‘බ්‍රැන්ඩික්ස් පොකුර’ මගින් පෙන්නුම්කරන ඇඟලුම් සේවිකාවන් හා සම්බන්ධ ලාංකේය චින්තනමය දරිද්‍රතාව

~ ආශාවරී කරුණානායක

ප්‍රවේශය

කාන්තාව හා බැඳි නොයෙකුත් කතිකා සමාජය තුළ ගොඩනැගීම ආගන්තුක කාරණයක් නොවේ. අප මැනැවින් දන්නා පරදි, කලින් කලට සමාජය තුළ කාන්තාව කේන්ද්‍ර කරගත් නොයෙකුත් ආකාරයේ කතිකා ගොඩනැගීම සුලභ දෙයකි. ඒ අනුව, මේ සම්බන්ධයෙන් ලාංකේය ජන සමාජය ඇසුරින් විමසීමේදී 2020 ඔක්තෝබර් මස මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව වර්ධනය වූ කොරෝනා දෙවන රැල්ල තුළ කාන්තාව සම්බන්ධයෙන් ගොඩනැගුණා වූ කතිකාව සහ ඒ තුළ ඇය විෂයෙහි ගොඩනගන ලද ප්‍රතිරූපය යථෝකත කාරණය සම්බන්ධයෙන් මනාව සාක්‍ෂි දරනු ඇත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අනුයුක්තව සේවය කළ ඇඟලුම් සේවිකාවකට කොවිඩ් 19 වෛරසය ආසාධනය වීමත් සමඟම අදාළ ආයතනය වටා කෝවිඩ් ආසාධිත පොකුරක් නිර්මාණය වූ ආකාරය අප කවුරුත් හොඳින් දන්නා කාරණයකි. එතැන් පටන් මෙරට කෝවිඩ් දෙවන රැල්ලක් පිළිබඳ කතිකාවක් ක්‍රමයෙන් ආරම්භ වීය. මෙකී සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී බ්‍රැන්ඩික්ස් පොකුර තුළින් කෝවිඩ් 19 ධනාත්මක වූ පළමු රෝගියා වශයෙන් හඳුනාගත් කාන්තාව හා බැඳුණු කතිකාව සමාජය තුළ අර්ථකථනයට ලක් වූ ආකාරය සිත්ගන්නා සුළුය. මක්නිසාද යත්, පිටතින් බැලුව ද එය හුදෙක් තවත් එක් කාන්තාවකට කෝවිඞ් 19 වෛරසය ආසාධනය වීමක් ලෙසින් පෙනීගිය ද ඒ පිළිබඳ ගැඹුරින් සිතීමේදී ඒ තුළ පුළුල් සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික හැඟවුමක් ගැබ්ව තිබෙන නිසාය.

මෙහිදී ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතුව ඇත්තේ, මෙම සිදුවීම තුළ කිසියම් ආකාරයක පුළුල් සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික හැඟවුම් ගැබ්ව ඇති බව මා ප්‍රකාශ කරනුයේ අදාළ සිදුවීමට බඳුන් වූ කාන්තාව මෙරට වැඩ කරන පන්තිය නියෝජනය කරන්නියක් වීම නිසා බවයි. නමුත් මෙහිදී මතු කළ යුතුව ඇති අනෙක් කාරණය වන්නේ, හුදෙක් එම කාන්තාව වැඩ කරන පන්තිය නියෝජනය කරන්නියක් වීම නිසාම පමණක් නොව, ඇය ඇඟලුම් කර්මාන්තයෙහි නියැලි සේවිකාවක්, එසේත් නොමැති නම් ‘ගාමන්ට් සේවිකාවක්’ වීමත් හේතුවෙන් සමාජය වෙතින් ඇය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණා වූ මෙකී කතිකාව මත පැහැදිලිවම නිශේධනීය වූ අගයක් ආරෝපණය වීමය. මෙහිදී මා මෙවැනි අදහසක් ඉදිරිපත් කරනුයේ ලාංකේය සමාජය තුළ ගොඩනැගී ඇති ජනප්‍රිය සමාජ ප්‍රතිමාන මත පදනම්ව ඇඟලුම් සේවිකාවන් සම්බන්ධයෙන් සුවිශේසී අනන්‍යතාවක් චිත්‍රණය කර තිබෙන නිසාය. මෙකී චිත්‍රණයේ නිර්මාපකයා වනුයේ පීතෘ-මූලික භාවිතයන්ගෙන් සැදුම්ලත් ලාංකේය ජන සමාජයය. ඒ මත පදනම්ව ගොඩනගන ලද අනන්‍යතාවල ප්‍රතිරූපය මෙන්ම කියැවීම මත හිදිමින් ඇඟලුම් කර්මාන්තයේ නියැලි සේවිකාවන් දෙස බැලීමට වර්තමානයේ සමාජය පුරුදු වී ඇත. එම යථාව මෙම ලිපිය සඳහා පාදක වූ සිදුවීම තුළින්ද මනාව ගම්‍යමාන වේ.

ඇඟලුම් කර්මාන්තය හා එහි සේවිකාවන්

සෘජු ලෙස මෙම රචනයට ප්‍රවිශ්ඨ වීමට පෙර, මෙරට ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත ඉතිහාසයෙන් බිදක් ගෙනහැර දැක්වීම වැදගත් වනු ඇතැයි සිතමි. 1977 වසරේදී එතෙක් ආවෘතව පැවති මෙරට ආර්ථිකය වෙත විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමත් සමඟ, දෙස් විදෙස් ව්‍යාපාරකයින්ට, ආයෝජකයින්ට සහ ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර මෙරට දියත් කිරීමේ අවස්ථාව උදාවුණි. ඒ යටතේ, එතෙක් ඔවුන් විෂයෙහි පනවා තිබූ දැඩි සීමා බොහෝමයක් ලිහිල් වීය. මේ සමඟම රට අභ්‍යන්තරයෙහි මහා පරිමාණ ව්‍යාපාර ආරම්භය වීමේ ප්‍රතිඵලයක් ලෙස, මෙරට කොග්ගල, කටුනායක සහ බියගම යන ප්‍රදේශ ආශ්‍රිතව නිදහස් වෙළෙඳ කලාප ස්ථාපනය වීය. මෙකී නිදහස් වෙළෙඳ කලාප ආශ්‍රයෙන් පුළුල්ව ස්ථාපනය වූ එක් ආදායම් ක්‍ෂේත්‍රයක් ලෙස ඇඟලුම් කර්මාන්තය පෙන්වාදිය හැකිය. එපරිද්දෙන් ආරම්භ කරන ලද මෙරට මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තය, අද වන විට මෙරට ආර්ථිකයේ ප්‍රධානතම සහ විශාලතම ආදායම් උත්පාදකයා බවට පත්ව, ලාංකේය ආර්ථිකය නගා සිටුවීමේ සහ වර්ධනයෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ආකාරය වාර්ෂික දත්ත නිරීක්‍ෂණයේදී මනාව පසක් වේ. 

මෙලෙස රට අභ්‍යන්තරයේ මහා පරිමාණයෙන් වර්ධනය වූ ඇඟලුම් කර්මාන්ත ශාලා ආශ්‍රිත රැකියා අවස්ථා දහස් ගණනක් විවර වන්නට වූයෙන්, මෙය ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා අර්බුදය උදෙසා මහත් අස්වැසිල්ලක් සපයන ලදී. මෙලෙසින් තමන් වෙත පැමිණි අවස්ථාවෙන් වැඩි ප්‍රයෝජනයක් ගෙන ඇත්තේ ග්‍රාමීය කාන්තාවන් බව පැහැදිලිය. තමන් ලබා ඇති අවම අධ්‍යාපන තත්ත්වයට සරිලන රැකියා අවස්ථා නොමැතිකමත්, පීතෘ-මූලික භාවිතය තුළ කාන්තාව රැකියාවක නියැලීම අවශ්‍ය නැති බවටත් එතෙක් පැවති මතයන්ගෙන් හෙම්බත්ව සිටි කාන්තාවට විවෘත ආර්ථිකයත් සමඟ උදාවූ මෙම අවස්ථාව මහත් අස්වැසිල්ලක් බවට පත් විය. මේ හේතුවෙන් මෙපමණ කලක් පෞද්ගලික අවකාශය තුළ සිරව සිටි කාන්තාවට නිවසෙන් පිටතට විත්, සමාජය සමඟ ගැටෙමින් පොදු අවකාශයේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථා පුළුල් වූවා යැයි පැවසීම සාවද්‍ය නොවන්නේය. මෙලෙස තමන් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ග්‍රාමීය තරුණිය කටයුතු කර ඇති බව සංඛ්‍යා දත්ත තුළින්ද පසක් වේ. ලෝක කම්කරු සංවිධානයේ වාර්තාවන්ට අනුව, මෙරට ශ්‍රම බලකායෙන් 85%ක්  පමණ නියෝජනය කරන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවන්හි සේවය කරන කාන්තාවන් බව පෙන්වාදී තිබීමෙන් යථෝක්ත කාරණය තවදුරටත් සනාථ වේ.

මෙවැනි ඇඟලුම් කර්මාන්ත ශාලාවන්හි සේවයේ නියුතු කාන්තාවන්ගේ සමාජ තත්ත්වය පිළිබඳ දළ අදහසක් ලබාගැනීම ද වැදගත්ය. මෙකී ප්‍රජාව අතුරින් බහුතරය විද්‍යමාන කරන පොදුවේ දැකිය හැකි ලක්‍ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. මෙවැනි සේවිකාවන් අතුරින් බහුතරය ඈත පිටිසර ගම්බිම්හි සිට නගරයට පැමිණි, වයස අවුරුදු 19-35 පමණ වූ වයස් සීමාවන්ගේ පසුවන අවිවාහක තරුණියන් වීම ප්‍රධානතම ලක්‍ෂණයයි. එපමණකුඳු නොව, මෙම සේවිකාවන් බොහෝ දෙනා අඛණ්ඩ පාසැල් අධ්‍යාපනයක් නොලද පිරිසක් වන අතර, බොහෝ දෙනා පස්වන ශ්‍රේණිය දක්වා හෝ එසේත් නොමැති නම් සාමාන්‍ය පෙළ අවදියේම හෝ ඊට පෙර පාසැල් අධ්‍යාපනයෙන් සමුගත්තවුන්ය. මීට අමතරව, ඔවුන් බොහෝ දෙනා පවුල තුළ පවතින ආර්ථික දුෂ්කරතා, වයෝවෘද්ධ හෝ අසනීපයෙන් පසුවන දෙමාපියන් සිටීම ආදී ප්‍රශ්න සමුදායකින්  ද හෙම්බත්ව සිටියවුන්ය. එනිසා, මෙවැනි පසුබිම් තත්ත්ව දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ, මෙකී කාණ්ඩය සැබෑ ලෙසින්ම සමාජ සහ ආර්ථික ප්‍රාග්ධනය වෙත හිමිකාරීත්වයක් නොකියන සමාජයේ පහළ ස්ථර නියෝජනය කරමින් නගරය වෙත ආගමනය වූ පිරිසක් වූ බවය. 

තරුණ වයසේ පසුවන මෙවැනි කාත්නාවන්ට එතැන් පටන් මුහුණදීමට සිදුවූයේ නවමු පරිසරයකටය. එක් පසෙකින් රැකියා ස්ථානය තුළ සිදුවන ශ්‍රමය සූරාකෑම තුළින් ඇතිවන පීඩනය පමණක් නොව, රැකියා ස්ථානය තුළ කිසිඳු නිදහසක් නොමැති, හඩක් හෝ බලයක් අහිමි පිරිසක් ලෙස කටයුතු කිරීමට සිදුවීමත්, අනෙක් පසින් නුපුරුදු  ජීවන රටාවකට හුරුවීමේ අභියෝගයත් මොවුන් ඉදිරියේ තිබූ ප්‍රභල අභියෝග වීය. කෙසේ වුවද, නව පරිසරයක නවක මිතුරු මිතුරියන් සමඟ ගෙවන ජීවිතය තුළ  රැකියාවෙන් ලැබෙන ආදායමත්, මොවුන් වෙත හිමි වූ සාපේක්‍ෂ වශයෙන් අසීමිත නිදහසත් හමුවේ නගරය කේන්ද්‍ර කරගත් ජීවන රටාවකට ක්‍රමිකව සමාජානුයෝජනය වූයේ එසේ නොමැතිව එවැනි සමාජයක ජීවත්වීම අපහසු වූ නිසාය. තරුණ වයසේ පසුවීම, ආදායම් මාර්ගයක් පැවතීම, ඔවුන්ට නිසි මගපෙන්වීමක් නොවීම පමණක් නොව, නව පරිසරය තුළදී මොවුන්ට හිමි වූ නිදහස යනාදී කාරණා මත පදනම්ව මෙකී තරුණියන් අනාරක්‍ෂිත තත්ත්වයකට නිරාවරණය වීම මීළඟට මෙකී ඇඟලුම් සේවිකාවන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය වීය. මෙම අභියෝගයට මුහුණදෙමින්, ඇතැමුන් සාර්ථකව සිය දිවි පැවැත්ම සකසා ගනු ලැබුව ද, ඇතැමුන්ට සිදුවූයේ ඔවුන්ගේ නොදැනුවත්කම, අත්දැකීම් මදකම ආදිය නිසා විවිධ පුද්ගලයින්ගේ ලිංගික අතකොළු බවටත්, වංචාවන්ටත් හසුවීමටය.

මෙම තත්ත්වය වර්තමානයේ ඇඟලුම් කර්මාන්ත ශාලා වටා යම් ආකාරයේ උප සංස්කෘතික ලක්‍ෂණ ගොඩනැගීමට ද හේතුපාදක වී ඇත. එකී උප සංස්කෘතික ලක්‍ෂණ තුළ ඇඟලුම් සේවිකාවන් විෂයෙහි නව ප්‍රතිරූපයක් සහ අනන්‍යතාවයක් ද ගොඩනැගී ඇත. ඔවුන් මත ආරෝපනය කර ඇති ජනප්‍රිය අනන්‍යතාව සහ ප්‍රතිරූපය මත පදනම්ව ඇඟලුම් ක්‍ෂේත්‍රයෙහි නියුතු සියලුම සේවිකාවන් සම්බන්ධයෙන් විනිශ්චය කිරීමට ලාංකේය ජන සමාජය තුළ පුද්ගල විඥාණය අද වන විට ගොඩනැගී අවසන්ය.  මෙහිදී සඳහන් කළ යුතුව ඇති තවත් කාරණයක් වනුයේ, ‘ගාමන්ට් කෑල්ල,’ ‘ජුකී බඩුව,’ ‘ජුකී කෑල්ල,’ ‘කලාපේ කෙල්ල’ වැනි අනුවර්ත නාමයන්ගෙන් ගොඩනැගුණු එකී අනන්‍යතාව සැබෑ ලෙසින්ම මෙවැනි සේවිකාවන් සම්බන්ධයෙන් ගොඩනගනුයේ ලිංගිකත්වය හා බැඳුණු උපකරණාත්මක අදහසකින් යුක්ත වූ සෘණාත්මක අනන්‍යතාවක් බවයි. මෙකී අනන්‍යතාව මගින් සිදුවන්නේ, ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් සම්බන්ධයෙන් සමාජයේ පවතින ඒකාකෘතික (stereo-typical) වූ දැක්ම තවදුරටත් සනාථ වීමකි. එය තවදුරටත් අපරානුමත වීමකි. මෙලෙසින් පටබැඳී ඇති අනුවර්ත නාම තුළ බලය හා සම්බන්ධිත යම් සමාජයීය හා දේශපාලනික හැඟවුමක් ද අන්තර්ගත වන බව මාගේ හැඟීම වේ. ඉනෝකා සත්‍යාංගනී අධ්‍යක්‍ෂණය කළ සුළං කිරිල්ලී  සහ සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්‍ෂණය කළ බොරඳිය පොකුණ වැනි සිනමා නිර්මාණ තුළින් මෙකී කාරණය මනාව විචිත්‍රණය කරමින්, එය සියුම් විවේචනයකට ලක්කර ඇති ආකාරය පැහැදිලි වේ. එමගින් ද පුළුල් ලෙසින් සාකච්ඡාවට ලක්කර ඇත්තේ, මෙරට ඇඟලුම් කර්මාන්ත සේවිකාවන්ගේ ජීවිතයේ යථාර්ථය සහ ඔවුන් විෂයෙහි ක්‍රියාත්මක කෙරෙන ඒකාකෘතික දැක්ම සහ පීතෘ-මූලික භාවිතාවන් පිළිබඳවය. 

කෙසේ වුව ද මෙවැනි තත්ත්ව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් විසින් ලබාදෙන්නා වූ දායකත්වය ඇගයීම වෙනුවට, ඉහත කී ඒකාකෘතික අනන්‍යතාව මත පදනම්ව තවදුරටත් ඇයව අපහසුතාවයට පත් කරමින් සමාජයේ අඛණ්ඩ ගැරහීමට සහ අපවාදයට ලක්වන තත්ත්වයකට ඇඟලුම් සේවිකාව ඇද දමා ඇති ආකාරයයි. ඇඟලුම් සේවිකාවන් ද මනුෂ්‍යයන්ය, තවත් කෙනෙකුගේ දියණියක්ය, මවක්ය, සහෝදරියක්ය යන උපේක්‍ෂාසහගත දෘෂ්ටියෙන් යුතුව ඔවුන් දෙස බැලීම වෙනුවට, ඉන් බැහැරව හුදු උපකරණාත්මක ප්‍රවේශයකින් යුක්තව මොවුන් දෙස බැලීමට ඇඟලුම් සේවිකාව සම්බන්ධයෙන් ගොඩනැගී තිබෙන ඒකාකෘතික ප්‍රතිරූපය තුළින් සමාජයේ වෙසෙන පුද්ගලයන් පොළඹවා ඇත. 

බ්‍රැන්ඩික්ස් පොකුර සහ ඇඟලුම් සේවිකාවන් මත ආරෝපිත ඒකාකෘතික පෞරුෂය

මෙවැනි සමාජ වපසරියක් තුළ, බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් කොවිඞ් 19 වෛරසය ආසාධිත කාන්තාවන් සම්බන්ධයෙන් ද ඉහත සාකච්ඡා කළ ඇඟලුම් සේවිකාව සම්බන්ධයෙන් පවතින සෘණාත්මක ඒකාකෘතික අර්ථකථනය ඒ ආකාරයෙන්ම ආරෝපණයවී කරළියට පැමිණ ඇති ආකාරය දැකිය හැකිය. මෙය ලාංකේය ජනතාව තුළ පවතින චින්තනමය දරිද්‍රතාව සුපැහැදිලිවම ඉස්මතු කරන්නක් ලෙස හඳුන්වාදීම සාවද්‍ය නොවේ. බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව දිගින් දිගටම කොරෝනා වෛරසය ආසාධිත සේවිකාවන්ගේ සංඛ්‍යාත්මක වර්ධනය නිසා බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ මෙය කෙසේ ව්‍යාප්තවූයේ ද යන කාරණය විධිමත්ව හා විද්‍යාත්මකව සොයාබැලීමට නොවේ. ඒ වෙනුවට ජනප්‍රිය කතිතාව තුළ සිදුවූයේ, මෙවැනි ඇඟලුම් සේවිකාවන් අනාචාරයේ හැසිරෙන බැවින්, එතුළින් රෝගය වැළඳී ව්‍යාප්ත වූ බවට පදනම් විරහිත තර්කයක් සමාජගතකිරීමය. එකී කතිකාව තුළ දිගින් දිගටම ඉස්මතු කළ තවත් කරුණක් වූයේ, එම කාන්තාවන්ට අදාළ කර්මාන්ත ශාලාවේ ඉහළ නිලධාරීන් සමඟ කිට්ටු සම්බන්ධතා පවතින බවත්,  එම කාන්තාවන් චරිතය හොඳ නැති කාන්තාවන් බව හුවා දක්වමින් ඇඟලුම් සේවිකාවන් සම්බන්ධයෙන් මේ වන විටත් පවතින නිශේධනීය සමාජ මතය තවදුරටත් තහවුරු කිරීමට උතසාහ කිරීමය. එම සේවිකාවන්ගේ ප්‍රතිරූපය තව තවත් හංවඩු ගැසීමට කටයුතු කිරීම මගින් පැහැදිලි වන්නේ, මුළුමහත් සමාජය ඉදිරියේ ඇති සෞඛ්‍යමය ව්‍යසනය පිළිබඳ අවධානය යොමු කිරීම පසෙකලමින්, කළ යුත්තේ කුමක්ද හා නොකළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සහ ඒවා අර්ථගැන්වීමේ බලය තවදුරටත් පුරුෂ-කේන්ද්‍රීයව සිදුවන්නට අවකාශ සැලසීමය. 

අදාළ කර්මාන්තශාලාව තුළ උණ රෝගයට ගොඳුරු වූ කාන්තාවන් දින ගණනාවක් තිස්සේ රෝගය පවතින විට ද කිසිඳු විවේකයක් ලබා නොදෙමින් ඔවුන් වෙත පැවරී තිබුනු ඉලක්ක සම්පූර්ණ කිරීමෙහිලා යෙදවීම නිසා සෞඛ්‍යය කරුණු වෙත නිසි අවධානය යොමුනොවුන බව දැනට ප්‍රසිද්ධ කතිකාවේ ඇති අදහස්ය. ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුව තිබූ අවස්ථාවක පුද්ගලයින්ගේ චරිතය ඉස්මතු කරමින් ඔවුන් අපහසුතාවට හා නින්දාවට පත් කිරීමට සමාජය විසින් කටයුතු කිරීම කෙතරම් යුක්ති යුක්ත වන්නේද යන්න සම්බන්ධයෙන් ලාංකේය ජන ප්‍රජාව මීට වඩා බෙහෙවන් විචාරශීලී විය යුතුව ඇත. ඒ අනුව, මෙමගින් දිහැරෙන්නේ මෙරට නිදහස් වෙළෙඳ කලාප ද ඇතුළුව ඇගලුම් ක්‍ෂේත්‍රයේ රැකියාවන්ගේ නියුතු සමස්ත සේවක ප්‍රජාවගේ ජීවිතයේ කඨෝරභාවය සහ යථාර්ථය බව සිහිතබා ගත යුතුව ඇත. මතුපිටින් හා අති සරලව බැලූ විට මේ කාන්තාවන් සැහැල්ලු හා කෙලිලොල් දිවියක් ගත කරන බව සමාජගත වී තිබුන ද, යථාර්ථය තුළ ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ පසුබිම් කතාවක්ය යන කාරණය තේරුම්ගැනීමට අවශ්‍ය තොරතුරු මේ වන විට ද සමාජය තුළින්ම සොයාගැනීම අපහසු නැත.

පුද්ගල අයිතීන් සුරක්‍ෂිත කරන ලද සමාජයක් තුළ පුද්ගල අයිතීන් උල්ලංඝනය කෙරෙන තත්ත්වයක් මෙමගින් දැකගත හැකිය. මන්ද යත්, අදාළ ආයතනයේ සේවකයින් කිහිපදෙනෙක්ම එක්වරම මෙවැනි ව්‍යසනකාරී පසුබිමක උණ රෝග ලක්‍ෂණ පෙන්නුම් කළේ නම් කළ යුතුව තිබුණේ, ඔවුන්ට පැනඩෝල් පෙති ලබාදී අඛණ්ඩව සේවයට වාර්තා කරන ලෙස බලකර, ඔවුන්ට ලබාදී ඇති ඉලක්ක සැපිරීමට යොමුකිරීම නොව, ඔවුන් විධිමත් සෞඛ්‍ය පරීක්‍ෂණ වෙත යොමු කරමින් ඔවුන්ට විවේක ගැනීමට අවශ්‍ය පසුබිම සකසාදීමය. එය ඔවුන් සතු අයිතියක් ද වන්නේය. අදාල සෞඛ්‍යය කටයුතු සම්පාදනය නොකිරීම හුදෙක් මෙම සේවක සේවිකාවන්ගේ පමණක් නොව, අදාළ ආයතනයේ සෑම සේවකයෙකුගේම ජීවිත අවධානමකට හෙලීමක් බඳුය. මෙය මෙවන් කාලයකදී වගකීම් සහගත අයුරින් කටයුතු කරන ආයතනයක් වශයෙන් අදාළ ආයතනයේ පාලනාධිකාරිය වෙතින් බලාපොරොත්තු නොවිය හැක්කේ, තම සේවකයින් ආරක්‍ෂා කිරීමට සේව්‍ය පාර්ශවය සතුව ඇති වගකීම නිසාය. මෙමගින් සියුම්ව පැහැදිලි වන්නේ, අන් කවරක් හෝ නොව, ධනවාදී සමාජ ක්‍රමයක වෙළෙඳපොළ තුළ පුද්ගලයා යනු අවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රතිස්ථාපනය කල හැකි තවත් එක් සාධකයක් පමණක් බවට පත්ව ඇති ආකාරයයි. මන්දයත්, ධනවාදී සමාජ-ආර්ථික ක්‍රමයක් තුළ ආයතනයක් වශයෙන් ගත්කළ, ඔවුන්ට එක් සේවකයෙක් හෝ සේවකයින් කිහිපදෙනෙක් අහිමි වීම එතරම් තැකිය යුත්තක් නොවේ. ඊට හේතුව, ඒ සඳහා අවශ්‍ය තරම්  ආදේශක ඔවුන් සතුව තිබෙන නිසාය. මෙවැනි තත්වයක් තුළ නිරාවරණය වන්නේ අන් කවරක් හෝ නොව, තරඟකාරී වෙළෙඳපොළ ක්‍රමය තුළ පුද්ගල ජීවිතය සඳහා පවතින්නේ අවම අගයක් බවයි.

මෙකී සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පැහැදිලි ලෙසින්ම පෙනීයන්නේ,  ඇඟලුම් සේවිකාවන් කොතරම් දුරකට ලාංකේය ජන සමාජය තුළ ආන්තීකරණයට ලක්ව තිබෙන්නේ ද යන වගයි. එක් පසෙකින් කාන්තාවක් වීම නිසාත්, අනෙක් පසින් ඇඟලුම් සේවිකාවක් වීම නිසා මෙන්ම, කොවිඞ් 19 රෝගය වැළදුණ රෝගියෙක් වීම නිසාත්, ආකාර තුනකින් පීඩනයට ලක්වීමට මෙකී කාන්තාවන්ට සිදුව ඇති බව මේ අනුව පැහැදිලි වේ. හුදෙක් ආර්ථික ක්‍ෂේත්‍රය තුළ පමණක් නොව, සමාජ, දේශපාලන සහ සංස්කෘතික යනාදී සෑම ක්‍ෂේත්‍රයක් තුළම මොවුන් ඉතාමත් පහළ මට්ටමක සමාජ ප්‍රාග්ධනයක් වෙත උරුමකම් කියා ඇත්තේ ඔවුන් රටේ නීත්‍යානුකූල පුරවැසිභාවය වෙත න්‍යායාත්මකව හිමිකම් කියනු ලැබුව ද ප්‍රායෝගික තත්ත්ව තුළ සිය අයිතිවාසිකම් සහ හිමිකම් වෙත ආන්තිකව පමණක් උරුමකම් කියන්නා වූ අර්ධ පුරවැසිභාවයක් සහිත පුද්ගල ප්‍රජාවක් බවට පත්ව ඇති අතරවාරයේය. මෙම තත්ත්වය ඇතිවීමෙහිලා හුදෙක් තරඟකාරී වෙළෙඳපොළ ක්‍රමය පමණක් නොව, මෙරට වැසියන්ගේ චින්තනයේ පවතින අතිශය දිළිඳුභාවයද අඩු සහ වැඩි වගකිවයුතුව ඇත.

මෙවන් අවස්ථාවක කළ යුතුව ඇත්තේ, සමාජය තුළ ගොඩනැගී තිබෙන පුහු සහ වැරදි මත වෙනුවෙන් රැල්ලට ආවැඩීම නොව, පොදු මනුෂ්‍යත්වය යන කාරණය පෙරට ගනිමින්, සියල්ල සම්බන්ධයෙන් විචාරශීලිව අවධානය යොමු කරමින්, සියල්ලන් පිළිබඳවම සානුකම්පිතව කටයුතු කිරීම නොවන්නේ ද යන කාරණය මතක් කර දිය යුතුව ඇත. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ලේකම්වරයෙක් වූ ටී. කුරේ මහතා විසින් එක් අවස්ථාවකදී ප්‍රකාශ කර සිටියේ, ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සේවකයන්ගේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත්, එය නිවැරැදි කරමින් මෙම ක්‍ෂේත්‍රය ගෞරවාන්විත අංශයක් බවට පත් කළ යුතුව ඇති බවත්ය. ඔහුගේ මෙම ප්‍රකාශය සත්‍යයක් වන බවත්, එය කාලීන අවශ්‍යතාවක් බවට ද පත්විය යුතුව ඇති බවත් ඉහත සිදුවීම මගින් සපථ කර ඇත. මේ සඳහා ආයතනිකමය වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට අමතරව, අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතුව ඇත්තේ, පුද්ගලයෙක් දුටු පමණින් ඔහුගේ හෝ ඇයගේ බාහිර රූපය මත පදනම්ව චරිත සහතික ලබාදීම වෙනුවට, ලාංකේය ජන සමාජයේ ජීවත් වන වගකිව යුතු පුරවැසියන් වශයෙන් විචාරශීලීව කටයුතු කිරීම සහ පුද්ගල ආකල්පීයමය වෙනසක් තම අභ්‍යන්තරයෙන්ම ඇති කරගැනීමට කටයුතු කිරීමය.

එමෙන්ම, මෙකී ක්‍රියාවලිය තුළ රටේ මාධ්‍ය සතුව ඇත්තේ ද විශාල වගකීමකි. මන්ද යත්, පුද්ගල අනන්‍යතාව සහ ප්‍රතිරූපය ගොඩනැගීමේ මෙන්ම බිඳ හෙලීමේ ශක්‍යතාව රටක මාධ්‍ය සතු බව ලාංකේය ජන සමාජය තුළ අත්දැකීමෙන් ම තහවුරුවූවක් නිසාය. මෙපරිද්දෙන්, කාලයක් තිස්සේ යාවත්කාලීන නොවූ පසුගාමී ඒකාකෘතික අර්ථ දැක්වීම් සහ භාවිත සමාජය තුළින් අතුගා දමමින්, මෙලෙස ආන්තීකරණයට ලක්ව ඇති ජන කොටස් වෙත සාධරණයක් ඉටු කරදීම රටක මාධ්‍යයේ වගකීම සහ කාර්යභාරයද විය යුතුය. එසේ හෙයින්, රටක මාධ්‍ය එලෙස වගකීම් සහගතව සිය කාර්යභාරය ඉටු කරන්නේ නම්, එය රටක ජනතාව තුළ විචාරශීලීත්වය අවදි කිරීමට ද හේතු වදු ඇත. එලෙසම, එය පුද්ගල චින්තනමය දරිද්‍රතාවය ඳුරැලීමෙහිලා යම් ආකාරයක සාධනීය උපස්ථම්භනයක් ද වනු ඇත.

Total
5
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම: ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න

දීපක් නයියර් – ආර්ථිකවිද්‍යාව පිලිබඳ සේවාසම්මානිත මහාචාර්යජවහර්ලාල් විශ්වවිද්‍යාලය පරිවර්තනය:අනුෂ්කා කහඳගමගේදකුණු ආසියානු විශ්වවිද්‍යාලය (තත්කාලීනව විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන ප්‍රචණ්ඩත්වය, ඉන්දියාවේ ප්‍රභල දේශපාලනික වාදවිෂයක් බවට පත්ව තිබේ. මේ ප්‍රචණ්ඩත්වයේ එක් අරමුණක් වී ඇත්තේ එකී ආයතන තුළ සාම්ප්‍රදායිකව සිදු වූ විචාරශීලි කතිකාව හා දේශපාලනික විවේචනය පාලනය කිරීමය. එනමුත් මේ තත්වය සමස්ථ දකුණු ආසියාතික කළාපයටම පොදු තත්වයක් වන අතර, යම් මට්ටම්වලින් ඉන් බැහැර ප්‍රදේශවලද දැකගත හැක. දැනට ඉන්දියාවේ සරසවි තුළ සිදුවන ශිෂ්‍ය මර්දනය පෙන්වා දෙන මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට 1

භාෂණයේ අයිතිය සහ නිරාගමිකත්වයේ දේශපාලනය

~ |ගුරුගොඩ සිරිවිමල  හිමි ඉන්දික රත්නායක නැමැත්තකුට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මගින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමන්ගෙන් ඉල්ලා සිටින අවුල් සහගත ලිඛිත ඉල්ලා සිටීමක් මෑතකදී දක්නට ලැබුනි. ඉන්දික රත්නායකට මේ චෝදනාව එල්ල කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන පරිදි, ඔහු “බුදු දහම ජෛන දහමක් යැයි මිත්‍යා මතයක් සමාජගත කිරීමට යත්න දරා ඇති බව” පවසයි. මෙකී අදහස පිළිබඳව මා තුළ විශේෂ අදහසක් හෝ ආකර්ශනයක් නැත. කෙසේ වෙතත්, එම විවාදාපන්න කරුණ ගැන සාකච්ඡාවකට…
වැඩි විස්තර පරිශීලනයට