Skip links

‘වික්‍රමසිංහ ආකෘතිය’ සහ ශ්‍රී ලංකාවේ නව දේශපාලනික විකෘතිතා

~ සචිනි ගීතාංජලී, දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන්නේ දේශපාලන විපරිවර්තනයක් හෝ නව අවස්ථාවක් යනුවෙන් දේශපාලනික විග්‍රහයක යෙදෙන්නේ නම්, එය මෑත දශකයේ වඩාත් ජනප්‍රියම හාස්‍යයෝත්පාදන විශ්ලේෂණය ලෙස හැදින්වීම තර්කානුකූලය. මන්ද යත්, පසුගිය දින කිහිපයේ සිට ශ්‍රී ලංකාවේ දේශපාලනික ජවනිකාව වෙනස් මුහුණුවරකින් සමාජය හමුවේ තිරගත වෙමින් පැවතිය ද එය දේශපාලනික වෙනසක් හෝ විපරිවර්තනයක් වෙනුවෙන් ගොඩ නැගෙන්නක් නොව, දේශපාලනික විකෘතිතා (political distortions) පිළිඹිඹු වන අවස්ථාවක් වශයෙන් අරුත් ගැන්වීම යුක්ති යුක්ත නිසාය. මෙම ලිපිය ලිවීමෙහි මූලික අරමුණ වන්නේ ද වික්‍රමසිංහ ආකෘතිය සහ මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ බිහිවෙන දේශපාලනික අවකාශය හා වෙනස්වීම් විශ්ලේෂණය කිරීම වෙනුවෙන්ය. ඒ සදහා රනිල් වික්‍රමසිංහ නව ජනාධිපතිවරයාගේ පත්වීම ආකෘතියක් (model) වශයෙන් හඳුන්වාදීම වඩාත් උචිත වන්නේ, 1977 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලන පද්ධතිය තුළ කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් හා සය වතාවක් අගමැති ධූරය දරමින් ද ඔහු දේශපාලනයේ රැඳී සිට ඇති නිසාවෙනි. ඒ අනුව, ජනාධිපතිවරයා ගොඩ නගන්නට බලාපොරොත්තුවන ප්‍රතිපත්ති හෝ නව ශ්‍රී ලංකාව වික්‍රමසිංහ ආකෘතියක් තුළින් පැහැදිලි කිරීම වඩාත් තර්කානුකූලය.

දේශපාලනික විශ්ලේෂණ හා පැහැදිලිකිරීම් තුළ දේශපාලනික විකෘතිතා යනු නව තත්ත්වයක් නොවේ. එය ලෝකයේ විවිධ රාජ්‍ය තුළ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වන, එහෙත්, පැහැදිලිව විකෘතිතා වශයෙන් විස්තර කිරීමට අපහසු වෙනස්වීම් හා අංගලක්ෂණ සමුදායකින් සමන්විත තත්ත්වයකි. මේ මොහොතේ මහ පොළොවේ ගොඩ නැගුණු යථාර්ථය නම්, වික්‍රමසිංහ ආකෘතියට අවශ්‍ය නීත්‍යානුකූල වපසරිය ද කෙසේ හෝ හිමි කර ගෙන හෝ, කෙසේ හෝ හිමි වී ඇති බවයි. මේ බව ජනතාවට සූක්ෂමව  ඇඟවීමට ද ජනාධිපතිවරයාට හැකියාව ලැබිණි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය නමැති දේශපාලන හා නීත්‍යානුකූල ආවරණය යොදා ගනිමින්ය. දේශපාලන විකෘතිතා ගොඩ නැගෙන්නනේ ද ප්‍රජාතන්ත්‍රවාදී භාවිත තුළින් ම බව තේරැම් ගැනීමට ඔහුට අපහසු වූයේ මන් ද හෝ එලෙස අසමත් වූයේ ඇයි ද යන්න වෙනම විමසා බැලිය යුතු ගැටලුවකි. නමුත් ආර්ථික වශයෙන් සුඛිත මුදිත රාජ්‍යයක් ගොඩ නැංවීමට හැකි යැයි හෝ එයට අවශ්‍ය වන්නේ සියල්ල විවේචනය නොකර, යථාර්වාදී දෘෂ්ඨීයකින් බැලීම යැයි කෙනෙකුගේ තර්කය නම්, මෙය හුදෙක් ආර්ථිකය පිළිබද පුරෝකථනය කිරීමක් හෝ තාර්කික විශ්ලේෂණයක් හෝ නොව, දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් සමාජයට ඇඟවීමක් හා යථාර්ථය පැහැදිලි කිරීමට දරන සීමිත හා බොහෝ දුරට් පටු උත්සාහයක් බව සඳහන් කළ යුතුය.

දේශපාලනික විකෘතිතා ගොඩ නැගීමට බලපාන ප්‍රධාන බලපෑම්සහගත අවස්ථාවක් වන්නේ ආර්ථිකයයි. ආර්ථිකය හා දේශපාලනය එකිනෙකින් වියුක්තව සාකච්ජා කරන්නට යාම මුග්ධ ක්‍රියාවක් වන්නේ ආර්ථිකය හා දේශපාලනය ගසට පොත්ත මෙන් එකිනෙකට බැඳී පවතින බැවිනි. ශ්‍රී ලංකාවේ හැටනවලක්ෂයක ජන වරම සෝදාපාළුවට ලක් වීමේ මූලික අවස්ථාව ගොඩනැගෙන්නේ ද දේශපාලනඥයන් ආර්ථිකය හා දේශපාලනය එකනෙකින් වෙන් කරන්නට දැරූ උත්සාහයේ පුපුරා යෑම තුළින් බව තර්ක කිරීම වඩාත් සාධාරණය. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වාම, හැටනවලක්ෂය සමඟ ඔවුන්ට පමණක් ප්‍රජාතන්තවාදී යැයි හැඟෙන, රාජපක්ෂ රෙජීමය සහ අනෙකුත් පිරිස ගොඩනැගූ ආකෘතියක් තුළින් ආමන්ත්‍රණය කරමින් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ නියුක්ත විය. නමුත්, සමාජ සුභසාධනවාදී දෘෂ්ටිකෝණයක් ඒ තුළින් පිළිඹිඹු වූයේ නැත. දේශපාලනික විකෘතිතා ගොඩ නැගෙන්නට බලපෑම් කරන ලද හේතූ සාධක වන්නේ ද මේවාය. ආර්ථික අර්බුද ඔස්සේ ගොඩනැගෙන සමාජ කැළඹීම් සහ නොසන්සුන්තාවයන් පාලනය කරන්නට කිසිදු පුද්ගල දේශපාලන බලවේගයකට  හැකියාව නොලැබී ගියේ, ආර්ථික අර්බුදය අන් සියල්ල අභිබවමින් සිටි නිසාය.

වත්මන් ජනාධිපතිවරයා වැඩබලන ජනාධිපතිධූරයට පත් වූ අවස්ථාවේ සිට ප්‍රකාශ කරන ලද්දේ තමන් ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ප්‍රජාතන්තවාදය වෙනුවෙන් පෙනී සිටින බවයි. එය සිදු කරන්නට යාමෙන් මතුවන දේශපාලනික විකෘතිතා පිළිබදව පුරෝකථනය කරන්නට ජනාධිපතිවරයා අසමත් විය. එසේ වුවත්, දේශපාලනික බංකොලොත්භාවයකට පත්ව සිටින පිරිසකගේ රැකවරණය සහ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින්නට යාම තුළින් අභියෝග ගණනාවකට මුහුණ දෙන්නට සිදු වන බව ඔහු තේරුම් ගෙන තිබෙන බව ද පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය තුළින් පැහැදිලි වේ. නමුත්, ඒ සියල්ල වෙනුවෙන් ඔහු විසඳුම් සොයන්නේ ද උපක්‍රම ආදේශ කරන්නේ ද ඔහුගේ ආකෘතියට අනුගතව බව ශ්‍රී ලාංකික සමාජය අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්ය. දේශපාලනික විකෘතිතා ගොඩ නැගුණු සමාජයක් ඉදිරියට ගමන් කිරීම සම්බන්ධයෙන් උපකල්පන ඉදිරිපත් කිරීම ඉතාමත් අවිනිශ්චිත වන්නේ, එහි හැඩය හෝ පැවැත්ම තීරණය වන්නේ ද අවිනිශ්චිත තත්ත්ව යටතේ වන බැවිනි.

මෙවැනි දේශපාලනික විකෘතිතා ගොඩ නැගුණු සමාජයක අනාගතය සම්බන්ධයෙන් පුරෝකථන කිහිපයක් ඉදිරිපත් කළ හැකිය. එවැනි තත්ත්වයකදී පාලකයා මෙන්ම ජනතාව ද සටන්කාමී අවකාශයකට නිරාවරණය වීම ස්වභාවයෙන්ම සිදු වේ. එය වඩාත් අභියෝගාත්මක වන්නේ, පාලකයා ඉතා දැඩි ලෙස ඒකාධිපතිවාදී ක්‍රමවේද යොදා ගනිමින් ජනතාව පාලනය කරන්නට උත්සාහ දැරීම තුළිනි. වික්‍රමසිංහ ආකෘතිය බලගැන්වීමේ මහා මෙහෙයුම සාර්ථක කරගැනීමේ හැකියාව හිමි වූයේ, හැට නව ලක්ෂයක ආශිර්වාදයකින් වීම තවත් බරපතළ අර්බුදයකි. නමුත්, මෙයින් ඇති වන ගැටලුව වන්නේ, බිම් මට්ටමේ පාක්ෂිකයන් පිළිබදව කිසිදු තැකීමකින් තොරව, තම අපේක්ෂාවන් වෙනුවෙන් පමණක්ම පොදුජන පෙරමුණ ක්‍රියාත්මක වීමයි. එහි අනෙක් ප්‍රතිවිරෝධතාවය වන්නේ, එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී වෙන් වූ සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් ද දේශපාලනික වශයෙන් අපේක්ෂාභංගත්වයට පත්වීමයි. මන්ද යත්, නැවතත් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කිරීමේ ක්‍රම කෙසේ හෝ නැවතත් ආරම්භ කරන බැවිනි. එබැවින් මේවා හුදෙක් දේශපාලනික පරිවර්තන හෝ විපරිවර්තන නොව, දේශපාලනික විකෘතිතාය.

එමෙන්ම, විධායක ජනාධිපති ධූරය අවසන් කිරීමේ භාරදූර වගකීම හිමි වූයේ ද විකුමසිංහ ආකෘතියට වීම ද එක් පසෙකින් බරපතළ අභියෝගයක් වන්නේ, බලයට දැඩි ආශාවකින් පසු වන පුද්ගලයෙකුටම එහි වගකීම පැවරීම සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රශ්නාර්ථයක් පවතින බැවිනි. දේශපාලනික විකෘතියක් ලෙසින්ම සිදු වූ මෙම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජන්ද විමසීම තුළින් ද ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අන්ත දරිද්‍රතාවය නිරූපණය වූයේ සංඛ්‍යාත්මකව පමණක් නොව, සංකේතාත්මකව ද පෙනී ගිය ඇඟවීම් රාශියක් තුළිනි. එනම්, දේශපාලනය යනු ඉදිරියටත් ‘system change’ කිරීමක් නොව, වයෝවෘද්ධවූවන්ට රැකවරණය සපයන රැකියාවක් බව ද සනාථ කරමින්ය. මෙවැනි අවස්ථා වඩාත් තර්කානුකූලව පැහැදිලි කළ හැක්කේ, හුදෙක් දේශපාලනික විකෘති අවස්ථා වශයෙනි. එම විකෘතිභාවය දේශපාලඥයන්ට වඩාත් දැඩි හා වැඩි දේශපාලනික රැකවරණයක් සපයන අතරම, දේශපාලනය දැඩි ලෙස අස්ථාවර තත්ත්වයකට මෙන්ම රාජ්‍යය ද අර්බුදකාරී තත්ත්වයන්ට නිරාවරණය වන බව පැවසිය යුතු වන්නේ මින් පෙර නොවූ ආකාරයට මෙම විකෘති තත්ත්වවලට ජනතාව ප්‍රතිචාර දැක්වීමට උත්සුක වී ඇති බැවිනි.

මේ සියල්ල තුළින් පැහැදිලි වන්නේ, දේශපාලනික විකෘති සහිත රාජ්‍යයක පාර්ලිමේන්තුවක ජනාධිපති ධූරය හෝ ව්‍යවස්ථාව පවා ප්‍රජාතන්තවාදී ආකෘතියක් තුළට කේන්ද්‍රගත කරන්නේ කෙසේ ද යන්නයි. අනෙක් පසකින් එවැනි විකෘතිතා ඒකාධිපතිවාදය සමග සෘජුවම සම්බන්ධ වන අතර, වික්‍රමසිංහ ආකෘතියට පවත්නා අත්දැකීම් තුළින් සමාජය එවැනි තත්ත්වයක් තුළින් පාලනය කරන්නට ප්‍රයත්න දැරීමක් සිදු වුවහොත් දැඩි අර්බුදකාරී හා අස්ථාවර තත්ත්වයකට ශ්‍රී ලංකාව ඇද දමන බව පැහැදිලිය. එමෙන්ම, වැල් පාලමෙන් එගොඩ වන්නට තෝරා ගත් ගමන් මාර්ගයත් ඒ වෙනුවෙන් අනුගමනය කළ හා ඉදිරියට අනුගමනය කරන ක්‍රමවේදත් මේ මොහොතේ නිර්මාණය වෙමින් පවත්නා දේශපාලනික විකෘතිතා සමග සෘජුවම සම්බන්ධ බවත්, එම තත්ත්වයට මුහුණ දීමට සිදු වන්නේ ජනතා අවකාශයක් තුළින් බවත් බලය ලබා ගත් වික්‍රමසිංහ ආකෘතිය පමණක් නොව එහි අනෙකුත් සියලු පාර්ශ්වකරුවන් ද සිතේ තබාගත යුතුය.

එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණට මහජන අවකාශය තුළින් නව ගමනාන්තයකට අවකාශ සැලසෙන්නේයැයි විශ්ලේෂණය කිරීමට අපහසු වන්නේ මෙවැනි දේශපාලනික විකෘතිතා ආර්ථිකය සමග සම්බන්ධව ඇති බැවින්, ජනතාවගේ දෛනික අවශ්‍යතා හා පරිභෝජනවාදී ක්‍රමය ඔස්සේ ලංසු තබමින් දේශපාලන ගණුදෙනු කිරීමේ වාසිය නැවත වරක් ලබා ගැනීමට හැකි වූ බැවිනි. එබැවින්, ඉදිරි කාල වකවානුව දේශපාලනික විකෘතිතා හා ආර්ථික අර්බුදය පමණක් නොව, වික්‍රමසිංහ ආකෘතිය හා ජනතා අවකාශය සමග සිදුවන වෙනස්වීම්, විරෝධතා මෙන්ම ප්‍රතිවිරෝධතාවලට ද මුහුණ දීමට සිදුවන හා විසදුම් සොයන්නට සිදුවන අවිනිශ්චිත කාලයක් බව අවසාන වශයෙන් සදහන් කළ හැකිය.

Leave a comment

This website uses cookies to improve your web experience.