Skip links

ආසියානු සංක්‍රමණිකයන් සහ ආගමික අත්දැකීම්

Bernardo Brown, Brenda S. A. Yeoh Eds., Asian Migrants and Religious Experience: Missionary Journeys to Labor Mobility (බර්නාඩෝ බ්‍රවුන් සහ බ්‍රෙන්ඩා එස්. ඒ. යිඕ සංස්කරණය කළ, ආසියානු සංක්‍රමණිකයන් සහ ආගමික අත්දැකීම්: මිෂනාරි චාරිකාවල සිට කම්කරු සංචලතාව දක්වා). ඇම්ස්ටර්ඩෑම්: ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2018. පිටු: 312.   ISBN 9789462982321. මිල: ඇමරිකානු ඩොලර් 115.00 (ඝන කවරය සහිතව).

විමර්ශනය: මරිස්ක්  වෙස්ටෙන්ඩෝප්
පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය

Asian Migrants and Religious Experience: From Missionary Journeys to Labor Mobility (ආසියානු සංක්‍රමණිකයන් සහ ආගමික අත්දැකීම්: මිෂනාරි චාරිකාවල සිට කම්කරු සංචලතාව දක්වා) යන කෘතිය ආරම්භ වන්නේ කුතුහලය දනවන කරුණකිනි: ආගම හා සංක්‍රමණය ඒකාබද්ධව අධ්‍යයනය කිරීමේදී මූලික බාධාවක් මතුවේ. මෙම බාධකය වන්නේ, ආගම හා සංක්‍රමණය පිළිබඳ අධ්‍යයන එක්කෝ ආගමික දෘෂ්ටිකෝණයකින් පමණක්, නැතහොත් ශ්‍රමික සංචලනයේ දෘෂ්ටිකෝණයකින් පමණක් දැකීම නිසා, එම ක්‍රියාවලියේ සමස්ථ තත්ත්වය තේරුම් ගැනීමට අපහසු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.  එවැනි අධ්‍යයනයන්හිදී, ආගම බොහෝ විට ස්ථිතික හා ඉතිහාසමය වශයෙන් වෙනසක් නොවෙන යථාවla සේ සලකන අතර,  සංචලනය අස්ථිර හා ගතික ලෙස ද සැලකකේ. මෙම බාධකය නිසා සංක්‍රමණිකයන් ඔවුන්ගේ ඊනියා ස්ථිතික ආගමික විශ්වාස හා භාවිත ඔවුන් සමඟ තමන් සංක්‍රමණය වන සත්කාරක රටවලට රැගෙන යන බවත්, එය නව සන්දර්භය තුළ නොවෙනස්ව ක්‍රියාත්මක වන බවත් සැලකේ. මීට අමතරව, එවැනි පර්යාවලෝක බොහෝ විට ආගම  යන්න සංක්‍රමණය සඳහා බලපාන ප්‍රධාන හේතුව ලෙස සලකන්නේ නැත. ඒ වෙනුවට අවධානය යොමුවන්නේ ආර්ථික හෝ දේශපාලන හේතු කෙරෙහිය.

මේ සංස්කරණය කරන ලද ලිපි එකතුවේ  පරමාර්ථය වන්නේ, සංක්‍රමණය සහ ආගම ගතික හා අස්ථිර බව පෙන්වීම සහ මේ ගතිකයන් දෙකම සත්කාරක සමාජයේ ආගමික භූ දර්ශනයට බලපෑමක් ඇතිකරන බව ද පෙන්වීමයි. එය කරනු ලබන්නේ සංක්‍රමණිකයන්, මිෂනාරීවරුන් සහ ඔවුන්ගේ ආගමික විශ්වාස හා භාවිත ප්‍රශ්න කිරීම, ගවේෂණය කිරීම සහ ඒවා නව්‍යකරණයට ලක්වන්නේ කෙසේද යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙනි. ආගමික වෙනසක් සිදුකිරීමේදී සංක්‍රමණය උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියාත්මක වන සිද්ධි, ප්‍රත්‍යයෙක අධ්‍යයන වශයෙන්  සලකා අධ්‍යයනය කිරීම කෘතියේ ප්‍රධාන අවධාරණය වේ. වඩාත් පැහැදිලව පවසන්නේ නම්, මෙයින් ගම්‍යවන්නේ ජීවමාන ආගම සහ එහි විවිධාකාර හා ගතික ස්වභාව අවධාරණය කළයුතු බවයි. සංස්කාරකවරුන් තර්ක කරන පරිදි, ආගම යනු සංක්‍රමණිකයින් ඔවුන්ගේ නව සන්දර්භ හා අන්තර්ජාතික ජාල වෙත යොමු කරන ස්ථාවර සංඥාවක් නොවේ. ඒ වෙනුවට එය ක්‍රියාත්මක වන්නේ, අර්ථ නිර්මාණය කළ හැකි නම්‍යශීලී හා නිර්මාණාත්මක උපකරණයක් වශයෙන්ය. එනිසා ආගම හා සංක්‍රමණය කෙරෙහි අවධානය යොමු කිරීම ඔස්සේ ආගමික වෙනස්වීම්, අත්හදා බැලීම් සහ නව්‍යකරණ සිදුවන්නේ කෙසේදැයි දැනගැනීමට අපට අවකාශ ලබාදෙයි.

කෘතිය මගින් ඉදිරිපත් කරන ආනුභවික දත්ත සහ එහි න්‍යායාත්මක පදනම සම්බන්ධයෙන් බලන කළ, මෙම කෘතිය පැහැදිලිවම කාලෝචිත එකකි.  ප්‍රධාන වශයෙන්, වෙළුමේ කතුවරුන් න්‍යායාත්මක විවාද තුනක් සමඟ ගණුදෙනු කරන බව පෙනේ. ඉන්  පළමුවැන්න නම්, තෝමස් ට්වීඩ් විසින් යෝජනා කරන ලද සංක්‍රමණ ක්‍රියාවලිය තුළින් ජීවමාන ආගම නිර්වචනය කිරීම පිළබඳ අදහසයි.  එය ඔහුගේ ‘තරණය කිරීම හා වාසය කිරීම’ පිළිබඳ (crossing and dwelling) න්‍යාය හා බැඳී පවතී  (Thomas Tweed, Crossing and Dwelling: A Theory of Religion, Harvard University Press, 2006). දෙවන විවාදය පදනම්ව ඇත්තේ, තෝමස් ක්සෝර්ඩාස් විසින් ඉදිරිපත් කරන ලද ‘අන්තර්ජාතික ජාල’ (transnational networks) පිළිබඳ අදහස මතය (Thomas Csordas, Transnational Transcendence: Essays on Religion and Globalization, University of California Press, 2009). කෘතිය ඔස්සේ ඉදිරිපත් කර ඇති සංක්‍රමණිකයන්, ඔවුන්ගේ නව්‍ය හා ජීවමාන ආගමික පිළිවෙත් සහ විශ්වාස තුළින් ජනවාර්ගික, භාෂාමය හා ජාතික සීමා ඉක්මවා යන අන්තර්ජාතික නියෝජිතයන් වශයෙන් අපට විද්‍යමාන වේ. අවසාන වශයෙන්, එය ‘සම්බන්ධතා ජාලයන්’ (networks) පිළිබඳ මැනුවෙල් වස්කේස්ගේ අවධාරණය සමඟ සම්බන්ධ වේ (Manuel Vasquez, Studying Religion in Motion: A Networks Approach, Method and Theory in the Study of Religion, 2008). ඒ සමගම මේ අවසන් විවාදය වස්කේස්ගේ ම ‘ද්‍රව්‍යමයභාවය’ (materiality) යන අදහස සමග ද සම්බන්ධ වේ  (Manuel Vasquez, More than Belief: A Materialist Theory of Religion, Oxford University Press, 2011).

කෘතියට දායකවී ඇති  විද්වත්තු  විවිධ විෂය ක්‍ෂේත්‍ර නියෝජනය කරති.  එලෙසම, සංස්කාරකවරුන් දෙදෙනා ද  මානව විද්‍යාව හා ආගම පිළිබඳ ප්‍රමුඛ විශාරදයින් වන අතර, ආසියානු අධ්‍යයන ක්ෂේත්‍රයේ  ද ප්‍රකට ය. අනෙකුත් කතුවරු මානව විද්‍යාව, සමාජ විද්‍යාව, ආගමික අධ්‍යයන, ආසියානු අධ්‍යයන සහ සංස්කෘතික අධ්‍යයන යන අනේකවිධ පර්යේෂණ පසුබිම් නියෝජනය කරති. කෙසේ වුව ද, බොහෝ පරිච්ඡේද ලියා ඇත්තේ මානව ශාස්ත්‍ර පිළිබඳ විශාරදයන් විසිනි.

කෘතියේ ඇතුළත් වී තිබෙන පරිච්ඡේද දහය කොටස් තුනකට බෙදා ඇත. ඒවා නම්, ජංගම ආගමික පිළිවෙත්; අන්තර්ජාතික වශයෙන් පුද්ගලයින් එක ආගමකින් වෙනත් ආගමකට හරවා ගැනීම සහ ඩයස්පෝරාවේ ආගම්වාදය නැවත සකස් කිරීම  යන තේමා ත්‍රිත්වයයි. මෙම කොටස් තුන ඉහත සඳහන් කළ න්‍යායාත්මක ආරම්භක ස්ථාන තුන සමඟ සමපාත වේ. කතුවරුන් විසින් උතුරු ඇමරිකානු යෝගී සංක්‍රමණිකයන්, අග්නිදිග ආසියාවේ චීන සංක්‍රමණිකයන්, රෝමයේ ඉන්දියානු සහ පිලිපීන සංක්‍රමණිකයන් සහ තායි-බුරුම දේශසීමාවල අවතැන් වූ කැරන් ගම්වැසියන් පිළිබඳ ප්‍රත්‍යයෙක අධ්‍යයන කිහිපයක් ඉදිරිපත් කරයි. මෙම පරිච්ඡේදවල හින්දු ආගමේ හා බුද්ධාගමේ සිට ක්‍රිස්තියානි ධර්මය හා ඩාවෝ ධර්මය (Dawoism or Taoism) දක්වා පුළුල් පරාසයක ආගම් පිළිබඳව සාකච්ඡා කෙරේ. ග්‍රන්ථය සැකසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි  එකම විවේචනය වන්නේ, ක්‍රිස්තියානි ධර්මය, මූලික වශයෙන් කතෝලික ධර්මය (පරිච්ඡේද 5) තරමක් අසමාන ලෙස අවධාරණය කිර තිබීමය.

විවිධ පරිච්ඡේදවල මාතෘකා කෘතිය තුළ දැකගත හැකි අති විශාල විවිධත්වය පෙන්නුම් කරයි. ආගමික හේතු මත පදනම්ව සංචාරය කරන ගිහි සංක්‍රමණිකයන් හා වඩාත් මිෂනාරි කරුණු පෙරදැරි කරගෙන  සංක්‍රමණයේ යෙදෙන  පූජකයන් පිළිබඳව ද මෙම කෘතිය සාකච්ඡා කරයි. එමගින් විවිධ ආසියානු රටවල් අතර ගමන් කරන සංක්‍රමණිකයන් සහ මහාද්වීපික මායිම හරහා ගමන් කරන සංක්‍රමණිකයින් පිළිබඳ විස්තර ද අපට ඉදිරිපත් කරයි. සංක්‍රමණිකයන් හුදෙක් ගමන් කරනුයේ එක තැනක සිට තවත් තැනක් වෙත පමණක් නොවේ. ඇතැමුන් නිරතුරුවම  යම් ප්‍රදේශවල සිට තවත් ප්‍රදේශ දක්වා වරින්වර ගමන් කරන බවද  මෙහි කතුවරු අපට පෙන්වා දෙයි. ඇතැම් අවස්ථාවලදී, සංක්‍රමණය සිදුවන්නේ අසමාන බල සම්බන්ධතා පිළිබඳ අවකාශයක් තුළ වන අතර, තවත් විටෙක දී සංක්‍රමණිකයින්ට තමන්ට අවශ්‍ය තැනකට ගොස්, ඔවුන්ට රිසි දේ කිරීමට නිදහස ලැබෙන බව පෙනේ. මෙසේ ඉදිරිපත් කර ඇති විවිධත්වය කෘතියේ ප්‍රධාන ශක්තිය මෙන්ම එහි දුර්වලකමක් ද වේ. එනම්, මේ ක්‍ෂේත්‍රය මීට වඩා බෙහෙවින් පුළුල් ලෙස පර්යේෂණයට ලක් කළ යුතු බව එයින් ගම්‍යමාන වේ.

පොතට පසු වදන ලියා ඇත්තේ මානව විද්‍යාව හා ආගම පිළිබඳ මහාචාර්ය ජේන්ස් ඇලිසන් හොස්කින්ස් විසිනි. ආසියානු සංක්‍රමණිකයින්ගේ අත්දැකීම් සැබැවින්ම ආසියානු බවට පත් කරන්නේ කෙසේද යන ප්‍රශ්නයට ඇය සිය පරිච්ඡේදයෙන් පිළිතුරු සපයයි. සමස්තයක් ලෙස ගත කළ, කෘතිය  මගින් නව්‍ය දෘෂ්ටිකෝණ තුනක් ඉදිරිපත් කර ඇති බව ඇය තර්ක කරයි. ඒවා නම්, ආසියාව තුළ සංක්‍රමණය වීමේ දී දැකගත හැකි විශේෂතා; ආසියානු සන්දර්භ තුළ ආගම පිළිබඳ ඇති විවිධ පර්යාවලෝක හා අදහස් සහ  සංක්‍රමණ අධ්‍යයනය සඳහා වඩාත් ධනාත්මක ප්‍රතික්‍රියාශීලී ප්‍රවේශයක් යනාදියයි. කෘතිය මගින් සංක්‍රමණිකයන් ඉදිරිපත් කර ඇත්තේ ගෝලීයකරණයේ ගොදුරු ලෙස හෝ සාම්ප්‍රදායික සාරධර්ම හා ආගම්වල ගැලී සිටින්නවුන් වශයෙන් හෝ  නොවේ. ඒ වෙනුවට ඔවුන් අපට දිස්වන්නේ, තමන්ගේ ජීවිත නව්‍යකරණය කරනු ලබන හා තම ජීවිත පුනර්ජීවනය කරන නියෝජිතයන් ලෙස ය. තව ද, ආසියාවේ ආගම යුරෝපීය හෝ ඇමරිකානු සන්දර්භයන්ට වඩා වැඩි නම්‍යශීලීත්වයක් හා අඩු බහීශ්කරණ ප්‍රවණතා පෙන්වන බව ද කෘතිය පෙන්වා දෙයි. මෙම අදහස්  නව අදහස් නොවුන ද, ඒවා කෘතියේ මාතෘකාවේ සන්දර්භය තුළ කේන්ද්‍රියව වැදගත් වේ. එමෙන්ම, ඒවා සංක්‍රමණය සහ ආගම පිළිබඳ සමස්ත අධ්‍යයනයේ දී ද අවධාරණය කළ  යුතු තේමාවන්ය.

සමස්තයක් වශයෙන් ගත් විට, මෙම අධ්‍යයන ක්‍ෂේත්‍රයේ මෙතෙක් පළවී ඇති උසස්ම කෘතියක් වශයෙන් මෙය හදුන්වා දිය හැක.  එක් එක් පරිච්ඡේද මගින් සංක්‍රමණික අත්දැකීම් සහ ගතික මෙන්ම ජීවමාන ආගමික පිළිවෙත් හා විශ්වාස පිළිබඳ සවිස්තරාත්මක හා ගැඹුරු විස්තරයක් ලබා දේ. ඊට අමතරව, කෘතිය ඉතා කාලෝචිත න්‍යායාත්මක විවාද සමඟ ද සම්බන්ධ වේ. ආසියානු සන්දර්භය තුළ පමණක් නොව, වෙනත් ඕනෑම පසුබිමක වුවද  ආගම සහ සංක්‍රමණය අතර සබඳතා අධ්‍යයනය කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මෙය අගනා මුලාශ්‍රයක් වන බව නොඅනුමානය.

(මරිස්ක්  වෙස්ටෙන්ඩෝප් මානව විද්‍යාඥවරියක් මෙන්ම ආගමික අධ්‍යයන පිළිබඳ විශාරදයෙක් ද වේ. මෙම විමර්ශනය මුලින්ම පළවූයේ 2019 නොවැම්බර් 20 වනදා ‘රීඩින්ග් රිලිජන්’  වෙබ් අඩවියේය. එය සිංහලයට පරිවර්තනය කිරීමට හා නැවත පළකිරීමට අවසර දීම පිලිබඳව විමර්ශිකාවට පඨිත සංස්කාරක මණ්ඩලයේ ස්තූතිය හිමි වේ)

Leave a comment

This website uses cookies to improve your web experience.