Skip links

18 වන සියවසේ ඕලන්​ද යටත්ත්විජිත ජීවිතය පිළිබඳ විචාර පූර්වක කියවීමක්

van der Velde, Paul (Transalted by Lisbeth Bennik. Life Under the Palms: The Sublime World of the Anti-colonialist Jacob Haafner (පෝල් වැන්ඩර් වෙල්ඩ් [පරිවර්තනය: ලිස්බෙත් බෙනික්], පොල් සෙවණේ ජීවිතය: යටත් විජිත විරෝධී ජාකොබ් හාෆ්නර් ගේ උත්කෘෂ්ට ලෝකය). සිංගප්පූරුව: සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 2020. පිටු 200. මිල: සිංගප්පූරු ඩොලර් 24.00. ISBN: 978-981-3250-82-6

විමර්ශනය: අනුශ්කා කහදගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය

Life Under the Palms යන මෙම කෘතිය  ජාකොබ් හාෆ්නර් නම් ජර්මානු සම්භවයක් සහිත ඕලන්ද ජාතික සංචාරකයාගේ ජීවිත කතාවයි. ඔහු දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ලංකාව සහ මුරුසි දිවයින් යන දේශයන්හි වසර 20කට අධික කාලයක් ගතකර ඇත. හාෆ්නර්ගේ සුපැහැදිලි විශේෂත්වයක් ලෙස කතුවරයා පෙන්වා දෙන එක් ඵ්‍රධාන කරුණකි. එනම් යටත්විජිත නිලධාරීන්ගේ, තත්කාලීන සංචාරකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සටහන්වලින් වෙනස්ව, හාෆ්නර් යටත්විජිතවාදයේ තිබූ කෘරත්වය තම ලිවීම් තුළින් අන්තර්ග්‍රහණය කරගැනීමයි. වහල් වෙළඳාම, වහලුන්ව සතුන්ටත් අන්ත ආකාර පීඩාවන්ට ලක් කිරීම, යටත්විජිතවල ඇතිව තිබූ දුර්භික්ෂ අවස්ථාවන්හි යටත් විජිත වැසියන් අත්හැර දැමීම සහ ඔවුනව හුදෙක් කුසගින්නෙන් මරණයට පත් වීමට ඉඩ හැරීම ආදිය යන කරුණු හාෆ්නර් විසින් විස්තර කරයි.

කෘතිය හැඳින්වීමකින් සහ තවත් පරිච්ඡේද පහකින් සමන්විත වෙයි. හැඳින්වීම යොමු වන්නේ, හාෆ්නර්ගේ චාරිකා සහ ඔහුගේ සටහන් පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීමටයි. එමෙන්ම, කතුවරයා තමා හාෆ්නර්ගේ ලිවීම් වෙත ආකර්ෂණය වූ ආකාරය ද තුළින් විස්තර කරන අතර,  හාෆ්නර්ගේ සටහන් තුළ තම ජීවිතය හුවා දක්වමින්, හාෆ්නර්ගේ ලෝකය තුළ තමාව ද ආස්ථානගත කරයි. පොතේ කතුවර පෝල් වැන්ඩර් වෙල්ඩ්, ඉතිහාසඥයෙකු වන අතර, ආසියාවේ ලන්දේසි බස පිළිබඳ විශේෂඥයෙකි. මෙම කෘතිය ඕලන්ද බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ ලිසේබෙත් බෙනික් විසිනි.

පළමු පරිච්ඡේදය, ‘සංචාරක පැවැත්ම’ (A Wandering Existence) ලෙස නම්කර ඇති අතර, වැඩෙන තරුණයෙකු ලෙස හාෆ්නර් යටත්විජිත බිම් වෙත සංචාරය කළ ආකාරයත්, එම සංචාරවලදී ඔහුට මුහුණ දීමට සිදුවූ ත්‍රාසජනක අත්දැකීම්, අභියෝග සහ අත්දකින්නට සිදුවූ නොයෙකුත් සිද්ධි මෙම පරිච්ඡේදයේ අන්තර්ගත වෙයි.  නව යොවුන් වියේදී  වෛද්‍යවරයෙකු වූ තම පියා සමඟ පෙරදිගට නැව් නැගීමේ අවස්ථාව ඔහුට හිමිවෙයි. නමුත් හාෆ්නර් සංචාරයේ යෙදෙන්නේ හුදෙක් නාවික වෛද්‍ය පියාගේ පුතා ලෙස  පමණක් නොව,  නැවේ සේවය කරන අත් උදව් කරුවෙකු ද ලෙසයි. දෙවන  පරිච්ඡේදය  වන්නේ, ජීවිතය සඳහා අරගලය (Struggle for Life) යන්නයි.  ඉන්දියාවේ ඔහු ගෙවන ජීවිතය මෙන්ම පෙරදිග යටත්විජිතකරණය සඳහා පැමිණි විවිධ යුරෝපා ජාතීන් සමඟ සිදුවන අන්තර්ක්‍රියා ආදිය පිළිබද විස්තරවලින් මේ පරිඡේදය සමන්විතව ඇත. එමෙන්ම,  එකල පැවති දුර්භික්ෂයක් පිළිබඳ විස්තර මෙන්ම, මුදල් නොමැතිකම නිසා තමා ලද අත්දැකීම් සහ විවිධ රැකියා කරමින් ජීවත්වූ ආකාරය ද විග්‍රහ කරයි. තෙවන පරිච්ඡේදය වන,  ‘අපගේ ආත්මයට නවාතැන් ගත හැක්කේ කොහිද’ (Where Can Our Soul Shelter),  වෙන්වී ඇත්තේ හාෆ්නර් තම තරුණ බිරිඳ සමඟ ලංකාවට ගොඩ බැසීමෙන් පසු ජීවිතය පිළිබඳව විස්තර කිරීමට යි. හාෆ්නර් නැවතත් ඉන්දියාවට පැමිණීම හා බැදී ඇති තොරතුරු උදෙසා මීළඟ පරිඡේදය වෙන්වී ඇති අතර, අවසාන පරිඡේදය වෙන්වන්නේ, ඔහුගේ ජීවිතයේ අවසාන කාලය ගෙවෙන යුරෝපයේ ගතකළ අවාසනාවන්ත කාලය පිළිබදව කතාකිරීමටයි.

මූලික වශයෙන් මෙම කෘතියෙන් සිදුවන්නේ,  කාලයේ වැලි තලාවලින් වැසී ගිය, 18 වන ශතවර්ෂයේ ජීවත්වූ නෙදර්ලන්ත ජාතික සංචාරකයෙකු වූ  ජාකෝබ් හාෆ්නර්ගේ ජීවිත සහ ඔහුගේ අන්තර්ජාතික සංචාර පිළිබද අත්දැකීම් ලෝකයට හඳුන්වා දීමටයි. කෘතිය මේ සඳහා ප්‍රවේශ දොරටුවක් සාදා දෙන්නේ, හාෆ්නර් ගේ ලිවීම් සහ චිත්‍ර ඒ තුළ අන්තර්ගත කිරීම තුළිනි. යටත්විජිත ඉතිහාස හදාරන්නෙකුට මේ කෘතිය හරහා බෙහෙවින් ප්‍රයෝජනවත් මුලාශ්‍රවලට පිවිසීමේ හැකියාවක් ලබා දෙයි. එමෙන්ම කතුවරයා විසින් හාෆ්නර් පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ කරනලද පර්යේෂණ හරහා, හාෆ්නර්ගේ ලිවීම් ප්‍රබන්ධ නොවන බව මැනැවින්  තහවුරු කරන්නේ, මෙකල බොහෝ යටත්විජිත ලේඛකයින්, තම වාර්තාවල ප්‍රබන්ධ කොටස් ද  අන්තර්ගතකළ බැවිනි. හාෆ්නර් යොවුන් වියේදී සිතුවම් ඇඳීම ප්‍රගුණ කළ අතර, ඔහුගේ සටහන් තුළ ඔහුගේ අත්දැකීම් ද සිතුවමට නගා තිබේ.  මෙම ග්‍රන්තයේ තැනින් තැන හාෆ්නර් විසින් සිතුවම් කරන ලද චිත්‍ර අන්තර්ගත වන අතර, ඒ හරහා කියවන්නා අතීතය වෙත දෘශ්‍යමය ලෙස රැගෙන යන අතරම, අතීතය පිළිබඳ සොයාබැලීමේ වඩාත් තීව්‍ර කුතුහලයක් ද කියවන්නා තුළ ඇති කරයි. විවිධ ජාතීන් හමුවීම ඔස්සේ  ලැබූ අත්දැකීම් තිළින් බහුවිධ  සංස්කෘතීන් සහ ආගමික විශ්වාසවල පැවැත්ම උත්කර්ෂයට නංවන හාෆ්නර්, එම සංස්කෘතීන් ඕලන්ද සංස්කෘතිය සමඟ සසඳයි.

පියා වෛද්‍යවරයෙකු වුවත්, ජර්මනියෙන් නෙදර්ලන්තයට පැමිණීම සමඟ ආර්ථිකමය වශයෙන් ප්‍රපාතයකට වැටෙන හාෆ්නර් පවුල ගොඩ ගැනීමේ උත්සාහයක යෙදෙන හාෆ්නර්ගේ පියා සහ නව යොවුන් හාෆ්නර්, ඕලන්ද පෙරදිග වෙළඳ සමාගමේ නෞකාවක සේවයට බැඳී පෙරදිගට සංචාරය කළහ.  ඒ සංචාරයේදී හාෆ්නර්ගේ පියා මියගිය අතර, නොදන්නා රටකදී හාෆ්නර් අනාථයෙකු බවට පත්වීය. මේ තත්ත්වය හේතුවෙන් මහත් ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන ඔහුට  යටත්විජිත ධුරාවලියේ හිමිවන්නේ ඉතාම පහළ තත්ත්වයකි. යටත්විජිතවාදියා සහ යටත්විජිත වැසියා සරල ප්‍රවර්ග දෙකක් ලෙස දැකීමට එහා ගිය ආකාරයේ පර්යවලෝකයක් හාෆ්නර්ගේ ජීවිත කතාව ඇසුරින් කතුවරයා මතු කරයි. එවකට ඕලන්ද සමාජයේ  පැවති ධුරාවලිගත ස්වභාවය සහ යටත්විජිත සමාජවලදී ඔහු නිරාවරණය වූ වඩාත් සම්මිශ්‍රිත සංස්කෘතීන් ඔහු විසින් අගය කරන්නේ සහ යටත්විජිත සමාජවල යටත්විජිතවාදය විසින් පවත්වාගෙන ගිය  මර්ධනකාරී ස්වභාවය හාෆ්නර් විසින් දකින්නේ සහ පෙන්වා දෙන්නේ, ඕලන්ද සමාජයේ ඔහුට හිමිවූ පහළ සමාජ තත්ත්වය හේතුවෙනි.

කෘතිය තුළින් හෙළිකරන තවත් සුවිශේෂී ලක්ෂණයක් වේ. එනම්, ඉතිහාසයේ යම් යුගයක් පිළිබදව කියවීමේදී, එකී කියවීම ඉතා රළු හා සරල ඉතිහාස පුරෝකථනයක් තුළ හිර නොකර, එම සීමා  අභිබවා ගිය එකළ සමාජය  සියුම් කියවීමකට ලක්කර ඇති අප බොහෝ දෙනා නොදන්නා ලේඛකයෙකු මෙන්ම විවිධ ඓතිහාසික මුලාශ්‍ර වෙත කියවන්නා නිරාවරණය කිරීමයි.

(ඡායාරූපය: තෝට්.කො වෙතිනි)

Leave a comment

This website uses cookies to improve your web experience.