‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________

හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.
__________________________________________________________

~ සසංක පෙරේරා
සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව.

(මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය)

ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති

සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන මේ කවි එකතුවට පෙරවදනක් ලියන ලෙස කළ ආරාධනය මා යම් මට්ටමකින් තැති ගැන්මකට ලක් කළේය. ඊට හේතුව නම් භාෂාව සමග නිරතුරුව ගණුදෙනු කළද මා කවියෙක්වත් නිර්මාණ කරුවෙක්වත් නොවීමත්, මේ නිර්මාණනීය අඩවිය පිළිබඳ සප්‍රමාණික දැනුමක් ඇති අයෙකු නොවන බවත් මා මැනැවින් දැන සිටි නිසාය. වරින් වර කවියක් දෙකක් කාල වේලා ඇති පරිදි ලියා තිබීම හා ගුණදාස අමරසේකර සහ සිරි ගුණසිංහ වැනි කවීන්ගේ කවි පාසැල් සමයේදී හා සරසවි යුගයේදී පුළුල් වශයෙන් කියවා තිබීමද බුද්ධදාස ගලප්පත්ති, කපිල ගමගේ හා කුමාරි කුමාරගමගේ වැනි මා පුද්ගලිකව දන්නා කවීන්ගේ කෘති වඩාත් මෑතකාලීනව කියවා රස විඳ තිබීමද මීට බෙහෙවින් බරිභාහිර කාරණාය.

නමුත් මතවාදීමය හා විධික්‍රමික වශයෙන් මේ කවි එකතුව මගේ විධිමත් පුහුණුවේ හා බුද්ධිමය උනන්දුවේ සීමා තුළ කියවිය හැකි ආකාරයක් මේ පිළිබඳව සිතීමේදී මට මෙනහි විය. එනම්, කලා කෘති සමාජවිද්‍යා විශ්ලේෂණයේදී හා රචනාකරණයේදී යොදා ගත හැක්කේ කෙසේද හා එසේ යොදා ගත හැකිද යන මගේ දීර්ඝකාලීන විචිකිච්චාවේ තවත් එක් ප්‍රකාශයක් ලෙසිනි. මෙහිදී කලා කෘති වශයෙන් මා අදහස් කරන්නේ චිත්‍ර, මූර්ති, ස්ථාපන, නාට්‍ය, චිත්‍රපට, නව කතා, කෙටි කතා සහ කවි වැනි අනේකවිධ කලාකෘතීන්ය. මෙහිදී මතු වන ප්‍රධානතම හා සරලම ගැටළුව නම් සමාජවිද්‍යාව වැනි වාස්තවික තොරතුරු, සංඛ්‍යානමය දත්ත, තර්කය, න්‍යායකරණය හා අර්ථකතනය මත පදනම් වූ විෂයකට එසේ නොවූ හා අතිශයින් පුද්ගල නිශ්‍රිත වූ ඉහත දැක්වූ ආකාරයේ කලා නිර්මාණ පර්යේෂණ මූලාශ්‍ර හෝ පර්යේෂණ අභිප්‍රායක් ලෙස සැලකිය හැකිද යන්නය. මේ සාම්ප්‍රධායික ප්‍රශ්නයට පරිපූර්ණ හා අවසාන පිළිතුරක් තවමත් ලැබී නැත. එනමුත්, තත්කාලීන සමාජවිද්‍යාවේ යම් බුද්ධිමය දියුනුවක් දැකිය හැකි අවකාශවල අවම වශයෙන් මේ ප්‍රශ්නය මහා ගැටළුවක් වශයෙන් තව දුරටත් මතුවන්නේ නැත. එයට එක් හේතුවක් වන්නේ සමාජයීයවිද්‍යා භාවිතය තුළ පුද්ගල නිශ්‍රිතත්වය හා විෂය මූලිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව 1970 ගණන්වලදී මිලිනවී ගිය කතිකාවේ පැහැදිලි නිගමන දැකගත නොහැකි වීමය. මෙනිසා හුදෙක් පුද්ගල නිශ්‍රිතත්වය යන ලේබලය මත පිහිටමින් පමණක් යම් මූලාශ්‍රයක් සරලව ඉවත දැමිය හැකි තත්ත්වය සාපේක්‍ෂ වශයෙන් දියුණු බුද්ධිමය අඩවිවලින් යම් දුරකට ඉවත්වීය. අන් කාරණය නම්, සමාජයීය විද්‍යාවන් සිසාරා පැතිර ගිය පශ්චාත් නූතනවාදයේ බලපෑම නිසා බැලූ බැල්මට විෂය මූලික යැයි කලින් කල්පනා නොකළ බොහෝ මූලාශ්‍ර හා ප්‍රවේශ සමාජයීය විද්‍යා සම්භාෂණයට නොයෙකුත් ආකාරවලින් අවතීර්ණ වීමය. සංස්කෘතික අධ්‍යයන (Cultural Studies) මින් එක් ප්‍රවේශයකි.

මේ පිළිබඳව පසුගිය දශක දෙකක පමණ කාලය මුලුල්ලේ කළ කියවීම් හා සිතා බැලීම් හරහා මා දැනට ගොඩනගාගෙන ඇති පුද්ගලික විශ්වාසය නම්, බෙහෙවින් ප්‍රවේශම් සහගතව කටයුතු කරන්නේ නම්, යම් පැහැදිලි සීමා තුළ නිර්මාණ කෘති වුවද සමාජවිද්‍යා කතිකාව තුළට මෙන්ම වඩාත් පුළුල්ව අන් සමාජයීය විද්‍යා කතිකා තුළටද පර්යේෂණ තොරතුරු, මූලාශ්‍ර හා ලේඛනකරණ මග සළකුණු වශයෙන් යොදාගත හැකි බවයි. සුජීව හෙට්ටිතන්ත්‍රීගේ කාව්‍යකරණය තුළට මා අවතීර්ණ වන්නේ මේ ප්‍රවේශය හරහාය. වඩාත් පැහිදිලිව කියනවා නම්, ශ්‍රී ලංකාවේ සමාජය, සංස්කෘතික ගතික, දේශපාලන ප්‍රවණතා ආදිය පිළිබඳ සමාජවිද්‍යාත්මක කියවීමකට යන්නට මට ඔහුගේ කවි යම් අත්වැලක් සපයයි යන්න මාගේ විශ්වාසයයි.

කෙසේ වුවද ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව ඉහත දැක්වූ ආකාරයට කියවිය හැකිද යන්න සලකා බැලීමට පෙර, මාගේ ප්‍රවේශය යම් දුරකට විස්තර කිරීම සුදුසු යැයි මට සිතේ. ආසියානු කලාපයේ දෘශ්‍ය කලාව හා සමාජ හා දේශපාලන ගතිකයන් අතර ඇති සහසම්භන්ධතාවන් පිළිබඳ අදහස් ඉදිරිපත් කළ ආචාර්ය කැරොලින් ටර්නර් පවසා ඇත්තේ මෙවන් අදහසකි: ‘‘තමන්ගේ කලා කෘති හරහා කලාකරුවන්ට තම තමන්ගේ සමාජවල මෙන්ම සමස්ථ මානව සංහතියේම අපේක්‍ෂාවන් හා අගයන් ඉදිරිපත් කළ හැක. අතැමුන් මෙකී තත්ත්වයන්ට ශ්වනවාදීව (cynicism) හා ඇතැම් විට නෂ්ටාපේක්‍ෂාවදීව (despair) මුහුණ දෙන අතර, අන් කලාකරුවන් මෙකී තත්ත්යවන්ට මුහුණ දීම සඳහා ප්‍රතිරෝධය (resistance) පිළිබඳ කලාවක් නිර්මාණය කරති. මේ අනුව, පසුගිය දශක කිහිපය මුළුල්ලේ ආසියානු-පැසිෆික් කලාපයේ කලාකරුවන් යටත්විජිතවාදය හා නව-යටත්විජිතවාදය, ස්වභාවධර්මයේ ගෝලීය ව්‍යමණය, සංස්කෘතික විනාශය, දරිද්‍රතාව නිසා රෝගී බවට පත්වීම, ලිංගික සූරාකෑම, සමාජයීය හා දේශපාලනික අසාධාරණය, යුද්ධය, ප්‍රචන්ඩත්වය හා ජාතිවාදය පිළිබදව තම කලා භාවිතය ඔස්සේ විරෝධය ප්‍ර රකාශ කර ඇත.’’[1] ටර්න්ර් මේ විස්තර කර ඇත්තේ හුදු ආශ්වාදය සඳහා පමණක් නිර්මාණය කළ කලා කෘති පිළිබඳව නොවේ. ඇය මේ සාකච්චා කරන්නේ සමාජ දේශපාලන තත්ත්ව ඍජුවම ආමන්ත්‍රණය කරන දේශපාලන කලා (polititical art) ප්‍රවණතා පිළිබඳවය. සමාජයීය විද්‍යාඥයින්ද මෙකී තේමාවන්ම බොහෝ විට තම අධ්‍යයන සඳහා පාදක කර ගත්තද ඔවුන්ගේ මූලාශ්‍ර ලෙස කලා නිර්මාණ භාවිත වන්නේ ඉතාමත් අල්ප වශයෙනි. 2012 දී පලවූ ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍ර චන්ඩත්වය, ස්මෘතිය හා තත්කාලීන කලාව පිළිබඳ රචනයේදී මාගේ ප්‍රධාන පර්යේෂන ඉලක්කය මෙන්ම මූලික පර්යේෂණ මූලාශ්‍ර වූයේද 1990 න් පසු ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ දේශපාලනික වශයෙන් සංවේදී වූ කලා කෘතීන්ය.[2]

2017 වසරේදී ආචාර්ය මල්ලිකා ශාක්‍යා විසින් ලියන ලද නිබන්ධයක මූලික අභිප්‍රාය වූයේ මෑතකාලීන නේපාලයේ ජනප්‍රිය නවකතා විචාරාත්මකව කියවීම මගින් ඒවා තුළින් දේශ සීමා පිළිබඳව ගොඩනැගී ඇති ජාතික අර්ථකතන තේරුම් ගැනීමය. ඇයගේ උත්හාහය වූයේ සාහිත්‍යයික පරිකල්පනයන් ආශ්‍රය කිරීම තුලින් සමාජයීය විද්‍යා ප්‍රවර්ග වඩාත් පුළුල් කිරීමත් ඒවායේ විශ්ලේෂණීය හැකියාවන් තීව්‍ර කිරීමත්ය.[3] මෙලෙසින්ම, 2019 අප්‍රෙල් මාසයේදී ඇය විසින් නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේදී සංවිධානය කළ ‘දකුණු ආසියාව පිළිබඳ කාව්‍යමය පරිකල්පන: දේශ සීමා හා ජාතීන්’ [4] යන සම්මන්ත්‍රණයේ මුඛ්‍යාර්ථය වූයේ දේශ සීමා හා ජාතිය යන තේමා පිළිබඳ බුද්ධිමය උනන්දුවක් ඇති කවීන්, නිර්මාණ කතා රචකයින් හා සාහිත්‍යවේදීන්ට සමාජ විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් හා සමාජ ඉතිහාසඥයින් සමග කතිකා කිරීමට හැකි බුද්ධිමය අවකාශයක් විවර කරදීමය.[5] එමගින් ආචාර්ය ශාක්‍යාගේ උත්සාහය වූයේ ඇයගේ 2017 නිබන්ධනයේ දැක්වූ මූලික අදහස් තවදුරටත් ව්‍යාප්ත කරමින්, විශේෂයෙන් කවිය හා ප්‍රබන්ධ සාහිත්‍යය යන නිර්මාණ ප්‍රවර්ගයන් ජාතිය (nation) හා කලාපය (region) යන අදහස් පිළිබඳව ඇති ජනප්‍රිය තේරුම්ගැනීම් විශ්ලේෂණය කිරීමට හැකියාව ඇති ඥාන මීමංසාවක් සේ සැලකිය හැකිද යන පැනයට පිලිතුරු සෙවීමය.

මීට බොහෝ කළකට පෙර, 2006දී වෛද්‍ය ගුණදාස අමරසේකරගේ ගමනක මුල, ගමනක මැද, ගම් දොරින් එලියට, ඉනි මගේ ඉහළට, වන්කගිරියක, යලි මග වෙත හා දුරු රටක දුකට කිරියක යන කෙටි නවකතා මාලාව පිළිබඳ මා ලියූ විචාරයකින් මා යෝජනා කළේ වෛද්‍ය අමරසේකරගේ උත්සාහය වූයේ සිංහල මධ්‍යම පන්තිය ආශ්‍රයෙන් එකී ජන ප්‍රජාව අත්දුටු සමාජ හා දේශපාලන විපර්යාස හා ඔවුන් නගරයට සංක්‍රමණය වීමෙන් පසුව ලත් අත්දැකීම් පිළිබඳව බෙහෙවින් ඍජු හා නියෝජනවාදී (representational) කතිකාවක් ලිවීම බවයි.[6] එමගින් ඔහු සිංහල සමාජය පිළිබඳ පුළුල් සමාජ ඉතිහාසයක් රචනා කරන ලදී. මාගේ තර්කය වූයේ මතවාදී හා සාහිත්‍යමය ශක්‍යතා සම්බන්දයෙන් කුමන ගැටළු තිබුනද මේ පොත් පෙළ ශ්‍රී ලංකාවේ දකුණු පලාතෙන් ප්‍රභවය ලැබූ සිංහල බෞද්ධ ප්‍රජාව පිළිබඳව ලියැවී ඇති වඩාත් දියුණු ප්‍රබන්ධිත සමාජ ඉතිහාසය බවත්, එය ශ්‍රී ලාංකේය වෘත්තීය සමාජ මානව විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් විසින් මේ පිළිබඳවම ලියා ඇති අසම්පූර්ණ හා නීරස මානව වංශ ලේඛන (ethnographies) හා ඓතිහාසික රචනාවන්ට (historiographies) වඩා බෙහෙවින් සාර්ථක බවත්ය.[7] මෙලෙසින්ම, 2016 දී ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ කාලයේ උතුරුකරය දෙසට ව්‍යාප්ත වූ සීමා රහිත සංචාරක ක්‍රියාවලීන් ගැන මා කළ විශ්ලේෂණයේදී යුද සමයේ ‘ඒ 9’ මහාමාර්ගයේ දැක ගත හැකි වූ අන්ත ප්‍රචන්ඩත්වය සන්දර්භගතකිරීමට දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරනු වෙනුවට මා යොදාගත් මෙවලම වූයේ රුද්‍රමූර්ති චේරන්ගේ ‘කදෙන් වෙන් කළ කකුලක් පිළිබඳ කතාව’ යන දමිල කවියේ ඉංග්‍රීසි පරිවර්තනයයි.[8]

මේ උදාහරණ සියල්ලෙන්ම පෙන්නුම් කරනුයේ කවියට හා අන් නිර්මාණනීය කතිකාවලට විධිමත් සමාජයීය විද්‍යාවන් සමග බුද්ධිමය ගනුදෙනුවක් ඇතිකරගැනීමට ඇති හැකියාවය. සුජීව හෙට්ටිතන්ත්‍රීගේ කවි එකතුව මා තේරුම් ගන්නට උත්සාහ ගන්නේද මේ ආකාරයෙනි. එසේ කිරීමේදී, මාගේ උනන්දුව මූලික වශයෙන් යොමු වන්නේ මේ කවිවල සමාජ-දේශපාලනික පාඨනීය හැකියාව වෙත මිස, ඒවායේ භාෂාමය හෝ අන් තාක්‍ෂණික ලක්‍ෂණ වෙත නොවේ. මේ කවි එකතුව වසර හතරක හෝ පහක කාලයක් මුළුල්ලේ මුහුණු පොතේ වරින් වර ලියා පළ කල කවි තත්කාලීනව එක්තැන් කරන්නට ගත් උත්සාහයකි. ඒවා මා තේරුම් ගන්නේ සමාජවිද්‍යාව පිළිබඳ විධිමත් පුහුනුවක් ඇති කවියෙකුගේ බැල්මට හසුවූ ශ්‍රී ලංකාවේ අනේක වූ සමාජ-දේශපාලනික හා සංස්කෘතික ඛේදවාචකයන්ගේ පැතිකඩවල එකතුවක් වශයෙනි. එමෙන්ම, මේ කවි දීර්ගකාලීනව උතුරු අමෙරිකාවේ ජීවත්වන කවියා වරින් වර සිය මව් රටට පැමිණෙන විටත් තමන් දැනට ජීවත්වන දේශයේ සිට බලන කළ වඩාත් පැහැදිලිව විද්‍යමාන වන ලාංකේය පරස්පරවිරෝධතාවන්ගේ දැඩි චිත්තවේදීය කියාපෑමක් ද වේ.

කවියාම පවසන ආකාරයට, මේ කවිවල පදනම වූයේ ‘‘වෙන රටක ඉදලා ලංකාව දිහා බලන කොට ඒකෙ තියෙන අවුල මාර විදියට’’[9] පෙනීමය. මෙලෙසින් ඔහු වඩාත් දුටුවේ ලංකාවේ පසුගිය කාලයේ පුළුල් ලෙස ප්‍රචලිත වූ සංවර්ධනය පිළිබඳ මායාව නොවේ. ඒ වෙනුවට ඔහු දුටුවේ, ‘‘දුක් විඳින මිනිසුන්ගේ ජීවිතවල ඛේදවාචකයයි.’’[10] තවද ඔහු පවසන්නේ ඔහුගේ ‘‘කවි ලියනව කියලා හිතලා ලිව්වේ නැති’’ බවත්, ඒවා ‘‘ඉබේම ලියවුන බවත්ය.’’[11] මේ අනුව බලන කළ, මේවා පැහැදිලි ලෙසම තමන් දුටු දේ හා තමන්ට හැඟුනු දේ පිලිබඳව ලියැවුනු ප්‍රතිචාරාත්මක හා චිත්තවේගීයව වඩාත් තීව්‍ර වූ කවි එකතුවක් ලෙස තේරුම් ගත හැකිය.

කවියාගේ බස පාඨකයා සන්තෘප්තිමත් කරන ලයාන්විත භාෂාවක් නොවේ. එය බොහෝ විට මීට හාත්පසින්ම වෙනස්, ඇතැම් විට කඨෝර හා රළු බසකි. එමගින් කරනුයේ පාඨකයින්ව ඔවුන්ගේ නිද්‍රාශීලී, විස්මෘතික, කෘතිම හා අභ්‍යන්තරිකව සන්තෘප්තිමත් වූ ලොවින් වෙන් කර, බලයෙන්ම කවියා දකින යථා ලොවට ඇද දැමීමය. සුජීව හෙට්ටිතන්ත්‍රීගේ කවි මූලික වශයෙන් වේදනාවෙන්, කේන්තියෙන්, මහ හඩින් හා ඍජුවම තම අදහස් නිර්භීතව ඉදිරිපත් කරන වාහකයන්ය. එනමුත් ඔහු එය කරනුයේ බොහෝ විට කරුණාව, හාස්‍යය, සමාජ ඉතිහාසය පිලිබද හැගීමක් හා උපහාසය ද පෙරදැරි කරගෙනය. ඔහුගේ කවිවලින් මතුවන ප්‍රධාන තේමා හතරක් පිළිබඳව පමණක් මාගේ අවධානය මේ රචනයේ ඉදිරි පිටු කිහිපය ඔස්සේ යොමුවේ. මාගේ විශ්වාසය මේ තේමා සමස්ථයක් වශයෙන් මේ කවි එකතුවේ කාව්‍යමය හා සමාජ-දේශපාලනික පෞරුෂය ගොඩනගන බවයි.

සංවර්ධනය හා එහි ප්‍රතිවිරෝධතා

කතිකාවක් ලෙස සංවර්ධනය රටක සමෘධිය, දියුණුව හා ඉදිරිගාමීත්වය කියාපාන බවට විශ්වාස කරන සංකේතය. නමුත් අහස සිඹින්නට මෙන් උසට ඉදිවෙන මහා ප්‍රාසාද, රට සිසාරා දිවෙන මහාමාර්ග හා රට පුරා සංවිධානය කරන උත්සව යනාදී භෞතික සංකේත සැබෑ සංවර්ධනයක ලක්‍ෂණ වන්නේ එවැනි රටවල මහජන ශුභසිද්ධියට අවැසි මූලික සේවා හා මේ භෞතික සංකේතවල ප්‍රයෝජනය ලබා ගැනීමේ හැකියාව සාපේක්‍ෂ වශයෙන් රටේ බොහෝ දෙනාට තිබේ නම් පමණි. එසේ නොවන්නේ නම්, මේවා හුදු මායාකාරී සංවර්ධනයක හෙවනැලි පමණක් බවට පත්වේ. 2015 ට පෙර ලංකාවේ සංවර්ධනය පිළිබඳ රාජ්‍ය කතිකාවේ ප්‍රධාන කොටසක් වූයේ කොළඹ නගරය අලංකරණය කිරීමේ ව්‍යාපෟතිය වීය. එයට රට වැසියන් බොහෝ දෙනාගේ — විශේෂයෙන් නාගරිකයන් ගේ — කැමැත්තක් ද වීය. එනමුත් මේ සංවර්ධනය පිළිබඳ ජනප්‍රිය හා රාජ්‍ය කතිකාවේ හඩින් වසන් වූ කතිකාවක් ද වීය. ඒ, මේ ඇතැම් සංවර්ධන කටයුතු නිසා ඉඩම් අහිමි වූ හා ඒවාට නිසි මූල්‍ය වන්දි නොලැබූ පුද්ගලයින්ගේ දුක්මුසු හඩයි. දෙමටගොඩ හා කොම්පඥ්ඥ වීදිය වැනි ප්‍රදේශවල මෙවැනි ව්‍යාපෟති නිසා විස්ථාපනය වූ ජනතාවක් ද ලංකාවේ සිටිති. සැලසුම් කර තිබූ සමස්ථ නගර සංවර්ධන හා අලංකරණ ව්‍යාපෟති සියල්ලම සිදුකලේ නම්, පවුල් 70, 000 සිට පවුල් 135, 000 පමණ ප්‍රමාණයක් අවතැන් විය හැකිව තිබිනි.[12] මෑත කාලීන ශ්‍රී ලාංකික ඉතිහාසයේ මෙවන් විශාල පවුල් පිරිසක් නාගරික අවකාශය තුළ අවතැන් වී නැත. මෙවන් අවතැන් වීම් හා ඊට ගොදුරුවන පුද්ගලයින්ගේ ශුභසාධනය පිළිබඳව සලකා නොබලන සංවර්ධනයක් සැබැවින්ම අව-සංවර්ධනයකි. ඒවායින් ප්‍රයෝජන ලැබෙන්නේ සමාජයේ වරප්‍රසාධලාභී කොටස්වලට පමණි. එනමුත් මේ ඊනියා සංවර්ධන ක්‍රියාවලියේ හුදු දෟශ්‍යමය පරිභෝජනයෙන් මතවාදීමය හා චිත්තවේගීය වශයෙන් සන්තෘප්තියට පත්වන බොහෝ සාමාන්‍ය ජනයා ලංකාවේ මෙන්ම කලාපයේ අන් රටවලද සිටිති. සුජීව හෙට්ටිතන්ත්‍රීගේ කවිවල තේමා අතරට ඇතුලත් වී ඇති ප්‍රභල අදහසක් වන්නේ මෙවැනි කණපිට පෙරළුන සංවර්ධන ක්‍රියාවලීන් හා එහි ආදිනවය.

‘නෙළුම උත්කර්ශයට නඟන ගෙම්බන්ට ගෙම්බෙක් අනතුරු අඟවයි’ යන කවියෙන් හාස්‍යයද මුසුකරමින් ඔහු මතුකරන්නට උත්සාහ කරනුයේ මේ තත්ත්වයයි:

කිසි දැනුම් දීමකින් තොරව
කොන්ක්‍රිට් වලින් පිරෙව්වේ
ගෙම්බන්ගෙ මඩවල
ඊට පස්සෙයි ඉස්ම ටික උරාගෙන
පැල්පත් මරාගෙන
පීදුනේ මේ නෙළුම් මල ….

…. පුප්පා සුවඳ බීගත්
හුළඟ ගෙනත් අතැර අවසන්
ගෙම්බන්ගෙ කුණු ඇළට
මල පුප්පන්න ගිය බිල
උඩින් මඩේ මලක් ගැහුවට
ඇයි ගෙම්බන්ට තේරුම් ගන්න බැරි
විලක් නොවනා බව උන්ගෙ වල (හෙට්ටිතන්ත්‍රී 2019: 35).

හෙට්ටිතන්ත්‍රී ගේ කාව්‍යමය විවේචනය හුදෙක් සංවර්ධනය යන ක්‍රියාවලිය පිළිබඳවම නොවේ. ඔහුගේ කාව්‍යමය හාස්‍යය හා කෝපය යොමුවන්නේ මහජනයාට සෙතක් ගෙන නොඑන, රට ජාත්‍යන්තර නය උගුල්වලට හිරකරන හා නිසි ලෙස දීර්ග කාලීන සැලසුම්කරණයකින් තොර පම්පෝරිසහගත සංවර්ධන ව්‍යාපෘති වෙතටය. මේ කවිය හා ඒ තේමාව යටතේම ලියැවුනු අන් කවි ද කියවන විට මගේ මතකයට එන්නේ කොළඹ නෙළුම් කුළුණ, පෝට් සිටී ව්‍යාපෟතිය, හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොල වැනි විනාශකාරී ව්‍යාපෘතීන්ය.

නිම නොවන ධරිද්‍රතාව

දකුණු ආසියානු කලාපයේ අන් බොහෝ රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධන දර්ශක බෙහෙවින් දියුණු තත්ත්යවක පවතී. එනමුත් අප රටේ දරිද්‍රතාව හා සම්පත් මහජනයා අතර බෙදීයාමේදී දැකිය හැකි දැඩි අසමානතාව අපට සුපැහැදිලිවම පෙනෙන යතාර්ථයකි. ආසියානු සංවර්ධන බැංකුවට අනුව, 2016 වන විටදී ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහණයෙන් 4.1% ක් ජාතික දරිද්‍රතා රේඛාවටත් වඩා අඩු ආදායම් මට්ටමක ජීවත් වූහ.[13] එනමුත් මේ රේඛාවට ඉහල මට්ටමක ජීවත් වීමම දරිද්‍රතාවෙන් මිදීම පිළිබඳ පැහැදිලි ඉගියක් සපයන්නේ ද නැත. එම වසරේම, ශ්‍රී ලංකාවේ රැකියාලාභී සමස්ථ ජනගහනයෙන් ඇමරිකානු ඩොලර් 1.90 ක දෛනික භාන්ඩ හා සේවා මිලදී ගැනීමට හැකි තත්ත්වයක සිටියේ 0.8% ක ප්‍රමාණයක් පමණි.[14] 2017 වන විටදී ශ්‍රී ලංකාවේ උපත ලද සෑම දරුවන් 1000න්ම පස්දෙනෙකු තම පස්වැනි උපන්දිනයට පෙර මිය ගියහ.[15] මේ දත්ත මගින් ඉදිරිපත්කරන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ සාපේක්‍ෂ වශයෙන් අසම්පූර්ණ ප්‍රතිරූපයක් වුවද අප ඉදිරියේ දෛනිකවම ප්‍රකට වන දරිද්‍රතාව පිළිබඳ යථාව හා සම්බන්ධ පැහැදිලි සංඛ්‍යානමය හෝඩුවාවන් මේ දත්තවලින් සපයයි. හෙට්ටිතන්ත්‍රීගේ සෑම කවියකම පාහේ පදනම වන්නේ මේ දරිද්‍රතාව පිළිබඳ යථාවයි. ඔහු එය දකින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ දේශපාලන ප්‍රවාහය විසින් අමතක කර දමා ඇති, එනමුත් නිරතුරුවම සමාජ-දේශපාලන කතිකාවේ මතුපිටටම ගෙනආ යුතු වාදවිෂයක් වශයෙනි.

‘කඩා ඉවත් කිරිමට නියමිතව තිබු පැල්පත් පේලියේ කොලුවෙකු පාරේ කුණු අතුගාන අම්මෙක් ලඟට දිව ගොස් හදිසියේ කිවු කවියක්’ යන බෙහෙවින් දීර්ඝ සිරසකින් යුත් කවි පන්තියෙන් ඔහු වේදනාව, කෝපය හා ගැඹුරු කරුණා ගුණයක් ද පෙරදැරි කරගෙන පවසන්නට උත්සාහ ගන්නේ මේ දරිද්‍රතාවයෙන් වෙලීගත් ජනයාට නිරතුරුවම ජීවත් වන්නට සිදුවන ආන්තික ජීවිතය මෙන්ම සංවර්ධනය වැනි ක්‍රියාකාරකම් ඔවුන්ගේ ජීවිතවලට කරන නිශේධනීය බලපෑම් පිළිබඳවය:

අම්මේ ටකරමක කණට ගහලා
ඩෝසරේ මේ දැන් ගෙට ගොඩවුනා
බිත්තියේ හිටපු සමන් දෙයියන්ව
එක කටට ඌට මදි වුනා ….

…. යටලීය හපල ඩෝසරේ කිරි වේයෝ බොද්දී
මඩ වලේ අක්කා ගෝණියක ගුලිවුනා
අම්මෙ මං මේ ඌට කියල ආවේ
“යකෝ ඊයේ රෑ අපේ අක්කා ලොකු වුනා” (හෙට්ටිතන්ත්‍රී 2019: 34).

නගරාශ්‍රිත දරිද්‍රතාව හා එනිසාම දුගී ජනයා ගෙවන ආන්තික හා වේදනාකාරී ජීවිත පිළිබඳ ඉහත කවියයෙන් කියා පෑ අයුරින්ම ‘ගහක් මුදුනට සඳත් නැගලා’ යන කවියෙන් හෙට්ටිතන්ත්‍රී අපව ගෙන යන්නේ නගරයෙන් බොහෝ දුර වනාශ්‍රිතව කෘශිකර්මාන්තයෙන් ජීවත්වන ග්‍රාමීය ජනයාගේ දුප්පත්කම, වේදනාව හා ඔවුන්ගේ ජීවන ශෛලිය නිසාම ඇතැම් විට මුහුණපාන්නට සිදුවන හදිසි මරණ වැනි තත්ත්වයන් වෙතටය:

…. අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින
හරිම මූසල මංඩියේ
වැවේ දෙවියනි මේ තියෙන්නේ
අපි උදේ කෑ වැල් අලේ ….

වී දෙපෑලක් උගස්කරලා
ගෙනැත් ඇති පංචායුදේ
අලි හිතක් ඇයි අඩිය තිබ්බේ
පොඩි පුතා සැතපුණු කුසේ …. (හෙට්ටිතන්ත්‍රී 2019: 37).

පටු දේශපලනයේ සමාජයීය බර

සුජීව හෙට්ටින්ත්‍රී ගේ කවිවලින් මතුවන තවත් ප්‍රධාන තේමාවක් වන්නේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විනාශකාරී හා පටු දේශපාලනය පිළිබඳ විචාරශීලී වවේඡනයක්ය. නිදහසින් පසු හා වඩාත් පැහැදිලිව 1970 දශකයෙන් පසුව ශ්‍රී ලංකාවේ ස්ථාපිත වී ඇති ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් කියාත්මක වන දේශපාලනය විසින් මෙරට ප්‍රජාතාන්ත්‍රීය දේශපාලනික සංස්ථා හා භාවිත අකර්මන්‍ය කර ඇත. මේ තත්ත්වය යටතේ සමස්ථ දේශපාලනයම දූශණය, ප්‍රචන්ඩත්වය හා අදූරදර්ශීත්වය මත පදනම්වී ඇති අතර, එය මූලික වශයෙන් අචාරධර්ම විරෝධී හා අශිශ්ඨ ක්‍රියාවලියක් බවට පත්ව ඇත. වඩාත් අවසනාවන්ත කාරණය නම්, මේ දීර්ඝකාලීන හා විනාශකාරී කර්තව්‍යයේදී අපගේ අදූරදර්ශී නායකයන්ට මහජනතාවගේ සහායද නොමදව ලැබී තිබීමය. එනම්, නොයෙකුත් ආකාරයේ මැතිවරණ ලංකාවේ පැවැත්වුව ද ඒවායින් ජනතාව නිරතුරුවම සිය කැමැත්තෙන්ම තෝරා ගන්නේ නුසුදුස්සන් වන අතර, පවතින තත්ත්වය වෙනස්කරගැනීමට අව්‍යශ්‍ය බලපෑම පුළුල් වශයෙන් ඔවුන්ගෙන් පාලක පන්තියට ලැබෙන්නේ නැත. මෙකී දේශපාලනයට වර්ගවාදය මෙන්ම ආගමික අන්තවාදයන්ද මේ වන විට ඇතුළු වී තිබේ. හෙට්ටිතන්ත්‍රීගේ කාව්‍යකරණය මේ සමස්ථ සන්දර්භයම මතුකරලන අතර, ඒ පිළිබඳ විචාරයක් ද අප වෙත ඉදිරිපත් කරයි. ඒ අන් තේමාවන් හා සම්බන්ධයෙන් මෙන්ම කෝපය, වේදනාව, කරුණාව, හාස්‍යය හා විචාරශීලීත්වය පෙරදැරිකරගත් භාෂාවක් හා වාග්මාලාවක් තුළිනි.

මොහොතකට ‘මේ ගලන්නේ ඒ ගඟමයි, දෙකම එකම ජාතියෙ ඉවුරු’ යන කවි පන්තියේ පහත සඳහන් කවි කිහිපය ගෙන බලමු:

මේ ගලන්නෙත් ඒ ගඟමයි කාටත් හුරු
විසිකරයි දියට මල් උපද්දා දෑලේ තුරු
කව්ඩෙකු ගිලිද්දි මරු ගීයක් ගයයි මෙරු
අපට පෑයුවත් එකයි නැතත් එකයි හිරු

වැහි වලාවක් කියා කියාගෙන ගිය
පහුගිය සුළන් කිව්වේම කපටි බොරු
දෑලේ බෙදි රෑම කෑගැහුවට රැහැයියෝ
මේ දෙකම එකම ජාතියෙ ඉවුරු

අවුරුදු හැට හැත්තෑවක් පරණ පාලම
තවත් උස්සගෙන ඉන්න ඕනමද මේ කරු
ගෝඩා හැලියක ගිලුණු ගෙම්බෙක් අහන
මාර දාර්ශණික ප්රශ්ණයක් ඒක මරු …. (හෙට්ටිතන්ත්‍රී 2019: 33).

මට නම් පෙනෙනුයේ මේ පශ්චාත්-නිදහස් යුගයේ අපට උරුම වූ දේශපාලනයේ මූලික ලක්‍ෂණ සන්ධර්භගතකිරීමක් බවයි. එනම්, මැතිවරණයෙන් මැතිවරණයට පක්‍ෂ වෙනස් වුවද දේශපාලනය හෝ එහි ආදීනව වෙනස් නොවෙන අවිචාරවත් දේශපාලනය පිළිබඳ කාව්‍යමය සිතාබැලීමක් බවයි. නිදහසින් පසු මේ පටු දේශපාලනය කරගසාගෙන සිටින මහජනතාව පාළමේ කරු බවට කවියා පත්කර ඇති අතර, ඔවුන් මහත් ආයාසයකින් ඔසවාගෙන සිටින පරණ පාළම මුලිනුපුටා දැමිය යුතු, එනමුත් මහජනයාම එසේ නොකරන විනාශකාරී දේශපාලනයයි. ‘පොදු වැසිකිලිය’ යන කවි පන්තිය මේ දේශපාලනය වඩාත් පැහැදිලි ලෙසම වර්තමානයට ගෙනඑයි:

අදත් හංගාගෙන බඩක්
ටකරන් පලුව වසාගත්තා ගැහැණියක් ….

…. ඉදිරිපස බිත්තියේ
නිදන බේබද්දාගේ හිසට ඉහලින්
කොලපාට නිල්පාට පසුබිමේ
හිනාවෙන මූණක් දෙකක්
පසෙකින් ලියා තිබේ
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්රවාදි සමාජවාදි ජනරජයේ
අහවලාගේ තවත් ප්රජා සත්කාරයක් (හෙට්ටිතන්ත්‍රී 2019: 41).

මහජන මුදලෙන් ගොඩගන බස් නැවතුම් පොලවල්, වැසිකිලි, විදුලි පහන් කණු, මං මාවත් ආදී සියල්ලම තමන්ගේ ධන පරිත්‍යාගයෙන් හෝ රජයේ විමධ්‍යගත අරමුදල්වලින් තම මැදිහත් වීම හරහා මහජනතාවට ලබා දුන් දායාද බව පවසන ජාතික හා ප්‍රාදේශීය දේශපාලකයින්ගේ කයිවාරු පුවරු අප කොතෙක් දැක ඇත්ද? මීට සාපේක්‍ෂව දැකගත නොහැක්කේ රටට දැරිය හැකි හා සුදුසු ආධ්‍යාත්මක හා භෞතික සංවර්ධනයයි.

වර්තමානයෙන් බැහැරව, අතීතයේ සංකේත ක්ෂේත්‍රයක් මධ්‍යයේ වුවද කවියා ‘පරාජිත පෙම්වතෙකු අප්සරාවිය හමුවීම’ යන කවිපන්තියෙන් පවසා සිටින්නේ අතීතය, ඉතිහාසය හා පොදු මතකය කරලියට නංවන විට මතුවන විස්මෘතිය පිළිබඳ දේශපාලනයයි. එනම්, අපගේ සභ්‍යත්වමය කතිකාවලින් අප මතක තබා ගන්නේ හා අමතක කරලන්නේ කුමක්ද හා ඒ වරණයට හේතුව කුමක්ද යන කාරණාය:

ආදරය ලඟ පැරදිලා නැති
කිසි කෙනෙක් හමුනොවුන හින්දා
සීගිරිය නැග අප්සරාවිය
හමුවෙන්න මට හිතක් දුන්නා

මල් මිටක් ගෙන හුදකලාවේ
මඟ බලාගෙන ඉන්න හින්දා
කල්පනාකර කනට ලංවී
පෙම්වතෙක් ඉන්නවද ඇහුවා

බොහොම ඉස්සර වැවට අද්දර
මටත් යස පෙම්වතෙක් උන්නා
ඇය කියද්දි හිතට රහසින්
ඇස් දෙකෙන් මගේ කදුළු පැන්නා

සීගිරිය කළ රජෙක් දවසක්
මගේ රූපෙට හිතක් බැන්දා
ගල් ලෙනක මම වින්ද කරදර
වහන්නට සිතුවමක් ඇන්දා (හෙට්ටිතන්ත්‍රී 2019: 38).

සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව වැනි අතීත ශ්‍රී විභූතිය ගැප්වී ඇති නශ්ඨාවශේෂ පිළිබඳව උදම්අණන විටදී එවන් භෞතික දෑ ශේෂකරලන්නට නම් කුමණාකාරයෙන් මහජනතාව පැරණි රජ දවසේ හසුරුවන්නට ඇත්ද, ඒ සඳහා කුළ ක්‍රමය හා රාජකාරී ක්‍රමය මගින් ශ්‍රමය කුමණ ලෙසකින් සූරාකන්නට ඇත්ද යන්න අප මොහොතකට හෝ සිතන්නේ නැත. එනිසාම, අපගේ වංශකථාවලින් ඉදිරිපත්කරන ඉතිහාසයන්ට අමතරව අනේක නිර්ප්‍රභූ ඉතිහාසයන් අපගේ සවිඥානයෙන් කොතෙක් ගිලිහී ඇත්ද යන්න අප සහිපත් කළ යතුය. මන්ද, මේ සීමාව නිසාම අපගේ සමස්ථ ඉතිහාසය තේරුම් ගැනීම යම් බුද්ධිමය දරිද්‍රතාවකින් වැසී ඇති බැවින් අප අතීතය තේරුම් ගන්නා ආකාරය අසම්පූර්ණ වන නිසාය. කෙසේ වුවද, කවියා සීගිරි යුගයට අපව කැඳවාගෙන යන්නේ වර්තමානයේ සිට බැවින් ඔහු සංකේතාර්තයෙන් හා පරිකල්පනයෙන් මෙසේ ගොතන කතිකාව වර්තමානයේ බලදේශපාලනයටද එලෙසින්ම සාධාරණීකරනය කළ හැකි බැව් අපගේ පොදු අත්දැකීමෙන් අපට තේරුම් ගත හැකිය.

ස්වභාවධර්මය හා ඊට එරෙහි මානව ක්‍රියාකාරකම්

ශ්‍රී ලංකාවේ මෑතකාලීන ඉතිහාසයේ එක් මහා ඛේදවාචකයක් වන්නේ හුදු පටු පුද්ගලික අවශ්‍යතා හෝ මූල්‍යමය වාසි සඳහා ස්වභාවධර්මයට එරෙහිව ජනතාව විසින් දියත් කර ඇති අනවරත සටන් හා ස්වභාවධර්මය විසින්ම ඊට ලබා දී ඇති විනාශකාරී පිළිතුරු මගින් මූර්තිමත් කරන යතාර්ථයයි. 2017දී සිදුවූ ජලගැල්මෙන් හා නායයෑම්වලින් ලංකාවේ පුද්ගලයික් 151 පමණ මිය ගියහ.[15] ඒ 2003 න් පසුව ඇතිවූ දරුණුතම ජලගැල්ම වීය. විනාශය මෙතරම් නොවුනද, 2018දී ඇතිවූ ජලගැල්මෙන් හා නායයෑම්වලින් ද මිනිස් ජීවිත හා සම්පත් විනාශ විය. එක් අතකින්, නිරන්තරව ඇද හැලෙන වර්ෂා වැනි ස්වභාවධර්මයේ ඇතිවී තිබෙන දරුණු වෙනස්වීම් ගෝලීය වශයෙන් සිදුවී ඇති මහා-පරිමාණ මානව විනාශකාරී ක්‍රියාවල ප්‍රතිඵලයකි. අනෙක් අතට, මෙවන් වැසි තත්ත්ව යටතේ සිදුවන නායයෑම් ආදියට ලංකාවේ සිදුවන වන හා වෘක්ශලතා විනාශය මෙන්ම කඳුකර ප්‍රදේශවල ඊනියා සංවර්ධන කටයුතු හා පුද්ගලික නිවාස ඉදිකිරීම සඳහා මහාපරිමාණ වශයෙන් සිදුකරන වනපෙත් එලිපෙහෙලි කිරීම් ඍජුවම දායකවී තිබේ. මෙනයින් බලන කළ මෙවන් සිදුවීම් ගෝලීය හා දේශීය වශයෙන් සිදුකරගන්නා සාමූහික සියදිවිනසාගැනීම් වශයෙන්ද තේරුම් ගත හැක. මේ තත්ත්ව දේශීය වශයෙන් පාලනය කරගැනීමට රජයට මෙන්ම මහජනතාවටද අපහසුවී ඇත්තේ ඔවුන්ගේම අදූරදර්ශී ක්‍රියාවන් නිසාය. ස්වභාවධර්මයට මෙලෙස සිදුකරන හානියද සොබාදහමින් ලැබෙන විනාශකාරී ප්‍රතිචාරද හෙට්ටිතන්ත්‍රීගේ කවියට පදනම සපයන තවත් තේමාවක්ය. ‘කඳු පන්තියක රැස්වීමක්’ යන කවි පෙලේ මුඛ්‍යාර්ථය නම්, සීමා රහිත වන විනාශය දරාගත නොහැකි වූ කඳුයායක් නායයාමට ඒකමතිකව තීරණය කිරීම හා සප්තකන්‍යා කඳු පෙලින් ඇතැමුන් ගිනිකඳු බවට පත්වන්නට තීරණය කිරීමත්ය:

ඉවසන්න බැරිම තැන
පපුවේ කැක්කුම
මිට මොලෝ ගත්තේ නකල්ස් කඳු
කිරි දෙද්දි ඇකයේ
අම්මෙක්ගේ පයෝදර
පිටපලු වලට ඉරා
කැන්ටර් වදකයෙක්
පෑගුවේ තේක්ක බිළිඳු

හැම තැනම මිනී කඳු
මැෂින් කියතක් බෙලි කපා ලඳු
ජාතියම වලලද්දි
බෝ ගස් වලට තියෙනවා
පැන් කල පිටින් නාන කැත පුරුදු

පොළොවට නොබැස
අතුරුදහන් වන්දි දෙන්නට
අහසක් පත්කරද්දී කේඩෑරි වැහි බිඳු
කඳු තට්ටයක ඉපල් කෙස් ගහක
එල්ලී මැරෙන්නට පෙර
හා කුණක් බදාගෙන ඉකිගහයි සඳු

මධ්‍ය කඳුකරයේ
රැස්වීමක් කැදෙව්වේ
තීරණය කරන්නට නාය යන කඳු
සප්ත කන්යාවෝ යෝජනා කළේ හඬා
අපිවද කෙලසූ නිසා
කටිටියක් වෙමු කියා ගිනි කඳු (හෙට්ටිතන්ත්‍රී 2019: 39).

මෙතරම් විනාශයක් සිදුකරන ඇතැමුන් බෝ ගස් නහවමින් කරන බෝධි පූජා කවියා දකින්නේ කුහකත්වය උද්දීපණය කරන යාතුකර්මයක් විලසිනි. ඒවා ‘කැත පුරුදු’ ලෙස දකිමින් හාස්‍යයෙන් යුතුව ඔහු බැහැර කරන්නේ මේ නිසාය. ‘බහුතර ගස්’ නම් වූ කවි පෙලින්ද ඔහු උත්සාහ දරන්නේ මේ තේමාවම ආමන්ත්‍රණය කිරීමටය:

ගල් බොරලු වහගෙන
කඩතොළු හංගාන
පා පහරවල් ඉවස ගත්තා
හැමදාම තණ නිල්ල
ඒක අනුකම්පාවට කරුණක් නෙමෙයි
විසිකැත්තකට නොකපන්නට
තණ පතක බෙල්ල

වැල්ලේ ඇස් අරින්නට හදන
කිසිම පැලයකට
අවස්තාවක් දෙන්න
සුදානම් නෑ රැල්ල
ටිකක් කල් ජීවත් වෙන්න
පොල් ගහක් පවා
මුහුදට පාත්කරගෙන
ඉන්න ඕනා බෙල්ල (හෙට්ටිතන්ත්‍රී 2019: 47).

මේ කවි පෙළෙන් කවියාගේ කරුණාව සැමගේ පය ගැටෙන තණපෙති දක්වා ද විහිදී යන අතර, සොබාදහමේ පැවැත්මට මානව ක්‍රියාවලීන් මෙන්ම සොබාදහමම නිශේධනීය බලපෑම් එල්ල කරන ආකාරය පැහැදිලි කරයි.

සමාප්ති සටහන්

මේ කවි එකතුවේ ඇතුළත් වී ඇති සියළුම කවි ඉහත මා ඉදිරිපත් කර ඇති තේමා හතර හෝ ඒවාට බෙහෙවින් සමීප අදහස් ඔස්සේ ලියැවී ඇති බැව් මාගේ විශ්වසයයි. එමෙන්ම මේ තේමා සියල්ලම ඔස්සේ දිවෙන තවත් සමස්ථ අදහසක් මේ සියළුම කවි තුළ සෙවනැල්ලක් සේ දැකගත හැකිය. එය දෛවය හා කර්මය අතර දෝලනය වන අදහසකි. එනම්, හෙට්ටිතන්ත්‍රිගේ විචාරය, වේදනාව, කෝපය, කරුණාව, හාස්‍යය හා ගර්ජනාව ඔස්සේ පෙනෙන්නේ ඔහුගේ කවිවලින් විස්තර කරන ශ්‍රී ලාංකේය සමාජයේ පවතින අනේක ඛේදවාචක ඓතිහාසිකව මුල්බැසගෙන ඇති බැවින්, එයින් මිදෙන්නේ කෙසේදැයි කවියාට නොපෙනෙන බවත්ය. කවියාට පමණක් නොව, බොහෝ කාලයක සිට ශ්‍රී ලාංකේය සමාජය විධිමත්ව හදාරණ මා වැන්නෙකුට වුවද මේ පවතින තත්තවයන්ගෙන් එතෙර වන්නේ කෙසේ ද හා එසේ එතෙර විය හැකිද යන්න නිරන්තරයෙන්ම පැනනගින ගැටළුවකි. එය සමස්ථ ශ්‍රී ලාංකේය දේශපාලනය සහ එහි පැවැත්මට නිරන්තරයෙන් හා මුග්දව එක්ව ජවය සපයන සාමාන්‍ය ජනතාව හා ඔවුන්ගේ නායකයින්ගේ අනාගත දැක්ම කියවාගැනීමට ඇති නොහැකියාව නිසා ඇති වූවක් යැයි මාගේ විශ්වාසයයි. කෙසේ නමුත්, මේ දෛවමය හා පවතින තත්ත්වයෙන් ගොඩ ඒමක් නැත්තේය යන අදහස වඩාක් ප්‍රකට වන්නේ මේ සමස්ථ කවි එකතුවටම එහි නාමය සැපයූ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න: කරන්ට් කම්බියක් උඩදි කපුටෙකු කළ කතාවක්’ නම් කවි පන්තියෙන් වේ:

මොණරු හංසයො ගිරව්
සැළලිහිණි කොවුලෝ සැවුලෝ
මුළු ඉතිහාසයෙම කළේ
කපුටන්ව ඇන්දිල්ල
උන් උස්සගෙන ගිය
කිසි සන්දේශයක තිබුණෙ නෑ
කපුටන්ගේ දුක්ගැනවිල්ල

දඹදෙනි කෝට්ටේ සීතාවක
හැම රාජධානියකම
මුන් ටිකම තමයි රිංගුවේ හැමදාම රජ වාසලට
කපුටු පැටව් හාමතේ අඬද්දී
උන් කළේ රජවරු රැකගන්න
දුවපු එක උපුල්වන් විභිෂණ
සමන් දේවාල වලට

ලැබෙන වරදාන වලට
රාජ වංශයේ කුමාරිකාවකට
මිනිහෙක් හොයන්න
තවත් බිසවකට
බඩට ළමයෙක් ඉල්ලන්න
පරවි මුත්තෙක් සහ සැළලිහිණි අත්තෙක්
දෙයියන්ට කියපු ඉතිහාසයක් තියෙනවා
අපේ නායක කුරුල්ලන්ට

තාම එක කපුටෙකුට බැරිවුනා
වහලක් තියෙන කූඩුවක මැරෙන්න
අඩුගානේ අපිට අයිතියක් නැද්ද
ඔළු ගෙඩියකට නොවැටෙන්න
නිදහසේ පොළොවට කක්කුස්සි යන්න (හෙට්ටිතන්ත්‍රී 2019: 48).

පැහැදිලිවම, හෙට්ටිතන්ත්‍රිගේ කපුටෝ අපි සැම වන අතර, මොණරු, හංසයෝ, ගිරව්, සැළලිහිණීන්, කොවුලන් හා සැවුලන් වැනි පක්‍ෂී ධූරාවලියේ ඉහල ස්ථරවල වැජඹෙන කාව්‍යමය වශයෙන් සිංහල කාව්‍යකරණයේදී ඓතිහාසික වශයෙන් වරප්‍රසාධිත පක්‍ශීන් එදත් අප පාලනය කළ හා අදත් අපව පාලනය කරන පාලක පන්තියයි. ඔහු දකින ලෙස මෙය යාවත්කාලීන යථාවකි.

මා මෙතෙක් උත්සාහ ගත්තේ සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන මේ කවි එකතුව කියවීමේදී යොදා ගත හැකි එක් ප්‍රවේශයක් පිළිබඳව මාගේ විෂය ක්‍ෂේත්‍රය ඔස්සේ අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නටය. අන් පාඨකයින්ට මෙය වෙනත් ආකාරවලින්ද කළ හැක. මෙහිදී මා අදහස් කළේ කවියට සමාජවිද්‍යාව හෝ අන් සමාජයීය විද්‍යාවන් විස්තාපනය කල හැකි බව කීමට නොවේ. නමුත් යම් පැහැදිලි තත්ත්ව යටතේ ගන්නා ලද චායාරූප සමාජවිද්‍යාවට විධික්‍රමිකව හෝ පර්යේෂණ ඉලක්කයක් වශයෙන් හෝ පැහැදිලි දිශානතියක් සැපයිය හැකිය යන්න ඒ පිළිබඳව රචනා කළ සියළුම රචනයන් තුළ මා තර්ක කර ඇත්තේ යම් සීමාවන් තුළය. එනම්, චායාරූපවලට මේ හැකියාව ලැබෙන්නේ ස්වාධීන මූලාශ්‍රයක් වශයෙන් පමණක් ඒවා සැලකිල්ලට ගැනීමෙන් නොවේ. ඒවාට මේ හැකියාව ලැබෙන්නේ අන් සියළුම මූලාශ්‍ර මෙන්ම සමස්ථයක් වශයෙන් පාඨාන්තරීය කියැවීමකට අවකාශ විවර කල හැකි මූලාශ්‍ර සමූහයක් අතර පවතින එක් මූලාශ්‍රයක් ලෙස ගත් විටය. මෙලෙසම, සමාජයීය විද්‍යාවන්ට නිර්මාණශීලී ලෙස ඈදාගත හැකි අන් සියළුම නිර්මාණ කෘති මෙන්ම කවියද එසේ ඈදාගත යුත්තේ එයින් අන් මූලාශ්‍ර ද සමගින් සමාජය හා එහි දේශපාලන ගතිකයන් හා සංස්කෘතික ප්‍රවණතා කියැවීමට යම් දායකත්වයක් සැපයිය හැකිනම් පමණි. ඒ වරණය හා එය ක්‍රියාත්මක කළ හැකි තත්ත්ව පිළිබඳ තීරණ ගැනීම විචාරශීලී සමාජවිද්‍යාඥයා සතු කාර්යයකි.

මේ අර්ථයෙන් ගත් කළ, මා ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳව හෝ පුළුල් වශයෙන් දකුණු ආසියානු සමාජය පිළිබඳව හෝ පාඨමාලාවක් උගන්වන්නේ නම්, ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන සුජීව හෙට්ටිතන්ත්‍රීගේ කවි අගනා ප්‍රවේශ හා සාකච්චා අවකාශ ගණනාවක් සපයන බවට මට කිසිදු සැකයන් නොමැත.

පසු සටහන්

  1. Caroline Turner, ‘Art and Social Change,’ pp. 4. In, Caroline Turner ed., Art and Social Change: Contemporary Art in Asia and the Pacific. Canberra: Pandanus Books, 2005.
  2. අමතර විස්තර සඳහා කියවන්න: Sasanka Perera, Artists Remember; Artists Narrate: Memory and Representation in Sri Lankan Visual Arts. Colombo; Colombo Institute and Theertha International Artists’ Collective, 2012.
  3. Malliaka Shakya, ‘Reading Parijat and B P Koirala: Belonging and Borders in 20th Century Nepali Novels,’ pp. 53-60. In, Economic & Political Weekly, April Volume LII, No. 15, April 2017.
  4. සම්මන්ත්‍රණණ තේමාව විස්තර කළ මුල් ඉංග්‍රීසි පද වැල මෙසේය: The Poetic Imagining(s) of Southasia: Borders and Nations. මේ සම්මන්ත්‍රණයේදී nation (ජාතිය) යන පදය තුළ ‘ජාතිය’ හා ‘ජාතික රාජ්‍යය’ (nation state) යන අර්ථ දෙකම ගැප් වී තිබුනි.
  5. http://sau.int/downloads/Poetics2019conferenceCFP.pdf
  6. Sasanka Perera, ‘Fiction, Creativity and Politics: Reading Gunadasa Amarasekera’s Gamanaka Meda’, 2006. In, The Island. Available at: http://www.island.lk/2006/05/25/features5.html
  7. Sasanka Perera, ‘Fiction, Creativity and Politics: Reading Gunadasa Amarasekera’s Gamanaka Meda’, 2006. In, The Island. Available at: http://www.island.lk/2006/05/25/features5.html
  8. Sasanka Perera, Warzone Tourism in Sri Lanka: Tales from Darker Places in Paradise, pp. 18-19. New Delhi: Sage, 2016.
  9. මෙසෙන්ජර් පණිවිඩයකින් ලත් තොරතුරු, නොවැම්බර් 14, 2019.
  10. මෙසෙන්ජර් පණිවිඩයකින් ලත් තොරතුරු, නොවැම්බර් 14, 2019.
  11. මෙසෙන්ජර් පණිවිඩයකින් ලත් තොරතුරු, නොවැම්බර් 14, 2019.
  12. Centre for Policy Alternatives (2014): Forced Evictions in Colombo: The Ugly Face of Beautification, Colombo: Centre for Policy Alternatives.
  13. https://www.adb.org/countries/sri-lanka/poverty
  14. https://www.adb.org/countries/sri-lanka/poverty
  15. https://www.adb.org/countries/sri-lanka/poverty
  16. https://www.theguardian.com/world/2017/may/28/floods-and-landslides-and-in-sri-lanka-kill-at-least-150-people
  17. මේ පිළිබඳ අමතර තොරතුර සඳහා කියවන්න: Sasanka Perara, ‘Photography’s Methodological Absence in Social Anthropology in South Asia: Some Preliminary Thoughts for Consideration,’ pp. 299-319. In. N. Jayaram ed., Knowing the Social World: Perspectives and Possibilities. Hyderabad: Orient BlackSwan, 2017 and Sasanka Perara, ‘Photography and the Ethnographic Method.’ In, Oxford Research Encyclopaedia of Education. Oxford University Press. doi: http://dx.doi.org/10.1093/acrefore/9780190264093.013.379, 2019.
Total
12
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාංශු: මනුෂ්‍යත්වය, ප්‍රචණ්ඩත්වයේ ආඛ්‍යාන සහ යුක්තියේ කතිකා

පාංශු, විසාකේශ චන්ද්‍රසේකරම්ගේ නිර්මාණයකි විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ දිරාගිය මහලු මවක්, පණ නැසූ නමුත් තවමත් පණ ගැහෙන තුවක්කුවක් තම දිය රෙද්දෙහි  රුවා, වැව් ජලය මත උඩු අතට පිහිනා යන්නීය. මේ අම්මා බබා නෝනාය. එකම රාමුවක් තුළ පරිකල්පනය කළ නොහැකි පුද්ගලයින් සහ වස්තූන් එකට මුණ ගැස්සවීම තුළ සිනමාකරුවා අපූරු සිතුවමක් ප්‍රේක්ෂක මනසේ සිතුවම් කරයි. මේ රූප රාමුව, අපේ කාලයේ අම්මාවරුන්ගේ අ​භියෝගවල  ගතිකත්වය ගැනය. තම අතුරුදහන් වූ පුත්‍රයාගේ හැඩරුවට සමාන පුද්ගලයෙක් රෝහලේ ඇතැයි යන පණිවිඩයට සංවේදී වන බබා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘නිරෝධිත කවි’ පිලිබඳ කෙටි සටහනක්

නිරෝධිත කවි. උදන් ප්‍රනාන්දු. කතෘ විද්‍යුත් ප්‍රකාශනයකි. 2020. පිටු: 36. ———– විමර්ශනය: නිලූක කදුරුගමුව කවියා හා සාහිත්‍යකරුවා අනුප්‍රාණය ලබන්නේ ඔහු අවට හටගන්නා මහා හෝ චූල හෝ ප්‍රපංචයන්ගෙනි. සිය දහස් ගණනකට මරු කැඳවූ වසංගත, කවීන් සහ සාහිත්‍යකරුවන් විසින් නිරතුරුවම සිය කලාකෘතීන්ගේ වස්තු විෂයය බවට පත්කර ගනු ලැබූ සැටි අපි දැක ඇත්තෙමු. කොවිඩ් වසංගතය ලෝක සාහිත්‍යය කෙරෙහි වස්තු විෂයයමය වශයෙන් කවර බලපෑමක් කරනු ඇතිදැයි, කෙනෙක් ළඟදී මගෙන් විමසීය. මා ඊට දුන්නේ නොපැහැදිලි උත්තරයකි. අවංකවම ඊට හේතුව ඒ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

යූස්ටේන් ගාඩර්ගේ කෙටි දිවියක මතකය පිළබද කෙටි විමසුමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ___________ (සෝමසිරි ඒකනායකගේ මේ විමර්ශනයත් සමගම කොරෝනා වසංගත කාලයේ නිවසට සීමා වී සිටින ඔබ සැමට තමන් කියවන ඕනෑ ම පොතක් පිළබද ඇති අදහස් සිය නිවෙස් තුල විලංගුගතවී සිටින අන්‍යයන් සමග බෙදා ගන්නට මේ ග්‍රන්ථ විමර්ශන අවකාශය විවර කර ඇති බව පඨිත සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි. සාමාන්‍යයෙන් පඨිත විමර්ශන අවකාශය වෙන්වී ඇත්තේ ශාස්ත්‍රීය කෘති විමර්ෂණය…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘තේ කහට’ ගැන වචනයක් දෙකක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාල​ය 2020 සැප්තැම්බර් 26 වන දි​න කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී විවෘත වුණු ‘තේ කහට’ ලෙස නෙස නම්කර කර තිබූ ඡායාරූප ප්‍රදර්ශනය මගින් කඳුකරයේ තරුණ තරුණියන් 40 දෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ඡායාරූප සියයක් ප්‍රදර්ශනය කරන ලදී. ඡායාරූප එකතුව සමස්තයක් ලෙස ගත් විට, එමගින් ගොතා තිබුණේ ලංකාවේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිත තේ වතුවල රැකියා කරන හා එහි ජීවත්වෙන දමිල ප්‍රජාව ගේ දෛනික ජීවිතය පිළිබඳ කතාවකි. එය එම ප්‍රදේශ වෙත පිටතින් ගිය පර්යේෂකයන්…
වැඩි විස්තර පරිශීලනයට