ලංකාවේ රථ ධාවනයෙන් පෙනෙන රියදුරන්ගේ ‘පුරවැසි’ දැනුම

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය

රථ ධාවනය යනු එදිනෙදා ජීවිතය තුළ ඉතා සාමාන්‍ය උපකාරික සංසිද්ධියකි. එය කෙතරම් සාමාන්‍යරණය වී තිබේද යත්, ධාවනය පිලිබඳ ක්‍රියාවලිය වෙනස් කළ යුතු යැයි හෝ වෙනස් කළ හැකි යැයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ නැත. පවතින තත්ත්වය සමග අනුගත වීම හැර වෙනත් විකල්පයක් තිබෙන බව ද බොහෝ දෙනා විශ්වාස කරන්නේ නැත. කෙසේ වෙතත්, රථ ධාවනය යනු, සමීපව නිරීක්ෂණය කළහොත්, සමස්ත සමාජය පිලිබඳ ප්‍රතිබිම්බයක් ලබාදෙන සමාජයීය හරස්කඩකි. මේ කෙටි ලිපියේ අවධානය යොමු වන්නේ, ලංකාවේ මාර්ගවල රිය ධාවනය යන ගතිකත්වය වෙත සහ එදිනෙදා රිය පැදවීම් සිදුකරන ආකාරය ඔස්සේ ලංකාවේ රියදුරන් සිය පුරවැසි දැනුම කුමනාකාරයෙන් ප්‍රදර්ශනය කරන්නේද යන්න පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීමටයි. එසේ වෙනත් කෝණයකින් රිය පදවන ආකාරය දෙස බැලීම තුළින් මා බලාපොරොත්තු වන්නේ, ලංකාවේ රිය පැදවීම පිලිබඳ සමාජ කතිකාවතක අවශ්‍යතාව තීව්‍ර කර පෙන්වීමටයි.

අප සියළු දෙනාම පොදුවේ එකඟ වන තත්ත්වයක් නම්, ලංකාවේ රිය පැදවීම කිසිදු ලෙසකින් හෝ පිළිවෙලක් නැති බවත්, පහසු නැති බවත්ය. ඒ, මේ සඳහා නීති රීති පද්ධතියක් තිබියදීමය.  සැබෑ ලෙසින්ම, ලංකාවේ රිය පැදවීම ජීවිතයත් මරණයත් අතර සටනකි. මෙම ප්‍රපංචයේ තිබෙන භීතිය වඩා තීව්‍රව දැනෙන්නේ, ලංකාවේ මාර්ගවල පමණක් රිය පැදවීම සිදු කරන අයට වඩා, එය සාපේක්ෂ ඇසකින් බැලිය හැකි කෙනෙකුටයි. නිදසුනක් ලෙස, ලංකාවෙන් පිට බටහිර රාජ්‍යයක රිය ධාවනය කිරීමට පුරුදු වූ ඔබේ ඥාතියෙකු හෝ කාලයකින් පසු ලංකාවට පැමිණි ඔබේ මිතුරෙකු ගැන සිතන්න. එවැනි කෙනෙකුට ලංකාවේ රිය පැදවීමට සිදු වුවහොත්, එම පුද්ගලයා භීතියෙන් ඇලලී යන්නේ නොවේද? ඔවුන්ගෙන් ඇතැමෙක් ලංකාවට වඩා තමා ජීවත්ව සිටින රාජ්‍යයේ වරප්‍රසාදිත බව පෙන්වීමට “අපෝ මෙහේ වගේ නෙවෙයි එහේ” වැනි ප්‍රකාශ ඇතැම් විට කරන බව අප දන්නා කරුණකි. නමුත්, එවන් අදහස්  ප්‍රවේශමෙන් සලකා බැලුවහොත් අපට පෙනෙන්නේ, එහි දෘශ්‍යමාන සත්‍යතාවක් තිබෙන බවයි.  

මෙකී විකෘති රිය පැදවීමට පැහැදිලි ලෙසම බොහෝ විට රියදුරන්ගේ පාලනයෙන් ඔබ්බේ පවතින නොයෙකුත් බාහිර කරුණු බලපාන බව ද පැහැදිලිය. ඒ අතර නිරතුරුවම ඇසෙන හේතු දැක්වීම් වන්නේ,  අධික තදබදය, මාර්ග නීති පිළිපැද්ද ද නොපිළිපැද්දද කිසිඳු වෙනස් විපාකයක් හිමි නොවීම, මාර්ග නීති උල්ලංඝනයක දී අත යටින් කීයක් හරි දී වැඩේ ශේප් කර ගැනීමේ හැකියාව පැවතීම, අන් සියල්ලන්ම විකෘති ලෙස ධාවනයේ යෙදෙද්දී එක් රියදුරෙක්ට පමණක් නීතියට රිය පැදවීමට කිසිඳු ප්‍රේරකයක් නැති වීම ආදී කරුණු ය. මේවා පැහැදිලි ලෙසම රිය ධාවනයේ ගුණාත්මක බවට බලපායි. ඒ සියළු සාධකවල වලංගුබව පිළිගන්නා නමුත්, මෙම සටහනේ නිශ්චිත අවධානය යොමු වන්නේ රිය ධාවනයට බලපාන තනි පුද්ගලයන්ගේ ප්‍රවේශය පිළබඳවයි. එනම්, රථ ධාවනය කරන ආකාරයෙන් පෙන්නුම්කරන සමාජය පිලිබඳ ඔවුන්ගේ සාමූහික ප්‍රවේශය පිළබඳවයි.

කාටූනය: අවන්ත ආටිගල

මාර්ග නීති පිළිපදිමින් රිය පැදවීම කළ යුතු වන්නේ, ඉතාම සරල අර්ථයකින්, ඒ හරහා අනතුරුවලට මුහුණ නොදී, පැහැදිලි කාල සීමාවක් තුළ තමන්ගේ ගමනාන්තය කරා යාමේ හැකියාව සියලුදෙනාටම ලැබෙන බැවිනි. මාර්ග නීතිවලට අනුකූල වෙමින් ගමන් කරන ලෙස ඉල්ලන විවිධ දැන්වීම් හෝ වැඩසටහන්වල එසේ සිදු කළ යුත්තේ ඇයිද යන්නට දෙන පොදු හේතුව නම්, එමගින් තමන්ගේත් අනුන්ගේත් ජීවිත අනතුරේ දැමීමෙන් වැළකිය හැකිය යන්නයි. එනමුත්, ජීවිත ආරක්ෂාව යන තර්කයට අමතරව, වෙනත් දේශපාලනික මානයක්ද මෙහි තිබේ. කෙනෙක් මාර්ග නීති පුරුද්දක් ලෙස කඩ කිරීමෙන් පෙන්වන්නේ, මහා මාර්ගය සමානව භාවිතා කිරීමට තමාට මෙන්ම අනෙකාටද අයිතියක් තිබෙන බව ඇය නොසලකා හරින බවයි. බොහෝ මාර්ග නීති උල්ලංඝනවලදී සිදුවන දේ එක් නිදසුනක් ඇසුරෙන් සරලව සිතා බලමු. වට රවුම් නීතියට අනුව දකුණෙන් එන රියැදුරාට පළමුවෙන් ඉඩ ලබා දිය යුතුය. එසේ නොකර, වමෙන් එන රියැදුරා සිතූමතේ සිය රථය පදවයි නම්, ඇය සිය අභිමතය අත්තනෝමතිකව ඉටු කර ගන්නවා පමණක් නොව, එය ඉටු කරගන්නේ, දකුණෙන් එන රියැදුරාගේ හිමිකම් සපුරාම අහිමි කරමිනි. මෙය හිතූමතේ රථය ධාවනය කරන්නියට සියයට සියක ජයක් සහ එය සැබෑ ලෙසම ලැබිය යුත්තාට සියයට බින්දුවකුත් (win – loose) හිමිවන තත්වයකි.

නමුත්, පරමාදර්ශී අර්ථයෙන්, මාර්ගය යනු, සියල්ලන්ටම සමානව භුක්ති විඳිය හැකි, සමානව ඉඩ ලැබෙන අවකාශයකි. එය කෙනෙක්ට සියයට සියයක් හා අනෙකාට බින්දුවක් නොව, සියල්ලන්ටම සියයට පනහක් ලැබිය යුතු තිරස් ධුරාවලිගත අවකාශයකි. එසේම, මාර්ගය යනු විවිධාකාර බෙදීම් සහ විෂමතාවලින් සමන්විත සමාජයේ, තමන්ගේ කුලය, ජාතිය, පන්තිය, ස්ත්‍රී-පුර්ෂ බව, ආගම කුමක් වුවත්, අන් සියලු දෙනා මෙන්ම සමානව භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු පොදු දේපොලකි. පොදු දේපොලක් යනු සියල්ලන්ටම අයත්, එක් පුද්ගලයෙකුට හෝ එක් පිරිසකට හෝ පමණක් සීමා නොවුණු දෙයකි. එනමුත්, එවැන්නක් භාවිත කිරීමට යම් මට්ටමක සමාජයීය දැනුමක් අවශ්‍ය වේ.

වසර කිහිපයකට පෙර මාර්ග නීති උල්ලංඝනය පිලිබඳ වැඩි වශයෙන් චෝදනාවට ලක් වූයේ බස් රථ රියදුරන් සහ ත්‍රීරෝද රථ රියදුරන් වැනි අයයි. නිදසුන් ලෙස, සියළුම වාහන අදාළ මන්තීරුවේ ගමන් කරද්දී, ත්‍රිරෝද රථ වම් පැත්තෙන් වැරදි මං තීරුවෙන් ඉස්සර කිරීම හෝ අශෝක් ලේලන්ඩ් වැනි විශාල බස් රථ ඉතාම වැඩි වේගයකින් භයානක ලෙස ඉරි කපාගෙන දකුණෙන් ඉස්සර කිරීම වැනි අවස්ථා සිහිපත් කර ගත හැක. බස් හෝ ත්‍රිරෝද රථ රියදුරන්ට මෙම චෝදනාව එල්ල කිරීමේදී එයට පන්ති මානයක් (class dimension) තිබෙන බව පැහැදිලිය. එනම්, අධ්‍යාපන මට්ටම සාපේක්ෂ ලෙස අඩු පිරිසට තමන් ධාවනය කරන ආකාරය තමන්ට පමණක් නොව, මාර්ගය භාවිතකරන සමස්ත රියැදුරු සමූහයටම බලපාන බව, එතරම් නොතේරෙන බවයි.

ඇරිස්ටෝටලියානු අර්ථයෙන් ගතහොත්, තමන් තනි පුද්ගලයෙකු මෙන්ම සමාජයේ සාමූහික ප්‍රජාවක් සමග ජිවත් වන, ඒ නිසා, සමාජයත් සමඟ සාමූහික බන්ධනයක් සහිත පුද්ගලයෙක් ය යන්න තේරුම් ගැනීමට ප්‍රමාණික අධ්‍යාපනයක් අවශ්‍ය ය. එතරම් සමාජයීය සංජානනයක් නැති පුරවැසියන්ට, තමන්ගේ පැවැත්ම සමූහයට බලපාන බවත්, සමූහයේ පැවැත්ම තමන්ට බලපාන බවත් තේරුම් යන්නේ අවම වශයෙන් ය යන්න මෙම තර්කයේ හරයයි.

නමුත්, අද වන විට, මාර්ග නීති නොසලකා හරින්නේ පන්තියෙන් පහල පුද්ගලයන් පමණක් නොවන බව අතිශයෝක්තියක් නොවේ. ඉතාම සුඛෝපභෝගී රථ වාහනවල ගමනේ යෙදෙන, ඉහළ මට්ටම්වල රැකියාවල නිරත, ඉහළ ජීවන රටා තිබෙන, ඒ නිසාම මධ්‍යම හෝ ඉහළ පන්තිවලට අයත් යැයි උපකල්පනය කළ හැකි රියැදුරන් බොහෝ පිරිසක් මෙසේ මාර්ග නීති නොසලකා ධාවනයේ යෙදෙති. එනම්, තව දුරටත් අධ්‍යාපන මට්ටම ඉහළ යන විට සාමූහිකය පිලිබඳ ඇති පුරවැසි සංජානනය වැඩි වන්නේය යන තර්කය වලංගු ද යන ගැටළුව පැන නගී.

තව දුරටත් එම තර්කය වලංගු වන්නට නම්, ඉහළ පන්තිවලට අයත් පුද්ගලයන්ට ලැබී තිබෙන අධ්‍යාපනය යන බදාමයේ ‘පුරවැසි’ බව පිලිබඳ ප්‍රමාණවත් දැනුමක් ගබඩා නොවී තිබිය යුතුය. එනම්, කොපමණ උපාධි ලෝගු දිනා ගත්ත ද, සමාජයක් තුළ ජීවත් වීමේදී, තමන්ට හුදෙකලා සහ තනි ජීවිත ගතකිරීමට නොහැකිය සහ තමන්ගේ පැවැත්ම සමූහයටත්, සමූහයේ පැවැත්ම තමන්ටත් බලපාන්නේය යන මූලික දැනුම තමන් ලද අධ්‍යාපනයේ කිසිඳු තැනකින් ලබා නැත. මාර්ග නීති කඩකිරීමට තව දුරටත් පන්ති භේදයක් නැත යන්නෙහි සැඟවුණු සමානාත්මක බවක් ද තිබේ. එනම්, අවම තරමින්, මාර්ග නීති කැඩීම යන විෂය තුළවත් සියල්ලෝම සමාන වන බැවිනි. ඒ, තව දුරටත් පෙර කියූ බස් හෝ ත්‍රිරෝද රථ සහ සුඛෝපභෝගී රථ වාහන පදවන රියැදුරන් අතර වෙනසක් නොමැති බැවිනි. නමුත් සමානාත්මතාව තිබිය යුත්තේ මාර්ග නීති කඩකිරීමේ කුලකයේ නොව, ඒවා ආරක්ෂා කිරීමේ කුලකයේය.

අවසාන වශයෙන් කිව යුතු වන්නේ, අපේ සමාජයේ පුරවැසියන්ගේ සාමූහික චින්තනයේ දුර්වල බවට තව දුරටත් පන්ති මානයක් නොමැති බව රහසක් නොවන බවයි. රිය පැදවීමේදී පමණක් නොව, වෙනත් ඕනෑම සමාජ කාරණයකදී වුව ද තමන් ගැන පමණක් සිතීමත්, තමන් සහ සමූහය අතර අන්‍යෝන්‍ය බන්ධනයක් නොමැති බව සිතීමත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. ‘අපි හම්බ කළොත් අපි කනවා’ වැනි ප්‍රකාශවලින් පෙන්වන්නේ ද සාමූහික පුරවැසි චින්තනය අභාවයට යන ආකාරයයි. රිය පැදවීම වැනි ඉතාම සුලභ ප්‍රපංචයක් සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී, මාර්ග නීති උල්ලංඝනය කිරීමට හේතු වන දහසකුත් අන් හේතු අතර, මෙම පුරවැසි බව යන මානය ද සලකා බැලීම කාලීන අවශ්‍යතාවකි. විශේෂයෙන්ම, මේ ලිපියේ ප්‍රශ්න කළ, මාර්ග නීති කඩකිරීම යන කාරණයේදී තනි රියදුරන් අනෙකුත් සමස්ත රියැදුරු ප්‍රජාව ගේ සමාන අයිතීන් පිලිබඳ නොසලකා හරින්නේ ඇයිද යන්න තව දුරටත් කතිකාවට බඳුන් විය යුතුය. මෙම ප්‍රපංචයට අපගේ අධ්‍යාපන රටාවේ බලපෑමක් තිබේද සහ, එසේ තිබේ නම්, අධ්‍යාපන රටාවේ, විශේෂයෙන්ම පුරවැසි අධ්‍යාපනයේ යම් වෙනස්කම් සහ නව හඳුන්වාදීම් කළ යුතුද යන්න සලකා බැලීම වටී.

Total
26
Shares
1 comment
  1. ඔබ තුමියගේ ලිපිය ඉතාම කාලෝචිතයි! වඩාත් හරබරයි!! සමහර වචන මා අසා නැති නමුත් සමස්ථයක් වශයෙන් තේරුම් ගත හැකියි. මා රිය පදවන්නෙකු නොවෙයි. නමුත් රියක (බසයක, තුන් රෝද රියක, දෙ-රෝද රියක හෝ සතර රෝද රියක) යන සෑම අවස්ථාවක ම, වටපිටාවේ සිදුවන සැම දේ ගැන බොහොම අවධානයෙන් සිටින්නෙමි. ඒ නිසා ඔබතුමිය පවසන දෑ ඉතාම නිවැරදි බව පැහැදිලිව ම දනිමි.

    අප රටේ පුරවැසි අධ්‍යාපනය කවරාකාරදැයි මම නොදනිමි. නමුත් උපතේ පටන් හුස්ම ටික නැවත වාතලයට මුහු වන තුරුම වැඩි දෙනා ජීවත් වන්නේ ප්‍රෝඩාවෙනි. දරු ප්‍රසෘතිය මැනවින් කර ගැනීමට ‘දන්නා අයගේ විශේෂිත පිහිට’ පතන්නෝ එමටය. හෙවත් වෛද්‍යවරයා/වරිය පටන් හෙද, උපස්ථායක කාගේ හෝ පිහිට සොයා යෑමය. සැමට එකසේ සේවය සැපයේ නම් එවැනි සිදුවීම් සිදුවන්නේ නැත. දරුවෙකු පාසලට ඇතුළත් කර ගැනීම ඊළඟ සටනයි. එක දරුවෙකු පරදවා මගේ දරුවා උගෙනුමෙන් ඉහළට යා යුතුය යන්නට ඉනිමං බැඳීම, දැන හැඳුනුම්කම් මත රැකියාවක් ලබා ගැනීම වැනි දෑ සුලබව පවතින සමාජයේ අපට නිතර ඇස ගැටෙන ‘වරද’ මහා (හෝ කුඩා) මාර්ගයේ ඉගිලෙන පිරිසයි. මරණ සහතිකය ගැනීමට, ආදාහනයට වෙලාවක් හෝ කනත්තේ භූමි කොටසක් වෙන් කොට ගැනීමටත් සමහරුන් ‘හය්ය අතු’ අල්ලනවා අසා ඇත්තෙමි.

    නිවැරදි මඟට පිවිසීමේ ආරම්භය කළ යුත්තේ කොතැනින්ද? ප්‍රසෘතිකාගාරයෙන්ද? පාසලින්ද? මහා මාර්ගයෙන්ද? අපගේ සිත් තුළින්ද?

    බල බලා සිටීමට, කොමිසම් පත්කිරීමට, සංගණනයන් / විද්‍යාත්මක සම්මන්ත්‍රණ පැවැත්වීමට කාල වේලාවක් නැත. තව මරණයක්, දෙකක්, සියයක්, දහසක් යන තුරු බලා සිටයහොත් එම ලේ දහර රියැදුරන් මත පමණක් නොව ඔබ මා අතත් තැව‌රේයැයි සිතීම වටී.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මා නීති ගරුකව මහා මාර්ගය පරිහරණය කරන බව අසා ඇත්තෙමි. එසේ නම් අනෙකුත් අය එසේ කිරීමේ වරදක් නැත: බැරි කමක් නැත; යුතුකමක් ඇත.

    බොහෝ අය නිසි වේලාවට අවදි නොවීම නිසා උදෑසන ම ඉගිලෙන්නට දඟලති. තවත් අය වැඩ ගොඩක් ඇති නිසා රිංගන්නට දඟලති. මේ හැම දේ ඒ ඒ පුද්ගලයාගේ හැදියාව නිසා ම වේ. එක්තරා තුන් රෝද රථ රියැදුරු මහතෙක් කිවූ කථාවක් සිහියට නැඟේ. පාසල් සීනුව නාද වූ ගමන් ම මුලින් ම එළියට පනින්නේ ගුරුවරුන්ලු. මෙහි සත්‍ය අසත්‍යතාව මම නිරීක්ෂණය නොකළෙමි. තවද ඉතා වගකීමෙන් කටයුතු කරන ගුරු දෙමව්පියන් ගෞරවයෙන් සිහිපත් කරමි. නමුත් ඔහුගේ කියමනෙහි යම් සත්‍යතාවක් ඇති බවද මට හැඟේ.

    මෑත අතීතය වන තුරුම අප රටේ රථවාහන පොලිසිය රියැදුරන්ට මහමඟ නීතිය පහදාදීමට නොයෙක් ආකාරයේ උත්සාහයන්හි යෙදී ඇත. ලැබූ ඵලයක් නම් මට දකින්නට නැත. අර ‘ලැයිසොං’ දෙන්න ක්‍රමවේදයක් තියෙන්නේ ඇයිදැයි මට නොතේරේ. හැමෝටම රිය පදවන්න දීලා හැමදාම පාරේ ඉඳලා පාඩම් කියල දිදී සිටිය නම් මටත් රථයක් පදවා පාඩමක් අහන් ඉන්න පුළුවන් වේවි. නේ! පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට ‘කලින්’ දැනුම් දිදී සිටීමට අවශ්‍යයද? අමානුෂික ලෙස (හෙවත් මිනිස් මොළයට හැටහෙන ලෙස ඇති) නිති උල්ලංඝණය කරන්නන්ට මානුෂික ලෙස නීති නැවත නැවතත් පැහැදිලි කරදීම අවශ්‍යයද? රියැ‍දුරන් පමණක් නොව රියද අමතක නොවන ලෙස දඬුවම් විඳින ක්‍රමවේදයක් අනාගතයේ ක්‍රියාත්මක කළ හැකි නම් අපගේ මහමඟ ඇති ප්‍රශ්න වලින් 50% ක්වත් අඩුම වශයෙන් විසඳා ගත හැක.

    පියෙකු/මවක දරු සෙනෙහසට මහමඟ යන දඬුමොණර ලබා දී, දරුවන්ගේ වැරදි ඇස් පනා පිට ඔප්පුවූවාට පසු හඬා වැලපී ඵල නැත. තරහ අවසර. ඔබ දරුවාට එම පාඩම හොඳින්ම තේරුම් යන්න නම්, සියළු සම්පත් දන් දී, මුළු පවුලම බස් රථයෙන් ගමන් කරනුයේ නැත්නම්, කිසිදින ඔවුන් අදාළ පාඩම ඉගෙන ගන්නේ නැත. එහි පව (වැඩි බර කොටස) දරුවන් අත නොවේ.

    හැම දෙය ම නිවැරදිව කිරීමට කාලය පැමිණ ඇත. නොඑසේ නම් “කිසිම දෙයක් හරියට නොකළාට කමක් නැත” යන්න අප සතුටින් පිළි ගත යුතුය. වඩාත් ම පහසු “හැම දෙයම වැරදියට ම කළ යුතුය” වන්නටද බැරි නැත.

    කොයි ක්‍රමයට හෝ ජය වේවා!

    උපාලි පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම: ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න

දීපක් නයියර් – ආර්ථිකවිද්‍යාව පිලිබඳ සේවාසම්මානිත මහාචාර්යජවහර්ලාල් විශ්වවිද්‍යාලය පරිවර්තනය:අනුෂ්කා කහඳගමගේදකුණු ආසියානු විශ්වවිද්‍යාලය (තත්කාලීනව විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන ප්‍රචණ්ඩත්වය, ඉන්දියාවේ ප්‍රභල දේශපාලනික වාදවිෂයක් බවට පත්ව තිබේ. මේ ප්‍රචණ්ඩත්වයේ එක් අරමුණක් වී ඇත්තේ එකී ආයතන තුළ සාම්ප්‍රදායිකව සිදු වූ විචාරශීලි කතිකාව හා දේශපාලනික විවේචනය පාලනය කිරීමය. එනමුත් මේ තත්වය සමස්ථ දකුණු ආසියාතික කළාපයටම පොදු තත්වයක් වන අතර, යම් මට්ටම්වලින් ඉන් බැහැර ප්‍රදේශවලද දැකගත හැක. දැනට ඉන්දියාවේ සරසවි තුළ සිදුවන ශිෂ්‍ය මර්දනය පෙන්වා දෙන මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට 1

භාෂණයේ අයිතිය සහ නිරාගමිකත්වයේ දේශපාලනය

~ |ගුරුගොඩ සිරිවිමල  හිමි ඉන්දික රත්නායක නැමැත්තකුට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මගින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමන්ගෙන් ඉල්ලා සිටින අවුල් සහගත ලිඛිත ඉල්ලා සිටීමක් මෑතකදී දක්නට ලැබුනි. ඉන්දික රත්නායකට මේ චෝදනාව එල්ල කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන පරිදි, ඔහු “බුදු දහම ජෛන දහමක් යැයි මිත්‍යා මතයක් සමාජගත කිරීමට යත්න දරා ඇති බව” පවසයි. මෙකී අදහස පිළිබඳව මා තුළ විශේෂ අදහසක් හෝ ආකර්ශනයක් නැත. කෙසේ වෙතත්, එම විවාදාපන්න කරුණ ගැන සාකච්ඡාවකට…
වැඩි විස්තර පරිශීලනයට