ලජ්ජා-බය, සදාචාර පාලනය සහ ‘හතේ අපේ පොත’

කෞෂල්‍යා ආරියරත්න –

පිවිසුම
සමාජය තුළ කිසියම් සිවිල් බලයක් අත්පත් කොට ගෙන සිටින භික්ෂුවක් විසින් සිදු කරන ලද පුවත්පත් සාකච්ඡාවක් හේතුවෙන්, රජය විසින් සිසුන් අතට පත් නොකොට යළි කැඳවන ලද ‘හතේ අපේ පොත’ නම් වූ සිසු අතිරේක කියවීම් පොත ගැන මේ මොහොතේ රට පුරා කතිකාවක් ඇති වී තිබේ. මෙම කතිකාව සමාජගත වීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසා ය:

1) ඉන් පළමුවැන්න නම්, නීතියේ අසමත්භාවය ද, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ දෘෂ්ටිවාදයන් ද, ලජ්ජාව හා බිය යන සංකල්ප ද විසින් වසා දැමෙන, ශ්‍රී ලංකාවේ ළමයින් මුහුණ දෙන ඛේදජනක ජීවන යථාර්ථය පිළිබඳ සංවාදයකට එය අපට ඉඩ විවර කරයි.

2) දෙවැන්න නම්, මෙම සිදුවීම විසින් රාජ්‍ය පාලනය පවා තැති ගන්නවන සුලු ශරීරය පිළිබඳ අයිතිය සහ ලිංගිකත්වය පිළිබඳ නිදහස මුල් කරගත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කතිකාවතෙහි අවශ්‍යතාව යළි අවධාරණය කිරීමයි. රටේ සිවිල් පරිපාලනය (භික්ෂූන් ඇතුලුව), “සංස්කෘතිය හා සදාචාර පාලකයින්ට” යටත් වීම පිළිබඳ අපූරු එහෙත් ඛේදනීය උදාහරණයක් එය අප හමුවේ තබා ඇත.

හොඳම දේ ළමයින්ට
වෛද්‍ය විද්‍යාත්මකව ළමයෙකු මුලින්ම වැඩිහිටියකු වීම ඇරඹෙන්නේ වයස අවුරුදු 10-12 අතර කාලයේදී ය. එක් එක් ළමයාගේ ශරීරය සහ හෝර්මෝන අනුව මෙය අඩු වැඩි විය හැකි නමුත්, මේ වයස ලිංගිකත්වය පිළිබඳ හැඟීම්, ආශාවන් සහ කුතුහලය ද ජනිතවන වයසයි. සන්නිවේදනය සඳහා අන්තර්ජාලය භාවිතා නොවූ මීට දශක දෙක තුනකට පෙර, පාසල් සිසුන්ට සිය ශරීරය පිළිබඳ කුතුහලය සංසිඳුවා ගැනීමේදී පිහිටට ආවේ වැඩිහිටියන් සඳහා ලියැවුණු පුවත්පත්, මිතූරු මිතුරියන්ගෙන් සොයා ගන්නා තොරතුරු සහ 10 වන ශ්‍රේණියේ විද්‍යාව විෂය සඳහා අර්ධ වශයෙන් ඉගැන්වූ ප්‍රජනනය පිළිබඳ පාඩම පමණි. එහෙත් අද වන විට අන්තර්ජාලයට පිවිසීමට ඇති අවකාශ පුලුල් වීම නිසා ළමයෙකුට තම ශරීරයේ සිදුවන වෙනස්වීම් පිළිබඳව සත්‍ය මෙන්ම මිථ්‍යාවන් ද දැනගත හැකි අවිධිමත් මාර්ග බොහෝ ය.

එහෙත් වැඩිහිටියන් වන අප විසින් සදාචාරමය සලුපිළි පොරවා, අනේකවිධ ආකාරවලින් සඟවා, යටපත් කොට වසා දමන ලෝකය ඇත්තෙන්ම ළමයින්ට සුරක්ෂිත ද? රජයේ නිල දත්ත සහ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ එසේ නොවන බවයි. නිදසුනක් ලෙස, පවුල් සෞඛ්‍ය කාර්යාංශයට අනුව වාර්ෂිකව වයස අවුරුදු 13ත් 19ත් අතර දැරියෝ 20, 000කට ආසන්න ප්‍රමාණයක් ගැබ් ගනිති. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2016දී පවසුවේ ශ්‍රී ලංකාවේ දරු උපත්වලින් 6.5%ක් සිදු කරනු ලබන්නේ ළමා මවුවරුන් විසින් බවයි. ජාතික ළමාරක්ෂක අධිකාරියේ වාර්තා මීටත් වඩා බියජනකය. ඒවාට අනුව ලංකාවේ වසරකට 6, 000 -10, 000ක් අතර ප්‍රමාණයක ළමා අපයෝජන සහ ලිංගික අපරාධ සිදු වේ. මින් 94%ක ප්‍රමාණයක් නොදැනුවත්කම, ලැජ්ජාව සහ බිය නිසා සිදු වන බව ද පැවසේ. විරෝධය දැක්වීමට ඇති නොහැකියාව හේතුවෙන් ළමයින්ට සිදුවන ලිංගික අපරාධ, අනවශ්‍ය ගැබ් ගැනීම්, මානසික පීඩනය, ළමා සහ මාතෘ මරණ, අවදානම් සහගත හා සෞඛ්‍යාරක්ෂිත නොවන ගබ්සා, සියදිවිනසා ගැනීම් කොපමණ ද යන්න ගණන් බැලිය නොහැකි තරම් විශාල ය. මේ අද අප ළමයින්ට උරුම කර දී ඇති ‘සොඳුරුතම’ ලෝකයයි.

‘හතේ පොතේ’ ඉතිහාසය
නිසි ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ ළමයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාව කතාබහට නැඟුණේ බොහෝ කලක පටන් ය. මුලින්ම විද්‍යාව සහ සෞඛ්‍ය විෂයයන් තුළට ද, අනතුරුව අතිරේක කියවීම් පොත් ලෙස ද පාසල්වලට හඳුන්වා දෙනු ලැබුව ද, ගුරුවරුන් සහ ගුරුවරියන් අතින් මෙම පාඩම් ඉගැන්වීම නිසි ලෙස සිදුවුයේ ද යන්න ගැටලු සහගත විය. නිදසුනක් ලෙස, මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත හඳුන්වා දුන් ‘උදා වූ යෞවනය’ ද සමහර විදුහල්පතිවරුන් අතින් ළමයින් අතට නොගිය බවට චෝදනා තිබේ.

2017 දී පිහිටුවන ලද කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ ගැටලුවට විධිමත් විසඳුමක් ලබා දීමේ අරමුණින් පුලුල් අධ්‍යයනයක් සහ විමර්ශනයක් සිදු කරන ලදී. මේ සඳහා සහභාගී වූ නිලධාරී මණ්ඩලය පහත ආයතන නියෝජනය කරන ලදී: එනම්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ළමාරක්ෂක අධිකාරිය, පවුල් සැළසුම් සංගමය, කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු දෙපළක්, ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය යනාදියයි. මෙහි නිර්දේශවලට අනුව ‘හතේ අපේ පොත’ පමණක් නොව, ‘දොළහේ අපේ පොත’ ද හඳුන්වා දීමට නියමිතව තිබුණි.

එහෙත්, විවිධ පාර්ශවයන් ගණනාවකගේ ඉමහත් පරිශ්‍රමයෙන්, දායකත්වයෙන් හා වෙහෙසින් නිම කොට බෙදා හරින ලද මෙම අත්පොත, ජනාධිපතිවරණ ප්‍රතිඵල කෙරෙහි බලපෑමක් ඇතිවේය යන බියෙන් පසුගිය රජය විසින් එක් ලිපියකින් හොර රහසේ නැවත කැඳවීම ඛේදජනක විය.

ලැජ්ජා-බය සහ සදාචාර පාලනය
පෙළපොත නැවත කැඳවීම පිළිබඳ සිදුවීම සන්දර්භගත කළ යුත්තේ එය කැඳවන ලද කාල වකවානුව සමඟය. මෙය කැඳවීමට ලිපිය නිකුත් කරනු ලබන්නේ, 2019 නොවැම්බර් 08දාය. එනම්, බටහිර ගැති නොවන, සිංහල-බෞද්ධ, විෂමරිසි (heterosexual) සහ පුරුෂමය (masculine) නායකත්වයක් උත්ප්‍රාසයට නගමින් සිටි තීරණාත්මක ජනාධිපතිවරණයක් අභිමුවෙහිය. යම් ලෙසකින් භික්ෂූන් විසින් මෙය ඉදිරිපත් කළේ නම්, ඒ වන විට ජන බලය දිනා ගැනීමට මෙහෙයවන ලද එකී ඊනියා සුදුසුකම් අහිමි බව පෙන්වා තිබූ රජයට, මෙම පොත සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තුළ පෙන්නුම් කළ ප්‍රගතිශීලී සහ විවෘත ස්වභාවය, මැතිවරණය කෙරෙහි ඇත්තෙන්ම අවාසි සහගත වන්නට ඉඩ තිබිණි. කෙසේ වුවත්, මෙම කතිකාව සම්බන්ධව, එම පොත සම්පාදනය කිරීමට මැදිහත් වූ කාරක සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඇතුලු ඉහතින් සඳහන් කළ සියලු ආයතන ද, නව අධ්‍යාපන ඇමතිවරයා ද නිහඬ කරවීමට තරම් මෙම සදාචාර තර්කය ප්‍රබල එකකි.

ශ්‍රී ලංකාව තුළ විෂයීයත්ව නිර්මාණය (subject formation) කෙරෙහි ලජ්ජා-බය සංකල්ප උපයෝගී කර ගැනීම ගැන ලියන ගණනාත් ඔබේසේකර (1984) පැහැදිළි කරන්නේ, පුද්ගලයකුගේ මුල් ළමාවිය තුළ පවුල් විසින් සිදු කරන පළමු සමාජානුයෝජණ ක්‍රියාවලිය තුළ ලැජ්ජාව සහ බිය සම්බන්ධ අවවාදාත්මක ප්‍රකාශයනයන් මගින් යම් හැසිරීම් පිටු දකිමින් තවත් හැසිරීම් පිළිගෙන සාමාන්‍යකරණය කරන බව ය. විවිධ බල ක්ෂේත්‍ර තුළ මෙය පාලනය කිරීමේ අධිකාරිය විවිධ පුද්ගලයන්/කණ්ඩායම් විසින් පවත්වාගෙන යනු ලබයි. සදාචාරය පිළිබඳ නියාමන සහ මිනුම් දඬු දෙමව්පියන් හා ගුරුවරුන් විසින් ළමයින් මත ද, භික්ෂූන් විසින් වැඩිහිටියන් ඇතුලු පොදු සමාජය මත ද බලපවත්වාගෙන යති . මාලතී ද අල්විස්ට (1997) අනුව, ලජ්ජා-බය පිළිබඳ මූලික සංකල්පය ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නකි. මේ අන්දමට පිරිමි ළමයකුගේ ගෞරවය සම්බන්ධයෙන් භය දරා සිටීමේ (දඬුවමට ඇති බිය) ශක්‍යතාව කේන්ද්‍රීය වන අතර, ලැජ්ජාවෙන් මිදීම (අවමානයට ලක් වීමේ හෝ සදාචාර විරෝධී වීමේ ලැජ්ජාව) ගැහැණු ළමයකු සම්බන්ධයෙන් තීරණාත්මක වේ. ඒ අනුව, පාසල නමැති බල ක්ෂේත්‍රය තුළ වෙනස් ආකාරවලින් ගැහැණු සහ පිරිමි ළමුන් ශික්ෂණය කරනු ලැබේ.

පොදුවේ ගත් විට සුවච-කීකරු, ගුරුවරුන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් පෙරළා ප්‍රශ්න නොකරන, සමාජයේ අධිපති කතිකාවන් හා එකඟ, කායිකව හා මානසිකව හික්මවන ලද ළමයකු බිහි කිරීමේ හෙජමොනික ව්‍යාපෘතියට මේ ‘හතේ පොත’ කිසිසේත්ම එකඟ වන්නේ නැත. ‘හතේ පොත’ ශරීරය ගැන, ලිංගිකත්වය ගැන, වැඩීම ගැන, ආහාර පුරුදු සහ පෝෂණය ගැන, ව්‍යායාම ගැන, දුම්පානය ගැන, ආර්ථවය ගැන, ස්පර්ශය ගැන මෙන්ම ආදරය ගැන ද නොසඟවා කතා කරයි. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාත්මක පාරිභාෂික වචන වෙනුවට, එය ශරීරය සහ ලිංගිකත්වය ගැන සාකච්ඡා කරන්නට එදිනෙදා කටවහරේ පවතින වචන භාවිතා කරයි. පොත කියවා, ඒ ගැන මිතුරු මිතුරියන් හා සාකච්ඡා කිරීමට දිරි ගන්වයි. එතැනින් නොනැවතී, තම ගැටලු ගැන වැඩිදුර කතා කරන්නට විශ්වසනීය දුරකථන අංක ද ලබා දෙයි. කෙටියෙන් කිවහොත්, ‘හතේ පොත’ ශ්‍රී ලංකාවේ යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත අධ්‍යාපන ශික්ෂණ ව්‍යාපෘතිය අවුල් කරයි.

හෙට දවස
විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසු සිසුවියන්ට මිලිටරි පුහුණුව ලබාදීම, විදුහල්පතිවරුන් හමුදාවට බඳවා ගැනීම, හමුදා සෙබලුන්ට ගුරු පත්වීම් ලබා දීම යනාදී පාලනයේ විවිධ උපක්‍රම අප අත් දුටුවේ වැඩි ඈතක දී නොවේ. මහාමාර්ග දෙපාර්තමේන්තුව විසින් අඳින ලද මාර්ග අනතුරු ඇඟවීමේ සංඥා මකා දමමින් මිලිටරි ජයග්‍රහණ තාප්ප මත උත්ප්‍රාසයට නැගෙන්නේ ද, අධ්‍යාපන, සෞඛ්‍ය හා ළමයින් පිළිබඳ විශේෂඥයන් විසින් ලියන ලද පොතක් සදාචාරය විසින් පාලනය කරනු ලබන්නේ ද එකම න්‍යායක් අනුවය. එයට අභියෝග කරන ඕනෑම අයෙකු බටහිර කුමන්ත්‍රණකාරීන්, එන්ජීඕ නියෝජිතයන් සහ සදාචාරය විනාශ කිරීමට බලා සිටින්නන් බවට පත් කරනු ලැබේ (‘හතේ පොත’ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමෙන් අනතුරුව, සදාචාර පොලීසිය වෙනුවෙන් පෙනී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසකට අනුව අපි “පසුගිය ජනාධිපතිවරණයේදී පැරද පළා ගිය සිංහල විරෝධී රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු සහ බටහිර දැනුමෙන් අන්ධ වූ කිහිප දෙනෙකු” යන ගෞරව නාමය ලැබීමු). මේ අනුව, ලිංගිකත්වය, නිදහස සහ කැමැත්ත පිළිබඳ අදහස් සමාජගත කිරීම වූ කලී, සිංහල-බෞද්ධ, පුරුෂ මූලික සහ විෂමරිසි රාජ්‍යයේ පැවැත්මට එල්ල කෙරෙන අභියෝග වන්නේ ය.

අවසාන වශයෙන් කිව යුත්තේ ‘හතේ පොත’ සියලු ලිංගික අපරාධ වළක්වන යතුරක් නොවනු ඇති නමුත්, එමගින් විවර කර දෙනු ඇත්තේ නිදහස සහ කැමැත්ත මත ගොඩනැගෙන යහපත් මිනිස් සබඳතාවල වටිනාකම කියා දෙන ලෝකයක් වන බව ය.

Total
120
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ බහුවිධ අර්බුද පිළිබඳ විශ්ලේෂණයක්, ඉදිරි දැක්මක් සහ ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක්

කාටූනය: ගිහාන් ඩි චිකේරා, 2012 (Daily Mirror) ~ ජයදේව උයන්ගොඩ, සම්මානිත මහාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ සසංක පෙරේරා, මහාචාර්ය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නවදිල්ලිය ~ නවරත්න බණ්ඩාර, හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ මයිකල් ප්‍රනාන්දු, හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය~ රත්නසිරි අරංගල, ජ්‍යේෂ්ඨ මහාචාර්ය,  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය~ මොහොමඞ් මහීස්, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය~ විපුල කරුණාතිලක, සංවර්ධන ජනමාධ්‍යවේදී (මේ විශ්ලේශනය හා යෝජනාවලිය මුලින්ම සකසන ලද්දේ 2019 ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකයන්ගේ අවධානය සඳහාය. එය සියලුම දේශපාලන පක්ශ නියෝජනය කළ ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා ඔවුන්ගේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වසංගත කලමණාකරණය හා සන්නිවේදන මාධ්‍යයේ භූමිකාව

~ විරන්ජන හේරත්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය වසංගතයක් කලමණාකරණයේදී ජනමාධ්‍යයේ භූමිකාව තීරණාත්මකය. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, වසංගත කලමණාකරණයේදී සෞඛ්‍ය තොරතුරු  සංනිවේදනය සම්බන්ධයෙන්  ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ අවේක්ෂණය (surveillance) සහ මැදිහත්වීම් (intervention) කෙරෙහිය. අවේක්ෂණයට අදාලව පහත සදහන් කරුණු අවධාරණය කලයුතු වේ: 1) අවේක්ෂණයට අදාළ සියලු පාර්ශවකරැවන් වසංගතය පැහැදිලිව නිර්වචනය කර තිබේද? 2) රෝගී බව තහවුරු කරගැනීම සදහා නියමිත පරීක්ෂණාගාර මොනවාද? 3) තහවුරැ කරන ලද සිදුවීම්, මරණ හා ඒවා හදුනාගත්  ප්‍රදේශ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පඨිත 12 වන වෙළුම (විශේෂ කලාපය – සැප්තැම්බර් 2020)

කෝවිඩ් 19 වසංගතය විසින් ලෝකය සහ මිනිස් ජීවිතය තුළ ඇති කරන පරිවර්තනයන් ගේ ස්වභාවය වටහා ගැනීමට කොපමණ කාලයක් ගත වනු ඇති ද යන්න තවමත් නිර්ණය කල නොහැකි ය. කෙසේ වුවත්, මෙය ඉතිහාසය තුල ඉතා දුර්ලභ වන, යුගයක ස්වරූපය වෙනස් කලහැකි ආකාරයේ ප්‍රභල විභවාත්මක සිදුවීමක් බව තේරුම් ගැනීම අසීරු නැත. එම නිසා, මේ මොහොතේ අප අත්විඳිමින් සිටින මේ දුලබ හා බෙහෙවින් ගැටලුකාරී අත්දැකීම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පර්යාවලෝක ඔස්සේ සිතියම්ගත කිරීමට උත්සාහ කිරීම අප විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත’ 12 වන වෙලුමට ලිපි සම්පාදනය කිරීම සඳහා කෙරෙන ආරාධනයයි

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා ලිපි සංග්‍රහයේ 12 වන වෙලුමේ (අංක 1 හා 2, 2021/මුද්‍රිත සංස්කරණය) සම්පාදන කටයුතු දැන් ආරම්භ කර ඇති බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි.’ 12 වන වෙලුම (අංක 1, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 ජනවාරි 30 වනදාය. 12 වන වෙලුම (අංක 2, 2021) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය 2021 අප්‍රේල් 30 වනදාය. මේ වෙලුම් සඳහා පහත දක්වා ඇති ආකාරයේ ලිපි පඨිත වෙත ලබාදිය හැක: පර්යේෂණ ලිපි ආශ්‍රිත ග්‍රන්ථාවලිය සහ පාදක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ (11 වන වෙලුම 2020)

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා (11 වන වෙලුම 2020) දැන් නිකුත් වී තිබේ. එය කොළඹ ජාත්‍යන්තර‍ පොත් ප්‍රදර්ශනයේ විදර්ශන කුටියෙන් ලබා ගත හැක (බී ශාලාව, කුටි අංක 103). පිටු 360. ප්‍රදර්ශනයෙන් පසුව එය  විදර්ශන ප්‍රකාශකයන් වෙතින් ලබා ගත හැක. ‘පඨිත’ 2020 අන්තර්ගතය පහත සඳහන් පරිදි වේ: පර්යේශන රච​නා * කාජල් තැවරූ දෑසින් හෙළන බැලුම්: නිර්ප්‍රභූ දේශපාලනික ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘ජෝගි ’ නැටුම්– කෞෂල්‍යා ආරියරත්න. * “මානව ලිංගිකත්වයේ බහුරූපීතාව සහ සුළුතර ලිංගික ප්‍රජාව”: ශ්‍රී ලාංකේය සමාජය ඇසුරෙන් සමාජවිද්‍යාත්මක කියවීමක්–…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

උත්තර්කාෂිහි ඉපිද ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මගෙහි දිවි නිමාකළ ඉන්දීය සාහිත්‍යධරයා

කපිල එම්. ගමගේ – 2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගීමාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්විය . එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර, එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත්, ඔවුන් පියා, දියණිය හා මුණුපුරා වූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනු ලැබීය. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණි. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද යන්න අද වෙනතුරුත් මාධ්‍ය විසින් සදහන් කර නැත. නමුත් මෙසේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නව කොරෝනා වෛරස් තත්ත්වයෙන් ඉකුත්වීමේ ක්‍රමෝපාය (Exit strategy) කුමක් විය හැකි ද?

~ විජයානන්ද ජයවීර, හිටපු අධ්‍යක්ෂක, සන්නිවේදන ප්‍රවර්ධන අංශය, යුනෙස්කෝ සංවිධානය (ඡායාරූපය: ඉහත ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ, චීනයේ වුහාන් නගරයේ ලොක්ඩවුන් තත්ත්වය අවසන් කොට නැවත වැඩ පටන්ගත් පසු, ඩොන්ෆෙන්ග් හොන්ඩා කම්හලේ සේවකයන් දිවා ආහාරය ගන්නා ආකාරයයි. ඡායාරූපය ඒ.එෆ්.පී පුවත් සේවය වෙතිනි) නව කොරෝනා හෙවත් SARS-Cov-19 වෛරසය නිසා හට ගන්නා, ඇතැම් අයෙකුට මාරාන්තික විය හැකි ශ්වසන රෝගය හඳුන්වන්නේ කෝවිඩ්-19 (Covid-19) යන නමිනි. වෛරස වාහකයෙකුගේ කැස්ස සහ කිවිසුම් මගින් මුඛයෙන් නිකුත් වන බිඳිති සහ ඇතැම් විටෙක ප්‍රශ්වාසයෙන් නිකුත් වන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා ව්‍යවසන කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම

~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ වූහාන් ප්‍රාන්තයෙන්  පළමු රෝගියා වාර්තා වී, මේ වන විට  එය ලොව අන් බොහෝ රටවල් වෙත සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත (වර්ල්ඩෝමීටර් 2021). එමගින් සමස්ථ මනුෂ්‍ය සංහතියටම කරනු ලබන බලපෑම ගැන මෙහිදී සඳහන් කළ යුතු අලුත් දෙයක් නොවේ. බෝහෝ විට මෙම තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා, සෞඛ්‍ය අංශයට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ගව මූත්‍රා පානය කිරීමෙන් කොල්කටා වැසියෙක් රෝගී වේ

(චායාරූප මූලාශ්‍රය: ස්ක්‍රෝල් වෙබ් අඩවිය, 2020 මාර්තු 18) කොල්කටා  පොලීසිය විසින් භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයෙකු වන, නාරායන් චැටර්ජි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමේ තරගයක් සංවිධානය කිරීම නිසාය.  2020 මාර්තු 18 වන බදාදා ‘ප්‍රෙස්  ඔෆ් ඉන්ඩියා’ (PTI) පුවත් සේවයට අනුව, ඔහු මෙය සංවිධානය කර ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමෙන්  කොරෝනා වයිරසයෙන් මහජනතාවට ආරක්ෂා වීමට හැකියාව ලැබේ යයි පවසමිනි. ඔහු උතුරු කොල්කටාවේ ජෝරසංකෝ ප්‍රදේශයේ භාරතීය  ජනතා පක්ෂයේ ක්‍රියාකාරියෙකු වන අතර, ගවයන් පිදීම සදහා වැඩ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

මාලතී ද අල්විස් (1963-2021): ඇය යන්න ගියා මැකිලා…

~ ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය කුමාරි ජයවර්ධනගෙන් පසු ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත්, සම්ප්‍රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටීමත් පිළිබද ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ ස්ත්‍රිය ඇයයි. ඔව්, මම එසේ සිතන්නෙමි. ඇය මානව විද්‍යාඥවරියකි. ක්‍රියාකාරි ස්ත්‍රිවාදිනියකි. අනූවෙන් පසුව ‘එන්ජිඕ කරණයට’ ලක්වුණු මහජන අරගල දේශපාලනය පිළිබඳ ඇයගේ කියවීම් මා ගැවසෙන දේශපාලන අවකාශවලදී  මම නිරන්තරයෙන් සිහිපත් කර සිටිමි. එහිදී විශේෂයෙන්ම ස්ත්‍රී දේශපාලනයේ උපායමාර්ගයන් පිළබඳ සන්දර්භය තුළ ඇය විසින් ගොඩනැගූ එක් ප්‍රමුඛ අදහසක්…
වැඩි විස්තර පරිශීලනයට