පුද්ගලික ඉතිහාසමය තොරතුරු සමාජ විද්‍යා ‘දත්ත’ ලෙස

~ සූසන් විශ්වනාදන්, ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය
~ පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය

සංස්කෘතික අධ්‍යයන මගින් අන්‍යයන්ගේ චරිතාපදාන එකතු කරන්නට අපව උනන්දු කළ ද,  යම් කතාන්දරයක් පැවසීමට, සමාජ විද්‍යාත්මක කරුණු රැස් කිරීමට සහ දත්ත සාමාන්‍යකරණය කිරීමේ අරමුණින් අපේම ජීවිත ඉතිහාස ගොනුකිරීමට හෝ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට සමාජ විද්‍යාඥයින් වශයෙන් අපි බොහෝ විට බිය වෙමු. අනෙක් අයගේ ජීවිත අපගේ ජීවිතයට වඩා පාරිශුද්ධත්වයෙන් අඩු යැයි අපි සිතන්නේ කෙසේද? ස්ත්‍රීවාදය මගින් පෞද්ගලිකත්වය දේශපාලනික වන බව වඩාත් පැහැදිලිව අපට කලකට පෙර පෙන්වා දුන් අතර,  අපක්ෂපාතීත්වය (value neutrality) ගැන කතා කරමින් එය සඟවා තැබීමට උත්සාහ කළ අය ඒ වන විටත් අස්ථාවර මං මාවත් ඔස්සේ  වැටුප් සහිත රැකියාවලට සහ වෘත්තීය අවකාශ තුළ වෘත්තීය සංචලතාවය සාක්ෂාත් කරගැනීමට දරා ඇති උත්සාහ ගැන ද අපි මැනවින් දන්නෙමු.  තම තමන්ගේ පුද්ගලික ජීවිත සාමාන්‍ය ජනතාව වෙත නිරාවරණය කිරීමේ අදහස  ස්ත්‍රීවාදය මගින් විධික්‍රමික ප්‍රවේශයක් වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ පෙළපත් වංශාවලි තුළ හුදෙක් පිරිමින්ගේ නම් පමණක් ඉදිරිපත් කරනවා වෙනුවට, කාන්තාවන්ගේ නම් ද ඇතුළත් කිරීමේ උපක්‍රමයක් ලෙසිනි. පීතෘපෙළපත්වේදය (patrilineality) යන්න මූලික වශයෙන් සංස්කෘතික උපක්‍රමයක් වේ. එමගින් සිදු කළේ  සාමාන්‍යයෙන් කාන්තාවන් යටපත් කිරීම, සමාජානුයෝජනය කිරීම සහ ඔවුන් සමාජයේ අවශ්‍යත්වන්ට අනුකූල වන්නේ නම් පමණක්, ඔවුන් සමාජයේ වැදගත් සාධකයක් සේ දැකීමට අවකාශ සැලසීමය. එසේ අනුකූළ නොවන විට, ඔවුන් නොයෙකුත් ලෙසින් බහිෂ්කරණයට ලක් විය.   එක්තරා ආකාරයකින්, කාන්තාවන්ගේ ආඛ්‍යාන ලේඛනගත කළ විට පෙනී ගොස් ඇත්තේ, ඒවා මගින් නිල වාර්තාවල දැක්වෙන කරණු කාරණාවලට වඩා සැලකිය යුතු ලෙසකින් වෙනස් වූ  යථාර්ථ ඉදිරිපත් කළ බවයි. මෙහිදී අප තේරුම්ගත යුත්තේ, මෙවන් තොරතුරු මගින් විස්තර කරන තත්කාලීනත්වයේ ගුප්තබව, ජීවත්වීම සඳහා ගනු ලබන  උපායමාර්ගවල විෂය පථය,  එදිනෙදා කරන වැඩ හා වගකීම් පිළිබඳව ඇති ගරුත්වය සහ ගැටලුකාරී අවස්ථාවලදී ආගන්තුකයින්ගෙන් ලැබෙන උදව් උපකාර පිළබඳ තොරතුරු යනාදිය සමාජය තේරුම් ගැනීමේදී බෙහෙවින් වැදගත් වන බවයි. 

පහත දැක්වෙන සටහනෙන් මා උත්සාහ ගන්නේ,  තවත් කාන්තා රෝගීන් 9 දෙනෙකු සමඟ මීට කෙටි කලකට ඉහතදී මා දිවි ගෙවූ කෝවිඩ් වාට්ටුව පිළිබඳ යම් අදහසක් ලබාදීමය. 2021 මැයි 8 වන දින මා එම වාට්ටුවෙන් මුදාහල විට, මා දින 12 ක් මුලුල්ලේ කෝවිඩ් රෝගීන් සඳහා වූ එම කාන්තා වාට්ටුවේ කාලය ගත කර සිටියෙමි.

මේ සියල්ල ආරම්භ වූයේ බෙලහීන උණක් සහ හිසරදයක් මෙන්ම කෝවිඩ් වැළඳී ඇතැයි යන අතිශය බිය මා වෙලාගැනීමත් සමගය. ඒ දැඩි බියට හේතුව වූයේ, වසර එකහමාරක් මුළුල්ලේ සමාජ දුරස්ථබාවය පිළිපැදීමෙන් සහ  සෑම පැය කිහිපයකට වරක් හොඳින් සබන් යොදා දෑත් සේදීමෙන් සහ උණු වතුරෙන් මුඛය හා උගුර සේදීමෙන් අපගේ නිවස කෝවිඩ් වෛරසයෙන් ආරක්ෂා කරගැනීමට සියලු උත්සාහ ගෙන තිබියදීත්, මාත් මගේ බාල දියණියත් කෝවිඩ් රෝගයට ගොදුරු වූ නිසාය.   කිසිම කෙනෙකුට මේ පිළබඳ දැනුම් දීමට බිය වූ අප, හුදෙක් ඇඳේ වැතිර සිටියේ රෝගය කෙසේ හෝ අපගේ සිරුරුවලින් තුරන් වේය යන බලාපොරොත්තුවෙනි. දවස් දහයකට පසු, මිතුරියක් දුරකථනය ඔස්සේ අපගෙන් විමසුවේ, අප සිටින්නේ කොහේදැයි කියාය. ඊට හේතුව, දින ගණනාවක් තිස්සේ ඇයට අප මුණ ගැසී නොතිබුණු නිසාය. අප අසනීපයෙන් සිටින බව දැනගත් විගස ඇය ඔක්සිජන් මිනුම් උපකරණයක් ලබා ගෙන, එය අපට ලැබෙන්නට සැලස්වූවාය.  රෝගී වී තුන්වන දින මගේ දියණිය විසින් මගේ හෘද ස්පන්දනය හා ඔක්සිජන් මට්ටම ගණනය කිරීමේදී  පෙනී ගියේ, මගේ රුධිර ඔක්සිජන් මට්ටම 75% දක්වා පහත වැටී ඇති බව යි. එබැවින් ඇය ඇයගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව,  ඔවුහු සියලුදෙනාම එක්ව මා සඳහා  රෝහල් ඇඳක් සොයා ගැනීමට උත්සාහ කළහ. ඊට පෙර දින අප විසින් අමතන ලද වෛද්‍යවරයෙක් වූ අපගේ මිතුරෙක් පැවසුවේ, මා රෝහල්ගත නොවුනහොත්, නියත වශයෙන්ම මිය යන බවයි.  අප මේ පිළිබඳව කිසිවෙකුට හෝ දැනුම් දී නොතිබීම සහ කෝවිඩ් පරීක්ෂණයක් කර නොතිබීමෙන් පෙන්නුම් කළේ, ඔහුගේ අවවාද අප ගණන් නොගත් බවයි. ඒ වන විටත් පුවත්පත් පිරී තිබුනේ මියගිය ඥාතීන්ගේ සිරුරු මෘත ශරීරාගාරවලින් සොයා ගැනීමට නොහැකි වූ ඥාතීන් සහ රෝගී වී රෝහල් වෙත ගෙනගිය හිතමිතුරන් සදහටම අහිමි වීම නිසා හඬා වැලපෙන දෙනෝදාහක් පිළිබඳ දුක්බර තොරතුරුවලිනි.

කෝවිඩ් පරීක්ෂණ සඳහා යෑම මේ වන විට තේරුම්ගත යුතුව තිබුනේ අතිශයින් ගැටළුකාරී ක්‍රියාවලියක් ලෙසය. බොහෝ විට මේ සඳහා දිගු පෝලිම්වල විශාල කාලයක් ගෙවීමට සිදු වූ අතර, ඒ සඳහා කලින් කාලය වෙන්කරගෙන තිබුන ද  අවසනදී පහසුකම් අඩු වීම නිසා, පරීක්ෂණයට සහභාගී නොවී නැවතත්  නිවවෙස් වෙත පැමිණෙන්නට බොහෝ දෙනාට සිදු විය. මේ තත්ත්ව යටතේ, අපගේ වාසනාවට මෙන් පුද්ගලික වෛද්‍ය පර්යේෂණ සමාගමක නියෝජිතයෙකු සිය පර්යේෂණ කට්ටලය ද සමඟ අප නිවසට පැමිණ කළ පර්යේෂණයෙන් තහවුරු වූයේ, මටත් මගේ දියණියටත් නිසැකවම කෝවිඩ් වෛරසය ආසාධනය වී තිබුණු බවයි. මේ වන විට සිදුවන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට මට අපහසු වූයේ, මා බෙහෙවින් අසාධ්‍ය තත්ත්වයක සිටි නිසාය. එනමුත්, ඒ වන විට අපගේ නිවස මුඛාවරණ දෙක බැගින් පැළඳගත් තරුණතරුණයින්ගෙන් පිරී ගොස් තිබිණ. ඔවුන් අපගේ උපකාරයට එහි පැමිණි  මාගේ දියණියගේ මිතුරන්, මිතුරන්ගේ මිතුරන් යනාදීන් වූහ. ඒ සියලු දෙනාම දුරකථන මගින් යුහුසුළුව නොයෙක් දෙනා අමතමින් අපට අවශ්‍ය සේවා ලබා ගන්නට උත්සාහ කළහ. ඔක්සිජන් සිලින්ඩරයක් හදිසියේම මෙලෙසින් සොයාගත්ත ද  එය හිස් බව දැනගත් විට , එය ආපසු යවන්නට අපට සිදු වුනි. එනමුත්, මහත් පරිශ්‍රමයකින් පසු ඒ වෙනුවට කුඩා ඔක්සිජන් බහාලුම් කිහිපයක් මිලදී ගන්නට හැකි විය.

“කරුණාකර මාව ඉස්පිරිතාලෙට යවන්න එපා; මට ඔයාව ආයෙත් දකින්න ලැබෙන එකක් නැහැ; මට ඕන වුනොත් කතාකරන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ”  කියා මම මගේ දියණියට ආයාචනා කළෙමි. නිවසේ සිටි තරුණයින්ගෙන් ඇතැමෙක් මීට පෙර කෝවිඩ් රෝගයට ගොදුරු වී සුවය ලැබූ අය වූ අතර, එයින් ලැබුන ප්‍රතිශක්තිය තවත් මාස කිහිපයක් මුළුල්ලේ පවතිනු ඇතැයි යන විශ්වාසය මත ඔවුන් අප නිවසේ රැඳී සිටියහ.  ඔවුන් නිරතුරුවම  නොයෙකුත් දෙනාට දුරකථන ඇමතුම් ලබා ගත්තේ, ඇතැම් විට තවත් ඔක්සිජන් බහාලුම් මිලදී ගන්නට යැයි මට සිතුනි. මගේ වැඩිමහල් දියණිය, ඇයගේ පවුලේ සාමාජිකයින් ද සමඟ වෙනත් නගරයක පදිංචිව සිටී අතර, වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ නොයෙකුත් සංචරණ සීමා නිසා ඔවුන්ගේ ජීවිත සාපේක්ෂ වශයෙන් ප්‍රසන්න හා සාමකාමී තත්ත්වයකට පත්ව තිබුණි. කෙසේ වෙතත්, මට රෝහල් ඇඳක් සොයා ගැනීමට ඇයට හැකි විය. එය ඒ දිනවල ජීවත් වීම සඳහා ස්වල්ප දෙනෙකුට පමණක් ලබාගත හැකිව තිබූ වාසනාවකි. ඇය මේ උත්සාහය ගත්තේ, අනේක  ට්විටර් සහ ෆේස් බුක් සටහන් සහ ගණන් කළ නොහැකි තරම් දුරකථන ඇමතුම් සංඛාවක් භාවිත කරමිනි. ඒ සැමකකින්ම ආයාචනා කර සිටියේ,  මට ඇඳක් සොයා දෙන ලෙසය.  මේ පරිශ්‍රමවලට පිළිතුරක් වශයෙන් කව්දෝ, “ජමියා හම්ඩාර්ඩ් රෝහලේ ඇඳක් තියෙනවා” යැයි කෙටි පණිවිඩයක් ඇයට එව්වාය. ඒ අනුව, ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ජීවත්වෙන මගේ  බාල දියණිය රාත්‍රී 7.00 ට විශ්වවිද්‍යාලයේ ගිලන් රථයට කතා කළාය. වැඩි කාලයක් නොගොස් එය අපගේ නිවසට පැමිණියේය.  

ඒ වන විට වැඩි වාහන තදබදයක් මහාමාර්ගවල නොතිබුන නිසා අපි ඉතා ඉක්මණින් රෝහල වෙත පැමිණියෙමු. ගේට්ටුව අසළදී, අප යා යුත්තේ කොතැනට ද හමුවිය යුතු වෛද්‍යවරයා කව්රුන්දැයි යනාදී කරණු එහි සිටි නිළධාරීන් විසින් අපට පැහැදිලි කළහ. අපි අදාළ දොරටුව වෙත ඇවිද ගිය අතර, තරුණ වෛද්‍යවරයෙක් අප එනතුරු බලා සිටියේය. ඔහු කීවේ, “හරි නම් ඔයා ඇවිද්දේ නැත්නම් හොදයි; රෝද පුටුවක් ඉල්ල්ලගන්න තිබුණා නේ” කියාය. කෝවිඩ් ධනාත්මක වූ මගේ දියණිය සැනෙකින් මාව ඔහුගේ රැකවරණයට භාර දී, නැවතත් අපගේ නිවස බලා යාමට කුලී රථයක් කැඳවූවාය. එහි ගොස්, මා රෝහලේ සිටි  දින 12 ක කාලය තුළ ඇය ස්වයං-නිරෝධායනයට යොමු වූවාය. අපගේ මිතුරු මිතුරියන් විසින් ඇයට ආහාර පාන ආදිය යැවීමට තරම් කාරුණික වුව ද ඇයගේ කෝවිඩ් රෝග ලක්ෂණ එතරම් දැඩි නොවීය. එනමුත්, ඇයට දැනුන තෙහෙට්ටුව අතිමහත්ය.

මට ආචාර කළ වෛද්‍යවරයා, වාට්ටු සේවකයකු අමතා  මට රෝද පුටුවක් ගෙනැවිත් දෙන්නට කටයුතු කළේය. ඒ සමගම ඔහු මගේ දියණිය මා වෙනුවෙන් අසුරන ලද පිරිසිදු  ඇඳුම් සහිත බෑගය ද  මට ගෙනවිත් දුනි. මම වාට්ටුව තුළට ගියෙමි. එය රෝගීන්ගෙන් පිරී තිබුණි. සියලු ඇඳන්වල රෝගීන් සිටි බව පෙනුනි. ඒ වන විට මට කිසි දෙයක් පිළිබඳ  හැඟීමක් නොතිබුණි. මා සිතුවේ, “මෙන්න ඇඳක්, දැන් නිදාගන්න පුලුවන් ” කියා යමෙකු මට පවසනු ඇත කියාය. මගේ ජංගම දුරකථනය මා සතුව තිබූ නිසා, පැයකට පමණ පසු මගේ දියණිය ආරක්ෂිතව නිවසට පැමිණ ඇත්දැයි බැලීමට ඇයට කතා කළෙමි. වාසනාවකට ඇය ඒ වන විට නිවසට ගොස් තිබුණි.  

යම් පරීක්‍ෂණයක් සිදු කිරීම සඳහා සෑම පැයකටම වරක් අපව අවදි කරවූ අතර, අප සියල්ලන්ම මේ සඳහා ඉදිරිපත් වූයේ, යමෙකු මරණයේ දොරකඩ සිටින විට යමක් ප්‍රතික්ෂේප කිරීමට තරම් මානසික හැකියාවක් නොමැති බව අපට වැටහුණු බැවිනි. සාමූහිකව අපි සියලු දෙනාම සිටියේ, අතිශයින් තෙහෙට්ටු තත්ත්වයකය. අප කිසිවෙකු හෝ අනෙකුන් දෙස ඍජුවම නොබැලුවෙමු. අප සියලු දෙනාම එහි වැතිර සිටියේ  යම් ශාරීරික වේදනාවක් ද ඇතිවය. එම වේදනාවේ උග්‍රත්වය තීරණය වූයේ එක් එක් පුද්ගලයාගේ කෝවිඩ් ආසාධනයේ ස්වභාවය හා පැවති රෝග ලක්ෂණ අනුවය. අවුරුදු 70 ක් වයසැති කාන්තාවන් දෙදෙනෙකු අප අතර සිටි අතර, ඔවුන් තමන්ට දැනුන දැඩි වේදනාව නිසා නිරතුරුවම හඬා වැලපුනි. එය සෙසු අයට යම් අපහසුතාවයක් ඇති කරන ලදී. මක්නිසාද යත්, අපි නින්දට ගිය විගස, එක් කාන්තාවකගේ හෝ අනෙකාගේ හද කම්පා කරන වැලපීම අපට ඇසුණු නිසාය. අප බොහෝ දෙනාට තිබූ ලොකුම බිය වූයේ, අප වැසිකිලියක් තුළ මිය යනු ඇතැයි යන හැඟීමයි. අපි රෝද පුටුවක් භාවිත කිරීමට කැමති නම්, අප සමඟ වැසිකිලිය වෙත යන්නට සේවකයන් එහි සිටියහ. එනමුත්, අප අතර සිටි බොහෝ දෙනා තනිවම වැසිකිළිය වෙත ඇවිද යාමට කැමති විය.  මේ සම්බන්ධයෙන් හෙදියන් නිතරම අපට කෑගැසුවේ, එසේ තනිවම වැසිකිලිය වෙත යෑමේදී අපට අනතුරක් සිදුවිය හැකි යැයි අවවාද කරමිනි. පළමු දින කිහිපය තුළ වැසිකිලියට ගොස් ආපසු වාට්ටුවට පැමිණීමේදී, නොයෙක් විට මා මංමුලා වූයෙමි. මේ සඳහා පසුකර යා යුත්තේ කාමර හතරක් පමණක් වුව ද මා ඒ සැම පසු කර ගොස්, කාගෙන් හෝ මගේ වාට්ටුවට යා යුතු මග  විමසිය යුතු විය. මට අවකාශීයව යමක් හඳුනා ගැනීමේ හැකියාව ඒ වන විට නැති වී ගොස් තිබුණි. නමුත් මා කලින් පැවසූ පරිදි එය කෙටි පා ගමනක් වූ නිසාත්, උදව් ලබා ගැනීම සඳහා සෑම තැනකම වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සිටි නිසාත්,  මේ තාවකාලික මංමුලාව විශාල ගැටළුවක් නොවීය.

වඩාත් වැදගත් හා උනන්දු සහගත කරුණක් වන්නේ, මුල්  දින 8 තුළ රෝගීන් කිහිප දෙනෙකු සුවය ලැබීම සහ ඔවුන්ගේ රුධිර ඔක්සිජන් පරිමාව 98% දක්වා ඉහල යාමත්, එනිසා ඔවුන්ට නැවතත් සිය නිවෙස් වෙත යාමට හැකි වීමත්ය. එනමුත්, මේ වන විටත් අපි කිසිවෙකු දෙස ඍජුවම නොබැලුවෙමු. අපි එකිනෙකා සමග  වචනයක්වත් හුවමාරු කර ගැනීමට හෝ අපව එකිනෙකාට හඳුන්වා දීමට හෝ උත්සාහ ගත්තේ නැත. වාට්ටු සේවකයින් නිරතුරුවම අවධානයෙන් සිටි අතර, අප සිටි බිහිසුණු තත්ත්වය පිළබඳ ඔවුන් අනුකම්පා කළහ. ඒ මුල් සතිය මුළුල්ලේ අපි අපගේ ඇඳන්වල වැතිර සිටියේ මළවුන් මෙනි. කෙසේ වුවද, ඔවුන්ගේ අචාරශීලීත්වය අගය කළ යුතුමයි. රාත්‍රී කාලය බෙහෙවින් අපහසු කාලයකි. අපගේ උෂ්ණත්වය බැලීමට, පර්යේෂණයක් සඳහා නහරයකට ඉඳිකටුවක් ඇතුල් කිරීමට හෝ පෙනහළු පරිලෝකනය කිරීම සඳහා හෝ සෑම පැයකටම වරක් අපට අවදි වීමට සිදු විය.  පැවති තත්ත්වය තුළ ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවක මිය යාමේ හැකියාවක්  තිබුණි. එබැවින් වෛද්‍ය යන්ත්‍රෝපකරණ හා ක්‍රමෝපාය නිරන්තරයෙන්ම  ක්‍රියාත්මක වූයේ හෙටක් කියා දිනක් නොමැති අන්දමිනි. අපි කාටවත් විශේෂයෙන් ආචාරශීලි නොවුනෙමු. විශාල එක්ස්රේ යන්ත්‍ර ඇදගෙන වාට්ටුවෙන් වාටුවට යාමට හෝ අනේක රුධිර සාම්පල ගැනීමට හෝ සිදු වූ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ද  එසේම වීය. මේ කාලයේ උදය වරුවක් හෝ රාත්‍රී කාලයක් තිබුනේ නැත. කාලය වියුක්ත විය. කෝවිඩ් වාට්ටුවේ දීප්තිමත් විදුලි පහන් දිවා රෑ මුළුල්ලේ දැල්වී තිබුණි.

දින 8 ක් අවසානයේදී, උණ ගතිය අඩුව ගොස් තිබූ නිසාත්, හිසේ කැක්කුම ද අඩු වී තිබූ නිසාත්,  ලෝකය වෙත නැවත වරක් මානසිකව ළඟා වීමේ හැකියාව ලැබුණි. නිදසුනක් වශයෙන්, අප බිම් මහලේ සිටින බවත්, ජනේලයට ඉහළින් තිබූ කොළ පැහැති ආවරණය එසවූ  විට යමෙකුට යානවාහන සහ මිනිසුන් ඉන් ඔබ්බෙහි ඇති අවකාශය තුළ දැකිය හැකි බවත් මම දුටුවෙමි. අන් රෝගීන්ට ලැබුණු දුරකථන ඇමතුම්වලට මා සවන් දීමට පටන් ගත් අතර, ඔවුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ දුෂ්කරතා ගැන මම එමගින් දැන ගතිමි. දුම්රිය ස්ථානවල සහ දුර බැහැර බස් රථවල ගමන්ගත් මිනිසුන් මෙන් ඔවුන්ට ද බෙහෙවින් සංකීර්ණ වූ ගෘහස්ථ ගැටළු මෙවැනි ස්ථානයකදී මහ හඬින් සාකච්ඡා කිරීම පිළිබඳ ගැටලුවක් නොවීය. මා ජීවතුන් අතර සිටින බව හිතමිතුරන්ට පැවසීමට සහ මගේ රෝගී තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බව පැවසීම සඳහා හැරෙන්නට මම දුරකථන ඇමතුම් ලබා ගත්තේ නැත. රාත්‍රී 7.00 න් පසු රෝගීන් තම දුරකථනවල ස්පීකරය ක්‍රියාත්මක කළහොත් මම ඉතාමත්  පරුෂ ලෙස ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමට පටන් ගතිමි. රාත්‍රී 7.00 වන තෙක් තමන්ගේ නිවෙස්වල දිවා ආහාරය සඳහා පිසින ලද්දේ මොනවාද, තමන්ගේ දේපළ අතුරින් අවදානමට ලක්ව ඇති දේ මොනවාද සහ පවතින වසංගත තත්ත්වය නිසා ලොව නන් දෙස සිටින දරුවන් ඔවුන් නොදැක අතරමන් වී  සිටින මහලු දෙමාපියන්ට පැවසූ දේ පිළිබඳ පණිවුඩවලට සවන් දීම සම්බන්ධයෙන් මට කිසිදු ගැටළුවක් නොවීය. මෙසේ අහම්බෙන් අසන්නට ලැබුණු ආඛ්‍යාන අතිශයින්ම සිත්ගන්නාසුළු වූ අතර, මා ඒවාට සවන් දීම පිළිබඳව කිසිවෙක්වත් අකමැත්තක් දැක්වූයේ නැත.

රෝහලේ සිටි 8 වන දින සිට, මම සෙසු රෝගීන් සමඟ අන්තර්-ක්‍රියා කිරීමට පටන් ගත්තෙමි.  එනිසා රෝගීන්ගෙන් ඇතමුන් යම් දුරකට දැන හැඳින ගැනීමට මට හැකියාව ලැබුණි.  එනමුත් රාත්‍රී 7.00 න් පසුව ඔවුන් තම දුරකතන ඔස්සේ ආගමික සංගීතය වාදනය කළහොත් හෝ ඥාතීන් සමඟ කතා කළහොත් මම ඔවුන්ට බැනවදින්නට පසුබට නොවුනෙමි. ඔවුන් කිසිවෙකුවත් තමන්ගේ ‘ඉයර් ෆෝන්’ ගෙනවිත් තිබූ  බවක් නොපෙනුණි. එබැවින් “කව්ද ඔය කෙහෙම්මල් ස්පීකර් දාගෙන ඉන්නේ?” යන අතිශයින් රුදුරු වූ මගේ ප්‍රශ්නයට ලැබුන පිළිතුර  සම්පූර්ණ නිහඬතාවයි. එවිට මගේ ඇඳෙන් නැගිටින මා අදාල රෝගියාට  චෝදනා කළේ, “මේ ඔයාගේ ගෙදර  නෙවේ; මේක ඉස්පිරිතාල වාට්ටුවක්,  පොදු තැනක් නේද” යැයි පවසමිනි. ඇතැම් විට, ඔවුන්ගේ නම් දැනගත් පසු, මෙවන් අවස්ථාවල මම ඔවුන්ට කෑගසන්නට පටන්ගත්තේ, “දැන් රෑ  වෙලානේ. ඔයා ඔය ස්පීකර් එක දාගෙනනේ” කියාය. මෙවන් අවස්තාවලදී බොහෝ විට, චූදිත පුද්ගලයා දුර්වල හඬකින් පැවසුවේ, “ඒ මං නෙවේ” කියාය. මට ඇතැම් විට දැනුනේ, රාත්‍රියේදී මගේ ඇසීම වඩාත් තියුණු වූ බවත්, එනිසාම ඕනෑම ශබ්දයකට මට කරකැවිල්ල ඇතිකරන්නට හැකි වූ බවත්ය.  

10 වන දින වන විට අප අතරින් ඉතිරි වූයේ, තිදෙනෙකු පමණි. අප අතරට පැමිණි නවක සාමාජිකයා බොහෝ දේ කතා කළ අතර, ආපනශාලාවෙන් නිතරම සීනි සමඟ තේ ඇණවුම් කළ නමුත්, පසුව ඇයව දැඩි සත්කාර ඒකකයට සහ වෙන්ටිලේටරය වෙත යවන්නට සිදු විය. වෛද්‍යවරු සහ හෙදියන් පුදුමාකාර ලෙස කරුණාවන්ත වූ අතර, අප එකිනෙකා සමඟ හැකි සැම විටකම කතාකරන්නට ඔවුන් සැලකිලිමත් වූහ. ඔවුන් කුමනාකාරයේ රණශූරයන්ද යන්න මට පෙන්වා දුන්නේ, කෝවිඩ් යුද්ධය මධ්‍යයේ දෛනිකව අප වෙත දැක්වූ සැලකිලිමත් කම නිසාය.  පැහැදිලවම, මුළු ජාතියම ඔවුන්ට මේ වන විට  ණයගැති වී හමාරය. ඔවුන් නිතිපතා වාට්ටුවට පැමිණ, වාතාශ්‍රය මැනවින් ලබාගැනීම  සඳහා බඩ මත වැතිර සිටීම කොතරම් වැදගත්දැයි අපට සන්නිවේදනය කිරීමට උත්සාහ කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ, එය වෙන්ටිලේටරයකට සිරුර සම්බන්ධ කරනවාට වඩා යහපත් කරුණක් බව අපට ඒත්තු ගැන්වීමටය. හැකි සෑම විටම එය කිරීමට මා උත්සාහ කළෙමි. එනමුත් ඒ සඳහා බඩ හිස් විය යුතුය. එබැවින් එය කළ හැකි වූයේ උදේ 11.00 සිට දහවල් 01.00 දක්වාත්, සවස 05.00  සිට 07.00 දක්වාත්ය. මක් නිසාද යත්,  ඉතිරි කාල පරාසය තුළ  අප ආහාර අනුභව කර හෝ වතුර, තේ හෝ සුප් පානය කර සිටි නිසාය. මුළුතැන්ගෙය විශිෂ්ට කාර්යයක් ඉටූ කළේය. පුනරුත්ථාපන ක්‍රියාවලියේ පෝෂණය කේන්ද්‍රීය අංගයක් වූ බැවින්, අප සැම දෙනාටම මැනවින් ආහාර සම්පාදනය කරන්නට කටයුතු කර තිබුණි. සෑම දිනකම දිවා ආහාර වේලාවට බළල්ලු  දෙදෙනෙක්  වාට්ටුව වෙත පැමිණියහ.  ඔවුන් යම් දුරක සිට මා පරීක්ෂාවට ලක් කළේ, ඔවුන් පුනරුත්පත්තිය ලැබූ පැරණි රෝහල් උපදේශක වෛද්‍යවරුන් විය හැකිය යන සිතිවිල්ල මගේ සිතේ ඇතිකරමිනි.  කිසිවෙකුවත් ඔවුන් පලවා හැරියේ නැත. ඔවුහු අපට කිසිදු කරදයක් නොකර එම ස්ථානයට ආවේනික බවක් පෙන්නුම් කළෝය. සෑම උදෑසනකම උදේ 05.00 ට නව ඇඳ රෙදි ලබා දුන් අතර, පළමු සතිය තුළ ඒ සඳහා අප නැගිට සිටියේ, මේ අතරතුර ඇද වැටී අප මිය නොයනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

රෝහල පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය දවස පුරාම වරින් වර වාට්ටුව වෙත පැමිණියේ එහි පොළොව අතුගා, තෙත මාත්තු කර, වැසිකිළි ද පිරිසිදු කිරීම සඳහාය. ඔවුන්ගේ කාර්යභාරය කෙතරම් දුෂ්කර වුව ද, ඔවුන් සිය වැඩකටයුතු සිදු කළ ආකාරයෙන් යම් නිර්භීතකමක් සන්නිවේදනය කිරීමට සමත් වූ බව මගේ විශ්වාසයයි. ඇතැම් විට අප සිතා බැලිය යුතු කරුණක් වන්නේ,  පිරිමි වැසිකිලිය කාන්තා වාට්ටුව යාබදවත් කාන්තා වැසිකිලිය පුරුෂ වාට්ටුව යාබදවත් පිහිටුවා තිබුනේ ඇයි ද කියාය.  හුදෙක් මේ වැසිකිලි දෙකේ නාම පුවරු මාරු කිරීමෙන් පමණක් රෝගීන් ගේ ජිවිත වඩාත්  පහසු වනු ඇති බව නොඅනුමානය. ඒ, ඔවුන්ට වැසිකිලි යෑමේදී ඇවිදින්නට සිදුවෙන දුර ප්‍රමාණය අඩු වීම නිසාය. කෙසේ වුව ද බොහෝ රෝගීන් උණෙන් පීඩා විඳි බැවින්, වැසිකිලි නාම පුවරු කියවීම ඔවුන්ට අපහසු විය. මේ නිසා, තමන් සිටි තත්ත්වය විසින් ඇතිකළ තෙහෙට්ටුකම  සැලකිල්ලට ගත් ඇතැමුන් ඔවුන්ට ආසන්නම වූ වැසිකිලිය භාවිත කළේ, එහි ස්ත්‍රී පුරුෂ වර්ගීකරණය නොසාලකා හරිමිනි. මරණය ආසන්නයේ දී සියල්ලම අවිනිශ්චිත බැවින් (සියල්ලෝම සහෝදරයෝය; සියල්ලෝම සහෝදරියන් ය) මේ පිළිබඳව — මූලික ශිෂ්ටසම්පන්න බවක් පවත්වාගෙන යන තාක් කල් —  කිසිවෙකුවත් පැමිණිලි කළේ නැත. මට නම් පෙනෙන්නේ, කෝවිඩ් වාට්ටුවේ දීර්ඝ කාලයක් රැඳී සිටීම සමාන වන්නේ  ජම්මු තාවි දුම්රියපොලේ සිට කේරලය දක්වා දින පහක් තිස්සේ දිවෙන දුම්රියට සමාන ලෙසිනි. ඒ කාලය ඇතුළත, පිරිමින්ට මෙන්ම ස්ත්‍රීන්ට ද භාවිත කළ යුතු වූයේ එකම වැසිකිලි පෙළකි.  

අප කිසිවෙකුටවත් නැවත අපගේ නිවෙස් වෙත යා හැක්කේ කවදාදැයි පැහැදිලිව නොපෙනුණි. මගේ රුධිර ඔක්සිජන් අගය ඉහළ නොයෑම පිළිබඳව මසිත තිබූ  කනස්සල්ල අවසානයේ පහව ගියේ, එය දින 3 ක් පුරා 93% ට ළඟා වූ විටය.  මගේ සාංකාව පිළබඳව හෙදියන් පැවසුවේ, “මැඩම්, ගෙදර ගියාම, එහේ කන්න පුරුදු වෙලා තියෙන කෑම බීම ආයෙත් ගන්න පටන් ගත්තහම, ඉක්මනට සනීප වෙයි. ඒත්, ඉස්පිරිතාලෙන් ටිකට් කැපුවත්, ඔයාට තව තවත් සති දෙකක් ඇඳේ ඉන්න වෙනවා” කියාය.

මා රෝහල්ගත කර දිනකට පසු මගේ මද්දුම දියණිය දිල්ලියට පැමිණියාය. අපගේ මිතුරෙක් මේ කාලය තුළ ඇයට නැවතී සිටීම සඳහා හිස්ව තිබූ මහල් නිවාසයක් ලබා දුනි. එහි සිට ඇය සතිපතා රෝහල වෙත පැමිණියේ, වෛද්‍යවරුන් සමග මට අවශ්‍ය ප්‍රතිකාර සම්බන්ධීකරණය කිරීමටත්, මා ගැන කිසිදු ආරංචියක් නොමැතිව කනස්සල්ලට පත්ව සිටි අපගේ පවුලේ සාමාජිකයින්ට මගෙන් පණිවිඩ සහ මා පිළබඳ තොරතුරු ගෙනයාමටත්ය. ඇයට ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ පිහිටි අපගේ නිවසේ නවාතැන්ගත නොහැකි වූයේ, ඒ වන විට මගේ බාල දියණියටත්  කෝවිඩ් ආසාධනය වී, ඇය එම නිවසේ ස්වයං-නිරෝධායනයට ලක්වෙමින් සිටි බැවිනි. ඇය  මූලික වශයෙන් දිල්ලියට පැමිණියේ මට අවශ්‍ය පිරිසිදු ඇඳුම් හා පලතුරු ලබා දීමට වග බලා ගැනීම සඳහා ය. මේ කාලයේදී ඇය රෝහළ අසල මහල් නිවාසයක ජීවත් වූ අතර, මිතුරන්ගේ කරුණාව නිසා ඇයට කිසිවෙකු හමුවීමට නොහැකි තත්ත්වයක් තුළ එහි ගැටළුවකින් තොරව සති දෙකක කාලයක් මුළුල්ලේ හුදෙකලාව ජීවත් වීමට හැකි විය. සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති රීති නිසා, ඇය සතියකට වරක් රෝහලට ගිය බැවින්, ඇයට මේ මහල් නිවස ලබා දීමට කාරුණිකව ඉදිරිපත් වූ පවුලේ සාමාජිකයින් සමග කිසිදු ආකාරයකින් සම්බන්ධ වීමට හැකියාවක් නොවීය.

13 වන දින ඇය මාව නැවත අපගේ නිවස කරා රැගෙන යෑම සඳහා රෝහලට පැමිණි විට, ඇය මට පෙනුනේ අඟහරු ලොවින් ගොඩබට අජටාකාශගාමියෙකු ලෙසිනි.  ඒ ඇය මුඛාවරණ දෙකක් හා ප්ලාස්ටික් මුහුණු ආරක්ෂණයක් පැළඳ සිටි නිසාය. ඇය දෙස ඍජුවම බලන්නට මා බිය වූයේ මා ගතකළ හුදෙකලා කාලය තුළ කතාකිරීමේ හැකියාව යම් දුරකට මගෙන් ගිලිහී ගොස් තිබූ බව මට සිතුනු නිසාය. කෙසේ හෝ “හායි මමා!” යැයි පවසමින් ඇය මේ පිළබඳව සම්පූර්ණයෙන්ම සැහැල්ලු ස්ථාවරයක සිටි බව මට පෙන්නුම් කළේය. පසුව, ඇය පහත මාලයේ නවතා තිබූ  කුලී රථය වෙත මා කැඳවාගෙන ගියාය. මගේ රෝද පුටුව බිම් මහල වෙත ගෙන ගිය වාට්ටු සේවකයා මා වාහනයට නගින්නට පෙර පැවසුවේ මෙයයි:  “ඔව්, අපි මේ කරන්නේ අපේ ජොබ් එක තමයි. ඒත් මේකෙන් අපිටත් ලොකු උනන්දුවක් ඇතිවෙනවා. අපි අනුන් ගැන කොච්චර දේ ඉගෙන ගන්නවා ද. ඒගොල්ලන්ට කොච්චර දැනුමක් තියෙනෙවා ද. ඒ නිසා අපි අවදානම් දිහා බලන්නේ නෑ. මේක මම දකින්නේ  මිනිස්සු ගැන ඉගෙනගැනීමක් හැටියටයි.”

මගේ වැඩිමහල් දියණියට කුඩා දැරියන් දෙදෙනෙකු සිටින බැවින් ඇයට දිල්ලියට පැමිණීමට නොහැකි විය.  මගේ බාලයා ඒ වන විටත් කෝවිඩ් ආසාධනය වීම නිසා අපගේ නිවසේ හුදෙකලාව සිටියාය. මෙනිසා ඔවුන් තිදෙනා තමතමන් සිටි ස්ථානවල සිට  දුරකථන ඔස්සේ දීර්ඝ සාකච්ඡාවල  නිරත වී  අදාළ සියලු තීරණ ඒකමතිකව ගන්නට ඇති. මේ සමීප අන්තර්ක්‍රියාකාරීත්වය සිදුවුනේ ඩිජිටල් තාක්ෂණය හරහා වුව ද පවුලේ සාමාජිකයින්ගේ අන්‍යෝන්‍ය පැවැත්ම සඳහා එම කතාබහ සහ තීරණ තීරණාත්මක විය. මේ කාලයේ පළමු දින අට තුළ, එක දිනකින් ඊළඟ දිනය දක්වා තම මව ජීවත්වේ ද නොවේ ද යන්න ඔවුන් දැන සිටියේ නැත.

වෛද්‍යවරුන්ගේ මෙන්ම හෙදියන්ගේ ද කරුණාවන්තකම මට හොදින් මතකය. ඔවුන් සියලු දෙනාමගේම වයස අවුරුදු 25 ක් පමණ විය. ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු වාට්ටුවට පැමිණියේ දිනකට එක් වරක් පමණි. ඒ උදෑසන 11.00 ට රෝගීන්ගේ වාර්ථා සහ වෛද්‍ය ප්‍රස්ථාර පරික්ෂා කිරීමට සහ රෝගීන්ට උපදෙස් ලබා දීමට ය. ඉතිරි කාලය තුළ, අපි සම්පුර්ණයෙන්ම තරුණ සීමාවාසික වෛද්‍යවරුන්ගේ රැකවරණය යටතේ සිටියෙමු. ඔවුන් සියලුදෙනාම බෙහෙවින් කරුණාවන්ත වූවා සේම අතිශයින් පරීක්ෂාකාරී ද වූහ. මට හැඟුණේ මේ අවස්ථාවේ රට යෞවනයන් විසින් මෙහෙයවනු ලබන බවත්, ඔවුන් දැක්වූ ආදරය හා දේශප්‍රේමීයත්වය ඉදිරි වසර ගණනාව තුළ අප රටේ අනාගතය පිළිබඳ සංකේතයක් වන බවත්ය.

මම මේ රෝගයට ගොදුරු වී දිවි ගලවා ගත් වාසනාවන්තයින්ගෙන් එක් අයෙකි. කෝවිඩ් රෝගයෙන් පෙළුන වයස අවුරුදු 84 ක් පමණ වූ මහලු කාන්තාවක් අප අතර සිටියාය. ඇය  නිරන්තරයෙන්ම වැළපුණාය. ඇයට දිවා රෑ දෙකෙහිම වෛද්‍ය කාර්ය මණ්ඩලය පැවසුවේ, “අම්මේ, සන්සුන්ව ඉන්න. ඔයා අඩුවෙන් කතා කරන තරමට, ඔයා අඩු වෙහෙසක් දරන තරමට ඒක ඔයාගේ පෙණහලුවලට හොදයි” කියාය. එනමුත් ඔවුන් එකිනෙකාට පැවසුවේ, “එයාගේ ජීවිතෙන් ඉතුරුවෙලා තියෙන්නේ තව පොඩි කාලයයි” යනුවෙනි. ඒ සමගම,  ඇයගේ දිවි ගලවා ගැනීමේ කාර්යය සඳහා ඔවුන් නිරතුරුවම වෙහෙසුනහ. ඔවුන්ට සැබවින්ම අවශ්‍ය වූයේ, ඇයව සුව කර නැවතත් ඇයගේ පවුල වෙත යැවීමටයි. රෝගීන් වශයෙන්, ඇයගේ දුක් වේදනා සහ මරණයට දැක්වූ බිය අපට ද කම්පනයක් ඇති කළේය. ඇය දැක්වූ නිරන්තර භීතිය සහ ඇයගේ වැළපීම හා කෑගැසීම නිසා  අපගේ දිවි ගලවා ගැනීමේ අවස්ථා ද අඩු වූ බව අපට හැඟුණි. ඊට හේතුව, දිවා රෑ නොබලා ගලා ආ ඇයගේ නොනවතින කතාව නිසා, කැමති වුවත් නැතත්, අපට අවදිවන්නට සිදු වූ නිසාය. දින පහකට පසු ඇයව දැඩි සත්කාර ඒකකයට ගෙනගිය විට අපට යම් සහනයක් දැනුණු අතර, අප සත්‍ය වශයෙන්ම සිතුවේ, අපට මෙමගින් නැවත ලබා දුන් නිහඬතාව අපගේ සුවපත් වීමට විශාල උපකාරයක් වනු ඇති බවයි.

සුවය ලැබීමෙන් පසු, නැවතත් නිවස වෙත යාමට මට අවසර දුන් විට, මට දැනුනේ රජයේ රෝහලක පොදු වාට්ටුවක සිටීම නිදාගැනීමේ පසුකම් සහිත සාමාන්‍ය දුම්රියකින් ගමන් කිරීමට සමාන බවයි. නැතහොත් එය  දේශීය බස් රථවල ගමන් කිරීම හා සමාන වූ බවයි. කෙසේ වෙතත්, ජීවත්ව සිටීම සඳහා අපගේ සාමූහික ප්‍රයත්නය තේරුම් ගත් කාන්තාවන් කණ්ඩායමක් සමග දින දොළහක් ගතකිරීමට අවස්ථාව ලැබීම ගැන මම කෘතඥ වෙමි. එමෙන්ම, ජීවතුන් අතරට මා කැඳවාගෙන ඒමට මෙතරම් උත්සාහයක් දැරූ මගේ දියණියන්ට ද මා අතිශයින් කෘතඥ වෙමි.

(සූසන් විශ්වනාදන් නව දිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිළබඳ මහාචාර්යවරියකි. ඇය විසින් The Christians of Kerala: History Belief and Ritual among the Yakoba (1993, 2020); An Ethnography of Mysticism: The journeys of a French Monk in India (1998); Structure and Transformation: Theory and Society in India (2010, සංස්කාරක) සහ Friendship, Interiority and Mysticism (2007) යන ශාස්ත්‍රීය කෘති රචනා කර ඇත. ඊට අමතරව, නිර්මාණ සාහිත්‍ය  කතුවරියක් වශයෙන් ඇය Something Barely Remembered: Short Stories (2000); The Visiting Moon (2002); Phosphorus and Stone (2007) සහ Seine at Noon (2007) යන නවකතා සහ කටිකතාවල කතුවරිය ද වේ. 2021 අප්‍රේල් මාසයේ කෝවිඩ් 19 අසාධනය වීම නිසා ඇය රෝහල්ගත කෙරුනේ ඉන්දියාවේ මෙන්ම නව දිල්ලියේ ද රෝහල් තත්ත්වය සහ වෛද්‍ය ඔක්සිජන් සැපයුම විශාල අභියෝගයකට මුහුණ දී ඇති අවස්තාවකය. එනිසා, ඇයගේ ලිපියෙන් යම් දුරකට විස්තර කර ඇති ආකාරයට, ඇයට රෝහල් හා වෛද්‍ය පහසුකම් සොයා ගැනීම බෙහෙවින් අපහසු විය. සුවපත් වී නැවත නිවස වෙත පැමිණි ඇයගෙන් පඨිත සංස්කාරක මණ්ඩලය වෙනුවෙන් අප ඉලා සිටියේ, ඇයට හැකි විටක ඇයගේ අත්දැකීම් විස්තර කරන ලෙසයි. ඒ, පෞද්ගලික ඉතිහාසමය තොරතුරු සමාජවිද්‍යා කතිකාවන්ට ස්වයං-මානවවංශකරණ ක්‍රියාවලියක් (auto-ethnography) වශයෙන් වැදගත් දායකතත්වයක් සැපයිය හැකි බව හැකි බව අප මෙන්ම ඇය ද දන්නා නිසාය.  මේ ලිපිය 2021 මැයි 28 වන දින ඇය විසින් සපයන ලද ඉංග්‍රීසි අත්පිටපතේ සිංහල පරිවර්තනයයි. එහි ඉංග්‍රීසි සටහන ද වයර් වෙබ් අඩවියේ පළකර ඇත. මෙතරම් සීග්‍රයෙන් මේ කෙටි ලිපිය සම්පාදනය කිරීම වෙනුවෙන් මහාචාර්ය සූසන් විශ්වනාදන් වෙත පඨිත සංස්කාරක මණ්ඩලයේ ස්තූතිය හිමි වේ)

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විද්‍යාලංකාර පිරිවෙන සහ ශ්‍රී ලංකාවේ යටත්විජිත සිංහල සමාජයෙහි විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය

(මේ ලිපිය 2020 ජනවාරි 08 වන දින කැළණිය විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සර උත්සව දේශන මාලාවේ 1 වැනි දේශනය ලෙස ඉතිහාස අංශයේදී පැවැත් වූ කථාවේ සංශෝධිත පිටපතය. එහි වඩාත් වර්ධිත පිටපතක් ‘පඨිත 2020’ මුද්‍රිත වෙලුමේ පළවීමට නියමිතය) ~ ජයදේව උයන්ගොඩ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හැටවෙනි සංවත්සරය සමරන උත්සව මාලාවට කතාවක් පැවැත්වීම මගින් සහභාගීවීමට මට ලැබුණු ආරාධනය මා පිළිගත්තේ සතුටිනි. එම ආරාධනය කිරීම ගැන ගරු ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්, ඉතිහාස ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුලු නිලධාරී මණ්ඩලයටත්, මෙම උත්සවයේ සංවිධායක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඥාන විභාගාත්මක ඛණ්ඩනීය මොහොතක් පිළිබඳ ආවර්ජනයක්: සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය පිළිබඳ සීමිත පාඨනයක්

~ සසංක පෙරේරාදකුණු ආසියාණු විශ්වවිද්‍යාලය (මේ ලිපිය මුල්වරට පළ වූයේ ජයන්ත අමරසිංහ සංස්කරණය කළ ‘සිරි ගුනසිංහ උපහාර ලිපි’ යන කෘතියේය (ගාල්ල: රුහුණු විශ්වවිද්‍යාලය, 2010). කෘතිය සඳහා ලිපිය සම්පාදනය කිරීමට මාහට ආරාධනය කළ මහාචාර්ය තිස්ස කාරියවසම්ට හා මහාචාර්ය ජයන්ත අමරසිංහට මාගේ ස්තූතිය හිමි වේ) සන්දර්භගත කිරීම සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය හරහා එහි අත්‍යන්ත දේශපාලනය පිළිබඳව කෙරෙන මෙම සීමිත ආවර්ජනීය පාඨනය දියත් වන්නේ ගුනසිංහගේ නිර්මාණ කටයුතු ඇරඹී අඩසිය වසක් ගත වූ පසුවය. තවද මා සාහිත්‍ය විචාරය හෝ භාෂා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා: දෘෂ්ටිවාදය නිරෝධායනයක්!

(කාටුනය: අවන්ත ආටිගල) ~ බූපති නලින් වික්‍රමගේ ස්වාධීන දෘශ්‍ය කලා හා දේශපාලන විචාරක ඕනෑම මිනිස් ක්‍රියාවක් වන්නෙම චින්තනයයි. මිනිස් ක්‍රියාවක නිවැරදිතාවය විමසීම ඉතා තීරණාත්මක වන්නෙ සමස්ත සමාජයම උඩුයටිකුරු කරවනා කොරෝනා වසංගතය වැනි සිදුවීමකදීය. මාක්ස්වාදය තුළ ‘දෘෂ්ටිවාදය’ (ideology) නමින් සිද්ධාන්තයක් සාකච්ඡා වන්නේ අපගේ සිතීම හා ක්‍රියාවේ නිරවද්‍යතාව පිළිබඳව වන මාතෘකාවට අදාලවය. කෙනෙක් හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකටද දෘෂ්ටිවාදය ගැන සාකච්ඡාවක් කියලා ? ඊටත් වඩා හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකද මාක්ස්වාදය ගැන කතාවක් කියලා? සාධාරණයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘මිලිටරි පුරුෂත්වය’ වර්තමාන ලංකාවේ දැනට පවතින ආධිපත්‍යමය පුරුෂත්වයද?

~ අනුශ්කා කහදගමගේ දකුනු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය (චායාරූපය: අනුශ්කා කහදගමගේ, මිනුවන්ගොඩ, 2019) මෙම කෙටි රචනයට ප්‍රවේශය වන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සමඟ හෝ ඇතැමුන්ට අනුව, නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ රටේ ඇතිවූ නූතන  බිතු-සිතුවම් රැල්ලේ එක් චිත්‍රයකි. මෙය මිනුවන්ගොඩ නගරයේ සිතුවම්කර ඇති අතර, බොහෝ තැන්වල මා දැක ඇති වෙන් වෙන්ව සිතුවම් කර ඇති විශාල මාංශ පේශිවලින් යුතු රජවරුන්, කුමාරවරුන් මෙන්ම අවි සහ අත් බෝම්බ අත දරාගත්, සන්නද්ධ හමුදා සොල්දාදුවන්ට වඩා වෙනස් වර්ගයේ එකකි. ඒ, සොල්දාදුවාත්, කුමාරයාත් බද්ධකර,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය

~ අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර්, යේල් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: ඵූසතී ලියනාරච්චි ලංකාවේ තේ වතුවලින් ඉන්දියාවට රැගෙන ආ පාන්, ශ්‍රමිකයන් ලෙස ලංකාවට සංක්‍රමණය වූ ඉන්දියානු දමිළ ජනතාවගේ කතාන්දරය කියාපාන සරල අහරකි. සෑම බ්‍රහස්පතින්දාවක ම අපගේ රෑ කෑම වූයේ පාන් ය. කටට ගන්නා සෑම විටක දී ම මහා කරස් හඬක් නගන රළු ආකාරයකට සෑදූ ඒ පරළු පාන්වල ඇතුළත, පිරිපුන් සැහැල්ලු බවක් රැඳී තිබුණි. එය සාමාන්‍යයෙන් ගැලපුනේ සම්බෝල සමග කෑමට ය. සම්බෝල යනු, සියුම්ව ගා ගත් නැවුම් පොල් රැළි සැර මිරිස්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ஒரு றாத்தல் பாணிலிருந்து அடையாளம் வரை: புலம்பெயர்வு மற்றும் நினைவுகள்

~ அக்ஷ்யா  கிருஷ்ணகுமார், யேல் பல்கலைக்கழகம்மொழிபெயர்ப்பு – சிவலிங்கம் அனுஷா இலங்கை தேயிலைத் தோட்டங்களிலிருந்து இந்தியாவுக்குக்கொண்டுவரப்பட்ட பாண் என்பது  இலங்கைக்கு தொழிலாளர்களாக புலம்பெயர்ந்த  இந்தியத் தமிழ் மக்களின் கதையைச் சொல்லும் ஒரு எளிய உணவாகும். ஒவ்வொரு வியாழனும் பாண், எனது  இரவு உணவாக இருந்தது. பாண்  ஒவ்வொரு  முறையும்  வாயில்  வைத்து கடிக்கும்போது அதில்   பெரிய சத்தம்  ஒலிக்கும்   வகையில் தயாரிக்கப்பட்டிருந்தது. பாணின் நடுவில் மென்மையான ஒருபகுதியும் இருக்கிறது.  அது சம்பலுடன்  சாப்பிடவே பொருத்தமாக  இருந்தது.  சம்பல் என்பது  நறுக்கப்பட்ட மிளகாயை, துருவிய தேங்காய் துண்டுகளுடன் இறுதியாக அரைத்தெடுத்து  கலந்த உணவாகும். மாசி தூள் அதன் மீது தெளிக்கப்படும் போது சம்பல் மிகவும் சுவையாக இருக்கும்…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

South Asia – Between Dream and Actuality

Ravi Kumar – (මේ ලිපිය මුල්වරට පළවුයේ බ්ලූම්ස්බරි ප්‍රකාශන සමගම විසින් 2019දී පලකළ, සසංක පෙරේරා, දේව් නාත් පාඨක් සහ රවී කුමාර් විසින් රචිත ‘Against the Nation: Thinking Like South Asians’ නම් කෘතියේ පස්වන පරිච්ඡේදයේ වශයෙනි. රවී කුමාර් දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචර්යවරයෙකි. ඔහු එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානියාය) The term, ‘South Asia’ invokes myriad images — from inter-governmental bodies such as SAARC, talks of how this is a geographic region…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි; උපකුලපති තුමනි; සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨාධිපතිතුමනි; මිත්‍රවරුනි; ඔබ සැමට සුබ උදෑසනක්! ‘සංස්කෘතිය, නූතනත්වය සහ සමාජ පරිවර්තනය’ යන ඉතා පුළුල් තේමාව මත පදනම්ව ‘රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා 2020 සමුළුවේදී’ මෙම මුඛ්‍ය දේශනය ඉදිරිපත් කිරීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක කමිටුවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මුඛ්‍ය දේශනයක් යන්න පිළිබඳව අප රටේ මෙන්ම දකුණු ආසියා කලාපයේ ද…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආසියා ප්‍රකාශන සමාගම: දකුණු ආසියාවේ ප්‍රකාශන ඉතිහාසයේ අමතක වී ගිය මතකය

~ රාමචන්ද්‍ර ගූහා (මේ ලිපිය 2020 අප්‍රේල් 18 වන දින ස්ක්‍රෝල් වෙබ් අඩවිය සඳහා මහාචාර්ය රාමචන්ද්‍ර ගූහා විසින් සම්පාදනය කළ ‘From Asia Publishing to Permanent Black’ යන කෙටි ලිපියේ පළමු කොටසේ සිංහල පරිවර්තනයයි. මුල් ලිපියෙන් ඔහු උත්සාහ ගත්තේ කේන්ද්‍රීය ඉන්දීය ප්‍රකාශකයින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ භූමිකාව උදෙසා සිය ප්‍රණාමය පුදකිරීමටය. මෙහි පළමු කොටස සිංහලෙන් ඉදිරිපත් කරන්නට හේතුවන්නේ එවැනි ඓතිහාසික තොරතුරු දකුණු ආසියාව පිළිබඳ විකල්ප පරිකල්පනයක් ගොඩනැගීමට උනන්දුවක් ඇති පර්යේෂකයින්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි යන විශ්වාසය මතය. මහාචාර්ය රාමචන්ද්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී වඩ වඩාත් ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම වෙනත් බොහෝ දැනුම මිනිසුන් වෙත ගෙනෙන තාක්‍ෂණය පිළිබඳ කාරණයක් පමණක් නොවන බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මේ සියල්ල මහජනතාව වෙත ගෙන ඒම ඔස්සේ අනෙකුත් සියලුම ජනමාධ්‍ය මෙන් ගුවන්විදුලිය ද දේශපාලනයේ මාධ්‍යයක් බවට පත්වීමයි. ‘දේශපාලනය’ යන පදය මෙහිදී යොදාගන්නා විට, අප…
වැඩි විස්තර පරිශීලනයට