Skip links

දැකීමේ නව ආකාර: මානව විද්‍යාව හා දෘශ්‍යත්වය

Perera, Sasanka. Fear of the Visual? Photography, Anthropology and Anxieties of Seeing (දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා). නව දිල්ලිය: ඕරියන්ට් බ්ලැක්ස්වෝන් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 280. ISBN: 978-93-5287-995-3. මිල: ඉන්දියානු රුපියල් 850.00 (ඝන කවරය සහිතව).

විමර්ෂණය: රශී භර්ගාවා
පරිවර්තනය: අනුෂ්කා කහඳගමගේ

දෘශ්‍යත්වය කෙරෙහි ඇති  බියකින් මානව විද්‍යාව පීඩා විඳින්නේද? මෙම ප්‍රශ්නය ගවේෂණය කිරීමේදී සසංක පෙරේරාගේ ග්‍රන්ථය, මානව විද්‍යාත්මක භාවිතය සහ ඡායාරූපකරණය අතර ඇති  බුද්ධිමය ඛන්ඩනය ඓතිහාසිකව විශ්ලේෂණය කිරීමේ අති දුෂ්කර කාර්යය තමා වෙත පවරා ගනියි. ‘දැකීම’ (seeing) යන්න නිරතුරුවම ප්‍රමුඛ කරගත් මානව විද්‍යාව වැනි විෂය ක්‍ෂ්ත්‍ර තුළ, ලිවීමේ ක්‍රියාව මගින්  දෘශ්‍යමය දේ නොසලකා හැරීම කතුවරයා දකින්නේ පරස්පරතාවක් ලෙසයි. ග්‍රන්ථ නාමයේ කොටසක් ලෙස ‘දැකීමේ සංකා’ (anxieties of seeing) යන වාඛ්‍ය ඛණ්ඩය ඔහු භාවිත කර ඇත්තේ මේ අර්ථයෙනි. පෙරේරා තම තර්කය අවසාන කරන්නේ මෙම (අ)ප්‍රකාශිත බියෙහි කාලීන නිරූපණය ස්ථානගත කළයුතු වන්නේ ‘පශ්චාත් ලිවීමේ සංස්කෘතිය’ යන බුද්ධිමය කතිකාව මගින් සළකුණු කළ න්‍යායාත්මක සහ ක්‍රම වේදීය පැරඩයිමය තුළ බව යෝජනා කරමනි. එමගින් ලේඛන-කේන්ද්‍රීය, එනම් එක් ආකාරයේ දැකීමක් (සහභාගී නිරීක්ෂණය, ක්ෂේත්‍ර පර්යේෂණ, මානවවංශ ලේඛනකරණය ඔස්සේ රචනාකරණය වෙත යොමු වීම), අනෙක් ආකාරයේ දැකීමක් (කැමරාවක් මඟින් හසුකරගන්නා දේ) ධුරාවලිගත ලෙස ස්ථානගත කිරීමයි. ඒ අනුව, ඡායාරූප කියවිය හැකි පඨිත ලෙස සන්දර්භ ගත කිරීම, න්‍යායගත කිරීම, අර්ථගැන්වීම සහ නිරූපණය කිරීම කලක් තිස්සේ අසාර්ථක වී ඇත. ක්‍ෂ්ත්‍රයේ ප්‍රවීණයින් සැළකිය යුතු ප්‍රමාණයකගේ රචනාවලට අවධානය යොමු කරමින් පෙරේරා ඡායාරූප සම්බන්ධයෙන් මානව විද්‍යාව තුළ මෙසේ අඛණ්ඩව සිදුවී ඇති අවතක්සේරුව ආමන්ත්‍රණය කරන අතර, ඡායාරූප හුදු අවශිෂ්ටයක් ලෙස නොව, මානව විද්‍යාඥයාට දැකිය හැකි, තේරුම්ගත හැකි, අර්ථගැන්විය හැකි සහ නියෝජනය කළහැකි මූලාශ්‍ර ලෙස සැලකිය යුතු බව යෝජනා කරයි. ඔහු තවදුරටත් පවසන්නේ, ඡායාරූප  සමාජ විද්‍යාඥයාට හෝ සමාජ මානව විද්‍යාඥයාට ‘දැකීමේ නව ආකාර’ සොයා දෙන සහ තමාට නව හඬක් සොයා ගැනීමට උපකාරවන ක්‍රමවේදීමය මෙවලමක් ලෙස යොදාගත හැකි බවයි.

පෙරේරා විවාදයට පිවිසෙන ආකාරය හේතුවෙන් ඔහුගේ ග්‍රන්ථය, මේ විෂය සම්බන්ධ අනෙකුත් ග්‍රන්ථවලින් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකිය. ස්වයං-චරිතාපදානමය සහ ශාස්ත්‍රීය ආකෘති සහ ඒවාට ඇති විරෝධතා යන සියල්ලට එක සමාන වැදගත්කමක් දෙන මෙවැනි ශාස්ත්‍රීය රචනයක්  කියවීම අනිවාර්ය වශයෙන්ම නව අත්දැකීමක් වෙයි.  තේමා, තර්ක සහ නිගමන වලින් යුතු ශාස්ත්‍රීය ආඛ්‍යානයක් ගොඩනැගීමට පෙරේරා තම පෞද්ගලික මතකයන් යොදා ගනී. මෙමගින්, එක අතකින් පෞද්ගලික සහ වෘත්තීයමය අවකාශ අතර අසම්පූර්ණ සංවාද මෙන්ම අනෙක් අතට පුළුල් න්‍යායාත්මක, ක්‍රමවේදීමය සහ විෂයානුබද්ධ තත්ත්ව සඳහා අවධානය ලබාදෙන ග්‍රන්ථයක් අප වෙත පමුණුවයි.  ඔහු ගෝලීය දකුණේ ස්ථානගත වීම (ශ්‍රී ලංකාව සහ ඉන්දියාව) මෙම සංවාදයට සහ එහි ගොඩනැගීමට, ආකර්ෂණීය ස්ථරයක් එක් කරයි.  

තීව්‍ර පර්යේෂණ පදනමකින් හා ඉතා දිගු ආශ්‍රේය ග්‍රන්ථ නාමාවලියකින් යුක්ත මේ ග්‍රන්ථය මෙම විවාදයට ආගන්තුක වූවන්ට වුවද  කියවීමට රුචියක් ඇතිකරනු ඇත. මේ හා බැඳුනු තේමා සහ විවාද සමඟ ගණුදෙනුකරන්නන්ට මෙම ග්‍රන්ථය, සම්ප්‍රදායික යූරෝ-ඇමරිකානු න්‍යාය සහ ක්‍රමවේදයන් වෙනුවට එහි ඇති දකුණු ආසියාතික පර්යේෂණ පදනම සත්කාරක අතිරේකයක් වනු ඇත. රූපය සහ වචනය අතර පවතින ගැටලුකාරී සම්බන්ධයට මෙමගින් වැදගත් කතිකාමය ස්ථරයක් එක් කරයි. ශාස්ත්‍රඥයින් බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම ක්‍රිස්ටෝෆර් පිනී, දකුණු ආසියාතික සන්දර්භය තුළ පින්තූරයට, වචනවලට වඩා බලවත් භූමිකාවක් නිරූපණය කළ හැකි බව පෙන්වා දෙයි. මෙයට  ප්‍රධාන හේතුව වන්නේ, මෙම කලාපය තුළ පවතින  වාචික ආඛ්‍යාන, ජනශ්‍රැති සහ දෘශ්‍යමය රූප ගොනුවල පොහොසත් බවයි. එනම්, ඡායාරූප භාවිතය හරහා ‘දැකීම‘ ප්‍රති-අරුත්ගැන්වීම මගින්, කලාපයේ සමාජ සහ මානව විද්‍යාත්මක පර්යේෂණවලට වැඩි ප්‍රතිලාභ අත්කරගත හැකිය.

පොත පරිච්ඡේද නවයකින් යුක්ත වන අතර, ඒ සෑම පරිච්ඡේදයක්ම ඇරඹෙන්නේ එම පරිච්ඡේදය මගින් සාකච්චාකරන තේමාව වෙත පාඨකයා ගෙනයන ආකාරයේ, තම පෞද්ගලික ජීවිතයේ කතාවකින් සහ උද්ධෘතයකින් මෙන්ම පෙරේරාගේ පෞද්ගලික එකතුවෙන් තෝරාගත් ඡායාරුප කිහිපයක් ද සමඟිනි.  ඡායාරුපයක සහ එහි අර්ථයේ ‘අසම්පුර්ණ බව’, පෞද්ගලික සහ සාමූහික මතකය විසින් නිරූපණය කරන භූමිකාව, පුද්ගලයින්ගේ අතීතය සහ වර්තමානය, සංස්කෘතික සහ සමාජ ලෝකය ගවේෂණය සඳහා ඡායාරූපයකට ඇති ආඛ්‍යානමය හැකියාව පෙරේරා විසින්  හැඳින්වීමේදී මතුකර දක්වයි. දෙවන සහ තෙවන පරිච්ඡේද, මානව විද්‍යාවේ සහ යටත්විජිතවාදයේ සමකාලීන ඉතිහාස සහ එය දකුණු ආසියාවේ ඡායාරූපකරණ භාවිතය සමඟ අන්තර්ඡේදනය වන ආකාරය ගවේෂණය කරයි.  එමගින් තවදුරටත් ඔහු උත්සාහ කරන්නේ, දකුණු ආසියා කලාපය බොහෝ කලක් තිස්සේ බැදී තිබෙන කතිකාමය හුය හෙළිදරව් කිරීමටත්, එය තත්කාලීන තත්ත්වයන්ට සාපේක්ෂව නැවත ඇඳීමටත්ය. පස්වන සහ හයවන පරිච්ඡේද මෙතෙක් ගොඩනගා තිබූ ආඛ්‍යානයෙන් ඔබ්බට ගමන් කරයි. මෙමගින් ඔහුගේ උත්සාහය වන්නේ, ඡායාරූපකරණය හා බැදී ඇති ඛන්ඩිත ඉතිහාසය හා දේශපාලනය ගවේෂණය කිරීමයි. ඒ සදහා ඔහු අවධානය යොමුකරන්නේ තාක්ෂණික මෙවලම් හරහා මහජන අවකාශයේ සරණ ‘ස්වීයත්වයක්’ පුද්ගලයින් විසින් ගොඩනගා තිබෙනුයේ කෙසේදැයි සොයාබැලීමය. වර්තමාන කාලයේ ස්ථානගත වෙමින්, මෙම පරිච්ඡේද දෙක, ඡායාරූප පිලිබඳ අධ්‍යයනය කළහැකි නව ක්ෂේත්‍ර (උදාහරණ ලෙස සෙල්ෆි සහ විවාහ මංගල පින්තූර) හඳුන්වා දෙයි. හයවන පරිච්ඡේදය, උප-විෂය ක්ෂේත්‍ර දෙකක් වන දෘශ්‍ය මානවවිද්‍යාවේ සහ දෘශ්‍ය සමාජවිද්‍යාවේ මතුවීමට බලපෑ සාධක සහ ඒවායේ ගම්‍යමාන වීම් ගවේෂණය කරන්නේ, තුන්වන පරිච්ඡේදයේ ගොඩනඟන ලද ආඛ්‍යානයට කරනු ලබන එකතු කිරීමක් ලෙසිනි.  ක්‍රමවේද සහ ප්‍රවේශ හරහා යම් පැහැදිලි පර්යේෂණ ක්ෂේත්‍රයක් ගොඩනගාගෙන තිබුන ද මේ උප-විෂය ක්ෂේත්‍ර සැබවින්ම පවතින්නේ ප්‍රධාන ධාරාවේ සමාජ හා මානව විද්‍යා විෂය පථයේ පර්යන්තයේ බව පෙරේරා විග්‍රහ කර දක්වයි. දෘශ්‍ය පර්යේෂණවලදී පිළිපැදිය යුතු දැනුවත් එකඟතාව (informed consent), පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, ප්‍රකාශන අයිතිය, ප්‍රදර්ශනය සහ බෙදාහැරීම පිළබද අචාරධර්ම, අඥාත භාවය වැනි ආචාරධාර්මික ගැටළු මීළඟ පරිච්ඡේදයෙන් ගවේෂණය කරයි. මෙවැනි ආචාරධර්ම පද්ධතියක් මේ පරිච්ඡේදය මගින් ඉදිරිපත් නොකරන  නමුත්, එමඟින් මේ පිළිබඳ අනාගත සංවාද සඳහා  අවකාශ විවර කරයි. අටවන පරිච්ඡේදය, ඩිජිටල් තාක්ෂණයේ කාලීන ව්‍යුහ සහ ඛණ්ඩනය වූ ස්වීයත්වයන් හරහා ඡායාරූප පිළිබඳ පවත්නා භාවිතයන් පිළිබඳ සමකාලීන විශ්ලේෂණයකට යොමු වෙයි. අවසාන පරිච්ඡේදය මගින්, ඡායාරූපකරණ භාවිතය සම්බන්දයෙන් සමාජ සහ මානවවිද්‍යා ක්ෂේත්‍ර තුළ නිරන්තරවම මතුකරන දෘශ්‍යත්වය පිළිබද සාංකාවන් මතු කරමින් හා එය ආමන්ත්‍රණය කරමින් මෙතෙක් ගොඩනැගූ ආඛ්‍යානය පූර්ණත්වයකට ගෙන එයි. අවසානයේදී, ඡායාරූප පිලිබඳ අපගේ ආකල්ප විපරිවර්තනයකට ලක්නොවුවහොත්, දකීම පිළිබදව අප තුළ ඇති සාංකාවන් දුරු කරගැනීමට මෙන්ම ඡායාරූප අප වෙත ලබාදෙන භාව්‍යතාව ප්‍රයෝජනයට ගැනීමටත් නොහැකි වනු ඇති බව පෙරේරා තරයේ කියා සිටියි.  

මේ අනුව, The Fear of the Visual?  බහුත්ව තල අතර කෙරෙන සංවාදයකි. එනම්, මේ සංවාදය සිදුවන්නේ සමාජ විද්‍යාව, මානව විද්‍යාව සහ ඡයාරූපකරණය;  අතීතය සහ වර්තමානය;  යූරෝ-ඇමෙරිකානු සහ දකුණු ආසියාතික චින්තන පද්ධති සහ විශේෂයෙන්ම එක්තරා ආකාරයේ දැකීමක් සහ තවත් ආකාරයේ  දැකීමක් යන තල ඔස්සේය. එබැවින් එය අඛණ්ඩ මෙන්ම ඛණ්ඩනය වූත්, බහුත්ව හැරවුම් ලක්ෂවලින් ද යුක්ත සංවාදයකි. එනිසාම, මේ සංවාදය නිසි ලෙස තේරුම් ගැනීමට නම්, එය බහුවිධ ක්‍ෂේත්‍ර තුළ ගවේෂණය කළයුතු සහ සන්දර්භගත කළ යුතු වෙයි.

(මෙම විමර්ශනය මුලින්ම පළවූයේ නොවැම්බර් 13 වනදා කොල්කතාවේ පළවෙන ‘ද ටෙලිග්‍රාෆ් ‘ පුවත්පතේ වෙබ් අඩවියේය. එය සිංහලයට පරිවර්තනය කිරීමට හා නැවත පළකිරීමට අවසර දීම පිලිබඳව විමර්ශිකාවට පරිවර්තකවරියගේ ස්තූතිය හිමි වේ)

Leave a comment

This website uses cookies to improve your web experience.