Skip links

ප්‍රබන්ධිත උරුමය: කොළඹ පිහිටි අන්තිම ශ්‍රී ලාංකික රජුගේ සිර මැදිරිය

~ ක්‍රිෂේන් මෙන්ඩිස්, ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලය
~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය / අනුෂ්කා කහඳගම

යුරෝපීය සම්භවයක් ප්‍රකට කරන වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ සහිත ගොඩනැගිලිවලින් සැදුම් ලත්  කොළඹ කොටුවේ පැරණි වීදිවල  සැරිසැරීම නගරයේ යටත්විජිත අතීතය සිහිපත් කරනු ඇති බවට සැකයක් නැත. බ්‍රිතාන්‍ය හා ලන්දේසි වාස්තුවිද්‍යාවට උරුමකම් කියන ගොඩනැගිලි සහ ස්මාරක පොකුර මධ්‍යයේ, සෙලින්කෝ හවුස් ගොඩනැගිල්ලේ රථ ගාලෙහි පිහිටා තිබෙන කුතුහලය දනවන  කුඩා ස්මාරකයක් වේ. සම්ප්‍රදායට අනුව එය,  ශ්‍රී ලංකාවේ අවසාන දේශීය රාජධානිය වන උඩරට රාජධානියේ රජුට සම්බන්ධ  එකක් වන අතර, ස්මාරකයේ ඇති සටහනෙන් ඒ බව ප්‍රකට වෙයි. මෙම ස්මාරකය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කරනලද ස්මාරකයක් ද වේ.

කොළඹ නගරයේ අතීතය පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමේදී මෙම ආඛ්‍යානය එකිනෙකට නොගැළපෙන අසංගත ලක්ෂණවලින් ගොඩනැගී ඇති බව මාගේ කුහුල සහිත මනසට පෙනී ගියේය. ශාස්ත්‍රීය වශයෙන් පවතින දැනුම වන්නේ, රජු මෙම ස්ථානයේ සිරගත කර නොතිබූ බවත්, ඔහු පිටුවහල් කරන තෙක් විශාල නිවසක රඳවා හොඳින් රැක බලා ගත් බවත්ය. එවිට සත්‍ය ආඛ්‍යානය කුමක්ද?  එසේ නම්, මෙම ස්මාරකය කුමක්ද? 2018 දී මේ පිළිබඳ අධ්‍යයනය කිරීමට තීරණය කළ මම, බොහෝ දුරට බලාපොරොත්තු නොවූ නිගමනයක් සහිත පර්යේෂණ ලිපියක්  සම්පාදනය කර, එය අන්තර්ජාලය හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදී. ශාස්ත්‍රීය ආඛ්‍යානය නිවැරදි බවත් වර්තමාන ස්මාරකය 1950 ගණන්වල ඉදිකර ඇති බවත් මෙම අධ්‍යයනයේදී තහවුරු විය.  මීට පෙර ප්‍රකාශයට පත් කළ ලිපියේ සාරාංශයක් ඉදිරිපත් කිරීමටත්, එය අවසන් කිරීමේදී ඉතිරි වූ පැනයකට පිළිතුරු ගවේෂණය කිරීමටත් මෙම ලිපියෙන් උත්සාහ කරමි; එවැනි ආඛ්‍යානයක් හා ස්මාරකයක් පිළිබඳ සංකල්පය ඇති වූයේ ඇයි?

වර්තමාන ස්මාරකය (කතුවරයා විසින් 2018 දී ලබාගත් ඡායාරූපයකි)

ජනප්‍රිය පුරාවෘත්තය වන්නේ,  රජු මෙරටින් පිටුවහල් කිරීමට පෙර ඔහුව කොළඹ බලකොටුව තුළ සිර මැදිරියක  රඳවා තැබූ බවයි.  නමුත් සත්‍ය කතාව එයද? 1815 පෙබරවාරියේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහාසනයෙන් නෙරපා හැරීමට බ්‍රිතාන්‍යය කටයුතු කළේය. මහනුවරින් පලා ගිය රජු 1815 පෙබරවාරි 18 වන දින අල්ලාගනු ලදුව, කොළඹට ඒවනු ලැබීය. මාර්තු 6 වන දින කොළඹට පැමිණි රජු සහ ඔහුගේ පවුලේ අය 1816 ජනවාරි 24 වන දින දකුණු ඉන්දියාවේ වෙල්ලෝර් වෙත පිටුවහල් කරන තුරු කොළඹ රැඳී සිටියහ.

රජයේ නිල ගැසට් පත්‍රයට සහ වෛද්‍ය හෙන්රි මාෂල්ගේ ලේඛනවලට අනුව ඔහුව රඳවා තිබුණේ නිවාස අඩස්සියේ මිස සිර මැදිරියක නොවන බව මාගේ පර්යේෂණයෙන් පෙනී ගියේය. 1815 මාර්තු 15 බදාදා අංක 704 දරණ ගැසට් පත්‍රයට අනුව, “සඳුදා දින, මේජර් හුක් සහ ඔහුගේ ආඥාදායකත්වය යටතේ සිටි බල ඇණිය මහනුවර රජු සහ ඔහුගේ පවුලේ අය පිරිවරා බලකොටුවට ඇතුළු වූහ. ඔහු සඳහා සූදානම්ව තිබූ කොටුවේ පිහිටි නිවසේ ඔහු ලැඟුම්ගත් අතර, ඔහුගේ පෞද්ගලිකත්වයට හානි නොවන පරිදි එය සකස් කොට තිබුණි.”

මේ අත්දැකීමට සමකාලීනයෙකු වන  වෛද්‍ය හෙන්රි මාෂල්  අවසාන රජුගේ පෙනුම, ඔහුගේ පිබිදීම සහ පරිහානිය පිලිබඳ  අපක්ෂපාතී විස්තරයක් ඉදිරිපත් කරයි. ඔහු ස්වකීය ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි: “ඔහුට ලබා දී ඇති බන්ධනාගාරය හෝ නිවස ඉඩකඩ සහිත වූ අතර යෝග්‍ය ගෘහ භාණ්ඩවලින් යුක්තවිය. නියත ලෙසම තම නව නිවස පිලිබඳ සතුටට පත්වූ ඔහු එයට ඇතුළු වනවිට ප්‍රකාශ කළේ,  “මට තවදුරටත් රජෙකු වීමට අවසර නොමැති බැවින්, මට පෙන්වා ඇති කරුණාව සහ අවධානයට මම ස්තූතිවන්ත වෙමි” යනුවෙනි (මාෂල්  1969).

මේ අනුව වෛද්‍ය මාෂල්ගේ ලියවිලි ද සැකයකින් ඔබ්බට තවදුරටත් තහවුරු කරන්නේ, රජු කොටුව තුළ පිහිටි නිවසක මිස සිර මැදිරියක රඳවා නොසිටි බවයි. එසේනම්,  මෙම නිවස පිහිටියේ කොහිද? ස්මාරක භූමිය සහ රජුගේ නිවස්නය පිළිබඳ ආඛ්‍යානය එකට එකතු වන්නේ මේ අවස්ථාවේදීය. ආර්. එල්. බ්‍රොහියර් පවසන පරිදි රජතුමා ලන්දේසි නිවසක නවාතැන් ගෙන සිටි අතර, පසු කාලීනව එය ඩාර්ලි බට්ලර් ගොඩනැගිල්ල විසින් ද පසුව ස්මාරකයේ වර්තමාන ස්ථානය වන සෙලින්කෝ හවුස් විසින් ද අත්පත් කර ගෙන තිබේ (බ්‍රෝහියර් 1984). මගේ ඓතිහාසික අධ්‍යයනයට අනුව, වර්තමාන ස්ථානය නියත වශයෙන්ම ලන්දේසි යුගයේදී නිවාස සමූහයක් ලෙස භාවිත කර ඇති අතර, ඒවා වසර ඒවා 1815 වන විටදී ද එසේම පැවති බවට නොඅනුමානය. එනම්,  බ්‍රිතාන්‍යයන් විසින් කොළඹ අත්පත් කරගෙන වසර 19කට පසුවය.

රජු නිවසක  රඳවා සිටියා නම්, මේ වර්තමාන ස්මාරකය කුමක්ද?  ඩාර්ලි බට්ලර් ගොඩනැගිල්ල මේ  නිවස පිහිටි භූමියේ 1860 ට පෙර ගොඩනඟන ලද අතර,  1955 සිට 1962 කාලයේදී සෙලින්කෝ මන්දිරය ඉදිකරන විට කඩා බිඳ දමන ලදී. ඩාර්ලි බට්ලර් ගොඩනැගිල්ල වටා වූ භූ දර්ශනයේ සැලකිය යුතු වෙනසක් සිදු වූයේ 19 වන සියවස මැද භාගයේදීය. ඒ, 1875 දී, බලකොටුවේ ප්‍රාකාරය බිඳ  දමා, ඩාර්ලි බට්ලර් ගොඩනැගිල්ලට යාබදව  එචෙලන් නම්වූ බැරැක්ක  සංකීර්ණයක් ඉදිකිරීම සඳහාය.  ජාතික ලේඛනාගාරයේ ඇති 1904 දී සකස් කරන ලද සවිස්තරාත්මක සැලැස්මක් පිලිබඳව  සිදුකරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ, ඩාර්ලි බට්ලර් ගොඩනැගිල්ලේ දකුණට මායිම්ව පිහිටි කුඩා පෙට්ටි හැඩැති ආකෘතිය,  ක්වීන්ස් වීදියට මුහුණලා ඇති බැරැක්කවලට පිවිසෙන දොරටුවේ ආරක්ෂක කුටිය බවයි. උළු සෙවිලි කළ වහලක් සහිත  හතරැස් හැඩයකින් යුක්ත මුර කුටියේ පැවැත්ම 1920 ගණන්වලට අයත් පැරණි ඡායාරූපයක් මගින් ද සනාථ වෙයි.  මේ ආරක්ෂක කුටිය සහ වත්මන්  ස්මාරකය අතර යම් සම්බන්ධතාවක් ඇති බව මා සැක කළ බැවින්, ඒ පිළබඳව වැඩිදුර දැනගැනීම සඳහා සිතියම් හා ගුවන් ඡායාරූප සමඟ තවදුරටත් සංසන්දනාත්මක විශ්ලේෂණයක් සිදු කළෙමි. එයින් පසක් වූයේ, මෙම පැරණි ආරක්ෂක කුටිය තිබූ ස්ථානය සහ වර්තමාන ස්මාරකය එකක් ලෙස හඳුනාගත හැකි බවයි.

1920 දී ලබා ගන්නා ලද රැජිණ වීදියේ ඡායාරුපයක්. පිවිසුමක් සහිත මුර කුටිය රතු රවුමකින් පැහැදිලිව පෙන්නුම් කරයි (මුලාශ්‍රය: Extract from Sea Ports of India and Ceylon, 2005).

ආරක්ෂක කුටිය සහ වර්තමාන ස්මාරකය යන දෙකම එකම ස්ථානයක් බව පැහැදිලි වන නිසා, 1960 දී මුර කුටිය නවීකරණය කිරීමක් හෝ සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කර ඇති බව පෙනේ. එම වර්ෂයේ ගත් ඡායාරූපයක් මඟින්, ඩාර්ලි බට්ලර් ගොඩනැගිල්ල අසල ඇති වර්තමාන ස්මාරකය  තවමත් ඉදිවෙමින් පවතින සෙලින්කෝ හවුස් ගොඩනැගිල්ල සමඟ එකට පවතින බව පැහැදිලිව පෙනේ.

1960 දී බවර්ස් ගොඩනැගිල්ලේ සිට ගන්නා ලද ඡායාරූපයක්. රතු කවය මගින් වර්තමාන ස්මාරකය පෙන්වයි (මුලාශ්‍රය: The Faithful Foreigner, 2015)

විශාලම ප්‍රශ්නය පැන නඟින්නේ මෙවිටයි. එනම්, මෙය මෙලෙසින් සිදු වූයේ ඇයි ද යන්නය.  මෙම ව්‍යුහය නිර්මාණය කර, එය රජුගේ  සිර කුටිය ය යන ව්‍යාජ ආඛ්‍යානය සමඟ සම්බන්ධ කරන්නේ මක් නිසාද?  මෙය 1815 දී රජු රඳවා සිටි සිර මැදිරිය ලෙස, 1960 ගණන්වල සිට ඓතිහාසික උරුමයක් බවට පත්ව ඇත. මෙය අනන්‍යතාව වැරදියට වටහා ගැනීමක් පිලිබඳ සිද්ධියක්ද? සැබැවින්ම නැත. ප්‍රතිඵලවලින් පෙනෙන්නේ සිරගත කිරීම පිලිබඳ ආඛ්‍යානය අසත්‍යයක් බවත්, ස්මාරකය පසුකාලීන මුරකුටියක ප්‍රතිසංස්කරණය කිරීමක් ලෙසත් ය. එබැවින් එය නිර්මාණය කරනලද උරුමයක් ලෙස සැලකිය හැකිය. නැතහොත්, මෙය නව ගොඩනැගිල්ලකට හිතාමතාම ලබා දෙනලද ආඛ්‍යානයක් ලෙස ද තේරුම් ගත හැක.

එවැනි ස්මාරකයක් නිර්මාණය කළේ මක් නිසාද සහ කවුරුන් විසින් දැයි මට සොයා ගැනීමට නොහැකි වූවත්, මෙම ප්‍රශ්නය සමාජ-දෘෂ්ටිවාදාත්මක කාචයක් ඔස්සේ ගවේෂණය කිරීම වැදගත් වෙයි.  එසේ කළ යුතු වන්නේ, විසඳුමක් සොයා ගැනීමට නොව,  විය හැකි භව්‍යතා ගවේෂණය කිරීමටය.

කොළඹ බලකොටුවේ ඉදිකිරීම් උරුමය පිළිබඳ දළ විශ්ලේෂණයක් කළහොත් පෙනී යන්නේ, එම අවකාශය ඕලන්ද යුගයේ සිට බ්‍රිතාන්‍ය යුගය දක්වා ගොඩනගන ලද ගොඩනැගිලිවලින් පිරී පැවති යටත් විජිත උරුම අවකාශයක් බවයි. මෙසේ බලන කළ, වර්තමාන ස්මාරකය   කොළඹ කොටුවේ ඇති එකම දේශීය උරුමය බව පෙනේ. උරුම අවකාශයේ නියෝජනය පිළිබඳ ප්‍රශ්නයක් නැගුවහොත්, එය සන්දර්භයට මැනැවින් ගැලපේ; එය සිංහල රාජධානියක රජකම් කළ දෙමළ රජෙකු හා සම්බන්ධ ස්මාරකයක් වන අතර, එමගින් මූලික වශයෙන් යුරෝපීය අවකාශයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජනවාර්ගික සංස්කෘතීන් දෙකම නියෝජනය කරයි.

මේ දෙස උරුම අවකාශයක දේශීය-යටත් විජිත නියෝජනය පිළිබඳ පර්යවලෝකින් ද බැලිය හැක. එසේනම්, මෙය පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකේය ජාතිකවාදය තුළ ක්‍රියාත්මක වූ වඩාත් පුළුල් නිර්-යටත් විජිතකරණ ක්‍රියාවලියේ කොටසක්ද? එසේත් නැතිනම්, මෙය හුදෙක්  පුද්ගලික උනන්දුව මත  සිදු කළ වංචනික ක්‍රියාවක්ද? නැතහොත්, එය මිල අධික ඉඩම් කණ්ඩයකට අතිරේක අගයක් එක් කිරීමට ගත උත්සාහයක්ද?

මුර කුටියක සිට සිර මැදිරියක් දක්වා මෙම ගොඩනැගිල්ලේ අර්ථය වෙනස් කිරීම 1950 දශකයේ අග භාගයේ දී සෙලින්කෝ මන්දිරය ඉදිකරන විට සිදු වූ බව පෙනේ. මෙය, යටත් විජිත අවකාශ දේශීයකරණ සහ නිර්-යටත් විජිතකරණ ක්‍රියාවලිය සිදුවූ ක්‍රියාකාරී ජාතිකවාදී යුගයක සිදු වූ දෙයකි. එනම්, 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමෙන් පසු පළමු දශකය තුළ සිදු වූ දෙයකි. යටත්විජිතවාදයේ කේන්ද්‍රස්ථානය වූ කොළඹ සක්‍රීයව නිර්-යටත්විජිතකරණයට ලක් විය. වික්ටෝරියා උද්‍යානය 1958 දී විහාරමහදේවි උද්‍යානය ලෙසත්, ක්වීන්ස් හවුස් ගොඩනැගිල්ල ජනාධිපති මන්දිරය ලෙසත්, ඊට යාබද ක්වීන්ස් වීදිය ජනාධිපති මාවත ලෙසත්, ගෝර්ඩන් උද්‍යානය ජනරජ චතුරශ්‍රය ලෙසත් නම් කරන ලදී. එබැවින් යටත් විජිත යුරෝපීය උරුම ස්මාරක මධ්‍යයේ පශ්චාත් යටත් විජිත සිංහල අනන්‍යතා ව්‍යාපෘතියක් සඳහා ‘ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිර මැදිරිය’ ස්මාරකයක් ලෙස ප්‍රතිනිෂ්පාදනය කිරීම චිත්තාකර්ශණීය කාරණයකි. එනම්, මෙය උරුම අවකාශය නැවත අත්පත් කර ගැනීමේ එක් ආකාරයකි. 

ආශ්‍රේය ග්‍රන්ථ

Brohier, R. L. 1984. Changing Face of Colombo. Colombo: Lake House Investments.

Diessen, R. V and B. Nelemans. 2008. Comprehensive Atlas of the Dutch United East India Company Vol. IV. Cakovec: Zrinksi Printing & Publishing House.

Macmillan, A. 2005. Extract from Sea Ports of India and Ceylon.  Chennai. Asian Educational Services.

Marshall, H., 1846 (1969). Ceylon, a General Description of the Island and its Inhabitants. Dehiwala: Tisara Prakasakayo.

Mendis, H.M.C. 2018. Truth behind the Prison Cell of the Last King in Colombo Fort. Archaeology.lk [online] Available at: Truth behind the Prison Cell of the Last King in Colombo Fort

Perera, N.1999. Decolonizing Ceylon: Colonialism, Nationalism, and the Politics of Space in Sri Lanka. New Delhi: Oxford University Press.

Ranasinghe, D. 2015. The Faithful Foreigner: Thilo Hoffmann, The Man Who Saved Sinharaja. Colombo: Baur & Co. Ltd.

(මේ ලිපිය මුලින්ම පළවූයේ 2020 නොවැම්බර් 23 වනදා ‘Stichting Nederland Sri Lanka’ වෙබ් අඩවියේය. එය සිංහලට පරිවර්තනය කිරීමට හා නැවත පලකිරීමට අවසර දීම සම්බධයෙන් පඨිත සංස්කාරක මණ්ඩලයේ ස්තූතිය කතුවරයාට හිමි වේ. ක්‍රිෂේන් මෙන්ඩිස් මෑතකදී ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයෙන්  භූ දර්ශන පුරාවිද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය නිම කළේ භූගෝල තොරතුරු පද්ධති ඇසුරින් උඩරට සහ ලන්දේසි බලකොටු සිතියම්ගත කිරීම පිලිබඳ නිබන්ධනයක් සමඟය.  ඔහුගේ ශාස්ත්‍රීය උනන්දූන් වන්නේ සිංහලයාගේ යුද්ධ, මිලිටරි ඉතිහාසය සහ වාස්තු ශිල්පය, මිලිටරි භූ දර්ශන උරුමය යන තේමා වන අතර, ඔහු ආචාර්ය උපාධිය හැදෑරීමට සැලසුම් කරන්නේ  ගැටුම් පුරාවිද්‍යාව පිළිබඳවයි. ඔහු තම ලිපි ගණනාවක්ම ප්‍රකාශයට පත්කළ Archaeology.lk වෙබ් අඩවියෙහි පර්යේෂකයෙක් සහ සම්බන්ධීකාරකවරයාද වෙයි)

Leave a comment

This website uses cookies to improve your web experience.