මානව විද්‍යා පෙළපොතක් පිළිබඳ පසුවදන​ක්

Ariyaratne, Ari. Key Concepts of Cultural Anthropology (සංස්කෘතික මානව විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප, ආරී ආරියරත්න). ඩබ්‍යුක්: කෙන්ඩල් හන්ට් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 405. ISBN 978-1-7924-0764-2. මිල: අමෙරිකානු ඩොලර් 120.00 (මුද්‍රිත පිටපත) රැ අමෙරිකානු ඩොලර් 80.00 (විද්‍යුත් පිටපත).

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය

මා මහාචාර්ය ආරී ආරියරත්නගේ Key Concepts of Cultural Anthropology යන මානව විද්‍යා පෙළපොත කියවූයේ එවන් කෘතියක් බොහෝ කලකින් කියවා නැති සංදර්භයක් තුළය. ශාස්ත්‍රීය හා ශාස්ත්‍රාලයීය කතිකා තුළ පෙළපොතක් විමර්ශනය කරන අවස්ථා බෙහෙවින් විරල වුව ද මා එසේ කරන්නට පෙළඹුනේ, මූලික වශයෙන් හේතු දෙකක් මුල්කරගෙනය. ඉන් පළමුවැන්න නම්, ශාස්ත්‍රඥයින් සමාන්‍යයෙන් රචනා කරන පර්යේෂණ ලිපි හෝ ශාස්ත්‍රීය කෘති සමග සැසදීමේදී ඉගැන්වීම මුල්කරගත් දියුණු පෙළපොතක් ලිවීම බෙහෙවින් අපහසු බව මා දන්නා නිසාත්, එවන් උත්සාහයන් අගය කළයුතු යැයි මා විශ්වාස කරන නිසාත්ය. දෙවන කාරණය වන්නේ, මෙවැනි කෘතියක් සිංහලෙන් ලිවීමට වසර විස්සකට අධික කාලයක් මුළුල්ලේ මා තුළ දැඩි උනන්දුවක් තිබුන ද නොයෙකුත් අන් කටයුතු නිසා එය සාක්ෂාත් කර ගැනීමට නොහැක වුව ද පෙළපොත් ලිවීමේ කර්තව්‍යය හා එහි බුද්ධිමය දේශපාලනය පිළිබඳ මා බොහෝ කළක් මුළුල්ලේ කල්පනා කර ඇත. එනිසා, ඒ සිතුවිලිවලට යම් අවකාශයක් ආරියරත්නගේ කෘතිය පිළිබඳ කතා කිරීමේදී මට ලබා දෙන බව මගේ විශ්වාසයයි. මූලික වශයෙන් ඇමරිකානු විශ්වවිද්‍යාලවල මුල් උපාධි අපේක්‍ෂකයින්ට සංස්කෘතික මානව විද්‍යාව (cultural anthropology) ඉගැන්වීමේ දී භාවිත කළ හැකි අත්පොතක් වශයෙන් Key Concepts of Cultural Anthropology සම්පාදිතය. ඇමෙරිකානු සම්ප්‍රදාය තුළ සංස්කෘතික මානව විද්‍යාව ලෙස හදුන්වන්නේ යුරෝපීය, ​බ්‍රිතාන්‍ය හා පශ්චාත් බ්‍රිතාන්‍ යටත්විජිත කලාප වන දකුණු ආසියාව හා අප්‍රිකාව වැනි ප්‍රදේශවල සමාජ මානව විද්‍යාව (social anthropology) වවශයෙන් හදුන්වාදෙන විෂයම වේ.

මාගේ උත්සාහය ආරියරත්නගේ කෘතියේ අන්තර්ගතය පිළිබඳ සාම්ප්‍රදායික විමර්ශනයක් කරණු වෙනුවට, එය නිමිත්තක් වශයෙන් ගෙන, එමගින් අප රට හා සම්බන්ධ පෙළපොත් රචනා සම්ප්‍රදාය පිළිබඳ කතිකාවකට මුලපිරීමය. මක් නිසාද යත්, ආරියරත්නගේ කෘතිය සංස්කෘතික මානව විද්‍යා ක්‍ෂේත්‍රයේ පෙළපොත් රචනය පිළිබඳ උතුරු ඇමරිකාවේ 1960 දශකයේ පමණ සිට ගොඩනැගී ඇති දියුණු සම්ප්‍රදායේ කොටසක් වන නිසාත්, එය ආකෘතියක් වශයෙන් අප රටේ මේ පිළිබඳ උනන්දුවක් දක්වන රචකයින්ට යොදාගත හැකි යැයි මා විශ්වාස කරන නිසාත්ය.

මගේ මතකයේ රැඳී ඇති පරදි මෙවන් පෙළපොතක් මට මුලින්ම දැකගත හැකිවූයේ 1980 දශකය මුල් භාගයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේය. ඒ, ජේම්ස් ඩබ්ලිව්. වැන්ඩර් සොන්ඩන් විසින් රචනාකළ සමාජවිද්‍යාව පිළිබඳ පෙළපොතක මුල් සංස්කරණයක්ය. ඒ පොත සොයා යන්නට සිදුවූයේ එකළ සිටි ගුරුවරුන්ගේ බොහෝ නිද්‍රාශීලී දේශන මට බෙහෙවින් නීරස වූ නිසාත්, ඔවුන් ලබාදුන් කියවන විට ලීවීම මත පදනම් වූ දේශනවල වැරදි ඇතැයි මට සිතුන නිසාත්ය. වැන්ඩර් සොන්ඩන්ගේ කෘතිය නිරුපද්‍රිතව පොත් රාක්කයක් මත සදාකාලිකව තිබුනේ, එකළ එම පොත හෝ එවන් අන් අගනා පෙළපොත් බොහෝමයක් බොහෝ දෙනා කියවූයේ නැති නිසාය. සරසවියේ ගත කළ වසර තුනක කාලය තුළ සමාජ විද්‍යාව, මානව විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි විෂය පිළිබඳ මූලික දැනුමක් ලබාගත්තේත් ඒ විෂයන් පිළිබඳ බුද්ධිමය කුතුහලයක් මුලින්ම ඇතිකරගත්තේත් මේ පෙළපොත් ඔස්සේය. මේ වර්ගයේ පෙළපොත් සමග මීට වඩා සමීප හා වඩාත් වෙනස් ආකාරයේ අත්දැකීමක් ලැබුනේ 1986 දී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මානවවිද්‍යාව හැදෑරීම සඳහා මා එහි ගිය විටය. මේ අධ්‍යාපනයේ අනිවාර්ය කොටසක් වශයෙන්, මහාචාර්ය මැටිසන් මයින්ස්, මහාචාර්ය නැපෝලියන් ශැග්නොන් හා මහාචාර්ය එල්වින් හැච් වැන්නවුන් යටතේ සහායක ගුරුවරයෙකු වශයෙන් සේවය කරද්දී, සිය ගණනක් වූ සිසුන්ට මානව විද්‍යාව ඉගැන්වීමේදී යොදාගත් ප්‍රධාන මෙවලම වූයේ සෙරීනා නන්දා වැනි අය විසින් රචිත මානව විද්‍යා පෙළපොත්ය. එනමුත් මේ භූමිකාවේදී මා මේ පෙළපොත් කියවූවේ කලින් මෙන් මූලික කරුණු ඉගෙනගැනීමට නොව, ඉහත නම් සඳහන් කළ මහාචාර්යවරුන්ගේ ඉගැන්වීම් තීව්‍ර කිරීමට හා ඔවුන්ගේ දේශනවල අපැහැදිලි තැන් පැහිදිලි කිරීමටත්ය. එනිසා, මේ පෙළපොත් වඩාත් සමීපව කියවීමට මට සිදුවීය. කොතරම් දියුණු රචනා සම්ප්‍රදායකින් බිහිවිවුව ද ඇමෙරිකානු මානවවිද්‍යාවේ සීමා මා මුල්වරට දැක්කේ ද මේ පෙළපොත්වල සාකච්ඡා නොවුනු දේ ගැන මෙනෙහි කිරීමේ දීය.

කෙසේ වුව ද විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මේ මුල් අවදියේම මා තේරුම් ගත් එක් දෙයක් තිබුනි. එනම්, සමාජයීය විද්‍යා සදහා පෙළපොතක් ලියන්නේ නම්, එය බෙහෙවින් කාලය ගත කළ යුතු හා අතිශයින් සුවිශේෂ කාර්යයක් බවත්, එය හුදෙක් කරුණු ඉදිරිපත් කිරීමට පමණක් සීමා නොවී, එකී කරුණු සරලවත් ගෝලීය උදාහරණ ඔස්සේ විස්තර කළ යුතු බවත්, ඒ ඉදිරිපත් කිරීම් හැකි තරම් දුරට ඡායාරූප හා චිත්‍ර වැනි දෘශ්‍යමය අංග ඔස්සේ කියවන්නන්ගේ සිත් බැඳගන්නා ලෙසින් රචනා විය යුතු බවත්ය. 1960 දශකයේ පමණ සිට මේ පරමාදර්ශී තත්ත්වය අමෙරිකානු සමාජයීය විද්‍යා හා විශේෂයෙන් මානව විද්‍යා පෙළපොත් සම්බන්ධයෙන් එර​ට බොහෝ රචකයින් ආකෘතියක් වශයෙන් භාවිත කර ඇති බවත්, වර්ත​මානයේදී ද මේ ආකෘතිය නොවෙනස්ව පවතින බවත් පෙනේ. මේ සම්බන්ධයෙන් මා තවමත් දරන්නේ මේ ආකෘතිකමය ස්ථාවරයයි. නව්‍යකරණයට අවකාශ නිතරම විවර කළ යුතු වුව ද පුළුල් ආකෘතියක් වශයෙන් එය වෙනස් කරන්නට හේතුවක් තවමත් මට පෙනී නැත.

අතීතය පිළිබඳ මේ ආවර්ජනය මා ඉදිරිපත් කළේ වර්තමානය පිළිබඳ කාරණා දෙකක් යෝජනා කිරීම සඳහාය. ප්‍රථමයෙන්, මා කළ විස්තරය මානව විද්‍යාව හෝ අන් ඕනෑම සමාජයීය විද්‍යාවක ප්‍රථම උපාධි අධ්‍යාපනය සඳහා සම්පාදනය කරන මූලික පෙළපොත් සම්බන්ධයෙන් යම් කේන්ද්‍රීය ආකෘතියක් වශයෙන් පිළිගන්නේ නම්, ආරියරත්නගේ කෘතිය ඒ ආකෘතිය අකුරටම පිළිපැද තිබේ. දෙවනුව, ඒ ප්‍රායෝගික හා පරමාදර්ශී ආකෘතිය සමග සැසදීමේදී ශ්‍රී ලංකාවේ පෙළපොත් ලිවීමේ සම්ප්‍රදාය තවමත් පවතින්නේ අතිශයින් ප්‍රාථමික තත්ත්වයක බව පැහැදිලි වේ. මේ ප්‍රාථමිකත්වය ඒවායේ අත්තර්ගතය හා මූලාශ්‍ර සම්බන්ධයෙන් යම් දුරකට ද ඉදිරිපත්කිරීමේ දෘශ්‍යත්වය සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් ද බලපාන බැව් බැලූබැල්මටම කිව හැක. එනිසා මගේ යෝජනාව වන්නේ, ලංකාවේ පෙළපොත් ලියන්නවුන් ආරියරත්නගේ උත්සාහය ආකෘතික උදාහරණයක් සේ අධ්‍යයනය කළ යුතු බවයි. මේ පිළිබඳ මේ කියවීම අවසානයේදී වැඩිදුර කතාකිරීමට මා බලාපොරොත්තු වන්නෙමි.

Key Concepts of Cultural Anthropology කෘතියේ මාතෘකාවෙන්ම පවසන පරිදි, එය ලියැවී ඇත්තේ සංස්කෘතික මානව විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප විස්තර කිරීම සඳහාය. ඒ සඳහා කතුවරයා සාපේක්‍ෂ වශයෙන් දීර්ඝ පරිච්ඡේද 13ක් උපයෝගී කරගෙන ඇත. ඒ පහත සඳහන් පරිදිය:

■ පරිච්ඡේද අංක 1: පර්යාවලෝක: මානව විද්‍යාව හදුන්වාදීම (Perspectives: Introducing Anthropology)

■ පරිච්ඡේද අංක 2: ක්‍ෂේත්‍ර පර්යේෂණ: සංස්කෘතික මානව විද්‍යා දැනුම නිෂ්පාදනය කිරීම (Fieldwork: Producing Cultural Anthropological Knowledge)

■ පරිච්ඡේද අංක 3: සංස්කෘතිය: මානව ස්වභාවය තේරුම් ගැනීම (Culture: Distinguishing Human Condition)

■ පරිච්ඡේද අංක 4: සංස්කෘතිය න්‍යායගතකිරීම: මානව විද්‍යා න්‍යායේ ව්‍යාප්තිය (Theorizing Culture: Growth of Anthropological Theory)

■ පරිච්ඡේද අංක 5: භාෂාව: අනුභූතික ලෝකය කේතගතකිරීම හා සන්නිවේදනය කිරීම (Language: Encoding and Communicating about Experiential World)

■ පරිච්ඡේද අංක 6: කලාව පිළිබඳ මානව විද්‍යාව: සංකේතීය නිර්මාණශීලීත්වයේ සංස්කෘකික ප්‍රකාශන ගවේශණය කිරීම (Anthropology of Art: Exploring Cultural Manifestations of Symbolic Creativity)

■ පරිච්ඡේද අංක 7: ඥාතීත්වය, වංශානුක්‍රමය හා විවාහය: ඥාතී සබැඳියාව තේරුම් ගැනීම (Kinship, Descent, and Marriage: Comprehending Relatedness)

■ පරිච්ඡේද අංක 8: යැපීමේ ක්‍රම: පෝෂණය පිළිබඳ උපාය මාර්ග (Subsistence: Strategizing Sustenance)

■ පරිච්ඡේද අංක 9: බෙදාහැරීම: හුවමාරුව පිළිබඳ ප්‍රවේශ හා සංසරණය පිළිබඳ ක්‍රියාවලි ගවේශණය කිරීම (Distribution: Probing the Aspects of Exchange and Processes of Circulation)

■ පරිච්ඡේද අංක 10: ස්ථරායනය: සංස්කෘතිකව වශයෙන් සංස්ථාගතකළ අසමානත්වය ගවේශණය කිරීම (Stratification: Exploring Culturally Institutionalized Inequality)

■ පරිච්ඡේද අංක 11: දේශපාලනය පිළිබඳ මානව විද්‍යාව: සමාජ බලය ක්‍රියාත්මක කිරීම ගවේශණය කිරීම (Stratification: Exploring Culturally Institutionalized Inequality)

■ පරිච්ඡේද අංක 12: ගෝලීය පද්ධතිය: නූතන ගෝලීය පර්යායේ ව්‍යාප්තිය ගවේශණය කිරීම (The World System: Examining the Growth of Modern World Order)

පරිච්ඡේද අංක 13: ගෝලීයකරණය: ධනවාදය පිළිබඳ සංස්කෘතිය තේරුම්ගැනීම (Globalization: Making Sense of the Culture of Capitalism)

මා කියවූ පරිඡ්චේද සියල්ල සමස්තයක් ලෙස ගත් විට පෙනෙන්නේ, ආරියරත්න විසින් තම කෘතිය කි​යවන තරුණ ඇමෙරිකානු විද්‍යාර්ථීන්ට මානව විද්‍යාවේ අදාළ සංකල්ප හා ප්‍රවේශ සරලව දෘශ්‍යාදාරක ද සමගින් මැනැවින් විස්තර කර ඇති බවයි. එසේම, මූලික වශයෙන් කෘතිය මා ඉහත විස්තර කළ ආකෘතියෙන් ඔබ්බට ගොස් නොතිබුන ද පසුගිය දශක දෙකක පමණ කාලය තුළ සිදුවූ ගෝලීය වෙනස්කම් ගෝලීයකරණය ආදී සංකල්ප පිළිබඳ කරණු ලබන විස්තර ඔස්සේ පාඨකයා වෙත ගෙන එයි. මෙවන් විස්තර මීට දශක දෙකකට පෙර පළවූ මෙවන් පෙළපොත් තුළ දැකගත නොහැකි වීය. මෙගින් ගෝලීය වශයෙන් සමාජ මානව විද්‍යා විෂය පථයේ මෑතකාලීනව සිදුවූ වෙනස්වීම් හා සංකීර්ණතා පිළිබිඹු කරයි. එමෙන්ම, කලාව පිළිබඳ සාකච්ඡා කරන හයවන පරිඡ්චේදයේ මෙරට උඩරට නැටුම්, ඉංදියාවේ බොලිවුඞ් නර්තන ආදිය හදුන්වාදීම හා ඒවා දෘශ්‍යමය වශයෙන් ද ඉදිරිපත් කිරීමෙන් මෙවන් පෙළපොත් මා 1980 දශකයේ දී මුලින්ම කියවන විට දුටු ඇතැම් සීමා යම් දුරකට මගහැරගෙන තිබේ.

එසේ වුව ද මේ කෘතිය මෙවන් අන් බොහෝ පෙළපොත් ද මෙන් එහි ආකෘතියට ඇති අතිශය සමීපත්වය හා පක්‍ෂපපාතීත්වය නිසාම යම් සීමාවන්ට ද නතු වී තිබේ. මා කලින් ද සඳහන් කළ පරිදි, මේ ආකාරයේ පෙළපොතකට සුදුසුම ආකෘතිය මෙයයි. එනමුත්, මේ ආකෘතික සීමාව තුළම බොහෝ නව්‍යකරණයන් ද කළ හැකිය. උදාහරණයක් වශයෙන්, සංස්කෘතික මානව විද්‍යාව හදුන්වාදීමට ලියා ඇති කෘතියේ පළමු පරිච්චේදය 1980 දශකයේ පැවති පෙළපොත් රචනා රාමුවෙන් ඔබ්බට ගොස් නැත. විෂයක ඓතිහාසික ප්‍රවර්ධනයේ සිට තත්කාලීන තත්ත්ව දක්වා විශාල පරාසයක සාකච්ඡාවක් දියත් කළ හැක. එමෙන්ම, මේ වන විට මානව විද්‍යාව අවශේෂ ක්‍ෂේත්‍රයන්ගේ බලපෑම නිසා එහි ප්‍රවේශ මෙන්ම න්‍යායික දිශානතීන් සම්බන්ධයෙන් ද බොහෝ දුරට විපර්යාසයන්ට භාජනය වී ඇත. මේ සංදර්භයේ සිට බලන කළ, ආරියරත්නගේ කෘතිය ඇමරිකානු මානවවිද්‍යාව එහි සාම්ප්‍රදායික හා ඓතිහාසික දෘශ්ඨිකෝණ ඔස්සේ මැනැවින් විස්තර කරන බව පැහැදිලිය. එනමුත්, ඇමරිකානු මෙන්ම ගෝලීය මානව විද්‍යාවේ තත්කාලීන හා මෑතකාලීන විපර්යාස පිළිබඳව එතරම් අවධානයක් දක්වා නැත. මෙය ගොඩනැගිය හැකි එක් අගනා අවස්ථාවක් විය හැකිව තිබුණේ පරිච්ඡේදයේ අවසන දැකගත හැකි පශ්චාත් නූතනවාදය පිළිබඳ කොටසිනි. එනමුත් බෙහෙවින් කෙටි සාරාංශයක් පමණක් වන මේ කොටසින් ඊට කළහැකිව තිබූ වැදගත් කාර්යභාරයක් මගහැරී ගොස් ඇත. එනම්, පශ්චාත් නූතන ප්‍රවේශ මගින් 1980න් පසු මානවවිද්‍යාවේ බුද්ධිමය පෞරුෂය වෙනස් කළ අන්දමයි. මෙලෙසින්ම, කලාව පිළිබඳව ලියැවී ඇති අගනා විස්තරයේ අගය තත්කාලීන කලා නිෂ්පාදන හා ඒවායේ දේශපාලනය සමග මානවවිද්‍යාව සම්බද්ධකරගත හැකි ආකාරය ගවේශණය කළේ නම්, එහි දායකත්වය වඩාත් තීව්‍ර වනු ඇත. තවද අගනා ඡායාරූප සමුදායක් කෘතිය පුරාම ඊට අදාළ සකච්ඡා සමඟින් ඉදිරිපක් කර තිබුණද එක් එක් ඡායාරූප පිළිබඳ කෙටි සටහන් (captions) නොවීම මා දකින්නේ අඩුවක් වශයෙනි. මා මේ සැකෙවින් දැක්වූයේ ඉතාමත් උනන්දුසහගත ලෙස සකසා ඇති පෙළපොතක දැකගත හැකි සීමා තුනක් පමණි.

කෙසේ වුව ද මා මැනැවින් දන්නා පරිදි, මෙවැනි කෘතියක් රචනා කිරීමේ දී ශාස්ත්‍රඥයෙකු ට මානවවංශ ලේඛනයක්, අන් ආකාරයේ පර්යේෂණ කෘතියක්, සංස්කරණය කළ ලිපි එකතුවක් හෝ පර්යේෂණ ලිපියක් ලිවීමේ දී ඇති සාපේක්‍ෂ නිදහස මූලික සීමා දෙකකට යටත් වේ. මින් එකක් නම්, පෙළපොත ප්‍රකාශයට පත්කරන හා බෙදාහරින රටේ මෙවැනි අධ්‍යාපනික මෙවලම් හා සම්බන්ධ වෙළෙදපොළේ ඇති ඉල්ලුමේ ස්වභාවයයි. එනම්, ශික්ෂණමය මෙවලම් (pedagogic tools) ලෙස සැලකෙන මෙවැනි කෘති කුමනාකාරයෙන් ලිවිය යුතු ද යන්න පිළිබඳ පැහැදිලි සීමා ප්‍රකාශකයින් විසින් පනවා තිබීම හා එම සීමා අතික්‍රමණය කරමින් නිර්මාණශීලී වීම පවතින වෙළඳපොල තත්ත්ව තුළ කළ නොහැකි වීමය. දෙවනුව, එම රටේ මානවවිද්‍යාව සමස්තයක් වශයෙන් සිය විෂය දෙස බලන ආකාරය මගින් ද ඒ විෂය සඳහා ලියන පෙළපොත් මත පැහැදිලි සීමා පනවයි. වඩාත් පැහැදිලිව පවසන්නේ නම්, මට පෙනෙනුයේ ගෝලීය මට්ටමින් මානව විද්‍යාවේ සිදුවී ඇති දැවැන්ත විධික්‍රමික හා න්‍යායාත්මක වෙනස්කම් පිළිබඳ පුළුල් හා ගැඹුරු සාකච්ඡා එරට විශ්වවිද්‍යාලවල මුල් උපාධි පාඨමාලා මට්ටමට පද්ධතිමය වශයෙන් අවතීර්ණ වී නැති බවයි. එවැනි දේ සාකච්ඡා වන්නේ වඩාත් සංකීර්ණ උපාධි පාඨමාලා තුළය. එවැනි තත්ත්වයක් තුළ එවැනි පුළුල් විපර්යාස පිළිබඳ කතිකාවක් දියත් කිරීම පෙළපොත් රචකයෙකුට පවතින තත්ත්ව තුළ අවකාශ ලබා නොදෙනු ඇත. මහාචාර්ය ආරියරත්නට ද ක්‍රියා කරන්නට සිදුවී ඇත්තේ මේ සීමා තුළය.

මේ පාඨනය අවසන් කිරීමට පෙර, මේ කෘතියෙන් තත්කාලීන ශ්‍රී ලාංකේය පෙළපොත් රචකයින්ට ගතහැක්කේ කුමක් දැයි කෙටියෙන් සලකා බැලීම ප්‍රයෝජනවත්ය යන්න මගේ විශ්වාසයයි. මා කලින් ද ප්‍රකාශ කළ ආකාරයට, මෙරට පෙළපොත් සම්පාදනය පවතින්නේ අතිශයින් ප්‍රාථමික තත්ත්වයකය. මා මෙසේ පවසන්නේ දැනට පළවී ඇති සමාජ හා මානව විද්‍යා පෙළෙපොත් ගණනාවක් දෙස සමස්තයක් දෙස බැලීමෙනි. ඒවායින් මතුවන සීමා මේ ආකරයට දැක්විය හැකිය:

1) ඒවායින් ලබා දෙන දැනුම න්‍යායික, සංකල්පීය හා තොරතුරු අතින් බොහෝ විට යල්පැන ගිය දැනුමක් වීම,
2) ඒවායින් ලැබෙන මානවවංශ තොරතුරු (ethnographic information) බෙ​හෙවි​න්​ පැරණි වීම,
3) ඒවායේ මූලාශ්‍ර සටහන් කිරීම ද ඇතුළුව අන් තාක්‍ෂණික තොරතුරු සම්බන්ධයෙන් බොහෝ විට ගැටළු මතුවීම හා
4) ඒවා කෘති වශයෙන් ඉදිරිපත් කිරීමේ දී දෘශ්‍යාංග ආදිය පුළුල් ලෙස භාවිත නොකිරීම නිසා අතිශයින් නීරස වීම.

ශ්‍රී ලංකාවේ සමාජ හා මානව විද්‍යා අධ්‍යාපනය බෙහෙවින් දුර්වල මට්ට්මක පැවතීමට එක් ප්‍රධාන හේතුවක් නම්, අතිශයින් ජනප්‍රිය වූ මේ ගැටළුකාරී පෙළපොත්වල නිශේධනීය බලපෑමය. එනමුත් පැහැදිලිවම මෙවන් වළකාගත හැකි ගැටළු කිසිවක් ආරියරත්නගේ කෘතියේ දැකගත නොහැක. මේ නිසා මා විශ්වාස කරන්නේ පෙළපොතක් සාර්ථකව ලියන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීමට හා එවැන්නක් ඉදිරිපත් කිරීමේදී දෘශ්‍යාදාරක භාවිත කරන්නේ කෙසේ ද යන්න දැනගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා ආරියරත්නගේ කෘතිය අගනා ආකෘතික දිශානතීන් සම්පාදනය කර දෙන බයි. ඇමරිකානු මානවවිද්‍යා සම්ප්‍රදායෙන් ලබාගත හැකි එක් ප්‍රයෝජනවත් දායකත්වයක් වන්නේ ද පෙළපොත් සම්පාදනය සම්බන්ධයෙන් එරට බොහෝ ප්‍රකාශකයින් හා රචකයින් අනුගමනය කරන වෘත්තීයමය පිළිවෙත් හා භාවිතයන්ය. මේ සැමෙකක්ම ආරියරත්නගේ කෘතියේ දැකගත හැකි නිසා, එය ඇමරිකාවේ තරුණ විද්‍යාර්ථීන්ට මානව විද්‍යා විෂය පිළිබඳ අත්වැලක් සපයන අතර, අප රටේ ඕනෑම පෙළපොතක් සම්පාදනය කරන්නට යොමුවෙන සරසවි ගුරුවරුන්ට ද එමගින් අත්වැලක් සපයා ගත හැකි බව මගේ විශ්වාසයයි.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

උඩරට රාජධානියේ සමාජ-සංස්කෘතික අතීතය පිළිබඳ කියවීමක්

Obeyesekere, Gananath. Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our Time (උඩරට රාජධානියේ අනේකවිද පැතිකඩ 1591-1765: අපගේ යුගය සඳහා ගතහැකි පාඩම්). කොළඹ: සේල් ෆිශ් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 195. ISBN 978-955-7743-060-6. මිල: ශ්‍රී ලාංකේය රුපියල් 1, 200.00 (මෘදු කවරය සහිතව). ~ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය ගනණාත් ඔබේසේකර විසින් මෑත කාලීනව ශ්‍රී ලංකාවේ පළකරන ලද කෘති දෙකෙන් නවතම කෘතිය වන්නේ Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ පෘතුගීසි යුගය පිලිබඳ කියවීමක්

(Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia. ((වි)සම්බන්ධිත අධිරාජ්‍යය: අධිරාජ්‍යවාදී පෘතුගාලය, ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකත්වය හා ආසියාවේ හැබ්ස්බර්ග් ආක්‍රමණයක නිර්මාණය). සොල්ටාන් බීඩර්මන්. ඔක්ස්ෆර්ඞ්: ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2018. පිටු: 255. ISBN: 9780198823391, doi: 10.1017/S002191181900233X (රෙදි කවරය සහිතව).  ___________ විමර්ශනය: නිරා වික්‍රමසිංහ, ලයිඩන් විශ්වවිද්‍යාලයපරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න (Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia කෘතිය මගින් සොල්ටාන් බීඩර්මන් ගවේෂණය කරන්නේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තත්කාලින ශ්‍රී ලාංකේය කලා භාවිත ඔස්සේ ජෝර්ජ් කීට් කියවීම

Buddha to Krishna: Life and Times of George Keyt (බුදුන්ගේ සිට ක්‍රිශ්නා දෙවිදුන් කරා: ජෝර්ජ් කීට්ගේ ජීවිතය සහ යුගය). යශෝධරා දල්මියා. නව දිල්ලිය: රව්ට්ලෙජ්, 2017. පිටු: 216. ISBN 978-1-138-03814-1. මිල: ඉන්දියානු රුපියල් 795.00 (ඝන කවරය සහිතව). ___________ විමර්ශනය: අනෝලි පෙරේරා අතිශයන් වැදගත් 20 වන සියවසේ චිත්‍ර ශිල්පියෙකු වන ජෝරජ් කීට් පිලිබඳ යශෝධරා දල්මියාගේ කෘතිය ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් වන්නේ එවැනි පුළුල් බුද්ධිමය උත්සාහයක් ඔහු ජීවත් වූ ශ්‍රී ලංකාවේද බෙහෙවින් විරල බව සැලකිල්ලට ගත් විටය. මා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අනගාරික ධර්මපාල තුමා පිළිබඳ  පුලුල් කියවීමක් 

Rescued from the Nation: Anagarika Dharmapala and the Buddhist World (ජාතියෙන් ගලවා ගත් පසු:  අනගාරික ධර්මපාල සහ බෞද්ධ ලෝකය). ස්ටීවන් කෙම්පර්. චිකාගෝ: චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2015.  පිටු: 368. මිල; අමෙරිකානු ඩොලර් $69.95 (ඝන කවරය සහිතව). ISBN 9780226199078 ___________ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය  ශ්‍රී ලංකාවේ සිංහල හා බෞද්ධ පසුබිමක හැදී වැඩුන අයෙකුට අනගාරික ධර්මපාල තුමා ( 1864-1933) කිසිවිටෙකත් මගහැරිය හැකි චරිතයක් නොවේ.  අප සියලු දෙනාම දෛනික සමාජානුයෝජනය තුළින් මැනවින් ඉගෙනගෙන ඇති පරිදි, එතුමා ශ්‍රී…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල ගීතයේ හා කාව්‍යයේ දේශපාලනය

Modernizing Composition: Sinhala Song, Poetry, and Politics in Twentieth-Century Sri Lanka (ගීත නිර්මාණය නවීකරණය කිරීම: විසිවන සියවසේ ශ්‍රී ලංකාව තුළ සිංහල ගීතය, කාව්‍යය හා දේශපාලනය). ගැරට් ෆීල්ඩ්. ඕක්ලන්ඩ්: කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2017. පිටු: 213. ISBN: 9780520294714 (මෘදු කවරය සහිතව). ඇමරිකානු ඩොලර් $34.95. doi: 10.1525/luminous.27   විමර්ශනය: ප්‍රවීන් තිලකරත්න, ඉංග්‍රීසි අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය සිංහල ජනප්‍රිය ගීයේ රසිකයන්ට මෙන්ම එහි ඉතිහාසය, රසාස්වාදය හා විචාර කලාව හදාරන්නන්ට ගීයක පදවල ඇති වැදගත්කම මෙන්ම ගී පද හා කාව්‍යය අතර ඇති සමීප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අතීතය පිලිබඳ දේශපාලනය

දේවසිරි, නිර්මාල් රංජිත්. ලංකාවේ ඉතිහාසය: දෘශ්ටිවාදී විචාරයක්. දෙහිවල: විදර්ශන. 2019. ISBN -978-624-5084-17-4, පිටු: 269. මිල රුපියල් 950.00 (ඝන කවරය සහිතව). ___________ විමර්ශනය: සමල් විමුක්ති හේමචන්ද්‍ර ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව දෙස්විදෙස් ශාස්ත්‍රඥයන් විසින් 90 දශකයෙන් මෙපිටට ලියා ඇති ශාස්ත්‍රීය ලේඛන පිළිබඳව අපගේ අවධානය යොමු කිරීමේදී අපට මඟ නොහැර යා නොහැකි යථාර්තය වන්නේ ඉංග්‍රීසී භාෂාවෙන් ලියැවී ඇති ලේඛනවල ඇති සාපේක්‍ෂ ගුණාත්මකභාවය සහ සිංහල භාෂාවෙන් ඇති ලේඛනවල සාපේක්‍ෂ දරිද්‍රතාවයයි. විශේෂයෙන්ම අන්තර්ජාතික දැනුම් පද්ධතිය තුළ වර්ධනය වූ ව්‍යුහවාදය, පශ්චාත්ව්‍යුහවාදය,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිලිබඳ සංස්කෘතික වංශාවලියක්

The Politics and Poetics of Authenticity: A Cultural Genealogy of Sinhala Nationalism (නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිලිබඳ සංස්කෘතික වංශාවලියක්). හර්ෂන රඹුක්වැල්ල. යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් මුද්‍රණාලය, 2018. පිටු: 178. ISBN: 978-1-78735-128-8. මිල: පවුම් 35.00 (ඝන කවරය සහිතව); පවුම් 15.00 (මෘදු කවරය සහිතව). කෘතියේ පී.ඩී.එෆ් පිටපතක් මේ පිවිසුම ඔස්සේ නොමිලේ ලබාගත හැක. ___________ විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය ජාතිකත්වය, ජාතිකවාදය, සිංහල බෞද්ධ ජාතිකවාදය වැනි සංකල්ප ශ්‍රී ලාංකේය අධ්‍යයනික ප්‍රජාවට ආගන්තුක සංකල්ප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොන්ටෙන් මෙයසූ සිංහලෙන් කියවීමේ උත්සාහයක්

පරිමිතත්වයෙන් පසු: අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳ රචනයක්. කොන්ටෙන් මෙයසූ (Quentin Meillassoux විසින් රචිත After Finitude: An Essay on the Necessity of Contingency කෘතියේ සිංහල පරිවර්තනය. පරිවර්තක: වංගීස සුමනසේකර). කොළඹ: තීර්ථ ප්‍රකාශන, 2019. පිටු 360. මිල: රුපියල් 700.00. ISBN 978-955-4940-03-1. ———- විමර්ශනය: රංග මනුප්‍රිය දාර්ශනික කෘතියක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම බොහෝ විට පරිවර්තකයාට, ප්‍රබන්ධ රචනාවක් පරිවර්තනය කරන තරම් පහසු කටයුත්තක් නොවීමට ඇති ඉඩ වැඩිය. අනෙක් අතට, මෙරට දාර්ශනික සාහිත්‍ය පිළිබඳ සුවිශේෂී උනන්දුවක් දක්වන සීමිත පාඨක පිරිසක් හඳුනා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සහ උතුරුකරයේ ‘ගෙදර’ පිලිබඳ හැඟීම

In My Mother’s House: Civil War in Sri Lanka (මගේ මවගේ නිවසේ: ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය). ශාරිකා තිරාණගම. ෆිලඩෙල්ෆියාව: පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2011. පිටු 296. ISBN: 9780812222845. මිල: අමෙරිකානු ඩොලර් 29.95 (මෘදු කවරය සහිතව). විමර්ශනය: දියෝතිමා චත්තෝරාජ්, රුඅර් විශ්වවිද්‍යාලය, ජර්මනියපරිවර්තනය: හිරණ්‍යදා දේවසිරි ___________ උතුරේ ශ්‍රී ලාංකික දෙමළ සහ මුස්ලිම් ජනයා අතර ‘ගෙදර’ (home) යන්නට ලැබෙන ප්‍රතිවිරුද්ධ අර්ථ සමග මෙම කෘතිය සවිස්තරාත්මකව ගනුදෙනු කරයි. තිරාණගම මෙහිදී නිරූපණය කරන්නේ, යමෙකුගේ ගෙදර (ur,18 පිටුව) පිළිබඳව දැනගත හැකි දෑ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

18 වන සියවසේ ඕලන්​ද යටත්ත්විජිත ජීවිතය පිළිබඳ විචාර පූර්වක කියවීමක්

van der Velde, Paul (Transalted by Lisbeth Bennik. Life Under the Palms: The Sublime World of the Anti-colonialist Jacob Haafner (පෝල් වැන්ඩර් වෙල්ඩ් [පරිවර්තනය: ලිස්බෙත් බෙනික්], පොල් සෙවණේ ජීවිතය: යටත් විජිත විරෝධී ජාකොබ් හාෆ්නර් ගේ උත්කෘෂ්ට ලෝකය). සිංගප්පූරුව: සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 2020. පිටු 200. මිල: සිංගප්පූරු ඩොලර් 24.00. ISBN: 978-981-3250-82-6 විමර්ශනය: අනුශ්කා කහදගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය Life Under the Palms යන මෙම කෘතිය  ජාකොබ් හාෆ්නර් නම් ජර්මානු සම්භවයක් සහිත ඕලන්ද ජාතික සංචාරකයාගේ…
වැඩි විස්තර පරිශීලනයට