Skip links

දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා

Perera, Sasanka. Fear of the Visual? Photography, Anthropology and Anxieties of Seeing (දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා). නව දිල්ලිය: ඕරියන්ට් බ්ලැක්ස්වෝන් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 280. ISBN: 978-93-5287-995-3. මිල: ඉන්දියානු රුපියල් 850.00 (ඝන කවරය සහිතව).

විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ

සමකාලීන මිතුරන්ගේ පින්තූර ඇල්බම පෙරළන සෑම විටකමක මට හැඟී ගිය කරුණක් වූයේ, එක් එක් පරම්පරාවන්ට අයිති ඡායාරූපවල යම් විශේෂිත රටාවක් පවතින බවයි. ඇල්බමය පුරාවටම එක් පරම්පරාවකට අයත්වූවන්ගේ  මුහුණු පමණක් වෙනස් වූ අතර, සිරුරේ ලීලාව සහ මුහුණේ ඉරියව් බොහෝ විට සමාන රාටවක් සහිත විය. මා කිසිදින ශාස්ත්‍රීය මට්ටමකින් මේ පිලිබඳ පර්යේෂණ සිදුකර නොමැති වුවත්, පළමු උපාධිය හදාරන අවධියේ ‘මාධ්‍ය සහ සමාජ විද්‍යාව’ පාඨමාලාව තුළින් ජෝන් ටැග්, සිග්ෆ්රෙඩ් ක්‍රෑකවර්, රෝලන්ඩ් බාත්ස්, ජෝන් බර්ජර් වැනි න්‍යායවේදීන්ගේ දැනුම හරහා ඡායාරූපයකරණයේ දේශපාලනය සහ ජාතික රාජ්‍ය සංකල්පය ශක්තිමත් කිරීම කෙරෙහි ඡායාරූප යොදාගත් ආකාරය පිලිබඳ යම් අවබෝධයක් ඇතිවිය. සසංක පෙරේරා විසින් රචිත Fear of the Visual? Photography, Anthropology and Anxieties of Seeing (දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා) කෘතිය කියවීමට මට අවස්ථාව ලැබුනේ ඉහත න්‍යාය පරිශීලනය කිරීමෙන් දශකයකට පමණ පසුවයි.

පෙරේරාගේ කෘතිය,  අධ්‍යයනික විෂය ‘විද්‍යාත්මකකරණය කිරීම’ සහ ‘වලංගුභාවයට’ පත්කිරීමේ පුනරුද යාන්ත්‍රිකතත්වයෙන් මිදී, වඩාත් සුමට ලෙස මානව විද්‍යාඥයෙකු පොදු සහ පෞද්ගලික අවකාශ ග්‍රහණය කරගන්නා ආකාරයත්, ඒ තුළ තම අධ්‍යයනික විෂය වස්තුව වන ඡායාරූප ආස්ථානාගතකරන ආකාරයත් පිලිබඳ කදිම උදාහරණයකි. ඔහු කෘතියට ප්‍රවිෂ්ට වන්නේ  කුඩා අවධියේ තම නිවසේ තිබුණු කැමරාවට ඔහුගේ තිබූ (අ)සම්බන්ධය පිලිබඳ  කතාන්දරයකිනි. කැමරාව කුඩා දරුවෙකු වූ ඔහුගේ අතට හසු නොවන මානයක රඳවා තිබූ ආකරයත්, නිවසේ අනෙකුත් බඩු-බාහිරාදිය එකිනෙක සමඟ ගණුදෙනුකළ ආකාරයත්, ඒවා සමඟ කැමරාව ආස්ථානගතව තිබූ ආකාරයත් විස්තර කරන කතුවරයා, ඒ හරහා ඡායාරූපවලට සමාජ තත්ත්ව ධුරාවලියේ හිමිව තිබූ ස්ථානය පැහැදිලි කරයි. මේ කතාන්දරයට ඔහු තම පවුලේ ඉතිහාසයේ කොටස් සහ මතක සටහන් එක් කිරීම මගින්, කැමරාව සහ ඡායාරූපය සමඟ වඩාත් සජීවී සංවාදයකට සහභාගී වීමේ හැකියාව කියවන්නාට ලබා දෙයි. කැමරාව කතුවරයාගේ ජීවිතය සමඟ ක්‍රමිකව සමීපවන ආකාරයත්, ඒ හරහා ඡායාරූප පිලිබඳ උනන්දුව ඔහු තුළ වැඩෙන ආකාරයත්, කෘතියේ මුල් කොටස් තුළ දිගහැරෙයි. ග්‍රන්ථය තුළ කතුවරයා තම ප්‍රස්තුතය ගොනු කරන්නේ, දකුණු ආසියාතික ප්‍රධාන ධාරාවේ සමාජ විද්‍යාව හෝ මානව විද්‍යාව තුළ  ඡායාරූප එතරම් වැදගත් සාධකයක් නොවන්නේ මන්ද යන කාරණය වටායි.

දෙවන පරිච්ඡේදය තුළ, අධිරාජ්‍යයේ බලය යටතේ යටත්විජිත තුළ පින්තූර සහ ඡායාරුප නිෂ්පාදනය වූ ආකාරය  විග්‍රහ කෙරෙයි. එහිදී යටත්විජිත පිලිබඳ ලියවිලි පින්තූර විස්තර වලින් යුක්තවූ බව කියන කතුවරයා, ඡායාරූපයේ පැමිණීමත් සමඟ, ඡායාරූප විසින්, චිත්‍ර අවකාශය ක්‍රමිකව තමා වෙත පවරා ගන්නා ආකාරය විග්‍රහ කරයි. මෙහිදී යටත්විජිත වාර්තාකිරීම් නිරන්තරවම තමා හෝ තමාද ඇතුළත් තම කණ්ඩායම විසින් මරා දමනලද සතුන්ගේ සම්, දළ හෝ අං සමඟ කැමරාවට හසුකරගත් ඡායාරූප වලින් යුක්ත විය. මේවා පුරුෂත්වය, බලය, පාලනය ආදිය නිරුපණය කරයි. කතුවරයා තවදුරටත් ප්‍රකාශ කරන්නේ, ඡායාරුප  බුද්ධිය සහ වීරත්වය පෙන්වීමේ සංකේත බවට පත්වූ බවයි. එමෙන්ම ඡායාරූප යටත්විජිත ව්‍යාප්තියේ සහ ප්‍රකාශනයේ අත්‍යවශ්‍ය තාක්ෂණික උපක්‍රමයක් විය. ඡායාරූප යටත්විජිත පාලකයින්ට පමණක් සීමා නොවූ අතර දේශීය ප්‍රභූන් අතරත් ජනප්‍රිය භාවිතයක් බවට පත්විය. යටත්විජිත තුළ ඡායාරූප හා සම්බන්ධ වූ අනෙකුත් අවකාශ පෙරේරා විසින් මතු කරයි. ඒ අතර, නූතන විද්‍යාව තුළ වර්ගීකරණය සහ වාර්තා තැබීම සඳහා ඡායාරුප භාවිතවූ ආකාරය, විචිත්‍ර සංස්කෘතීන් ඡායාරුප ගතකිරීම සහ ප්‍රදර්ශන සඳහා ඡායාරුප ඉදිරිපත්කිරීමේ වාණිජ වටිනාකම, ඡායරුපවල දේශපාලනය මෙන්ම ඒවායේ සෞන්දර්යාත්මක වටිනාකම ආදිය වැදගත් වෙයි.

තෙවන පරිච්ඡේදය වෙන්වන්නේ ඡායාරූපකරණයේ සහ මානව විද්‍යාවේ ඉතිහාසය ගවේෂණය සඳහායි. පෙර නොදුටු ආකාර  විචිත්‍රවත් දේශ දේශාන්තර මෙන්ම ඒවායේ විසූ මිනිසුන් පිළිබඳ පුදුම සහගත කතාන්තරත් විද්‍යාත්මක භාවයට පත්කරනු ලැබුවේ මානව විද්‍යාව විසිනි. මානව විද්‍යාව විද්‍යාත්මක භාවයට පත්කරනු ලැබුවේ මෙතෙක් වචන වලින් පමණක් නිරූපණය කළ මිනිසුන් ඡායරූප මත අමරණීයත්වයට පත්කිරීමෙනි. එමෙන්ම ඡායාරූප සළකනු ලැබුවේ, භාෂාවේ මැදිහත්වීමකින් තොරව යටත්විජිත ජනයා වාර්තාගත කිරීමේ ක්‍රමයක් වශයෙනි. 19 වන සියවසේ මානව විද්‍යාව වාස්තවික භාවය රැක ගැනීම කෙරෙහි යොමුවන අතර, හා මානව ශිරුරේ ලක්ෂණ වාර්තාකිරීම සිදුකරයි.  පසුකාලීනව ඡයාරූප, සමාජ-මානව විද්‍යාව හා සමබන්ධවන ආකාරයත් මේ විෂය ක්‍ෂේත්‍ර දෙකේ ක්‍රමික විකාශනයත් පෙරේරා විසින් මෙහිදී විග්‍රහ කරයි

මීළඟ පරිච්ඡේද දෙක වෙන් වන්නේ ‘සෙල්ෆි’ සහ විවාහ මංගල ඡායාරූප කෙරෙහිය. ‘සෙල්ෆි ඡායාරුප සහ ස්වීයත්වයේ අර්ථය’ (‘Selfies’ and the Meaning of the Self) යන පරිච්ඡේදය තුළ, සෙල්ෆි යන සංකල්පයේ ඓතිහාසික විකාශනය, ස්ව-ආලේඛ්‍ය සහ ආලේඛ්‍ය චිත්‍ර ඉතිහාසය තුළ සන්දර්භගත කරන කතුවරයා, වර්තමානය වනවිට වර්ධනය වෙමින් මහා පරිමාණ නිෂ්පාදනයක් හා භාවිතයක් බවට පත්ව ඇති සෙල්ෆි ඡායාරුප,  නුතන මෙන්ම පශ්චාත් නූතන ස්වීයත්ව න්‍යාය හා සම්බන්ධකර විශ්ලේෂණය කරයි.

මීළඟ පරිච්ඡේදයේදී කතුවරයා තම අවධානය විවාහ මංගල ඡායාරූප කෙරෙහි යොමු කරයි. එහිදී ඔහුගේ විශේෂ අවධානය යොමු වන්නේ එම ඡායාරූප වල දක්නා (නො)ලැබෙන මදහස කෙරෙහිය. 19 වන ශතවර්ෂයට අයත් විවාහ ඡායාරූප මෙන්ම පොදුවේ ඕනෑම ඡායාරූපයක් ගත්විට, පුද්ගලයා වඩාත් බැරෑරුම් ස්වරූපයකින් සිටින අතර, සිනහව දක්නට ලැබෙන්නේ මද වශයෙනි. නමුත් දෙවන ලෝක යුද්ධය නිමා වීමෙන් පසු සහ වර්තමානය වනවිට මේ තත්වය ක්‍රමිකව විකාශනය වී ඇති ආකාරය කතුවරයා විග්‍රහ කරන්නේ, ‘මදහස’ ඒ ඒ සමාජ සන්ධර්භ තුළ ආස්ථානගත කිරීමෙනි.  දෘශ්‍ය සමාජ විද්‍යාවක් හෝ දෘශ්‍ය මානව විද්‍යාවක් අවශ්‍ය වන්නේ ඇයිද යන්න හයවන පරිඡේදයෙන් සාකච්ඡා කෙරෙයි. එහිදී, සමාජ සහ මානව විද්‍යාව යන දෙකම දෘශ්‍යත්වය සමඟ ගනුදෙනු කිරීමට තරම් ප්‍රමාණවත් දැනුමකින් සන්නද්ධව සිටියත්, දෘශ්‍යත්වය පිලිබඳ, වෙන්වූ උප විෂය ක්‍ෂේත්‍රයක් අවශ්‍ය වන්නේ ඇයිද යන්න පිලිබඳ කතුවරයා ගවේෂණය කරයි. 

මීළඟ පරිච්ඡේදය  වෙන් වන්නේ, ඡායාරූප, පර්යේෂණ හා වර්තමානයේදී ආචාර ධර්ම භාවිත කිරීමේ අපහසුව කෙරෙහියි. එහිදී, ඡායාරූපකරණයෙහි යෙදෙන්නෙකු ලෙස තමා සවිඥානිකව මිනිසුන් තම රූප රාමු වලින් ඉවත් කරන ආකාරයත් එයට හේතුවන අචාර ධර්මීය පසුබිමත් විග්‍රහ කරමින් සංවාදයට එළඹෙන කතුවරයා, වර්තමාන ඡායාරූපකරණය තුළ පැන නැඟෙන ආචාර ධර්මීය ගැටළු විග්‍රහ කරයි.

අටවන පරිඡේදය යොමු වන්නේ වර්තමානය තුළ ඡායාරූපකරණය හිතා මතා නොකරන සහ කෙතරම් සාමාන්‍ය භාවිතයක් බවට පත්ව ඇතිද මෙන්ම එය එසේ සිදුවීමට හේතු ගවේෂණය කිරීමටයි. එමෙන්ම ඓතිහාසිකව ඡයාරුපකරණය සවිඥානික භාවිතයක්ව පැවති ආකාරයත්, එය  අසම්පුර්ණ මතකයේ කොටසක්ව තිබූ ආකාරයත් කතුවරයා විග්‍රහ කරයි.

අවසාන පරිඡේදය වෙන් වන්නේ මානව විද්‍යාව තුළ ‘ලිවීමට’ ලබා දී ඇති වැදගත්කම තුළින් ඡායාරූපවල  වැදගත්කම අඩුවී ඇති ආකාරයත්, එයට හේතුව ‘දෘශ්‍යත්වය කෙරෙහි’ භිය වීමද යන්න විවාදයට ලක්කිරීමටත්ය. එහිදී, පූර්ව පරිච්ඡේද වෙත නැවත යොමුවෙමින්, ඒවා අවසානය සමඟ ගැටගසන කතුවරයා, ‘ලිවීම’ වඩාත් ප්‍රබලත්වයට පත්වුණු වර්තමානයේදී පවා,  ඡායාරූපයට හිමිව තිබූ’ සම්පූර්ණ සත්‍ය’ නිරුපණය කිරීමේ බලය, ලිවීමට නොලැබෙන සහ ලිවීම තවදුරටත් අර්ධ සත්‍යයක් පමණක් වන සන්දර්භයක ඡායාරූපය ස්ථානගත කරයි. එවැනි මානව විද්‍යා භාවිතයක් තුළ, දෘශ්‍ය සමාජ හෝ මානව විද්‍යාව, උප-විෂය ක්‍ෂේත්‍රයක් ලෙස පැන නොනැඟීමේ හේතු මෙම අවසාන පරිච්ඡේදයේ අරමුණ වෙයි. 

තමා ජීවත්වන මොහොත සහ ඒ මොහත වෙත මානව ඉතිහාසය ළඟා වූ ආකාරයත්, රූප සහ ඡායාරුප ඒ ඉතිහාසය තුළ විකාශනය වූ ආකාරයත් ග්‍රන්ථය තුළ දිගහැරෙන්නේ, කතුවරයා හා භෞතිකව,  ඔහුගේ මතකයේ මෙන්ම  තත්‍යාසන්න (virtual) ලෙසත් සම්බන්ධවන විවිධ පුද්ගලයින් හරහාය.

Leave a comment

This website uses cookies to improve your web experience.