‘කලාව’ කිව්වොත් මළා වගේ!

~ අනුෂ්කා කහඳගමගේ, සමාජයීයවිද්‍යා අධ්‍යයනංශය, ඔටාගෝ විශ්වවිද්‍යාලය, නවසීලන්තය

“චී.. චී.. චී. ලැජ්ජ නැද්ද, අපේ එකෙක් කලාව කරන්න. කව්ද උඹ දිහා බලන්නේ, විද්‍යාවයි ගණන් ගන්නේ. අඩු ගනනේ වානිජවත්, ඉතින් පුතේ නම්බුවක්නේ ෆේල් උනත් විද්‍යාවෙන් විභාගේ කොරලා…” — විකෘති, සෝමලතා සුබසිංහ

අප රටේ පවතින ජනප්‍රිය අදහස වන්නේ, කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය නිෂ්පල අධ්‍යයනික ක්‍ෂේත්‍රයක් බවයි. මේ ලිපිය මගින් මා කලා උපාධිය වශයෙන් හඳුන්වනු ලබන්නේ  මානව ශාස්ත්‍ර, සමාජයීය විද්‍යා, චිත්‍ර, නැටුම්, සංගීතය, සිනමාව ඇතුළු පුළුල් විෂය පථයයි. කලා උපාධිය නිෂ්ඵල, කාලෝචිත නොවන, නැතහොත් සමකාලීන සමාජ අවශ්‍යතාවලට නොගැලපෙන්නක් බව පොදු සමාජයේ ඇතිවී තිබෙන කතා බහයි. මෙම ජනප්‍රිය අදහස තුළ ‘සමාජ අවශ්‍යතා’ යනු මොනවාද? ‘සමාජ’ යන පුළුල් අරුතින් භාවිත කරනු ලැබුවත්, සත්‍ය වශයෙන්ම මින් අදහස් කරන්නේ ‘වෙළඳපොල’ අවශ්‍යතාවලට නොගැළපෙන බවයි.  එනම්, කලා උපාධිය වෙළඳපොල අවශ්‍යතාවලට අනුව හැඩ ගැසී නොමැති බවයි. මේ තුළ සමාජය යන පුළුල් සහ සංකීර්ණ ප්‍රපංචය ‘වෙළඳපොල’ දක්වා දක්වා ඌණනය වී ඇත. එසේ සමාජය යන්න වෙළඳපොල දක්වා මෙතරන් සරල ලෙස ඌණනය වීම අප ලබනා අධ්‍යාපනයේ යම් අසමත් වීමක් බව පිළිගත යුතුය. එවැනි පටු අදහසක් සමාජගත වීමේ වැඩි වගකීමක්, සමස්ත අධ්‍යාපන පද්ධතිය මත පැටවෙනවා මෙන්ම, විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර සහ කලා විෂය ධාරා මත පැටවෙයි.

කලා උපාධිය සහ වෙළඳපොළ

දැනට ලංකාවේ පවතින සියලුම උපාධි පාඨමාලා සඳහා ශිෂ්‍යයින් ප්‍රවේශ වෙන්නේ  අ.පො.ස. උසස් පෙළ නම් වූ තරඟකාරී විභාගයෙනි.  අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන බොහෝ සිසුන් පෞද්ගලික උපකාරක පන්තිවල සහාය නොමදව ලබයි. එබැවින් විශ්වවිද්‍යාල වලට ඇතුළුවන මේ ශිෂ්‍ය ප්‍රජාවගේ හැසිරීම්, ඔවුන් අධ්‍යාපනය ලැබීම සඳහා යොදාගන්නා ක්‍රමවේද, විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට පෙර සිටම වෙළඳපොල විසින් කොන්දේසි ගතකර හමාරය.  එබැවින්, විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨ තුළ පවතින අධ්‍යාපනයත්, සමාජයේ අනෙක් සෑම දෙයක් සේම වෙළඳපොල විසින් දැනටමත් කොන්දේසි වලට යටත්කර ඇත. වඩාත් උත්ප්‍රාසාත්මක කරුණ වන්නේ, වෙළඳපොල විසින්ම බිහිකළ ශිෂ්‍ය ප්‍රජාව එම වෙළඳපොල විසින්ම ප්‍රතික්ෂේප කිරීමයි. එවැනි පසුබිමක් තුළ, ගැටලුව පවතින්නේ පවතින අධ්‍යාපන ක්‍රමයට වඩා අධ්‍යාපනය සහ සමාජය යන  සියලු දේ වෙළඳපොළ දක්වා ඌනනයකර ඇති ධනවාදී ආර්ථික ක්‍රමයේය.

මානව ශාස්ත්‍ර සහ කලා විෂයයේ අරමුණ

අපි මානව ශාස්ත්‍ර සහ කලා විෂය ධාරාවලින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මනුෂ්‍යයා තමාටම අභිමුඛ කිරීම, නැත්තම් මනුෂ්‍යයෙක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අවබෝධ කරගැනීම සහ මනුෂ්‍යයෙක් ලෙස සමාජයේ අනෙකුත් මනුෂ්‍යයින් සමඟ ජීවත් වන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම, කලා සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ සාරය වෙයි. මෙතැනදී අනෙකා කෙරෙහි සහකම්පනයක් ඇති කරගන්නේ කෙසේද, අනෙකාගේ සංස්කෘතිය අවබෝධ කරගැනීම, මානව ඉතිහාසය පිළිබඳ ගැඹුරින් හැදෑරීම වැනි කාරණා ගණනාවක් මීට ඇතුළත් වෙයි.

මානව ශාස්ත්‍ර හටගැනීම සහ අර්බුධකාරී සමාජය

මානව ශාස්ත්‍රවල හටගැනීම සිදුවූ කාලයට සහ අවකාශයට අවධානය යොමු කළහොත්, මානව ශාස්ත්‍ර බිහි වූයේ ශීග්‍රයෙන් ධනවාදී කාර්මීකරණයට ලක්වන සමාජ තුළ බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එනම්, මානව ශාස්ත්‍ර බිහි වූයේම විශාල සමාජ විපරිවර්තනයක් සිදුවූ සමයක. එම ව්‍යාධීමය සමාජය එම අර්බුධයෙන් මුදවා ගැනීමේ අරමුණිනි. එවැනි තත්වයක් තුළ බිහිවූ මානව ශාස්ත්‍ර වර්තමාන සමාජ අර්බුධයට නොගැළපෙන හෝ අදාළ නොවන බවට කෙනෙකු තර්ක කරන්නේ කෙසේද?

මානව විරෝධී සමාජය

වර්තමාන සමාජය මානව ශාස්ත්‍ර හටගත් සමාජයට වඩා වෙනස් වී ඇති බවට කෙනෙකුට තර්කකළ හැකි අතර, එය සත්‍යයකි. එනම්, වෙළඳපොළ විසින් ඇති නැති පරතරය තවත් විස්තීරණය කොට ඇති අතර, පරාරෝපණය වර්ධනය වී ඇත. එමෙන්ම, අධ්‍යාපනයත් ගෝලීය වෙළඳපොල තුළ ප්‍රධාන භාණ්ඩයක් බවට පත්වී හමාරය. අධ්‍යාපනය වෙළඳපොලකරණය මෙන්ම වෙළඳපොල ආර්ථිකය විසින් වර්ධනයකර ඇති අනෙකුත් තත්ත්ව හරහා අසමාන අවස්ථා සහිත සමාජයක් බිහිවී ඇත. අධ්‍යාපනය වෙළඳපොල භාණ්ඩයක් බවට පත් කිරීම තුළින් මේ අසමාන අවස්ථා සහිත සමාජය වඩාත් හොඳින් නඩත්තු කිරීම සිදුවෙයි. සියලු දෙනාටම සමාන අවස්ථා නොලැබෙන සමාජයක්, ‘මානව විරෝධී’ සමාජයකි. සෑම මනුෂ්‍යයෙකුටම මනුෂ්‍යයෙක් ලෙස සමාන අවස්ථා භුක්ති විඳිමින්, ආත්ම අභිමානය සහිතව ජීවත් විය නොහැකි සමාජයක් මානව විරෝධී සමාජයකි. මේ අනුව, මානව විරෝධී සමාජ විසින් මානව ශාස්ත්‍ර සහ කලා විෂය ප්‍රතික්ෂේප කරයි. එනමුත් සිදුකළ යුත්තේ කලා හා මානව ශාස්ත්‍ර තුළින් මානවවාදී සමාජ ඇති කිරීමයි. එසේ කළහැක්කේ මානව ශාස්ත්‍ර සහ කලාව දියුණු කිරීමෙන් විනා, ඒවා නැති කිරීමෙන් සහ හැකිලීමෙන් නොවෙයි. ඒ අනුව, මානව විරෝධී සමාජයක් වෙනුවට මානවවාදී සමාජයක් බිහි කිරීමට නම්, මානව ශාස්ත්‍ර හකුලා දැමීම වෙනුවට ඒවායේ තත්ත්වය දියුණු කිරීමත්, ඒවා ව්‍යාප්ත කිරීමත් අවශ්‍ය වෙයි.

ලංකාවේ කලා උපාධිය ගුණාත්මක බවින් යුක්තද?

මානව ශාස්ත්‍ර සහ කලා උපාධිය වැදගත් වුවත්, ලංකාවේ මේ වන විට පවතින කලා උපාධිවල තත්ත්වය ගුණාත්මක වශයෙන් දුර්වල මට්ටමක පවතියි. ඊට හේතුව, මානව ශාස්ත්‍ර සහ කලා විෂය ධාරාවේ පවතින නෛසර්ගික/ආවේණික ප්‍රශ්නයක් නොවෙයි. එයට හේතු දීර්ඝ කාලයක් තිස්සේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ස්වාධීනත්වය අඩපණ කරන, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙන, සමාජය පුරා උඩු දුවා ඇති දේශපාලනීකරණය මෙන්ම ස්වභාෂා අධ්‍යාපනයට මාරු වීමෙන් මතු වූ ගැටළු ආදිය ප්‍රධාන වේ.  

කලා උපාධියේ සමාජ කාර්ය භාරය

ලංකාව විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය අත්විඳි සමාජයකි. දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද්ධය, 71, 88-89 තරුණ කැරළි මෙන්ම පශ්චාත් යුධ සමයේ විවිධ ආගමික ප්‍රජාවන්ට එරෙහිව එල්ල වූ පහරදීම් මීට උදාහරණ ලෙස දැක්විය හැකියි. ජනවාර්ගික ප්‍රජාවන් මෙන්ම විවිධ ආගමික ප්‍රජාවන් අතරත් නොරුස්නාසුලු ආතතියක් රට තුළ පවතියි. එම ආතතිය, නිසි දේශපාලන විසඳුමකින් තොරව, අළුයට ගිනි පුපුරු මෙන් උණුසුම්ව පවතින අතර, විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් එම තත්ත්වය පුපුරා යා හැකිය. මේ තත්වයට හේතු  ගණනාවක් ඇත. එයින් ප්‍රධානම හේතුවක් වන්නේ,  වෙළඳපොල කේන්ද්‍ර කරගත් මෙන්ම, සිංහල බෞද්ධ ජාතිවාදී ආඛ්‍යාන මත යැපෙමින් සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල දේශපාලන ව්‍යාපාරයි. මේ සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාද රටේ සියලු දේශපාලන, ආර්ථික සහ සමාජ සංස්ථා තුළ අන්තර්ගත වී ඇත. අධ්‍යාපනය ද මෙම මතවාදයේ ගොදුරක් වීම නොවැලක්විය හැකිය. අධ්‍යාපනය මෙම මතවාදවල ගොදුරක් වීම, වෙනත් සමාජ සංස්ථා මෙම මතවාදවල ගොදුරක් වීමට වඩා භයානකක වෙයි. එයට හේතුව වන්නේ, වෙනත් සමාජ සංස්ථා අභිබවා යමින්, අධ්‍යාපන ක්‍රමය මෙම ආධිපත්‍යමය සිංහල බෞද්ධ ජාතිකවාදී සටන් පාඨ නඩත්තු කරමින්, නිෂ්පාදනය කරමින් සහ ප්‍රතිනිෂ්පාදනය කරමින් සිටීමයි. වඩාත් උත්ප්‍රාසාත්මක කරුණ වන්නේ, ව්‍යාධීමය සමාජ තත්ත්වය සහ අපගේ අධ්‍යාපන ක්‍රමය අතර සම්බන්ධයක් පවතින බව පොදුජන සමාජයට පසක් නොවීමයි.

මෙම අවකාශ දෙක, එනම් අධ්‍යාපනය සහ සමාජ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ කරමින් කතා කිරීම බොහෝ විට ඉතාම සුලුතර පිරිසකගේ බුද්ධිමය කව තුළට සීමා වී ඇත. පශ්චාත් යුධ සමය තුළ ප්‍රජාවන් අතර විශ්වාසය ඇති කිරීමේ ප්‍රමුඛ භූමිකාව රඟ දක්වනු වෙනුවට, අධ්‍යාපන ක්‍රමය විසින් සිදු කරන්නේ, සමාජ පන්තිය, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය, ජනවර්ගය වැනි ප්‍රවර්ග හරහා සමාජය තුළ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය නඩත්තු කිරීමට පාර කැපීමයි. අනෙක් අතට, දේශපාලකයින් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කරන්නේ ආර්ථිකයට සම්බන්ධ යමක් ලෙස පමණක් වන අතර, මූලික වශයෙන් අධ්‍යාපනය ආර්ථික අර්බුධයට වගකිව යුතු එකම සාධකය ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් හුවා දක්වමින් සිටියි.

ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ, ‘වෘත්තීය තාක්ෂණවේදීන් බිහිකරන උසස් අධ්‍යාපන ක්‍රමවේදයක්’ යන කොටස මූලික වශයෙන් යොමු වන්නේ,  කලා සහ ශාස්ත්‍ර අධ්‍යාපනය වෙනුවට, විද්‍යා තාක්ෂණ අධ්‍යාපනය සහ ඉංග්‍රීසි අධ්‍යාපනය මෘදු කුසලතාවක් ලෙස  වර්ධනය කිරීම හරහා සුහුරු තාක්ෂණවේදීන් නිර්මාණය කිරීමටයි. මෙහිදී උපකල්පනය කර ඇත්තේ, විද්‍යා හා තාක්ෂණ විෂය ධාරාව, ආර්ථික සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර දෙකේම පවතින අර්බුධවලට විසඳුමක් බවට පත් වී, ඔය කියන්නාවූ ‘ආර්ථික සංවර්ධනය’ වෙත රට ගමන් කරවනු ඇති බවයි. ලංකාවේ වත්මන් ශ්‍රම ඉල්ලුම ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ ආරක්ෂක අංශ මත පදනම්ව පවතින (2017 ශ්‍රම ඉල්ලුම් සමීක්ෂණ වාර්තාව) තත්වයක් තුළ ලංකාවේ අනාගත රැකියා වෙළඳපොල පිළිබඳ පුරෝකතනය කිරීමේ හැකියාව අවමය. මෙවැනි තත්වයක් තුළ, ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කෙටි කාලීන සහ සුරක්ෂිත භාවයකින් යුක්ත නොවන ආර්ථිකයක් සඳහා අවශ්‍ය ‘තාක්ෂණික ශ්‍රමිකයන්’ නිර්මාණය කිරීමේ යෙදී සිටියි. ඒ වෙනුවට ඔවුන් කළ යුතුව තිබුණේ, උපකල්පනය කළනොහැකි ඕනෑම අනාගත ආර්ථිකයක් සඳහා අවශ්‍යකරන නිර්මාණශීලි පිරිසක් අධ්‍යාපනය තුළින් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි.

සාමය සහ අධ්‍යාපනය

නිර්මාණශීලී අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැඟීමේදී කළ යුතු සහ පරිස්සමෙන් කල්පනාකාර බැලිය යුතු බොහෝ පැතිකඩ පවතියි. නමුත් මාගේ මූලික අවධානය යොමුවන්නේ සමාජයේ අනෙකුත් මනුෂ්‍යයින් සමඟ එකට ජීවත්වීම පිළිබඳවයි. නිර්ප්‍රභූ සහ බැහැර කරනලද ආඛ්‍යාන විෂය මාලා තුළට අන්තර්ගත කිරීම මෙහිදී වැදගත් වේ. මේවා අතර  විචාර පූර්වක ලෙස සිතීම වර්ධනය කරන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම, දැනට පවතින්නා වූ මිලිටරිකරණය වූ මෙන්ම තම ජාතිය කෙරෙහි පක්ෂපාතීත්වයෙන් යුක්ත අගතිගාමී විෂම සමාජයක් තුළ අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව හැදී වැවැඩීමට අවශ්‍ය ධෛර්යය ලබා දීම මෙන්ම, එම සමාජය යහපත් ලෙස වෙනස් කිරීමට අවශ්‍ය ශක්‍යතාව ලබා දීම ආදී ප්‍රවේශ ප්‍රමුඛ වෙයි.

ආර්ථිකය සම්පුර්ණයෙන්ම නොසළකා හරින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම මාගේ අභිප්‍රාය නොවෙයි. නමුත් අපගේ වඩාත් දුර්වල පශ්චාත් යුධ වාතාවරණය තුළ හුදූ ‘ආර්ථික-සංවර්ධනය’ වෙනුවෙන් පමණක් පවතින දෙයක් ලෙස අධ්‍යාපන කතිකාවට ප්‍රවිෂ්ඨ වීම බෙහෙවින් පටු දැක්මකි. අධ්‍යාපනය, සමාජයක ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් වැඩකළ යුතු බවට කිසිඳු සැකයක් නොමැති වුවත්, ‘සංවර්ධනය’ යන්න හුදූ ආර්ථික සංවර්ධනයට ලඝුකළ  නොහැකි බව අමතක නොකළ යුතුය. ලෝකයේ බොහෝ තැන්වල ‘සංවර්ධනය’ යන අදහසට ආර්ථිකයට ලඝු කරන මිත්‍යාවෙන් මිදී බොහෝ කල්ය. වර්තමාන සංවර්ධන එළඹුම් දිගු කාලීන අරමුණු සහිත, ආර්ථිකයෙන් ඔබ්බට ගිය වඩාත් පුළුල් ඒවා වෙයි. අධ්‍යාපනය, නිර්මාණාත්මක කුසලතා සහ සාමකාමීත්වය සහ පැවැත්ම වැනි ආර්ථිකයෙන් ඔබ්බට ගිය පුළුල් සමාජ අරමුණු අත්කරගැනීම සඳහා මග සැළසිය යුතු වෙයි. එවැනි ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක ආර්ථික සංවර්ධනය අත්කර ගැනීම ද පහසු වනු ඇත.

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නන්දන වීරසිංහගේ කවිය සහ ශ්‍රී ලාංකේය විචාර පර්ශද

~ දර්ශන අශෝක කුමාර මා අතිශයින් ගරු කරන යුග කාරක කවියෙකු වන නන්දන වීරසිංහයන්ගේ කවි පිළිබඳ කථා බහ කෙරෙන මාර්ගගත සංවාදයකට පසුගිය දා මා සහභාගී වූයේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමිනි. එකක් නම්, නන්දන වීරසිංහයන්ගේ කවි තවත් පිරිසක් හඬ ගා කියනු ඇසීමෙන් ලැබෙන තෘප්තිය විඳීමටය. දෙවැන්න නම්, ලංකාවේ කවිය සම්බන්ධයෙන් පවතින විචාරාත්මක තලය කුමක්දැයි යන්න පිළිබඳ විමසීමක් කර බැලීමටය.   ලංකාවේ විචාරාත්මක කියැවීම් සම්බන්ධයෙන් මට නැවත වරක් ඇති වූයේ අපේක්ෂා භංග වූ හැඟීමකි. මෙම…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ  

~ පූර්ණිමා ගමගේ,  ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ සියලුම අවකාශ අතික්‍රමණය කරමින්, සිය ආධිපත්‍යය පතුරවමින් සිටී. වයස් භේදයකින් තොරව තාක්ෂණික ව්‍යාප්තිය සිදුවත්ම, තාරුණ්‍යය සීග්‍ර වේගයකින් එයට නතු වෙමින් පවතින යුගයක, සමාජය කෙරෙහි ඉන් ඇතිවන ප්‍රතිවිපාක කෙලෙසින් වේ දැයි පූර්ව නිගමනයකට, පූර්ව කථනයකට එළැඹීම ඉතා දුෂ්කර කාර්යයකි. තාරුණ්‍යයට තාක්ෂණය සමීපවීමත් සමග දෛනික කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් තාක්ෂණය උපයෝගී කරගනිමින්  සිදුකර ගැනීමට වත්මන් මානවයා උත්සාහ කරයි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ රචනය ‘සෝසියෝ ටෝක්ස්’ යූ ටියුබ් නාලිකාව සඳහා කළ අදහස් දැක්වීමේ ලිඛිත පිටපතයි. එහි ශ්‍රව්‍ය පඨිතයට මෙතැනින් පිවිසිය හැක) ආයුබෝවන්. මට මේ වෙලාවේ අවශ්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය කියන ක්‍රියාවලීන් පවතින අකාකාරය ගැන යමක් කියන්නයි. ඒ, මීට පෙර මම කරපු අදහස් දැක්වීමේදී මතුවෙච්ච ‘රචනය’ කියන කාරණය පිළිබඳව වැඩි දුර සාකච්චා කිරීමේ අදහසින්. ඒත් රචනය හා ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරන කොට, සමාජ හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද?

පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප  ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව  බිඳවැටීමෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායක් ලෝකයේ ඇති කිරීම්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර දැඩි ව්‍යායාමයක නිරත විය.  කෙසේ නමුත් අද වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කදවුර දැඩි අර්බුදයක සිටින බව පැහැදිළිය.  ඇමරිකාව වැනි රාජ්‍යයකම ට්‍රම්ප්  වැනි අන්ත දක්ෂිණාංශික නායකයෙක් පත්වීම, මහත් බලාපොරොත්තු ඇතිව සකස් වූ යුරෝපා හවුලෙන් බ්‍රිතාන්‍ය  ඉවත් විය යුතු බව බ්‍රිතාන්‍ය ජනයාම තීරණය කිරීම වැනි සරල නිදර්ශන…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය

සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කතාවේ වඩාත් දීර්ඝ සංස්කරණයේ සිංහල පරිවර්තනයයි. ) විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලුවසර 2016 සදහා පිරිනමණ ග්‍රේෂන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන් සම්මාන සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී මුහුණ පෑ ගැටළු පිළිබඳ කතා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1]

~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ කලක් ඉක්ම ගොස් තිබුනද, එහි ඉදරිපත් කර තිබු අදහස්වල තත්කාලීන වලංගුතාවය සලකා, විශ්වවිද්‍යාල පිලිබඳ අපගේ කෙටි ලිපි මාලාවේ කොටසක් වශයෙන් නැවත පලකරන්නට සංස්කාරක මණ්ඩලය තීරණය කර ඇත) (ඉහල චායාරූපය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය; සුනන්දා ප්‍රේමසිරි, සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, මිත්‍රවරුනි; ඔබ සැමට සුභ උදෑසනක් වේවා. මීට කලකට ඉහතදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා මා වෙත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා

~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ  ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන යෑම පිළිබඳ කථාවක් අපට විස්තර කළ ආකාරය මට තවමත් මතකය. එනමුත් එය ඔහුගේ පන්තියේ විෂය කරුණුවල කොටසක් නොවීය. එනමුදු, හොඳින් පොතපත කියවූ පුද්ගලයෙකු වූ නිසා ඔහු මේ කතාව මැනවින් දැන සිටි අතර, එමගින් ඔහුට අවශ්‍ය වූයේ බලය හා දේශපාලන ඇඟිලිගැසීම් පිළිබඳ අපට කරුණු දැක්වීමටය.  මේ…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද පර්යේෂණයක් මා 2017 දී පමණ සැලසුම් කර, 2018 අග භාගයේ පමණ සිට ක්‍රියාත්මක කලෙමි.  මාගේ උනන්දුව වූයේ එම චාරිකා මගින් ජාත්‍යන්තර දේශ සීමා සහ දකුණු ආසියාව පිළිබද තත්කාලීන භූ-දේශපාලනික තේරුම්ගැනීම යම් ලෙසකින් වෙනස් ආකාරවලින් අර්ථ දැක්වීමට හැකිද යන්න සොයා බැලීමය. මාගේ ගවේෂණය තත්කාලීන වන්දනා ගතිකත්වයන් වෙත යොමු වී තිබුනද, යටත් විජිත යුගය දක්වාද පර්යේෂණය යොමු…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඉතිහාසයේ හා ඓතිහාසික ප්‍රබන්ධකරණයේ දේශපාලනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය (මේ ලේඛනය 2008 සැප්තැම්බර් 16 වැනිදා තිලක් ජයරත්නගේ තිර රචනා පහක් සමාජගතකිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයේ පිටපත වේ. එය වසර 12 ට පසුව යලිත් පලකරන්නේ එහිදී මතුකළ මූලික ප්‍රවේශ තව දුරටත් අදාල වේය යන විශ්වාශය මතය) අද දින මේ දිග හැරෙන බුද්ධිමය හා සාහිත්‍යමය යාතුකර්මයේ කට්ටඩියෙකු වන ලෙස තිලක් ජයරත්න සහෝදරයා මට ආරාධනය කළ විට, මා ඒ ඇරයුම භාර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඉතිහාසකරණය, නිර්මාණ…
වැඩි විස්තර පරිශීලනයට