙයුම්, යුධ මෙහෙයුම් වගේ අංග රාශියක එකතුවක්. නන්දිකඩාල්වලදී අපි දැක්කේ ඒ යුධ ව්‍යාපෘතියේ අවසන් මෙහෙයුම. දකුණේ පාරවල් ගානේ කිරිබත් ඉදුනේ ඒ යුධ මෙහෙයුමේ යුධ ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය පෙන්වමින්. රාජ්‍යයේ මේ යුධ ප්‍රවර්ධක ව්‍යාපෘතිවලට ජනතා විමුක්ති පෙරමුණේ “මානෙල් මල් ව්‍යාපාරය” වගේ තවත් යුධ ප්‍රවර්ධක ව්‍යාපෘති හොඳට පෑහුණා.  

හරිම අපූරු  දේ තමයි මේ යුධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරපු රාජ්‍යයට ම (මම මෙතැනදී රාජ්‍යය කියන වචනේ පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය කියන පුළුල් අර්ථයෙන්. දේශපාලන විද්‍යාවේදී භාවිත වෙන අර්ථයෙන්. වෙන විදියකට කිව්වොත් ආණ්ඩු වෙනසක් නැතුව පැවති හැම ආණ්ඩුවක්ම ඇතුළත් වෙන අර්ථයෙන්). සාමය හා සංහිඳියාව ව්‍යාපෘතියකුත් තිබුණා. සුදු නෙළුම්, පැකේජය, ව්‍යවස්ථා සංශෝධනය  වගේ නම්වලින් එලියට එන්නේ ඒ ව්‍යාපෘතිය. දැන් අපි ගත්තොත් ONUR එක උනත් එහෙමනේ. යුධ ව්‍යාපෘතිය ගෙනියපු රාජ්‍යයම තමයි සංහිඳියා ව්‍යාපෘතිය ගෙනි යන්නෙත්. මේක අපි දන්නේ නෑ වගේ ඉන්නවා. කාට හරි හොඳටම ගහල ගහල ගහපු එකාම තෙල් ගාන්න එනවා වගේ වැඩක් මේක. කාට හරි තර්ක කරන්න පුළුවන් යුද්ධ කළේ ත්‍රස්තවාදීන් එක්ක සංහිඳියාව ඇති කරන්න යන්නේ ජනතාව එක්ක කියල. නමුත් ප්‍රශ්නේ මේකයි. ඒ අම්මලට තමන්ගේ පුතාල දූලා ත්‍රස්තවාදීන් නෙමෙයි නේ? ඉරක් ගහල බෙදල වෙන් කරන්න පුළුවන් තරමේ සරල බෙදීමක් නෙමෙයිනේ මේක. දකුණෙත් මේක මෙහෙම ම නේ. 88-89 මරල දාපු කොල්ලෝ කෙල්ලෝ “ත්‍රස්තවාදීන්” ද? හරි ජේ.වී.පී. එකට සම්බන්ධ අය “ත්‍රස්තවාදීන්” කියල නම් කළා කියමුකෝ. එහෙම කිසිම සම්බන්ධයක් නැති කොල්ලෝ කෙල්ලෝ මැරුණේ නැද්ද? 

ඊ ළඟ එක තමයි රාජ්‍යයේ සංවර්ධන ව්‍යාපෘති. ඇත්තටම යුද්දෙට ඉස්සෙල්ලත්, විශේෂයෙන් ම ඊට පස්සෙත් රාජ්‍යය උතුර සම්බධයෙන් සංවර්ධන ප්‍රවේශයක හිටියා. දැන් ඔය සමහරු කියනවනේ උතුරේ අඩු සංවර්ධනය තමයි සන්නද්ධ ව්‍යාපාර ඇතිවීමට හේතුව කියල. මේක අර්ධ සත්‍යයක්. පස්සේ කාලේ ගම්වල දුගී තරුණයෝ මේවට බැඳෙන්න ඇති. නමුත් ඒවායේ න්‍යායික සම්භවය තිබුනේ දෙමළ ප්‍රභූ සහ  මධ්‍යම පන්තිය තුළ. මේක දකුණේ සන්නද්ධ නැගිටීම සම්බන්ධයෙනුත් මේ ආකාරයෙන් ම අදාළයි. මේ අරගල දෙකම එක විට ම නූතනත්ව ව්‍යාපෘතියේ ප්‍රතිපල සහ ගොදුරු. ඒ කියන්නේ මේ අරගල දෙකම ඇති වෙන්නේ නූතනත්ව ව්‍යාපෘතියේ ආවේනික ගැටලුව නිසා. අනික් අතට මේ අරගල දෙක ම අවසාන වශයෙන් ඉල්ලුවේ නූතනත්ව ව්‍යාපෘතිය. එකක් “සමාජවාදය” මිශ්‍ර දේශානුරාගයක් එක්ක ඒකීය රාජ්‍යය සහතික කිරීමක් (ඇත්තට ම ගත්තොත් සමාජවාදය කියන එකෙන් අදහස් කෙරුනේ මධ්‍යම පන්තියට සංක්‍රමණය වීමට තියෙන අවස්ථා වැඩි කිරීම වගේ දෙයක්) ඉල්ලුවා. අනෙක “වෙනම රාජ්‍යයක්” ඒ කියන්නේ තවත් රාජ්‍යයක් ඉල්ලුවා. එහෙම ගත්තහම උතුරෙත් දකුණෙත් සන්නද්ධ නැගිටීම් දෙක ම පිළිතුර විදියට ඉල්ලා සිටියේ නූතන රාජ්‍යය නැවත තහවුරු කිරීමක්. ඒකයි මම කිව්වේ ඒ විදියට බැලුවම මේ අරගල දෙක ම එක ම විට  නූතනත්ව ව්‍යාපෘතියේ ප්‍රතිඵල සහ ගොදුරු කියලා.   

මම කියමින් හිටියේ උතුර සම්බන්ධයෙන් රාජ්‍යයේ සංවර්ධන ව්‍යාපෘතිය ගැන. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සභාග ආණ්ඩුවේ ධීවර ඇමති ජෝර්ජ් රාජපක්ෂ යාපනයේ ධීවර පුහුණු විද්‍යාලය විවෘත කරන්නේ, මැතිනිය යාපනය විශ්වවිද්‍යාලය විවෘත කරන්න කලින්. යුද්දෙන් පස්සේ විශේෂයෙන් ම බැසිල් රාජපක්ෂ මහත්මයාගේ “උතුරු වසන්තය” වගේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක උනා.      

ඊ ළඟට අපි ගත්තොත් රාජ්‍යයට පිටින් මේ කාලය තුළ තහවුරු වෙන සහ ව්‍යාපෘති ඉදිරිපත් කරන කණ්ඩායම් තුනක් ඉන්නවා. ඒවා තමයි ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, සහ ජාත්‍යන්තර ප්‍රජාව කියන පොදු වර්ගීකරණයෙන් දැක්වෙන කණ්ඩායම් තුන. ලංකාවේ සර්වෝදය වගේ කිහිපයක් ඇරෙන්න රාජ්‍ය නොවන සංවිධානවල ලොකු ව්‍යාප්තියක් තිබුනේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් රතු කුරුස සංවිධානය වගේ ඒවා ප්‍රසිද්ධ වෙලා තිබුනා. ඒ කාලේ ඉස්කෝලවල බෙදපු “ඇදිහැස” විස්කෝතු නිසා සහ සමාජ අධ්‍යයන පෙළ පොතේ තිබුණු නිසා එක්සත් ජාතීන්ගේ සංවිධාන ගැන දැනගෙන හිටියා. 1988-1989 කාලයේදී අපි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියල එකක් ගැන අහල තිබුනා. නමුත් ඒ ඇරෙන්න දැන් තියෙනව වගේ ජාත්‍යන්තර සංවිධානවල සහ රාජ්‍ය නො වන සංවිධානවල සංකීර්ණ ක්‍රියාකාරිත්වයක් අපි දැක්කේ නැහැ. විශේෂයෙන් ම මට හිතෙන්නේ “රණවිරුවා” වගේ ම “ජාත්‍යන්තර ප්‍රජාව” කියන වචනයත් අපේ වාක් කෝෂයට ඇතුළත් වෙලා තියෙන්නේ මෑතක කියල යි. ඒක පර්යේෂණයක් කරලා හොයල බලන්න වටින දෙයක්. කොහොම උනත් මේ කණ්ඩායම් තුන, ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන, විශේෂයෙන් ම පශ්චාද්-යුද ශ්‍රී ලංකාව ඇතුළෙ මේ පාර්ශවවල   ක්‍රියාකාරිත්වය අධිනිශ්චය වුනු දෙයක් බවට පත්වෙලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව කියල කියන්නේ තේරෙන භාෂාවෙන් කිව්වොත් ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍යවලින් එල්ල වන බලපෑම. මානව හිමිකම් උල්ලංඝනය වගේ ප්‍රශ්න. විශේෂයෙන් උතුරේ ප්‍රශ්නෙදි නම් ඉන්දියාවෙන් එල්ල වන බලපෑම. මේ හැම කණ්ඩායමක් ම පෙනී ඉන්නේ යම් විදියකින් මැදිහත්කරුවන් විදියට තමයි. නමුත් ඇත්තටම ගත්තොත් ඔවුන් මෙහි අභිලාශ කණ්ඩායම්. තමන්ගේ වූ අභිලාශයක් මේ හැම කණ්ඩායමකට ම තියෙනවා. වෙන විදියකට කිව්වොත් මේක දැන් සිංහල-දෙමළ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. තව බොහෝ පාර්ශ්ව තම තමන්ගේ අභිලාශ සහිත ව  සම්බන්ධ වෙච්ච සංකීර්ණ දෙයක්. ඇත්තටම ගත්තොත් යුධ වාතාවරණයට වඩා මේ පශ්චාත් යුධ වාතාවරණය අපි හිතනවට වඩා සෑහෙන්න සංකීර්ණයි. එහෙම වෙන්නේ මේ එකිනෙක ලිහන්න බැරි විදියට ගැට ගැහිලා තියෙන නිසා. ඒ කොහොමද කියල මන් ඊළඟ කට්ටිය ගැන කතා කරන කොට කියන්නම්.    

ඊ ළඟට ඩයස්පෝරාව. මම මෙතැනදී විශේෂයෙන් අදහස් කරන්නේ දෙමළ ඩයස්පෝරාව. මොකද දෙමළ ඩයස්පෝරාව ඍජුව ම කළු ජූලියේ සහ යුද්ධයේ නිර්මාණයක්. දෙමළ ඩයස්පෝරාවේ පැවැත්ම තියෙන්නේ ම ලංකාවේ දෙමළ ජනයාට අසාධාරණයක් වෙනවා ය කියන එකේ. ඒ නිසා දැන් ඇත්තටම වෙලා තියෙන්නේ ඩයස්පෝරාව ඒ මතය නඩත්තු කරන එක. එහෙම ගත්තොත් සංහිඳියාවට තියෙන ලොකුම බාධාවක් තමයි ඩයස්පෝරාව. මොකද සවිඥානික ව නොවුනත් අවිඥානිකව හරි ඔවුනගේ ප්‍රාර්ථනාව වෙන්නේ දෙමළාට දිගින් දිගටම අසාධාරණය සිදුවීම.  එයාලගේ ආමන්ත්‍රණය කෙලින් ම යොමු වෙන්නේ අර මම කලින් කියපු ජාත්‍යන්තර ප්‍රජාවට, විශේෂයෙන් ම බටහිර සහ යුරෝපීය රාජ්‍යවලට. ඒ ගොල්ලෝ ගතු කියන්නේ, තමන්ට වෙන අසාධාරණකම් ගැන කියන්නේ මේ ජාත්‍යන්තර ප්‍රජාවට. ඉතින් අර මෙහේ ඉන්න අපිට නැති අමුතු සිංහල බෞද්ධ අමාරුවක් තියෙන පිටරට ඉන්න සිංහල අයට වගේම මෙයාලට දෙමළ අධිඅනන්‍යතාවක් ඕනි කරනවා. අනික් අතට යාපනයේ දැන් ආර්ථිකය හැදිලා තියෙන විදියට ඒක විශාල වශයෙන් මේ ඩයස්පෝරාව මත පරායත්ත වෙනවා. ඉතින් මේ නිසා, ඩයස්පෝරාව, ජාත්‍යන්තර ප්‍රජාව, විතරක් නෙමෙයි යාපනයේ ආර්ථිකයත් එකිනෙක  මත පරායත්තයි. 

 ඊ ළඟට අපි ගත්තොත් ඇකඩෙමියාව. මම හිතන්නේ ඇකඩෙමියාව ඇතුළේ  වැඩියෙන් ම ඩිමාන්ඩ් එකක් තියෙන මාතෘකාවලින් එකක් තමයි මේ ජනවාර්ගික ප්‍රශ්නය කියල නම් කෙරිලා තියෙන දෙය.  ෆන්ඩ්ස් ගන්න පුළුවන්, ග්‍රාන්ට්ස් වැඩිපුර තියෙන මාතෘකාවක්. මේ වෙනුවෙන් කරපු සම්මන්ත්‍රණ, ගහපු පොත්, ප්‍රකාශයට පත්කරපු පර්යේෂණ පත්‍රිකා කොච්චරද කියනව නම් මේකෙන් ම ප්‍රොමෝෂන් ගනිපු සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ විතරක් නෙමෙයි පිටරට විශ්වවිද්‍යාලවලත් ඉන්නවා. 

ඊළඟට අපි ගත්තොත් යුද්ධය  එහි පසු තත්වයන් දේශපාලනය තුළ කළ බලපෑම, ඒක හරිම සංකීර්ණයි. ඒක උතුර, දකුණ, ජාතිකවාදී, ජාතිවාදී (සිංහල දෙමළ දෙවර්ගයේ ම), ධනපති, වාමාංශික, ලිබරල්, කොන්සර්වටිව් වගේ විභේධනයන් පුරා පැතිරිලා තියෙන එකක්.  පහුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය ජනාධිපතිවරයා විසින් ම සඳහන් කරපු විදියට බහුතර සිංහල ජනයාගේ ඡන්දයෙන් ලබාගත් ජයග්‍රහණයක්. ඒකෙන් නොකියා කියවෙන දෙය තමයි දකුණෙන් විතරක් ජනවරමක් අරගෙන උතුර පාලනය කරන්න පුළුවන් කියන එක. ගෝඨාභය රාජපක්ෂ වැනි චරිතයක් ලංකාවේ දකුණේ දේශපාලනය තුළ මතුවෙන්නෙම යුද්ධය විසින් ඇති කරපු දේශපාලන චලනයන් නිසා. මේ වගේම සුරේන් රාඝවන් මැතිතුමා ආණ්ඩුකාරවරයෙක් වෙන එක, විග්නේශ්වරන් මැතිතුමා  උතුරු පළාත් මහ ඇමති වෙන එක, විතරක් නෙමෙයි කොළඹ කේන්ද්‍රීය සමාජ ක්‍රියාධරයන් ලෙස තමන්ම නාමකරණය කර ගන්නා පුද්ගලයන් මාධ්‍ය සාකච්ඡාවල චරිත විම වගේ ගොඩක් දේවල්  මේ දේශපාලන චලනයේ ප්‍රතිඵලයක් විදියට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අර අවුරුද්දකට සැරයක් දෙපැත්තෙන්ම ජිනීවා යන කට්ටිය, වගේ විසිරුණු පැතිරුණු කණ්ඩායමක් මේකට අයත් වෙනවා. කෙටියෙන් කිව්වොත් උතුරේත්, දකුණේත් වර්තමාන දේශපාලන අවකාශයේ ඉන්න පක්ෂ, කණ්ඩායම්, චරිත අති බහුතරයක් යුද්ධය සහ එහි පසු තත්ත්වයන් විසින් තත්ත්වාරෝපිත යි. වෙනත් විදියකින් කිව්වොත් උතුරේත් දකුණේත් දේශපාලන අනන්‍යතා සහ බල ව්‍යුහ සකස්වීම කෙරෙහි මේක තීරණාත්මක ලෙස බලපානවා.           

දැන් මේ මම පෙන්නපු වාර්තා චිත්‍රපටිය මතු කරන දේවල් nation building, communal harmony වගේ, අපි දැන් ආපහු කතා කරමින් ඉන්නවා. නමුත් ඒ කාලේ වගේ නෙමෙයි, දැන් මේකට සම්බන්ධ අභිලාෂ කණ්ඩායම් සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඒ අභිලාශ වෙනස් විතරක් නෙමෙයි එකිනෙක ගැටෙනවා සමහර වෙලාවට. ඒ නිසා ම තත්ත්වය සංකීර්ණ වෙලා තියෙනවා, එදාට වඩා. දැන් අපි ගත්තොත් මෙහෙම. රාජ්‍යය සංහිඳියා ව්‍යාපෘතිය අරන් යන්නේ සංහිඳියාව ඇති කරන්නම නෙමෙයි. ඊට වඩා ඒකෙ අරමුණ තමයි රාජ්‍යයට සංහිඳියා ව්‍යාපෘතියක් තිබෙන බව තහවුරු කිරීම. ඒක අවශ්‍ය වෙන්නේ අර මම කියපු ජාත්‍යන්තර ප්‍රජාව එක්ක ගනුදෙනුවට. ජාත්‍යන්තර ප්‍රජාවෙන් බලපෑමක් එනකොට රජයට කියන්න දෙයක් තියෙනවා. පෙන්නන්න දෙයක් තියෙනවා. අනික් පැත්තට ගත්තොත් අර මම කලින් කිව්වා වගේ දෙමළ ඩයස්පෝරාව යැපෙන්නේ දෙමළ අධිඅනන්‍යතාවක් මත. ඒ අධිඅනන්‍යතාවේ  ස්වභාවය ම තමයි තමන්ට ජනවර්ගයක් ලෙස පීඩනයක් තියෙනවාය කියන එක. ඉතින් ඒ ගොල්ලෝ සවිඥානික නැතත් අවිඥානික ව හරි සංහිඳියාවට එරෙහි වෙන්න ම ඕනි. මේක ඇත්තට ම ගත්තොත් නිව්ටන් ගුණසිංහ කියපු ලංකාවේ දේශපාලනය තුළ වාර්ගිකත්වය අධිනිශ්චය වීමට එහා ගිහිපු තත්ත්වයක් විදියටයි මම නම් දකින්නේ.  

ඉතින් මම මෙතනින් මේක නවත්තලා අනික් පැත්තට යනවා. ඒක  මම ගැන කතාව. අනික් අතට මේක මගේ කතාව වගේම මගේ පරපුරේ කතාවකුත් මේකෙන් කියෙනවා. මේක මගේ ලොකුකම් ගැන කතාවක් නෙමෙයි. ඇත්තටම කීවොත් මගේ මෝඩකම් ගැන කතාවක්. නමුත් එහෙම කියන්නත් බැහැ. මොකද ඒ මාර්ගයේ ඇවිත් තමයි  මම දැන් ඉන්න තැනට ළඟා වෙලා තියෙන්නේ. මම ඉන්න තැන කියන එකෙන් මම අදහස් කරන්නේ දැන් සිංහල අධ්‍යයනාංශයේ හෙඩ් වෙලා ඉන්න එක නෙමෙයි. මම දැන් ඉන්න මතවාදී ස්ථාවරය. මගේ සමාජ-දේශපාලනික දැක්ම කියන එකයි මම අදහස් කරන්නේ. අර හරි ප්‍රචලිත කියමනක් තියෙනවනේ “ඔලුවෙන් හිටවපු හේගල්ගේ දයලෙක්තිය මාක්ස් දෙපයින් සිටෙව්වය” කියල. ලංකාවේ මාක්ස්වාදියෝ මේක කියන්නේ හරියට මාක්ස් හේගල්ගේ න්‍යායට පයින් ගහල අලුතින් ම එකක් ගෙනාවා වගේ අදහසකින්. නමුත් ඇත්තට ම ජර්මානු විඥානවාදී දර්ශනයේ මහා සම්ප්‍රදාය නොතිබෙන්න මාක්ස් කෙනෙක් නැහැ. ඇත්තටම එහෙම බැලුවම මාක්ස්ගේ න්‍යාය කියන්නේ ඒකෙ දිගුවක්, එක්ස්ටෙන්ෂන් එකක්. ඒ වගේ මේ දැන් ඉන්න මම කියන්නේ මගේ අතීත ක්‍රියාකාරකම්වල දිගුවක්. මම දැන් විස්වාස කරන දේවල්, පෙනී සිටින දේවල් ඉස්සර මම පෙනී සිටිය දේවලට සපුරා වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒවා අතරින් තමයි දැන් ඉන්න තැනට ආවෙ කියන එක තමයි ඇත්ත. 

ඉතින් මම කියන්න යන්නේ මගේ, මගේ මතවාදී ඉතිහාසය ගැන.

මට මතක කාලෙන් පටන් ගත්තොත් මම හිතන්නේ මම ඉස්කෝලේ හයේ පන්තියේ වගේ ඉන්න කාලේ. අපේ සීයට කඩයක් තිබුණ ඉමදුව ටවුන් එකේ. ඉමදුව ලී බඩු වෙළඳ සැල ඒකෙ නම. ඇත්තටම සීයා කළේ මොරටුවෙන් ලී බඩු ගෙනත් පොලිෂ් කරලා විකුණන එක. සීයා හැමදාම උදේට නාල සුදු සරමයි සුදු ෂර්ට් එකයි ඇඳලා කඩේට යනවා. සීයා ටිකක් වෙනස් මනුස්සයෙක්. විනයවර්ධන සංගමයේ සාමාජිකයෙක්. යූ. එන්. පී. එකට තදින් විරුද්ධයි. සීයා  කැමති ප්‍රාදේශීය දේශපාලනඥයා උනේ ප්‍රින්ස් ගුණසේකර මහත්තයා. ඊට පස්සේ කාලෙක ජෝර්ජ් රත්නායක කියල හබරාදුව ආසනේ කොමියුනිස්ට් පක්ෂේ සංවිධායක හැටියට හිටපු කෙනා. ගොඩක් දවසට මමත් ඉස්කෝලේ ඉවර වෙලා කඩේට යනවා. සීයා මට සල්ලි දීල කියනවා “ඇත්ත පත්තරේකුයි, සුරුට්ටු මිටියකුයි” ගේන්න කියල. ඒ කාලේ ඇත්ත පත්තරේ දිනපතා පත්තරයක්. කොමියුනිස්ට් පක්ෂේ පත්තරේ උනාට ඒක පක්ෂේ නො වන අයත් බැලුවා. හරි වෙනස් හෙඩින්ග්ස්. මම පස්සේ කාලෙක අහල තියෙනවා ඩඩ්ලි සේනානායක මහත්තයත් හැමදාම ඇත්ත පත්තරේ බැලුව කියල. පිටු දෙකයි. බ්ලැක් ඇන්ඩ් වයිට්. යූනිස්ගේ කාටුන් එක තියෙනවා. මට තාම මතකයි හැමදාම පත්තරේ යට යන ස්ලෝගන් එකක්. “බේරේ ගෙදර සමයං ගෙදර පච පත්තර වර්ජනය කරමු” කියල. ඕකේ බේරේ ගෙදර කිව්වේ නම් ලේක් හවුස් එකට. සමයං ගෙදර කිව්වේ මම හිතන විදියට ඒ කාලේ තිබුණු තව ප්‍රෙස් එකකට. මම පස්සේ කාලෙක තමයි දැන ගත්තේ බී. ඒ. සිරිවර්ධන තමයි ඒ කාලෙ ඇත්ත කර්තෘ විදියට වැඩ කරලා තියෙන්නේ කියල. සුරුට්ටු මිටිය ගැන. මිටියක් කිව්වට ඒකෙ තියෙන්නේ සුරුට්ටු හයයි. කළු සුරුට්ටු. ඉතින් මම පත්තරේ ගෙනත් දුන්නම සීයා සුරුට්ටුවකුත් පත්තු කරගෙන පත්තරේ බලන්න ගන්නවා. සුරුට්ටු දෙකක්, පැය දෙකක් යනකොට සීයා මුළු පත්තරේම බලල ඉවරයි. ඔය අතරේ කවුරු හරි අල්මාරියක්, මේසයක්, පුටු සෙට් එකක් ගන්න අවොත් වෙලාව පොඩ්ඩක් එහෙ මෙහේ වෙනවා. ඔය සුරුට්ටු තෙතයි. එක දිගට පත්තු වෙන්නේ නැහැ. ඉතින් පස් හය පාරක් පත්තු කරනවා. සීයා පත්තරේ කියවල ඉවර වුනාම මගේ වාරේ. පැය එක හමාරයි, එක සුරුට්ටුවක්වත් නෑ මමත් පත්තරේ කියවල ඉවර කරනවා. හැන්දෑවට කඩේ වහල අපි දෙන්නම එකට ගෙදර යනවා. 

ඉතින් හයේ පන්තියේදී විතරත් මට දේශපාලන මතයක් තියෙනවා. ඒ තමයි අපේ සීයගේ දේශපාලන මතය, ඇත්ත පත්තරේ දේශපාලන මතය. යූ. එන්. පී. එකට මාරාන්තික ව විරුද්ධයි. සභාග ආණ්ඩුවෙන් පස්සේ එස්.එල්.එෆ්. පී එක කියන්නෙත් වම. පස්සේ කාලේ අපේ සීයත් ශ්‍රී ලංකා කාරයෙක් උනා. ඉතින් මාත් සීයා  ගිය පැත්තටම ගියා. මට අද වගේ මතකයි ඉමදුව ටවුන් එකේ ඉලෙක්ෂන් මිටින්ග් එකක් තිබුනා. ඒකට විජය කුමාරතුංග ආවා. මම ස්ටේජ් එක ඉස්සරහටම ගිහින් මේ ලස්සන මනුස්සය කතා කරන එක කට ඇරගෙන අහන් හිටියා. ඒ තමයි මම විජය කුමාරතුංග හැබැහින් දැකපු පළවෙනි සහ අන්තිම වතාව.    

නමුත් මම දේශපාලන සංවිධානයකට කියල ඉස්සෙල්ලම එකතුවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. කැම්පස් යන්නත් කලින්. ආපහු හැරිලා බලන කොට ඇත්තටම අපිට මහා ලොකු දේශපාලන අවබෝධයක් තිබුනේ නැහැ. ආකර්ෂණයක් තිබුණා. මැක්සිම් ගෝර්කිගේ අම්මා චින්ගීස් අයිත්මාතොව්ගේ ගුරු ගීතය වගේ පොත් කියවල තමයි අපි ආකර්ෂණය වුනේ. තව සුනිල් මාධව ප්‍රේමතිලකගේ භාවාතිශය ලිපිත් අපිට පුදුම රැඩිකල් ආශ්වාදයක් ගෙන දුන්නා. විශේෂයෙන් දිවයින පත්තරේ අටවැනි පිටුව කියල එකක් ඔහු කළා ඒ කාලේ. ඉතින් අපි අපේ පරිකල්පනය ඇතුළේ අපිවම පවෙල්ල, දුයිෂෙන්ල වගේ තමයි දැක්කේ. (මං හිතන්නේ කවුරුවත් තාම හිතල නැති ඒත් හොයල බලන්න වටිනා දෙයක් තමයි රුසියානු සාහිත්‍යය ලංකාවේ සමාජයට කරපු බලපෑම. ප්‍රගති ප්‍රකාශකයෝ නෙමෙයිද අපේ සමාජය තුළ  “සමාජ ප්‍රගමනය” පිළිබඳ අදහස ගැඹුරට තහවුරු කළේ ?) මාක්ස්වාදය ගැනවත් සමාජවාදය ගැනවත් අපට  අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි ලෙනින්ගේ තෝරාගත් කෘති, කොමියුනිස්ට් ප්‍රකාශනය එහෙන් මෙහෙන් කියෙව්වා. නමුත් ඒවත් තේරුනේ නැහැ. ආකර්ෂණය වුණේ චරිතවලට. අපි චේ වගේ වෙන්න ආස කළා. විජේවීර සහෝදරයව දැක්කේ ලංකාවේ චේ වගේ. පංති පහයි, අධ්‍යාපන කඳවුරුයි තමයි ලොකුම න්‍යායික දැනුම. අධ්‍යාපන කඳවුරුවල උගන්වන කෙනෙක් වෙනකම් ඒක ගියා. ආපහු හැරිලා බලන කොට මම පුදුම සතුටු වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මම අධ්‍යාපන පැත්තට වැටුණු එක. ඒ කියන්නේ සන්නද්ධ අංශෙට වැටෙන්නේ නැතුව. ඉතින් ඒ මතකය අමිහිරි මතකයක්. එකට හිටපු යාළුවො, එකට වැඩ කරපු සහෝදරවරු ටයර්වල පිච්චෙනවා ඇස්වලින් දැක්කා. ඒ  අය අතරේ එක්කෙනෙක් නොවී අදටත් ජිවත් වෙන්නේ අහම්බයකින්. මේ කාලේ ගැන අදහසක් ගන්න මෙන්න මේ කවිය මම කියවන්න කැමතියි. කේමදාස මාස්ටර් ‘කිලර්’ කියල කැසට් එකක් කළා. ඒකේ මේක ගීතයක් විදියට ඉදිරිපත් කරලා තිබුනා.

පාට සොඳයි පැළවෙන ගොයමේ නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ රොල්ල
යාල දෙගොඩ හඬලන මැඩියන් ගොල්ල
දෙවියනි බුදුනි පාළුයි තංගලු මුල්ල
තැන තැන ගිනි වැදී දැවෙනා වන මල්ය
නෙක නෙක රකුසු දත් නිය රැඳි මරු වැල්ය
සිත සිත දවාගෙන නැගෙනා ගිනි දැල්ය
නෙත නෙත පැලී ගලනා උණු කඳුළැල්ය
තංගලු වේල්ලේ කඳවුරු ලා ගත්තු
පදක්කම් පැළැඳි නොපැළැඳි අලි ඇත්තු
කිරි වදිනා ගොයම් කෙත වැනසූ ඇත්තු
ලෙවැකි සිල්වතින් සැරසුනු බෝ සත්තු
කලුවර සඳ තරු කඩා ගෙන කෑ මහ රෑට
ගිනිමල් පිපීලා හඬ දෙයි විටින් විට
කඳු කවුළුවෙන් ළාහිරු එබෙනා පැයට
දැකගන් යෞවනය ගිනි ගත් ටයරයක
පුරන් කෙත මැදින් හමනා පවනැල්ල
හැපි හැපි හඬයි තුරු හිස ගත වන නිල්ල
යක් බූ පිසස් රැළ විත් කෑ මංකොල්ල
දෙවියනි බුදුනි පාළුයි තංගලු මුල්ල

මේක සින්දුවේ වෙනස් කරලා තිබුනා….වන මල්ය වන මල්ය තැන තැන ගිනි වැදී දැවෙනා වන මල්ය …මරු වැල්ය මරු වැල්ය නෙක නෙක රකුසු දත් නිය රැඳී මරු වැල්ය …. ගිනි දැල්ය ගිනි දැල්ය සිත සිත දවාගෙන නැගෙනා ගිනි දැල්ය… කඳුළැල් ය කඳුළැල් ය නෙත නෙත පැලී ගලනා උණු කඳුළැල් ය …කියලා…..”දෙවියනි බුදුනි පාළුයි තංගලු මුල්ල”…. කියන එකත් ..”දෙවියනි බුදුනි පාලුයි සිරිලක් දෙරණ” කියල වෙනස් කරලා තිබුණා. තව තව පොඩි පොඩි වෙනස්කම් තිබුණ. මේකේ රචකයා විදියට නම් කරලා තිබුණේ ශ්‍යාමන් රජින්ද්‍රජිත් ජයසිංහ කියල කෙනෙක්. ඒත් මන් හිතන්නේ මේකේ ඇත්ත රචකයා ඒ භීෂණය තුළ ම අතුරුදන් වුණු චන්ද්‍රකුමාර වික්‍රමරත්න කියන කවියා.     

ඉතින් භීෂණය ඉවර වෙනවා මම ආපහු අධ්‍යාපන කටයුතුවලට යොමු වෙලා ඒ ලෙවල් ලියනවා. ඒ ලෙවල්වලින් පස්සේ මම කොළඹ යනවා ඇක්වයිනාස් එකේ ඉංග්‍රීසි කෝර්ස්  එක කරන්න. මම හිටපු බෝඩිමේ ඉන්නවා එන්. ටී. එස්. එකේ ඉගෙන ගන්න මේල් නර්ස්ල හතර දෙනෙක්. මේ ගොල්ලන්ගේ යාලුවෙක් එනවා බෝඩිමට. එයාගේ නම අජිත්. අජිත් විප්ලවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයෙක්. ඉතින් එයා මට පොතක් දෙනවා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලය ගැන ලියපු. මම පස්සේ කාලේ අහපු දෙයක් තමයි ඒ පොතේ මුල්ම ප්‍රින්ට් එක ආපු වෙලාවේ ජේ.වී.පී. එකෙන් තොග වශයෙන් පොත් කඩවලින් ඒ පොත අරගෙන පිච්චුවා කියල. ඉතින් ඒ පොතේ තිබුණු දේ තමයි ජේ.වී. පී. එක සුළු ධනේශ්වර පක්ෂයක් මිස විප්ලවාදී පක්ෂයක් නෙමෙයි කියන එක. ඉතින් ඒ විවේචනය මට සැහෙන්න බලපානවා. ඉතින් මම ට්‍රොට්ස්කිවාදියෙක් විදියට රූපාන්තරණය වෙලා විකොසේ දේශපාලනයට යොමු වෙනවා. මම ඔය මාලිගාවත්තේ ෆ්ලැට්ස්වල, දුම්රිය නිවාසවල, කටුණායක නිදහස් වෙළඳ කලාපේ විතරක් නෙමෙයි රට පුරා ඒ කාලේ විකොසේ පත්තරේ වෙච්ච “කම්කරු මාවත” විකුණන්න හෙම ගිහින් තියෙනවා. අපි ගිහින් කියනව කම්කරු පංතිය තමයි විප්ලවාදී පන්තිය කියල. එයාල ගොඩ දෙනෙක් නිවාඩු දවසේ වෙන වැඩ තියෙන නිසා පත්තරයක් අරගෙන අපිව ඉක්මනට යවනවා.   

මම පේරාදෙණිය විශ්වවිද්‍යාලෙට 1993 ඇතුළු වෙන්නේ වි.කො.ස. සාමාජිකයෙක් වෙලා ඉද්දි. (මට හරියටම මතක නැහැ ඒ වෙනකොට ඒකෙ දැන් නම වන සසප එහෙම නැත්නම් සමාජවාදී සමානතා පක්ෂය කියන එකද භාවිත කළේ කියල. කොහොමත් නම වෙනස් කරලා සෑහෙන කාලයක් යනතුරුත් අපිව හැඳින්වූවේ විකොස කාරයෝ කියල තමයි.) කැම්පස් යන්න ඔන්න මෙන්න ඉද්දි මට විජේ ඩයස් සහෝදරයා, ඒ කියන්නේ ඒ කාලේ විකොසේ ප්‍රධාන ලේකම්, මට පණිවුඩයක් එවනවා එයාට මට කතා කරන්න ඕනි ඇවිල්ලා හමු වෙන්න කියලා.  (දැන් සමාජවාදී සමානතා පක්ෂය කියල තියෙන්නේ විකොස ම තමයි. දැනුත් ඒකෙ ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහෝදරයා ම තමයි. මෙතැන ඉන්න සමහරු නමවත් අහල නැතුව ඇති සමහරවිට.) ඉතින් මම යනවා එයා හමුවෙන්න. මට මතක විදියට ඒ මම ගියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ නිල නිවාසවලින් එකකට, වැල්ලවත්තේ හරි පාමංකඩ හරි. ඔහුගේ බිරිඳ පියසීලි විජේගුණසිංහ කොළඹ විශ්වවිද්‍යාලෙ කථිකාචාර්යවරියක් නිසා ඒ නිවාස ලැබිල තිබුණේ. මම යනකොට විජේ ඩයස් සහෝදරයා හිටියේ දවල්ට බත් කකා. ලන්ච් ශීට් එක පිටින් ලොකු  රවුම් බෙලෙක්  හරි ස්ටේයින්ලස් ස්ටිල් හරි පිඟානක තියාගෙන තිබුණු විදියෙන් ඒක කඩේකින් ගෙනාපු බත් එකක් කියල මට තේරුණා. ඉතින් එයා මගෙන් මුලින්ම ඇහුවේ “ඔය සහෝදරයා දවල්ට කාලද ඉන්නේ?” කියල. එතකොට වෙලාව දෙකත් පහුවෙලා. මම ඔව් කිව්වා. ඊට පස්සේ එයා කන ගමන් ම මාත් එක්ක කතා කළා කැම්පස් යන එක ගැන. එයා විශ්වවිද්‍යාල ගැන ලොකු විවේචනයක් ගෙනාව. විශ්වවිද්‍යාලෙ ගිහින් මං වගේ කෙනෙකුට ඉගෙන ගන්න දෙයක් නැහැ කිව්වා. එයා කථිකාචාර්යවරයෙක් විදියට ඉඳල ඒකෙන් අයින් වෙලා විප්ලවාදී දේශපාලනය තෝර ගත්තේ විශ්වවිද්‍යාලවල කරන්න දෙයක් නැති නිසා කිව්වා. ඔය ඔක්කොම කියල හරිම වැදගත් දෙයක් කිව්වා “සහෝදරයා මේ විප්ලවාදී දේශපාලනයෙන් ලබන ආත්ම තෘප්තිය වෙන කිසි ම දේකින් ලබන්න බෑ” කිව්වා. අන්තිමට ම එයා මට කිව්වා “ඔය සහෝදරයව පක්ෂේ පූර්ණ කාලිකයෙක් විදියට යෝජනා කරලා තියෙනවා. ඒක භාරගන්න කැම්පස් ගිහින් වැඩක් නැහැ” කියල.

මම මේක විස්තර සහිතව කියන්නේ හේතුවක් ඇතුව. ජේ.වී.පී. එකේ පූර්ණකාලිකයෙක් වෙලා හිටපු කාලේ මට අත්දැකීමක් තිබ්බ ඒ කියන්නේ මොකද්ද කියල. ඒ කාලේ කොහොමත් වෙනස් කාලයක්. නමුත් මම දැනගෙන හිටියා මේ කියන පූර්ණකාලික දේශපාලනය ඊට වෙනස් කියල. විකොසේ ඒ කාලේ හිටපු පූර්ණකාලිකයෝ ගෙවපු අන්ත දුෂ්කර ජීවිතය මම දැකල තිබුණ. ඒ විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාම වෙනුවෙන් ඔවුන් කොච්චර පක්ෂය මත පරායත්තද කියන එක ගැනත් මට පොඩි අදහසක් ඒ වෙනකොටත් තිබුණ. මොනතරම් භීෂණ වාතාවරණයක් ඇතුළේ උනත් ජේ.වී .පී එකේ පූර්ණ කාලිකයෙක් වෙලා හිටියට  වඩා මේක අමාරු වැඩක් බව මම දැනගෙන හිටියා. ඉතින් මම කිව්වා මට බැහැ පූර්ණකාලිකයෙක් වෙන්න මම කැමති කැම්පස් ගිහින් මේ දේශපාලනය කැම්පස් එකේ කරන්න කියල. මම හිතන්නේ එදා ඒ තීරණේ නොගන්න මේ දැන්  මෙතන ඉන්න මම නැහැ. මම ආයිමත් අවධාරණය කරනවා, මම අදහස් කරන්නේ මේ දැන් මම ඉන්න අදහසේ ඉන්න කෙනෙක් මෙතැන නැහැ කියන එකයි මම කියන්නේ. මොකද මට මගේ ජීවන පැවැත්ම වෙනුවෙන් සම්පූර්ණයෙන් ම පක්ෂය මත යැපෙන්න වෙනවා. එතකොට ටික කාලයක් යනකොට වෙන දේ මොකද්ද කියල මම හිතන්නේ මම අමුතුවෙන් කියන්න ඕනි නැහැ.

මම පළවෙනි දවසේ කැම්පස් එකට ගියේ මගේ ලොකු අයියත් එක්ක. මේක ගැනත් මං කියන්න ඕන. එයා යන්තම් අවුරුදු 18 වෙනකොට ගුවන් හමුදාවට බැඳුණා. ඒ කාලේ අපේ පවුලේ ආර්ථික තත්වයත් එච්චර හොඳ නැහැ. එයාට තමයි ඒ කාලේ අන්ඩර් නයින්ටීන් පෝල් වෝල්ට් රෙකොර්ඩ් එක තිබුණේ. එයාගේ පිංතූරයක් දිවයින පත්තරේ ක්‍රීඩා පිටුවේ පළවුණා එයා රෙකොර්ඩ් එක තිබ්බ දවසට පහුවදා. එයා ඒවා ඔක්කොම අත්හැරලා දාල ගුවන් හමුදාවට ගියා. ඉතිං මම ජේ. වී. පී. කරන කාලෙත් එයා හමුදාවේ. ජේ. වී. පි. එකෙන් තර්ජන ගෙදර එන්න බැහැ එයාට. මට ගෙදර එන්න  බැහැ හමුදාවෙන් හොයනවා. අපේ ගෙදර මිනිස්සු කොහොම ගින්නක් උහුලන්න ඇද්ද කියල මට දැන් තමයි තේරෙන්නේ. මම කැම්පස් එකට බස්සල ආපහු එන්න ලෑස්ති වෙලා අයියා එයාගේ අතේ තිබුණු වොච් එක ගලවල මට දුන්නා. මම එදා වෙනකම් වොච් එකක් බැඳලා තිබුණේ නැහැ. ඒක ඒ කාලේ හැටියට ටිකක් වටිනා වොච් එකක්. ඒ වොච් එක පස්සේ කාලෙක කැඩුනා. එදා ඉඳලා මම වොච් එකක් බඳින්නේ නැහැ. අදටත් මගේ අතේ වොච් එකක් බැඳලා නැහැ. ඒ තරම් “වටින” වොච් එකක් මට ආයි කවදාවත් හොයාගන්න බැහැ කියල මම දන්නවා.    

පේරාදෙණියේ අපි හිටපු කාලේ ශිෂ්‍ය දේශපාලනයේ බලය තිබුණේ අන්තරේට තමයි. හැබැයි ඒකට  අභියෝග කරපු ජාතික චින්තන සහ ඒ කාලේ චම්පික රණවකගේ සංවිධානය වුණු ජනතා මිතුරෝ වගේ කණ්ඩායම්වලට සම්බන්ධ කණ්ඩායමකුත් හිටියා. දැන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වන චරිත හේරත් මහත්මය ඒ කාලේ මම ඔය දෙවෙනියට කියපු කණ්ඩායමේ න්‍යායාචාර්යවරයෙක් විදියට හිටියා. ඔය සුරංජිත් ගුණසේකර, මහාචාර්ය උපුල් අබේරත්න මගේ සීනියර් බැචස්වල. දුෂ්මන්ති මගේ ජූනියර් බැච් එකේ. ඒගොල්ලෝ දන්නවා මේ විස්තර. උපුල් අයියා නම් ඒ කාලෙත් දැන් වගේම තමයි. බාල්දි දානව. ඒ. ටී එකේ හෙන වාද විවාද. දවසක් ශිෂ්‍ය සංගමේ සභාපතිට කතා කරන්න දෙන්නෙම නැහැ උපුල් අයියා. එයාගෙන් අහනවා “ඔයා ඇන්ටි ඩූරිං  කියවල  තියෙනවද?” කියල.

 විකොසට සම්බන්ධ තුන් හතර දෙනෙකුත් හිටියා. අපිව ඉතින් ජෝක් එකක් විදියට තමයි පොදුවේ සැලකුණේ. තුන් හතර දෙනෙක් විතරක් ඉන්න නිසා. එක දවසක් ඒ. ටී. එකේ අර වගේම මහා වාදයක් යනකොට මම නැගිටලා අපේ අදහස කියල කිව්වා “අපි නම් අපේ දේශපාලන ස්ථාවරය කවදාවත් පාවල  දෙන්නේ නැහැ කියල”. එතකොට අපේ සීනියර් කෙනෙක් කිව්වා “ඔයාට ඉතිං අමුතුවෙන් පාවල දෙන්න දෙයක් නැහැ ඔයා විතරනේ ඉන්නේ කියල.” ඉතින් සභාවේ තදින් සිනා. එහෙම ලැජ්ජා කරත් අපි දිගටම අපේ වැඩ කරගෙන ගියා. අපිත් රැස්වීම් සංවිධානය කරන එක, දේශන සංවිධානය කරන එක වගේ දේවල් කළා. මට මතකයි ඒ කාලේ විකොසෙන් ගහපු  හැම පෝස්ටරේක ම යට ස්ලෝගන් එකක් තියෙනව “උතුරෙන් හා නැගෙනහිරින් හමුදාව ඉවත් කරව්!” කියල. අපි වෙනම ශිෂ්‍ය සමිතියකුත් හැදුවා. ශිෂ්‍ය සමිතියට ආචාර්යවරයෙක් ඕන ජ්‍යෙෂ්ට භාණ්ඩාගාරික විදියට. ඉතින් අපට කෙනෙක් නැහැ. අපි ගිහින් කිව්වා ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සර්ට අපිට මෙහෙම ශිෂ්‍ය සමිතියක් හදන්න ඕනි ඒකට ජ්‍යෙෂ්ට භාණ්ඩාගාරික විදියට නම දාන්නද කියල. සර් කොමියුනිස්ට් පක්ෂේ කෙනෙක්. සර් කිව්වා හා කියල. ඉතින් අපි ශිෂ්‍ය සමිතිය හදල පළවෙනි දේශනය සංවිධානය කළා. ඒකට ආවේ නන්ද වික්‍රමසිංහ කියන සහෝදරයා. සාමාන්‍යයෙන් ඒ කාලේ  විකොසේ  (විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ) කතාවල එක ස්ට්‍රක්චර් එකක් තියෙනවා (දැනටත් ලොකු වෙනසක් නැහැ මම හිතන්නේ). අනිවාර්යයෙන් සමසමාජ, කොමියුනිස්ට්, නව සම සමාජ පක්ෂවලට පලු යන්න බනිනවා. වික්‍රමසිංහ සහෝදරයත් මයිකල් ප්‍රනාන්දු කියල මෙහෙත් ඉන්නවා කම්කරු පන්තිය පාවල  දීපු කොමියුනිස්ට් පක්ෂේ සාමාජිකයෙක් කියල එයාගේ දේශනේ ඇතුළේ සර්ට පලු යන්න බැන්නා.

 අපි පොඩි සංඛ්‍යාවක් උනත් අපට යම් බලයක් තිබ්බ. ජාතික චින්තන අයට වගේ අප ට ගහන්න ආවේ නැහැ ශිෂ්‍ය සංගම්වලින්. එක පැත්තකින් ඒකට අපේ චර්යාවත් හේතුවෙන්න ඇති. සාමාන්‍යයෙන් ශිෂ්‍ය දේශපාලනේ තියෙන දේ තමයි “රංචු මානසිකත්වයක්” හදල ඒ රංචුවේ ඉන්න නම් ප්‍රධාන ධාරාවේ ශිෂ්‍ය දේශපාලනය, ඒ කියන්නේ ශිෂ්‍ය සංගම්වල එක පිළිගන්න කියන එක. ඒකෙන් පිට අදහසක් ගේන කෙනා “අලයෙක්” කියල රංචුවෙන් පිට කරනවා. මොන හේතුවක් නිසා හරි අපට මේ “අල” ලේබල් එක ගහන්න එයාලට බැරි උනා. අනික මොනවා උනත් යාළුකම්. ඒ කාලේ ශිෂ්‍ය සංගමේ හිටපු මගේ බැච් මේට් අසේල කැලුම් කියල කෙනෙක්. අපි දැන් හොඳ යාළුවො. ඔය දැන් රට පුරා ප්‍රචලිත පෝස්ටර් අකුරු ස්ටයිල් එකේ නිර්මාතෘ එයා. ඒ කාලේ අන්තරේ කැඳවුම්කරු හිටියේ රෝහිත තිලකරත්න. ඉංජිනියරින් ෆැකල්ටි එකේ. එයා යාළුවෙලා හිටියේ අපේ ෆැකල්ටි එකේ සීනියර් අක්කා කෙනෙක් එක්ක. ඉතින් වැඩිපුර ඉන්නේ අපේ ෆැකල්ටි එකේ. එයා දවසක් මගෙත් එක්ක පොඩි ආගියුමන්ට් එකක් ගිහිපු වෙලේ කිව්වා “ඔය සහෝදරයා දන්නවා නේද නිර්ධන පංති ආඥාදායකත්වය කියන්නේ මොකද්ද කියල” කියල. එයා අදහස් කරේ ඒගොල්ල ශිෂ්‍ය සංගම්වල බලය අරන් ඉන්න එක වෙන්න ඇති. නොකිය කිව්වේ මට ගහනවා කියන එක. ඔය වගේ දේවල්, අපේ රැස්වීම් කඩා කප්පල් කරන්න උත්සාහ කරපු ඒවා වගේ දේවල් ඇරෙන්න ලොකු සිද්ධි උනේ නැහැ. 

මම තනියම ශිෂ්‍ය සභාවට තරඟ කරලා තියෙනවා විකොස අදහස ඉදිරිපත් කරලා. ඡන්ද පොඩි ගානයි තමයි හම්බ උනේ ඉතින්. ඒක වෙනම කතාවක්. මම කිව්වේ අපි බය උනේ නැහැ සහ අපිට යම් මතවාදීමය බලයක් තිබුණා කියන එක. ඔය දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ ඉන්න අනුරුද්ධ ප්‍රදීප්, අර හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක විදියට හිටියේ, සහ  ජනප්‍රිය සිංහල ගුරුවරයෙක් වෙන සුජීව සිරිමෙවන් මගේ ජූනියර් බැච්. එයාල ඒ කාලේ හිටියේ අර මං කිව්ව ජාතික චින්තන අදහසට පක්ෂව. එයාලත් එක පාරක් පොඩි කණ්ඩායමක් හදාගෙන ශිෂ්‍ය සභාවට තරඟ කරා. ඉතිං එයාලට සෑහෙන්න තර්ජන, ගර්ජන ආවා. දවසක් මම කැන්ටිමට  යනකොට එයාල පොකට් මීටින් එකක් අරන් කැන්වසින් කරන්න හදනව ශිෂ්‍ය සංගමේට පක්ෂ අය ඉඩ දෙන්නෙම නැහැ. කෑ ගහනව. හූ තියනවා. ගහන්න හදනවා. මම ගිහිං කිව්වා මේ ගොල්ලන්ට මමත් විරුද්ධයි හැබැයි එයාලට මිටින් එක තියන්න දෙන්න ඕනි කියල. වැඩේ ශේප් වුනා. එයාල මීටින් එක තිව්ව. අනුරුද්ධ මට පස්සේ කාලෙක විහිලුවට කිව්වා “දර්ශන අයියේ මේකේ ඉන්න දෙවිවරු තමයි ශිෂ්‍ය සභාවේ අය. අපි වගේ උන් ඉන්න ඕනි දෙයියෝ කියන විදියට. හැබැයි ඉතින් උන් වගේම නැතත් ඔයත් පොඩි රුක් දෙවියෙක් වගේ තමා. ඒකනේ අපට කරන ඒවා ඔයාට කරන්න එන්නේ නැත්තේ” කියල.      

කොහොම වුනත් මට කියන්න ඕනි උනේ පේරාදෙණියේ ඉන්න කාලේ මම ආධානග්‍රාහී “ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තරවාදියෙක්’ කියන එක. මට කටපාඩමින් වගේ කියන්න පුළුවන් අපි ඉදිරිපත් කරපු අදහස. “තුන්වැනි ලෝක යුද්ධයකට තමයි අධිරාජ්‍යවාදීන් ලෝකය ගෙනියමින් තියෙන්නේ. ඒකට විරුද්ධ එක ම  විසඳුම වෙන්නේ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය. ඒක කරන්නේ ලෝක කම්කරු පංතිය. ඒ ලෝක කම්කරු පන්තිය සංවිධානය කරන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව. ඒකෙ ලංකාවේ ශාඛාව තමයි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය…..” ඔන්න ඔය වගේ. අපි හිටපු කාලෙ මාලින්ද සෙනෙවිරත්න එයාගේ ඇමෙරිකාවේ උපාධිය අවසන් කරලා පේරාදෙණියට එනවා. එයා ඇත්තටම කළේ අර මම කියපු  ජාතික චින්තන කණ්ඩායමට උදව් කරන එක. නමුත් එයා අනෙක් අය එක්කත් හිතවත්. ඉතින් එයා එයාගේ බ්ලොග් සටහනක මේ කාලේ පේරාදෙණියේ වෙච්ච සිදුවීමක් මතක් කරලා තිබුණා. ටිකක් දිග වුනත් මම ඒක උපුටා දක්වන්නේ ඒ කාලේ මම ගැන හරියට ම ඒකෙ ලියවිලා තියෙන නිසා. ඒ බ්ලොග් සටහනේ නම තමයි “කාල් මාක්ස් සහ (අරික්)කාල් මාක්ස්වාදීන්” කියන එක. මෙන්න මෙහෙම එයා ලියනවා ඒකෙ: 

ඇත්තටම මම අවංකව ඒ කාලෙට අදාළව මේ විවේචනය පිළිගන්නවා. මම ආධානග්‍රාහී විදියට මගේ පක්ෂයේ මතය විශ්වාස කරපු බැතිමත් අරික්කාල් මාක්ස්වාදියෙක් තමයි. ඒ කාලෙට අදාළව කියන එකෙන් අදහස් වෙන්නේ නෑ මම දැන් පරිපූර්ණ මාක්ස්වාදියෙක් කියල. දැනුත් එහෙමමද දන්නෙත් නැහැ. නමුත් ඇත්ත කතාව අපි බොහොම සීමිත වපසරියක වැඩ කළේ. ඒ කාලේ එහෙම ලොකුවට ඉංග්‍රීසියෙන් කියවන්නත් බැහැ. සිංහලෙන් තියෙන දෙයක් තමයි කියෙව්වේ. ඇත්තටම සිංහලෙන් තිබුනේ ප්‍රගති ප්‍රකාශකයෝ ගහපු පොත්. ට්‍රොට්ස්කිගේ ඒවා කම්කරු මාවත ප්‍රකාශන විදියට තිබුණා. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ දැනුම අඩු වගේ දෙයක්. ඊට වඩා තිබුනේ අපි දේශපාලනේ කියන එක සීරියස් අරගෙන තිබුනේ නැහැ කියලයි මට හිතෙන්නේ දැන්. පක්ෂේ ප්‍රකාශන ටිකයි පත්තරෙයි කියවල අනික් පැත්තට වමාරනවට වැඩි දෙයක් අපි කළේ නැහැ. දේශපාලනයේදී   විශ්වාසය අන්තිම වැදගත් දෙයක්. මේ මොහොතේ මගේ අදහස මට විශ්වාස නැත්නම් ඒක ප්‍රකාශ කරන්නවත් ඒ වෙනුවෙන් වැඩ කරන්නවත් බැහැ. නමුත් ඒ විශ්වාසය එන්න ඕනි ඒ අදහස තමන්ට ඇඟට දැනෙන තැනකින්. අපි කළේ එහෙම දෙයක් නෙමෙයි. කවුරු හරි කියන දේ විශ්වාස කරලා  ඒකෙන් අනන්‍යතාවක් හදාගනිපු එක. මේක මොනම විදියකින්වත්  විප්ලවීය භාවිතයක් නෙමෙයි. මේක තමයි සාමාන්‍ය ජන සමාජයේත් වෙන්නේ. එහෙම ගත්තම ඔය “බයියෝ” කියල සමහරු ගරහන පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් සහ අල්ට්‍රා රෙවොලුෂනරි කියල හිතන් ඉන්න පෙරටුගාමී සාමාජිකයන් අතර කිසිම වෙනසක් නැහැ. 

“මීට වසර 21 කට පමණ පෙර ආචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර ශාලාවේ මාක්ස්වාදය ගැන දේශනයක් පැවැත්වුවා. ඩෙස්මන්ඩ් කතා කෙරුවේ මාක්ස් ගේ ඊනියා මරණය ගැන. මාක්ස්ගේ ඝාතකයින් ගැන. ඩෙස්මන්ඩ්, කතාව තුල, ‘ජාතික චින්තන’ ගුරුකුලය විවේචනය කෙරුවා.

දේශනය අවසන් වුනාට පස්සේ ඩෙස්මන්ඩ්ගෙන්  මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා:
“ඇත්තටම මාක්ස්ව ලංකාව තුල ඝාතනය කරන්නේ කව්ද? ධනේශ්වර පක්ෂ එක්ක සභාග ආණ්ඩු ගහපු අය මාක්ස්ව මැරුවේ නැද්ද? කම්කරුවන්ගේ ඔළුගෙඩිවලට ගල්කටස් තියල ‘ස්ට්‍රයික් කරපියව්’ කියපු අය මාක්ස්ව ඝාතනය කෙරුවේ නැද්ද? 1940 දේ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කෙරුවට පස්සේ දයලෙක්තිකයට නැවතීමේ තිත තැබූ හතරවන ජාත්‍යාන්තරය මාක්ස්ව මැරුවේ නැද්ද?”

තුන්වෙනි ප්‍රශ්නය අහපු ගමන් මගේ ලඟින් වාඩි වෙලා හිටපු දර්ශන ලියනගේ වැලමිටෙන් මගේ ඉලයට ඇන්නා. දර්ශන ඒ කාලේ පේරාදෙණියේ සමාජවාදී සමානාත්මත පක්ෂයේ එකම සාමාජිකයා.  ඒ තරම් රිදුනේ නැති නිසා, දර්ශන හිතවතෙක් නිසා ගණන් ගත්තේ නෑ.
ඩෙස්මන්ඩ් උත්තර දුන්නා. මුලින් කෙටියෙන්, පසුව විස්තරාත්මකව: ‘ඔව්, ඔව්, ඔව්!’

දර්ශන එක්ක මාක්ස්වාදය ගැන ඊට පෙරත් පසුවත් කතා කරලා තියෙනවා. ට්‍රොට්ස්කිගෙන් පසුව මාක්ස්වාදයේ න්‍යායන් වැඩි දියුණු කල අය ගැනත් අපි කතා කෙරුව. වෝල්ටර් බෙන්යාමින් වැනි අය ගැනත් කතා වුනා. දර්ශන මෙහෙම දෙයක් කිව්වා: ‘ඉතිං මාලින්ද අයියේ බෙන්ජමින් හතරවන ජාත්‍යාන්තරය ආරක්ෂා කරලා තියෙනවනේ!’

ලොකු දෙයක් කියවුනා කියල පසුව මට හිතුනා.  ඒ වගේ ම කතා බොස්ටන් නුවර මට මුණගැහුණු හතරවන ජාත්‍යාන්තරයට අයිතිවාසිකම් කියන විවිධ කණ්ඩායම්වල අය කියල තිබුන බව මට මතක් වුනා. කියවලා නැහැ, අහල තියෙනවා. හොඳක් කිව්වනම් අර දර්ශන කියපු දේ ට සමාන දෙයක් කියනවා, නැත්තම් ද්‍රෝහියා, ප්‍රතිගාමියා, පැබ්ලෝවාදියා, බන්ඩාවාදියා (මේ නම් කියන්නේ කුණුහරුපයෙන් බැන වදින ස්වරයෙන්), අධිරාජ්‍යවාදයේ ගැත්තා වගේ නම්වලින් බනිනවා.

ඒ නිසාම නෙවෙයි ලංකාවේ මාක්ස්වාදීන් ට ‘(අරික්)කාල් මාක්ස්වාදීන්’ කියල කිව්වේ.” 

ඊට පස්සේ මම කැම්පස් එකේ අවසාන අවුරුද්ද වගේ විතර වෙනකොට තමයි මාතොට සඟරාව සහ X කණ්ඩායම එක්ක සම්බන්ධයක් හැදෙන්නේ. අපිත් එක්ක හිටිය ඩෙන්ටල් ෆැකල්ටි එකේ යාලුවෙක් බටගොඩ කියල. එයා තමයි අපිට සඟරාව හෙම දීල අපිව ඒ අදහස්වලට නිරාවරණය කළේ. ඉතින් අපි කට්ටියක් ම X වෙනවා පස්සේ කාලෙක. විවිධ වෙනස් මතවල හිටපු. මම විකොස, දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ දර්ශන අංශයේ ආචාර්යවරයෙක් වන සමන් පුෂ්පකුමාර ජාතික චින්තනයේ, ඔය වගේ. අනෙක් අය ගැන මට කියන්න අයිතියක් නැහැ. නමුත් මට දැන් හිතෙනවා මම X එකට ආකර්ෂණය වුණු  පළමු දේ ඒකෙන් මට ලැබුණු අනන්‍යතාව කියලා. අනික් උන් මොක්කු ද, අපි මොඩ් අදහස් තියෙන, මොඩ් චින්තනයක් තියෙන අය. අනික් මිනිස්සු පසුගාමියි. ඔය වගේ එකක්. ඇත්තටම ඒ කාලේ X එක ගෙනාපු අදහස සහ ඒක ඉදිරිපත් කරපු ස්ටයිල් එක ආකර්ශනීය යි. ඒ වගේම සමාජයට පොඩි ෂොක් එකක් විදියට ඒ අදහස වැඩ කළා. මට මතකයි සමහරු සෙක්ස් කණ්ඩායම කියලත් කිව්වා. මාතර නිල්මිණි එකට මම සඟරාව දාන්න ගියාම අපෝ ඕවා මෙහෙ දාන්න බෑ කිව්වා. මේ  රුහුණ  විශ්වවිද්‍යාලෙ ම ලයිබ්බ්‍රරි එකට මන් සඟරා නිකන් දෙන්න හැදුවා. අපෝ ඕව ලයිබ්බ්‍රරි එකේ තියන්න බෑ කියල ආපහු දුන්න. මේ ඔක්කොම තියෙද්දී X එකට පොඩි බයක් තිබුනා සමාජයේ. ඒ කාලේ එක සඟරා කලාපයක් ආව විශ්වවිද්‍යාල විවේචනය කරලා. මෙහේ සමහර ආචාර්යවරු ඒකට මාත් එක්ක තරහ වෙලත් හිටිය. නමුත් මේ ඔක්කොම අතරේ අර මම කලින් කියපු “පොරත්වය” තිබුණ. කොහොම උනත් පස්සේ කාලෙක X කණ්ඩායම විසිරුණා. අපේ සඟරාවේ තීම් එක තිබ්බේ “ශිෂ්ටත්වයේ සිහිනය” කියල. ඒත් අපි ඉතාම අශිෂ්ට විදියට එකිනෙකාට මඩ  ගහගෙන වෙන්වුනා. අදටත් ඔය ෆේස්බුක් එකේ හෙම ඒවායේ නෂ්ටාවශේෂ දකින්න පුළුවන්. මටත් එහෙම මඩ වැටෙනවා ඉඳල හිටලා.

ඕක තමයි අවුරුදු 40 කට වඩා වැඩි මගේ අදහස්මය ඉතිහාසය. ඉතින් මම දැන් මේ කතා දෙක සම්බන්ධ කරන්නම්. වෙන විදියකට කිව්වොත් කතාවේ මාතෘකාව එක්ක මෙතෙක් කියපුවා ගැළපෙන්නේ කොහොමද කියන එකයි මම දැන් කියන්න යන්නේ. දැන් මුලින්ම විශාල චිත්‍රය, එහෙම නැත්නම් සමාජයේ සිදුවුණු දේවල් ගත්තොත් මම යෝජනා කරන්නේ  “ජාතික රාජ්‍යය”, “ජනවාර්ගිකත්වය” සහ “අනන්‍යතාව” වැනි දේවල් භාර ගනිමින් සහ ඒවා වෙනුවෙන් කරපු දේවල් විදියට තමයි අපිට ඒවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියන එකයි. මම කලිනුත් කිව්වා වගේ දකුණ, පවතින  (සිංහල බෞද්ධ) ජාතික රාජ්‍යය රැක ගැනීම සහ එය තහවුරු කිරීම වෙනුවෙන් වැඩ කරන එකේම අනික් පැත්ත තමයි උතුර වෙනම (ජාතික) රාජ්‍යයක් වෙනුවෙන් වැඩ කිරීම. ඇත්තටම ගත්තොත් අපි හැමෝම දන්නවා එල්.ටී.ටී. ඊ. එක දීර්ඝ කාලයක් ඔවුන්ගේ බලය උතුරේ කිසියම් භුමි ප්‍රදේශයක පවත්වාගෙන ගියා කියන එක. තමන්ගේම පොලිසියක්, අධිකරණ පද්ධතියක් පවා සහිත ව. ඇත්තටම වෙනම “රාජ්‍යක්” හැටියට ඒක තිබුණා. නමුත් ප්‍රශ්නය විදියට තිබුණේ ස්වාධිපත්‍යය සහිත නූතන ජාතික රාජ්‍යයක් විදියට ඒක “පිළිගැනීමට” ලක්වෙලා නොතිබීම. ඇත්තටම ගත්තොත් මේක තමයි එල්.ටි.ඊ.ඊ. එකේ අවසන් ඉලක්කය විදියට තිබුණේ. එහෙම නැතුව අවි බලයෙන් තමන්ගේ රාජ්‍යය අල්ලගෙන ඉන්න එක නෙමෙයි. ඇත්තටම මේ යුද්දේ දිනුවා කියල කිව්වට වැඩේ තියෙන්නේ ඔතනයි. මේ පිළිගැනීම ලබා ගන්න බාධාවක් වෙලා තිබුනේ සමහරවිට එල්.ටී.ටී.ඊ. එකේ ක්‍රියාකාරිත්වය වෙන්නත් පුළුවන්. ගොඩක් සිංහල ජාතිකවාදීන්ට මග හැරෙන දෙයක් ඕක. වෙන විදියකට කිව්වොත් ඒ “පිළිගැනීම” ලබා ගන්න යුද්ධ කරන්නම ඕනි නැහැ. 

 කොහොම උනත් මට මතු කරන්න ඕන කාරණය තමයි මේ සියලු දේ කැරකුණේ “ජාතික රාජ්‍යය” වටේ කියන එක. ඔය නිසා තමයි ඔය මේවා ගැන ඇකඩෙමික්‌ කතා බහ ඇතුළේ ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය ස්ටේට් ෆෝර්මේෂන් එකේ ප්‍රශ්නයක් වගේ තැන්වලින් ගේන්නේ. ව්‍යවස්ථා සංශෝධන වගේ විසඳුම් යෝජනා වෙන්නේ එතනින්. සිංහල ජාතිකවාදීන් (සිංහල බෞද්ධ) ජාතික රාජ්‍යය තහුවරු කරන්න හදනවා, ලිබරල් අය රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන්න (ෆෙඩරල් විසඳුම් වගේ දේවල්වලින්) හදනවා, දෙමළ ජාතිකවාදීන්ට වෙනම (ජාතික) රාජ්‍යයක් ඕන වෙනවා. මට මතකයි ඒ දවස්වල ප්‍රභාකරන් ඔහුගේ කතාවකදී කිව්වා “තල් ගස මුල්කරගත් දේශීය ආර්ථිකයක් හදනවා” කියලා. ඉතින් ඕකෙම සිංහල වර්ෂන්ස් අපි ඕන තරම් අහල තියෙනවනේ. මේ ඔක්කොම අවසන් අර්ථයෙන් ජාතික රාජ්‍යය පරමයක් ලෙස පිළිගනිමින්, එය “විසඳුම” ලෙස ඉදිරිපත් කරමින් එය තහවුරු කිරීම වෙනුවෙන් වැඩ කරනවා. ජනවාර්ගික සුපිරිභාවයේ සිට ජනවාර්ගික අනන්‍යතාව සහ බහුසංස්කෘතිකවාදය දක්වා “නූතන” සංකල්ප මේ සඳහා පාවිච්චි වෙනවා. 

 එතකොට අනික් පැත්තට මේ එක්ක බැඳිලා තියෙන අනික් සංකල්පය තමයි ජනවාර්ගිකත්වය. ජනවාර්ගිකත්වය කියන්නේ අනන්‍යතාවක්. සිංහල සහ දෙමළ දෙකටම මේක අදාළයි. එහෙම බලද්දී ඇත්තටම මෙයින් එකක් “මහ” සහ අනෙක “සුළු” කියල කරන සාමානය වර්ගීකරණයෙන් ඔබ්බට ගිහින් බැලුවොත් මේ අනන්‍යතාවලට අපගේ තියෙන මේ බැඳීම මොකද්ද? (ඇත්තටම මේ “මහ” සහ “සුළු” කියන වර්ගීකරණයත් ගැටළු සහගතයි. ලංකාවේ ඇතුළේ සිංහල කියන එක “මහ” උනාට ජනවාර්ගික මානසිකත්වය ඇතුළේ ගත්තොත් ඒක “සුළුතර” මානසිකත්වයක්. මේ මානසිකත්වය තමයි “සිංහලයට තියෙන්නේ මේ රට විතරයි” කියන මන්තරෙන් එළියට එන්නේ. නිතරම ඉන්නේ තමන් තර්ජනයකට ලක්වෙලා ඉන්නවා, තමන්ගේ පැවැත්ම නැතිවෙයි කියන මහා බයක. අනෙක් පැත්තෙන් ලංකාවේ ඇතුළේ දෙමළ කියන එක “සුළු” උනාට දෙමළ ජනවාර්ගික පරිකල්පනය ඇතුළේ ඒක “මහ” එකක් වෙනවා. ඔවුන් තමන්ගේ ජනවාර්ගික අනන්‍යතාව පරිකල්පනය කරනකොට එක් පැත්තකින් භූගෝලියව තමිල්නාඩුව සහ දැන් නම් බටහිර යුරෝපා සහ සිංගප්පූරුව වැනි ව්‍යාඝ්‍ර ආර්ථිකයක් සහිත රටවල් දක්වාත්, ඓතිහාසිකව සහ සංස්කෘතිකව පාර ජාතික සම්භාව්‍ය දෙමළ සාහිත්‍ය සහ ජනප්‍රිය දෙමළ සිනමාව දක්වාත් සුවිසල් පරාසයක එය පිහිටුවනවා. ඇත්තටම ගත්තොත් සිංහලයන්ට එහෙම විසල් ජනවාර්ගිකත්වයක් පරිකල්පනය කරන්න බැහැ. ඒ අඩුව තමයි එක් පැත්තකින් ඉන්දියාවට – එක් පැත්තකින් විජයාගමනය පුරාණෝක්තිය සහ සම්භාව්‍ය සංස්කෘත සාහිත්‍යයට – තියෙන නෑකම් කීමයි  අනෙක් පැත්තට  රාවණා යක්ඛ පරපුරට උරුම කීමයි අතර දෝලනය වෙන්නේ.) අපි මේ කාලයේ අත්දකිමින් ඉන්න දෙයක් තමයි මෙන්න මේ විදියට විවිධ අනන්‍යතා වෙනුවෙන්, ඒවා තහවුරු කිරීම වෙනුවෙන් වැඩ කරන ව්‍යාපාර සහ කණ්ඩායම්. මේක ජනවාර්ගික අනන්‍යතාවට විතරක් නෙමෙයි වෙනත් අනන්‍යතාවලටත් අදාළයි. උදාහරණයක් හැටියට ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තය වෙන් වුනේ මූලික වශයෙන්ම භාෂාමය අනන්‍යතාව පදනම් කරගෙන.   

මෙහම ගත්තම අපට පැහැදිලියි ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය කියල නම් කරනු ලැබ තියෙන දෙය එක් පැත්තකින් ජාතික රාජ්‍යයට සම්බන්ධයි සහ අනෙක් පැත්තෙන් ජනවාර්ගික අනන්‍යතාවට සම්බන්ධයි කියල. වෙනත් විදියකින් කිව්වොත් ප්‍රතිවිරුද්ධ සේ පෙනී සිටින පාර්ශ්ව දෙකම පෙනී සිටින පොදු දෙය, එහෙම නැත්නම් ඔවුන් පොදුවේ බෙදා හදාගන්නා දේවල් තමයි ජාතික රාජ්‍යය තහවුරු කිරීම සහ අනන්‍යතා තහවුරු කිරීම. එතකොට අර මම කලින් කිව්ව අනෙක් අභිලාෂ කණ්ඩායම්වල රඟබිමත් මේකමයි. ඇත්තටම එයාලගේ විශේෂත්වය තමයි එයාල අභිලාෂ කණ්ඩායම් වන අතර අතරමැදියන් (අපි ඉංග්‍රීසියෙන් කියනව intermediaries කියල) ද වෙන එක, ඒ කියන්නේ එයාල “හරහා” තමයි විමතික පාර්ශ්ව ගණුදෙනු කරන්නේ කියන එක. 

වෙන විදියකට කිව්වොත්, අපි අනන්‍යතාව කියන එක ගත්තොත් මෙන්න මේ අතරමැදියෝ “අනන්‍යතා නාට්‍යයේ” අධ්‍යක්ෂකවරු වගේ.  දැන් අද මේ එළිදක්වපු පොතම උනත් හොඳ උදාහරණයක් මේක තෙරුම් ගන්න. දැන් මම කලින් කිව්වා වගේ මේකේ තියෙන්නේ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ යාපනයට ගිහිල්ලා එහෙ දවස් කීපයක් ගත කරලා ආපහු ඇවිත් තමන්ගේ අත්දැකීම ගැන ලියපු සටහන්. මේ සටහන් ටිකක් සීරුවෙන් කියවන කොට ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ මුළු වැඩේම කලින් හදපු ස්ක්‍රිප්ට් එකකට අනුව තමයි රඟ දැක්වෙන්නේ කියල. උදාහරණයක් විදියට මේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ යාපනේ විශ්වවිද්‍යාලෙට යනකොට ONURඑකේ කාර්ය මණ්ඩලය මෙයාලට දෙනවා බඩු මල්ලක් බැගින් කිරිපිටි, සැමන් ටින් ඔය වගේ දේවල් තියෙන. ඉතින් මෙයාල එක එක්කෙනා ගිහින් අර දෙමළ ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට මේ බඩු  මල්ල දෙනවා. ඒ හැම කෙනෙක්ගෙම අතේ තියෙනවා කඩදාසි මලක්. ඉතින් ඒ ළමයිනුත් තමන්ට බඩු මල්ල දෙන කෙනාට තමන්ගේ අතේ තියෙන කඩදාසි මල දෙනවා. මේ බඩු මල්ලයි කඩදාසි මලයි හුවමාරු කරගත්ත සිංහල ළමයයි දෙමළ ළමයයි තමයි එකිනෙකාගේ යාළුවා වෙන්නේ ඉදිරි දින කිහිපයට. දෙමළ ළමයා සිංහල ළමයාව තමන්ගේ ගෙදර එක්ක යනවා. ඊළඟ දවස් දෙකේ සංවිධායකවරු සංවිධානය කරලා තියෙන දෛනික වැඩසටහන් ඉවර වෙලා සිංහල ළමය රෑට නතර වෙන්නේ තමන්ගේ දෙමළ යාළුවගේ ගෙදර.

 දැන් මෙතන මෙහෙම දේකුත් වෙනවා. මේ ළමයි යාපනේට යනකම් දන්නේ නැහැ එයාලට මෙහම තනි තනියම දෙමළ ළමයින්ගේ ගෙවල්වල නවතින්න වෙනවා කියල. ගොඩක් ළමයි ලියපු සටහන්වල මේ වෙලාවේ එයාලට ඇති වෙච්ච හැඟීම් මොනවද කියල තියෙනව. සමහරු ලියල තියෙනවා ජීවිතේට තියෙන ආසාව අත  ඇරලා දෙමළ යාළුවගේ ගෙදර නවතින්න යන්න හිත හදා ගත්ත කියල. බහුතරයක් ළමයින්ගේ ඒවා ඒවගේ. ඉතිං ඔය පළවෙනි දවසෙන්  ඒ බය නැතිවෙලා යනවා. මේ අතරේ සමහර දෙමළ ගෑනු ළමයි තමන්ගේ සිංහල යාළුවව දෙමළ විදියට අන්දවනවා, පොට්ටුවක් එහෙම තියල. දැන් ඒවා හෙම කියවන කොට හොඳටම තේරෙනවා සංවිධායකවරු කලින්ම ඒ දෙමළ ළමයින්ට උපදෙස් දීල තියෙනවා කියල එහෙම කරන්න කියල. දැන් මට මෙතන අවධාරණය කරන්න ඕන දේ තමයි මේ අනන්‍යතා නඩත්තුව දැන් ඒ අනන්‍යතාව හිමි කෙනාට විතරක් අදාළ කාර්යයක් නෙමෙයි. තව පාර්ශවත් ඒවා නඩත්තු කරන එකට සම්බන්ධ වෙනවා විතරක් නෙමෙයි ඒ අනන්‍යතා රංගනයේ තිර පිටපත ලියල අධ්‍යක්ෂණය කරන්නෙත් එයාල. මේක ජනවාර්ගික අනන්‍යතාවට විතරක්‌  නෙමෙයි අනෙක් හැම අනන්‍යතාවකටම අදාළයි.

මගේ මාතෘකාවට ආපහු ආවොත්, ජාතික රාජ්‍යය, ජනවාර්ගික අනන්‍යතා ඇතුළු සියලු අනන්‍යතා ඇතුළේ තමයි දේශපාලන (හෝ සන්නද්ධ අරගලමය) ව්‍යාපාර  විසඳුමක් හොයන්නේ. මේ දෙකම, ඒ කියන්නේ ජාතික රාජ්‍යය සහ අනන්‍යතාව කියන දෙකම,  නූතනත්ව ව්‍යාපෘතියේ ප්‍රතිඵල. වෙන විදියකින් කිව්වොත් නූතනත්වයට පෙර මේ දැන් තියෙන අර්ථයෙන් ජාතික රාජ්‍යය කියල එකක්වත්, මේ තියෙන වාර්ගික අනන්‍යතා වගේ දේවල් වත් නැහැ. මෙතන තියෙන්නේ විරුද්ධාභාසයක්. අපි මුහුණ දෙන ප්‍රශ්න බොහොමයක් නූතනත්ව ව්‍යාපෘතිය නිසා ඇති වෙච්ච ඒවා. ඒ කියන්නේ අපි නූතනත්වයේ ගොදුරු. නමුත් අපි විසඳුමක් හොයන්නේ ඒ නූතනත්වය තුළම නූතනත්වයේ විසඳුමක් විදියටයි. ජනවාර්ගික අනන්‍යතාවම  තමයි ප්‍රශ්නේ නමුත් අපි විසඳුම විදියට ගේන්නේ අනන්‍යතා තව ශක්තිමත් කිරීම, විවිධත්වය වඩවඩා සලකුණු කිරීම. කළු ජාතික අනන්‍යතාවම තමයි ප්‍රශ්නේ. නමුත් අපි කරන්නේ “බ්ලැක් ලයිව්ස් මැටර්” කියල ඒ අනන්‍යතාව තව තව තහවුරු කරන එක. නූතන රාජ්‍යයම තමයි ප්‍රශ්නේ. නමුත් විසඳුම විදියට ඉල්ලන්නේ තවත් නූතන රාජ්‍යයක්. දැන් ඔය මාක්ස්ගේ  රාජ්‍යය අහෝසිවීම සම්බන්ධ අදහස විහිළුවට ලක් කරනවනේ සමහර අය. එයාල හිතං ඉන්නේ රාජ්‍යය කියන්නේ පරමයක් සහ හැමදාම තිබුණු දෙයක් කියල. ඇත්තටම  මාක්ස් නිශ්චිතවම කිව්වේ නූතන රාජ්‍යය ගැන. ඔහු ඒකට විරුද්ධ වුනේ හුදෙක් ඒක පාලක පන්තියේ බලය පවත්වාගෙන යන එකක් නිසාම නෙමෙයි. තනි පුද්ගලයා එහෙම නැත්නම් අපි ඔය පුරවැසියා කියල කියන කෙනා  සහ රාජ්‍යය අතර සම්බන්ධය විකෘතියක් ලෙසයි ඔහු දැක්කේ.  

 එතකොට අනන්‍යතා දේශපාලනයේ තියෙන ගැටලුව වෙන්නෙම ඒකෙ තියෙන ප්‍රශ්නයම විසඳුම ලෙස ගැනීම. මේක සියලුම අකාරයේ අනන්‍යතා දේශපාලනයන් සම්බන්ධයෙන් අදාළයි. දැන් ඇත්තටම ගත්තොත් නූතනත්ව ව්‍යාපෘතියම පිරිමි එකක් නේ. ඒ නිසා තමයි ඔය බොහෝ වෙලාවට මිනිසා, ඉංග්‍රීසියෙන් man කියල, ලියවෙන්නේ. “මිනිසා යෝධයෙකු වූයේ කෙසේද?”, “මිනිසා සඳ ජයගනී” වගේ. දැන් අනන්‍යතා දේශපාලනයක් විදියට ස්ත්‍රීවාදයේ තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ නූතනත්වය තුළට ස්ත්‍රිය ඇතුළු කරගන්න කියල ඉල්ලන එක. වෙන විදියකට කිව්වොත් ස්ත්‍රී අනන්‍යතාව නූතනත්වය තුළ වඩා තිර ලෙස සහතික කරන එක වෙනුවෙන් පෙනීසිටීම. එතකොට පෙරළා එය පෙනීසිටින්නේ නූතනත්වය  වඩා තිර ලෙස සහතික කිරීම වෙනුවෙන්. ඇත්තටම  මනෝවිශ්ලේෂණමය  අර්ථයෙන් මේක හිස්ටරික ඩිමාන්ඩ් එකක්. මාස්ටර් වෙත කෙරෙන ඉල්ලීමක්. ඒ අර්ථයෙන් ගත්තහම ඒක මාස්ටර් කෙනෙක් ඉල්ලාසිටීමක්.  පොදුවේ ගත්තහම හැම අනන්‍යතා දේශපාලනයකම ප්‍රශ්නය ඕකයි.

එතකොට අර එක එක දේශපාලන අදහසෙන් අදහසට මාරු වෙවී ආපු මා තුළ වෙනස් නොවී පැවතුන දෙය මොකද්ද? ඒ තමයි නූතනත්වයේ ආත්මය, නූතනත්වයේ විෂය, සබ්ජෙක්ට් ඔෆ් මොඩර්නිටි කියන එක. ලිබරල්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, අනන්‍යතාව, මානව අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, සංවර්ධනය, අධ්‍යාපනය, ආයු අපේක්ෂාව වැඩිවීම, “සෞඛ්‍ය සම්පන්න ජීවිතය”, ව්‍යායාම, දැනුම, විද්‍යාව,  මෙකී නොකී මේ සියලු දේවල් ඕන කරන්නේ මෙන්න මේ නූතන්ත්වයේ ආත්මයට එහෙම නැත්නම් සබ්ජෙක්ට් ඔෆ් මොඩර්නිටි එකට. ඇත්තටම සමාජවාදය කියන්නේ ධනවාදයේ දිගුවක්, එක්ස්ටෙන්ෂන් එකක් මිස ඒකෙ ප්‍රතිවිරුද්ධය නො වෙන්නේ මෙන්න මේ අර්ථයෙන්. මොකද සමාජවාදයට යන්නෙත් මේ ඉන්න සබ්ජෙක්ට් එකම තමයි. ඇත්තටම මේ නූතනත්වයේ ආත්මයත් පරමයක් නෙමෙයි. ඒක හැමදාම තිබුණු එකක් නෙමෙයි. නමුත් අපි ඒක පරමයක් විදියට බාරගෙන ඉන්නවා. “සිස්ටම් චේන්ජ්” ගැන කතා කරන අය හැමතිස්සෙම තමන්ට  එළියෙන් තියෙන සිස්ටම් එකක් තමන්ට ඕන විදියට වෙනස් කරන විදියක් ගැන තමයි කතා කරන්නේ. ඒකෙදි තමන්  සබ්ජෙක්ට් එකක් විදියට ඒකෙ කොටසක් බව දන්නේ නැහැ. ඉතින් චේන්ජ් එක කියල හැම තිස්සෙම වෙන්නේ සිස්ටම් එක පුනර්නිෂ්පාදනය වෙන එක, රිප්‍රොඩියුස් වෙන එක. 

 එතකොට අපි මේ අහුවෙලා ඉන්නේ උගුලක. අපි ප්‍රශ්නෙ ඇතුළෙම විසඳුමක් හොයනවා. සිස්ටම් චේන්ජ් කියල එන්නේ ඒ විසඳුම. ඇත්තටම අපි මුහුණ දෙන අනන්‍යතා ප්‍රශ්නවල ඉඳල පාරිසරික විනාශය පිළිබඳ ප්‍රශ්නය දක්වා ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම් නැහැ. මොකද විසඳුම නැවත වතාවක් අපිව ප්‍රශ්නයකට ගෙනියන නිසා. අනෙක් අතට අපි විසඳුම හොයන්නේ ප්‍රශ්නේ ඇතුළෙම නිසා. අනන්‍යතාව කියන දේමයි ප්‍රශ්නේ, අපි ඒකට විසඳුම විදියට අනන්‍යතා දේශපාලනය ගේනවා. මේ වගේ තමයි අනික් දේවලුත්.

ඉතිං මේක තමයි මම දැන් ඉන්න දේශපාලන අදහස. අපි කරන්න ඕන සිස්ටම් චේන්ජ් කරන එක නෙමෙයි. මීයෝ වගේ සිස්ටම් එක යටින් හාරන එක. සිස්ටම් එක ඇතුළේ ඉඳන් ඒක චේන්ජ් කරන්න ගන්න උත්සාහය කියන්නේ ඒක රිප්‍රොඩියුස් කරන්න ගන්න උත්සහයක්.  හැබැයි ඒක කඩන් වැටෙන කොට අපි එළියට යන්න ඕනි. ඒ යනකොට අපිට අපිවත් නැති වෙනවා. වෙන විදියකට කිව්වොත් අප දරා සිටින නූතනත්වයේ ආත්මය පරදුවට තියන්න වෙනවා. අලුත් ආත්මීත්වයක් හැදෙයි. ඒක මොන විදියේ එකක් ද කියල අදහසක් නැහැ. ඇත්තටම ඒක මොන විදියේ එකක්ද කියන එක ගැන වද වෙන එකමත් තේරුමක් නැහැ. මම විප්ලවය කියන්නේ අන්න එහෙම ඒ ගැන වද නොවී මේ වැඩේ කරන එකට. මේ වැඩේ තනියම කරන්න බැහැ. මොකද මගේ ආත්මීත්වය කියල කියන්නේ අනෙක් කෙනා ගෙන් වෙන් වෙච්ච දෙයක් නොවන නිසා. එතකොට මේක සාමූහික ක්‍රියාවක්. ඒ නිසයි ඒක දේශපාලනික වෙන්නේ. මගේ තේරුම් ගැනීම අනුව කොමියුනිස්ට් සමාජය කියන්නේ මේ විදියට අපේ වත්මන් ආත්මීයත්වය පරදුවට තියල මේ තියෙන එකෙන් පිටවීමෙන් පසු තත්වයක්. ඒක අපට මේකේ ඉඳන් පරිකල්පනය කරන්න බැහැ. නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන්. කොමියුනිස්ට් සමාජයක් කියන්නේ මේ තියෙන එකේ දිගුවක් නොවෙනවා වගේම කොමියුනිස්ට් ආත්මය, එහෙම නැත්නම් කොමියුනිස්ට් සබ්ජෙක්ට්  කියන්නේ මේ තියෙන නූතනත්වයේ ආත්මයත් නෙමෙයි කියන එක. මාක්ස් රාජ්‍යය අහෝසි වෙනවා කියපු එක බොහෝ අය තේරුම් අරන් තියෙන්නේ වැරදියට. රාජ්‍යය අහෝසි වෙනකොටම පුරවැසියත් අහෝසි වෙනවා. ඔහුගේ අදහසේ බර තියෙන්නේ එතනයි. 

(දර්ශන ලියනගේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය ද, රුහුණ විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ද ලබා ඇති ඔහු ඉන්දියාවේ ටෙස්පූර් විශ්වවිද්‍යාලයෙන් සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ දර්ශනශූරී උපාධිය ද ලබාගෙන තිබේ)  


Total
41
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජන අරගලය ගැන …

~ අනුෂ්කා කහඳගමගේ මේ මොහොතේ මදක් නැවතී මේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට තරම් වරප්‍රසාද සහිත තත්වයකට මා ඔසවා තැබුවාට නිදහස් අධ්‍යාපනයට සහ ඒ වෙනුවෙන් බදු ගෙවූ ජනතාවට ප්‍රථමව ප්‍රණාමය පුද කරමි. විශාල සමාජ විපරිවර්තනයක අංකුර මතුවෙමින් පවතින මේ මොහොත, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම වෙනස්ම ආකාර සන්ධිස්ථානයක් ලෙස දකිමි. ඒ මොහොත තුළ බොහෝ ධනාත්මක දේ ඇති අතර, ඒ ධනාත්මක දේ තවත් ප්‍රගතිශීලී මාවත් කරා යොමුකළ යුතුව ඇත. ඉතාම දීර්ඝ කාලයක් ජාති ආගම්, කුල මල, ස්ත්‍රී පුරුෂ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘රත්තරන්’ හෙලේනා මාලදිවයිනට යැවීම සහ විදේශ සේවා විගඩම

~ සසංක පෙ​රේ​රා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාල​ය පාස​ල් යන සමයේ සිට මා රෝහණ බැද්දගේ පිළිබඳව දැන සිටියේ සිංහල ජනප්‍රිය සංගීතයට අතිශයින් සිත්ගන්නාසුළු, අතැමුන් ‘ග්‍රාමීය’ යැයි අරුත්ගැන්වූ, ගායනා හා සංගීත ආරක් එක්කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු ලෙසිනි. ‘මගේ රත්තරන් හෙලේනා’ යන ගීතය අදත්  මා හද රැඳී තිබෙන්නේ ඔහු ගැයූ වඩාත් රසවත් ගීතයක් ලෙසිනි. කෙසේ වුව ද, ඔහු ජනාධිපතිවරයා විසින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බැව් සන්නිවේදන මාධ්‍ය වාර්තාකරන විට මා පුදුමයට පත්වූයේ, තමන් ප්‍රගුණකර ඇති…
වැඩි විස්තර පරිශීලනයට