Skip links

කාන්තාව දේශපාලනයේ සහභාගී වීම සහ පුරුෂ මූලික පන්ති අරගල

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය

පසුගිය දිනක කාන්තාව අරගලය තුළ සහභාගිවීම පිලිබඳව පැවැත්වූ සාකච්ඡාවක අශිලා නිරෝෂිනී දන්දෙණිය සොයුරිය ඉදිරිපත්කළ අදහස් ඇසුරින් මෙම සටහන පන්නරය ලබයි. ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය අවම වීම සහ එසේ අවම වීමට හේතු මොනවාද යන්න අශිලා දන්දෙණිය ගේ කරුණු දැක්වීමේ මූලික තේමාවක් බවට පත්විය.  එහිදී ඇය කියා සිටියේ, ලංකාවේ වෘත්තීය සමිති අවකාශ තුළ පවතින ‘පන්ති දේශපාලනය’ මගින්  කාන්තාවට ඒවා තුළ ක්‍රියාකාරී වීම හෝ ස්ථානගතවීම වළක්වා ඇති බවයි. ඒ වෙනුවට, රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් සිවිල් ක්‍රියාකාරී සංවිධාන තුළ ස්ථානගත වීම කාන්තාවට පහසු බව ඇය කියා සිටියාය. එයට හේතුව වී ඇත්තේ, මෙම සංවිධාන ව්‍යුහ විසින් සංස්කෘතික දේශපාලනය පිළිබඳ අවකාශ විවෘතකර තිබීමත්, එම අවකාශවලට ඇතුළුවීම සහ ඒවා තුළ ක්‍රියාත්මක වීම පන්ති අරගල මූලික කරගත් වෘත්තීය සමිති අවකාශවලට ඇතුළු වීමට වඩා පහසු වීමත්ය. ඇයගේ අදහස වූයේ, සංස්කෘතිය හා දේශපාලනය මුසුවී අවකාශවල සිට ගැනීමට කාන්තාවට වඩාත් අවස්තා ඇති බවයි. ඒ අනුව, සංගීතය හා රැඟුම් ආදී විවිධ සංස්කෘතික අංග සහිත අරගල අවකාශයට මුසුවීමට කාන්තාවට ඉතා පහසු බව ඇයගේ අදහස විය. අශිලා දන්දෙණිය ගේ ඒ අදහස අනුව යමින් අප සිතිය යුත්තේ, පන්ති අරගල ලෙස යමක් සිදුකරන වෘත්තීය සමිති අවකාශ තුළ කාන්තාවට සක්‍රීය ලෙස සහභාගී වීමේ හැකියාව නොමැති හෝ අවම වී ඇත්තේ ඇයි ද යන්නයි.

කාන්තාව ඇතුළුවිය යුත්තේ සංස්කෘතික අවකාශවලට පමණද? ලංකාවට වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙනෙන්නේ කාන්තාවෝය. ඔවුන් ගෙනෙන ඩොලර් විශාල වශයෙන් වියදම් වන්නේ පුරුෂ මිලිටරිය සහ මිලිටරි ප්‍රභූ පැලැන්තිය  නඩත්තු කිරීමටය. සිංහල බෞද්ධ මිලිටරි පුරුෂ මූලික රාජ්‍ය මෙවැන්නක් සිදු කිරීම ඉතාම සාමාන්‍ය තත්වයකි. නමුත්, ඒ පුරුෂ රාජ්‍ය සමඟ ගැටීම සඳහා නිර්මාණය වූ  පන්ති අරගල මූලික කරගත් වාමාංශික අවකාශ තුළින් ගැහැනුන් බහිෂ්කරණය වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. ආර්ථික අවකාශය තුළ ශ්‍රමය වපුරන ගැහැනුන් ගැන තීරණ ගැනීමටත්, ඒ තීරණවල අසාධාරණ බව තීරණය (නො) කිරීමටත්, එම තීරණවලට එරෙහි (නො)වීමටත් බලය ඇත්තේ පුරුෂයින්ට පමණි. මෙම වෘත්තීය සමිති පන්ති අරගල වෙනුවෙන් පෙනී සිටින වාම වෘත්තීය සමිති වුවත්, ප්‍රධාන ධාරාවේ දේශපාලන වෙනස්කම්වලට අනුකූල ලෙස මේවා වෙනස් කරගනු දැකගත හැකි වෙයි. මීට අමතරව, ටර්නර් සහ බ්‍රවුන් හිල් යෝජනා කරන්නේ, වෘත්තීය සමිති මගින් කාන්තාවන් සංවිධානය කිරීම නොසළකා හැර, රාජ්‍ය සහ සේවකයින් අතර ‘පුරුෂ ගනුදෙනු’ පවත්වාගෙන යන බවයි. ප්‍රධාන ධාරාවේ දේශපාලන උපක්‍රම අනුව වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය වෙනස් වන්නේ එබැවිනි. මෙවැනි වෙනස්කම් තුළ ‘පන්ති අරගල’ සඳහා වූ වෘත්තීය සමිති යන අදහස ම යම් ආකාර ගැටලුකාරී තත්ත්වයකට පත් වෙයි. එහිදී ‘මතවාද’ වෙනුවට දේශපාලන උපක්‍රමවල අතකොලු බවට පත්වීමට සේවකයින්ට සිදුවන අතර, වඩාත්ම වින්දිත භාවයට පත්වන්නේ, මෙම අවකාශ තුළ වැඩි හඬක් නොමැති බහුතර ස්ත්‍රී ශ්‍රමිකයින්ය. ඊට අමතරව, එසේ ආර්ථික තීරණ ගැනීමේ අවකාශවලින් බැහැර වන ගැහැණුන්, සංස්කෘතික දේශපාලනයේ අවකාශ තුලට ඇතුළත් වන්නේ ඇයි? එය සිදුවන්නේ, ගැහැණිය ඕනෑම අවකාශයකට සෞන්දර්යය කැන්දාගෙන එන  ‘සැරසිල්ලක්ය’ යන ප්‍රධාන ධාරාව තුළ කාවැදී ඇති වික්ටෝරියානු අර්ථයෙන්ය යන්න මගේ එක යෝජනාවක් වෙයි.

පන්ති අරගල-කේන්ද්‍රීය වෘත්තීය සමිති දේශපාලනය තුළ පමණක් නොව, වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාර තුළත් කාන්තා නායකත්වය දැකීම අතිශයින් දුලබය. පන්ති අරගල කාන්තාවන්ට අකැප ද? මෙම වාම ව්‍යාපාර තුළ බොහෝ විට කාන්තාව යොදා ගැනෙන්නේ විරෝධතාවයේ ඔලු ගෙඩි ප්‍රමාණය පුරවන සංඛ්‍යාත්මක සහ  ‘කාන්තාවන්ද  ඇතුළත්ය’ යන සංකේතීය අර්ථයෙන් පමණි. එසේ නොමැතිව, කාන්තාව තීරණ ගැනීම සඳහා හෝ නායකත්වය සඳහා තල්ලු කෙරෙන ව්‍යුහ මෙම වාම විකල්ප තුළ ද දක්නට නොලැබෙයි. ඒ අර්ථයෙන් ගත්විට, රාජපක්ෂ දේශපාලනය තුළ මෙන්ම පන්ති අරගල මූලික කරගත් වාම දේශපාලනය තුළත් කාන්තාවට හිමිවන්නේ ආන්තීකකරණය වූ ආස්ථානයකි. මේ සියල්ලන්ටම වෙනස්ව, ඉතාම ප්‍රගතිශීලි මට්ටමේ කාන්තා සංවිධානය වීම් දැකගත හැකිය.

එනමුත්, මේ අතරම, වාමාංශික සහ ප්‍රගතිශීලි යැයි පෙනෙන නමුත්, පුරුෂාධිපත්‍යමය ව්‍යුහ විසින්ම ක්‍රියාත්මක වන ස්ත්‍රී සංවිධාන සහ ව්‍යාපාර ද දැකිය හැකිය. මෙම දෙවෙනි වර්ගයේ ස්ත්‍රී ව්‍යාපාර සහ සංවිධාන බොහෝ විට ආනුභාවසම්පන්න කාන්තාවන් කිහිප දෙනෙකු විසින් මෙහෙයවනු ලබන අතර, එම ආනුභාවසම්පන්න ස්ත්‍රීන් මෙහෙයවීම සඳහා පෞද්ගලික තලයේ  වාමාංශික පුරුෂ සම්බන්ධතා ව්‍යුහ එකතරා ආකාරයක බල ව්‍යුහ ලෙස ක්‍රියාත්මක වනු දැකිය හැකිය.

පන්ති අරගල දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාව නොසලකා හැරීම ඉතාම යල්පැනගිය වාම දේශපාලන භාවිතයකි. ඒ වෙනුවට, නව වම විසින් යෝජනා කරන්නේ, වඩාත් පුළුල් සහ ආන්තීකරණයට ලක්වූ සියලු කොටස් වෙනුවෙන් පෙනී සිටින ආකාරයේ දේශපාලන භාවිතයකි. වාමාංශික චින්තනයේ නව මාන ලංකාවේ පන්ති අරගල මූලික කරගත් වෘත්තීය සමිති තුළට කාන්දු විය යුතුය. නැතහොත්, ඒවා සමඟ සමීප සම්බන්ධතා පවත්වන දේශපාලන පක්ෂ ඒ වෙනුවෙන් යම් උපක්‍රමික ක්‍රියාමාර්ගවලට සවිඥානිකවම එළඹිය යුතු බව මාගේ යෝජනාවයි.

මූලාශය

Turner, T.E. and Brownhill, L.S. 2005 ‘We Want our Land Back: Gendered
Class Analysis, the Second Contradiction of Capitalism and Social Movement
Theory.’ In, Capitalism, Nature and Socialism, Vol. 15, No. 4 (December 2004).

Leave a comment

This website uses cookies to improve your web experience.