Skip links

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,
කොළඹ විශ්වවිද්‍යාලය –

අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන පවා පහසුවෙන් තේරුම් ගත හැකි එක් ආකාරයක් වන්නේ ඒවා, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටී හෝ බිඳ වැටීමට පටන් ගෙන ඇතැයි උපකල්පනය කොට, ඒ නිසා ඇතිවිය හැකි ප්‍රතිඵල ලෙස දැකීමෙනි.

මෙවන් පසුබිමක රාජ්‍යයන්ගේ, ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ, ශාස්ත්‍රඥයන්ගේ සහ පොදුවේ ජනතාවගේ විශාල අවධානයක්යොමුවී ඇති ප්‍රපංචයක් වන්නේ සමකාලීන චීනය ලෝකය තුළ අති ප්‍රබල රාජ්‍යයක් ලෙස නැගීසිටීම කෙරෙහියි. එම නැගීසිටීම වර්තමාන ලෝක පර්යායේ පැවැත්මට, බිඳවැටීමට හෝ/සහ නවලෝක පර්යායක් ඇතිකිරීමට කුමන ලෙසකින් බලපෑමක් එල්ල කරයිද යන්න කෙරෙහි අවධානය යොමු වී තිබේ. ලෝක පර්යාය සම්බන්ධයෙන් සහ ලෝක බලවතුන් සම්බන්ධයෙන් අපට දැනට තිබෙන දැනුමෙන් චීනය තේරුම් ගැනීම අභියෝගාත්මක වී තිබේ. මෙයට හේතුව නම් චීනය නැගී සිටීම සිදුවන්නේ දැනට අපට තිබෙන දැනුම තුළ නොව ඔවුන්ටම ආවේණික වූ ආකෘතියකින් වීමයි. පසුගිය දශක කිහිපය තුළ චීනය භාවිත කළේ ඔවුන්ගේම මොඩලයකි. එය වනාහි ඒකාධිකාරී පාලන තන්ත්‍රයක් (දේශපාලනිකව) සහ ධනවාදී වෙළදපළක් (ආර්ථිකව) සුසංයෝගීව ගොඩනැගුණු මොඩලයකි. මෙම මොඩලය හරහා අත්පත් කරගත් ආර්ථික සහ දේශපාලනික බලය මේ වන විට චීනය ලොව පුරා කුඩා සහ විශාල රාජ්‍ය තුළ විවිධාකාරයෙන් පතුරවමින් සිටී. එසේ ලොව පුරා බලය පතුරවන්නේ කුමන හේතුවක් මතද යන්න චීනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත. ඇත්තේ, ඒ පිළිබඳ අනිකුත් රාජ්‍ය සහ පර්යේෂකයින් කරන ඉදිරිපත් කරන පුරෝකතන පමණි.

එසේ ලෝක බලවතෙක් ලෙස නැගී සිටින චීනය ශ්‍රී ලංකාව කෙරෙහි ද විවිධ ස්ථර වලින් මැදිහත්වීම් සිදු කරන බව අප දනිමු. මෙසේ සිදුකරන මැදිහත්වීම් ඇතැමුන් දකින්නේ ශ්‍රී ලංකාවේ අවස්ථා (opportunity) ලෙසයි. තවත් පිරිසක් මෙය දකින්නේ ශ්‍රී  ලංකාවට මුහුණ දෙන්නට සිදුව තිබෙන තර්ජනයක් (threat) ලෙසයි. කෙසේ වුවද පවතින ඇතැම් භූ දේශපාලනික යථාර්ථ හේතුකොටගෙන අප කැමති වුවත් අකමැති වුවත් චීන මැදිහත්වීම් වලින් සපුරා වියුක්තව සිටීමට අපට හැකි නොවේ.

සමකාලීන ලංකාව තුළ චීනයේ භූමිකාව පිළිබඳ, හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වැනි ව්‍යාපෘති සඳහා චීන මැදිහත්වීම, ඉඩම් සින්නක්කර හෝ සහන පදනම් මත ලබා දීම වැනි කරුණු මත යම් කතිකාවක් නිර්මාණය විය. කෙසේ නමුත් චීනයේ මැදිහත් වීම් පිළිබඳ අවශ්‍ය තරම් සාකච්ඡාවක් ලංකා සමාජයේ සිදු වී නැත. මෙවන් පසුබිමක මෙම පඨිතයේ අරමුණ වන්නේ එසේ ප්‍රධාන දහරාවේ කතිකාවට ළක් නොවුණු නමුත් ළක් විය යුතු යැයි යෝජනා කළ හැකි වෙනත් ස්වභාවයක චීන මැදිහත් වීමක් පිළිබඳ කෙටියෙන් සාකච්ඡා කිරීමයි.

මෙම පඨිතය යෝජනා කරන එකී මැදිහත්වීම නම් පසුගිය වසර කිහිපය තුළ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ ශ්‍රී ලාංකික ගොඩනැගීම් ක්ෂේත්‍රයට චීනය සිදු කරන මැදිහත්වීමයි. මහාපරිමාණ, ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සඳහා චීන රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සමාගම වැනි රාජ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ ස්ථාපිත බව නොරහසකි. නමුත් මෙම පඨිතයේ නිශ්චිත අවධාරණය යොමු වන්නේ චීන රාජ්‍ය ආයතන කෙරෙහි නො වේ. ඒ වෙනුවට මෙහි අවධානය යොමු වන්නේ ලාංකේය මධ්‍යම සහ කුඩා පරිමාණ ඉදිකිරීම් කටයුතු සදහා චීන පෞද්ගලික සමාගම් වල මැදිහත් වීම කෙරෙහියි. අද වන විට මධ්‍යම සහ කුඩා පරිමාණ රාජ්‍ය සහ පෞද්ගලික ඉදිකිරීම් කටයුතු සඳහා ලංකාවේ දේශීය ඉදිකිරීම් සමාගම් වලට වඩා චීන සමාගම් වලට කොන්ත්‍රාත්තු ලබාදීමේ ප්‍රවණතාවය දැකිය හැක. මෙහි ප්‍රතිඵල ලෙස දෛනික ජීවිතය තුළ චීන අකුරු සහ කොඩිය සහිත පුවරු මෙන්ම චීන කම්කරුවන් ද ඔබ කොතෙකුත් දැක ඇති. ලාංකීය ඉදිකිරීම් සමාගම් වලට සාපේක්ෂව ඊට වඩා අඩු පිරිවැයට සහ සහනදායී ලෙස ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට චීන සමාගම් වලට හැකිවී තිබේ. එවැනි අවස්ථාවක ඕනෑම සේවාදායකයෙක් තෝරා ගන්නේ අඩු මුදලට තමන්ට සේවාව සැපයිය හැකියි කොන්ත්‍රාත්තු කරුවා වීම සාමාන්‍ය තත්ත්වයයි.

දැන් කෙනෙකුට ඇති විය හැකි සාධාරණ ප්‍රශ්නය වන්නේ මෙම තත්ත්වය එනම්, පෞද්ගලික හෝ බහුජාතික සමාගම් වෙනත් රාජ්‍යයන් තුළ ක්‍රියාකාරීවීම, ධනවාදී වෙළෙඳපොළ සහ ගෝලීයකරණය යන ප්‍රපඤ්ච තුළ සිදු වන සරල ක්‍රියාවක් නොවේද යන්නයි. ගෝලීයකරණය තුළ බහු ජාතික හෝ පෞද්ගලික සමාගම් ක්‍රියාත්මක වන්නේ ධනය සහ ලාභය නමැති උත්තේජන මතයි. සත්කාරක රාජ්‍යයන් පවා බහුජාතික සමාගම් වලට පැමිණීමට අවස්ථාව දෙන්නේ එම සමාගම් බලාපොරොත්තු වන්නේ ලාභය පමණක් ය යන උපකල්පනය මත සිටයි. වෙනත් රාජ්‍යක් සත්කාරක රාජ්‍යයේ මැදිහත්වීම ඊට වඩා සංකීර්ණ තත්ත්වයකි. එවැනි මැදිහත් වීම් වලදී රාජ්‍යයන්ට ආර්ථික අභිලාශ පමණක් නොව වෙනත් දේශපාලනික අභිලාෂය ද තිබිය හැකි බව අප දනිමු. ඒ අර්ථයෙන් ලාංකික ගොඩනැගීම් ක්‍ෂේත්‍රයට චීන පෞද්ගලික සමාගම් සිදු කරන මැදිහත්වීම සරල ගෝලීයකරණ ක්‍රියාවක් ලෙස තේරුම් ගැනීමට නොහැකි බව මගේ යෝජනාවයි. එසේ වන්නේ චීන පෞද්ගලික සමාගම් සැබෑ ලෙසම පෞද්ගලික ද නැතිනම් චීන රාජ්‍යතන්ත්‍රයේ යම්කිසි ආකාරයක නියෝජිතයින් ද යන්න මත ඔවුන්ට තිබෙන අභිලාෂ වෙනස් විය හැකි නිසයි.

දේශීය සමාගම් වලට වඩා අඩු මුදලකට චීන සමාගම් වලට ටෙන්ඩර් ලබාදිය හැකි වී තිබෙන්නේ කෙසේද යන්න අප ඇසිය යුතු අනිත් වලංගු ප්‍රශ්නයයි. චීන සමාගම් කුඩා ලාභාන්තිකයකට (profit mrgin) පවා හෝ ඇතැම්විට ලාභාන්තික නැතිව පාඩු වන අවස්ථාවන් වල පවා ොන්ත්‍රාත්තු බාර ගන්නා බව ඇතැමුන් පවසයි. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ එවන් අවස්ථාවක චීන රජය එම හිඟය පියවීමට කටයුතු කරන බවයි. එය සැබෑවක් නම්, මෙහිදී ඇසිය හැකි සරල ප්‍රශ්නය වන්නේ පෞද්ගලික යැයි කියන සමාගම්වල හිඟ පියවීමට චීන රජය මෙසේ මැදිහත්වන්නේ ඇයි ද යන්නයි. එසේම එවන් ඉදිරිපත් වීමකට බලපාන පෞද්ගලික සමාගම් සහ චීන රජය අතර ඇත්තේ කුමන සම්බන්ධතාවක් ද යන්නයි.

චීන රජය සහ චීන පෞද්ගලික සමාගම් අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ ලෝකයේ ඇත්තේ අවිනිශ්චිත හැඟීමකි. තමන්ගේම ආර්ථික දේශපාලන මොඩලයට අනුව ක්‍රියාත්මක වන චීන රජය චීන පෞද්ගලික සමාගම් වලට ඉහළ බලපෑමක් කරන බව ඇතැමුන් පවසයි. නිකොලස් ලාඩි නම් අර්ථ වේදියාට අනුව 2012 දී ෂී ජිංපිං පත්වීමත් සමග චීන පෞද්ගලික සමාගම් කෙරෙහි රාජ්‍ය මැදිහත් වීම බරපතළ ලෙස ඉහළ යන ලදී. රිචඩ් මැක්ග්‍රෙගර්ට අනුව චීන රාජ්‍ය ආයතන තරමටම පෞද්ගලික සමාගම් ද චීන කොමියුනිස්ට් පක්ෂයේ අධිකාරී බලයට යටත් වී තිබේ. එක් අතකින් එම සමාගම් චීනයේ දැඩි නීතිරීතිවලින් නියාමනයට ළක් වන අතර අනිත් අතින් නොලියවුණු (unwritten) එහෙත් පවතින චීන කොමිනිස්ට් පක්ෂයේ නීතිරීතිවලින් ද නියාමනයට යටත් වෙයි. චීන සමාගම් මුළුමනින්ම චීන රජය විසින් පාලනය කරන්නේද යන්න තවමත් ප්‍රශ්නයකි. මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම පහසු නොවන්නේ චීනය වැනි සංවෘත රාජ්‍යයක් පිළිබඳ පර්යේෂණ කිරීමේ අභියෝගය හමුවේ යි. මෙම අර්ථයෙන් ලංකාවේ ගොඩනැගීම් ක්ෂේත්‍රයට චීන මැදිහත්වීම් පෞද්ගලික සමාගම් හරහා සිදුවන බව අප සිතුවද එය සැබෑ ලෙසටම චීන රජයේ මැදිහත් වීමක් පවා විය හැකියැයි කෙනෙකුට උපකල්පනය කළ හැක. එම උපකල්පනය මත සිට නම් කලින් පැහැදිළි කළ චීන පෞද්ගලික සමාගම් වල හිඟ පියවීමට චීන රාජ්‍ය මැදිහත්වීම තේරුම්ගත හැක.

දේශීය සමාගම් වලට වඩා අඩු මුදලකට චීන සමාගම් වලට ටෙන්ඩර් ලබාදිය හැකිබව ට තවත් හේතුවක් විය හැක්කේ ඉතාම අවම පිරිවැයකට චීන කම්කරු සහය ලබා ගැනීමේ හැකියාවයි. නිදසුනක් ලෙස ලංකාවේ කම්කරුවන් යොදා ගැනීමේදී අවම වශයෙන් දිනකට රුපියල් 1500 ලබාදිය යුතුවේ නම් චීන කම්කරුවෙකුට ලබාදිය යුතු වන්නේ රුපියල් 1000-1100ක් අතර පමණි. මෙසේ ලාභදායී චීන ශ්‍රමය ලබා ගන්නා එක් ක්‍රමයක් නම්, අඩු පඩියට චීන සිරකරුවන්ව කම්කරුවන් ලෙස ගෙන්වා ගැනීමයි. මෙහිදී පැන නගින සරල අතුරු ප්‍රශ්නය නම් චීන රාජ්‍ය අනුමැතිය රහිතව එසේ සිරකරුවන් වෙනත් රාජ්‍යයක රැකියාවක් සඳහා ගෙන්වාගත හැකි ද යන්නයි. චීන රජයත් පෞද්ගලික සමාගමුත් අතර යම්කිසි සබඳතාවක් තිබෙන බවට සාධාරණ සැකයක් ඇතිකර ගැනීමට මෙයද තවත් සාධකයකි.

පෙර සඳහන් කළ පරිදි ආර්ථික ලාභාන්තික නොමැතිව පවා ගොඩනැගීම් කොන්ත්‍රාත්තු බාර ගැනීමෙන් යම්කිසි දේශපාලනික හෝ සමාජයීය අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට චීන රජය අපේක්ෂා කරනවා යැයිද කෙනෙකුට උපකල්පනය කල හැක. නිදසුනක් ලෙස මෙවැනි ගොඩනැගීම් කොන්ත්‍රාත්තු සඳහා ගෙන්වන ඇතැම් චීන සිරකරුවන් නැවත චීනයට යෑමට එතරම් ප්‍රිය කරන්නේ නැත. එවැනි කම්කරුවන් ලංකාවේ ජනයා සමඟ සබඳතා ඇති කර ගෙන ස්ථිර පදිංචියට එළඹීමට වුව හැකියාව නැත්තේ නොවේ. එවැනි ප්‍රජා මට්ටමේ සබඳතා ලංකාව තුළ ව්‍යාප්ත කිරීමම චීන රජයේ සමාජීය සහ දේශපාලනික අභිලාෂයක් බව කෙනෙකුට සිතිය හැක. දේශපාලන අර්ථයකින් තවත් තර්කයක් විය හැක්කේ කොන්ත්‍රාත්තු ලබා ගැනීමේ ප්‍රමාණාත්මකතාවය ඉහළ දැමීම හරහා ලංකාව තුළ චීන භූ දේශපාලනික ස්ථානගත වීමක් බලාපොරොත්තු වනවා යන්නයි. එසේ භූදේශපාලනික ස්ථානගතවීම් වැඩි කිරීම හරහා විවිධ භූමි ප්‍රදේශ පිළිබඳ නිශ්චිත දැනුම ගබඩා කිරීමද කළ හැක. එවන් තත්ත්වයක් පැහැදිළිවම ලංකාවේ ජාතික ආරක්ෂාවට වුවද බලපෑමක් සිදුකළ හැකිය.

ලංකාවේ ගොඩනැගිලි ක්‍ෂේත්‍රයට  ආගමනය වී තිබෙන චීන සමාගම් පෞද්ගලික ද රාජ්‍ය ද යන්න සොයා බැලිය යුතු වන්නේ එය සෘජුව සහ වක්‍රව අපේ සමාජයේ ආර්ථික සමාජීය දේශපාලනික හා ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිවිපාක ගෙනදිය හැකි නිසයි. චීන කම්කරුවන් ගෙන්වීම නිසා දේශිය කම්කරුවන්ගේ විරැකියාව ඉහළ යෑම, චීන කොන්ත්‍රාත්කරුවන් නිසා දේශීය ගොඩනැගිලි සමාගම් වලට කොන්ත්‍රාත් ලැබීම අවම වීම වැනි ආර්ථික කාරණාවල සිට පෙර සඳහන් කළ අනෙකුත් සමාජීය දේශපාලනික සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රතිවිපාක වලට මුහුණ දීමද සිදු වීමේ යම්කිසි අවදානමක් තිබෙන බව අපට මගහැර යා නොහැකි තත්ත්වයකි. මේ අර්ථයෙන් බැලුවහොත් ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මහා මධ්‍ය මහා කුඩා පරිමාණ ලෙස සිදුවන චීන පෞද්ගලික සමාගම් වල මැදිහත් වීම පිළිබඳ මීට වඩා නියාමනයක් (ප්‍රතිපත්ති සැලසුම් සහ ජාතික ආරක්ෂක ඇසින් පවා) සහ කතිකාවක් (ජනතා අවකාශය තුළ)ඇතිවිය යුතු බව කීම යුක්ති සහගත වේ. එසේම මේ ප්‍රපංචය පිළිබඳ විධිමත් සහ පුළුල් පර්යේෂණ සිදුකොට නවදැනුම නිෂ්පාදනය කිරීම ද අත්‍යවශ්‍ය වේ.

Photo – Shehan Gunasekara (www.ft.lk)

Leave a comment

This website uses cookies to improve your web experience.