විද්‍යාව, විශ්වාස සහ රාජ්‍ය ප්‍රතිපත්ති: කතිකාමය විසංයෝජනයක් සඳහා අත්‍යවශ්‍ය ව්‍යායාමයක් කරා?

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය
පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය

වර්තමානයේදී විද්‍යාව, විශ්වාස සහ රාජ්‍ය ප්‍රතිපත්ති හෝ රජයේ ක්‍රියාමාර්ග යන කතිකාමය අඩවි ත්‍රිත්වය කුතුහලය දනවන, එනමුත් ඇතැම් විට භයානක ලෙසකින් ද පැටලී තිබෙන බව පෙනේ.1 2015 දී රජය විසින් ග්ලයිෆොසේට් යන රසායනය හදිසියේ තහනම් කිරීම මෙවන් කතිකාවන්ගෙන් එකකි. තවෙකක් වන්නේ, මිථ්‍යාමතික රජ කෙනෙකු වන වන රාවණා රජතුමාගේ ඊනියා ගුවන් බලය පිළිබඳ සම්මන්ත්‍රණයකට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමයි. මෙවැනි කතිකාවන්ගෙන් වඩාත් මෑතකාලීන කතිකාව නම්, දැනට සමාජයේ ප්‍රචලිතව පවතින ‘ධම්මික පැණිය’ වටා ගෙතී ඇති ආඛ්‍යානයන්ය. මේවා හුදෙක් සමාජ ජීවිතය, දේශපාලනය සහ වාණිජ කටයුතු කෙරෙහි විවිධාකාර බලපෑම් ඇති කරන මෙවැනි සංසිද්ධි මාලාවක වඩාත් ප්‍රකට සංසිද්ධි තුනක් පමණි. මේ සෑම සංසිද්ධියක් සමගම ඒවාටම ආවේනික නොයෙකුත් අනු-සිද්ධි මලා සහ උප ආඛ්‍යාන ද ඇති බව පෙනේ. කෙසේ වෙතත්, එකිනෙකට ව්‍යුහාත්මකව සම්බන්ධ මෙවන් සංසිද්ධි සමාජය තුළ පුළුල් ලෙස මතුවීමේ තත්ත්වය අප විසින් බැරෑරුම් ලෙස ගවේෂණය කර නොමැත.  ඒවා පිලිබඳ සැලකිල්ලෙන් සිතා බලා, එම සංසිද්ධි මේ කාලයේදීම මතුවීමට බලපාන හේතු සහ ඒවායෙන් සිදුවන මහත් වූ ප්‍රතිවිපාක කුමක් වියහැකිද යන්න අප, අපගෙන්ම ප්‍රශ්නකරගෙන නොමැත. එහි ප්‍රතිපලයක් ලෙස, මෙම සංසිද්ධි සම්බන්ධයෙන් ජනප්‍රිය ප්‍රලාප ඉක්මවා යන විශ්වසනීය සමාජ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තවමත් අප සතුව නැත. එමෙන්ම, ඇතැම් විට මෙම සංසිද්ධි භයානක විය හැකි බව ද අපට පෙනේ. මන්ද යත්, ඒවායින් බොහෝමයක් අප සාමාන්‍ය දැනුම ලෙස සලකන තත්ත්වයන් ද  නොසලකා හරින අතර, ඒ ඔස්සේ සාමූහික ව්‍යාකූලත්වය සහ ගැටළුකාරී  රාජ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සම්පාදනයට මඟ පාදන නිසාය. මෙම ගමනේදී, ප්‍රත්පත්ති සම්පාදකයින් හා දේශපාලන නායකයින් සැනෙකින් හා ඉතා නොසැලකිල්ලෙන් ඉවත දමන ඥාන අවකාශයක් වන්නේ ‘විද්‍යාව’ යි.

මට නම්, මේ සියල්ලම පෙනෙන්නේ විද්‍යාව, විශ්වාස සහ රාජ්‍ය ප්‍රතිපත්ති අතර ගොඩනැගී ඇති පරස්පර විරෝධී පැටලැවිල්ලක් ලෙසිනි. එනමුත්, පරමාදර්ශීයව නම්, එවැනි පරස්පර විරෝධී පැටලීම් සිදු නොවිය යුතුය.  මෙහිදී ‘විද්‍යාව’ යන්නෙන් මා අදහස් කරන්නේ, හුදෙක් බටහිරින් ප්‍රභවය ලැබූ, වර්තමානයේදී අප රට ද ඇතුළුව ගෝලීයව ආධිපත්‍යය ගොඩනගා ගෙන ඇති අතිමහත් පශ්චාත්-පුනරුද දැනුම් පද්ධති පමණක් නොවේ. මා විද්‍යාව යන්න අර්ථ දක්වන්නේ, “භෞතික ලෝකය ගැන සැලකිලිමත් වන” සහ විධිමත් “නිරීක්ෂණ සහ ක්‍රමානුකූල අත්හදාබැලීම්”2 ඔස්සේ මේ ලෝකයෙන් මතුවන සංසිද්ධීන් පිළබඳව ගවේෂණය කරන විධිමත් කතිකාවකටය. වෙනත් වචන වලින් කිවහොත්, විද්‍යාව යනු “සාමාන්‍ය සත්‍යයන්”මෙන්ම “මූලික නීති ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි”3 සොයා බැලීම මගින් දැනුම ගවේෂණය කිරීමය.  මේ අර්ථයෙන් ගත් කල, ආයුර්වේදය, උනානි, වර්තමාන ඉංජිනේරු විද්‍යාව, බටහිරින් පැමිණි ඇලෝපති වෛද්‍ය විද්‍යාව හෝ වෙනත් ඕනෑම විධිමත් දැනුම් පද්ධතියක් මූලික වශයෙන් විද්‍යාව පිළිබඳ කතිකා වේ. එනමුත් ඒවායේ මූලධර්මවල පදනම තත්කාලීනව වඩාත් ප්‍රබල පශ්චාත්-යුරෝපීය පුනරුද විද්‍යාවන්ගේ සිට ඊට වඩා බෙහෙවින් පැරණි දැනුම් ක්‍රම දක්වා පරාසයක විහිදී ඇත.

මෙලෙසින්ම, ‘විශ්වාසය’ යන්නෙන් මා අදහස් කරන්නේ හුදෙක් ආගම හා සම්ප්‍රදාය තුළ මුල් බැසගත් ඇදහිලි හා භක්තිය පිළිබඳ කාරණා පමණක් නොවේ. තත්කාලීනව, ජනමාධ්‍ය හරහා පුන පුනා විසරණය වන නොයෙකුත් අදහස් ද සමකාලීන සන්දර්භ තුළ විකසිත වන විශ්වාසයන් ය. ඒවා සත්‍යය හා විද්‍යාව මත පදනම් වී තිබේ ද එසේ නොමැති ද යන්න  අවශේෂ කරුණකි.  බොහෝ විට, මෙසේ විසරණය වන අදහස් හා විශ්වාස සමකාලීන ගැටළු සහ දේශපාලනය ආමන්ත්‍රණය කළත්, ඒවා අතීතය පිළිබඳ ජනප්‍රිය ප්‍රලාපවල  හා සම්ප්‍රදායන්ගේ ආරක්ෂාව  සහිතව    නොයෙකුත් ආකාරයේ තත්කාලීන අනන්‍යතා දේශපාලන ව්‍යාපෘති වෙත යොමුවී තිබිය හැක. ව්‍යාජ ප්‍රවෘත්ති (fake news) විසරණය සඳහා ඇති තත්කාලීන ප්‍රවණතා සහ ඒවාට විධිමත් ප්‍රති-මැදිහත්වීම් බොහෝ විට නොලැබෙන තත්ත්වයක් තුළ මෙවන් අදහස් පහසුවෙන් පිළිගැනීමේ දැඩි විභවයක් සමාජය තුළ ගොඩනැගී ඇත. මෙනිසා, ඒවායේ විශ්වසනීයත්වය කෙසේ වුවත්,  මේ අදහස්වල සමාජීය බලපෑම බෙහෙවින් වැදගත් ය.

මේ අර්ථයෙන් ම බලන කළ, ‘රාජ්‍ය ප්‍රතිපත්ති’ සහ එවැනි ප්‍රතිපත්ති හා සම්බන්ධිත ක්‍රියාවන් විධිමත් නීතිමය මූලධර්ම හා ආනුභවික කරුණු මත පදනම් වනු ඇතැයි යන්න සාමාන්‍ය අපේක්ෂාවයි. මේවා හුදු විශ්වාස හෝ  පරීක්ෂාවට ලක්නොකළ  උපකල්පන සමඟ කිසිදු සම්බන්ධතාවක් නොතිබිය යුතු අතර, රටේ ජනතාවට සුපැහිදිලි ප්‍රතිලාභ ලබාදිය යුතුය.

සාමාන්‍යයෙන්, විද්‍යාව, විශ්වාස සහ රාජ්‍ය ප්‍රතිපත්ති යනු ඒවාටම ආවේනික වූ  ඥාණ ගවේෂණ ක්‍රමවේද සහ අරමුණු සහිත ස්වාධීන කතිකාවන්ය යන්න මාගේ විශ්වාසයයි.  එහෙත් විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති අතර සමීප හා අත්‍යාවශ්‍ය අන්තර්ක්‍රියා නිරතුරුවම සිදුවනු ඇත. තවත් විටෙක, අපට වර්තමානයේදී දැකගත හැකි  පරිදි, මෙම ඇසුර හුදෙක් විශ්වාස හා රාජ්‍ය ප්‍රතිපත්ති අතර සිදුවිය හැකි අතර, එවන් අවස්ථාවලදී විද්‍යාව හා විධිමත් ඥානය යන කතිකා බොහෝ විට වියැකී යන බව ද දැකිය හැක.

අද දින මාගේ අභිප්‍රාය වන්නේ, ව්‍යුහාත්මකව බෙහෙවින් සමාන, එනමුත් සන්දර්භයානුකූලව එකිනෙකට බොහෝ ලෙස වෙනස් වූ මේ ආකාරයේ මෑත කාලීන සංසිද්ධි තුනක් ඒවාට අදාළ පුළුල් සන්දර්භය තුළ ස්ථානගත කිරීමයි. මාගේ විශ්වාසය නම්, මේ  සංසිද්ධි පිළබඳව විමසා බැලීමේදී ඒවා ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ දේශපාලනයේ පදනම යම් තාක් දුරට පැහැදිලිවනු ඇති බවයි. අද දින මට පැවසීමට ඇත්තේ හුදෙක් මේ පිළිබඳ මූලික සිතුවිලි එකතුවක් පමණක් වන අතර, ඒ පිළිබඳව තවදුරටත් ඉදිරියේදී සිතා බලා න්‍යායගත කිරීමට මම කැමැත්තෙමි.

සංසිද්ධි අංක 1: ග්ලයිෆොසේට් තහනම

වල් පැලෑටි නාශකයක් වන ග්ලයිෆොසේට් (glyphosate) භාවිතය 2015 දී ජනාධිපතිවරයාගේ නියෝගයකින් තහනම් කරන ලදී. එම වර්ෂයේම ප්‍රකාශයට පත් කරන ලද ලිපියක ජයසුමන, ගුණතිලක සහ සිරිබද්දන සඳහන් කළේ, වකුගඩු රෝගයට ගොදුරු වී ඇති ප්‍රදේශවල ජනතාව බර ලෝහ (heavy metals) හා ග්ලයිෆොසේට්වලට නිරාවරණය වී ඇති බවයි.4 මේ පිළබඳ විශේෂඥයෙකු නොවන අයෙකු ලෙස මට පෙනෙන පරිදි, ඉහත දක්වා ඇති ලිපියේ ඇති  ඔවුන්ගේ නිගමනය ඉතාමත් අසම්පූර්ණ විය. එහි මූලික තර්කය වූයේ පහත සදහන් අදහසයි:   “අපට වකුගඩු රෝග සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයක් ලෙස එක් නෙෆ්‍රොටොක්සින් වර්ගයක් (nephrotoxins: වකුගඩු රෝගවලට බලපෑම් කරන විෂක්) හදුනාගත නොහැකි වුව ද, බර ලෝහ වර්ග සහ ග්ලයිෆොසේට් අනේකවිධ රෝග කාරක ලෙස ක්‍රියාත්මක විය හැක.”5 මේ නිරීක්ෂණය මට පෙනෙනුයේ හුදෙක් විද්‍යාවේ ශබ්දය රැගත් ඝෝෂාවක් ලෙස පමණි. ඊට හේතුව, එමගින් පැහැදිලි විද්‍යාත්මක නිගමනයක් ලබා නොදෙන නිසාය. එනමුත් මෙය ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් ඒ කාලයේ සමාජගත වූ  ප්‍රසිද්ධ ප්‍රකාශ කිහිපයෙන් එකකි.

මෙම තහනම හදිසියේම ක්‍රියාත්මක වූ අතර, එය ක්‍රියාත්මක කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගේ දැඩි බලපෑම් මත ය. මෙම රසායනික දියරය උතුරු මැද හා ඌව පළාත්වල නිදන්ගත වකුගඩු රෝගයට හේතු වූ බව ඔහු සිය ආධාරකරුවන් සමඟ තර්ක කළේය. එහෙත් මෙහිදී අපට වඩාත් පැහැදිලි වන කාරණය නම්, ඔහු හෝ ජනාධිපති කාර්යාලය විසින් තහනමේ පදනම ලෙස විශ්වාසදායක සහ නිශ්චිත විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවයි. මෙම සමස්ත ක්‍රියාවලියේදී පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය; පොහොර ලේකම් කාර්යාලය; වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ තේ පර්යේෂණ ආයතනය වැනි රාජ්‍ය ආයතනවලින් නිසියාකාරව කරුණු විමසා ඇති බවක් නොපෙනේ. එනමුත් මේ ආයතන සියල්ලටම මෙම කරුණ පිළබඳව හා මෙම තීරණයට පැමිණීමේදී බෙහෙවින් කේන්ද්‍රීය හා විධිමත් තොරතුරු ඉදිරිපත් කළ හැකිව තිබුණි. මෙහිදී අපට පෙනෙන්නේ, ‘රසායනික ද්‍රව්‍ය නරකයි’ යන ජනප්‍රිය මතය තුළ මෙම තහනමේ මූලාරම්භය හා ජවය සොයා ගත හැකි බවයි.

රටේ ඇතැම් ප්‍රදේශවල වකුගඩු රෝගයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රවණතාවයක් පවතින බව සත්‍යයක් වන අතර, ඊට හේතු සොයා බැලීම සඳහා වඩාත් තීව්‍ර හා ප්‍රවේසම්කාරී අධ්‍යයන කළ යුතුය. පුද්ගලිකව, මම කෘෂිකර්මාන්තය ඇතුළු ඕනෑම කටයුත්තකට අධික ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට අනුබල දෙන්නේ නැත. එනිසාම, හැකි තාක් දුරට, මෙම සාංකාවට පිළියමක් ලෙස මගේ පෞද්ගලික ජීවන රටාවේ නොයෙකුත් වෙනස්කම් මම  සිදු කර ඇත්තෙමි. එහෙත් එවැනි පෞද්ගලික, චිත්තවේගීය හෝ ජනප්‍රිය සාංකාවන් රාජ්‍ය මට්ටමේ තීරණ ගැනීමේ අඩිතාලම විය නොහැක. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ, වාණිජ කෘෂිකර්මාන්තය සහ කුසගින්න තුරන් කිරීම යන අරමුණු වෙත රජය මෙන්ම ජනතාව දායක වන්නේ නම්ය.

මෙම හදිසි තහනමේ ප්‍රතිවිපාක මූල්‍යමය වශයෙන් සැලකිය යුතු මට්ටමක පවතී. එමඟින් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට හේතු වූ අතර, වාණිජ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට — විශේෂයෙන් තේ අංශයට —  වාර්ෂිකව රුපියල් බිලියන 10-20ක් දක්වා පාඩුවක් තහනම පැවති කාලය තුළ සිදුවිය. පසුව තහනම අර්ධ වශයෙන් ඉවත් කළද, ඒ වන විටත්, තහනම සාධාරණීකරණය කළ හැකි විශ්වසනීය හා තීරණාත්මක දත්ත කිසිවක් නොතිබුණි. එබැවින්, තහනම මුළුමනින්ම පදනම් වී ඇත්තේ රසායනික ද්‍රව්‍යවල සෘණාත්මක බලපෑම් පිළිබඳව පවතින ජනප්‍රිය හා බොහෝ දුරට නිවැරදි පොදු විශ්වාසයක් මත වන අතර, පවතින දේශපාලන ප්‍රවණතා සහ විශ්වාස මගින් මෙය අවුළුවාලන්නට සමත් වූ බව ද පැහැදිලිය. මහජනතාවට පොදු විශ්වාස මෙන්ම ජනප්‍රිය කුමන්ත්‍රණ න්‍යායන් වුව ද විස්වාස කිරීමේ අයිතියක් ඇති බව අප සියලුදෙනාටම පිලිගත හැකිය. එනමුත් මෙම අදහස් පුළුල් දේශපාලනය හා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට යොදාගන්නේ නම්, එමගින් අතිශයින් ගැටලුකාරී ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව පැහැදිලිය. මේ සංසිද්ධියෙන් පෙන්වාදෙන්නේ මේ යථාර්ථයයි.

සංසිද්ධි අංක 2: රාජ්‍යය විසින් රාවණා රාජතුමා වැලඳගැනීම

රාවණා රජතුමා සහ ඔහුගේ පියාසර යන්ත්‍රය පිළබඳ කතාව මාගේ පරම්පරාවට අයත්වූවන්ගේ යෞවනයේ දී  නිරතුරුවම මෙන් අසන්නට ලැබුණු සිත්ගන්නාසුලු කතාවක එක් අංගයකි.  එමෙන්ම, මේ මිථ්‍යා කතාව හා සම්බන්ධ ප්‍රාදේශීය ආඛ්‍යාන රටේ ඇතැම් ප්‍රදේශවල  සංසරණය වූ බව ද අප  දැනසිටියෙමු. ඉන්දියාව සහ දකුණු ආසියාවේ අන් ප්‍රදේශ සහ නැගෙනහිරින් බාලි දක්වා වූ අන් ප්‍රදේශවලත් සිදුවූ ආකාරයට රාමායණය  සිංහල සංස්කෘතිය තුළ රංගනයක් ලෙස පැවති බවට  සාක්ෂි නොමැත. එසේ තිබුනේ නම්, රාමායණයයේ ප්‍රධාන අංගයක් වන  රාවණා පිළිබඳ  ආඛ්‍යානය ද සිංහල සංස්කෘතික ප්‍රවාහය තුළ  රංගන ආකෘතියක් ලෙස පවතින්නට ඉඩ තිබුණි. කෙසේ වුවද, මෑත කාලයේ සිට  මේ තත්ත්වය බෙහෙවින් වෙනස් වී ඇති අතර, මෙරට ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් අතර රාවණා පිළබඳ අදහස සීග්‍රයෙන් ජනප්‍රිය වී ඈත. මේ මූලික වශයෙන් සිංහල සමාජය තුළය. මේ සමගම  රාවණා නාමය සහ  ඔහුගේ කතාවේ ඊනියා  ඓතිහාසිකත්වය ද රජය විසින් සත්‍යයක් ලෙස විවෘතව පිළිගෙන ඇත.

2019 වන විට රාවණාගේ කථාව ශ්‍රී ලංකා රජය විසින් සෘජුවම අත්පත් කර ගෙන තිබූ අතර, එය ඉපැරණි ලක්දිව ගුවන් ගමන් පිළිබඳ ඇති සරල හා බොළඳ, එනමුත් මතුපිටින් පෙනෙන පරිදි විද්‍යාත්මක ගෝෂාවක් සහිත කතිකාවකට සම්බන්ධ කරගෙන ඇත. 2019 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මේ තේමාව යටතේ “සිවිල් ගුවන් සේවා විශේෂඥයින්, ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින්, විද්‍යාඥයින් සහ භූ විද්‍යාඥයින් සහභාගී වූ සමුළුවක්”6 කටුනායක දී සංවිධානය කරන ලදී. මෙය රටේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අසල සංවිධානය කිරීම අහඹුවක් නොවේ. එවකට අධිකාරියේ උප සභාපති වූ ශෂී දනතුංග මහතා ඉන්දියානු මාධ්‍ය කරුවන්ට පැවසුවේ, “රාවණා රජ දක්ෂයෙක්. පියාසර කළ පළමු පුද්ගලයා ඔහු විය. ඔහු ගුවන් නියමුවෙකි. මෙය මිථ්‍යාවක් නොවේ; මෙය ඇත්තක්. මේ පිළිබඳ සවිස්තරාත්මක පර්යේෂණයක් කළ යුතුය. ඉදිරි වසර පහ තුළ අපි මෙය ඔප්පු කරන්නෙමු.”7 ඔහු තවදුරටත් සඳහන් කළේ, “රාවණා ලොව සිටි පුරෝගාමී ගුවන් නැවියා බවත්, ගුවන් යානයක් භාවිතයෙන් පියාසර කළ පළමු තැනැත්තා බව ඔප්පු කිරීමට ඔවුන්ට අවිවාදිත කරුණු තිබෙන”8 බවත්ය. සමුළුවේ ප්‍රධාන නිගමනය වූයේ “රාවණා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සිට අද දින ඉන්දියාව වශයෙන් හදුන්වන ප්‍රදේශයට  පියාසර කළේ මීට වසර 5, 000 කට පෙර බවත්, එසේ කර ඔහු නැවත මෙරටට පැමිණි”9 බවත්ය. මේ අතර මේ මිත්‍යා ආඛ්‍යානයේ ප්‍රධානතම සහ වඩාත් බලසම්පන්න කොටස වන රාමා දෙවිදුන්ගේ ගේ බිරිඳ වන සීතා දේවිය රාවණා රජ විසින් පැහැරගෙන යාමේ කතාව හුදෙක් “ඉන්දියානු අනුවාදයක්”10 බව සම්මන්ත්‍රණයට සහභාගී වූ බොහෝ දෙනාගේ මතය විය. මීට හේතුව ලෙස දැක්වූයේ “රාවණා උතුම් රජෙකු වූ නිසා ඔහු එවැන්නක් කවදාවත් නොකරනු ඇත”11 යන්නය.

මෙහිදී වඩාත් කුතුහලය දනවන කරුණ නම්, මේ මිථ්‍යා කතා එකතුවේ එක් කොටසක් සත්‍යයක් බවටත්,  අන් කොටසක් හුදු ප්‍රබන්ධයක් බවටත්  පත්වීමය. එනම්, රාවණා පිළබඳ මෙරට විසරණය වන කතා සත්‍යයක් ලෙසත් සීතා දේවිය පැහැරගැනීම පිළබඳ කතාව අසත්‍යයක් ලෙසත් පිළිගැනීමය. මේ නිගමනයට එකම පදනම වූයේ හුදෙක් චිතවේගීය හා ජාතිකවාදී රුචිකත්වය පමණි.  මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ වී ඇති අදහස් හුදෙක් පුද්ගලයන්ගේ පෞද්ගලික ප්‍රකාශයන් නොවේ. විශේෂයෙන් සිවිල් ගුවන් සේවා උප සභාපතිවරයා මේ පිළිබඳව ප්‍රසිදිධියේ අදහස් දක්වා ඇත්තේ, කේන්ද්‍රීය රාජ්‍ය ආයතනයක නියෝජිතයෙකු ලෙස ය. එසේම, සමුළුවේ පොදු නිගමන සහ රාවණා කතාව ඓතිහාසික සත්‍යයක් ලෙස පිළිගැනීම විධිමත් ඉතිහාසකරණය හෝ  පුරාවිද්‍යාව මගින් සනාත කළ නොහැකි අදහස්ය.

2020 වන විට එම රාජ්‍ය ආයතනය විසින් ම රාවණා රජතුමාගේ පියාසර කිරීම පිළබඳ කතිකා සහ ඔහුගේ ඊනියා “ගුවන් ගමන් මාර්ග”12 පිළිබඳ සාක්ෂි සොයමින් පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කර, මෙම මිත්‍යා කතාවලට යම් ආකාරයේ විද්‍යාත්මක හැඟීමක් ඇතුළත් කිරීමට උත්සාහ ගත්තේය.  මේ පර්යේෂණ ව්‍යාපෘතියේ තේමාව වූයේ, “රාවණා රජු සහ දැන් අහිමි වී ඇති පුරාණ ගුවන් මාර්ගවල ආධිපත්‍යය”13 යන්නය. මේ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කළේ, තමන් සතුව මේ පිළබඳ ඇති සාක්ෂි අධිකාරිය වෙත එවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමිනි. මෙම රාජ්‍ය අනුග්‍රහය ලත් ව්‍යාපෘතියේ ඊනියා විද්‍යාත්මක අරමුණ සහ ඒ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ කේන්ද්‍රීය මැදිහත්වීමට හේතුව පහත දැක්වෙන පරිදි පැහැදිලි කරන ලදී:

  1. සිවිල් ගුවන් සේවා අධිකාරිය “ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් නියාමන අධිකාරිය”14 වූ නිසා, මෙවන් ව්‍යාපෘතියක් සංවිධානය කිරීමේ වගකීම එමගින් බාරගැනීම  තාර්කික කරුණකි.
  2. පසුගිය වසර ගණනාවක් පුරා “රාවණා ගුවන් යානා භාවිත කරමින් පියාසර කිරීම සහ මෙම ගුවන් මාර්ග මොනවාද පිළිබඳ විවිධ කථාන්තර  ඇති හෙයින්” “මේ කාරණය අධ්‍යයනය කිරීමේ”15 අවශ්‍යතාවක් තිබුණි.

මෙම සංසිද්ධිය සම්බන්ධයෙන් මතුපිටින් පෙනෙන ආකාරයට යම් ‘තාර්කික’ හා ‘විද්‍යාත්මක’ ප්‍රලාප ගැබ්වී ඇති බවක් පෙනෙන්නට තිබුණද, මේ සමස්ත ව්‍යායාමයම යොමු වී තිබෙනුයේ හුදෙක් මිථ්‍යාව සත්‍යයක් ලෙස සැලකීමට පමණි. එමන්ම, මේ ව්‍යයාමයට පූර්ණ හා සෘජු  රාජ්‍යය අනුග්‍රහය ලැබුණු බව ද පැහැදිලිය.

සංසිද්ධි අංක 3: ධම්මික පැණියේ ආගමනය

දැන් අප පැමිණ සිටින්නේ, ජනප්‍රිය කතිකාව තුළ ‘ධම්මික පැණිය’ ලෙස හැදින්වෙන සංසිද්ධිය හා කතිකාමය අඩවිය වෙතය.  එහි නිර්මාතෘවරයා වන ධම්මික බණ්ඩාර මහතා විසින් වඩාත් විධිමත්ව පැණිය නම්කර ඇත්තේ, ‘ශ්‍රී වීර භද්‍රධම්ම කොරෝනා නිවාරණ ප්‍රතිශක්ති ජීව පානය’ ලෙසය. එහි ප්‍රධාන ප්‍රවාදය වන්නේ, එමගින් කොරෝනා රෝගීත්වය වලක්වන බවය. බණ්ඩාර මහතා පවසන පරිදි, පැණිය පදනම් වී ඇති බෙහෙත් වට්ටෝරුව ඔහුට ලබාදෙන ලද්දේ කාලි දේවතාවිය විසින් සිහිනයක් ඔස්සේය.  මා සිතන පරිදි මේ පැණියේ ප්‍රභව කතාව ආයුර්වේදයේ සහ සිංහල වෛද්‍ය විද්‍යාවේ දැනුම පිළිබඳ සැකසී ඇති වඩාත් විධිමත් කතිකාවන්ට වඩා බෙහෙවින් වෙනස් වන තීරණාත්මක අවස්ථාවකි.

බණ්ඩාර මහතාගේ ප්‍රසිද්ධ කියාපෑම් සහ ඊට ලැබී ඇති ප්‍රබල  ජාතික සහාය ලැබී ඇත්තේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ අතීත විශිෂ්ටත්වය, පුරාණ දැනුමේ බලය සහ සංස්කෘතික හා දේශපාලන ජාතිකවාදයේ ඉතා ඝෝෂාකාරී ප්‍රලාපවලින් ආරක්ෂා වූ කතිකාමය සහ මතවාදීමය කලාපයක් තුළය. නමුත් මෙහිදී ඇතැම් දේ අප  පැහැදිලිව තේරුම් ගත යුතුය. සිංහල සංස්කෘතියේ ඇදහිලි, භක්තිය හා විස්වාස පිළබඳ ව්‍යුහ තුළ වුව ද මේ පැණියේ පුරෝගාමියා ලෙස දැක්වෙන කාලී දෙවඟන රෝග සුවකිරීම හා සම්බන්ධ විශ්වාස සමග සමීපව බැඳී නැත. ඇය දැක්වෙන්නේ, බෙහෙවින් බලවත්,  එනමුත් විනාශය පවා ළඟාකර දිය හැකි  දේවතාවියක් ලෙසය.  රෝග සුව කිරීම පිළබඳ විශ්වාස සමග වඩාත් සමීපව හා සාමාන්‍යයෙන් සම්බන්ධ වන්නේ පත්තිනි දේවතාවියයි. මෙනිසා සාම්ප්‍රදායික සිංහල භක්තිය හා විශ්වාස පිළිබඳ සන්දර්භය තුළ පවා මෙම පැණියේ ප්‍රභවය කාලි දෙවඟන සමග සමපාත කිරීම සංස්කෘතික වශයෙන් ද ගැටලුකාරී වන බව  පෙනේ. දෙවනුව, ආයුර්වේදය සහ සිංහල වෛද්‍ය විද්‍යාව යන ඥාන ක්ෂේත්‍ර භක්තිය හා චාරිත්‍ර වාරිත්‍ර සමඟ සම්බන්ධකම් තිබුණද, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මේ ක්ෂේත්‍රවල විධිමත් කතිකාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් පදනම් වී ඇත්තේ නිරන්තර අත්හදා බැලීම්, පුනරාවර්තන භාවිතය සහ ඒ මත පදනම් වූ සූක්ෂ්මකරණය සහ විධිමත් ලෙස රචනා කර ඇති වට්ටෝරු හෝ පරම්පරා ගණනාවක් පුරා කට වචනයෙන් භාරදී ඇති දැනුම මත ය. මගේ මවගේ පියා ආයුර්වේද වෙදමහතෙකු සහ ගුරුවරයෙකු ලෙස රසායන සහ වාජිකරණ යන කෘතිය ලියුවේ තම ක්ෂේත්‍රයේ එතෙක් තිබුන නිශ්චිත දැනුමට තම භාවිත  ඔස්සේ ප්‍රගුණ කළ දැනුම එක්කිරීම සඳහාය. එමෙන්ම ඔහු විසින් අවිනිශ්චිත ඖෂධ යන කෘතිය ලියුවේ බෙහෙත් පැලෑටි පිළිබඳ එතෙක් පැවති යම් අවිනිශ්චිතතා ආමන්ත්‍රණය කිරීම සඳහාය. ප්‍රථම කෘතිය ස්ථාපිත දැනුම සිය භාවිතය ඔස්සේ වඩාත් සුක්ෂ්ම කිරීමේ උත්සාහයක් වූ අතර දෙවැන්න අවිනිශ්චිත දැනුමට යම් උපකල්පන හා භාවිතවලින් ලැබූ අත්දැකීම් ඔස්සේ එක්කරනු  ලැබූ මැදිහත්වීමක් විය. මේ උදාහරණ දෙකම ආයූර්වේදයේ මෑතකාලීන විද්‍යාත්මක කතිකාවේ ස්වභාවය පෙනුම් කරයි. 

මීට සාපේක්ෂව, බණ්ඩාර  මහතා විධිමත් පුහුණුවක් හෝ පාරම්පරික දැනුමක් සහිත දේශීය වෛද්‍යවරයකු නොව, තම ප්‍රදේශයේ කුඩා කාලි කෝවිලක් පවත්වාගෙන යන වෘත්තීය පෙදරේරුවෙකි. කෙසේ වෙතත්, කොරෝනා රෝගයට ප්‍රතිකාරයක් සොයා ගත්තාය යන ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශයට රජයට සහාය දක්වන මාධ්‍ය ආයතන හරහා විශාල ප්‍රචාරයක් ලැබුණු අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා ද ඇතුළු ප්‍රාදේශීය හා ජාතික දේශපාලන නායකයින්ගෙන් අතිවිශාල ප්‍රසිද්ධියක් ලැබුණි. මේ දේශපාලන නායකයින් සහ ඔවුන්ගේ සගයන් බොහෝ දෙනෙක් මේ පැණිය ප්‍රසිදිධියේ පානය කළ බව ද අප මතක තබා ගත යුතුය. එනමුත් මෙය මීට පෙර විස්තර කළ සංසිද්ධි දෙකෙහි මෙන් විධිමත් හා නිල රාජ්‍ය අනුග්‍රහයක් ලැබීමක් නොවේ. එහෙත් ගැටලුකාරී ප්‍රකාශ මත පදනම් වූ හා විධිමත් ලෙස පරීක්ෂාවට ලක් නොකළ ඖෂධයක් රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් ප්‍රසිද්ධියේ පානය කරමින් රඟදක්වන ලද විවෘත පිළිගැනීම සහ සහයෝගය මගින් සිදුවූයේ සහ සිදුවන්නේ ඒ පිළිබඳ අනවශ්‍ය හා වගකීම් විරහිත මහජන විශ්වාසයක් ගොඩනැගීමයි. මෙම ඊනියා ප්‍රාතිහාර්යමය ඖෂධය සොයමින් විශාල පිරිසක් කෑගල්ලේ පිහිටි බණ්ඩාර මහතාගේ නිවසට රොක්වීම සිදුවූයේ ඉහතින් සඳහන් කළ මෙම දේශපාලන රංගනයේ ප්‍රතිඵලයක් ලෙසිනි.  

මේ අර්ථදැක්වීම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව හෙළා දැකීමක් නොවේ. 1950 දශකයේ දී රජය විසින් ආයුර්වේද පර්යේෂණ ආයතනය පිහිටුවීමෙන් අදහස් කළේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට පර්යේෂණ හා ඒ මත පදනම් වූ ඥාන පදනමක් ලබා දීම සහ එම දැනුම විද්‍යාව පිළිබඳ විධිමත් අවබෝධයක සමග සම්මුඛ කිරීමය. මෙම බලාපොරොත්තුව සාර්ථක වුයේද නැත්ද යන්න වෙනම සාකච්ඡා කළයුතු කරුණකි. නමුත් ධම්මික පැණියට එවැනි විධිමත් ඥාන ප්‍රභවයක් නොමැත. එය හුදෙක් සිහිනයකින් පැමිණි දෙයක් බව එහි නිර්මාතෘවරයාම පවසා ඈත.  මෙවන් අවිධිමත් ප්‍රභවයක් ඇති ඖෂධයක් දේශපාලන නායකයින් විසින් හුදු ප්‍රසිද්ධ රඟදැක්වීම් ඔස්සේ මහජන ප්‍රසාදයක් ගොඩනැගීමේ කාර්යය සඳහා පදනමක් නොවිය යුතුය. මේ පැණිය හා එහි ප්‍රභවය පිළබඳ මතු වූ විවේචන ප්‍රසිද්ධ අවකාශය තුළ ප්‍රතික්ෂේප කර ඇත්තේ, ඒවා ජාතික විරෝධී  සහ සාම්ප්‍රදායික සංස්කෘතියට ගරු නොකිරීමේ ක්‍රියා ලෙස හුවාදක්වමිනි. මේ පැණියේ ඊනියා ගුණදායකබව පිළබඳ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයින් කිහිප දෙනෙකු විසින් සැක සහිත අධ්‍යයනයක් සිදු කර ඇති බව මාධ්‍ය මගින් වාර්තා කර ඇත. එනමුත් මෙම අභ්‍යාසය සඳහා   ලබාගත යුතු ආචාරධර්මීය අවසරය (ethical clearance) තිබේද යන්න මට පැහැදිලි නැත. කෙසේ වෙතත්, මේ වන විට මේ පැණියේ උපයෝගීතාව සොයාබැලීම සඳහා පිළිගත හැකි සායනික අත්හදා බැලීමේ නිර්ණායක හා භාවිත ඔස්සේ සායනික අධ්‍යයනයක් කිරීම සඳහා වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත කමිටුවක් දැන් පත් කර ඇත. එහි ප්‍රතිපල තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

මේ සියල්ලෙන්ම අදහස් කරන්නේ කුමක්ද?

මෙම සංසිද්ධි තුනටම පොදු කරුණු කිහිපයක් අපට දැකගත හැකිය. ඒවා නම්:

  • මේ සියලු කථා හා සංසිද්ධිවලට පදනම සපයා ඇති මූලික සංකල්ප ජනප්‍රිය උපකල්පන සහ පරීක්ෂාවට ලක්නොකළ අදහස් මත පදනම් වේ;
  • මේ සියල්ල සඳහාම සෘජුව හෝ වක්‍රව බලවත් දේශපාලන හා රාජ්‍ය සහයෝගයක් ඇත;
  • මේ සංසිද්ධි සියල්ලේම ප්‍රධාන තර්ක පාලනය කරනු ලබන්නේ විශ්වාසය මගිනි. මේ විශ්වාස භක්තිය මත හෝ නිරතුරුවම මාධ්‍ය ඔස්සේ විසරණය වන අසම්පූර්ණ හෝ අසත්‍ය කරුණු මත පදනම් වී ඇත.
  • මේ සෑම සංසිද්ධියක් සම්බන්ධයෙන්ම විධිමත් අර්ථයෙන් විද්‍යාව ලෙස හැඳින්වෙන ඥාන අවකාශ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් පලවා හැර ඇත. මේ ඥාන අවකාශ ඇලොපති ක්‍රමය මත පදනම් වූ තත්කාලීන බටහිර වෛද්‍ය විද්‍යාව, ආයුර්වේදය වැනි සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම,  ස්වාභාවික විද්‍යා, පුරාවිද්‍යාව හා ඉතිහාසයකරණය  ආදිය ලෙස අපට තේරුම් ගත හැක. එහෙත් එවැනි ඥාන ක්ෂේත්‍රවල දැනුම විධිමත් ලෙස ලබා ගත්තේ නම්, එමගින් මේ අස්ථාවර කතිකාවන්ට වඩාත් සංවේදී ලෙස බලපෑම් කළ හැකිව තිබුණි.

එපමණක් නොව, මෙම කතිකාවන්ගේ බලය වර්ධනය වීම සහ ඒවා මහජන අවකාශයට පැමිණීම සම්බන්ධයෙන් තවත් එක ප්‍රබල සාධකයක් බලපෑවේය. එනම්, මෙම සන්දර්භ සමඟ සෘජුවම සම්බන්ධ වී ඇති රාජ්‍ය සේවාවන්ට විධිමත් ලෙස එක්රැස් කරන ලද දත්ත සහ විද්‍යාත්මක නිගමන මගින් අවශ්‍ය ලෙස රටට මඟ පෙන්වීමට නොහැකි වීම සහ ඔවුන්ගේ දේශපාලන ස්වාමිවරුන්ට උපදෙස් දීමට ඇති නොහැකියාව සහ දේශපාලනමය පීඩනවලට මුහුණ  දීමේ නොහැකියාව යන්නයි. මේ ආකාරයේ දේශපාලන ඇඟිලිගැසීම් පැහැදිලිවම පදනම් වී ඇත්තේ  විෂය පිළබඳ විශේෂඥයින්ගේ උපදෙස් මත හෝ පැහැදිලි දේශපාලන හෝ විද්‍යාත්මක දැක්මක් මත හෝ නොව, කෙටිකාලීන දේශපාලන න්‍යාය පත්‍ර සඳහා මහජනයා බලමුලු ගැන්වීම සඳහාය. මෙම ප්‍රධාන කොන්දේසිය මගින් සිදු වූයේ, මෙම අස්ථායී ප්‍රකාශයන්ට ජාතික දේශපාලනයේ කොටසක් බවට පත්වීමට හැකියාව ලැබීම සහ ඇතැම් අවස්ථාවල දී රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට හෝ හෝ අවම වශයෙන් රජය විසින් අනුමත කරන ලද ක්‍රියාවන්ට මගපෑදීමයි.

එහෙත් විශේෂයෙන්ම  ධම්මික පැණිය හා රවණා සංසිද්ධි සඳහා ලැබී ඇති දැවැන්ත මහජන සහයෝගය අප පැහැදිලි කරන්නේ කෙසේද? අපේ රටේ මිනිසුන්ට — විශේෂයෙන්ම සිංහල සමාජයේ බොහෝ දෙනෙකුට — මහා පරිමාණ ඓතිහාසික හිමිකම්වල හා මහා ආඛ්‍යානවල කොටස්කරුවන් වීමට දැඩි ආශාවක් ඇති බව මම වසර ගණනාවක් තිස්සේ දුටුවෙමි. නමුත් මේ සම්බන්ධව ප්‍රමාණවත් දත්ත එක්රැස් කිරීමට හෝ සිදුවෙමින් පවතින දේ න්‍යායාත්මකව විස්තර කිරීමට  හෝ මට තවම හැකි වී නැත. නමුත් කෙනෙකුට තාවකාලිකව යම් නිරීක්ෂණ කිහිපයක් කළ හැකිය. රාවණා රජතුමා නැවත සොයා ගැනීම සහ ඔහු පිළබඳ මතකය මිථ්‍යා කතාවල සහ රාමායණ වීර කාව්‍යයේ පිටුවල සිට විධිමත් හා රාජ්‍ය අනුග්‍රහය ලබන ජනප්‍රියවාදී සහ ආනුභවික නොවන ඉතිහාසකරණ කතිකා වෙත ගෙනඒමෙන් සිදුවන්නේ, මේ මිථ්‍යාව විධිමත්ව ඓතිහාසික සාධකයක් ලෙස ස්ථාපනය කිරීමයි. එමගින් පෙන්නුම් කරනුයේ, අතීතය පිළබඳ පවතින ජනප්‍රිය හා බලසම්පන්න කතිකාවක් පාලනය කිරීමට ඇති දැඩි උනන්දුවයි.  පසුගිය දශකය තුළ සිංහලයන් විසින් රාවණා මිත්‍යාව යලි පණගන්වා ඇත්තේ  රාවණා රජ හුදෙක් පූර්ව-ඓතිහාසික ගුවන් නියමුවෙකු වශයෙන් පමණක් නොවේ.  මීට අමතරව, මෙම ජනප්‍රිය කතිකාව තුළ ඔහු ඉංජිනේරුවෙකු, වෛද්‍ය විශේෂඥයෙකු,  නව නිපැයුම්කරුවෙකු, විද්‍යාඥයෙකු හා ශාස්ත්‍රඥයෙකු ද වශයෙන් දැක්වේ. මෙය සිදු කරනු ලබන්නේ, විජයානුගමනයට පෙර පැවති බව කියන අතීතයක  සහ මුළුමනින්ම ශ්‍රී ලාංකේය  යැයි කියනු ලබන ජාතිකවාදී කතිකාවක් තුළය.  එමගින් ගොඩනගන ප්‍රධාන ප්‍රවාදයක් වන්නේ, සාගරයට ඔබ්බෙන් පිහිටි දකුණු ආසියාවේ සෙසු ප්‍රදේශවල පැවති සංස්කෘතික අවකාශයට වඩා මෙරට පැවතුනේ යැයි කියන රාවණා-කේන්ද්‍රීය සංස්කෘතික අවකාශය කෙසේ හෝ උසස් ය යන අදහසයි. මේ තර්ක මාලාව මට පෙනෙන්නේ මානව විද්‍යාඥයින් විසින් සහස්‍රමය  මිථ්‍යා කතා (millenarian myths) ලෙස හඳුන්වන ආඛ්‍යාන ප්‍රවර්ගයට වඩාත් සමීප බවයි. මේ අනුව, රාවණා රජතුමා අපට තේරුම්ගත හැකිවන්නේ අවම වශයෙන් සහස්‍ර වීරයෙකු (millenarian hero) ලෙසය.  පොදුවේ ගත් කළ, සහස්‍රමය  මිථ්‍යා කතා හා විශ්වාස සහ සහස්‍ර වීරයන් කරනු ඇතැයි විශ්වාස කරන්නේ, තම සමාජය විශාල අනතුරකින් ගලවා ගැනීම, සාමූහිකයක ආරක්ෂාව සහතික කිරීම සඳහා නව අදහස් හා තාක්ෂණයන් හඳුන්වාදීම යනාදියයි. එවැනි කථා යම් යුගයක මතුවීමෙන් සාමාන්‍යයෙන් පෙන්නුම් කරන්නේ එකී සමාජ අර්බුදකාරී කාලයක පවතින බවය. තත්කාලීනව විසරණය වන රාවණා කතාව අපට පෙන්නුම් කරන්නේ, දේශපාලනික වශයෙන් අස්ථාවර වර්තමානයක, යම් ලෙසකින් පැහැදිලිවම වැදගත් ස්ථානයක් ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ පුළුල් දේශපාලන ඉතිහාස සන්දර්භය තුළ ප්‍රතිනිර්මාණය කිරීමයි.

ධම්මික පැණියේ ආඛ්‍යානයෙන් ද  මෙම සහස්‍ර ලක්ෂණ කිහිපයක් පෙනේ. ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහා දේශීය පිළියමක් වශයෙන් සිය පැණිය සොයා ගත් බව පවසන ලද්දේ, නැතිවූ ශ්‍රී ලාංකික විද්‍යාත්මක දැනුමක් මත පදනම්ව දේවතාවියක් විසින් සිහිනයකින් ඍජුවම දෙන ලද වරමක් වශයෙනි.  එමෙන්ම මෙය සිදු වූයේ කොරෝනා වෛරසයේ විනාශයෙන් ආරක්ෂා වීමට හා ඔවුන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කරගැනීමට ජනතාව අතිශයින් වෙහෙසුන මොහොතක සහ එය පාලනය කිරීමට රජය දැරූ උත්සාහයේ පාලනය ගිලිහී යමින් තිබූ බවක් පෙනෙන්නට තිබුණ අවස්ථාවකය. මෙහිදී පැණිය විද්‍යමාන වූයේ දිවයිනේ අතීත කීර්තියෙන් ප්‍රභවය ලැබූ එහි අවුල් සහගත වර්තමානයේ ගැටළු නිරාකරණය කිරීමට පැමිණි ආශ්චර්යමත් ඖෂධයක සංකේතයක් ලෙසිනි.

මෙම මූලික සටහන නිම කිරීම සඳහා අවසාන අදහස් කිහිපයක් පමණක් දැක්වීමට මම කැමැත්තෙමි.  ඉහතදී ද කී පරිදි, මට පෙනෙන්නේ, මේ ආකාරයේ කථා මතුවන්නේ අර්බුදකාරී කාලවලදීය. මෙම අර්බුද චිත්තවේගීය, සමාජීය හෝ දේශපාලන අර්බුද විය හැක. මෙය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවන අතර, ව්‍යුහාත්මකව සමාන තත්ත්ව යටතේ ලෝකයේ වෙනත් බොහෝ කලාපවලද දැකිය හැක. ඔබට මැනවින් පෙනෙන පරිදි, මේ සියලු  ආඛ්‍යානවල මූලාරම්භය ඇත්තේ අනුමාන ක්ෂේත්‍රවලය. එවැනි අනුමානකිරීම් විධිමත් හා විද්‍යාත්මක කතිකාවන්හි යෙදවීමට මා විරුද්ධ වන්නේ නැත. අපගේ සියලු විෂය ක්‍ෂේත්‍රවල බොහෝ අගනා අදහස් මුලින්ම  ආරම්භවන්නේ අනුමානයන් වශයෙනි. අප දන්නා පරිදි, විද්‍යාව පිළබඳ දර්ශනය අපට “උපකල්පන, පදනම්, ක්‍රමවේද” සහ “විද්‍යාවේ ඇඟවුම්”16 වල ඇති වැදගත්කම පෙන්වා දී ඇත. විද්‍යාව පිළිබඳ දර්ශනය මගින් අපට තව දුරටත් පෙන්වා දෙන්නේ,  “විද්‍යාව ලෙස සලකන දේ” සහ “විද්‍යාත්මක නොවන්නේ යැයි සිතන දේ” අතර පවතින වෙනස හඳුනා ගැනීමට දරා ඇති උත්සාහයන්ය.17 විද්‍යාත්මක පදනමක් ලබා දෙන තෙක් හෝ විද්‍යාත්මක නොවන ප්‍රලාප වශයෙන් බැහැර කරන තෙක්, පරීක්‍ෂාවට ලක්නොකළ උපකල්පන සාමාන්‍යයෙන් පවතින්නේ ඉහත සඳහන් කළ දෙවන ඥානමය අවකාශය තුළය.

මෙම පොදු සන්දර්භය තුළ, මට පෙනෙන පරිදි, මෙවන් ආඛ්‍යාන මගින් පුද්ගලයින්ට ඉතිහාසය හා අධි-තාත්වික වර්තමානය පිළිබඳ වඩා බලවත් හා බොහෝ විට ජයග්‍රාහී පරිකල්පනයක කොටස්කරුවන් වීමට ඉඩ සලසයි. එනමුත් මෙම විශ්වාස බිම් මට්ටමින් පවතින ජීවමාන යථාව සමග ඇති සබඳතා බෙහෙවින් අල්ප විය හැක. එමෙන්ම,  යම් දුරකට මේ ආඛ්‍යාන දුෂ්කර කාලවලදී ඒවාට මුහුණ දීමේ යාන්ත්‍රණයක් ලෙස ද දැකිය හැක. එහෙත් මේවා පැහැදිලිවම සැබෑ සමාජ-දේශපාලනික හෝ මහජන සෞඛ්‍ය ගැටළු සඳහා පිළියම් නොවේ. එනම්, මේ ආඛ්‍යානවල  මූලික අදහස් හුදු  විශ්වාස සහ උපකල්පන ලෙස  පවතින තාක් කල්, රාජ්‍යයට ඒවා  ප්‍රතිපත්ති සම්පාදනයට හෝ  සමාජ මැදිහත්කාරක යාන්ත්‍රණ වශයෙන් හෝ ප්‍රයෝජනයට ගත නොහැකිය. එසේ නොකළ යුතුය.

අප අද සිටින තත්ත්වයේ සාමූහික අසාර්ථකත්වය වන්නේ, බොහෝ දෙනෙකුට මෙම සාමාන්‍ය දැනුම එලෙසින් තේරුම් ගැනීමට ඇති නොහැකියාව සහ එහි ප්‍රතිපලයක් ලෙස, මෙම කථාවල අභ්‍යන්තර තර්කයන් සමග භයානක ලෙස පැටලී සිටීමයි. එනම්, මෙම ආඛ්‍යානයන්ට භාහිර ආනුභවික පදනමක් නොමැත. භාහිරව ඒවාට කළ හැකි වන්නේ, ඇතැම් විට  අතිශයින් විනාශකාරී  සැබෑ විපත් ජනනය කිරීමයි. එමෙන්ම, ව්‍යාප්තවෙමින් පවතින අර්බුදයන්ගෙන් මහජනයාගේ අවධානය වෙනතකට හැරවීම සඳහා අපගේ දේශපාලන නායකයන් දැනුවත්ව හා සවිඥානිකවම මෙම කථා සහ සංසිද්ධි භාවිත කරන බවත් පෙනේ.

ශ්‍රී ලාංකේය සමාජයීය විද්‍යාවන් විසින් මෙම ආඛ්‍යාන විධිමත්ව එක්රැස්  කිරීමට සහ ඒවාට අදාළ පුළුල් සමාජ හා දේශපාලන සන්දර්භ තුළ මේවා වඩාත් ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීමට මෙන්ම වඩාත් සුපැහැදිලි, ආනුභවික තොරතුරු මත පදනම් වූ න්‍යායාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට තවමත් උත්සාහ ගෙන නොතිබීම අවාසනාවකි.

සටහන්

1. මෙම රචනය ශ්‍රී ලංකා  ජාතික විද්‍යා භවනේ (National Academy of Sciences of Sri Lanka) නව සාමාජිකයන් බඳවාගැනීමේ වාර්ෂික උත්සවයේදී 2021 ජනවාරි 22 දා ඉදිරිපත් කළ ආරාධිත දේශනයේ සිංහල පරිවර්තනයයි.  වේ
2. https://www.britannica.com/science/science
3. https://www.britannica.com/science/science
4. https://pubmed.ncbi.nlm.nih.gov/26162605/
5. https://pubmed.ncbi.nlm.nih.gov/26162605/
6 https://www.news18.com/news/world/ravana-worlds-first-aviator-says-sri-lanka-launches-initiative-to-study-his-voyage-5000-years-ago-2253827.html
7 https://www.news18.com/news/world/ravana-worlds-first-aviator-says-sri-lanka-launches-initiative-to-study-his-voyage-5000-years-ago-2253827.html
8. https://www.news18.com/news/world/ravana-worlds-first-aviator-says-sri-lanka-launches-initiative-to-study-his-voyage-5000-years-ago-2253827.html
9. https://www.news18.com/news/world/ravana-worlds-first-aviator-says-sri-lanka-launches-initiative-to-study-his-voyage-5000-years-ago-2253827.html
10. https://www.news18.com/news/world/ravana-worlds-first-aviator-says-sri-lanka-launches-initiative-to-study-his-voyage-5000-years-ago-2253827.html
11. https://www.news18.com/news/world/ravana-worlds-first-aviator-says-sri-lanka-launches-initiative-to-study-his-voyage-5000-years-ago-2253827.html
12. https://www.thehindu.com/news/international/sri-lanka-to-research-ravanas-aviation-routes/article32142518.ece
13. https://www.thehindu.com/news/international/sri-lanka-to-research-ravanas-aviation-routes/article32142518.ece
14. https://www.thehindu.com/news/international/sri-lanka-to-research-ravanas-aviation-routes/article32142518.ece
15. https://www.thehindu.com/news/international/sri-lanka-to-research-ravanas-aviation-routes/article32142518.ece
16. https://web.stanford.edu/class/symsys130/Philosophy%20of%20science.pdf
17. https://web.stanford.edu/class/symsys130/Philosophy%20of%20science.pdf

Total
7
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විද්‍යාලංකාර පිරිවෙන සහ ශ්‍රී ලංකාවේ යටත්විජිත සිංහල සමාජයෙහි විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය

(මේ ලිපිය 2020 ජනවාරි 08 වන දින කැළණිය විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සර උත්සව දේශන මාලාවේ 1 වැනි දේශනය ලෙස ඉතිහාස අංශයේදී පැවැත් වූ කථාවේ සංශෝධිත පිටපතය. එහි වඩාත් වර්ධිත පිටපතක් ‘පඨිත 2020’ මුද්‍රිත වෙලුමේ පළවීමට නියමිතය) ~ ජයදේව උයන්ගොඩ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හැටවෙනි සංවත්සරය සමරන උත්සව මාලාවට කතාවක් පැවැත්වීම මගින් සහභාගීවීමට මට ලැබුණු ආරාධනය මා පිළිගත්තේ සතුටිනි. එම ආරාධනය කිරීම ගැන ගරු ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්, ඉතිහාස ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුලු නිලධාරී මණ්ඩලයටත්, මෙම උත්සවයේ සංවිධායක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඥාන විභාගාත්මක ඛණ්ඩනීය මොහොතක් පිළිබඳ ආවර්ජනයක්: සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය පිළිබඳ සීමිත පාඨනයක්

~ සසංක පෙරේරාදකුණු ආසියාණු විශ්වවිද්‍යාලය (මේ ලිපිය මුල්වරට පළ වූයේ ජයන්ත අමරසිංහ සංස්කරණය කළ ‘සිරි ගුනසිංහ උපහාර ලිපි’ යන කෘතියේය (ගාල්ල: රුහුණු විශ්වවිද්‍යාලය, 2010). කෘතිය සඳහා ලිපිය සම්පාදනය කිරීමට මාහට ආරාධනය කළ මහාචාර්ය තිස්ස කාරියවසම්ට හා මහාචාර්ය ජයන්ත අමරසිංහට මාගේ ස්තූතිය හිමි වේ) සන්දර්භගත කිරීම සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය හරහා එහි අත්‍යන්ත දේශපාලනය පිළිබඳව කෙරෙන මෙම සීමිත ආවර්ජනීය පාඨනය දියත් වන්නේ ගුනසිංහගේ නිර්මාණ කටයුතු ඇරඹී අඩසිය වසක් ගත වූ පසුවය. තවද මා සාහිත්‍ය විචාරය හෝ භාෂා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා: දෘෂ්ටිවාදය නිරෝධායනයක්!

(කාටුනය: අවන්ත ආටිගල) ~ බූපති නලින් වික්‍රමගේ ස්වාධීන දෘශ්‍ය කලා හා දේශපාලන විචාරක ඕනෑම මිනිස් ක්‍රියාවක් වන්නෙම චින්තනයයි. මිනිස් ක්‍රියාවක නිවැරදිතාවය විමසීම ඉතා තීරණාත්මක වන්නෙ සමස්ත සමාජයම උඩුයටිකුරු කරවනා කොරෝනා වසංගතය වැනි සිදුවීමකදීය. මාක්ස්වාදය තුළ ‘දෘෂ්ටිවාදය’ (ideology) නමින් සිද්ධාන්තයක් සාකච්ඡා වන්නේ අපගේ සිතීම හා ක්‍රියාවේ නිරවද්‍යතාව පිළිබඳව වන මාතෘකාවට අදාලවය. කෙනෙක් හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකටද දෘෂ්ටිවාදය ගැන සාකච්ඡාවක් කියලා ? ඊටත් වඩා හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකද මාක්ස්වාදය ගැන කතාවක් කියලා? සාධාරණයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘මිලිටරි පුරුෂත්වය’ වර්තමාන ලංකාවේ දැනට පවතින ආධිපත්‍යමය පුරුෂත්වයද?

~ අනුශ්කා කහදගමගේ දකුනු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය (චායාරූපය: අනුශ්කා කහදගමගේ, මිනුවන්ගොඩ, 2019) මෙම කෙටි රචනයට ප්‍රවේශය වන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සමඟ හෝ ඇතැමුන්ට අනුව, නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ රටේ ඇතිවූ නූතන  බිතු-සිතුවම් රැල්ලේ එක් චිත්‍රයකි. මෙය මිනුවන්ගොඩ නගරයේ සිතුවම්කර ඇති අතර, බොහෝ තැන්වල මා දැක ඇති වෙන් වෙන්ව සිතුවම් කර ඇති විශාල මාංශ පේශිවලින් යුතු රජවරුන්, කුමාරවරුන් මෙන්ම අවි සහ අත් බෝම්බ අත දරාගත්, සන්නද්ධ හමුදා සොල්දාදුවන්ට වඩා වෙනස් වර්ගයේ එකකි. ඒ, සොල්දාදුවාත්, කුමාරයාත් බද්ධකර,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය

~ අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර්, යේල් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: ඵූසතී ලියනාරච්චි ලංකාවේ තේ වතුවලින් ඉන්දියාවට රැගෙන ආ පාන්, ශ්‍රමිකයන් ලෙස ලංකාවට සංක්‍රමණය වූ ඉන්දියානු දමිළ ජනතාවගේ කතාන්දරය කියාපාන සරල අහරකි. සෑම බ්‍රහස්පතින්දාවක ම අපගේ රෑ කෑම වූයේ පාන් ය. කටට ගන්නා සෑම විටක දී ම මහා කරස් හඬක් නගන රළු ආකාරයකට සෑදූ ඒ පරළු පාන්වල ඇතුළත, පිරිපුන් සැහැල්ලු බවක් රැඳී තිබුණි. එය සාමාන්‍යයෙන් ගැලපුනේ සම්බෝල සමග කෑමට ය. සම්බෝල යනු, සියුම්ව ගා ගත් නැවුම් පොල් රැළි සැර මිරිස්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ஒரு றாத்தல் பாணிலிருந்து அடையாளம் வரை: புலம்பெயர்வு மற்றும் நினைவுகள்

~ அக்ஷ்யா  கிருஷ்ணகுமார், யேல் பல்கலைக்கழகம்மொழிபெயர்ப்பு – சிவலிங்கம் அனுஷா இலங்கை தேயிலைத் தோட்டங்களிலிருந்து இந்தியாவுக்குக்கொண்டுவரப்பட்ட பாண் என்பது  இலங்கைக்கு தொழிலாளர்களாக புலம்பெயர்ந்த  இந்தியத் தமிழ் மக்களின் கதையைச் சொல்லும் ஒரு எளிய உணவாகும். ஒவ்வொரு வியாழனும் பாண், எனது  இரவு உணவாக இருந்தது. பாண்  ஒவ்வொரு  முறையும்  வாயில்  வைத்து கடிக்கும்போது அதில்   பெரிய சத்தம்  ஒலிக்கும்   வகையில் தயாரிக்கப்பட்டிருந்தது. பாணின் நடுவில் மென்மையான ஒருபகுதியும் இருக்கிறது.  அது சம்பலுடன்  சாப்பிடவே பொருத்தமாக  இருந்தது.  சம்பல் என்பது  நறுக்கப்பட்ட மிளகாயை, துருவிய தேங்காய் துண்டுகளுடன் இறுதியாக அரைத்தெடுத்து  கலந்த உணவாகும். மாசி தூள் அதன் மீது தெளிக்கப்படும் போது சம்பல் மிகவும் சுவையாக இருக்கும்…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

South Asia – Between Dream and Actuality

Ravi Kumar – (මේ ලිපිය මුල්වරට පළවුයේ බ්ලූම්ස්බරි ප්‍රකාශන සමගම විසින් 2019දී පලකළ, සසංක පෙරේරා, දේව් නාත් පාඨක් සහ රවී කුමාර් විසින් රචිත ‘Against the Nation: Thinking Like South Asians’ නම් කෘතියේ පස්වන පරිච්ඡේදයේ වශයෙනි. රවී කුමාර් දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචර්යවරයෙකි. ඔහු එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානියාය) The term, ‘South Asia’ invokes myriad images — from inter-governmental bodies such as SAARC, talks of how this is a geographic region…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි; උපකුලපති තුමනි; සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨාධිපතිතුමනි; මිත්‍රවරුනි; ඔබ සැමට සුබ උදෑසනක්! ‘සංස්කෘතිය, නූතනත්වය සහ සමාජ පරිවර්තනය’ යන ඉතා පුළුල් තේමාව මත පදනම්ව ‘රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා 2020 සමුළුවේදී’ මෙම මුඛ්‍ය දේශනය ඉදිරිපත් කිරීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක කමිටුවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මුඛ්‍ය දේශනයක් යන්න පිළිබඳව අප රටේ මෙන්ම දකුණු ආසියා කලාපයේ ද…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආසියා ප්‍රකාශන සමාගම: දකුණු ආසියාවේ ප්‍රකාශන ඉතිහාසයේ අමතක වී ගිය මතකය

~ රාමචන්ද්‍ර ගූහා (මේ ලිපිය 2020 අප්‍රේල් 18 වන දින ස්ක්‍රෝල් වෙබ් අඩවිය සඳහා මහාචාර්ය රාමචන්ද්‍ර ගූහා විසින් සම්පාදනය කළ ‘From Asia Publishing to Permanent Black’ යන කෙටි ලිපියේ පළමු කොටසේ සිංහල පරිවර්තනයයි. මුල් ලිපියෙන් ඔහු උත්සාහ ගත්තේ කේන්ද්‍රීය ඉන්දීය ප්‍රකාශකයින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ භූමිකාව උදෙසා සිය ප්‍රණාමය පුදකිරීමටය. මෙහි පළමු කොටස සිංහලෙන් ඉදිරිපත් කරන්නට හේතුවන්නේ එවැනි ඓතිහාසික තොරතුරු දකුණු ආසියාව පිළිබඳ විකල්ප පරිකල්පනයක් ගොඩනැගීමට උනන්දුවක් ඇති පර්යේෂකයින්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි යන විශ්වාසය මතය. මහාචාර්ය රාමචන්ද්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී වඩ වඩාත් ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම වෙනත් බොහෝ දැනුම මිනිසුන් වෙත ගෙනෙන තාක්‍ෂණය පිළිබඳ කාරණයක් පමණක් නොවන බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මේ සියල්ල මහජනතාව වෙත ගෙන ඒම ඔස්සේ අනෙකුත් සියලුම ජනමාධ්‍ය මෙන් ගුවන්විදුලිය ද දේශපාලනයේ මාධ්‍යයක් බවට පත්වීමයි. ‘දේශපාලනය’ යන පදය මෙහිදී යොදාගන්නා විට, අප…
වැඩි විස්තර පරිශීලනයට