විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

චායාරූපය: විකිපීඩියා කොමන්ස්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු කළේ අනගාරික ධර්මපාලතුමාගේ ඉන්දීය භූමිකාව තත්කාලීන වන්දනා ක්‍රියාවලියට පදනම සැපයූ බව මා දැන සිටි නිසාය.  

කෙසේ වෙතත්, යටත්විජිත යුගයේ කියවීම් මා 4 වන හා හත්වන සියවස්වල ලාංකේය හා කලාපීය ඉතිහාසය වෙතද යොමු කරනු ලැබීය. එනම්, චාරිකා ප්‍රවර්ගයක් වශයෙන් ගත් කල, ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක වන වන්දනා ගතිකත්ව ඉතා ඇත අතීතයට දිවයන බව පැහැදිලි වීය. එනමුත්, මේ පැරණි වන්දනාවන් සාමාන්‍ය මහජනයාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක නොවීය. ඒවා විවෘත වී තිබුනේ මූලික වශයෙන් සංඝයා වහන්සේලා හා එකල ජිවත් වූ ප්‍රභුන් සදහාය. මෙවැනි වන්දනා චාරිකා හා බැදී තිබුණු අතිශය අවදානම් සහගත තත්ත්ව පිළබද සාපේක්ෂ වශයෙන් අසම්පුර්ණ සහ මිත්‍යාවන් හා බැදුණු, එනමුත් බෙහෙවින් උනන්දු සහගත තොරතුරු ශ්‍රී ලංකාවේ රචිත පාලි භාෂා කෘති වන ‘සහස්සවත්තු පකරණ’, ‘සිහලවත්තු පකරණ’ හා ‘රසවාහිනී’ වැනි කෘතිවල මෙන්ම සිංහලෙන් ලියවුනු ‘දඹදිව අලන්කාරය’ යන කෙටි ලේඛනයේද දැක ගත හැකිය.  

තවද වඩාත් වැදගත් කාරණයක් වන්නේ මේ චාරිකා සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබුන බවත්, ඒ අනුග්‍රහය හරහා ලාංකේය ආයතන පැරණි ඉන්දියාවේ ඉදිකළ බවත් විශේසයෙන් පැරණි චීන වාර්තා මගින් සපයන සාක්ෂිය. එනමුත් මේ පිළිබද මතකය අද වන විට ජනප්‍රිය ශ්‍රීලාංකේය කතිකාවේ මෙන්ම අතීතය පිළබද බොහෝ විධිමත් කතිකාවන්ගේද සනිටුහන් වී ඇති බව මා දැක නැත. උදාහරණයක් වශයෙන්, මේ සම්බන්ධයෙන් වැදගත් කාර්ය කොටසක් කලේ කිත්සිරි මෙවන් රජතුමා බව අපගේ පොදු මතකයෙන්  බොහෝ දුරට  මිලින වී ගොස් ඇත. සිව්වන සියවසේ අනුරාධපුරයේ රජකළ කිත්සිරි මෙවන් රජතුමා ඉන්දීය හා චීන වාර්තාවල මෙන්ම බොහෝ පැරණි ශ්‍රී ලාංකේය වාර්තාවලද ප්‍රධාන වශයෙන් සදහන්වන්නේ කීර්ති ශ්‍රී මේඝවර්ණ වශයෙන් වන අතර, ඔහුගේ රාජ්‍ය කාලය ක්‍රිව 304-332 අතර වීය. ඔහුට සාපේක්ෂව ශ්‍රී ලාංකේය, නැතිනම් වඩාත් පැහැදිලිව, සිංහල පොදු මතකයේ තිබෙනුයේ දුටුගැමුණු හා පළමු පරාක්‍රම බාහු වැනි නරපතීන්ගේ මතකය පිළිබද අසම්පුර්ණ විස්තරය. ඒ ඔවුන් විසින් ගොඩනැගිලි ඉදිකිරීමට සහ වාරිකර්මාන්තයට කළ විශාල දායකත්වට අමතරව, ඔවුන්ගේ යුධ භූමිකාවද නිසා බැව් අපට උපකල්පනය කල හැක. ඔවුන්ට සාපේක්ෂව, කිත්සිරි මෙවන් රජතුමා ලාංකේය වාර්තාවල සදහන් වන්නේ බෞද්ධ වෙහෙර විහාර පිළසකර කළ හා තම කාලයේදී  දිවයින තුල බෞද්ධ පුනර්ජීවනයකට පදනම සැපයූ රජකෙනෙකු වශයෙනි. එනමුත් ඒ තොරතුරුද මූලික වශයෙන් ජනප්‍රිය මතකය තුල නම් සනිටුහන් වී නැත.

ඔහු විසින් දිවයිනෙන් ඔබ්බෙහි පැරණි ඉන්දියාවේ දියත් කළ ආයතන ගොඩනැගීම පිළිබද තොරතුරු බොහෝ දුරට අපට ලැබෙන්නේ පැරණි චීන දේශාටන වාර්ථා වලිනි. ඒ වාර්ථාවලට අනුව, නිකිත්සිරි මෙවන් රජතුමා දී ඉන්දියාවේ ගුප්ත අධිරාජ්‍යයේ සමුද්‍රගුප්ත රජතුමා වෙත තානාපති පිරිසක් යවා, තම රාජධානියේ භික්‍ෂූන් බුද්ධගයාව වන්දනා කිරීමට ගිය විට නවාතැන් ගැනීමට ආරාමයක් ගොඩනැගීමට අවසර ගත් බවත්, ඒ අවසරය ලැබුණ පසු, ඒ ව්‍යාපෘතිය පටන්ගත් බවටත් තොරතුරැ ඇත. සුප්‍රසිද්ද බුද්ධ ගයා විහාරය අසල ඇති, අදටත් නශ්ටාවශේශ යම්දුරකට ශේශේෂවී පවතින, ‘මහාබෝධි ආරාමය’ ඉදිකලේ මේ තත්ත්ව යටතේය.  මෙසේ ඉදිකළ මහාබෝධි ආරාමය අවුරුදු 1000 ක් පමණ පැවතුනු බව ඓතිහාසික වාර්ථාවලින් පෙනේ. 7 වන සියවසේ ජීවත්වූ චීන භික්ක්‍ෂුවක් වූ හුවාන් ට්ස්අන් (Huan Tsang) ස්වාමීන් වහන්සේ මේ ආරාමය විස්තර කර ඇත්තේ මෙලෙසය:

“බෝධීන්වහන්සේ වටා තිබූ තාප්පයේ උතුරු පිවිසුමට ඔබ්බෙන් මහාබෝධි ආරාමය පිහිටා ඇත. එය ශ්‍රී ලංකාවේ ආදී කාලයේ රජකළ රජතුමෙක් විසින් ගොඩනගන ලදී. එය ශාලා හයකින් සමන්විතක වේ. එහි මුර කුළුනු තට්ටු තුනක් ඉහලට විහිදී යයි. මේ වටා අඩි තිහක් හෝ හතලිහක් උස ආරක්‍ෂක ප්‍රාකාරයක් දිව යයි. මේ ආරාමය තැනීමේදී අතිදක්‍ෂ ශිල්පීන්ගේ දැනුම යොදා ගත් බව පෙනේ. සිතුවම් බෙහෙවින් අලංකාර වර්ණයෙන් ඔප වී ඇත. එහි ඇති බුදු පිළිමය රත්තරනින් හා රිදියෙන් නිම කර, මැනික් හා අන් වටිනා ගල් ඔබ්බවා තිබේ. ආරාම පරිශ්‍රය තුළ ඇති ස්ථූප බෙහෙවන් විශාල හා උස වන අතර, ඒවා තුළ බුදුන් ගේ භෂ්මාවශේස තැන්පත් කර ඇත” (බීල් 1902).

මෙහිදී අප මතක තබා ගත යුත්තේ, මේ විස්තරය ලැබෙන්නේ ආරාමය ස්ථාපය කර ශතවර්ශ තුනකට පසුව බවයි. එනම්, ඒ වන විටත් එය කා සඳහා කවුරුන් විසින් තැනවූවාද යන්න සාමාන්‍ය වහර තුල තිබූ බව මේ විස්තරයෙන්ම පැහැදිලි වන බවය.  මෙම වාර්තාවේ කිත්සිරි මෙවන් රජතුමාගේ නම  නොවුනද, අන් චීන වර්තාවල මිට සමාන විස්තර එතුමාගේ මෙන්ම එකලා ඉන්දීය අධිරාජයා වූ සමුද්‍රගුප්ත රජතුමාගේ නමද සදහන් වේ. මෙය මේ කටයුතු පිළිබද කාලනිර්ණයේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. 19 වන සියවසේ අග භාගයේදී මේ ආරාමයේ සහ වඩාත් ප්‍රසිද්ධ බුද්ධ ගයා විහාරයේ පුරාවිද්‍යාත්මක කැනීම් කටයුතු කල ප්‍රධාන බ්‍රිතාන්‍ය ඉන්ජිනේරුවරයා වූ  ඇලෙක්සැන්ඩර් කනින්හැම් තමන් ගවේෂණය කළ කිත්සිරි මෙවන් රජතුමාගේ ආරාමය පිලිබදව තබා ඇත්තේ මෙවන් සටහනකි:

“මේ ගොඩැල්ල බටහිර සිට නැගෙනහිර දෙසට අඩි 1500 සිට 2000 දක්වා විහිද යයි. එහි පළල උතුරේ සිට දකුණට අඩි 1000 ක් පමණ වේ. 1885 නොවැම්බරයේදී බෙල්ජර් මහතා හා මා විසින් ඉපැරණි ආරාමයක නශ්ටාවශේෂ සොයා ගත්තෙමු. එහි පිටස්තර ආරක්‍ෂක ප්‍රාකාරය අඩි 9 ක් පලල්ය. මේ ගොඩැල්ලේ සිව් කොන්හි අතිවිශාල වක්‍රාකාර මුර කුළුනය …. මේ ගොඩැල්ලේ බිම් සැලිස්මට අනුව, එක් පසකට හය බැගින් කුටි 36කි …. එහි මධ්‍යම ප්‍රදේශය කුළුනු සහිත විවෟත මලුවක් වන අතර, එහි ලිඳක් දැකගත හැක. ලිදේ සිට ආවරණය කළ කාණු පද්ධතියක් මගින් කිලිටි ජලය උතුරු-ඊසාන දෙසින් ආරක්‍ෂක ප්‍රාකාරයෙන් ඔබ්බට ගෙන යයි. එම ජලය මැනැවින් මූර්තිමත් කර ඇති තද නිල් ගලින් නිම වූ විශාල කිඹුල් මුහුනක් ලෙස නිම වු වතුර මලකින් පිට වේ” (කනින්හැම් 1892: 43).

මේ ගොඩනැගිලිව්‍යාපෘතිය හා ඒ පිළබදව ඇති  ඓතිහාසික වාර්තාවලින් අනාවරණය වන්නේ කුමක්ද? පැහැදිලිවම මෙසේ ගොඩනගා ඇත්තේ කෙටි කලකින් අමතක කර දැමිය හැකි දන් සැලක් හෝ හුදෙක් වන්දනාවේ යෙදුනු ශ්‍රී ලාංකේය භික්ෂුන් සදහා වූ ගිමන්හලක් හෝ නොවේ. ජීවිත කාල ගණනාවක් පවතින ලෙස මෙලෙස මේ ඉදිකරනු ලැබුවේ ථේරවාද සංස්කෘතික-ආගමික අදහස් මෙන්ම ශ්‍රී ලාංකේය රාජ්‍ය බලය ලංකාවෙන් ඔබ්බට ප්‍රක්‍ෂේපණය කිරීම සදහා ගොඩනැංවූ ආයතනයකි. එනම්, මෙය පැහැදිලිවම බලසම්පන්න ථේරවාද බෞද්ධ හා ශ්‍රී ලාංකේය දේශපාලනික ආතනනයක් බව අප තේරුම් ගත යුතුය. වඩාත් සරලව පවසන්නේ නම්, මෙය  ඉතාමත් ඈත අතීතයේ ‘ජාතික උරුමය’ වැනි සංකල්ප නොතිබුන යුගයක, ලෝක බැංකුවෙන් හෝ චීනයෙන් හෝ ණය ආධාර නොගෙන, ශ්‍රී ලාංකේය රාජ්‍ය බලය සාගරයට ඔබ්බෙන් ප්‍රක්ෂේපනය කල මොහොතක් පිළබද උදාහරණයකි.

මේ කෙටි  ඓතිහාසික විස්තරය මා ඉදිරිපත් කළේ සරල ප්‍රශ්ණ දෙකක් මතුකිරීමටය. මෙයින් එක් ප්‍රශ්නයක් ජාත්‍යන්තර සබදතා පිළිබදව දැනට පවතින ලාංකේය ශාස්ත්‍රීය දැනුම් නිෂ්පාදනය සම්බන්දවය. අනෙක, නිර්මාණ සාහිත්‍යය ගතිකත්වයන් පිලිබදවය.

ජාත්‍යන්තර සබදතා හා අතීතය පිළිබද මුලාශ්‍ර

ඉහත කල විස්තරය ආශ්‍රයෙන් ජාත්‍යන්තර සබදතා පිළබදව මට මතු කිරීමට අවශ්‍ය ඉතාමත් සරල හා කෙටි ප්‍රශ්නයකි. දැනට මා කියවා ඇති ශ්‍රීලාංකේය ජාත්‍යන්තර සබදතා පිළිබද විධිමත් ශාස්ත්‍රීය සාහිත්‍යය එතරම් උන්නන්දු සහගත ලෙස මා දකින්නේ නැත. ඒවායින් යම් දැනුමක් විෂය ක්ෂේත්‍රයට එක් කිරීම වෙනම කරුණකි. මට ඇති ගැටලුව වන්නේ ඒවාට මූලික වශයෙන් නව දැනුම් අවකාශ වෙත අපව ගෙන යාමට ඇති නොහැකියාවයි. උදාහරණයක් වශයෙන්, තත්කාලීන ශ්‍රීලාංකේය ජාත්‍යන්තර සබදතා සාහිත්‍යය ඈත ඉතිහාසය පිළිබදව ඇති විශ්වසනීය දැනුම තත්කාලීන භූ-දේශපාලනය කියවීමේදී පුළුල් ලෙස භාවිතයට ගන්නා බවක් නොපෙනේ. මෙයින් මා අදහස් කරන්නේ, මිථ්‍යාමතික අදහස් හෝ සාක්ෂි  මත පදනම් නොවූ පරිකල්පිත විස්තර හා විශ්වාස, පදනම් විරහිතව අශාස්ත්‍රීය ලෙස යම් අතීතකාමයක් හෝ පටු  ජාතිකවාදී ව්‍යාපෘති ගොඩනැගීම සදහා යොදාගැනීම නොවේ.

උදාහණයක් වශයෙන්, මා මුලදීම විස්තර කළ කිත්සිරි මෙවන් රජතුමාගේ ඉන්දීය කාර්යභාරය හා අතීතයේ සිදුවූ බෞද්ධ වන්දනා ගමන් ඔස්සේ දකුණු ආසියාව පිළබද විකල්ප තේරුම්ගැනීමක් අපට ගොඩනැගිය නොහැකිද? ඒ තේරුම්ගැනීම ‘අඛන්ඩ් භාරත්’ (ඛණ්ඩනය නොවූ ඉන්දියාව) යන ඉන්දීය කේන්ද්‍රීය-ජාතිකවාදී අර්ථවිවරණයෙන් වෙනස්වන්නේ කෙසේද යන ප්‍රශ්න අපට මතුකරගත නොහැකිද? නමුත් මෙවන් ප්‍රශ්න මතුකරන්නේ නම්, ඒ ඔස්සේ තත්කාලීන දකුණු ආසියාව පරිකල්පනය කිරීමේ විකල්ප ප්‍රවේශ අපට ගොඩනගා ගත හැකි බව මාගේ විශ්වාසයයි. මේ පිළබදව කල්පනා කරන සැම විටම මගේ සිතට එන්නේ 2009 වසරේදී ක්‍රිස්ටීන් සිල්වෙස්ටර් විසින් රචනා කළ Art/Museums: International Relations Where We Least Expect it (කලාව/කෞතුකාගාර: අප කිසිවිටෙකත් නොසිතන තැන්වල පවතින ජාත්‍යන්තර සබදතා පිළිබද විස්තර) යන කෘතියයි. ඇයගේ උත්සාහය වූයේ, කෞතුකාගාර හා කෞතුක වස්තු අධ්‍යයනය කර, එතුලින් ජාත්‍යන්තර සබදතා පිළිබද විශ්ලේෂණය කිරීමේ හා ඒ පිළබද න්‍යායකරණයේ යෙදීමේ හැකියාව ගවේෂණය කිරීමය. මෙය ඇයට කළහැකි වූයේ සාමාන්‍යයෙන් මතුකරන පර්යේෂණ ප්‍රශ්නවලට වඩා බෙහෙවින් වෙනස් ප්‍රශ්ණ මතුකර ගැනීම නිසාය.  අවාසනාව වන්නේ සිල්වෙස්ටර්ගේ වැනි කෘතියක් හෝ එවන් ප්‍රවේශයක් අද  වන තුරුම ජාත්‍යන්තර සබදතා පිළබද ශ්‍රී ලාංකේය ශාස්ත්‍රාලයීය කතිකාවෙන් බිහිවී නොතිබීමයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මා දකින ප්‍රශ්නය වන්නේ, සාම්ප්‍රධායික හා ඇතැම්විට පසුගාමී පර්යේෂණ හා බුද්ධිමය ප්‍රවේෂවල හිරවී සිටින ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් බොහෝ දෙනාට ඉන් මිදීමට පෞද්ගලික හෝ  ආයතනික දිරිගැන්වීමක් නොමැතිවීමය. මේ සදහා බුද්ධිමය කුතුහලයක් ද ඔවුන්ට නොමැති බව පෙනේ. තවද, මා මුලින්ම විස්තර කල ආකාරයේ ඉතිහාසමය මුලාශ්‍ර තිබෙන බව හෝ ඒවායින් කල හැක්ක්කේ කුමක්දැයි නොදැන සිටීම ද ඔවුන් සතුව ඇති විධික්‍රමික හා න්‍යායාත්මක පුහුනුවේ අඩුවක් වශයෙන් අප තේරුම් ගත යුතුය. මෙහිදී මා මේ ප්‍රශ්නය සාකච්චා කළේ ජාත්‍යන්තර සබදතා විෂයට සාපේක්ෂව පමණි. එනමුත් මෙය ඉතිහාසය හා සමාජවිද්‍යාව වැනි  විෂයන් සම්බන්දයෙන්ද  මෙලෙසින්ම සාකච්චා කල හැක.

නිර්මාණ සාහිත්‍යය හා අතීතය පිළිබද මුලාශ්‍ර

මට මතුකිරීමට අවශ්‍ය දෙවන කාරණය නිර්මාණ සාහිත්‍යය සම්බන්දයෙනි. එනම්, නිර්මාණ සාහිත්‍ය සම්පාදනයයේ දී විධිමත් හා විස්වාසනීයත්වයකින් යුත් ඓතිහාසික මුලාශ්‍ර යොදාගත හැකිද හා ඒ කෙසේද යන්නය. මෙවැනි ඓතිහාසික තොරතුරු ඇතුලත් මුලාශ්‍ර මෑත අතීතයේදී මෙන් නොව අද වන විට බෙහවින් පහසුවෙන් ජාත්‍යන්තර පුස්තකාලවලින් හෝ අන්තර්ජාලයේ ඇති ඇතැම් විශ්වසනීය වෙබ් අඩවිවලින් එතරම් ගැටළුවක් නැතිව ලබා ගත හැක. එවන් මුලාශ්‍ර පරිශීලනය කළහොත්, ඒවා ඔස්සේ ලංකාව කෙද්න්ද්‍ර කරගත් අගනා ඓතිහාසික නවකතාවක් හෝ කෙටිකථා කිහිපයක් ලියන්න අවැසි තරම් තොරතුරු සපයා ගන්නට නොහැකිද? එවන් ආඛ්‍යාන සදහා අදහස් සොයාගත නොහැකිද? එවන් නිර්මානකරණයකට අවශ්‍ය පෙළඹවීමට මග පාදා ගත නොහැකිද? එනමුත් එසේ කිරීමට අවශ්‍ය දැනුම, උනන්දුව, හැකියාව හෝ ශික්ෂණය අපේ බොහෝ ලේඛකයන්ට තිබේද? මේ ගැටලුව පිලිබද මූලික අදහස් ඉදිරිපත්කිරීමක් වර්ෂ 2016 ග්‍රේශන් සම්මාණ පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැයි  27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කථාවේදී  ඉදිරිපත් කළ කරණු හතරට ඇතුලත් වීය. එහිදී, ‘පරිකල්පනයේ සීමිත බව  හා බැඳී පවතින ගැටලු’ යන තේමාව ඔස්සේ මා විශේසයෙන් ඉදිරිපත් කළේ මේ සම්බන්ද අදහස්ය. එබැවින් මෙහිදී ඒ අදහස්වලින් තෝරාගත් කොටස් කිහිපයක් මෙහිදී නැවත ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතේ:

“සුපැහැදිලිව නිර්මිත ඉතිහාසමය හෝ මිත්‍යාමය යුග හා බැඳීපවතින ගද්‍ය සාහිත්‍ය පිළිබඳව මෙනෙහි කිරීමේදී මසිතට නිරතුරුවම උදාහරණ වශයෙන් ගලා එන්නේ ගාබ්‍රියෙල් ගාසියාමාකේස්ගේ One Hundred Years of Solitude, උම්බර්තෝ ඊකෝගේ Prague Cemetery, එලිෆ් ශෆාක්ගේ The Architect’s Apprentice, ඔරාන් පමුක්ගේ The Museum of Innocence යන නවකතාය.  මේවා හුදෙක් මාගේ මතකය තුළ පැලපදියම් වී තිබෙන අසම්බන්ධිත මූලාශ්‍රයන්ය. නමුත් ඒ සියල්ලම ඉතිහාසය, අතීතය හෝ මතකය පිළිබඳ අදහස් තම කතා වස්තු හා ආඛ්‍යාන ගොඩනැගීමේදී සූක්‍ෂම පරිකල්පණයක් ද පෙරදැරිකරගෙන ඉදිරිපත් කරන්නට සමත් වූ කෘති සඳහා සාර්ථක උදාහරණ සපයති. ඒවා මගේ මතකයේ රැඳී තිබෙන්නේද ඒ නිසාමය. එමෙන්ම, මේ හා සමාන උදාහරණ ගෝලීය නිර්මාණ සාහිත්‍යයෙන්  ඕනෑතරම් සොයා ගත හැකිය” (පෙරේරා 2017).

“අපගේ ලිඛිත ඉතිහාසමය මූලාශ්‍ර නිර්මාණ සාහිත්‍යයට සමාරම්භයක් සැපයිය හැකි බෙහෙවින් උනන්දුසහගත හා ඇතැම්විට ගුප්ත කරුණු කාරණාවලින් පිරී පවතී. මේවා පරිකල්පණීය ලෙස තෝරා බේරාගෙන සාහිත්‍යමය වශයෙන් දියුණු කළහැකිනම්, ඒවාට ඉතිහාසමය වාතාවරණයක් මත පදනම් වූ අනර්ඝ නිර්මාණ සාහිත්‍යයකට ජීවය දිය හැකි බව මගේ විශ්වාසයයි. එනමුත් ගැටලුව වන්නේ මෙවන් තත්ත්ව තුල අප අනිවාර්යයෙන් ඇසිය යුතු ප්‍රශ්න නොඇසීමත්, යම් සාධාරණ සීමා තුළ අපගේ පරිකල්පණය විකසිත වීමට අවකාශ නොදීමත්ය. උදාහරණයක් වශයෙන්, අපගේ නවකතාකරුවෙකු පහත සඳහන් ප්‍රශ්නය නොඅසන්නේ මන්ද?” (පෙරේරා 2017):

“ඉතිහාසය පිළිබඳ පවතින ප්‍රධානතම මූලාශ්‍ර දීපවංශය, මහාවංශය හා චූලවංශය වැනි වංශ කථා පමණක්මද?” (පෙරේරා 2017)

“මේ පැනයේ ව්‍යුහය තුළ අපට පහත සඳහන් ආකාරයේ නිර්මාණ සාහිත්‍යයමය පැනයක් මතුකරගත නොහැකිද? කිසිවෙකුවත් නොදන්නා, අපගේ ඉතිහාසය සවිස්තරාත්මකව ලියැවුණු ලේඛනයක් ඉතා ඈත අතීතයේ දේශීය කලබගෑනි සමයක සංඝයාවහන්සේලා විසින් භාරතයේ නාලන්දා සරසවියට ආරක්‍ෂාව සඳහා ගෙනගියා යැයි පරිකල්පණය කරමු.  එය චීනයේ සිට නාලන්දාවට බුදුදහම හැදෑරීමට පැමිණ, භාරතයේ හා අන් දකුණු ආසියානු ප්‍රදේශවල දහඅට වසරක් සංචාරය කර නැවත චීනයට යන විට, චීන හිමිනමක් වන සුඅන්-සන් ස්වාමීන් වහන්සේ ගෙන ගොස්, උන්වහන්සේගේ පන්සලේ අන් ලේඛන ද අතර තැන්පත් කළා යැයි සිතමු. මේ අතර නාලන්දා පුස්ථකාලය, සරසවිය හා විහාරාරාම සංකීර්ණය විනාශවී ගිය බව ඉතිහාසමය වශයෙන් අප හොදින් දන්නා කරුණකි. ඈත අතීතයේ දකුණු ආසියාව පුරා විසිරී තිබූ බෞද්ධ ගොඩනැගිලි සංකීර්ණ පිලිබඳ වඩාත් පරිපූර්ණ විස්තර අපට අද දින ද ලැබෙනුයේ ඉතිහාසමය චරිතයක් වූ සුඅන්-සන් හිමිනමගේ චාරිකා සටහන්වලිනි. උන්වහන්සේගේ සටහන්වලට අනුව, ලක්දිවට පැමිණීමට පෙරුම්පුරමින් සිටියද එය කළ නොහැකි වීය” (පෙරේරා 2017).

“මේ ඉතිහාසමය හා පරිකල්පිත තත්ත්ව තුළ අපට පහත සඳහන් ආකාරයේ නිර්මාණයක් රචනා කළ නොහැකිද? එනම්, චීනයේ සිශුවාන් ප්‍රදේශයේ ඇති පැරණි, කාටත් අමතක වී ගිය පන්සලක පුස්ථකාලයේ සියවස් ගණනක දූවිල්ලෙන් වැසී ගිය මේ ඉතිහාසමය වාර්ථාව සොයා ගතහොත්, අපගේ ඉතිහාසය සහමුලින්ම වෙනස්වී යනු ඇතැයි යන්න මේ නිර්මාණයේ ප්‍රධාන ආඛ්‍යානය විය හැකියි. එවන් කෘතියක් අතීතය වෙත මෙන්ම, තත්කාලීන දේශපාලනයේ අනේක පැතිකඩ වෙත හා මිත්‍යාමය ලෝකය හා භක්තිය පිළිබඳ අදහස් වෙත ද අප කැඳවාගෙන යන උනන්දුසහගත කෘතියක්  වීමට ඉඩ ඇත. නමුත් මේ නිර්මාණ ව්‍යායාමය සිදුවිය හැක්කේ නිසියාකාරව නිර්මණාත්මක පරිකල්පණය ව්‍යාප්තවීමට අපට ඉඩදිය හැකිනම් හා එසේ කිරීමට අවශ්‍ය තීව්‍ර ඉතිහාසමය දැනුම අපට ඇත්නම් පමණි. මෙවන් නිර්මාණාත්මක හැකියාවන් පිළිබඳව සිතන සැමවිටම මගේ සිහියට නැගෙන්නේ එවැනිම ආස්ථාන මත ගොඩනැගුනු උම්බර්තෝ ඊකෝගේ The Name of the Rose හා හෝස්ටයින් ගාටර්ගේ Vita Brevis: Letters to St. Augustine යන කෘතීන්ය. මේ කෘති දෙකම තම ආඛ්‍යාන ගොඩනැගීමේදී ඉතිහාසය හා ඉතිහාස රචණයේ දේශපාලනය සමග සූක්‍ශම බුද්ධිමය ගණුදෙනුවක නියැලෙයි.  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිතන විට මගේ සිහියට නැගෙන්නේ, මහාචාර්ය ගණනාත් ඔබේසේකර මෑතකදී (2017) පලකළ The Doomed King: A Requiem for Sri Vikrama Rajasinha යන  ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිළිබඳව අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ 19වන සියවසේ සමාජ-දේශපාලන තත්ත්ව පිළිබඳව ලියුවුණු බෙහෙවින් රසවත් හා උනන්දුසහගත සංශෝධනවාදී ඉතිහාස කෘතියයි. මේ කෘතිය ඉතිහාසය හා අතීතය මත පදනම් වූ  ගද්‍ය සාහිත්‍යයේ නිරතවන්නට උනන්දුව ඇති අප රටේ ලේඛකයින්ට බෙහෙවින් වටිනා මූලාශ්‍රයක් වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි” (පෙරේරා 2017).

“නමුත් මෙවන් ප්‍රශ්න ඇසීමට හෝ අපගේ පරිකල්පණය පෝශණය කිරීමට නම් ඊට ප්‍රථමයෙන් අප ගෝලීය සාහිත්‍යය පිළිබඳ වඩාත් පුලුල් වූ ලෝකයට හා මහාචාර්ය ඔබේසේකරගේ කෘතිය සඳහා ආශ්‍රය කළ ඉතිහාසමය මූලාශ්‍ර හා සුඅන්-සන් හිමිනමගේ වාර්තා වැනි විශේෂඥ මූලාශ්‍රවලට ද විවර විය යුතුයි. මෙවන් මූලාශ්‍ර බොහෝමයක් අද වන විට අවම වශයෙන් ඉංගිරිසියෙන් පළවී තිබෙන බවද අප අමතක නොකළ යුතුයි. නමුත් මේ සියල්ල කිරීමට යමෙකුට ඉවසීම හා කාලය යන සම්පත් දෙකම වැඩිවශයෙන් තිබිය යුතුය” (පෙරේරා 2017).

ඉතිහාස වාර්තා සහ ජාත්‍යන්තර සබදතා හා නිර්මාණ සාහිත්‍යය යන රචනා ප්‍රවර්ග දෙක සම්බන්දයෙන් පවතින මේ අඩුව පිළබද ගැටලුව මා මතුකළේ පුළුල් ප්‍රශ්නයක් වශයෙනි. මා එය මතුකළේ එය නිසි ලෙස තේරැම්ගතයුතු හා සාකච්චා කළ යුතු ප්‍රශ්නයක් ලෙස මා දකින නිසාය. මාගේ වැටහීමට අනුව අවසානයේ දී මෙය පරිකල්පනයේ හා පුහුණුවේ සීමා පිළිබද ගැටලුවකි. ඒ ගැටලුව අප පිලිගන්නවාද, එය අතික්‍රමණය කළහැකිද, ඒ සදහා උනන්දුවක් ඇත්ද යන්න අද දින ශ්‍රී ලංකේය ජාත්‍යන්තර සබදතා විෂය සහ ගද්‍ය සාහිත්‍යය සම්බන්දයෙන් අප මතුකළ යුතු කේන්ද්‍රීය ප්‍රශ්නවේ.

ආශ්‍රේය ලිපි ලේඛන

Beal, Samuel. 1906. Buddhist Records of the Western World (translated from the Chinese of Hiuen Tsiang (A.D. 629). London: Kegan Paul, Trench, Trubner and Co. Ltd.

Cunningham, Alexander.  1892.  Mahabodhi or the Great Buddhist Temple Under the Bodhi Tree at Buddha-Gaya. London: Allen & Co., Limited.

පෙරේරා, සසංක. 2017.  ‘සාහිත්‍යය සම්මාණ, ඇගැයීමේ වතාවත් හා ශ්‍රී ලාංකේය ඉංගිරිසි නිර්මාණාත්මක රචනාකරණය.’ Blue Moon වෙබ් අඩවිය: https://sasperera.blogspot.com/2017/11/blog-post.html

Sylvester, Christine. 2009.  Art/Museums: International Relations Where We Least Expect it. New York: Routledge.

Total
14
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම: ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න

දීපක් නයියර් – ආර්ථිකවිද්‍යාව පිලිබඳ සේවාසම්මානිත මහාචාර්යජවහර්ලාල් විශ්වවිද්‍යාලය පරිවර්තනය:අනුෂ්කා කහඳගමගේදකුණු ආසියානු විශ්වවිද්‍යාලය (තත්කාලීනව විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන ප්‍රචණ්ඩත්වය, ඉන්දියාවේ ප්‍රභල දේශපාලනික වාදවිෂයක් බවට පත්ව තිබේ. මේ ප්‍රචණ්ඩත්වයේ එක් අරමුණක් වී ඇත්තේ එකී ආයතන තුළ සාම්ප්‍රදායිකව සිදු වූ විචාරශීලි කතිකාව හා දේශපාලනික විවේචනය පාලනය කිරීමය. එනමුත් මේ තත්වය සමස්ථ දකුණු ආසියාතික කළාපයටම පොදු තත්වයක් වන අතර, යම් මට්ටම්වලින් ඉන් බැහැර ප්‍රදේශවලද දැකගත හැක. දැනට ඉන්දියාවේ සරසවි තුළ සිදුවන ශිෂ්‍ය මර්දනය පෙන්වා දෙන මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට 1

භාෂණයේ අයිතිය සහ නිරාගමිකත්වයේ දේශපාලනය

~ |ගුරුගොඩ සිරිවිමල  හිමි ඉන්දික රත්නායක නැමැත්තකුට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මගින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමන්ගෙන් ඉල්ලා සිටින අවුල් සහගත ලිඛිත ඉල්ලා සිටීමක් මෑතකදී දක්නට ලැබුනි. ඉන්දික රත්නායකට මේ චෝදනාව එල්ල කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන පරිදි, ඔහු “බුදු දහම ජෛන දහමක් යැයි මිත්‍යා මතයක් සමාජගත කිරීමට යත්න දරා ඇති බව” පවසයි. මෙකී අදහස පිළිබඳව මා තුළ විශේෂ අදහසක් හෝ ආකර්ශනයක් නැත. කෙසේ වෙතත්, එම විවාදාපන්න කරුණ ගැන සාකච්ඡාවකට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කෝවිඩ් 19 මර්ධනය ඩිජිටල් ආඥාදායකත්වයක් කරා ගමන් නොකරන්නට නම් ….

~ පවිත්‍රා  ජයවර්ධන, ජාත්‍යන්තර සබදතා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය ~ ක්‍රිෂාන් සිරිවර්ධන කෝවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා ලොව සෑම රාජ්‍යයක්ම  පාහේ තමන්ට හැකි ආකාරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී තිබේ. මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ජනයාගේ සබඳතා අන්වේක්ෂණය (surveillance)  පහසු කරවන “ලුහුබැඳීම් උපායමාර්ගයි” (tracking strategies). මේ වන පෙනීයන්නේ, ආසාධිත පුද්ගලයන්ගේ ස්පර්ශකයන් සොයා ගොස් හදුනාගෙන, ඔවුන් වේගයෙන් නිරෝධායනය වෙත යොමුකළ රාජ්‍යයන් කෝවිඩ් මර්ධන ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටින බවයි. එලෙස ලුහුබැඳ ගොස් හදුනාගැනීම කුඩා රාජ්‍යයන්ට පහසු වුවත්, ජනගහණය අධික විශාල…
වැඩි විස්තර පරිශීලනයට