විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා

2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ විපක්‍ෂ මන්ත්‍රී මුූනූෂ නානායක්කාර පැවසුවේ, මේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඞ් වාර්ථාවෙන් ඉවත්කළ යුතු බවයි. ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සරත් වීරසේකර මහතා ද විග්නේශ්වරන්ගේ මේ සඳහන නොයෙකුත් තැන්වල විවේඡනය කර ඇති අතර, ඔහුගේ මතය වන්නේ ද මෙය හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි. ගැටළුව වන්නේ, හැන්සාඞ් වාර්තාවෙන් යමක් ඉවත් කළ සැනින් එය සිදුනොවුන තත්ත්වයකට ගෙන ඒමට නොහැකි වීමයි. එයින් සිදුවන්නේ හුදෙක් යමක් යට ගැසීම පමණි.

පසුගිය දශක තුනක පමණ කාලය මුළුල්ලේ පාර්ලිමේන්තුවට පත්කර එවන මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන මට්ට්ම සීඝ්‍රයෙන් අඩුවීම, ව්‍යාවහාරික බුද්ධියේ වියැකීම හා ආචාරධර්ම හා සත්‍යය පිළිබඳ ඇති උනන්දුව හීන වීම සහ මේ සියල්ලටම සමගාමීව වාචාලකම වැඩිවීම නිසා සිදුවී ඇත්තේ, හැන්සාඞ් වාර්තාවල පිටු ගණන් බොහෝ සෙයින් අරුත්-සුන් වූ හිස්වචනවලින් පිරී තිබීමය. මේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බන්ඩාරනායක, එන්. එම්. පෙරේරා, කොල්වින් අර්. ද සිල්වා, එස්. ඒ. වික්‍රමසිංහ, පොන්නම්බලම් රාමනාදන් වැන්නවුන් පාර්ලිමේන්තුවේ හෝ අන් ස්ථාන වල කළ අරුත්බර අදහස් දැක්වීම්වලට වඩා බෙහෙවින් වෙනස් තත්ත්වයකි. මේ සියල්ලම හැන්සාඞ් වාර්තාවලින් ඉවත් කළේ නම්, එම වාර්තා අත් පත්‍රිකා තරමට කෙටි වනු ඇති අතරම, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් හා මහජන මුදලින් අප විසින්ම ඡන්දයෙන් පත්කරන නායකයින් පාර්ලිමේන්තුවේ රඟදක්වන දුක්ඛදායක හා බොහෝ විට අසංවර හා මුග්ද දේශපාලන නාඩගම් පිළිබඳ දැනුම අනාගත පර්යේෂකයන්ට නැතිව යනු ඇත.

සී.වී. විග්නේශ්වරන් මහතා

මේ නිසා කළ යුත්තේ මෙවැනි අදහස් යට ගැසීම නොව ඒවා මතුවන්නේ කෙසේද හා ඒ සමග ගණුදෙනු කරන්නේ කෙසේදැයි විමසා බැලීමය. මේ සන්දර්භය තුළ විග්නේශ්වරන්ගේ කතාව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ඕනෑම අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතැයි යන පදනම මත හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් නොකිරීමට කතානායකවරයා ගත් තීරණය පැසසිය යුතුය. එමෙන්ම, භාෂාණයේ අයිතිය පිළිබඳ මේ අගනා ස්ථාවරය පාර්ලිමේන්තුවෙන් පිටත සිටින සාමාන්‍ය ජනයාට ද එපරිද්දෙන්ම මේ රජය යටතේ බලපැවැත්වෙනු ඇතැයි යන්න රට වැසියන් ලෙස අපගේ බලාපොරොත්තුව විය යුතුය.

කෙසේ වුව ද විග්නේශ්වරන් තම වෘත්තිය වූ නීතිය හා අධිකරණ ක්‍ෂේත්‍රයෙන් විශ්‍රාම ගෙන දෙමල ජාතිකවාදී දේශපාලනය වැළදගැනීමෙන් පසු ඔහුගේ කල්ක්‍රියාව ගෙන බැලූ විට,
මේ ප්‍රකාශය කිසි ලෙසකින්වත් පුදුම විය යුතු දෙයක් නොවේ. එය අප තේරුම් ගත යුත්තේ හුදෙක් ප්‍රභල සිංහල ජාතිකවාදී මිත්‍යාවන් හා මත ගොඩනැගීම හා සමගාමීව සිදුවන දෙමල ජාතිකවාදී ව්‍යාපෘතියක් වශයෙන් පමණි. විග්නේශ්වරන්ට මෙයින් අවැසි වූයේ තමන් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව නාට්‍යානුසාරයෙන් හා මහා ඝෝෂාවකින් පැවසීමට නම්, එය ජයටම සිදුවූ බව පැහැදිලිය.

එෛතිහාසිකව, පුරාවිද්‍යාත්මකව හා අවම වශයෙන් සාමාන්‍ය දැනුම අණුසාරයෙන් ගෙන බැලුව ද විග්නේශ්වරන්ගේ ප්‍රකාශය කිසිදු පදනමක් නැති හුදු ඝෝෂාවක් හා කෙප්පයක් පමණකි. නමුත් මෙය අළුත් ඝෝෂාවක් නොවේ. විශේෂයෙන් අප රටේ අන්තර්වාර්ගික විරසකභාවය 1970 ගණන් අග භාගයෙන් පසුව උත්සන්න වීමත් සමගම හා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ව්‍යාප්තියත් සමගම, මෙවැනි අදහස් දෙමළ ජාතිකාවාදී කතිකාව පුරා ව්‍යාප්ත වීය. ඒ සඳහා මූලික බුද්ධිමය ජවය සැපයූවේ යුරෝපා හා උතුරු ඇමරිකානු කලාපවල ජීවත් වූ දෙමළ ඩයස්පෝරාවේ මතවාදීන්ය. ඒ අදහස් මෙරටට ද විසරණය වූ බව පැහැදිලිය.

අප මොහොතකට 1983 දී ලංඩනයේ සෙඞ් ප්‍රකාශන සමාගම විසින් පළකළ සචී පොන්නම්බලම් මහතාගේ Sri Lanka: National Conflict and the Tamil Liberation Struggle (ශ්‍රීලංකා: ජාතික ගැටුම හා දෙමළ විමුක්ති අරගලය) යන කෘතිය ගෙන බලමු. මූලික වශයෙන් දෙමල ජාතිකවාදී දෘශ්ඨිකෝණයකින් ලියවුන මතවාදී ප්‍රකාශනයක් හා දේශපාලන මිත්‍යා සම්පාදන මෙවළමක් ලෙස තේරුම් ගත හැකි එම කෘතිය, එකළ දෙමළ ජාතිකවාදී අවකාශවල මෙන්ම ඉන් පිටතද පුළුල් ලෙස කියවූ කෘතියක් වීය. එමගින් සම්පාදිත අළුත් මිත්‍යාවන් අතර වූ ප්‍රධාන කතාවන් වූයේ ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණියේ දමිළ ජාතිකයින් බවත්, ඔවුන්ගේ බස දෙමළ බවත්, බුදුදහම ශ්‍රී ලංකාවට පැමිණි සමයේ මෙරට සිටි රජතුමා තේවානම් පියතීසන් නම් දෙමළ රජතුමා බවත්, සිංහල ජනවර්ගය ප්‍රභවය ලැබුවේ මෙසේ පැමිණි බුදුදහම වැළඳගත් දෙමළ හින්දූන්ගෙන් බවත්ය. මීට අමතරව, එහි සඳහන් වූ තවත් කාරණයක් වූයේ දෙමළ සභ්‍යත්වයේ මූලාරම්භය මොහෙන්දෙජාරෝ සහ හරප්පා යන ඉපැරණි ඉන්දු නිම්න ශිෂ්ඨාචාර බවය. එනමුදු, මේ කිසිදු ප්‍රවාදයක් සනාථ කිරීමට එදා මෙන්ම අදත් කිසිම ඉතිහාසමය හෝ පුරාවිද්‍යාත්මක සාක්‍ෂ්‍යයක් සොයාගත නොහැක. විග්නේශ්වරන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ හාස්‍යජනක ඉතිහාස පාඩමට කරුණු හා අනුප්‍රාණය ලබාගෙන ඇත්තේ සචී පොන්නම්බලම්ගේ කෘතිය වැනි අස්ථාවර මූලාශ්‍රවලින් බව පැහැදිලිය.

අප තේරුම්ගත යුත්තේ මෙවැනි අස්ථාවර මූලාශ්‍ර මත පදනම් වූ අතීතය පිළිබඳ ආවර්ජනා වර්තමානයේදී සත්‍යය සම්බන්ධයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැතිවා මෙන්ම, ඇතැම් විට දේශපාලනිකව භයානක ද විය හැකි බවයි. අප මොහොතකට විග්නේශ්වරන්ගේ ප්‍රකාශය කෙටියෙන් සලකා බලමු. දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව යන්නේ අර්ථය කුමක්ද? මේ ප්‍රවාදය ශ්‍රී ලංකාවේ මෙන්ම තමිල්නාඩුවේද දෙමළ භාෂා පාරිශුද්ධවාදී අවකාශවල බොහෝ කාලයක සිට විසරණය වී තිබෙන අදහසකි. දෙමළ බස භාශාවක් වශයෙන් එෛතිහාසික යුගයේ බොහෝ ඈතට දිවයන බව නොරහසකි. දැනට ශේෂවී ඇති පැරණිතම දෙමළ ලිඛිත මූලාශ්‍ර ලැබී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ ඉන්දියාවෙනි. එමෙන්ම, දෙමළ බසේ ස්වර්ණමය යුගය වශයෙන් හැදින්වෙන ‘සංගම් යුගයේදී’, එනම් බොහෝ ඇස්තමේන්තුවලට අනුව, ක්‍රිස්තු පූර්ව 300 සිට ක්‍රිස්තු වර්ෂ 300 දක්වා කාලයේදී, බෙහෙවින් සංකීර්ණ සාහිත්‍යයක් එබසින් බිහි වූ බැව් අප දන්නෙමු. හයවන සියවසේදී ලියැවුන මනිමේඛලායි හා ක්‍රිස්තු වර්ෂ 5 සිට 6 දක්වා කාලය අතරදී ලියවුන සීලපතිකාරම් වැනි විශිෂ්ට කෘති ලියවුනේද දෙමළෙනි. මෙනිසා දෙමළ බසේ දීර්ඝ අතීතය හා සභ්‍යත්වමය වැදගත්කම පැහැදිලිය.

එනමුත්, මෙලෙසම අතීතයේ සිට තත්කාලයට නොයෙක් විපර්යාස ඔස්සේ වර්ධනය වී ඇති අන් භාෂාවන් ද ලොව ඇත. හීබෲ, බස්ක්, ග්‍රීක, පාර්සි ආදී භාෂාවන් ද හදුනාගත හැකි දීර්ඝ ඉතිහාසයන් ඔස්සේ වර්තමානය තෙක් වර්ධනය වී ඇත. දෙමළ භාෂා පාරිශුද්ධවාදීන් තම බස ලොව ඇති පැරණිතම බස යැයි විග්නේශ්වරම් මෙන් පවසන අතර, ඉහත සඳහන් කළ අන් පැරණි ඉතිහාසමය භාෂාවල තත්කාලීන ආරක්‍ෂකයින් ද එවැනිම ප්‍රවාද සිය දේශපාලන අවකාශවලට සාපේක්‍ෂව ගොඩනගානෙන ඇත. නමුත් මේවා හුදු සටන් පාඨ විනා තත්කාලීන දේශපාලනයට විශේෂ ආයෝජනයක් ලබාදෙන අදහස් හෝ සුපැහැදිලි සාක්‍ෂ්‍ය මත පදනම් වූ අදහස් හෝ නොවේ.

විග්නේශ්වරන්ගේ දෙවන අදහස මීටත් වඩා අපැහැදිලි ප්‍රවාදයකි. එනම්, දෙමළ බස මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාවය යන අදහසයි. අපේ ආදීකාලීන මුතුන්මිත්තන් මොන බසක් කතාකළාදැයි අපට අද දින කිසිසේත් පැවසිය නොහැක. ලංකාවේ ජනාවාස මුලින්ම බිහිවූ පූර්ව ඉතිහාසමය යුගයේ පැවති භාෂා හා සම්බන්ධ සාක්‍ෂරත්වයක් පිළිබඳ කිසිම තොරතුරක් නැත. එනම්, ඒවා බොහෝ විට ලිඛිත භාෂා නොවීය. මේ නිසාම, මේ ඉපැරණි මානවයින් කුමන භාෂාවක් කතාකළේ ද හා ඒවායේ හඬ කෙබදු වීදැයි අපට කිසි ලෙසකින්වත් කිව නොහැක. අපට කිව හැක්කේ, මේ පූර්ව ඉතිහාස යුගයේ තිබූ භාෂා තත්කාලීන සිංහල හෝ දෙමළ යන භාෂාවන්ට කිසිදු ලෙසකින් සම්බන්ධ නැති භාෂාවන් වීමට ද බොහෝ සෙයින් ඉඩ ඇති බවයි.

මේ නිසා විග්නේශ්වරන්ගේ ප්‍රවාදය හුදු සම්ප්‍රප්ප්‍රලාපයක් සේ සලකා ඉවත දැමිය හැක. එනමුත්, ඒ ප්‍රවාදයේ තත්කාලීන දේශපාලන අරුත භයානකය. හුදෙක් දෙමළ බසට මේ ඉතිහාස විරෝධි බලය ආරෝපණය කිරීමෙන් අදහස් කරන්නේ එබස කතා නොකරන සිංහල හා අන් බස් කතාකරන්නවුන් දෙවන පන්තියේ පුරවැසියන් සේ සැලකිය යුතු බවද? හෙට දිනයේදී ප්‍රභල සිංහල ජාතිකවාදියෙකු සිංහලය පිළිබඳව මේ ප්‍රවාදයම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළහොත්, එහි අදහස දෙමළ බස කතාකරන්නවුන් සුලු කොට තැකීමද? මෙහිදී පෙනී යා යුත්තේ ජනවර්ගය, ආගම, බස හෝ අතීතය පිළිබඳ පදනම් විරහිත ආවර්ජනාවලින් එක් කන්ඩායමකට සුවිශේෂී ස්ථානයක් දීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ රට සංවර්ධනය කිරීම නොව, එය විනාශයේ ප්‍රපාතයට ඇද දැමීමට පදනම සැලසීම බවයි. අප සියළු දෙනාගේම ජනවාර්ගික, කලාපීය, භාෂා වැනි ආත්මීය පදනම් මත සුවිශේෂ ඉතිහාසයන් හා මිත්‍යාවන් ඇති බව සාමාන්‍ය දෙයකි. එනමුත්, ජාතික දේශපාලනයේ දී සිදුවිය යුත්තේ මේ සියළු රටවැසියන් ද සමගින් පොදු අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ඉදිරියට යා හැක්කේ කෙසේදැයි සොයා බැලීම මිස, ඉතිහාසමය සිද්ධිවල හෝ ඉතිහාස විරෝධී මිත්‍යාවන්හි ගැලී, ඒ අනාගතය අදුරු කරගැනීම නොවේ.

මේ යථාව අපගේ දේශපාලන නායකයින්ට පෙනේ ද නැත්ද යන්න අනාගතය විසින් අපට කියා දෙනු ඇත. එනමුත් එය ඔවුන්ට ඉගැන්වීම බුද්ධිමත් රටවැසියන්ගේ යුතුකමකි. මක් නිසාද යත්, එවැන්නක් විග්නේශ්වරන් වැන්නවුන්ගේ මුග්ද ‘ඉතිහාස’ පාඩම්වලට කළ නොහැකි නිසාය.

(මේ ලිපිය මුලින්ම පළවූයේ 2020 සැප්තැම්බර් 4 වන සිකුරාදා ‘අනිද්දා’ පුවත්පතේය)

Total
7
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සරසවි තුළ සිදුවෙන සරසවි දඩය​ම

~ සසංක පෙරේරා,දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ද​මා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය උපාධිය අවසන් කිරීම සඳහා ඔහුට ලබාදී තිබුණු වසර අටක කාලය තුළ එය අවසන් නොකිරීම ය. කෙසේ නමුත්, එය අවසන් කර පසුගිය වසර හයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ සේවය ස්ථිර කර ඇති අතර, නොයෙකුත් උසස්වීම් සහ තානාන්තර ද ඔහු වෙත ලබා දී ඇත. මෙවන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘රත්තරන්’ හෙලේනා මාලදිවයිනට යැවීම සහ විදේශ සේවා විගඩම

~ සසංක පෙ​රේ​රා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාල​ය පාස​ල් යන සමයේ සිට මා රෝහණ බැද්දගේ පිළිබඳව දැන සිටියේ සිංහල ජනප්‍රිය සංගීතයට අතිශයින් සිත්ගන්නාසුළු, අතැමුන් ‘ග්‍රාමීය’ යැයි අරුත්ගැන්වූ, ගායනා හා සංගීත ආරක් එක්කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු ලෙසිනි. ‘මගේ රත්තරන් හෙලේනා’ යන ගීතය අදත්  මා හද රැඳී තිබෙන්නේ ඔහු ගැයූ වඩාත් රසවත් ගීතයක් ලෙසිනි. කෙසේ වුව ද, ඔහු ජනාධිපතිවරයා විසින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බැව් සන්නිවේදන මාධ්‍ය වාර්තාකරන විට මා පුදුමයට පත්වූයේ, තමන් ප්‍රගුණකර ඇති…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

“හිටලර් සරණං ගච්චාමි”

~ සසංක පෙරේරා දිලුම් අමුණුගම යන දේශපාලන නායකයා මෙරට ජනාධිපතිවරයා ගෝලීය යුද අපරාධකරුවෙක් වන ඇඩොල්ෆ් හිට්ලර් මෙන් විය යුතු යැයි මෑතකදී ප්‍රසිද්ධියේ පවසා තිබුණි. එය ඔහු ඉදිරිපත්කර තිබුනේ හුදෙක් ඔහුගේ අදහසක් පමණක් වශයෙන් නොව, සමස්ථ මහජනතාව ද වෙනුවෙනි. වඩාත් පැහැදිලිව ඔහු පවසා තිබුනේ, මහජනතාව විසින් ජනාධිපතිවරයාව තම ඡන්දයෙන් පත්කරගත්තේ ඒකාධිපතියෙකු සේ වැඩකිරීමට බවත්, අවශ්‍ය  වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට නොහැකි වුව හොත්, ඔහු හිට්ලර් කෙනෙකු වියයුතු බවත්ය. මේ අදහස් දෙකම අතිශයින් ගැටලුකාරී බව පැහැදිලිවිය යුතුය. මා…
වැඩි විස්තර පරිශීලනයට