සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා,
දකුණු ආසියානු විශ්ව විද්‍යාලය,
නව දිල්ලිය –

(සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. )

විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලු
වසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි පෙරේරා යන දෙදෙනොද වෙනුවෙනුයි. මේවා අපගේ සාමූහික අදහස් වශයෙන් සැළකිය හැකියි. දශක දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ ග්‍රේෂන් සම්මානය ශ්‍රී ලංකාවේ සිටින ඉංගිරිසියෙන් රචනාකරණයේ යෙදෙන ලේඛකයින් ඇගැයීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත. සැබැවින්ම, මේ ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යා යුතුයි. අපි අප්‍රේල් මාසයේ පැවති අවසන් වටයට තේරුණ රචනා දැනුම්දීමේ උත්සවයේදී ද පැවසූ පරිදි, එකිනෙකින් වෙනස් වූ නිර්මාණාත්මක රචනා ප්‍රවර්ග සදහා ඒ වෙනුවෙන්ම සැකසූ ඇගැයීමේ ක්‍රියාවලීන් ස්ථාපනය කිරීම වඩාත් සුදුසුය. සිංහලයෙන් හෝ දමිළ බසින් ඉංගිරිසියට නගන රචනා සදහා ග්‍රේෂන් පදනම මගින්ම පිරිනමන එච්. ඒ. අයි. ගුණතිලක සම්මානය මේ සදහා සුදුසු ආකෘතියක් බව අපේ විශ්වාසයයි. මූල්‍යයමය වශයෙන් මෙසේ එකිනෙකින් වෙන් වූ ඇගැයීමේ ක්‍රියාවලීන් ස්ථාපනය කිරීම යම් දුරකට අපහසු කටයුත්තක් වුවද, මෙය කළ නොහැක්කක් නම් නොවේ. නමුත් ඒ සදහා සමාන අදහස් හා අරමුණු දරන අන් පුද්ගලයින් හා කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීමට අපට කැමැත්තක් තිබිය යුතුයි. මේ සහජීවනයේ මූලික අරමුණ මූල්‍ය වියදම් යම් ලෙසකින් සමව බෙදා ගැනීමයි.

මෙලෙසින් ඇගැයීමේ ක්‍රියාවලිය සවිඥානිකව වඩාත් බහුවිධ කළ හැකිනම් දැනට එතුළට අනිවාර්යයෙන් ඇතුලුවන අභිනතීන් පාලනය කළ හැකියි. දැනට ඇති ප්‍රධානතම ගැටලූව නම් මේ සමස්ත ක්‍රියාවලියේ ඇති අතිශය විවෘත භාවයයි. මේ නිසා විනිසුරුවන්ට එකිනෙකට බෙහෙවින් වෙනස් වූ රචනා ප්‍රවර්ග අතර නිරතුරුවම හා ප්‍රවේශමෙන් ගමන් කිරීමට සිදුවේ. එසේ කර, අපගෙන් සාධාරණ විනිශ්චයක් ද බලාපොරොත්තු වේ. එනමුත් මේ ක්‍රියාවලිය සැමවිටම සාධාරණව හෝ නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැත. මක්නිසාද යත් කාව්‍ය, කෙටිකතා, නවකතා හා අන් රචනා ප්‍රවර්ග ඇගැයීම එකම මිනුම් පද්ධතියකින් කළ නොහැකි වීමත්, කෙතරම් උත්සාහ කළද එවන් සම්මිශ්‍රිත ඇගැයීමේ ක්‍රියාවලියක ඇතුළත් අත්‍යන්ත ගැටළලු නිරවුල් කිරීමේ අපසහසුවත්ය. දැනට පවතින ඇගැයීමේ ක්‍රමය තරඟකරුවන්ගේ මෙන්ම විනිසුරුවන්ගේද ජීවිත බෙහෙවින් සංකීර්ණ කරයි.

පරමාදර්ශීයව නම්, එක් එක් රචනා ප්‍රවර්ගය ඇගැයීමේ පුළුල් නිර්ණායක විධිමත්ව හා පැහැදිලිව නිර්වචනය කර තිබීම මෙන්ම එම කොන්දේසි ප්‍රසිද්ධ අවකාශයේ තිබීමත් අත්‍යාවශ්‍යයයි. එසේ තිබේ නම්, තම රචනා අගයන්නේ කෙසේදැයි තරඟකරුවන්ට යම් ආකාරයක පූර්ව දැනුමක් ලැබෙනු ඇත. එසේ නමුත්, යම් පැහැදිලි සීමා තුළ අවශ්‍ය විට යම් දුරකට නිර්මාණාත්මක තීරණ ගැනීම සදහා අවශ්‍ය නම්‍යතාවද මෙවන් පද්ධතියක් තුළ තිබිය යුතුය. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, දැනට පවතිනවාට වඩා ඇගැයීමේ ක්‍රියාවලිය විනිවිද පෙනෙන මෙන්ම දැඩි විය යුතු අතරම, ඒහා බැඳුනු නම්‍යතා විභවයන්ද තිබිය යුතුය.

එමෙන්ම, අපගේ විශ්වාසයට අනුව, ග්‍රේෂන් සම්මාන ක්‍රියාවලිය මෙන්ම අප රටේ ක්‍රියාත්මක වන එවන් අන් ඇගැයීමේ පද්ධතීන් තමන්ගෙන්ම ඇසිය යුතු වැදගත් මූලික ආයතනික ප්‍රශ්න දෙකක් තිබේ. එනම්, ඔවුන් සම්මාන ප්‍රධානය කළ යුත්තේ ගෝලීය රචනා ප්‍රමිතීන් හා කොන්දේසි අනුව යමින් අප රටේ ලියැවෙන අග්‍රතම රචනයන්ටද? නොඑසේ නම්, මේ තීරණ ගත යුත්තේ හුදෙක් දේශීය හෝ පරිස්ථානීය තත්ත්ව පමණක් සැලකිල්ලට ගනිමින්ද? අප දෙවන ප්‍රශ්නය සරණ යන්නේ නම්, එවන් තත්ත්ව තුළ විනිසුරුවන්ට ගෝලීය ප්‍රමිතීන් බෙහෙවින් රැඩිකල් ආකාරයකින් තම සන්ධර්භය අවට පවත්නා ඊනියා පරිස්ථානීය තත්ත්ව හා ගතික ආමන්ත්‍රණය කිරීම සදහා වෙනස් කරගත යුතුය. තත්ත්වය මෙය නම්, එය කිසි විටෙකත් අප රටේ නිර්මාණනීය රචනාකරණයේ අනාගතය සදහා නම් සුභදායක නිමිත්තක් වන්නේ නැත.

ග්‍රේෂන් පදනම තම 25 වන සංවත්සරය මේ වසරේ සමරන්නට යෙදී ඇත. මේ සංවත්සර කාලයේ ග්‍රේෂන් පදනමේ බලධාරීන් තම සංවිධානයේ බෙහෙවින් වැදගත් ආයතනික ඉතිහාසය සංවිඥානිකව ආවර්ජනය කරන අතරම, මෙතෙක් අප සදහන් කළ කරුණු ද සැළකිල්ලට ගෙන, ඒවා පිළිබඳව ගැඹුරින් සිතා බලනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි. එසේ කරන්නේ නම්, අප රටේ නිර්මාණාත්මක රචනාකරණය ඇගැයීම සඳහා වඩාත් සාධාරණ ක්‍රියාවලියක් ගොඩනගා ගත හැකිය යන්න අපගේ බලාපොරොත්තුවයි.

අප රටේ නිර්මාණාත්මක රචනාකරණය
ගද්‍ය සාහිත්‍යය වෙත අවධාණය යොමු කරමින් ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක රචනාකරණයේ තත්ත්වය පිළිබඳ කෙටි ආවර්ජනයක නිරතවීමට මා කැමතියි. එනමුත් මා සිතනාකාරයට ගද්‍ය පිළිබඳ මට පැවසීමට ඇති දේ අන් රචනා ප්‍රවර්ග සම්බන්ධයෙන්ද යම් දුරකට සාමාන්‍යකරණය කළ හැකියි. මාගේ අදහස් පදනම්ව ඇත්තේ පසුගිය දශක දෙකක පමණ කාලය තුළ සාමාන්‍ය පාඨකයෙකු වශයෙන් ශ්‍රී ලාංකේය ඉංගිරිසි හා සිංහල නිර්මාණ සාහිත්‍ය මා කියවා තේරුම් ගත් ආකාරය මත මිස, 2016 ග්‍රේෂන් සම්මානය සදහා ඉදිරිපත් වූ නිර්මාණ පිළිබද කියවීමක් මත නොවේ. මාගේ අදහස් මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ඉංගිරිසි රචනාකරණය කේන්ද්‍රකරගනිමින් ඉදිරිපත් වුවද, ඒවා සිංහල නිර්මාණ සාහිත්‍ය වෙතද බොහෝදුරට ව්‍යාප්ත කළ හැකියැයි මා විශ්වාස කරමි. එමෙන්ම, මේවා හුදෙක් මාගේ අදහස් පමණක් ලෙස සැලකිය යුතුයි. මේ අදහස් හා අද දින මා පැවසීමට ඉඩ තිබෙන ජනප්‍රිය නොවන අදහස් සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ලේ මා හා කටයුතු කළ සහෘදයන් දෙපොළ ගාවා ගැනීම මගේ අරමුණ නොවේ.

බොහෝ කලක සිට නිරතුරුවම මගේ සිතට නැගී ඇති පැනයක් වන්නේ ගාබ්‍රියෙල් ගාසියා මාකේස්, උම්බර්තෝ ඊකෝ, පැබ්ලෝ නෙරූදා, ෆයිස් අහ්මඞ් ෆයිස්, රොහින්තන් මිස්ට්‍රි, සල්මාන් රුශ්ඩි, එලිෆ් ශෆාක්, ඕරන් පමුක් වැනි ගෝලීය පැසසුමට ලක්‌වූ ලේඛක-ලේඛිකාවන් තත්කාලීනව ශ්‍රී ලංකාව විසින් උත්පාදනය කර නැත්තේ ඇයිද කියාය. ඇත්තෙන්ම, මේ ලේඛක ලේඛිකාවන් හුදෙක් මගේ විෂයානුබද්ධ කියවීම් හා රුචිකත්වය මත පමණක් පදනම් වූ වරණයන්ය. එනමුත් මේ සියලු දෙනාම ලොව නන් ප්‍රදේශවලින් බිහිවූ ගෝලීය මට්ටමින් පිළිගැනීමට පාත්‍ර වූ ලේඛකයින්ය. මේ ලැයිස්තුවට මෙවන් අන් බොහෝ දෙනාද ඇතුලත් කළ හැක.

මා මෙවන් විවාදාපන්න පැනයක් නගන විට, එතුළම ඇතුළත් වූ තවත් අත්‍යන්ත අනු-ප්‍රශ්නයක් ද තිබේ. එනම්, කෙටිකථා, නවකථා ආදී කුමන රචනා ප්‍රවර්ගයකට හෝ අයත් අපගේ නිර්මාණ සාහිත්‍යය සාමාන්‍ය වශයෙන් ගත් කළ, ඒවා බොහෝ විට ගෝලීය ප්‍රමිතීන් හා විශේෂයෙන් ගෝලීය පිළිගැනීම සම්බන්ධයෙන් මෙතරම් පසුගාමී තත්ත්වයක පසුවන්නේ මන්ද කියාය. එකිනෙක හා සමීපව බැඳී ඇති ගැටලුකාරී ක්‍ෂේත්‍ර හතරක් වෙත අවධානය යොමු කරමින් මේ පැනයට පිළිතුරු සැපයිය හැකිය යන්න මගේ විශ්වාසයයි:
1) පළමු ගැටලුව නිර්මාණ කෘතියක් බිහිකිරීම සදහා ලේඛකයෙකු යොදන කාලය හා අතිශයින් පුලුල් වූ නිර්මාණ සාහිත්‍ය ලෝකය වෙත එම ලේකඛයා විවරවී ඇති ස්වභාවය හා බැඳී පවතී.
2) දෙවන ගැටලුව නිර්මාණ කෘතියක් සදහා භාවිත කරන භාෂාව, නැතිනම් බස හසුරුවන අකාරය හා බැඳී පවතී.
3) තෙවන ගැටලුව නිර්මාණ කෘතියක කථා වස්තුව සහ ඒ හා සම්බන්ධ අදහස් ගලපා ගැනීමේදී මතුවන පරිකල්පනයේ සීමාසහිත බව හා බැඳීපවතී.
4) සිව්වන ගැටලුව මතුවන්නේ නිර්මාණ කෘතියක් ලිවීමේදී පර්යේෂණ සඳහා දක්වන අවම උනන්දුව හා වඩාත් පුලුල් වූ දැනුම් පර්ශද වෙත යොමු වීමට දක්වන දැඩි අකමැත්ත, අලසකම හෝ නොහැකියාව සම්බන්ධයෙනි.

මේ ගැටලුකාරී ක්‍ෂේත්‍ර හතරම අත්‍යන්ත ලෙස එකිනෙක හා බැඳී තිබේ. එනිසාම, එක් ක්‍ෂේත්‍රයකට යම් අඩු අවධානයක් ලැබෙන්නේ නම්, එය අන් ක්‍ෂේත්‍රවලට මෙන්ම සමස්තයක් වශයෙන් මුලු මහත් කෘතියටම නිශේධනීය ලෙස බලපෑම් කරයි.

නිර්මාණ කෘතියක් බිහිකිරීම සදහා ලේකඛයෙකු යොදන කාලය පිළිබඳ ගැටලුව
සාමාන්‍ය වශයෙන්, ශ්‍රී ලාංකේය නිර්මාණ සාහිත්‍යය (ගද්‍ය ) කියවීමේ දී බොහෝ කතුවරුන් තම රචනාවල ව්‍යුහය හා තොරතුරු සම්පාදනයකිරීමේ දී ඊට අනිවාර්යයෙන් යෙදවිය යුතු කාලය යොදන්නේයැයි මට හැගෙන්නේ නැත. බොහෝ දෙනාට තම රචනා කඩිමුඩියේ ලියා නිම කර, කොහෙන් හෝ ඒවා පළකර, ලහිලහියේ ඒ සඳහා සම්මානයක් හෝ දෙකක් ද ලබා ගැනීමට ඉස්පාසුවක් නොමැති බවයි බොහෝ විට පෙනෙනුයේ. මේ සන්දර්භය තුළ නිසියාකාර විමර්ශණ පිළිවෙත් පිළිපදින, නුසුදුසු කෙටුම්පත් පැහැදිලි ලෙස ප්‍රතික්‍ෂ්ප කරන වෘත්තීයමය ප්‍රකාශන ව්‍යාපාරයක් අප රටේ නොමැතිවීමද බලවත් ගැටලුවකි. අප මැනැවින් දන්නා පරිදි, කෙටුම්පතක් ප්‍රකාශයට පත්වේද යන්න බොහෝ විට පදනම් වන්නේ ලේඛකයෙකු ප්‍රකාශකයින් සමග ඇති පුද්ගලික සම්බන්ධතා සහ එම ප්‍රකාශකයින්ගේ වෙළඳ අවශ්‍යතා මතය. මේ තත්ත්ව තුළ රචනයක ගුණාත්මක වටිනාකම එතරම් වැදගත් වන්නේ නැත. එනම්, රචනයකට ගතකළ යුතු කාලය හා උත්සාහය මෙන්ම අන් පූර්ව-කොන්දේසි ද සම්පූර්ණ නොකළ නිසා අත්‍යාවශ්‍ය ගුණාත්මක කඩඉම් නොඉක්මවූ අවරගණයේ පොත්පත් ඉතා පහසුවෙන් පළකර ගැනීමේ හැකියාවක් අද දින අප රටේ පවතී.

අනෙක් අතට, අප බොහෝ දෙනෙකුට පුලුල් ලෙස කියවා අපගේ දැනුම හා ඥානය පිළිබඳ නිම්වලලු පුලුල්කරගැනීමේ උනන්දුවක් ඇති බවක් ප්‍රකාශයට පත්වූ නොයෙකුත් පොතපත කියවා බැලූ විට පෙනෙන්නට නැත. මාගේ තේරුම්ගැනීම නම් මෙය ලේඛකයින් මෙන්ම අන් බොහෝ දෙනාද සාමාන්‍ය වශයෙන් පෙළෙන ව්‍යාදියක්ය යන්නයි. ෆර්නැන්ඩෝ පෙසෝවාගේ The Book of Disquiet යන කෘතිය කියවන්නෙකුට එහි පිටු 260 පමණ පරාසය මුලුල්ලේ විසිර ඇති, ෆිලිප් පුල්මන් විසින් ‘‘අභිරහස්, සැක-සාංකා, කඳුලු හා සිහින සහ විස්මිත දෑ’’ ලෙස විස්තර කර ඇති කතාවේ සාරය නොදැනේවිද? වික්රම් චන්ද්‍රගේ Red Earth and Pouring Rain යන ඔහුගේ පළමු නවකතාව කියවූවොත් ඔහුගේ උත්කෘශ්ඨ ආඛ්‍යාන විලාසය පැහැදිලිවම විශද වනු ඇත. ඇඩම් තෝර්ප් චන්ද්‍රගේ නවකතාවට සාපේක්‍ෂව බ්‍රිතාන්‍ය නවකතාකරුවන්ගේ රචනා උගුරේ හිරවූ කෑරිල්ලකට සමාන කළේ මේ තත්ත්වය තුළය. මෙලෙසින්ම, උඕබර්තෝ ඊකෝගේ Prague Cemetery නවකතාව 19 වන සියවසේ යුරෝපයේ සමාජ-දේශලපාලනික තත්ත්ව මැනැවින් ආමන්ත්‍රනය කරයි. ඒ අතර කතෝලික ජෙසුයිට් මතදාරීන් ෆ්රීමේසන්වරුන්ට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණ වල සිට ඉතාලියානු ජනරජ මතදාරීන් කතෝලික පූජකයින්ගේ ගෙල ඔවුන්ගේම බඩවැල්වලින් සිරකර ඝාතනය කර දැමීම දක්වා විහිද යන ඓතිහාසික විස්තරකථනවලින් අනූනය.

මේ සියලූම කෘති අපගේ මතකයේ පැළපදියම්වන අගනා නිර්මාණ සාහිත්‍යමය උදාහරණ බවට පත්වන්නේ ඒවායේ කතුවරුන් තම කලාව ඔපකිරීම සඳහාත්, තම ආඛ්‍යාන ශෛලය ප්‍රගුණ කිරීම සඳහාත් කතාවලට අවශ්‍ය පසුබිම ගොඩනැගීමට දියත්කළ පර්යේෂණ සඳහාත් ගතකළ අත්‍යවශ්‍ය කාලය නිසාය.

ගෝලීයව මේ වන විටත් පුලුල්ව පිළිගෙන ඇති මෙවැනි නිර්ණායක දේශීය වශයෙන් අප ලියන රචනා දියුණු කිරීම සඳහා යොදා නොගන්නට කිසිදු හේතුවක් නැත. අද පවතින දේශීය තත්ත්ව තුළ, අපගේ දූපත් මානසිකත්වයෙන් මොහොතකට බැහැරට ගොස්, බැලූ බැල්මට කිසිදු පාඨාන්තරීය මූලාශ්‍රයක උත්තේජනයක් නොලැබ මහා හදිසියේ ඔහේ ලියා පලකළ අපගේ ඇතැම් රචනා ගෝලීය සන්දර්භයක ස්ථානගතකළහොත්, එම කෘතිවලට කුමක් සිදුවේද? ලංකාවේ මෙන්ම ඒවාට එකී නොකී සම්මාණ ලහිලහියේ ලැබේද? ඒවායේ කතුවරුන්ට අනන්ත නම්බු නාම ලැබේද? එනම්, වඩාත් තරඟකාරී හා පැහැදිලි නිර්ණායක මගින් සළකුණු කළ වාතාවරණයක් තුළ, එම කෘතීන්ට ගෝලීය සම්මාණ හා පිළිගැණීම් ලැබේද? අනෙක් අතට, ලංකාව තුළම ඉතා පහසුවෙන් මෙවන් දේ ලබාගැනීමේ පහසුව තිබියදී ජාත්‍යන්තරව මෙවන් පිළිගැනීම් උදෙසා නිකරුනේ ලතවන්නේ මන්දැයි යමෙකුට සිතෙනු ඇත.

මේ ප්‍රශ්නවලට මා පිළිතුරු ලබාදෙන්නේ නැත. මේවා අනිවාර්යයෙන් ඇසිය යුතු ප්‍රශ්න යැයි ඔබ සිතන්නේ නම්, ඒවාට පිළිතුරු දීමේ හැකියාවද ඔබටම විවර වනු ඇත.

නිර්මාණ කෘතියක් සම්පාදනයේදී බස හසුරුවන අකාරය හා බැදී පවතින ගැටලු
මූලික වශයෙන්, දැනට මා කියවා ඇති ශ්‍රී ලාංකේය නිර්මාණ සාහිත්‍ය කෘති බොහෝමයක බස හැසිරවීම සම්බන්ධයෙන් තීව්‍ර උනන්දුවක් හෝ ඒ පිළිබඳ ලාලසාවක් මා දැක නැත. එමෙන්ම, එක් එක් රචනා ප්‍රවර්ග සම්බන්ධ රැඩිකල් පර්යේෂණාත්මක ප්‍රවේශයන්ද මා දැක නැත.

මා මේ පවසන්නේ හුදෙක් නිසි ලෙස ව්‍යාකරණ හැසිරවීම හෝ අක්‍ෂරවිණ්‍යාස භාවිතය පිළිබඳව හෝ නොවේ. බොහෝ අවස්ථාවල යොදා ඇති බස අතිශයින් සීමිත වූ ශබ්දකෝශයක ආනිශංස නිසා බෙහෙවින් සරල හෝ සාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරයි. නොඑසේ නම්, එය කට්ට කම්මැලි වියළී ගිය බස්වහරකි. තවත් විටෙක, අත්‍යාවශ්‍ය පසුබිම් හෝ චරිත සම්පාදනය කරන්නට, සමස්තයක් වශයෙන් කතාව වරනැගීමට හෝ සංවාද ගොඩනැංවීම සඳහා අවැසි විස්තර ඉදිරිපත් කරන්නට අවශ්‍ය කාලය හා උත්සාහය ගෙන නැත. නැතහොත්, යොදාගෙන ඇති බස බෙහෙවින් හති දමා තටමන ලද බවක් පෙන්නුම් කරන අනවශ්‍ය වචන හා වැල්වටාරමින් ගහන භාෂාවකි. සමස්තයක් ලෙස බලන විට, බොහෝ කෘති තුළ නිර්මාණාත්මක ලෙස නොයෙකුත් රචනා ආකෘති සමග කරන ගණුදෙනු සම්බන්ධයෙන් ආවර්ජනාත්මකව සිතාබලා ඇති බවක් ද නොපෙනේ. තවද, එකම කෘතියකදී නොයෙකුත් රචනා ප්‍රවර්ග හරහා නිර්මාණාත්මක ලෙස කටයුතු කරන්නටද උනන්දුවක් ඇති බැව් ද නොපෙනේ. මා සිතනාකාරයට නම් මේ සියලු ඌණතා මතුවන්නේ භාෂාව හුදෙක් ප්‍රාථමික කටයුත්තක් වන සන්නිවේදනය සඳහා වූ සරල මෙවලමක් පමණක් සේ සැලිකීම නිසා, එහි අඩංගු වියයුතු ලාලසාව, වර්ණය, චිත්තවේගීය හැඟීම්, පරිකල්පනය හා දැනීමේ හැකියාවන් ඉන් ගිලිහී යාම නිසාය. සල්මාන් රුශ්ඩිගේ The Enchantress of Florence නවකතාවේ ඉංග්‍රීසි මුල්කෘතියේ දැකගත හැකි පහත සඳහන් පෙළ වැනි යෙදුම් අපගේ රචනාවල නිරතුරුවම දැකගත හැකිද?

“A week after his final refusal, Marco Vespucci hanged himself. His body dangled from the Bridge of Graces, but Alessandra Fiorentina never saw it. She braided her long golden tresses at her window and it was as if Marco, the Fool of Love were an invisible man, because Alessandra Fiorentina had long ago perfected the art of seeing only what she wanted to see, which was an essential accomplishment if you wanted to be one of the world’s masters and not its victim. Her seeing constructed the city. If she did not see you, then you did not exist. Marco Vespucci dying invisibly outside her window died a second death under her erasing gaze.”

මේ කරුණ පිළිබඳව තවදුරටත් කතාකිරීම අවශ්‍යයැයි මා සිතන්නේ නැත. එනමුත්, නිර්මාණ සාහිත්‍ය පාඨණයේ යෙදෙන සහෝදර පාඨකයින් වශයෙන් මාගේ සාංකාවට හේතු ඔබට වැටහෙන්නේය යන්න මගේ විශ්වාසයයි.

පරිකල්පනයේ සීමිතබව හා බැඳී පවතින ගැටලු
සුපැහැදිලිව නිර්මිත ඓතිහාසික හෝ මිත්‍යාමය යුග හා බැඳීපවතින ගද්‍ය සාහිත්‍ය පිළිබඳව මෙනෙහි කිරීමේදී මසිතට නිරතුරුවම උදාහරණ වශයෙන් ගලා එන්නේ මාකේස්ගේ One Hundred Years of Solitude, ඊකෝගේ Prague Cemetery, එලිෆ් ශෆාක්ගේ The Architect’s Apprentice හා ඔරාන් පමුක්ගේ The Museum of Innocence යන නවකතාය. මේවා හුදෙක් මාගේ මතකය තුළ පැළපදියම් වී තිබෙන අසම්බන්ධිත මූලාශ්‍රයන්ය. නමුත් ඒ සියල්ලම ඉතිහාසය, අතීතය හෝ මතකය පිළිබඳ අදහස් තම කතා වස්තු හා ආඛ්‍යාන ගොඩනැගීමේදී සූක්‍ෂම පරිකල්පනයක් ද පෙරදැරිකරගෙන ඉදිරිපත් කරන්නට සමත් වූ කෘති සඳහා සාර්ථක උදාහරණ සපයති. ඒවා මගේ මතකයේ රැඳී තිබෙන්නේද ඒ නිසාමය. එමෙන්ම, මේ හා සමාන උදාහරණ ගෝලීය නිර්මාණ සාහිත්‍යයෙන් ඕනෑතරම් සොයා ගත හැකිය.

අපගේ ලිඛිත ඓතිහාසික මූලාශ්‍ර නිර්මාණ සාහිත්‍යයට සමාරම්භයක් සැපයිය හැකි බෙහෙවින් උනන්දුසහගත හා ඇතැම්විට ගුප්ත කරුණු කාරණාවලින් පිරී පවතී. මේවා පරිකල්පනීය ලෙස තෝරා බේරාගෙන සාහිත්‍යමය වශයෙන් දියුණු කළහැකිනම්, ඒවාට ඓතිහාසික පසුබිම් මත පදනම් වූ අනර්ඝ නිර්මාණ සාහිත්‍යයකට ජීවය දිය හැකි බව මගේ විශ්වාසයයි. එනමුත් ගැටලුව වන්නේ අප ඇසිය යුතු ප්‍රශ්න නොඇසීමත් යම් සාධාරණ සීමා තුළ අපගේ පරිකල්පණය විකසිත වීමට අවකාශ නොදීමත්ය. උදාහරණයක් වශයෙන්, අපගේ නවකතාකරුවෙකු පහත සඳහන් ප්‍රශ්නය නොඅසන්නේ මන්ද?: ඉතිහාසය පිළිබඳ පවතින ප්‍රධානතම මූලාශ්‍ර දීපවංශය, මහාවංශය හා චූලවංශය පමණක්මද?

මේ පැනයේ ව්‍යුහය තුළ අපට පහත සඳහන් ආකාරයේ නිර්මාණ සාහිත්‍යයමය පැනයක් මතුකරගත නොහැකිද? කිසිවෙකුවත් නොදන්නා, අපගේ ඉතිහාසය සවිස්තරාත්මකව ලියැවුණු ලේඛනයක් ඉතා ඈත අතිතයේ දේශීය කලබගෑනි තිබූ සමයක සංඝයාවහන්සේලා විසින් භාරතයේ නාලන්දා සරසවියට ආරක්‍ෂාව සඳහා ගෙනගියා යැයි පරිකල්පනය කරමු. එය චීනයේ සිට නාලන්දාවට බුදුදහම හැදෑරීමට පැමිණ භාරතයේ හා අන් දකුණු ආසියානු ප්‍රදේශවල දහඅට වසරක් සංචාරය කර නැවත චීනයට යන විට චීන හිමිනමක් වන සුඅන්-සන් හිමියන් විසින් ගෙන ගොස් උන්වහන්සේගේ පන්සලේ අන් ලේඛන ද අතර තැන්පත් කළා යැයි සිතමු. මේ අතර නාලන්දා පුස්තකාලය, සරසවි හා විහාරාරාම සංකීර්ණය විනාශවී ගිය බව ඓතිහාසිකව අප හොදින් දන්නා කරුණකි. ඈත අතීතයේ දකුණු ආසියාව පුරා විසිරී තිබූ බෞද්ධ ගොඩනැගිලි සංකීර්ණ පිලිබඳ වඩාත් පරිපූර්ණ විස්තර අපට අද දින ද ලැබෙනුයේ ඓතිහාසික චරිතයක් වූ සුඅන්-සන් හිමිනමගේ චාරිකා සටහන්වලිනි. උන්වහන්සේගේ සටහන්වලට අනුව, ලක්දිවට පැමිණීමට පෙරුම්පුරමින් සිටියද එය කළ නොහැකි වීය.

මේ ඓතිහාසික හා පරිකල්පිත තත්ත්ව තුළ අපට පහත සඳහන් ආකාරයේ නිර්මාණයක් රචනා කළ නොහැකිද? එනම්, චීනයේ සිශුවාන් ප්‍රදේශයේ ඇති පැරණි, කාටත් අමතක වී ගිය පන්සලක පුස්තකාලයේ සියවස් ගණනක දූවිල්ලෙන් වැසී ගිය මේ ඓතිහාසික වාර්ථාව සොයා ගතහොත් අපගේ ඉතිහාසය සහමුලින්ම වෙනස්වී යනු ඇතැයි යන්න මේ නිර්මාණයේ ප්‍රධාන ආඛ්‍යානය විය හැකියි. එවන් කෘතියක් අතීතයට, තත්කාලීන දේශපාලනයේ අනේක පැතිකඩ වෙත හා මිත්‍යාමය ලෝකය හා භක්තිය පිළිබඳ අදහස් වෙත ද අප කැඳවාගෙන යන උනන්දුසහගත කෘතියක් වීමට ඉඩ ඇත. නමුත් මේ නිර්මාණ ව්‍යායාමය සිදුවිය හැක්කේ නිසියාකාරව නිර්මණාත්මක පරිකල්පණය ව්‍යාප්තවීමට අපට ඉඩදිය හැකිනම් හා එසේ කිරීමට අවශ්‍ය තීව්‍ර ඓතිහාසික දැනුම අපට ඇත්නම් පමණි. මෙවන් නිර්මාණාත්මක හැකියාවන් පිළිබඳව සිතන සැමවිටම මගේ සිහියට නැගෙන්නේ එවැනිම ආස්ථාන මත ගොඩනැගුනු උම්බර්තෝ ඊකෝගේ The Name of the Rose හා යූස්ටේන් ගාටර්ගේ Vita Brevis: Letters to St. Augustine යන කෘතීන්ය. මේ කෘති දෙකම තම ආඛ්‍යාන ගොඩනැගීමේදී ඉතිහාසය හා ඉතිහාස රචණයේ දේශපාලනය සමග සූක්ෂම බුද්ධිමය ගණුදෙනුවක නියැලෙයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිතන විට මගේ සිහියට නැගෙන්නේ මහාචාර්ය ගණනාත් ඔබේසේකර මෑතකදී පලකළ The Doomed King: A Requiem for Sri Vikrama Rajasinha යන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිළිබඳව අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ 19වන සියවසේ සමාජ-දේශපාලන තත්ත්ව පිළිබඳව ලියුවුණු බෙහෙවින් රසවත් හා උනන්දුසහගත සංශෝධනවාදී ඉතිහාස කෘතියයි. මේ කෘතිය ඓතිහාසික ගද්‍ය සාහිත්‍යයේ නිරතවන්නට උනන්දුව ඇති අප රටේ ලේඛකයින්ට බෙහෙවින් වටිනා මූලාශ්‍රයක් වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

නමුත් මෙවන් ප්‍රශ්න ඇසීමට හෝ අපගේ පරිකල්පනය පෝෂණය කිරීමට නම්, ඊට ප්‍රථමයෙන් අප ගෝලීය සාහිත්‍යය පිළිබඳ වඩාත් පුලුල් වූ ලෝකයට හා මහාචාර්ය ඔබේසේකරගේ කෘතිය සඳහා ඔහු ආශ්‍රය කළ ඓතිහාසික මූලාශ්‍ර හා සුඅන්-සන් හිමිනමගේ වාර්තා වැනි විශේෂඥ මූලාශ්‍රවලට ද විවර ව්ය යුතුයි. මෙවන් මූලාශ්‍ර බොහෝමයක් අදවන විට අවම වශයෙන් ඉංගිරිසියෙන් පළවී තිබෙන බවද අප අමතක නොකළ යුතුයි. නමුත් මේ සියල්ල කිරීමට යමෙකුට ඉවසීම හා කාලය යන සම්පත් දෙකම වැඩිවශයෙන් තිබිය යුතුයි.

පර්යේෂණ පිළිබඳ ගැටලුව
මා සිතනාකාරයට තීව්‍ර මට්ටමින් සිදුකළ පසුබ්ම් පර්යේෂණ නොමැතිව කිසිම නිර්මාණ සාහිත්‍ය කෘතියක් ලිවීම කළනොහැක. මීට ඉහත සාකච්චා කළ කරුණුවලින් ද මෙය පැහැදිළි වනු ඇත. නවකතාවක් වශයෙන් ඉන්දියාවේ මුම්බයි නගරයේ ජීවත් වූ පාර්සි ප්‍රජාව හා 1970 ගණන්වල ක්‍රියාත්මන වූ ඉන්දීය ජාතිකවාදී දේශපාලනය පසුබ්ම්කරගෙන ලියූ රොහින්තන් මිස්ට්‍රිගේ Such a Long Journey කෘතියේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක් වූයේ ඉන්දීය දේශපාලනය හා මෑතකාලීන ජනසංයුතික වෙනස්කම් පිළිබඳව මිස්ට්‍රි විසින් දියත් කරන ලද පසුබිම් පර්යේෂණය. එමෙන්ම, Baudalino කෘතිය පාඨකයින් අතර ජනප්‍රියවීමට එහි ඓතිහාසික පසුබිම ගොඩනගා තිබූ ආකාරය කේන්ද්‍රීය වූ අතර, එයට හේතු වූයේ කතෘ උම්බර්තෝ ඊකෝ සතුවූ තිබූ 12වන සියවසේ ක්‍රිස්තියානි හා යුරෝපීය ඉතිහාසය පිළිබඳ ගැඹුරු දැනුමයි. තවද ඊකෝ විසින්ම රචනා කරන ලද Name of the Rose කෘතියට එහි සාර්ථක පඨිතමය පෞරුෂත්වය ලැබුනේ කතුවරයා සතුව තිබූ මධ්‍යතන යුරෝපීය ඉතිහාසය, සංඥාර්ථවේදය (semiotics), බයිබල් විශ්ලේෂණය හා සාහිත්‍යවේදී න්‍යාය (literary theory) පිළිබඳව තිබූ ගැඹුරු හා මාහැගි දැනුමයි.

නැවත වරක් පවසන්නේ නම්, ඉහත සඳහන් නවකතා හා එවැනි අන් කෘති බොහෝමයක් සාර්ථකත්වයට හා ජාත්‍යන්තර පිළිගැනීමට හේතුවූයේ ඒවායේ කතා ගලා යන සන්දර්භය හා ඊට අදාල මනෝභාවය ගොඩනැගීම සඳහා තීව්‍ර පර්යේෂණ ක්‍රියාවලියක ආලෝකය මැනැවින් ලබාගත් නිසාය. නමුත් මෙවැනි දැනුමක් සවිඥානිකවම ලබාගත යුතුය. එය ලබා ගැනීමේ එකම ක්‍රමය වන්නේ පුලුල් පර්යේෂණ ක්‍රියාවලියක් දියත් කිරීමය. ඒ සඳහා කෙටි මාර්ග නොමැත. මෙවැනි දැනුමක් දෛනික ජීවිත අත්දැකීම්වලින්, උදෑසන පුවත්පත් කියවීමෙන් හෝ නිමක් නොමැති අන්තර්ජාලයේ ඔහේ රස්තියාදු ගැසීමෙන් ලබාගත නොහැක. එවන් දැනුමක් දිව්‍යඥානයෙන් හෝ යක්‍ෂාවේශයෙන් ලබා ගන්නටද නොහැක.

අප රට මේ වන විට සිරවී සිටින විවේචනයෙන් තොර ජනප්‍රිය ජාතිකවාදී තත්ත්වය තුළ සිටිමින් මා මේ පවසන දෑ හුදෙක් ජාතිද්‍රෝහී හා අසාධාරණ මනස්ගාත ලෙස පහසුවෙන් බැහැර කරන්නට ඔබට පුලුවන. අපගේ ලේඛකයින් අන් රටවල චිරප්‍රසිද්ධියට පත් රචකයින් තරම්ම සාර්ථකත්වය අත්කරගෙන සිටින බැව්ද ඔබට පැවසිය හැක. එවන් ස්ථාවරයක සිටින මිතුරු-මිතුරියන්ගෙන් හා වෘත්තීයමය සහෘදයින්ගෙන් මා අසන එකම ප්‍රශ්නය මෙයයි: උදාහරණ අතලොස්සක් හැර අපගේ ඉංගිරිසි භාෂා නිර්මාණ සාහිත්‍යය ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත්වී නැත්තේ මන්ද? ලෝක මට්ටමේ පාඨකයින් අපගේ ලේඛකයින් පිළිබඳව නොදන්නේ මන්ද? ලාංකේය ප්‍රභවයක් සහිත ලේඛකයින්ට ගෝලීය පිළිගැනීමක් ලබාගැනීම සඳහා ප්‍රථමයෙන් අප රට හැරදා යන්නට සිදු වූයේ මන්ද? මෙහිදී සිහියට නැගෙන ලේඛකයින් අතර මයිකල් ඔන්ඩච්චි, ශ්යාම් සෙල්වදුරේ, රොමේශ් ගුණසේකර යනාදීන් සිටී. මීට හේතු පුලුල් ගෝලීය ඉංග්‍රීසි භාෂණ ප්‍රජාව විසින් අපට එරෙහිව දියකත්රන ලද මහා කුමන්තූණයක්ද?

එනමුත් වඩා යතාර්ථවාදීව සලකා බැලිමේදී අප මුහුණපා සිටින මේ තත්ත්වයට හේතුව මා කලින් විස්කර කළ ගැටලුකාරි ක්‍ෂෙත්‍ර හතරට අවධානය ලබා නොදීම බවයි මාගේ විශ්වාසය. මීට අමතරව, මේ තත්ත්වයට අන් බොහෝ කරුණුද බලපාන බව මතක තබා ගත යුතුය. මේවා පිළිබඳව මා මෙහිදී විස්තර නොකළද මේ කරුණු අතරට ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයනට හිමිකම් තිබෙන ප්‍රකාශකයින් ලංකාවේ නොමැතිවීම, එවන් සම්බන්ධතා සහිත, ලේඛකයින්ව ගෝලීයව නගාසිටුවිය හැකි සාහිත්‍යය ඒජන්ත ප්‍රජාවකගේ නොමැතියාව, රටේ ආර්ථික හා දේශපාලනික තත්ත්වය හා මේවා ගෝලීයව බලපෑම් කරණ ආකාරය යනාදී වශයෙන් කෙටියෙන් හඳුනාගත හැක.

මෙහිදී පැහැදිළිවිය යුතු කරුණක් වන්නේ, ස්වයං-ආවර්ජනීයව හා ස්වයං-විවේචනාත්මකව අපගේ ගැටලු දෙස බලා ඒවා තේරුම් ගැනීමට නොහැකි නම්, අපට කෙදිනකවත් දැනට අප රටේ බලපවත්වන පසුගාමී සාහිත්‍ය ඇගැයිමේ ක්‍ර මවේදයන්ගෙන් මිදිය නොහැකිය යන්නය. කිසිම නිර්මාණ සාහිත්‍ය ඇගැයීමේ ක්‍රමවේදයක් යාතුකර්මයක් සේ වාර්ශිකව ඔහේ සම්මාන ලබාදීමේ රීතියක් අනුගමනය නොකළ යුතුය. සිදුවිය යුත්තේ ගෝලීය කඩඉම් හෝ පූර්ව කොන්දේසි පරිස්ථානීය තත්ත්ව තුළ සම්පූර්ණ නොකරන කෘති හා කෙටුම්පත් සැළකිල්ලට නොගැනීමයි. මේ ස්ථාවරයේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් වසරවල සම්මාන ලැබීමට සුදුසු රචනා නොමැති නම්, එය මෙවන්ක්‍රියාදාමයක සාමාන්‍ය තත්ත්වයක් සේ සැලකිය යුතුය. මා කලින්ද පැවසූ පරිදි නිර්මාණ සිහිත්‍යය ඇගැයීමේ ක්‍රමවේදයන් අනවශ්‍ය හා ගැටලුකාරි ලෙසින් දේශීය තත්ත්ව සමග සමීපව සම්බන්ධකරලීම නුසුදුසුය. සැබැවින්ම, අපි දෘශ්‍ය කලාව, චිත්‍රපට, ක්‍රිකට් හා දේශපාලන හා ආගමික ප්‍රචන්ඩත්වය සම්බද්ධයෙන් ගෝලීයව සමානයින් ලෙස තරඟකරමින් සිටිමු. එසේ නම්, රචනාකරණය සම්බන්ධයෙන් පමණක් එසේ නොකරන්නට අප පෙළඹෙන්නේ මන්ද? දේශීය හා අනේක පරිස්ථානීය තත්ත්ව අපට නිරතුරුවම දිරිය හා අදහස් ලබාදිය යුතුය. නමුත් අප මූලික වශයෙන් ලිවිය යුත්තේ මුලු මහත් ලොවම සඳහාය. මෙය වඩාත් බලපාන්නේ අප ලියන්නේ ඉංගිරිසියෙන්නම්ය. අප සිංහලයෙන් හෝ දෙමළෙන් ලියූවද එවන් රචනා පරිවර්තනය කිරීමට හා ගෝලීයව මුදාහැරීම සඳහා සුදුසුකම් ලබන්නේ ජාත්‍යන්තරව පිළිගත් යම් මුලික රචනා කොන්දේසි සපුරන්නේනම් පමණි. මාගේ අදහස නම්, අපගේ ලේඛකයෙකුට දේශීයව යම් සම්මානයක් ලැබෙන්නේ නම්, ඔහුට හෝ ඇයට එම සම්මානලාභී කෘතිය මගින්ම ගෝලීය සම්මාන සඳහාද තරග කළ හැකිවිය යුතු බවයි. එනමුත් මෙසේ කළ නොහැකිනම් එයින් කියවෙන්නේ අප දේශීයව අනුගමනය කරන ක්‍රමවේදයේ මහා-පරිමාණ ගැටලුවක් තිබෙන බවයි.

අද දින මා මේ කරුණු සියල්ල පැවසුවේ යම් අදහසක් පෙරදැරි කරගෙනය. ඒ අපගේ ජාතික-සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ ඔබ තුළ ඇති ආත්මතෟප්තිය මොටකිරීමට නොවේ. මාගේ ආයාසය හුදෙක් නිර්මාණ සාහිත්‍යය පිළිබඳ අපගේ සාමූහික ආනාගය සඳහා යම් ආයාචනයක් කිරීමටයි. ග්‍රේශන් සම්මාන ක්‍රියාවලිය ද ඇතුලුව අප රටේ ඇති සියලුම සාහිත්‍යය ඇගැයීමේ ක්‍රියාවලීන් අවධාරණය කරන්නේ නිර්මාණ ක්‍රියාවලියේ අවසන් ඵලයයි. එනම්, ලියා හමාර කළ කෘතියකට හෝ අත්පිටපතකට ‘සම්මාන’ දීමටයි. නමුත් ඒ ඵලය ලබාගැනීම සඳහා ලේඛකයින් කළයුත්තේ කුමක්ද, ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර මොනවාදැයි අප කිසිවිටෙකත් අසන්නේ නැත. මෙනිසාම, මේ සම්මාන ක්‍රියාවලීන්ට අනුබද්ධව හෝ ස්වාධීනව තරුණ ලේඛක-ලේඛිකාවන් නගා සිටුවීම සඳහා හෝ, ඔවුනගේ කලාව සූක්‍ෂම කිරීම සඳහා හෝ, මා මෙතෙක් සාකච්චා කළ ආකාරයේ ගැටලු පිළිබඳව කතාබස් කිරීමට හෝ ඒවා විසඳීමට මං පෙත් සෙවීම උදෙසා හෝ ගොඩනංවන ලද නිරන්තරව පැවැත්වෙන හා ආයතනගත ක්‍රියාවලීන් අප රටේ දැකගැනීමට නැතිතරම්ය. අප සම්මාන දීමට පෙර ඒවා ලබාගැනීමට සුදුසු ලේඛක පිරිසක් බිහිකිරීමට අවැසි පදනම හා වාතාවරණය සැකසිය යුතු නොවේද? මෙවන් කර්තව්‍යයක් උනන්දුසහගත පුද්ගලයින් අතලොස්සකගේ පෞද්ගලික උනන්දුව මත පමණක් වරින්වර පවත්වන වැඩමුලුවකින් දෙකකින් කළහැකි දෙයක් නොවේ. මා සිතානාකාරයට තරුණ හා උනන්දුව ඇති නිර්මාණකරුවන් සඳහා එවන් ‘පුහුණු’ කටයුතු මෙන්ම නොයෙකුත් දැනුම් පර්ෂද සඳහා අවකාශ විවරකරදීම නිරන්තරවම ආයතනගත මට්ටමකින් කළයුතු කාර්යයකි. ඊට ග්‍රේශන් පදනමට හෝ අන් ආයතයකට උරදිය හැකිය. කෙසේ වෙතත්, මෙය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. මාගේ තර්කය හුදෙක් වැඩමුලු පැවැත්වීමෙන් ප්‍රතිභාපූර්ණ සාහිත්‍යකරුවන් බිහිකළ හැකිය යන්න නොවේ. මා පවසන්නේ එවන් උත්සාහයන් මගින් තරුණ ලේඛකයින්ට තම රචනා හැකියාව දියුණුකරගත් ප්‍රසිද්ධ නිරිමාණකරුවන් මුණගැසීමට අවස්ථාවන් ලැබීම නිසා එමගින්ම යම් ආකාරයේ උත්තේජනයක් හා වඩාත් පුළුල් වූ නිර්මාණ සාහිත්‍යය ලොවට ඇතුලුවීමට මාර්ග විවරවන බවත්ය.

මා සිතන්නේ වසර ගණනාවන් මුලුල්ලේ ඉංදියාවේ රාජස්ථානයේ වාර්ශිකව පවත්වන ජායිපූර් සාහිත්‍යය උත්සවයෙන් බොහෝ දුරට සිදුවන්නේ මෙයයි. මේ මූලික වශයෙන් සාහිත්‍ය පිළිබඳ සාරවත් කතාබහට සහභාගීවීමට හා ඇහුම්කම්දීමට මූල්‍ය පදනමකින් තොරව කැමති ඕනෑම අයෙකුට අවකාශ විවරකරදීමකි. මාගේ වැටහීම නම්, මීට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් සරණයෑම නිසා ලංකාවේ ගාල්ල සාහිත්‍යය උත්සවය මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බවයි.

අවංක හා ප්‍රමාණික උනන්දුවක් තිබේ නම්, දැනට ඉන්දියාවේ මාගේ ස්ථානගතවීම කරණකොටගෙන මේ සම්බන්ධයෙන් යම් අකාරයක සහයක් මට ද දියහැකියැයි මම විශ්වාස කරමි. මා සිතන්නේ එක් සන්ධ්‍යාවකට මෙවන් සභාවක සාමාන්‍යයෙන් කිවයුතු ප්‍රමාණයටත් වඩා වැඩි යමක් මේ වන විටත් මා පවසා ඇති බවයි. මාගේ ස්ථාවරය ඔබ සැමට පැහැදිලි බව මගේ විශ්වාසයයි. ඒ අදහස් සමග ඇතැමුන් එකගවන්නේද නැද්ද යන්න අවශේෂ කාරණයකි.

Photo credit: Nilufer Gadgieva

Total
6
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම: ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න

දීපක් නයියර් – ආර්ථිකවිද්‍යාව පිලිබඳ සේවාසම්මානිත මහාචාර්යජවහර්ලාල් විශ්වවිද්‍යාලය පරිවර්තනය:අනුෂ්කා කහඳගමගේදකුණු ආසියානු විශ්වවිද්‍යාලය (තත්කාලීනව විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන ප්‍රචණ්ඩත්වය, ඉන්දියාවේ ප්‍රභල දේශපාලනික වාදවිෂයක් බවට පත්ව තිබේ. මේ ප්‍රචණ්ඩත්වයේ එක් අරමුණක් වී ඇත්තේ එකී ආයතන තුළ සාම්ප්‍රදායිකව සිදු වූ විචාරශීලි කතිකාව හා දේශපාලනික විවේචනය පාලනය කිරීමය. එනමුත් මේ තත්වය සමස්ථ දකුණු ආසියාතික කළාපයටම පොදු තත්වයක් වන අතර, යම් මට්ටම්වලින් ඉන් බැහැර ප්‍රදේශවලද දැකගත හැක. දැනට ඉන්දියාවේ සරසවි තුළ සිදුවන ශිෂ්‍ය මර්දනය පෙන්වා දෙන මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට 1

භාෂණයේ අයිතිය සහ නිරාගමිකත්වයේ දේශපාලනය

~ |ගුරුගොඩ සිරිවිමල  හිමි ඉන්දික රත්නායක නැමැත්තකුට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මගින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමන්ගෙන් ඉල්ලා සිටින අවුල් සහගත ලිඛිත ඉල්ලා සිටීමක් මෑතකදී දක්නට ලැබුනි. ඉන්දික රත්නායකට මේ චෝදනාව එල්ල කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන පරිදි, ඔහු “බුදු දහම ජෛන දහමක් යැයි මිත්‍යා මතයක් සමාජගත කිරීමට යත්න දරා ඇති බව” පවසයි. මෙකී අදහස පිළිබඳව මා තුළ විශේෂ අදහසක් හෝ ආකර්ශනයක් නැත. කෙසේ වෙතත්, එම විවාදාපන්න කරුණ ගැන සාකච්ඡාවකට…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කෝවිඩ් 19 මර්ධනය ඩිජිටල් ආඥාදායකත්වයක් කරා ගමන් නොකරන්නට නම් ….

~ පවිත්‍රා  ජයවර්ධන, ජාත්‍යන්තර සබදතා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය ~ ක්‍රිෂාන් සිරිවර්ධන කෝවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා ලොව සෑම රාජ්‍යයක්ම  පාහේ තමන්ට හැකි ආකාරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී තිබේ. මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ජනයාගේ සබඳතා අන්වේක්ෂණය (surveillance)  පහසු කරවන “ලුහුබැඳීම් උපායමාර්ගයි” (tracking strategies). මේ වන පෙනීයන්නේ, ආසාධිත පුද්ගලයන්ගේ ස්පර්ශකයන් සොයා ගොස් හදුනාගෙන, ඔවුන් වේගයෙන් නිරෝධායනය වෙත යොමුකළ රාජ්‍යයන් කෝවිඩ් මර්ධන ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටින බවයි. එලෙස ලුහුබැඳ ගොස් හදුනාගැනීම කුඩා රාජ්‍යයන්ට පහසු වුවත්, ජනගහණය අධික විශාල…
වැඩි විස්තර පරිශීලනයට