මහජන නැගීසිටීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් වේද?

~ අරුණි සමරකෝන්, රුහුණ විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා විධායක අවකාශය තුළට, මහජනයා දේශපාලන බලවේගයක් ලෙසින් ඍජුවම ප්‍රවේශ වීම සංකේතාත්මකව සනිටුහන් කරනු ලැබුවේ ජුලි 09 වැනි දින, ජනාධිපති  ලේකම් කාර්යාලය සහ කොටුව ජානාධිපති මන්දිරය මහජනයා විසින් අත්පත් කරගැනීමෙනි. මෙම මහජන නැගී සිටීම, දාමරික පාලනයක් (mobocracy)  හෝ ත්‍රස්තවාදී නැගීසිටීමක් ලෙස ශ්‍රී ලංකා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් නම් කිරීම සමාජ මාධ්‍යයෙහි දැක ගත හැකිවිය. මෙම ලිපිය ලිවීමේ මූලික අරමුණ නම්, 2022 ජුලි 09 වැනි දින සිදුවූ මහජන නැගී සිටීම යනු “දියවන්නාවෙන් පිටතට  බලය” හෝ “බලය ජනතාවට”” නම්    නව දේශපාලනයක් ලිබරල්  ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය විසින් භාරගනු ලබන ආකාරය පිළිබද විචේචනාත්මක ව ඇගයීම කිරීම සඳහාය.

දින 90 ක් ඉක්මවා යමින්, “ගෝටා ගෝ හෝම්” සටන් පාඨය යටතේ, විවිධ ජනවර්ග, ස්ත්‍රී-පුරුෂ-සංක්‍රාන්ති ලිංගික කොටස් සහ විවිධ වයස් පරම්පාරාවන් ට අයත් කාණ්ඩයම් විසින් ශ්‍රී ලංකා ජානාධිපතිවරයාගේ  ඉල්ලා අස්වීමට බලකරමින් ජන විරෝධතාවක් පැවැත්විය. මෙම විරෝධතාව ආරම්භ වීමට ආසන්නතම හේතුව නම්,  ආර්ථික අවපාලනය හේතුවෙන් මහජනයා ගේ මූලික  අවශ්‍යතා සපුරාගැනීමට නොහැකි වීමය. දැරිය නොහැකි ජිවන වියදම, මුලික අවශ්‍යතා වන ඉන්ධන සහ විදුලිය සැපයීම බිඳවැටීම, අධ්‍යාපනය ලබා දීම සපුර්ණයෙන් ම අඩාල වීම සහ ඉහළ යන දරිද්‍රතා අනුපාතිකය  (2022 මුල් කාර්තුවේ 11.7% ක් බවට ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි) යනාදිය  ජනතාවගේ විරෝධතා  දේශපාලන සහභාගිත්වය වර්ධනය කරන ලදී.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සහ සමගි ජනබලවේගයේ කාන්තාවන් පිරිසක් විසින් ගෝටබය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත දුක්ගැනවිලි සන්දේශයක් බාරදීමට, මිරිහානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස වෙත 2022 මාර්තු 05 වැනි දින පැමිණීම ද මෙම විරෝධතාවන්ගේ   එක් අවස්ථාවක් විය. එයට පසුව, මාර්තු 31 වනදින රාත්‍රීයේ, කිසිදු පූර්ව සංවිධානයවීමකින් තොරව මහජනතාව,  ජනාධිපතිවරයා ගේ පෞද්ගලික නිවස ආසන්නයේ සිට විරෝධතා දැක්වීම ආරම්භ කරන ලදී. මෙසේ ජන ඒකරාශීවීම ක්‍රියාත්මක වීමේදී ආර්ථික අර්බුධය ප්‍රධාන ම සාධකය වූ බව මගේ මතය වේ.

කෙසේ නමුත්, ආර්ථික කරුණ මත පදනම් ව, මහජනයා පුළුල් දේශපාලනික  විරෝධතාවක් වෙනුවෙන් සංවිධායන කිරීම සම්බන්ධයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ දේශපාලන පක්ෂ මූලිකත්වය ගත්තේ නැත. ඒ සම්බන්ධයෙන් ඔවුන් දැක්වූයේ උදාසීන වූ ස්ථාවරයකි. එකී පක්ෂ විසින් ම මෙය නිර්පාක්ෂික අරගලයක් ලෙස නම් කරන්නේ ද මෙම හේතුවෙන් වියහැකිය. මේ මොහොතේ දී, ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ විසින්, අරගලය තුළ, තම දේශපාලන සන්ධානයේ සහ පක්ෂයේ අනු-කණ්ඩයම් සිටි බව ප්‍රසිද්ධ කර ඇත. එසේම, අන්තර්-විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ බල හිමිකාරීත්වය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දැරීම හරහා පෙනී යන්නේ ද, එම ශිෂ්‍ය බල-කණ්ඩයාම ඔස්සේ එකී පක්ෂය ද අරගලය හා සමබන්ධ වන ආකාරයයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සෘජුවම මෙහෙයවූ මැදිහත්වීම ප්‍රධාන අරගල භුමියේ  සිට ක්‍රියාත්මක නොකළ ද , සමගි ජන බලවේග කණ්ඩායම් සහ ඇය විසින් සිදුකළ මැදිහත්වීම් ද එම පක්ෂයේ අරගල  නියෝජනය පෙන්වා දෙයි.

අරගලය නියෝජනය කරන ලද තවත් ලිබරල්වාදී කාණ්ඩ විසින්, පසුගිය දිනක පොදු සම්මුතියක් ද ඇති කරගනු ලැබුවේ, ජනතාවගේ විරෝධය ජූලි 09 වැනි දින ප්‍රකාශ කිරීමට අවශ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලිබරල්-ජාතිකවාදී පාටලී චම්පික රණවක, රාජිත සේනාරත්න  සහ තලතා  අතුකෝරාළ ඇතුළු කණ්ඩයාමක් විසින්  එම සම්මුතියේ ප්‍රතිඥා දෙනු ලැබීය. වෘත්තීය සමිති ව්‍යපාරය විසින් ද අරගලයේ සහභාගීත්වය වෙනුවෙන් විවිධ විරෝධතා පාගමන්, සාකච්චා, මාධ්‍යහමු සහ  ජනතා දැනුම්වත් කිරීම් සංවිධානය කරනලදී.  විශ්වවිද්‍යාල අචාර්ය සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය,  පාසල් ගුරැ-විදුහල්පති වෘත්තීය සංගමය මීට උදාහරණ වේ.

මෙසේ විවිධ කණ්ඩයාම් රාශියක් ඒකරාශීව සිදුවන “ගෝටා ගෝ හෝම්” අරගලය, ජූලි 09 වැනිදා සිදුවූ ඉහත ප්‍රකාශිත සංකේතිය ජන සලකුණෙන් පසුව, හුදෙක්ම “දාමරිකයන් වෙත බලය” පැවරීමක් ලෙසට ලඝු කළ හැකිද? නැතිනම්, ලුම්පන්වරු   බලය ලබාගැනීමක් ලෙස සරලව හැදින්විය හැකිද? එම ලඝු කිරීමට අත්‍යාසන්නම අවස්ථාව නම්, අගමැති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවස, මේ වන තුරැ ද හඳුනා නොගත් පිරිසක් විසින් ගිණි තැබීමය.  එම ගිනිබත් කිරීමෙන් පසු, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ජනතාව අමතන වීඩියෝවක් ද මම නැරඹුවෙමි. එහිදී අගමැතිවරයා විසින්, ගිනිබත් වූ ද්‍රව්‍ය වට්ටෝරුවක් ඉදිරිපත් කළ අතර, එසේ ගිණිතැබීම “හිට්ලර්වාදී ජනතාවක්” විසින් පමණක් සිදුකරන ක්‍රියාවක් බව පැවසීය. එම හිට්ලර්වාදී වර නැගීම, පසුව “ත්‍රස්තවාදී” ලෙසට ද විකාශනය විමක් සමාජ මාධ්‍ය ආශ්‍රිතව දැක ගත හැකිවිය. අගමැති රනිල් වික්‍රමසිංහ එම ප්‍රකාශනයේදී, “පාර්ලිමේන්තුවට බලපෑම් කළ නොහැකි බවත්, තමා සිටින්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බවත්” සඳහන් කරයි. එහි අපැහැදිලි කරණු  නම්, ව්‍යවස්ථාව ආරාක්ෂා කරන්නේ කාගෙන් ද  සහ කවුරුන් වෙනුවෙන්ද හා  එම ආරක්ෂා කිරීම, වර්ථමාන අර්බුධය සම්බන්ධයෙන් කෙසේ වැදගත් වේද යන කරුණුය.

ඉහත දීර්ඝ විස්තරය  හරහා අවධාරණය කරනුයේ, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විසින් ම ගොඩ නැගු අර්බුධයක් නිරාකරණය කිරීම ට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ එහි නියමුවන් අසාර්ථක වන බවත්, එම අසාර්ථකතාවය හේතුවෙන් බැටකන  ජනයා විසින් ඔවුන් ගේ නැගී සිටීම් සනිටුවන් කිරීම, කෝපය සහ ත්‍රාසය හරහා බලය ලබාගැනීමට උත්සුකවීමක් ලෙස ලිබලර් ප්‍රජාතන්ත්‍රවාදී නියමුවන් විසින් ම හදුන්වා දීමය.

ජර්මන්-ඇමරිකානු දේශපාලනවිද්‍යාඥයකු වන යාශා මන්ක් (Yascha Mounk) විසින් 2018 දී සම්පාදිත The People vs. Democracy: Why Our Freedom Is in Danger and How to Save It  යන කෘතියේ මෙසේ පවසයි: “වසර ගණනාවක් කැටි ගැසී, කිසිදු වෙනසක් නොවී පවතින ඉතිහාසයේ අවස්ථා වේ. එහිදී මැතිවරණ පවත්වයි; ජයගැනීම්-පරාජය වීම්  සිදු වේ; නීති සම්පාදනය වේ – අවලංගු වේ; නව තරු උපත ලබයි; පුරාවෘත්තිකයන්ගේ ආඛ්‍යාන මිහිදන් ව යයි.  කාලය ගෙවී යන අතර, පරණ පුරුදු ක්‍රමය, මෙහෙයුම් සිද්ධාන්ත, සමාජය සහ දේශපාලනය එසේම පවතී.  කෙටි කාලයක් තුල සීඝ්‍ර වෙනස් වීම් ද සිදුවේ; නව දේශපාලන ක්‍රියාධරයන්/ ක්‍රියාධරියන් සමස්ථයම කලඹා දමයි. ඊයේ වනතුරු කිසිවෙකු කිසිවිටක නොසිතු රාජ්‍ය ප්‍රතිපත්තියක් වෙනුවෙන් ජන්දදායක/දායිකාවන් ඝෝෂා කරනු ඇත. කැකෑරෙමින් තිබූ සමාජ ආතතිය භායනක ආකාරයට පුපුරා යනු ඇත. කිසිලෙසකින් වෙනස් කිරීමක් කළ නොහැකි බවට තිර වූ ආණ්ඩු එක මොහොතකින් කඩාවැටෙනු ඇත” (2018. පිටුව 01). මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිදුවන්නේ ද මෙය නොවේද ?

යාශා මන්ක්

මෑතක් වන තුරුම, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කුළකයෙන් එපිට සිටි මහජනයා අද එම කුලක රේඛාව ට අභියෝග කරනු ලබන ආකාරය දැකිය හැකිය. මේ වන තුරුම, ශ්‍රී ලංකා රාජ්‍ය සම්පත් අවභාවිතා කරමින් සිටි ලිබරල් ප්‍රභූ කුලකය මෙම ජනයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන ආකාරය දැකිය හැක. උදාහරණයක් නම්, විවිධ අල්ලස් චෝදනා ලත් හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වෙත පුළුල් විරෝධයක් එල්ල වී, ගුවන්තොටුපොළෙන් පිටවී යාමට එරෙහිව  මහජන හා  ගුවන්තොටුපළ ආගමන නිලධාරීන්ගේ වෘත්තීය මැදිහත්වීමෙන් වැලකීම 2009 වැනි මෑත කාලයකදී සිහිනෙකින් වත් බලාපොරොත්තු විය නොහැකි දෙයකි. නමුත් මේ ගෙවෙන මොහොතේ දී, ජනයා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රභූ කුලකයට අභියෝග කරයි.  ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ එහි නියාමකයන්, එම අභියෝගය භාරගනු ලබන්නේ කෙසේද?

ජනතා නැගීසිටීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විසින් ප්‍රතිග්‍රහණය කිරීම,  මර්ධනය සහ ත්‍රාසය හරහා සිදුකරන ආකාරයක් දැකිය හැකිය. පොලීසිය සහ සන්නද්ධ හමුදාව හරහා මර්ධනය සිදුකර තිබේ. නිරායුධ ජනයා වෙත වෙඩි තැබීම්, කඳුළු ගෑස් එල්ල කිරීම්, පහර දීම් පැහැදිලි ව දැකිය හැක. එම මර්ධනය ඔස්සේ යම් දුරකට ත්‍රාසය ද උත්පාදනය කර ඇත. ත්‍රාසය වර්ධනය කිරීම උදෙසා මතවාදී  ව්‍යපෘතීන් ක්‍රියාත්මක වී ඇත. නිදසුනක් ලෙස, මේ මොහොතේ සමාජ මාධ්‍යයෙහි සැරිසරන “පළපුරුදු නියමුන්වන් නොමැති ගුවන් යානය පැවරීමේ” ආඛ්‍යානය හරහා සිදුවන්නේ, ජනතාව වෙත බලය හුවමාරැ වීම “ස්වයං -විනාශකාරී” හා  බියජනක ක්‍රියාදාමයක් බවට මතවාදයක් ගොඩ නැගීමය. එසේම, මහජනයා විසින් විධායකයට  අයත් හෞතික ගොඩනැගිලිවල නිදහසේ හැසිරීම විශාල විනාශයකට ප්‍රථම පැමිණ ඇති එක මොහොතක වින්දනයක් ලෙස නම් කිරීම හරහා ද මෙකී ත්‍රාසය වැපිරීම හඳුනාගත හැකිය.

මහජන නැගීසිටීම් ඉදිරියේ කළබලව සිටින ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දෙස නැවත හැරී බලන විට දැක ගත හැක්කේ කුමක්ද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විසින්  ජාතිකවාදය පෝෂණ කිරීම සිදු නොවේද? නිදසුනක් ලෙස,  ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී තිඹිරිගෙය වූ ඇමරිකා එකසත් ජනපදයේ ද, ලිබරල්වාදය මගින් ජාතිකවාදය පෝෂණ කරන ආකාරය දැකගත හැකිය. වාර්ගික මහෝත්මවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයෙන් තේරීපත්වන්නේ   එම පෝෂණයේ එක් අවස්ථාවක් ලෙසටය.     ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වාර්ගික දේශපාලන මතවාදය පරාජයකර 46 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ජනයාවිසින් තෝරා පත්කරනු ලැබුවද, බයිඩන් විසින් ලිබරල් කුලකයෙන් සිදුවන පීඩනයන් මුලුමනින් ම උපුටා දැමීමට කටයුතු කර තිබේද? ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මුල්කාලීන සුහද මිතුරෙකු වූ බොරිස් ජොන්සන් එංගලන්ත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ ද, ලිබරල් ක්‍රමය තුළ, එයට විරුද්ධව උත්පාදනය වන විරෝධතා හේතුවෙනි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විසින් ම ඇතිකරන අර්බුධ වෙත, එම ක්‍රමය තුළ සිටම විරෝධය එල්ල කළ හැකි නමුදු, එම විරෝධතා අර්ථාන්විත වීමට නම්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රභූ කුලකය ඉක්මවා ක්‍රියාත්මක විය යුතුය. නොඑසේනම්, එය හුදෙක්ම ‘ක්‍රියාව-ප්‍රතික්‍රියා-විරෝධ’ චක්‍රය ට පමණක් සීමා වනු ඇත.

ලිපිය අවසන් කිරීම ට මම මෙසේ ලියා තබමි: මගේ දේශපාලන කියවීම නම්, මහජනයා වෙත බලය ලබා ගැනීම , එක්තරා ආකාරයක, “යටත් විජිතහරණයක්” බවයි. එනම්, පවුල් කිහිපයක් විසින් අර්ධ ශතකයක් ද ඉක්මවා යමින්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සිදුකර ඇත.  එම පවුල් කිහිපය විසින් ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා බහුතරයක් වූ මහජනයාගේ ශ්‍රමය සුරා කමින්, ඔවුන්ට යම්තමින් ජීවත් විය හැකි වැටුපක් ලැබෙන ක්‍රමයක් ස්ථාපිත කර ඇත. එසේම, එම පවුල් අරටුවේ සිට එහි සාමාජිකන්ගේ ආරක්ෂාව උදෙසා, පරිපාලන-අධ්‍යන කව කිහිපයක් ද නඩත්තු කර තිබේ. මේ සියල්ල සුනුවිසිනු කරමින්, ආර්ථික අර්බුධය විසින් අරගලය නිර්මාණය කර, මහජනතාව දේශපාලනිකව සක්‍රීය කර ඇත. ලිබරල් ප්‍රතිසංස්කරණවාදීන් දශක ගණනාවක් පුරා, රාජ්‍ය සහ සිවිල් සංවිධාන හරහා සිදුකිරීම ට උත්සුක වූ මහජන දේශපාලන සවිබලගැන්වීම,  අරගලය විසින් මේ මොහොතේ දී සිදුකිරීම ගැන කෘතඥ විය යුතුය.  එසේනම්, අරගලය සිදුකරන්නේ ද ලිබරල් ප්‍රවාහය පැතූ ආකාර දේශපාලනික පුරවැසියා නිර්මාණය කිරීමට නම්, ඔවුන් සවිබල ගැන්වී, ක්‍රියාකාරී වීම “හිට්ලර්වාදී වීම” හෝ “ත්‍රස්තවාදී වීමක්” ලෙසට හැදින්විය හැකිද?

Total
12
Shares
Leave a Reply

Your email address will not be published.

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඊනියා’ මහජනතාව සහ ‘ඊනියා’ ‘බුද්ධිමතුන්’

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය අරගල ඔස්තාද්ලා විසින් මෙරට දැනට පවතින තත්ත්වය ඉතාම බැරෑරුම් ලෙස විග්‍රහ කරති. ඒ විග්‍රහ කිරීම් විවිධ මාන ඔස්සේ පැතිර යයි. අරගලය කළ යුත්තේ කෙසේ ද, අරගලය සිදුවන්නේ කුමක් නිසා ද සහ අරගලය කරන්නේ කවුද යන්න ගැන ඔවුහු විවිධ මාධ්‍ය ඔස්සේ තම විදග්ධ අදහස් සමාජගත කරමින් සිටිති. පසුගිය දිනක, පඨිත වෙබ් අඩවියේ පළවූ ලිපියකට අනුව අරගල කරන ජනතාව ‘ඊනියා’ මහජනතාව, ‘ඊනියා ජහමනයා’ සහ ‘ඊනියා බහුජනයා’ ලෙස හඳුන්වා තිබුණි. ඒ ලිපියේ ප්‍රධාන…
වැඩි විස්තර පරිශීලනයට