හෘද සාක්‍ෂ්‍යයේ කවි

සුදුසිංහ, සඳරැසි. ගිනි වැදුණු පියාපත්, 2021 (ජූලි 31 වනදා පළවීමට නියමිතය). කොහුවල: විදර්ශන ප්‍රකාශන සමාගම. පිටු 202, ISBN: 978 624 5546 01 5; මිල: රුපියල් 500.00.

———

~ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

අප සාමාන්‍යයෙන් කියවන බොහෝ තත්කාලීන කවි එකතු හා සසඳා බලන කල, සඳරැසි ප්‍රියත්මා සුදුසිංහගේ කවි  අනූනවයකින් සමන්විත මේ එකතුව තේමාව සම්බන්ධයෙන් බෙහෙවින් අසාමාන්‍යය වේ.  තේමා බහූත්වයක් වෙනුවට ඇයගේ ග්‍රස්තිය (obsession) සම්පූර්ණයෙන්ම යොමු වී ඇත්තේ, 1981 වසරේ  මැයි 31 සිට ජූනි 2 දක්වා කාලය තුල සිදුවූ යාපනයේ මහජන පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය වෙත වේ. ග්‍රස්තිය යන්න මනෝවිද්‍යාවේ යෙදෙන්නේ මානසික ආබාධයක් විස්තර කිරීමට වුව ද මෙහිදී මා එය යොදන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කිවිඳිය දක්වන කේන්ද්‍රීය, පරිපූර්ණ හා චිත්තවේගීය අවධාරණය සනිටුහන් කිරීමටය.  සමස්ථ කවි අනූනවයේ පෙළ පුරාම ඇය මේ මූලික තේමාවෙන් ඔබ්බට සවිඥානිකවම නොයයි. ඇයගේ සම්ප්‍රාප්තියේ සිට කාව්‍යමය අවසන දක්වාම සිදුවන්නේ, මේ සිද්ධිය පිළිබද නොයෙකුත් ආවර්ජනයන් අප වෙත ඉදිරිපත් කිරීමය. මේ සීමිත පෙරවදන තුලින් මා අදහස් කරනුයේ පහත සඳහන් සරල කරුණු ද්විත්වය සාක්‍ෂාත් කර ගැනීමය:

1. සිංහල සමාජයට බොහෝ දුරට අමතක වී ගොස් ඇති මෙකී සිදුවීම පිළිබද කෙටි සටහනක් සපයමින් කිවිඳියගේ කාව්‍යමය ව්‍යාපෘතියට යම් එෛතිහාසික සන්දර්භයක් සැපයීම, හා

2. ඇයගේ කාව්‍යමය ව්‍යායාමය තේරුම් ගන්නේ කෙසේද යන්න පිලිබද අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීම.

යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීමේ දේශපාලනය

ඉතිහාසමය වශයෙන් බලන කළ, යාපනය මහජන පුස්තකාලය සාමාන්‍ය පුස්තකාලයක් වශයෙන් තේරුම් ගත නොහැක.  1933දී කේ.එම්. චෙල්ලප්පා විසින් සිය නිවසේ ආරම්ඹ කළ පුද්ගලික උත්සාහයක සිට 1959දී  අද දින අප දන්නා ගොඩනැගිල්ල  තෙක් ව්‍යාප්ත වීම මේ සමස්ථ ඉතිහාසයේ එක් කොටසක් පමණි. මුල සිටම රාජ්‍ය උත්සාහයක් වෙනුවට, එය ප්‍රජා ව්‍යායාමයක් වීය. එය යාපනය නගර සභාවේ අයිතියට පසු කලකදී පත් වුව ද ඒ වන විටත් එය යාපනයේ හා සමස්තයක් වශයෙන් උතුරුකරයේ සමාජ-සංස්කෘතික ඉතිහාසයේ හා සවිඥානකත්වයේ කේන්ද්‍රීය කොටසක් වී තිබුනි. යාපනයේ හා උතුරු ලක්දිව සංස්කෘතික ඉතිහාසයට වැදගත් වූ පුවත්පත් හා පොත්පත්වලට අමතරව, එය අතිශයින් වටිනා සහ බෙහෙවින් දුර්ලභ හා පැරණි ලිපිලේඛන දහස් ගණනක නිවස්නය වීය. මේ අතර, රොබර්ට් නොක්ස් විසින් 1600 ගණන්වල උඩරට රාජධානියේ සිරකරුවෙක් වශයෙන් සිට ලබා ගත් අත්දැකීම් මත ලියැවුනු A Historical Relation of the Island of Ceylon කෘතියේ මුල් කාලීන පිටපතක් ද ෆිලිප් බයුඩියස් විසින් 1672දී පලකල Ceylon During the Dutch Rule යන කෘතියේ පැරණි පිටපතක්ද ඇතුලත් වීය.1

මේ අනුව බලන කල, මේ පුස්තකාලය බෙහෙවින් වැදගත් පුලුල් දැනුම් කේද්‍රස්ථානයකට අමතරව, උතුරු ලක්දිව දමිල ජනවාර්ගික-සංස්කෘතික අනන්‍යතාව සමග ද සමීපව බැදී පැවතුනි. එනම්, එය සුවිසේශී වශයෙන් උතුරුකරයේ අතීතය පිළිබඳ ඉඟි සපයන බුද්ධිමය අවකාශයක් වීය. මෙනයින් බලන කල, 1981දී එකළ ආන්ඩු කළ එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරීන් විසින් මෙහෙයවූ ප්‍රචන්ඩ කණ්ඩායමක් විසින් පුස්තකාලයට ගිනි තබනු ලැබුවේ, එහි සංස්කෘතික හා අනන්‍යතාමය වටිනාකම නිසාමය. එය අහඹුවක් නොවීය. ඒද පොලීසිය හා රාජ්‍ය සන්නද්ධ හමුදා ඒ අවට සිටිද්දීමය. මෙකී විනාශයට රාජ්‍ය අනුග්‍රහය ලැබුනේ මෙලෙසිනි. මේ විනාශයට හේතු වූ ආසන්නම සිද්ධීන් වන්නේ, ඊට කෙටි කාලයකට පෙර පැවැත්වූ යාපනය සංවර්ධන කමිටු ඡන්ද විමසීමෙන් දමිල එක්සත් විමුක්ති පෙරමුණ ජය ලැබීම හා එම පක්‍ෂය විසින් යාපනයේ සංවිධානය කළ ජන රැලියකදී ඇතිවූ ආරවුලකින් සිංහල පොලිස් නිලධාරීන් තිදෙනෙක් ඝාතනයට ලක්වීමත්ය.2  යාපනය සරසවියේ හිටපු පුස්තකාලයාධිපතිනියක් වූ රෝහිණී පරරාජසිංහම් මේ සිද්ධිය විස්තර කළේ මෙසේය:

මං හිතන්නේ පුස්තකාල විනාශ කරනකොට, එයින් උත්සාහ ගන්නේ සමස්ථ සංස්කෘතියම විනාශ කිරීමට වගේම දැනුම වැඩීමට ඇති අවකාශත් අහුරා දැමීමටයි. සුප්‍රසිද්ධ දෙමළ ප්‍රස්ථාපිරුළකින් කියන විදියට, යමෙකුගේ ප්‍රජාව ගැන ලියැවිලා තියෙන දේ කියවීමෙන් යමෙකුගේ මනස හා සංස්කෘතිය පිළිබඳව දැනගන්න පුලුවන්. මේ සිද්ධිය අපිට හුගාක් වේදනාකාරීයි. අපි අපේ පොත්වලට හුගාක් ආරෙයි. අවාසනාවකට, අපිට හුගාක්ම වටිනා පොත් තමයි ඒ ගින්නෙන් විනාශ වුනේ.3

කිවිඳිය, ඇයගේ අට වන (8) කවියෙන් ඍජුවම මතු කරන්නේ පොත්වලට වින කිරීම පිළිබඳ මේ ගැටළුවම වේ:

කැන්වසින් ගියේනැති
පාගමන් ගියේ නැති
පෝස්ටර් ඇන්දේ නැති
අහිංසක පොත් අකුරු
වරදකරු වුණේ කිම?
තීන්දුව කාගේද ?

පුස්තකාලය ගිනිබත්වනු සියැසින් දුටු තවත් යාපන වැසියෙකු 2004දී ඒ පිළිබඳව මා හා පැවසුවේ මෙවන් දෙයකි:

එදා පුස්තකාලය පිච්චුවහම ගිනිබත් වුනේ ගොඩනැගිල්ලකුයි පොත් ගොන්නකුයි විතරක් නෙමේ. එයින් මේ රටේ අපේ ඉතිහාසය ගැන ලියලා තිබිච්ච ඓතිහාසික සටහනුත් විනාශ වුනා. ඒ සිද්ධියත් එක්ක මගේ ජීවිතේ කොටසකුත් එදා මිය ගියා. උතුරුකරයේ හැමදෙනාගෙම ජීවිතවලින් කොටසක් මේ සිද්ධියෙන් බලෙන් පැහැර ගත්තා. අපි ඒක කොහොමද අමතක කරන්නේ?4

පුස්තකාලය ගිනිබත් කර මසකට පමණ පසුව එය නැවත ගොඩනැගීමට අරමුදල් එක්රැස්කිරීමට කොළඹ සරසවියේ ඇතැම් දමිල සිසුන් වෙහෙසුනු ආකාරය මගේ මතකයේ පැහැදිලිව ඇදී තිබේ. එනමුත් මාගේ මතකයේ සටහන් වී ඇති වඩාත් දුක්ඛදායක මතකය වන්නේ, එම සිසුන්ට මුදල් පරිත්‍යාග කිරීමට බොහෝ සිංහල සිසුන්ට තිබූ හීන උනන්දුවයි. ඊට ප්‍රධානතම හේතුව වූයේ, ඒ වන විටත් දකුණේ හැදුනු වැඩුන් මාගේ පරම්පරාවේ බොහෝ දෙනාට යාපනය පුස්තකාලයේ සංස්කෘතික-දේශපාලනමය හා ඥාන ගවේශනාත්මක වැදගත්කම පිළිබඳව තිබූ අල්ප දැනුමය. අප බොහෝ දෙනාට එය හුදු ගොඩනැගිල්ලක් පමණක් වීය. සංකේතාත්මකව බලන කල, ඒ දුරස්තවීම හා අසංවේදීත්වය සනිටුහන් කරනුයේ, ඒ වන විටත් දමිල හා සිංහල ප්‍රජාවන් අතර ගොඩනැගී තිබුනු සමාජීය හා සංස්කෘතික දුරස්ථභාවයයි.  මෙලෙසින්ම, මේ සිද්ධිය වූ කාලයේ දකුනේ බොහෝ පුවත්පත් ඒ පිළිබඳව ගැඹුරින් වාර්තා කිරීමට උත්සාහ නොගැනීම අතිශයින් කනගාටුදායකය. එමෙන්ම, දකුණුකරයේ බොහෝ ලේඛකයින් ද ඒ පිළිබඳ ප්‍රභල ජන මතයක් ගොඩනැගීමට පුළුල් වශයෙන් දායක නොවීය.

දකුනේ හෘද සාක්‍ෂ්‍යයේ මේ සාපේක්‍ෂ නිහඩතාව මධ්‍යයේ, මේ පිළිබඳව විවෘතව හා කම්පිතව අදහස් දැක්වූ සිංහල බුද්ධිජීවීන් අතලොස්ස අතුරින් පේරාදෙණිය සරසවියේ හිටපු පුස්තකාලයාධිපති, එච්.ඒ.අයි. ගුණතිලකගේ අදහස් විශේෂයෙන් කැපී පෙනේ:

ගින්නෙන් විනාශ වූ ඒ ගොඩනැගිල්ල වාර්ගික ක්‍රෝධයේ ම්ලේඡ්ච හා තිරිසන් ලක්‍ෂණ පෙන්නුම් කරයි …. යාපනය පුස්තකාලය සැලසුම්සහගත හා නිර්ලජ්ජිත ලෙස සම්පූර්ණයෙන්ම විනාශ කිරීම යනු උතුරේ සිටින අපගේ සහෝදරයින්ගේ ස්වීයත්වයට එල්ලකළ හැකි වූ කෲරතම ප්‍රහාරය වේ. ඒ පිළිබඳව අප රටේ සිටින සියළු දෙනාම, සිය වාර්ගික, දේශපාලනික හා ආගමික වෙනස්කම් පසෙකලා තම මානුශික හැගීම් ඉස්මතුකරලමින් ශෝක විය යුතුය.5

මෑතකාලීන ශ්‍රී ලාංකේය සමාජ-දේශපාලනික ඉතිහාසයේ බෙහෙවින් බිහිසුනු වූ මේ සිද්ධිය සිංහල සමාජයේ සාමූහික මතකයෙන් බොහෝ දුරට මිලින වී ගොස් ඇති මුත්, යාපන සමාජසේ සාමූහික මතකය තුළ තවදුරටත් වේදනාකාරී ලෙස රැදී තිබෙන්නේ විශේෂයෙන් එකී ජන ප්‍රජාවට ඒ සිද්ධියේ හා ගිනිබත් කළ පුස්තකාලයේ ඇති කේන්ද්‍රීය චිත්තවේගීයමය වැදගත්කම නිසාමය.

කිවිදියගේ කාව්‍යමය ව්‍යායාමය තේරුම් ගන්නේ කෙසේද?

සඳරැසි සුදුසිංහගේ කවි එකතුව අප අතට පත්වන්නේ මේ සිද්ධිය සම්බන්ධ මතකය මේ ප්‍රජාවන් දෙකේ සාමූහික මතකය තුළ ආකාර දෙකකින් මෙසේ විද්‍යමාන වන මොහොතකදීය. මෙහිදී වඩාත් උනන්දුසහගත කාරණය වන්නේ, කිවිඳියගේ කාව්‍යමය ව්‍යායාමයට පදනම සපයන්නේත්, ඇයගේ කාව්‍යමය විමසුමට තීව්‍ර ලෙස ලක්වන්නේත්, ඇයගේ දැඩි විවේඡනයට බදුන්වන්නේත්, ඇයගේ සාංකාවට හා නොසතුටට හේතු වන්නේත්, මේ සිද්ධිය හා බැදී පවතින කරුණු හා සංකේත වන නමුදු, ඇය ද සාමාජිකාවක වන සිංහල සමාජයේ පුලුල් සාමූහික මතකයෙන් මේ සිද්ධිය පිළිබඳ මෙනෙහිකිරීම් බොහෝ දුරට තුරන්ව ගොස් ඇති බැව් සිහිගන්වන විටදීය. තවද කිවිඳියගේ ජීවිත ඉතිහාසමය පර්යාවලෝකය දෙසින් බැලූ විට පෙනෙන්නේ, යාපනය පුස්තකාලය ගිනිබත් කරනු ලැබුවේ ඇය ජන්ම ලාබය ලබන්නට වසර කිහිපයකට පෙර බවයි. එනම්, එය ඇයගේ පරම්පරාවේ විනාශකාරී කර්තව්‍යයක් නොවේ. එය ඇය මෙන්ම ඇයගේ සමස්ථ පරම්පරාවම ඊට පෙර පරම්පරාවන්ගේ දේශපාලන මුග්දත්වයෙන් උරුමකරගත් අතිශයින් විනාශකාරී දේශපාලනික උරුමයන්ගෙන් එකකි. එනමුත්, කවි එකතුව පිරික්සීමේදී පෙනෙන්නේ මේ සිද්ධිය වෙත ඇයගේ සමස්ත අවධාරණයම යොමු වී තිබෙන බවත්, ඒ පිළිබඳව හා පුස්තකාලයේ ඉතිහාසය පිළිබඳවත් යම් හැදෑරීමක් කර ඇති බවත්ය. පුස්තකාලයේ නිර්මාතෘවරයා, එහි මුල් අවදියේදී ඊට දායක වූ අනුශාසකයින් හා එය ගිනිබත් කළ මොහොතේ එය භාරව සිටි පුස්තකාලයාධිපත්නිය ඇයගේ කවි ඔස්සේ වරින්වර අප හමුවට එන්නේත්, කිවිදිය මේ විනාශ පිළිබඳව ඔවුන් හා ඇයගේ පෙළ තුළින් සංවාදයේ යෙදෙන්නේත්, මේ ඒකරාශි කරන ලද දැනුමේ ප්‍රතිඵලයක් ලෙසිනි.  මේ සමස්ත පරිකල්පනයම හා කාව්‍යමය ව්‍යායාමයම මා ග්‍රස්තියක් ලෙස මුලින්ම හඳුන්වා දුන්නේ, ඇය විසින් දක්වා ඇති  මේ පුළුල් අවධාරණය නිසාය. මේ අවධාරණයේ ස්වභායව දෙස බැලීමෙන් ඇයගේ කවි වඩාත් පැහැදිලිව අර්ථවත් කරගැනීමට උපකාරී වන බවත්, ඒවා වඩාත් පැහැදිලිව සන්දර්භගත කිරීමට අවකාශ සපයන බවත් මාගේ විශ්වාසයයයි. මේ පෙරවදනින් මා සාක්ක්‍ෂාත් කරගන්නට උත්සාහ දරන දෙවන කටයුත්ත මෙය වේ.

ඇයගේ පළමු කවියෙන් ම පුස්තකාලයේ විනාශය හදුන්වා දෙන්නේ සභ්‍යත්වයමය වශයෙන් විශ්වාස කළ නොහැකි සිද්ධියක් හා, එනිසාම එය රාත්‍රියේ දුටු සිහිනයක් විය හැකි ද යන සැකයයි:

…. දහසක් බුදුවරුන් බුදුවන උදෑසන
සාධුකාරය පිරුණුවලාකුළු යට රැදුණු
හීන මහ වරුසාවඑකතැනම දියව ගිය
ජීවිතේ ඇසූ මූසලම කතාවද ඒ පාන්දර ඇහුවේ.
“යා පොටු නුලාකම්එරින්ජි”
(යාපනය පුස්තකාලයගිනිගනී)
කොහොම ඇහුනාද එය
තවම නින්දෙද ඉන්නේ
හීනයක් නොවෙද එය
රෑ මැද්දෙදි පෙනුන 

ඇයගේ දෙවන කවියෙන් මේ සිද්ධිය සිහිනයක් නොව යථාවක් යැයි පසක් කර ගන්නා අතර, එය දැකීමට සිදුවීමම ඇය දකින්නේ ශාපයක් ලෙසිනි:

පින්පිරුව ඇස් දෙකම
ශාපයක් ලෙස හිතුන
පව්කාර වූ දසුන
දුටුවෙ නැවතුන හදින…

කුමට අන්ධව නොඉපදුනිමුද මෙලොව ……
දින දසුනෙනුත් ඉවත් කළ යුතුය ඒ දවස ……
මතකයට නොනැගෙන  ලෙස ……
(දෙවන කවිය)

එහි වේදනාකාරීබව නිසාම ඇය අසන්නේ, මේ සිදුවීම දින දසුනින් ඉවත් කර මතකයෙන් ද නෙරපා දැමිය නොහැකි ද කියාය. මට පෙනෙන්නේ, මේ සිද්ධිය පිළිබඳ සමස්ත මතකයම බොහෝ දුරට සිංහල සවිඥානකත්වයෙන් නෙරපා දමා ඇත්තේ ද එය සාධරණීකරණය කිරීමට කිසිදු හැකියාවක් නොමැති නිසා බවයි. එනමුත් කිවිඳිය මෙසේ අසන්නේ එහි ඇති වේදනාව සන්නිවේදනය කිරීමට මිස, එය දේශපාලනික අවශ්‍යතා සඳහා සවිඥානකත්වයෙන් ආන්තීකරණය කිරීමට නොවන බැව් ඇයගේ ඉතිරි කවි සියල්ලෙන්ම මැනැවින් පැහැදිලි වේ.

පුස්තකාලය ගිනිබත් කරමින් වාර්ගින වෛරය වඩාත් තීව්‍ර කිරීමට අවකාශ සැලසූ දේශපාලන චන්ඩීන් ඇය දකින්නේ දේවදත්තයින්, මාර පුත්‍රයින් හා සමස්ථ කැම්බෝඩියාවම ලේ විලක් බවට පත් කළ පොල්පොට් වැන්නවුන් ලෙසිනි:

……
මාර පුත්වරු ඇවිත්……
පොට්ටුවයි උන් මැකුවේ
ලක් මවගෙ හිස තිබූ
අඩන්නට කෝ කදුළු
යාල් පානම් අහසේ ……
(තෙවන කවිය)

පොල්පොට්ලා පෝලිමක්
ඇවිත් වෛරයේ
සුළග දවටන්
දෙව්දත් පරපුරක
උරුමය පසසමින්
වැපුරුවේම ගින්දරයි
මිතුරුකම් අළු ගොඩක යටකර ……
(පස්වන කවිය)

පැහැදිලිවම ඇයගේ සමාජය හා සංස්කෘතික වටාපිටාව මගින්ම ජනිත කළ මේ විනාශකාරී දේශපාලන ක්‍රියාකාරීන් ආරක්‍ෂා කිරීමට, ඔවුන්ගේ මිසදිටු කාර්යයට සුදුහුනු ගෑමට හෝ ඒ විනාශය අමතක කිරීමට කිවිිඳියට අවැසි නැත. එක් අකතින් බලන කළ, මෙයින් ඇය කරනුයේ සිය කාව්‍යමය ව්‍යාකරණය ඔස්සේ යුක්තියේ හා සාධාරණත්වයේ හස්තයට කිසි දිනෙකවත් හසු නොවූ අපරාධකාරයින් සමාජයට නිර්නාමිකව, එනමුත් පැහැදිලි අදහසක් හා යථාවක් ලෙස ඍජුවම හඳුන්වාදීමය.

ඇයගේ හයයවන කවියෙන් ඇය වඩාත් ඍජුවම කියා සිටින්නේ මෙකී විනාශයේ කතුවරුන් මිහිපිටට බරක් බවත්, ඔවුන්ට ආශ්වාසකිරීමට හෝ අයිතියක් නොමැති බවත්ය:

……
පවුකාර පුතුනි,
නුබ බර වැඩිය මේබිමට……
උපන් බිම හඩන දා
නුබ දරා උන් පවට,
අයිතියක් නැත නුබට
හුස්ම ගන්නට මෙලොව……

ඔයිට නරකද තිබ්බ නම් ගිණි
උබ වැදු අම්මගේ කුසතුලට
(හය වන කවිය)

කිවිඳියගේ කාව්‍යමය බස, ශෛලිය හා සමස්ථ කවි එකතුවේ දේශපාලනය ගෙන හැර පාන්නේ වේදනාව, සාංකාව හා කේන්තිය එක්තැන් කරගත් ආතතිමය මානසික තත්ත්වයකි. එනම්, සුවිසේශී සංස්කෘතික සංකේතයක විනාශය පිළිබඳ සාංකාවකි, දුකකි. ඒ නිර්ලජ්ජිත ඓතිහාසික සිද්ධිය පිළිබද වේදනාවකි. ඒ විනාශයට වගකිව යුත්තන්ගේ ජන්මය මෙන්ම ඔවුන් යුක්තියේ රැහැනට හසුකර නොගැනීම පිළිබඳ ලැජ්ජාවකි, කේන්තියකි. ඇයගේ අවසන් කවියෙන් මේ මානසික රාමුව ඇය අනාගතයට ද ප්‍රක්ක්‍ෂේපනය කරන්නීය:

උතුරටත් දකුණටත්
යුද උල්පත් මවන
පාලක කැනහිලුන් අසබඩ
දිවි පිදූ යාපන පුස්තකාලය…
නුබට මලගම් ලියූ උන්
මෙලොව නැතුවය යහතින්
කිසිවෙකුත් නොඇසුව නඩුවකට
තීන්දුව තිලින කොට ඇත
සොබාදම් විනිසුරු තැන….
අවදියෙන් ඉනු මැන
යළිදු ඒ සෙවනැලි
පුනරාගමනය නොවන්නට,
මනු දහම ලියවුණු
පොත් පත්තිරු තුළට කැවිය යුතුමය…
“කළු කුහරයන් ගහණ
ඉතිහාසය යළි යළිත් සිදු නොවිය යුතු රහස.” 
(අසූඅටවන කවිය)

ඇයගේ මේ අවසාන කවිය තුළ මේ සමස්ථ කාව්‍යමය ව්‍යාපෘතියේම දේශපාලනය පැහැදිලිව ගැප්වී ඇත. එනම්, මේ විනාශයට මග පෑදූ පුද්ගලයින් ඇය සුපැහැදිලිවම හදුන්වාදෙන්නේ “පාලක කැනහිලුන්” වශයෙනි. ඔවුන් නීතියේ රැහැනට හසුකර නොගත්ත ද සොබා දහම විසින් ඔවුන්ගේ දිවි අවසන් කර ඇති බව පවසන කිවිඳිය කියා සිටින්නේ, ඉදිරියේ ද මෙවන් විනාශයන් සිදුවිය හැකි නිසා අවදියෙන් සිටින ලෙසය. එමෙන්ම, ඇයගේ ආයාචනය නම්, එවන් විනාශයක් සිදු නොවන්නට ගත හැකි මාර්ගය වන්නේ, මිනිසත් කම ගැන ලියා, එමගින් සමාජය අවදිකිරීම බවයි. මගේ විශ්වාසය ඇය මේ කවි එකතුවෙන් කරන්නට උත්සාහ දරා ඇත්තේ ඇයගේ මේ ආයාචනය ක්‍රියාවට නැගීම බවයි. මා මේ පෙරවදන “හෘද සාක්‍ෂ්‍යයේ කවි” ලෙස හදුන්වා ඇත්තේ මේ අර්ථයෙනි.

මේ කවි එකතුවට ජවය සපයා ඇත්තේ 1981දී යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධියෙන් කැළඹුනු සඳරැසි සුදුසිංහගේ හෘද සාක්‍ෂ්‍ය වුව ද එය මිලිනවී ගොස් ඇති සිංහල හෘද සාක්‍ෂ්‍යයේ අනාගත විකසිත වීම පිළිබඳ සංකේතයක් සේ දැකීමටත්, ඒ පිළිබඳ අපේක්‍ෂාවක් ඇතිකර ගැනීමටත් මා කැමතිය. ඒ, හෘද සාක්‍ෂ්‍යයක් නොමැති රටකට හෝ ජාතියකට අනාගතය ගැන සිහින දකින්නට වන්නේ බිය, සැකය හා සංකාව මුසුකරගෙන බැව් අප ලෝක ඉතිහාසය ඔස්සේ මැනැවින් පසක් කරගෙන සිටිනා බැවිනි.

සටහන්

1. Thurairajah, V. S, 12 December 2002. ‘Jaffna Library Rises from its Ruins.’ In, Daily News. Available at: http://archives.dailynews.lk/2002/12/12/fea01.html (අවසන් වරට පිවිසි දිනය: 5 මාර්තු 2014).

2. Perera, Sasanka, 2016. Warzone Tourism in Sri Lanka: Tales from Darker Places in Paradise, pg. 47. New Delhi: Sage.

3. Thurairajah, V. S, 12 December 2002. ‘Jaffna Library Rises from its Ruins.’ In, Daily News. Available at: http://archives.dailynews.lk/2002/12/12/fea01.html (අවසන් වරට පිවිසි දිනය: 5 මාර්තු 2014).

4. Perera, Sasanka, 2016. Warzone Tourism in Sri Lanka: Tales from Darker Places in Paradise, pg. 47. New Delhi: Sage.

5. Kanagasabapathipillai, 2014. ‘Burnt, Rebuilt: Jaffna Library Reminds us of  Sri Lanka Conflict.’ Available at: //www.com.tr./en/world/burnt-rebuilt-jaffna-library-reminds-of-sri-lanka-conflict/153795 (last accessed on 31 October 2015).

(මෙහි විමර්ශනයක් වශයෙන් පලකොට ඇත්තේ, ගිනි වැදුණු පියාපත් කවි එකතුව සඳහා 2020 දෙසම්බරයේ දී ලියූ පෙරවදනයි)  

Total
1
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා නැරඹුවේ මීට හතළිස් වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දී ය. මෑතක දී මෙම සිනමා පටය නැවත නරඹන්නට මට අවස්ථාව උදා වූයේ එහි සංරක්‍ෂණය කළ පිටපත (digitally restored copy) ශ්‍රී ලංකාවේ නැවත තිරගත කිරීමට සමගාමී ව එය අන්තර්ජාලය මගින් නරඹන්නන් සඳහා ද නිකුත්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුව කියවිය හැකි එක් ප්‍රවේශයක්

__________________________________________________________ හෙට්ටිතන්ත්‍රී, සුජීව. සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න. කොළඹ 10: සූරිය ප්‍රකාශකයෝ. 2019. පිටු 92, ISBN 978-955-656-571, රුපියල් 300.00.__________________________________________________________ ~ සසංක පෙරේරා සමාජවිද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය, ඉන්දියාව. (මේ කියවීම සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ කවි එකතුවේ පෙරවදන වශයෙන් 2019 දෙසැම්බර් මාසයේදී පලවීය. එය මෙහි විමර්ශනයක් ලෙස නැවත පලකරන්නේ කවියාගේ අනුමැතිය සමගය) ප්‍රවේශය: සමාජයීය විද්‍යා සම්භාෂණය හා නිර්මාණ කෘති සුජීව හෙට්ටිතන්ත්‍රීගේ ‘සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න’ යන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම  (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී  බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත වී සිටියි. නමුත්, ස්ත්‍රී  බැල්ම සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක සහභාගී වීමෙන්, නැතහොත් එවන් කතිකාවක නිරතවූ පමණින්, ඒ ආකාරයේ සිනමාවක් බිහි වී ඇතැයි සිතීම මායාවකි. මෙම කෙටි ලිපිය මගින් මා උත්සාහ කරනුයේ, ලාංකේය යුධවාදී සිනමාව තුළ ස්ත්‍රිය ආස්ථානගත වූ ආකාරයත්, යුධ වාතාවරණයක් තුළ ස්ත්‍රියගේ භූමිකාව සිනමාව…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00. ___________ විමර්ශනය: ප්‍රසන්න පෙරේරා අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශාන්ත ඔගස්ටීන්ගේ ‘පාපොච්චාරණ’ සහ යුස්ටේන් ගාඩර්ගේ ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්’ සංසන්දනාත්මකව කියැවීමේ මූලික වෑයමක්

ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00. ———- විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද? යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සහෝ: ශ්‍රී ලාංකික විදග්ධ පාඨකයා ගේ අවධානයට යොමුවිය යුතු නව කතාවක්

ඇතුගල, ආරියරත්න. සහෝ.  නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය  ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය මේ වන විට චිත්‍රපටයක් වශයෙන් ද නිෂ්පාදනය වී තිබේ. ලේඛකයෙකු සහ නාට්‍යකරුවකු වශයෙන් මීට ඉහත දී ද ඇතුගල  සිය කුසලතා සහ දස්කම් දැක්‌වූවෙක් බව අප දන්නා කරුණකි.  මේ කතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසියම් විශ්වවිද්‍යාලයක සිසු කණ්ඩායමක ක්‍රියාකාරකම් හා අත්දැකීම් ය. එහි ප්‍රධාන පාත්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආදරයේ සංකීර්ණත්වය සහ පුද්ගලිකත්වයේ දේශපාලනය: ‘Suitable Boy’ චිත්‍රපට කතා මාලාව පිළිබඳ කියවීමක් ‘

~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය ​වේ මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය.   මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය.  මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැ​ගෑ​නි පිළිබඳව වුවද,  ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පශ්චාත්-‘පාංශු’ කතාබහක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනයෙන් හා අධ්‍යක්‍ෂනයෙන් දායක වූ පාංශු චිත්‍රපටය මා නැරඹුවේ ඒ පිළිබඳ කිසිදු අදහසක් සිතේ නැතිවය. චිත්‍රපටයේ තේමාව කුමක්ද යන්න ද මා දැන සිටියේ නැත. චන්ද්‍රසේකරම් 2002 දී නිර්මාණය කළ කටු යහන වේදිකා නාටකයෙන් පසු ඔහුගේ නිර්මාණකරණය පිළිබඳව මා සතුව කිසිදු දැනුමක් නොවූ බැවින්, එදා සිට අද දක්වා වසර 18ක කාලය තුළ ඔහු නිර්මාණ ක්‍ෂේත්‍රයේ පැමිණ සිටියේ කොතැනටදැයි දැනගන්නට මට කුතුහලයක් තිබුනි. 1980 ගණන්වල අග භාගයේ අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඔබේ කවි ආලයට නැවුම් විරිතක් – නඳුන් දසනායකගේ ‘මගේ ආලයේ ග්‍රැමෆෝන්’

දසනායක, නදුන් යසිත. මගේ ආලයේ  ග්‍රැමෆෝන්.  මහරගම: අහස ප්‍රකාශකයෝ, 2019. පිටු 96. ISBN 978-955-3425-29-4, රුපියල් 350.00. ——————- විමර්ශනය: සෝමසිරි ඒකනායක ආරියවංශ රණවීරයන්ගේ ටී. එස්. එලියට් හා නව කවිය කෘතියෙහි පෙන්වා ඇති පරිදි “කවියේ පරමාර්ථය සන්දේශනය නම් එසේ සන්දේශනය විය යුත්තේ සමස්ත කවියයි. කවිය තැනීමට පාදක වූ අත්දැකීම් හා සිතුවිලි ගන්නේ දෙවනි වැදගත්කමකි. කවියේ පැවැත්ම ඇත්තේ කවියා හා පාඨකයා අතර කිසියම් තැනකය. එහි ස්වභාවය රැඳෙන්නේ කවියා පැවසීමට තැත් දරන දෙයෙහි නොවේ. ඒ නිසා කවියෙන් ඇඟවෙන්නේ කුමක්ද යන්න…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාංශු: මනුෂ්‍යත්වය, ප්‍රචණ්ඩත්වයේ ආඛ්‍යාන සහ යුක්තියේ කතිකා

පාංශු, විසාකේශ චන්ද්‍රසේකරම්ගේ නිර්මාණයකි විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ දිරාගිය මහලු මවක්, පණ නැසූ නමුත් තවමත් පණ ගැහෙන තුවක්කුවක් තම දිය රෙද්දෙහි  රුවා, වැව් ජලය මත උඩු අතට පිහිනා යන්නීය. මේ අම්මා බබා නෝනාය. එකම රාමුවක් තුළ පරිකල්පනය කළ නොහැකි පුද්ගලයින් සහ වස්තූන් එකට මුණ ගැස්සවීම තුළ සිනමාකරුවා අපූරු සිතුවමක් ප්‍රේක්ෂක මනසේ සිතුවම් කරයි. මේ රූප රාමුව, අපේ කාලයේ අම්මාවරුන්ගේ අ​භියෝගවල  ගතිකත්වය ගැනය. තම අතුරුදහන් වූ පුත්‍රයාගේ හැඩරුවට සමාන පුද්ගලයෙක් රෝහලේ ඇතැයි යන පණිවිඩයට සංවේදී වන බබා…
වැඩි විස්තර පරිශීලනයට