Skip links

ලංකාවේ වර්තමාන අර්බුදයේ යටත්විජිත මානය සහ අර්බුදය ගැන බටහිර-නොවන දැනුම් සම්පාදනයේ  ඇති වැදගත්කම

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය

ලංකාවේ අද පවතින අර්බුදය ඇති වීමට හේතු ලෙස අප දැනට බහුලව අර්ථ දක්වන්නේ ‘පසුගිය වසර 74’ ක කාලය තුළ රට අභ්‍යන්තරයේ මතු වූ ආර්ථික, දේශපාලනික සහ සමාජයීය ගැටළුවලට නිසි පිළියම් නොදීම ය. මෙසේ කාලය නිර්ණය කිරීමේ දී, 1948 වසර හෙවත් අප යටත්විජිතකරණයෙන් නිදහස් වූ වසර එක්තරා සලකුණු කාරකයක් ලෙස සලකයි. අර්බුදයට බලපෑ හේතු අතරින් අති බහුතරයක් 1948න් පසුව රට අභ්‍යන්තරයේ ඇති වූ ඒවා බව අවිවාදිත වුව ද, මෙම අර්බුදයට යටත්විජිත මානයක් මෙන්ම ජාත්‍යන්තර සබදතා මානයක් ද තිබේ. ඉතා පැහැදිලිව දෘශ්‍යමාන නොවූව ද ඒවා අර්බුදයේ ගැඹුරු මුල් ලෙස සැලකිය හැකි ය. මෙම කෙටි සටහනේ අරමුණ, අර්බුදයට අදාළ එකී යටත්විජිත සහ ජාත්‍යන්තර සබදතා මානයන් වියුක්ත කිරීමයි. නැතිනම්, ඒවා වඩාත් පැහැදිලි කිරීමයි.

ජාත්‍යන්තර සබදතා විෂය ඉතා ප්‍රබල බටහිර නැඹුරුවක් සහ රාජ්‍ය අධිපතීත්වයක් සහිත සමාජයීය විද්‍යාවකි. මේ නිසාම තවමත් ලෝකයේ ඕනෑම තැනක, සුවිශේෂ අභ්‍යන්තර තත්ත්වයන් මත වුව ද නිර්මාණය වන සිදුවීම් අර්ථදැක්වෙන්නේ මෙකී බටහිර නැඹුරුව සහ රාජ්‍ය-අධිපති කතිකාව තුළිනි. එහි රාජ්‍ය අධිපතීත්වය පවතින්නේ ජාතික-රාජ්‍යය ජාත්‍යන්තර දේශපාලනය තුළ තිබෙන ප්‍රධානතම ඒකකය ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක වීමත් සමගය. මෙම ජාතික-රාජ්‍යය යන සංකල්පය ජාතියත් රාජ්‍යයත් යන්න එකක් ය යන සමජාතීය අදහසකින් ඇති වූවකි. දාහත් වන සියවසේ වෙස්ට්ෆේලියා ගිවිසුමත් සමග ජාතික-රාජ්‍ය අදහස තවදුරටත් ස්ථාවර විය. එය, අප වැනි යටත්විජිත තත්වයෙන් නිදහස ලබන විසිවන ශතවර්ෂය වන විට, ඉතාම දෘඩ සහ වෙනස් නොවන ආකාරයකින් ජාත්‍යන්තර දේශපාලනය තුල පාලන මොඩලයේ ප්‍රධාන ඒකකය බවට පත්ව තිබිණි. එයට ගැලපෙන පාලන ක්‍රමවේදයක්, ආයතන පද්ධතියක් සහ අගයන් ද ලෝක දේශපාලනය තුළ ස්ථාපිත වී තිබිණ. මේ නිසා, නිදහස ලබන කාලය වන විට පවතින ක්‍රමයට හැඩ ගැසීම හැර වෙනත් විකල්පයක් යටත්විජිත රාජ්‍යයන් දුටුවේ නැත. ස්වදේශීන් ලෙස යටත්විජිතවාදීන්ගේ ක්‍රම, ප්‍රතිපත්ති සහ අගයන් ට අප/යටත්විජිතවාසීන් කොපමණ අකමැති වුවද (සහ ස්වදේශික ක්‍රම සහ අගයන් ප්‍රතිෂ්ඨාපනය කර ගැනීමට කැමති වුව ද), එම ක්‍රමයන්ටම අනුගත වීම හැර වෙනත් පාලන මොඩලයක් අපට පෙනුණේ නැත.

කෙසේ වුව ද යුරෝපීය මොඩලයේ ජාතික-රාජ්‍යයක් ගොඩ නගා ගැනීම, දකුණු ආසියානු යටත්විජිතවලට අභියෝගාත්මක ක්‍රියාවලියක් විය. ඒ අපේ කලාපයේ ජනයා සමජාතීය නොවුණු  බැවිනි. මේ හේතුවෙන් ‘එක් ජාතියක්’ ගොඩනැගීම ප්‍රායෝගිකව අපහසු විය. ජාතික-රාජ්‍යය යන්න බලගැන්වෙන්නේ ම එක් ජාතියක්, එක දේශපාලන ඒකකයක් ලෙස සැලකීමෙනි. නමුත් ජනයා සමජාතීය නොවේ නම්, මෙම මොඩලය බලගැන්වීම පහසු නොවේ. කෙසේ වුව ද භූමියේ තත්ත්වය සහ ජන සංයුතියට සරිලන දේශපාලය යාන්ත්‍රණයක් වෙනුවට අප වැලද ගත්තේත් යුරෝපීය මොඩලයේ ජාතික-රාජ්‍යයක් ගොඩ නගා ගැනීමේ ක්‍රියාන්විතයයි.

එහිදී, නිදහසින් පසු ලංකාවට, රාජ්‍යය ගොඩ නගා ගැනීමට අමතරව (දේශපාලනිකව) ජාතිය ගොඩ නගා ගැනීමට ද සිදු විය. ලංකාවේ ජාතික ප්‍රශ්නය හෙවත් ජනවාර්ගික ගැටලුවේ යටත්විජිත මානය මෙයයි. එනම්, ලංකාවේ ජනවාර්ගික බහුතර-සුළුතර ගතිකය හෙවත් සිංහල-දමිළ ජාතික ප්‍රශ්නය වර්ධනය වන්නේම ‘ජාතිය’ ගොඩ නගා ගැනීමට දරන ප්‍රයත්නය පසුබිමේ ය. තව ද මේ නිසා ජාතිවාදී නායකයින්ට අප වැනි සමාජවල වැඩි දේශපාලනික ඉඩක් සහ බලයක් ලැබුණු අතර, ‘ජාතිය ගොඩ නැගීම’ යන්න න්‍යාය පත්‍රයේ අංක එකේ ස්ථානයේ දිගින් දිගටම රැදී තිබිණි. ජාතිය ගොඩ නැගීමේ නාමයෙන්, ඕනෑම ආකාරයක ක්‍රියාවක්, ප්‍රතිපත්තියක් සුජාතකරණය කර ගැනීමේ හැකියාවක් මෙම ජාතිවාදී නායකයින්ට තිබිණි. එහි අතුරු ප්‍රතිපලයක් වූයේ විවිධාකාර වැරදි කළමනාකරණයන් — ආර්ථික, සමාජ හෝ දේශපාලන තලවල — ඔස්සේ අකාර්යක්ෂම සහ පලදායී නොවන ප්‍රතිපත්ති සැකසීම් සිදු කළහැකි දේශපාලන වටපිටාවක් ගොඩ නැගීමයි. අප අද මුහුණ දෙන අර්බුදයේ යටත්විජිත මානයක් ලෙස මෙය සැලකිය හැකිය.

අර්බුදය ඇතිවීමට සේම, ඇතිව තිබෙන තත්ත්වය තේරුම් ගැනීමේ ක්‍රියාවලියට ද ජාත්‍යන්තර සබදතාවල බටහිර නැඹුරුව දැඩිව බලපෑම් කරයි. නිදසුනක් ලෙස, ලංකාව පිළිබඳ තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් වාර්තා වන ආකාරය සිතා බලමු. 2022 මාර්තු 31 වනදා මිරිහාන සිදුවීමත් සමග රට තුල ඇති වූ උද්ඝෝෂණ මාලාව, ගෝල්ෆේස් උද්ගෝෂණ කලාපය සහ ඊට අනුබද්ධ අනෙකුත් කලාප ආදී ලෙස රටේ විවිධ ස්ථර, විවිධ ප්‍රජාවන්ගේ එකතුවෙන් නිර්ප්‍රචණ්ඩකාරී හා විවිධ නිර්මාණශීලි ප්‍රතිවිරෝධයන් භාවිත කරමින් ඉදිරියට ගමන් කල බව අප දනිමු. නමුත්, සාපේක්ෂ වශයෙන් ජාත්‍යන්තර මාධ්‍ය තුළ ලංකාවේ තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු වුණේ 2022 මැයි 9 වනදා ආණ්ඩු පාක්ෂිකයින් විසින් සාමකාමී අරගලකරුවන් ට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමත් සමගයි. එහිදී ද, එම වාර්තාකරණය සිදු වුයේ, බටහිර ප්‍රසාදයක් නොමැති, ඒකාධිපති පාලන පවුලක් ලෙස හංවඩු ගැසුණු රාජපක්ෂ රෙජීමයේ ප්‍රජාතන්ත්‍රීය නොවන ක්‍රියාකාරීත්වය පෙන්වීම මුල් කර ගනිමිනි. අනිත් අතට, ලංකාවේ තත්ත්වය ගැන වාර්තා කරන්නේ, එහි භූ-දේශපාලනික මානයන් කෙරෙහි, එනම්, චීනයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ භූ-දේශපාලනික අභිලාශවලට සම්බන්ධ කරමිනි. මෙම මාධ්‍යකරණය දිගින් දිගටම සිදු වූයේ රාජ්‍ය අධිපති ප්‍රවේශයෙන් විනා, එහි ප්‍රජා-තලයක් නියෝජනය නොකරමිණි.

තවත් නිදසුනක් ඇසුරෙන් මෙම රාජ්‍ය-අධිපති ප්‍රවේශය තේරුම් ගනිමු. අද අපට අසන්නට ලැබෙන ප්‍රබල අඛ්‍යානයක් වන්නේ, ‘රට ස්ථාවර කළ නොහැක්කේ රට තුල පවතින උද්ඝෝෂණ නිසාය’ යන අදහසයි. නැතහොත්, ජනතාවගේ ප්‍රතිවිරෝධතා හේතුවෙන් රට අස්ථාවර වන බවයි. මේ නිසාම, රටට ලැබෙන්නට නියමිත සහන, ආයෝජන ආදිය නොලැබී යාමේ අවධානමක් තිබෙන බව නිතරම කියවේ. නමුත් මෙය ඒක පාර්ශවික රාජ්‍ය-අධිපති අදහසකි. උද්ඝෝෂණවල ජනයා නිරතවන්නේ ම දැනටමත් අස්ථාවර බවට පත් කර තිබෙන රටක් ස්ථාවර කර ගැනීමේ අරමුණෙන් බව මෙම ප්‍රපංචය දෙස සමීපව බලන ඕනෑම කෙනෙකුට පැහැදිලි ය. රටක ස්ථාවරත්වය ගැන මිනුම් දණ්ඩ නිර්ණය කරන්නේ කවු ද? එහිලා ජනයාගේ භූමිකාව කුමක්දැයි අප ඇසිය යුතුව තිබේ. මෙකී ප්‍රජා-මූලික අදහස් ජාත්‍යන්තර සබදතා තුළ ප්‍රධාන දහරාවේ තවමත් එතරම් ජනප්‍රිය නැත. එහි ප්‍රතිපලයක් ලෙස, ලංකාවේ පවතින අර්බුදය ගැන දැනුම සහ මතය බලපෑමකට යොමු වන්නේම අප පෙර සාකච්චා කළ රාජ්‍ය-අධිපති දැනුම මතිනි.

යම් අර්බුධයක් හෝ ඕනෑම අලුතින් ඇතිවන තත්ත්වයක් අප තේරුම් ගන්නේ, එවැනි සමාන තත්ත්ව ගැන මෙතෙක් ගොඩනැගී තිබෙන දැනුම තුලිනි. නමුත් එම ක්‍රියාවලියේ බරපතල සීමාවක් තිබේ. එනම්, පවතින දැනුමට තේරුම් කල නොහැකි නව සාධක, හේතු හෝ ඓතිහාසිකව දැනුම් සම්පාදනයේදී මග හැරී ගොස් තිබෙන සාධක, අලුතින් ඇති වූ තත්ත්වයට බලපා තිබීමට හැකි වීමයි. ඒ නිසාම, අප තේරුම් ගත යුත්තේ පවතින දැනුමට, එය කෙතරම් ප්‍රබල ලෙස අපට පෙනී ගියත්, අදාළ නව තත්ත්ව සම්පූර්ණ වශයෙන් තේරුම් කිරීමට අපහසු වන බවයි. ලංකාවේ අර්බුධය ද මෙවැනි අවස්ථාවකි. ලංකාව ගැන ලෝක තලයේ දැනුම සැකසී ඇත්තේ, එහි භූ-දේශපාලනිකත්වයට ප්‍රමුඛත්වය දෙමින්, රාජ්‍ය කේන්ද්‍රීය සහ යුරෝපීය අදහස්වලිනි. නමුත්, එම ප්‍රවේශයෙන්, සැබෑ අර්බුදධයේ තරම ගුණාත්මකව තේරුම් ගත නොහැක.  ඒ සම්බන්ධයෙන් වඩා ගැඹුරු සංවාදයකට එළඹීමට නම්, ප්‍රධාන දහරාවේ ජනප්‍රිය නොවන, නමුත් ඉතාම තීරණාත්මක ප්‍රජා-මූලික කියවීම් ද සාකච්චා මණ්ඩපයට ඇතුළු විය යුතුව තිබේ. එසේ නැතහොත්, ජාත්‍යන්තරව නිර්මාණය වෙමින් පවතින ලංකාවේ අර්බුදය ගැන දැනුම ජාත්‍යන්තර සබදතා තුල තිබෙන බටහිර මූලික සහ රාජ්‍ය මූලික නැඹුරුවෙන්ම හැඩ ගැස්වීමට නියමිත වේ. මේ මොහොතේ බටහිර-නොවන සහ රාජ්‍ය-අධිපති නොවන ප්‍රවර්ග මේ සාකච්චාවට එකතු කිරීමට ලංකාවේ සමාජ පර්යේෂකයින්ට සුවිශේෂී වගකීමක් තිබේ. ඒ හරහා, ලංකාවේ අර්බුධය ගැන වඩා ගැඹුරු සාකච්චාවක් ඇති කිරීමටත්, එසේම ජාත්‍යන්තර සබදතා ගැන නිර්-යටත්විජිත කියවීමක් කිරීමටත්, ජාත්‍යන්තර දේශපාලනය පදනම් වී තිබෙන යුරෝපීය මොඩල මුළු ලෝකයටම සාමාන්‍යකරණය කිරීමේ සීමා පෙන්වීමටත් හැකිවනු ඇත.

(මෙම කෙටි ලිපිය පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා සාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩල විසින් 2022 ජූනි 15 දා ‘අර්බුද සමයක ඥාන සම්පාදනය’ යන මැයෙන් ඉදිරිපත් කළ සාකච්ඡාවේදී මතුකළ අදහස්වල සංස්කරණය කළ සටහනකි. මුල් ඉදිරිපත්කිරීමට මේ සබැඳියාව ඔස්සේ ඇහුම්කන් දිය හැක)

Leave a comment

This website uses cookies to improve your web experience.