ශ්‍රී ලංකාව පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් ලෙස

~ සසංක පෙරේරා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය

බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව රටක් වශයෙන් මට පෙනී ඇති ඇත්තේ පරස්පරවිරෝධතාවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි. මීට පැහැදිලිම උදාහරණය නම්, දකුණු ආසියානු කලාපයේ වඩාත් ව්‍යාප්ත වූ සාක්‍ෂරත්වය දැකිය හැකි රට වන ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්‍ෂරත්වය සම්බන්ධයෙන් ඇති සාපේක්‍ෂ දරිද්‍රතාවයි. එනම්, දේශපාලන ප්‍රවනතා කියවීමේදී තම පටු දේශපාලන, සංස්කෘතික, ජනවාර්ගික හා ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, පුළුල් යථාව කියවීමට බොහෝ දෙනාට ඇති නොහැකියාවයි. මේ නොහැකියාව රාජ්‍යය හා ආණ්ඩුව සමග ඍජුවම බැඳී ඇති බොහෝ දෙනාට මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ දෙනෙකුට ද එක සේ බලපාන බව ප්‍රසිද්ධ අවකාශයේ සංසරණය වන අදහස් මතුපිටින් සලකා බැලුවද පෙනේ. මෙය සැබැවින්ම අවාසනාවන්ත කරුණකි. මන්ද, මෙලෙස මුසාවක රටක් ලෙස ජීවත්වීම එම රටේ උන්නතියට කිසිවිටකත් යහපතක් නොවන බව සාමාන්‍ය දැනුම මෙන්ම ලෝක ඉතිහාසයද අපට උගන්වා ඇති නිසාය. මාගේ උත්සාහය මෙවැනි පරස්පරවිරෝධතාවන් කිහිපයක් ඒවාට අයත් සන්ධර්භය තුළ ස්ථානගත කිරීමෙන් එයින් අප අපවම තේරුම්ගත යුත්තේ කෙසේ ද යන පැනය මතුකිරීම පමණි.

පළමු පරස්පරවිරෝධතාව: තොන්ඩමන් මලගම

පසුගිය මැයි මාසයේ මියගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් මහතාගේ ආදාහන කටයුතු සම්බන්ධ සමස්ථ සිද්ධි මාලාවම නාටකීය අයුරින් මහජන වේදිකාවේ රඟදැක්වූයේ මේ පරස්පරවිරෝධතාවන්ගේ එක් ජවනිකාවකි. රටේ මෙන්ම ලෝකයේ සැම තැන ද භයානක ප්‍රකිවිපාක ඇතිව පැතිරයමින් තිබුනු කෝවිඞ් 19 වසංගත තත්ත්වය නිසා, ඒ වන විටද රජයේ නියෝග අනුව රටේ බොහෝ තැන්වල ඇදිරිනීතියක් ක්‍රියාත්මක වූ අතර, මරණයකදී වුවද එක්තැන් විය හැකි ජනතාව දැඩි ලෙස සීමා කර තිබුනි. නෑසියන් මෑතකදී අහිමි වූ හිත මිතුරන් කිහිප දෙනෙකුම මට පවසා ඇත්තේ මෙය චිත්තවේගීය වශයෙන් දැඩි ලෙස පීඩාකාරී වුවද, රටේ තත්ත්වය හා තම පෞද්ගලික සෞඛ්‍ය තත්වයන් සලකා බලූවිට, කුඩා හා සීමිත අවමගුලක් සංවිධානය කිරීම අර්ථවත් වූ බවයි. තවද, ඇඳිරිනීතිය උල්ලංඝනය කළ බොහෝ පිරිසක් පොලීසිය විසින් දිවයිනේ නොයෙක් තැන්වලදී යුහුසුලුව අත්ඩංගුවට ගන්නා ලදී. එවන් පුද්ගලයින්ට නඩු පවරන ලෙස ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ද කියවා ඇති බවක් මසිත පවතී. මේ සියල්ල ප්‍රාදේශීය පොලිස් හා මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ සිද්ධ කරනු ලැබීය. පවතින තත්ත්වය තුළ මේ තීරණ අනිවාර්යයෙන් ගත යුතු වූ තීරණය.

මීට සාපේක්‍ෂව, මේ කිසිදු නීතියක් තොන්ඩමන් මහතාගේ අවමගුලට අදාල නොවීය. පොලීසිය බලා සිටියදීම දහස් ගණන් ජනයා ඒ වන විට පනවා තිබූ සමාජ-දුරස්ථභාවය පිළිබඳ රෙගුලාසි තඹ දොවයිකුවකටවත් මායිම් නොකර, ඔහුගේ නිවසට රැස් වූවා මෙන්ම, මෘත දේහයද සහිතව වීදි සංචාරයේ ද යෙදුනි. ඒ අතරතුර ඔහුගේ පුත්‍රයා සිය අනාගත දේශපාලන ජීවිතය උදෙසා තමන්ගේ කුලුඳුල් දේශපාලන නාටකයක් වීදි ඔස්සේ රඟදැක්වූ ආකාරය ද අප දැක්කෙමු. එය පෙනුනේ අවමංගල්‍ය කටයුත්තකට වඩා දකුණු ඉන්දීය ඡන්ද වෘපාරයක් මෙනි. පනවා තිබූ දැඩි සෞඛ්‍ය නීති උල්ලංණය කරමින් මෙම මළගමට දින ගණනක් ඔස්සේ සහභාගීවූවන් අතර ජනාධිපතිවරයා ඇතුළු අන් බොහෝ දේශපාලකයින් ද සිටි බැව් අපි දන්නෙමු. මේ සියල්ලම සිදුවන විට තොණ්ඩමන් මහතාගේ දියණිය, විදේශයක සිටි පැමිණි බැවින් කොළඹ නිරෝධායන හෝටලයකට වී සිය පියාගේ අවමගුලට සහභාගීවීමට නොහැකිවීම පිළිබඳව සිත්තැවුලින් සිටි බවට ද වාර්තා වී තිබුනි.

ප්‍රසිද්ධ අවකාහයේ රඟදැක්වූ මේ සමස්ථ ශෝකාන්ත දේශපාලන නාටකයේ එකම තාර්කික, නීතිගරුක හා ශිෂ්ඨසම්පන්න භූමිකාව ඇයගේ වීය.

දෙවන පරස්පරවිරෝධතාව: නිරෝධායන නීති උල්ලංඝනය කළ අමෙරිකානු තානාපති නිලදරයා

අප බොහෝ දෙනා මේ වන විට දන්නා පරිදි, ජූනි මස 4 වනදා බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට මැද පෙරදිග රටක සිට පැමිණි අමෙරිකානු තානාපති නිලධාරියෙක්, එහිදී අනිවාර්යයෙන් කළ යුතු වූ පී.සී.ආර්. පරීක්‍ෂණය කිරීමට විරෝධය පළකර, රට තුලට කඩා වැදී ඇත. ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කියා සිටින්නේ ඔහු ක්‍රියා කර ඇත්තේ තානාපති නිලධාරීන්ට ආරක්‍ෂාව සපයන හා ඔවුක්ගේ භූමිකාවේ මූලිකාංග විස්තර කරන වියෙනා ප්‍රඥප්තියට අනුව කියාය. එනමුත් මේ ප්‍රඥප්තිය ‘කෝකටත් තෛලයක්’ ලෙස සිතීම වැරදිය. එහි සඳහන් වන්නේ, යුද්ධය ද ඇතුළු සාමාන්‍ය තත්ත්ව යටතේ තානාපති නිලධාරීන්ගේ යුතුකම්, අයිතිවාසිකම් හා ඔවුගේ භූමිකාවේ ස්වභාවය යන කරුණුය. එහිදී වසංගතයකදී කටයුතු කරන ආකාරය සඳහන්ව ඇති බවක් මගේ මතකයේ නම් නැත. කෙසේ වෙතත්, මැයි මස 27 වනදා ශ්‍රී ලංකාවේ පිහිටි සියළු තානාපති කාර්යාලවලට චක්‍රලේඛයක් නිකුත් කළ ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාශය පැහැදිලිවම පවසා ඇත්තේ, කෝවිඞ් 19 වසංගත තත්ත්වය තුළ, සියලුම තානාපති නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම අදාල අන් රාජ්‍ය ආයතන මගින් නිකුත් කරන උපදෙස් පිළිපැදිය යුතු බවයි. මේ බලය ශ්‍රී ලංකාවේ රජයට පැවරී ඇත්තේ පවතින තත්ත්වයන්ට අමතරව, 1962 දී සම්මත කළ ‘නිරෝයාධන හා රෝග නිවාරණ ආඥා පනත’ යටතේය. මෙය බොහෝ රටවල් මෙවන් තත්ත්ව යටතේ ක්‍රියාත්මක වන ආකාරයයි.

නමුත් මේ නිලධාරියා මෙවැනි දරුණු සෞඛ්‍ය තත්ත්වයක් පවතින මොහොතක ලංකාවේ රෙගුලාසි විවෘතවම උල්ළංඝනය කර ඇත්තේ, එසේ කිරීමෙන් තමන්ට කිසිදු හානියක් සිදු නොවන බව මැනැවින් දන්නා නිසාය. ශ්‍රී ලංකාවේ රජය හෝ නිරතුරුවම නිවේදන නිකුත්කරන ජනාධිපති කාර්යාංශය හෝ මේ පිළිබඳ කිසිම නිවේදනයක් මේ වන තුරු නිකුත් කර නැත. අවම වශයෙන්, විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට අනතුරු හැගවීමක් නිකුත් කිරීම හා මේ නිලධාරියා මෙරට දැනට පවතින නීතියට අනුව නිරෝධායනයට යොමු කරන ලෙස අණ කිරීම මෙහිදී සිදුවිය යුතුව තිබූ දෙයකි. එනමුත්, මේ කිසිවක් සිදුවී ඇති බවක් නොපෙනේ. තවද, මෙවැනි අත්‍යාවශ්‍ය ක්‍රියාවලීන් පිළිබඳව ගවන්තොටුපොලේ සේවයකරන නිලධාරීන් දැනුවත් කර නැත්නම්. ඊට හේතුව කුමක්ද? එමෙන්ම, රටේ සියලුම වැසියන්ට හා මෙරටට පැමිනෙන සියළු විදේශිකයින්ට බලපාන නීති රීති ඇමරිකානු හෝ වෙනත් බලවත් රටවල නියෝජිතයින්ට බලපාන්නේ නැතිනම්, එහි නීතිමය පදනම කුමක්ද? නොඑසේ නම්, මෙය නිරතුරුවම ජාතිකවාදය සටන් පාඨයක් කරගත් ශ්‍රී ලංකාවේ රජය පැහැදිලිවම වැරැද්දක් කර ඇති ඇමරිකානු නිලධාරියෙකු හා ඔහුගේ තානාපති කාර්යාලයේ තේජස හමුවේ පසුබෑමක් ද? මෙවැනි පරස්පරවිරෝධතාවන් අප තේරුම් ගත යුත්තේ කෙසේද?

කොළඹ පැවැත්වූ ජෝර්ජ් ෆ්ලොයිඞ් විරෝධතාව

ඇමරිකාවේ මිනිඇපොලිස් නගරය්දී එම නගරයේ පොලීසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඞ් නැමැති කළු ජාතිකයා මැයි මස 25 වන දින ඝාතනය කළ බව අප සැම මේ වන විට දන්නා කරුණකි. ඉන් පසු, ඇමරිකාව පුරාම මේ ඝාතනයට එරෙහිව මෙන්ම ඇමරිකානු සමාජය විසින් සමස්ථයක් ලෙස කළු ජාතිකයින්ට දක්වන නිශේධනීය සැලකිල්ල පිළිබඳව ද විශාල විරෝධතා ගණනාවක් සංවිධානය කර තිබුනි. මේවා යුරෝපයේ රටවල් ගණනාවකට ද නවසීලන්තය වැනි රටවලටද ව්‍යාප්ත වීය. මේ බොහෝ ව්‍යාපාර සාමකාමී ලෙස පැවැත්වූ අතර, පොලිස් මැදිහත්වීම් අවම වීය. උදාහරණයක් වශයෙන්, එංගලන්තයේ බි්‍රස්ටල් නගරයේ ජූනි 8 වනදා පැවති විරෝධතවකදී එම නගරයේ පිහිටුවා තිබූ එඞ්වර්ඞ් කොල්ස්ටන් (1636-1721) නම් වහල් වෙලෙන්දාගේ පිලිරුව විරෝධතාකරුවන් විසින් බිම හෙලා, එය මහා මාර්ග ඔස්සේ ඇදගෙන ගොස්, බි්‍රස්ටල් වරායට ඇද දමන ලදී. එහිදී පොලීසිය පැවසුවේ පැවති චිත්තවේගී වාතාවරණය සැලකිල්ලට ගෙන, තමන් එම උද්ගෝශණයට හා ක්‍රියාවට මැදිහත් නොවීමට තීරණය කළ බවයි.
මේ ගෝලීය සන්ධර්භය තුළ ජෝර්ජ් ෆ්ලොයිඞ් සිදුවීම පදනම් කරගෙන පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සමීපයේ පිහිටි ලිබර්ටි සිනමා ශාලාව අසල හා ලිප්ටන් වටරවුම අසලදී කුඩා සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබුනි. මේ විරෝධතාව මෙන්ම ඊට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය මෙන්ම ඒ පිළිබඳ රටවැසියන්ගේ අදහස් ද සමස්ථයක් ලෙස ගත් කළ, ඒවා පරස්පරවිරෝධතාවන්ගේ තෝතැන්නක් බව පැහැදිලි වේ. ජෝර්ජ් ෆ්ලොයිඞ් සිද්ධිය මේ වන විට පුළුල් වශයෙන් මානව අයිතිවාසිකම් පිළිබඳ හා ඇමරිකාවේ සංස්ථාගත ජාතිවාදය පිළිබඳ ගෝලීය දේශපාලන සංකේතයක් වී හමාරය. එනිසා මේ පිළිබඳ උද්ගෝෂණයක් පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට හෝ අන් කණ්ඩායමකට අවැසි නම්, ඔවුන්ට ඒ සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් අයිතිය පවරා ඇත.

මෙහි මා දකින පළමු පරස්පරවිරෝධතාව වන්නේ, කෝවිඞ් 19 තත්ත්වය නිසා හෝ ඒ මුවාවෙන් අනන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු රට තුළම සිදුවෙද්දී සහ වසංගත තත්ත්වය තවමත් පූර්ණ වශයෙන් පාලනය කර නොමැති මොහොතක, මේ විරෝධතාව සංවිධානය කළේ ඇයි ද යන්නය. රට තුළ සිදුවන ඒ සිද්ධි අතරට ඉහත සඳහන් කළ පරිදි ඇමරිකානු තානාපති නිලධාරියා රටේ සෞඛ්‍ය නීති උල්ළංඝනය කරමින් රටට පහත්වීම සහ මීට ටික කලකට පෙර කුඩා දරුවෙකු අළුත්ගම ප්‍රදේශයේදී පොලිස් පහරදීමට ලක් වීම වැනි අනේක පරිස්ථානීය සිදුවීම් ගණනාවක්ම දැකගත හැකිය. මේවා විරෝධතාවකට සුදුසු නොවේද? කෙසේ වුවද, සංවිධානය කර තිබූ විරෝධතාව සාමකාමීව පැවැත්විය හැකිවූයේ නම්, එය හුදෙක් සරල සංකේතීය වටිනාකමකින් පමණක් යුක්ත වූ සිද්ධියක් වනු ඇත (non-event).

එනමුත් සිද්ධ වූයේ කුමක්ද? මේ කුඩා සාමකාමී විරෝධතාවට සහභාගීවූවන්ට අමානුශික ලෙස පහරදී ඔවුන්ගෙන් පිරිසක් අත් අඩංගුවට ගැනීමය. තරුණ ස්ත්‍රියක් පොලිස් නිලධාරීන් විසින් තම වාහනය තුළට කුණු කූඩයක් මෙන් විසිකර දැමීම වැනි දරුණු ක්‍රියාවක් ජෝර්ජ් ෆ්ලොයිඞ් උද්ගෝෂණයකදී ලොව අන් කිසිම තැනකින් වාර්ථා වූ බවක් මා අසා නැත. රජය සහ පොලීසිය කර ඇත්තේ දේශපාලනික වශයෙන් ලංකාවේ එතරම් වැදගත් නොවූ සිද්ධියක් මානව අයිතිවාසිකම් සහ භාශණයේ හා අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය පිළිබඳ විශාල සංකේතීය වටිනාකමකින් යුත් කලාපීය සිද්ධියක් බවට පෙරළීමය. මෙය මෙහි ඇති දෙවන පරස්පරවිරෝධතාවයි.

මෙය සාධාරණීකරණය කරන බොහෝ දෙනා මා හා පවසා ඇත්තේ කොරෝනා වසංගතය පාලනය කර නැති අවස්ථාවක මෙය සංවිධානය නොකළා නම් වඩාත් සුදුසු බවයි. ඒ අදසසට පදනම වන්නේ, මේ උද්ගෝෂණය මගින් වසංගතය තවදුරටත් පැතිරීමට යම් පිටුවහලක් ලැබේය යන විශ්වාසයයි. ඒ අදහස සමග මා එකග වුවද, මේ අදහස කියාපාන පුද්ගලයින් නොදකින අන් බොහෝ පරස්පරවිරෝධතා මේ සිද්ධිය හා සම්බන්ධවී ඇත. උදාහරණයක් ලෙස, විරෝධතාකරුවන් සිය විරෝධය සංවිධානය කර තිබුනේ මුඛ ආවරණ පැළඳ, සමාජ දුර්ථභාවය පිළිබඳ රජයේ රෙගුලාසි උළ්ලංඝනය නොකරමිනි. එය ඔවුන් විසින් ගත් සවිඥානික තීරණයක් බව පැහැදිලිය. එනමුත්, ඔවුන්ට පහරදුන් පොලිස් නිලධාරීන් තම ප්‍රහාරයෙන් පසු විරෝධතාකරුවන් ගාල්කරනු ලැබුවේ එවන් කිසිදු ආරක්‍ෂාවක් නොතිබුනු වාහන කිහිපයක් තුළටය. තවද, තොණ්ඩමන් අවමගුලේ පැහැදිලිව දැකගත හැකිවූ සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝණය කළ දේශපාලකයින්ද ඇතුළු දහස් ගණනක් වූ ජනයා සම්බන්ධයෙන් පොලීසිය දැක්වූ පූර්ණ නිශ්ක්‍රියභාවය හා සැසඳීමේදී, එවන් නීති උළ්ලංඝණය නොකළ අතලොස්සක් වූ කණ්ඩායමකට මෙවන් ප්‍රහාරයක් එල්ල කර, ඔවුන් සෞඛ්‍යරක්‍ෂක නොමැති හා ජීවිතාරක්‍ෂාවට හානිවිය හැකි තත්ත්වයකට ඇදදැමීම සරලම අරථයෙන් ගත් කළ අමානුශිකය.

වාර්තා වී ඇති පරිදි, විරෝධතාව අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට නොපවත්වන ලෙස අධිකරණ නියෝගයක් පොලීසිය විසින් ලබාගෙන තිබුනි. එම නිසා, විරෝධතාව මේ ස්ථානයේ පැවැත්වූයේ නම්, එය විසිරුවා හැරීමට පොලීසියට සම්පූර්ණ නෛතික අයිතියක් හා වගකීමක් තිබුනි. එනමුත් මෙය පැවැත්වූයේ ලිප්ටන් වටරවුමේ දී වූ අතර, කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා හල අසල ද එවැන්නක් සංවිධානය කිරීමේ උත්සාහයක් තිබුනි. මේ ස්ථාන දෙකටම අධිකරණ නියෝගය බලපෑවේ නැති බව දැනට ඇති තොරතුරුවල අර්ථයයි. කෙසේ වුවද, මොනයම් හේතුවක් මත හෝ සාමකාමී විරෝධතාවක් විසිර හැරිය යුත්තේ සාමකාමීව පමණි. ඒ සඳහා සීමා රහිත ප්‍රචන්ඩත්වයක් මුදා හරින ලෙස අදාල උසාවි නියෝගයේ තිබුනේ යැයි සිතීම අපහසුය.

මේ සියල්ලම මැද්දේ වඩාත් හාස්‍යජනක සිද්ධිය වන්නේ, ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකින් තමන් අදහස් ප්‍රකාශ කීරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත්, තමන් කිසි විටෙකත් මේ උද්ඝෝෂණය විසිරුවා හරින ලෙස රජයෙන් ඉල්ලා සිටියේ නැති බවත් පැවසීමය. මේ තත්ත්ව යටතේ මා සිතන්නේ ජනාධිපතිවරයා විසින් මෑතකදී ස්ථාපනය කරන ලද ලංකාව විනයගරුක හා ශිෂ්ඨසම්පන්න රටක් කිරීමේ භාරදූර වගකීම පැවරී ඇති කොමිටියේ ශිෂ්ඨත්වය පිළිබඳ මුල්ම පන්තිවලට සහභාගීවිය යුත්තේ ශිෂ්ඨත්වය හා විනය පිළිබඳ පැහැදිලි ගැටළුවලින් පෙළෙන ශ්‍රී ලාංකේය දේශපාලකයින් හා මෑතකාලීන පොලිස් ප්‍රචන්ඩ ක්‍රියාවන්ට වගකිව යුතු නිලධාරිනුත්ය.

මේ සිදුවීම් සියල්ල හා සම්බන්ධ පරස්පරවිරෝධතා දෙස තාර්කිකව බලන්නේ නම්, අපට පෙනෙන්නේ මෙවැන්නකි: අප බොහෝ දෙනා දේශපාලන සිද්ධි දෙස බලන්නේත් ඒවා තේරුම් ගන්නේත්, ඒවාට අදාල නීතිමය, සදාචදාරමය දෘශ්ටිකෝණ ඔස්සේ නොවේ. අවම වශයෙන්, මෙවැනි අවස්ථා හා සම්බන්ධ බොහෝ අදහස් ප්‍රකාශකිරීම්වල සරල තාර්කික හැකියාව හෝ ව්‍යවයාරික බුද්ධිය හෝ ක්‍රියාත්මක වන බවක්වත් නොපෙනේ. ඒ වෙනුවට බොහෝ දෙනා මේ සියළු දේ දකින්නේ තමන් සරණ ගොස් ඇති පටු දේශපාලනික මතවාදයන්ගේ කාචයන් තුලින් පමණි. මේ අනුව, ”තොණ්මන්ගේ අවමගුලේදී කිසිදු නිරෝධායන නීතියක් උල්ලංඝනය නොවුනි”, ”පොලිස් පරදීමෙන් පෙන්නුම් කරන්නේ කර්මය පඩිසන් දීමය”, ”අමරිකානු නිලධාරියා කිසිම නීතියක් උල්ලංඝනය කර නැත” ආදී නොයෙකුත් පදනම් විරහිත කතා අපට නිරතුරුවම ඇසේ. මෙහිදී යතාර්ථවාදී කතිකාවක් නැතිවා නොවේ. නමුත් අතාර්කික කතිකාවේ මහා ගෝෂාව නිසා මේ කතිකාව බොහෝ විට යටපත් වන ප්‍රවණතාවක් දැකගත හැක. මෙයින් පෙනෙන්නේ, නීතියේ හෝ ශිෂ්ඨත්වයේ වැදගත්කම මෙන්ම හරි හා වැරැද්ද අතර ඇති වෙනස හඳුනාගැනීම අප බෙහෝ දෙනාට තවදුරටත් අදාල නොවන බවයි. ඒ වෙනුවට අදාල වන්නේ, තමන්ගේ පෞද්ගලික ජීවිතය හා තම දේශපාලන මතවාද සුරක්‍ෂිත ද යන්න පමණි. එවිට කළු පාට සුදු යයි නිරතුරුවම තර්ක කරන්නට පෙළඹෙන හිත මිතුරන්ට හා නෑසියන්ට ඒ සඳහා අවැසි වන්නේ දේශපාලන කුහකකම හා මෝඩකම අනුව වැඩකිරීම සහ යථාව මහා ගෝෂාවකින් හෝ කුණු හරුප වර්ෂාවක මහිමයෙන් පළවා හැරීම පමණි. එවන් තත්ත්වයක් තුළ, සදාචාරාත්මකව හා නීතිය අනුව සිතන්නන් ජාති ද්‍රෝහීන් වනු ඇත. අප සමාජයේ බොහෝ දෙනා මේ ස්ථානයට පැමිණ ඇති බැව් පැහිදිලිය.

අප මේ ශිෂඨාචාර විරෝධී ස්ථාවරයේ දීර්ඝකාලීනව සිරවී සිටිමින්, අපගේ සාමුහික විනාශය ලඟා කරගන්නේ ද, නොඑසේ නම් එතැනින් එතෙර වී, ශිෂ්ඨසම්පන්න සමාජයක් ගොඩනැගීමට දායක වන්නේ ද යන සමාජ-දේශපාලන තීරණය අප වැඩි කල් නොයවා ගතයුතු තීරණයයි. එම තීරණය ගැනීමේදී පක්‍ෂ දේශපාලනයේ කිසිදු අදාලත්වයක් නැත.

(මේ ලිපිය මුල් වරට පළවුයේ 2020 ජූනි 14 වනදා රාවය පුවත්පතේය)

Total
1
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විශාලාවෙන් ඇමතුමක්

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ, නව දිල්යේ මෙන්ම ඉන්දියාවේ අන් බොහෝ තැන්වල ද මේවන විට ඛේදනීය ලෙස දිගහැරෙමින් පවතින කොරෝනා ඛේදාන්තය පිළිබදව තොරතුරු ඔවුන් රූපවාහිනී නාලිකා ඔස්සේ සහ සමාජ මාධ්‍යය ඔස්සේ දැක, එමගින් චකිතයට පත්ව තිබුන නිසාය. එයින් ඇතැමුන්, විශේෂයෙන් වඩාත් වැඩිමහලු පුද්ගලයින්, සංකේතාත්මකව දිල්ලිය හැඳින්වූයේ ‘විශාලා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘ඩිමාන්ඩ්’ එක ඇති සහ නැති අධ්‍යාපනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය පිළිබඳ දැක්වූ අදහස් සමුදායක් සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක් විණි. මෙහිදී පුළුල් ලෙස ව්‍යාප්ත වූ ප්‍රවෘති වීඩියෝවකින් අප දුටුවේ තරුණ සිසුවියන් පිරිසක් තමන් පාසලේදී දේශපාලන විද්‍යාව හැදෑරූව ද තවමත් විශ්වවිද්‍යාල වරම් හෝ රැකියාවක් නොලැබීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කරන ආකාරයයි. එම අවස්ථාවේ දී ඔහු විසින් දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන්නේ ඇයිදැයි එම සිසුවියන්ගෙන් ප්‍රශන කර, ඔවුන් හැදෑරිය යුත්තේ රටේ ‘ඩිමාන්ඩ්’ එක තියෙන විෂයන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි  “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විග්නේශ්වරන්ගේ ‘ඉතිහාස’ පාඩම

~ සසංක පෙරේරා 2020 අගෝස්තු 21 වනදා අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී පළමු වරට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන, හිටපු උතුරු පලාතේ ප්‍රධාන ඇමති වූ සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කළ ප්‍රකාශයක් නිසා බොහෝ සිංහල ජාතිකවාදීන් උරණවී ඇති බැව් පෙනේ. ඔහුගේ කතාවේ මතබේදයට තුඩු දී ඇත්තේ දෙමළ බස ලොව පැරණිතම ජීවමාන භාෂාව සහ එය මෙරට ජීවත් වූ මුල්ම ආදීවාසීන් කතාකළ භාෂාව ද වශයෙක් කළ සඳහනයි. මේ ප්‍රකාශය කළ දිනට පසු දිනම එය විවේඡනය කළ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව

~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන  වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා  ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ වන විට පත්කර ඇත. විරැකියාව සහ රැකියා නියුක්තිකත්වය පිලිබඳ කතිකාව අධ්‍යාපනය සමඟ ඓතිහාසිකව බැඳී  තිබෙන අතර, විශ්වවිද්‍යාල කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරයි. කෙසේ වෙතත්, වර්තමාන රජය යටතේ, රැකියා, විරැකියාව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ‘කුසලතා’ යන අදහස සමඟ අනිවාර්යයෙන් බැඳී ඇත. මෙය ගැටලුසහගත ආඛ්‍යානයකි. තවද, ගැටලුකාරී ලෙස රජයේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි.  මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සරසවි තුළ සිදුවෙන සරසවි දඩය​ම

~ සසංක පෙරේරා,දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ද​මා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය උපාධිය අවසන් කිරීම සඳහා ඔහුට ලබාදී තිබුණු වසර අටක කාලය තුළ එය අවසන් නොකිරීම ය. කෙසේ නමුත්, එය අවසන් කර පසුගිය වසර හයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ සේවය ස්ථිර කර ඇති අතර, නොයෙකුත් උසස්වීම් සහ තානාන්තර ද ඔහු වෙත ලබා දී ඇත. මෙවන්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘රත්තරන්’ හෙලේනා මාලදිවයිනට යැවීම සහ විදේශ සේවා විගඩම

~ සසංක පෙ​රේ​රා, දකුණු ආසියාණු විශ්වවිද්‍යාල​ය පාස​ල් යන සමයේ සිට මා රෝහණ බැද්දගේ පිළිබඳව දැන සිටියේ සිංහල ජනප්‍රිය සංගීතයට අතිශයින් සිත්ගන්නාසුළු, අතැමුන් ‘ග්‍රාමීය’ යැයි අරුත්ගැන්වූ, ගායනා හා සංගීත ආරක් එක්කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු ලෙසිනි. ‘මගේ රත්තරන් හෙලේනා’ යන ගීතය අදත්  මා හද රැඳී තිබෙන්නේ ඔහු ගැයූ වඩාත් රසවත් ගීතයක් ලෙසිනි. කෙසේ වුව ද, ඔහු ජනාධිපතිවරයා විසින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බැව් සන්නිවේදන මාධ්‍ය වාර්තාකරන විට මා පුදුමයට පත්වූයේ, තමන් ප්‍රගුණකර ඇති…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

“හිටලර් සරණං ගච්චාමි”

~ සසංක පෙරේරා දිලුම් අමුණුගම යන දේශපාලන නායකයා මෙරට ජනාධිපතිවරයා ගෝලීය යුද අපරාධකරුවෙක් වන ඇඩොල්ෆ් හිට්ලර් මෙන් විය යුතු යැයි මෑතකදී ප්‍රසිද්ධියේ පවසා තිබුණි. එය ඔහු ඉදිරිපත්කර තිබුනේ හුදෙක් ඔහුගේ අදහසක් පමණක් වශයෙන් නොව, සමස්ථ මහජනතාව ද වෙනුවෙනි. වඩාත් පැහැදිලිව ඔහු පවසා තිබුනේ, මහජනතාව විසින් ජනාධිපතිවරයාව තම ඡන්දයෙන් පත්කරගත්තේ ඒකාධිපතියෙකු සේ වැඩකිරීමට බවත්, අවශ්‍ය  වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට නොහැකි වුව හොත්, ඔහු හිට්ලර් කෙනෙකු වියයුතු බවත්ය. මේ අදහස් දෙකම අතිශයින් ගැටලුකාරී බව පැහැදිලිවිය යුතුය. මා…
වැඩි විස්තර පරිශීලනයට