Skip links

ශ්‍රී ලාංකාවේ අවකාශීය දේශපාලනය හා සිවිල් යුද්ධය පිළිබඳ නව කියවීමක්

Sovereignty, Space and Civil War in Sri Lanka: Porous Nation (ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය, අවකාශය හා සිවිල් යුද්ධය: සුනැමි ජාතිය). අනෝමා පීරිස්. ලන්ඞ්න් හා නිව් යෝර්ක්: රව්ට්ලෙජ්, 2019. පිටු: 236. ISBN 978-0-8153-7161-8. මිල: ඉන්දියානු රුපියල් 795.00 (මෘදු කවරය සහිතව, දකුණු ආසියානු සංස්කරණය).

___________

විමර්ශනය: සසංක පෙරේරා

අනෝමා පීරිස්ගේ නව කෘතිය, Sovereignty, Space and Civil War in Sri Lanka: Porous Nation (2019) ඇය විසින් කාලාන්තරයක් මුළුල්ලේ ගවේශණයේ නිරතවී සිටි පර්යේශණ ක්‍ෂේත්‍ර කිහිපයක් වන අවකාශීය දේශපාලනය, වාස්තුවේදය (architecture) සහ නගර සැලසුම්කරණය යන ක්‍ෂේත්‍ර එක්තැන් කරමින්, ඒ ක්‍ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය කියවීමට ගත් වෑයමකි. මේ කෘතියේ අන්තර්ගතය හා ප්‍රවේශය ඇය පසුගිය වසර පහක පමණ කාලයක් මුලුල්ලේ ලියා ඇති පඨිතවලින් ඉදිරිපත් වූ අදහස් සමුදායේ වඩාත් දියුණු ඉදිරි පියවරක් ලෙස අපට තේරුම් ගත හැකිය. මා සිතන්නේ 2016 දී ජොනතන් ශපීරෝ හා කොලින් මැක්ෆාලන් විසින් සංස්කරණය කළ Urban Navigations: Politics, Space and the City in South Asia යන කෘතිය සඳහා ඇය සම්පාදනය කළ ‘Sri Lanka: Terror, Anxiety and the Unstable nation – A Physical Biography of Violence’ යන ලිපිය හා 2014 දී Architectural Theory Review සාර-සංග්‍රහයට ඇය සැපයූ ‘Encampments: Spatial Taxonomies of Sri Lanka’s Civil War’ යන ලිපිය ආදී බුද්ධිමය මැදිහත්වීම් වර්තමාන කෘතියේ ගමන්මග සනිටුහන් කළ පූර්ව ව්‍යායාමයන්ය. Sovereignty, Space and Civil War in Sri Lanka: Porous Nation කෘතිය මූලික වශයෙන් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන භූගෝලීය, වාස්තුවේදීය හා නගර අධ්‍යයන ප්‍රවේශ කොතෙක් දුරට යුද්ධය වැනි දේශපාලන ප්‍රචණ්ඩත්වයේ ආදිනව අධ්‍යයනය කිරීම සඳහා යොදා ගත හැකි දැයි ගවේෂණය කිරීම සඳහා දැරූ උත්සායකි. කෙසේ වුවද කෘතිය කියවූ විට වැටහෙන්නේ, මේ විෂය ක්‍ෂේත්‍රයන්ගේ පර්යේෂණ එළඹුම්වලට අමතරව මානවවංශකරණයට වඩාත් සමීප පර්යේෂණ ශිල්ප ක්‍රම ද ඇය භාවිතයට ගෙන ඇති බවයි. කෘතිය ඇතැම් විට මානවවංශ ලේඛනයක් සේ ගලා යන්නේ මේ නිසාය යන්න මගේ විශ්වාසයයි.

සමස්ත කෘතියම ව්‍යුහාත්මකව ප්‍රධාන තේමා තුනක් යටතේ සංවිධානය කර ඇත. මේ තේමා නම්, ප්‍රතිමාණක අවකාශ (normative spaces), මානව චල්‍යතා (human mobilities) හා පිටුවහල් තත්ත්ව (exilic states) යන ඒවායි. ‘මායිම’ (borders) වශයෙන් නම් කර ඇති කෘතියේ හැඳින්වීමට අමතරව, ඉහත සඳහන් සෑම තේමාවක් යටතේම සුවිශේෂ පරිච්ඡේද තුනක් සමගින් කෘතිය පරිච්ඡේද නවයකින් සමන්විත වේ. මේ අනුව, ප්‍රතිමාණක අවකාශ යන තේමාව යටතේ පීරිස් විසින් ජාතිය (nation), නිවස (home) හා නගරය (city) යන විස්තරාත්මක පරිච්ඡේද තුන ඉදිරිපත් කරන්නීය. මෙලෙසින්ම, මානව චල්‍යතා යන තේමාව යටතේ ඇය ඉදිරිපත්කරන පරිච්ඡේද තුන පදනම්ව ඇත්තේ මාර්ගය (route), කඳවුර (camp) හා ස්ථානය (site) යන අදහස් තුන මතය. ඇයගේ අවසාන ප්‍රධාන තේමාව වන පිටුවහල් තත්ත්වයන් යන්න යටතේ පරිච්ඡේද වෙන්වී ඇත්තේ නටබුන් (ruin), පිටුවහල් වීම (exile) හා නැවත පදිංචිය (settlement) යන අදහස් පුළුල් ලෙස ගවේශණය කිරීමටය.

මා සිතනාකාරයට පීරිස්ගේ කෘතිය විශේෂයෙන් වැදගත් වන්නේ මේ තේමා හා පරිච්ඡේද වෙන්කිරී මගින්ම පැහැදිලිවන, එහි ඇති විධික්‍රමික ප්‍රවේශය නිසාය. ඇයගේ අධ්‍යයනයට පදනම් වන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයයි. මේ යුද්ධය පිළිබඳ බොහෝ අධ්‍යයන මේ වන විට ලංකාවේ මෙන්ම ලොව අන් ස්ථානවල ද පළවී තිබුනද ඒවා සියල්ලම පාහේ පදනම් ව ඇත්තේ, මේ යුද්ධය ජනවාර්ගික-ජාතිකවාදී අරගලයක් ලෙස තේරුම් ගැනීම මත සහ එය ජාතික රාජ්‍යය ගොඩනැංවීමේ ව්‍යාපෘතියේ දී මතුවූ අසාර්ථකත්වයේ ප්‍රතිපලයක් ලෙසත්ය. මීට අමතරව, අතීතය පිළිබඳ දේශපාලනය, යටත්විජිත පාලනයේ දේශපාලනික ආදිනව හා පශ්චාත්-නිදහස් දේශපාලනයේ වාර්ගික හා ආගමික පදනම යන කරුණු ද ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයන්ට හා පසුව සිවිල් යුද්ධයට ද පැහැදිලි ලෙස බලපෑම් කළ බව ඇප සැම දන්නා කරුණුය.

පීරිස් විසින් මේ කරුණු අවතක්සේරු නොකළ ද, ඇය සිය කෘතියෙන් උත්සාහගෙන ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ඉහත දැක්වූ කරුණුවලට පරිභාහිර සාධක ඔස්සේ ගවේෂණය කිරීමටය. මේ කර්තව්‍යය සාක්ෂාත් කරගැනීම සඳහා ඇයගේ උත්සාහය වී ඇත්තේ භූමිය පාලනය කිරීම සඳහා දියත් කරන අරගලය තේරුම් ගැනීමට ජනවාර්ගිකත්වය යන අදහස පෙරදැරි කර නොගත් ප්‍රවේශයක් යොදාගනිමින්, දේශපාලනමය ස්වාධිපත්‍යය යන අදහස භූමිය හා අනුභූතිය තුළ විකසිත වී ඇති ආකාරය පැහැදිලි කිරීමය. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, ඇයගේ සෑම පරිඡ්චේදයකින්ම උත්සාහ කරනුයේ භූමිය මත සනිටුහන් වී ඇති පැහැදිලි යථාවන් වන ජාතිය, නිවස, නගරය, මාර්ගය, කඳවුර, නටබුන් හා පිටුවහල්වීම වැනි අවකාශීය අනුභූති ශ්‍රී ලාකාවේ සිවිල් යුද්ධය පාඨනය කිරීමේදී ඉදිරියට ගෙනඒමය. නමුත් එසේ කිරීමේදී සිය කෘතියේ ඇතැයි ඇයම පවසන එක් සීමාවක් උනන්දුසහගතය. කෘතියේ හැඳින්විමෙන් ඇය පවසන්නේ එහි එක් අරමුණක් වන්නේ උග්‍ර සංස්කෘතික භක්තිවාදයකින් (cultural chauvinism) පෙළෙන්නේ නැති හා අන්තර්-වාර්ගික සංහිඳියාවකට කැමැත්ත දක්වන කණ්ඩායමක් තුළ යුද්ධය පිළිබඳ ඇති අදහස් ගෙනහැර දැක්වීම බවයි (2019: 3). නමුත් විධික්‍රමිකව බලන්නේ නම්, මෙමගින් සලකනු කරන්නේ සීමාවකට වඩා ඇය භාවිත කළ අර්ථවිවරණීය හා පර්යේෂණ ප්‍රවේශය පිළිබඳ තාර්කික නිර්වචනයකි.

මා දන්නා පරිදි ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සම්බන්ධයෙන් මෙවන් ප්‍රවේශයකින් යුතු අධ්‍යයනයක් මීට පෙර සිදුකර නොමැත. නැතිනම්, මා එවන්නක් මෙතෙක් කියවා නැත. පැහැදිලිවම, මෙවන් ප්‍රවේශයක් සාමාන්‍ය වශයෙන් වාස්තුවේදය හෝ නගර සැලසුම්කරණය පිළිබඳ පුහුණුව ලැබූ ශ්‍රී ලාංකේය ශාස්ත්‍රාලයීය පද්ධතියේ සිටින ශාස්ත්‍රඥයෙකුගෙන් බොහෝ විට බලාපොරොත්තු විය නොහැක. මක් නිසාද යත්, ශ්‍රී ලංකාවේ වාස්තුවේදය, අවකාශ අධ්‍යයන හා නගර සැළසුම්කරණය යන පුළුල් ක්‍ෂේත්‍ර දෙස බැලූ විට පෙනී යන්නනේ, ඒවා සැළසුම්කරණය හා සම්බන්ධ තාක්‍ෂණික පැතිකඩ උදෙසා සහ අදාල විස්තර ඉදිරිපත් කිරීම සඳහා දැඩි වෘත්තීයමය උනන්දුවක් දැක්වුවද ඒ හා සමාන උනන්දුවක් මේ ක්‍ෂේත්‍රවල න්‍යායික, සංකල්පීය හා දාර්ශනික සූත්‍රගතකිරීම් සඳහා හෝ අදාල ව්‍යාපෘති සමාජීය හා දේශපාලනික මාන ඔස්සේ පාඨනය කිරීමට හෝ උත්සාහ කර නොතිබීමය. එවන් නැඹුරුවක් නොමැති බුද්ධිමය සන්දර්භයක පීරිස් ගෙන ඇති උත්සාහය හා සමාන උත්සාහයක් දැක ගැනීම අප බලාපොරොත්තු නොවිය යුතු කරුණකි. මෙනිසා සිදුවී ඇත්තේ තාක්‍ෂණික, සැළසුම්කරණ හා සෞන්දර්යාත්මක අංශවලින් කෙතරම් දියුණු බවක් හා නිර්මාණනීය බවක් දැක්වුවද, මේ පුළුල් විෂය ක්‍ෂේත්‍රය හා සම්බන්ධව ශ්‍රී ලංකාවේ දැනට පවතින සම්භාෂණය න්‍යායික හා දාර්ශනික සූත්‍රගතකිරීම් සම්බද්ධයෙන් බෙහෙවින් දරිද්‍ර තත්තවයකට වැටී තිබීමය.

පීරිස්ගේ කෘතිය මැදිහත්වීමක් සිදුකරනුයේ මේ ගැටළුකාරී බුද්ධිමය වාතාවරණය තුළටය. ඒ බුද්ධිමය අවකාශයේ ප්‍රවර්ධනය කළ යුතු අංග එතුළින් තේරුම් ගත හැකි බව මාගේ වැටහීමය. එනමුත් එසේ කළහැකි වන්නේ, ඒ ගැටළුව තේරුම් ගැනීමට කැමැත්තක් ඇත්තේනම් හා ඇයගේ කෘතිය දේශීය විශ්වවිද්‍යාල පාඨමාලාවලට ඇතුලත් කර, එහි ඇති අදහස් සමග විචාර-පූර්වකව ගණුදෙනු කිරීමකට කැමැත්තක් ඇත්නම් පමණි.

(චායාරුපය: සසංක පෙරේරා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, 2019)

Leave a comment

This website uses cookies to improve your web experience.