Skip links

ශ්‍රී ලංකාවේ දර්ශනය හා සමාජ න්‍යාය පිළබඳ කෙටි පුද්ගල නිශ්‍රිත සටහනක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය

න්‍යාය සහ දර්ශනය සොයා යෑම

ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රවල තත්ත්වය පිළිබඳව 2021 මාර්තු 28 වන දින සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ පළකර තිබූ මගේ රචනාවේදී, මා ඉස්මතු කළ එක් කරුණක් වූයේ, මෙම පුළුල් විෂය ක්ෂේත්‍රය තුළ විචාරාශීලී න්‍යායාත්මක මැදිහත්වීමක් නොමැති බවත්, ඒ නොමැතියාව මේ සමස්ත ශික්ෂණ ක්ෂේත්‍රයේම දැනුම් නිෂ්පාදනයට අහිතකර ලෙස බලපාන බවත්ය. මේ සමස්ත ගැටළුව පිළිබඳ වඩාත් පුළුල් අදහස් දැක්වීමක් රුහුණ විශ්වවිද්‍යාලයේ 2020 වසරේ නොවැම්දීබර් 5 වනදා මා කළ ආරාධිත දේශනයේදී ඉදිරිපත් කර ඇත. මට මේ කෙටි ලිපියෙන් අවැසි වන්නේ, මෙම ප්‍රශ්නය තවදුරටත් ගවේෂණය කර, එහි මූලික ලක්ෂණ පිළබඳ සමාලෝචනයක් ඉදිරිපත් කිරීමටයි. මෙහිදී මගේ කියවීමට මූලාරම්භය සපයන්නේ 2016 දී  ප්‍රථමා බැනර්ජි, අදිත්‍ය නිගම් සහ රකේෂ් පණ්ඩේ විසින් රචනා කරන ලද ‘The Work of Theory: Thinking Across Traditions’ (න්‍යායේ භුමකාව: සම්ප්‍රදායන් හරහා සිතීම) යන ලිපියයි. මේ ශාස්ත්‍රඥයින් තිදෙනා විසින් මතුකරන ලද එක් ප්‍රධාන කරුණක් වූයේ, “එක්කෝ න්‍යාය බටහිර නිපදවන ලද දාර්ශනික චින්තනය පිළබඳ දැනුම් එකතුවක් සේ සලකා  අප එයට බෙහෙවින් ආකර්ෂණය වන බවයි.” එසේ නැතහොත්, “අප එය පිළිකෙව් කරන” බවයි.  තවද, ඔවුන් වැඩිදුරටත් පවසන පරිදි, “අප අතර සිටින, න්‍යායට වඩාත් නැඹුරුවක් ඇත්තවුන්, නවීනතම න්‍යාය වෙළඳ පොළෙන් භාන්ඩ මිලදී ගන්නා ආකාරයට, න්‍යාය රාක්කයෙන් තෝරාගෙන, ඒවායේ ප්‍රාදේශීය යුරෝපීය සම්භවය නොසලකා හැර, ඒවා  අපගේ සන්දර්භයට ‘අදාළ’ කරගන්නේ, ‘න්‍යාය’ යන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්වීය යැයි අප විශ්වාස කරන නිසා” බවයි. ඔවුන් මෙලෙසින් දක්වා සිටින්නේ, න්‍යායන්හි ඊනියා විශ්වීයභාවය පිළිබඳ අප බොහෝ දෙනා වැඩි වගවිභාගයක් නොමැතිව සරණගොස් ඇති විශ්වාසයේ පවතින අතිශය ගැටළුකාරී බවයි. ඉන්දියාවේ පවතින තත්ත්වය අවධාරණය කරමින්  ඔවුන් තර්ක කරන්නේ, “න්‍යාය සමග අපගේ සම්බන්ධතාව රඳා පවතින්නේ පරාධීන, ව්‍යුත්පන්න  සහ බොහෝ විට ගැඹුරින් පරාරෝපනය වී ඇති තත්ත්ව මත” බවයි. ඔවුන්ගේ මෙම අර්ථදැක්වීම  සමඟ මම සම්පූර්ණයෙන්ම එකඟ වන්නෙමි. නමුත් මෙය ඉන්දියාවේ පමණක් නොව, ලංකාව ද ඇතුළුව දකුණු ආසියාවේ අන් බොහෝ ප්‍රදේශවල ද පවතින තත්ත්වය පැහැදිලි කරන කේන්ද්‍රීය කොන්දේසියකි. අනෙක් අතට, මේ ගැටළු මතුවන්නේ සමාජ න්‍යාය සම්බන්ධයෙන් පමණක් නොවේ. එය සමාජ න්‍යායට බෙහෙවින් සමීප ඥාන ක්‍ෂේත්‍රයක් වන දර්ශනයට ද ඒ සමානව ම අදාළ වේ.

කෙසේ නමුත්, මේ අදහස් සමග එකඟත්වය පළකිරීමේදී යම් මූලික අදහස් කිහිපයක් පිළිබඳව ශික්ෂණ-ශාස්ත්‍රීයව (pedagogically) මුලදීම සැකෙවින් කරුණු දැක්වීම වැදගත් යැයි මට සිතේ. එනම්, න්‍යායේ හා දර්ශනයේ පරාරෝපනය වැනි ඉහත දැක්වූ තත්ත්ව ආමන්ත්‍රණය කිරීමේදී සංස්කෘතික සුවිශේෂීත්වවාදීන් (cultural exclusivists) විසින්, මේ ගැටළුවට විසඳුම ඊනියා ‘අපේ දේ’ ආනයනිත අදහස් වෙනුවට ආදේශ කිරීම බව සරලව හා මතුපිටින් තර්ක කළ හැක. නමුත් මෙවන් සටන් පාඨ මෙවන් සංකීර්ණ ගැටලුවකට විසඳුමක් නොවේ. අපට වැදගත් වන්නේ, බටහිරින් ජනනය වූ අදහස් සරලව පිළිකෙව් කිරීම නොවේ. ඒ වෙනුවට වැදගත් වන්නේ, එම අදහස් සමග මෙන්ම දකුණු ආසියානු කලාපයේ සහ මෙරට ද අතීතයේ ජනනය වූ සහ වර්තමානයේ ගොඩනැගෙන අදහස් ද සමග බුද්ධිමත් සහ විචාරවත් සම්භාෂණයක් ගොඩනගා ගැනීමය. මේ පිළිබඳ අමතර විස්තරකිරීමක් ඉදිරියේදී ඉදිරිපත්කිරීමට මම බලාපොරොත්තු වෙමි.

ලංකාවේ න්‍යාය හා දර්ශනය පිළබඳ තත්ත්වය

මෙම සන්දර්භය තුළ, අප ඇසිය යුතු ප්‍රශ්නයක් වන්නේ, ශ්‍රී ලංකේය සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර මෙතෙක් ගොඩනගා ඇති බටහිර දර්ශනය හා සමාජ න්‍යාය පිළිබඳ කේන්ද්‍රීය දැනුම සමඟ බරපතල බුද්ධිමය විචාරයක්  හා සැලකිය යුතු  මට්ටමේ ශාස්ත්‍රීය ගනුදෙනුවක් පවත්වාගෙන යන්නේ ද කියාය. නිසැකවම, මෙයට ලැබෙන පිළිතුර ඍණාත්මක ය. මේ තත්ත්වය ගවේෂණය කරන විට, අපගේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පුළුල් ප්‍රවණතා දෙකක් දැකගත හැකිය:  

  1. මින් එකක් නම්, බොහෝ අවස්ථාවන්හිදී, අනේක ශාස්ත්‍රඥයින් මෙම දැනුම් පර්ෂද විචාරයකින් තොරව හා ගැඹුරින් සිතාබලන්නේ නැතිව පිළිගෙන, ඒවා ඔවුන් විසින් උගන්වන විෂයන්ගේ අනිවාර්ය අංගයක් ලෙස සලකා ඉගැන්වීමට කටයුතු යොදා තිබීමය.
  2. දෙවන ප්‍රවණතාව වන්නේ, ඇතැමුන් එවන් දැනුම් පර්ෂද  ‘පිටස්තර’ (alien) දැනුමක් ලෙස සලකා කිසිදු වගවිභාගයකින් තොරව බැහැර කිරීමය. ඊට ප්‍රධාන හේතුව ලෙස දැක්වෙන්නේ,  මෙම අදහස් ‘බටහිරින්’ පැමිණ ඇති නිසා බවය.

ලාංකේය විශ්වවිද්‍යාලවල දර්ශනය ඉගැන්වීමේ ආරම්භය මෙන්ම විවිධ සමාජයීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර විෂය තුළ න්‍යාය ‘ඉගැන්වීම’ ස්ථානගත කළ හැක්කේ, මින්  පළමු  ප්‍රවණතාව තුළ ය. නමුත් ශික්ෂණ-ශාස්ත්‍රීය වශයෙන් ගත් කළ, මෙම න්‍යායික හා දාර්ශනික දැනුම සාමාන්‍යයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ සහ තවමත් ඉදිරිපත් කරනු ලබන්නේ, හුදෙක් මුල් අදහස්වල සාරාංශ ලෙස මිස, ඒවා සමග කරන ගැඹුරු බුද්ධිමය ගනුදෙනුවක් වශයෙන් නොවේ. මේ තේමාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහා අප නිරන්තරව පවත්වන සාකච්ඡාවන්හි එක් දිනයක දී මා මිත්‍ර දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාඥ මහාචාර්ය රවී කුමාර් පැවසුවේ,  දකුණු ආසියානු කලාපයේ සමාජ න්‍යාය හා දර්ශනය ඉගැන්වීම වශයෙන් බොහෝ විට සිදුවන්නේ, ගුරුවරු පොතපත කියවා එහි ඇති දෑ සිසුන්ට නිර්වචන ආකාරයෙන් වැමෑරීම බවත්, ඒ  සාරාංශගත දැනුම සිසුන් හුදෙක් වනපොත් කරගන්නේ, විභාග සමත්වන්නට බවත්, ඉන් පසු ඔවුන් ඒ අදහස් සහමුලින්ම අමතක කර දමන බවත්ය. මේ සාමාන්‍යකරණය ලංකාවේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ද පැහැදිලිවම අදාළ බව ඒ පද්ධතිය පිළිබඳ යම් දැනුමක් ඇති සැමට වැටහෙනු ඇත.

විධිමත් ලෙස විශ්වවිද්‍යාල තුළ දර්ශනය ඉගැන්වීමේ වැඩසටහන්වල තත්කාලීන  තත්ත්වය ඒවායේ බුද්ධිමය දෘඩතාව අතින් බලන කළ, මුළුමනින්ම පාහේ  බිඳ වැටී ඇත. එනමුත්,  හුදු ශාස්ත්‍රාලයීය අධ්‍යයනාංශ ස්වරූපයෙන් පමණක් ඒවායේ ආයතනික අවශේෂ තවමත් අඛණ්ඩව පවතී. කෙසේ වෙතත්, මෙම ප්‍රවණතා දෙක සම්බන්ධයෙන්ම දක්නට ලැබෙන්නේ, මෙම දාර්ශනික සහ න්‍යායික අදහස් සමඟ මේ ප්‍රවණතා දෙකේම අනුගාමිකයින් කිසිදු ආකාරයේ බැරෑරුම් බුද්ධිමය ගණුදෙනුවක් ලංකේය ශාස්ත්‍රාලයීය සම්භාෂණය තුළ හෝ ඉන් පරිභාහිරව ගොඩනගාගෙන නොමැති බවයි. අවම වශයෙන්, මේ අදහස් විශ්වීය වශයෙන් අපගේ වැනි සමාජ අධ්‍යයනය කිරීමේදී සහ කියවීමේදී ගැටළුවකින් තොරව ගලපාගත හැකිය යන ප්‍රබල අදහස දෙස විචාරාත්මකව බලා, මේ අදහස් මෙලෙස සරලව අපගේ සමාජ, සංස්කෘතික හා දේශපාලන තත්ත්ව තුළ සන්දර්භයානුකූල අර්ථයක් ලබා දෙන්නේ ද යන්න පිළිබඳ හෝ මෙතෙක් මැනවින් ගවේෂණය කර නැත. මෙය වෙනස් ලෙසකින් පවසන්නේ නම්, සමාජ න්‍යාය හා දර්ශනය සමඟ කටයුතු කිරීමේ දී පුළුල් චින්තනමය උත්සාහයක් මෑත කාලයේ දී සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පිළිබඳ ශ්‍රී ලංකේය ශාස්ත්‍රාලයීය අවකාශයෙන් මතු වී නැත.

සමාජ න්‍යාය හා දර්ශනය කෙරෙහි ශාස්ත්‍රඥයින් විසින් දක්වා ඇති මේ සාපේක්ෂ අඩු උනන්දුව නිසා  ඇති වූ බුද්ධිමය අවකාශය  පසුගිය සහස්‍රයේ අවසාන භාගයේ සිට සහ වර්තමාන සහස්‍රයේ ආරම්භයේ සිට තවත් ප්‍රවණතා දෙකක් මගින් පුරවා ඇත. මේ ප්‍රවණතා, නැතහොත් ප්‍රවේශ දෙකම ඉදිරිපත් කර ඇත්තේ න්‍යායික හා දාර්ශනික කතිකාවට කරන ආරාධනයක් වශයෙනි.

මෙම ප්‍රවණතාවලින් පළමුවැන්න මතු වී ඇත්තේ, බටහිර න්‍යාය සහ දර්ශනය මුළුමනින්ම බැහැර කිරීමෙන්ය.  ඒ, හුදෙක් මේ අදහස්වල බටහිර ප්‍රභවය සහ ඒවා ක්‍රිස්තියානි ධර්මය සමඟ බැඳී ඇති බවට කරන චෝදනාව මතය.  මෙහි උත්සාහය වී ඇත්තේ, මහා ඝෝෂාවක් නගා ඉවතලා ඇති මේ බටහිර-කේන්ද්‍රීය අදහස් මූලාශ්‍ර  වෙනුවට  සිංහල සංස්කෘතික හා දේශපාලන ඉතිහාසය පිළිබඳ අතිශය සීමිත හා මතුපිට අවබෝධයක් මෙන්ම බුද්ධාගම විසින් සාමාන්‍යයෙන් ලබා දෙන අතිමහත් ඥාන ප්‍රවාහයෙන් ප්‍රවේශම් විරහිතව උකහාගෙන ඇති බෙහෙවින් පටු හා ගැටළුකාරී අර්ථදැක්වීමක්  ප්‍රතිස්ථාපනය කිරීමයි. මෙම ප්‍රවණතාවේ ඇතැම් ප්‍රකාශන ආධ්‍යාත්මික ජීවීන් — උදාහරණයක් වශෙයන් නාථ දෙවියන් — සමඟ කරනවා යැයි පවසන සංවාදවල වැදගත්කම ද විධිමත් දැනුමක් ලෙස ඉදිරිපත් කර ඇත. මූලික මට්ටමින් ගත් කල, මෙම ප්‍රවේශයේ ප්‍රධානතම ගැටළුව වන්නේ, දැනුම් නිෂ්පාදන ක්‍රියාවලියේදී ආනුභවික  කරුණු සහ භක්තිය අතර ඇති මායිම් බොඳ වී යාමය. එහි ප්‍රභවයේ සිටම මේ ප්‍රවේශයේ  ඇති අන් කේන්ද්‍රීය ගැටළුව නම්, විවේචනය කරනු ලබන කරුණු මෙන්ම යෝජනා කරන දේ ද ගැඹුරින් තේරුම් ගැනීමට උත්සාහ නොකිරීම සහ  මේ ක්‍රියාවලිය තුළම ඇදහිල්ල සහ භක්තිය මගින් සලකුණු කරන අවිනිශ්චිත අවකාශවල පිහිට නිරතුරුවම සොයා යාමට උත්සාහ කිරීමය. මේ ප්‍රවේශය ඇතැම් විශ්වවිද්‍යාල අධ්‍යයනාංශ හා සම්බන්ධ කතිකාමය අවකාශවල මෙන්ම ඉන් පිටත කතිකාමය අඩවිවල ද ජනප්‍රිය වී ඇත.

දෙවන ප්‍රවණතාව සමාජ න්‍යාය හා දර්ශනය පිළිබඳ ශාස්ත්‍රාලයීය අවකාශයට ඔබ්බෙන් පැනනැගුන ජනප්‍රිය උද්‍යෝගයකි. මූලික වශයෙන් එහි නායකයින් මෙන්ම අනුගාමිකයින් ද අපට හදුන්වා දිය හැක්කේ පරිපථනීය, සන්නාසි වේශධාරී, ඝෝෂාකාරී කුඩා කණ්ඩායම් එකතුවක් ලෙසිනි.  එහෙත් ඔවුන්ට නිසැකවම ලාංකේය විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින් සහ ඇතැම් ගුරුවරුන් අතර සැලකිය යුතු අනුගාමිකයින් පිරිසක් ඒකරාශී කරගන්නට හැකි විය. සාමූහිකව ගත් කල, ඔවුන් බටහිර-කේන්ද්‍රීය න්‍යාය වැළඳගෙන ඇත්තේ පරම සත්‍යයක් වශයෙනි. ඒ, රැඩිකල් ලෞකික විශ්වාස  පද්ධතියකට සමාන අයුරකිනි.  මෙම දේශකයින් සහ ඔවුන්ගේ අනුගාමිකයන් සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික විශ්වාස සහ දේශීය සංස්කෘතික සම්ප්‍රදායන් බැහැර කරන අතර, බටහිර න්‍යාය සහ දර්ශනය පිළිබඳ ඔවුන්ටම ආවේණික තේරුම්ගැනීමක් ඔවුන් සිය ආගම වශයෙන් පිළිගෙන ඇත. එමෙන්ම, අන් සියලු  ආගම්වලින් කරන ආකාරයටම, මෙසේ ඉදිරිපත් කරන සමස්ත අදහස් ගොන්න  දන්නා කියන සියලුම සමාජීය ගැටළු සඳහා සර්වව්‍යාපී විලේපනයක් ලෙස ඉදිරිපත් කර ඇත. අපේ පැරැණ්නන් මෙවන් තත්ත්ව විස්තර කරන්නට යොදාගත්තේ, ‘කෝකටත් තෛලය’ යන පද දෙකය. එහෙත් ඔවුන් ද, මීට පෙර විස්තර කළ විශ්වවිද්‍යාල ශාස්ත්‍රඥයින් මෙන්ම සිදුකර ඇත්තේ, බටහිරින් ආනයනය කළ වඩාත් තත්කාලීන න්‍යායාත්මක හා දාර්ශනික දැනුම මෙන්ම මේ දැනුමේ වඩාත් ප්‍රසිද්ධ දෙවිවරුන් වූ ඩෙරීඩා, ෆූකෝ සහ එහි පසුකාලීන ශාන්තුවරයන් වූ සිසෙක් වැන්නවුන් ලහිලහියේ වැළදගනු ලැබීමය. එනමුත්, එසේ කළේ මේ දැනුම සමග විචාරපූර්වක ගනුදෙනුවකට අවතීර්ණ වෙමින්, එය ශ්‍රී ලංකේය හෝ වඩාත් පුළුල් වශයෙන් දක්ෂිණ ගෝලීය සන්දර්භයක අර්ථවත් කරගත හැකි සුදුසුම ක්‍රමය කුමක් ද, එය පරිස්ථානීය සන්දර්භවලට ආරෝපණය කලහැකි නම් ඒ කෙසේ ද, ඒවා වෙනස් කරගත යුතු නම්, ඒ කෙසේ ද සහ එය තමන්ගේ සන්දර්භවලට අදාළ නොවන්නේ කුමන තත්ත්ව තුළ ද යන්න පිළිබඳ ගැඹුරු කතිකාවකට ඇතුළු නොවෙමිනි. එබැවින්, සමාජ න්‍යාය හා දර්ශනය පිළිබඳ කතිකාව මෙලෙසින් ශාස්ත්‍රාලයීය අඩවියෙන් පිටවී ජනප්‍රිය අවකාශයට පිවිසීම ශික්ෂණ-ශාස්ත්‍රීයමය වශයෙන්  වැදගත් පරිවර්තනයක් වූවත්, එමගින් සැබැවින්ම සිදුවූයේ හුදෙක් අලුතින් නැගී එන අන්ධ නායක පිරිසක් විසින් එලෙසින්ම බිහිරි වූ අනුගාමික කණ්ඩායම්වලට  නායකත්වය සැපයීමක් විය. මෙහි ප්‍රතිපලයක් වශයෙන්, මේ විපරිවර්තනයට කෙතරම් ශික්ෂණ-ශාස්ත්‍රීයමය විභවයක් තිබුණ ද  එය දීර්ඝ-කාලීනව ශ්‍රී ලංකේය සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ ධනාත්මක හා වර්ධනීය බලපෑමක් ඇතිකර නැත.  

මේ තත්ත්වය පිළිබඳව යමක් කළහැකි ද?

සාමාන්‍ය වශයෙන් ගත් කළ, මෙම කිසිදු ප්‍රවේශයකට ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ට හා මානව ශාස්ත්‍රවලට බලපාන මූලික ගැටලු විසඳීමට අවශ්‍ය බුද්ධිමය හැකියාවක් හෝ දැක්මක් නොතිබුණි. මෙයට එක හේතුවක් වූයේ, මෙම ප්‍රවේශ තුළ නිර්මාණාත්මක හා චින්තනමය මැදිහත්වීම් සම්බන්ධයෙන් තිබූ අතිශය දරිද්‍රතාවයි.  තවත් ප්‍රබල  හේතුවක් වූයේ, අදහස් බහුත්වයක් ඉවසීමට තිබූ සුපැහැදිලි නොහැකියාවයි.  මේ ප්‍රවණතා දෙකම විසින් තම අදහස් හා එකඟ නොවුනවුන් සලකන ලද්දේ ප්‍රචණ්ඩ වාග් ප්‍රහාරයන්ගෙන් විනාශ කළ යුතු වූ හුදු සතුරන් වශයෙනි. එනිසා චින්තනමය පර්ෂදවලට වඩා ඒවා වෙතින් විශද කළේ මූලධර්මවාදී ආගමික කල්ලි තුළ දැකගත හැකි වූ ලක්ෂණය.  එවන් තත්ත්ව තුළ කිසිදු ආකාරයේ ගැඹුරු බුද්ධිමය සම්භාෂණයක් ඇති විය නොහැක.

අප මතුකළ යුතු ප්‍රශ්නය වන්නේ,  දැනට පවතින සමාජ න්‍යාය සහ දර්ශනය හැදෑරීම පිළිබඳ මෙම ගැටළුකාරී  තත්ත්වය ආමන්ත්‍රණය කිරීමට කිසිවක් කළ හැකිද යන්නයි. මා මිත්‍ර මහාචාර්ය රවී කුමාර් ද සමඟ මේ ගැටළුවට යම් මැදිහත්වීමක් කිරීමට ගත් මෑතකාලීන හා  අසම්පූර්ණ උත්සාහයක් උදාහරණයක් වශෙයන් මෙහිදී ඉදිරිපත් කිරීම සුදුසු යැයි මට සිතේ. මේ උත්සාහයේදී දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වීම නිසා අප මත පනවා ඇති ආයතනික හා ශාස්ත්‍රාලයීය සීමා අප මත බලපෑම් කළ බව මා මතක් කර දිය යුතුය. එනම්, අපගේ උත්සාහය යම් පැහැදිලි ශාස්ත්‍රාලයීය සීමාවන්ගෙන් ඔබ්බට ගෙනයා නොහැකි විය. එයට  නිර්මාණශීලි හෝ නම්‍යශීලී විය හැකි වූයේ පැහැදිලි සීමා තුළය.  එමෙන්ම, මෙය හුදෙක් මෙවන් බොහෝ ආකෘති ගණනාවක් අතර ඇති එක ආකෘතියක් පමණක් බව ද මතක් කර දිය යුතුය. මගේ උදාහරණය වන්නේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනසූරී (PhD)  උපාධි පාඨමාලාවේ සිසුන්ට හැදෑරීමට සිදුවෙන ‘සමාජ න්‍යාය, සමාජය සහ චින්තන ක්‍රම’ (Social Theory, Society and Modes of Thinking) යන අනිවාර්ය පාඨමාලාවයි. මීට පෙර මේ පාඨමාලාව වෙනුවට ක්‍රියාත්මක වූයේ, වඩාත් සාම්ප්‍රදායික හා උපදේශාත්මක (didactic) පාඨමාලාවක් වූ ‘උසස් සමාජ විද්‍යා න්‍යාය’ (Advanced Sociology Theory) යන පාඨමාලාවයි. මේ මුල් පාඨමාලාව අන් බොහෝ විශ්වවිද්‍යාලවල සමාජවිද්‍යා අධ්‍යයනාංශ විසින් මෙනමින්ම ඉගැන්වූ පාඨමාලාවන්ට සමාන  වූ අතර, එමගින් සිදු වූයේ බටහිර සමාජ න්‍යාය පිළිබඳ දැනුම් සම්භාරයක්  සිසුන්ට හඳුන්වා දීමය.  මීට සාපේක්ෂව, අපගේ ඉලක්කය වූයේ ගෝලීය දකුණේ කේන්ද්‍රීය විද්වතුන් ගණනාවකගේ පොත්පත් හා රචනා අපගේ ශිෂ්‍යයන්ට මෙන්ම අප දෙදෙනාට ද හදුන්වාදීම සහ එම කියවීම් ඔස්සේ පාඨමාලා කාලය තුළදී වඩාත් විවෘත, අඛණ්ඩ හා සංවාදශීලී කතිකාමය අවකාශයක් වශයෙන් අපගේ පාඨමාලාව ගොඩනැගීමය. අප කියවූ කිසිවක් පරම සත්‍යයන් සේ සැලකීමට අපට කිසිදු අවශ්‍යතාවක් නොවීය. එමෙන්ම ඒවා ලොව නොයෙක් තැන්වල පවතින සමාජ ගැටළු සියල්ලටම සරිලන ‘කෝකටත් තෛලයක්’ ලෙස දැකීමට අපි  කිසිවෙකුවත් උනන්දු නොකළෙමු. සමාජ න්‍යාය හා දර්ශනය පුළුල් අදහස් සමුදායක් ලෙස ගත් විට, ඒවා බෙහෙවින් ව්‍යුක්ත අදහස් බව අපි පිළිගත්තෙමු. එනමුත් ඒ ව්‍යුක්ත බව සැබෑ සමාජ තත්ත්ව සමග අසම්බන්ධ වේ යැයි අපි විශ්වාස නොකළෙමු. කෙස් වෙතත්, මේ වැදගත් සහසම්බන්ධතාව මෙවන් බොහෝ පාඨමාලාවලදී ගොඩනගන්නේ නැති බව අප මැනවින් දැන සිටි නිසා, හැකි ලෙසකින් අප සමාජ න්‍යාය හා දර්ශනය පිළිබඳ කළ කතාබහ තත්කාලීන සමාජ තත්ත්ව හා දේශපාලන ගතික තේරුම්ගැනීමේදී යොදාගත හැකි ද සහ ඒ කෙසේ ද යන්න ද පන්තියේ කළ සාකච්චාවල කොටසක් විය.

මේ සියල්ලට ම අමතරව, පන්තියේ දී ඉදිරිපත් වූ සියලු අදහස් විචාරයට, කතිකාවට, පිළිගැනීමට, අර්ථවිවරණයට, ඉවතලීමට හෝ නව්‍යකරණයට අවකාශ තිබුණි. තවද පාඨමාලාවට ඇතුළත් නොවුනු ඕනෑම ලිපියක් හෝ චින්තකයෙකුගේ අදහස් සංදර්භයානුකූලව කතිකාව වෙත ගෙන ඒමට ඕනෑම ශිෂ්‍යයෙකුට හැකියාව තිබුණි. මෙය ඇතැම් විට සිදු වූ බව ද මගේ මතකයේ ඇත. අප විධිමත්ව ගණුදෙනු කරන්නට යෙදුනු විද්වතුන් අතරට න්ගුගි වා තොන්ගෝ (Ngũgĩ wa Thiong’o), අනිබල් කුයිහානෝ (Aníbal Quijano), අශීෂ් නන්දි (Ashish Nandy), එන්රිකේ ඩුසෙල් (Enrique Dussel), වෝල්ටර් ඩී. මිග්නෝලෝ (Walter D. Mignolo), මරියා ලුගෝනෙස් (Maria Lugones), පාර්තා චැටර්ජි (Partha Chatterji) හා ප්‍රථමා බැනර්ජි (Prathama Banerjee) යනාදීන් ඇතුළත් වුනි. මෙවන් කණ්ඩායමක් හා ඔවුන්ගේ අදහස් අපගේ පාඨමාලාවට ඇතුළත් කිරීමට ප්‍රධානතම හේතුව වූයේ, මෙම ශාස්ත්‍රඥයන් බටහිර සමාජ න්‍යාය හා දර්ශනය සමඟ ගැඹුරු විචාරාත්මක හා ආවර්ජනීය  ගණුදෙනුවක් ආරම්භකර තිබීමය. බටහිර න්‍යායික හා දාර්ශනික ස්වාමිවරුන්ගේ ආධිපත්‍යවාදී අදහස් කිසිදු ගැඹුරු විචාරයකින් තොරව, ඒවා හුදෙක් බටහිරින් ජනනය වීම නිසාම බැහැර කිරීම හෝ ඒවා යම් සදාතනික ආගමික සත්‍යයන් සේ වැලඳගැනීම හෝ වෙනුවට මේ අදහස් සමුදාය පිළිබඳව විචාරපූර්වකව සිතා බැලීමට සහ ඒවා අපගේ වැනි ප්‍රදේශ කියවීම සඳහා යොදා ගත හැකිනම්, ඒ කෙසේ ද යනාදී වශයෙන් වඩාත් ආවර්ජනීය ප්‍රවේශ ඔවුන් විසින් ඉදිරිපත් කර තිබීම අපගේ වරණයේ පදනම විය. මෙම මෑතකාලීන අදහස් සමග අප සියලු  දෙනාම සම්මුඛ වියයුතු බවත්, එතුළින් වඩාත් තත්කාලීන සහ අපගේ කාලයට හා පරිස්ථානීය පසුබිමට අදාළ න්‍යායික හා දාර්ශනික දැනුම් පද්ධතියක් ගොඩනගාගත හැකි බවත් අපගේ විශ්වාසය විය.

මේ පසුබිම තුළ, අපගේ සිසුන්ට පූර්ව-යටත්විජිත හා යටත්විජිත අතීතයේ ජීවත්ව සිටි දකුණු ආසියානු චින්තකයින්ගේ තෝරාගත් රචනා ද ඔවුන්ගේ අදහස් පිළබඳව අන්‍යයන් විසින් ලියූ පොතපත ද පරිශීලනය සඳහා අපි විසින් ලබා දුන්නෙමු. මෙම අතීත අදහස් සමග විචාරපූර්වක කතිකාමය ගනුදෙනුවක් ඇතිකර ගැනීමෙන් අපට අවශ්‍ය වූයේ, ඒ ඔස්සේ සමකාලීන න්‍යායාත්මක හා දාර්ශනික ඥාන සම්ප්‍රධායක් ගොඩනගාගතහැකි දැයි ගවේෂණය කිරීමය. එනමුත් අපට මෙය විවෘත අරමුණක් විය. එයට අප පූර්ව-මතවාදීමය නිගමන,කොන්දේසි හෝ සමාප්තියක් දී තිබුනේ නැත. මේ කියවීම් අතරට බී.ආර්. අම්බේද්කර්, ජෝතිරාඕ ෆූලේ, පෙරියර් ඊ.වී. රාමසාමි (තන්තයි පෙරියර්), බඝත් සිං, එම්. කේ. ගාන්ධි යන චින්තකයින්ගේ තෝරා ගත් රචනා මෙන්ම බෞද්ධ ඥාන සම්ප්‍රදායේ තෝරාගත් අංශ ද  අප විසින් අපගේ පාඨමාලාවට ඇතුළත් කර තිබුනි. මේ පාඨමාලාවටට ඇතුළත් වූ කියවීම්වලින් ප්‍රධාන රචනා මේ ලිපියේ අග කොටසේ ‘දක්ෂිණ ගෝලීය රචනා’ සහ ‘යටත් විජිත හා පූර්ව යටත් විජිත දකුණු ආසියානු චින්තනය පිළබඳ රචනා’ යන සිරස්  දෙක යටතේ ඉදිරිපත් කර ඇති අතර, ඒවා බොහෝමයක් අන්තර්ජාලය ඔස්සේ එතරම් අපහසුවක් නොමැතිව සොයාගත හැක.

මෙම අත්හදාබැලීමේ දී, බෙහෙවින් වැදගත් කාරණයක් අප විසින් නිරතුරුවම අපගේ සිහියේ තබාගත් අතර, පාඨමාලාවේ අනිවාර්ය කතිකාමය කඩඉමක් බවට ද පත්කර තිබුනි. එනම්, බටහිර න්‍යායේ හා දර්ශනයේ විශ්වීය ප්‍රකාශ සමඟ කටයුතු කිරීමට උත්සාහ කිරීමේ දී සහ ඒවා විචාර පූර්වකව අභියෝගයට ලක් කිරීමේ දී දේශීයවාදයේ (nativism) පටු මතවාදීමය උගුල්වල නොවැටී සිටීමට ද පටු සංස්කෘතික සුවිශේෂීත්වවාදයක (cultural exclusivism) සහ සංශෝධනවාදී හා ප්‍රතිගාමී ඉතිහාසකරණ ක්‍රියාවලීන්ගේ ගොදුරු බවට පත්නොවන්නට ද  අපි  සිහි තබා ගත්තෙමු. මක්නිසාද යත්, මෙවන් පටු චින්තනමය ප්‍රවේශ දකුණු ආසියානු  කලාපය මුළුල්ලේම විකල්ප චින්තනයක් හා කලාපීය හෝ දේශීය න්‍යාය සම්පාදනය සහ දර්ශනය සඳහා උදාහරණ ලෙස  දකුණු ආසියාව පුරා ඒ වන විට ද මතු වී තිබුණු බව අප මැනවින් දැන සිටි නිසාය.

පැහැදිලිවම, මා ඉහත විස්තර කළ අපගේ ශාස්ත්‍රීය අත්හදාබැලීම මා තේරුම් ගන්නේ, අවසානය තවමත් පැහැදිලිව නොපෙනෙන, අසම්පූර්ණ හා පරමාදර්ශීය වශයෙන් තවදුරටත් ක්‍රියාත්මක විය යුතු උත්සාහයක් ලෙසය. ඇතැම් විට, දීර්ඝ-කාලීන උත්සාහයකින් පසුව වුව ද  එය අසාර්ථක විය හැකිය. යම් වසරවල දී මේ උත්සාහය අන් වසරවලට වඩා සාර්ථක වූ බව ද අපි අත්දැකීමෙන්ම දනිමු. එහෙත් අවම වශයෙන්, බටහිර සමාජ න්‍යාය හා දර්ශනය අන්ධ ලෙස අනුමත කිරීම හෝ ඒවායේ විශ්වීය ප්‍රකාශ තුළ ඇති විය හැකි සීමා පිළිබඳ හුදු සරල විවේචනයක් ඉදිරිපත් කිරීම හෝ ප්‍රතිගාමී, භයානක සහ ඊනියා ‘දේශීය’ චින්තන ක්‍රමයක් නගා සිටුවීම සඳහා බටහිරින් පැමිණි අදහස් ප්‍රතික්ෂේප කිරීම වෙනුවට, මෙම අදහස් සමඟ ඝෝෂාවකින් තොරව බුද්ධිමය වශයෙන් ගනුදෙනුකිරීම සඳහා අපි විශ්විද්‍යාලයක් කේන්ද්‍ර කරගත් බුද්ධිමය අවකාශයක් සම්පාදනය කර ඇත. එතුළ, අපගේ කලාපයේ චින්තනමය  සන්දර්භය තුළ මතුවන නව අදහස් ගවේෂණය කිරීමට මෙන්ම, දකුණු ආසියාවේ පැරණි අදහස් හැකි අවස්තාවලදී තත්කාලයට ගෙන ඒමට සහ ගෝලීය දකුණේ අන් කලාපවල ප්‍රභවය ලබා ඇති අදහස් මෙන්ම බටහිරින් එන සමකාලීන අදහස් ද විචාරපූර්වකව ගවේෂණය කළ හැක. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අප ගොඩනගන්නට උත්සාහ ගත්තේ, අන්තර්ක්‍රියාකාරී බුද්ධිමය අවකාශයක් මිස ආධිපත්‍යධාරී ඝෝෂාමය අවකාශයක් නොවේ.

මට පෙනෙන පරිදි, ප්‍රමාණවත් දේශපාලන අභිප්‍රායක් සහ බුද්ධිමය කුතුහලයක් තිබේ නම්, ලංකාව තුළ ද ඉහත විස්තර කළ ආකාරයේ හෝ ඊට සමාන බුද්ධිමය කටයුත්තක් සඳහා ප්‍රමාණවත් අවකාශ තිබේ. නමුත් එය සාර්ථකව සිදු කිරීම සඳහා, විවේචනයට ලක්වන කරුණු කාරණා පිළිබඳව විවේචකයින් ගැඹුරින් හා පුළුල් ලෙස හදාරා තිබිය යුතුය. එය හුදු මතුපිටින් කෙරෙන ජනප්‍රියවාදී ඝෝෂාවක් නොවිය යුතුය. මෙලෙසින්ම, මේ අදහස් සම්බන්ධයෙන්  දැනට ගෝලීය දකුණේ චින්තන පර්ෂදවලින් සම්පාදනය කර ඇති දැනුම පිළිබඳ මනා දැනුමක් ද අවශ්‍ය වේ. තවද මේ කර්තව්‍යයේ සාර්ථකව නියැලීමට නම්, අපගේ දේශපාලන ඉතිහාස, පඨිත සහ බුද්ධ ධර්මය, වේදීය චින්තනය සහ ජෛන දහමේ සිට චාර්වක ගුරුකුලය දක්වා පුළුල් පරාසයක විහිදී ඇති දකුණු ආසියාවේ දාර්ශනික සහ ආගමික පර්ෂදවලින් බිහිවී, කලාපයේ චින්තනයේ කොටසක් බවට පත්ව ඇති ප්‍රවර්ග සහ සංකල්ප පිළිබඳව ද දැනුමක් තිබිය යුතුය. නොඑසේ නම්, එවන් දැනුමක් සම්පාදනය කිරීම සඳහා අවතීර්ණ විය යුතු ඥාන අවකාශ වෙත පිවිස, එම දැනුම අවැසි පරිදි සම්පාදනය කර ගැනීමට ශික්ෂණයක් සහ උනන්දුවක් තිබිය යුතුය.

යම් දුරකට ඉහත මා විස්තර කළ පාඨමාලාවෙන් උත්සාහ කළේ, අපගේ සිසුන් තුළ මෙන්ම පාඨමාලාවේ ආචාර්යවරුන් වූ මහාචාර්ය රවී කුමාර් සහ මගේ ද තිබූ ඥානමය අඩුපාඩුකම් පිරවීමේ මූලික උත්සාහයකි. එනම්, වඩාත් පුළුල් අනාගත කාර්යභාරයකට යම් මූලික පදනමක් සම්පාදනය කිරීමය. එනමුත් එවන් උත්සාහයක් එක් පාඨමාලාවකින් පමණක් සමාප්ත කළ නොහැක. එය උනන්දුවක් ඇත්තවුන් කාලාන්තරයක් මුළුල්ලේ සිදුකල යුතු ඥාන සම්පාදනීය ක්‍රියාවලියකි. පුද්ගලිකව හා ලංකාව සම්බන්ධයෙන් ගත්කළ, මාගේ බලාපොරොත්තුව වන්නේ, ඉහත විස්තර කළ දැනුම් ක්ෂේත්‍රයේ දැනට මැනවින් ගොඩනැගී ඇති යම් ඥානමය පැතිකඩ සහ එතුළින් කලාපීය හා ලංකේය චින්තනය වර්ධනය කළ හැකි නම්, ඒ කෙසේ ද සහ ඒ සඳහා  වඩාත් ප්‍රයෝජනවත් වන්නේ කුමනාකාරයේ මුලාශ්‍ර ද යන්න පුළුල්ව ගවේෂණය කිරීම සහ ඒ උත්සාහය සිංහලෙන් වාර්තා කිරීමය. වඩාත් පුළුල්ව සහ සිංහල භාෂා සම්භාෂණයෙන් ඔබ්බෙහි, මහාචාර්ය රවී කුමාර් සහ මා උත්සාහ ගන්නේ, මේ බුද්ධිමය දේශපාලනයම වඩාත් පුළුල් දකුණු ආසියානු සන්දර්භයක් තුළ ගවේෂණය කිරීමය.  නමුත් මේ බලාපොරත්තු දෙකම බොහෝ කාලය ගතවන සහ අපගේ දෛනික වෘත්තීයමය වගකීම්වලින් ඔබ්බට යන අතිවිශාල ඥාන ගවේෂණ ක්‍රියාවලියක් සමග සිදු විය යුත්තකි. එයට ඝෝෂාවෙන් හෝ ජනප්‍රිය කතිකාවකින් හෝ ප්‍රයෝජනයක් නැත. ඒ සඳහා අතවශ්‍ය දනුම හෝ මූලාශ්‍ර අප සතුව දැනට නොමැති බව අපි මැනවින් දන්නෙමු. එනමුත් මේ අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳ යම් දැනුමක් සහ දැඩි උන්දුවක් අපට තිබේ.

එහෙත්, ඉහත විස්තර කළ ආකාරයේ පුළුල් හා ගැඹුරු බුද්ධිමය ගනුදෙනුවක් පිළිබඳ මූලික පරිකල්පනයක් හෝ අපගේ විශ්වවිද්‍යාලවල මේ වන තෙක් ගොඩනගා හෝ ආයතනගත කර ඇති බවක් හෝ මට නොපෙනේ. එයට ප්‍රධාන හේතුව අපගේ විශ්වවිද්‍යාල මූලික උපාධි පුහුණුව කේන්ද්‍රකරගෙන ගොඩනැගී ඇති බැවින්, එම ඉගැන්වීම්වලින් ඔබ්බට ගොස්, වඩාත් පුළුල් පර්යේෂණ හා ඥාන සම්පාදන අඩවි ලෙස ක්‍රියාත්මක වීමට අත්‍යාවශ්‍ය බුද්ධිමය හා සංවිධානාත්මක යටිතල පහසුකම් හෝ අවැසි ආයතනික උද්‍යෝගය නොලැබීමය. සැබැවින්ම, මා කලින් විස්තර කළ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය හා සම්බන්ධිත උත්සාහය මෙතෙක් දුරට හෝ කරගෙන යාමට හැකියාව ලැබුනේ, අපගේ වෘත්තීය කටයුතු හා බුද්ධිමය මැදිහත්වීම් අතිවිශාල සිසුන් සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් සහභාගී වන මුල් උපාධි මට්ටමේ පුහුණු කටයුතුවල කොටසක් වනවා වෙනුවට, වඩාත් සීමිත සිසුන් සංඛ්‍යාවක් සහභාගී වූ දර්ශනසූරී මට්ටමෙන් කළ  හැකි වූ නිසාය. එය අපට මේ සඳහා ඇවසි නිදහස, නම්‍යශීලිත්වය හා කතිකාමය අවකාශය ලබාදුනි.    එමෙන්ම, ඉහත විස්තර කළ ආකාරයේ  උත්සාහයක් සමාජ මාධ්‍යයේ ‘ඝෝෂාකාරී’ අහුමුළුවල නිරතුරුවම ඇවිලී යන කතිකාවල හෝ සමාජයේ තැන තැන සරනා ස්වයං-ප්‍රකාශිත න්‍යායාචාර්යවරුන් ගේ දේශනා ඔස්සේ හෝ සිදු වී ඇති බවක් හෝ සිදුවන බවක් හෝ නොපෙනේ.

කෙසේ වෙතත්, අවසාන කරුණ නම්, සමාජ න්‍යාය හා දර්ශනය සමඟ ඉහත විස්තර කළ ආකාරයේ ගැඹුරු මැදිහත්වීමකින් තොරව, පොදුවේ ගත් කළ, ලංකාවේ සමාජයීය විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර අපට දැනට පරිකල්පනය කළ හැකි අනාගතයේදී ද  අතිශයින් සාමාන්‍ය හා නොදියුණු තත්ත්වයක පවතිනු ඇති බව සිතාගත හැක. එසේම, අපගේ විශ්වවිද්‍යාලවල සහ ඉන් ඔබ්බෙහි සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර පිළිබඳ විචාරපූර්වක චින්තනයක් හා පුහුණුවක් පෙරදැරි කරගත්  ශක්තිමත් සම්ප්‍රදායක් නොමැතිව, සමාජයක් වශයෙන් අප අදහස් සමඟ කටයුතු කරන ආකාරය දැඩි බුද්ධිමය දරිද්‍රතාවකින් පීඩා ලබන බව තේරුම් ගැනීම එතරම් අපහසු නොවිය යුතුය.

තෝරාගත් දක්ෂිණ ගෝලීය රචනා

Chatterjee, Partha. 1997. Our Modernity. Rotterdam and Dakar: SEPHIS and CODESRIA.

Chattopadhyay, Sohini. 2018 (November 6). ‘Theories from the South I: An Interview with Prathama Banerjee.’ Available at: https://www.borderlines-cssaame.org/posts/2018/11/6/theories-from-the-south-i-an-interview-with-prathama banerjee fbclid=IwAR1u6msBsTcAy6TOsGYMKa3HxLqCqRn8ss0Ijyy48GY2ArDxEoDuFHIfi6g (accessed on 12 November 2018)

Chattopadhyay, Sohini 2018 (November 10). ‘Theories from the South II: Interview with Aditya Nigam.’ Available at: https://www.borderlines-cssaame.org/posts/2018/11/10/theories-from-the-south-ii-interview-with-aditya-nigam (accessed on 12 November 2018)

Dussel, Enrique 2001. “The ‘World-System’: Europe As ‘Center’ and Its ‘Periphery’ beyond Euro- centrism,’ In, Mendieta, Eduardo and Pedro Lange-Churión (eds.,) Latin America and Postmodernity: A Contemporary Reader, pp.93–121. Atlantic Highlands, N.J: Humanities Press.

Dussel, Enrique. 2000. ‘Europe, Modernity and Eurocentrism.’ In, Nepantla: Views from South, Volume 1, Issue 3, 2000, pp. 465-478.

Dussel, Enrique 1993. ‘Eurocentrism and Modernity’, boundary 2, Vol.20, No.3, pp.65-76

Rao, D. Venkat. 1999. A Conversation with Ngũgĩ wa Thiong’o. In, Research in African Literatures, Spring, 1999, Vol. 30, No. 1 (Spring, 1999), pp. 162-168.

Thiong’o, Ngũgĩ wa. 2004. ‘Recovering the Original.’ In, World Literature Today, Vol. 78, No. 3/4 (September – December, 2004), pp. 13-15.

Thiong’o, Ngũgĩ wa. 2013. ‘Tongue and Pen: A Challenge to Philosophers from Africa – A Translation of ‘Rũrĩmĩ na karamu: ithoga harĩ athamaki a Abirika.’’ In, Journal of African Cultural Studies, Vol. 25, No. 2 (June 2013), pp. 158-163.

Thiong’o, Ngũgĩ wa. 2013.  ‘A Globalectical Imagination.’ In, World Literature Today, Vol. 87, No. 3 (May/June 2013), pp. 40-42.

Thiong’o, Ngũgĩ wa. 2008.  ‘Freeing the Imagination’, Transition, No. 100, pp. 164-169.

Mignolo, Walter D. 2009. ‘Epistemic Disobedience, Independent Thought and De-Colonial Freedom.’ In, Theory, Culture & Society, Vol. 26 (7–8), pp. 1–23.

Mignolo, Walter D. 2002. ‘The Geopolitics of Knowledge and the Colonial Difference.’ In, The South Atlantic Quarterly, 101:1 (Winter 2002), pp. 57-96.

Mignolo, Walter D. 2011. ‘Decolonizing Western Epistemology/Building Decolonial Epistemologies.’ In, Isasi-Diaz, Ada Maria and Eduardo Mendieta (eds.,) Decolonizing Epistemologies: Latina/o Theology and Philosophy, pp.19-43. New York: Fordham University Press.

Lugones, Maria. 2011. ‘Methodological Notes toward a Decolonial Feminism.’ In, Isasi-Diaz, Ada Maria and Eduardo Mendieta (eds.,) Decolonizing Epistemologies: Latina/o Theology and Philosophy, pp.68-86. New York: Fordham University Press.

Nandy, Ashish. 1983. The Intimate Enemy: Loss and Recovery of Self under Colonialism. Delhi: Oxford University Press.

Rodrigues, Ângela Lamas and Ngugi wa Thiong’o. 2004. ‘Beyond Nativism: An Interview with Ngugi wa Thiong’o.’ In, Research in African Literatures, Vol. 35, No. 3 (Autumn, 2004), pp. 161-167.

Quijano, Aníbal. 2007. ‘Coloniality and Modernity/Rationality.’ In, Cultural Studies, 21:2-3, 168-178.

Quijano, Anibal. 2000. ‘Coloniality of Power, Eurocentrism, and Latin America.’ In, Nepantla: Views from South, Vol. 1.3, pp. 533-580.

තෝරාගත් යටත් විජිත හා පූර්ව යටත් විජිත දකුණු ආසියානු චින්තනය පිළිබඳ රචනා

Gandhi, M.K. 1930. ‘The Cult of the Bomb.’ In, The Collected Woks of Mahatma Gandhi, Vol 48 (21 November 1929-2 April 1930), pp. 184.186. New Delhi: Publications Division, Government of India.

Jayatilleke, K.N. 1963. Early Buddhist Theory of Knowledge. London: George Allen & Unwin Ltd.

Rahula, Walpola Sri 1959. What the Buddha Taught.  New York: Grove Press

Vohra, Bhagwati Charan. 1929. The Philosophy of the Bomb. Available at http://www.shahidbhagatsingh.org/index.asp?link=bomb

මූලාශ්‍ර

Banerjee, Prathama, Aditya Nigam and Rakesh Pandey. 2016. ‘The Work of Theory Thinking across Traditions.’ In, Economic & Political Weekly, Vol. LI Np. 37 (September 2016), pp. 42-50.

Leave a comment

This website uses cookies to improve your web experience.