සිංහල භාෂා සාහිත්‍ය විෂයක විචාර සංකථන: නිර්මාණකරණය හා විචාරය

~ සරත් විජේසූරිය, සිංහල අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ විශ්ව විද්‍යාල‍යේ  සිංහල අංශය මගින් සංවිධානය කරන 2022  වාර්ෂික පර්යේෂණ සැසියට අදාළ කරගෙන තිබෙන විෂය ක්ෂේත්‍ර සතරින් එකක් වන ‘සාහිත්‍ය නිර්මාණය හා විචාරය’ යන්න පදනම් කරගෙනයි මා මේ දේශනය පැවැත්වීමට අදහස් කළේ. සෑහෙන කාලයක සිට නිර්මාණකරණයේ ද, ඊට සමාන කාලයක් තිස්සේ සාහිත්‍ය විචාරයේ ද නිරතව සිටින කෙනකු ලෙස මගේ අදහස් කීපයක් ඉදිරිපත් කරන්නයි මං කල්පනා කරන්නේ. නිර්මාණකරුවා සහ විචාරකයා අතර ‘සාධනීය හා යහපත්’ සම්බන්ධතාවක් නැති බැවින් නිර්මාණය ‍සේ ම විචාරය දුබල තලයක පවතින්නේ ය යන කාරණයයි මා සාකච්ඡා කිරීමට අ‍පේක්ෂා කරන්නේ. ම‍ගේ අදහස් දැක්වීම තුළ ඉදිරිපත් වන යම් යම් වි‍වේචන මටත් අදාළ බව ද මුළින්ම කියන්න කැමතියි.

මෙහිදී  මා ගොඩ නඟන ප්‍රවාදය වන්නේ ලංකාවේ සාහිත්‍ය නිර්මාණය හා විචාරය යන උභය කාර්යය ම කාලයක සිට හුදෙකලාව, අසරණව, එක විදිහකට “අයාලේ යන”  තත්වයක තිබෙන්නේය යන්නයි.

ප්‍රථමයෙන් ම ‘නූතන සාහිත්‍ය විචාරය’  ලංකාවේ වැඩී වර්ධනය වූ අන්දම සම්බන්ධ නිරීක්ෂණ කිහිපයක් දක්වන්න කැමතියි.

නූතන සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් න්‍යායික මැදිහත්වීමක් ලෙසින් අපට මුළින්ම හඳුනාගන්නට ලැබෙන්නේ, ‘සාහිත්‍යය හා සමාජය’ මැයෙන් කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන් 1940 දී රචනා කොට පළ කළ, පසුව තව දුරටත් සංස්කරණය කළ කෘතියයි. මේ කෘතියෙන් මතු කරන විචාර දෘෂ්ටිය වන්නේ පසු කලක මහාචාර්ය ඒ.වී සුරවීර සමාජයීය සාහිත්‍ය විචාර විධික්‍රමය යනු‍වෙන් වර්ධනය කරන්නට ප්‍රයත්න දැරූ විචාර මාර්ගයයි. එදා උන් වහන්සේ ඉදිරිපත් කළ මූලික විග්‍රහයන් දෙකක්  තිබුණි.

01. “සාහිත්‍යය නිශ්චල දෙයක් නොවේ. එය සචල දෙයකි. එහි ස්වරූපය වෙනස් වේ. විශාල වේ. දේශ කාල අනුව පෙරළීම එහි ස්වභාවය වේ. ඊයේ තෙක් පැවති සාහිත්‍යය අදට නොගැළපේ….සමාජය පෙරළෙන විට සාහිත්‍යය ද පෙරළේ. එහිලා පරිවර්තනය වන්නේ සාහිත්‍යය නොව සාහිත්යිකරුචිය යි රුචිය පෙරළෙත් ම එයට අයත් විෂයයන්  අතර ද ‍පෙරළි හටගනී. ඇතැම් විෂය‍යෝ පහව යෙති. අමුතු විෂයයෝ වැද ගනිති” (සාහිත්යික විෂය 06 පිටුව).

02.”මානවතාව අද සාහිත්‍යයෙහි විෂය වේ. මුළු මනුෂ්‍යජීවනයම නිඛිල ජනසමාජයම මෙකල සාහිත්‍යයට ගෝචර ය. පෙර මෙන් අද සාහිත්යිකයා රාජසභාවට හෝ පණ්ඩිතසභාවට සීමා වී නැත. හේ අද සාමාජිකයෙකි. පොදු මිනිසෙකි. පෙර විසූ ඇතැම් කවීන් මෙන් ව්‍යක්තිවාදය – ස්වකීය පෞද්ගලික හැඟීම් – නිසා මනෝරාජ්‍යයෙහි සැරි සැරීම ඔහුගේ කාර්යය නොවේ. ජීවිතසංග්‍රාමයෙහි ඔහු විසිනුදු කළ හැකි විශාල සේවයක් තිබේ. එය වෙන කිසිවකු විසිනුත් පිරිමැසිය නොහැකිය” (ලේඛකයකුගේ වගකීම 16 පිටුව).

පඤ්ඤාකිත්ති හිමියන් යෝජනා කර තිබෙන්නේ සාහිත්‍ය කෘතිය එය පහළ වූ සමාජය මත තබා තක්සේරු කළ යුතු ය යන්නයි.

නූතන සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් දෙවෙනි න්‍යායික මැදිහත්වීම ලෙසින් හඳුනාගන්නට ලැබෙන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර විසින්1951 දී රචනා කොට පළ කළ, පසුව තව දුරටත් සංස්කරණය කළ “සිංහල නවකථා ඉතිහාසය හා විචාරය” නමැතිකෘතියයි. සරච්චන්ද්‍රයන් වර්ධනය කළ විචාර විධික්‍රමය වන්නේ සාහිත්‍ය කලාවේ වැදගත්ම අංශය වන්නේ, ‘මනුෂ්‍ය ජීවිතය හා මනුෂ්‍ය සම්බන්ධතා නිරූපණය කිරීම’ යන්නයි. ඔහු යෝජනා කරමින් තහවුරු කරන්නට යෙදුණේ කෘතියක නිරූපිත චරිත ඔස්සේ ‘මනුෂ්‍ය ජීවිතය’ සම්බන්ධ විවරණය සලකා බැලීම යි. ඔහු සිය විචාර දෘෂ්ටිය ඉදිරිපත් කරමින් අදහස් තුනක් එම කෘති‍යෙන් දක්වයි:

01. “සාහිත්‍යය ජීවිතයට වඩා ළං විය යුතු යයි ද ජීවිතය විවරණය කිරීම, ජීවිතය පිළිබිඹු කිරීම ආදිය සාහිත්‍යයේ පරමාර්ථය විය යුතු යයි ද විද්වතුන් විසින් පිළිගනු ලැබී ය…..කථාවකින් ලැබෙන ආස්වාදය තියුණු වීමට නම්, ජීවිත කාර්යය සඳහා එයින් ලැබෙන ප්‍රයෝජනය විපුලතර වීමට නම්, එයින් ඇති වන සහෘද කම්පාව ගැඹුරු වීමට නම්, එය හැකිතාක් විශ්වසනීය විය යුතු  ය; එය ජීවිත සුවඳ හමන්නක් විය යුතු ය; එය ජීවන පුස්තකයෙන් ගත් පත් ඉරුවක් සේ විය යුතු ය, යන අදහස බහුල ව ප්‍රචලිත විය” (සිිංහල නවකථා ඉතිහාසය හා විචාරය – 04 පිටුව).

02. කල්පිත කථා සම්ප්‍රදායේ වර්තමාන සංවර්ධනය සිදු වූයේ අපරදිග සාහිත්‍යයන්හි හෙයින්, අපරදිග රසාස්වාදන ක්‍රම සසදා බැලීම වටනා බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. ඒ අතරම, නවකථාවේ නියම රසය හඳුනා ගැනීම සඳහා බටහිර සාහිත්‍යයන්හි පහළ වූ ශ්‍රේෂ්ඨ නවකථා ඒ ඒ භාෂාවලින් හෝ නැතහොත් සිංහලයට කරන ලද පරිවර්තනවල මාර්ගයෙන් හෝ මැනවින් පරිශීලනය කිරීම අත්‍යවශ්‍ය බව ද කිය යුතුය. එබඳු තුලනාත්මක දැනීමක් නැත්තවුන්ට, මේ කෘතියෙහි කරන ලද විවේචන ආදිය අත්තනෝමතික ව බැස ගන්නා ලද තීරණ සේ පෙනෙන්නට පුළුවන. මෙහි එන තීරණවලට තුඩු දුන් කරුණු නොදන්නා තැනැත්තා ඒවා පක්ෂ භජනයකින් කරන ලද තීරණ යයි සැලකීම පුදුමයක් නොවේ” (සිිංහල නවකථා ඉතිහාසය හා විචාරය – 04 පිටුව).

03. “විශ්ව සාහිත්‍යයෙහි මිම්ම ය මෙකල සාර්වත්‍රික වශයෙන් පිළිගනු ලබන්නේ. කිසියම් දේශීය සීමාවක් ඇතුළත සාමාන්‍ය පාඨකයන්ගේ රුචිය විවිධාකාර විය හැකි වුව ද, විචාරවත් පාඨකයන්ගේ රුචිය ලොව පුරා සම තත්වයක පවතී….එහෙයින්, කවර බසකින් වුව ද මෙකල නිර්මාණය කරන ලද සාහිත්‍යය මිනිය යුත්තේ දේශීය මිම්මකින් නොව විශ්ව සම්මත සාර්වත්‍රික මිම්කිනි” (සිිංහල නවකථා ඉතිහාසය හා විචාරය – 04 පිටුව).

සරච්චන්ද්‍ර විචාර න්‍යායක් ඉදිරිපත් කළා පමණක් ‍නොව, නූතන නිර්මාණ සාහිත්‍ය කෘති විග්‍රහ කිරීම – විචාරයට ලක් කිරීම හා ප්‍රමාණ කිරීම ද සිදු ක‍නළේ ය. එදා මෙදාතුර අවධානයට ලක්වන සිංහල ප්‍රබන්ධ කතා සරච්චන්ද්‍ර ප්‍රමාණ කළ ඒවා බව පැහැදිලි ය. ඔහගේ විචාර ප්‍රවේශය අභිභවාලන හෝ සම තත්වයේ සිටින විචාර ප්‍රවේශයක් සාධනීය මට්ටමකින් ගොඩ නැඟුණේ නැති බව පෙනේ. අකල් වැසි සේ සරච්චන්ද්‍ර හෙළා දැකීම් නම් සුලභව දක්නට ඇත. සිංහල සාහිත්‍ය නිර්මාණ ප්‍රමාණ කිරීම හෝ විචාරයට ලක් කිරීම විෂයෙහි එදා මෙදා  තුර දැන හෝ නොදැන ඉවහල් කර ගැනෙනුයේ ද සරච්චන්ද්‍ර පෙන්වා දුන් විචාර සිද්ධාන්ත වන්නේ ය.

සරච්චන්ද්‍රට සමගාමීව නූතන සාහිත්‍ය විචාරයේ යෙදුණ ප්‍රධාන විචාරකයා වන්නේ මාර්ටින් වික්‍රමසිංහ ය. වික්‍රමසිංහගේ නිර්මාණ නියමාකාරව ප්‍රමාණ කිරීම හා විචාරයට ලක් කිරීම කරන ලද්දේ සරච්චන්ද්‍ර විසිනි. එනමුත් පසු කලක සරච්චන්ද්‍ර විචාර විධික්‍රමවලට වික්‍රමසිංහ එරෙහි විය. එරෙහි වූවා පමණක් නොව අභියෝග ද කරන තත්වයකට පත් විය. එහි සොබාවය වික්‍රමසිංහගේ ‘නවකථාංග හා විරාගය (1965)  කෘති‍යෙන් හා ‘ජපන් කාම කථා සෙවණැල්ල’ (1969) යන කෘතියෙන් හඳුනා ගන්නට හැකි ය.

ගුණදාස අමර‍සේකරගේ නිර්මාණ අගය කිරීම හා ප්‍රමාණ කිරීම හා විචාරයට ලක් කිරීම සිදු කරන ලද්දේ ද සරච්චන්ද්‍ර විසිනි. පසුකලක යම් ප්‍රමාණයකට වික්‍රමසිංහට අනුගත වෙමින් අමරසේකර ද සරච්චන්ද්‍රගේ විචාර විධික්‍රමවලට අභියෝග කරන්නට විය. ඔහුගේ විවේචනය විධිමත්ව ඉදිරිපත් කෙරුණේ ‘අබුද්දස්ස යුගයක්’ (1976) කෘතියෙනි.

සරච්චන්ද්‍රගේ විචාර ක්‍රමය හෙවත් ඔහු නිර්මාණ ප්‍රමාණ කිරීම ගැන නොසතුට පළ කළ තවත් දෙදෙනෙක් වෙති. ඉන් එක් අයෙක් වන්නේ ජී.බී. සේනානායක ය. අනෙක් තැනැත්තා සිරි ගුණසිංහ ය.  මේ නොසතුට සඳහා ඉවහල් වී තිබෙන්නේ වැදගත් ශාස්ත්‍රීය කරුණු කාරණ නොව අතිශය පෞද්ගලික හේතු සාධක බව කුප්‍රකට ය. ඒ සම්බන්ධ මෙහිදී කිසිවක් කියන්න අපේක්ෂා නොකරමි.

මෙහිදී තවත් කරුණක් කෙටියෙන් පවසනු කැමැත්තෙමි. එය නම්, සරච්චන්ද්‍ර නමැති නිර්මාණකරුවාගේ නිර්මාණ ප්‍රමාණ කිරීම විධිමත්ව විචාරකයෙකු වශයෙන් සිදු කළ තැනැත්තෙකු ද නූතන සිංහල සාහිත්‍ය කලා විචාරයට යම් ආලෝකයක් ලබා දුන් බවයි. ඔහු රෙජී සිරිවර්ධන නැමැත්තා ය. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ලේඛන ලියූ කෙනෙකු බැවින් සිංහල පාඨක සමාජය තුළ අඩු අවධානයකට ලක් වූවෙකි. අවධාරණයෙන් කිව යුත්තේ ඔහු ද අනුදත් විචාර විධි ක්‍රමය “විශ්ව සම්මත මිණුම් දණ්ඩ” යන්න බවයි.

සරච්චන්ද්‍ර නූතන සිංහල සාහිත්‍ය විචාරයෙන් දුරස්ථ වීමෙන් අනතුරුව ඔහුගේ විචාර විධික්‍රමවලට අභියෝග කළ තිදෙනෙක් වෙති. ඒ. වී. සුරවීර, සුචරිත ගම්ලත් සහ පියසීලී විජේගුණසිංහ ඒ තිදෙනා වෙති.

ඒ.වී. සුරවීර කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව එහි සාහිත්‍ය කලා ක්ෂේත්‍රය පිළිගත් ‘ස්ටැලින්වාදී චින්තනය’ සාහිත්‍ය කියවීමට හා ප්‍රමාණ කිරීමට ඉවහල් කර ගත්තේ ය. ඔහු සිය විචාර රීතිය ලෙසින් පෙන්වා දෙන්නට යෙදුණේ ‘සමාජසත්තා යථාර්ථවාදය’ යි. මේ සම්බන්ධයෙන් ලිපි ලේඛන පමණක් නොව ඒ ක්ෂේත්‍ර‍යෙහි චින්තකයන්ගේ රචනා ද – කෘති ද ඔහු විසින් සිංහලයට නඟන ලදී.

සුචරිත ගම්ලත් සහ පියසීලී විජේගුණසිංහ යන දෙදෙනා නිල වශයෙන් හා නොනිල වශයෙන් ‘කම්කරු මාවත’ නම් දේශපාලන පක්ෂය (පසුව සමාජවාදී සමානාත්මතා පක්ෂය) නියෝජනය කළ අය වෙති. ඔවුන් ගුරු කොට ගත්තේ ට්‍රොස්කිවාදය යි. මේ දෙදෙනා සරච්චන්ද්‍ර හැඳින්වූ‍යේ ‘විඥානවාදි‍යෙකු’ ‍ලෙසිනි. ‍මේ ‍දෙන්නා මාක්ස්වාදී ප්‍ර‍වේශයකින් සාහිත්‍ය කලා නිර්මාණ ප්‍රමාණ කිරීමට ප්‍රෝත්සාහී වුව, ඔවුන් සාහිත්‍ය කෘතියක් – කලා කෘතියක්, ආස්වාදනය කර තිබෙන අන්දම සියුම්ව විමර්ශනය කර බලන විට පෙනී යන්නේ සරච්චන්ද්‍ර අනුදත් ‘විශ්ව සම්මත මිණුම් දණ්ඩ’  ඔවුන් ද භාවිතයට ගෙන තිබෙන බව ය. උත්ප්‍රසාය නම් පසුකලක සුචරිත ගම්ලත් විසින් පියසීලී විජේගුණසිංහගේ විචාර විධික්‍රම දරුණු ලෙස විවේචනය කරන්නෙකු වීම ය. පියසීලී විජේගුණසිංහ ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පසුබට වූයේ නැත. මේ දෙදරීමට අදාළ වූයේ සුචරිත ගම්ලත් විසින් ‘සරච්චන්ද්‍රභිනන්දන’ මැයෙන් සිදු කළ දේශනයෙන් අනතුරුව නිල වශයෙන් ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීම ය.

මා මෙහිදී පෙන්වා දෙන්නට උත්සාහ කළේ සාහිත්‍ය විචාරයේ පුරෝගාමී චරිත විදහා පෑ අර්බුදය ශාස්ත්‍රීය කාරණා ම පදනම් කර නොගත් බව හා ඊට අදාළ වී තිබෙන්නේ පෞද්ගලික කාරණා බවයි.

නූතන නිර්මාණ සාහිත්‍යයේ ප්‍රධාන භූමිකා හිමි කරගත් චරිත අතර, මාර්ටින් වික්‍රමසිංහ,  ජී.බී. සේනානායක, ගුණදාස අමරසේකර සහ කේ. ජයතිලක කැපී පෙනේ. මේ සිව් දෙනාම ශාස්ත්‍රාලයීය පසුබිමකින් මතු වූවෝ නොවෙති. අමරසේකර ‘සරච්චන්ද්‍ර යුග‍යේ’ ‍ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ   සිටි කෙනෙකු වුව ඔහු හැදෑරු‍වේ  දන්ත  වෛද්‍ය විද්‍යාව යි.

‍මේ හැම ‍කෙ‍නෙකුගේම  මුල් කාලීන කෘති ප්‍රමාණ කළේ හා විචාරයට ලක් කළේ සරච්චන්ද්‍රයි.   සැබවින්ම මොවුන් නූතන සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිසි තන්හි අසුන් ගන්වන ලද්දේ සරච්චන්ද්‍රයි. මේ නිර්මාණකරුවන් සරච්චන්ද්‍ර විචාර විධික්‍රම පසු කලක ප්‍රතික්ෂේප කිරීමට පෙළඹුණ ද, ගුණදාස අමරසේකර පමණි සිය නිර්මාණ සම්බන්ධ සරච්චන්ද්‍රගේ ප්‍රමාණ කිරීම් විවෘතව ප්‍රතික්ෂේප කළේ. කේ. ජයතිලක සරච්චන්ද්‍රගේ විචාර විධික්‍රමවලට අභියෝග කළේ නැත. ඔහු ජනතා ලේඛක පෙරමුණ නියෝජනය කරමින් මැදහත් තැනක සිටියේ ය.

මාක්ස්වාදී විචාර විධික්‍රමයක පිහිටා සාහිත්‍ය කෘති ප්‍රමාණ කිරීමේ යෙදුණ සුචරිත ගම්ලත් සහ පියසීලී විජේගුණසිංහ යන දෙදෙනා ද ඉමහත් අවධානයෙන් අගය කළ නූතන සිංහල සාහිත්‍ය නිර්මාණ අතර ඉහළින්ම තිබෙන්නේ සරච්චන්ද්‍ර ප්‍රමාණ කළ වික්‍රමසිංහ සහ ගුණදාස අමරසේකරගේ නිර්මාණ බව ද මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි.

අමරසේකරගේ ප්‍රතික්ෂේප කිරීම හා මාක්ස්වාදීන්ගේ පිළිගැනීම පවසන්නේ කුමක් ද?

හැම නිර්මාණකරුවෙකුටම තමන්ගේ නිර්මාණය ඉහළයි. සොබාවයෙන් එහි ගුණ මිස දොස් දකින්න බොහෝ අය තුළ කැමැත්තක් ද නැහැ. එහි එදා සහ අද කියා වෙනසකුත් නැති බව පෙනී යනවා. මේ දුර්වල මානසික තත්වය නිසා සාහිත්‍ය කලා විචාරය  නිර්මාණකරණයේ අභිවෘද්ධිය හා පාඨකයාගේ වින්දන චින්තන ශක්තිය දියුණු කිරීමේ අරමුණින් විවෘත අවකාශයක වැඩී වර්ධනය නොවුණ බව මගේ නිරීක්ෂණයකි.

අද වන විට නිල වශයෙන් පෙනී සිටින කැපවුණ විචාරකයින් සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නැති තරම් ය. හැම ‍දෙනාම විචාරකයන් වී සිටින තත්වයකි විද්‍යාමාන වන්නේ. නිර්මාණකරුවන් කිහිප දෙනෙකු සාධනීය ප්‍රයත්න දරතත් ඒවා පාඨකයා අතර හෝ නිර්මාණකරුවන් අතර නියමාකාර කථිකාවන් ගොඩ නඟන තත්වයක් නැත. ශාස්ත්‍රාලයීය උගතුන්ට සාහිත්‍ය කලා විචාරය වැඩ බිමක් නොවී තිබෙන අතර ඔවුන් ද පිටස්තරයන්ගේ අදහස් හා මතිභ්‍රම මතින් යැපෙන තත්වයක් ද නැත්තේ නොවේ. විචාරකයාගේ භූමිකාව පවතින්නේ පදනමක් නැති තත්වයක බව පැහැදිලි කාරණාවකි.

සාහිත්‍ය කෘති  විචාරය සහ විනිශ්චය යන උභය කාර්යයෙහිම නිමග්න අය ඒ ඒ කටයුතුවලට කවර සුදුසුකම් සපුරා තිබේ ද?, යන්න නිතර මතුවන ප්‍රශ්නයක්. වත්ම‍නේ ලංකා‍වේ පූර්ණ  කාලීන නිර්මාණකරුවන් ලෙස සැලකිය හැකි පිරිසක් සිටියත්, පූර්ණ කාලීන විචාරකයන් ලෙස සඳහන් කළ හැකි පිරිසක් නැහැ. ඊට එක හේතුවක් වන්නේ විචාර කලාව වෘත්තීය මට්ටමක නොපැවතීමයි. එය වෘත්තීය මට්ටමකින් ඉහළට ඔසවා තබා ගත යුත්තේ ශාස්ත්‍රාලයීය උගතුන්. ශාස්ත්‍රාලයීය උගතුන් එය සාධනීය මට්ටමකින් සිදු නොකරන බැවින් විචාර ක්ෂේත්‍රයට අවතීර්ණව නෙක හරඹ පාන්නේ සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය විධිමත්ව හදාරා නැති පිටස්තරයන්. වරින් වර ඔවුන් මතු වී නැති වී යනවා. ඒ අයගෙන් වැඩි දෙනෙක් නූතනවාදී අදහස් දන්නා කියන අය හෝ ඒවා අසා දැනගත් අය විය හැකියි. වැඩි දෙනෙක් වැඩ පටන් ගන්නේම සරච්චන්ද්‍ර හෙළා දැකීමකින්. නූතන සිංහල සාහිත්‍ය නිර්මාණ ප්‍රමාණ කිරීමට කැපවුණ කාර්යභාරයක් සිදු කළ සරච්චන්ද්‍ර සාහිත්‍ය විචාරයේ අපරාධකාරයෙකු වීම එක අතකින් ශෝචනීයයි, තවත් අතකින් නාටකීය යි.

ඇතැම් සාහිත්‍ය කලා නිර්මාණ සම්බන්ධ සාකච්ඡාවලදී ප්‍රකාශ වුණ අදහස් කීපයකි මේ:

“…මෙහිදී මා අදහස් දක්වන්නේ විචාරකයෙකු වශයෙන් නොවෙයි, මං විචාරකයෙක් නෙමේ…..”

“…..මම සාහිත්‍යකරු‍වෙක් වත් විචාරක‍යෙක්වත් නොවයි, සංවිධායකයින් මට ආරාධනා කළේ කැමති දෙයක් කථා කරන්න කියලා. අනික මට මේ පොත ලැබුණෙ ගිය සතියෙ. මට සම්පූර්ණයෙන්ම කියවා ගන්න බැරි වුණා. ඒත් මට කියන්න පුළුවන් පැහැදිලිවම මේක තමයි සිංහල නවකථාවේ මෙතෙක් කල් කිිසිවෙකුත් නොලියූ කතාව බව නම්…”

“…මම මේ කෘතිය කියවලා ඇත්තටම අසනීප වුණා. ඒ තරම් කම්පනයක් මා තුළ ඇති කළ කෘතියක්…..”

“……මම මෙච්චර කාලයක් හිතා හිටියෙ අපේ රටේ කෆ්කා අජිත් තිලකසේන කියලා. අද තමයි මට කෆ්කා ඇත්තටම හම්බ වුණේ…..”

මේ වගේ වැකි ලිඛිතව පුවත්පත් වලත්, අන්තර්ජාලයේත් අප්‍රමාණයි. මේ අද විචාර කාර්යය නම්, නිර්මාණකරණයට මේ විචාරය සලසන සෙත කුමක් ද?

මෙහිදී මා අවධාරණය කර සිටින්නේ වත්ම‍නේ සාහිත්‍ය කලා විචාරය වැදගත් ශාස්ත්‍රීය පදනමක නැති බව යි. පෞද්ගලික ආකල්ප මත – හිතවත්කම් මත සිදු කරන නන්දෙඩවිලි හා ප්‍රශස්ති වැඩි‍යෙන් දක්නට තිබෙන බවයි. ඊට අදාළ පසුබිම ශාස්ත්‍රාලයීය ශික්ෂණය සම්බන්ධ ‍ඛේදය යි. විදේශ පුහුණුවක් නොලද – නූතන ඥානය ශාස්ත්‍රීය වශයෙන් උරුම කර නොගත් අයෙකුට විචාර ක්ෂේත්‍රයේ නොව වෙනත් මානව ශාස්ත්‍ර විෂයක ද ප්‍රමාණිකයෙකු විය නොහැකි බව අප නිහතමානීව පිළිගත යුතුව ඇත. වික්‍රමසිංහ – අමරසේකර වැනි නිර්මාණකරුවන් සතුවූ ද්විභාෂික කුසලතාව නිසා ඔවුන් නිර්මාණකරණයේ නිමග්න වීමට ‘පිටතින් ආලෝකයක්’ ලබන්නට සමත් වූ බව පැහැදිලි ය. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන නිර්මාණකරුවන් බහුතරයට ‘පිටතින් ආලෝකයක්’ ලබන්නට අපහසු බැවින් නිර්මාණ සාහිත්‍යය තුළ දීප්තිමත් කෘති පහළ නොවන්නාසේ ය. 

ම‍ගේ ඊළඟ ප්‍රවාදය නම් නූතන සිංහල සාහිත්‍ය නිර්මාණය; නිර්මාණකරුවන් සහ සාහිත්‍ය විචාරය අශාස්ත්‍රීය සහ කණගාටුදායක පසුගාමී තත්වයක් මුල් අවධියේ සිටම විශද කරන බව යි. කාලය ගැන සලකා මේ කරුණ මම එක් සාහිත්‍යධරයෙකු ඔස්සේ විවරණය කර දැක්වීමට කැමැත්තෙමි. ඒ සඳහා ඉවහල් කර ගන්නේ  ජී.බී සේනානායක නමැති නිර්මාණකරුවා හා විචාරකයා යි.

සාහිත්‍යකරුවා හා විචාරකයා අතර ගැටුමට අදාළ එක් කරුණක් පාදක කරගෙනයි මා සේනානායක හරහා මගේ විග්‍රහය ඉදිරිපත් කරන්නේ.

නූතන සිංහල කවිය සහ ‍කෙටි කතාව යන සාහිත්‍යාංග ‍දෙක කලාත්මක සන්දර්භයක් තුළ ගොඩ නැඟීමට සේනානායක වැදගත් මෙන්ම පුරෝගාමී කාර්යයක් නිර්මාණකරුවෙකු ලෙසින් සිදු කළ බව ප්‍රකට කාරණාවක්. නවකථාව විෂයෙහි කෙසේ වෙතත් කෙටි කතාව සහ කවිය යන සාහිත්‍යාංග දෙක සම්බන්ධයෙන් අදටත් සේනානායක සාහිත්‍ය සම්භාෂණයෙන් වියුක්තවෙලා නැහැ.

ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයක් නොලැබුවත් ද්විභාෂික උගතෙකු වශයෙන් ලෝක සාහිත්‍යය පරිශීලනය කිරීමට තිබුණ සමත්කම නිසා ඔහු සාහිත්‍ය කලාව සම්බන්ධ දැනුමක් ද අපට ප්‍රදානය කළා. ඔහු එහිදී විචාරකයෙකුගේ භූමිකාවක් නිරූපණය නොකළ බව මගේ අදහසයි.  ( “නවකථා කලාව” – 1946), ( “බටහිර ශ්‍රේෂ්ඨ නවකථා” – 1955), ( “සාහිත්‍ය සේසත්” – 1957)” විචාර ප්‍රවේශය – 1960),  ( “සාහිත්‍ය විග්‍රහය” -1961)-  “සාහිත්‍ය ධර්මතාව” – 1963)   යන කෘති  ඔහුගේ සාහිත්‍ය ඥානය පළ කරන කෘතියි. මේ සෑම කෘතියකින්ම ඔහු උත්සාහ කරන්නේ ලෝක සාහිත්‍යය ගැන ඔහුගේ වින්දනය ‘දැනුමක්’ ලෙස ඉදිරිපත් කිරීමටයි.  කිසියම් අරමුණකින් ඔහු එය කළත් විචාරකයාගේ භූමිකාවට ඔහු ප්‍රවේශ වන්නේ නැහැ. ඊට අදාළ මතයක ඔහු පිහිටා සිටි කෙනෙක් බවයි පෙනී යන්නේ.

නිර්මාණකරුවා සහ විචාරකයා යනු ‍දෙන්නෙක් ද? ‍මේ භූමිකා ‍දෙකම එක් අ‍යෙකුට නි‍හයෝජනය කළ නොහැකි ද? විචාරකයා අතර පැවතිය යුත්තේ කවරාකාර සම්බන්ධතාවක් ද? විචාරකයා යනු නිර්මාණකරුවාගේ මිතුරෙක් ද? නැතිනම් සතුරෙක් ද?

 මේ ගැන සේනානායකගේ මතය දක්වන්න කැමතියි. විචාරකයාගේ කාර්යය යනු “කෘතියක් අගය කිරීම” යන්න සේනානායකගේ මතය යි. තවත් අවස්ථාවක විචාරයේ මූලික කාර්යය ‘ගුණ දොස් දැකීම’ බව ද ඔහු පවසනවා. ඔහු අවධාරණය කරන්නේ, “අගය කිරීම ‍හෝ ගුණ‍දොස් දැක්වීම නිර්මාණකරුවෙකු විසින් නොකළ යුත්තක්” බවයි. මේ ඔහුගේ අදහස.

“විශේෂයෙන් ම මා කිව යුතු එක් කාරණයක් තිබෙනවා. එනම් මගේ සමකාලීන ලේඛකයන්ගේ පොත්වල ගුණ දොස් නොසෙවීම මගේ ප්‍රතිපත්තියක් බවයි. මා සාහිත්‍යය ගැන කතා කරන්නේ පොදුවේයි. පොත් ගැන ගුණ දොස් කිව යුත්තේ විචාරකයා විසිනුයි. එය විශේෂ කාරණයක්….” (වියතුන් සබා මැද – 72 පිටුව).

සේනානායක සිය මතය සාධාරණීකරණය කරන්නේ මෙලෙසින්:

“මා පෙන්වා දෙන්න කැමතියි, සමර්සෙට් මෝම් නමැති ඉංග්‍රීසි ලේඛකයාගේ A Writer’s Note Book ලේඛකයෙකුගේ සටහන් පොත, නැමැති පොතේ එන කරුණු කීපයක්.

“සමර්සෙට් මෝම් ඉංග්‍රීසි ලේඛකයකු නිසා එංගලන්තයේ සාහිත්‍ය ලෝකය පිළිබඳ ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. එමෙන්ම දීර්ඝ කාලයක් ප්‍රංශයේ විසූ නිසා ප්‍රංශයේ සමකාලීන සාහිත්‍ය ලෝකය පිළිබඳ ඉතාම හොඳ අවබෝධයකුත් ඔහුට තිබුණා. මේ පොතේ දෙරටේ ම සාහිත්‍ය ලෝක පිළිබඳ ඉතා තියුණු විග්‍රහයක් කර තිබෙනවා. එහි කියා තිබෙනවා, සමකාලීන ඉංග්‍රීසි ලේඛකයන්ගේ නවකතා විවේචනය කිරීම පමණක් නොව නොකියවීමත් නවකතාකාරයන්ගේ සිරිතක් වග. ඔවුන් හමු වී කතා බස් කිරීමේ සිරිතකුත් නැහැ. එක ලේඛකයෙකුට තව ලේඛකයෙකු හමු වන්නේ ඉතා කලාතුරකින්. එයත් බොහෝ විට මහ පාරේදී යි. මීට හේතුව වශයෙන් ඔහු දක්වා තිබෙන්නේ කීර්තියට හෝ මුදල් හම්බ කිරීමට හෝ තියුණු තරඟයක් නොතිබීම යි. එය නොතිබෙන්න හේතුව එංගලන්තයේ හැරෙන්නට ඉංග්‍රීසි පොත පතට කැනඩාව ඇමරිකාව යනාදි රටවලත් පැරණි  පැරණි ඉංග්‍රීසි යටත් විජිත ආදියේත් විශාල වශයෙන් පාඨක පිරිසක් සිටීම යි. ප්‍රංශයේ තත්වය මීට වෙනස්. ඊට හේතුව ප්‍රංශ භාෂාවෙන් ලියන පොත පත ඉංග්‍රීසියෙන් ලියන පොත පත තරම් නොවිකිණීමයි. ඔවුනොවුන් කුළල් කා ගන්නවා. කල්ලි හැදෙනවා. කල්ලි හැදිලා තම තමන්ගේ පිට කසා ගන්නවා. ඒ කියන්නේ එකා අනෙකා ප්‍රශංසා කරනවා. ලේඛකයෙකුගේ ඉතාම හොඳ මිත්‍ර ලේඛකයා පිටු පසින් ඇවිත් පිහියෙන් ඇන්නොත් එය ප්‍රංශයේ පුදුමයට කාරණයක් නොවෙයි. සමර් සෙට් මෝම්ගේ පොතේ කරුණු මං කියෙව්වෙ මීට අවුරුදු බොහෝ ගණනකට ඉස්සරයි. ප්‍රංශයේ තත්වය මේ රටේත් ඇති වී යන බව ගුරුකුල භේද නිසා මා දුටුවා. නමුත් මේ අප්‍රසන්න තත්වය එකල පේරාදෙණියේ ගුරුකුලය මෙන් ඉහළම තත්වයකට නැඟ ව්‍යාප්ත වූයේ නැහැ. නමුත් දැන් වාසනාවකට දෝ මේ කුළල් කා ගැනීම් අඩුයි. එයට හේතු වශයෙන් මා හිතන්නේ සාහිත්‍යය ඉතාම කණගාටුදායක තත්වයකට පත්ව තිබීමයි. දැන් පොරකාලා කුළල් කාගෙන බෙදා ගන්න දෙයක් සාහිත්‍යයේ නැහැ….” (වියතුන් සබා මැද 73 පිටුව).

සේනානායක මේ අදහස් පළ කර තිබෙන්නේ 1979 වසරේදියි. දෑස් නොපෙනී හුදෙකලාව සිටි අවධියේ යි. ඇත්ත වශයෙන්ම සමර්සෙට් මෝම්ගේ පොතේ සේනානායක කියන අන්දමේ ම  ප්‍රකාශ නැහැ. සේනානායක යම් යම් කරුණු තමන්ට අවශ්‍ය මට්ටමට ගළපා ගෙන තිබෙන වග පැහැදිලියි.

 ‍සේනානායකට අනුව විචාරකයා යනු නිර්මාණ කාර්යයෙන් වියුක්තව සිටින්නෙකු විය යුතුයි. වෙනත් විදිහකට එය පවසතොත්, ‘විචාරකයා යනු ශාස්ත්‍රඥයෙක්’ විය යුතු ය යනුවෙන් දැක්විය හැකියි. සේනානායක පවසන්නේ ලංකාවේ සාහිත්‍ය විචාරය ප්‍රගුණ කළ ශාස්ත්‍රඥයන් නැති බවයි. සිටින්නේ ‘ගුරුකුළ’ නියෝජනය කරන්නන් බවයි. සේනානායක මේ අදහස් පළ කරන්නේ නූතන සාහිත්‍යයේ ආරම්භක ප්‍රවණතා සිදුවුණ අවධියට අදාළව යි. එදවස ඔහු නිර්මාණකරුවෙකු ලෙස විචාරකයා නොරිස්සූ කෙනෙක්. ඊට හේතුව මට හිතෙන අන්දමට ශාස්ත්‍රීය කරුණක් නොවෙයි. ඒ නිගමනයට එළ‍ඹ‍ෙනු‍යේ ඔහු විචාරකයන් නිසා තමන්ට හානිවූ අන්දම භාවාත්මක අන්දමින් පවසා තිබෙන නිසයි. මේ ඔහුගේ අදහස් කිහිපයක්:

01. “මට පහර දී ලියූ ප්‍රවෘත්ති පත්‍ර ලිපියක් නිසා අම්මා හැඬුවා ය. අම්මාට ඊට පසු එවැනි ම පහරදීම් නිසා බඩගින්නේ ඉන්ට සිදු විය. ඈ ජීවත් වූයේ මා පොත් ලියා නිපදවන ලද ආදායමෙනි. ද්වේෂ සහගත ලෙස ලේඛකයන්ට පහර දෙන සාහිත්‍ය කල්ලියක් තිබිණ. අවුරුදු පහළොවකටත් වැඩි කාලයක් මේ කල්ලිය මට පහර දුන්නේය. මෙයින් මට මහත් හානියක් සිදු විය. මගේ පොත් විකිණීම බොහෝ සෙයින් අඩු වී ගියේ ය. ඒ නිසා මටත් මගේ අම්මාටත් බඩ ගින්නේ ඉන්ට සිදු විය” (විනි විඳිමි අඳුර, 102 පිටුව:  2008).

02. “මගේ අම්මාගේ මරණය හා අවමඟුල පිළිබඳ කරුණු අතීත ජීවිත නමැති අහස අඳුරු කොට වසාගෙන තිබෙන්නේ ය. මගේ සිත ඒ කාලයට ගමන් කරවන කල එය මං මුළා වෙති යි මට හැඟේ. ඊට හේතුව අම්මාගේ මරණය හා අවමඟුල පිළිබඳ ශෝකය ම නොව මා විනාශ කරන්ට වෑයම් කළ මගේ සතුරන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයකි. එක් සාහිත්‍ය කල්ලිය නමැති කණ්ඩායමක් විසින් මට හානිකරන්ට තැත් කළ සැටි මෙහි යට කියා ඇත. ඔව්හු මාත් මගේ අම්මාත් කුස ගින්නේ තැබූහ. එපමණක් නොව මගේ අම්මාට ලෙඩෙහි දී පිළියම් කරන්ට තිබිය යුතු සුළු මුදල වුවත් මට සොයා ගැනීම අපහසු කළහ……” (එම 110 –  111පිටු).

කල්ලියක් සංවිධානාත්මකව තම කෘති විවේචනය කොට තමා ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත් කළේය යන්න සේනානායකගේ මතිභ්‍රමයකි. ඔහු ආර්ථික වශයෙන් අසරණ වන්නේ අතිශය පෞද්ගලික හේතුවක් නිසා ලේක් හවුස් ආයතනයේ රැකියාව අත්හැර දැමීම හේතුවෙනි. එදවස විශාල ආදායමක් ලබන්නට තරම් පොත් සංඛ්‍යාවක් ඔහු ලියා පළ කර තිබුණේ ද නැත. අප සොයා ගත් තවත් කරුණක් වන්නේ පොත් පළ කිරීම කඩදාසි අර්බුදය නිසා එකල සීමාසහිත වීම ය. ප්‍රධාන පොත් සමාගම් දෙක සමග සේනානායක අමනාප වී තිබීම ද එක් කරුණකි. තමා සුළු දෙයින් පවා සැ‍ලෙන චරිතයක් ඇත්තෙකු බව සේනානායකම පවසයි.

මෙහිදී අප සලකා බැලිය යුතු කරුණක් වන්නේ පොත් අලෙවියට පවා බලපෑ විවේචන කවරේ ද යන්නයි. මේ ඉන් කිහිපයකි:

“…….ඓතිහාසික නවකථා නමින් පළ කර තිබෙන පොත්වල ඇත්තේ හිතලු ය. ඉතිහාසය නොකියවා ඇති බව කියන්නට අවශ්‍යත් නැත. බුද්ධ කාලීන භාරත සමාජය ගැන අහුලා ගත් කරුණු විනා නිවරදිව බුද්ධ කාලීන භාරත සමාජය මේ පොත්වල නැත…..”  

“…..සිංහල කාව්‍ය සම්ප්‍රදාය ගැන එ‍හෙන් ‍මෙහෙන් දැන ගත්තත් විරිතකට කවියක් ලියා ගන්න බැරිකම නිසා පැළලි කවි ලියන අය හිතනවා තමනුත් කවියන් කියලා…”

 සේනානායකගේ නිර්මාණ භූමිකාවෙන්ම ඔහු ‘ කෘතියක් අගය කිරීම’ ම විචාරකයාගේ කාර්යය නොවන බව සපථ කර තිබෙනවා. ඒ නිගමනයට එළඹෙන්නේ ඔහු කෙටි කතාකරුවෙකු ලෙසින් ඔහුට පූර්වයෙන් පැවති කතා රීතිය බැහැර කිරීම හා කවියෙකු ලෙසින් ඔහුට පූර්වයෙන් පැවති කාව්‍ය රීතිය බැහැර කිරීමෙන්. ඔහු ඒ උභය කාර්යයම කරන්නේ නිර්මාණකරුවෙකු වශයෙනුයි. මේ කාරණය ගැන සේනානායක මහතා සමඟ මා සාකච්ඡා කර තිබෙනවා. ඔහු අවධාරණයෙන් කියූවේ, ‘ තමා කොළඹ කවියවත් ඩබ්ලිව්. ඒ. සිල්වා ඇතුළු අයගේ කෙටි කතාවත් ‘ගර්හාවට’ ලක් නොකළ බවයි. එහෙත් තමාට සතුරුකම් කළ කඳවුරක් තමාට හානි කළ බව ඔහු පැවසුවා.

‍සේනානායක මහතා සිය ජීවිතයේ අවසන් කාලයේ ද පවසන්නට යෙදුණේ පේරාදෙණි කල්ලිය එදා මෙන් අදත් තමා විනාශ කරන්නට තැත් කරන බවයි. ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් ඔහුට සම්මාන උපාධියක් පිරිනැමීමට සමාන්තරව උපහාර ග්‍රන්ථයක් පළ කළා. මා එවක කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මාත් මේ කෘතිය පළ කිරීමේ වැඩවලට සහභාගි වුණා. කෘතිය පළ කළ උත්සවය තිබුණ දාට පසුදින සේනානායක මහතාගේ නිවසින් ලැබුණ පණිවිඩයකට අනුව මා ඒ නිවසට ගියා. ඔහු දැඩි දෝෂාරෝපණයක් එක දිගටම කළා. සතුරන්, ‘තමා විනාශ කිරීමට – බඩගින්නේ තැබීමට’ දැනුත් උත්සාහ කරන බවයි ඔහුගේ චෝදනාව වූයේ. ඒ කරුණ සනාථ කරමින් ඔහු “ජී.බී. සේනානායක ප්‍රභාෂණය” නම් පොතේ ලිපි දෙකක් සඳහන් කරමින් මා ලවා ඒ ලිපිවල යම් කොටස් කියෙව්වා. මේ ඔහු කෝපයට පත්ව කළ ලිපි දෙකෙන් උද්ධෘත දෙකක්. එකක් සරච්චන්ද්‍රගේ අනික අමරසේකරගේ:

01 “ජී.බී. ‍සේනානායක  මහතා ගත කරන්නේ නිශ්චල ජලාශයක් මැද පිහිටි, හාත්පසින් ආවරණය වූ දූපතක වෙසෙන්නෙකුගේ දිවි පෙවතට සමාන වූ ජීවිතයකි. නුදුර ඇති මහා ද්වීපයෙහි හමන කුණාටු ඔහුගේ දූපතට නොදැනෙන්නා සේ ය. පාරම්පරික චර්යාධර්මයට හා පාරම්පරික පුරුෂාර්ථවලට පැමිණ ඇති අභියෝගය ඔහු නොසලකයි. නවීන විද්‍යාත්මක හා තාක්ෂණික සභ්‍යත්වයේ බලපෑම නිසා අද අපේ විශ්වාස බිඳී ඇත, සමාජ සංස්ථාවල පදනම දෙදරා ඇත. විශේෂයෙන් අප ද අයිති, තුන්වන ලෝකය වසයෙන් හැඳන්වෙන රටවල ජනතාවට මුහුණ පාන්ට තිබෙන ගැටලු බොහෝමයක් පැන නගින්නේ මේ තත්වයෙනි. වර්තමාන සමාජය ඇසුරු කොට තමා ලියූ නවකථාවල පවා සේනානායක මහතා මෙවැනි ධර්මතා විෂය කොට නොගත්තේ ඔහු ඒවා වැදගත් යයි නොසිතන බැවිනි. ඔහු වැදගත් කොට සලකන්නේ මිනිස් චරිතයේ සනාතන ලක්ෂණ ය……” (ජී.බී. සේනානායකගේ ව්‍යුත්පත්තිය හා ප්‍රතිභාව – සරච්චන්ද්‍ර -ජී. බී. සේනානායක ප්‍රභාෂණය).

මේ ලිපියේ ම සරච්චන්ද්‍ර විසින් සේනානායක සම්බන්ධ කර තිබෙන අගය කිරීම ය මේ:

“ජී. බී. සේනානායක මහතා සිංහල සාහිත්‍යයේ නවීන යුගයේ පතාක යෝධයන්ගෙන් කෙනෙකු ලෙස හැඳින්විය යුතු ය. සාහිත්‍යයට ඔහුගේ කැපවීම එසේ මෙසේ එකක් නොවී ය……ඔහු තරම් ශිල්පීය ක්‍රමවලට මුල් තැන දී ආකෘතිය ගැන පරිශ්‍රමයක් දැරූ අන් සිංහල ලේඛකයෙක් නොවී යයි කිව හැකිය……. ජී. බී. සේනානායක කලාකරුවෙකු පමණක් නොව, බහුශ්‍රැත පඬිවරයෙක් ද වේ. නිර්මාණ කෞශල්‍යය හා බහුශ්‍රැතභාවය එක ප්‍රමාණයට තනි පුද්ගලයෙකු තුළ විද්‍යමාන වන්නේ කලාතුරකිනි…..”  – (උක්ත කෘතිය)

සරච්චන්ද්‍ර ඔහු අනුදත් විචාර විධික්‍රමයෙහි පිහිටා සේනානායක මහතාගේ නිර්මාණ කාර්යය පිළිබඳ යම් විවේචනයක් සිදු කර ඇත. එසේම සේනානායක සම්බන්ධයෙන් බුහුමන් දැක්වීමක් ද සිදු කර තිබේ. දෑස් ‍නොපෙනී යම් අසරණ තත්වයක සිටි අවස්ථා‍වේ මේ ලිපිය කියවීමෙන් සේනානායකගේ සිත රිදුණා විය හැකි ය. එහෙත් මේ නිසා ඔහුගේ පොත් අලෙවිය නැවතී බඩගින්නේ සිටින්නට සිදු වන බව පැවසීම නම් මතිභ්‍රමයකි.

සිංහල භාෂා‍වෙන් ලියන නිර්මාණකරුවන් විචාරය නොයිවසන්නේ නම්, ඉන් සැලෙන්නේ නම් ඒ වූකලී මාර්ග නීතියක් කඩකළ නිසා පොලීසියෙන් ලැබුණ දඩකොළයට කෝපව වාහනය තාප්පයක හප්පා අනතුරක් කර ගැනීමට නොදෙවෙනි ය.

අද බොහෝ නිර්මාණ දොරට වඩින උත්සව පැවැත්වේ. ඒවායේ අදාළ නිර්මාණය ගැන විචාරයක් කිරීමට සුදුස්සෙකු තෝරා ගන්නවා වෙනුවට “හොඳ කියන්නෙකු” තෝරා ගැනීම ය දක්නට ලැබෙන්නේ.  ඊට අදාළ එක කරුණක් වන්නේ නිර්මාණයක් පළවුණ පසුව එය විචාරයට ලක් කරන සම්ප්‍රදායක් හෝ ඊට ප්‍රාමාණිකයන් නැතිකම ය. තවත් කරුණක් වන්‍නේ නිර්මාණයක “හොඳ” කියවා ගැනීම ඔස්සේ වෙළඳ ප්‍රචාරක වාසියක් අපේක්ෂා කිරීම වග ද පැහැදිලි ය.

දැන් මා දක්වන්නේ සේනානායක සම්බන්ධයෙන් උක්ත කෘතියෙහි ගුණදාස අමරසේකර ලියූ ලිපියෙන් උද්ධෘත දෙකකි. මේ පළමු වැන්න.

“සමස්තයක් වශයෙන් ගත් කල ජී. බී. සේනානායක නිර්මාණය කළ මුළු සාහිත්‍යය ම “ලෝකෙට රුව” පමණක් ඇති ජීවන සුවඳ වහනය නොකරන ශූර කලාශිල්පියෙකුගේ දක්ෂ ව්‍යායාමයක් ලෙස සැලකීම නිවැරදි යයි මම සිතමි. පසු කලෙක ඔහුගේ ඒ ශූර ශිල්ප හරඹය පිරිහීමට පත්වීම යුක්ති යුක්ත වෙයි…..පනස් ගණණ්වල මහත් කීර්තියක් ඉසිලූ ජී.බී. සේනානායක මෙවැනි තත්වයකට පත් වූයේ කෙසේ ද? ඔහු විසින් ප්‍රදර්ශනය කරන ලද මේ ඌනතාවට මූලික හේතුව කුමක් ද? මාර්ටින් වික්‍රමසිංහ විසින් මේ අරභයා සිය අදහස් නිතර පළ කළ බව මට මතක ය. වික්‍රමසිංහ එය දුටුවේ සේනානායකගේ පෞරුෂත්වයෙහි – මනසෙහි ලක්ෂණයක් ලෙසිනි. සේනානායකට ඇත්තේ සාහිත්‍යකරුවකුට ඇවැසි මනසක් නොවේ ය යන්න වික්‍රමසිංහ මතය විය. සේනානායක සතු දළදඬු අනම්‍ය මනස අත්දැකීම් එක්රැස් කර වර්ධනය කිරීමට සුදුසු තෝතැන්නක් නොවේ; ඒවා පිටුදකින ශුෂ්ක පෙදෙසකි. වික්‍රමසිංහයන්ගේ නිගමනය මෙවැන්නක් විය……” – (කෙටි කතාවේ කාව්‍යමය භාෂා රීතිය හා ජී බී – අමරසේකර, උක්ත කෘතිය)

මේ ලිපියේ ම අමරසේකර විසින් සේනානායක සම්බන්ධ කර තිබෙන අගය කිරීම ය මේ.

” හතළිස් ගණන් හා පනස් ගණණ්වල කළ එළි දුටු – සිංහල සාහිත්‍ය උයනෙහි පිපුණු ජී.බී. සේනානායකගේ කෙටි කතා නවක ලේඛකයන් වූ අපගේ සිත් සතන් – දෙනෙත් වසී කළ බව රහසක් නොවේ. ඒවායේ රුවින් අපි විස්මෘත වීමු. එවැනි රුව ඇති මලක් සාහිත්‍ය උයනෙහි එතෙක් නොපිපුණු බවකි අපට එකල හැඟුණේ.’දුප්පතුන් නැති ලෝකය’ සහ ‘පළිගැනීම’ නමැති  කෙටි කතා පොත්වල වූ කතා අප එකල කියවූයේ අනුකරණය කළ යුතු නිර්මාණ වශයෙනි….” (උක්ත ලිපිය)

මේ අන්දමින් විවේචනය කිරීම තමා විනාශ කිරීම ය යන්න සේනානායකගේ චෝදනාව විය. මේ විවේචනවල සදාරසම්පන්න බවක් නැති බව ද ඔහු පැවසී ය. එහි යම් ඇත්තක් වෙතත්, විචාරකයෙකු සිදු කරන්නේ “ඥානාලෝකයක්” පාඨක සමාජයට අත් කර දීම බව වටහා ගැනීම ද වැදගත් කරුණකි. සාහිත්‍ය විචාරය ශාස්ත්‍රීය පදනමකින් වැඩී වර්ධනය නොවී ‘සිල්ලර කටයුත්තක්’ වීම නිර්මාණකරණයේ “අභිවෘද්ධියක් නැති යථාර්ථයට” අදාළ යයි මම සිතමි. නිර්මාණකරුවෙකු විචාරකයෙකුගෙන් සාධනීය ආලෝකයක් ලබා ගත යුතු ය. ඒ ආලෝකය ලබා දෙන්නට තරම් ප්‍රාමාණික විචාරකයන් ද, විශේෂයෙන් ශාස්ත්‍රාලයීය උගතුන් අතුරින් බිහි විය යුතු ය. මේ උභය තත්වයම වත්මනේ සාධනීය තත්වයක නැති බව මගේ නිගමනය යි.

සාහිත්‍ය සම්මාන උත්සව කිහිපයක් අද පැවැත්වේ. ඒවා නොවන්නට සාහිත්‍ය කියවීම ශාස්ත්‍රාලයීය උගතුන් අතින් ද සිදු නොවන බව පැවසීම සාවද්‍ය නැතැයි සිතමි. ඒ ඒ උත්සව ඔස්සේ විචාර කලාවේ කවර නම් දියුණුවක් ඇති වී ද? නිර්මාණකරණයට කවර නම් ඥානාලෝකයක් උරුම වී ද?

ජාතික පුස්තකාල සේවා මණ්ඩලය – ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය නිර්මාණ විනිශ්චය හා ප්‍රමාණ කිරීමට භාවිත කරන මිණුම් දඬු හරිම පසුගාමීය. ඒවා තැනුවෝ කවරහු ද? මේ මිණුම් දඬු දෙකකි.

” සංවාද හැර සමස්ත ආඛ්‍යානය ලිඛිත ව්‍යවහාරයෙන් තිබිය යුතු ය” (කටවහරෙන් ලියා ඇති කෘති සුදුසු නැත යන්න).

“දිවිනසා ගැනීම – ඝාතන –  පිළිගත් සමාජ සංස්ථාවන්ට කිසිදු බලපෑමක් කර නොතිබිය යුතු ය.”

මේ මිණුම් දඬුවලට අනුව, ‘මන‍මෙ’ – ‘සිංහබාහු’ – ‘‍ප‍ෙමතො’ වැනි නාට්‍ය ද  ‍නොමනා ය. ලංකාවේ නිර්මාණකරණයට නව ඥානාලෝකයක් ඉදිරිපත් කළ සිරිගුණසිංහගේ හෙවනැල්ල පවා නොමනා ය. උත්ප්‍රාසය නම් සම්මාන ප්‍රදානෝත්සවවලදී කට වහරෙන් ලියා තිබෙන කෘති සම්මාන හිමි කර ගැනීම ය.

මා ඉදිරිපත් කළ අදහස් කිහිපයෙන් පෙන්වා සිටින්නට උත්සාහ කළේ නූතන නිර්මාණ සාහිත්‍යයේ ආරම්භක අවස්ථාවේ සිට විචාරකයා සහ නිර්මාණකරුවා අතර ‘යහපත් හා සාධනීය’ සම්බන්ධතාවක් නොතිබුණ බව ය. මේ තත්වය ක්‍රමයෙන් වැඩුණ බව ද මගේ නිරීක්ෂණයකි. ඒ නරක තත්වය නිසා ‘නිර්මාණකරණය’ හැම විටම තාප්පයකින් වටකර රැකගෙන සිටින්නට නිර්මාණකරුවන් උත්සුක වන අන්දමක් ද  නිරීක්ෂණය කළ හැකි ය.

විචාරය සම්බන්ධයෙන් තත්වය ඊට වඩා නරක තත්වයකට, අශාස්ත්‍රීය තත්වයකට අද වන විට තල්ලු වී ඇත. එහි එක් සොබාවයක් වූයේ සාහිත්‍ය කලා විචාරය ශාස්ත්‍රීය පදනමක් මත වැඩී වර්ධනය නොවීම ය. සාහිත්‍ය කලා විචාරය කවරෙකුට වුව පොදු ක්‍රීඩා පිටියක් වූ සේ ය.

මෙහි වරදට ශාස්ත්‍රාලයීය උගතුන් වශයෙන් අප කවුරුත් වන්දි ගෙවිය යුතුය යන්න මගේ අවංක පිළිගැනීමයි.

ලංකාවේ සාහිත්‍ය නිර්මාණය හා විචාරය යන උභය කාර්යය ම කාලයක සිට “හුදෙකලාව, අසරණව, එක විදිහකට අයාලේ යන”  තත්වයක තිබෙන්නේය යන ප්‍රවාදය මා ඉදිරිපත් කරන්නේ මේ යථාර්ථය කලක සිට නිරීක්ෂණය කිරීමෙන් ලත් අවබෝධයෙන් බව පවසනු කැමැත්තෙමි.

(සරත් විජේසූරිය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳ මහාචාර්යවරයෙකි. මේ ලිපිය එම විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ‘වාර්ෂික පර්යේෂණ සැසිය – 2022’ සමාරම්භක අවස්ථාවේ ඉදිරිපත් කළ දේශනයේ පිටපතයි. එය මෙහි පලකරන්නට ලබාදීම සම්බන්ධයෙන් මහාචාර්ය විජේසූරිය ට පතිත සංස්කාරක මණ්ඩලයේ ස්තුතිය හිමි වේ)

Total
16
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විද්‍යාලංකාර පිරිවෙන සහ ශ්‍රී ලංකාවේ යටත්විජිත සිංහල සමාජයෙහි විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය

(මේ ලිපිය 2020 ජනවාරි 08 වන දින කැළණිය විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සර උත්සව දේශන මාලාවේ 1 වැනි දේශනය ලෙස ඉතිහාස අංශයේදී පැවැත් වූ කථාවේ සංශෝධිත පිටපතය. එහි වඩාත් වර්ධිත පිටපතක් ‘පඨිත 2020’ මුද්‍රිත වෙලුමේ පළවීමට නියමිතය) ~ ජයදේව උයන්ගොඩ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හැටවෙනි සංවත්සරය සමරන උත්සව මාලාවට කතාවක් පැවැත්වීම මගින් සහභාගීවීමට මට ලැබුණු ආරාධනය මා පිළිගත්තේ සතුටිනි. එම ආරාධනය කිරීම ගැන ගරු ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්, ඉතිහාස ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුලු නිලධාරී මණ්ඩලයටත්, මෙම උත්සවයේ සංවිධායක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඥාන විභාගාත්මක ඛණ්ඩනීය මොහොතක් පිළිබඳ ආවර්ජනයක්: සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය පිළිබඳ සීමිත පාඨනයක්

~ සසංක පෙරේරාදකුණු ආසියාණු විශ්වවිද්‍යාලය (මේ ලිපිය මුල්වරට පළ වූයේ ජයන්ත අමරසිංහ සංස්කරණය කළ ‘සිරි ගුනසිංහ උපහාර ලිපි’ යන කෘතියේය (ගාල්ල: රුහුණු විශ්වවිද්‍යාලය, 2010). කෘතිය සඳහා ලිපිය සම්පාදනය කිරීමට මාහට ආරාධනය කළ මහාචාර්ය තිස්ස කාරියවසම්ට හා මහාචාර්ය ජයන්ත අමරසිංහට මාගේ ස්තූතිය හිමි වේ) සන්දර්භගත කිරීම සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය හරහා එහි අත්‍යන්ත දේශපාලනය පිළිබඳව කෙරෙන මෙම සීමිත ආවර්ජනීය පාඨනය දියත් වන්නේ ගුනසිංහගේ නිර්මාණ කටයුතු ඇරඹී අඩසිය වසක් ගත වූ පසුවය. තවද මා සාහිත්‍ය විචාරය හෝ භාෂා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා: දෘෂ්ටිවාදය නිරෝධායනයක්!

(කාටුනය: අවන්ත ආටිගල) ~ බූපති නලින් වික්‍රමගේ ස්වාධීන දෘශ්‍ය කලා හා දේශපාලන විචාරක ඕනෑම මිනිස් ක්‍රියාවක් වන්නෙම චින්තනයයි. මිනිස් ක්‍රියාවක නිවැරදිතාවය විමසීම ඉතා තීරණාත්මක වන්නෙ සමස්ත සමාජයම උඩුයටිකුරු කරවනා කොරෝනා වසංගතය වැනි සිදුවීමකදීය. මාක්ස්වාදය තුළ ‘දෘෂ්ටිවාදය’ (ideology) නමින් සිද්ධාන්තයක් සාකච්ඡා වන්නේ අපගේ සිතීම හා ක්‍රියාවේ නිරවද්‍යතාව පිළිබඳව වන මාතෘකාවට අදාලවය. කෙනෙක් හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකටද දෘෂ්ටිවාදය ගැන සාකච්ඡාවක් කියලා ? ඊටත් වඩා හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකද මාක්ස්වාදය ගැන කතාවක් කියලා? සාධාරණයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘මිලිටරි පුරුෂත්වය’ වර්තමාන ලංකාවේ දැනට පවතින ආධිපත්‍යමය පුරුෂත්වයද?

~ අනුශ්කා කහදගමගේ දකුනු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය (චායාරූපය: අනුශ්කා කහදගමගේ, මිනුවන්ගොඩ, 2019) මෙම කෙටි රචනයට ප්‍රවේශය වන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සමඟ හෝ ඇතැමුන්ට අනුව, නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ රටේ ඇතිවූ නූතන  බිතු-සිතුවම් රැල්ලේ එක් චිත්‍රයකි. මෙය මිනුවන්ගොඩ නගරයේ සිතුවම්කර ඇති අතර, බොහෝ තැන්වල මා දැක ඇති වෙන් වෙන්ව සිතුවම් කර ඇති විශාල මාංශ පේශිවලින් යුතු රජවරුන්, කුමාරවරුන් මෙන්ම අවි සහ අත් බෝම්බ අත දරාගත්, සන්නද්ධ හමුදා සොල්දාදුවන්ට වඩා වෙනස් වර්ගයේ එකකි. ඒ, සොල්දාදුවාත්, කුමාරයාත් බද්ධකර,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී වඩ වඩාත් ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම වෙනත් බොහෝ දැනුම මිනිසුන් වෙත ගෙනෙන තාක්‍ෂණය පිළිබඳ කාරණයක් පමණක් නොවන බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මේ සියල්ල මහජනතාව වෙත ගෙන ඒම ඔස්සේ අනෙකුත් සියලුම ජනමාධ්‍ය මෙන් ගුවන්විදුලිය ද දේශපාලනයේ මාධ්‍යයක් බවට පත්වීමයි. ‘දේශපාලනය’ යන පදය මෙහිදී යොදාගන්නා විට, අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ බහූත්වවාදයේ ඓතිහාසික පදනම

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම් පදනම් කීපයක් මත සමාජයක විවිධත්වයක් ඇති බවත් එය සාධනීය තත්ත්වයක් බවත්  පිළිගනී. මේ විවිධත්වය කුලය, ආගම, ජනවර්ගය, භාෂාව, කලාපීය අනන්‍යතා වැනි ඕනෑම  ලක්ෂණයක් මත පදනම් විය හැක. මේ අර්ථයෙන් ගත් විට, ලෝකයේ බහූත්ව නොවන සමාජයක් සොයා ගත නොහැක. ඒ වෙනුවට අපට දැකගත හැක්කේ, බහූත්ව ලක්ෂණ සාපේක්ෂ වශයෙන් අඩු හෝ එවැනි ලක්ෂණ සාපේක්ෂ වශයෙන් වැඩි සමාජ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය

~ අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර්, යේල් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: ඵූසතී ලියනාරච්චි ලංකාවේ තේ වතුවලින් ඉන්දියාවට රැගෙන ආ පාන්, ශ්‍රමිකයන් ලෙස ලංකාවට සංක්‍රමණය වූ ඉන්දියානු දමිළ ජනතාවගේ කතාන්දරය කියාපාන සරල අහරකි. සෑම බ්‍රහස්පතින්දාවක ම අපගේ රෑ කෑම වූයේ පාන් ය. කටට ගන්නා සෑම විටක දී ම මහා කරස් හඬක් නගන රළු ආකාරයකට සෑදූ ඒ පරළු පාන්වල ඇතුළත, පිරිපුන් සැහැල්ලු බවක් රැඳී තිබුණි. එය සාමාන්‍යයෙන් ගැලපුනේ සම්බෝල සමග කෑමට ය. සම්බෝල යනු, සියුම්ව ගා ගත් නැවුම් පොල් රැළි සැර මිරිස්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි; උපකුලපති තුමනි; සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨාධිපතිතුමනි; මිත්‍රවරුනි; ඔබ සැමට සුබ උදෑසනක්! ‘සංස්කෘතිය, නූතනත්වය සහ සමාජ පරිවර්තනය’ යන ඉතා පුළුල් තේමාව මත පදනම්ව ‘රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා 2020 සමුළුවේදී’ මෙම මුඛ්‍ය දේශනය ඉදිරිපත් කිරීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක කමිටුවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මුඛ්‍ය දේශනයක් යන්න පිළිබඳව අප රටේ මෙන්ම දකුණු ආසියා කලාපයේ ද…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආසියා ප්‍රකාශන සමාගම: දකුණු ආසියාවේ ප්‍රකාශන ඉතිහාසයේ අමතක වී ගිය මතකය

~ රාමචන්ද්‍ර ගූහා (මේ ලිපිය 2020 අප්‍රේල් 18 වන දින ස්ක්‍රෝල් වෙබ් අඩවිය සඳහා මහාචාර්ය රාමචන්ද්‍ර ගූහා විසින් සම්පාදනය කළ ‘From Asia Publishing to Permanent Black’ යන කෙටි ලිපියේ පළමු කොටසේ සිංහල පරිවර්තනයයි. මුල් ලිපියෙන් ඔහු උත්සාහ ගත්තේ කේන්ද්‍රීය ඉන්දීය ප්‍රකාශකයින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ භූමිකාව උදෙසා සිය ප්‍රණාමය පුදකිරීමටය. මෙහි පළමු කොටස සිංහලෙන් ඉදිරිපත් කරන්නට හේතුවන්නේ එවැනි ඓතිහාසික තොරතුරු දකුණු ආසියාව පිළිබඳ විකල්ප පරිකල්පනයක් ගොඩනැගීමට උනන්දුවක් ඇති පර්යේෂකයින්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි යන විශ්වාසය මතය. මහාචාර්ය රාමචන්ද්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ஒரு றாத்தல் பாணிலிருந்து அடையாளம் வரை: புலம்பெயர்வு மற்றும் நினைவுகள்

~ அக்ஷ்யா  கிருஷ்ணகுமார், யேல் பல்கலைக்கழகம்மொழிபெயர்ப்பு – சிவலிங்கம் அனுஷா இலங்கை தேயிலைத் தோட்டங்களிலிருந்து இந்தியாவுக்குக்கொண்டுவரப்பட்ட பாண் என்பது  இலங்கைக்கு தொழிலாளர்களாக புலம்பெயர்ந்த  இந்தியத் தமிழ் மக்களின் கதையைச் சொல்லும் ஒரு எளிய உணவாகும். ஒவ்வொரு வியாழனும் பாண், எனது  இரவு உணவாக இருந்தது. பாண்  ஒவ்வொரு  முறையும்  வாயில்  வைத்து கடிக்கும்போது அதில்   பெரிய சத்தம்  ஒலிக்கும்   வகையில் தயாரிக்கப்பட்டிருந்தது. பாணின் நடுவில் மென்மையான ஒருபகுதியும் இருக்கிறது.  அது சம்பலுடன்  சாப்பிடவே பொருத்தமாக  இருந்தது.  சம்பல் என்பது  நறுக்கப்பட்ட மிளகாயை, துருவிய தேங்காய் துண்டுகளுடன் இறுதியாக அரைத்தெடுத்து  கலந்த உணவாகும். மாசி தூள் அதன் மீது தெளிக்கப்படும் போது சம்பல் மிகவும் சுவையாக இருக்கும்…
වැඩි විස්තර පරිශීලනයට