පශ්චාත් කෝවිඩ් යුගයේ විශ්වවිද්‍යාල ආශ්‍රිත ඥාන ගවේෂණය හා දැනුම් නිෂ්පාදනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය
 
ප්‍රවේශය

විඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් එක්ක ලෝකේ අතිවිශාල වෙනස්කම් ඇතිවෙලා තියෙන බව අපි හොඳින් දන්නවා. අපි ඒ වෙනස්කම් මේ මොහොතේත්, අත්විදිනවා. ඒ වෙනස්කම් මානව සබඳතාවල මූලික ස්වභාවයටත් බරපතල බලපෑම් කරලා තියෙනවා. ඒ නිසා, මේ වෙනස්කම් සහ ඒවා එක්ක බැඳිලා තියෙන දේශපාලන ගතික විශ්වවිද්‍යාලවලට විතරක් බලපෑම් නොකරයි කියලා හිතන්න කිසිම හේතුවක් නෑ. නමුත්, ඒ වියහැකි වෙනස්කම් පිළිබඳ ඇතැම් පැහැදිලි ඉඟි මීට පෙර ඇතිවෙලා තියෙන විපර්යාසවලිනුත් පෙන්නුම් කරලා තියෙනවා. මේවා පිලිබඳ අපි දැනුවත් වී සිටීම සහ අවශ්‍යනම්, ඒ වෙනස්කම් යම් ශිෂ්ටසම්පන්න දිශාවකට යොමු කරන්න උත්සාහ කිරීම, අපේ සාමුහික වගකීමේ කොටසක් කියලයි මම හිතන්නේ. අද මම මේ සරල හා මූලික අදහස් දැක්වීම කරන්නේ, මේ ස්ථාවරයේ ඉඳගෙනයි.

මම අද කියන බොහෝ දේ මීට ඉස්සර මම නොයෙකුත් තැන්වල දී කියලා සහ යම් දුරකට ලියල තියෙන දේවල්. මේ අදහස් නැවත වරක් මෙහිදී කියන්න සහ අවධාරණය කරන්න මම තීරණය කළේ, මේ සාකච්ඡාවටත් ඒවා  වැදගත් වන බව පෙනෙන නිසා. නමුත් වර්තමානය වන විට, මගේ පර්යේෂණ උනන්දුව ලංකාවේ අධ්‍යාපනයෙන් ඔබ්බට ගිහින්, මේ කලාපයේ උසස් අධ්‍යාපනයේ ශාස්ත්‍රාලයීය නිදහස් වගේ කරුණු දැනුම් නිෂ්පාදනය සමග සම්බන්ධ වී ඇති ආකාරය තේරුම් ගන්න කරන උත්සාහයක් බවට පත්වෙලා තියෙනවා. කොහොම වුනත්, මම අද කියන්න යන දේ ගැන පැහැදිලි සන්දර්භගතකිරීමක් මුලින්ම කලොත් හොඳයි කියලා මම හිතනවා.

1) මම අද ‘විශ්වවිද්‍යාල’ කියන පදය භාවිත කරන්නේ, එහි පරමාදර්ශී සහ ගෝලීය අර්ථයෙන්. ඒ කියන්නේ, අර්ථය අතින් එතරම් ව්‍යාකුල නැති අදහසක් හැටියටත්, ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැකගත හැකි ආයතන පද්ධතියක් හැටියටත්. ඒ පරමාදර්ශී අදහසේ ඇති කේන්ද්‍රීය උපකල්පන අදටත් අතිශයින් වැදගත් බව මගේ විශ්වාසයයි.

2) මෑත අතීතයේදී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඇතිවී තිබෙන වෙනස්කම් මෙන්ම කොවිඩ් වසංගතයෙන්  පස්සේ ඇතිවිය හැකි වෙනස්කම් දැනටමත් පුළුල් ගෝලීය කතිකාවක කොටසක් බවට පත්වෙලා. නමුත් මේක අසම්පුර්ණ කතිකාවක්. ඒ වගේම, මේක හුදු ලාංකේය ප්‍රශ්නයක් විතරක් නෙවේ. ලංකාවෙ වගේම ලොව අන් තැන්වලත් ක්‍රියාත්මක වෙන සුවිශේසී පරිස්ථානීය තත්ත්ව මේ පුළුල් විපරිවර්තන්වලට සුවිශේසි ලෙස බලපෑම් කිරීම වෙනම කරුණක්. ඒ නිසා මෑත කාලීන පද්ධතිමය වෙනස්කම් තේරුම් ගැනීම වැදගත්.

3) මේ පසුබිම කෙටියෙන් විස්තර කරලා, අද මට අවශ්‍ය, ඉතා කෙටියෙන්, විශ්වවිද්‍යාල පිළබඳ පරමාදර්ශී ස්ථාවරයේ ඉදන්, ඒවායේ ඇතිවී තිබෙන මෑතකාලීන වෙනස්කම් ඔස්සේ, පශ්චාත් කෝවිඩ් අනාගතය වෙත යම් එබී බැලීමක් සිදු කිරීමටයි.

විශ්වවිද්‍යාල පිළිබඳ පරමාදර්ශී අදහස

විශ්වවිද්‍යාලයක් කුමනාකාරයේ ආයතනයක් විය යුතු ද යන ප්‍රශ්නය ගැන යම් මූලික එකඟතාවක් ලෝකයේ තියෙනවා. ඒ එකඟතාව සමග විශ්වවිද්‍යාල ආයතන හැටියට සත්‍යවශයෙන්ම සමීප වී තිබේ ද නැත්ද කියන එක අවශේස කාරණයක්.  දාර්ශනිකයෙකු හා අධාපනඥයෙකු මෙන්ම 1960 දශකයේ  ඉන්දියාවේ ජනාධිපතිවරයා ද වූ ආචාර්ය සරවාපිල්ලේ රාධක්‍රිශ්නන්ට අනුව, “විශ්වවිද්‍යාලයක පරමාදර්ශය විය යුත්තේ, මනස බැඳීම්වලින් මුදවාගැනීම සහ චින්තනයේ නිදහස” සාක්ෂාත් කර දීමය (කරුණානායක 2011). මේ පරමාදර්ශය අපි පිලිගන්නවා නම්, ඒ අදහස ක්‍රියාත්මක වන තැනක හණමිටි අදහස්වල පිහිට පැතීම හෝ අනුකූලතාවාදියෙකු වීමට හෝ අවකාශ නැති බව ආචාර්ය රාධක්‍රිශ්නන් පවසයි (කරුණානායක 2011). ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය  පණ්ඩුක කරුණානායක වඩාත් මෑතකදී පවසා ඇත්තේ, “විශ්වවිද්‍යාලය සමාජයේ බුද්ධිමය මාලිමා යන්ත්‍රය” බවත්,  “එය එහි පරිඝණකය නොවන” බවත්ය (කරුණානායක 2011). එනම්, සමාජයක් ගමන්කළ යුතු දිශානතිය හා ගමන් මග සලකුණු කිරීම මේ ආයතනවල වගකීම බවත්, ඒවා හුදු පුහුණු කදවුරු පමණක් නොවිය යුතු බවත්ය. 

20 වන සියවස මුල්කාලයේදී  මෙවැනිම සන්ධර්භයක් තුළ, ගත්කරු රබීන්ද්‍රනාත් තාගෝර් පැවසුවේ, “දැනුම් එකතුකිරීමේ හා බෙදා හැරීමේ හුදු තාක්‍ෂණික මධ්‍යස්ථාන බවට විශ්වවිද්‍යාල කවදාවත් පත් නොකළ යුතුය” යන්නය (තාගෝර් 2014). මේ සියලු අදහස්වල සමස්ත හා සරල අර්ථය නම්, විශ්වවිද්‍යාල සාමාජයේ නිර්භය හෘද සාක්‍ෂ්‍ය වියයුතු බවත්, එය පටු උපයෝගීතාවාදී හා දේශපාලනික බැඳීම්වලින් මිදී තිබිය යුතු බවත්.

මේ පරමාදර්ශී තත්ත්වය මෙසේ නොවිය යුතුයි කියා, විශ්වවිද්‍යාල දැඩි ලෙස වෙනස්කිරීමට උත්සාහ ගන්නා ලෝකයේ නොයෙක් ප්‍රදේශවල සිටින බොහෝ දේශපාලන නායකයින් ද සමාන්‍යයෙන් කියන්නේ නැත. එනම්, මේ ආයතන හුදු තාකෂණික හා රැකියා පුහුණු කදවුරු කළ යුතු යැයි කිසිම ජාතික නායකයෙක් කියනවා මා අසා නැත. එනමුත්, ඇමරිකාවේ සිට බටහිර යුරෝපය දක්වාත්, දකුණු ඇමරිකාවේත්, අපේ කලාපයේත් විශ්වවිද්‍යාල තත්කාලීනව වෙනස්කිරීමේදී මේ පරමාදර්ශ පිළිබඳ එතරම් උන්දුවක් බොහෝ විට දක්වා නැති බව බැලූ බැල්මට වුවත් පැහැදිලි වෙනවා. මේ තත්ත්ව තුළ, සාමාන්‍ය බුද්ධිමය හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට, සමස්තයක් ලෙස එක හෙලා පිළිගන්න පුලවන් කරුණක් නම්, වර්තමානයේ මේ මොහොත වන විට, බොහෝ රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය බරපතළ අර්බුද ගණනාවකට නතුව පවතින බව. මේ තත්ත්ව පිළිබඳ අප සිතට ගත යුත්තේ, මේ අර්බුද පශ්චාත්-කෝවිඩ් යුගයේදී වඩාත් පැහැදිලිව සංස්ථාගත කිරීමට බෙහෙවින් ඉඩ තිබෙන නිසාය. දැනට මේ අර්බුද වඩාත් පැහැදිලිව පෙනෙන්නේ, විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා යන පුළුල් ක්‍ෂෙත්‍රවලට අයත් විෂයන් ඉගැන්වීම සම්බන්ධයෙන්ය. හැබැයි, මගේ විශ්වාසය  මේ තත්ත්වය ශුද්ධ විද්‍යාවන් සම්බන්ධයෙන් ද දකුණු ආසියා කලාපයේ පැහැදිලිව දැකගත හැකි බවයි. එක අතකින්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය වැනි නව විශ්වවිද්‍යාලයක, භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, රසායන විද්‍යාව වැනි විෂයන් උගන්වන්නේ නැතිව, ජීව තාක්ෂණවේදය  (biotechnology) වැනි විෂයක් ආරම්භ කිරීම මීට උදාහරණයක්.

එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව මහාචාර්ය ටෙරී ඊගල්ටන් 2010දී රචනා කළ ‘Death of Universities’ (විශ්වවිද්‍යාලවල අභාවය) යන රචනයෙන් මෙවන් අදහසක් ඉදිරිපත් කරයි: “අප අපගේ ජීවිත කාලය තුළදීම අත්දැක තිබෙන්නේ, විවේචනයේ කේන්ද්‍රස්ථාන සේ තිබූ විශ්වවිද්‍යාලවල අභාවයයි” (ඊගල්ටන් 2010). මේ අදහස මහාචාර්ය කරුණානායක ලංකාව සම්බන්ධයෙන් වඩාත් මෑතකදී ඉදිරිපත් කළ අදහසට බොහෝ සමානයි. එක්සත් රාජධානිය සම්බන්ධයෙන් මහාචාර්ය ඊගල්ටන් වැඩිදුරටත් පවසන්නේ, “මාග්‍රට් තැචර්ගේ පාලන වකවානුවේ සිට විශ්වවිද්‍යාලවල භූමිකාව වී ඇත්තේ, පවතින සමාජ බලව්‍යුහයට සේවය කිරීම” බවත්, එනිසාම විශ්වවිද්‍යාල “යුක්තිය, සම්ප්‍රදාය, පරිකල්පනය, මානව ශූභ සාධනය, චින්තනයේ නිදහස් ක්‍රියාකාරීත්වය සහ අනාගතය පිළිබඳ විකල්ප අදහස් ගොඩනැගීම වැනි අරමුණු වෙත යොමු නොවී, පවතින බල-ව්‍යුහය අභියෝගයට ලක්කිරීමෙන් වැලකී සටින” බවත්ය (ඊගල්ටන් 2010). මේ තත්ත්වය  එක්සත් රාජධානියට පමණක් බලපාන තත්ත්වයක් නොවේ. මේක අපේ රටත් ඇතුළුව, දකුණු ආසියාවේ සහ යුරෝපයේත්, උතුරු ඇමරිකාවෙත්, නැගෙනහිර ආසියාවෙත් එක එක මට්ටටම්වලින් දකින්න පුළුවන් තත්ත්වයක්.

මේ බොහෝ චින්තකයින් පෙන්වාදෙන්නේ, විශ්වවිද්‍යාල විචාරය පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂා අවකාශ හා දැනුම් සම්පාදන අවකාශවල සිට සරල තාක්‍ෂණික අවකාශ දක්වා පරිවර්තනය කිරීමට නොයෙක් රටවල ආණ්ඩු සහ ආර්ථික බලවතුන් ක්‍රියාකර ඇති ආකාරයයි. මේ පරිවර්තනයට සාමාන්‍යයෙන් රටවැසියන් මෙන්ම, විශ්වවිද්‍යාල සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් මෙන්ම විශ්වවිද්‍යාල ගුරුවරුන් ද බොහෝ විට කැමති බව අප දන්නා කාරණයක්. මේ සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය සුවිශේසී නෑ. මේ එකගතාවට හේතුව, මේ විපරිවර්තන තුළින් තරුණ පිරිස් රැකියා වෙළඳපොලට අවශ්‍ය ලෙසින් පුහුණු කළ හැකිය සහ එමගින් ඔවුන්ගේ ජීවිත මෙන්ම රටේ අනාගතය ද සුඛිත මුදිත කළ හැකිය යන  විශ්වාසයයි. මීට බොහෝ කලකට පෙර, ගත්කරු රබීනද්‍රනාත් තාගෝර් ‘An Asian University’ (ආසියානු සරසවියක්) යන සිය රචනයෙන් බොහෝ කනස්සල්ලෙන් කරුණු දැක්වූයේ මේ ප්‍රවණතාව පිළිබඳවමය. ඔහුට අනුව, “අපට පොත්පත් ගොඩනැගිලි මෙන්ම අන් මනස්කාන්ත දෑ ද ලබාදී ඇත්තේ, අපගේ මනස යටපත් කිරීමටය — මේ සියල්ලම නිසා අපට බොහෝ මුදලක් වැයවී ඇත. එමෙන්ම, ඒ සමගම අපගේ සුමට අදහස් ද අපට නැතිවී ගොස් ඇත. මේවා මගින් අපගේ බුද්ධිමය අවකාශය පුරවා ඇත්තේ එතුල නිල වාර්තාවල අධ්‍යාපනය නමින් හඳුන්වන දෑ පිරවීම තුලිනි” (තාගෝර් 2004). ඔහු මේ අදහස් ඉදිරිපත් කළේ ඉන්දියාවේ යටතවිජිත අධ්‍යාපනයේ පසුගාමීත්වය පිළිබඳව කතා කිරීමේදී. මේ අදහස් වර්තමාන තත්ත්වවලට ද අදාල ද යන්න අප සිතා බැලිය යුතුයි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පිළිබඳ නිල පදනම සහ වර්තමාන තත්ත්වය

විශ්වවිද්‍යාලවල පරමාදර්ශී අපේක්ෂාව සහ ඒවා වෙනස් වී ඇති ආකාරය මා කෙටියෙන් විස්තර කළේ, මේ විපර්යාසයේ වඩාත් මෑතකාලීන වෙන්ස්වීම්වල දිශානති සහ අනාගත මං මාවත් කෙසේ වේ දැයි තේරුම් ගැනීමටය. මේ විපර්යාසවල මූලික ගොදුරක්, නැත්නම් ඉලක්කයක් වී ඇත්තේ, සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පිළබඳ විෂයන්ය. ඊට මූලිකම හේතුව නම්, එම විෂයන් මගින් වෙළඳපොලට අවශ්‍ය ශ්‍රම බලකාය පුහුණු කරන්නේ නැත යන ප්‍රබල අදහසයි.

2020 ජූනි මාසයේදී, එවකට සිටි ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ඩෑන් ටෙහාන් පැවසුවේ, විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර විෂයන් හදාරණ සිසුන්ගේ ගාස්තු 113% කින් වැඩි කළ යුතු බවයි. මීට සාපේක්ෂව ඉංජිනේරු, කෘෂිකාර්මික, හෙද විද්‍යාව වැනි වඩාත් ප්‍රයෝජනවත් ලෙස සැලකෙන විෂයයන් සඳහා ගෙවිය යුතු ගාස්තු බෙහෙවින් අඩු වීය. ඔහු කියා සිටියේ මෙම තීරණය ගත්තේ, උසස් අධ්‍යාපනයේදී රැකියා හා ඍජුව සම්බන්ධ විෂයන් තෝරාගැනීමට  සිසුන්ට දිරි ගැන්වීමට බවයි.  වෙනත් වචන වලින් කිවහොත්, ඔහුගේ උනන්දුව වූයේ ඕස්ට්‍රේලියාවේ තරුණයින් පොදුවේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යාවන්ගෙන් ඈත් කර, ඔවුන්ට රැකියා සඳහා යම් මූලික පුහුණුවක් ලබා දීමයි. ලංකාවේ ජනාධිපතිවරයාත්, මෑත අතීතයේදී ‘ඉල්ලුමක් ඇති’ විෂයයන් කෙරෙහි පමණක් සිසුන් උනන්දුවක් දැක්විය යුතු යැයි පවසුවේ මෙවන් තත්වයක් තුළ ය.

ලංකාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල දැනට පිවිස ඇති  මේ දිශානතිය ආරම්භ වූයේ මීට දශක කිහිපයකට පෙරය. මීට කලකට පෙර, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලංකාවේ සරසවිවල  අනාගතය හා භූමිකාව විස්තර කළේ මෙලෙසය: “ශ්‍රී ලංකාවේ උසස් අධයාපන ක්‍රමය තුළ ක්‍රියාත්මක වන සිසුන්, කර්මාන්ත හිමිකරුවන්, කාර්ය මණ්ඩළ හා අනෙකුත් පාර්ශ්වකරුවන් තෘප්තිමත්කිරීම සඳහා ප්‍රතිඵලදායක ප්‍රතිපත්ති සහ උපායමාර්ග සූත්‍රගත කොට ක්‍රියාත්මක කිරීම; සහභාගීත්ව ක්‍රියාවලියක් ඔස්සේ කටයුතු කරමින් සාධනීය ප්‍රතිඵල කාර්යක්‍ෂම අන්දමින් ලබාදෙන විශිෂ්ට බුද්ධිමතුන්, වෘත්තිකයන්, පර්යේෂකයන්, ව්‍යවසායකයන් බිහිකරමින් ශ්‍රී ලංකාව ‘ආසියාවේ ආශ්චර්ය’ බවට පත් කිරීම සඳහා අවශ්‍ය නවෝත්පාදක විසඳුම් ඉදිරිපත් කිරීම.” නිල වශයෙන්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ මෙලෙස බැලූ බැල්මට නිදහස් චින්තනයට හා නව්‍යකරණයට අවකාශ ඇති බව පෙනුන ද, යථාව ලෙස බිම් මට්ටමේදී වඩාත් පැහැදිලිවන්නේ, පරමාදර්ශී විශ්වවිද්‍යාලවලට වඩා බෙහෙවින් වෙනස් ආයතනික ව්‍යුහයක් රාජ්‍යය මගින් ස්ථාපනය කර ව්‍යාප්ත කිරීමට, ප්‍රභල අනුග්‍රයහක් දක්වන බවය. ඒවා විශ්වවිද්‍යාල පිළිබඳ මුල් අදහසින් බොහෝ දුරස් වී ඇති බවත් පැහැදිලියි. මේ තත්ත්වයට පාදකවී ඇති බොහෝ අදහස් පදනම් වී ඇත්තේ, රාජ්‍යය විසින් පර්යේෂණ සහ පුහුණුව යන අදහස් හා ගතික තේරුම් ගෙන තිබෙන ආකාරය මතය. මේ සම්බන්ධයෙන් පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ, ජාතික පර්යේෂණ අවශ්‍යතා සැපිරීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හා එහි එහි ශාස්ත්‍රඥයන් වගකිවයුතු බවට පුළුල් එකගතාවක් විශ්වවිද්‍යාල බලධාරීන්, කර්මාන්ත හිමිකරුවන් හා බොහෝ සරසවි ගුරුවරු අතර පවතින බවය. එමෙන්ම, පුහුණුව යන්න ද තේරුම් ගන්නේ මේ අවශ්‍යතා සඳහා යොමු වූවක් වශයෙන් පමණි. නමුත් ‘පර්යේෂණ’ යන්න මෙලෙස තේරුම් ගත් විට, එය රටේ “කාර්මික සංවර්ධනයට හා ආර්ථික ප්‍රවර්ධනයට” (කරුණානායක 2014) උපකාරී විය යුතුය යන අදහස කේන්ද්‍රීයව වැදගත්වේ. පර්යේෂණ පුහුණුව යන්න මෙසේ තේරුම් ගන්න පුළුවන් බව පැහැදිලියි. නමුත්,  ඒ මේ ගැන තියෙන එක් නිර්වචනයක් පමණි. එනම්, එය හුදෙක් බෙහෙවින් පටු උපයෝගීතාවාදී අර්ථගැන්වීමක් පමණි. ඉතාමත් මෑතදී වරාය නගරයේ රැකියා අවශ්‍යතා සඳහා තරුණ කණ්ඩායම් පුහුණු කිරීමට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිව්‍යුහගත කරන බව තරුණ කටයුතු ඇමතිවරයා කළ ප්‍රකාශය මෙන්ම පසුගිය ජනාධිපතිවරණය සඳහා  වත්මත් ජනාධිපතිවරයා නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මූලික වශයෙන් කාර්මික විශේෂඥයින් (technocrats) හා අන් ශ්‍රමිකයින් පුහුණු කිරීමට ලඝු කිරීමෙන් ද පෙන්වන්නේ  මේ ප්‍රවණතාවමයි. එමෙන්ම, 2019 ජාතික විගණන කාර්යාංශය මගින් නිකුත් කළ ‘කලා උපාධිදාරීන්ගේ රැකියා වියුක්තිය’ පිළබඳ විගණන වාර්තාව (PER/A/HED/A/2019/4) සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර හදාරන්නන්, නැතිනම් කලා උපාධිධාරීන් සංගීතය, නැටුම්, රචනය, රඟපෑම ආදී දේ ඉගෙනගන්නවුන් ලෙස අතිශයින් ගැටලුකාරී ලෙස ලඝු කිරීමෙන් පෙන්වන්නේ ද මේ ප්‍රවණතාවයි. එනම්, මේ ආයතනවල පුළුල් භූමිකාව මුළුමනින්ම අමතක කිරීමයි.

විශ්වවිද්‍යාල හා සබැදි පර්යේෂණ හා පුහුණුව පිළිබඳ තේරුම්ගැනීම මේ පටු සීමාවෙන් ඔබ්බට කෙලෙසින්වත් ගමන් නොගන්නා බව රාජ්‍ය සහ ප්‍රධාන ධාරාවේ විශ්වවිද්‍යාල කතිකා අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. මේ තත්ත්වය ලංකාවේ වගේම, ඉන්දියාවෙත්, බන්ගලිදේශයේත්, පාකිස්තානයේත්, භුතානයෙත් මෙලෙසින්ම පවතින බව මා දැක තිබෙනවා. මෙතැනදී මතුවෙන ගැටලුව තමයි, පර්යේෂණ හා පුහුණුව යන්න මේ විදියට පමණක් අර්ථවත් කලොත්, එය මූලික වශයෙන් තීරණය වන්නේ  වෙළෙද ලාභය සහ වෙළදපොල යන සාධක දෙකට පමණක් සාපේක්‍ෂව වීමයි. එනම්, සියලුම පර්යේෂණ, පුහුණු කටයුතු, පාඨමාලා සහ උත්පාදනය කරණ අන් දැනුම ව්‍යවසාය සමග ඍජුවම සම්බන්ධ විය යුතුය යන කාරණය වේ. තාක්‍ෂණික ශික්ශණයන්ට අමතරව, සමාජයීය විද්‍යාවන්ගේ ඇතැම් විෂයන් ද කර්මාන්ත සඳහා මෙන්ම ජාතික හා ජාත්‍යන්තර සිවිල් සමාජයීය ආයතන සඳහා සේවා සපයන්නන් බවට මේ වන විට පත්වී තිබේ. එනම්, පර්යේෂණ හා පුහුණුව යන්න තවදුරටත් දැනුම ගවේෂණය හෝ මානව සංහතියට උරුම වූ තත්ත්ව තේරුම්ගැනීමට හෝ සමාජයේ දිශානති පිළබඳ සාකච්ඡා කිරීමට හෝ පවතින ප්‍රවේශවලට විකල්ප සම්පාදනයට  හෝ යොමු වූ ක්‍රියාවලියක් නොවේ.

මෙහි යථාව නම්, අප රටේ මෙන්ම අන් බොහෝ තැන්වල ද පරමාදර්ශී විශ්වවිද්‍යාල කප්පාදු කිරීම  හා ඒ වෙනුවට තාක්‍ෂණික ආයතන ස්ථානගත කිරීමය. සැබැවින්ම, තම දරුවන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වෙත යවන බොහෝ දෙමාපියන් රාජ්‍ය විසින් ඔවුන්ගේ දරුවන්ට ලබාදෙන්නට යෝජනා කරන, නැත්නම් ‘ඩිමාන්ඩ් තියෙන’ උපයෝගීතා තාක්‍ෂණික දැනුම ඉමහත් කැමැත්තෙන් බාරගන්නට සූදානම් බව මතුපිට නිරීක්‍ෂණයන්ගෙන් වුව ද පෙනේ. එනම්, තම දරුවන්ට ශ්‍රම වෙළෙදපොළ තුළ ගැටළුවකින් තොරව රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය තාක්‍ෂණික අධ්‍යාපනයකි. පවතින සමාජාර්ථික අභියෝග හමුවේ මෙය තේරුම්ගැනීමට අපහසු තත්ත්වයක් ද නොවේ. සමස්ත ලෝකයේ හෘද සාක්‍ෂ්‍යය මැනැවින් වටහාගත් දාර්ශනිකයෙකුගෙන් සාමාන්‍ය පවුලකට සිදුවන්නේ කුමන සෙතක්ද? රට ගමන් කරන දේශපාලන දිශානති තේරුම ගෙන, අවශ්‍ය නම්, ඒවාට විකල්ප හා වඩාත් ආචාර්ධර්මීයව සුදුසු ප්‍රවේශ යෝජනා කරන චින්තකයින් ඔවුන්ට කුමටද?  ඔවුන්ට අවශ්‍යවන්නේ, මාසික වැටුපක් ලබාගැනීමේ හැකියාව ඇති, එමගින් තම පවුල නඩත්තු කළහැකි ශ්‍රමික දරුවෙක්ය. පවුලේ සාගතය හා යම්දුරකට හෝ එහි අනාගතය පිළිබඳ සාංකා විසඳිය හැක්කේ එවන් වැටුපකටය. මේ තත්ත්ව තුළ විශ්වවිද්‍යාල මා පෙර සාකච්ඡා කළ ආකාරයේ ප්‍රත්‍යවේශණයේ සහ වගකීම්-පූර්වක විචාරයේ කේනද්‍රස්ථාන ලෙස දැකීමේ පදනම තවදුරටත් සාධාරණීකරනය කළ හැකිද? නොඑසේනම්, වඩාත් අදාලවන්නේ, අප සාමාජයේ බොහෝ දෙනා විශ්වවිද්‍යාලවලින් බලාපොරොත්තු වන ආකාරයේ අධ්‍යාපනයක් පමණක්ද? එනම්, සරලව පවසන්නේ නම්, රැකියාවක් පිළිබඳ යම් පොරොන්දුවක් සහිත මූලික මට්ටමේ උපයෝගීතාවාදී තාක්‍ෂණික අධ්‍යපනයක්ය. දැනටමත් විශ්වවිද්‍යාල තුළම තිබෙන ඇතැම් ආයතන මගින් වෛද්‍ය ශිල්පය, ඉන්ජිනේරු ශිල්පය, පරිඝණක තාක්‍ෂණවේදය ආදී වශයෙන් ලබා දෙන්නේ ද මෙවැනි තාක්‍ෂණික අධ්‍යාපනයක්ය. නමුත් මෙවන් තාක්ෂණික හා උපයෝගීතාවාදී අධ්‍යාපනයක් සමාජයීය විද්‍යා, මානව ශාස්ත්‍ර සහ ශුද්ධ විද්‍යා සම්බන්ධයන් උපකල්පනය කිරීම වඩාත් අපහසුය.

මෙහිදී මා අවධාරණය කළයුතු වන්නේ, රාජ්‍යයේ තාක්‍ෂණික අධ්‍යාපන න්‍යායපත්‍රයට හුදු අදහසක් ලෙස මාගේ විරෝධතාවක් නොමැති බවය. සමාජයේ අපේක්‍ෂාවන් ද  සලකා බලන විට, යම් දුරකට එවන් අධ්‍යාපනයක් අප දරුවන්ට ලබාදීමේ වගකීමක් අපට තිබේ. එනමුත්, මෙවැනි පුළුල් ආයතනික ප්‍රතිව්‍යුහගතකිරීමක් පිළිබඳ සුපැහැදිලි අරමුණු පැහැදිලි කිරීමක් හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයක් හෝ තවමත් දකුණු ආසියාවෙන් හෝ ලොව අන් ස්ථානයක මා දැක නැත. ඒ සමගම මා පිළිගන්නා තවත් කාරණයක් නම්, මෙරට ද ඇතුළුව ලොව බොහෝ ස්ථානවල, විශ්වවිද්‍යාල බොහෝ දුරට, නොයෙකුත් හේතු නිසා, මා මුලින්ම විස්තර කළ පරමාදර්ශී භූමිකාවන්ගෙන් ද මේ වන විට ඈත් වී තිබෙන බවයි.  මේ තත්ත්වය ගැනම, ඉන්දීය සන්දර්භයට සාපේක්ෂව මහාචාර්ය රොමිලා තාපර් පවසන්නේ මෙවන් අදහසකි: “අද දින, මීට පෙර කිසි දාකටත් වඩා ශාස්ත්‍රඥයින් නම් අප අතර සිටිති. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා වඩාත් රුචියක් දක්වන්නේ බලධාරීන් සමග කිසිම ගැටුමකට නොයා සිටින්නටය. එමගින් නිදහස් චින්තනයේ මංපෙත් අහුරා දැම්මද ඔවුන්ට කම් නැත. මේ තත්ත්වය උද්ගතව ඇත්තේ ඔවුන්ට ගැටළුවකින් තොරව දැනුම සොයා යෑමට අවශ්‍ය මාර්ග සොයා ගැනීමට අවශ්‍ය නිසාද? නැතහොත්, ඔවුන් බලධාරීන් බලකරන්නේ නම්, දැනුම වුවද පාවාදීමට සූදානමින් සිටීද?” (තාපර් 2014)

මේ සමගම ඉන්දියාවේ, ලංකාවේ, භූතානයේ හා බංගලිදේශයේ පසුගිය දස වසර තුළ මා කළ යම් සොයාබැලීම්වලින් මට පෙනෙන්නේ, ඇතැම් පාඨමාලාවලින් ලබාදෙන දැනුම බෙහෙවින් යල්පැන ගිය දැනුමක් මෙන්ම, ඒවාට ප්‍රබල දාර්ශනික, ආචාරධර්මීය හෝ අවම වශයෙන් උපයෝගීතාවාදී පදනමක් හෝ නොමැති බවයි. වඩාත් අවාසනාවන්ත කාරණය වන්නේ, අපගේ කලාපයේ අතිවිශාල උසස් අධ්‍යාපන ආයතන ගණනාවක මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යාවන්ගේ නාමයෙන් උගන්වන බොහෝ දේ මේ ගැටළුකාරී ප්‍රවර්ගයට වැටීමයි.

මේ ආයතන පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමේදී  මේ අරමුණු දෙකම, එනම් උපයෝගීතාවාදී සහ අචාර්ධර්මීය හා සමාජ දේශපාලනික සවිඥානකත්වය යන දෙකම අපට ඕනෑම පාඨමාලාවක් සම්බන්ධයෙන් පරිකල්පනය කළ නොහැකිද? 1950 ගණන්වල ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු IIT නැතිනම් Indian Institute of Technology (තාක්ෂණය පිළිබඳ ඉන්දියානු ආයතන පද්ධතිය) යන උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය ආරම්භකළ විට, එහි මුඛ්‍යාර්ථය වූයේ මනා පුහුණුවකින් යුත් තාක්ෂණවේදීන් බිහි කිරීමය. එනමුත්, මුල සිටම එම සිසුන්ව ඔවුන්ගේ  පාඨමාලාවල අනිවාර්ය කොටසක් වශයෙන්, සමාජයීය විද්‍යා හා මානවශාස්ත්‍රවලට ද විවර කරණු ලැබුවේ, ඉහත සඳහන් පරමාදර්ශය අනුව යමින්ය. අද මේ ආයතන පද්ධතිය රට පුරා ව්‍යාප්ත වී තිබුන ද, මේ මූලික ශික්ෂණ-ශාස්ත්‍රීය පදනම වෙනස් වී නැත.  පුද්ගලිකව මගේ විශ්වාසය නම්, හුදෙක් මගේ පන්තිකාමරය වෙත පැමිණෙන සිසුන්ට තාක්‍ෂණික නිපුණතාවක් පමණක් ලබා දීම පමණක් මගේ වගකීම නම්, ඒ සඳහා විශ්වවිද්‍යාලයක් අවශ්‍ය නොවන බවයි. මෙවන් අධ්‍යාපනයක් පමණක් ලබා දීම, මගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මට හැකිවුවද, එය මගේ භුමිකාවේ කොටසක් ලෙස මම දකිනේ නෑ. විශ්වවිද්‍යාලවල භූමිකාව මීට වඩා බෙහෙවින් පුළුල් විය යුතුයි. එතුල රටකට යම් මොහොතක අවශ්‍ය ආකාරයේ තාක්‍ෂණික අධ්‍යාපනයක් ඇතුලත් කළහැකි වුව ද, පැහැදිලිවම ඉන් ඔබ්බටද යායුතුය. ඊට සිසුන් යහපත් පුරවැසියන් බවට පත්කිරීමට යම් දායකත්වයක් ලබා දිය හැකි සවිඥානකත්වයක් ගොඩනැගීම ද අනිවාර්යයෙන් ඇතුළත්විය යුතුය. බොහෝ රටවැසියන් මෙන්ම රාජ්‍යය ද නොයෙකුත් අධ්‍යාපනඥයින් ද මීට පරස්පර හා මීට වඩා ප්‍රබල සහ සරල උපයෝගීතාවාදී ස්ථාවරයක ඇතැම් විට පිහිටා සිටිය ද මාගේ ස්ථාවරය වෙනස්කිරීමට හේතුවක්, මා මෙතෙක් ලබා ඇති දැනුමෙන් හා ශිෂ්ටත්වය පිළිබඳ අගය පද්ධතිවලින් මට ලබාදී නැත. ඇතැම් විට එය මගේම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.

මා මේ සියල්ල මෙතරම් විස්තර කළේ, පශ්චාත් කෝවිඩ් තත්ත්වය පිළිබඳ සිතීමට පෙර, අප දැනට සිටින ස්ථාවරය නිසි ලෙස හඳුනා ගැනීම අවශ්‍ය නිසාය. උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අප දැන් රටක් වශයෙන් මෙන්ම, ලෝකය වශයෙන් සිටින්නේ, මම ඉහත විස්තර කළ යථාව තුළය. එසේ නම්, පශ්චාත් කෝවිඩ් අනාගතයට අපි ගෙනයන්නේ ඒ පවතින, පරමාදර්ශී විශ්විද්‍යාල ආකෘතියෙන් බොහෝ දුරස් වූ, ආයතන පද්ධතියයි. එනම්, අනාගතයේදී අප මේ පද්ධති හා ඒවායේ දැනුම් නිෂ්පාදනය සංස්ථාගත කිරීමේදී,  අපට අවශ්‍ය මේ පවතින පද්ධතියම ඉදිරියට ගෙනයාමද, නැතහොත්, අපගෙන් දැනට ගිලිහී  ගොස්  ඇති, මුල් පරමාදර්ශී අදහස් යම් දුරකට හෝ නැවතත් අපගේ පරිකල්පනයට ඇතුළත් කරගනින්මින් ද  යන්න අප සිතා බැලිය යුතුයි. අපට උසස් අධ්‍යාපනයේ පශ්චාත් කෝවිඩ් අනාගතය ගැන සිතා බැලිය හැක්කේ හා සිතා බැලිය යුත්තේ, මෙතන සිටයි. එනමුත් එය දැනට අප සතු සීමිත අත්දැකීම් මත කළ යුතු ගවේෂනයක්ය.

පශ්චාත්-කෝවිඩ් අනාගතයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය

කෝවිඩ් කාලීන අධ්‍යාපනයට අපි පැමිණියේ හදිසියේ සහ බරපතල පෙර සුදානමක් නැතිව. පාඨමාලා අන්තර්ජාලය (online) හරහා ඉගැන්වීම ඇරඹුණේ මෙහි ප්‍රතිපලයක් වශයෙන් සහ වෙන කළ හැකි දෙයක් නොතිබූ නිසා. නමුත්, මෙසේ පැමිණීමෙන් පසු, අන්තර්ජාලගත ඉගැන්වීම පූර්ණකාලීන ප්‍රවේශයක් වීමට ඇති ඉඩකඩ බොහෝය. මේ ක්‍රමය සහ පරණ පංති කාමර ක්‍රමය ඒකාබද්ධ කිරීම මගින් දැන් නව ප්‍රවේශයක් හැටියට, අලුත් නමක් යටතේ ‘සම්මිශ්‍රිත ඉගෙනීම’ (blended learning) යන අදහසත් කලඑළි බැහැලා. මේ ක්‍රමය සහ වඩාත් සීමිත ඔන්ලයින් ක්‍රමය, විශේෂයෙන් ගෝලීය උසස් අධ්‍යාපනයෙන් ඉවත්ව යයි කියලා හිතන්න අමාරුයි. එක අතකින් ඊට හේතුව, මේ සඳහා අවශ්‍ය තාක්ෂණය සම්පාදනය කිරීමට ලොව නොයෙකුත් සමාගම් මෙන්ම ඇතැම් විශ්වවිද්‍යාල ද යොමු වී තිබීම සහ එය ප්‍රයෝජනවත් බව ගුරුවරුන්, සිසුන්, විශ්වවිද්‍යාල පාලකයින් සහ ඇතැම් අධ්‍යාපනඥන් ද එකඟ වී තිබීමයි. පශ්චාත්-කෝවිඩ් ලෝකයේ විශ්වවිද්‍යාල මෙන්ම පුළුල් ද්විතීයික අධ්‍යාපනය හා සම්න්ධයෙන් ද බෙහෙවින් පලපෑම් කිරීමට අන්තර්ජාලය ඔස්සේ කරන ඉගැන්වීමේ ක්‍රමවලට හැකියාව ඇති නිසා, ඒ ගැන පැහැදිලිව සිතා බැලීම හා අප සතුව දැනට ඇති සීමිත දත්ත හා අත්දැකීම් සැලකිල්ලට ගැනීම වැදගත්.

මෙහිදී අප ඇසිය යුතු ප්‍රශ්නයක් වන්නේ, ඉගෙනීම සහ ඉගැන්වීම කතිකාමය ගනුදෙනුවක් වශයෙන් මේ ක්‍රමය තුළ සාර්ථක වෙනවා ද යන කාරණයයි. ඒවගේම, පැරණි පන්තිකාමර තුළ වුව ද අපගේ ඉගැන්වීම් කොතරම් සාර්ථක වුනාද? අපි වැඩකරන ආයතන අනුව, අපිට මේ පිළබඳව තියෙන අත්දැකීම් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. 1980 ගණන්වල අන්තර්ජාලය අපි අද දන්න විදියට නොපැවතියත්, මම පී.එච්.ඩී. උපාධිය සඳහා ඉඳගෙන ගන්න කාලේ ලැබිච්ච අත්දැකීමක් මතකයට එනවා. නිල වශයෙන් මම හිතන්නේ අන්තර් ජාලය ඇමරිකාවේ උපත ලැබුවේ 1980 ගණන්වල මුල් කාලයේ. ඒ කාලේ, අන්තර්ජාලය වෙනුවට මම ඉගෙනගත්ත කැලිෆෝනියා සරසවියට හා එහි සමස්ත පද්ධතියටම තිබ්බේ ‘මේන් ෆ්‍රේම්’ පරිඝනක පද්ධතියක්. ඒකෙන්, විද්‍යුත් පණිවිඩ එහා මෙහා යැවීමේ හැකියාව තිබ්බ. ඒකට ඊමේල් කිව්ව ද නැද්ද කියලා මට මතක නෑ. නමුත් මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ, මගේ විශ්විද්‍යාලයේ ඉදන් සැතපුම් 200ක් පමණ උතුරින් පිහිටි ඇමරිකානු නාවික හමුදා කඳවුරක තරුණ සෙබළුන්ට මූලික මානවවිද්‍යාව ඉගැන්වීමට යොදාගත් ක්‍රමවේදයයි. ඒ ඉගැන්වීම කළේ, එක්තරා ශාලාවක සිට පමණයි. විශ්විද්‍යාලයේ නේවාසික සිසුන් පන්තියට ආවා, අනික් පන්තිවලට යන විදියටම. නාවික සිසුන්, ඔවුන්ගේ කඳවුරේ සිට මගේ දේශනයට සවන්දුන්නා. ඔවුන්ට මාව පෙනුනා, ඒගොලන්ගේ ශාලාවක තිබුන තිරයක. මං කියපු දේ ඒ උදවියට ඇහුනා. ඒ වගේම,  මගෙන් ප්‍රශ්න ඇසීමේ හැකියාවත් තිබුනා. නමුත් මට ඔවුන් ව පෙනුනේ නෑ. මේ ක්‍රමයට දැන් කාලේ නම් කියන්නේ ‘ඔන්ලයින් ටීචීන්’ කියල. ඒ දවස්වල ඒකට නමක් තිබුන බව මට මතක නෑ. හැබැයි, භාවිත තාක්ෂණය හුඟක් වෙනස්. වඩාත් වැදගත් වෙන්නේ, මේක දියුණු කරන්න අවශ්‍ය තාක්ෂණය, දැනුම හා පුහුණුව තිබ්බත්, ඒකට වැඩි උන්දුවක් ඒ කාලේ කැලිෆෝනියා සරසවියට තිබ්බේ නෑ. එහෙම කලා නම්, ඒ අධ්‍යාපනය සිසුන් සරසවියට නොපැමිනියත්, ඔවුන් ජීවත් වූ, එම ප්‍රාන්තයේ පිටිසර පළාත්වලට යම් මටටම්කින් ගෙනියන්න තිබ්බා. ඒ උනන්දුවක් නොවීමට ප්‍රධානම හේතුව, මේ ක්‍රමයෙන් පූර්ණ හා කතිකාමය ගනුදෙනුවක් සිද්ධවුණ, කතිකාමය අවකාශයක් ගොඩනැගුන අධ්‍යාපනයක් ලබාදෙන්න පුළුවන් වූ බව කව්රුත් විශ්වාස නොකිරීම. ඒ නිසා, එය සැම විටම ද්විතීයික ක්‍රියාමාර්ගයක් පමණක් වුනා. අර ඈතින් සිටි නාවික සිසුන් කව්රුවත් මගෙන් කවදාවත් ප්‍රශ්නයක් ඇහුවෙත් නෑ. මම ඔවුන්ව පුද්ගලිකව දැන හදුනාගත්තෙත් නෑ.

දැන් අපි අහන්න ඕන ප්‍රශ්නය තමයි, දැනට ගොඩනගල තියෙන  අන්තර්ජාල අධ්‍යාපන ප්‍රවේශ, තාක්ෂණ ක්‍රම හා මෙවලම් ඔස්සේ මම ඉහත කෙටියෙන් වොස්තර කළ කතිකාමය ගැටළු, නැතිනම් ශික්ෂණ-ශාස්ත්‍රීයමය (pedagogical) ගැටළු ඉවත් කර තිබෙනවා ද කියන කාරණයයි. සිසුන්ට අවශ්‍යනම්, කතිකාවලට සම්න්බ්න්ධ වීමේ හැකියාව තියෙන බව අපි දන්නවා. ඕනේ නම්, ඉලෙක්ට්‍රොනික් අතක් යස අගේට උස්සලා තමන්ට කතිකාවට සහභාගී වෙන්න ඕන බව දන්වන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට වෙන්නේ, හඬ හා රූපය කියන දෙකම නිවාදමලා සිසුන් අතුරුදහන් වීම කියලා අපි හොඳින්ම දන්නවා. අද මේ වෙලා තියෙන විදියට, අපි ගුරුවරු හැටියට දන්නේ නෑ, අපේ අන්තර්ජාලගත පංතිවල සිද්ධවෙන්නේ මොකක්ද කියලා. මේකට එක ප්‍රධාන  හේතුවක් ‘ඩේටා’ මිල අධික වීම. අනෙක් හේතුව, ඒ කතිකාමය අවකාශය වැදගත් යයි බොහෝ දෙනා නොසැලකීම. ඉතින් මේ ක්‍රම ඉස්සරහට අරගෙන යනවා නම්, මේ ගැටළු විසඳාගන්න අපි දැන්ම උත්සාහ ගන්න ඕනෑ. මම දැනට උගන්වන්නේ, එම්.ඒ. සහ පී.එච්.ඩී. පංතිවලට විතරයි. ඒවා හුඟක් කුඩා පංති.  ඒවායේ මේ කතිකාමය ගැටලුව එතරම් මතු නොවන්නේ, එක අතකින් පංතිවල කුඩා ප්‍රමාණය, සහ අනික් අතින්, දේශන කාලය ඉතාමත් අඩුකරලා, සාකච්චා හා සිසුන්ගේ ඉදිරිපත්කිරීම්වලට දෙන කාලය බොහෝ වැඩිකරලා තියෙන නිසා. සැරින් සැරේ ඒ ළමයි කතාබහට ඇදගන්නත්  මම උත්සාහ කරනවා.  මේවා මගේ සවිඥානික තීරණ. විශ්වවිද්‍යාලයේ නියමයන් හෝ අන්තර්ජාල සමාගම්වලින් ලැබුන උපදේශ නෙමේ. හැබැයි, පූර්ව-කෝවිඩ් භෞතික පංති කාමරයෙත් මම කළේ මේ දේමයි. නමුත් නොපෙනෙන පන්තියක් එක්ක මේ විදියට ගණුදෙනු කිරීම ඉතාමත් අපහසුයි. ඒක මටනම් මානසික වදයක්. මේ විදියට උගන්වන එක මට නම් කිසි විදියකින්වත් ප්‍රියමනාප දෙයක් නෙවේ. සිසුන් මට කියලා තියෙන්නෙත් මේ දේමයි. මේ ක්‍රමය මත පදනම් වූ විභාග ක්‍රම මට පෙනේනේ එතරම් සාර්ථක නැති බවයි. හැබැයි, මේ ගැටළු යම් දුරකට විසඳාගන්න බෑ කියලා මම කියන්නේ නෑ.

නමුත්, මේ මටටමෙන් කරන්න පුළුවන් ඉගැන්වීම සීමා සහිතයි. මේ නිසා තමයි මේ ‘සම්මිශ්‍රිත ඉගෙනීම’ කියන අදහස දැන් එලියට ඇවිල්ලා තියෙන්නේ. යම් විෂයන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව, පර්යේෂනාගාර පුහුණුව වගේ දේ අපිට අන්ත්ර්ජාලය ඔස්සේ ලබාදෙන්න බෑ. ඒ සඳහා අවශ්‍ය පහසුකම් තියෙන යම් තැනකට එන්න සිද්ධ වෙනවා.

ඉදිරිය දිහා බැලීමේදී වඩාත් වැදගත් වෙන්නේ, අන්තර්ජාලගත අධ්‍යාපනය සම්පුර්ණයෙන්  පිළිකෙව් කිරීම නෙවේ. අවශ්‍ය වෙන්නේ, ඒක අපේ විෂය ක්‍ෂේත්‍රවලට සාපේක්ෂව දියුනුකරගන්නේ කොහොමද කියලා බලන එකයි. ඒකට අවශ්‍ය කොන්දේසි, ප්‍රතිපත්ති සහ සීමා සම්පාදනය ආරම්භ කරන එකයි. මේක රාජ්‍යයේ, දේශපාලන බලවතුන්ගේ හෝ තාක්ෂණික සේවා සමාගම්වල හෝ වගකීම ලෙස සැලකීම බරපතල වරදක්. මේ උදවිය මේකට යම් මට්ටම්වලදී සහභාගී විය යුතුයි. නමුත් එහි නායකත්වය ගත යුත්තේ, පරිස්ථානීය සහ ගෝලීය අත්දැකීම් ඔස්සේ විශ්විද්‍යාල විසින් කියන එකයි මගේ අදහස. මේක අපි සලකන්න ඕනෑ ‘පොදු යහපත’ (public good) සඳහා අත්‍යාවශ්‍ය දෙයක් හැටියට.

මේ සමගම, රාජ්‍යයකට හෝ දේශපාලන තීරණ ගන්නන්ට හෝ සමාගම්වලට හෝ විශ්වවිද්‍යාල සාමාජිකයින්ට හෝ, දැනට පවතින විශ්වවිද්‍යාල, මේ කෝවිඩ් කාලීන නව්‍යකරණ එක්ක, මෑත අනාගතයේදී කොහොම පෙනේවිද? මේ අනාගතය අපිට වර්තමානයේදී පරිකල්පනය කරගත හැක්කේ කෙසේද?

  1. මේ හා සම්බන්ධ මෑතකාලීන අත්දැකීම් අපට පෙන්වලා තියෙනවා, සිසුන් ආයතන තුළ පූර්ණකාලීනව එක්රැස් කිරීම අත්‍යවශ්‍ය නොවන බව. දැනටමත් අපේ විශ්වවිද්‍යාලයට ඇතුළත් කළ සිසුන්, ඒගොලන්ගේ නගරවල හා රටවල ඉදන් තමයි අපේ පන්තිවලට සම්බන්ධ වෙන්නේ. ඒත්, ඒ ළමයි ගෙදර ඉන්න නිසා ඒගොල්නන්ට ලැබිය යුතු ශිෂ්‍යාධාර අපි දීලා නෑ. මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් බවට ඉදිරියේදී පත්වෙන්න ඉඩ තියෙනවා, අධ්‍යාපනය සඳහා වැයකරන රාජ්‍ය හෝ ආයතනික වියදම මේකෙන් පහත යන නිසා.

  2. දුරස්ථ අධාපනයෙන්, තාක්ෂණයට විසදන්න බැරි මානුශීය ගැටළු හුගාක් තියෙනවා. අපේ එම්. ඒ. පන්තිවලට කෝවිඩ් ව්‍යසනයත් සමගම ඇතුලත්කරගත් සිසුන් 30 කින් පමණ එන වාරය වන විට 10 දෙනකු පමණ ඉතිරි වෙයි කියලා තමයි අපි හිතන්නේ. අපිට විසදන්න බැරි හා අපි නොදන්නා ප්‍රශ්නවලින් අතිවිශාල ගැටළු මතුවෙලා තියෙන බව අපිට පේනවා. නිවෙස්වල ඇති වාතාවරනය අධ්‍යාපනයට නුසුදුසු වීම, දෙමාපියන්ට රැකියා නැතිවීම, ඩේටා ප්‍රශ්න, අසනීප වීම, මේ ක්‍රමය මගින් ඇතිකරන මානසික ව්‍යාකූලතා වගේ ගැටළු මෙතන තියෙනවා. ඔවුන් අප සමග නේවාසිකව හිටියා නම්, මේවා මෙතරම් බැරෑරුම් නොවනු ඇති බවයි මම හිතන්නේ. මේ වගේ ප්‍රශ්නවලින් යම් කොටසක් හෝ මේ ප්‍රවේශ සාමාන්‍යකරණය කිරීමේදී වඩාත් ව්‍යාප්ත නොවේද? ඒවාට කළහැකි මැදිහත්වීම් මොනවාද? මේ ගැන විශ්වවිද්‍යාල හෝ දේශපාලන නායකයින් කොතරම් දුරට හිතලා තියෙනවද?

  3. ඉදිරියේදී ඇතිවිය හැකි තවත් තත්ත්වයක් තමයි, යම් සීමා තුළ පූර්ණකාලීන නොවන ගුරුවරුන්, සිය නිවෙස්වල සිට  සිසුන් දහස් ගණනකට එකවර ඉගැන්වීම. ඇතැම් විට මෙය ආයතන කිහිපයක සිසුන් සඳහා එකම හෝ ගුරුවරු අතලොස්සක් හෝ කණ්ඩායමක් මගින් කළ හැකි දෙයක් වෙයි. අන්තර්ජාලය හරහා කරන ඉගැන්වීම් තාක්ෂණය අතින් ලාභ බවත්, නම්‍යශීලී බවත් අපි දන්නවා. මේ පූර්ණකාලින නොවන ගුරුවරුන් අත්‍යවශ්‍ය ඉගැන්වීම් සඳහා යොදා ගැනීම ඇමරිකාවේ දැන් වසර තිහක පමණ සිටත්, ඉන්දියාවේ වසර විස්සක පමණ සිටත් සිදුවෙනවා. මෙය විශ්වවිද්‍යාලවලටත්, රාජ්‍යයන්ටත් ඉතාමත් ලාභදායක ප්‍රවේශයක්. ඉන් සිදුවෙන ශ්‍රම සූරාකෑම සහ අනේක අසාධාරණ වෙනම දෙයක්. පූර්ණකාලින විශ්විද්‍යාල ගුරුවරුන් ඉදිරියේදී අවම වීම පැහැදිලවම සිදු විය හැක්කක්. එය කෙසේ සිදුවේ ද සහ කුමන ශික්ෂණ සඳහා වඩාත් බරපතල ලෙස සිදුවෙයි ද යන්න සිතාබලන්න සුදුසු දෙයක්.

  4. අධ්‍යාපනයේ වැදගත් අංග අන්තර්ජාලය ඔස්සේ ලැබෙනවා නම්, ඒ සඳහා ආයතනගත වීම අත්‍යවශ්‍ය නොවේ නම්, ඇතැම් විට ඒවා සඳහා ගෙවන මිල පහත වැටී, ඇතුළත් කරගන්න සිසුන් ප්‍රමාණය ඉහළ යාමත් සිදුවිය හැකියි. නමුත්, පසුගිය මාස කිහිපය තුළ ප්‍රධාන ගෝලීය විශ්වවිද්‍යාලවලට සිසුන් නොපැමිණිය ද ඔවුන් ට අධ්‍යාපනය සඳහා ගෙවන්න සිදු වූ ගාස්තු කිසි ලෙසකින්වත් අඩු වී නැහැ. ඒ සමගම, භෞතික වශයෙන් එවැනි ආයතනයක සිටීමෙන් සාමාන්‍යයෙන් ලැබෙන නොයෙකුත් බුද්ධිමය, චිත්තවේගීය, සමාජයීය, සංස්කෘතික හෝ දේශපාලනික ප්‍රයෝජන කිසිවක් ඔවුන්ට ලැබී නෑ. අනික් අතට, අධ්‍යාපනයේ කොටසක් හුදෙක් තත්‍යාසන්නව සිදු වීම යන්නෙන් (virtual), එම අධ්‍යාපනය ලබා ගැනීම පහසු වනු ඇතැයි හෝ ලංකාවේ වගේ පිනට ලැබේ යැයි හෝ හිතන්න අමාරුයි, විශේෂයෙන් මෑත කාලීන ගෝලීය ප්‍රවණතා දෙස බැලුවම. ඩේටා සහ පරිඝනක හෝ ස්මාට් ෆෝන් නැතිව අපේ සිසුන් වැටිච්ච අමාරූකම් ගැන ඕන තරම් කථා අපේ රටේම තියනවා. මා දන්න තරමින්, මේ ගැටළු විසදීම සඳහා ප්‍රපුළුල් ප්‍රතිපත්ති මාලාවක් හෝ ක්‍රමෝපායන් දැනට නැහැ. නමුත් රජයෙන් ඩේටා වියදම දරන ඇප් එකක් හදල අවශ්‍ය හැමෝටම බෙදන්න යන කතාවක් මම ලඟදි ඇහුවා. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි.

  5. මේ කෝවිඩ් ප්‍රශ්න අස්සෙම, අපි මෙතෙක් කතා කල තත්ත්ව හා අත්දැකීම් එක්කම ඉතාමත් මෑතකදී ඉන්දියාවේ  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපත් කරලා තියෙන යෝජනාවකින් මගේ අදහස් දැක්වීම නවත්වන්න මා කැමතියි. මේ යෝජනාව තමයි, ශිෂ්‍යයෙක් ඕනෑම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වුනාට පස්සේ, එයාට ඕන පාඨමාලා ඕනෑම විශ්වවිද්‍යාලයකින් ලබාගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ, තමන්ට ඕන විෂයක් ඕන තැනකින් කරලා, ඒකට ලැබෙන ලකුණු ‘credit transfer’ නැතිනම් ලකුණු බරකිරීමේ ක්‍රමය මගින් තමන්ගේ මව් ආයතනයට බැරකරගන්න පුළුවන් කියන එක. Credit transfers ලෝකේ නොවෙන දේ හෝ අලුත් දේ නොවේ. ඒත් ඒවා සිද්ධ වෙන්නේ, යම් ප්‍රමිතීන් එක්ක පිළිගත් ආයතන සමග විතරයි; නැතිනම්, එවන් ඉල්ලීමක් ලැබුන විට, අදාළ ආයතන පිළිබඳ සොයා බැලීමකින් පසුව. එහෙම ප්‍රමිති පාලනයක් මේ නව යෝජනා සම්බන්ධයෙන්  දැකගන්න නෑ. ඒ එක්කම මේ ආකාරයේ විවෘත්ත බවක් හෝ නම්‍යශීලීත්වයක්  ලබා දිය හැක්කේ, පාඨමාලා අන්තර්ජාලය හරහා උගන්වනවානම් පමණයි. එහෙනම්, නැවතත් පූර්ණ කාලීන ගුරුවරුන් අවශ්‍ය ද නැත්ද, අප දන්නා  විශ්වවිද්‍යාල ව්‍යුහය එහෙමෙ පිටින්ම පරිවර්තනය කරනවා ද යන ප්‍රශ්න අනිවාර්යයෙන් නැවතත් මතුවෙනවා.

මම මේ අදහස් ඉදරිපත් කළේ, මේ සමගම තවත් යෝජාවක් ද ඉදිරිපත් කරන්නයි. ඒකට ප්‍රධානතම හේතුව මේ  දේශනය විශ්වවිද්‍යාලයකින් සංවිධානය කළ නිසා. මේවා බරපතල සහ දීර්ඝකාලීන ප්‍රශ්න. මේවා මතුකිරීම හා ඒවාට විසදුම් දීමේ වගකීම රජයට, සමාගම්වලට හා නිසි අධ්‍යාපනයක් නැති දේශපාලන නායකයින් පිරිසකට භාරදී නිහඬව සිටීම වැරද්දක්. මේ ප්‍රශ්න මතුකර, ඒවාට සුදුසු විසදුම් අපට  දැනට තියෙන අත්දැකීම් හා දැනුම මත යෝජනා කිරීම බුද්ධිමත් හා ආචාරධර්මීය නැඹුරුවක් තියෙන ශාස්ත්‍රඥයින්ගේ භූමිකාවේ කොටසක්. නමුත්, මා කලින් කී ආකාරයට විශ්වවිද්‍යාල ඒවායේ පරමාදර්ශී භූමිකාවෙන් ඈත්වත්ම, මෙවැනි සුවිශේසී අවස්ථාවල පොදු යහපත සඳහා නායකත්වය දීම තවදුරටත් විශ්වවිද්‍යාලවලින් හෝ ඒවායේ ගුරුවරුන්ගෙන් හෝ සිසුන්ගෙන් නිසියාකාරව කෙතරම් දුරකට කෙරෙනවා ද සහ කෙරෙයි ද යන්න මට පැහැදිලි නෑ. මට තිබෙන මෑතකාලීන අත්දැකීම් එක්ක දැනට මට මේ ගැන තියෙන්න දැඩි සාංකාවක් හා අසතුටක්. ඒ ගැන සිතීමේදී මෙහිදී මට නැවතත් මතක්වෙන්නේ මහාචාර්ය රොමිලා තාපර් ඉන්දියාව සම්බන්ධයෙන් කියූ දෙයක්: “ප්‍රශ්නය වන්නේ අප අතර ස්වාධීනව සිතීමේ හැකියාව ඇති පුද්ගලයින් හා අත්‍යාවශ්‍ය ප්‍රශ්න මතුකිරීමේ හැකියාව ඇත්තවුන් නොසිටීම නොවේ. නමුත් බොහෝ විට ප්‍රශ්න ඇසිය යුතු අවස්ථාවලදී අපට ඇසෙන්නේ නිහැඩියාවේ හඩයි. අප සියළු දෙනාම පවතින තත්ත්වයන්ට පහසුවෙන් අනුකූලවීමෙන් ලැබෙන ලාභ-ප්‍රයෝජනවලින් ඉතා පහසුවෙන් මුසපත් වී සිටීද?” (තාපර් 2014). තත්කාලීන ලංකාවේ තත්ත්වය මීට සමාන ද නැත් ද  යන්න තීරණය කිරීම මම ඒ පද්ධතියේ සිටින අයට බාරකරනවා, විශේෂයන්ම මම තවදුරත් ඒ පද්ධතියේ සාමාජිකයෙක් නොවන නිසා. නමුත්, පශ්චාත්-කෝවිඩ් යුගයේ උසස් අධ්‍යාපනය පිළිබඳ නිසි තීරණ ගැනීම හා ඒ සඳහා අත්‍යවශ්‍ය යෝජනා සැකසීමේ වගකීම මේ පද්ධතියේ ඉන්න උදවිය භාරගනී ද නැද්ද කියන එක ඉතිහාසය විසින් අපිට වැඩිකල් නොගොස් කියා දෙයි.

මම කැමතියි මගේ අදහස් දැක්වීම මහාචාර්ය ගණනාත් ඔබේසේකරගේ වචන කීපයකින් නිම කරන්න: “ඥානවන්ත නායකයෙකු මුහුනපෑ යුතු තවත් අභියෝගයක් තිබේ. එනම්, අපගේ විශ්වවිද්‍යාල ඒවා මුල්කාලීනව ලබාගෙන තිබූ කීර්තිමත් ප්‍රබුද්ධත්වයට නැවත වරක් රැගෙන යාමයි. ඒ සඳහා අවශ්‍ය සියළුම උපකාර විශ්වවිද්‍යාලවලට ලබාදිය යුතුය. මන්ද යත්, බුද්ධිමය ජීවිතයෙන් තොර ලොවක් යනු බෙහෙවින් නීරස ලොවක්ම වන නිසාය ” (ඔබේස්කර 2013).

වඩාත් අවාසනාවන්ත කරුණක් වන්නේ, මෙවන් ඔවදන් තේරුම්ගත හැකි බුද්ධිමත් දේශපාලන නායකයන් අපේ රටේ මෙන්ම මේ කලාපයේත් සොයාගැනීම බෙහෙවින් අසීරු වීම සහ එවැනි අදහස් සදාචාරාත්මක හා ආචාර්ධර්මීයව පිළිගත හැකි තත්ත්ව යටතේ ලබා දිය හැකි ශාස්ත්‍රඥයින් එන්න එන්නම අප අතර බෙහෙවින් විරල වීමයි.

සුබ අනාගතයක් කෙසේ වෙතත්, ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්.

මූලාශ්‍ර

Eagleton, Terry. 2010 (17th December). ‘The Death of Universities.’ In, The Guardian (http://www.theguardian.com/commentisfree/2010/dec/17/death-universities-malaise-tuition-fees.

Karunanayake, Panduka. 2011. ‘Promoting Research in Our Universities: A Critical Examination.’ In, The Island, http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=21273

Obeyesekere, Gananath. 2013. In, Tissa Jayailaka ed., Letters to Our Presidents by Sri Lankan and US Alumni of the US-Sri Lanka Fulbright Commission 1952-2012. Colombo: US-Sri Lanka Fulbright Commission.

Tagore, Rabindranath. 2004. Selected Essays. New Delhi: Rupa Publications.

Said, Edward. 2001. ‘Identity, Authority and Freedom.’ In, Reflections on Exile: And Other Literary and Cultural Essays. London: Granta Books.

Thapar, Romila. 2014. ‘To Question or not to Question: That is the Question’ (Third Nikhil Chakravartty Memorial Lecture, 2nd November 2014). New Delhi (http://www.thehindu.com/news/national/academics-must-question-more-romila/article6535612.ece.

(මෙම රචනය 2021 ජූනි 12 වනදා කොළඹ විශ්විද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශය විසින් සංවිධානය කළ අන්තර්ජාලගත දේශනයේ පිටපතයි. මෙය සංවිධානය කළ සහ ඒ සඳහා මට ආරාධනය කළ එම අධ්‍යයනාංශයේ සජිතා ලක්මාලි මහත්මියට සහ ඊට සම්බන්ධ අන් සියලුදෙනාට මාගේ ස්තූතිය හිමි වේ. මේ දේශනය මීට පෙර මවිසින් ඉදිරිපත්කර ඇති දේශනයක්  සහ රචනා කිහිපයක් මත ඍජුවම පදනම් වී ඇති බවත්, ඒවායෙන් කොටස් උකහාගෙන ඇති බවත් කරුණාවෙන් සලකන්න. ඒ පිළිබඳ ප්‍රධාන මුලාශ්‍ර මෙසේය: [1] සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය; [2] 21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය)

Total
1
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම: ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න

දීපක් නයියර් – ආර්ථිකවිද්‍යාව පිලිබඳ සේවාසම්මානිත මහාචාර්යජවහර්ලාල් විශ්වවිද්‍යාලය පරිවර්තනය:අනුෂ්කා කහඳගමගේදකුණු ආසියානු විශ්වවිද්‍යාලය (තත්කාලීනව විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන ප්‍රචණ්ඩත්වය, ඉන්දියාවේ ප්‍රභල දේශපාලනික වාදවිෂයක් බවට පත්ව තිබේ. මේ ප්‍රචණ්ඩත්වයේ එක් අරමුණක් වී ඇත්තේ එකී ආයතන තුළ සාම්ප්‍රදායිකව සිදු වූ විචාරශීලි කතිකාව හා දේශපාලනික විවේචනය පාලනය කිරීමය. එනමුත් මේ තත්වය සමස්ථ දකුණු ආසියාතික කළාපයටම පොදු තත්වයක් වන අතර, යම් මට්ටම්වලින් ඉන් බැහැර ප්‍රදේශවලද දැකගත හැක. දැනට ඉන්දියාවේ සරසවි තුළ සිදුවන ශිෂ්‍ය මර්දනය පෙන්වා දෙන මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට 1

භාෂණයේ අයිතිය සහ නිරාගමිකත්වයේ දේශපාලනය

~ |ගුරුගොඩ සිරිවිමල  හිමි ඉන්දික රත්නායක නැමැත්තකුට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මගින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමන්ගෙන් ඉල්ලා සිටින අවුල් සහගත ලිඛිත ඉල්ලා සිටීමක් මෑතකදී දක්නට ලැබුනි. ඉන්දික රත්නායකට මේ චෝදනාව එල්ල කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන පරිදි, ඔහු “බුදු දහම ජෛන දහමක් යැයි මිත්‍යා මතයක් සමාජගත කිරීමට යත්න දරා ඇති බව” පවසයි. මෙකී අදහස පිළිබඳව මා තුළ විශේෂ අදහසක් හෝ ආකර්ශනයක් නැත. කෙසේ වෙතත්, එම විවාදාපන්න කරුණ ගැන සාකච්ඡාවකට…
වැඩි විස්තර පරිශීලනයට