Skip links

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

(මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක)

ආයුබෝවන්.

මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා මානව විද්‍යාවට පමණක් සීමා කරන්න වෙන්නේ යම් දුරකට ව්‍යුක්තව හා කෘත්‍රිමවයි. මොකද, මේ ශික්ෂණ දෙකට පරිභාහිර නොයෙකුත් වෙනත් විෂයන් සමාජ විද්‍යාවට මෙන්ම මානව විද්‍යාවට හුගාක් බලපෑම් කරන බව අපි හොදින් දන්න නිසා. නමුත් මේ අදහස් දැක්වීම සීමා කිරීමට අවශ්‍ය නිසා, මම මේ විෂයන් දෙකෙන් ඔබ්බට යනවා නම් යන්නේ, ඉතාමත් අවම වශයෙන් හා අත්‍යාවශ්‍ය විට විතරයි.

කොහොම වුනත්, මේ අදහස් දැක්වීමට පටන්ගැන්මක් හැටියට මෑතකාලීන පුද්ගලික අත්දැකීමක් විස්තර කරන්න මම කැමතියි. මම දැන් ජීවත් වෙන්නෙයි වැඩ කරන්නනෙයි නව දිල්ලියේ නිසා, ජාත්‍යන්තරව තමන්ගේ කෘති බෙදාහරින ඉන්දීය හා ජාත්‍යන්තර පොත් ප්‍රකාශන සමාගම්වල ප්‍රධානීන් බොහෝ දෙනෙක් මම හොදින් අදුරනවා. ඒ අයව නිරන්තරවම ඇසුරු කරනව. ඒ නිසාම, මේ සමාගම්වලට ශ්‍රී ලංකාවේ කෙරුන පර්යේශණ මත පදනම් වෙච්ච කෘති පළකරන්න, නැත්නම්  ශ්‍රී ලංකාව මත පදනම් වෙච්ච වැදගත් සිංහල හෝ දෙමල කෘතිවල ඉංග්‍රීසි පරිවර්තන පළ කරන්න ලොකු උනන්දුවක් තියෙන බව මම දන්නවා. මේ උනන්දුව මේ මට්ටමින් 2010 තරම් මෑත අතීතයේදී තිබ්බේ නැහැ. මේක මෑතකාලීන හා දැනට ව්‍යාප්ත වෙමින් පවතින උනන්දුවක්. මේකට ප්‍රධාන හේතුවක් තමයි ගෝලීය තලය තුළ ඉන්දියාවට අමතරව, දකුණු ආසියා කලාපයේ අන් ප්‍රධාන රටවල් පිළිබඳව ඇතිවෙලා තියෙන උනන්දුව. අනෙක් කාරණය තමයි, ඉන්දීය රජයේ මතවාදීමය අවශ්‍යතා මත ප්‍රසිද්ධකර ඇති ‘Neighborhood First’, නැතිනම් ‘අසල්වාසී රටවල් ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තියේ බලපෑම.

නමුත් ඒ හැමෝම කියන කාරණයක් තමයි, ඒ අය ශ්‍රී ලංකාවේ දැනුම් නිශ්පාදනය ගැන කිසි දෙයක් දන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ, කව්ද ලියන්නේ සහ මොනවද ලියන්නේ කියලා ඒ උදවිය නොදන්නා බව. එහෙම නැත්නම්, ප්‍රකාශනය සදහා එවන අත්පිටපත් අතලොස්ස බොහෝ විට හුගක් දුර්වල මට්ටමක තියෙන බවත් මට කියලා තියෙනවා. මේ නිසා, මම මගේ පරම්පරාවට සමීප හා ඊට වඩා බෙහෙවින් තරුණ, නමුත් යම් වැඩක් කිරීමේ හැකියාව ඇතැයි මම විශ්වාස කළ විශ්වවිද්‍යාල ගුරුවරු හය හත් දෙනෙකුට කිව්වා, ඒ අයගේ කෘති මේ ජාත්‍යන්තර ප්‍රකාශකයින්  හරහා පළ කරවාගන්න මට උදව් කරන්න පුළුවන්, කැමතිනම් මට කියන්න කියලා. මේ අය සමාජවිද්‍යා විෂයට මෙන්ම අන් සමාජයීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර විශයන්ට සම්බන්ධ අය. හැබැයි මේ අයගෙන් එකම එක්කෙනයි මේ ගැන උනන්දුවක් දැක්වූයේ. එයාගේ පොත තව මාස කීපයකින් ගෝලීය වෙළදපොල සඳහා ලන්ඩනයෙනුත්, දකුණු ආසියානු වෙළෙද පොල සඳහා නව දිල්ලියෙනුත් පළවෙන්න නියමිතයි.

අනික් උදවිය එක්කෝ කිසිදෙයක් ඒ ගැන මට කිව්වේ නැහැ. නැත්තං ලංකාවේ ප්‍රකාශකයෙකු හොයාගෙන තම පොත් පළකර ගත්තා. එහෙමත් නැත්තං තමන්ගේ බුද්ධිමය ශ්‍රමය මේ ප්‍රසිද්ධ ප්‍රකාශකයින්ට විකුණන්න කැමති නැති බව කිව්වා. මූලික වශයෙන්, මගේ උත්සාහය ‘බීරි අලින්ට වීණා වයනවා වගේ’ වැඩක් වුනා. ලෝකයේ ඉන්න කිසිම ප්‍රකාශකයෙක් පොත් පළකරන්නේ අපිට තියෙන අනූපමය ආදරය නිසා නෙවේ. ඒක ඔවුන් කරන්නේ මූලික වශයෙන් වෙළද ලාභය සදහා සහ දෙවනුව දැනුම ප්‍රචලිත කරන්න. හැබැයි මේ වැඩෙන් අපි නිශ්පාදනය කරන දැනුම ලෝකයට ගලා යනවා. ඒ වගේම, ඒ පිලිබඳ සම්භාෂණ ලෝකයේ ඇතිවෙනවා. මේවා ශාස්ත්‍රඥයින්ට හුගක් වැදගත් දේවල්. මම මේ විස්තර කළ අත්දැකීම මම තේරුම් ගත්තේ ජාත්‍යන්තර ප්‍රකාශකයින් හා ඔවුන්ගේ ප්‍රවේශ එක්ක ගනුදෙනු කරන්න මේ අයගේ තියෙන අකමැත්ත, නුහුරුකම හා බිය, ඒ ප්‍රකාශකයින්ගේ වෘත්තීය ප්‍රවේශ පිළිබද ඇති සාංකාව හා තමන්ගේම රචනා ගැන ඇති හීනමානය පිළිබඳ දර්ශකයන් වශයෙන්.

මේ තත්ත්වය පුළුල් වශයෙන් ලංකාවේ සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍රවලට බලපාන බව පේනවා. ඒ කියන්නේ, ලංකාවේ සිටින පර්යේශකයින් විසින් ලියූ ලංකාව හා සම්බන්ධ පර්යේෂණ රචනා ගෝලීය කතිකාවලට ඇතුලත්වනේ  ඉතාමත් අඩුවෙන්. මේ සාමාන්‍ය තත්ත්වය ලංකාවේ සමාජ විද්‍යා රචනා සම්ප්‍රදායෙත් මූලික ලක්‍ෂණයක්. ඒ කියන්නේ, අපේ සමාජ විද්‍යාඥයින් වැඩි දෙනා මූලික වශයෙන් තම රචනා යොමුකරන්නේ දේශීය කතිකාවන් සදහා විතරයි. ඒ අයගේ දැනුම බොහෝ දුරට ගෝලීය සමාජ හා මානව විද්‍යා දැනුම් නිශ්පාදනයට හෝ දැනට පවතින ලංකා කේන්ද්‍රීය ගෝලීය රචනා සම්ප්‍රදාය පෝෂණය කරන්න හෝ දායක වෙන්නේ නැහැ. ඒ අයගේ රචනා මේ කියන දූපත් කේන්ද්‍රීයත්වය නිසා ගෝලීය මට්ටමේ න්‍යායික සාකච්ඡාවලට බලපෑම් කරන්නෙත් නැහැ. මේක මම තේරුම් ගන්න විදියට නම්, බරපතල ප්‍රශ්නයක්. අපි මේ තත්ත්වය විචාරපූර්වකව සිතා බලා තේරුම් ගැනීමට අමතරව, ඒ සඳහා පැහැදිලි මැදිහත්වීම් සිදුකිරීමත් අත්‍යාවශ්‍යයි. මේ සදහා යම් කාලයක් ගතකිරීමයි දැන් මගේ අදහස.

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා රචනය හා ප්‍රකාශනය සම්බන්ධ ගැටළු

එහෙම නම්, මුලින්ම අපි අහන්න ඕනැ ලංකාව තුළ පවතින මේ සම්ප්‍රදායේ ලක්‍ෂණ මොනවාද කියන එකයි. මම සැරින් සැරේ ලංකාවට ආවහම නුගේගොඩ සරසවි සහ මරදානේ ගොඩගේ වගේ පොත් සාප්පුවලට ගොඩවැදිලා ඒවායේ තියෙන සමාජ හෝ මානව විද්‍යා ක්‍ෂේත්‍රවලට අයිති පොත්පත් මොනවද කියලා හොයලා බලනවා. එයින් සමහරක් වැඩිදුර කියවීමට මම අරගෙන යනවා. තවත් ඒවා ගැන මට ආරංචි වුනාම, මම ඒවා මගේ මිත්‍රයින් හරහා තැපෑලෙන් ගෙන්න ගන්නවා. ඉදලා හිටලා සමහර ලේඛකයින් තමන්ගේ කෘති මට එවනවා. මේවා කියවන කොට මම දකින කේන්ද්‍රීය කාරණා ගණනාවක් තියෙනවා. මම හිතන්නේ මේ කාරණා, මේ රචනා හා ප්‍රකාශන සම්ප්‍රදාය පිළිබඳ සෑහෙන බලපෑමක් ඇතිකරන නිසා, ඒවා කෙටියෙන් විස්තර කිරීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් — උනන්දුවක් ඇති උදවියට:

1) එකක් තමයි බී.ඒ. සහ එම්.ඒ. උපාධි සදහා ලියපු නිබන්ධන සෑහෙන ප්‍රමාණයක් පළකර තිබීම. ගෝලීයව නම්, මේ වගේ ලේඛන තේරුම් ගන්නේ මූලික වශයෙන් උපාධි අවශ්‍යතා සදහා පමණක් ලියූ, එතරම් ගැඹුරු පර්යේෂන ක්‍රියාවලියක් මත පදනම් නොවූ දේ හැටියටයි. ඒ නිසා තමයි ලෝකයේ ප්‍රධාන පෙලේ කිසිම ප්‍රකාශකයෙක් මේ වගේ ලේඛන පොත් හැටියට පළ කරන්නේ නැත්තේ. ඇරත්, උපාධිය සදහා ලියූ දේ ඒ විදියටම පොතක් හැටියට පළකරන්න බැහැ. ඒ නිසා, මේ සරල කෘති මම දකින්නේ හුදෙක් මුද්‍රණය කරන ලද මූලික උපාධි නිබන්ධන හැටියට විතරයි. ඒවා ප්‍රකාශනයට පෙර, සවිඥානිකව ප්‍රතිව්‍යුහගත කළ බවක්වත් අක්‍ශර වින්‍යාස හෝ ව්‍යාකරණ නිවරැදි කළ බවක්වත් තමන්ගේ මූලාශ්‍ර යාවත්කාලීන හෝ නිවරැදි කළ බවක්වත් බොහෝ උදාහරණ සම්බන්දයෙන් පේන්නේ නැහැ. ඒ ඇරෙන්න, මේවා හුගක් දුරට ද්විතීයික මූලාශ්‍ර මත පදනම් වෙච්ච විස්තර කතන පමණයි.

මෙවායින් න්‍යායික සූක්‍ෂමකරණයක් හෝ සංකල්පීය ප්‍රවර්ධනයක් වෙයි කියලා හිතන්න අමාරුයි. මේවායින් දැනුම අලුත් වෙන්න විදිහකුත් නැහැ. මේවගේ ප්‍රකාශනවලින් කතුවරුන්ට යම් පරිස්ථානීය ප්‍රසිද්ධියක් හා විශ්වවිද්‍යාල ඇතුලේ උසස්වීම් සඳහා ලැබෙන උපකාරය වගේ පුද්ගලික ප්‍රයෝජන තිබ්බත්, මේ මගින් දියුනු රචනා සම්ප්‍රදායක් නම් ගොඩගගන්න බැහැ. හැබැයි වඩාත් ගැඹුරු දර්ශනසූරි, නැතිනම් පී.එච්.ඩී. වගේ උපාධියකට ලිව්ව නිබන්ධනයක් මීට වඩා දියුණු පොතක් බවට පත්කිරීමේ හැකියාව වැඩියි. මොකද, මේවා සඳහා  වඩාත් වැඩි කාලයකුත්, ශ්‍රමයකුත් වඩාත් ගැඹුරු පර්යේෂණ නැඹුරුවකුත් උපයෝගී කරගන්න ඇති කියන සාමාන්‍ය විශ්වාසය නිසා. හැබැයි මේක ඇත්තටම වුනාද නැද්ද කියන එක වෙනම කාරණයක්. ඒත් මේ වගේ උදාහරණ මම අර කලින් කිව්ව විදියේ උදාහරණවලට සාපේක්‍ශව එච්චර පේන්නේ නැහැ. කොහොම වුනත්, මේ වගේ සංකීර්ණ යයි අපි විශ්වාස කරන නිබන්ධනයක් වුනත් ගෙඩි පිටින් තියෙන හැටියටම පළ කරන්න බැහැ. පී.එච්.ඩී. උපාධි නිබන්ධනයක් පරිපූර්ණ පොතක් බවට පත්කිරීම ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ සඳහා උදව් උපකාර ගන්න විලියම් ජර්මානෝගේ 2005 පළවෙච්ච From Dissertation to Book වගේ පොතක් කියවන්න පුළුවන්. ඒක පළකළේ චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රනාලයයි. මේ වගේ උපකාරක පොත් ඕනැ තරම් හොයා ගන්න පුළුවන්. මීට අමතරව, චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලයේ වෙබ් අඩවිය, මෙල්බර්න් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලයේ වෙබ් අඩවිය වගේ බොහෝ අත්තර්ජාල මූලාශ්‍ර පරිහරණය කරන්න පුලුවන් කිසිම මුදලක් ගෙවන්නේ නැතිව. ඒත් මේ වගේ මූලාශ්‍ර බොහෝ දෙනා පාවිච්චි කරන බවක් නම්, පළ කරලා තියෙන දේ කියවලා බැලුවම පේන්නේ නැහැ.

2) මට පේන දෙවන කාරණය තමයි, මෙහෙම පලකරලා තියෙන පොත්වලින් සැලකිය යුතු කොටසක් පෙලපොත් ගණයට වැටෙන ඒවා බව. ඒ කියන්නේ, ඒවායේ මූලික අරමුණ දැනුම් නිම්වලලු පුළුල් කරන එක නෙවෙයි. ඒවායේ පරමාර්ථය විශ්වවිද්‍යාලවල සිටින මූලික උපාධි පාඨමාලා සඳහා පෙනී සිටින උපාධි අපේක්‍ෂකයින් හදාරණ එක් එක් විෂයන් සඳහා අත්වැල් සැපයීම. වෙනත් විදියකින් කියනවා නම්, ලාංකේය සමාජ  විද්‍යා රචනා සම්ප්‍රදායේ ඉතා දෘශ්‍යමාන  සාධකයක් හැටියට මේ පොත් අපි පිළිගන්නවා නම්, එහි අරුත තමයි ඒ සම්ප්‍රදාය පවතින්නේ ඉතාමත් ප්‍රාථමික අවදියක බව. ඒ කියන්නේ, ලංකාවේ විධිමත්ව සමාජවිද්‍යාව උගන්වන්න පටන් අරන් අවුරුදු 70 ඉක්මවූ අද වගේ කාලයක, අපේ රචනා සම්ප්‍රදායේ සෑහෙන අවධාරණයක් තවමත් තියෙන්නේ පෙළපොත් සදහා බව. ඒත්, පෙළ පොත් ඉගැන්වීමට කොතරම් වැදගත් වුනත්,  ඒවා මගින් දියුණු රචනා හා චින්තන සම්ප්‍රදායක් බිහිකරන්න පුළුවන් කියලා අපි හිතනවා නම්, ඒක වැරදි හැගීමක්.

3) තෙවනුව, මම නිරන්තරයෙන්ම දැකලා තියන අනික් කාරනය තමයි, ශාස්ත්‍රීය කෘති කියලා ලංකාවේ සාමාන්‍යයෙන් පිළිගන්න — මම කලින් විස්තර කළ විදියේ — පොතපත ප්‍රකාශයට පත් කරන ප්‍රකාශකයින් අනුගමනය කරන වෘත්තීය නොවන පිළිවෙත්. ඒ කියන්නේ, ඒ පොත් බොහෝමයක කේන්ද්‍රීය කරුණු ගැන තියෙන බරපතල ගැටළු, තර්ක සම්බන්ධයෙන් මතුවෙන ඇතැම් ප්‍රශ්න, භාවිත සාහිත්‍ය මූලාශ්‍රවල යාවත්කාලීන නොවන බව සහ ඉදිරිපත්කර ඇති විස්තරවල ඇති දුර්වල හා වැරදි භාෂා භාවිතය වැනි ප්‍රශ්න බැලූ බැල්මට වුනත් පේන දේවල්. ඒවා දකින කොට පේන්නේ, සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය කෘතියක් පළ කිරීමට ඉස්සර සිදුවිය යුතු ගැඹුරු විමර්ශනය හා සංස්කරණය හෝ අවම වශයෙන් සෝදුපත් කියවීමේදී නිවරැදි කරගත යුතු වූ දේවත් සිදු කර නොමැති බවයි. මෙයින් පෙනෙන්නේ මේ ප්‍රකාශන කටයුතු වල ඇති අතිශය අවිධිමත් බව හා එනිසාම ජාත්‍යන්තරව මේ වගේ ප්‍රකාශන සම්බන්ධයෙන් මූලිකවම පිළිපැදිය යුතු කොන්දේසිවත් පිළිනොපැදීමයි. මේ කෘති පළ කිරීමේදී ගෝලීයව පිළිගත් වෘත්තීය ප්‍රමිතීන් හා භාවිතවලට වඩා වැදගත් වී ඇත්තේ, කතුවරුන් හා ප්‍රකාශකයින් අතර ඇති පුද්ගලික සබඳතා සහ මූල්‍යමය කරුණු බව තමයි අපිට අනුමාන කරන්න සිද්ද වෙන්නේ.

ඉන්දියාව, පාකිස්ථානය  හා බංගලිදේශය වගේ රටවල් ගත්තහම ශාස්ත්‍රීය පොත් ප්‍රකාශය සදහා විශේෂ උනන්දුවක් දක්වන ජාත්‍යන්තර ප්‍රකාශන සමාගම් කීපයක්ම මේ රටවල අඩසියවසකට පමණ පෙර සිටම ක්‍රියාත්මක වෙන බව අපිට පේනවා. කේම්බ්‍රිජ් හා ඔක්ස්ෆර්ඞ් විශ්වවිවිද්‍යාලයීය මුද්‍රණාල හා සේජ්, රවුට්ලෙජ් වැනි ප්‍රකාශන සමාගම් මීට උදාහරණ. මේකට ඉතිහාසමය හේතු තියෙනවා. ඉන්දියාවේ නම්, මේ වගේම ක්‍රියාත්මක වෙන හා තම ප්‍රකාශන ගෝලීයව බෙදාහරින දේශීය ප්‍රකාශන සමාගමුත් තියෙනවා. ඕරියන්ට් බ්ලැක් ස්වෝන් හා පර්මනන්ට් බ්ලැක් වගේ සමාගම් මීට උදාහරණ. ලංකාව සම්බන්දයෙන් බලන කොට, ජාත්‍යන්තර ප්‍රකාශකයින් තම ව්‍යාපාර අපේ රටේ පිහිටුවන්න කිසිම උත්සාහයක් යටත් විජිත යුගයේ ඉදන්ම අරගෙන නැහැ. අඩුම තරමින්, හවුල් ව්‍යාපාර හැටියට මෙයින් සමහරක් හෝ ලංකාවේ ස්ථානගත කරන්න හෝ ලංකාවේ හැකියාව ඇති කතුවරුන් මෙවැනි සමාගම්වලට හදුන්වාදීමේ විධිමත් ක්‍රියාවලියක්වත් මේ රටේ නැහැ. හැබැයි University of Ceylon Press  සහ University of Ceylon Press Board වැනි විශ්වවිවිද්‍යාල හා අනුබද්ධිත ප්‍රකාශන ආයතන ලංකාවේ නොතිබුනා නොවේ. ඒවා මගින් බෙහෙවින් වැදගත් පොත්පත් යම් යුගයකදී පළනොවුනා නොවේ. ඒත් ඒවා 1960 දශකය ආරම්භ වන විට බිදවැටී අවසන් වුනා. ගුණසේන පොත් සමාගමත් බෙහෙවින් වැදගත් පොතපත 1970 ගණන් වෙනකල් පල කළා. ඒක තව දුරටත් සිද්ධ වෙන බවක් පේන්නේ නැහැ. මේ වෙනුවට දැනට පවතින තත්ත්වය තමයි මම කලින් විස්තර කලේ. හැබැයි මේ වගේ දුර්වල වෘත්තීය තත්ත්වයක් යටතේ දියුණු හා විචාරශීලී රචනා හා ප්‍රකාශන සම්ප්‍රදායක් ලංකාවේ තියෙන්න විදියක් නැති බව අපි වටහා ගන්න ඕනෑ.

4) මම මෙතෙක් කතා කලේ පොත් ගැන විතරයි. නමුත් රචනා සම්ප්‍රදායක් බිහිකරන්නේ ගුණාත්මක අගයකින් යුත් පොත්වලින් විතරක් නෙවේ. මේ කාරණයේදී අනේකවිද සාර-සංග්‍රහ නැත්නම් journals වැදගත් කාර්යභාරයක් ගෝලීයව ඉටුකරනවා. 1970 ගණන් පමණ වන තෙක් පේරාදෙනිය විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගත් Ceylon Journal of Humanities කියන සාර-සංග්‍රහය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාවන්ට බෙහෙවින් වැදගත් ලිපි ගණනාවක් පල කලා. එය අද දක්වාම පැවතුනත්, එය පවත්වාගෙන යාම අපහසු බව තමයි මම අහලා තියෙන්නේ. ඒ මූල්‍යමය ප්‍රතිපාදන පිළිබඳ ප්‍රශ්න වගේම ගුණාත්මක අගයෙන් වැඩි ලිපි ලබාගැනීමේ අපහසුතාව වැනි කරුනු නිසා. මේ සාර-සංග්‍රහයේ සවර්ණමය යුගයේදීම (ඒ කියන්නේ 1960 දශකය හෝ 1970 දශකය මුල් කාලය වන තුරු) විශ්වවිද්‍යාලවලට ආයතනික වශයෙන් පරිභාහිරව පවත්වාගෙන ගිය වැදගත් සාර-සංග්‍රයක් වූයේ සංස්කෘති සාර සංග්‍රහයයි . එය අදාල කාලයට සාපේක්‍ෂව ශාස්ත්‍රීය දැනුම් නිෂ්පාදනය සිංහල බසින් වඩාත් ජනප්‍රිය තලයකට ගෙන ඒමට ගත් සාර්ථක උත්සාහයක්.

අද වන විට ඇතැම් විශ්වවිවිද්‍යාල, සමහර පීඨ හා අධ්‍යයනාංශ විසින් පවත්වාගෙන යන සාර-සංග්‍රහ කීපයක්ම තිබෙන බව අපි දන්නවා. මේවා සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ලිපි පළකිරීමට විවෘතයි. දෙමලෙනුත් මේ වගේ සාර-සංග්‍රහයන් ඇති. මම ඒ ගැන කිසිවක් දන්නේ නැහැ. හැබැයි, මේවා කියවන කොට මට පෙනිලා තියෙන දෙයක් තමයි, මම කලින් විස්තර කළ ඇතැම් ප්‍රශ්න වගේම පූර්ව-විමර්ශණය පිළිබඳ සීමා හා සංස්කරණ ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු පැහැදිලිව පෙනෙන බව. හැබැයි විශ්වවිද්‍යාල මගින් පළකරන සාර-සංග්‍රහවල මේ වගේ ප්‍රශ්න පරමාදර්ශීයව නම් තියෙන්න විදියක් නැහැ.

මම මේක කියන්නේ යම් මට්ටමක සංසන්දනාත්මක අත්දැකීම් එක්ක. 2011 දී මම දකුණු ආසියානු විශ්වවිද්‍යාලයට පැමිණියාට පස්සේ, ඒකේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයට අවශ්‍ය වුනා දකුණු ආසියාවේ දැනුම් නිශ්පාදනයට ප්‍රමුඛත්වය දෙන සාර-සංග්‍රයක් ආරම්භ කරන්න. ඒක දැන් හැදින්වෙන්නේ Society and Culture in South Asia කියලා. ඒ සඳහා කරුනු දැනගන්න  හා ඊට අදාල පුළුල් කතිකාමය අවකාශය ගැන ඉගෙන ගන්න අපි සමාජ විද්‍යාව හා ඊට සමීප අන් ශික්ශණයන් හා සම්බන්ධ සාර-සංග්‍රහයන් බොහෝ ගණනක් සමීපව අධ්‍යයනය කළා. ඒවායේ වැදගත් අංග, භාවිත හා දුර්වලතා අපි සැලකිල්ට ගත්තා. ඊට පස්සේ අපි තීරණය කළා අපේ සාර-සංග්‍රය සමාජ හා මානව විද්‍යාවන්ට වගේම අන් සමාජයීය විද්‍යාවන්ට හා මානව ශාස්ත්‍රයන්ට විවර විය යුතු බව. ඊට හේතුව අන්තර්-ශික්ශණීය අධ්‍යයනයන්ගේ වැදත්කම අපි පිළිගත් නිසාත්, 21 වන සියවසේ මේ කාලය වන විට බොහෝ විෂයන් අතර තිබූ බුද්ධිමය මායිම් බොඳවී ගොස් ඇති බව අප පිළිගත් නිසාත්. ඒ එක්කම අපි තිරණය කළා, හුදු විස්තර කතනවලට හෝ ගැඹුරු විශ්ලේශණයකින් තොර සංඛ්‍යාණමය දත්ත ඉදිරිපත් කිරීමට හෝ අපේ සාර-සංග්‍රහය විවෘත නැති බව. තවද, පර්යේශණ ලිපි හා න්‍යායාත්මක පර්යාවලෝකයන්ට අමතරව, අපේ සාර සංග්‍රහය සම්මුඛ සාකච්චා, මතිමතාන්තර හා විවාද, මෑතකාලීනව පළවූ කෘති පිළිබඳ විමර්ශන හා චායාරූප කියවීම තුළින් සමාජ පර්යේෂණයට නැඹුරුවීම යන ප්‍රවේශවලට අවකාශ ලබා දුන්නා. මේ අභ්‍යන්තරික සාකච්චාවලින් සහ හැදෑරීම්වලින් සිද්ධ වුනේ, අපේ සංස්කරණ ප්‍රතිපත්තිය මැනැවින් අපිට පැහැදිලි වීමයි. මෙය ද්වීවාර්ශික විමර්ශිත සාර-සංග්‍රහයක් හැටියට ගෝලීයව ප්‍රකාශයට පත් කිරීම සඳහා අපි සේජ් ප්‍රකාශන සමාගම එක්ක සාකච්චා කළේ මින් අනතුරුවයි. මේ ඔක්කෝම කරන්න අපිට 2011 ඉදලා අවුරුදු 4 ක විතර කාලයක් ගියා.

2016 ඉදන් 2020 වන තුරු අපි මේ ප්‍රතිපත්ති මත පදනම් වෙලා නොකඩවාම හා වෙලාවට මේක පළකරලා තියෙනවා. අද වන විට, සේජ් සමාගමට අනුව, ඔවුන් විසින් ගෝලීයව පළකරන සාර-සංග්‍රහ අතරින් වඩාත් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සාර-සංග්‍රහ කීපය අතර එකක් අපේ සාර-සංග්‍රහය. මේක මේ තත්වයට අරන් එන්න අපි බොහෝ කාලයක් හා ශ්‍රමයක් වැය කළා. මේ වැඩේට කැපවෙච්ච කුඩා සංස්කාරක මණ්ඩලයක උදව් අපිට ලැබුනා. මුලදීම, එහෙම කැපවෙන්න බැරි අයට සංස්කාරක මණඩලයෙන් අයින් වෙන්න කියලා ප්‍රධාන සංස්කාරක වශයෙන් මම කිව්වා. අපේ සංස්කාරක මණ්ඩලය පත් කළේ ජ්‍යෙශ්ඨත්වය හෝ අදාල පුද්ගලයින් විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ බලවතුන්ද යන කාරණය මත නොවේ. එයට පදනම් වුනේ, අදාල පුද්ගලයින්ගේ පුහුණුව, ඔවුන්ගේ පර්යේෂණ රුචිකත්ව හා සාර-සංග්‍රහයේ උනන්නතිය සඳහා අවශ්‍ය කාලය වැය කිරීමට ඔවුන් සූදානම්ද යන කරුනු පමණයි. ඒ තරම්ම කැපවූ ජාත්‍යන්තර විමර්ශණ මඩුල්ලක සහායත් අපිට ලැබුනා. අවසානයේදී, සංස්කරණ සහායකයින් වශයෙන් අපේ පී.එච්.ඩී උපාධි පාඨමාලාවේ ඇතැම් සිසුන්ගේ සහායත් අපිට නොමදව ලැබුනා. ඔවුන්ට ඒ දේ කරන්න අදාළ පුහුණුව හා බුද්ධිමය කුතුහලය අපෙන් ලැබිලා තිබුනු බවට අපිට විශ්වාසයක් තිබ්බා. ඒ එක්කම ඔවුන්ගේ භූමිකතාව අපි මුල ඉදන්ම විධිමත්ව හා ප්‍රසිද්ධියේ පිළිගත්තා.

මම මේ උදාහරණය මේ තරම් විස්තරත් එක්ක ඉදිරිපත් කලේ යම් පැහැදිලි අදහසක් ඉදිරිපත් කිරීමටයි. ඒ කියන්නේ, සාර-සංග්‍රහයක් වැනි දෙයක් ආරම්භ කිරීම පහසු දෙයක් නොවේ. ඒක සංකීර්ණ බුද්ධිමය හා සංවිධානාත්මක ව්‍යායාමයක්. හැබැයි මේ වගේ අවශ්‍ය කාලය, ශ්‍රමය, චින්තනය හා අදාල කාර්යය සඳහා වඩාත් සුදුසු පුද්ගලයින්ගේ මැදිහත් වීම මේ වගේ ව්‍යාපෘතියක් සඳහා යොදවන්නේ නැත්නම්, අපි ආරම්භ කරන මෙවැනි ප්‍රකාශන මාලා යම් ශික්ශණයක දියුනු රචනා හා බුද්ධිමය සම්ප්‍රදායක් ඇති කරනු වෙනුවට, සිදුවන්නේ තවත් සරල විස්තර හා සංඛානමය දත්ත ඉදිරිපත් කරන අවකාශයක් පමණක් බවට පත්වීමයි. මම හිතන්නේ දැනට ලංකාවේ සමාජ හා මානව විද්‍යා රචනනය සඳහා විවර වී ඇති සාර-සංග්‍රහ ගැන අපි මේ විදියට සිතා බැලිය යුතු බවත්, ඒවා අදාල ප්‍රමිතීන්ට හා භාවිතවලට අනුකූල වන්නේ නැතිනම්, ඒ සඳහා අත්‍යාවශ්‍ය මැදිහත් වීම් නොපමාවම කළ යුතු බවත්. එහෙම නැතිව, මේවා දියුණු රචනා හා ප්‍රකාශන සම්ප්‍රදායක ගාමක බලවේග වෙයි කියලා හිතන්න අමාරුයි.

මම මෙපමණ වේලා කතා කළේ ලංකාවේ සමාජ හා මානව විද්‍යා රචනා සම්ප්‍රදායේ මම දිකින ගැටළු ගැන. හැබැයි මේ ප්‍රශ්න සියල්ලම මැද්දේ ශ්‍රී ලංකාව හා සම්බන්ධ පර්යේෂණ හා රචනා ගෝලීය කතිකාවට ගෙන යන සමාජීය විද්‍යාඥයින් අතලොස්සක් හෝ ඉන්න බව අපි අමතක නොකළ යුතුයි. ගෝලීයව පළවෙන සාර-සංග්‍රහ මගින් පලකරන ලිපිවලට අමතරව, ලංකාවේ කරන ලද පර්යේෂණ මත පදනම් වී මෑත කාලීනව ගෝලීයව පල කළ ලංකාවේ සිටින පර්යේෂකයින් දෙපොළකගේ කෘති මගේ සිහියට එනවා. එයින් පළමු වැන්න තමයි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්  ටියුඩර් සිල්වා රචනා කළ Decolonisation, Development and Disease: A Social History of Malaria in Sri Lanka  කියන කෘතිය. එය ඉන්දියාවේ ඕරියන්ට් බ්ලැක් ස්වෝන් සමාගම මගින් 2014 දී පළකලා. අනික තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හර්ෂණ රඹුක්වැල්ල විසින් රචනා කළ, The Politics and Poetics of Authenticity: A Cultural Genealogy of Sinhala Nationalism කියන කෘතිය. එය 2018 දී පලකලේ එංගලන්තයේ යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් මුද්‍රණාලය මගින්.

මා මේ සඳහන් කළේ මේ ප්‍රවර්ගයට අදාල ප්‍රකාශන පිළිබඳ උදාහරණ දෙකක් පමණයි. මෙතනදි මට කියන්න අවශ්‍ය මෙච්චරයි: තමන් ලංකාව ගැන නිශ්පාදනය කරන ඇනුම ගෝලීය කතිකාවන්ට ගෙනියන්න අවශ්‍ය නම් හා උනන්දුව තියෙනවා නම්, ඒක කරන බැරි දෙයක් නෙවේ. හැබැයි ඒ සඳහා යම් කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමටත්, මම අර කලින්ම විස්තර කළ ආකාරයට ජාත්‍යන්තර ප්‍රකාශකයින්ගේ ප්‍රමිතීන්ට යටත් වීමටත්, ඔවුන්ගේ භාවිත හා එකග වී කටයුතු කිරීමටත් සිද්ධ වෙනවා.

පවතින ගැටළු සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග

අපි කැමති වුනත් නැතත්, පවතින රචනා හා ප්‍රකාශන සම්ප්‍රදායේ මේ මූලික ගැටළු අපිට පිළිගන්න වෙනවා. එහෙම නැතිව, අපිට මේ ගැටළු නිරාකරණය කරන්න බැහැ. මේ සම්බන්දයෙන් අපිට විසඳුම් හැටියට හිතන්න පුලුවන් හා ක්‍රියාවට නගන්න පුළුවන් ප්‍රවේශ ගණනාවක් තියෙනවා:

1) ඉන් පළුමුවැන්න තමයි, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතකාලීනව ගෝලීයව පළවී ඇති පොතපතින් අවම වශයෙන් තෝරා ගත් පොත් කිහිපයක් ශ්‍රී ලංකාවේ නැවත පළකිරීමට උත්සාහ ගැනීම. ඒ කියන්නේ, ඒ පොත් තිබෙන ලෙසින්ම ඒවායේ මුල් කෘති පළවූ කාලයේම ලංකාවේ බෙදා හැරීමට පමණක් පළ කිරීම. එහෙම නැතිව, මේ දැනුම ලංකාවේ බුද්ධිමය සම්භාෂණයට එක් කරන්න විදියක් නැහැ. කතුවරුන්ගේ මැදිහත් වීමක් තිබේනම්, මෙය එතරම් අපහසු නැති විධිමත් ක්‍රියාවලියක්. මට මතක හැටියට සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සහ විජිත යාපා පොත් සාප්පුව මේ වැඩේ මීට පෙර පොත් කිහිපයක් සම්බන්ධයෙන් පමණක් සාර්ථකව සිදුකකර තියෙනවා.  ඒ නිසා මේ පොත් කිහිපය වඩා සාධාරණ මිලකට හා වඩාත් පහසුවෙන් ලාංකේය ශාස්ත්‍රඥයින්ට ලබා ගැනීමේ හැකියාව ලැබුනා.  

නමුත් මෙය වඩාත් සාර්ථක කරගන්න නම්, එය පැහැදිලි හා සංවිධානාත්මක යාන්ත්‍රණයක කොටසක් විය යුතුයි. උදාහරණයක් හැටියට, අපිට හිතන්න බැරිද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක්, උනන්දුව ඇති ලාංකේය පුද්ගලික අංශයේ ප්‍රකාශකයෙක් හා අදාල මුල් පොත පලකළ ජාත්‍යන්තර ප්‍රකාශකයාගේද සම-සහභාගීත්වය ඇතිව මෙවැනි පොත් ලංකාවේ නැවත පළ කරන්න reprints හැටියට? මේවා අළුත් දේ නොවේ. නමුත් මෙය යාන්ත්‍රණයක් හා ප්‍රතිපත්තිමය ක්‍රියාවලියක් හැටියට කරන්න නම්, යම් දැක්මක් හා බුද්ධිමය උනන්දුවක් අවශ්‍යයි. ඊට යම් ප්‍රාග් ධනයක් මෙන්ම ආයතනික ව්‍යුහයකුත් අවශ්‍යයි.

මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස්වෙන්න ඉස්සර, මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා University of Colombo Press නැතිනම් කොළඹ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය වශයෙන් ආයතනයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය අදහස් හා නිර්දේශ ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් ඒ කාලේ හිටපු උපකුලපතිනියට භාර දුන්නා. ඒ ලේඛනය සමහර විට තාමත් මා ගාව ඇති. මම යෝජනා කළේ ඉහත සඳහන් කළ ආකාරයේ පුනර්-ප්‍රකාශන මෙන්ම ලෝකයේ අන් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාල මෙන්, පැහැදිලි විමර්ශණ ක්‍රියාවලියකින් තෝරාගත් මුල් කෘති ද අවශ්‍ය විදියට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවලින් පළකිරීමටයි. නමුත් ඇයට මා අදහස් කළ දේ වැදගත්කම නොතේරුන නිසා, මම ඒ අදහස අතෑරලා දැම්මා. හැබැයි, එයින් කොටසක්  තමයි මම නව දිල්ලියේදී අපේ සාර-සංග්‍රහය ආරම්භ කිරීමේදී යොදා ගත්තේ.

2) මේ සම්බන්ධයෙන් ගත හැකි තවත් වැදගත් ප්‍රවේශයක් තියෙනවා. ඉංග්‍රීසි හා අන් ජාත්‍යන්තර භාෂා දැනුම් නිෂ්පාදනයේදී කෙතරම් වැදගත් වුනත්, එයින් පමණක් දේශීය බුද්ධිමය, රචනා හා ප්‍රකාශන සම්ප්‍රදායක් ගොඩ නගන්නවත් පවත්වාගෙන යන්නවත් බැහැ. දේශීය ශාස්ත්‍රඥයින් ගෝලීය දැනුම් පර්ෂදවලට ඇතුළුවීම සඳහා ඉංග්‍රීසි හා අන් ජාත්‍යනතර භාෂා මැනැවින් ප්‍රගුණ කළ යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. ඒ වුනත්, දේශීය රචනා සම්ප්‍රදායක් නිසි ලෙස ගොඩනගන්න පුලුවන් වෙන්නේ වඩාත් මුල්බැසගත් හා ව්‍යාප්ත වූ දේශීය භාෂාවන්ගෙන් ඒ සම්ප්‍රදාය පෝෂණය කරන්න උත්සාහ ගත්තොත් විතරයි. ඒ නිසා ශාස්ත්‍රීය හා තාක්‍ෂණික ප්‍රමිති නිසි ලෙස පවත්වාගෙන යමින්, සිංහල හා දෙමල භාෂාවලින් මුල් කෘති ප්‍රකාශයට පත් කිරීමටත්, මා කලින් සඳහන් කළ ආකාරයේ ගෝලීයව ප්‍රකාශයට පත්වෙන පොත්පත්වලින් තෝරාගත් පොත්වල සිංහල හා දෙමළ පරිවර්තන පළ කිරීමටත් අපිට ආයතන පද්ධතියක් අවශ්‍යයි. මා  මීට පෙර සඳහන් කළ ආයතනමය ආකෘතිය මේ සඳහා යොදා ගත හැකි බව මගේ විශ්වාසයයි. හැබැයි, මේ වගේ ආයතන පද්ධතියක් සාර්ථක වන්නේත් ඒවාට වෘත්තීයමය ලෙස වර්ධනය වන්නට හැකියාව ලැබෙන්නේත් ඒවාට සුදුසුකම් හා හැකියාව ඇති පුද්ගලයින් පමණක් අනුයුක්ත කිරීමෙන් හා බඳවා ගැනීමෙන් සහ මෙවන් ආයතනවලට ලොව අන් විශ්වවිද්‍යාලයීය ප්‍රකාශන ආයතන මෙන් සාපේක්‍ෂ ස්වාධීනත්වයක් ලබා දීමෙනුත් පමණයි. මේවාට පුද්ගලයින් හුදෙක් ඔවුන් උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, අධ්‍යයනාංශ ප්‍රධානීන් හෝ මහාචාර්යවරුන් වූ පමණින් පත්කරන්නේ නම්, එයම ඒ ආයතන උපන්ගෙයිම මරා දමන්නට පාදක වෙන බව විශ්වවිද්‍යාල හා සම්බන්ධ පුළුල් ඉතිහාසයම අපට පැහැදිලි කර දෙනවා.

3) තුන්වන මැදිහත්වීම හැටියට මම දකින්නේ දැනට ශාස්ත්‍රීය පොත් හැටියට පිළිගැනෙන පොත පත — මොන කරම් දුර්වලතා සහිතව වුනත් — පළ කරන්න උනන්දුව දක්වලා තියෙන ප්‍රකාශකයින් අතලොස්සක්, අපිට යම් මූලික ප්‍රමිතිමය හා භාවිතමය පූර්ව-කොන්දේසි පද්ධතියකට යටත්ව, තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න කැමති කරවා ගන්න පුළුවන්ද කියන එක සොයා බැලීමයි. ඒ කියන්නේ, විශ්වවිද්‍යාලයකට හෝ ස්වේඡ්චාවෙන් ඉදිරිපත්වෙන ශාස්ත්‍රඥයින් කණ්ඩායමකට නොහැකිද තෝරා ගත් ප්‍රකාශකයින් කිහිප දෙනෙකුට අවශ්‍ය පුහුණුව ලබා දී, අවශ්‍ය භාවිත හා ශිල්ප ක්‍රම සම්පාදනය කරදී, සමාජවිද්‍යාව හා අන් ශික්ෂණයන්ට ද අදාලව දේශීය රචනා සම්ප්‍රදාය පෝෂණය කරන්න අවශ්‍ය වඩාත් දියුනු පොතපත ප්‍රකාශයට පත්කිරීමට අවකාශ විවර කිරීමට උත්සාහ ගන්න?  අඩුම තරමින් මේ දිශාවට දැනට උත්සාහයක් හෝ ගෙන තිබෙනවාද?

4) සිව් වන ප්‍රවේශය සාර-සංග්‍රහවල බුද්ධිමය ප්‍රමිතිය දියුණු කිරීම හා බැදී පවතිනවා. මම කලින් කී ආකාරයට දැනට පවතින බොහෝ සාර-සංග්‍රහයන්ගේ බුද්ධිමය ප්‍රමිතිය එතරම් දියුණු බව පෙනෙන්නේ නැහැ. මේ යථාව පිළිගන්නවා නම්, අදාල විශ්වවිද්‍යාලවලට හෝ බුද්ධිමතුන්ට නොහැකිද මේ ප්‍රකාශනවල සංස්කරණ ප්‍රතිපත්ති පිලිබඳව නැවත සිතා බලන්නට, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා භාවිතයන්ට මේවායේ ඇති සමීප හෝ දුරස්ත බව නිසි ලෙස තේරුම් ගෙන ඒවා දියුනු කිරීම සහ සංස්කාරකවරුන්ගේ හා විමර්ශකයින්ගේ හැකියා දියුනු කිරීම වැනි මැදිහත්වීම්වලින් මේ සාර-සංග්‍රහයන්ගේ බුද්ධිජීවී වාතාවරණය වැඩි දියුණු කරන්න?

නමුත් මේ සියල්ලම කරන්න පෙරාතුව, මෙතන පැහැදිලි ප්‍රශ්න ගණනාවක් තිබෙන බවත්, ඒවා මොනවාද යන්න තේරුම් ගැනීමත්, ඒවා විසදීම සඳහා කළහැකි මැදිහත්වීම් මොනවාද යන්නත් තේරුම් ගැනීම අවශ්‍යයි. මා දැන් කළේ වසර ගනනාවක් තිස්සේ මා කළ නිරීක්‍ෂණ හා ලියා ගත් සටහන් ඔස්සේ මේ පිළිබඳ යම් සීමිත අදහස් ගණනාවක් ඉදිරිපත් කිරීමයි. මේ අදහස් ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන ශාස්ත්‍රඥයින්ට හා බුද්ධිජීවීන්ට වඩාත් සූක්‍ෂම ලෙස නැවත සකසා ගත හැකියි. නොඑසේ නම්, මා අවධාරණය කර නොමැති දේ මේ සම්භාෂණයට ගෙන ආ හැකියි. එසේත් නැතිනම්, මේ අදහස්වල පදනමක් නොමැති බව පෙන්වා දී, ඒවා ඉවත දැමිය හැකියි.

ඒ කෙසේ නමුත්, ඕනෑම ශික්ෂණයක් හා සම්බන්ධ රචනා සම්ප්‍රදායක් ගැන කතා කිරීමේදී, ඒ සම්ප්‍රදාය කුමන බසකින් ක්‍රියාත්මක වුනත්, ඊට අදාල පූර්ව කොන්දේසි හා ප්‍රමිතීන් ලංකාවේදී එක් ලෙසකටත් ලෝකයේ වඩාත් දියුණු බුද්ධිමය අවකාශයකදී තවත් ලෙසකටත් පවතින්න විදියක් නැහැ. ඒ කියන්නේ අපි ලංකාවේ පළකරන දේම ලෝකයේ අන් තැනකද පළකරන්නට සුදුසු විය යුතුයි. හැකියාව තිබිය යුතුයි.

අසා සිටි හැමට ස්තූතියි.

Leave a comment

This website uses cookies to improve your web experience.