Skip links

භාෂණයේ අයිතිය සහ නිරාගමිකත්වයේ දේශපාලනය

~ |ගුරුගොඩ සිරිවිමල  හිමි

ඉන්දික රත්නායක නැමැත්තකුට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මගින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තුමන්ගෙන් ඉල්ලා සිටින අවුල් සහගත ලිඛිත ඉල්ලා සිටීමක් මෑතකදී දක්නට ලැබුනි. ඉන්දික රත්නායකට මේ චෝදනාව එල්ල කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන පරිදි, ඔහු “බුදු දහම ජෛන දහමක් යැයි මිත්‍යා මතයක් සමාජගත කිරීමට යත්න දරා ඇති බව” පවසයි. මෙකී අදහස පිළිබඳව මා තුළ විශේෂ අදහසක් හෝ ආකර්ශනයක් නැත. කෙසේ වෙතත්, එම විවාදාපන්න කරුණ ගැන සාකච්ඡාවකට එළඹෙන්නේ නැතිව හදිසියේම නීතිමය ආධාර පැතීම බරසාර විහිළුවක් සේ මම දකිමි. එයින් පෙනෙන්නේ සංවිධාන මුක්කු ගසාගත් ඇතැම් අයගේ චින්තන හීනත්වයයි. එක් අතකින් කණගාටුවට කරුණක් වන්නේ, උගත් භික්ෂූන් මේ සඳහා පෙනී සිටීමයි. ඉන්දික රත්නායක පිලිබඳ මට පෞද්ගලික දැනීමක් නැති අතර, එහෙම අයෙක් ගැන දැනගත්තේත් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයට පිං සිදුවන්නටය. එම කේන්ද්‍රය විසින් ලියූ ලිපියේ සඳහන් “ආගමිකයන් අතර වෛරය පැතිරවෙන අයුරින්, මිත්‍යාමත” වැනි වචන දැක මුවගට ආ සිනහව නවතා ගැනීමට මට නොහැකි විය. සිනහ පහළ වන ලිපියේ උච්ඡතම අවස්ථාව වන්නේ එහි අවසානයේ “ඔබතුමන්ට දළදා සමිඳු රැකවරණයි” යනුවෙන් සඳහන් කොට තිබීමය. කෙසේවෙතත්, ලංකාවේ බුදුදහමට දළදා සමිඳුගේ රැකවරණය කෙසේ වුවද සමහරක් භික්ෂූන්ගේ චන්ඩිකම්වල නිශේධනීය බලපෑම ඉක්මනින්ම දකින්නට ලැබෙන බව විශ්වාසය. මා මේ ඉදිරිපත්කරන කරුණු කිහිපය ඉන්දික රත්නායකගේ අදහස් පිලිබඳ මගේ ස්ථාවරය නොවන අතර, එසේ නොවන්නේද නොවන බව කියවන ඔබ දැනගත යුතුය. එනමුත්, ඔහුට ලිවීමටත් කීමටත් ඇති අයිතිය වෙනුවෙන් සමාජයක් විදියට අප පෙනී සිටිය යුතුය. පහත දැක්වෙන්නේ මේ උක්ත කරුණ ගැන සිතමින් සිටයදී මගේ සිතට නැගුන අදහස් කිහිපයකි.

නිරාගමික ප්‍රශ්නය

නිරාගමිකත්වය ලෝකය පුරා ව්‍යාප්තවීමට ප්‍රධාන බැලපෑමක් වන්නේ නිදහස් චින්තනයයි. නමුත් මා එය කියවා ගන්නේ බටහිර වහල්බාවයේ ලක්ෂණයක් ලෙසිනි. ලෝකය පුරා නිරාගමික හෙවත් ආගමක් පිළිනොගන්නා අයගේ ප්‍රවණතාවක් අතීතයේ සිටම පැවතිනි. ලංකාවේ ද එසේමය. එය බටහිරට අනුව ෆැෂන් එකකි. ඒ ෆැෂන් එක සේම නිරාගමික යන්නට ගෝලීය වශයෙන් එක්රකරගත් වටිනාකම් ද රාශියකි. නිදහස් චින්තනය, දේවල්වල පැවැත්ම පිළිබඳ සංවාදය, ශාස්ත්‍රීය මැදිහත් වීම් වැනි ඒවා එහි වටිනාකම්ය. ලංකාවේ ද එය එසේමය. නමුත් යම් යම් විද්‍යාත්මක කියැවීම්වලදී ඔවුන්ගේ බටහිර වහල් බව මොනවට පැහැදිලි වේ. The Monk and the Philosopher (පූජකවරයා සහ දාර්ශනිකයා) ලියූ ජෝන් ෆ්රන්ශුවා රෙවෙල් (Jean Francois Revel) වැනි නිරාගමිකයන්ගේ එලඹීම හා සමපාත නොවන ලංකේය නිරාගමික රැල්ල එක් අතකින් බොහෝ විට අශිෂ්ට වූත් පහත් වූත් දෙයකි. එනම්, නිරාගමික බව යනු ආගම සමග ඇති පුද්ගලික ගැටලු පිළබඳව කෑගසාගන්නා වේදිකාවක් නොවිය යුතුය. ලංකාවේ නිරාගමික බව ෆැෂන් එකක් වෙන්නේ ෆේස්බුක්වලට පමණි. ෆේස්බුක් ලෝකයෙන් මිදුනු විට, මේ ඇතැම් පුද්ගලයින් පද්ධතියෙන්ම දුවන ආගමිකයන්ටත් වඩා ආගමික වූත් සාම්ප්‍රදායික වූත් අය බව අප නොයෙක් විට දැක ඇත. මෙහිදී නිරාගමික අදහස හුදෙක්ම ප්‍රශ්නයක් වී ඇත. එය සිංහල බෞද්ධ අන්තවාදය, ජාතිවාදය, ආගම්වාදය, ඉස්ලාමීයකරණය, ක්‍රිස්තියානිකරණය තරම්ම අවුලක් බව මාගේ අදහසයි. එනම්, ලංකාවේ පවතින තත්ත්වයන් වෙනස් කිරීම සඳහා නිරාගමික සංවාදය උදව්වට ගත නොහැකි තරමටම පිළුණු ස්වභාවයක් ගත්තක් බවට පත් වී ඇත. ලෝකයේ සිටින සෑම බෞද්ධයෙක්ම චතුරාර්ය සත්‍ය අවබෝධ ⁣කරගනිමින්, අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන, ආර්ය‍ අෂ්ටාංගික මාර්ගයේ පැය විසිමතරම එ⁣හා මෙහා දුවන්නන් නොවන බවත්, ලෝකයේ සිටින සියළු කිතුණුවන් දසපනත රකිමින් සිය ජීවන චර්යාව යේසුස් වහන්සේ පවසා ඇති ලෙස හැඩ ගස්වාගත් අය නොවන බවත්, ඉස්ලාමිකයන් අල්ලාහ් දෙවියන්ට හෝ නබිනායක තුමන්ට අවැසි පරිදිම ජීවත්වන්නවුන් නොවන බවත් නිරාගමික ලෝකයා පසක් කරගත යුතුව ඇත.තමන් හරිය, තමන් යහපත්ය, අනෙකා අයහපත්ය, අනෙකා වැරදිය කියන්නට දත පූට්ටු කරගනිමින් සිටින ආගමික ලෝක⁣යක අප ජීවත්වන බව නිරාගමිකයන් තවදුරටත් ඉගෙන ගත යුතුව ඇත. එමෙන්ම, ඒ සමාජය වෙත තම අදහස් ඒත්තු ගන්වන්නට සුදුසුම සන්නිවේදන ක්‍රමය කුමක්ද යන්න ද ඔවුන් අවබෝධ කරගත යුතුය. අඩුම තරමින් ලංකාවේ නිරාගමිකයන් කලෝ ෆොන්සේකාව වත් අනුගමනය කළ යුතු බව මාගේ අදහසයි.

ලංකාවේ බොහෝ නිරාගමිකයන් යනු බොහෝ විට දර්ශනය පිලිබඳ අල්පමාත්‍රයකවත් දැනුමැත්තන් නොවේ. ඔවුන් ආගම ගැන, දර්ශනය ගැන, ඉතිහාසය ගැන සහ අන් දේවල් ගැන තියා අඩුම තරමින් තමන් නිරාගමික යැයි කියන්නේ කිනම් පදනමකින්වත් දැයි නොදන්න බව කැට තබා කිව හැකිය. අඩුම තරමින්, නිරාගමිකයෙක් තුළ දැකිය යුතු අවම හික්මීමවත් ඔවුන් තුළ බොහෝ විට නැත. ආගමිකයන් වෙත තම විචාරාත්මක විවේචනය ගෙන දෙනවා වෙනුවට දිවා රෑ අපහාස කරමින් පුද්ගල මතවාදවලට එරෙයිව ස්ක්‍රීන්⁣ශොට් ගසා, ඒවායේ තවදුරත් ඉරි ගසමින් හයිලයිට් කොට දක්වා තමන්ගේ නිරාගමික බව විහිළුවක් කරගන්නා අයුරු පෙන්වා දීම සඳහා මට ෆේස්බුක් අත්දැකීම් එමට ඇත.

ලියද්දී හා කියද්දී අනෙකා හිංසනයට ලක්වීමේ හැකියාව සියදහස් ගුණයක් වැඩි බව නිරාගමිකයන් දැනගත යුතුය. වේදනාවට පත්වන්නේ ගස් ගල් නොවේ. මිනිසුන්ය. ආගමික ප්‍රශ්නය සම්බන්ධයෙන් බලන කල, ලංකාවේත් කොයි රටෙත් ආගම් අදහන්නන් අනවශ්‍ය බියකින් පෙලෙති. පූජකයාත්, පූජ්‍යාත්, අනුගාමිකයාත් නිතර විශ්වාස කරන්නේ තමන්ට එරෙහිව නිතරම සතුරු බලවේගයක් ක්‍රියාත්මක වන බවය. ලංකාවේ මේ තත්ත්වයට සාදනීය හේතු ඇත. ඉතිහාසයේ බොහෝ අතීතයේ පටන්ම ලංකාවේ යුධමය ආක්‍රමණ සහ චින්තන ආක්‍රමණවලදී ආක්‍රමණිකයා විසින් බුදුසමය ඇතුළුව ආගම් සිය අතකොලුවක් බවට පත් කරගෙන ඇති බව සාක්ෂි සහිතය. නමුත් ආගමිකයා තේරුම් ගත යුතු ආගමික වීම හරහා සමාජය ඥානනය කිරීමේ අවශ්‍යතාවය අත්හැර, ඇසට ආලෝකය වෙනුවට, ඇසට ඇස ඉල්ලමින් ඔවුන් මොකද්දෝ නොතේරෙන උන්මාදාමය තත්වයක පටැලවී ඇත. මේ නිසා, නිතරම ගැටුම්කාරී තත්ත්වයන් උද්ගත වීමට ඉඩහසර වෙන්වී ඇත. අද දින, බුදු දහම පදනම් කරගත් බුදු සමය තුළ බුදුදහම හැර අන් සියළු මිත්‍යාවන් තිබීමට ප්‍රධාන හේතුව අවබෝධ කර නොගැනීමත්, අවබෝධ කරගත් අය එය වෙනත් දේශපාලනික සහ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීමත් සැබවින්ම කනගාටුවට කරුණකි. ආගම දේශපාලකයා විසින් සිය අමන අවශ්‍යතාවන් වෙනුවෙන් භාවිත කිරීම නිසා, අද දින බොහෝ තැන්වල පවතින ආගමික-ජාතික දේශපාලනයෙන් විමුක්තියක් ලබාගැනීමට නොහැකි බව කවුරුත් තේරුම් ගත යුතු සත්‍යකි. සංවිධාන වැනි දේවල්වල ඇති දේශපාලන ස්වභාවයන් නිරාගමික අය සඳහාද ආගමික අය සඳහාද එකසේ වලංගු වන්නකි. ඇත්තෙන්ම, අප රට තුළ අද දින පවතින නිරාගමිකත්වය යන ව්‍යාජ පැවැත්ම නිසා ශිෂ්ටසම්පන්න නිරාගමිකත්වය අවභාවිතයට පත්ව ඇත.

අදහස් ප්‍රකාශ කිරීම

අදහස් ප්‍රකාශ කිරීමේ මිනිස් අයිතිය මූලික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂනයකි. භාෂණයේත් ලේඛණයේත් අවශ්‍යතාව අප වැනි තුන්වන පන්තියේ රටවලට අවශ්‍යම අද වැනි මොහොතක මේ කරුණ අපට නම් අනිවාර්යය. ආගමික වූ දෙයකුත් නිරාගමික වූ දෙයකුත් විවේචනය කිරීමේ දී සදාචාරාත්මක බව හා මිනිසුන්ගේ සංවේදීතාවන් හඳුනාගනිමින් සන්නිවේදනය කිරීම ඉතාමත් වැදගත් කරුණකි. එහි සීමානිර්ණ තම තමන්ට අනුව සිතාමතා යහපත්ව කරගත යුතුය. අනෙකාගේ අදහස්වලට ගරු කිරීමටත්, ඒවා ගැන ශිෂ්ටසම්පන්න ලෙස සංවාද කරගැනීමටත් පාඨකයන් සහ රසිකයන් උගත යුතුය.

එසේම, මෙයද නොලියාම බැරිනිසා ලියා තබන්නේ දැනුම, සංවාද, බුද්ධිය වැනි දේවල් සමාජය තුළ අවලංගු කාසි බවට පත්ව ඇති බැවිනි. ලංකාවේ සිටින කෝටි දෙකහමාරකට ආසන්න සියළු මිනිස් වර්ගයාම ලියන්නට හෝ කියන්නට අවශ්‍යය යැයි මම නොසිතමි. අපට අවශ්‍යව ඇත්තේ මැනැවින් සවන් දෙන්නන් පිරිසකි. අවම වශයෙන්, තම ආගමික ස්ථානය තුළ හෝ ⁣නිවස තුළ සිටින හාමුදුරුවන්ට, පූජකයාට, බිරිඳට, දරුවන්ට, සැමියාටවත් නිසි ලෙස සවන් දීමට අප උගත යුතුව ඇත.

(රූප සටහන: මීඩියම් ඩොට් කොම් වෙතිනි)

Leave a comment

This website uses cookies to improve your web experience.