රෙදි අපුල්ලන්නාගේ ජීවිතය: මුම්බායි මහා ලක්ෂ්මි දෝබි ඝාත්හී දෝබි ප්‍රජාව කැමරා කාචය තුලින්

සටහන හා ඡායාරූප: සකුණ එම්. ගමගේ

පුද්ගලයෙකුගේ රැකියාව යන්න සම්ප්‍රදායික සමාජ ස්තරාණය සංවිධානය කිරීමේ මූලික පාදමයි.විශේෂයෙන් මෙය දකුණු ආසියාතිකරය වැනි අතිශය බහුවිධතාවකින් යුතු සමාජයක සුලබ ලකුණකි. දකුණු ආසියාවේ මෙය වඩාත් පැහැදිලිව පෙනෙනුයේ සහ සංස්ථාගත වී ඇත්තේ කුල ක්‍රමය මුල්බැස ගත් ස්ථානවලය. රෙදි සේදීමේ වෘත්තිය ලොව නන්දෙස මනුෂ්‍යමූලික අවශ්‍යතාවන්ට අනුබද්ධව ප්‍රචලිත වූවකි.මනුෂ්‍ය ශරීරය සේම අඳින පළදින වස්ත්‍ර සේදීම හා පවිත්‍රව තබාගැනීම මනුෂ්‍ය සනීපාරක්ෂාවේ අත්‍යාවශ්‍යතාවකි.සම්ප්‍රදායික ඉන්දියානු සමාජයේ ප්‍රධාන සමාජ ස්ථර, නැතහොත් වර්ණ හතරක් යටතේ ස්ථරගතකරණයට ලක්ව ඇත. මේ සියල්ලම යටතේ අනු කුල ගණනාවක් තිබේ. එනම් බ්‍රහ්මණ,ක්ෂත්‍රීය,වෛශ්‍ය හා සුද්‍ර වශයෙනි.මේ අතුරින් සුද්‍ර කුලයෙහි උපකුලයක් වන රජක (rajaka) නම් කුලයට අදාල ජීවන වෘත්තිය ලෙස සැලකෙන්නේ රෙදි සේදීමේ රැකියාවයි (අගර්වාල් සහ ෂුක්ලා 1984).

තර්ස්ටන් සහ රංගචාරී (1909) විවරණය කරන පරිදි රෙදි සෝදන්නන්ගේ රැකියාව මත පදනම් වූ කුලය හින්දි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ ‘දෝබි’ (dhobi) ලෙසටයි.එය හින්දි භාෂාවෙහිම සේදීම යන අරුත දෙන ‘දෝනා’ (dhona) හා සංස්කෘත භාෂාවේ සේදීම යන අරුත් දෙන ‘ද්වව්’ (dhav) යන වචන වලින් විකාසනය වූවකි. දෝබි ප්‍රජාවන් ඉන්දියාව පුරා විවිධ ප්‍රදේශවල වෘත්තිය මත පදනම් වූ කුලයක් ලෙස විසිරව පවතී.විවිධ ප්‍රදේශයන්හී විවිධ භාෂාවන්ට අනුකූල වචනවලින් ඔවුනව හඳුන්වයි.ඒ අතුරින් දෝබි (dhobi), මාදෙලා (maadela), දෝනා (dhona), මාද්වෙල් (maadvel), වන්නර් (vannar), චකාලි (chakali),   රසාකා (razaaka)  වැනි පද ප්‍රමුඛවෙයි. මෙම විවිධ නම් තීරණය වූ ප්‍රාදේශයන් අනුව වෙනස් වුවද සමස්ත ඉන්දීය උපමහද්වීප කලාපය තුළ දෝබි ප්‍රජාව රැකියාව මත තීරිත එකම කුලයක් ලෙසට සැලකෙයි (ඩුමොන්ට් 1979). කෙසේ වුවද වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දෝබි ප්‍රජාවගේ සේවය හින්දු දහමේ සධාචාරාත්මක පසුබිමට අතිශය යාබද්ධ පවිත්‍රත්වය හා අපවිත්‍රත්වය යන සංකල්ප සමඟ පවතින සැබැඳියාවයි.   

දෝබි ප්‍රජාව සාම්ප්‍රදායික වශයෙන් රෙදි සෝදන අවකාශය හඳුන්වනු ලබන්නේ ‘දෝබි ඝාත්’ (dhobi ghat) යනුවෙනි.මෙම ස්ථානය රෙදි සේදීම සඳහා අවශ්‍ය ජලය,රෙදි ඇපිල්ලීමේ ස්ථාන,ජල එකතු කිරීමේ භාජන ආදී අවශ්‍ය මෙවලම් වලින් සැදුම් ලද්දකි. මේ බොහෝ මෙවලම් උණ බට, ලී යොදා සම්ප්‍රදායික වශයෙන් නිමවන ලද ඒවා වේ.කලකට පෙර ගංගා ඉවුරු යාබදව මෙම රෙදි සෝදන ස්ථාන සකස් කර ගැනුණ ද,බි්‍රතාන්‍ය යටත් විජිත සමයේ දී බොහෝ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශයන්හී දෝබි ඝාත් ලෙස  සුවිශේෂී ස්ථාන ඉදිකර ඇත.

දෝබි ඝාත් යන ස්ථාන ඉන්දියාව පුරා රෙදි අපුල්ලන්නන්ගේ දෛනික ජීවිත  හා සම්බන්ධ පොදු ස්ථානයකි.මේ අතුරින් මුම්බායි නගරයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටා ඇති මහාලක්ෂ්මී දෝබි ඝාතය සුවිශේෂී වෙයි. වසර 140ක් පමණ පැරණි මෙය බි්‍රතාන්‍ය යටත් විජිත කාලයේ දී හමුදා නිල ඇඳුම් සේදීම සඳහා ඉදිකෙරුණකි. අනෙක් අතින්, එය යටත් විජිතවාදය හා පෙරදිග සාම්ප්‍රදායික සමාජය අතර පවතින ඝට්ටනය ඉස්මතු කර දක්වන ප්‍රබල නිදසුනකි. මහාලක්ෂ්මී දුම් රියපොළ පාලම පසුකරයන ඕනෑම අයෙකුට දහස් ගණනක වෛවර්ණිත රෙදි වේලීමට දමා ඇති ආකාරයෙන් එම ස්ථානය පැහැදිලිව හඳුනාගත හැකිය.එසේම, මෙය ලොව විශාලතම එළිමහන් රෙදි සේදුම්පොළ ලෙසටද සැළකෙයි. 7000කට අධික දෝබි ප්‍රජාවක් මෙහි සේවය කරමින් ජීවත් වෙයි.සෑම දිනකම උදෑසන හා දහවල සමාජයේ දහසකුත් කිළිටි රෙදි පිරිසිදු කරමින් කාර්යය බහුල වන වේලාවන්ය. ඉතා වේගවත් ජීවන රටාවක් සහිත මුම්බායි නගරයේ නන්දෙස පිහිටා ඇති තට්ටු නිවාස, අසල්වැසි රෙදි සේදුම්හල්, මංගල උත්සව ආයතන, මධ්‍යම ප්‍රමාණයේ හෝටල් ආදියේ දොරින් දොරට යමින් දෝබි ප්‍රජාව කිළිටි රෙදි එකතු කරයි.සාමාන්‍යයෙන් දින දෙක තුනකින් රෙදි සේදීම පමණක් නොව රෙදි සුදු කිරීම, කැඳ දැමීම හා මැදීම යන ක්‍රියාවන් නිමකළ පසු, නැවත අදාල ස්ථානවලට ගෙනැවිත් භාරදීම ද සිදුකරයි. නවීන ක්‍රම භාවිතයෙන් රෙදි සෝදන අනෙකුත් පුද්ගලික ආයතනවලට වඩා අඩු වියදමක් යටතේ සේවය ලබාගත හැකි නිසා, තවමත් මුම්බායි නගරය තුළ දෝබි ප්‍රජාවේ සේවයට වැඩි ඉල්ලුමක් පවතී.

එක් එක් නේවාසික ස්ථානවලින් ලබාගන්නා රෙදි හදුනාගැනීම සඳහා දෝබි ප්‍රජාව භාවිතකරන සුවිශේෂී සංකේත ක්‍රමවේදයක් වෙයි.ඒ සඳහා නොමැකෙන තීන්ත යොදාගනී.මෙම දෝබි සංකේත ක්‍රමවේදය තිත්, ඉරි, අංක යනාදිය එක්ව වර්ධනය වී ඇති සුවිශේෂී කේතකරණයකි.මෙමඟින් කිළිටි රෙදි ලබාගන්නා වීදි, නිවාස, තට්ටු නිවාස හා කුටුම්භයන් පිළිබඳ ව්‍යාකූලතාවකින් තොරව සටහන් කරගැනීමේ හැකියාව ඇත (නොරිස් 2005). සාමාන්‍යයෙන්, දෝබි ප්‍රජාව සැළකෙන්නේ අඩු සාක්ෂරතාවක් සහිත ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවක් ලෙසටයි.

කුල ස්ථරායනය අනුමත කිරීම නිසා විවාදාත්මක ඓතිහාසික හින්දු නීති පඨිතයක් වන මනුස්මිරිතියට අනුව හස්ත මූලික ශ්‍රම සේවයේ යෙදෙන පිරිසක් මේ ප්‍රජාව හඳුන්වා දී තිබේ (අගර්වාල් සහ ෂුක්ලා 1984). වර්තමානයේ දී දෝබි ඝාත්හි පවා යාන්ත්‍රික ප්‍රවේශ වෙත පිවිසීමේ  ප්‍රවණතාවයක් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙසට ඇතැම් දෝබීන් රෙදි සෝදන යන්ත්‍ර භාවිතයට නැඹුරු වුවද තවමත් ශාරීරික ශ්‍රමය යොදා රෙදි සේදීම ප්‍රාථමික අභිමතය වෙයි.

කෙසේ වුවද, දෝබි ප්‍රජාවගේ දිවිසැරිය ඔවුන් සෝදන රෙදි තරම් වෛවර්ණිත නොවූවකි.බොහෝ දෝබි පවුල් ඉතා දිළිඳු, අවම අධ්‍යාපන පහසුකම් සහිතව ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරයි. එනමුත් ඔවුනට තම ජීවිකාව සම්බන්ධ ඉඩම්, ජල පහසුකම් හා අනෙකුත් අවශ්‍යතා සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුව ඇත.එසේම පාරිසරික දූෂණය,ප්‍රචණ්ඩත්වයට මුහුණ පෑම හා සෞඛ්‍යාරක්ෂණ ගැටළු ද බහුලව පවතී (නොරිස් 2005). ‘ඉන්දියා ටීවී’ රූපවාහිනිය වාර්තා කරන පරිදි, ඉන්දියාවේ මහා රාෂ්ඨ්‍ර ප්‍රාන්තය හා මුම්බායි නගරය වත්මන් කොරෝනා වසංගතය පැතිරයාමේ ප්‍රධාන කේන්ද්‍රයක් බවට පත්ව ඇත.ඒ අතරින් දෝබි ඝාත් ප්‍රදේශය කොරෝනා වසංගතය පැතිර යාමේ අවධානම් කලාපයන්ගෙන් එකකි (ඉන්දියා ටීවී 2020). වත්මන් කොරෝනා වසංගත තත්වයත් සමඟ ඇතිව තිබෙන සමාජ දුරස්ථකරණය, සමාජ ක්‍රියාකාරකම් නිශ්ක්‍රීය කිරීමේ ක්‍රමවේද යනාදිය මෙවන් ප්‍රජාවන්ගේ ජීවිකාව තර්ජනයට ලක් කිරීම මඟින් ඔවුන් තවතවත් ආන්තීකරණයට ලක්කර ඇත.

ඡායාරූප වැනි දෘශ්‍යමය වාර්තා මෙවන් ප්‍රජාවන්ගේ ජීවිතවල ගැඹුරු අන්තයන් අධ්‍යයනය කළ හැකි වැදගත් ක්‍රමවේදයකි. පහත සමාජ වාර්තාකරණ ඡායාරූප පෙළ මඟින් මුම්බායීහි මහා ලක්ෂ්මී දෝබි ප්‍රජාවගේ දිවියේ විවිධ පැතිකඩ පිළිබඳ රූපමය විස්තරයක් ඉදිරිපත් කර ඇත. මෙම ඡායාරූප 2018 වසරේ ජනවාරි මස 10 වන දින ගන්නා ලද ඒවා වෙයි.

ඡායාරූප සටහන්

ඡායාරූපය 1: දෝබි ප්‍රජාව දිනපතා මුම්බායි නගරයේ නිවාස,තට්ටු නිවාස,හෝටල් ආදිය වෙත ගොස් සේදීම සඳහා විශාල වශයෙන් කිළිටි රෙදි එකතු කරයි.

ඡායාරූපය 2: දෝබි ඝාතය මුම්බායි නගරයේ විශාල ප්‍රදේශයක පැතිර පවතී. රෙදි සේදීම සඳහා ජලය එකතුවන ටැංකි හා රෙදි අපුල්ලන ස්ථාන විශාල ප්‍රමාණයක් එහි පවතී.

ඡායාරූපය 3: දිනපතා උදෑසන හා දිවා කාලයේ රෙදි සේදීම අතින් දෝබි ප්‍රජාව අතිශය කාර්යය බහුලවන වේලාවයි.

ඡායාරූපය 4: දෝභි ප්‍රජාව රෙදි ඇපිල්ලීම සඳහා යොදාගන්නා ස්ථාන ජල ටැංකිවලට යාබඳව ලී පතුරු යොදා සකසන ලද චතුරස්‍රාකාර සමතල පෘෂ්ඨයකි.

ඡායාරූපය 5: දෝබි ප්‍රජාව සැලකෙන්නේ හස්ත ශ්‍රම සේවයේ යෙදෙන ප්‍රජාවන්ගෙන් එකක් ලෙසටයි.

ඡායාරූපය 6: දෝබි ප්‍රජාව රෙදි සේදීම පමණක් නොව වියළීම,සුදු කිරීම,නැවත ගෙනැවිත් භාර දීම ද සිදු කරයි.

ඡායාරූපය 7: දෝබි ප්‍රජාව රෙදි සේදීම සඳහා විවිධ දේශීය රෙදි සෝදන කුඩු වර්ග භාවිත කරන අතර ඒවා සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑම් ඇතිකරයි.

ඡායාරූපය 8: දිනකට වැඩිවේලාවක් රෙදි සෝදන රසායනික ද්‍රව්‍ය මුසු ජලය සමඟ සිටීම ඔවුනගේ අත්පාවල විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිවීමට හේතු වී ඇත.

ඡායාරූපය 9: දෝබි ප්‍රජාවටම ආවේණික කිළිටි රෙදි ලබාගත් ස්ථාන හඳුනාගැනීමේ කේතකරණ ක්‍රමවේදය ඔවුනගේ ශ්‍රම අභ්‍යාසයේ ප්‍රතිඵලයක් ලෙස විකාසිත වූවකි.

ඡායාරූපය 10: වත්මනේ දී ඇතැම් දෝබි  පුද්ගලයන් නවීන රෙදි සෝදන යන්ත්‍ර හා වියළන යන්ත්‍ර භාවිතයේ නැඹුරුවක් පවතී.

ඡායාරූපය 11:දෝබි ප්‍රජාවගේ දිවිසැරිය දෝබි ඝාතයේම අංගයකි.

ඡායාරූපය 12: දෝබි සේවයේ යෙදීම මෙන්ම ඔවුනගේ පවුල් විශාල සංඛ්‍යාවක් දෝබි ඝාතය තුළම දිවි ගෙවයි.

ආශ්‍රීත පඨිත

Agarwal, D.K and Suresh Chandra Shukla. 1984. ‘Washerman and Washing Materials in Ancient India.’ In, Indian Journal of History of Science 19, No. 4 (1984): 314-322. 

Desk, India TV News. India TV. June 09, 2020. https://www.indiatvnews.com/news/india/maharashtra-unlock-1-mumbai-containment-zones-full-list-coronavirus-hotspots-red-zones-navi-mumbai-624719 (accessed June 10, 2020).

Dumont, L. 1970. Homo Hierarchicus: The Caste System and it’s Implication. New Delhi: Oxford Press.

Norris, L. 2005. ‘Dhobighat.’In, Visual Anthropology Review 1, No. 21 (2005): 168-169.

Prasad, Devi, and G Srihari. 2019. ‘Mapping the politics of Shauchalaya in Dalit Localities: An Inquiry.Contemporary Voice of Dalit.’ In, South India Journal of Social Sciences 9, No. 1 (2019): 19-26.

විශේෂ ස්තූතිය:

මුම්බායි දෝබි ඝාත්හී සනී මෝතිකාර්
මුම්බායි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ප්‍රතික්ෂීත් ජෝශී

(සකුණ එම්. ගමගේ නව දිල්ලියේ දකුණු ආසියාණු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිලිබඳ එම්.ඒ. උපාධිදාරියෙකි. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ඡායාරූපකරණයේ නියැලී ඇති ඡායාරූප ශිල්පියෙකි)

Total
0
Shares
Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You May Also Like
වැඩි විස්තර පරිශීලනයට

ඉන්දීය ප්‍රසිද්ධ අවකාශීය චිත්‍ර සම්ප්‍රධායන්

සටහන හා ඡායාරූප: සසංක පෙරේරා – තත්කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ අවකාශය පුරා පැතිර ඇති නොයෙකුත් බිත්ති මත, බැලූ බැල්මට පැහැදිළි තේමාවකට හෝ තේමා කිහිපයකට හෝ සීමා නොවූ, අනේකවිධ පණිවිඩ ගෙනෙදෙන චිත්‍ර ඇඳීමේ ප්‍රවණතාවක් 2019 වසරේ නොවැම්බර් මාසයේ පමණ සිට පැතිර යමින් පවතී. ඒ පිළිබඳ පුලුල් කතාබහක් ද මූලික වශයෙන් අන්තර්ජාලය ඔස්සේ පැතිර යමින් පවතී. මීට යම් දේශපාලනික, පුද්ගලික හා ව්‍යාපාරමය සම්මාදම් වීමක්ද ඇති බව පෙනේ. එනමුත්, මේ පිළබඳ තවමත් ගැඹුරැ හා න්‍යායික වශයෙන් සූක්‍ෂම කියවීමක්…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ටක්ට්සන්ග් ලකන්ග් තරණය

~ ඡායාරූප හා සටහන: සසංක පෙරේරා ටක්ට්සන්ග් ලකන්ග් (Taktsang Lhakhang) කඳු මුදුන පිහිටා ඇත්තේ භූතානයේ අගනගරය වන තිම්පූ හා එම රටේ ප්‍රධාන ගුවන් තොටුපොල පිහිටි පාරෝ යන නගර අතරය. ‘ව්‍යාග්‍රයාගේ කැදැල්ල’ (Tiger’s Nest) යන නමින් ද හැඳින්වෙන ඒ කඳු මුදුනේ භූතානයේ උත්තරීතරම බෞද්ධ විහාරස්ථානය පිහිටා තිබේ. ඒ, මුහුදු මට්ටමේ සිට මීටර් 900 ක් (අඩි 10, 000) ඉහලිනි. එහි ලගාවීම සදහා කිලෝ මීටර 10 ක පමණ දුරක් බෙහෙවින් දුශ්කර හා නැගීමට අසීරු කදු හා බෑවුම් සහිත…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

නිරෝධායන දිනපොතෙන් පිටුවක්: මුඛවාඩම් පැළඳි සමාජය වෙත ….

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය වසංගත ලෝකය මාස හයක් සටහන් කරන මොහොතක, මම ආයතනගත නිරෝධායනය නිමා කළෙමි. නව දිල්ලියේ විශ්විද්‍යාල නේවාසිකාගාරයේ ගතවූ මාස හයකට ආසන්න කාලයත්, දිල්ලියේ සිට කොළඹට පියාසර කිරීමත්, දින දහහතරක් ශ්‍රී ලංකා රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක ගෙවූ කාලයත් අසීරු සහ පීඩාකාරී වූ බව සඳහන් කරන්නෙමි. නමුත්, ඒ මාස හයක කාලය, පැහැදිලිවම ගෙවී යන ඉතිහාසයේ ගතිකත්වයන සමග මා ඍජුවම සම්බන්ධ වූ බව නැවත නැවතත් මට මතක්කර දුන් බව කිව යුතුය. ලෝකය වසංගතයෙන් වැසී…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

කාටූන් දෙකක් පිළබඳ කෙටි සටහනක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ගැරී ලාසන්ගේ සුප‍්‍රසිද්ධ ‘Anthropologists! Anthropologists!’ යන පාඨය සහිත කාටූනය මා මුලින්ම දුටුවේ 1986දී පමණ මානව විද්‍යාව පිලිබඳ දර්ශන-සූරී උපාධි කටයුතු ආරම්භ කිරීමට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ගොස් සිටි සමයේදීය. ලාසන්ගේ එම කාටූනය පළවී තිබුනේ ඔහු සති පතා පුවත් පත් ගණනාවකට එකළ සම්පාදනය කළ ‘Far Side’ යන කාටූන් මාලාවේ කොටසක් වශයෙනි. මා මිත‍්‍ර ෆ්‍රෙඞ් ක‍්‍රිස්මන් ඊට අවරුදු දෙකකට පෙර පළවූ එම කාටූනය මා ඇතුළු තවත් කීප දෙනෙකුට පෙන්වා උත්සාහ කළේ මානව හා…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ඩල් හා නිගීන් ජලාශ සහ ඒ අවට ජීවත්වන්නවුන්ගේ ජීවිත

~ සකී ආරියවංශ, නව දිල්ලිය 2020 වසරේදී මා විසින් ගන්නා ලද මේ චායාරූප පෙළ පදනම් කරගෙන මා උත්සාහ කරන්නේ, ඉන්දියාවේ කාශ්මීරයේ ඩල් සහ නිගීන් වැව් ආශ්‍රිත ප්‍රදේශයේ යම් දර්ශන සහ ඒ අවට ජීවත්වනවුන්ගේ ජීවිතවලින් බිඳක් පිළබඳ යම් අදහසක් ඉදිරිපත් කිරීමටය. ඒ මූලික වශයෙන් මා දුටු දේ සහ ප්‍රදේශවාසීන් සමග කළ කතාබහ තුළින් මගේ මතකයේ රැඳී ඇති දේ මත පදනම් වෙමින්ය. දැනට දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ මා නිරන්තරවම වසරකට කිහිප වතාවක් කාශ්මීරයට යාම පුරුද්දක් ලෙස කරමි.…
වැඩි විස්තර පරිශීලනයට
වැඩි විස්තර පරිශීලනයට

ජනශූන්‍ය ගුවන් තොටක පැය කිහිපයක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය Centre for Asia Pacific Aviation සංවිධානයට අනුව, ඉන්දියාවේ ප්‍රධානතම හා විශාලතම ගුවන්තොටුපළ වන නව දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපොළ මූල්‍ය වර්ෂ 2017 හා 2018 යන කාලය ඇතුළතදී මිලියන 65.7 ක ගුවන් මගීන් සංඛ්‍යාවක් සඳහා සේවා පහසුකම් සපයන ලදී. ඒ සඳහා දිනකට ගුවන් ගමන් 1, 200 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා සේවා සැපයීම සිදු විය. මේ නිසා මෙම ගුවන් තොටුපොළ බෙහෙවින් කාර්ය බහුල හා කාර්යක්ෂම ගුවන් තොටුපළක්…
වැඩි විස්තර පරිශීලනයට