21 වන සියවසේදී ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල තත්ත්වය

University of Ruhuna

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය
~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය

පූජ්‍ය පක්ෂයෙන් අවසරයි; උපකුලපති තුමනි; සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨාධිපතිතුමනි; මිත්‍රවරුනි; ඔබ සැමට සුබ උදෑසනක්!

‘සංස්කෘතිය, නූතනත්වය සහ සමාජ පරිවර්තනය’ යන ඉතා පුළුල් තේමාව මත පදනම්ව ‘රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා 2020 සමුළුවේදී’ මෙම මුඛ්‍ය දේශනය ඉදිරිපත් කිරීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක කමිටුවට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. මුඛ්‍ය දේශනයක් යන්න පිළිබඳව අප රටේ මෙන්ම දකුණු ආසියා කලාපයේ ද යම් ව්‍යාකූලත්වයක් පවතින බැවින්, එවැන්නක් කුමක් විය යුතුද යන්න පිළිබඳ මා සිතන දේ මුලින්ම පැහැදිළි කිරීමට මට ඉඩ දෙන්න. මුඛ්‍ය දේශනයක් පර්යේෂණ පත්‍රිකාවක් නොවිය යුතුය. ඒ වෙනුවට, එය යම් අදහස් සමුදායක් පිලිබඳ  කරනු ලබන ආවර්ජනයක් මෙන්ම එමඟින් ඉන් පසුව සාකච්ඡාවට භාජනය වන අදහස් පුළුල් වශයෙන් සාකච්ඡා කිරීම සඳහා පදනමක් ද නිර්මාණය කළ හැකි විය යුතුය. එබැවින්, මගේ උනන්දුව මේ මොහොතේ අප රටේ සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර පිළිබඳ මගේ අදහස් සන්දර්භගත කිරීමටයි. ඉන් පසුව, ඒ මත පදනම්ව,  ශාස්ත්‍රීය වශයෙන් ඔබ සිටින්නේ කොතැනද යන්න සහ ඔබගේ ආයතනික ස්ථානගත්වීම පිළිබඳ ඔබ කළ යුත්තේ කුමක්දැයි ඔබට සිතා බැලිය හැකිය.

පැහැදිලිව කිවහොත්, පසුගිය ශතවර්ෂ තුනක පමණ කාලය තුළ ලෝකයේ සෑම විෂය ක්‍ෂේත්‍රයකම දැනුම් නිෂ්පාදනය අතින් වේගවත් දියුණුවක් ලබා ඇති බව නිසැක ය. නමුත් පැහැදිලිව පෙනෙන සාමාන්‍යකරණයන්ගෙන් ඔබ්බට ගොස් මේ ප්‍රවර්ධනය දෙස බලන විට, එක් එක් ස්ථානය අනුව සහ අප කතා කරන්නේ කුමන විෂය ක්ෂේත්‍රයක් පිළිබඳවද යන කාරණය මත  සුපැහැදිලි සීමාවන් තිබෙන බව අප තේරුම්ගත යුතුය. මෙම සරල අර්ථදැක්වීම තුළ, අද වන විට ගෝලීය වශයෙන් සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර පිරිහෙමින් තිබෙන බව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. එනමුත්, මේ පිරිහීම තුළම මේ විෂය ක්‍ෂේත්‍ර හා සම්බන්ධිත දැනුම සංඛ්‍යානමය  වශයෙන් ඉහල ගොස් ඇති බවද පැහැදිලිය. මේ අනුව, මෙම පරිහානිය පදනම්ව ඇත්තේ හුදෙක්  නිෂ්පාදනය කරනු ලබන්නේ කුමක් ද යන්න සහ එම දැනුම පුළුල්ව ව්‍යප්ත වී ඇත්ද යන්න මත නොවේ. ඒ වෙනුවට එහි පදනම නම්, ජාතික සන්දර්භ තුළ සහ ගෝලීය වශයෙන්, මෙම දැනුම් ක්‍ෂේත්‍රවල සාපේක්ෂ බලපෑම අඩුවීම සහ මානව ශාස්ත්‍රවල හා සමාජයීය විද්‍යාවන්ගේ නාමයෙන් නිපදවන දැනුමේ බුද්ධිමය ගුණාත්මකභාවය පිළිබඳ ඇති ගැටළු යන කරුණුය.

මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා

2010 දී බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආශ්‍රයෙන් මහාචාර්ය ටෙරී ඊගල්ටන් පහත සඳහන් සරල ප්‍රශ්නය මතු කළේය: “අපේ විශ්වවිද්‍යාලවලින් මානව ශාස්ත්‍ර අතුරුදහන් වීමට ආසන්නද?” (ඊගල්ටන් 2010). පරමාදර්ශී අර්ථයෙන් ගත කළ, “මානව ශාස්ත්‍ර නොමැතිව විශ්වවිද්‍යාලයක් තිබිය නොහැකිය” සහ “ඉතිහාසය, දර්ශනය යනාදිය ශාස්ත්‍රීය ජීවිතයෙන් අතුරුදහන් වුවහොත්, ඒ වෙනුවට සරසවිවල ඉතිරිවන්නේ හුදෙක්  තාක්ෂණික පුහුණු ආයතන සහ  ව්‍යාපාරික පර්යේෂණ ආයතන පමණක් වනු ඇත. නමුත් එය විශ්වවිද්‍යාලය යන වචනයේ සම්භාව්‍ය අර්ථයෙන් ගත කළ කිසිලෙසකින්වත් විශ්වවිද්‍යාලයක් නොවනු ඇති අතර, එය එලෙස හැඳින්වීම හුදු රැවටිල්ලක් පමණක් වනු ඇත ”(ඊගල්ටන් 2010). මෙය අද දින අප විසින් අපගේ සන්දර්භය තුළ ද අපෙන්ම අසාගත යුතු ප්‍රශ්නයකි.

ඔහු කතා කළේ මානව ශාස්ත්‍ර ගැන පමණක් වුවද, සමාජයීය විද්‍යාවන් සම්බන්ධයෙන් ද එම ප්‍රශ්නයම මතු කළ හැකිය. එනම්, සමාජයීය විද්‍යාවන් එම විෂය ක්‍ෂේත්‍රවලට ආවේණිකව  තිබූ පරිකල්පන හැකියා  ඉවත දමා, හුදෙක් දත්ත ජනනය කිරීමේ භාවිතයන් ලෙස ප්‍රතිව්‍යුහගතකර තිබේ. සමාජයීය විද්‍යාවන් වර්තමානයේ බොහෝ විට ක්‍රියාත්මක වන්නේ මානවශාස්ත්‍ර ක්‍රියාත්මක වන පරිදිමය.  අපගේ අවධානය යොමුවිය යුතු කාරණය මෙයයි: පසුගිය දශක කිහිපය තුළ ජාතික සමාජ-දේශපාලන සන්දර්භවල සාමූහික හෘදය සාක්ෂිය හා චින්තනය සමග බොහෝ කාලයක් සමීපව සම්බන්ධ වී තිබුණු  සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රවල කේන්ද්‍රීය භාවය මේ වන විට අවතක්සේරුවට හා  නොසලකා හැරීමට ලක් වී ඇත්තේ කුමක් නිසාද? මගේ විශ්වාශය නම්, මෙය බොහෝ දුරට සිදුවී ඇත්තේ අන්තර් සම්බන්ධිත හේතු දෙකක් නිසාය. මේ කාරණා ද්විත්වය මා මීට පෙර 2017 දී කොළඹ පැවති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද සමුළුවකදී ඉදිරිපත් කරන ලදී. ඒ හා සම්බන්ධ කේන්ද්‍රීය කොන්දේසි වෙනස් වී නැති නිසා මේ කරණු දෙක නැවත වරක මෙහිදී ඉදිරිපත් කරන්නට මා කැමතියි:

1) පළමුව, සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රයන්ට අයත් බොහෝ විෂයයන් — ආර්ථික විද්‍යාව හැර — අධ්‍යාපනය පිළිබඳ තීරණ ගන්නා රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නායකයින් මෙන්ම සාමාන්‍ය ජනතාව ද විසින් අධ්‍යාපන ධූරාවලියේ පහළ ස්ථරයට පිටුවහල් කර ඇත.  ඒ අදාළ නොවන ‘මෘදු’ විෂය ලෙස ඒවා හංවඩු ගසමිනි. ඉල්ලුමක් ඇති’ විෂයයන් කෙරෙහි පමණක් උනන්දුවක් දැක්විය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී තරුණ සිසුන්ට පරිසකට දුන් උපදෙස් අපට තේරුම් ගත හැක්කේ මෙම සන්දර්භය තුළ ය. ඔහුගේ මනසෙහි, ‘ඉල්ලුමක් නැති විෂයයන්’ ලෙස විද්‍යමාන වූයේ පැහැදිලිවම සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර බව අපට තේරුම් ගත හැක.

නමුත් මෙය හුදෙක් දේශීය කොන්දේසියක් පමණක් නොවේ. එය පුළුල් ගෝලීය තත්වයකි. නිදසුනක් වශයෙන්, 2020 ජූනි මාසයේදී ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ඩෑන් ටෙහාන් පැවසුවේ, විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර විෂයන් හදාරණ සිසුන්ගේ ගාස්තු 113% කින් වැඩි කළ යුතු බවයි. මීට සාපේක්ෂව, ඉංජිනේරු, කෘෂිකාර්මික, හෙද විද්‍යාව වැනි වඩාත් ප්‍රයෝජනවත් ලෙස සැලකෙන විෂයයන් සඳහා ගෙවිය යුතු ගාස්තු බෙහෙවින් අඩු වීය. ඔහු කියා සිටියේ මෙම තීරණය ගත්තේ, උසස් අධ්‍යාපනයේදී රැකියා හා ඍජුව සම්බන්ධ විෂයන් තෝරාගැනීමට  සිසුන්ට දිරිගැන්වීමට බවයි.  වෙනත් වචන වලින් කිවහොත්, ඔහුගේ උනන්දුව වූයේ ඕස්ට්‍රේලියාවේ තරුණයින් පොදුවේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යාවන්ගෙන් ඈත් කිරීමයි. නමුත් බොහෝ රටවල, ආර්ථික විද්‍යාව මෙම තත්වයෙන් ගැලවී ඇත්තේ එය ඊනියා ‘සංවර්ධනය’ සමග සෘජුවම සම්බන්ධ වී තිබීම නිසා ය. යම් තාක් දුරට අප වැනි රටවල සමාජ විද්‍යාව හුදෙක් දත්ත එක්රැස් කිරීමේ භාවිත ලෙස ප්‍රතිනිර්මාණය කර ඇත්තේ ඉතාමත්  දුර්වල ලෙස ආර්ථික විද්‍යාවේ ඇතැම් ශිල්ප ක්‍රම අනුකරණය කිරීමෙනි. විශේෂයෙන් සමාජවිද්‍යාව හා සමාජ මානවවිද්‍යාව සම්බන්ධයෙන් ගත් කල, ඉතාමත් ඌනිතකරණ හා උපයෝගීතාවාදී  ලෙස ආර්ථික විද්‍යාව හඹා යාමට ගෙන ඇති මේ උත්සාහය නිසා මේ විෂයයන් හා බැඳී තිබුණ න්‍යායගතකිරීම, සංකල්පීය නවීකරණය සහ ඒවා වරක් ප්‍රසිද්ධව සිටි ක්‍රමවේදී ප්‍රවර්ධනය බරපතල ලෙස  අභාවයට ගොස් ඇත. වෙනත් වචන වලින් කිවහොත්, සරල උපයෝගීතා අර්ථයකින් ‘අදාළත්වය’ සහ ‘ඉල්ලුමට’ පටු ලෙස යටත් කිරීමෙන්, සමාජයීය විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර දාර්ශනික, මානවවාදී සහ බුද්ධිමය වශයෙන් මන්දපෝෂණය වී ඇත.

2) දෙවනුව, සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර සමග ගණුදෙනු කරන අපගේ බොහෝ ශාස්ත්‍රඥයන් ජනප්‍රියව පවතින මෙම නිශේධනීය විශ්වාසය නිෂ්ප්‍රභා කිරීමේ අභිප්‍රායයක් හෝ හැකියාවක් ඔවුන්ගේම පර්යේෂණ, බුද්ධිමය මැදිහත්වීම්, ප්‍රකාශන සහ මහජන මැදිහත්වීම් ප්‍රගුණ කිරීම මගින් පෙන්වා දී නැත. මෙම තත්වය තුළ, මෙම විෂයයන් මුහුණ දී ඇති අර්බුදය සහ ගරාවැටීම ඔවුන් විසින්ම යථාවක් බවට පත් කර ඇත.  මෙහි ප්‍රතිපලයක්  වශයෙන්, පර්යේෂණ සඳහා අප තෝරා ගන්නා තේමා මෙන්ම අපගේ විෂය මාලාවන්ගේ සැලසුම්, ඉගැන්වීම පිළබඳ මූලික ප්‍රවේශ සහ පාඨමාලා සදහා කේන්ද්‍රීය කියවීම් තෝරා ගැනීම යන කරුණු කෙරෙහි ඍණාත්මක ලෙස බලපා ඇත. මට පෙනෙන පරිදි, අපි තවදුරටත් බුද්ධිමය අවදානම් හෝ ශාස්ත්‍රීය වික්‍රමයන් සිදු නොකරන්නෙමු. මෙවන් ඉදිරිගාමී හා නිර්මාණශීලි ප්‍රවේශ භාවිත නොකර කිසිම කලාවක් හෝ විද්‍යාවක් දියුණු වනු  ඇතියි සිතීම මුලාවකි. අවාසනාවකට මෙන්, අප අතර සිටින බොහෝ දෙනා මෙම අතිශය ගැටළුකාරී තත්ත්වය සුළු කොට සලකා ඇති බව පෙනේ.

දකුණු ආසියාවේ සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර

අපගේ රට පිළබඳ මා සඳහන් කළ දේ බොහෝ දුරට සමකාලීන දකුණු ආසියානු සංසිද්ධියකි. මහාචාර්ය වීනා දාස්, 1980 දශකයේ ඉන්දියානු සමාජ විද්‍යාවේ තත්ත්වය සොයා බැලීමේදී, එරට ඒ විෂය පිළබඳ ගැටළු මතු වී ඇත්තේ විශ්වවිද්‍යාලවල පවතින බරපතල අඩුපාඩු, ඉන්දියාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ක්‍රියාත්මක වන ආකාරය සහ ඉන්දියානු සමාජ විද්‍යා සංගමය වැනි වෘත්තීය සංවිධානවල චින්තනය ආදිය නිසා බව පවසයි (1993: 1159). ඇය තවදුරටත් පෙන්වා දෙන පරිදි, සමාජ විද්‍යාව සෑම තැනකම විෂයක් ලෙස වර්ධනය වී ඇතත්, මෙම ව්‍යාප්තිය ඉගැන්වීමේ හා පර්යේෂණ නිපුණතාවයක් ගොඩනැගීමේදී ආධාර වී නොමැති බවයි (දාස් 1993: 1159). මෙම තත්ත්වය අදටත් එසේම පවතී. මහාචාර්ය අක්බාර් සයිඩි පාකිස්තානයේ සමාජයීය විද්‍යාවන් පිළිබඳව පොදුවේ සඳහන් කරමින් පවසන්නේ එරට සමාජයීය විද්‍යාවන් ‘කණගාටුදායක තත්වයක’ පවතින බවයි (සයිඩි 2002). මෙම සාමාන්‍ය තත්ත්වය ශ්‍රී ලංකාවට ද පුළුල් ලෙස අදාළ වේ. විශේෂයෙන් ශ්‍රී ලංකා සමාජ විද්‍යාව සහ වඩාත් පුළුල් වශයෙන්, අපගේ සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර පිළිබඳ මගේ අදහස වන්නේ ඉන්දියාව, පාකිස්තානය සහ කලාපයේ සෙසු ප්‍රදේශවල පවතින තත්ත්වයට අප අත්විඳින තත්ත්වය බෙහෙවින් සමාන වන බවයි. අපගේ සන්දර්භය තුළ, අප අවධාරණය කරන්නේ කුමන විෂය යන්න ද මත පදනම්ව, මෙම පරිහානියට හේතු ගණනාවක් බලපාඇත. මේවා අතර 1960 දශකයේ සිට පුහුණු විද්වතුන් පිටරටවලට සංක්‍රමණය වීම;  ඔවුන්ගේ බුද්ධිමය භූමිකාවන් භාර ගැනීමට අන්‍යයන් පුහුණු කිරීම සාපේක්ෂ වශයෙන් සාර්ථක නොවීම; විශ්වවිද්‍යාලවල බොහෝ විට ලබාදෙන ප්‍රමිතියෙන් තොර පුහුණුව; පර්යේෂණ සඳහා අරමුදල් නොමැතිකම; ගැඹුරු දේශීය ශාස්ත්‍රීය ප්‍රකාශන කර්මාන්තයක් බිහි නොවීම යනාදිය ඇතුළත් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර සම්බන්ධයෙන් ගත් කළ, ශ්‍රී ලංකාවේ “විශ්වවිද්‍යාල තවදුරටත් දියුණු තත්කාලීන හා නිර්මාණාත්මක පර්යේෂණ ආරම්භ කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් පෙරමුණ ගන්නේ නැත” (පෙරේරා 2005: 232). මෙම තත්ත්වය තුළ, පාකිස්තානයේ සහ ඉන්දියාවේ මෙන්ම, “සමකාලීන ශ්‍රී ලංකාව පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදුවන්නේ නම් ඒ රට තුළ හෝ පිටරටවල වාසය කරන විද්වතුන්ගේ  පුද්ගලික ක්‍රියාකාරකම් වශයෙන් මිස සරසවි වල ආයතනික භුමිකාවේ කොටසක් වශයෙන්  නොවේ” (පෙරේරා 2005: 232).

මා ඉහත පෙන්වා දී ඇත්තේ ප්‍රියජනක තත්ත්වයක් නොවන බව පිළිගත යුතුය. මෙම තත්වය මට පැහැදිලිව පෙනෙන්නට තිබුණද, මෙම විෂයයන් අර්බුදයක පවතින බව ඔබ අතර සිටින ඇතැමුන් පිලිනොගන්නට ඉඩ ඇත. වඩාත්  අවාසනාවන්ත කාරණය නම්, අප රටේ කිසිදු සමාජයීය විද්‍යා හෝ මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශයක් — කිසිදු විශ්ව විද්‍යාලයක — මේ තත්ත්වය බරපතල ලෙස ගවේෂණය කළ හැකි සම්මන්ත්‍රණයක්, වැඩමුළුවක්, සාර-සංග්‍රහයක විශේෂ කලාපයක් හෝ සංස්කරණය කරන ලද රචනා එකතුවක් හෝ පළකරන්නට යෝජනා කර නොතිබීමය .

මෙය ඉතා සංකීර්ණ තත්වයක් වුවද, එක් අතකින් මෙම තත්ත්වය පැහැදිලි කළ හැකි නිශ්චිත හේතු කිහිපයක් ඉතා කෙටියෙන් සලකුණු කර, උනන්දුවක් හා අවශ්‍යතාවක් තිබේ නම් මෙම තත්ත්වය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග කිහිපයක් කෙටියෙන් යෝජනාකරන්නට මා කැමැත්තෙමි.

හේතු හතරක්

පොදුවේ ගත් කළ, අප රටේ සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර පිළිබඳ ලබා දෙන පුහුණුව හා එම පුහුණුව ලබාදෙන ආයතන සම්බන්ධයෙන් බරපතල අඩුපාඩුකම් තිබෙන බව පැහැදිලි විය යුතුය. ඒ  අතුරින් විශේෂිත කොන්දේසි ගණනාවක් මේ සඳහා වඩාත් තීරණාත්මක ලෙස දායක වී ඇතැයි මම සිතමි. අද දින මේ කොන්දේසිවලින් හතරක් පිළිබඳ පමණක් කෙටියෙන් අදහස් දැක්වීමට මා බලාපොරොත්තු වෙමි:

  • සමකාලීන විද්වතුන් කොටස්කරුවන් වී ඇති බුද්ධිමය සංසද සහ සම්බන්ධතා ජාලවල ස්වභාවය;
  • සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ප්‍රකාශනයේ ගුණාත්මකභාවය;
  • සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර න්‍යාය සමඟ සම්බන්ධ වී ඇති ආකාරය හා න්‍යාය ජනනය කරන ආකාරය, සහ අවසාන වශයෙන්
  • ශ්‍රී  ලාංකේය සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර දැනුම් නිෂ්පාදනය මෙම විෂය ක්ෂේත්‍රයන්හි ගෝලීය කතිකාවලට බලපාන ආකාරය

බුද්ධිමය සංසද සහ සම්බන්ධතා ජාල

ඕනෑම විෂය ක්ෂේත්‍රයක දැනුම ගොඩනැගීම හා පුළුල් කිරීම මෙන්ම එම ක්ෂේත්‍රවල සිටින වෘත්තිකයින්ගේ  වෘත්තීය ජිවිත ගොඩනැගීමේදී ශාස්ත්‍රාලයීය හා බුද්ධිමය ජාල සහ සංසද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. නමුත් මෙම ජාල සහ සංසද අතිශය ප්‍රවේශමෙන් ගොඩනඟා නඩත්තු කළ යුතුය. මෙහිදී සංසද යන්න මගින් මා අදහස් කරන්නේ නොයෙකුත් සංවිධාන හෝ පුද්ගලයින් විසින් සංවිධානය කරන සම්මන්ත්‍රණ සහ එවන් අන් බුද්ධිමය කතිකාමය අවකාශයන්ය. එමෙන්ම සබදතා ජාල යනුවෙන් මා  අදහස් කරන්නේ, මෙම සම්මන්ත්‍රණ සහ සමුළුවලට කාලයක් මුළුල්ලේ සහභාගී වීම මගින් ගොඩනැගෙන දේශීය හා ගෝලීය ආයතනික සහ පෞද්ගලික සම්බන්ධතා ජාලයන්ය. මැනවින් සිතාබලා ගැඹුරු ලෙසින් සංවිධානය කරන සම්මන්ත්‍රණවල බුද්ධිමය ප්‍රතිඵල  වෙත සංවිධායකයින් විසින් දැඩි අවධානයක් යොමු කරන අතර, මේවාට සාමාන්‍යයෙන් විශාල පිරිසක් සම්බන්ධ නොවේ. එනමුත් මෙය බොහෝ ස්ථානවල භාවිතයට ගන්නා  සම්මන්ත්‍රණ ආකෘතියක් නොවේ.

මොහොතකට, අද දින අප සියලු දෙනා මුණගැසෙන මෙම සමුළුව උදාහරණයක් ලෙස සලකා බලමු. එය සංවිධානය කිරීම සඳහා ගෙන ඇති අනේකවිද උත්සාහයන්, කරන ලද කැපවීම, ගතකළ කාලය සහ වියදම් කර ඇති අරමුදල් සම්බන්ධයෙන් බලන කළ, මේ සමස්ත  උත්සාහය මා අවංකවම අගය කරමි. මෙය වඩාත් අගය කළ යුත්තේ රටේ පවතින වසංගත තත්ත්වය තුළ මෙවැන්නක් සංවිධානය කිරීමේදී මුහුණපාන්නට සිදුවන ගැටළු පිළබඳ සිතා බලන විටය. කෙසේ වෙතත්, මෙම සමුළුවේ උප-මාතෘකා දෙස මතුපිටින් බැලුවද පෙනී යන්නේ, එහි තේමා පරාසය අතිශයින් පුළුල් බවය. මෙම තේමා අතර පුරාවිද්‍යාව, ඉතිහාසය සහ උරුමය; ගැටුම් නිරාකරණය සහ ප්‍රතිසන්ධානය; උපදේශනය, මනෝ විද්‍යාව සහ සමාජ සමගිය; ප්‍රජාතන්ත්‍රවාදය, පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති; ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ කාන්තා අධ්‍යයන; ගෝලීයකරණය සහ සමාජ අභියෝග; භාෂාව සහ සාහිත්‍යය; ආගම, දර්ශනය සහ අධ්‍යාත්මිකත්වය; සමාජය, සංස්කෘතිය සහ අධ්‍යාපනය; සංචාරක හා ආගන්තුක සත්කාරය යනාදී මේ සියල්ලම ඇතුළත් වේ. මගේ විශ්වාසය නම්, මෙතරම් පුළුල් තේමා පරාසයක් තුළ ගැඹුරු මට්ටමේ බුද්ධිමය කතිකා කළ නොහැකි බවයි. මෙවන් තත්ත්ව තුළ කලහැක්කේ ශාස්ත්‍රාලයීය රංගනයන්හි යෙදීම පමණි.

නමුත් මෙම සම්මන්ත්‍රණ ආකෘතිය මෙම සමුළුවට හෝ රුහුණ විශ්වවිද්‍යාලයට හෝ පමණක් සුවිශේෂී නොවේ. පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවලද මම එය දැක ඇත්තෙමි. මගේ හැඟීම නම්, මෙය වඩාත් පුළුල් වශයෙන් අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේම අංගයක් විය හැකි බවයි. එසේම, මෙම ආකෘතිය ලෝකයේ වෙනත් රටවල ද මම දැක ඇත්තෙමි. එය නිසැකවම අපට යොදාගත හැකි සම්මන්ත්‍රණ සැළසුම් කිරීමේදී භාවිතයට ගත හැකි ආකෘති කිහිපය අතරින් එක් ආකෘතියකි. කෙසේ වෙතත්, අද අප රටේ සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර හා සමීපව බැඳී තිබෙන මෙම ජනප්‍රිය ආකෘතියේ සැලසුම පදනම්ව ඇත්තේ  අතිශයින් පුළුල් වූ තේමා පරාසයක් කෙටි කාලයක් තුළදී මතුපිටින් ආමන්ත්‍රණය කිරීම මතය. එනමුත්, දැනට ගෝලීය වශයෙන් වඩාත් ගැඹුරු හා පුළුල් සංවාදයකට ඉඩ සලසන සම්මන්ත්‍රණ ආකෘතිය ලෙස පිළිගන්නේ මීට වඩා තේමාමය වශයෙන් සිමා වූ වඩාත් අඩු හා තෝරාගත් පිරිසක් සහභාගී වන සමන්ත්‍රණ වේ. මගේ ද විශ්වාශය වන්නේ, මෙවන් සම්මන්ත්‍රණ බුද්ධි සම්පාදනයට වඩාත් හිතකර බවයි.

බැරෑරුම් බුද්ධිමය පදනමක් මත දැනුම නිෂ්පාදනය කරනවා වෙනුවට, දැනට ජනප්‍රිය වී ඇති මෙම ශ්‍රී ලාංකේය සම්මන්ත්‍රණ ආකෘතියෙන් අවකාශ සලසන්නේ කුමක් හෝ විශ්වවිද්‍යාලයක තෝරාගත් පීඨයක  සිටින සියළුම ශාස්ත්‍රඥයින්ට ඔවුන්ගේ පර්යේෂණ රුචිකත්ව මත පදනම් වූ ලිපියක් ඉදිරිපත් කිරීමට හැකියාවක් ලබාදීමටයි. මෙය විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර වෘත්තීයමය උසස්වීම් ලබාගැනීමේ ක්‍රියාවලිය සමග සමීපව බැඳී තිබෙන බවද අපි මැනවින් දන්නා කරුණකි. මෙවැනි අවස්ථා ලබාදීම ඉතා වැදගත් කරුණක් බව මම පිළිගත්තද, මෙය ප්‍රයෝජ්‍යතාවාදී කරුණක් මිස බුද්ධිමය කරුණක් නොවේ. මෙහිදී පහත සදහන් සරල ප්‍රශ්නය ඔබට යොමු කිරීමට මා කැමතියි. එනම්, අපට බුද්ධිමය හා ප්‍රයෝජ්‍යතාවාදී යන අවශ්‍යතා දෙකම සාක්ෂාත් කරගත නොහැකිද? ඒ සදහා අප කළයුත්තේ අප සංවිධානය කරන  සම්මන්ත්‍රණවල තේමාමය අවධාරණය වඩාත් තීව්‍ර කිරීමත්, සම්මන්ත්‍රණ නිතර නිතර සංවිධානය කිරීමත්,  ඒවා විශ්වවිද්‍යාල හෝ  පීඨ මගින් සංවිධානය කරනු වෙනුවට, අධ්‍යයනාංශ හෝ යම් තේමාවන් පිලබඳ උනන්දුවක් දක්වන විද්වතුන් විසින් සංවිධානය කිරීමත් මගින් මේ සම්මන්ත්‍රණවල බුද්ධිමය තීව්‍රතාව පුළුල්කර ගැනීමය.

එසේම, කාලයත් සමඟ අපගේ ශාස්ත්‍රාලයීය සගයන් විසින් ගොඩනඟන සම්බන්ධතා ජාල කුමන ස්වභාවයක් ගනීද? තත්කාලීනව අපගේ ශාස්ත්‍රඥයන් විදේශයන්හි හෝ දේශීයව සංචාරය කරන විට, ඔවුන් සම්මන්ත්‍රණ සදහා සහභාගීවන ස්ථාන හෝ පසුව ඒ ඔස්සේ ඔවුන් ගොඩනගාගන්නා සබදතා ජාල  ප්‍රවේශමෙන් තෝරා ගන්නා බවක් මට නොපෙනේ. ඒ වෙනුවට, මා දකින දෙය මෙයයි: මේවන විට ශාස්ත්‍රඥයන්ගේ  ජාත්‍යන්තර සංචලනය බෙහෙවින් ඉහළ ගොස් ඇත. මෙවන් ඇතැම් ගමන් සඳහා රාජ්‍යය අරමුදල් පවා ලැබේ. මෙකී පහසුකම් යොදාගනිමින් තරුණ මෙන්ම ඇතැම් ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රඥයන් බොහෝ විට ඉන්දියාවේ, පාකිස්තානයේ සහ ඇතැම් විට බංග්ලාදේශයේ මා දන්නා සම්මන්ත්‍රණවලට බොහෝ විට පැමිණේ. එනමුත් එම රටවලම සිටින කීර්තිමත් ශාස්ත්‍රඥයන් එම සම්මන්ත්‍රණවල කිසිවිටෙකත් සභාගි වන්නේ නැත. එයට හේතුව ඔවුන් මෙවන් සම්මන්ත්‍රණ අවර ගණයේ කටයුතු ලෙස සලකා, ඒවා බැහැර කරන බැවිනි. එය වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, මෙම රටවලම සංවිධානය කරන බුද්ධිමය වශයෙන් වඩාත් තීව්‍ර සම්මන්ත්‍රණවලට මා මේ සදහන් කළ ලාංකේය  ශාස්ත්‍රඥයන් පැමිණෙන්නේ නැත. එහි ඍජු ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් වඩාත් ක්‍රියාශීලී බුද්ධිමය සම්බන්ධතා ජාලවල කොටස්කරුවන් වන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ, ඔවුන් වඩාත් බුද්ධිමය වශයෙන් පසුගාමී සම්බන්ධතා ජාලවල කොටස්කරුවන්  බවට පත්වීමය. එවැනි අවරගණයේ ජාලයන්හි කොටසකරුවන් වීම සහ බුද්ධිමය වශයෙන් අභියෝගාත්මක නොවන සරල ශාස්ත්‍රීය සංවාදවලට සහභාගී වීම මගින් අප රටේ සමාජයීය විද්‍යාවන්ගේ හා මානව ශාස්ත්‍රවල බුද්ධිමය තීව්‍රත්වය ගොඩනැගීමට හෝ එක් එක් විද්වතුන්ගේ පුද්ගලික වෘත්තීය දියුණුව ප්‍රවර්ධනය කිරීම සඳහා හෝ  උපකාරී වන්නේ කෙසේද? මෙවන් සබදතා ජාලවල කොටස්කරුවන් වීමේ හෝ මෙවැනි සරල සම්මන්ත්‍රණවලට සහභාගී  වීමේ අභිප්‍රාය දැනුම ප්‍රවර්ධනය නොව, තමතමන්ගේ ආයතනික පද්ධතිය තුළ පැවැත්මක් සාක්ෂාත් කරගැනීම සහ එම පද්ධතියේ අභ්‍යන්තරික උසස්වීමේ ක්‍රියාවලියට අවශ්‍ය ඊනියා ‘ජාත්‍යන්තර’ සහ ‘ජාතික’ සම්මන්ත්‍රණවලට සහභාගී වීම උදෙසා ලබා දෙන ලකුණු ලබාගැනීමේ අවශ්‍යතාවයයි.  නමුත් නැවතත් මා මතුකරන ප්‍රශ්නය නම්, ප්‍රවේශමෙන් තෝරා බේරා ගැනීමෙන් මේ අවශ්‍යතා දෙකම සාක්ෂාත් කරගත නොහැකි ද යන්නයි.

ප්‍රකාශනය

සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ප්‍රකාශනවල ගුණාත්මක භාවය ද ගැටළුවක් විය හැකි ආකාරය පිළිබඳ අදහස් කිහිපයක් දැන් මම ගෙනහැර දක්වමි. ප්‍රධාන ධාරාවේ ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයක සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පිළිබඳ වෘත්තිකයන් වශයෙන්, අප රටේ සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ප්‍රකාශන දෙස බලන විට, ඒවායේ සම්මතයන් සහ පරාමිතීන් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වීම පිළිබඳව ඔබට අවංකව සෑහීමකට පත්විය හැකිද? පුද්ගලිකව, මම ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම අවස්ථාවකම සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් පළවී ඇති මෙවන් ප්‍රකාශන කියවන විට, මට පෙනී ගොස් ඇත්තේ විද්වත් ප්‍රජාවක් වශයෙන් අප ලෝකයේ ශාස්ත්‍රීය ප්‍රකාශන ධර්මතා දියුණු වී ඇති ස්ථානවලින් ප්‍රකාශනය හා සම්බන්ධ ආචාරධාර්මික හා වෘත්තියමය පිළිවෙත්වලින් යමක් ඉගෙන ගන්නේ  නම්, ඒ ඉතා අල්ප වශයෙන් බවයි. අප රටේ විධිමත් ශාස්ත්‍රීය ප්‍රකාශන කර්මාන්තයක් නොමැති බවට මා කරන ප්‍රකාශය සමඟ ඔබ එකඟ වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයි. ඉතාමත් පැහැදිලිව, ලෝකයේ වෙනත් රටවල අපට පහසුවෙන් දැකගත හැකි ශාස්ත්‍රීය පොතපත සඳහාම කැපවූ ශාස්ත්‍රීය මුද්‍රණ ආයතන අප රටේ නොමැත. කලකට පෙර මෙම භූමිකාව ඉටු කළ ලංකා විශ්වවිද්‍යාල මුද්‍රණාලය 1960 ගණන්වලදී සිය කටයුතු අවසන් කරන ලදී. දැන්, බොහෝ දුරට, අප රටේ ඇත්තේ හුදෙක් ඕනෑම දෙයක් ප්‍රකාශයට පත් කරන ‘මුද්‍රණාල’ පමණි. බොහෝ අවස්ථාවලදී මෙලෙස එළිදකින ප්‍රකාශනවල බරපතල සංස්කරණමය මැදිහත්වීම් දැකගත නොහැක. එනම්, පූර්ව විමර්ශනයේදී සහ ප්‍රකාශණයට යමක් තෝරාගැනීමේදී මෙන්ම සංස්කරණ මට්ටමේදී  විසදාගත හැකි ගැටළු විශාල ප්‍රමාණයක් අවසාන ප්‍රකාශනය වෙළෙදපොලට නිකුත්වන විටද අවධානයට ලක් නොවී පවතී. එහි ප්‍රතිඵලයක්  ලෙස, ප්‍රකාශිත කෘති අතර ඒවායේ ගුණාත්මක බව සම්බන්ධයෙන් පවතින්නේ අසමාන ප්‍රමිතීන්ය. මෙය අවම වශයෙන් ප්‍රකාශනය සම්බන්ධයෙන් වෘත්තීයමය තත්ත්වයක් පෙන්නුම් නොකරයි.

බොහෝ විශ්වවිද්‍යාල අධ්‍යයනාංශ සහ පීඨ තත්කාලීනව සාර-සංග්‍රහ ගණනාවක් ප්‍රකාශයට පත් කරයි. මෙවන් ප්‍රකාශන අවස්ථා ඇත්ත වශයෙන්ම පසුගිය විසි වසර තුළ ව්‍යාප්ත වී ඇති අතර, එමගින් ශාස්ත්‍රඥයන්ට ප්‍රකාශන අවස්ථා විශාල ලෙස පුළුල් කර දී තිබේ. කෙසේ වෙතත්, ගැටළුව වන්නේ ප්‍රකාශනය සදහා ලිපි තෝරාගැනීමේදී ශෛලීය කරුණු, තීව්‍ර විමර්ශනය හා මූලාශ්‍ර සටහන් වැනි මූලික කරුණු සම්බන්ධයෙන් පවා  මෙම සාර-සංග්‍රහ බොහොමයක් පිලිගත හැකි සංස්කරණ ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීමයි. බොහෝ විට, මට මෙවැනි ප්‍රකාශනවලින්  කියවන්නට ලැබී ඇත්තේ දැනට පවතින දැනුමට හෝ විවාදයට සැලකිය යුතු ලෙසකින් අලුත්  කිසිවක් එකතු නොකරන ඉතා සරල මට්ටමේ රචනාය. සාර-සංග්‍රහ — විශේෂයෙන් විශ්වවිද්‍යාල මගින් පළකරන  සාර-සංග්‍රහ — අති සරල ලිපි සඳහා ප්‍රකාශන අවකාශයක් වනවාට වඩා වැඩි දෙයක් කලයුතු බව අප සැම පිලිගන්නවා ඇතැයි යන්න මගේ විශ්වාශයයි. අවාසනාවන්ත කරුණ නම්, 1970 දශකය වන තෙක් ශ්‍රී ලංකාව සතුව  උසස් තත්ත්වයේ හා ගෝලීය වශයෙන් පිළිගත් සාර-සංග්‍රහ පිළබඳ සම්ප්‍රදායක් තිබීමයි. මේවා අතර පහත සඳහන් ප්‍රසිද්ධ සාර-සංග්‍රහයන් ඇතුළත් වේ: 1958 දී ලංකා ඓතිහාසික

හා සමාජ අධ්‍යයන ප්‍රකාශන මණ්ඩලය (Ceylon Historical and Social Studies Publications Board) විසින් මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද Ceylon Journal of Historical and Social Studies (ලංකා ඓතිහාසික හා සමාජ අධ්‍යයන පිළිබඳ සාර-සංග්‍රහය); 1970 දී පේරාදෙණිය  විශ්වවිද්‍යාලය විසින්  මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද Ceylon Journal of the Humanities (ලංකා මානව ශාස්ත්‍ර පිළබඳ සාර-සංග්‍රහය සහ 1979 දී සමාජ විද්‍යාඥන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද Social Science Review (සමාජයීය විද්‍යා සමාලෝචනය). මෙම සාර-සංග්‍රහයන් — විශේෂයෙන් පළමු දෙක — මගින් ප්‍රකාශයට පත් කරන ලද කේන්ද්‍රීය ලිපි ඔස්සේ ශ්‍රී ලංකාවෙන් සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පිළිබඳ ගෝලීය කතිකාවට දායකතත්වයක් සපයන ලදී. නමුත් වර්තමානය වන විට එවන් ගෝලීය දායකත්වයක් මට දැකගත නොහැකි අතර, මගේ මතයට අනුව, පුද්ගලන් අතලොස්සකගේ පුද්ගලික භූමිකා හැර, ඥාන සම්පාදනය සඳහා සපයන දේශීය දායකත්වය ද එහි වැදගත්කම අතින් මිලින වී ගොස් ඇත.  එනමුත් මෙසේ   සිදු වී ඇත්තේ ප්‍රකාශනය සඳහා  ඇති අවකාශ පුළුල් වී ඇතී සන්දර්භයක් තුළය.

න්‍යාය සහ න්‍යායගත කිරීම

මානව ශාස්ත්‍රවල හා සමාජයීය විද්‍යාවන්හි ගැටලු පැහැදිලි කරන තවත් වැදගත් දර්ශකයක් වන්නේ ශ්‍රී ලංකාවේ මෙම විෂයයන් න්‍යාය සමඟ ගණුදෙනු කරන ආකාරය සහ න්‍යාය ගොඩනගන ආකාරයයි.  ඔබ දන්නා පරිදි, ඕනෑම විෂයක්  විසින් සම්පාදනය කරන ඥානය තීව්‍ර වන්නේ එය  බුද්ධිමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා සමාජ න්‍යාය සමඟ ගණුදෙනු කරන ආකාරය මත සහ එලෙස නිපදවන දැනුම ඔස්සේ න්‍යාය සූත්‍රගත කරන ආකාරය මතයි. එමගින් වියුක්ත චින්තනයට මෙන්ම සංසන්දනාත්මක සමාජ හා දේශපාලන පද්ධතිවල සාමාන්‍යයෙන් සිදුවෙන සංසිද්ධි පැහැදිලි කිරීමට ඉඩ සලසයි. මෙම සන්දර්භය තුළ මහාචාර්ය අක්බාර් සයිඩි පාකිස්තානය සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඇති දේ ශ්‍රී ලංකාවට ද එක සේ අදාළ වේ. ඔහු සඳහන් කර ඇති පරිදි, පාකිස්තාන සමාජයීය විද්‍යාඥයෝ විසින් විදේශවලින් ආනයනය කරන ලද න්‍යායාත්මක තර්ක සහ ගොඩනැගීම් මැනවින් ප්‍රශ්න කරන්නේ හෝ විවාදයට භාජනය නොකර, ඒවා අන්ධ භක්තියකින් මෙන් පාකිස්තාන තත්ත්ව විස්තර කිරීමට ආදේශ කරති  (සයිඩි 2002: 3644). ඒ අර්ථයෙන් ගත් කල, සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පිළිබඳ ශ්‍රී ලංකා ඥාන-සම්පාදන කතිකාව විසින් මෑත කාලයේ දී ලෝකයේ වඩාත් ශාස්ත්‍රීය වශයෙන් ආධිපත්‍යය දරන ප්‍රදේශවල පවතින ප්‍රබල න්‍යායාත්මක ව්‍යුහ සමඟ බැරෑරුම් ලෙස ගනුදෙනුකර තිබේද? ඒවා ගැඹුරින් ප්‍රශ්න කර තිබේද?  අපි අපගේම න්‍යායික ගොඩනැගීම් සහ අපගේම හඬ ලෝකයට ඉදිරිපත් කරන්නේ කවදාද?

අප මෙම තත්වය ප්‍රවේශමෙන් තේරුම් ගැනීමට උත්සාහ ගනිමු. මෙය න්‍යාය හෝ බටහිරින් හෝ වෙනත් තැනකින් ණයට ගත් වෙනත් අදහස් හෝ බැහැර කරමු යන අති සරල අදහස නොවේ. එසේ ආනයනය කළ අදහස් දේශීය තත්ත්ව පැහැදිලි කිරීමේදී මැනැවින් යොදාගත හැකි  නම්, ඒවා භාවිත කිරීම අර්ථවත් වනු ඇත. එනම්, මෙය යම් අදහසක් හුදෙක් ණයට ගත් අදහසක් වීම නිසාම  ඉවත දැමීම නොවේ. ගැටළුව වන්නේ, මෙම අදහස් සමඟ අප බොහෝ විට විචාරශීලීව ගණුදෙනු නොකිරීමයි. තවද, අතිශයින් චිත්තවේගීය වූ, අතාර්කික, බොහෝ විට ආගම මත පදනම් වූ සහ ව්‍යාකූල දේශීය චින්තනමය ගොඩනැගීම් මෙම අදහස් වෙනුවට අන්ධ ලෙස ආදේශ කරන ලෙස ද මා යෝජනා කරන්නේ නැත. සැබවින්ම, අන් සියලුම දැනුම් පද්ධතිවල මෙන්, මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යාවන්හි ද අප කටයුතු කරන්නේ අදහස් හා විද්‍යාව සමඟ මිස චිත්තවේගීය හැඟීම් සමඟ නොවේ. එහෙත්, සෑම න්‍යායක්ම මතුවන්නේ නිශ්චිත ඓතිහාසික ගමන් පථයක් ඔස්සේ එම අදහස් ගමන්ගත් ආකාරය මත බවත්, ඒවා ඉතා නිශ්චිත ඓතිහාසික මොහොතවල  ප්‍රතිඵල බවත් අප මතක තබා ගත යුතුය. එමෙන්ම, මේ සියල්ලම ගොඩනඟනු ලබන න්‍යායේ ස්වභාවය කෙරෙහි බලපෑම් කරන බවද අප අමතක නොකළ යුතුය. මේ නිසා, ඓතිහාසික තත්ත්වයන් බෙහෙවින් වෙනස් වන අප වැනි රටවලට මෙම අදහස් වෙනත් ස්ථානයක සිට ගෙනවුත් ආදේශකරන විට, එම න්‍යායාත්මක ව්‍යුහයන්ට අපගේ සමාජ සංසිද්ධි එක හා සමානව පැහැදිලි කිරීමට හැකි වේද යන ප්‍රශ්නය අප මතු කළ යුතුය. ඇතැම් විට මේ දැනුම් ආදේශය ඉතාමත් සාර්ථක විය හැකියි. එසේම, එය බෙහෙවින් අසාර්ථක වීමටද අවකාශ තිබේ. ගැටළු වන්නේ, අප රටේ සහ අප විශ්වවිද්‍යාලවල සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර පිළිබඳ බොහෝ ශාස්ත්‍රඥයන් අවම වශයෙන් මේ ප්‍රශ්නය මතුකරන්නේවත් නැති වීමය. එනම්, බරපතල න්‍යායාත්මක මැදිහත්වීමක් මෙහි නොමැති බවයි. එවැනි මැදිහත්වීමක් හා න්‍යාය ජනනය කිරීමකින් තොරව කිසිදු ශික්ෂණයකට අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගිය නොහැකිය.

ගෝලීය කතිකා මත ඇතිකරන බලපෑම

දැන් මාගේ අදහස මා හඳුන්වාදුන් අවසාන ගැටළුව පිළබඳ අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමටයි. එනම්, ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර දැනුම නිෂ්පාදනය මගින් මෙම විෂය ක්ෂේත්‍රයන්හි ගෝලීය කතිකාවලට කොතරම් දුරට බලපෑම් කරන්නේද යන්න විමසා බැලීමටයි.  අප රටේ මෙම විෂය ක්ෂේත්‍රයන්හි දැනුම්  නිෂ්පාදනයට හා ව්‍යාප්තියට තීරණාත්මක ලෙස බලපාන මා කලින් සඳහන් කළ තත්ත්ව සැලකිල්ලට ගතහොත්, ගෝලීය කතිකාවන්ට බලපෑම් කිරීමේ හැකියාව අපට ඇතැයි බැරෑරුම් ලෙස සිතිය හැකිද? අපගේ පුහුණුවේ ඇති ගැටළු, අපගේ බුද්ධිමය සබදතා ජාලවල හා දැනුම් නිෂ්පාදන සංසදවල ස්වභාවය, අපගේ ප්‍රකාශන භාවිතයන්ගේ ඇති අඩුපාඩු සහ න්‍යාය හා සම්බන්ධ අර්බුද පිළබඳ මා මෙතෙක් පවසා ඇති දේ  පිළිගන්නේ නම්, ගෝලීය කතිකාවන්ට බලපෑම් කිරීමට අපට හැකි වන්නේ කෙසේද? අපට ඇහුම්කන් දෙන්නේ කවුද? අන්‍යයන් අපට ඇහුම්කන් දෙන තත්ත්වයක් අප ගොඩනගාගන්නේ කෙසේද?  

පවතින තත්ත්ව අනුව මට පෙනෙන්නේ, අපි වචනාර්ථයෙන්ම දූපතක් බවට පත් වී, එහිම විලංගුවේ වැටී සිටින බවයි. එහෙත්, අප මතක තබා ගත යුත්තේ අප ලෝකය සමඟ සම්බන්ධ නොවන්නේ නම් සහ ලෝකයෙන් දැනුම ණයට නොගන්නේ නම් හා ඒ සමගම ලෝකය වෙත අපගේ  දැනුම ලබා දෙන්නේ නැති නම්, කිසිදු විෂය ක්‍ෂේත්‍රයකට ශක්තිමත් ලෙස පරිණාමය විය නොහැකී බවයි.

අනාගතය

දැන් අප ඉදිරියේ මතුවන ප්‍රශ්නය වන්නේ, මේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් කළ හැකිද යන්නයි. සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර පිළිබඳ දැනුම් නිෂ්පාදනය කිරීමේදී ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා  ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් ඇතැයි මම සිතමි.

1) පළමු ක්‍රියාව සහ පහසුම දෙය නම් කිසිවක් නොකිරීමයි. මා මෙතෙක් කෙටියෙන් දක්වා ඇති ආකාරයේ බරපතල ගැටළු මධ්‍යයේ වුවද දැනට පවතින ආකාරයේ ඉගැන්වීම්, පර්යේෂණ, ප්‍රකාශන සහ දුර්වල සම්බන්ධතා ජාල ආදිය දිගටම පවතින්නට ඉඩ දිය හැක. ඒවා මගින් නිසැකවම සාමාන්‍යයෙන් නිෂ්පාදනය වන තොරතුරු ප්‍රමාණයට තවත් යමක් එකතු කරනු ඇත. ඇතැම් විට මෙමගින් විශ්වවිද්‍යාල තුළ උසස්වීම් සාර්ථක කරගැනීමට හා  සංවර්ධන සැලසුම්කරණයට ද උපකාරී විය හැක. එහෙත් මෙම ප්‍රවේශය මගින් නිසැකවම දේශීයව හෝ ගෝලීය වශයෙන් ඥාන සම්පාදනයේ කිසිදු ආකාරයේ බරපතල දියුණුවක් ඇතිකරලීම සඳහා දායක නොවනු ඇත.

2) දෙවන ක්‍රියාව නම්, මා විසින් දක්වා ඇති ආකාරයේ ගැටළුවල පැවැත්ම බැරෑරුම් ලෙස හඳුනා ගැනීම සහ ඒවා විසදාලීමට ක්‍රම සොයා ගැනීමයි. අවශ්‍ය ලෙස දේශපාලන අධිෂ්ඨාන ශක්තියක්  තිබේ නම්, අපගේ ඉගැන්වීම් කටයුතු වැඩිදියුණු කළ නොහැකිද? අප සංවිධානය කරන සම්මන්ත්‍රණ, අප සහභාගී වන සම්මන්ත්‍රණ සහ අප කොටස්කරුවන් වන සබදතා ජාල ප්‍රවේශමෙන් තෝරාගන්නා බවට සහතික කිරීම පුද්ගලික වගකීමක් වශයෙන් මෙන්ම විශ්වවිද්‍යාල අධීක්ෂණය ඔස්සේ ද විදුවිය හැකි අතර, එමඟින් පුද්ගලයන්ට සහ ඔවුන් නියෝජනය කරන ආයතනවලට බුද්ධිමය වශයෙන් පැහැදිලිවම වැඩි ප්‍රයෝජනයක් ලබෙනු ඇත. එමෙන්ම, එමගින් පොදුවේ ගත් කළ, ඥාන සම්පාදනය ද වඩාත් තීව්‍ර කිරීමේ හැකියාව ඇත. තවද, ප්‍රකාශයට පත්කරන  අපගේ සාර-සංග්‍රහයන්  දැනුම හා ගුණාත්මකභාවය සඳහා කැපවීම සහතික කිරීම සඳහා ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම ද ඒ හා සමානවම කළ හැකි දෙයකි. කෙසේ වෙතත්, ශාස්ත්‍රීය ප්‍රකාශන සඳහා ශ්‍රී ලංකාවේ වෙළඳපොල ඉතා සීමිත බැවින්, ඒ සඳහාම කැපවූ ශාස්ත්‍රීය මුද්‍රණාල පිහිටුවීම තරමක් අපහසු බව මම පිළිගනිමි. එහෙත්, මා වෙනත් තැනක ද යෝජනා කර ඇති පරිදි, තෝරාගත් විශ්වවිද්‍යාලවලට පෞද්ගලික අංශයේ ප්‍රකාශකයන් සමූහයක් සමඟ සමීපව කටයුතු කිරීමට හා එම ප්‍රකාශකයින්ගේ කාර්යයේ කොටසක් ලෙස වඩාත් ගැඹුරු ශාස්ත්‍රීය කෘති බිහි කිරීමට ඔවුන් පුහුණු කිරීමටත්, ඒවා ලෝකයට ගෙනයාමටත් හැකියාවක් ඇත.

මේ සියල්ලම කේන්ද්‍රීය ප්‍රශ්න වන අතර, ඒවා විසදාලීමට බැරෑරුම් විසඳුම්, තීරණ හා විචාරපූර්වක චින්තනයක් අවශ්‍ය වේ.  මේ තීරණ ශාස්ත්‍රඥයින් මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය විසින් ද එක සේ ගත යුතු ප්‍රායෝගික තීරණ වේ.  එනමුත්, මා විසින් යෝජනා කරනු ලබන ආකාරයේ තීරණ නොගැනීමත්, පවතින තත්ත්වය එපරිද්දෙන්ම පවත්වා ගෙන යාමටත් තීරණය කිරීම ඔබ සතු වරණයකි. ඔබ ගත්තේ කුමනාකාරයේ තීරණයක් දැයි අනාගතය විසින් අපට කියා දෙනු ඇත.

ඔබේ අනාගතයට සුබ පතන අතරම මේ තීරණ ගැනීමට ධෛර්යය ඔබ සැමට ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි. එමන්ම,  මේ සමුළුවද සාර්ථකව අවසන් වනු ඇතැයි මා විශ්වාස කරමි. මා විසින් දක්වා ඇති දිශාවට යාමට මෙහි සිටින යමෙකු උනන්දු වන්නේ නම්, මට ප්‍රවේශ වීමට හැකියාව හා අවසර ඇති බුද්ධිමය සම්පත් වෙත ඔවුන්ව යොමුකිරීමට මම පෞද්ගලිකව කැමැත්තෙමි.

ඔබගේ කාලය සඳහා ස්තූතියි. මම ඔබට ජය පතමි.

මූලාශ්‍ර

Das, Veena. 1993. ‘Sociological Research in India: The State of Crisis.’  ’ In, Economic and Political Weekly, Vol. 37, No. 35 (Aug. 31 – Sep. 6, 2002), pp. 3644-3661.

Eagleton, Terry. 2010. ‘The Death of Universities.’ In, The Guardian (17th December 2010). Available at: https://www.theguardian.com/commentisfree/2010/dec/17/death-universities-malaise-tuition-fees (accessed on 22 October 2017).

Perera, Sasanka. 2005. ‘Dealing with Dinosaurs and Reclaiming Sociology: A Personal Narrative on the (non) Existence of Critical Sociological Knowledge Production in Sri Lanka.’  In, Sociological Bulletin: Journal of the Indian Sociological Society, Vol. 54, Number 3, (Sept-Dec 2005).

Zaidi, S. Akbar. 2002. ‘Dismal State of Social Sciences in Pakistan.’ In, Economic and Political Weekly (June 5, 1993), pp. 1159-1161.

(මේ රචනය 2020 නොවැම්බර් 5 වන දින ‘රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා 2020 සමුළුවේදී’ පැවැත් වූ මුඛ්‍ය දේශනයේ සංස්කරණය නොකළ අත්පිටපතේ සිංහල පරිවර්තනයයි. මෙම දේශනයේ පළමු කොටස 2017 දෙසැම්බර් 20 වන දින කොළඹ සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ 4 වන වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයේ දී පවත්වන ලද මුඛ්‍ය දේශනයෙන් මූලික වශයෙන් උපුටාගෙන ඇත)

Total
22
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

විද්‍යාලංකාර පිරිවෙන සහ ශ්‍රී ලංකාවේ යටත්විජිත සිංහල සමාජයෙහි විසම්මුතික බුද්ධි සම්ප්‍රදාය

(මේ ලිපිය 2020 ජනවාරි 08 වන දින කැළණිය විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සර උත්සව දේශන මාලාවේ 1 වැනි දේශනය ලෙස ඉතිහාස අංශයේදී පැවැත් වූ කථාවේ සංශෝධිත පිටපතය. එහි වඩාත් වර්ධිත පිටපතක් ‘පඨිත 2020’ මුද්‍රිත වෙලුමේ පළවීමට නියමිතය) ~ ජයදේව උයන්ගොඩ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හැටවෙනි සංවත්සරය සමරන උත්සව මාලාවට කතාවක් පැවැත්වීම මගින් සහභාගීවීමට මට ලැබුණු ආරාධනය මා පිළිගත්තේ සතුටිනි. එම ආරාධනය කිරීම ගැන ගරු ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්, ඉතිහාස ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුලු නිලධාරී මණ්ඩලයටත්, මෙම උත්සවයේ සංවිධායක…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඥාන විභාගාත්මක ඛණ්ඩනීය මොහොතක් පිළිබඳ ආවර්ජනයක්: සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය පිළිබඳ සීමිත පාඨනයක්

~ සසංක පෙරේරාදකුණු ආසියාණු විශ්වවිද්‍යාලය (මේ ලිපිය මුල්වරට පළ වූයේ ජයන්ත අමරසිංහ සංස්කරණය කළ ‘සිරි ගුනසිංහ උපහාර ලිපි’ යන කෘතියේය (ගාල්ල: රුහුණු විශ්වවිද්‍යාලය, 2010). කෘතිය සඳහා ලිපිය සම්පාදනය කිරීමට මාහට ආරාධනය කළ මහාචාර්ය තිස්ස කාරියවසම්ට හා මහාචාර්ය ජයන්ත අමරසිංහට මාගේ ස්තූතිය හිමි වේ) සන්දර්භගත කිරීම සිරි ගුනසිංහගේ නිර්මාණ කාර්යය හරහා එහි අත්‍යන්ත දේශපාලනය පිළිබඳව කෙරෙන මෙම සීමිත ආවර්ජනීය පාඨනය දියත් වන්නේ ගුනසිංහගේ නිර්මාණ කටයුතු ඇරඹී අඩසිය වසක් ගත වූ පසුවය. තවද මා සාහිත්‍ය විචාරය හෝ භාෂා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කොරෝනා: දෘෂ්ටිවාදය නිරෝධායනයක්!

(කාටුනය: අවන්ත ආටිගල) ~ බූපති නලින් වික්‍රමගේ ස්වාධීන දෘශ්‍ය කලා හා දේශපාලන විචාරක ඕනෑම මිනිස් ක්‍රියාවක් වන්නෙම චින්තනයයි. මිනිස් ක්‍රියාවක නිවැරදිතාවය විමසීම ඉතා තීරණාත්මක වන්නෙ සමස්ත සමාජයම උඩුයටිකුරු කරවනා කොරෝනා වසංගතය වැනි සිදුවීමකදීය. මාක්ස්වාදය තුළ ‘දෘෂ්ටිවාදය’ (ideology) නමින් සිද්ධාන්තයක් සාකච්ඡා වන්නේ අපගේ සිතීම හා ක්‍රියාවේ නිරවද්‍යතාව පිළිබඳව වන මාතෘකාවට අදාලවය. කෙනෙක් හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකටද දෘෂ්ටිවාදය ගැන සාකච්ඡාවක් කියලා ? ඊටත් වඩා හිතන්න පුලුවන් මේ වගේ වෙලාවක මොකද මාක්ස්වාදය ගැන කතාවක් කියලා? සාධාරණයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

‘මිලිටරි පුරුෂත්වය’ වර්තමාන ලංකාවේ දැනට පවතින ආධිපත්‍යමය පුරුෂත්වයද?

~ අනුශ්කා කහදගමගේ දකුනු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය (චායාරූපය: අනුශ්කා කහදගමගේ, මිනුවන්ගොඩ, 2019) මෙම කෙටි රචනයට ප්‍රවේශය වන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සමඟ හෝ ඇතැමුන්ට අනුව, නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ රටේ ඇතිවූ නූතන  බිතු-සිතුවම් රැල්ලේ එක් චිත්‍රයකි. මෙය මිනුවන්ගොඩ නගරයේ සිතුවම්කර ඇති අතර, බොහෝ තැන්වල මා දැක ඇති වෙන් වෙන්ව සිතුවම් කර ඇති විශාල මාංශ පේශිවලින් යුතු රජවරුන්, කුමාරවරුන් මෙන්ම අවි සහ අත් බෝම්බ අත දරාගත්, සන්නද්ධ හමුදා සොල්දාදුවන්ට වඩා වෙනස් වර්ගයේ එකකි. ඒ, සොල්දාදුවාත්, කුමාරයාත් බද්ධකර,…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය

~ අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර්, යේල් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: ඵූසතී ලියනාරච්චි ලංකාවේ තේ වතුවලින් ඉන්දියාවට රැගෙන ආ පාන්, ශ්‍රමිකයන් ලෙස ලංකාවට සංක්‍රමණය වූ ඉන්දියානු දමිළ ජනතාවගේ කතාන්දරය කියාපාන සරල අහරකි. සෑම බ්‍රහස්පතින්දාවක ම අපගේ රෑ කෑම වූයේ පාන් ය. කටට ගන්නා සෑම විටක දී ම මහා කරස් හඬක් නගන රළු ආකාරයකට සෑදූ ඒ පරළු පාන්වල ඇතුළත, පිරිපුන් සැහැල්ලු බවක් රැඳී තිබුණි. එය සාමාන්‍යයෙන් ගැලපුනේ සම්බෝල සමග කෑමට ය. සම්බෝල යනු, සියුම්ව ගා ගත් නැවුම් පොල් රැළි සැර මිරිස්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ஒரு றாத்தல் பாணிலிருந்து அடையாளம் வரை: புலம்பெயர்வு மற்றும் நினைவுகள்

~ அக்ஷ்யா  கிருஷ்ணகுமார், யேல் பல்கலைக்கழகம்மொழிபெயர்ப்பு – சிவலிங்கம் அனுஷா இலங்கை தேயிலைத் தோட்டங்களிலிருந்து இந்தியாவுக்குக்கொண்டுவரப்பட்ட பாண் என்பது  இலங்கைக்கு தொழிலாளர்களாக புலம்பெயர்ந்த  இந்தியத் தமிழ் மக்களின் கதையைச் சொல்லும் ஒரு எளிய உணவாகும். ஒவ்வொரு வியாழனும் பாண், எனது  இரவு உணவாக இருந்தது. பாண்  ஒவ்வொரு  முறையும்  வாயில்  வைத்து கடிக்கும்போது அதில்   பெரிய சத்தம்  ஒலிக்கும்   வகையில் தயாரிக்கப்பட்டிருந்தது. பாணின் நடுவில் மென்மையான ஒருபகுதியும் இருக்கிறது.  அது சம்பலுடன்  சாப்பிடவே பொருத்தமாக  இருந்தது.  சம்பல் என்பது  நறுக்கப்பட்ட மிளகாயை, துருவிய தேங்காய் துண்டுகளுடன் இறுதியாக அரைத்தெடுத்து  கலந்த உணவாகும். மாசி தூள் அதன் மீது தெளிக்கப்படும் போது சம்பல் மிகவும் சுவையாக இருக்கும்…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

South Asia – Between Dream and Actuality

Ravi Kumar – (මේ ලිපිය මුල්වරට පළවුයේ බ්ලූම්ස්බරි ප්‍රකාශන සමගම විසින් 2019දී පලකළ, සසංක පෙරේරා, දේව් නාත් පාඨක් සහ රවී කුමාර් විසින් රචිත ‘Against the Nation: Thinking Like South Asians’ නම් කෘතියේ පස්වන පරිච්ඡේදයේ වශයෙනි. රවී කුමාර් දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචර්යවරයෙකි. ඔහු එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානියාය) The term, ‘South Asia’ invokes myriad images — from inter-governmental bodies such as SAARC, talks of how this is a geographic region…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ආසියා ප්‍රකාශන සමාගම: දකුණු ආසියාවේ ප්‍රකාශන ඉතිහාසයේ අමතක වී ගිය මතකය

~ රාමචන්ද්‍ර ගූහා (මේ ලිපිය 2020 අප්‍රේල් 18 වන දින ස්ක්‍රෝල් වෙබ් අඩවිය සඳහා මහාචාර්ය රාමචන්ද්‍ර ගූහා විසින් සම්පාදනය කළ ‘From Asia Publishing to Permanent Black’ යන කෙටි ලිපියේ පළමු කොටසේ සිංහල පරිවර්තනයයි. මුල් ලිපියෙන් ඔහු උත්සාහ ගත්තේ කේන්ද්‍රීය ඉන්දීය ප්‍රකාශකයින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ භූමිකාව උදෙසා සිය ප්‍රණාමය පුදකිරීමටය. මෙහි පළමු කොටස සිංහලෙන් ඉදිරිපත් කරන්නට හේතුවන්නේ එවැනි ඓතිහාසික තොරතුරු දකුණු ආසියාව පිළිබඳ විකල්ප පරිකල්පනයක් ගොඩනැගීමට උනන්දුවක් ඇති පර්යේෂකයින්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි යන විශ්වාසය මතය. මහාචාර්ය රාමචන්ද්‍ර…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී වඩ වඩාත් ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම වෙනත් බොහෝ දැනුම මිනිසුන් වෙත ගෙනෙන තාක්‍ෂණය පිළිබඳ කාරණයක් පමණක් නොවන බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මේ සියල්ල මහජනතාව වෙත ගෙන ඒම ඔස්සේ අනෙකුත් සියලුම ජනමාධ්‍ය මෙන් ගුවන්විදුලිය ද දේශපාලනයේ මාධ්‍යයක් බවට පත්වීමයි. ‘දේශපාලනය’ යන පදය මෙහිදී යොදාගන්නා විට, අප…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ බහූත්වවාදයේ ඓතිහාසික පදනම

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම් පදනම් කීපයක් මත සමාජයක විවිධත්වයක් ඇති බවත් එය සාධනීය තත්ත්වයක් බවත්  පිළිගනී. මේ විවිධත්වය කුලය, ආගම, ජනවර්ගය, භාෂාව, කලාපීය අනන්‍යතා වැනි ඕනෑම  ලක්ෂණයක් මත පදනම් විය හැක. මේ අර්ථයෙන් ගත් විට, ලෝකයේ බහූත්ව නොවන සමාජයක් සොයා ගත නොහැක. ඒ වෙනුවට අපට දැකගත හැක්කේ, බහූත්ව ලක්ෂණ සාපේක්ෂ වශයෙන් අඩු හෝ එවැනි ලක්ෂණ සාපේක්ෂ වශයෙන් වැඩි සමාජ…
වැඩි විස්තර පරිශීලනයට