Skip links

ලෝකය දෙස අලුතින් බැලීමට කියාදුන් නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය, නවසීලන්තය

දකුණු ආසියානු විශ්වවිද්‍යාලයට 2017 වසරේදී  මා තේරී පත්වූයේ දර්ශනවේදී (MPhil) සහ දර්ශනසූරී (PhD) උපාධි පාඨමාලා හැදෑරීම සඳහායි. දකුණු ආසියානු විශ්වවිද්‍යාලයට අයැදුම් කිරීමට පෙර, ලෝකයේ විශ්වවිද්‍යාල බොහෝ ගණනකට අයැදුම් කළත් ඒ කිසිවක් සාර්ථක නොවීය. අනෙක් සියලු දෙනා මෙන්ම ඉන්දියාවේ පිහිටි විශ්වවිද්‍යාලයකට අයැදුම් කිරීමට මගේ අකමැත්තක් තිබූ බව පිළිගත යුතුය. ඒ ඇතිවන අකමැත්ත අප සමාජය විසින් ‘ඉන්දියාව’ කෙරෙහි සාමාන්‍යයෙන් ඇතිකරන බිය  මත පදනම් වී තිබුණි. එනම්, ඉන්දියාව ජීවත් වීමට නුසුදුසු, අනාරක්ෂිත,අපිරිසිඳු රටක්ය යන ප්‍රවාදය සහ ඉන්දියාවේ සාක්ෂරතා ප්‍රතිශතය මත ඉන්දියාවේ අධ්‍යාපනයේ ගුණාත්මකබව අඩුය වැනි අතිශය ප්‍රාථමික සහ මුග්ධ නිර්ණායක මත මේ බිය රැඳී තිබුණි. සාක්ෂරතාවය හරහා උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මැනිය නොහැකිය. බටහිර විකල්පවලින් තොරව, දකුණු ආසියානු  විශ්වවිද්‍යාලයට තේරී පත්වුණු මට, ඉන්දියාවට යාම සහ ඒ ජීවිතය පිලිබඳ චකිතයක් ඇති නොවුණු බව කිව නොහැකිය. නමුත් ජීවත් වීමේ අනේකවිධ ආකාර උරගා බැලීමට රිසි වූ මම අවසානයේ නව දිල්ලියේදී මගේ දර්ශනවේදී උපාධිය ආරම්භ කළෙමි.

නව දිල්ලියේ අක්කර 100 ක් පුරා දැනට ඉදිවෙමින් පවතින දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ නව පරිශ්‍රයේ සැලසුම.

මෙම ලිපිය ලිවීමට මූලිකවූ කරුණු දෙකකි. එකක් නම්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලයට මුදල් වැය කිරීම මුදල් නාස්තියක් බව ලියූ මෑත කාලීන පුවත් ලිපියක් කියවීමත්, දකුණු ආසියානු විශ්වවිද්‍යාලයට නව බඳවා ගැනීම් සිදුකරන බව කියමින් විශ්වවිද්‍යාලය විසින් පළකළ දැන්වීමක් දැකීමත්ය. දකුණු ආසියානු විශ්වවිද්‍යාලයට මුදල් වියදම් කිරීම ‘නාස්තියක්’ බවට පත්වන්නේ, ශ්‍රී ලාංකික සිසුන් විශ්වවිද්‍යාලයට අයදුම් නොකිරීම නිසාය. එසේ අයදුම් නොකරන්නට හේතු ගණනාවකි. ඉන් එකක් නම්, ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පිලිබඳ ප්‍රමාණවත් දැනුවත් කිරීමක් ලංකාව තුළ සිදු නොකිරීමයි. එමෙන්ම තවත් හේතුවක් නම්, ඉන්දියාව සහ ඉන්දියාවේ අධ්‍යාපනය පිලිබඳ ලංකාවේ මවා ඇති නොමඟ යවන සුළු සහ භයානක බිල්ලා හේතුකරගෙනය. නමුත් ඉන්දියාව, විශේෂයෙන්ම දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පිහිටා ඇති නව දිල්ලි නගරයේ චාණක්‍යපූරි ප්‍රදේශය ශාස්ත්‍රාලීය කටයුතු සඳහා මනා පසුබිමක් සකස් කරයි. ඊට හේතුව විශ්වවිද්‍යාලය විසින් දිනපතාම පාහේ සංවිධානය කරන ශාස්ත්‍රීය සාකච්ඡා පමණක් නොවෙයි. දිල්ලිය කේන්ද්‍ර කරගනිමින් උත්පාදනයවන මහත් දැනුම් සම්භාරයකට නිරන්තරවම නිරාවරණය වීමේ සහ ලෝක  සහ කලාපීය මට්ටමේ බුද්ධිමතුන් සමඟ සජීවීව අන්තර් ක්‍රියා කිරීමේ හැකියාවක් සහිත අවකාශ බොහෝ ප්‍රමාණයකට විශ්වවිද්‍යාලය භූගෝලීය වශයෙන් සමීපව පිහිටා තිබීමයි.

දැනට ඉදිවෙමින් පවතින දකුණු ආසියානු විශ්වවිද්යාලයීය නව පරිශ්‍රයේ ගොඩනැගිලි

විශ්වවිද්‍යාලය මගින් දැඩි අධ්‍යයනික පුහුණුවක් ලබාදෙන අතර, සමාජ විද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය  හදාරන සිසුවෙකු සතියකට අවම වශයෙන් පිටු 400 ක පමණ පොත් පත් හා ලිපි ලේඛන ප්‍රමාණයක් කියවීම අපේක්ෂා කෙරෙයි. එමෙන්ම, ශාස්ත්‍රවේදී සහ දර්ශනවේදී පන්ති කාමර වඩාත් සංවාදශීලි අවකාශ වන අතර, ගුරුවරයා දන්නා දෙයක් කියාදීම සහ ඒවා කටපාඩම්කර ගැනීමට එහා ගිය වඩාත් විචාරශීලි පරිසරයක් ඒවා තුළ පවතියි. එමෙන්ම, විශාල කියවීම් ප්‍රමාණයකට කෙටි කලක් තුළ නිරාවරණය වීම මෙන්ම, සියලු සිසුන් සමඟ සහ ගුරුවරුන් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර් ක්‍රියා කිරීමට සිදුවීම හරහා ඉංග්‍රීසි භාෂා භාවිතය සැළකිය යුතු මට්ටමකින් දියුණුවන බව ද පැවසිය යුතුය.

වසර කිහිපයකට පෙර පැවති දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය

එමෙන්ම, බටහිර න්‍යායන්වලට එහා ගිය, දකුණු ආසියානු සමාජය එම කලාපයේ අදහස් හා න්‍යායන් හරහා තේරුම් ගැනීමේ උත්සාහය ද වඩාත් කැපී පෙනෙයි. බටහිර සරසවි විසින් අපේ කලාපයේ හෝ ලෝකයේ වෙනත් ඕනෑම රටක සිසුවෙකුගෙන් අපේක්ෂා කරන්නේ, ඔවුන් ලෝකය දකින ආකාරයට සියලු සිසුන් ලෝකය දැකීමයි. නමුත් දකුණු ආසියානු විශ්වවිද්‍යාලය හරහා ලාදෙන පුහුණුව තුළ ලෝකය දෙස බැලිය හැකි වෙනත් බොහෝ ආකාර පවතින බවත්, ඒ සමහර ආකාර මේ කලාපයේ සිසුන් ජීවත්වන ආකාරවලට සමීප බවත් අවබෝධ කරගත හැකිවෙයි. එමෙන්ම මහා පරිමාණයෙන් නිෂ්පාදනය වන බටහිර සමාජ න්‍යාය අභියෝග කිරීමේ හැකියාවත්, ඒ න්‍යාය වෙනුවට තමාගේ ජීවිතය හා යම් සමීපත්වයක් සහිත වෙනත් න්‍යාය හඳුන්වා දීමේ හැකියාවත් ශිෂ්‍යයා තුළ වර්ධනය කිරීමට දකුණු ආසියාතික විශ්ව විද්‍යාල පන්තිකාමර සමත් වෙයි. මීට කදිම උදාහරණයක් සපයන්නේ සමාජ විද්‍යා දර්ශනසූරී පාඨමාලාවේ න්‍යාය විෂය සඳහා සැකසී ඇති ‘Social Theory, Society and Modes of Thinking‘ යන විෂය ඒකකයයි.

විශ්වවිද්‍යාලය දැනට කුඩා භූ ප්‍රමාණයක පැතිර තිබෙන අතර, අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සියයට අනූවකට වඩා විශ්වවිද්‍යාලය තුළම නේවාසිකව සිටින බැවින්, විශ්වවිද්‍යාලය විසින් සමස්ත සිසු ජීවිතය පුරාම ශාස්ත්‍රාලීය බලපෑමක් ඇතිකරයි. දකුණු ආසියාවට අයත් රටවල් 8 ක සිසුහූ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබති. විශ්වවිද්‍යාලය තුළදී දකුණු ආසියාව සහ දකුණු ආසියාවේ රටවල දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික තත්ත්ව තමන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්වන අතර, දකුණු ආසියානු කලාපය වෙනදාට වඩා සමීප බවත්, තමන්ගේ අනන්‍යතාව සහ සංස්කෘතිය දකුණු ආසියාවේ අනෙකුත් රටවල් සමඟ සමපාත වන නොවන ආකාරයත් හොඳින් හඳුනා ගැනීමේ හැකියාව සිසුවෙකුට ලැබෙයි. ඉන් එක් උදාහරණයක් ලෙස, ඉන්දියාවේ දේශපාලන හැසිරීම, දක්ෂිණාංශික ආණ්ඩු ක්‍රියාත්මකවන ආකාරය, මුස්ලිම් – හින්දු අරගල සහ ඒවායේ ඉතිහාසය ආදිය පිලිබඳ මනා අවබෝධයක් ලැබීමටත් එම සිද්ධි වඩාත් සමීපව නිරීක්ෂණය කිරීමටත්, ඒවායේ ලංකා බලපෑම ගැන සිතා බැලීමටත් අවකාශ හිමිවිය. එමෙන්ම ශිෂ්‍ය අරගල, ශිෂ්‍ය අරගලවල මතවාදය සකස්වීම, කලාපීය වශයෙන් ශිෂ්‍යයින් සංවිධානය විය හැකි ආකාරත්, සමාජවාදය පිලිබඳ දැනුම යාවත්කාලීන කරගැනීමේ හැකියාවත් මේ විශ්වවිද්‍යාලය ආශ්‍රයෙන් ලැබුණි. මෙම දැනුම ලංකාවෙන් හෝ වෙනත් විශ්වවිද්‍යාලයකින් ලැබිය නොහැකි බව මගේ අදහස නොවෙයි. නමුත්, ලංකාවේ විශ්වවිද්‍යාලයකට වඩා යාවත්කාලීන වූ දේශපාලනික දැනුමක් නගරයක් වශයෙන් දිල්ලියට ලැබෙන බව නිසැක වශයෙන්ම කිව හැකිය. එමෙන්ම එම දැනුම කලාපයටත්, ලංකාවටත් බලපාන ආකාරය සමීපව අත්විඳීමේ හැකියාව මෙම විශ්ව විද්‍යාලය තුළදී මට ලැබුණි.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවි සමානාත්මතාව පිලිබඳ වඩාත් සජීවී සංවාදවලට සහභාගී වීමේ අවකාශය මට ලැබුණේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තුළදීය. ස්ත්‍රීවාදය, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව වැනි මාතෘකා එදිනෙදා කටයුතු සමඟ සම්බන්ධවන බවත්, ඒවා පොත පතින් ඉගෙන ගන්නා පාඨමාලාවකට එහා ගිය යමක් බවත්, ලංකාවේ සිසුන්ට අවාසනාවන්ත ලෙස එම සංවේදී භාවය පිලිබඳ දැනුම තවමත් නොලැබී ඇති බවත් මට තේරුම් ගියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තුළදීය. විශ්වවිද්‍යාලය තුළ, සමලිංගිකත්වය සහ සංක්‍රාන්ති ලිංගිකත්වය මෙන්ම වෙනත් නිදහස් ලිංගික අනන්‍යතා දැරීම පිලිබඳ විවෘත අදහස් සාකච්ඡාවන අවකාශයක් වන අතර, 2018 වසරේදී මම මාගේ අන් ජාතික මිතුරන් බොහෝ දෙනෙකු සමඟ දිල්ලියේ ‘අභිමානයේ පෙළහර’ට  (pride parade) සම්බන්ධ වුණෙමි. මා එවැනි අත්දැකීමක් ලද පළමු අවස්තාව එයයි.

වාර්ෂිකව විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන ‘බොජුන් සැණකෙළියේදී’ (food festival) සිසුන්ට තම රටට, ප්‍රජාවට අයත් ආහාර වට්ටෝරු සකස්කර, අනෙකුත් සිසුන් සමඟ බෙදාහදා ගැනීමේ අවස්තාව හිමිවෙයි. මෙම උත්සවයේදී ඇතැම් සිසුන් තම ජාතික ඇඳුමින් සැරසෙන අතර, සියලු ආහාර සකස් කිරීම සිසුන් අතින්ම සිදු වෙයි. දකුණු ආසියානු කලාපයට අයත් ආහාර, බීම වර්ග සහ ඒවායේ විවිධත්වය සහ සමානත්වයද, ඒවා නිර්මාණය වීමේ ඉතිහාසය සහ ඒ ආහාර භූගෝලීය වශයෙන් ගමන්කර ඇති දුරත්, කලාපයේ විවිධ ප්‍රදේශවලදී විවිධ හැඩගෙන ඇති ආකාරයත් අපූරුය. වසර පුරා මෙවැනි විවිධ උත්සව ගණනාවක් සංවිධානය වන අතර, ක්‍රීඩා උත්සව, දකුණු ආසියානු විශ්වවිද්‍යාල දිනය සැමරීම, විවිධ රටවල ජාතික උත්සව, භාෂා දින සැමරුම් ආදිය මේවා අතර විශේෂ වෙයි.

කෙසේ වෙතත්, අවසාන වශයෙන් කීමට ඇත්තේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ මා ගතකළ වසර තුනක කාලය මාගේ ශිෂ්‍ය ජීවිතයේ වඩාත් ඵලදායීම කාලයක් ලෙස හැඳින්විය හැකි බවයි. විවිධ හේතු මත ලාංකීය සිසුන් එම අත්දැකීම මඟහැර යාම කණගාටුවට කාරණයකි.

Leave a comment

This website uses cookies to improve your web experience.