Skip links

ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් මියන්මාරයට යැවූ නිල ලිපිය තුලින් කියවා ගත යුතු ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා රජය පසුගිය දිනයක මියන්මාරය වෙත යොමු කළ රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් මේ වන විට බෙහෙවින් විවාදයට තුඩුදී ඇත. මෙම ලිපිය යොමුවූයේ 2021 දී පැවැත්වීමට නියමිත බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල සමාරම්භකත්වයේ හෙවත් බිම්ස්ටෙක් හි මේ වසරේ සම්මේලනයේ සත්කාරක රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්ව තිබීමේ සංදර්භය තුළ යි. ලිපිය යොමු කර තිබෙන්නේ, ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන දිනේශ් ගුණවර්ධන විසින්, මියන්මාරයේ මිලිටරි රජය විසින් පත් කර තිබෙන එරට විදේශ අමාත්‍යවරයාගේ නමටයි. මෙසේ රාජ්‍ය තාන්ත්‍රික ලෙස ලිපියක් යොමු කිරීම හරහා, එළිපිටම ශ්‍රී ලංකා රජය මියන්මාරයේ කුමණ්ත්‍රණකාරී ලෙස බලය පැහැර ගත් මිලිටරි රජය සුජාතකරණය කර තිබෙන බව, ලිපියට එරෙහිව විරෝධය දක්වන්නන් ප්‍රකාශ කරයි. එසේ නම්, පරමාදර්ශී අදහසින් කළ යුතුව තිබුණේ කුමක් ද? ප්‍රායෝගික අදහසින් කළ හැකිව තිබුණේ කුමක් ද? මෙම ලිපියේ අරමුණ වන්නේ, අදාළ රාජ්‍ය තාන්ත්‍රික ලිපිය හරහා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වර්තමාන ස්වභාවය නිරාවරණය කර ගැනීමයි.

බිම්ස්ටෙක් හි වැදගත්කම

දකුණු ආසියාව යනු සාපේක්ෂව දුබල කලාපීයකරණයක් සහිත කලාපයකි. ඉන්දියාව සහ පකිස්තානය අතර තිබෙන පසමිතුරුභාවය මෙයට එක් ප්‍රධානතම හේතුවකි. මෙසේ රාජ්‍යයන් අතර ද්වී-පාර්ශවික ගැටලු සහිත කලාපවල, යම්තාක් දුරකට හෝ මූලික කලාපීයකරණයක් ඇතිකර ගැනීම පහසු නොවේ. මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාව, බංගලාදේශය, නේපාලය, භූතානය යන දකුණු ආසියානු රටවලට බිම්ස්ටෙක් සංවිධානය වැදගත් වන්නේ,  පාකිස්ථානය නොමැතිව ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේ හැකියාව බිම්ස්ටෙක් ඔස්සේ ඔවුනට ලැබෙන බැවිනි. තමන් පාර්ශවකරුවකු වන කලාපීය සංවිධානයක සත්කාරකත්වය හිමි වූ මොහොතක, අදාළ නිසි ක්‍රමවේද අනුගමනය කරමින් හමුවීම් සංවිධානය කිරීම, තමන් එම කලාපීය සංවිධානය කෙරෙහි දක්වන කැපවීම විදහා දක්වන්නකි. එම අදහසින්, 2021 වසර සඳහා බිම්ස්ටෙක්හි සත්කාරකත්වය හිමි වූයේ ලංකාවට නම්, අදාළ ක්‍රමවේද නිසි ආකාරයෙන් අනුගමනය කිරීම කළ යුතුව තිබෙන්නකි. 

අදාළ ලිපියට විරුද්ධ වූ අදහසක් වූයේ, මියන්මාර මිලිටරි රජය පිළිනොගැනීමට ලංකාවට සැබැවින්ම අවශ්‍යව තිබුණේ නම්, බිම්ස්ටෙක් සමුළුව කල් දැමීමට ශ්‍රී ලංකාව කල්පනා කල යුතුව තිබූ බවයි. එනමුත්, එම යෝජනාව කලාපීය සැකසුමක් තුළ තනි සාමාජිකයෙකුට කළ හැක්කක් නොවේ. එසේ කළ හැකිව තිබුණ ද, එවැනි ක්‍රියාවක් හරහා, ශ්‍රී ලංකාව කලාපීයකරණයට අවශ්‍යය තරම් කැප වන්නේ නැතැයි අන් සාමාජිකයන් සැක කළ හැකිව තිබිණි. විශේෂයෙන්ම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ සිදුවීම ඉන්දියාව සමග තවමත් විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැත. නැගෙනහිර වරාය පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ලබාදීම සඳහා මේ වන විට ගෙන ඇති තීරණය ඉන්දියාවේ අනුදැනුමකින් තොරව, ශ්‍රී ලංකා රජයේ තනි තීරණයක් බවට තවමත් චෝදනා එල්ල වේ. මේ හේතුවෙන්, ලංකාවත් ඉන්දියාවත් අතර උද්ගත වූ ආතතිමය තත්ත්වය තවමත් එලෙසම පවතී. බිම්ස්ටෙක් සමුළුව තුළදී මෙම ආතතිය අවම කර ගැනීමේ විභවයක් ශ්‍රී ලංකාවට තිබේ. එවැනි තත්ත්වයක් තුළ, සත්කාරක රාජ්‍ය ලෙස ලංකාව බිම්ස්ටෙක් සමුළුව කල් දැමීම වෙනත් වැරදි අවබෝධයකට පාර කපන්නකි.

ශ්‍රී ලංකාව විසින් මියන්මාරයට යොමු කළ රාජ්‍ය තාන්ත්‍රික ලිපිය හෙළා දකින තවත් පිරිස් යෝජනා කර සිටියේ, ශ්‍රී ලංකාව කළ යුතුව තිබුණේ මියෙන්මාරය හැර බිම්ස්ටෙක්හි අනෙකුත් සාමාජිකයින්ට පමණක් ඒ සඳහා ආරාධනා කිරීම බවයි. නමුත්, කලාපීය සැකසුමක් තුළ, තනි සාමාජිකයෙක්ට එසේ තනි තීරණයක් ගැනීමට කළ නොහැකි බව විදේශ කටයුතු පිළිබඳ ලේකම්, විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ පැහැදිලි කර සිටියේය. එසේ නම්, කළ හැකිව තිබුණේ, ලිපිය ඍජුවම මියෙන්මාර මිලිටරි රජයේ විදේශ අමාත්‍යවරයාගේ නමට යොමු නොකර, අදාළ නිල නාමයට පමණක් යොමු කිරීමට යැයි, කතිකාචාර්ය සුමිත් චාමින්දත් මාධ්‍යවේදී නාලක ගුණවර්ධනත් පෙන්වා දී තිබිණි. මෙය ද, පල නොකියා පලා බෙදීම වැනි ක්‍රියාවක් වන අතර, එසේ ලිපිය යවා, සමුළුවට මියන්මාර නියෝජිතයෙක් පැමිණියහොත්, එකී තත්වය කළමණාකරණය කිරීම ප්‍රායෝගිකව පහසු නොවනු ඇත.

කළ යුතුව තිබූ දේ

මේ වසරේ ශ්‍රී ලංකාව මෙම සමුළුවේ සත්කාරක රාජ්‍ය බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය දැනගත්තේ අද ඊයේ නොවේ. එනම්, මියන්මාර රජයට ඒ සඳහා ආරාධනා කළ යුතුව තිබෙන බව, සති කිහිපයකට පෙර ප්‍රජාතන්ත්‍රීයව පත්වූ රජයෙන් කුමණ්ත්‍රණකාරී ලෙස මියන්මාර මිලිටරිය බලය පැහැර ගන්නා අවස්ථාව වන විටත් ලංකාව දැන සිටියේය. එම අවස්ථාවේ සිට මේ මොහොත දක්වාම, මියන්මාර ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වීම් පිළිබඳ ලංකා රජය කිසිදු ආකාරයකින් ප්‍රකාශයක් නිකුත් කර නොමැත. එසේ යම් පණිවිඩයක් ශ්‍රී ලංකා රජය විසින් යොමු කර තිබුණේ නම්, සුමිත් චාමින්දගේ සහ නාලක ගුණවර්ධනගේ යෝජනාව — ලිපිය නිල තනතුරට පමණක් යොමු කිරීම — ප්‍රායෝගික වන්නට තිබිණ. එසේ වී නම්, ශ්‍රී ලංකා රජයට තමන් එක් පසකින් මියන්මාර ජනයා වෙනුවෙන් පෙනී සිටින බවත්, අනිත් පසින් කලාපීයකරණය අවතක්සේරු නොකරන බවත් සාධාරණීකරණය කළ හැකිව තිබිණි. එවිට, නිල තනතුර සඳහා ලිපියක් යොමු කළ ද, මියන්මාරයේ මිලිටරි රජය බිම්ස්ටෙක් සඳහා එක් වන්නේ (හෝ නොවන්නේ), සිය රජය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳ මනා අවබෝධයකිනි. 

කෙසේ වෙතත්, පවතින ආණ්ඩුව තවත් රාජ්‍යයක ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැනි ස්ථාවරයක් අනුගමනය කරනු ඇත්ද යන්න පැහැදිලි නැත. එක් අතකින්, ශ්‍රී ලංකා ආණ්ඩුවට සිය රාජ්‍යයේම ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ යැයි ජිනීවාහි දී නැවතත් චෝදනා එල්ල වී තිබේ. අනිත් අතින්, පසුගිය ආණ්ඩුවට එල්ල වූ ප්‍රතිවිරෝධය තුළින් බලයට පත් වූ මෙම රජය එසේ පත් වන්නේම, ‘ප්‍රජාතන්ත්‍රවාදය යන්න අසමාර්ථයකි’ වැනි අදහසක් මතින් ය. එබැවින්, ප්‍රජාතන්ත්‍රවාදය යන පදය භාවිතා කිරීම පිළිබඳවම රජයට යම් මැලි කමක් තිබීම පුදුම විය යුත්තක් ද නොවේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව මියන්මාරයේ මිලිටරි රජය පිළිනොගනී?

කෙසේ වෙතත්, අදාළ ලිපිය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිචාරය විශ්ලේෂණය කිරීමේ දී යම් සාධනීය ලක්ෂණ ද දැකගත හැකි ය. එක් අතකින්, අදාළ ලිපිය යැවීම පිළිබඳ පැහැදිලි කරමින් ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළේ, එම ලිපිය බිම්ස්ටෙක් හි සත්කාරක රාජ්‍ය ලෙස තමන් සිදු කළ යුතු වගකීමක් ලෙස පමණක් සලකා සිදු කළ බවයි. එනම්,  ව්‍යංගාර්ථයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ, මියන්මාරයේ කුමණ්ත්‍රණකාරී ලෙස බලය පැහැර ගත් මිලිටරි රජය තමන් පිළි නොගන්නා බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුව වර්තමානයේ සිය රට තුළම මුහුණ දී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සිය අර්බුධකාරී ප්‍රවේශයට සාපේක්ෂව, මියන්මාර මිලිටරි රජයට එරෙහිව මෙවන් ස්ථාවරයක් ව්‍යංගාර්ථයෙන් හෝ ප්‍රකට කිරීම සාධනීය තත්ත්වයකි.

එසේම, මෙම ලිපිය මුල් කර ගනිමින් ලංකාවේ ඇතිවූ කතිකාවත ද බලාපොරොත්තු දල්වන්නකි. එවැනි රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් මුල් කර ගනිමින් යම් ප්‍රතිවිරෝධයක් ඇති වීම තුළින් ප්‍රකට වන්නේ, තමන් ජන වරමක් දී පත් කර ගත් රජය ගන්නා තීන්දු තීරණ ගැන පුරවැසියන්ට යම් සංජානනයක් තිබෙන බවයි. ශ්‍රී ලංකාවෙන් කුඩා ප්‍රමාණයෙන් ඇරඹි ප්‍රතිවිරෝධය වඩාත් තීව්‍ර වූයේ මියන්මාර සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරීන් ද මේ ලිපිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය දැක්වීමත් සමඟ ය. මෙම ප්‍රතිරෝධය පිළිබඳ සැකයෙන් බැලූ ඇතැමෙක් ප්‍රකාශ කලේ, මෙම සමස්ත ප්‍රතිවිරෝධය සැබෑවක් නොවන බවය. එය, රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින පිරිසක් මියන්මාර ජාතික නම්වලින් සාදා ගත් ව්‍යාජ ගිණුම් ඔස්සේ නිර්මාණය කළ විරෝධයක් බවයි. කෙසේ වෙතත්, ලංකා සමාජය තුළ ඇති වූ කතිකාවත එසේ ව්‍යාජව සකස් වූවක් බව පිළිගැනීම අපහසු වේ. ඒ වෙනුවට, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිය ආණ්ඩුව පෙනී සිටිය යුතු බවට කරනු ලබන පැහැදිලි ඉල්ලීමක් එම විරෝධතාවයන් තුළ දැකගත හැකි ය. මෙම තත්ත්වය රජය කිසිලෙසකින්වත් මග හැර නොයා යුතු ය. මේ හරහා ජනයා ඉල්ලා සිටින්නේ, රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන් ව්‍යුක්තව හුදෙකලාව නැගී සිටිය යුතු බව ද, නැතහොත්, ලෝක දේශපාලනය තුළ වගකීම් සහගත රාජ්‍යයක් ලෙස ක්‍රියාකළ යුතුය යන්න බව ද විචාරපූර්වකව සිතා බැලීමට ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම සිදුවීම අවස්ථාවක් කර ගත යුතු ය.

Leave a comment

This website uses cookies to improve your web experience.