‘මරණයේ රළ නැගුම’ පිළිබද මගේ හැඟීම

ටොකර්චුක්, ඔල්ගා (පරිවර්තනය:රශ්මික මණ්ඩාවල). මරණයේ රළ නැගුම (Drive Your Plow Over the Bones of the Dead).  කොහුවල: විදර්ශන ප්‍රකාශකයෝ, 2020. පිටු 304. ISBN 978-955-5087-67-4, රුපියල් 620.00.

___________

විමර්ශනය: සෝමසිරි ඒකනායක

මරණයේ රළ නැගුම අප තුළම රළක් ගොඩ නගන කෘතියකි. 

2018 වර්ෂයේ දි සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද පෝලන්ත ලේඛිකා, ඔල්ගා ටොකර්චුක් පළමු වරට සිංහල පාඨක සමාජයට හඳුන්වා දෙමින් ඇයගේ  Drive Your Plow Over the Bones of the Dead නම්  කෘතිය රශ්මික මණ්ඩාවල විසින් මරණයේ රළ නැගුම නමින් සිංහලයට පරිවර්තනය කර ඇත. මෙය ඔහුගේ ප්‍රථම සාහිත්‍ය පරිවර්තන කාර්යයයි. එම කෘතිය කියවිමෙන් පසු හිත තුළ ඇති වූ බරැති හැඟීම වචන වලින් තවකෙකු හා බෙදා ගැනීමට තරම් මාගේ වාග් කෝෂය පොහොසත් නැත. නමුත්, ඒ හැඟීම යම් ආකාරයකට තවකෙකු හා බෙදා ගත යුතු යයි යන මටම වද දෙන හැඟුම නිසාවෙනි මේ කෙටි සටහන ලියන්නේ.

මේ විශ්වය පවතින්නේ කුමක් වෙනුවෙන්ද? මිනිසා ප්‍රමුඛ වී, මිනිසා හැර අන් සියල්ල, එනම් අප අවට වෙසෙන සතුන් (මෙය කුඩා පණුවෙකු, කෘමියෙකුගේ සිට යෝධ සිවුපාවෙකු හෝ උරගයෙකු විය හැකිය), ගහ කොළ, වායු ගෝලය, අහසේ පායා ඇති තාරකා මණ්ඩල යනාදි සියල්ල ද්විතීයකද? ඒ සියල්ල පවතින්නේ, මිනිස් සමාජය වෙනුවෙන්ද? නැත. කිසිසේත්ම නැත. ඒ සියල්ලම එක් විශ්විය පැවැත්මක කොටස් මිස කිසිවක් ප්‍රමුඛ හෝ ද්විතීයික නොවේ. ඔල්ගා ටොකර්චුක් සිය කෘතිය තුළ මුලික වශයෙන්ම ගොඩ නගන්නේ එවැනි ප්‍රවාදයකි. ඇය මේ මූලික ප්‍රවාදය සහ ඒ හා නෑකම් කියන වෙනත් උප ප්‍රවාද කිහිපයක් ගොඩ නගන්නේ ජැනිනා ඩුසෙජ්කෝ නම් හැට වියැති කාන්තාවක් සහ ඇයගේ අසල් වැසියන් වන ඇය මෙන්ම වයසැති බොරෝස්, ගුඩ් නිවුස් සහ ඔඩ්බෝල්  වැනි චරිත කිහිපයක් සමගිනි.

සිය සුරතල් බල්ලන් දෙදෙනා එක්වරම අතුරුදහන් විමත්, ඇයගේ තවත් අසල් වැසියෙකු වන බිග්ෆුට් මරණයට පත් වීමත් සමග ඇරඹෙන මනුෂ්‍ය ඝාතන කිහිපයක අභිරහස හෙළිකර ගැනීමේ කාර්යයයේ නියැලෙන ජැනිනා ඩුසෙජ්කෝ සතුන් කෙරෙහි දැක් වූ අසීමිත ආදරය සහ කරුණාවත්, සතුන් දඩයම් කරන්නන් සහ සතුන්ට හිංසා පීඩා කරන්නන් කෙරෙහි වන ද්වේශය හා කෝපයත් හරහා ආඛ්‍යානය ගොඩ නැගී ඇත.

අප්‍රසන්න දඩයක්කරුවෙකු වූ බිග්ෆුට් ගේ මළ මිනිය හමු වූ ඔහුගේ නිවසේ තිබී  ඩුසෙජ්කෝ ට හමු වන්නේ මරා දැමූ මුවෙකුගේ හිසත් පාද හතරත්ය. ඒ දසුනත් සමග ඇය මහත් භීෂණයකට ලක්වෙයි.

“වෙව්ලන දෑතින් මම ඉතිරිව තිබු දිළිඳු ඇටකටු පසුව භූමදානය කිරීමේ අදහසින් ඉක්මනින්ම එක ගොඩකට එක් කළෙමි. මට පරණ බඩු ගෙනයන බෑගයක් හමු වූ අතර ඒ කුඩා ඇටකටු එකින් එක මම ප්ලාස්ටික් ආවරණයට දැමුවෙමි. ඉන්පසු මම පරිස්සමෙන් මුවැත්තියගේ හිසද බැගයට දැමූවෙමි” (පි. 18)

සත්ව හිංසනය පිළිබඳව ඇති සිය ප්‍රතිවිරෝධය වඩාත් උච්චස්ථානයක ස්ථානගත කරන ඇය, ඒ පිළිබඳව වන සිය දැඩි හැඟීම වචන වලට පෙරලන්නේ මෙසේය:

“රටක සත්තු ඒ රට ගැන ඇත්ත පෙන්නනව. සත්තු ගැන තියෙන ආකල්පය වගේම මින්ස්සු සත්තුන්ට අමානුෂික විදියට සලකනවනම්, කොයියම්ම ප්‍රජාතන්ත්‍රවාදයක්වත් ඔවුන්ට උදව් කරන්නෙ නැහැ. ඇත්තටම මොකුත් වෙන්නෙ නැහැ” (පි. 117)

මේ වචන ඒතරම් සුළුපටු නොවේ. ඇය ක්‍රමානුකූලව ගොඩනගන මහා ප්‍රවාදය සිය වාග් කෝෂයෙන් ඇය පුපුරවා හරින්නේ මෙසේය:

“මෙය කුමනාකාරයේ ලෝකයක්ද? කෙනෙකුගේ ශරීරය, සපත්තු, මස් බෝල, සොසේජස්, ඇඳ ඇතිරිලි බවට පත් වේ. කෙනෙකුගේ ඇටකටු තම්බා සුප් හැදීම, කෙනෙකුගේ උදරයෙන් සපත්තු, සෝෆා, ඇතිරිලි හා උරමළු හැදීම, කෙනෙකුගේ ලොම්වලි න් ඇඟ උණුසුම් කර ගැනීම, යමෙකුගේ ශරීරය ආහාරයට ගැනීම, පෙති වලට කපා බැද කෑමට ගැනීම, ඒක ඇත්තටම ඇත්තද? මේ බියකරු සිහිනය සැබවින්ම සිදු වෙමින් තිබේද? මේ සමූහ ඝාතනය, කුරිරු ආවේගශිලී, ස්වයංක්‍රීයව කිසිඳු හෘද සාක්ෂියක් නොමැතිව, චින්තනයට කෙටි විරාමයක් රහිතව, බුද්ධිමත් දර්ශනයන් හා දේවධර්මවාදයන් සඳහා ඕනැ තරම් සිතිවිලි යොදති. ඝාතනය හා වේදනාව සාමන්‍ය වන මෙය කුමනාකාරයේ ලෝකයක්ද? අපට මොකද වෙලා තියෙන්නෙ?” (පි. 124)

ඇයගේ තර්කය ඉතාම පැහැදිලිය. ඇය ඉහත ‘සත්තු’ යන්න වෙනුවට යොදා ඇත්තේ ‘කෙනෙකු, යමෙකු’ වැනි වදන්ය. මෙම ප්‍රකාශ මගින් ඇය තහවුරු කිරීමට උත්සහ ගන්නේ මේ විශ්වය තුළ වෙනත් සත්වයෙකුට හිමි නැති කිසිඳු අයිතියක් හෝ ප්‍රමුඛත්වයක් කිසිසේත්ම මිනිසාට අයත් නැති බවයි. මන්ද මිනිසාද, අනෙක් සියලුම සතුන්, ගහකොළ, තාරකා යනාදිය මෙන්ම මේ විශ්වයේ එක් ඉතාම සාමාන්‍ය සාධකයක් පමණි. ඔහු මේ විශ්වය පිළිබඳව එකම තීරණ ගන්නා වන අතර, අන් සියල්ල ඒ තීරණවලට යටත් වන්නෝ නොවෙති. මේ  පැවැත්මෙහි ගැටළුව වන්නේ, අනෙක් සියල්ලෝම (සත්ත්ව කොට්ඨාශ, ගහකොල, ඇල දොළ ගංඟා, ග්‍රහ වස්තු) විශ්වය විසින් ඔවුනොවුන්ට පවරා ඇති කාර්යයන් හැම මොහොතකම අඛණ්ඩව ඉටු කරමින් සිටීමය. නමුත් මිනිසා පමණක් තමාට පවරා ඇති කාර්ය කොටස් ඉටු නොකරනවා පමණක්  නොව, කිසිලෙසකින්වත් සාධාරණීකරණය කළ නොහැකි සාහසික ආධිපත්‍යයක් පතුරවමින් සිටී.

එපමණක් නොව, මිනිසාට අනෙක් මිනිසාද තේරුම් ගත නොහැකිය. “ගැටළුව වෙන්නෙ අපි හැමෝටම එක් එක් අනුවාදනයන් තියෙන එකයි. ඒ නිසා මිනිස්සුන්ට එකිනෙකාව තේරුම් ගන්න අපහසුයි’ (පි. 252).

මේ විශ්වය තුළ මිනිසාට හිමි තැන කුමක්ද යන්නත්, එය කිසිසේත්ම අන් දේවලින් වෙනස් වන්නක් නොවන බවටත් වන මහා ප්‍රවාදය ඇය සමස්ථ කෘතිය පුරාම අකුරෙන් අකුර ගොඩනංවයි. සිය ගොඩනැංවිම සාධාරණීකරණය කරයි. එය තහවුරු කරයි.

ඇය තවත් උප ප්‍රවාද කිහිපයක් කෘතිය හරහා පාඨක බුද්ධියට සම්මුඛ කරයි. මහලු වියට පත් වීමෙන් පසු කෙනකුට මේ මහා පැවැත්ම වෙනුවෙන් ඇති වගකීම අහෝසි වේ යැයි කිව හැක්කේ කෙසේද? මහල්ලන් යනු සියලු දෙනාගේම නොසැලකිල්ලට හා අවධානයේ ක්ෂේම භූමියෙන් පිටමං කළ යුතු සත්ව කොට්ඨාශයක්ද? ඇය අපෙන් එවැනි ප්‍රශනයක් ද අසයි. හැට වියැති මැහැල්ලක සතුන් පිළිබඳව දක්වන මේ අසීමිත උන්නදුව කෙරෛහි ප්‍රදේශයේ පොලීසිය දක්වන සාහසික උදාසීන බව එයට සාක්ෂි දරයි. පොලීසියට ඇනුව ඇය “නාකි හුච්චක්කුවකි.” මැහැල්ලක වන ඇයට ඇති එකම දෙය නම් සිය වයස තේරුම් ගෙන පැත්තකට වි සිටීමය. මේ අදහස තුළ වන සාහසිකත්වය කිසිසේත්ම ඉවත දැමිය නොහැකිය. මේ මිනිස් සමාජය මහල්ලන්ට සලකන්නේ ඒ ආකල්පය පෙරදැර කරගනිමින් නොවේද? ඒ සඳහා අපේ සමාජයේ ඇති සජීවී සාක්ෂි කොතරම්ද? අප මේ වන විටද මුහුණ දී සිටින කොරෝනා වසංගත තත්ත්වය තුළ, ඒ රෝගය තදින් පැතිරී ගිය සියලුම රටවල් මහල්ලන්ට දුන්නේ කුමන ස්ථානයද? අනිවාර්ය මරණයට මුහුණ දීමේ ලයිස්තුවේ පළමු ස්ථානය හිමි කර දුන්නේ මහල්ලන්ටය. එය රහසක්ද? නැත. අප සියල්ල විසින් උපේක්ෂාවෙන් බලා සිටි, නිහඬතාවයෙන් සාධාරණීකරණය කල සත්‍යය එයයි. එය එසේ නොවේ දැයි මම ඔබෙන් අසමි. මැහල්ලක වශයෙන් මේ විශ්වය වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් කිසිලෙසකින්වත් ඉවත දැමිය නොහැකිය යන්න ඔල්ගා ටොකර්චුක් ‘ඩුසෙජිකෝ’ නම් හැට වියැති කතා නායිකාවගේ චරිතය තුළින් අපට කියයි.

නගරයක් තුළ මේ සා විසල් සත්ව  ඝාතයනයක් වන විට මෙන්ම අඛණ්ඩව කෙරෙන මිනිස් ඝාතන අභියස පොලීසය දක්වන උදාසීනත්වයට විරෝධය පාමින් ඇය පොලීසියට ලිපි ලියමින් හා පෞද්ගලිකවම පොලීසියට යමින් සිදු කරන මැදිහත්විම් හා පොලීසියේ ප්‍රතිචාර එකවර අපට සිය යුතුකම් දෙස වගකිම් විරහිතව උපේක්ෂාවෙන් බලා සිටිනා පුරවැසි සමාජයක් මෙන්ම යුක්තිය ඉටුකිරීමේ ඒජන්තයින් වන පොලිසිය හා අධිකරණය නිහඩ වී සිටින අපේ සමාජය සිහිපත් කරවයි:  

“ඔව් සත්තු ඒව කන්න ආවම තමුන්ලා උන්ට වෙඩි තියනව. මම ශබ්ද නගා පැවසුවෙමි. ළඟම වාඩි වී සිටි පිරිස තරවටු කරන අයුරින් මා දෙස බැලුවෝය.  ඒක හරියට කෙනෙක්ට රෑ කෑමකට එන්න කියල වෙඩි තියල මරනව වගේ වැඩක්… මම එකතු කළෙමි” (පි. 268)

දඩයම්කරුවා යනු මැවීමේ කාර්යයයේ දී ක්‍රීඩාවට ඔබින සතුන් රැක බලා ගැනීමේ කාර්යයේදී දෙවියන්ට සහයෝගය දෙන තානාපතිවරුය. ඔවුන් දුර්වලයින් තෝරාගෙන නිවැරදි ප්‍රතිපත්තිය අනුගමනය කරනවා යි පල්ලියේ පූජකකයා විසින් දෙසෙන දහම ඩුසෙජ්කෝ විසින් ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කරන්නේ එසේය.

“නපුරු දේවල් කරන්න හරි බකතපස් රකින්න හරි දරුවන්ට උගන්වන්න ඉඩ දෙන එක මම ප්‍රතික්ෂේප කරනව. මිනීමැරුම් උත්කර්ෂයට නැංවීම නපුරක්. ඒක හරිම සරලයි.” (පි. 274) මේ විරෝධතාව තුළ ඇති මහලු බව කුමක්ද? එහි ඇති ජවාධිසම්පන්න බව ඔබට නොපෙනේද? මට දැනෙන්නේ එය හැට වියැති මැහැල්ලකගේ ජවාධිසම්පන්න තරුණ විරෝධතාවක් ලෙසය.

සමස්ථ කෘතිය පුරාම තාරකා විද්‍යාව පදනම් කරගෙන ගොඩ නැගුණු ජොතිෂ්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රබල කතිකාවක් හුයක් සේ දිව යයි. ඩුසෙජ්කි හැම සිදුවීමකදීම ඒ සිදුවවීම වන විට ඒ සඳහා වූ ග්‍රහ බලපෑමේ සම්බන්ධය ගණනය කරයි. එපමණක් නොව, එය සාධාරණීකරණය කරයි. ඇතැම් විට එය සිදු කරන්නේ ඉතාම උත්ප්‍රාසාත්මක හැඟුමක් එකතු කරමින්ය. බිග්ෆුට්ගේ මරණයේ සිට අණදෙන නිලධාරියා, ජනාධිපතිවරයා ආදී සෑම මරණයකදීම ඔවුන්ගේ උපන් වේලාව අනුව ඇය මරණයේ ග්‍රහ සම්බන්ධය ගණනය කරයි. අප වැනි සමාජවල හැමදාම උදේට රෑපවාහිනී නාලිකාවලට පැමිණ ග්‍රහලෝක  වෙළදාම් කරන වෙළෙදුන්ට හා ඒ වෙළදාමේ ආයෝජකයින්ගේ තිරශ්චීන බවද ඉතා සියුම් ලෙස ඇය විවේචනයට හසුකර ගැනීමට සිතන ලෙස අපට අඟවයි:

“තාරකාවන් ඔවුන්ගේම බලයෙන් සිරගත වූ අයවලුන්ය. ඒ නිසා ඔවුන්ට අපට උදව් කළ නොහැකිය. විශ්වීය වියුම් යන්ත්‍රවලින් ඔවුන් නූල් පොටවල් නිර්මාණය කළත් අප අපගේ හරස් වියුම සම්පූර්ණ කළ යුතුය. සමහර විට තාරකාවන් අප සුනඛයින් දකින අයුරින් අපව දකිනවා විය හැකිය” (පි. 238)

ජොතිශ්‍ය විද්‍යාව විශ්ව මට්ටමෙන් පැවතියේ මිනිස් ශිෂ්ටාචාරයේ මුල සිටම අපේ ආදි කාලීනයින්ගේ සියුම් නිරීක්ෂණයන් ලෙසින්ය. අසවල් සිදුවවීම සිදුවන විට, අසවල් තාරකාවන් ස්ථානගත වි තිබුණේ මෙහෛමයි යන නිරීක්ෂණය අප ඉවත් කරන්නේ කෙසේද? එය ශිෂ්ටාචාරයක්  පුරා ගොඩ නගන අන් දැනුම් සම්භාරයන් සේම තවත් එක දැනුමකි. කඩා වැටෙන ග්‍රහ වස්තූන් විශ්වය තුළදීම ගිණි ගෙන දැවි යන්නා සේ, වසර දස දහස් ගණනක මානව ශිෂ්ටාචාරයේ නිරීක්ෂණ මත පදනම් වූ දැනුම් සම්භාරයක් තිරශ්චීන කලුකඩ කරුවන්ගේ අතට පත්ව, එය දුරාචාරයේ යෙදවීම වෙනුවෙන්  ඒ ශිෂ්ටාචාරයේ නිරීක්ෂණ කුමක් කරන්නද ?

කෘතිය තුළ මා වඩාත් විශ්මයට පත් වූ දෙය නම් හද කම්පනය කරන යම් කිසි අදහසක් හෝ මතවාදයක් අපට සම්මුඛ කිරීමේ දී ඇය එය සිදු කරන ආකාරයයි. ඇය බොහෝ විට එය ක්‍රමිකව ගොඩ නංවනවා වෙනුවට, හෙනයක් සේ අප මත පතිත කරවයි. අප තුළ කම්පනය ඇති කරන්නේ එලෙසින්ය. අනෙක් අතට, මේ සියලු දේ ඇය කරන්නේ ඉතා සරල ආඛ්‍යානයක් තුළින්ය. ඇය ආකෘතිකමය වශයෙන් පාඨකයා වෙහෙසට පත් නොකරයි. සරල ආකෘතියකින් ඉතා සියුම් හා සංකීර්ණ ප්‍රවාදයන් අප වෙතට ගෙන එයි.

රශ්මික මණ්ඩාවලගේ පළමුවන සාහිත්‍ය පරිවර්තනය පිළිබඳව මා තුළ ඇත්තේ ඉතා සුබවාදි හැඟීමකි. මට හැඟුණු අයුරින්, එය ආධුනිකත්වයේ සීමාවෙන් ඔබ්බෙහි ස්ථානගත කිරීමට හේ සමත් වී ඇත. සිය පළමු සාහිත්‍ය සම්ප්‍රාදානය සඳහා වඩාත් සුදුසුම කෘතියක් තෝරාගෙන ඇතැයි යන හැඟුම ද මා සිත තුළ ඇත. මා ඔහුට දිගු ගමනකට ජය ප්‍රාර්ථනා කරන්නේ බිග්ෆුට්, අණදෙන නිලධාරියා හා ජනාධිපතිවරයාගේ ඝාතන සොයා යන හැට වියැති ඩුසිජ්කෝ  හා ඔල්ගා ටොකර්චුක් මරණයේ රළ නැගුම හරහා අප තුළ ගොඩ නගන රළ කියවා ගැනීමට පසුබට නොවැන්නයි අප හිතවත් පාඨකයින්ටද ආරාධනා කරමින්ය.

Total
9
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________ හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.__________________________________________________________ ~ සසංක පෙරේරා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව. (මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය) ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාංශු: මනුෂ්‍යත්වය, ප්‍රචණ්ඩත්වයේ ආඛ්‍යාන සහ යුක්තියේ කතිකා

පාංශු, විසාකේශ චන්ද්‍රසේකරම්ගේ නිර්මාණයකි විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ දිරාගිය මහලු මවක්, පණ නැසූ නමුත් තවමත් පණ ගැහෙන තුවක්කුවක් තම දිය රෙද්දෙහි  රුවා, වැව් ජලය මත උඩු අතට පිහිනා යන්නීය. මේ අම්මා බබා නෝනාය. එකම රාමුවක් තුළ පරිකල්පනය කළ නොහැකි පුද්ගලයින් සහ වස්තූන් එකට මුණ ගැස්සවීම තුළ සිනමාකරුවා අපූරු සිතුවමක් ප්‍රේක්ෂක මනසේ සිතුවම් කරයි. මේ රූප රාමුව, අපේ කාලයේ අම්මාවරුන්ගේ අ​භියෝගවල  ගතිකත්වය ගැනය. තම අතුරුදහන් වූ පුත්‍රයාගේ හැඩරුවට සමාන පුද්ගලයෙක් රෝහලේ ඇතැයි යන පණිවිඩයට සංවේදී වන බබා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36. ———– විමර්ශනය: නිලූක කදුරුගමුව කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

යූස්ටේන් ගාඩර්ගේ කෙටි දිවියක මතකය පිළබද කෙටි විමසුමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ___________ (සෝමසිරි ඒකනායකගේ මේ විමර්ශනයත් සමගම කොරෝනා වසංගත කාලයේ නිවසට සීමා වී සිටින ඔබ සැමට තමන් කියවන ඕනෑ ම පොතක් පිළබද ඇති අදහස් සිය නිවෙස් තුල විලංගුගතවී සිටින අන්‍යයන් සමග බෙදා ගන්නට මේ ග්‍රන්ථ විමර්ශන අවකාශය විවර කර ඇති බව පඨිත සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි. සාමාන්‍යයෙන් පඨිත විමර්ශන අවකාශය වෙන්වී ඇත්තේ ශාස්ත්‍රීය කෘති විමර්ෂණය…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න…
වැඩි විස්තර පරිශීලනයට