Skip links

ලංකාවේ අධ්‍යාපනය සහ පාවුලෝ ෆ්රෙයිරේ ගේ අධ්‍යාපනයේ බැංකුකරණ ක්‍රමය

~ අනුශ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය

සමාජයක දිශානතිය තීරණය කරන්නේ එම සමාජයේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය මිලිටරිකරණයට සහ වාණිජකරණය ට බඳුන්වෙමින් පවතින වර්තමාන ලංකාව තුළ අධ්‍යාපනය පිළිබඳ සංවාදවල විශේෂ වැදගත්කමක් ඇත. වර්තමාන ලංකාවේ පවතින  අර්බුධකාරී තත්ත්වය දෙස බැලූ විට පෙනී යන්නේ, අධ්‍යාපන ක්‍රමය විසින් එහි කාර්ය භාරය නිසියාකාරව ඉටුකර නොමැති බවකි. එමෙන්ම යුද්ධ, විවිධ අවස්ථාවල ඇතිවූ අතිශය විනාශකාරී ප්‍රචණ්ඩත්ව සහ ඒවාට ප්‍රතිචාර ලෙස රාජ්‍ය විසින් සිදුකරන ලද මර්දනය කිරීම් මෙන්ම මිනිස් ඝාතනද අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතාවලින් වියුක්ත ඒවා නොවෙයි. ඒවාට විසඳුම් සොයනවා වෙනුවට, වර්තමාන රජය සිදු කරන්නේ ප්‍රශ්නය හඳුනා නොගෙන, වෙළඳපොල විසින් ලබා දෙන්නාවූ පටු සහ හුදු ලාභය පමණක් ඉලක්ක කරගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිඳු වග විභාගයකින් තොරව හඳුන්වා දීමයි. එවැනි ව්‍යාකූල සහ අදූරදර්ශී අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා සිදුවන්නේ, ලංකා සමාජය මුහුණ දී තිබෙන අර්බුධකාරී තත්ත්වයෙන් එය මුදවා ගැනීමට වඩා, තව තවත් අර්බුධයට තල්ලුකර දැමීමයි. මෙවැනි පසුබිමක් තුළ, ලොව පිළිගත් අධ්‍යාපනඥයෙක් වූ පාවුලෝ ෆ්රෙයිරේ විසින් ඉදිරිපත්කරන ලද යම් සංකල්පවලට අදාළව ලංකාවේ අධ්‍යාපනය ගැන අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීම මේ කෙටි ලිපියේ අරමුණ වේ. ෆ්රෙයිරේ ගේ ප්‍රසිද්ධ කෘතියක් වන Pedagogy of the Oppressed  කෘතියේ එන එක වැදගත් සංකල්පයක් වන බැංකුකරණ සංකල්පය මෙම ලිපියේ න්‍යායාත්මක  පදනම වේ.

ඉතිහාසය

මෙම කෘතිය ලියනු ලැබුවේ 1968 දී පෘතුගීසි භාෂාවෙනි. එය 1970 දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය විය. පොතේ කතුවරයා පාවුලෝ ෆ්රෙයිරේ බ්‍රසීල ජාතිකයෙකි. ඔහු වයස 26 දී පමණ  ඊසාන දිග බ්‍රසීලයේ සාක්ෂරතාව නොමැති වැඩිහිටියන් සමඟ වැඩ කිරීමට පටන් ගත් අතර, එහිදී සවිඥානිකත්වය වෙනස් කිරීමේ  (conscientization) ක්‍රමවේදයක් සංවර්ධනය කරන ලදී. ඔහු 1964 දී  (ඒ වන විට ඔහු මැදි වියේ පසු විය) රෙසිෆා (Recife) විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ දර්ශන අංශයේ මහාචාර්ය වරයෙකු ලෙස සේවය කළේය. ඒ වකවානුවේදී ඔහු නිරක්ෂරතාව තුරන් කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරුවේය. මෙය මහා පරිමාණ වැඩපිළිවෙලකි. මේ කාලයේදී මෙම නිරක්ෂරතාව තුරන් කිරීමේ වැඩසටහනට බ්‍රසීලයේ ෆෙඩරල් රජයේ අනුග්‍රහය ලැබී ඇත. සාක්ෂරතාව සහ සවිඥානිකත්වය සම්බන්ධ කරමින් ඔහු තමන්ගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළේය. ඒ අනුව ඔහු සාක්ෂරතාව ඇති කළේ දෛනික ජීවිතයේ උදාහරණ භාවිත කරමිනි. එනම්, ඔහු ඉගැන්වීම සිදුකළේ ශිෂ්‍යයන්ගේ වාග් කෝෂ භාවිත කරමිනි. උදාහරණ ලෙස ‘ආහාර’ යන වචනය වෙනුවට ‘කුසගින්න’ යන වචනය භාවිත කළේය. ‘කුසගින්න’ යන වචනය, ‘ආහාර’ යන වචනයට වඩා ශිෂ්‍යයින් ට වඩාත් සමීපය. නමුත් 1964 දී මිලිටරි කුමන්ත්‍රණයකින් බ්‍රසීලයේ  ආණ්ඩුව බිඳ වැටීමත් සමග තමුන්ගේ ඉගැන්වීමේ ක්‍රමවේදය හරහා විප්ලවීය මාවතක් විවර කරදෙනවා ය යන චෝදනාව මත ෆ්රෙයිරේ අත්අඩංගුවට පත් විය. පසුව ඔහු බොලිවියාව, චිලී සහ ස්විට්සර්ලන්තයට පිටිවහල් කෙරණ ලදී. 1979 දී දේශපාලනික සමාව මත නැවත බ්‍රසීලයට පැමිණි ඔහු 1997 දී ජීවිතයට සමුදුන්නේය.

පාවුලෝ ෆ්රෙයිරේ

පීඩකයා සහ පීඩිතයා ලෙස කොටස් දෙකක් හඳුනා ගන්නා ෆ්රෙයිරේ තර්ක කරන්නේ පීඩකයා විසින් නිර්මාණය කරන ව්‍යුහය මඟින් ‘පීඩිතයා’ සහ ‘පීඩකයා’ යන දෙදෙනාම අමානුෂික බවට (dehumanize) පත්කරන බවයි. ඒ අනුව පීඩිතයාට,  පීඩකයා සහ පීඩිතයා යන දෙදෙනාම වෙනුවෙන්  පීඩාකාරී සමාජ ව්‍යුහය ‘මානුෂීය’ බවට පත් කිරීමට සිදුවෙයි.

බැංකුකරණ සංකල්පය ග්‍රන්ථයේ ඇති වැදගත්ම සංකල්පයකි. ඒ අනුව ධනවාදී සමාජවල සාමාන්‍යයෙන් පවතින අධ්‍යාපනය බැංකුකරණ අධ්‍යාපනයක් වන අතර, ඒ වෙනුවට ෆ්රෙයිරේ ප්‍රශ්න නැගීම මත නව අධ්‍යාපන ක්‍රමයක් යෝජනා කළේය. බැංකුකරණ අධ්‍යාපනය ආඛ්‍යානමය ලක්ෂණ සහිත බව ඔහු ප්‍රකාශ කළේය. සරලව කියන්නේ නම්, ධනවාදය විසින් ස්ථාපිත කර ඇති අධ්‍යාපනය කතන්දර කියන ආකාරයේ අධ්‍යාපනයකි. ගුරුවරයාගේ වගකීම කතන්දර කීම වන අතර, ශිෂ්‍යයාගේ වගකීම කතන්දර අසා සිටීමයි. ගුරුවරයා යථාව පිලිබඳ කතා කරන්නේ එය චල්‍යතාව රහිත, ස්ථිර එකක් ලෙසයි. එනම් මෙම ආඛ්‍යානවලට අනුව පවතින්නේ එක යථාර්ථයක් පමණි. ශිෂ්‍යයා යනු මේ ඒක යථාර්ථය දරාගන්නා භාජන වැනි ය.  ශිෂ්‍යයා ඒ කතාන්දර නැතහොත් දැනුම මතකයේ තබා ගන්නවා මෙන්ම පුනරුච්චාරණය කරයි. මෙවැනි අධ්‍යාපනයකින් සිදුවන්නේ, යමක් තැන්පත් කිරීම පමණක් බැවින් එය බැංකුකරණ අධ්‍යාපනය ලෙස ඔහු හඳුන්වා දුන්නේය. 

සන්නිවේදනය සහ නිල නිවේදන නිකුත් කිරීම

බැංකුකරණ සංකල්පය තුළ ෆ්රෙයිරේ ‘කොමයුනිකේෂන්’ සහ ‘කොමයුනිකස්’ යන සංකල්ප දෙකක් ගැන අදහස් ඉදිරිපත් කළේය. කතුවරයාගේ තර්කය වන්නේ, අපගේ සාමාන්‍ය අධ්‍යාපනය තුළ සන්නිවේදනයකට  (communication) වඩා සිදුවන්නේ, කොමයුනිකස් නැතහොත් නිල නිවේදන නිකුත් කිරීමක් බවයි. නිල නිවේදන නිකුත් කිරීමක් යනු බලය සහිත කණ්ඩායමක් විසින් සිදු කරන්නක් වන අතර, එය ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැත. එවැනි නිල නිවේදනවලට වැඩි ආධිපත්‍යයක් ඇත. එනම්, දැනුම ඇති යැයි සිතන අය දැනුම නැති යැයි සිතන අයට දැනුම ලබා දීමක් මෙහිදී සිදුවේ. මේ ක්‍රියාවලිය තුළ  ‘අනෙකා’ නැතහොත් ශිෂ්‍යයා මුග්ධයෙක් බවට පත්වෙයි. මේ පීඩාව තුළින් නිර්මාණය කරන අධ්‍යාපනය තුළ, අධ්‍යාපනය මෙන්ම දැනුම ද ප්‍රශ්න කළ නොහැක. ෆ්රෙයිරේ කියන ආකාරයට ගුරුවරයා ස්ථානගත වන්නේ, ශිෂ්‍යයාට ප්‍රතිවිරුද්ධවයි. අධ්‍යාපනය ඇරඹිය යුත්තේ ගුරුවරයා හා ශිෂ්‍යයා අතර පවතින ප්‍රතිවිරෝධතා සමනය කරගැනීමෙන් මිසක ප්‍රතිවිරෝධතාවයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස නොවේ. නමුත් ශිෂ්‍යාට වඩාත් අක්‍රිය වන දැනුම තැන්පත් කිරීමේ ක්‍රමවේද හරහා මෙම ප්‍රතිවිරෝධතා විසඳිය නො හැක.

මීට උදාහරණයක් ලෙස ලංකාවේ ඉතිහාසය ඉගැන්වීම පෙන්වා දිය හැකිය. පාසල් ඉතිහාස ඉගැන්වීම පදනම්ව ඇත්තේ,  මහාවංශය පදනම් කරගෙනයි. එහිදී, පාසල්වල උගන්වන ඉතිහාසය ‘සිංහල-බෞද්ධ’ ඉතිහාසයක් පමණක් නොව, එය රජවරුන්ගේ සහ බෞද්ධ භික්ෂූන්ගේ ද ඉතිහාසයකි. මේ ඉතිහාසය තුළ අනෙකුත් ප්‍රජාවන් පසෙකට තල්ලු වී ඇති අතර, ඔවුන්ගේ ඉතිහාස රටේ ඉතිහාසය තුළ අඩංගු බවට පිළිගැනෙන්න නැත. එමෙන්ම, ඉතිහාසය පාසල් පද්ධතිය තුළ  ඉගැන්වෙන්නේ, එය  ස්ථිතික මෙන්ම ‘පරම සත්‍යයක්’ ලෙසයි. එවැනි පසුබිමක් තුළ, ශිෂ්‍යයාගේ ජීවන ඉතිහාස, ඉතිහාස ලෙස ගණන් නොගැනෙන අතර, රාජ්‍ය විසින් පවත්වාගෙන යන අධිපතිවාදී මතවාදයට අවශ්‍ය ඉතිහාසය පමණක් පරම සත්‍ය ලෙස පාසල් තුළ උගන්වනු ලැබෙයි. ඒ අනුව, වෙනත් ඉතිහාස අහෝසි කර දමන අතරම, ඉතිහාසය පරම සත්‍යයක් වන්නේ ඇයි ද යන්න ප්‍රශ්න කිරීමේ හැකියාව ද අහෝසිකර දමයි.

සක්‍රීය ශිෂ්‍යයා

මෙම බැංකුකරණ, නැතහොත් දැනුම තැන්පත් කරන අධ්‍යාපනය හරහා ශිෂ්‍යයින්ගේ නිර්මාණාත්මක හැකියාව අඩු කරයි.  නැත්තම් එය අවලංගු බවට පත්කරයි. එමෙන්ම පීඩකයාගේ උනන්දූන්වලට අනුව වැඩ කිරීමට ශිෂ්‍යයා පොළඹවයි. නමුත් මීට ප්‍රතිපක්ෂ ලෙස ෆ්රෙයිරේ  යෝජනා කරන්නේ, ශිෂ්‍යයින් අක්‍රීය නොවිය යුතු බවයි. සම්පූර්ණ නිදහස ලබාදෙන අධ්‍යාපනයක් වන්නේ, ශිෂ්‍යයා ක්‍රියාකාරීව සහභාගී වන අධ්‍යාපනයකි. පවතින පීඩකයාගේ උනන්දුවලට අනුව වැඩකරන බැංකුකරණ අධ්‍යාපනය මඟින් නිපදවනු ලබන්නේ විචාර පූර්වකව යමක් දෙස නොබලන, යමක් ප්‍රශ්න නොකරන ශිෂ්‍ය ප්‍රජාවකි. මොවුන් අවනත පුරවැසියන් බවට පත් වෙයි. මෙසේ නිපදවන දැනුම සමහර විට ශිෂ්‍යයාගේ පැවැත්මෙන් සම්පුර්ණයෙන්ම ව්‍යුක්ත දැනුමකි. 1943  කන්නංගර වාර්තාවේ (Report of the Special Committee on Education) මේ හා සමාන උදාහරණයක් සඳහන් වෙයි. එනම් බලය එක ලක්ෂයක කේන්ද්‍ර ගතවී ඇති පද්ධතියක ඉගෙනුම සිද්ධ වෙන්නේ ඒ මොහොතේ සිටින පාලකයන්ගේ උවමනා එපාකම් අනුව බව  කන්නන්ගර වාර්තාව සඳහන් කරයි. කන්නන්ගර වාර්තාව තව දුරටත් අවධාරණය කරන්නේ හත[SP1]  ආකාර අධ්‍යාපනයක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී  අධ්‍යාපනයක් ඇති විය යුතු බවයි. කන්නන්ගර වාර්තාව සම්පූර්ණයෙන් ම ෆ්රෙයිරේ ගේ  අදහස හා එකඟ වන බව මම මෙයින් අදහස් නොකරමි. නමුත් වර්තමානය හා සසඳා බලන කල 1943 වැනි කාලයක සම්පාදනය වුණු කන්නන්ගර වාර්තාව වඩා ප්‍රගතිශීලී බව මගේ අදහසයි. මෙම බැංකුකරණ අධ්‍යාපනයේදී ශිෂ්‍යයාගේ පසුබිම නොසළකා හැරෙන අතර, ඔහුට/ඇයට එම ඉගෙනුමට සක්‍රීයව දායක වෙමින්, එම දැනුම විචාරාත්මක ලෙස ප්‍රශ්න කරමින්, පවතින ව්‍යුහය ප්‍රගතශීලී ලෙස වෙනස් කිරීමේ හැකියාවක් ලබා දෙන්නේ නැත. ඒ වෙනුවට පවතින ක්‍රමයට අනුගත වෙමින්, පවතින ක්‍රමය  වෙනුවෙන් වැඩ කරන ලෙස ශිෂ්‍යයාගෙන් ඉල්ලා සිටියි.

වතමාන රජය බලයට පත්වීමේදී දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ ‘විනය ගරුක’ සමාජයක් බිහි කිරීමයි. එනම්, අධිරාජ්‍යවාදීන් රටවල් ආක්‍රමණය කිරීමේදී ‘ශිෂ්ටකරණයේ’ පොරොන්දුව දුන්නාක් ලෙසම, මේ රජය පත්වීමේදී ලබාදුන් පොරොන්දුව වූයේ තමන් විසින් ‘විනය ගරුක’ රටක් බිහි කරනු ඇති බවයි. මේ විනය ලෙස අදහස් කරන්නේ ප්‍රශ්න කිරීමකින් තොරව බලය ට අවනතවන සමාජයකි. එවැනි පොරොන්දුවක් සහිතව රජයකට බලයට පත්විය හැකි වන්නේ ප්‍රශ්න නොකිරීම උත්කර්ෂයට නඟා ඇති සමාජයක් සහ අධ්‍යාපන ක්‍රමයක් තුළයි.

මෙම බැංකුකරණ අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ, අමානුෂිකකරණය සඳහායි.  තමා සහභාගී වන්නේ, තමාගේ යතාවට, නැතහොත් තමා ජීවත්වන ආකාරය ට ප්‍රතිවිරුද්ධ දෙයක් තමා තුළ තැන්පත්කර ගැනීමට බව ඔවුහූ නොදනිති.  සවිඥානිකව මෙන්ම අවිඥානිකවත්, පුද්ගලයා බැංකුකරණ අධ්‍යාපනයේ සහභාගී වෙයි.  තමාත් පීඩකයාගේ ව්‍යාපෘතියේ කොටසක් බවට පත්වූ විට පුද්ගලයා එම බැංකුකරණ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ සවිඥානිකව සහභාගී වෙයි. ඉතාම  මෑත කාලීන සහ අපිට සමීප උදාහරණයක් ලෙස ‘වියත්මග’ දැක්විය හැකියි. එනම්, පාලකයාගේ පීඩාකාරී බැංකුකරණ අධ්‍යාපනය තුළ වියත්මග සක්‍රීයව සහභාගී විය. ඇතැම් අවස්ථාවලදී, පුද්ගලයා අවිඥානිකව  බැංකුකරණ අධ්‍යාපනය තුළ සහභාගී වෙයි. එසේ නොදැනුවත්ව සහභාගී වන්නේ, තමුන් බැංකුකරණ අධ්‍යාපනය අභ්‍යන්තරීකරණය කරගත් විටයි.

ජීවත් විය යුත්තේ කෙසේද යන්න  උගන්වනවා වෙනුවට, ශිෂ්‍යයා දැනටමත් ජීවත් වන්නේ කෙසේ ද?

තමුන් ජීවත්වෙන යතාර්තය සහ විධිමත් අධ්‍යාපනය මගින් කියාදෙන්නා වූ යතාර්ථය අතර තිබෙන ප්‍රතිවිරෝධය කාලයත් සමඟ ශිෂ්‍යයා අවබෝධකර ගනියි.  නමුත් ෆ්රෙයිරේ යෝජනා කරන්නේ, මෙය අවබෝධ වන තෙක් අපිට බලා සිටිය නොහැකි බවයි. පවතින තත්ත්වය (බොහෝ විට මෙය පීඩාකාරී වේ) ගැන දීර්ඝ කාලීනව පවතින සවිඥානිකත්වය සහ එය වෙනස් කිරීම ට ක්‍රියා කිරීම පිළිබඳ ෆ්රෙයිරේ අදහස් ඉදිරිපත් කළේය. එහිදී බැංකුකරණ අධ්‍යාපනයෙන් වෙනස්ව, මානුෂීය සහ විප්ලවවාදී ගුරුවරයා ජනතාව සහ ශිෂ්‍යයින් සමඟ සිට ගත යුතු බව ෆ්රෙයිරේ ගේ අදහස විය. එහිදී ගුරුවරයා ශිෂ්‍යයා සමඟ ඉගෙන ගන්නා කෙනෙක් බවට පත්විය යුතුයි. එසේ කළ හැකි වන්නේ, සන්නිවේදනය තුළින්  මිසක නිල නිවේදන නිකුත් කිරීමෙන් නොවෙයි. ඒ අනුව ගුරුවරයා  ශිෂ්‍යයාගේ එදිනෙදා ජීවිතය සහ පැවැත්ම පිලිබඳ දැනුම ශිෂ්‍යයාගෙන් ඉගෙන ගනියි. උදාහරණ ලෙස, ධීවර ප්‍රජාවක දරුවෙකු ජීවත්වීමෙන් ම ලබාගන්නා  දැනුමක් පවතියි. එම දැනුම අධිපතිවාදී අධ්‍යාපනය විසින් දැනුමක් ලෙස වටහා ගෙන නොමැත. එම දැනුම  ‘දැනුමක්’ ලෙස නොසලකනු ලබයි. එනමුත්, එයත් දැනුම් පද්ධතියකි. ඒ හරහා අධිපතිවාදී දැනුම, නැතිනම් පවතින බලය ප්‍රශ්න කරනු ලබයි. දැනුමේ ධුරාවලි නැතිකර දමයි. එනම්, ජීවත් විය යුත්තේ කෙසේද යන්න  උගන්වනවා වෙනුවට, ශිෂ්‍යයා දැනටමත් ජීවත් වන්නේ කෙසේද කියා ඔහුගෙන් හෝ ඇයගෙන් ඇසීම සහ ඒ දැනුම පවතින පද්ධතිවලට නිරාවරණය වීම මෙහිදී අපේක්ෂා කරයි. ෆ්රෙයිරේ යෝජනා කරන අධ්‍යාපන ක්‍රමයට ප්‍රතිපක්ෂ ලෙස, බැංකුකරණ අධ්‍යාපනයෙන් සිදුවන්නේ, ශිෂ්‍යයා සම්පුර්ණ මානවයෙකු වීමේ හැකියාව, එනම් තමා තුළ දැනටමත් පවතින ජීවත් වීමේ දැනුම අහෝසිකර දැමීමයි. ඒ වෙනුවට පීඩකයා විසින් දැනටමත් ස්ථාපිත කර තිබෙන ධුරාවලිගත ව්‍යුහයක ශිෂ්‍යයා ස්ථානගත කිරීම සිදුවෙයි.  බැංකුකරණ අධ්‍යාපනය සිතන්නේ, ශිෂ්‍යයා සිතීමට නොහැකි වස්තුවක් ලෙසයි. ඒ නිසා ඔවුන්ව පිරවිය යුතු යයි බැංකුකරණ අධ්‍යාපනය විසින් උපකල්පනය කරයි. එනම්, සිසුන්ට ලෝකයක් නොමැති බව, නැත්තම් සිසුන් ලෝකයේ නොපවතින බව උපකල්පනය කිරීමයි.

බැංකුකරණ අධ්‍යාපනය විසින් සිදු කරන්නේ පවතින පීඩාකාරී ක්‍රමයට අනුගත විය හැකි ශිෂ්‍යයින් නිර්මාණය කිරීමයි. එනම්,  පවතින පද්ධතිය තුළ සාර්ථකවීමට නම්, ශිෂ්‍යයා එම වෙළඳපොල විසින් ඉල්ලා සිටින ඉල්ලීමට එකඟ විය යුතුයි. එබැවිනි ගම සමඟ පිළිසඳරකදී ජනාධිපති තුමා දරුවෙකුට කියන්නේ,  දේශපාලන විද්‍යාව කිරීමෙන් පලක් නොමැති බව.  ඒ වෙනුවට, යම් ඉල්ලුමක් ඇති විෂයක් කළයුතු බව ජනාධිපතිගේ යෝජනාවයි. එනම්, රටේ නායකයා දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ,  පවතින පීඩාකාරී ක්‍රමය විසින්, වෙළඳපොළ විසින් ඉල්ලා සිටින දෙයක් ඉගෙන ගත යුතු බවයි.  නිර්මාණාත්මක පරිපූර්ණ  මනුස්සයෙක් බිහි කිරීම  එතුමාගේ යෝජනාව නොවෙයි.

අධ්‍යාපනය මිලිටරිකරණය

මෙයිනුත් එහා ගොස්, වර්තමානය වනවිට, ලංකාවේ අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමේ වෑයමක් පවතියි.  උදාහරණ ලෙස, කොතලාවල පනත හරහා සිද්ධ වෙන්නේ කුමක්ද? කොතලාවල පනතට පක්ෂව එක ඇමතිවරයෙක්ගේ ප්‍රකාශයකට අනුව, වෙන රජයේ විශ්ව විද්‍යාල මෙන් නොව, මේ විශ්ව විද්‍යාලයේ පෙළපාලි විරෝධතා නැති බවත්, එබැවින් ඊට විරුද්ධ නොවිය යුතු බවත් පවසන ලදී. එයින් ප්‍රකාශ වන්නේ, රජයේ විශ්වවිද්‍යාලවලට වඩා දැඩි ලෙස විනයගත කරනලද සමාජයක් කොතලාවල විශ්වවිද්‍යාලය හරහා බිහිකරන බවයි. එනම්, ප්‍රශ්න කිරීම්වලට ඉඩක් නැති අධ්‍යාපනයක් බිහි කරන බවයි. බැංකුකරණ අධ්‍යාපනයක් වූ සාමාන්‍ය අධ්‍යාපනයත් අභිබවා ගොස්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම බැංකුකරණ අධ්‍යාපනයේ අතිශය භයානක අන්තයකට යාමක් ලෙස  හඳුනාගත හැකිය. මෙවැනි මිලිටරිකරණය වූ බැංකුකරණ අධ්‍යාපනයක අරමුණ, ප්‍රශ්න නොකරන පුරවැසියන් බිහි කිරීමයි. එනම්, ‘විනය’ යන පුළුල් සහ ජනප්‍රිය තලයේදී ‘ප්‍රගතිශීලී’ අර්ථයක් ජනනය කරන වචනයට මුවාවී, ඉතාම බරපතල ආකාරයේ පාලනයක් පිළිගන්නා පුරවැසියන් පිරිසක්  නිර්මාණය කිරීමයි. මෙසේ විනයානුගත කරනලද අධ්‍යාපනයක් හරහා නිර්මාණශීලි සහ විචාරශීලි පුරවැසියන් බිහි නොවනු ඇත. මෙහිදී සිදුවන්නේ, සියලු ආකාර ඉගෙනුම් හෝ අධ්‍යාපනය මිලිටරි කොන්දේසි යටතේ ස්ථාපිත කිරීමයි.

ප්‍රශ්න නැඟීමේ (problem  posing) අධ්‍යාපන ක්‍රමය.

බැංකුකරණ අධ්‍යාපනයට ප්‍රතිපක්ෂ ලෙස ෆ්රෙයිරේ යෝජනා කරන්නේ,  ප්‍රශ්න නැඟීමේ (problem  posing) අධ්‍යාපන ක්‍රමයකි. එනම්, කිසිවෙකු අනෙකාට උගන්වනවා හෝ  කෙනෙක් තනියම ඉගෙන ගන්නවා නොවෙයි. ඒ වෙනුවට මිනිසුන් එකිනෙකාට උගන්වයි. එනම්, ප්‍රශ්න කරමින් එකිනෙකාගෙන් ඉගෙන ගැනීමයි. එහිදී බැංකුකරණ අධ්‍යාපනයේ තිබූ ‘කතන්දර කීමේ,’ නැතහොත් ආඛ්‍යාන ආකාරයේ ඉගැන්වීමෙන් වෙනස්ව ‘cognitive,’ නැතහොත් අවබෝධය සහිත/ඥානාත්මක අධ්‍යාපන ක්‍රමයක් යෝජනා කෙරෙයි. එනම්, දැනුම නිර්මාණය කිරීමේ පටන් දැනුම බෙදා හදා ගැනීම දක්වා අවබෝධාත්මක/ඥානාත්මක අධ්‍යාපන ක්‍රමයක් යෝජනා කෙරෙයි. එහිදී, ගුරුවරයා යමක් උගන්වන අතර, ශිෂ්‍යයා ප්‍රශ්න නඟමින් ඔහුගේ/ඇයගේ දැනුම ගුරුවරයා සමඟ බෙදා ගන්නා අතර, ගුරුවරයා ද තම දැනුම වෙනස් කරගනිමින්, එය ප්‍රතිසකස් කරගනියි. ඒ අනුව ශිෂ්‍යයා තවදුරටත් අධ්‍යාපනය තුළ කීකරු/හීළෑ අයෙකු පමණක් නොවෙයි. ඒ වෙනුවට, ඔවුන් ඔවුන්ගේ අධ්‍යාපනය තුළ සක්‍රීයව සහභාගී වෙයි. ඇත්තෙන්ම, පරමාදර්ශී විශ්වවිද්‍යාල අධ්‍යාපනයකින් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි දෙයකි. එහෙත් අවාසනාවන්ත ලෙස විශ්වවිද්‍යාල තුළ මේ කියන ආකාර අධ්‍යාපනයක් සිදු වන්නේ  ඉතා අල්පවයි. ඒ වෙනුවට විශ්වවිද්‍යාල තුළත්  බැංකුකරණ අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙයි. වර්තමාන විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් සිදු කරන්නේ, පවතින බල ධුරාවලි ප්‍රශ්න කිරීමට වඩා, ඒ ධුරාවලි තවදුරටත් ස්ථාපිත කිරීමයි. උදාහරණ ලෙස, මිනිසුන් තමුන් කියවා ඇති පොත් ප්‍රමාණය නිතරම ප්‍රකාශ කරනවා, මෙන්ම ඒ පොත් සමඟ තමන් ද සිටින පින්තූර නිතර සමාජ මාධ්‍ය තුළ අන්තර්ගත කරයි.  ඒ තුලින් සමාජ ප්‍රාග්ධනයක් නිර්මාණය කරන අතර, ඒ හරහා ‘ඔබට වඩා මම දන්නවා’ යන අදහස සමාජගත කරයි. එවිට, සාක්ෂරතාව නොමැති  ගොවියෙක් හෝ කම්කරුවෙක් සහ මේ කියන බැංකුකරණ අධ්‍යාපනයේ ඉහළටම ගිය අයෙක් අතර විශාල පරතරයක් නිර්මාණය වෙයි. එනම්, ගොවියාගේ දැනුම, දැනුමක් ලෙස දකින්නේ නැත.  ඒ දැනුම තුළින් අපත් අනෙත් අයත් ඉගෙන ගතයුතු බව අවබෝධ කරගන්නේ නැත. නමුත් ෆ්රෙයිරේ ගේ ක්‍රමය තුළ ගොවියාගේ දැනුමත්, ඔහුගේ/ඇයගේ භාෂාවත් අධිපතිවාදී දැනුම් පද්ධතිය තරම් ම වැදගත් වෙයි. පීඩාකාරී ධුරාවලීන්වලින් මිදිය හැකි වන්නේ, එවන් විකල්ප අධ්‍යාපන තුළිනි.

අවසානය

අධ්‍යාපනය යනු අධිපතිවාදී අධ්‍යාපනය පමණක් නොවෙයි. අධ්‍යාපනය යනු, විවිධ පුද්ගලයින් ලෝකය තුළ ජිවත්වන ආකාර පිලිබඳ දැනුමයි. නමුත් වර්තමානයේදී සිදුව ඇත්තේ, වෙළඳපොල බලවේග අනුව, එක සමාජ පන්තියක හෝ පැලැන්තියක පැවැත්ම උදෙසා අධ්‍යාපනය නිපදවා නඩත්තු කිරීමයි. මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් ප්‍රශ්න කළ යුතුය. මෙම ලිපියෙන් උත්සාහ කරන ලද්දේ, විචාරශීලි නොවන පුරවැසියන් බිහිකරන අධ්‍යාපනයේ ඇති ගැටලුව එනම්, ෆ්රෙයිරේ සඳහන් කරන ආකාරයට, බැංකුකරණ අධ්‍යාපනයේ  ඇති ගැටලුව ප්‍රශ්න කිරීම සහ ඒ වෙනුවට ප්‍රශ්න නඟන සහ ගුරුවරයාත් ශිෂ්‍යයාත් එකිනෙකාගෙන් ඉගෙන ගන්නා අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව පෙන්වා දීමයි.


Leave a comment

This website uses cookies to improve your web experience.