සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා

(මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත)

(ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා.

මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත එවූ විද්‍යුත් තැපැල් පණිවිඩයකින් අසා සිටියේ ‘අභියෝග හමුවේ සමාජ වගකීම පිළිබඳව නැවත සිතාබැලීම’ යන තේමාව යටතේ ඔහුගේ පීඨය මගින් සංවිධානය කරන සම්මන්ත්‍රණයේ ආරාධිත දේශනයක් කිරීමට මා කැමතිද යන්නය. ඔහුට පිළිතුරු සැපයීම මා හිතාමතාම පමා කළෙමි. ඊට හේතුව නම්, මෙයත් මීට පෙර අනේක වර ශ්‍රී ලංකාවේ සංවිධානය කළ ආකාරයේ සරළ සංවර්ධනීය හා සංතෘශ්ඨිවාදී න්‍යාය පත්‍රයකට අනුව ඔහේ අටවන ලද තවත් තේමාවක් යැයි මට යම් සැකයක් පහළ වූ නිසාය. එනමුත් මේ පිළිබඳව ඔහුගෙන් මට මතක් කිරීමක් ලැබුන පසුවත්, සම්මන්ත්‍රණයේ සංකල්ප සටහන නැවත වරක් ප්‍රවේශමෙන් කියවීමෙන් පසුවත් මට පෙනී ගියේ, යමෙකුට සමාජ වගකීම යන අදහස පිළිබඳව යම් ස්වයං-ආවර්ජනයක යෙදෙන්නට අවශ්‍යය වූයේ නම්, එවන් කටයුත්තකට සප්‍රමාණික අවකාශ සම්මන්ත්‍රණයේ සංකල්ප රාමුව විවරකරදී තිබුනු බවය. අද දින මාගේ අදහස් ඉදිරිපත් කිරීමේ නිමිත්ත මේ අවකාශයයි.

සම්මන්ත්‍රණයේ මූලික අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වී තිබුන ද මාගේ කියවීමට ආලෝකය සපයන බොහෝ මූලාශ්‍ර ශ්‍රී ලංකාවට පරිභාහිර ඒවා බැව් සැලකිය යුතුය. මාගේ උනන්දුව වූයේ පුළුල් සාමාජයේ බෙහෙවින් ගැළුකාරී අභියෝග පවතින මොහොතක, ඒ සමාජය තුළම පිහිටා ඇති විශ්වවිද්‍යාල තුළ සමාජ වගකීම යන අදහස ප්‍රායෝගිකව අර්ථවිවරණයකර ඇත්තේ කෙසේදැයි සොයාබැලීමටය. සැබැවින්ම, ලොව බොහෝ රටවල අනේකවිධ හේතු නිසා සමාජ-දේශපාලනික විපර්යාස ඇතිවී තිබෙන බවත්, ඒ සන්ධර්භ තුළ සමාජ වගකීම යන අදහසද විපරිවර්තනයට ලක්වී ඇති බවත්, අප බොහෝ දෙනා දන්නා යථාවකි. මෙවන් සන්ධර්භ තුළින් ලබා ගත් ඇතැම් උදාහරණ ඔබ වෙත ඉදිරිපත්කර එතුලින් යම් ආරාධනයක් ඔබට මා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එනම්, මේ පුළුල් අන්තර්-ජාතික අනුභූති දේශීය තත්ත්ව හා ගලපා ගැනීමේදී පෙනී යන්නේ කුමක්ද කියා සිතා බලන ලෙසය. එවන් සැසදීමකින් තත්කාලීන ශ්‍රී ලාංකේය යථාව කියවීමට යම් පිටුවහලක් ලැබේද යන පැනයද මෙහිදී මතුවේ.

අප විශ්වවිද්‍යාල යනු දැනුම් නිශ්පාදනයට සහ චින්තනීය නව්‍යකරණයට තෝතැන්නක් ලෙස සලකන්නේනම්, දැනුම් නිශ්පාදනයට කේන්ද්‍රීය ලෙස අත්‍යවශ්‍යවන එකී බුද්ධිමය අවකාශය අස්ථාවර සමාජ-දේශපාලන තත්ත්ව තුළ ඛණ්ඩනය වූයේනම්, ඉන් එකී ආයතන පද්ධතියටත් පුළුල් සමාජයටත් සිදුවන්නේ කුමක්ද? වඩාත් පුළුල්ව තේරුම්ගත හැකි වාදවිෂයන් වන රටවැසිකම හා සමාජ වගකීම වැනි අදහස්වලට ඉන් සිදුවන්නේ කුමක්ද? මෙවන් තත්ත්ව තුළ සමාජ වගකීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පුද්ගලයින්ගේ ජීවිත හානියට මගපාදන කාර්යයක් වේද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා අද දින මා පහත සඳහන් මාර්ගය තෝරාගන්නට අදහස් කළෙමි:

1) පළමුව, ශාස්ත්‍රඥයෙකුගෙන් සමාජයට සිදුවියයුතු වගකීම ලෙස මා දකින්නේ කුමක්දැයි කෙටියෙන් විස්තර කිරීමට කැමැත්තෙමි. ඒහා සමගම මාගේ තේරුම්ගැනීමට අනුව, පරමාදර්ශීයව විශ්වවිද්‍යාල යනු කුමක්දැයි විස්තර කිරීමට ද කැමැත්තෙමි.

2) දෙවනුව, තෝරාගත් චින්තකයින් කිහිපදෙනෙකුගේ අදහස් ඔස්සේ ගෝලීයව විශ්වවිද්‍යාලය යන අදහස විපරිවර්තනයට භාජනය වී ඇත්තේ කෙසේදැයි සංශිප්තව ගවේශණය කිරීමට යොමුවන්නෙමි. ඒ ද, මූලික වශයෙන් සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර යන පුළුල් විෂය ක්‍ෂේත්‍රයන්ට අවධානය යොමු කරමිනි.

3) තෙවනුව, විශ්වවිද්‍යාල දේශීයව බලපවත්වන නිල තේරුම්ගැනීමට අනුව, රටේ බුද්ධිසම්පාදන ක්‍රියාවලිය තුළ ස්ථානගතවී ඇත්තේ කවරාකාරයෙන්දැයි විස්තර කිරීමට මා යොමු වෙමි.

4) සිව්වනුව, මේ විස්තර කළ තත්ත්ව යටතේ සමාජ වගකීම යන අදහස කෙලෙස තේරුම්ගත හැකිවේද යන්න පිළිබඳ මාගේ අදහස් ඔබ වෙත ඉදිරිපත්කරන්නට මා යොමු වෙමි.

ශාස්ත්‍රඥයෙකු යනු කවුරුන්ද? විශ්වවිද්‍යාලක් යනු කුමක්ද?

මාගේ තේරුම්ගැනීමට අනුව, ශාස්ත්‍රඥයෙකකු වීම යනු හුදු රැකියාවක නිරතවීම පමණක් නොවේ. එය වෘත්තියකි. එය ජීවන ක්‍රමයකි. එහි නිරතවීමට නම්, ඊට සරිලන මානසික හැදියාවක් හා ලාලසාවක් තිබියයුතුය. මේ සියල්ලටම වඩා, එය සමාජ වගකීමකි. මේ සියල්ල සැපිරීමට නම්, යමෙකුට අත්‍යවශ්‍යය විෂය පුහුණුවට අමතරව ඊට සරිලන මානසික තත්ත්වයක්ද තබිය යුතුය.[2] තවද මේ සියල්ල සිදුකිරීමට නම්, යමෙකුට පන්ති කාමරයෙන් බැහැරට ගොස් පුළුල් සමාජ භාවිත අඩවි තුළ තම අදහස් මුදා හැරීමේ හැකියාව තිබිය යුතුය. මේ සඳහා පන්ති කාමරය තුළම වුවද විෂය නිර්දේශයෙන් අවශ්‍ය විට බැහැරට යාමේ හැකියාවද තිබිය යුතුය. එමෙන්ම, විෂය නිර්දේශය තුළ වුවද යමෙකුට වචනයේ පරිසමාප්ත අදහස්වල මායිම් මෙන්ම ශික්ෂණීය සීමාද තරණය කර, දැනුම, රටවැසිභාවය හා යුක්තිය පිළිබඳ දර්ශනය මෙන්ම ව්‍යවහාරික බුද්ධිය පිලිබඳ කතිකාමය භාවිත වෙතද නිරතුරුවම ගමන් කිරීමටත් ඒවා ආමන්ත්‍රණය කිරීමටත් හැකියාව තිබිය යුතුය.

මා මේ විස්තර කළේ හුදෙක් ශාස්ත්‍රඥයන්ගේ තනිපුද්ගල වගකීම පමණක් නොවේ. මෙවන් වගකීමක් රැගත් වෘත්තියක පැවැත්මට අවශ්‍ය පදනම සැපයීම විශ්වවිද්‍යාලවල ආයතනික වගකීමද වන්නේය. තමාගේ සමාජයට වගකීමට බැඳී සිටින ශාස්ත්‍රඥයෙකු ලෙස මා මේ විස්තර කරනුයේ හුදෙක් ශාස්ත්‍රාලයීය සීමා තුළම ලැග සිට, එහි අඩස්සිගතවී තම ශාස්ත්‍රීය කටයුතුවල පමණක් යෙදී සිටින බුද්ධිජීවීන් පිරිසක් නොවන බව ඔබට පෙනී යනු ඇත. මා නිර්වචනය කරන ශාස්ත්‍රඥයා ශාස්ත්‍රීය අවකාශ හා සමාජය අතර පහසුවෙන් හා නිරතුරුවම ගමන් කළ හැකි හා එසේ කිරීමේදී, තම වෘත්තියේ බුද්ධිමය ඒකාග්‍රතාව පාවා නොදෙන අයෙක්ද විය යුතුය. වෙනත් වචනවලින් පවසන්නේ නම්, ශාස්ත්‍රඥයෙකු යනු ප්‍රසිද්ධ අවකාශයේ සැරිසරන, සිය බුද්ධිමය කටයුතුවල ආලෝකයෙන් සමාජයට යම් ප්‍රඥාවක් ලබාදිය හැකි ඓන්ද්‍රීය බුද්ධිමතෙකු විය යුතුය. මෙය වඩාත් වැදගත් වන්නේ දකුණු ආසියාවේ බොහෝ රටවල මෙන්, විසඳා නොගත් අනේක සමාජ ගැටළු හා අභියෝග සමස්ථ සමාජයටම බලපෑම්කරන තත්ත්ව තුළදීය. එවන් අවස්ථාවලදී ආගම, ජනවාර්ගිකත්වය වැනි ප්‍රාථමික සමාජ අනන්‍යතා පෝෂණය කරන බෙහෙවින් ඛන්ඩනීය චිත්තවේගීය ප්‍රවණතාවල විලංගුවෙන් මිදී, තර්කය මත පදනම් වූ කතිකාවක් සමාජයට දායාද කිරීමේ මූලික වගකීම මා මෙසේ විස්තර කළ ශාස්ත්‍රඥයාගේ යුතුකම මෙන්ම වගකීම ද වන්නේය.

සැබැවින්ම මා මෙලෙස ශාස්ත්‍රඥයින්ගේ සමාජ වගකීම ලෙස යෝජනා කර ඇත්තේ බෙහෙවින් පුද්ගල-නිශ්‍රිත ස්ථාවරයක් බව පැහැදිලිය. එනමුත්, වගකීම් යනු කළු හා සුදු ලෙස සරලව විස්තර කළ හැකි හා පහසුවෙන් වාස්තවික මූලයන්ට පමණක් ලඝු කළ හැකි දෙයක් හෝ නොවේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගත් කළ, වගකීම් පුද්ගල-නිශ්‍රිත වනවා පමණක් නොව, ඒවායේ සමස්ථ යථාවම චිත්තවේගයන්ගෙන්, මතවාදයන්ගෙන් හා ඒ පිළිබඳ ලාලසාවන් ද සමග අත්‍යන්තයෙන් බැඳී පවතී. එසේනම්, සමාජ වගකීම යනු කුමක්ද යන කියවීම මා අරඹන්නේ මේ පුද්ගල-නිශ්‍රිත ස්ථාවරයෙන්ය.

මේ සමීකරණයේ අනෙක් අන්තය නම්, විශ්වවිද්‍යාලයක් කුමන ස්වභාවයක් ගත යුත්තේද යන්නය. දාර්ශනිකයෙකු මෙන්ම 1962 සිට 1967 දක්වා ඉන්දියාවේ ජනාධිපතිවරයා ද වූ ආචාර්ය සරවාපිල්ලේ රාධක්‍රිශ්නන්ට අනුව,”විශ්වවිද්‍යාලයක පරමාදර්ශය වියයුත්තේ මනස බැඳීම්වලින් මුදවාගැනීම සහ චින්තනයේ නිදහස” සාක්ෂාත් කර දීමය (කරුණානායක 2011). මේ තත්ත්වය තුළ හණමිටි අදහස් සරණ යෑම හෝ අනුකූලතාවාදියෙකු වීමට අවකාශ සැලසීම විශ්වවිද්‍යාලයේ කාර්යභාරය නොවන බවද ආචාර්ය රාධක්‍රිශ්නන් පවසයි (කරුණානායක 2011). ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය පණ්ඩුක කරුණානායක පවසන්නේ,”විශ්වවිද්‍යාලය සමාජයේ බුද්ධිමය මාලිමා යන්ත්‍රය” බවත්, “එය එහි පරිඝණකය නොවන” බවත්ය (කරුණානායක 2011). මීට බොහෝ කලකට පෙරාතුව වුවද මෙවැනිම සන්ධර්භයක් තුළදී ඉන්දීය මහා කතුවර රබීන්ද්‍රනාත් තාගෝර් පැවසුවේ,”දැනුම් එකතුකිරීමේ හා බෙදා හැරීමේ හුදු තාක්‍ෂණික මධ්‍යස්ථාන බවට විශ්වවිද්‍යාල කවදාවත් පත් නොකළ යුතුය” යන්නය (තාගෝර් 2014). මේ සියළු අදහස්වල සමස්ථ සරල අර්ථය නම්, විශ්වවිද්‍යාල සාමාජයේ නිර්භය හෘද සාක්‍ෂ්‍ය වියයුතු බවත්, එය පටු උපයෝගිතාවාදී හා දේශපාලනික බැඳීම්වලින් මිදී සිටිය යුතු බවත්ය.

ගෝලීය වශයෙන් විශ්වවිද්‍යාලය පිළිබඳ අදහස විපරිවර්තනය වී ඇත්තේ කෙසේද?

සිතීමේ හැකියාව ඇති බොහෝ දෙනා සමස්ථයක් ලෙස එකහෙලා පිළිගන්නා කරුණක් වන්නේ අද වන විට ලොව බොහෝ රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය බරපතළ අර්බුද ගණනාවකට නතුව පවතින බවය. මෙය වඩාත් පැහැදිලිව පෙනෙන්නේ විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා යන පුළුල් ක්‍ෂේත්‍රවලට අයත් විෂයන් ඉගැන්වීම සම්බන්ධයෙන්ය. ශාස්තත්‍රඥන්ගේ සමාජ වගකීමේ ස්වභාවය කෙබඳුදැයි අපට තේරුම්ගත හැකි එක් ප්‍රධාන මාර්ගයක් නම් මෙසේ අර්බුදයටපත් ශාස්ත්‍රීය ආයතන පද්ධති අධ්‍යයනය කිරීමෙනි. එසේ කරීමේදී මේ පද්ධති විපරිවර්ථනය වී ඇති ආකාරය ද එමගින් සමාජ වගකීමේ ස්වභාවය වෙනස් වී ඇති අයුරු ද පෙනී යනු ඇත. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව මහාචාර්ය ටෙරී ඊගල්ටන් 2010දී රචනා කළ ‘විශ්වවිද්‍යාලවල අභාවය’ (Death of Universities) යන රචනයෙන් මෙවන් අදහසක් ඉදිරිපත් කරයි: “අප අපගේ ජීවිත කාලය තුළදීම අත්දැක තිබෙන්නේ විවේඡනයේ කේන්ද්‍රස්ථාන සේ තිබූ විශ්වවිද්‍යාලවල අභාවයයි” (ඊගල්ටන් 2010). මෙනයින් බලන කල, විශ්වවිද්‍යාල යනු සමාජයේ හෘද සාක්‍ෂ්‍යය විවෘතව හා විකසිතව තිබූ අවකාශයක් ලෙස බොහෝ කලක සිට පිලිගෙන තිබෙන බව පැහැදිලිය. එවන් ස්ථානයක හෘද සාක්‍ෂ්‍යයට සැගැවී වල් වැදී සිටීමට අවැසි නොවීය.

මා සිතනාකාරයට සමාජ වගකීම යන කාරණය ශාස්ත්‍රාලයීය අවකාශයට බලපෑම් කරණාකාරය ගැන සිතීමේදී කේන්ද්‍රීයව වැදගත් වන්නේ විශ්වවිද්‍යාලය පිළිබඳ මේ තේරුම්ගැනීමය. එනමුත්, එක්සත් රාජධානිය සම්බන්ධයෙන් මහාචාර්ය ඊගල්ටන් පවසන්නේ, ”මාග්‍රට් තැචර්ගේ පාලන වකවානුවේ සිට විශ්වවිද්‍යාලවල භූමිකාව වී ඇත්තේ පවතින සමාජ බලව්‍යුහයට සේවය කිරීම” බවත්, එනිසාම විශ්වවිද්‍යාල “යුක්තිය, සම්ප්‍රදාය, පරිකල්පනය, මානව ශූභ සාධනය, චින්තනයේ නිදහස් ක්‍රියාකාරීත්වය සහ අනාගතය පිළිබඳ විකල්ප අදහස් ගොඩනැගීම වැනි අරමුණු වෙත යොමු නොවී , පවතින බල-ව්‍යුහය අභියෝගයට ලක්කිරීමෙන් වැලකී සටින” බවත්ය (ඊගල්ටන් 2010). එනමුත් අප මැනැවින් දන්නාකාරයට, එක්සත් රාජධානිය යනු හුදෙක් මෙවන් තත්ත්වයක් පවතින රටවලින් එකක් පමණි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලද පත්ව ඇත්තේ මෙවන් තත්ත්වයකට බව නොරහසකි.

මේ බොහෝ චින්තකයින් පෙන්වාදෙන ආකාරයට, අපට පෙනී යන්නේ විශ්වවිද්‍යාල විචාරය පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂා අවකාශ හා දැනුම් සම්පාදන අවකාශවල සිට සරල තාක්‍ෂණික අවකාශ දක්වා පරිවර්තනය වී ඇති ආකාරයයි. මීට බොහෝ කලකට පෙර, රබීනද්‍රනාත් තාගෝර් තුමා ‘ආසියානු සරසවියක්’ (An Asian University) යන සිය රචනයෙන් බොහෝ කනස්සල්ලෙන් අදහස් ප්‍රකාශ කළේද මේ ප්‍රවණතාව පිළිබඳවමය. ඔහුට අනුව, “අපට පොත්පත් ගොඩනැගිලි මෙන්ම අන් අයස්කාන්ත දෑද ලබාදී ඇත්තේ අපගේ මනස යටපත් කිරීමටය — මේ සියල්ලම නිසා අපට බොහෝ මුදලක් වැයවී ඇත. එමෙන්ම, ඒ සමගම අපගේ සුමට අදහස් ද අපට නැතිවී ගොස් ඇත. මේවා මගින් අපගේ බුද්ධිමය අවකාශය පුරවා ඇත්තේ එතුල නිල වාර්තාවල අධ්‍යාපනය නමින් හඳුන්වන දෑ පිරවීම තුලිනි” (තාගෝර් 2004). ඔහු මේ අදහස් ඉදිරිපත් කළේ ඉන්දියාවේ යටතවිජිත අධ්‍යාපනයේ පසුගාමීත්වය පිළිබඳව කථා කිරීමේදීය. එනම්, ඒ අධ්‍යාපනයේ සාපේක්‍ෂ හිස්බව පිලිබඳවය. එනමුත් ඔහුගේ මේ අදහස් තත්කාලීන ඉන්දීය මෙන්ම ශ්‍රී ලංකේය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන්ද අදාලවන බව මාගේ විශ්වාසයයි.

නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාල පිහිටා ඇති ආකාරය

පරමාදර්ශී විශ්වවිද්‍යාලය හා ගෝලීය වශයෙන් එහි විපරිවර්තිත ස්වාභාවය ඉහත සාරාංශගත කළ ආකාරයෙන් තේරුම් ගත හැකිනම්, මා දැන් යොමුවන්නේ ශ්‍රී ලංකාවේ එකී පද්ධතියේ නිල නියමුවා වන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල තේරුම් ගෙන තිබෙන ආකාරය කෙටියෙන් විමසීමටය. සැබැවින්ම, සරසවි ගුරුවරුන් සියළු දෙනාටම සිය රාජකාරි කටයුතු කිරීමට සිදුවන්නේ සහ සමාජ වගකීම යන්න නිර්වචනය කර, ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේත් මේ නිල යතාර්ථය තුළය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිල වෙබ් අඩවිය මගින් ස්වකීය ‘දර්ශනය’ විස්තර කරනුයේ මෙසේය: “2020 වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් උසස් අධ්‍යාපනයේ දිදුලන බුද්ධිමය කේන්ද්‍රයක් බවට පත් කිරීම.”[3] මෙවැනි දිදුලන බුද්ධිමය කේන්ද්‍රස්ථානයක් කුමානාකාරයෙන් තේරුම්ගත්තද, එය නිදහස් චින්තනයට තෝතැන්නක් විය යුතුය. එවන් ස්ථානයක සමාජ වගකීම ස්වාභාවික මෙන්ම අත්‍යවශ්‍ය අංගයක් ද විය යුතුය. මෙනයින් බලන කළ, මේ ‘දර්ශනය’ මා ඉහත විස්තර කළ විශ්වවිද්‍යාලය පිලිබඳ පරමාදර්ශය කිසිසේත් නිශේධනය නොකරයි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘කාර්යභාරය’ පිලිබඳව නිල සටහන ඉහත සඳහන් ‘දර්ශනය’ ඔස්සේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල බුද්ධිමය කේන්ද්‍රස්ථාන බවට පත්කරන ආකාරය පහත සඳහන් ආකාරයෙන් විස්තර කරයි: “ශ්‍රී ලංකාවේ උසස් අධයාපන ක්‍රමය තුළ ක්‍රියාත්මක වන සිසුන්, කර්මාන්ත හිමිකරුවන්, කාර්ය මණ්ඩළ හා අනෙකුත් පාර්ශ්වකරුවන් තෘප්තිමත්කිරීම සඳහා ප්‍රතිඵලදායක ප්‍රතිපත්ති සහ උපායමාර්ග සූත්‍රගත කොට ක්‍රියාත්මක කිරීම; සහභාගීත්ව ක්‍රියාවලියක් ඔස්සේ කටයුතු කරමින් සාධනීය ප්‍රතිඵල කාර්යක්‍ෂම අන්දමින් ලබාදෙන විශිෂ්ට බුද්ධිමතුන්, වෘත්තිකයන්, පර්යේෂකයන්, ව්‍යවසායකයන් බිහිකරමින් ශ්‍රී ලංකාව ‘ආසියාවේ ආශ්චර්ය’ බවට පත් කිරීම සඳහා අවශ්‍ය නවෝත්පාදක විසඳුම් ඉදිරිපත් කිරීම.”[4]

මෙලෙස බලන කළ, පැහැදිලිවම තේරුම්යන්නේ තම කාර්යභාරය ලෙස අමාත්‍යාංශය තේරුම්ගෙන ඇත්තේ අතිශයින් සන්තෘශ්ටියෙන් ඉපිළ ගිය පිරිසක් දැහැමෙන් සෙමෙන් කල් ගෙවන බුද්ධිමය දෙව්ලොවක් ගොඩනැගීම බවය. සැබැවින්ම, මා විශ්වවිද්‍යාල තුළ සාමාජ වගකීම විස්තර කළ ආකාරය දෙස බැලීමේදී එය මෙවන් තත්ත්වයක් තුළ ගැටළුවකින් තොරව පැවතිය හැකි විය යුතුය. එනමුත්, රාජ්‍යයේ සිහිනයට අනුව වුවද, විශ්වවිද්‍යාලවලට ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට හෝ එතුලින් විශිෂ්ට බුද්ධිමතුන්, වෘත්තිකයන්, පර්යේෂකයන් හා ව්‍යවසායකයන් බිහිකළ හැකිවන්නේ එම පද්ධති හා ඒවායේ පාර්ශ්වකරුවන් ඉතාමත් ගැඹුරින් සමාජ වගකීම් සමග ගනුදෙනු කරන්නේනම් පමණි.

මෙසේ බලන කළ, මේ නිල ස්ථාවරය පෙන්නුම් කරනුයේ රටේ උසස් අධ්‍යාපන අංශය බෙහෙවින් ගතික දැනුම් නිෂ්පාදන අඩවියක් බිහිකිරීමට නිල වශයෙන් කැපවී සිටින බවය. මේ තත්ත්වය තුළ එකී දැනුම් සමාජ වගකීම පිලිබඳ කතිකාවක් ඔස්සේ සිදුකිරීමට බෙහෙවින් අවකාශ ඇති බව පැහැදැලි විය යුතුය. එනමුත් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ මෙලෙස බැලූ බැල්මට නිදහස් චින්තනයට හා නව්‍යකරණයට අවකාශ ඇති බව පෙනුනද, යථාව ලෙස බිම් මට්ටමේදී වඩාත් පැහැදිලිවන්නේ පරමාදර්ශී විශ්වවිද්‍යාලවලට වඩා බෙහෙවින් වෙනස් ආයතනික ව්‍යුහයක් රාජ්‍යය මගින් ස්ථාපනය කර ව්‍යාප්ත කිරීමට ප්‍ර භල අනුග්‍රයහක් දක්වන බවය. ඒවා විශ්වවිද්‍යාල පිළිබඳ මුල් අදහසින් බොහෝ දුරස් වී ඇති බවද පෙනේ.

මේ තත්ත්වයට පාදකවී ඇති බොහෝ අදහස් පදනම් වී ඇත්තේ රාජ්‍යය විසින් පර්යේෂණ යන්න තේරුම් ගෙන තිබෙන ආකාරය මතය. මේ සම්බන්ධයෙන් පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ජාතික පර්යේෂණ අවශ්‍යතා සැපිරීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හා එහි එහි ශාස්ත්‍රඥයන් වගකිවයුතු බවට පුළුල් එකගතාවක් විශ්වවිද්‍යාල බලධාරීන්, කර්මාන්ත හිමිකරුවන් හා බොහෝ සරසවි ගුරුවරු අතර පවතින බවය. නමුත් පර්යේෂණ යන්න මෙලෙස තේරුම් ගත් කළ, එය රටේ “කාර්මික සංවර්ධනයට හා ආර්ථික ප්‍රවර්ධනයට” (කරුණානායක 2014) උපකාරී විය යුතුය යන අදහස කේන්ද්‍රීයව වැදගත්වේ. පර්යේෂණ යන්න මෙසේ තේරුම් ගත හැකි වුවද එය ඒ පිළිබඳව පවතින එක් නිර්වචනයක් පමණි. එනම්, එය හුදෙක් බෙහෙවින් පටු උපයෝගීතාවාදී අර්ථගැන්වීමක් පමණි. විශ්වවිද්‍යාල හා සබැදි පර්යේෂණ පිළිබඳ මේ පටු සීමාවෙන් ඔබ්බට මේ තේරුම්ගැනීම කෙලෙසින්වත් ගමන් නොගන්නා බව රාජ්‍ය හා බලවත් විශ්වවිද්‍යාල කතිකා අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. මෙලෙස තේරුම්ගත් කළ, පර්යේෂණ යන්න අර්ථවත් වන්නේ හුදෙක් වෙළෙද ලාභය යන සාධකයට සාපේක්‍ෂව පමණි. එනම්, සියළුම පර්යේෂණ ව්‍යවසාය සරණ යා යුතුය යන කාරණය වේ. ස්වභාවික විද්‍යාවන් හා තාක්‍ෂණික ශික්ණයන්ට අමතරව, සමාජීය විද්‍යාවන්ගේ ඇතැම් විෂයන්ද කර්මාන්ත සඳහා මෙන්ම ජාතික හා ජාත්‍යන්තර සිවිල් සමාජයීය ආයතන සඳහා සේවා සපයන්නන් බවට මේ වන විට පත්වී තිබේ. එනම්, පර්යේෂණ යන්න තවදුරටත් දැනුම ගවේෂණය හෝ මානව සංහතියට උරුම වූ තත්ත්ව තේරුම්ගැනීමට හෝ යොමු වූ ක්‍රියාවලියක් නොවේ. එහි තත්කාලීන ශ්‍රී ලාංකේය කර්තව්‍යය නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය සාධන සටහන මැනැවින් පවසන ආකාරයට, කර්මාන්ත හිමිකරුවන් හා උසස් අධ්‍යාපනයේ අන් පාර්ශ්වකරුවන් සන්තෘශ්ටියට පත්කිරීමය.

අප ඉදිරියේ මෙසේ දෘශ්‍යමානවන්නේ සමාජයෙන් පරමාදර්ශී විශ්වවිද්‍යාල පිටුවහල් කිරීම හා ඒ වෙනුවට තාක්‍ෂණික ආයතන ස්ථානගත කිරීමය. මෙය දකුණු ආසියාවේ මෙන්ම ලොව අන් රටවලද දැකිය හැකි ප්‍රවණතාවක ශ්‍රී ලාංකේය විකසිතවීම බැව් පැහැදිලිය.

මේ තත්ත්ව තුළ සමාජ වගකීම තේරුම්ගන්නේ කෙසේද?

මා මෙතෙක් විස්තර කළේ සාමාන්‍ය වශයෙන් විශ්වවිද්‍යාල තුළ හා විශේෂයෙන් එකී පද්ධතිය තුළ සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර අධ්‍යාපනය තත්කාලීනව ඛන්ඩනය වී ඇති අයුරුය. නමුත් මෙය සැමවිටම සිදුවී ඇත්තේ දේශපාලනික අභියෝග හා ප්‍රචණ්ඩත්වය යන යතාර්ථ සමාජයට බලපෑම් කරන තත්ත්ව අභිමුඛව පමණක් නොවේ. බොහෝවිට මෙය සිදුවී ඇත්තේ සාමාන්‍ය සමාජ-දේශපාලනික විපරිවර්තන හා සුවිශේෂී ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීම් ආදිය පාදක කරගෙනය. මේවා බොහෝ දුරට නව-ලිබරල් න්‍යායපත්‍රවල ප්‍රවණතා ගෝලීය වශයෙන් මතුවූ වාතාවරණ තුළ තේරුම්ගත හැකිය. නමුත් යුධ තත්ත්ව, සාමාන්‍යක‍රණය වූ දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතාන්ත්‍රීය භාවිත බිඳවැටීම වැනි තත්ත්ව නිදහස් චින්තන අවකාශ වශයෙන් පැවති විශ්වවිද්‍යාල මත අතිවිශාල නිශේධනීය බලපෑමක් ඇති කරනු ලැබ ඇත. ‘අනන්‍යතාව, බලය හා නිදහස’ (Identity, Power and Freedom) යන ලිපියෙන් මහාචාර්ය එඞ්වර්ඞ් සයීද් පවසන්නේ පශ්චාත්-නිදහස් අරාබිකරයේ රාජ්‍ය විශ්වවිද්‍යාල ජාතිකාරක්‍ෂක රාජ්‍යයේ අනිවාර්ය විස්තීරණ නැතහොත් අංග ලෙස පාලකයින් තේරුම්ගත් බවය (සයීද් 2001). මැද පෙරදිග කලාපයේ යටත්විජිතහරණයෙන් පසු, ස්වාධීන ජාතික රාජ්‍ය ගොඩනැගීමේ කර්තව්‍යය තුළ මෙවැනි ඍජුවම රාජ්‍ය පාලනයට නතුවූ විශ්වවිද්‍යාල බිහි කිරීම පශ්චාත්-යටත්විජිත රාජ්‍ය ගොඩනැංවීමේ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවට පත්වීය. මහාචාර්ය සයීද් අරාබි විශ්වවිද්‍යාල පිළිබඳ පහත සඳහන් අදහස් ඉදිරිපත් කරනුයේ මේ සන්ධර්භය තුළය:

“අවාසනාවක තරම කෙතරම්ද යත්, ශාස්ත්‍රඥයන් සරසවිවලට පත්කිරීමේදී හා උසස්වීම් ලබාදීමේදී පූර්ව කොන්දේසිය බවට පත්වූයේ බුද්ධිමය නිපුණතාව නොව, පවතින තත්වයන්ට අනූකූලවීමට දක්වන කැමැත්තය. මෙයින් සිදුවූයේ බුද්ධිමය භාවිතය තුළ බියගුළුකම, පරිකල්පනයේ මිලිනවීම හා ප්‍රවේශම්කාරී සම්ප්‍රදායකත්වය රජයන්නට පටන් ගැන්මය” (සයීද් 2001).

පශ්චාත්-නිදහස් අරාබි ශාස්තරාලයීය තත්ත්වය පිළිබඳව මහාචාර්ය සයීද් ඉදිරිපත් කරන කියවීම සමස්ථ දකුණු ආසියා කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේද විශ්වවිද්‍යාලවල තත්ත්වයද මැනැවින් විස්තර කරයි. ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, පාකිස්ථානයේ, බංගලිදේශයේ හා නේපාලයේ සරසවිවල උපකුලපතිවරු පත්කරන්නේ රටේ අගමැති හෝ ජනාධිපති විසිනි. ඉන්දියාවේ හා පාකිස්ථානයේ ප්‍රාන්ත සරසවිවල උපකුලපතිවරු පත්කරනුයේ එම ප්‍රාන්තවල ආණ්ඩුකාරයන් විසිනි. මේ සමස්ථ තත්ත්වය තුළ, මේ සියළුම පත්කරීම් අතිශයින් පටු දේශපාලනික අවශ්‍යතා මත පමණක් සිදුකරන දේශපාලන පත්කිරීම් වන අතර, ඒවා සිදුකිරීමේදී අධ්‍යාපන සදුසුකම්, බුද්ධිමය හැකියාවන්, වෘත්තීය පලපුරුද්ද හා නෛතික කොන්දේසිවලට දක්වන අවධානය බෙහෙවින් අවම වේ. මෙහිදී වැදගත් වන්නේ මෙසේ තානාන්තර ලබන්නවුන් පවතින දේශපාලන බල-ක්‍ෂේත්‍රවලට කෙතරම් සමීපද යන කරුණ පමණක්ය. ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය ආරම්භවූයේ 1960 දශකය අගභාගයේ සිට රාජ්‍යය විසින් නිරතුරුවම සරසවි අවකාශය ආක්‍රමණය කිරීමට ගත් උත්සාහයේ සිටය. නමුත් පසුගිය දශකය තුළ මේ තත්ත්වය වඩාත් තීව්‍ර හා භයානක මෙන්ම නිර්ලැජ්ජාද වී ඇත. එය උත්සන්න වී ඇත්තේ දේශපාලන ප්‍රචණ්ඩත්වය ආයතනගතවීම, මනා පුහුණුව ලැබූ ශාස්ත්‍රඥයන් බටහිර ලෝකයට සංක්‍රමණයවීම, නව-ලිබරල්වාදී ආණ්ඩුක්‍රමික අත්හදාබැලීම්වල ආනිසංස, ප්‍රජාතන්ත්‍රවාදී භාවිත බිඳදැමීම හා දීර්ග-කාලීන යුද්ධයේ සහ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ බලපෑම යන පුළුල් පසුබිම තුළය.

මෙසේ විශ්වවිද්‍යාලවල පැවැත්මට බෙහෙවින් වැදගත්වන පත්කිරීම් සිදුකරනුයේ ඉතාමත් පටු දේශපාලන අවශ්‍යතා මත නම්, සමාජ වගකීම සම්බන්ධයෙන් ශාස්ත්‍රඥයින්ට හා විශ්වවිද්‍යාලවලට මෙය බලපාන්නේ කෙසේද? මෙවන් පත්වීම් ලැබ සරසවි අරක්ගන්නා ශාස්ත්‍රඥයින්ට සමාජ වගකීම යන්න හුදෙක් සිය දේශපාලන පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය පුද්ගලික වගකීමක් පමණක් වේ. විශ්වවිද්‍යාල වැනි බෙහෙවින් පුළුල් පුරුෂාර්ථ මත පදනම්ව පිහිටවූ ආයතනවල මූලික අවශ්‍යතා මෙවන් පත්වීම් ලබාදෙන දේශපාලන බලක්‍ෂෙත්‍රවල පටු අවශ්‍යතාවලට යටපත් නොවන්නේද? බොහෝ විට බුද්ධිමය අගුටුමිට්ටන් සේ සැලකිය හැකි, මෙවන් පත්වීම් ලබාගන්නා ශාස්ත්‍රඥයින්ට මේ ආයතනවල හා ඒවායේ හෘද සාක්‍ෂ්‍යයේ නිසි භාරකාරයන් විය හැකිද? මේ වාතාවරණය තුළ, මෙලෙස පත්වීම් ලබන්නවුන්ට සිය පැවැත්ම සාක්ෂාත් කරගත හැකිවන්නේ විශ්වවිද්‍යාල සවයං-ප්‍රත්‍යාවේශණය හා වගකීම්-සහිත විචාරයේ කේන්ද්‍රස්ථානවල තත්වයේ සිට සුපැහැදිලිවම දේශපාලනිකව හා තාක්‍ෂණිකව නිර්වචනය කළ පුහුණු කඳවුරු බවට පරිවර්තනය කිරීමෙනි. ශ්‍රී ලංකාවේ සරසවි පද්ධතියේ පසුගිය දශකයක ඉතිහාසය තුළින් මූලික වශයෙන් පෙන්නුම්කරන්නේ මේ තත්ත්වය නොවේද? මෙකි ආයතන මේ වන විට පුරවැසිකම, ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය වැනි පුළුල් සමාජ වගකීම්වලින් විනිර්මුක්තව පවතී. මහාචාර්ය රොමිලා තාපර් පහත සඳහන් අදහස් ඉදිරිපත් කළේ ඉන්දියාව සම්බන්ධයෙන් පවතින මෙවැනිම තත්ත්ව විස්තර කරමිනි:

“අද දින, මීට පෙර කිසිදාකටත් වඩා ශාස්ත්‍රඥයින් නම් අප අතර සිටිති. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා වඩාත් රුචියක් දක්වන්නේ බලධාරීන් සමග කිසිම ගැටුමකට නොයා සිටින්නටය. එමගින් නිදහස් චින්තනයේ මංපෙත් අහුරා දැම්මද ඔවුන්ට කම් නැත. මේ තත්ත්වය උද්ගතව ඇත්තේ ඔවුන්ට ගැටළුවකින් තොරව දැනුම සොයා යෑමට අවශ්‍ය මාර්ග සොයා ගැනීමට අවශ්‍ය නිසාද? නැතහොත්, ඔවුන් බලධාරීන් බලකරන්නේ නම්, දැනුම වුවද පාවාදීමට සූදානමින් සිටීද?” (තාපර් 2014)

මහාචාර්ය තාපර් මේ අදහස් ප්‍රකාශ කළේ දකුණු ආසියාවේ ඉතිහාසය පිළිබඳ දැනට ජිවත්ව සිටින කෘතහස්ත ඉතිහාසඥයෙකු වශයෙන් පමණක් නොව, ඇයගේ ශාස්ත්‍රීය ජිවිතයේ උච්ඡ අවස්ථාවලදී, දැඩි පුද්ගලික තර්ජන මධ්‍යයේම ප්‍රසිද්ධ අවකාශයේ දීර්කාලීනව තම අදහස් නිර්භයව ඉදිරිපත් කළ ප්‍රාඥයෙකු ද වශයෙනි. පැහැදිලිවම, දකුණු ආසියාවේ බොහෝ ශාස්ත්‍රඥයින්ගේ සාපේක්‍ෂ සමාජ නිහැඩියාව හා ප්‍රසිද්ධ අවකාශයේ කරන අවම බුද්ධිමය ගණුදෙනුවට හේතුව බුද්ධිකලම්බනයට කාලය ගත කිරීම සඳහා ඔවුන් අන් සියළු කාර්යයන්ගෙන් මිදී සිටීම නොවේ. ඒ වෙනුවට සිදුවී ඇත්තේ අතිශයින් ගැටළුකාරී හා භයානක සමාජ-දේශපාලනික වාතාවරනයක් තුළදී ස්වයං-පැවැත්ම හා ජීවිතාරක්‍ෂාව සාක්ෂාත් කරගැනීමට සහ මහාචාර්ය සයීද් සඳහන් කළ ආකාරයට, ශාස්ත්‍රාලය තුළ බුද්ධි-නිහීනතාව ආයතනගත කිරීමේ ප්‍රතිවිපාකයක් වශයෙනි. ශාස්ත්‍රඥයින් අතින් සිදුවියයුතු පුළුල් බුද්ධිමය කතිකාවට හා ප්‍රසිද්ධ අවකාශයීය මැදිහත්වීමට රට වැසියන් මෙන්ම රාජ්‍යයද රුකුල් නොදෙන්නේනම් හා එය සිතාමතාම මොට කරන්නේනම් සිදුවන්නේ සරසවිවලින් සමාජ වගකීම පිළිබඳ සාදාචාරමය අධිකාරිය ගිලිහී ගොස්, ඒවා බුද්ධිමය වශයෙන් ඇල්මැරුනු ස්ථාන බවට පත්වීමය. 2012 දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙත ලියූ ලිපියකින් මහාචාර්ය ගණනාත් ඔබේසේකර විස්තර කළේ ශ්‍රී ලංකාව තුළ සරසවි පත්ව තිබූ මේ තත්ත්යවයයි:

“ඥානවන්ත නායකයෙකු මුහුනපෑ යුතු තවත් අභියෝගයක් තිබේ. එනම්, අපගේ විශ්වවිද්‍යාල ඒවා මුල්කාලීනව ලබාගෙන තිබූ කීර්තිමත් ප්‍රබුද්ධත්වයට නැවත වරක් රැගෙන යාමයි. ඒ සඳහා අවශ්‍ය සියළුම උපකාර විශ්වවිද්‍යාලවලට ලබාදිය යුතුය. මන්ද යත්, බුද්ධිමය ජීවිතයෙන් තොර ලොවක් යනු බෙහෙවින් නීරස ලොවක්ම වන නිසාය ” (ඔබේස්කර 2013).

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ අවාසනාවන්ත කරුණක් වන්නේ මෙවන් ඔවදන් තේරුම්ගතහැකි බුද්ධිමත් දේශපාලන නායකයන් ප්‍රසිද්ධ අවකාශය තුළ සොයාගැනීමට බෙහෙවින් අසීරු වීමය. කෙසේ වෙතත්, ශාස්ත්‍රාලයීය අවකාශය එහි සදාචාරාත්මක අධිකාරිය අහිමි වූ තාක්‍ෂණික අඩවියක් බවට පත්කිරීම හුදෙක් රාජ්‍යය විසින් තනිවම සිදුකළ කර්තව්‍යයක් නොවේ. මේ විපරිවර්තනයට බොහෝ ශාස්ත්‍රඥයන්ගෙන් මෙන්ම පුළුල් සමාජයේ රටවැසියන් බොහෝමයකගේද සහාය ලැබී ඇති බව මාගේ විශ්වාසයයි. උදාහරණයක් වශයෙන්, ශ්‍රී ලාංකේය සන්ධර්භය තුළ මෑතදී සිදුවූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උද්ඝෝෂණයේදී හැර, විශ්වවිද්‍යාලවල තත්කාලීන බුද්ධිමය ස්වාභාවය හා ඒවායේ කාර්යභාරය පිළිබඳ ප්‍රසිද්ධ කතාබහක මතකයක් හෝ අපට ඉතිරිව තිබේද?

සැබැවින්ම, තම දරුවන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වෙත යවන බොහෝ දෙමාපියන් රාජ්‍ය විසින් ඔවුන්ගේ දරුවන්ට ලබාදෙන්නට උත්සාහ කරන සරල තාක්‍ෂණික දැනුම ඉමහත් කැමැත්තෙන් බාරගන්නට සූදානම් බව සරල නිරීක්‍ෂණයන්ගෙන් වුවද පෙනේ. එනම්, තම දරුවන්ට ශ්‍රම වෙළෙදපොළ තුළ ගැටළුවකින් තොරව රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය තාක්‍ෂණික අධ්‍යාපනයකි. පවතින සමාජාර්ථික තත්ත්ව තුළ මෙය තේරුම්ගැනීමට අපහසු තත්ත්වයක්ද නොවේ. සමස්ථ ලෝකයේ හෘද සාක්‍ෂ්‍යය මැනැවින් වටහාගත් දාර්ශනිකයෙකුගෙන් සාමාන්‍ය පවුලකට සිදුවන්නේ කුමන සෙතක්ද? ඔවුන්ට අවශ්‍යවන්නේ මාසික වැටුපක් ලබාගැනීමේ හැකියාව ඇති, එමගින් තම පවුල නඩත්තු කළහැකි ශ්‍රමික දරුවෙක්ය. පවුලේ සාගතය හා යම්දුරකට හෝ එහි අනාගතය පිළිබඳ සාංකා විසඳිය හැක්කේ එවන් වැටුපකටය. මේ තත්ත්ව තුළ විශ්වවිද්‍යාල මා පෙර සාකච්ඡාකළ ආකාරයේ ප්‍රත්‍යවේශණයේ සහ වගකීම්-පූර්වක විචාරයේ කේනද්‍රස්ථාන ලෙස දැකීමේ පදනම තවදුරටත් සාධාරණීකරනය කළ හැකිද? නොඑසේනම්, වඩාත් අදාලවන්නේ අප සාමාජයේ බොහෝ දෙනා විශ්වවිද්‍යාලවලින් බලාපොරොත්තු වන ආකාරයේ අධ්‍යාපනයක්ද? එනම්, සරලව පවසන්නේ නම්, රැකියාවක් පිළිබඳ යම් පොරොන්දුවක් සහිත මූලික මට්ටමේ උපයෝගීතාවාදී තාක්‍ෂණික අධ්‍යපනයක්ය. දැනටමත් විශ්වවිද්‍යාල තුළම තිබෙන ඇතැම් ආයතන මගින් වෛද්‍ය ශිල්පය, ඉන්ජිනේරු ශිල්පය, පරිඝණක තාක්‍ෂණවේදය ආදී වශයෙන් ලබා දෙන්නේ ද මෙවැනි තාක්‍ෂණික අධ්‍යාපනයක්ය.

ඇතැම්විට නුදුරු අනාගතයේදී මේ තෘක්‍ෂණික අධ්‍යාපනය හරහාම බිහිකර ඇති සමාජ-සමීක්‍ෂණ මගින් දිවි රැකගන්නා සමාජවිද්‍යාඥයෙකුට පුළුල් දීපව්‍යාප්ත සමීක්‍ෂණයක් සිදුකර, අප රටේ ජනතාවට සැබැවින්ම අවශ්‍ය කුමානාකාරයේ සරසවි අධ්‍යාපනයක් දැයි අප සැමට සැකයෙන් තොරව පෙන්වා දීමට හැකිවනු අතැයි මා සිතමි. ඔවුන් බොහෝ දෙනා රාජ්‍යය විසින් ඔවුන්ට ලබා දෙන්නට වෙරදරන සභ්‍යත්වමය මූලයන්ගෙන් විනිර්මුක්ත කළ, වෙළෙඳපොළ පමණක් කේන්ද්‍රකරගත් තාක්‍ෂණික අධ්‍යාපණයක්ම ඉල්ලා සිටිනවා විය හැකිය. තත්ත්වය මෙසේ නම්, විශ්වවිද්‍යාලවල හා ශාස්ත්‍රඥයන්ගේ සමාජ වගකීම මා මෙතෙක් විස්තර කළ ආකාරයෙන් තේරුම්ගැනීමට අපට ඇති සදාචාරමය අයිතිය පිළිබඳව ගැඹුරින් සිතා බැලීමටත්, එය අවශ්‍ය පරිදි ප්‍රතිව්‍යුහගත කරගැනීමටත් සිදුවනු ඇත. එසේ නම්, මෙවන් තත්ත්වයක් තුළ අපගේ වගකීම වන්නේ පවතින තත්ත්වයනට කඩිනමින් හුරුවිය හැකි තරුණ අනුකූලතාවාදීන් පරපුරකට අදාල තාක්‍ෂනික අධ්‍යාපනය ලබාදීමේ අවකාශ ගොඩනැගීමය. මට පෙනෙන ආකාරයට, ජෝර්ජ් ඔර්වෙල් බොහෝ කලකට පෙර පැවසූ ආකාරයේ මෙවන් ‘නිර්භීත නව ලොවක්’ (Brave New World) දැනටමත් අප අතර විකසිත වී ඇත. මේ සන්ධර්භය තුළදී මා නැවත වරක් මහාචාර්ය රොමිලා තාපර්ගේ අදහස් වෙත ඔබ ගෙන යෑමට කැමැත්තෙමි:

“ප්‍රශ්නය වන්නේ අප අතර ස්වාධීනව සිතීමේ හැකියාව ඇති පුද්ගලයින් හා අත්‍යාවශ්‍ය ප්‍රශ්න මතුකිරීමේ හැකියාව ඇත්තවුන් නොසිටීම නොවේ. නමුත් බොහෝ විට ප්‍රශ්න ඇසිය යුතු අවස්ථාවලදී අපට ඇසෙන්නේ නිහැඩියාවේ හඩයි. අප සියළු දෙනාම පවතින තත්ත්වයන්ට පහසුවෙන් අනුකූලවීමෙන් ලැබෙන ලාභ-ප්‍රොයෝජනවලින් ඉතා පහසුවෙන් මුසපත් වී සිටීද?” (තාපර් 2014)

මෙසේ බලන කළ, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මෙන්ම සමස්ථයක් ලෙස දකුණු ආසියාවේ අන් රටවලද නිහැඩියාව හා අනුකූලතාවාදීත්වය ජීවිතාරක්‍ෂාවේ හා පවතින බල ව්‍යුහයන්ට අනුව තම පැවැත්ම සාක්ෂාත් කරගැනීමේ අනිවාර්ය පූර්ව-කොන්දේසියක් බවට පත්වී තිබේ. සැබැවින්ම, නිහැඩියාව හා අනුකූලතාවාදීත්වය පවතින තත්ත්වයන්ට සාපේක්‍ෂව බිහිවී ඇති නව පන්නයේ සමාජ වගකීමක් ලෙසත්, එය මූලික වශයෙන් තේරුම්ගත හැක්කේ පුද්ගලික පැවැත්ම හා ආරක්‍ෂාව පිළිබඳ කථිකාවක් තුළින් බවත් අප තේරුම්ගත යුතුය.

එනමුත් සමාජ වගකීම යන අදහසේ මුල්කාලීන පර්යාවලෝකයෙන් බලන කළ මේ වාතාවරණය තවත් ගැටළුවක් උත්පාදනය කරයි. එනම්, පවතින ශාස්ත්‍රාලයීය පද්ධතියේ වගකීම වෙළෙඳපොලට අවශ්‍ය ශ්‍රමිකයන් හා රාජ්‍යයට අවශ්‍ය ආනුකූලතාවාදීන් බිහිකිරීම නම්, මේ සීමිත අරමුණු ඉටුකරගැනීමට හෝ විශ්වවිද්‍යාලවලට හැකියාව තිබේද යන්නය. වෛද්‍ය ශිල්පය, ඉන්ජිනේරු ශිල්පය, පරිඝණකවේදය හා අන් තාක්‍ෂණ ශිල්පවේදයන්, ඒවටා අදාල පුළුල් ආචාරධර්ම හා යුක්තිය පිළිබඳ වාදවිෂයන්ගෙන් විනිර්මුක්ත වූ තාක්‍ෂණික දැනුමක් ලබාදීමේ ක්‍රියාවලිය දශක ගණනාවක් මුළුල්ලේ සරසවි පද්ධතිය හරහාම මැනැවින් සිදුකරමින් සිටින බව පැහැදිලිය.

එනමුත් මේ දීර්ඝ-කාලීන යථාව හා සැසඳීමේදී සමාජ හා මානවවිද්‍යා විෂයන්ට වෙළෙදපොලට ඉදිරිපත් කළහැකි ශිල්ප හා නිපුණතා මොනවාද? රාජ්‍යය විසින් තීරණය කර ඇති පරිදි හා සමාජයේ බොහෝ දෙනා බලාපොරොත්තුවන පරිදි, අදාල අධ්‍යයනාංශවල සිටින ශාස්ත්‍රඥයන් සිය උපාධි අපේක්‍ෂකයන් ඍජුවම වෙළෙදපොල සඳහා පුහුණු කිරීම දැන් ආරම්භකර තිබේද? නොඑසේනම්, පඨිසෝතගාමීව සිතීමෙන් ඔවුන් තම පාඨමාලා හා පන්ති කාමර තුළ ලොව නන්දෙසින් ජනනයවූ තම විෂයන්ට අදාල අග්‍රගන්‍යය දැනුම හඳුන්වාදීමෙන් හා නිර්මාණනීය ලෙස විෂය මාලාවෙන් ඔබ්බට යාහැකි මාර්ග විවර කර දීමෙන්, වචාරපූර්වකව සිතීමට අත්‍යාවශ්‍යය අවකාශ තම සිසුන් සඳහා සකසාදී තිබේද? නැතිනම්, හණමිටි අදහස් පන්තිය තුළ නිරතුරුවම පුණර්කථනය කිරීමන් ඔවුන් සෑහීමට පත්ව සිටීද? වාසනාවකට මෙන්, මා තවදුරටත් මේ පද්ධතියේ සාමාජිකයෙක් නොවන නිසා, මේ ප්‍රශ්නවලට අදාල පිලිතුරු මට එතරම් පැහැදිලි නැත. අවාසනාවකට, ඔබ සැම තවදුරටත් විශ්වවිද්‍යාල ගුරුවරු වශයෙන් මේ පද්ධතිය තුළ තවදුරටත් ක්‍රියාත්මක වන නිසා, පවතින තත්ත්වය පිළිබඳව ඔබට මනා දැනුමක් තිබේයැයි සිතිය හැකිය.

මේ තත්ත්වය තුළ, සමාජ වගකීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල හා ඒවායේ ගුරුවරුන් දැන් සිටින්නේ කොහිද? එක්කෝ ඔවුන්ගේ භූමිකාව හා වගකීම වෙළෙදපොලට ශ්‍රමිකයන් පුහුණුකිරීම බවත්, මේ සරල උපයෝගීතාවාදී කෘත්‍යයේ නිරතවීමේදී ඉන් ඔබ්බට කිසිදු ශිෂ්ඨාචාරමය වගකීමක් නැති බවත් ඔබ සැම පිළිගත යුතුය. නැතිනම්, අප අපගේ වගකීම වශයෙන් වඩාත් පුළුල්වූ සරසවි අධ්‍යාපනයක් ලබාදීමේ අත්‍යාවශ්‍ය පූර්ව-කොන්දේසිය පිළිගන්මින්, එතුළම යම් තාක්‍ෂණික දැනුම් සම්පාදනයටද අවකාශ ඇති බැව් පිළිගෙන, ඒ වඩාත් දුෂ්කර වූ භූමිකාවේ නිරතවිය යුතුය. එනමුත් අප ඉදිරියේ මතුවන උභතෝකෝටික ප්‍රශ්නය වන්නේ මේ කොන්දේසි ද්විත්වයෙන් එකක්වත් අප නිසියාකාරව ආමන්ත්‍රනය කරණවාද යන්නය.

මෙහිදී මා අවධාරණය කළයුතු වන්නේ රාජ්‍යයේ තාක්‍ෂණික අධ්‍යාපන න්‍යායපත්‍රයට මාගේ විරෝධතාවක් නොමැති බවය. සමාජයේ අපේක්‍ෂාවන්ද සලකා බලන විට, යම් දුරකට එවන් අධ්‍යාපනයක් අප දරුවන්ට ලබාදීමේ වගකීමක් අපට තිබේ. එනමුත් මෙහිදී ‘යම් දුරකට’ යන වචන පෙළ වෙත අවධාණය යොමුකිරීමට මා කැමැත්තෙමි. මවිසින් ශාස්ත්‍රඥයෙකු වශයෙන් සමාජය වෙත යොමුවී ඇති මගේ වගකීම නිර්වචනය කිරීමේදී, එය හුදෙක් මාගේ පන්තිකාමරය වෙත පැමිණෙන සිසුන්ට තාක්‍ෂණික නිපුණතාවක් පමණක් ලබා දීම ලෙස සීමාකරගෙන නැත. මාගේ විශ්වාසයට අනුව, මාගේ සමාජ වගකීම මීට වඩා බෙහෙවින් පුළුල් විය යුතුය. ඊට සරල තාක්‍ෂණික අධ්‍යාපනයක් සිසුන්ට ලබාදීම ඇතුලත් කළහැකි වුවද, පැහැදිලිවම ඉන් ඔබ්බටද යායුතුය. ඊට මාගේ සිසුන් යහපත් පුරවැසියන් බවට පත්කිරීමට යම් දායකත්වයක් ලබා දිය හැකි සවිඥානකත්වයක් ගොඩනැගීමද අනිවාර්යයෙන් ඇතුලත්විය යුතුය. රටවැසියන් මෙන්ම රාජ්‍යයද මීට පරස්පර ස්ථාවරයක පිහිටා සිටියද මාගේ ස්ථාවරය වෙනස්කිරීමේ හැකියාවක් මා මෙතෙක් ආලෝකය ලබාඇති ශිෂ්ඨත්වය විසින් හා දැනුම මගින් මට ලබාදී නැත. අද දින මාගේ අදහස් ඉදිරිපත් කිරීම නිමකිරීමට පෙර, මහා ගත්කරු රබීන්ද්‍රනාත් තාගෝර්ගේ අදහස් සමුඡ්චයක් වෙත ඔබ සැම නැවත ගෙනයෑමට කැමැත්තෙමි:

“මගේ වචන හා කෘති හරහා මා අවධාරණය කරන්නට උත්සාහ දරන්නේ අධ්‍යාපනයේ එකම අර්ථය හා අරමුණ නිදහස බවයි. එනම්, විශ්වයේ පැවැත්ම පිළිබඳව පවතින මෝහයෙන් නිදහස්වීම හා මානව ලෝකය සමග අප කරන ගනුදෙනුවලදී බලපවත්වන අගතීන්ගෙන්ද නිදහස්වීමයි” (තාගෝර් 2004).

තාගෝර්තුමාගේ අදහස්වල ගැබ්වී ඇති මූලික හරය ඥාන ගවේශණය බුද්ධිමය විමුක්තියේ මාර්ගයක් සේ තේරුම් ගැනීමය. පුද්ගලිකව නම්, මේ තත්ත්වය සාක්ක්‍ෂාත් කරගැනීමට හැකියාවක් මට නොමැතිවූ විට, ඒ වෙනත් වෘත්තියක් සොයාගැනීමට ලැබෙන සංඥාවක් සේ මා සලකමි. මෙය සිදුකරීමට මට නොහැකිනම්, එය සමාජයටත් මටත් මගෙන් වියයුතු යුතුකම් ඉටු කිරීමට නොහැකිවීමක් සේ මා සලකමි. එනමුත්, මෙවන් සන්දර්භයක් තුළ ඔබ කළ යුත්තේ කුමක්දැයි යන තීරණය ගැනීමේ සම්පූර්ණ අයිතිය තිබෙන්නේ විශ්වවිද්‍යාල ගුරුවරුන් වන ඔබ සතුව පමණි. යම් දිනක අනාගතය අප ඉදිරියේ දර්ශනය වනවිට, අනාගත පරපුරට සමාජ වගකීම සම්බන්ධයෙන් ඔබ කටයුතු කළ ආකාරය හා ඔබගේ හෘද සාක්‍ෂ්‍යය සමග ඔබ ගනුදෙනු කළ ආකාරය සුපැහැදිලිවම පෙනී යනු ඇතැයි යන්න මගේ බලාපොරොත්තුව වේ.

සටහන්

[1] 2014 නොවැම්බර් 17 වැනිදා කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨය මගින් ‘Revisiting Social Responsibility in Contexts of Crisis: Challenges and Possibilities in Sri Lanka’ යන තේමාව යටතේ සංවිධානය කළ ජාත්‍යන්තර සම්මන්තරණයේදී ඉදිරිපත් කළ ආරාධිත දේශනයේ සිංහල පරිවර්තනය. මෙය මීට පෙර විකල්ප වෙබ් අඩවියේ පලවිය: https://www.vikalpa.org/?p=24284 දේශනයට අරාධනා කිරීම සම්බන්ධයෙන් පීධාධිපති මහාචාර්ය අතුල රණසිංහට මාගේ ස්තූතිය පිරිනැමේ)

[2] http://www.thediplomaticsociety.co.za/index.php/home/16-home/1112-interview-with-an-academic-professor-sasanka-perera–dean-faculty-of-social-sciences-of-south-asian-university (අවසන්වරට පිවිසි දිනය: 16/10/14).

[3] http://www.mohe.gov.lk/index.php/en/about-ministry/vision-and-mission (අවසන්වරට පිවිසි දිනය: 03/04/14).

[4] http://www.mohe.gov.lk/index.php/en/about-ministry/vision-and-mission (අවසන්වරට පිවිසි දිනය: 03/04/14).

ආශ්‍රේය පඨිත

Eagleton, Terry. 2010 (17th December). ‘The Death of Universities.’ In, The Guardian (http://www.theguardian.com/commentisfree/2010/dec/17/death-universities-malaise-tuition-fees (අවසන්වරට පිවිසි දිනය: 02/10/14).

Karunanayake, Panduka. 2011. ‘Promoting Research in Our Universities: A Critical Examination.’ In, The Island, http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=21273 අවසන්වරට පිවිසි දිනය: 22/10/14).

Obeyesekere, Gananath. 2013. In, Tissa Jayailaka ed., Letters to Our Presidents by Sri Lankan and US Alumni of the US-Sri Lanka Fulbright Commission 1952-2012. Colombo: US-Sri Lanka Fulbright Commission.

Tagore, Rabindranath. 2004. Selected Essays. New Delhi: Rupa Publications.

Said, Edward. 2001. ‘Identity, Authority and Freedom.’ In, Reflections on Exile: And Other Literary and Cultural Essays. London: Granta Books.

Thapar, Romila. 2014. ‘To Question or not to Question: That is the Question’ (Third Nikhil Chakravartty Memorial Lecture, 2nd November 2014). New Delhi (http://www.thehindu.com/news/national/academics-must-question-more-romila/article6535612.ece (අවසන්වරට පිවිසි දිනය: 03/11/14).

Total
92
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම: ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න

දීපක් නයියර් – ආර්ථිකවිද්‍යාව පිලිබඳ සේවාසම්මානිත මහාචාර්යජවහර්ලාල් විශ්වවිද්‍යාලය පරිවර්තනය:අනුෂ්කා කහඳගමගේදකුණු ආසියානු විශ්වවිද්‍යාලය (තත්කාලීනව විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන ප්‍රචණ්ඩත්වය, ඉන්දියාවේ ප්‍රභල දේශපාලනික වාදවිෂයක් බවට පත්ව තිබේ. මේ ප්‍රචණ්ඩත්වයේ එක් අරමුණක් වී ඇත්තේ එකී ආයතන තුළ සාම්ප්‍රදායිකව සිදු වූ විචාරශීලි කතිකාව හා දේශපාලනික විවේචනය පාලනය කිරීමය. එනමුත් මේ තත්වය සමස්ථ දකුණු ආසියාතික කළාපයටම පොදු තත්වයක් වන අතර, යම් මට්ටම්වලින් ඉන් බැහැර ප්‍රදේශවලද දැකගත හැක. දැනට ඉන්දියාවේ සරසවි තුළ සිදුවන ශිෂ්‍ය මර්දනය පෙන්වා දෙන මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට 1

භාෂණයේ අයිතිය සහ නිරාගමිකත්වයේ දේශපාලනය

~ |ගුරුගොඩ සිරිවිමල  හිමි ඉන්දික රත්නායක නැමැත්තකුට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මගින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමන්ගෙන් ඉල්ලා සිටින අවුල් සහගත ලිඛිත ඉල්ලා සිටීමක් මෑතකදී දක්නට ලැබුනි. ඉන්දික රත්නායකට මේ චෝදනාව එල්ල කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන පරිදි, ඔහු “බුදු දහම ජෛන දහමක් යැයි මිත්‍යා මතයක් සමාජගත කිරීමට යත්න දරා ඇති බව” පවසයි. මෙකී අදහස පිළිබඳව මා තුළ විශේෂ අදහසක් හෝ ආකර්ශනයක් නැත. කෙසේ වෙතත්, එම විවාදාපන්න කරුණ ගැන සාකච්ඡාවකට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කෝවිඩ් 19 මර්ධනය ඩිජිටල් ආඥාදායකත්වයක් කරා ගමන් නොකරන්නට නම් ….

~ පවිත්‍රා  ජයවර්ධන, ජාත්‍යන්තර සබදතා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය ~ ක්‍රිෂාන් සිරිවර්ධන කෝවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා ලොව සෑම රාජ්‍යයක්ම  පාහේ තමන්ට හැකි ආකාරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී තිබේ. මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ජනයාගේ සබඳතා අන්වේක්ෂණය (surveillance)  පහසු කරවන “ලුහුබැඳීම් උපායමාර්ගයි” (tracking strategies). මේ වන පෙනීයන්නේ, ආසාධිත පුද්ගලයන්ගේ ස්පර්ශකයන් සොයා ගොස් හදුනාගෙන, ඔවුන් වේගයෙන් නිරෝධායනය වෙත යොමුකළ රාජ්‍යයන් කෝවිඩ් මර්ධන ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටින බවයි. එලෙස ලුහුබැඳ ගොස් හදුනාගැනීම කුඩා රාජ්‍යයන්ට පහසු වුවත්, ජනගහණය අධික විශාල…
වැඩි විස්තර පරිශීලනයට